සදහම් සැඳෑව දෙවන අදියරට සහභාගීවන ආදරණීය හිතවතුනි, සෑම දෙනාම උණුසුම්ව පිළිගන්නවා. සදහම් සැඳෑව පළමු අදියර ගැන කිසියම් හැඟීමක්, අවබෝධයක් මෙතන සිටින සමහර කළ්‍යණ මිත්‍රයන්ට ඇති, එමෙන්ම අලුතින්ම මේ වැඩසටහනට එකතුවන හිතවතුනුත් මෙතන ඇති. නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සංවිධානත්වයෙන් පිරිනමන කාටත් සහභාගීවිය හැකි වැඩසටහන් කිහිපයක්ම තිබෙනවා. අළුයම සමූහ භාවනාව සඳුදා සිට සෙනසුරාදා දක්වා, උදේ 04.45 සිට 05.45 දක්වා මෙන්ම ඉරිදා සවස විදර්ශනා ජීවිතය පිළිබඳ ‘විදසුනට නිදසුනක්’ වැඩසටහන සහ පුර පසළොස්වක පොහෝ දවසේ උදේ 08.30 සිට 11.45 පමණ වනතුරු පවත්වන සදහම් වැඩසටහන, යන සිංහල මාධ්‍ය වැඩසටහන් අතර බදාදා දවසේ මේ වේලාවට පවත්වන, ‘සදහම් සැඳෑව‘ සුවිශේෂි වැඩසටහනක්. සුවිශේෂත්වය නම් මෙම වැඩසටහනේදී භාවනාව ගැන කථා කරන අතර භාවනා ක්‍රමයක් ගැන කථා නොකිරීමයි. මෙහිදි සිදුකරනුයේ ගැඹුරින් ගැඹුරට සරලව කථා කිරීම, විවරණය කිරීම, අත්දැකීම් ලබන්නට මඟපෙන්වීම හා ‘භාවනාමය ජීවිතයක්‘ පිළිබඳ උනන්දු කරවීම. ජීවිතය භාවනාවක් කරගැනීමට වඩා භාවනාව ජීවිතයක් කර ගැනීම ගැන.
දිගටම කියවන්න
ලෞකික ප්‍රශ්න, ගැටලු බෝවෙනවා (පැටව් ගහනවා) ඉවරයක් නෑ, ඉවර කරගත් කෙනෙකුත් නෑ, ඉවරයි කියන කෙනෙකුත් නෑ, පලායන්න තැනකුත් නෑ, කොහේ කියා පලායන්නද? මේ සියල්ල මැද්දේ ජීවත්වීම හරඹයක්, කිසියම් දුෂ්කර ක්‍රියාවක් බවට තමා පත්ව තිබෙන්නේ. ජීවිතය, දිවිය හරි ලස්සන වචන නමුත් සැබෑම ජීවත්වීම එපමණ සුන්දර දෙයක් නොවේ. නොවිසඳුනු ප්‍රශ්න පෝලිමක් තියෙනවා. මේ සියල්ල හරහා සානුකම්පිත ගමනක තමා ඔබත් අපත් ඇතුළු සමස්ත මිනිස් ප්‍රජාවම දුවන්නේ. එදෙස බලනවිට හරිම අනුකම්පාවක් ඇතිවෙනවා, ඕනෑ කෙනෙකුගේ සිතේ ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා. අම්මා තාත්තාගේ සිතේ තමන්ගේ දූපුතුන් කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා, මේ දූදරුවන් මොන තරම් වෙහෙසක් ගන්නවාද මොන තරම් දුක් මහන්සි වෙනවාද කියා. හැබැයි ඉතින් අම්මා තාත්තාටත් මොනවත් කරකියා ගන්න බෑ. ඒවගේම දූදරුවන්ටත් තමන්ගේ දෙමව්පියන් පිළිබඳව ඇතිවන්නේ හරීම සානුකම්පිත හැඟීමක්, හැබැයි කාටවත් උදව්වක් කරන්නට බැරි තැනක ඉන්නේ. හැමෝම තම තමන්ගේ ප්‍රශ්න ගොහොරුවේ එරී සිටින්නේ, ඉතින් තවත් කෙනෙකුව ගොඩ ගැනීම හරීම අමාරුයි.
ඒ වෙනුවට හිතවතුනි එක මඩ වලකින් තවත් මඩ වලකට, එක ගොහොරුවකින් තවත් ගොහොරුවකට පනිමින් පනිමින් යන ගමනකටනේ ජීවිත ගමන, සංසාරේ කියන්නේ. එහි ඉවරයක් තියෙන්න බෑ. මේ මඩ ගොහොරුවෙන් හරි අමාරුවෙන් උඩට ඇවිත් පනින්නේ තවත් එරෙන ගොහොරුවකටම තමා. පැන්න ගමන්ම එරෙන්නේ නෑ, ටික වේලාවක් යනවිට තමා එරෙන්න පටන්ගන්නේ, හොඳටම එරුණා කියලා සිතෙන්නේ කාලයක් ගිය පසුයි. මේ ආකාරයට මොන තරම් මඩ ගොහොරුවල එරුණාද ගොඩ ආවාද, ආයේ එරුණාද ආයේ ගොඩ ආවාද? තව කොපමණ මඩ වගුරු අප එනතුරු බලාගෙන ඉන්නවාද ගිලගන්න? හරීම අවිනිශ්චිතයි.
දිගටම කියවන්න
මනස කියන්නේ මහා සංකීර්ණයක්. මනස මොන තරම් සංකීර්ණද කියා සාමාන්‍යයෙන් වැටහෙන්නේ නෑ. කිසියම් ප්‍රශ්නයක් එනම්, සිතට දුකක්, වේදනාවක්, ශෝකයක් ඇති වු විට, මොන තරම් කාලයක් සිත ඒ දුක, වේදනාව ඇදගෙන යනවා ද? ජීවිතයේ මොන තරම් අංශවලට එය පිළිකාවක් සේ වවනවා ද? (වර්ධනය කරනවා ද?) තමන්ගේ ජීවිතයත් සම්පූර්ණයෙන් කඩාකප්පල් කරගෙන, අඳුරු කරගෙන, අන් ජීවිතවලටත් මොන තරම් බලපෑමක් කරනවා ද? සමහරවිට පුංචි ප්‍රශ්නයක්, දුකක්.
එවැනි වේදනාවන් හා දුක් සතුන්ටත් තිබෙනවා, අපට තිබෙනවා කියා සිතන ප්‍රශ්න නැති සතෙකු නැහැ. නමුත් කිසිම සතෙකු, සත්ත්ව කොට්ඨාශයක්, මේ ප්‍රශ්න විසඳන්න මහා සංවිධාන පිහිටුවාගෙන නැහැ. දේශීය සංවිධාන, විදේශීය සංවිධාන, ජාතීන්ගේ සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආහාර වැඩපිළිවෙලවල් වැනි දෑ සතුන් අතර නැහැ. සතුන්ටත් අපිට තිබෙන ප්‍රශ්නම තිබෙන නමුත් සංකීර්ණ කරගෙන නැහැ. මෙවැනි මහා පරිමාණ සෑම දෙයක්ම, සංවිධානයක්ම පවතින්නේ විසඳුම් ලෙසින්. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්මාණය කළේ, අපට සෑදෙන ලෙඩ රෝග වලට විසඳුම් සෙවීමට (විසඳුමක් ලෙසින්). මේ තමා මනසේ ස්වභාවය.
දිගටම කියවන්න
පැහැදීමක් අතිවෙන්න ඕනේ සිත හදාගැනීම ගැන. ඒ ගැන යම් පමණකට හෝ උනන්දු වී තිබෙනවා ද, උත්සාහකර තිබෙනවා ද, ඒ ගැන සතුටක්, ස්වයං ඇගයීමක්, අගය කිරීමක් අවශ්‍යයයි. එය වඩ වඩාත් ප්‍රායෝගිකව මේ හැම දෙනාම අත්දකිනවා ඇති. “මීටත් වඩා භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්නම් මොන තරම් ප්‍රතිඵල ගන්න පුළුවන් ද”, ඒ සිතුවිල්ල, ඒ ඕනෑකම ඇතිනොවනවා නම් තමා පුදුමය. “භාවනාව කල්දැමීම වෙනුවට, මීටත් කලින් පටන්ගන්න තිබුණානම් මොන තරම් අපූරු ද !”. පුළුවන් විදිහට භාවනා කිරීම, ඒ වෙනුවෙන් කාලය කැප කිරීම මොන තරම් වටිනවා ද? තවත් පහුවුණානම් මොනවයින් මොනවා වෙයි ද? මේ ගැන සිතන විට ‘හදවතට’ සතුටක් ඇතිවෙනවා. සියලු ප්‍රශ්න නිසා විඳවන්නේ ‘හදවත’. කුස්සියේ, නිදන කාමරයේ, වැඩපොළේ, නගරයේ, ලෝකයේ හෝ වෙන ලෝකයක ප්‍රශ්න තිබුණත්, ප්‍රශ්නයක් නම් විඳවන්නේ හදවත. අහිංසක, දුප්පත් හදවත අප නිසා විඳවන්නේ. එසේ විඳවන සෑම මොහොතකම, සෑම දිනකම හදවත අපට කියනවා. “විඳවන හදවත මේ අපායෙන් ගොඩගන්න, තවදුරටත් විඳවන්න බෑ” කියා.
දිගටම කියවන්න
සාමාන්‍යයෙන් අප කුමක්ද කරන්නේ? කියන මේ ප්‍රශ්නය අපෙන් ඇසුවොත්, “ඔබ මොකද කරන්නේ?” කියා කිසියම් කෙනෙකුගෙන් විමසුවොත්, මොන විදිහේ පිළිතුරක් ද දෙන්නේ, ලැබෙන්නේ?. බොහෝවිට රැකියාව, වෘත්තිය කියන්න පුළුවන්, ගොවිතැන, ගුරුකම, වෙදකම වැනි කුමක් හෝ වෘත්තියක්, නැතිනම් කියනවා “වැඩක් කරන්නේ නැහැ” කියා. මේ උත්තර දෙකයි දෙන්නේ. මේ පිළිතුරු දෙකේහිම ඇත්තක් තියෙනවා. නමුත් ඇත්තම ඇත්ත නොවේ. එසේනම් අප ඇත්තටම මොකද කරන්නේ? අප කවුද කියන ප්‍රශ්නය නොවේ වැදගත් වන්නේ, අප මොනවාද කරන්නේ කියන කාරණය. රස්සාව, වෘත්තිය කියන පිළිතුරෙන් ගලවාගෙන ගෙනාවොත්, දවසේ කළ වැඩ ටික කියයි. මේවා මේවා කළා, තව මේවා මේවා කරන්න තියෙනවා. අතුගෑවා, ඉව්වා, නගරෙට ගියා, මේ වැඩ කළා, මෙයත් ඇත්ත, බොරුවක් නොවේ. නමුත් ඇත්තම ඇත්ත නොවේ. ඒ කිසිදෙයක් නොකරන කෙනා “අද නම් කොහෙවත් ගියෙත් නැහැ, මොනවත් කළෙත් නැහැ, ඔහේ හිටියා” කියා කිව්වොත් එය නම් බොරුවක්. මන්ද කිසිම වැඩක් නොකර කිසිම කෙනෙකුට ඉන්න බැහැ. සාමාන්‍ය පුහුදුන් ලෝකයේ (එතෙර නොවූ ඔබ අප හැමදෙනාම) හැමවිටම යමක් කරමිනුයි සිටින්නේ. ක්‍රියා දෙකක් කරමින් සිටින්නේ. කථා-බහ කිරීමම නොවේ, ඒවා දෙවැනි, තුන්වෙනි ක්‍රියා, ඒ කිසිවක් නොවේ. ඒ කිසිදෙයක් නොකළත් මේ කියන ක්‍රියා දෙක කරමින් සිටින්නේ. එය බැලු බැල්මට පේන්නේ නැහැ. මොනවාද කරන්නේ ? “මොනවත් නැහැ. ඔහේ ඉන්නවා, වාඩිවෙලා, හාන්සිවෙලා ඉන්නවා.” පිටින් හා මතුපිටින් බලන කෙනෙකුට කරන දෙයක් පේන්නෙත් නැහැ. අපම අප දෙස ඒ විදිහට බලා කියනවා නම් “අප මොකුත් කළේ නැහැ” කියා, ඒ අපේ දැක්මේ තිබෙන අඩුපාඩුවක්. අප හරියට අපව දැක නැහැ. අප දැක තිබෙන්නේ අප විදිහට ශරීරය පමණයි. මම විදිහට, ජීවිතය විදිහට, තමන් විදිහට හඳුනාගෙන තිබෙන්නේ මේ ශරීරය පමණයි. ඒ නිසයි මෙවැනි පිළිතුරු දෙන්නේ. “අද වැඩට ගියේ නැහැ. අද නිකන් සිටියේ, අද හරිම කාර්ය බහුල දවසක්”, මේ ආකාරයට පිළිතුරු දෙන්නේ, තමන් විදිහට ශරිරය දකිමින්, ජීවිතය කියන්නේ ශරීරය, එයින් පිට මමෙකුත් (මම කියා කෙනෙකුත්), ජීවිතයකුත්, කිසිදෙයක් නැහැ, දවසකුත් නැහැ, සතියකුත් නැහැ, මාසයකුත් නැහැ වගේ බොහොම පටු දැක්මක සිටින විට.
දිගටම කියවන්න
මෙගොඩ සිට එගොඩ දෙස බලා හීල්ලීමෙහි ප්‍රතිඵලයක් නැහැ. එසේම මෙගොඩ සිට මෙගොඩටම දොස් කීම, මෙගොඩ විවේචනය කිරීම ඵලක් නැහැ. සැඩ පහරේ විචිත්‍රත්වය හෝ භයානකත්වය ගැනම කථා කරමින් සිටීම නිරර්ථකයි, එතෙර වන්න ක්‍රමයක් නැතිනම්, සොයා ගන්නේ නැතිනම්, පාරුවක් සාදන ආකාරය දන්නේ නැතිනම්, සාදාගන්නේ නැතිනම්. එමනිසා මුල්තැන දියයුත්තේ පාරුවක්, ඔරුවක් සාදාගන්න. මෙබඳු වැඩසටහන් වලින් ලැබෙන්නේ පාරුවක් නොවේ, පාරුවක් සාදාගැනීමට අවශ්‍ය කළමනායි. මේ සියල්ල දෙස ඒ ඇසින් බලන්න. අද කුමක්ද මේ පාරුව සාදාගන්න ගන්න තියෙන්නේ, මේ සාදාගෙන යන පාරුවේ, බෝට්ටුවේ අඩුපාඩු තිබෙනවා ද? ඒ අඩුපාඩු වලින් කවර අඩුවක් (හිස් බවක්) අද සම්පූර්ණ කරගන්න පුළුවන් ද? එපමණයි සෙවිය යුත්තේ. දවසින් දවස මේ පාරුව හැදෙන්න අවශ්‍යයයි, එතෙර වීමට ප්‍රමාණවත් තරම දක්වා. එමෙන්ම තමන්ට එතෙරවීමට ප්‍රමාණවත් මට්ටමට බෝට්ටුව සෑදුනවිට එතෙර විය යුතුයි, “මා පමණක් එතෙර වුණාම මදි, පවුලේ අය සිටිනවා, ගමේ අය සිටිනවා, බෞද්ධ පිරිසක් සිටිනවා, තව ලෝක වාසීන් සිටිනවා” කියා සිතමින්, බෝට්ටුව නැවක් වෙනතුරු බලා නොසිට. එසේ බලා සිටීමෙන් ‘නෝවාගේ නැව වගේ’ කාටවත් එතෙර වන්නට නොහැකි වේවි. එසේම තමන්ට එතෙර වීමට තරම් කුඩාවට පාරුවක් (බෝට්ටුවක්) සෑදුවත්, එය සම්පූර්ණ එකක් විය යුතුයි. එසේ නොමැති වීමෙන් (බාගේට, කාලට සෑදිමෙන්) වන්නේ දියබත් වීමයි. ‘හදිසිවීම සහ පමාවීම’ යන අන්ත දෙකට නොයා, කල් යල් බලා පාරුව දියට දැමිය යුතුයි.
දිගටම කියවන්න
සාමාන්‍යයෙන් ඕනෑම දහමක් ඕනෑම ආගමක් සමඟ සම්බන්ධවන ප්‍රාථමිකම, සරලම මාධ්‍ය නම් ‘විශ්වාසය හා භක්තිය’ යි. වැඩි පිරිසක් බැතිමතුන්, අනුගාමිකයන් එකතු වන්නේ භක්තිය හා විශ්වාසය නමැති පාලම හරහා යි. ආගම එහා ඉවුරේද අප මෙහා ඉවුරේද වන අතර ඉවුරු දෙක යා කරනුයේ විශ්වාසය (ඇදහීම හා භක්තිය) නමැති පාලම හරහා යි. මෙය ඕනෑම ආගමකට සාධාරණයි, ඕනෑම අනුගාමිකයෙකුට (ආගමිකයෙකුට) පොදු දෙයක්, ශාස්තෘන් වහන්සේව, උන්වහන්සේ කළ කී දෑ, දේශනා කළ දෑ, යන මේවා විශ්වාස කිරීම. යම් පමණකට විශ්වාසය තිබේද ඒ පමණටම බැතිමතෙකු, භක්තිවන්තයෙකු කියන්න පුළුවන්. භක්තියට, ඇදහීමට, විශ්වාසයට ම මුල්තැන දෙන සමහරවිට එකම තැන දුන් බොහෝ ආගම් තිබෙනවා. නමුත් කුමන ආගමේ වුවත් එය ආගමක් නම්, ඇදහීමක්, විශ්වාසයක් තිබෙනවා. ආගමික බව වැඩිවෙන්න වැඩිවෙන්න, වඩ වඩාත් ආගමික ලක්ෂණ මතුවෙන්න මතුවෙන්න, විශ්වාසයේ හා භක්තියේ අවශ්‍යතා වැඩිවෙනවා, ශාස්තෘන් වහන්සේ යට යනවා. සෑම ආගමකටම සිදුව තිබෙන දෙයක් නම් ශාස්තෘන් වහන්සේ යට යෑම හා ආගමික ලක්ෂණ උඩට මතුවීමයි. මේ කාරණය මෙසේ කීම, භයානක විය හැකි වුවත් මෙයයි ඇත්ත, ආගම ගොඩනැඟෙන්නේ ශාස්තෘන් වහන්සේ වළලමින් ය.
දිගටම කියවන්න
ලෝකයේ සිද්ධීන් ගැන සොයන්නේ නීවරණ, කාමච්ඡන්දය මුල්වුණු නීවරණ. මේ නීවරණ සහිත සිතට, යම් යම් කෙලෙස් නිසා මිනිසුන්ගේ, සමාජයේ, රටේ, ලෝකයේ වුණු සිදුවීම්, කළේ කවුද, ඇයි කළේ, කොහොමද කළේ ආදි යටගිය, අලගිය, මුල්ගිය ඒ සියල්ලම දැනගන්න ඕනෑකම තිබෙනවා, එක කාරණයක් හැර. කුමක් ද ඒ? “කෙලෙස් නිසයි එසේ වුණේ” කියන කාරණය එය දැනගන්න ඒ සිතට කිසිම ඕනෑකමක් නැහැ. ඒ සියලුම සොරකම්, මංකොල්ලකෑම්, අපරාධ, මිනී මැරීම්, දූෂණ වංචා, කුමන්ත්‍රණ, පහරදීම්, අඩන්තේට්ටම් කිරීම්, යම්තාක් තිබෙනවාද ඒ සියල්ලම සිදුව තිබෙන්නේ කෙලෙස් නිසා, කුමන හෝ ක්ලේශයක් නිසා. ඒ ක්‍රියාව කළ තැනැත්තා කර්මයකුයි කරගෙන තිබෙන්නේ, පාප කර්ම සිදුකරමින් සසර දික් කරගැනීමක් සිදුව තිබෙන්නේ, දුගතිගාමී විය හැකි දොරටුවක් විවර කරගනු ලැබීමක්. ඕනෑම සිදුවීමක් ගැන මෙහෙම හිතෙන්නේ නැහැ නීවරණ සහිත සිතට. කෙලෙස් නිසයි දේවල් සිදුවන්නේ කියන කාරණය නීවරණ සහිත සිතට අසාත්මිකය. ඒ ගැන කවුරුන් හෝ කිව්වත් තරහා ගන්නවා, රවනවා, තර්ක කරනවා, වාද කරනවා, බැණ ගන්නවා. නමුත් ඇත්ත එය තමා. ඇත්ත දැනගන්න නීවරණ සහිත සිත්වලට අවශ්‍යතාවයක් නැහැ. මේ කාරණය මැනවින් දැනගන්න, ‘නීවරණ සහිත සිතකට සත්‍ය දැනගැනීමේ ඕනෑකමක් නැත.’ නීවරණ සහිත සිතකට අවශ්‍ය වන්නේ ඒ අද්භූත, විශ්මයට පත්වන කථා. එබඳු කතන්දර තමයි සොයන්නේ. එවැනි සිදුවීම් ඕනෑ තරම් තිබෙනවා. නීවරණ සහිත සිත්වලට පෝෂණය සපයන, ඔක්සිජන් සපයන සිදුවීම් වැහි වැහැලා. කවදත් ලෝකයේ එවැනි සිදුවීම් තිබුණත්, අද වැඩියි කියන්න බැරි වුවත්, එදා තමන් අවට සිදුවන සිදුවීම් පමණයි දැනගන්න හැකියාව තිබුණේ. අණ බෙරයකින්, කට කථාවකින්, දැනගන්න පුළුවන් වන්නේ ඒ අවට වූ සිදුවීමක් පමණයි. නමුත් අද ඇසිල්ලකින් ඕනෑම තැනක වන සිදුවීමක් කිසියම් ආකාරයකට (සිදුවන හෝ සිදුවූ ආකාරයට නොවේ) දැනගන්න හැකියාව තිබෙනවා. එම නිසා නීවරණ සහිත සිත්වලට හරියට කෑම තිබෙනවා. ඒ කෑම කන්නේ, එයින් පෝෂණය වන්නේ, නීවරණ. හොඳින් බලන්න අසන අසන දැන්වීමෙන්, කියවන කියවන පත්තරෙන්, ප්‍රවෘත්තියෙන්, ඕපාදූපයෙන්, කටකතාවෙන්, කුමක්ද වැඩෙන්නේ, මොනවාටද පොහොර වැටෙන්නේ කියා. බැලුවොත් වැටහේවී කිසියම් නීවරණයකට (අකුසලයකට) තමයි පෝෂණය ලැබෙන්නේ කියා, අකුසලයක් තමා වැඩී තිබෙන්නේ. අකුසලයක් නොවැඩෙන ආකාරයට හරි අමාරුයි සන්නිවේදනය කරගන්න, ඇහුම්කන්දෙන්න, කියවන්න, බලන්න.
දිගටම කියවන්න
සොඳුරු ජිවිතයක්, සොඳුරු ළමාවියක්, සොඳුරු යොවුන්වියක්, සොඳුරු විවාහ ජීවිතයක්, සොඳුරු දරු-පවුලක්, සොඳුරු විශ්‍රාම ජීවිතයක් යන මේ ආකාරයට ජීවිතයේ සුන්දරත්වය වෙනස් වෙනස් තැන්වලදී කථා කරනවා, අත්දකිනවා. ඒත් තවම ප්‍රසිද්ධියේ කියාත් නැහැ, පෞද්ගලිකව අසන්න ලැබීත් නැහැ “උපන් මොහොතේ සිට යම්තාක් කල් ජීවත් වුණාද, ඒ මුළු කාලයම හරීම සුන්දරයි” කියා කියූ කෙනෙකු. මැරෙණතුරු නොවේ, මැරෙණතුරු සුන්දරයි කියන එක මැරුණායින් පසුව අසන්න තිබෙන කාරණයක්. නමුත් සෑම අත්දැකීමක්ම ලබනවිට එය හරිම සුන්දරයි කියන කෙනෙකු තාම මුණගැසී නැහැ. “ඒ කාලේ හරි සුන්දරයි”, “මේ කාලේ හරි සුන්දරයි” ආදී වශයෙන්, යම් යම් අත්දැකීම්, යම් යම් කාලපරිච්ඡේද, ජීවිතයේ යම් යම් අවධි, වගකීම් තිබුණු කාලයන් ගැන වරහන් ඇතුළේ කථා කරන්න පුළුවන්, කථා කරන අය ඉන්නවා. සාමාන්‍යයෙන් ජීවිතයේ සුන්දරත්වය ගැන සිතෙන්නේ, රැකියාව, ගෙදර, ලෝකය හෝ ඕනෑම දෙයක් සුන්දරයි කියා සිතෙන්නේ එයින් යම්කිසි සතුටක්, ආශ්වාදයක්, වින්දනයක් (සුඛ වින්දනයක්) ලැබෙනවිට. සුඛ වින්දනයක් නොලැබෙන කාල, කටුකයි, සුන්දරයි කියන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවිට, සුඛ වින්දනය නොලබන විට “හරි කටුක කාලයක්”, “ලොකු කට්ටක් කනවා”, “කරුමයක් ගෙවනවා”, “කාලකණ්ණි කාලයක්” කියා (එය විඳින මොහොතේ, වර්තමානයේ) කියනවා. නමුත් පසු කාලයක අර කටුක අත්දැකීම් මතක් කරමින් කියන්න පුළුවන් “ඒ කාලෙත් ලොකු සුන්දරත්වයක් තිබුණා”, “ඒ කට්ට කාපු එකෙත් ලොකු සුන්දරත්වයක් තිබුණා” කියා.
දිගටම කියවන්න
මට මේ හිතවතුන් නොපෙනුණාට, මේ රූපය මේ හිතවතුන්ට පෙනෙනවා. එසේම මෙතන සිටින හිතවතුන් සෑම දෙනාගේම කටහඬ මට නොඇසුණාට, මේ කථාව බාධා මධ්‍යයේ හෝ සෑම දෙනාටම ඇසෙනවා. මෙතන ඇතිවෙන දැන-හඳුනා ගැනීම පෙනෙන රූපයට හෝ ඇසෙන හඬට වඩා නිශ්ශබ්ද, වචනයකට නැඟිය නොහැකි, රූපයකට ගෙනෙන්න නොහැකි හඳුනාගැනීමක්. මේ වැඩසටහන මුළ සිටම කළේ වීඩියෝ කැමරාව ක්‍රියාවිරහිත කර නම්, මේ කියන කෙනාව පෙනෙන්නේ නැහැ, හඬ පමණයි ඇසෙන්නේ. නමුත් කිසියම් හඳුනාගැනීමක් එතන සිදුවෙනවා. එය කතිකයාගේ සිත හඳුනා ගැනීමක් නම් නොවේ. “මෙබඳු කටහඬක් තිබෙනවා නම්, මේ වගේ කෙනෙකු වෙන්න ඕනෑ” කියා සිතා, “මේ කියන දේවල් වලට අනුව නම් අර වගේ කෙනෙකු වෙන්න ඕනේ”, “මේ කියන දේවල් නිසා අරහෙම කෙනෙකු නම් වෙන්න බැහැ”, මෙවැනි තර්‍කයකින් ගොඩනඟන ප්‍රතිරූපයක් නොවේ. ප්‍රතිරූපයක් නැහැ එතන. නමුත් කිසියම් සමීපබවක්, දැන හඳුනාගැනීමක් සිදුවෙනවා. මේ ගමන යන්න කල්‍යාණ මිත්‍ර ඇසුර අවශ්‍යයයි. අපටත්, මේ හිතවතුන්ටත්, හැමදෙනාටමත් අවශ්‍යයයි. කල්‍යාණ මිත්‍රයෙකු හඳුනාගන්නේ කෙසේද? කල්‍යාණ මිත්‍රයෙකු සතු චරිත ලක්ෂණ මොනවාද? මෙය වෙනම කථා කළයුතු දෙයක් වුවත් එය අවශ්‍යම දෙයක් නොවේ.
දිගටම කියවන්න
මෙම වැඩසටහනේදී කථා කරනුයේ කොහොමද දැනගන්නේ (දැනගැනීම) කියන කාරණය මිස, දැනගන්නේ මොනවාද කියන කාරණය නොවෙයි. ඒ නිසයි මෙයට ‘නැණ දසුන’ කියන අනුමාතෘකාව භාවිතා වන්නේ. ජීවිතය පිළිබඳ සාමාන්‍ය දැනුම නම් ජීවිතය, ජීවත් කරවන්නේ බලාපොරොත්තු යන්නයි (මොනම ආකාරයේ ජීවිතයක් වුවත්). එය ළමා ජීවිතයක් ද යොවුන් ජීවිතයක් ද මහළු ජීවිතයක් ද හුදකලා ජීවිතයක් ද සාමුහික ජීවිතයක් ද ගිහි ජීවිතයක්ද පැවිදි ජීවිතයක් ද වෙනසක් නැහැ, ජීවත් කරවන්නේ බලාපොරොත්තු. බලාපොරොත්තු නිසයි ජීවත්වීම වන්නේ. පැවැත්ම සිදුවන්නෙත් ඒ නිසයි. සසර නිර්‍මාණය වන්නෙත් බලාපොරොත්තු මතයි. භව කියන්නෙත් බලාපොරොත්තු වලටයි. බලාපොරොත්තුවල එක්තරා සියුම් ගැඹුරු ස්වභාවයකට.
හිතවතුනි, ජීවිත්වීම හා බලාපොරොත්තු අතර තිබෙන්නේ අන්‍යෝන්‍ය නොබිදිය හැකි සම්බන්ධයක්. බලාපොරොත්තු කෙනෙකුව ජීවත් කරවනවා මෙන්ම ජීවත්වනවිට බලාපොරොත්තු ඇතිකරගන්නවා හා ඇතිකරගන්න බලාපොරොත්තු ඉටුකරගන්න වෑයම් කරනවා. මෙය සාමාන්‍ය දැනුම, විශේෂයෙන් මහා ප්‍රඥාවක්, භාවනාමය විශිෂ්ඨ අවබෝධයක් අවශ්‍ය නැහැ මේ කාරණය තේරුම් ගන්න. මේ සම්බන්ධ ඊළඟ සාමාන්‍ය දැනුම නම් බලාපොරොත්තු ඉටුවනවිට සතුටක් ඇතිවන බව හා ඉටු නොවන විට අසතුටක් ඇතිවෙන බව. එයත් සාමාන්‍ය දැනුමක්වන අතර ගැඹුරු ඥානයක් අවශ්‍ය නැහැ එය වටහාගන්න. නමුත් ඉටුවුණු විට හා කඩවුණු විට එක හා සමානව ඉන්න නම් සාමාන්‍ය දැනුම ප්‍රමාණවත් නැහැ. මේ අවස්ථා දෙකේදීම සිතක් නිශ්චලත්වයේ තබා ගැනීමට සාමාන්‍ය දැනුමට බැහැ. ඒ සඳහා නම් භාවනාව අවශ්‍යයයි. එසේම ඊළඟ සාමාන්‍ය දැනුම නම් බලාපොරොත්තු ඉටුවීමට වැඩියෙන් සිදුවන්නේ කඩවීමයි කියන කාරණය. එයත් සාමාන්‍යයෙන් හැමෝම දන්න කාරණයක්. මේ ආකාරයෙන් බලාපොරොත්තු කඩවූවිට (භංග වුණාම) එය දරාගන්න පහසු නැහැ, එයට සාමාන්‍ය දැනුම ප්‍රමාණවත් නැහැ. එමෙන්ම බලාපොරොත්තු ඉටුවීමට වඩා කඩවීම් නම් සිදුවන්නේ ජීවිතය දරාගන්න බැරිවෙන අවස්ථා වැඩියි. එයත් තර්‍කයට, ගණිතයට පැහැදිලිවන කාරණයක්. තර්‍කානූකූලවත් පැහැදිලියි, ගණිතානූකූලවත් පැහැදිලියි.
දිගටම කියවන්න
එක කාරණයක් පිළිබඳව අපට තිබෙනවා හැඟීමක්. කුමක්ද ඒ ? මේ “නිමාවන ගමනකුයි ආරම්භ කර තිබෙන්නේ” කියන කාරණය. කවදා, කොතැනකදි, කොයි ආකාරයට අවසාන වෙයි ද කියා නොදන්නවා වුවත්, මේ අවසන් කළ හැකි ගමනකටයි මුලපුරා තිබෙන්නේ. පාරත් ඉවර වෙනවා, ගමනත් ඉවර වෙනවා, පටන්ගත් කෙනාත් නිරෝධයට පත්වෙනවා. මේ ගමන පටන් ගත්තේ විසඳීමක් සොයාගෙන නම් විසඳීම ලැබෙනවා. ඒ කාරණය පිළිබඳව නම් අනුමානයක් නොව කිසියම් ස්ථිර හැඟීමක් සෑම දෙනාටම තිබෙනවා. කවදා කොතනකදි මෙය වෙයිද කියන කාරණය නොවේ වැදගත් වන්නේ. එය වැදගත් වන්නේ සාහිත්‍යයට, ඉතිහාසය ලියන අයට, අනාගතය ලියන අයට මිස භාවනා කරන කෙනෙකුට එය වැදගත් නැති වුවත් මෙය කළ හැකි දෙයක් කියන විශ්වාසය වැදගත්. ‘මෙය කළ හැකි දෙයක්’ කියන්න, පෞද්ගලික මට්ටමෙනුත් සෑමදෙනාටම යම් යම් අත්දැකීම් තිබෙනවා. මේ ගමන පටන් ගන්න කලින් සිටිය කෙනා නොවේ දැන් සිටින්නේ, භාවනා කළත් නොකළත් කොහොමත් වෙනස් වෙනවා. නමුත් ඒ වෙනස්වීම් කොයි අතට වෙයිද කියන්න බැහැ. භාවනාව කෙනෙකු වෙනස් කරන්නේ ආධ්‍යාත්මික නිරෝගී පැත්තට. නිරෝගී වන බව දැනෙනවා නම්, රෝග ලක්ෂණ අඩුවන බව දැනෙනවා නම්, එයයි හොඳම සාක්ෂිය. “කවදා සියයට සියයක් සනීප වෙයිද, කොතැනදී සනීප වෙයිද, ඒ සනීප වෙන්න කළින් අන්තිමටම ගන්න පෙත්ත කුමක් වෙයිද?” ඒවා නම් සිතන්න අවශ්‍යෙ නැහැ. වැදගත් වන්නේ මේ විශ්වාසයයි. විශ්වාසය අපව නැවත නැවතත් මාර්ගයට කැඳවාගෙන එනවා. එය අන්ධ විශ්වාසයක් නොවිය යුතුයි. පොත් පත්වලින් කියවෙන කාරණයක් නොව, අපගේම අත්දැකීම් මත පදනම් වන බුද්ධිමත් විශ්වාසයක්. “ආරම්භ කළ කෙනාද දැන් ඉන්නේ?” එය බලන්න අවශ්‍යයයි. අනිවාර්යයෙන් බැලිය යුතු දෙයක්. ඊයේ සිටි කෙනාද අද සිටින්නේ? කායිකවත් වෙනස්. ඊයේ ඡායාරූපයක් අරගෙන, අදත් ඡායාරූපයක් අරගෙන බැලුවොත් ලොකු වෙනස්කම් තියෙයි. ඒ වෙනස්කම්වලට එපිටින් සිදුවන වෙනස්කම් සන්සන්දනාත්මකව බලන්න අවශ්‍යයයි. තමන් සමඟම සසඳන්න.
දිගටම කියවන්න
ජීවිත සිදුවීම්වලදී ජීවිතය හඬනවා, විටක වැලපෙනවා, විටක සුසුම් හෙළනවා, පසුතැවෙනවා, සිහින දකිනවා, උද්දාමයට පත්වෙනවා සහ තවත් විවිධ අත්දැකීම් වලට මුහුණ දෙනවා. මේ සෑම අත්දැකීමකදීම ජීවිතයට සිදුවන දෙය, සිදුවීම නොව ජීවිතයට කුමක්ද වන්නේ කියන කාරණය, “ජීවිතයට හානිවුණා, ජීවිතය අනතුරකට වැටුණා, පණට මොකද වෙන්නේ” කියා කියන්නේ පණ ගැනයි. ජීවිතය යනු පණ නොවේ. සිදුවීම්වලදී සිතට කුමක්ද වන්නේ කියන කාරණයයි සාක්ෂිය වන්නේ. සිදුවීමෙන් සිදුවීමට ඒ සිත සාක්ෂි දරනවා. ඒ සාක්ෂිය ඉතාම වැදගත් වන නිසා ඒ සෑම සාක්ෂියකටම ඇහුම්කන් දීම අවශ්‍යයයි. අප වර්තමානයේ සිටින තැන පිළිබඳව හෙළිදරව් කරන්නේ වෙන කවුරුවත් නොව වර්තමාන සාක්ෂියයි. එසේ නොමැතිව නැකැත් බලන, පේන කියන, ආරූඪවෙන තැන් මෙන්ම පොත්-පත් හා දේශනා වැනි වෙනත් ස්ථානවලින් දැනගැනීමට (සාක්ෂි ලබාගැනීමට) යෑම නොමඟයන සුළුයි. එම නිසා ජීවිතයට ඇහුම්කන් දෙන්න, සිදුවීම්වලට සවන් දෙන්න.
සෑම සිදුවීමක්ම අපට කිසියම් පණිවුඩක් ලබාදෙනවා. ලෝකයේ සිදුවන සිදුවීම් අපේ ඇඟේ වැදුනාම අපේ සිතට කුමක්ද වන්නේ? සිතට යමක් වෙනවා. නොවී තියෙන්නේ නැහැ. පොල් ගහකින් ගෙඩියක් පොළොවට වැටුණාම බොහෝවිට එතැනම තියෙන්නේ නැහැ, පෙරළිලා යනවා. වැටීම, පෙරළිලා යෑම, දැන් තිබෙන ස්ථානය කියා, ඒ පෙනෙන්නේ පොල් ගෙඩියට සිදුවන දෙයයි. බොහෝවිට පෙනෙන්නේ එය වුවත් බැලීමට අවශ්‍යයයි පොල් ගෙඩිය වැදුණ පොළොවට කුමක්ද වන්නේ කියා, එයයි මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණය. සිදුවීම නොව සිතට වන්නේ කුමක් ද කියායි බැලීමට අවශ්‍ය. එවැනි ගෙඩියක් වැටෙන තැනක් බැලුවොත් පෙනෙයි, පොළොව ගෙඩියේ හැඩයට තැලිලා, පුපුරලා තිබෙනවා. ගඩොල්, වීදුරු වැනි තැනකට වැටුණොත් කැඩිලා, කුඩුවෙලා තියෙන්න පුලුවන්. කුඩා දිය පාරක ඉවුරකට වැනි තැනකට වැටුණොත් එය කැඩී දිය පාරේ ගමන් මාර්ගය වෙනස් වන්නත් පුලුවන්. මේ ආකාරයට බොහෝ දේ වෙන්න පුලුවන්. පසුගිය සතියේ කථා කළා වතුර බින්දුවක් වැටෙනවිට වතුර බින්දුවට කුමක්ද වන්නේ කියා. මෙහිදි කථා කරනුයේ වැටෙන තැනට කුමක්ද වන්නේ කියායි. එසේ සෑම සිදුවීමක් දෙසම බැලුවිට සිතට යමක් සිදුවෙන බව පෙනෙනවා. එසේ සිදුවන දෙයයි (තැලෙන, පුපුරණ, කැඩෙන, කුඩුවෙන), වර්තමානය පිළිබඳ සාක්ෂිය වන්නේ. සිදුවීමකදී අප කුඩු පට්ටම් වෙලා යන අවස්ථා තිබෙන්න පුලුවන්. තැලී, පිපිරී යන අවස්ථා මෙන්ම එරුණු අවස්ථාත් තිබෙන්න පුලුවන්.
දිගටම කියවන්න
බොහෝ හමුවීම් අද දවසේ සිදුවන්න ඇති, දන්නා කියන ඇත්තන් නැවත මුණගැසෙන්න ඇති, ඥාතීන්, එක්ව හරි-හම්බ කරන පිරිස් සහ ආගන්තුකයන් මුණගැසෙන්න ඇති. ඒ හමුවීම්වලදී බොහෝ තොරතුරු හුවමාරු වෙන්න ඇති. බොහෝ හැඟීම් ඇතිවෙන්නත් ඇති. එමෙන්ම භෞතික ගනුදෙණුත් සිදුවෙන්න ඇති. මුදල් අතමාරු වෙන්න ඇති, පොත-පත සහ වෙනත් දෑ හුවමාරු වෙන්න ඇති. හැම හමුවීමකම යම්කිසි ප්‍රතිලාභයක්, ප්‍රතිඵලයක් තිබුණා. මානසික ප්‍රතිඵලයක්, හැඟීම්මය ප්‍රතිඵලයක්, එසේත් නැතිනම් භෞතික ප්‍රතිලාභයක් තිබුණා. අඩුම තරමින් තිබුණු හිතවත්කම්, ඥාතීත්වයන් තව තහවුරු වෙන්න ඇති. නොතිබුණු හිතවත්කම් උපදින්නත් ඇති. එමෙන්ම මෙතෙක් හඳුනාගෙන නොතිබුණු සමහර අයගේ සමහර ගති (පැති) හඳුනාගන්නත් ඉඩ තිබුණා. එම නිසා හමුවීම් වැදගත්, එය අවශ්‍යයයි. ඒ මුණගැසීම් සියල්ල අතර බදාදා රාත්‍රියේ සදහම් සැඳෑවේ දී වන මුණගැසීම වෙනස් හා වෙනස් විය යුතුයි. තවම පෙනුණේ නැතිනම් ඒ වෙනස, අදවත් හඳුනාගතයුතු වනවා. මේ තවත් එක් හමුවීමක්, තවත් එක් මුණගැසීමක් ම පමණක් නොවේ. තොරතුරු හුවමාරු කරගැනීමක්, නොදන්නා කරුණු කාරණා දැනගැනීමක්, නොහඳුනන අය හඳුනාගැනීමක් නොවේ. එය කිසිසේත්ම මෙයට අදාළ නැහැ. නමුත් මෙතන හිතවත්කම, දයාව, මිත්‍රත්වය, විශ්වාසය තිබෙනවා. වැඩසටහනින් වැඩසටහනට, සතියෙන් සතියට සමහරවිට ඒ හෘදයාංගම හැඟීම් තීව්‍ර වෙන්න, ගැඹුරු වෙන්න පුලුවනි. නමුත් ඒ සඳහා ම නොවේ මේ වෙහෙසෙන්නේ, සෑම දෙනාම මේ කැප කිරීම් කරන්නේ. එයට ලඝු කරන්න, සීමා කරන්න බැහැ. මන්ද එවැනි අවශ්‍යතාවයක් කිසිවෙකුට නැති නිසා. ඒ සඳහා ඕනෑතරම් හමුවීම් තිබෙනවා.
දිගටම කියවන්න
ජීවිතය යනු සිතීම අනුව පියවරෙන් පියවරට ගොඩනැඟෙන, දික්ගැසෙන දෙයක්. සිතීමට අනුවයි ජීවිතය සකස් වෙන්නේ. ජීවිතය අනුව සිතන ආකාරය වෙනස් වන්නේ නැහැ, සිතන ආකාරය අනුවයි ජීවත් වෙන්න ලැබෙන්නේ. එතැනදී බොහෝ දෙනෙකුට ගැටලුවක් ඇතිවෙන්න පුළුවන් “අප කැමති සතුටින් ඉන්න, අප සිතන්නේ සතුටින් ඉන්න, නමුත් එසේ ඉන්න ලැබෙන්නේ නැහැ. අප සිතනවා ආදරයෙන් ඉන්න, නමුත් සෑම දිනම අඬදබර. අප සිතනවා සුඛෝපභෝගීව ඉන්න, නමුත් හැමදාම ආර්ථික පීඩා”කියා. මෙසේ දිර්ඝ ලැයිස්තුවක් සකස්කරන්න පුළුවන්, ජීවත් වෙන්න සිතන ආකාරය සහ ඇත්තටම ජීවත් වෙන ආකාරය මොනතරම් පරස්පරද කියා. එතැනදි කෙනෙකුට අභියෝග කරන්නත් පුළුවනි “කෙසේද කියන්නේ, සිතන විදිහටයි ජීවත් වෙන්නේ කියා. එහෙම වෙන්න බැහැනේ, අප සිතනවා සතුටින් ඉන්න නමුත් සිටින්නේ අසතුටෙන්. කොහොමද එහෙම වෙන්නේ? දිව්‍ය ලෝකයක් විය යුතුයි අපායක් නොවී”. ඇත්ත හිතවතුනි, දිව්‍යමය සිතුවිලි තිබෙනවා නම්, දිව්‍ය ලෝකයක්. එය සම්පූර්ණ ඇත්ත. “දිව්‍ය සැප විඳින්න ඕනේ” කියා සිතුවාට බැහැ. දිව්‍යමය සැප විඳින්න නම්, දිව්‍යමය සිතුවිලි තිබෙන්නට අවශ්‍යයයි. සිතුවිලි දිව්‍යමය නොවී දෙව් සැප, දිව්‍යමය සම්පත්, ස්වර්ග සම්පත්ති ගැන සිතුවාට, ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. වරද ඇත්තේ එතනයි. සිතනවා, ඒ ප්‍රතිඵල ලැබෙන්න කියා, මල් පිපෙන්න කියා සිතනවා, නමුත් පැළයක් සිටුවන්නේ නැතිව, සිටෙව්වත් ඒ ගැන සැලකිල්ලකින් තොරව. ප්‍රාර්ථනයකට බැහැ පියුමක් විකසිත කරන්නට, එයට අවශ්‍ය ක්‍රියාවන් නොකර. දිව්‍යමය සිතුවිලි ඇතිකර ගන්න පුළුවන්නම් දිව්‍යමය සුවයක් විඳින්න පුළුවන්. ඊට එහා සිතුවිලි ඇති කරගන්න පුළුවන් නම්, ඊට එහා තිබෙන සැප නිදහස අත්දකින්න පුළුවන්.
දිගටම කියවන්න
බොහෝ දෙනෙකු ජීවන ගමන කියා කියන්නේ මිනී පෙට්ටියකින් සුසාන භූමිය දක්වා යන ගමනටයි. එය එක ගමනක් වුවත් එය අපේ අතේ තිබෙන ගමනක් නොවේ, ඔහේ වෙනවා. කාලය නිසා (පෘථිවිය තමන් වටේ කැරකෙන ගමන් සූර්යයා වටා කැරකීම නිසා, සූර්යයා තවත් කේන්ද්‍රයක් වටා කැරකීම නිසා) ශරීරය වයසට යනවා, එමෙන් ම මැරෙණවා. එය අපේ ගමනක් නොවේ. අපේ නොවන ගමනකටයි අපේ ගමනක් කියා සිතාගෙන සිටින්නේ. එය අපේ කරගන්න ගියාම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉපදීම, තරුණවීම, වියපත්වීම, රෝගීවීම, මරණයට පත්වීම ආදි ලෙසින් යන ගමන අපට අයිති ගමනක් නොවේ. මේවා අයිතිකර කරගන්න ගියාමයි ගැටලු, ජරමර පටන් ගන්නේ. සියලුම ජරමර පටන් ගන්නේ අපට අයිති නැති සිදුවීම් අයිති කරගන්න ගියාමයි. ඒවා අපේ කියා සිතාගෙන ඒවායින් පලායන්න උත්සාහ කරනවිට සහ ඒවා වෙතට දිවයන්න උත්සාහ කරනවිටයි සියලු “ජරමර” ආරම්භ වන්නේ. එසේ නොවී සිටියා නම් කිසිදු ජරමරයක් නැහැ. රෝගීවීම, වයසටයෑම, මියයෑම සිදුවෙයි, නමුත් එය ජරමරයක් බවට පත් වන එකක් නැහැ. එසේ වුවත් සාමාන්‍යයෙන් වන්නේ සිදුවීමක් වූ විට එයින් පලායාම හෝ එය වීමට පෙර සිදුවීම වෙතට දිව යෑමයි. සිදුවීමෙන් ඈත්වෙන්න ඉවතට දිව යනවා, පලා යනවා. නැතිනම් සිදුවීම් වෙතට දිව යනවා. වයසට යෑමට කලින් වයසට යෑම වෙතට දිව යනවා. කයින් වයසට යාමට වඩා මනසින් වයසට යාම දැන් බහුලයි. වයසට ගියත් නැතත් සිතෙන් මහලු වූ අය බොහොමයි. මරණයත් එසේමයි, මරණය ගැන සිතමින් සිටිනවා (මරණානුස්සති භාවනාව නොවේ). “මැරෙයිද, මැරෙන්න බැහැනේ, අනේ මැරෙන්නේ නැහැනේ” කියා සිතමින් සිටිනවා, ඒ වෙතට දිව යනවා. මේ ආකාරයෙන් සිදුවීම් තුළට දිව යෑම සහ සිදුවීමෙන් ඉවතට දිව යෑම එකම කාසියක දෙපැත්තක් වගෙයි. එසේ අවශ්‍ය නැහැ. එය වෙනම කාරණයක්.
දිගටම කියවන්න
අප සොයා බලමින් පැමිණියේ, අනාවරණය කරගන්න උත්සාහ කළේ, මේ තණ්හාවත් සමඟ කෙසේද ක්‍රියා කළ යුත්තේ කියායි. සමස්ත දහමේ ම මුඛ්‍ය පරමාර්ථය එයයි, වෙන ඉලක්ක නැහැ දහමට. තණ්හාව දැකීම, තණ්හාව ක්ෂය කිරීම, තණ්හාවෙන් නිදහස් වීම. ඒ සඳහායි මේ මාර්ගය තිබෙන්නේ. අනුපූර්ව ප්‍රතිපදාවේ, මජ්ඬිම ප්‍රතිපදාවේ යන අතර ඒ සඳහාත් උපකාර වෙන සමහරවිට ක්ෂණිකව ම භාවිතයට ගත හැකි, ගතයුතු කිසියම් ආධ්‍යාත්මික මාර්ගෝපකරණ කිහිපයක් ගැනයි මේ බුද දින රාත්‍රියේ සදහම් සැඳෑවේදි කථා කළේ. මුලින්ම කථා කළේ සිහිබුද්ධිය ගැනයි. දැන් කථා කරනුයේ ඥාන දර්ශනය ගැන. ඥාන දර්ශනය ඇති කරගැනීම හා එයින් කෙසේද ප්‍රයෝජනය ගන්නේ කියන කාරණය පිළිබඳව විවිධ අංශවලින් සාකච්ඡා කරමින් පැමිණියා. තණ්හාව ක්ෂය කිරීම භාවනාවක්. එමෙන්ම පසුගිය සතියේ කථා කළ කාරණා පිළිබඳව ගෙවුණු දින හතේදි භාවනා කරන්න, පුහුණු වෙන්න, අත්හදා බලන්න, උත්සාහ කරන්න ඇතියි කියා විශ්වාස කරනවා.
තණ්හාව වෙනම මාතෘකාවක් ලෙසින් ගතයුතු නැතත් ඇයි එය ගත්තේ? තණ්හාව ප්‍රශ්නයක් බව දහමේ පමණක් නොවෙයි, කොයි ආගමෙත් සදහන් වෙලා තිබෙනවා. අත්හරින්න, දන් දෙන්න කියා තණ්හාව ගැන කථා කරනවා. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් කියන්න දේවල් නැතැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. තණ්හාව කියන්නේ යම් යම් දේ කෙරෙහි ඇති ආශාවට පමණක් නොවේ. මතුපිටින් පේන්න තියෙන ඉන්ද්‍රියයන් සමඟ පොළඹවන ඒ ආශාවට පමණක් නොවේ තණ්හාව කියන්නේ. සමහරවිට දෙයක් බෙදාගන්න පොරකනවා, රණ්ඩුවෙනවා, නඩු කියනවා. අපට පෙනෙන්නේ තණ්හාව ඒ විදිහට. තණ්හාව එයට වඩා බොහොම සියුම්, බොහොම බලවත්. මේ විශ්වයේ තිබෙන, සංසාරයේ තිබෙන ප්‍රබලම බලවේගය තණ්හාවයි. ඒ බලවේගයේ ප්‍රබලත්වය අප තාම දැක නැහැ. අප සිතනවාට වැඩිය ප්‍රබල බලවේගයක්. එය පුංචි සිතිවිල්ලක තිබෙන ආසාවකට එහා ගිය දෙයක්. එම නිසා තණ්හාව හඳුනා ගතයුතුයි. ඥාන දර්ශනයෙන් කරනු ලබන එක් දෙයක් නම් තණ්හාව හඳුනාගැනීම. යම් පමණකට දැක්කාද ඒ පමණටයි කළකිරීම ඇතිවන්නේ. ඒ නිසායි වැඩසටහනට පාඨයක් දමා තිබුණේ “ඇති සැටිය දුටුයේ කළකිරෙයි, කළකිරුණුයේ නොඇලෙයි, නොඇලුනේ මිදෙයි, මිදුනුයේ මිදුනුබව නුවණින් දනී” කියා.
දිගටම කියවන්න
ගෞරවනීය සංඝ රත්නයෙන් අවසරයි. ආදරණීය හිතවතුනි, අද බුද දින සදහම් සැඳෑවට එකතුවී සිටින්නේ සසර ගැටලුව තේරුම් ගන්නත්, විසඳා ගන්නත් ඕනෑකමින්. එයයි ඔබ අප සෑම දෙනාටම තිබෙන ප්‍රමුඛතම අවශ්‍යතාවය. ඒ අරමුණ තිබෙන කල්‍යාණ මිත්‍රයන්, එමෙන්ම ඒ අරමුණ ඇතිකරගත් කල්‍යාණ මිත්‍රයන් සමග එකතුවී, සාමූහිකව කරන අනාවරණයක් (හෙළිදරව් කරගැනීමක්, ගවේෂණයක්, අවබෝධ කරගැනීමක්) මේ සිද්ධ වෙන්නේ. පසුගිය සති තුනේ ම අපේ මාතෘකාව වූයේ, ‘කෙසේද තණ්හාව සමඟ කටයුතු කරන්නේ’ කියායි. ඒ ගැන දහම දන්නා සෑම අයෙකුම විවිධ උපදෙස් (උපක්‍රම, කමටහන්) දහමින් අරගෙන තිබෙනවා. මුළු දහම ම කථා කරන එකම මාතෘකාව නම් ‘තණ්හාව ක්ෂය කිරීම’ යි. එයින් පිට කිසිම මාතෘකාවක් දහමේ මුලත් නැහැ, මැදත් නැහැ, අගත් නැහැ. ඒ සඳහායි තණ්හාව ක්ෂය කරන මාර්ගය තිබෙන්නේ. තණ්හාව තියාගන්න, වැඩි කරන මාර්ගය නොවෙයි, තණ්හාව අඩු කරන, නැති කරන මාර්ගය. විවිධ නම් වලින් ඒ මාර්ගය හඳුන්වනවා. මොන නමින් හැඳින්වුවත් පටන් ගත්ත තැන තිබුණ තණ්හාව නොවෙයි ඉදිරියට ගෙනයන්නේ. අඩියෙන් අඩිය තණ්හාව හලමිනුයි ඉදිරියට යන්නේ. දුක නොව, ප්‍රශ්න නොව අත්හරින්නේ තණ්හාවයි. නමුත් තණ්හාවමයි අල්ලාගෙන සිටින්නේ.
මෙයයි ලස්සනම කාරණය. නමුත් බලමින් සතුටු වියයුතු කාරණයක් නොව බලමින් සංවේගය ඇති කරගත යුතු කාරණයක්. එය නම් ‘ලෝකය ම අල්ලාගනුයේ තණ්හාව නිසා’ යන්නයි. යම්තාක් දේ අතින්, සිතින් අල්ලාගෙන තිබෙනවාද, ඒ සියල්ල ම අල්ලාගෙන (බදාගෙන) තිබෙන්නේ තණ්හාව නිසයි. මෙය සරල කාරණයක්, හැමෝටම පෙනෙන කාරණයක්. ඒ බව දැනගන්න ලොකු ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. ‘ලෝකයම අල්ලාගෙන සිටින්නේ (හිස මත තබාගෙන සිටින්නේ) ඒ ගැන ආශාවක් තිබෙන නිසා’ යැයි දැනගන්න අමුතුවෙන් භාවනා කරන්න අවශ්‍ය නැහැ. ‘කෑමක්-බීමක්, පොතක්-පතක්, රටක්, ජාතියක්, ආගමක්, අදහසක් අල්ලාගෙන සිටින්නේ තණ්හාව නිසයි’, ‘සෑම දෙයක්ම අල්ලාගෙන සිටින්නේ තණ්හාව නිසයි’ කියන කාරණය දැනගැනීම ඥාන දර්ශනය නොවේ. මෙතන සොයා ගන්න (ලේසියෙන් දකින්න) අමාරු කාරණයක් තිබෙනවා. එම කාරණයයි දකින්න අවශ්‍යය. එය දැකීමටත් ඥාන දර්ශනය කියා කියනු ලබනවා. එනම් “තණ්හාව තරම් වෙන කිසිම දෙයක් අල්ලාගෙන නැහැ” කියන කාරණය දැක ගන්නයි ඥාන දර්ශනය අවශ්‍ය වන්නේ.
දිගටම කියවන්න
දයාබර කල්‍යාණ මිත්‍රයිනි, අද දින සදහම් සැඳෑවේ ආධ්‍යාත්මික ගනු-දෙනුවට සැදී පැහැදී සිටින හිතවතුනි, මේ මොහොත කාටත් වැදගත්. මේ මොහොත සෑම දෙනාටම වැදගත් වන්නේ, මේ වැඩසටහන නිසා නොවේ. හැම මොහොතක්ම ඉතාම වටිනවා, නොවටින මොහොතක් නැහැ. “පැයක් දෙකක්, දවසක් මාසයක්, අවුරුද්දක් සමහරවිට ජීවිත කාලය ම කිසිම වටිනාකමක් නැහැ” කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ‘මොහොත’ වටිනවා, මුළු ජීවිත කාලයක් ම නොවටිනා දෙයක් වුවත් මොහොත යනු ඉතාමත් වටිනා දෙයක්.
මොහොත වටිනවා
එම නිසයි මොහොත පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්නේ, ඒ පිළිබඳව වඩාත් අවදිමත්වන්න උත්සාහ කරන්නේ. මේ මොහොතෙයි සියල්ල (එනම් විඳින්න අවශ්‍ය සැප ද දුක ද යන්න) තීරණය වන්නේ. විඳින්න අවශ්‍ය සැප ද දුක ද, යන්නේ අපායට ද සුගතියට ද, සසර දුකට ද? මේ සියලු මංසන්ධි තිබෙන්නේ මේ මොහොතේ. මෙබඳු දෙමංසන්ධි සෑම විටම මුණගැසෙනවා. තීරණයක් ගන්න අවශ්‍යයයි අත්හරිනවා ද අල්ලගන්නවා ද කියා. “හා” කියනවා ද “බැහැ” කියනවා ද, “ඔව්” කියනවා ද “නැහැ” කියනවා ද, නිහඬව ඉන්නවා ද කියන මේ සියලු තීරණ ගන්න තිබෙන්නේ මේ මොහොත පමණයි. මේ මොහොතේ ගත යුත්තේ කුමන තීරණයක්ද කියා කොහොමද තීරණය කරන්නේ ? ගන්න අවශ්‍ය තීරණය ගැන තීරණයක් ගන්නෙ කොහොමද? එවැනි තීරණයක් ගන්න නම් මුලින් ම උපරිම තොරතුරු ප්‍රමාණයක් සොයා ගතයුතු නිසා මේ මොහොතේ සිදුවීම නිරීක්ෂණය කරන්න වෙනවා. නිරීක්ෂණයකින් තොරව එකතු කරන තොරතුරු, ඕපාදූප පමණයි. ඕපාදූප මත ගනු ලබන තීරණ කොපමණ දුරට අපව ඉලක්කයකට රැගෙන යයි ද නොයයි ද කියා තීරණය කරන්න බැහැ. නමුත් නිරීක්ෂණය එයට වඩා ඉතාමත් ම ප්‍රායෝගිකයි. එම නිසා තමන් නිරීක්ෂණය කළ යුතු වෙනවා, එම නිරීක්‍ෂණය සිදුවියයුතු වන්නේ මේ මොහොතේයි. නිරීක්ෂණයක් සිදුවෙනවා නම් සිදුවිය හැක්කේ මේ මොහොතේ පමණයි. එම නිසා මේ මොහොත වැදගත්.
දිගටම කියවන්න
හැම දෙයක්ම මාරු කරගෙන තිබෙනවා. දැනුමයි - ප්‍රඥාවයි මාරු කරගෙන. ප්‍රඥාව පැත්තකට දමා දැනුමින් සෑහීමකට පත්වෙනවා. කල්‍යාණ මිත්‍රයන් - පාප මිත්‍රයන් කියන මේ දෙපිරිසත් මාරු කරගෙන. සුරූපී - විරූපී , ලස්සන - අවලස්සන යන මේවාත් පටලවාගෙන තිබෙන්නේ. ආගම - දහම මාරුවෙලා. සිහිය - සිතුවිලි මාරුවෙලා, සිහියටයි තැන දෙන්න අවශ්‍ය නමුත් තැන ලැබිලා තිබෙන්නේ සිතුවිලි වලට. කුසලයට දිය යුතු තැන වෙනත් දේවල්වලට ලැබී තිබෙනවා. කුසලය මාරු වෙනවා කියන්නේ සියල්ල මාරු වෙනවා. මේ ආකාරයෙන් සෑම දෙයක්ම මාරුවීයි තිබෙන්නේ.
දහම, භාවනාව වැඩක් කරගෙන තිබෙනවා. “භාවනා කරනවා”, “භාවනා කරන වේලාව”, “භාවනා කරන දවස”, “අද බණ අසන දවස” “ධර්ම සාකච්ඡා කරන දවස”, “දන් දෙන දවස” ආදී වශයෙන් මේ සෑම දෙයක්ම job එකක් කරගෙන. ආගමික කියා කියන, ආධ්‍යාත්මික කියා කියන, කරන දේවල් වල ලැයිස්තුවක් හදා බැලුවොත් පේනවා, මේවා අරගෙන තිබෙන්නේ වැඩ විදිහට, බරක් විදිහට බව. එහෙම දෙයක් සිතනවිටත් ඔලුවට බරක් එන්නේ නැද්ද? දානයක්, සිල් ගැනීමක්, භාවනා කිරීමක්, බණ ඇසීමක්, ධර්ම සාකච්ඡාවක්, වැනි දෙයක් තිබෙනවා කියා මතක් වෙනවිට ඔළුවට බරක් එන්නේ නැද්ද බලන්න. සතුටක් කොහොමත් එනවා. බරක් දැනෙනවා කියන්නේ ඒවා වැඩ කරගෙන. මේවා වැඩ නොවේ. ‘වැඩක්’ කරගන්නේ නැතිව, ‘වැඩ ගන්න’ අවශ්‍ය දේවල්. මෙවැනි දෑ වැඩක් බවට පත් නොකරගතයුතුයි. වැඩක් කරගත්විට එහි තිබෙන නිරාමිස සුවඳ, ආධ්‍යාත්මික සුවඳ නැතිවී යනවා. දානය, සීලය, භාවනාව මහා ගාලගෝට්ටියක්, ඔලුවට බරක්, සිත කලබලවීමක්, බයක්, ආතතියක් බවට පත් වී අවසානයේදී පසුතැවීමක් කරගන්නවා.
දිගටම කියවන්න
ජීවිතය යනු, නිශ්චල දෙයක් නොවේ. කළු ගලක් මෙන්, තිබෙන තැනම තිබෙන දෙයක් නොවේ. කළු ගලක් වුවත් නිශ්චල නැහැ. තිබූ තැන තිබුණත් කළු ගලක් ඇතුළේ වුවත් මහා චංචලභාවයක් තිබෙනවා. නමුත් බැලු බැල්මට තිබූ තැනම ඔහේ තිබෙනවා. සීගිරිය එදා තිබුණු තැනමයි අද තිබෙන්නේ. ඉරි තැළිලා, සේදිලා තිබෙන්න පුළුවන් වුවත් එදා තිබුණු තැනමයි අදත් තිබෙන්නේ. නමුත් ජීවිතය එසේ නොවේ. තිබුණු තැනම තියන්න පුළුවන් දෙයක් නොවේ ජීවිතය. එක් තත්පරයකටවත්, කොහේවත් තියන්න පුළුවන් දෙයකට නොවෙයි ජීවිතය කියන්නේ. ජීවිතය යනු ගලාගෙන යෑමක් (වෙනස්වීමක්, පරිණාමයක්, විපරිණාමයක්). පරිවර්තනයක් නොවේ. ජීවිතය යනු කැරකි කැරකි තිබෙන දෙයක්.
එබඳු ජීවිතයක් නිදහසේ ගලාගෙන යන්න අවශ්‍යයයි. ගංගාවක් මෙන් නිදහසේ ගලාගෙන යා යුතුයි. උල්පතේ සිට ගංගාවක් දිගේ කෙනෙකු ගියොත් පෙනෙනවා ඔහේ නිදහසේ ගලාගෙනයන බවක්. මොන බැමි තිබුණත් ඒවා උඩින් හෝ කඩාගෙන හෝ යටින් හෝ ගලාගෙන යනවා මුහුදට ම. “ගලන ගඟකි ජීවිතේ” කියා කිව්වත්, එසේ නිදහසේ ගලාගෙන යන බවක්, නිදහසේ පවතින බවක්, නිදහසේ ඉන්න බවක් දැනෙනවාද? කලාවේදී “ජීවිතය ගලන ගඟකි” කියා කිව්වත්, මුළු ජීවිතයේ ම නොවුනත්, මොහොතකට හරි එසේ දැනුණු අවස්ථාවක් තිබෙනවාද? එක් මොහොතක්, එක් විනාඩියක්, එක් සිදුවීමක්, එක් අත්දැකීමක්, එසේ දැනී තිබේද?
දිගටම කියවන්න
අප අවසාන බදාදා කථා කළේ (භාවනාවට අරමුණ වුණේ) ‘ඇයි තව කෙනෙකු අපට ඕන විදිහට ඉන්නේ නැත්තේ’ කියන කාරණය පිළිබඳව. එහිදී අවධානය යොමුකළේ “අපේම කියන අය ඇයි අපට අවශ්‍ය ආකාරයට ඉන්නේ නැත්තේ” කියායි. අපේ අය ගැනයි එසේ සිතෙන්නේ, අනිත් අය පිළිබඳව අප එසේ සිතන්නේ නැහැ. මේ කාරණය බොහෝවිට අසන්න ලැබෙන දෙයක්. මේ නිසාමයි ලොකුම දුකක් මිනිසුන් විඳින්නේ. මනුෂ්‍යයන් විදින මානසික දුක බැලුවාම, වැඩිපුරම විඳවන්නේ “තමන්ගේ කියා සිතන කෙනෙකු ඇයි තමන්ට අවශ්‍ය ආකාරයට ඉන්නේ නැති නිසා” . අම්මලා තාත්තලා වැඩිපුරම විඳවන්නෙත්, සතුටු වන්නෙත් ඒ කාරණයටමයි. දෙමව්පියන් ලොකුම දුක විඳින්නේ ‘තමන්ගේ දරුවන් ඇයි තමන්ට ඕන විදිහට ඉන්නේ නැත්තේ’ කියායි. තමන්ව සතුටට පත්වන ආකාරයට ඇයි ජීවත් වෙන්නේ නැත්තේ. පවුල් ඇතුළෙත් මේ ප්‍රශ්නය තිබෙනවා. ස්වාමිපුරුෂයා සිතනවා “බිරිඳ තමන්ට ඕන විදිහට ඉන්න ඕනේ, මගේ බිරිඳ” කියා. බිරිඳ සිතනවා “මගේ ස්වාමිපුරුෂයා, මට ඕනේ විදිහට ඉන්න ඕනේ” කියා. යාළුවන් ගැනත් එය එසේමයි. ඕනෑම ගනුදෙනුවකදී මේ කාරණය තිබෙනවා. නමුත් මගේ නොවන කෙනෙකු ගැන එසේ බලාපොරොත්තුවක් නැහැ. කොහෙන් හරි මගේ කියන හැඟීම තිබෙන කෙනෙකු ගැනමයි බලාපොරොත්තුවක් තිබෙන්නේ “මගේනම් මට අවශ්‍ය ආකාරයට සිටිය යුතුයි” කියා. “මගේ සේවකයෙක්, මා ආදරය කරන කෙනෙක්, මමයි සලකන්නේ, කන්න දෙන්නේ මා, උගන්වන්නේ මා, ඒ නිසා මට ඕන විදිහට ඉන්න ඕනේ”. බලන්න මේ හැමතැනකම මේ අංශ දෙක මොනතරම් බද්ධ වී තිබේද කියා. මගේ නිසා, මා යමක් කරනවා, මා කන්න දෙනවා, අඳින්න දෙනවා, උගන්වනවා, බලාගන්නවා, හදනවා, වඩනවා, ආදරය කරනවා, ඒ නිසා මට අවශ්‍ය ආකාරයට ඉන්න අවශ්‍යයයි. මේ එක්කෙනක්ම ද කියාත් සිතිය යුතුයි. උදව් කරන කෙනාම ද මෙසේ බලාපොරොත්තු වන්නේ, නැතිනම් ඇතුළේ දෙතුන් දෙනෙකු සිටිනවා ද? එය වෙනම කාරණයක්. එය අද කථාකරන්න අවශ්‍ය නැහැ.
දිගටම කියවන්න
හිතවතුනි, වටහාගැනීම, අවබෝධය, තේරුම් ගැනීම, ප්‍රත්‍යක්ෂ කරගැනීම, අත්දැකීම, මේ සියල්ලම මුල්වෙනවා අපට උගුලෙන් ගැලවෙන්න, සාංසාරික උගුලෙන් මිදෙන්න. සසර යනු ලස්සන උගුලක්, භයානක උගුලක්. ලස්සනයි, රසවත්, සුන්දරයි, විචිත්‍රයි නමුත් උගුලක්. ලස්සන නිසා බැඳෙනවා. රසවත් නිසා විඳිනවා. විචිත්‍ර නිසා සැරිසරනවා. සුන්දර නිසා අන්ධවෙනවා. සෞන්දර්යයෙන් අන්ධ වුණු, විචිත්‍රත්වයෙන් මංමුලා වුණු, රසයට ගිජු වුණු, ලස්සනට වශී වුණු කෙනෙකුටයි සත්ත්වයා කියා කියන්නේ. දහමට අනුව සත්ත්වයා කියා කියන්නේ අං තිබෙන, වලිගයක් තිබෙන, නැතිනම් අතපය තිබෙන, ඇවිද යන, පියාඹා යන, බඩගා යන, පීනා යන කෙනෙකුට නොවෙයි. දහමේ සත්ත්වයා කියා කියන්නේ ලස්සනයි කියා වශී වූ, රසවත් කියා ගිජූ වූ, විසිතුරුයි කියා මංමුලා වූ, සුන්දරයි කියා අන්ධ වූ සිතකටයි.
බොහොම ලස්සනට මේ උගුල හදා තිබෙනවා. උගුලක් බව නොපෙනෙන්න, නොදැනෙන්න හදලා තිබෙන නිසාම ඔබ අප සෑම දෙනෙකුම වාගේ මේ උගුලට වැටෙනවා, අසුවෙනවා. දහමේ ම උපමාවක් තිබෙනවා, කුරුලු වැද්දෙකු දැලක් විසි කළාම කුරුලු රංචුවක් මතට, ඒ දැලට හසුනොවී දැලෙන් මිදී බේරී යන්නේ නැහැ වගේ, බොහොම කලාතුරකින් කුරුල්ලෙකුට දෙන්නෙකුට යන්න පුලුවන් වුනත් මුලු රෑනෙම කුරුල්ලන් දැලට කොටුවෙනවා.
හිතවතුනි සසර කියන්නේ දැලක්, උගුලක්. පෙනෙන උගුලක් නොවේ. කිසිම තැනක බැලුවට උගුල් පෙනෙන්නේ නැහැ. මනුෂ්‍යයා විසින් අනිත් අයට ඇටවූ උගුල් පෙනෙනවා මිසක් සොබාවික උගුල් පෙනෙන්නේ නැහැ, තමන්ට ඇටවී තිබෙන උගුල් පෙනෙන්නේ නැහැ.
දිගටම කියවන්න