සදහම් සැඳෑව -2
2022-11-09 නැණ දසුනට තත්පරයක් - 16
සැමදෙනාටම සැහැල්ලු සැනසිලිදායක ශාන්ත සැඳෑවක්, රාත්‍රියක් සමහරවිට දහවලක්, උදෑසනක් !
හිතවතුනි, ‘ජීවන ගමන’ සිතනවාට වැඩිය දිගු ගමනක්. ඒ බව සෑමදෙනාට ම වාගේ මේ වන විට අත්දැකීමෙන් ම ඒත්තු ගැන්වී ඇති. සසර ගමන නොවේ, ජීවන ගමන කියන්නේ (සසර ගමන විශ්වාසයක්). ජීවන ගමන කියන්නේ මැරෙනතුරු යන ගමනටත් නෙවෙයි. ඒ මරණය වෙත, සුසානය වෙත, සොහොන් වෙත යන ගමනත් නොවේ ජීවන ගමන කියන්නේ.
අධ්‍යාපනය ගනිමු, කෙනෙකුට සිතෙන්න පුළුවන් පාසලෙන් පසුව අධ්‍යාපන ගමන ඉවරයි කියා. පාසලෙන් පසුව පාසල් අධ්‍යාපනය නිමා වූවත්, මහන්සිවී ඉගෙන ගන්නා වූ ඒ අධ්‍යාපනය නමැති ගමන ඉවර වන්නේ නැහැ. කිසිකෙනෙකුගේ අධ්‍යාපන ගමන එසේ ඉවර වී නැහැ. “අධ්‍යාපනය යාවජීවයි, යම්තාක්කල් ජීවත් වෙනවා ද, ඒ තාක්කල් ඉගෙනගන්න තිබෙනවා” කියන ඒ අදහස නොවෙයි මේ කියන්නේ. ඉගෙන ගන්න දේවල් තියෙනව ද, නැද්ද කියන කාරණයත් නොවෙයි. මෙහිදී අධ්‍යාපන ගමන කියා කියන්නේ, ඉගෙන ගැනීම සඳහා ඇති උවමනාව නිසා (ආශාව නිසා) යන ගමනක් තිබෙන බවයි. අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් කෑම ජාති හදන්න ඉගෙන ගන්න ආශාවක් තිබෙනවා. මේ විදිහට ඉගෙන ගන්න කාන්තා-පිරිමි කියා වෙනසක් නැහැ. නමුත් කාලයක් තිබුණා ඉවුම්-පිහුම්, කුස්සියේ දේවල් ඉගෙන ගන්න අවශ්‍ය වූයේ කන්තාවන්ට කියා. නමුත් දැන් එහෙම නැහැ. ඕනෑම කෙනෙකු හා කතා කර බැලුවාම, ආහාරයක් හදන හැටි ඉගෙන ගන්න කැමතියි, දැනගන්න කැමතියි. ඒ අනුව උයන්න-පිහන්න උත්සාහ කරන්න කැමතියි, උත්සාහ කරනවා. මේ එක් උදාහරණයක්. මේ විදිහට බලුවාම, ඉගෙන ගන්න තියෙන ආශාව ඉවර වන්නේ නැහැ, අධ්‍යාපන ගමන ඉවර වන්නේ නැහැ, එය සිතුවාට වඩා හරි දිගයි. මෙසේ දිගට ඉගෙන ගන්න වෙයි, ඉගෙන ගන්න ආසාවක් තියෙයි, ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙයි, තරගයක ඉන්නේ කියා සිතා තිබෙනවාද? එය දීර්ඝ ගමනක්.
තරගය අරන් බලන්න, ඉවරයක් නැහැ. කෙනෙකුට සිතෙන්න පුළුවන් අධ්‍යාපනයෙහි තියෙන තරගය විභාගයකින් නිමාවෙයි කියා. එහෙම නැහැ, සාමාන්‍ය පෙළ විභාගයෙන්, උසස් පෙළ විභාගයෙන්, කඩඉම් විභාගවලින් තරගය නිමා වී නැහැ. ඉවුම්-පිහුම් ඉගෙන ගැනීම ම එයට හොඳ උදාහරණයක්. තව කෙනකු ලස්සනට, රසට, ගුණයට උයනවා කියා දැන්ගත් විට, “ඒ විදියට උයන්නේ කොහොම ද, එයට වැඩිය හොඳට උයන්න ඉගෙන ගන්නේ කොහොම ද” කියා තරගයක් ඇති වෙනවා. පාරේ වාහන පදවන විට පමණක් නොවෙයි තරගය තිබෙන්නේ, උයන විටත් තරගය තිබෙනවා. මෙසේ බැලුවාම තරගය ඉවර වී නැහැ. භාවනාවට ආවත්, දහමට ආවත් තරගය තිබෙනවා. “ඒ ක්‍රමය ඉගෙන ගන්න, අර ක්‍රමය ඉගෙන ගන්න, එයාට කොහොමද ඒ අත්දැකීම ලැබුණේ,” ඒවා ඉගෙන ගන්න තරගයක් තිබෙනවා. මේ ආකාරයට අධ්‍යාපන ගමන නිමාවී නැහැ. අධ්‍යාපන ගමන කියන්නේ එක ගමනක්, මේ ආකාරයට යන ගමන් රාශියක් තිබෙනවා.
ජීවන ගමන
බොහෝ දෙනෙකු ජීවන ගමන කියා කියන්නේ මිනී පෙට්ටියකින් සුසාන භූමිය දක්වා යන ගමනටයි. එය එක ගමනක් වුවත් එය අපේ අතේ තිබෙන ගමනක් නොවේ, ඔහේ වෙනවා. කාලය නිසා (පෘථිවිය තමන් වටේ කැරකෙන ගමන් සූර්යයා වටා කැරකීම නිසා, සූර්යයා තවත් කේන්ද්‍රයක් වටා කැරකීම නිසා) ශරීරය වයසට යනවා, එමෙන් ම මැරෙණවා. එය අපේ ගමනක් නොවේ. අපේ නොවන ගමනකටයි අපේ ගමනක් කියා සිතාගෙන සිටින්නේ. එය අපේ කරගන්න ගියාම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉපදීම, තරුණවීම, වියපත්වීම, රෝගීවීම, මරණයට පත්වීම ආදි ලෙසින් යන ගමන අපට අයිති ගමනක් නොවේ. මේවා අයිතිකර කරගන්න ගියාමයි ගැටලු, ජරමර පටන් ගන්නේ. සියලුම ජරමර පටන් ගන්නේ අපට අයිති නැති සිදුවීම් අයිති කරගන්න ගියාමයි. ඒවා අපේ කියා සිතාගෙන ඒවායින් පලායන්න උත්සාහ කරනවිට සහ ඒවා වෙතට දිවයන්න උත්සාහ කරනවිටයි සියලු “ජරමර” ආරම්භ වන්නේ. එසේ නොවී සිටියා නම් කිසිදු ජරමරයක් නැහැ. රෝගීවීම, වයසටයෑම, මියයෑම සිදුවෙයි, නමුත් එය ජරමරයක් බවට පත් වන එකක් නැහැ. එසේ වුවත් සාමාන්‍යයෙන් වන්නේ සිදුවීමක් වූ විට එයින් පලායාම හෝ එය වීමට පෙර සිදුවීම වෙතට දිව යෑමයි. සිදුවීමෙන් ඈත්වෙන්න ඉවතට දිව යනවා, පලා යනවා. නැතිනම් සිදුවීම් වෙතට දිව යනවා. වයසට යෑමට කලින් වයසට යෑම වෙතට දිව යනවා. කයින් වයසට යාමට වඩා මනසින් වයසට යාම දැන් බහුලයි. වයසට ගියත් නැතත් සිතෙන් මහලු වූ අය බොහොමයි. මරණයත් එසේමයි, මරණය ගැන සිතමින් සිටිනවා (මරණානුස්සති භාවනාව නොවේ). “මැරෙයිද, මැරෙන්න බැහැනේ, අනේ මැරෙන්නේ නැහැනේ” කියා සිතමින් සිටිනවා, ඒ වෙතට දිව යනවා. මේ ආකාරයෙන් සිදුවීම් තුළට දිව යෑම සහ සිදුවීමෙන් ඉවතට දිව යෑම එකම කාසියක දෙපැත්තක් වගෙයි. එසේ අවශ්‍ය නැහැ. එය වෙනම කාරණයක්.
කෙසේ හෝ මෙහිදී ‘ජීවන ගමන’ හෝ ‘ගමන’ කියා කියන්නේ, ඔය ගමනට නොවේ. එයයි මෙයින් අවධාරණය කරන්න උත්සාහ කරන කාරණය. තව දැනගතයුතු ගමන් රාශියක් තිබෙනවා. උපතේ සිට මරණය තෙක් අප සිතාමතා ම යන ගමන් රාශියක් තිබෙනවා. නමුත් ඒ ගමන් සියල්ල ම වැසීගොස් තිබෙන්නේ අයිති නැති ගමනක් අයිති කරගන්න යෑමෙන්. ඒ ගැන සිතමින්, ලතවෙමින්, එයට ලක-ලෑස්ති වෙමින්, බැහැ කියමින් සහ හා කියමින් සිටීම නිසා. මේ කාරණය මෙතනින් කියා ඉවර කරමු. ලෙඩවීම, මහළුවීම, මරණය මේ එකක්වත් අපට අයිති නැහැ. ශරීරය ලෙඩවන විට ශරීරය එයින් බේරා ගන්න කරන්න ඇති දේ කරන්න වෙනවා, කරන්න යමක් තිබෙනවා නම් කරන්න පුළුවනි. අකලට මහළුවීමෙන් වළකින්න කළයුතු දේ තිබෙනවා නම් කරන්න පුළුවනි. අකල් මරණවලින් බේරෙන්නත් ක්‍රම තිබෙනවා. එයයි බුද්ධිමත්ව ජීවත්වීම කියා කියන්නේ, එය වෙනම කාරණයක්. මේවා ගැනම සිතමින්, බයවෙමින්, “මොනවා කළත් වයසට යනවා, මොනවා කළත් මැරෙණවා. මැරුණාම සියල්ල ඉවරයි”. කියා සිතමින් ජීවිතය අහිමි කරගෙන තිබෙනවා. එමෙන්ම මේ අනවශ්‍ය අයිති නැතිදේවල් අයිති කරගෙන, එයයි ජීවිතය කියා සිතාගෙන, “ජීවිතය ලෙඩ වෙනවා, ජීවිතය වයසට යනවා, ජීවිතය මැරෙණවා” කියා කියමින් ජීවිතය අහිමි කරගෙන තිබෙනවා. ජීවිතය කියා කියන්නේ ඔය කාරණා දෙක තුනට නොවෙයි, ජීවිතය කියන්නේ එයට වඩා පළල් දෙයක්. මේ විදිහට ඒ පළල් ජීවිතය දකින්නත්, ඇත්තට ම ජීවිතයේ තිබෙන ප්‍රශ්නය තේරුම් ගන්නත් බැහැ. උත්සාහ කරන්නේ නොමැරී ඉන්න, වයසට යන්නේ නැතිව ඉන්න, ලෙඩ නොවී ඉන්න. මේ ජීවිතය ඇතුළේ ඔය ටික කරන්න බැහැ. මේ කියන්නේ සංසාරය ගැන නොවේ, තිබෙන ශරීරය ගැන. මේ ශරීරයට 100% ක් කිසිම ලෙඩක් හැදෙන්න නොදී, ශරීරය මහළු වෙන්නට නොදී තියාගන්න බැහැ. එසේම මැරෙන්නට නොදී තියාගන්නත් බැහැ. එම නිසා අයිති නැති දේ අත්හැර දමන්න. එවිට සිතට ජරමරයක් නැහැ. ඒ ටික ඈත්මෑත් කර බැලූවිටයි ඇත්තම ජීවිතය පෙනෙන්න පටන්ගන්නේ.
ජීවන ගමන කියන කාරණය තේරෙන්න පටන් ගන්නේ එවිටයි. එක ගමනක් නොවේ ගමන් රාශියක් යනබව තේරෙන්නේ අර පටු දෘෂ්ටියෙන් අයින් වූ විටයි. එසේ නොවුණහොත් ජීවන ගමන ලෙස පෙනෙන්නේ වයසට යන, මිය යන ගමනයි. අධ්‍යාපනය කියන්නේ ගමනක්. ඉගෙන ගන්නවා, ඉගෙන ගන්නවා ඉවරයක් නැහැ. විධිමත් ක්‍රමයට, නොවිධිමත් ක්‍රමයට ඉගෙන ගන්නවා, එහි ඉවරයක් නැහැ. ඉගෙන ගැනීමේ පිටුපස මොන තරම් ආශාවක් කුතුහලයක් තිබෙනවාද කියා බලන්න. ඉවුම්-පිහුම් පමණක් නොවේ, අනෙක් ඕනෑම දෙයක් පිළිබඳවත් ඉගෙන ගන්න තිබෙන ආශාව, දැනගන්න තිබෙන ආශාව බලන්න. එය වෙනම ගමනක්. යාවජීව විතරක් නෙවෙයි එයටත් එහා යන ගමනක්. සංසාරය යම්තාක් කල් තිබෙනවා ද ඒ තාක් කල් යන ගමනක්. ඒ ආශාව යම්තාක් කල් තිබෙනවාද ඒ තාක් සංසාරේ ඉන්නවා. සංසාරයේ ඉන්නතාක් ආසාව තිබෙනවා කියා සිතුවොත්, යම් දවසක සංසාරය ඉවර වූ විට ආශාව නැතිවෙයි කියායි සිතෙන්නේ. නැහැ, එය සිදුවන්නේ අනෙක් දිශාවටයි. ආශාව නැති වූ විටයි සංසාරය නැතිවන්නේ, නැතිව සංසාරය නැතිවූ විට ආසාව නැතිවෙනවා නොවේ.
තිබෙන හා නොතිබෙන මාර්ග
මාර්ගයක් තිබෙනවා කියා සිතුවොත්, සංසාරය ස්ථිර දෙයක් ලෙසයි ගණන් ගැනෙන්නේ. “ස්ථිර දෙයක්, තිබෙන දෙයක්” ලෙසයි සිතෙන්නේ. අධිවේගි මාර්ගක් තිබෙනවා, එහි යන වාහනයක් ඔබ සහ මම. මේ ආකාරයෙන් බැලුවොත් වාහනය තිබුණත් නැතත් පාර තිබෙනවා කියායි සිතෙන්නේ. නැහැ, එසේ නොවෙයි යෑමට සංසාරය කියා ස්ථිර පාරක් නැහැ. අප යන නිසායි පාර තිබෙන්නේ. එසේ නොමැතිව පාර තිබෙන නිසා අප යනවා නොවේ. සංසාරයක් තිබෙන නිසා, අප ඉපදෙමින්, මැරෙමින්, නැවත ඉපදෙමින් යනවා නොවේ, එසේ යන නිසායි මේ සංසාරය සෑදෙන්නේ. පාර නිසා ගමන හැදෙනවා නොවේ, ගමන නිසායි පාර හැදෙන්නේ. මෙයයි හැරවුම්ලක්ෂ්‍යය. සාංසාරික පැවැත්මයි නැවැත්මයි අතර තිබෙන හැරවුම්ලක්ෂ්‍යය. එක් පැත්තකින් දහම් මාර්ගය, අනිත් පැත්තෙන් සාංසාර මාර්ගය (සංසාර ගමන). මේ දෙකේ වෙනසක් තිබෙනවා. එනම්, දහම් මඟ කොහොමත් තියෙන දෙයක්, එසේ තිබෙන මඟකයි අප යන්නේ. “ධර්ම මාර්ගයේ ගමන් කරනවා, දහම ප්‍රගුණ කරනවා, භාවනා කරනවා, ආර්ය මාර්ගයේ ගමන් කරනවා” කියා මේ කොයි වචනනයෙන් කීවත් අප යන්නේ එසේ තිබෙන මඟක. ඒ පාර තිබෙන පාරක්, විමුක්ති මාර්ගය අප යන නිසා හැදෙනවා නොවෙයි. අප ගියත් නැතත් විමුක්ති මාර්ගය කොහොමත් තිබෙනවා. වැහිලායි තිබෙන්නේ, එළි-පෙහෙළි කරගෙන යන්නයි තිබෙන්නේ. නමුත් මේ භව ගමන අප යන්නේ පාරක් හදාගෙන. තිබෙන පාරක යනවා නොවෙයි, එසේ යන්න පාරක් නැහැ. ආපු පාරක් තිබෙන නමුත් යන පාර හදාගන්න වෙනවා. සංසාරයේ යන්නේ අප හදාගන්නා පාරක.
මේ දෙකෙන් පහසු සංසාර ගමන ද, එතෙරවන ගමන ද? මේ ආකාරයෙන් බැලුවොත් නම් එතෙර වන ගමන පහසුයි. කරන්න තිබෙන්නේ තිබෙන මාවතක යාමයි. ‘ඒහිපස්සිකෝ’ - මාවත අපට එන්න කියා කියනවා. “ඔබේ විමුක්තිය, ඔබේ එතෙරවීම, ඔබේ නිරෝධය වෙතට, මා මතින් යන්න” කියා, ඒ මාවත අපට කියනවා. මාවතකුත් තිබෙනවා, මාවත අපට එන්න කියාත් අත වනනවා, ඒ මාවතේ ගියොත්, සංසාරයෙන් එතෙර වෙන්නත්, විමුක්තිය, අවබෝධය ලබන්නත්, දුක කෙළවර කරගන්නත් පුළුවනි, නමුත් යන්නේ නැහැ. සංසාරයේ පාරක් නැහැ, “මා මතින් ඔබට අවශ්‍ය තැනට යන්න” කියා අපට එන්න කියන්නෙත් නැහැ. සංසාරය අපට කියනුයේ “ඔබේ පාර හා ඔබේම වල ඔබම කපා ගන්න” කියායි. එම නිසා අප ඉතාමත් මහන්සියෙන්, දැඩි වෙහෛසකිනුයි මේ හැම ගමනක් ම යන්නේ. අධ්‍යාපන ගමන, ආර්ථික ගමන, මේ හැම ගමනක් ම. ආර්ථික ගමනත් ඉවරයක් නැති ගමනක්. කෙනෙකු සිතන්න පුළුවන් “දැන් රැකියාව ඉවරයි, විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ, ඒ ගමන ඉවරයි” කියා. නැහැ එහෙම ඉවර නැහැ. එය එහෙම ඉවරවෙන ගමනක් නොවේ. මේ ආකාරයෙන් ගමන් කීයක් තිබෙනවාද කියන කාරණයත් සොයාගන්න වටින කාරණයක්. බැලුවොත්, ගණන් කරන්න පටන් ගත්තොත්, ගණන් කරන්නට බැරි තරමට ගමන් තිබෙනවා. ඒ තරමට ගමන් තිබෙන අතර ඒ සෑම ගමනක් ම අප යන්නේ ඉතා වෙහෙසකින්. එවන් වූ ගමනකයි ඔබ අප සෑම මොහොතකම යමින් සිටින්නේ, යෙදී සිටින්නේ.
නැති ඉලක්ක
මෙවන් වූ ගමනක යමින් සිතනවා, “තියෙන පාරකයි යන්නේ, ඈතින් තිබෙන ඉලක්ක, පරමාර්ථ, දිනුම් කණු අපට අත වනනවා” කියා. එසේ සිතා දුවන නමුත් සත්‍යය එය නොවෙයි. කොහේවත් දිනුම් කණු නැහැ, තිබෙනවා නම් මෙලහකටත් දිනලා. සංසාරයේ එවන් ජයග්‍රාහකයෙකු සිටිනවාද කියා බලන්න. ඡන්දයකින් හෝ තරගයකින් දිනන්න පුළුවන් වුවත් සාංසාරික ගමනේ යමින් දුක ජයගෙන තිබෙනවාද, එසේ දිනූ කෙනෙකු සිටිනවාද? දුකක් නැති ජය කණුවකට ගිහින් තිබෙනවාද? දුකක් තියෙනවා නම් එය ජයග්‍රහණයක් හෝ ජය කණුවක් වෙන්න බැහැනේ. එහෙම දිනුමක් නැහැ, තිබෙන්නේ තත්පර ගණනයි. ඉහළම රාජ්‍ය සම්මාන, එයටත් එහා අන්තර්ජාතික සම්මාන, මොන ක්ෂේත්‍රයක හරි පළමු තැන ලැබීම යනු මොනතරම් ජයග්‍රහණයක් ද ! එවැනි ඇත්තන් මුණ ගැසී තිබෙනවා, නිල්ලඹට පැමිණ තිබෙනවා. මහා ප්‍රචාරයක් දී තෑගී ලබාදෙනවා, එදාට ඒ තැනැත්තා හරි ජනප්‍රියයි. නමුත් පසුවදා මාධ්‍යයටත් මතක නැහැ, කාටවත් ම මතක නැහැ. ඒ තැනැත්තාගේ ප්‍රශ්න එහෙම ම ඉතිරිවෙලා. ඉතාම ඉහළ තැනක සිට දිනකින් දෙකකින් සිටිය තැනටත් වැඩිය පහළ තැනකටයි වැටෙන්නේ. සම්මානෙත්, ඒත් සමඟ ලැබුණු මුදලත් අතැතිව ඒ ඇත්තන් සිටින්නේ මහත් දුකකින්, දිනූ දිනුමක් නැහැ.
දිනුම් කණුවක් නැහැ සංසාරයේ කිසිම තැනක. කිසිවෙක් අපට අතවනන්නේ නැහැ. “එන්න මා මතින් යන්න” කියා කියන්න සංසාරයේ පාරක් නැහැ. ඇත්තටම සිදුවන දෙය නම් යන කෙනා අඩියෙන් අඩිය පාර කපා ගැනීමයි. කලින් දිනකත් කතා කළ ආකාරයට ඔහේ පාරවල් කපමින් යනවා. අපට තිබෙන ඉලක්ක ඈත තිබෙන ඒවා නොවේ. ඈත සිට අපට එන්න කියන කිසිම ඉලක්කයක් නැහැ. එහෙම ඉලක්කයක් අතන තිබෙනවා කියා කියන්නේ මෙතන සිටින කෙනෙකුයි. එතන සිටින කෙනෙකු අතවනන්නේ නැහැ, මෙතන සිටින කෙනෙකුයි අපව තල්ලුකරන්නේ. ඒ තල්ලු කිරීම නිසා අප ඔහේ විසි වෙනවා. එසේ විසිවීමටයි සංසාර ගමන කියන්නේ. කලින් කියූ ඕනෑම ගමනක් ඒආකාරයටයි සිදුවන්නේ. එසේ නොමැතිව කිසිම පාරක්, මාවතක් නැහැ. එසේම දිනුම් කණුත් නැහැ. ඒ සියල්ල ම තිබෙනවා කියා කවුරු හරි පිටුපසින් සිට කනට කොඳුරා කියා අපව තල්ලු කරනවා. “මෙහෙම එකක් තියෙනවා, අරෙහෙම ඉලක්කයක් තිබෙනවා” කියා, ඒ පැත්තට අපේ ඇස්, ඔළුව හරවා අපව තල්ලු කරනවා. ඒ තල්ලු කිරීමේ වේගයට අඩි කිහිපයක් ඔහේ තල්ලු වෙවී හා විසි වෙවී යනවා. ගිහිල්ලා නැවතුණා ම, නැවතත් ඒ මන්ත්‍රය ම ජපකර, ඒ ඉලක්කය දැන් ටිකක් ලං වුණා කියා නැවතත් තල්ලු කරනවා, විසි කරනවා. මේ ආකාරයටයි මේ ගමන වෙන්නේ. මේ තල්ලු කිරීමටයි තණ්හාව කියන්නේ. යම් පමණකට වේගයෙන් අපව තල්ලු කරන්න තණ්හාවට අප ඉඩදෙනවාද ඒ පමණට අප ඉදිරියට විසි වෙනවා. එපමණට සංසාරය දික්වෙනවා. මෙයයි මේ ගමන සිදුවන ආකාරය, විදිහ. මේ සමීකරණයේ සූත්‍රය මෙයයි.
එසේ නොමැතිව “දීර්ඝ සංසාරයක් තිබෙනවා, එය කියන්න බැහැ කොපමණ දිගද කියා,” නැහැ එහෙම නැහැ. සංසාරය අග ගැන කථාවක් නැහැ. ඔය දිගයි කියා කියන්නේ මුල ගැනයි. ‘අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති’ - මුල් කෙළවර (සංසාරයේ මුල) මෙන්න මෙතනයි, (අන්න අසවල් තැනයි) කියා පෙන්නන්න බැහැ. එය එසේ වුවත්, සංසාරයේ අගට එය අදාළ නැහැ. එහෙම අගත් දිග සංසාරයක් තිබෙනවා නම්, කාටවත් එයින් එතෙර වෙන්නත් බැහැ. අග කෙළවරත් පේන්නේ නැති තරමට සසර දිගනම් සංසාර විමුක්තිය බොරුවක්, මිත්‍යාවක්. නැහැ, එහෙම නොවෙයි මුල ගැනයි කියන්නේ (පුබ්බාකෝටි). හරි කෙළින් පාරක, දීර්ඝ පාරක මුල බැලුවොත් කෙළවරක් පේන්නේ නැහැ. කෙහෙවත් තැනක ආරම්භයක් පේන්නේ නැහැ. නමුත් කිසියම් තැනක නැම්මක්, වංගුවක් තිබෙනවා නම් ආපසු බලනවිට එතන නම් පෙනෙනවා එතැනින් පාර ඉවරයි කියා. එසේ නැමී නැහැ කියායි කියන්නේ (අනමතග්ගෝ). සියළුම තාක්ෂණයන් භාවිතාකර බැලුවත් නොපෙනෙන, නැමුණු තැනක් බලන්න නැති, සංසාරයකුයි තිබෙන්නේ. නමුත් අග පැත්ත (ඉදිරිය) බැලුවොත් එය වෙනස්.
ගමන් සගයා
යම් පමණක තණ්හාවක් අපව තල්ලු කරනවාද, යම් පමණක තණ්හාවකට අප ඉඩ දෙනවාද අපව ඉදිරියට තල්ලු කරන්න, අන්න ඒ පමණට සසර දිගයි. මේ ආකාරයට අග පැත්ත සාපේක්ෂයි. ආ ගමන සාපේක්ෂ නැති නමුත් යන ගමන සාපේක්ෂයි. ඒ නිසායි තණ්හාවට දහම් සාහිත්‍යයේ සහායකයා (ගමන් සගයා) කියා අර්ථ දක්වා තිබෙන්නේ. තණ්හාවයි සාංසාරික ගමනට සිටින ගමන් සගයා. එයා අත්වැල් බැඳගෙන යන්නේ නැහැ, නමුත් පිටුපසින් තල්ලු කරනවා. එයා පෙන්වන ඉලක්කයකට එක් තල්ලුවකින් යන්න බැහැ. ඕනෑම කාරණයක් බලන්න, ආශාවක් ඇතිවී, අවශ්‍යතාවයක් ආකාරයට හඳුනාගෙන, රැවටී, ඒ අවශ්‍යතාවය ඉටුකරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවානේ. නමුත් එපා වෙනවා, උනන්දුව අඩුවෙනවා. බොහොම කලාතුරකිනුයි ඒ ආරම්භක ප්‍රවේගයෙන්, ගත්ත ශක්තියෙන් ඉවරවෙන තුරු යන්නේ. කාලය පිළිබඳව ගැටලුවක් නොවේ. මෙයයි අපට තිබෙන ගැලවීම. කුමක්ද? තණ්හාව තාවකාලිකයි. එයාට තිබෙන බලය තාවකාලිකයි. ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. මෙයයි අනිච්ච සොබාවයේ මූලිකම ලක්ෂණය. මේ ඇතිවීම පැවතීම නැතිවීම අප භාවිතා කරන්නේ, “මලක් පිපෙනවා පරවෙනවා, කෙනෙක් උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා, තරහක් එනවා, තරහා තියෙනවා, නැතිවෙලා යනවා” කියන මෙන්න දළ කාරණාවලට. භෞතික, මානසික හා හැඟීම්, ආවේග වැනි මේවාටයි සම්බන්ධ කරන්නේ.
නමුත් මේ තණ්හාව නැතිනම් පිටුපසින් එන තල්ලුවත්, ඇතිවෙන පවතින නැතිවෙන දෙයක්. ඒ නිසාමයි එපා වෙන්නේ. ඒ නිසායි ඕනෙ නැති වෙන්නේ. ඒ බැව් තණ්හාව දන්නවා. ඒ නිසා පිටුපසින් ම එනවා. කිසියම් තැනක සිට අපව තල්ලුකරන තණ්හාව සිටිය තැන ඉන්නේ නැහැ. අඩියෙන් අඩිය අපත් සමඟම එනවා. ඇවිත් තල්ලුව ඉවර වුණාම, නවතින විට නැවත තල්ලු කරනවා. ඕනෑම ඉලක්කයක් සම්පූර්ණ කරගත්තාම බලන්න, කීවාරයක් උනන්දු කර තිබෙනවාද? ඇතිවෙනවා, ඕනේ නැහැ කියා සිතනවා, එපා වෙනවා, ආයෙත් ඕනෑකම ඇතිවෙනවා, ආයෙත් ටික දුරක් යනවා, මහන්සි වෙනවා, වියදම් කරනවා, නිදිමරනවා. ආයෙත් ටික දවසකින්, පැය කිහිපයකින් එපා වෙනවා. එවිට නැවතත් තල්ලු කරනවා. මේ විදිහට කීවාරයක් තණ්හාව අපව තල්ලු කරනවාද? අන්න සොයාගන්න වටින කාරණයක්. බැලුවොත් පමණයි පෙනෙන්නේ. ඉදිරිය නොවෙයි, පිටුපස බැලුවොත් පෙනෙනවා. මෙයා තමයි තල්ලු කරන්නේ කියා. තල්ලුවක් ලැබෙනවා. ඒ තල්ලුව ලැබෙන්නේ තණ්හාවෙන්. එනමුත්,
“තණ්භාවකියන්නේ මටයි, මේ දුකට හේතුව මමයි, තණ්හාය ජායතී සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විප්ප මුත්තස්ස, නත්ථි සොකෝ කුතෝ භයං” කියා තණ්හාව කියන්නේ නැහැ. “මම තමයි දුකට හේතුව, ශෝකයට හේතුව මමයි, මම නිසායි බිය වන්නේ, මා නැත්නම් ඔබට ශෝකයක් නැත, එසේනම් බිය ගැන කවර කථාවක්ද?” කියා තණ්හාව අපට කියන්නේ නැහැ.
කිසි දෙයක් කියන්නේ නැහැ, වෙනම කතන්දරයක් කියායි අපව අන්දන්නේ. සැප පිළිබඳව, සතුට පිළිබඳව කතාව පමණයි තණ්හාව කියන්නේ, එසේ කියමින් අපව දක්කනවා. එයාට අවශ්‍ය නැහැ අපව දුකට පත් කරවන්න. අපව දුකට පත් කරවන්න, අපව හඬවන්න තණ්හාවට අවශ්‍යතාවයක් නැහැ. නමුත් එයා දන්නේ නැහැ කෙනෙකුව සතුටේ පමණක් රඳවන්න. ඒ රහස, ඒ ශාස්ත්‍රය තණ්හාව දන්නේ නැහැ. එසේ නොමැතිව තණ්හාව කපටිකමක් කරමින්, අපව රැවටීමක් කරන්නේ නැහැ. එයාට අවශ්‍ය අපව සතුටින් තියන්න. ඒ නිසා දෙන්නේ සතුටු ඉලක්ක. නමුත් එයා දන්නේ නැහැ, මේ විදිහට යන ගමනෙන් සතුටේ නවතින්න බැරි බව, ඒ කිසිම ජය කණුවක නවතින්න බැරි බව, තණ්හාව ලබාදෙන තල්ලුවේ ප්‍රතිඵලයක් එය. අපි හිතමු කිසියම් ඉලක්කයකට අප ළඟා වෙනවා කියා, එවිට ඒ තල්ලු කිරීම මෙයා නවත්වන්නේ නැහැ. ඉලක්කයට පැමිණි විට නවතින්න, නිශ්චල වෙන්න, නිරෝධයට පත් වෙන්න එහෙම දෙයක් තණ්හාව දන්නේ නැහැ. තව අඩියක් නම් තියෙන්නේ, අඩි පහක් හයක් තල්ලු කරනවා. ඒ නිසයි කෙනෙකුට කිසිම සතුටක සදාකාලිකව ඉන්නට බැරි. සතුට ලැබෙන්නේ තණ්හාව නිසයි, සතුටේ ඉන්න බැරි වන්නෙත් තණ්හාව නිසයි. ඒ තල්ලුවේ වේගය නිසා සතුට විඳිමින් සතුට හරහා අසතුටට යනවා. අසතුටෙහි නවතින්නෙත් නැහැ. ආයෙ තල්ලු කරනවා තවත් සතුටකට. මේ ගමනටයි සංසාර ගමන කියා කියන්නේ. මේ ගමනේ දී අපව තල්ලු කරන්නේ තණ්හාවයි, තණ්හාව තමා සිටින එකම ගමන් සගයා.
මේ කාරණා හැමෝම දන්න කාරණා, මේ සියල්ල කීවේ, පසුබිම (වේදිකාව) නිර්මාණය කළේ අවශ්‍යයෙන්ම බෙදාගන්නට පණිවුඩයක් තිබෙන නිසයි. ඒ පණිවුඩය බෙදාගන්නට බැහැ, මේ පසුතල හදාගන්නේ නැතිව.
කුමක්ද ඒ, අප පසුගිය සදහම් සැඳෑවේ දී කතා කළා එක්වරම break කිරීමක් ගැන. තියෙන සියලුම තිරිංග එක්වර දැමීමක් පිළිබඳව. Hand break, foot break, electric break, mechanical break, hydraulic break තියෙන හැම තිරිංගයක්ම එක්වර දාන්න. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. එක්වර break පෑගෙනවා කවුරුහරි පාර හරහා පැන්නොත්, පාර ලිස්සා ප්‍රපාතයකට ගියොත්. එහෙම නැතුව පාර හොඳට තියෙද්දි, උපරිම වේගයෙන් යද්දි එක්වර ම සියලු break යොදන්න, එකපාරම නවත්වන්න. ජයග්‍රහණයක් කරන්න පුලුවන්කම තිබියදී, මිලදී ගැනීමට හැකියාව තිබියදී, විඳින්න හැකියාව තිබියදී එක්වරම නවත්වන්න. කතාවක් තියෙනවානේ “අතට ගත්ත දේ කටට දාගන්න ලැබුණේ නැහැ” කියා, එය කියන්නේ මහා අවාසනාවක් විදියට, පවක්, කරුමයක්, කාලකණ්ණිකමක් විදියට. අතට ගත්ත දේ කටට දාගන්න පුළුවන්කම තියෙද්දි අත්හරින්න, සිතමින් සිටින්නේ නැතිව අත් හරින්න, එයයි අප පසුගිය සතියේ කතා කළේ. කමටහනක් විදිහට අප ගත්තේ.
පැත්තකට වීම
අද කතා කළේ පිටුපසින් සිට කරන තල්ලුවක් ගැන. එයින් ටිකක් අයින් වෙන්න බලන්න. එහෙම තල්ලු කරන කොට ඉන්න අපහසුයිනේ break කරගෙන. පුළුවන්ද එහෙම ඉන්න, “කවුරු මොනවා කිව්වත් කරන්නේ නැහැ” කියා. එයා මොනවා කීවත් කරන්නේ නැහැ කියා ඉන්න පුළුවන්නේ, ඉන්නවානේ. ලෝකයම කිව්වත් නොකර ඉන්න පුළුවන්නේ ඕනෑම දෙයක්. පොඩ්ඩක් වමට හරි දකුණට හරි යන්න. ආසාවෙන් ඈත් වෙන්න, ආශා කරන දෙයින් නොවේ. (ආශා කරන දෙයින් ඈත් වීමයි තියෙන ගැටලුව.) ඇසූ ප්‍රශ්ණ වල තිබුණේ එවැනි කාරණයක්. කන්නේ නැද්ද, නොකා ඉන්නෙ කොහොමද, නොකා ඉන්න පුළුවන්, වේලක් දෙකක් නොකා සිටීමේ ගැටළුවක් නැහැ. ඔය ටෙලි නාට්‍යයක් දවසක් දෙකක් බැලුවෙ නැහැ කියා ගැටළුවක් වෙන්නේ නැහැ. ඇස් නොපෙනී ගියොත් සදහටම බලන්න බැරි වෙනවා. වෙන ප්‍රශ්නයක් වුණත් එහෙමයි, විදුලිය නැති වුණොත් රූපවාහිනිය කැඩුණොත්, රූපවාහිනි සංඥාවලට ගැටළුවක් වුණොත් බලන්න බැරි වෙනවා. මේ ආශාවට යන්න දෙන්න.
ආත්මාරක්ෂක සටන් වලදී martial arts වලදී ගහගන්නවා නේ. එසේ ගහගන්නා විට, ගහන පහරක් වළක්වා, ආපසු මුෂ්ඨි පහරක්, යෂ්ටි පහරක් දෙනවා. Tai chi, Chi-gong, Karate, Kung-fu, වගේ එක එක සටන් ක්‍රම තිබෙනවා. ඔය අතර තිබෙන එක් සටන් ක්‍රමයක් තමයි Aikido මෙම සටන් ක්‍රමයේදී ගහගන්නේ නැහැ. අනිත් කෙනා ගහන්න පුළුවන් නමුත් aikido දන්න කෙනා ගහගන්නේ නැහැ. එයා වළක්වන්න යන්නෙත් නැහැ. kung-fu, karate බොක්සිං වැනි අනිත් සටන් කලාවල පහරවල් වළක්වන්න පුළුවන්. aikido වල ගහන්නෙත් නැහැ, වළක්වන්නෙත් නැහැ, හැබැයි ගුටි කන්නෙත් නැහැ. එයයි aikido කලාව. එයා පැත්තකට වෙනවා, එයයි අමාරුම දේ. පහර දෙන්න එන අනිත් කෙනාගේ වේගය ම එහිදී භාවිතා කරනවා. පහර දෙන කෙනා වේගයෙන් එන්නේ එයාට ඒ වේගය පාලනය කරගන්න බැහැ. ඉදිරියෙන් ඉන්න කෙනාට පහර වැදුණොත් පමණයි පහර දෙන කෙනා බේරෙන්නේත්. ගුටි කෑමට නිමිත කෙනා අයින් වුණොත් පහර දෙන කෙනා තමන්ගේම වේගයට ඇදගෙන වැටෙනවා. aikido වල භාවිතා වන්නේ ඒ කාරණයයි. ගහගෙන දිනන්න බෑ කියන කාරණය, එතැන තිබෙන මූලික දර්ශනයක්. කාටවත් පහර දී දිනන්න බැහැ කියන කාරණය පෙන්වන්න තමයි aikido භාවිතා වන්නේ. අනිත් කෙනාට ඒ පාඩම කියාදෙනවා.
මේ විදිහට ලොකු ආශාවක් අපව දක්කන විට, පිටුපසින් තල්ලු කරගෙන එන විට, එක්වරම පැත්තකට වෙන්න. එයාට කියා, හොඳ තැනක් හම්බ වුණාට පස්සේ, එහෙම නොවෙයි එක්වරම පැත්තකට වන්න. කිය කිය මේ කාරණය කරන්න බැහැ. එක්වරම ඕනේ නැහැ කියා අත්හරින්න. “එහෙම බැහැ, ඕනේ, බඩගිනියි, මැරෙයි, පිපාසයි” කියා තණ්හාව කියයි. අනිත් අයත් මොනවා හරි කියයි. මේ විදියට තණ්හාව දාහක්දේ කියමින් තල්ලු කරයි. එත් කමක් නැහැ.
වේලක් දෙකක් නොකා හිටියා කියා මැරෙන්නේ නැහැනේ. නොකා ඉන්න කියා නොවෙයි මේ කියන්නේ. නමුත් ඒ එන පෙළඹවීමෙන් “කමක් නැහැ” කියා පැත්තකට වෙන්න. “එහෙනම් අර සතුට, ප්‍රශංසාව” කියා තණ්හාව කියයි. “ඒ සතුටත් නැති වුණාට කමක් නැහැ”. එයා අපව පොළඹවන්න, අන්දවන්න දෙන ඇමවල් තියෙනවානේ, ඉස්සරහින් පෙන්වන කැරට් අලය වගේ දෙන ඇමවල්වලට “කමක් නැහැ” කියන්න. ක්ෂණිකව ඒ තීරණයට එන්න. aikido වල වගේ කෙනෙකු හයියෙන් දුවගෙන එනවා කියා සිතන්න උඩ පැනලා පයින් ගහන්න. හරියටම ඒ මොහොතේ පැත්තකට වෙනවා. කලින් කියන්නේ නැහැ “ඔයා දුවගෙන එන්න, වැරෙන් පහරක් ගසන්න. මම පැත්තකට වෙන්නම්, බලමු ඔයාට මොකද වෙන්නේ” කියා. එහෙම වුණොත් බේරෙන්නත් බැහැ. අනිත් කෙනාට ඒ පාඩම කියලා දෙන්නත් බැහැ. දුවගෙන එන වෙලාවෙත් නොවෙයි අයින් වෙන්නේ, උඩපනින වේලාවෙත් නොවෙයි අයින් වෙන්නේ, පහර දුන්නායින් පසුවත් නොවේ අයින් වෙන්නේ, හරියටම ඒ මොහොතේ, පාදය ඇවිත් අපේ ඇඟේ වදින්න ඔන්න මෙන්න කියා තියෙන ඒ මොහොතේ අයින්වෙන්නේ. ඒ ක්ෂණය, ඒ මොහොත ඉතාම තීරණාත්මකයි. එයයි හැරවුම්ලක්ෂ්‍යය. තණ්හාව යන්තම් ලැස්තිවෙන විටම අයින්වෙලා වැඩක් නැහැ. අයින් වෙන්න දෙයකුත් නැහැ. ඒ වගේම තල්ලු කළාට පසුව අයින්වෙලා වැඩකුත් නැහැ. තල්ලු කළාම එහෙට මෙහෙට පැනලා වැඩක් නැහැ. ගින්දරක් පත්තු කර, වෙඩි නූලට තියන්න යන ක්ෂණයේයි අයින් වෙන්න අවශ්‍ය වන්නේ. එවිට පත්තු වෙන්නේ නැහැ. වෙඩිනුලයි ගින්දරයි එකට එකතු වුණොත් පමණයි වෙඩි නූල පත්තුවී පුපුරන්නේ. එසේ නැතිනම් පත්තු වෙන්නේ නැහැ. පත්තු වුණේ නැත්නම් නිවන්න දෙයකුත් නැහැ. නිවිලානේ. ඇවිලෙන ගින්නක් නිවීම එකක්. ඇවිළෙන්නේ නැතිව සිටීම තව දෙයක්.
මේ කාරණය, මේ හිතවතුන් කුමන ආකාරයෙන් මේ සතිය තුළ අත්හදා බලන්න හැදුවාද, භාවනාවක් විදිහට තේරුම් ගන්න උත්සාහ කළාද? එසේ නොමැති නම් එයින් කරදරයක්, වින්නැහියක් කරගත්තාද? කෙසේ හෝ මෙහෙමත් පුළුවන් කියන කාරණයයි කියන්න අවශ්‍ය. තවත් ක්‍රම තිබෙනවා. මෙහෙමත් පුළුවන්. පෙර සුදානමකින් තොරව, නමුත් හොඳ අවදියකින් ඉන්න අවශ්‍යයයි. වේගයෙන් දුවවිත් කෙනෙකු පහරක් එල්ලකරනවිට හොඳ අවදිමත් බවක් අවශ්‍යයයි, ඒ මොහොතේ ම (ඒ තත්පරයේ ම) අයින් වෙන්න, aikido වල මෙන්. මා දන්නේ නැහැ මොන සටන් කලාවක් ගැනවත්. මා අසා ඇති ආකාරයට කියවා ඇති ආකාරයට, අනිත් සටන් කලාවනුත් එහෙමනේ. වළක්වනවා නම්, හරියටම ඒ වේලාවේ තමා වළක්වන්න අවශ්‍යය. කඩු සටනකදි වුවත් පහර එල්ලකරන මොහොතේමයි කඩුවෙන් එය වළක්වන්න අවශ්‍ය. එසේ නොමැතිව පහර දෙන්න කලින්වත්, පසුවවත් වැළැක්වීමෙන් පලක් නැහැ. පැත්තකට වෙන්නත් අවශ්‍ය වන්නේ ඒ මොහොතේමයි. කළිනුත් වැඩක් නැහැ, ප්‍රමාද වීත් වැඩක් නැහැ. මෙයයි ‘අප්පමාදි’ කියන්නේ, ඒ මොහොතේ ම. මේ සඳහා මොනතරම් අවදිමත් බවක් (සිහිබුද්ධියක්) අවශ්‍ය වෙනවාද?
හොඳයි හිතවතුනි අපි මේ තේමාව තුළ හිඳිමින්, අමතක කරගන්නේ නැතිව, තවත් කාරණාවලින් මේ තේමාව පටලවාගෙන වසාගන්නේ නැතිව, මෙතැනින් භාවනාවට එමු.
භාවනාව
මේ තේමාව ඔස්සේ අප කිසියම් අභ්‍යන්තරගතවීමක්, ආධ්‍යාත්මිකවීමක් සිදුකරගනිමින්, ඒ අවධානයෙන් හා විමසිලිමත් බවින් පොදු සාමුහික විමසීමට, සාකච්ඡාවට එමු.
ගියවර වැඩසටහනෙන් ඇසූ සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අතර අද වැඩසටහනත් පිළිතුරක් වෙන්න ඇති කියා සිතනවා. ඒ පුහුණුව පිළිබඳව අත්දැකීම් බෙදා ගන්නත් ඇති. එමෙන්ම අද වැඩසටහන නිසා ඇතිවූ වැටහීම් හා ගැටලුත් ඇති. මේ සියල්ල තේරුම් බේරුම් කරගන්න, කතා කරන්න අවස්ථාව.
සාකච්ඡාව
ප්‍රශ්නය : මාපුරුද්දක් වශයෙන් අන්තර්ජාලය භාවිතා කරනවා එදිනෙදා තොරතුරු දැනගන්න. භාවනාව තුළින් මේ පුරුද්ද නවත්තා ගන්න ක්‍රමයක් සොයමින් සිටියේ. පසුගිය බදාදා දේශනයෙන් පසුව, බ්‍රහස්පතින්දා මාපුරුදු විදිහට අන්තර්ජාලය විවෘත කරන විටම මට අදහසක් ආවා, “මම මේකට නැවතීම තබන්න ඕන” කියලා. අවංකවම කියනවා නම් මම ඒක එකපාරටම නැවැත්තුවා. හැන්දෑවෙත් නැවත පෙළඹවීමක් ආවා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඕන කියා. ඒ අසාවත් දැඩි අධිෂ්ඨානයෙන් නවතා දැමුවා. මේ විදිහට දින දෙක තුනක් “නැවතීම” පුහුණු කරන්න පුළුවන් වුණා. ඉතින් ගිය සතියේ දී ලැබුණු ඒ උපදේශය ක්‍රමය බොහොම ප්‍රයෝජනවත්. ඔබතුමාට බොහොමත්ම පින්.
පිළිතුර : ඒ උත්සාහයත් ප්‍රතිපලයත් අත්දැකීමත් පුද්ගලිකව මටත් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න අප සැම දෙනාටමත් ප්‍රයෝජනවත් සහ ධෛර්යයක්. ඒ බෙදාගැනීම ඔබතුමාට බොහොමත්ම පින්.
තණ්හාව අප හිතන තරම් ප්‍රබල නෑ බලගතු නෑ. ඇත්ත කුමක්ද අප දුබල නිසයි තණ්හාව අපට ප්‍රබලයි වගේ පේන්නේ. අප දුබලයි වගේ හිතන නිසා. අපේ තියන ආධ්‍යාත්මය මොන තරම් ප්‍රබල ද, එයින් දශමයක් වත් අප තවම ප්‍රයෝජනයට අරගෙන නෑ. සියයට සියයක් අවශ්‍ය නෑ. නමුත් තණ්හාවට නැවතුම් තිතක් තියන්න පුළුවන් පුළුවනි. එය අමාරු නෑ. හැම තණ්හාවකටම නැවතීමක් කියන්න උත්සාහ කළොත් ඒ බව තේරෙයි. අප ඒ උත්සාහය ගන්න ඕන.
ප්‍රශ්නය : පසුගිය දේශනයකදී සඳහන් වුණා ජීවිතයට බලපාන කර්ම වාදය හා පටිච්චසමුප්පාද ධර්මය ගැන. එය ප්‍රායෝගිකව හඳුනා ගැනීම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
පිළිතුර : ඒ කාරණය වෙනම දේශනයක් කළ යුතු කාරණයක්. නමුත් අද දින කතා කළ පසුතලයට මේ ප්‍රශ්නය ගෙන ආවොත්, ඒ සියල්ල උදව් කරගෙන ,කර්මයට පුළුවන් වෙන්නේ භෞතික පරිසරයක් හදන්න පමණයි. ශරීරයක් හදන්න පුළුවන් පිනකට හෝ පවකට. පවුලක්, නෑදෑයින්, හිත-මිතුරන්, කරදර කරන අය, මේ සියල්ල භෞතිකයි. හැබැයි පවකට හෝ පිනකට (කර්මයට) බෑ දුක හදන්න. එය හදන්නේ තණ්හාව. තණ්හාව කර්මයේ ප්‍රතිඵලයක් නෙමෙයි .එතන තමයි පටිච්චසමුප්පාදය තියෙන්නේ. තණ්හාව තියෙන්නේ මෙතන වර්තමානයේ. කර්මය තියෙන්නේ අතීතයේ. අතීත කර්මයකට පුළුවන් වර්තමානයේ භෞතික සිද්ධියක් නිර්මාණය කරන්න පමණයි. තණ්හාවක් හෝ දුකක් හදන්න බෑ. ඒ ටික වෙන්නේ වර්තමාන හේතුඵල විදිහට. වර්තමානයේ සිහිබුද්ධිය තිබුණේ නැත්නම් මේ සියල්ලම වෙනවා. ඒ නිසානේ අවිජ්ජා පච්චයා සංඛාර කියා පටන්ගෙන යන්නේ. අවිජ්ජා නින්දෙන් පටන්ගෙන අවසන් වෙන්නේ දුක්ඛකන්ධස්ස සමුදයෝ හෝති කියන තැනින්. හැබැයි විද්‍යාව තියෙනවා නම් පූර්ණ අවදිමත් බවක් මේ මොහොතේ තියනවා නම් ඔය එකක්වත් වෙන්නේ නෑ. එනමුත් කර්මය නවතින්නේ නෑ. එයා සිදුවීම් හදනවා. කර්මය හා විපාකය එකක්, හේතුඵලවාදය තව එකක්. හේතුඵලවාදය වර්තමානයේ තියෙන්නෙ. ඒ නිසා නේ ’යමෙකු පටිච්චසමුප්පාදය දකියි ද හේ දහම දකියි, යමෙක් දහම දකීද හේ පටිච්චසමුප්පාදය දකියි’ කියා කියන්නේ. දහමේ ලක්ෂණය නම් අකාලික බව, මෙතන මේ මොහොත. ඉතින් මේ කාරණය තමයි අදත් කතා කළේ. මේ මොහොතේ පුළුවන් අවදිමත් වෙන්න. හොඳ අවදිමත් භාවයක් ඇති කර ගන්න ඕන. එහෙම නැතිව නම් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මොන සටන් ක්‍රමය දැනගත්තත් අවදිමත් බවක් තියෙන්න ඕන. හොඳ අවදියෙන් සිටීම හා හරියට ඒ මොහොත තීරණය කර අතහැරීම, ඒ තමා පටිච්ච සමුප්පාදයෙන් කරන්නේ. පටිච්ච සමුප්පාදයෙ නිරෝධ පැත්තෙන් පටිලෝම පටිච්ච සමුප්පාදයෙන් මේ මොහොතේ නැවතුම් තිතක් තියෙනවා. නිරෝධ කියන්නේ නවතිනවා. සම්පූර්ණයෙන්ම තිරිංග දානවා. සියලුම තිරිංග එක මොහොතක,මේ මොහොතේ දානවා, ටික ටික නොවේ. කර්මයත් එක්ක ඒ සෙල්ලම් කරන්න බෑ. කර්මයත් එක්ක තියෙන්නේ බොහොම හිමීට යනගමනක්. පින් කර කර පව් අඩු කර කර යන ගමනක්. විපාකත් වෙනස්. භෞතික විපාක පමණයි කර්මයට දෙන්න පුළුවන්, මානසික විපාක නො වේ.
ප්‍රශ්නය : අපිට යම්කිසි සිදුවීමකදී හිතට හුගාක් දුක හිතෙන දෙයක් වුණොත්, ඒ සිතුවිලි නැවත නැවත සිතමින් කාලය ගතකරන එකවත් ‘පැත්තකට වෙන්න’ කි’යන න්‍යාය යෙදීමෙන් එයින් මිදෙන්න පුළුවන් නේද?
පිළිතුර :අනිවාර්යෙන්ම පුළුවනි. බලන්න ප්‍රශ්නයක් විඳවීමක්, එය මතක් වෙනවා. ඒ මතක් උනහම ඒ තුළට අප යනවා, ඒ වෙතට අප යනවා. සෛලයකට බිත්තියක් තියෙනවා වගේ සිතිවිලි වලටත් බිත්තියක් තියෙනවා. ඉතින් මේ සෛලයක් තුළට බැක්ටීරියාවක් වැනි පරපෝෂිතයකුට යන්න පුළුවන්. ඒ වගේ අපත් සිතුවිල්ලෙ බිත්තියේ ඇතුලට යනවා. ගියාට පසුව බිත්තිය සිදුර වහගන්නවා. අප ඇතුලේ. ඉන්පසු ඉන් එහා ලෝකයක් නෑ. එහාට පෙරළෙනවා මෙයාට පෙරලෙනවා. ඒ සිද්ධිය පරණ සිද්ධියක්, නමුත් ආයේ අඬවනවා විඳවනවා තරහ ගන්නවා බය වෙනවා පසුතැවෙනවා ඉවරයක් නෑ. එහෙම ගිහිල්ලා තණ්හාවේ ලක්ෂණයම තමා, සිතිවිල්ලක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඉන්පසු අප එළියෙ ආයෙ. එය අපේ හපන්කමකට නොවෙයි, සිතුවිල්ලේ අනිත්‍යතාවය නිසා .ඒ සිදුවීමම නැවත මතක් උනා කියන්න, ආයෙත් ඇතුලේ. එහෙම නැත්නම් පලා යනවා, අමතක කරන්න බලනවා. එහෙම සිතිවිලි අමතක කරන්න බෑ. එයා අපට වඩා වේගයෙන් එනවා. ඕනම තැනකට ගිහින් බලන්න අමතක කරන්න. ගියාම එයා තමා ඉස්සරහින්ම ඉන්නේ පිළිගන්න. මේ දෙකම නැතිව එයාට එන්න අරින්න. පෙරලි පෙරලි පෙරලි පෙරලි එන්න අරින්න. පිළිගන්න ඕනෙත් නැහැ,පලායන්න ඕනෙත් නැහැ. අප ඒ තුළට යන්නෙත් නෑ, දුවන්නෙත් නෑ. ඒ මොහොතේ අප නෑ. මම කියන කෙනා එන්නේ පලායාම හා වැළදගැනීම කියන ක්‍රියා දෙකේදී. ‘ම’ම ට තව තුන්වන ස්වරුපයක් තියෙනවා, ක්‍රියාකාරී මට්ටමේදී තියෙන්නේ ඔය ස්වරූප දෙක පමණයි, තුන්වන අවස්ථාව මමත්වයේ අක්‍රියකාරී අවස්ථාව, ‘ගල් ගැහෙනවා’, කරකියගන්න බෑ මොනවත්, පලායන්නත් බෑ, වෙතට යන්නත් බෑ, freeze වෙනවා, shock වෙනවා. එහෙම උනහම කිසි දෙයක් කරගන්න බැහැ, හුස්ම ගන්නවත් බැරිව යනවා (panic).
ඔය අවස්ථා තුනෙන් එකකටවත් නෙමේ හිත යන්නේ, ‘පැත්තකට වෙනවා’. එතකොට අප එතන නෑ. අප ‘නොකිසිවකු’ බවට පත්වෙනවා, සිතිවිලි ප්‍රවාහය හුළඟෙ යනවා වගේ ඔහේ යනවා, බාධකයක් විදිහට හෝ වෙන විදිහකට අප එතන නෑ. එක ජනේලෙකින් ඇවිත් ප්‍රතිවිරුද්ධ ජනේලයෙන් යනවා ඒ මැද අප හිටගෙන නෑ. ඒ දිශාව බලාගෙන හෝ පිටුපා හෝ එතන ගල් ගැහී හෝ අප නැහැ. භෞතිකව මෙය තේරුම් ගන්න බෑ. භෞතිකව එහෙනම් අපට මොකද වෙන්නේ කියා. මෙය කායික ප්‍රශ්නයක් නොවෙයි, භෞතිකව මවා ගන්න එපා මේ කාරණය. මමත්වය එන්නේ ඔය ස්වරූප තුනෙන්, වෙතට යනවා, පලා යනවා හෝ ඒ දෙකම කරගන්න බැරිව හිටි පියවරේ ගල් වෙනවා. නමුත් ‘පැත්තකට වෙනවා’ කියන්නේ ‘මේ එකක් වත් ඕනේ නෑ’. ඒ මොහොතේ ‘මම’ නෑ. මේ අවශ්‍යතා ආසාවල් තුන අතහැරිය ගමන්ම එතන ‘මම’ නෑ, දැලක් හමන සුළඟකට බාධාවක් නොවෙයි නේ, සිතිවිලි ඒ හරහා යනවා, අප වැටෙන්නේ නෑ, සිතිවිලිමයි වැටෙන්නේ, මොකද එයා පුරුදු වී ඉන්නේ අපත් ගැටී හැප්පී අපවත් වට්ටලා යන්න. එහෙම හිතාගෙනයි පුරුදු වේගයෙන් එන්නේ. ඒ වේගයත් අපම දී තිබෙන වේගයක්, සිතිවිලි වලට එහෙම වේගයක් නෑ, අපමයි සිතුවිලි ඒ විදිහට ආරෝපණය කර වේගවත් කර තියෙන්නේ, වයින් කළ සෙල්ලම් කාර් වාගේ, අතීතයේ වයින් කර තියෙන නිසා එනවා ,හැබැයි ඉන් පස්සේ නැවත නැවත වයින් කිරිල්ලක් නෑ, අප පැත්තකට වෙනවා.
ප්‍රශ්නය : අප සිදුවීම්වලට මුහුණ දෙන කොට ඒවා අපේ පාලනයෙන් තොරව තියෙනවා නම් හෝ එය පාලනය කරන්න බැරිනම් ගොඩක් වෙලාවට අපි එම සිදුවීමෙන් ඉවත් වෙනවා. අප එය සිතුවිල්ලකට ප්‍රක්ෂේපණය කළොත් සිතුවිල්ලක් ආවම ඒ සිතිවිල්ලෙන් ඉවත් වෙනවා කියන එක හිතාගන්න අමාරුයි කොහොමද කරන්නේ කියලා. හැබැයි මෙහෙම දෙයක් කරනවා, පාපී සිතිවිල්ලක් ආවොත් ඒ වෙනුවට පාපී නොවන සිතිවිල්ලක් ඇතිකර ගන්නවා. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් සහ ලේසියි. හැබැයි සම්පූර්ණයෙන්ම ඉවත් වුණොත් හරිම අමාරුයි හිත හිස්ව තියාගෙන ඉන්න. කොහොමද ඉවත්වෙලා සිතිවිල්ලට යන්න අරින්නේ ඒ වෙනත් සිතුවිල්ලකට පරිවර්තනය කර ගන්නේ නැතිව?
පිළිතුර : එතන තමයි සංසාරය පිළිබඳව පැවැත්ම පිළිබඳව සමස්ත රහසම තියෙන්නේ. සාමාන්‍යයෙන් අපට කියන්නේ සිතුවිලි කුසල් අකුසල් විදිහට වෙන් කරන්නනේ. ඉතින් එහෙම ක්‍රම රාශියක් මනෝවිද්‍යාවේ තියෙනවා, දහමේත් තියෙනවා විතක්ක සණ්ඨාන සූත්‍රය වගේ සූත්‍රවල. මොනවද විකල්ප ක්‍රම, ඇණයකින් තව ඇණයක් ගලවනවා වගේ අකුසල විතර්ක තියෙන වෙලාවක කුසල විතර්කයන් ඇතිකරගන්නවා, අකුසල් සිතුවිල්ලේ ආදීනව බලනවා. මෙහෙම ක්‍රම රාශියක් තියෙනවා. එතනදී භාවිතා වෙන්නේ විරුද්ධ සිතිවිලි ටිකක්. එක්කෝ ඒ සිතිවිල්ල replace කරනවා නැත්නම් convert කරනවා. එය තමයි සාමාන්‍ය ක්‍රමය. සමාජය කියන්නෙත් මේ ක්‍රමය. ආගම් වලත් කියනවා. ඊළඟට භාවනාවෙත් එක්තරා තැනකට යනකම් මේ ක්‍රමය කියනවා. මොනවා කරන්නත් මෙය දෙයක් විදියට ගන්න ඕනෙ පළමුව. මෙ සිතිවිල්ලක්, පවක්, ආවේගයක් කියා ගන්න ඕන. මෙතැනදී එහෙම ගන්නෙ නෑ. පවක් කියා ගන්නේ නෑ. පැහැදිලිව තේරුම් ගන්න මේ කියන්නේ පව් හෝ අකුසල් කියලා දෙයක් නෑ කියා නෙමෙයි කියන්නේ, හොදට අහගන්න. සිතිවිල්ලක පවක් හෝ අකුසල් නෑ. ඒවා තියෙන්නේ අපේ ළඟ. අපේ ළඟ කිව්වහම අහන්න පුළුවන් එහෙම නම් කොහෙද තියෙන්නේ. තියෙන්නේ ක්‍රියාවල. අකුසල් ක්‍රියා තියනවා, ඒ හැර මේවා කොහේ හෝ ගබඩාවක් හෝ පරමාණුවක් වගේ එහෙම දෙයක් නෑ. අප කරන ක්‍රියා පමණයි තියෙන්නෙ. පැහැදිලිව තේරුම් ගන්න. පව කියන්නෙත් අප හිතාමතා කරන ක්‍රියාවක්. ඒ නිසානේ චේතනාවට කර්මය කියා කියන්නේ. පින කියන්නෙත් අප හිතාමතාම කරන ක්‍රියාවක්. මොන සිතිවිල්ල ආවත් ක්‍රියාවක් නොකර ඉමු. ක්‍රියාවක් නොකර හිටියොත් එතන කර්මයක් වෙන්නේ නෑ. හේතු-ඵල චක්‍රය කරකැවෙන්නේත් නෑ. ඒ දෙකම වෙන්නේ නෑ. හේතු-ඵල චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ, සංසාරය හැදෙන්නේ මේ මොහොතේ. කර්ම චක්‍රය ක්‍රියාත්මක වූනොත් විපාක විඳ විඳ යන්න පුළුවන් දිගටම.
සද්දයක් ඇහුනා කියන්න. හඩකට අපට ක්‍රියාවක් නොකර ඉන්න පුළුවන්. ශබ්දයකට අපට පුළුවන් නම් හිස් බටයක් වගේ වෙන්න, එතකොට සද්දය එක පැත්තකින් ඇවිත් අනිත් පැත්තෙන් යනවා (මේ කණින් අහලා අනිත් කනෙන් පිට කරනවා කියන්නේ). ඇතුලේ තියාගන්නෙ නෑ. ඇතුළෙ රැඳෙන්නේ නෑනේ කිසිම ශබ්දයක්. මොනවත් කරන්න අවශ්‍යත් නෑ. අප හිස් වීමයි අවශ්‍යය. මෙය ශබ්දත් එක්ක අපට කර බලන්න පුළුවන්. ශබ්දයක් ඇහුණාම ඒ ශබ්දය විඳින්න යන්නෙ නෑ, නම් දෙන්න යන්නෙ නෑ, හිතා මතා කිසි දෙයක් කරන්නේ නෑ. දිගටම අහගෙන යන්න හදන්නේත් නිශ්ශබ්ද වෙන්න යන්නේත් නෑ. ඒ විදිහට සිතිවිලිවලටත් පුළුවනි. මොන සිතිවිල්ල ආවත් එයා මොන කල්පනාව චිත්‍ර හදාගෙන ආවත් අප එය දෙයක් විදිහට ගන්නේ නැත්නම්, ඒ වෙලාවේ කයින් වචනයෙන් කිසිම ක්‍රියාවක් කරන්නෙත් නැහැ, හිතන්න යන්නෙත් නෑ ඒ ගැන. සිතීමේ ක්‍රම තියනවා නේ. ඒ සියල්ල හිස්. මෙතැනදී ඒ එක ක්‍රමයකට වත් හිතන්නේ නෑ. මෙතන වෙන එකම දේ තමා හොඳ අවදිමත් භාවයකින් සිටීම. පූර්ණ අවදිමත් භාවයක් තියෙනවා, එපමණයි. ඒ පූර්ණ අවදිමත් භාවය බාධාවක් නොවේ කිසි දෙයකට. එයා බාධාවක් කරන්නෙ නෑ කිසිම දෙයකට, කිසිවක් තියාගන්න හෝ නැති කරන්න යන්නෙ නෑ. අතීතයේ සිතූ දේ නැවත සිතිවිලි විදිහට එනවා. එය හඬපටයක් කියා හිතන්න. එය ඔහේ ප්‍රතිවාදනය වෙන්න හරින්න. මේ ප්‍රතිවාදනය වෙන්නේ අතීතයේ කියා දැනගන්න, එපමණයි. අප එයට කිසි දෙයක් එකතු කරන්න යන්නෙත් නැහැ, අඩු කරන්න යන්නෙත් නෑ. මෙහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්නවා නම් අප කයින් වචනයෙන් කර්මයක් කරන්නේත් නෑ, මනසින් කරන්නෙත් නෑ. Replace කරන්නෙත් නෑ convert කරන්නෙත් නෑ, ඒ මොකුත් කරන්නේ නැතිව ඉන්න පුළුවන්.
ප්‍රශ්නය : ඉන් අදහස් කරන්නේ සිතිවිලි බොහෝදුරට උදාසීනයි. එහි ක්‍රියාකාරී ස්වභාවයක් නෑ. අප තමයි එය කායිකව වාචසිකව මානසිකව ක්‍රියාකාරී තත්වයකට පත්කරගන්නේ?
පිළිතුර : එහෙමම තමා. සිතිවිල්ලකට විතරක් නොවෙයි පේන රූපයකටත් නෑ, ඇහෙන ශබ්දයකට ස්පර්ශයකට රසයකට සුවඳටකටත් නෑ.ඉන්ද්‍රිය 6න් ගන්න අරමුණු තියෙනවා. ඒ එක අරමුණකවත් කෙලෙස් නෑ. ඇහැට පේන රූපයක කෙලෙස් නෑනේ, එහි තියෙන්නෙ පාට හැඩ. ඒ වගේම සිතුවිලිවල මතකයේ කෙලෙස් නෑ. ස්පර්ශය වෙන වෙලාවේ තමා අප කෙලෙස් ටික අතින් දාන්නෙ, එතන නිර්මාණයක් නිෂ්පාදනයක් කරනවා. මේ අප ළඟ තියෙන ඒවා ටිකක් දානවා නොවෙයි. ස්පර්ශයේදී අප කෙලෙස් නිෂ්පාදනයක් කරනවා. ඉන්ද්‍රිය අත්දැකීමකදී කෙලෙස් නිෂ්පාදනයක් මිස ඔය කොහෙවත් කෙලෙස් නෑ, එලියෙත් නෑ ඇතුළෙත් නෑ. කෙලෙස් කියන ඒවා හැම එකක්ම පටිච්ච සමුප්පන්නයි, අනිච්චයි, සංඛතයි. සංඛතයි කියන්නේ හේතු නිසා හට ගන්නවා ,හේතු පවතින තුරු පවතිනවා, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙලා යනවා. එහෙම නැතිව කෙලෙස් කොහේ හෝ තිබිලා package එකක් විදියට හෝ ද්‍රව්‍යයක් විදිහට, එහෙම එන්නේ නෑ. එහෙම තියනවනම් කෙලෙස් නැති කරන්න බෑ. එහෙම නම් යන්න වෙනවා ශුද්ධ කිරීම කියන තැනට. මෙතන කෙලෙස් ගබඩාවක් තියෙනවා, ඒක සුද්ද කරල සුද්ද කරල ඉවර කරන්න ඕන. එහෙම මත තිබුණා විශුද්ධිය පිළිබඳව, දවසක සුද්ද කරල ඉවර වෙන දෙයක් කියලා. එහෙම නෙමෙයි, පටිච්ච සමුප්පන්නයි. ඕනම ක්ලේශයක් අප දැන් ඇතිකරගන්නවා. ඇති කරගන්නේ නැතිව ඉන්නත් පුළුවන්. ඉන්ද්‍රිය අත්දැකීම් එකකවත් ප්‍රශ්නයක් නෑ. එකම දේ මේවට මුහුණ දෙන විදියේ ප්‍රශ්නය තියෙන්නේ, මේවත් එක්ක හැප්පෙන විදිහෙ, ස්පර්ශ කරන විදිහෙ තමයි ප්‍රශ්නය තියෙන්නේ.
ප්‍රශ්නය : Break කරන එක දිගින් දිගටම කළොත් අපේ ආකල්පයන්ගේ වෙනසක් වෙනවා. මරණයට හොඳින් මුහුණ දෙන්න ඒ අත්දැකීම් සම්භාරය උදව් වෙනවා නේද?. මොකද, මරණයේදී ඔක්කොමටම නැවතීමක් තියන්න වෙනවා. අප ඊට පෙර මේ අභ්‍යාසය තුළින් ඒ සඳහා පුහුණුවක් ලබනවා නේද?
පිළිතුර : එය තමා ලැබෙන විශිෂ්ටතම ප්‍රතිඵලය. ඊට මෙහා තව බොහෝ ප්‍රතිඵලත් තියෙනවා.
මෙය දෙවිදිහකට කියන්න පුළුවන්. Break කරන්න පුළුවන් නම් එහෙම කෙනෙකුට තමයි මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැරෙන්නේ නෑ. හිතුවට මැරුණා කියලා, නෑ, පැටලි පැටලී දිගටම යනවා. මැරුණා නම් ඉවර වෙන්න ඕන. Break කරපු නැති කෙනෙකුට මැරෙන්න බැහැ. හොඳට බලන්න පණ ඇද ඇද ඉන්නේ Break කරගන්න බැරි නිසා. දරු මුණුපුරන් ව්‍යාපාර රට ජාතිය…. අල්ලාගෙන ඒ නිසා මැරෙන්න බෑ.
අනිත් පැත්තෙන්, මැරි මැරී උපදින්නේ Break කරන්න බැරි නිසා, අතහරින්න බැරි නිසා. ඔහේ දේවල් අල්ලගෙන අරහෙම වෙයිද මෙහෙම වෙයිද කියා මැරි මැරී උපදිනවා.
අප එය පුහුණු කළොත් ඇත්තටම චින්තනයේ ලොකු වෙනසක් වෙනවා, සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙනවා, පටිසෝතගාමී වෙනවා. ඊළඟට අත හරින්න පුළුවන් කියන එක තේරෙනවා. ඕනෑම දෙයක් අල්ලගන්න පුළුවන් නම් අපට ඕනම දෙයක් අතහරින්න බැරි ද?. මොනවද අල්ලගන්න බැරි කියා හිතන්න. ඕනෑම දෙයක් අල්ලා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අල්ලගන්න පුළුවන් නම් ඇයි ඕනම දෙයක් අත හරින්න බැරි?. අල්ලගන්න කෙනාට අත හරින්න පුළුවන්. පුළුවන්. පුළුවන් බව තේරෙන විට දුක්ඛ නිරෝධය සත්‍යයක් කියන බව තේරෙනවා. එතෙක් දුක්ඛ නිරෝධය සත්‍යයක් නොවේ, විශ්වාසයක්. ශාස්තෘන්වහන්සේ නිසා ආගම නිසා විශ්වාස කරනවා. නමුත් මෙතැනදී තේරෙනවා දුක්ඛ නිරෝධය සත්‍යක් බව.
ප්‍රශ්නය : එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට අප කරගෙන යන භාවනාව පහසු වුණා. අතහරින්න බැරි දෙයක් අතහරින කොට, එතන තියෙන ඔක්කොම නීවරණ නැති වෙනවා. මේ දෙක එකිනෙකට උදව් කරනවා නේද?
පිළිතුර : මෙතෙකැයි ප්‍රමාණ කරන්න බැරි තරම් බොහෝ ප්‍රතිඵල තියෙනවා. අසාර්ථක වෙන්නේ නෑ. තණ්හාව නැත්නම් ෆේල් වෙනවා කියා හිතෙනවා නේ. නෑ, තණ්හාව නිසාමයි අප ෆේල් වෙන්නේ. ඉතින් තණ්හාව අඩු වෙනවා නම් ෆේල් වීමක් නෑ.
මේ අභ්‍යාසයෙන් භාවනාව ලොකු ජවයක් එක්ක පටන් ගන්න පුලුවන් වෙනවා. ඊළඟට නීවරණ පහම වගේ නැතිවෙලා යනවා. කාමච්ඡන්දය නිසානෙ ව්‍යාපාදය එන්නෙ.මෙතන කාමච්ඡන්ද ව්‍යාපාද දෙක මුලින්ම කැඩිලා යනවා. ථීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච ලොකු බලපෑමක් කරන්නේ නෑ. අමාරුම එකක් තමයි විචිකිච්ඡාව. විචිකිච්චාව කියන්නේ සැකය නේ, බැරිද පුළුවන් වෙයිද. දැන් පුලුවන් කියන එක තේරෙනවා. තණ්හාව එක්ක වැඩ කරන්න පුලුවන් කියන එක තේරෙන විට විචිකිච්චාව කියන වලාකුළ පාවෙලා යනවා. භාවනාව අලුත්ම මානයකට එනවා. වළාකුළු ඉවත්වී හඳ හොඳින් පැහැදිලිව පේනවා වගේ හිත ඉතාම නිරවුල් තැනකට එනවා.
හිතවතුනි, භාවිතය අත්‍යාවශ්‍යයි. භාවිතය සඳහාමයි මේ බදාදා වැඩසටහන. දැනුමටවත් වෙන කෙනෙකුට උගන්නන්න වත් නොවෙයි. ඒ බාවිතයත් අද සඳහා, හෙට සඳහා නොවේ. අද භාවිතා කළොත් හෙට තිබුනොත් හෙටත් භාවිතා කරන්න පුලුවන් වෙයි. හෙට නොතිබුණත් ප්‍රශ්නයක් නෑ. හැබැයි අද භාවිතා නොකලොත්, හෙට තිබුණත් හෙට භාවිතා කරන්න බැරි වෙනවා. එනිසා තමයි ‘නෑන දසුනට තත්පරයක්’ කියන්නේ, මේ තමයි තියන එකම තත්පරය, මේ මොහොත. මේ මොහොතේ තේරුම් ගන්න බැරි දෙයක් කියන්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ. මේ මොහොතේ භාවිතා කරන්න බැරි දෙයක් මේ සදහම් සැදෑවේ සාකච්ඡා වෙන්නේත් නෑ. එහෙම සාකච්ඡා වෙනවා නම් ඒක ලොකු අතපසුවීමක් අසිහියක් නිසයි වෙන්නේ. පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ අසිහිය අඩු කරගෙන භාවිතයටම කතා කරන්න, ඒ සඳහාම යොමු කරන්න පොළඹවන්න උනන්දු කරවන්න. ඒ නිසා හිතුවතුනී මේ පණිවිඩය පුළුවන් තරම් දිරවා ගන්න බලන්න සහ භාවිතයට ගන්න.
හැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!