සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 07

2022 සැප්තැම්බර් 07 සාරාංශය

සෑම දෙනාටම සතිමත් වූ, අවදිමත් වූ, සැඳෑවක්, දවසක් !

ආදරණීය  හිතවතුනි, අද සදහම් සැඳෑවට පිවිසුනු අප මේ හරහා අපගේ ඥාන දර්ශනය ඇති කරගන්න, වැඩි කරගන්න, ඥාන දර්ශනයෙන් නිරීක්ෂණය කරන්න ගන්නා උත්සාහයකයි මේ යෙදී සිටින්නේ.

දහම නැතිනම් ආගම සමඟ අප ආකාර කිහිපයකින්ම සම්බන්ධ වෙනවා. ඥාන දර්ශනයෙන් උත්සාහ කරන්නෙත් වඩාත් ඵලදායී, ‍සෞඛ්‍ය සම්පන්න ක්‍රමයකට දහමත් සමඟ සම්බන්ධ වීමටයි. දහම දැකීමයි අපගේ ඉලක්කය හා අභිප්‍රාය වන්නේ. දහම දැකීම සිදුවන්නේ ඥාන දර්ශනය හරහා යි, එයයි උපකරණය. 

සාමාන්‍යයෙන් ඕනෑම දහමක් ඕනෑම ආගමක් සමඟ සම්බන්ධවන ප්‍රාථමිකම, සරලම මාධ්‍ය නම් ‘විශ්වාසය හා භක්තිය’ යි. වැඩි පිරිසක් බැතිමතුන්, අනුගාමිකයන් එකතු වන්නේ භක්තිය හා විශ්වාසය නමැති පාලම හරහා යි. ආගම එහා ඉවුරේද අප මෙහා ඉවුරේද වන අතර ඉවුරු දෙක යා කරනුයේ විශ්වාසය (ඇදහීම හා භක්තිය) නමැති පාලම හරහා යි. මෙය ඕනෑම ආගමකට සාධාරණයි, ඕනෑම අනුගාමිකයෙකුට (ආගමිකයෙකුට) පොදු දෙයක්, ශාස්තෘන් වහන්සේව, උන්වහන්සේ කළ කී දෑ, දේශනා කළ දෑ, යන මේවා විශ්වාස කිරීම. යම් පමණකට විශ්වාසය තිබේද ඒ පමණටම බැතිමතෙකු, භක්තිවන්තයෙකු  කියන්න පුළුවන්.  භක්තියට, ඇදහීමට, විශ්වාසයට ම මුල්තැන දෙන සමහරවිට එකම තැන දුන් බොහෝ ආගම් තිබෙනවා. නමුත් කුමන ආගමේ වුවත් එය ආගමක් නම්, ඇදහීමක්, විශ්වාසයක් තිබෙනවා. ආගමික බව වැඩිවෙන්න වැඩිවෙන්න, වඩ වඩාත් ආගමික ලක්ෂණ මතුවෙන්න මතුවෙන්න, විශ්වාසයේ හා භක්තියේ අවශ්‍යතා වැඩිවෙනවා, ශාස්තෘන් වහන්සේ යට යනවා. සෑම ආගමකටම සිදුව තිබෙන දෙයක් නම් ශාස්තෘන් වහන්සේ යට යෑම හා ආගමික ලක්ෂණ උඩට මතුවීමයි. මේ කාරණය මෙසේ කීම, භයානක විය හැකි වුවත් මෙයයි ඇත්ත, ආගම ගොඩනැඟෙන්නේ ශාස්තෘන් වහන්සේ වළලමින් ය. 

ආගමක් ඇතුළේ ශාස්තෘන් වහන්සේට, ශාස්තෘන් වහන්සේගේ නිර්මල පණිවිඩයට තැනක් නැහැ. ඒ සියල්ල වළලා ඒ මතයි ආගම නමැති මහා මන්දිරය සියවසින් සියවසට, තට්ටුවෙන් තට්ටුවට, ගොඩනැඟිල්ලෙන් ගොඩනැඟිල්ල ඉදිවෙමින් ව්‍යාප්ත වන්නේ. කෙනෙකු යුගයේ අවශ්‍යතාවයක්, කාලීන අවශ්‍යතාවයක් කියා කිව්වත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ශාස්තෘන් වහන්සේ අතුරුදහන් කරවීමක්, ශාස්තෘන් වහන්සේගේ නිර්මල පණිවිඩය වළලා දැමීමක්. එසේ මේ පෘථිවියේ විවිධ සංස්කෘතීන්වල ගොඩනැඟූ විවිධ ආගමික මන්දිර තිබෙනවා, පන්සල්, පල්ලි, කෝවිල් වැනි සිද්ධස්ථාන නොව ආගම කියන මහා සංස්ථා රාශියක් තිබෙනවා, විශ්වාසයට හා භක්තියට එකම තැන දෙමින්.

සාමූහික මෝහනය

භක්තිය, විශ්වාසය වැඩිවෙන්න වැඩිවෙන්න සිදුවන්නේ ප්‍රඥාව අඩුවීමයි. මේ දෙදෙනා එකට ඉන්න පුලුවන් දෙදෙනෙකු නොවේ, එක් අයෙකු සිටින තැන අනෙකාට සිටිය නොහැකියි. විශ්වාසයෙන්ම සෑහීමකට පත්වන සිතකට (හදවතකට) අවබෝධයට, ප්‍රඥාවට සම්ප්‍රාප්ත වන්න ඉඩක් නැහැ, එම දොරවල් වැසි ඇති බැවින්. එනිසයි එයට අන්ධ විශ්වාසය (අන්ධ භක්තිය) කියා කියනුයේ. අන්ධ භක්තිය කීවත් නැතත් භක්තියට කෙසේවත් දැක්මක් නැහැ, දකින්න ඇස් නැහැ, ඇස් වැහිලා. භක්තියෙන් කරනුයේ ඇස් වැසීමයි. එවිට (ඇස් වැසුන විට) භක්තිවන්තයාට දකින්නට ලැබෙනුයේ, භක්තිය විසින් පෙන්වනු ලබන (ප්‍රදර්ශනය කරනු ලබන) චිත්‍රපටියක්. භක්තියෙන් දෙනෙත් අන්ධ වූවාට කිසිවක් නොපෙනී යන්නේ නැහැ, පෙනෙන්නේ අන්ධකාරයක් නොව විශ්වාස කරනු ලබන දෙයයි. භක්තිය වැඩි වන්න වැඩි වන්න විශ්වාස කරනු ලබන දෑ ඒ ආකාරයෙන්ම හෝ ඊටත් වැඩිය පෙනෙන්න, දැනෙන්න  පටන් ගන්නවා. භක්තිය යථාර්ථය බවට පත්වෙනවා. 

භක්තිය යනු සාමූහික මෝහනයක්. එක් අයෙකු දෙදෙනෙකු මෝහනය කිරීම වෙනම කාරණයක් වුවත් කිසියම් ආගමක් අදහන විශාල පිරිසක් එක්වර මෝහනය කිරීමකුයි භක්තියෙන් සිදුකරන්නේ. කවදත් සිදුව තිබෙන්නේ එයයි. ඒ ඇත්තන්ට යථාර්ථය වන්නේ තමන් විශ්වාස කරනු ලබන දෙයයි, විශ්වාසයෙන් පිට යථාර්ථයක් නැහැ. මෙතන සිටින තුරු ඥාන දර්ශනයක් කෙසේවත් ඇති වන්නේ නැහැ, ඥාන දර්ශනයක් තියා සාමාන්‍ය දර්ශනයක්වත් පහළ වන්නේ නැහැ.

භක්තියත් සමඟ දර්ශනය යන වචනය භාවිතා වන නමුත් එහිදී දර්ශනය වන්නේ තමන් විශ්වාස කරන දේ. සිහිනෙන්, යාඥා කරන විට, වන්දනා කරන විට, ස්තෝත්‍ර කියන විට, නිහඬව සිටින විට දර්ශන දුටු අය එමට සිටිනවා. සෑම දර්ශනයකින්ම පිළිබිඹු වන්නේ තමන් අදහන දේ. එතන සාමාන්‍ය බුද්ධියටවත් තැනක්  නැහැ, එපමණටම අන්ධවෙලා, එපමණටම මෝහනයට පත්වෙලා. විශාල පිරිසක් ම්ලේච්ඡ ආකාරයට නොව, ශිෂ්ඨසම්පන්න ආකාරයට හසුරවන්න, දක්කන්න තිබෙන හොඳම ක්‍රමය වන්නේ ආගමයි.

එහිදි භාවිතා කරන යාන්ත්‍රණය නම් භක්තියයි. භක්තිය යනු කොහේවත් තිබෙන දෙයක් නොවෙයි. චෛතසිකයක්. විශේෂයෙන්ම මනුෂ්‍ය සිත්වල තිබෙන එකම ගතිය නොව එක්තරා ගතියක්. මේ ගතිය ඉස්මතු කරගනු ලබනවා. සිතිවිලි උදාසීනයි. සාමාන්‍ය මනුෂ්‍යයෙකු උපදින්නේ නැහැ අසවල් දෙයට තමන් භක්තිවන්තයෙකු යැයි කියාගෙන. භක්තිය කියන චෛතසිකයත් සමඟයි සෑම මනුෂ්‍යයෙකුම උපදින්නේ. එය හිස් ලියුම් කවරයක් නිසා ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් එහි ලියන්න හැකියාව තිබෙනවා.  එසේ ලියූ විට එයයි ඇත්ත.

යමක් විශ්වාස කරන්න සැලැස්වූ විට දර්ශනය වන්නේ එයයි. අදහන කෙනාට එය ඇත්ත. ඇස් දෙකට දැක්කා කියන්න පුළුවන්, ඇස් ඇරගෙන සිටින විට පේන්න පුළුවන්, මෙය මෝහනයේ ලක්ෂණයක්. භයානක වුවත් මෙයයි සාමාන්‍ය ක්‍රමය. අන් අයත් සිතාමතා මෙය කරනවා, තමනුත් සිතාමතා මෙය කරගන්නවා, ආගම් වලිනුත් කරනවා, දේශපාලන දර්ශනයෙනුත් කරනවා. මේ භක්තිය ඕනෑම දෙයකට යන්න පුළුවන් දෙයක්. පොදුවේ සාමූහික වශයෙන් භක්තිය භාවිතා වන්නේ දේශපාලනයේ දී හා ආගමේ දී වුවත්, ආගම් සමඟ, විද්‍යාව සමඟ, සාහිත්‍යය සමඟ, මේ ඕනෑම දෙයකට භක්තිවන්ත වෙන්න පුළුවන්.

විශ්වාසයේ නිර්මාණය

අදහන කෙනාට ඒ අදහන දේ තමා දැනෙන්නේ, පෙනෙන්නේ  සහ විඳින්නේ. ඕනෑම කාරණයක් අදහන්න අදහන්න, විශ්වාස කරන්න විශ්වාස කරන්න, පෙනෙන්නේ  ඒ විශ්වාසය තව තවත් තහවුරුවන ආකාරයේ සිදුවීම්. ඇසෙන්නේ සහ දැනෙන්නේ ද ඒ ආකාරයෙන්. සිහිනයකින් පවා දර්ශනය වන්නේ ඇදහීම තහවුරු වන ආකාරයේ දර්ශන. කෙනෙකු ගුප්ත විද්‍යාවට (ශාස්ත්‍ර / පේන ඇසීමට) ගියාම තමන්ගේ විශ්වාසයට අනුව තමා කියවෙන්නේ. එහෙම කියවුණාම තමයි “ඇත්ත කිව්වා, හරි දේ කිව්වා” කියා කියන්නේ. බලන්න එතනදීත් මේ භක්තිය මොන තරම් ප්‍රබලද කියා. තමන්ට අසන්න කැමති දේ, දැනගන්න අවශ්‍ය දේ, ඒ ආකාරයෙන් ඒ පේනයේදී, ශාස්ත්‍රයේදී කියවෙන්න ඉඩ තියෙනවා, උපක්‍රමශීලිවත් සමහරවිට එය වෙනවා ඇති. එනිසා බොහෝ දෙනෙකු කියනවා “ශාස්ත්‍රයේදිත් ඒකම කිව්වා, පේනෙටත් ඒකම දැක්කා ” කියා. මෙයයි ඇත්ත, පුදුම වෙන්න දෙයක් නැහැ. එතන තිබෙන්නේ සරල මනෝ විද්‍යාවක්. සිහිනවලදීත් මේ කාරණය පොදුයි. දැනගෙන හෝ නොදැනගෙන තමන් අදහන, විශ්වාස කරන දේ සහ දකින සිහින අතර ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා. මේවා විශ්ලේෂණය කිරීමට ඇති නොහැකියාව නිසයි සොයාගන්න බැරි. 

විශ්ලේෂණය කරන්න පුළුවන්නම් පේනවා අපේ මුළු පැවැත්ම ම, මුළු ජීවිතයම, විශ්වාසය විසින් නිර්මාණය කළ, මැවූ දෙයක් බව. විශ්වාසය තමා මවා ඇත්තේ, රසයි කියා විශ්වාස කළොත් රසයි, රස නැහැ කියා විශ්වාස කළොත් රස නැහැ. හොඳයි කියා විශ්වාස කරනතාක් හොඳයි. හොඳ නැහැ කියා විශ්වාස කරනවිට හොඳ නැහැ. ඒ නිසා ලෝකය, ජීවිතය හා අත්දැකීම් කියන්නේ භක්තිය විසින්, විශ්වාසයන් විසින් මැවූ හා මවන දෙයකට. තවත් විදිහකින් කියනවා නම් අපේ අත්දැකීම්, ආගමක් ඇදහූවත් නැතත්, දේශපාලනය අන්ධව වැලඳ ගත්තත් නැතත්, (භක්තිය නමැති සිතුවිල්ලේ මානසික සොභාවය ඇදහීම, විශ්වාසය) මේවාට මුල්තැන දෙන මනසකින් නම් ජීවත් වන්නේ, (වෙන මිනුම් දඬු නැතිනම් විශ්ලේෂණය කරන්න, නිරීක්ෂණය කරන්න වෙනත් උපකරණ ඔළුව ඇතුළේ, සිත ඇතුළේ නැතිනම්) සමස්ත පැවැත්මම, තමන්ගේ ජීවිතයම, ලෝකයම, තමන්ගේ විශ්වාසය විසින් මවනු ලැබූ දෙයක්. එහි යථාර්ථයක් සොයන්නට යෑම මුලාවක්.

නොසොයන යථාර්ථය.

ජීවිතය කියන්නේ, ලෝකය කියන්නේ, පැවැත්ම කියන්නේ, සංසාරය කියන්නේ, මේ එදිනෙදා අත්දැකීම් කියන්නේ, ඍජුවම හෝ වක්‍රව අපේ විශ්වාසයන් විසින් මවනු ලබන, මැවූ දෙයකට නම්, එතන යථාර්ථයක් නැහැ.

සිහිනයක යථාර්ථයක් සොයන්න බැහැ, එය සිහිනයක් කියන කාරණය හැර එහි යථාර්ථයක් සෙවිය නොහැකියි. Television එකකින් පේන දෙයක යථාර්ථයක් සොයන්න බැහැ. එය තිරයේ වැටුණු දෙයක් කියන කරුණ හැර (එහි වැටුණු දෙයක් කියන එක ඇත්තක් වුවත්) එහි වෙන යථාර්ථයක් නැහැ. එය රූපවාහිනී තිරයේ මැවුණු දෙයක්, රූපවාහිනී තිරයේ නිර්මාණය වූ දෙයක් යැයි පැවසීම හැර වෙන යථාර්ථයක් සෙවිය නොහැකියි. සොයන්න ගියොත් හමුවන දෙයක් නැහැ. රූපවාහිනියක් කෑලි කෑලි වලට ගලවා බැලුවත් දැකපු කිසිම දර්ශනයක, පේන දෙයක යථාර්ථය දකින්න ලැබෙන්නේ නැහැ. රූපවාහිනියේ සියලු විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල්, ප්ලාස්ටික්, ලෝහ කොටස් එකින් එක, එකින් එක ගලවා වෙන්කර බැලුවත් දකින ලද දර්ශනයේ යථාර්ථයක් නම් පෙනෙන්නේ නැහැ. දකින ලද දර්ශනය රූපවාහිනියේ කොටස් තුළ නැහැ. 

මෙය අප හොඳින් තේරුම්ගත යුතු කාරණයක්. යථාර්ථය දකින්න නැති තැන කෙනෙකුට කියන්න පුළුවන් එහි යථාර්ථයක් නැහැ කියා. එසේ නැහැ කියන්නේ යථාර්ථයක් නැති නිසා නොවේ, යථාර්ථයක් දකින්නට නැති නිසා. යථා ස්වභාවයක් තිබෙන යමක, ක්‍රියාවක යථා ස්වභාවයක් සොයන්න ගියා නම්, ඔන්න එහි යථා ස්වභාවයක් දකින්න ලැබෙයි. නමුත් මායාවක, සිහිනයක, චිත්‍රපටියක පේන රූප රාමුවල යථාර්ථය සොයන්න ගොස්, මුණ නොගැසෙන විට කෙනෙකු කියන්න පුළුවන්, යථාර්ථයක් නැහැ කියා. කුමක්ද සොයන්න තියෙන්නේ ! මේ නිසයි කියන්නේ සොයන්න එපා කියා. කවුද කියන්නේ? ඒ ඒ ආගමික, දේශපාලනික සංස්ථා නිර්මාණය කරන ඇත්තන්. කුමක්ද කියන්නේ? සොයන්න එපා කියා. මේ තමා ඇත්ත, සොයන්න යන්න එපා, ඒ ඇත්තන් කියනවා නම් සොයන්න එපා කියා, අපට නොසොයා ඉන්න පුළුවන්. මොනවාද? ඒ ආගම ගැන සොයන්න අවශ්‍ය නැහැ. තමන් ගැන හැර වෙන දෙයක් ගැන කවුරුහරි කියනවා නම් “මේ තමයි ඇත්ත” කියා අප ඒවා ගැන සොයන්නේ නැතිව ඉමු, කිසි ගැටලුවක් නැහැ. නමුත් නායකයෙකුට, පූජකයෙකුට, කිසිම කෙනෙකුට කියන්න බැහැ

 “ඔබ, ඔබ ගැන නොසෙවිය යුතුයි” කියා.

 නීතියක් ලෙස දාන්න බැහැ, ආඥාවක් ලෙසින් පැනවිය නොහැකියි,

 “ඔබ, ඔබ ගැන නොසෙවිය යුතුයි” කියා. 

නමුත් අවාසනාවකට එබඳු නීතියක් පැනෙව්වා වගේ, එබඳු විශ්ව නීතියකට යටත්ව ඉන්නවා වගේ, සාමාන්‍ය ජනයා තමන් තමන් ගැන සොයන්න යන්නේ නැහැ. තමන්ගේ යථාර්ථය කුමක්ද, යථා ස්වභාවය කුමක්ද සොයන්න, දකින්න උත්සාහ කරන්නේ නැහැ. නොකරන්න එක් හේතුවක් නම් මුලින් සඳහන් කළ අන්ධභක්තිය යි.

ආගම් සහ යථාර්ථය කියන දෙක පටලවාගෙන. ආගම්වල යථාර්ථයක් නැහැ. ඒවායේ හරයක් නැහැ. සොයන්න යන්න එපා. එසේ කියා ඇත්තේ තියෙන දෙයක් දැනගන්න බැරි තරමට බුද්ධිමත් නැති නිසාවත්, පුණ්‍යවන්ත නැති නිසාවත් නොවේ, එපා කියන්නේ නැති නිසා. එම නිසා ඒවා ගැන නොසොයා ඉන්න. නමුත් හිතවතුනි කවුරු මොනවා කිව්වත් යථා ස්වභාවය අප තුළින් දකින්න පුළුවන් සහ දැකිය යුතුයි. මේ යථා ස්වභාවය දැකීමයි, ආගම් ඇදහීමයි දෙකක්. මේ දෙක පටලව ගන්න එපා.

කාචයේ රැවටීම

යථා ස්වභාවය තමන් තුළින් දකින්නට නම්, භක්තිය නමැති කණ්නාඩිය ගලවන්නට අවශ්‍යයයි, එම කාචය කවුරු කවදා අපේ ඇස් වලට බද්ධ කළත් කමක් නැහැ. උපදින කොටම උපදින්නේ එම කාචයත් එක්කයි, inborn. භක්තියේ ඇසින් තමයි ඉපදෙන්නේ. ඒ ඇසින් බලන විට විශ්වාසාය් ඇසට අවශ්‍ය දේවල් තමා දකින්න ලැබෙන්නේ හා දර්ශනය වන්නේ. වෙනස් වීමට අවශ්‍යයයි,  ශල්‍ය කර්මයක් නොකර ඒ කාචය ඉවත් කරන්න බැරි නිසා පොඩි ශල්‍ය කර්මයක් කරන්න වෙනවා. ශල්‍ය කර්මයකින් ඉවත් කරන්න අවශ්‍ය වන්නේ ඇස නොවේ, ඇසට බද්ධකර තිබෙන භක්තිය නමැති කාචයයි. එය පසෙකින් තැබිය හැකියි, අවශ්‍ය වුවහොත් නැවත දාගන්න. 

අප ලෝකය දකින්නේ, ලෝකය තිබෙන ආකාරයෙන් නොවේ, අපේ ඇසේ තිබෙන උත්තල කාචයෙන් පේන ආකාරයෙන්. උත්තල කාචයකින් බැලුවාම පුටුවක්, ගෙයක් පේන විදිහට වඩා වෙනස් අවතල කාචයකින් බැලුවාම පේන විදිහ. මේ උපදින විදිහ, ඇසේ උත්තල කාචයක් සහිතවයි උපදින්නේ. සමහර කෙනෙකුගේ මෙම කාචයේ හැඩය වෙනස් වෙන්න පුළුවන්, එයට අප විකෘති කියා කියනවා. එවිට බහුතරයකට පේන ආකාරයෙන් භෞතික දේවල් (ආධ්‍යාත්මික දේවල් නොවේ) පෙනෙන්නේ නැහැ. එවන් අවස්ථාවකදී සිදුකරනු ලබන්නේ, බාහිරින් හෝ සුදුසු කාචයක් සම්බන්ධ කර, සාමාන්‍ය අයට ලෝකය පෙනෙන ආකාරයට පෙනෙන්න සැලැස්වීම. එසේ පෙනෙන විට “හරියට පෙනෙනවා” කියා කියනවා. මෙයයි පෘතග්ජන ලෝකයේ ස්වභාවය. 

 භක්තියේ කාචයත් සමඟ ඉපදුණාම, ඒ උපන්න පරිසරයේ (සංස්කෘතියේ)  පිළිගන්න, අදහන දේවල් ඇත්ත ලෙසයි පෙනෙන්නේ. ඒ පරිසරය, සංස්කෘතිය වෙනස් කළාම වෙනස් දේවල් පෙනෙනවා. වෙනස් සංස්කෘතියක් අදහන්න, විශ්වාස කරන්න ගියාම වෙනම ලෝකයක් පෙනෙන්නේ . සංස්කෘතියක් ආගමක් ඇදහුවත් නැතත්, විශ්වාසයේ හා භක්තියේ ඇසින් බලනවිට පෙනෙන්නේ තමන් විශ්වාස කරන දේ තව තවත් තහවුරුවන ආකාරයෙන්.

හිතවතුනි සත්‍යයාවබෝධය හෝ ධර්මාවබෝධය කියන්නේ, අප විශ්වාස කරන දේ දැකීමට නොවේ. එසේ අමුතුවෙන් දකින්න භාවනාවක්, මාර්ගයක් අවශ්‍ය නැහැ. විශ්වාස කරන දෙය දකින්න නම් අවශ්‍ය, එයට නම් සත්‍යාවබෝධය, ධර්මාවබෝධය හෝ නිවන් දැකීම කියන්නේ, එහෙම නම් කුමකට ද අමුතු ඥාන මාර්ගයක්, විදර්ශනා මර්ගයක්, දහම් මගක්? දැනටමත් ඒ ආකාරයෙන් පෙනෙනවා. අපේම ඇස්වලට, කන්වලට කීවාරයක් අප රැවටී තිබෙනවාද? අපේ පංච ඉන්ද්‍රියන්ට මොන තරම් වාරයක් රැවටී තිබෙනවාද? ඒවා විශ්වාසකර, අදහලා, ඒ වෙනුවෙන් ජීවිතය කැපකර, පසුකාලීනව “අයියෝ රැවටුනා” කියා සිතා තිබෙනවාද? මෙහි ඇති අවාසනාව නම් ‘රැවටුනා’ කියා නොවේ සිතෙන්නේ ‘රැවටුවා’, ‘රැවැට්ටුවා’ කියා.

රැවටුනා, රැවටුවා මෙම වචන දෙකේ ඇත්තේ කුඩා වෙනසක්, එක අකුරක වෙනසක් නමුත් ප්‍රායෝගිකව බැලුවාම මහා විශාල වෙනසක්. කෙනෙකු අපව රවට්ටනවා නම් හරිම පහසුයි නොරැවටී සිටින්න. මොන විදිහේ කපටි සිත්, සොර සිත්, වේෂ නිරූපණ, පටලවාගෙන ආවත් අපව රවට්ටන්න, අප දහස් වාරයක් රැවටුනත්, දහසකින් පස්සේ ඊළඟ අවස්ථාවේ හරි නොරැවටී ඉන්න පුළුවන්. මන්ද කෙනෙකුව දිගටම රැවටිය නොහැකියි. එසේම එක වාරයකදී හැමෝම රැවැට්ටීමද කළ නොහැකියි. කෙනෙකු අපව රවට්ටනවා නම්, ඒ නිසා නම් අප සංසාරයේ ඉන්නේ, හරිම පහසුයි ඒ සසරින් නිදහස් වන්න. සංසාරයට මූලිකම හේතුව මුලාව, රැවටීම. කෙනෙකු විශ්වාස කරනවා නම් කවුරුන් හෝ අපව රවට්ටනවා කියා හරිම ලේසියි ඒ මූල හේතුවෙන් ඉවත් වෙන්න. එයාට ඇහුම්කන් දෙන්නේ නැතිව සිටියාම, එයා දිහා බලන්නේ නැතිව සිටියාම, දුරින් දුරු කළාම, ආයේ රැවටීමක් නැහැ. 

නමුත් ඇත්තටම සිදුවන්නේ කවුරුන් හෝ පැමිණ රැවැට්ටීම නොවේ අපම රැවටීම නම් තත්වය භයානකයි. එසේනම් හිතවතුනි ලේසි නැහැ නොරැවටී සිටීම. කාටද රැවටෙන්නේ, අප රැවටෙනවා නම් කාටද මේ රැවටෙන්නේ? පිට කෙනෙකුට නොවෙයි නේ. රැවැට්ටීමක් නොවේ රැවැටීමක් නම් කවුද රවට්ටන්නේ අපව, එහෙම කෙනෙකු ඉන්නවාද? මේ සංසාරයට අපව රවට්ටන්නේ කවුද? බලන්න බලන්න එහෙම කෙනෙකු මුණ ගැසෙන්නේ නැහැ. මෙතන රැවටීමක් මිස රවට්ටන කෙනෙකු නැහැ. රැවටීමක් තිබෙනවා. නමුත් රවට්ටන කෙනෙකු නැහැ. 

ප්‍රහේළිකාවක්, කොහොමද රැවටෙන්නේ?, රැවටෙන්නේ, භක්තිය, ඇදහීම, විශ්වාසය, නමැති කාචයත් සමඟ ඉපැදි එම කාචය හරහා ලෝකය දැකීමෙන්. අපව දකින්නෙත්, අනුන්ව දකින්නෙත් ඒ ආකාරයෙනුයි. මේ නිසා හිතවතුනි යථාර්ථය පෙනෙන්නෙත්, ඇහෙන්නෙත්, දැනෙන්නෙත්, ස්පර්ශ වන්නෙත් නැහැ. එයට හේතුව නම් පෙනීමත්, ඇසීමත්, දැනීමත්, ස්පර්ශයත් පැමි‍ණෙන්නේ භක්තිය (කාචය) හරහා බැවින්.

එඩිතර උපේක්ෂාව

මේ කාරණය සරලව තේරුම්ගත් විට ගැඹුරට යන්න පුළුවනි. භක්තියේ ඇසින් බලන තුරු නැණ දසුනක්, ඥාන දර්ශනයක් නැහැ. මේ නිසයි සමාධි භාවනාවලදී පිළිගැනීම්, ප්‍රතික්ෂේප කිරීම් දෙකම අත්හරිමින් උපේක්ෂාවට එන්නේ. සමාධියක විශේෂ ලක්ෂණයක් ‘උපෙක්ඛා’. උපේක්ෂාවේ ක්‍රියාකාරීත්වය නම් කිසිම දෙයක් අදහන්නෙත් නැහැ, පිටු දකින්නෙත් නැහැ. වැළඳගැනීම හා ප්‍රතික්ෂේප කිරීම යන මේ දෙකම සිදුකරන්නේ භක්තියෙන්. උපේක්ෂාව කරන්නේ ලංවී බැලීම, සමීපවී බැලීම. උපෙක්ඛා  කියන වචනයේ සියුම් තේරුම නම් ලංවී බැලීම, සිදුවීම්වලට හොඳටම ලංවී බැලීම. සමීපවෙලා බලන්න බලන්න පෙනෙන දේවල් වෙනස් වෙනවා. 

උපේක්ෂාව ඇතිවන්නේ මනෝ විඤ්ඤාණයටයි (මනේන්ද්‍රියටයි). මනෝ විඤ්ඤාණයටයි ඥාන දර්ශනය පහළ වන්නෙත්. මනෝ විඤ්ඤාණය පැත්තකින් තබා, සාමාන්‍ය ඇසින් ඈතින් බලන විටයි ලංවී බලන විටයි සම්පූර්ණයෙන් වෙනස්. ලංවෙන්න ලංවෙන්න මෙතෙක් කාලයක් නොදුටු දේවල් තමයි පෙනෙන්න පටන්ගන්නේ. අවුරුදු දහයක් විස්සක් ඈතින් සිට දුටුව චිත්‍රය නොවෙයි ලංවී බලන විට මොහොතකින් පෙනෙන්නේ, වඩාත් වැඩිපුර විස්තර, අංග සම්පූර්ණ කාරණා පෙනෙනවා. උපේක්ෂාවේ වැදගත්කම එයයි. 

උපේක්ෂාව යම් පමණකට තිබෙනවාද, භක්තිය ඒ පමණට අඩුයි. භක්තියත් සමඟ මේ ගමන යන්න බැහැ. ඒ වෙනුවට ආදේශනයක් ලෙසිනුයි උපේක්ෂාව භාවිතා වන්නේ. භක්තිය ඉවත්වන අතර එතැනට උපේක්ෂාව පැමිණෙනවා. උපේක්ෂා සහගත මනසකට තමා ඥාන දර්ශනය පහළ වන්නේ. උපේක්ෂාව පමණක් ප්‍රමාණවත් නැහැ, අනිත් ලක්ෂණ වන අවදිමත් බව, සතිය හා මනා අවධානයක් තිබිය යුතුයි. උපේක්ෂාවේ වැදගත්කම තේරුම් ගන්න. උපේක්ෂාව නැතිව, සති, ඒකාග්‍රතා තිබෙන්න පුළුවන්. එහිදී සිදුවන්නේ කෙනෙකු වර්තමානයේ ඉන්න පුළුවන් උපේක්ෂාව නැතිව. ඒකාග්‍රතාව සහ සිහිය පමණක් තිබෙන සමාධි ස්වභාවයකට කෙනෙකු පත්වන්න පුළුවන්, භාවනා පුහුණුවේ, කමටහනේ දිගටම යෙදීමේ ප්‍රතිඵලයක් ලෙසින්. එහිදී හොඳ සිහියකුත්, එකාග්‍රතාවයකුත්, සැහැල්ලුවකුත්, සතුටකුත් තිබෙනවා, වර්තමානයේත් සිටිනවා, ඒ වේලාවේ සිදුවන සිදුවීම් සමඟ සම්බන්ධ වන්නේත් නැහැ. ඒ සියල්ල ඒ සමාධියේදී අත්දකින්න පුළුවන්. හොඳ විවේකයක්. නමුත් එය සමාධිය සඳහා පමණයි. එහි ගමනක් නැහැ. කිසියම් තැනක නවතා තිබෙන ස්වභාවයක්. ගමනක් යන්න නම් උපේක්ෂාව අත්‍යාවශ්‍යයයි. උපේක්ෂාව එකතු කරගත් විටයි එතනින් එහාට යන ගමන යන්න හැකියාව ලැබෙන්නේ. භක්තිය කුමක් කිව්වත් ඒ දෙස උපේක්ෂා සහගතව බැලීම උපේක්ෂාවේ කාර්යයයි. 

විශ්වාසය විසින් ප්‍රක්ෂේපණය කරනු ලබන (පෙන්වනු ලබන) ඒ චිත්‍රයයි අපට පෙනෙන්නේ , එයින් ලොකු පෙළඹවීමකුත් වෙනවා, “දැක්කානේ, ඇසුණානේ, සිතුණානේ එය ඇත්තක්” කියා. එහිදී උපේක්ෂා සහගත වෙනවා යැයි කියනුයේ, පෙනුණු, ඇසුණු, සිතුණු දෙය  පර්යේෂණයකට ලක්කිරීමයි.  උපේක්ෂා කියන ඒ වචනය ඇතුළේ තිබෙනවා අන්වීක්ෂ, දූරේක්ෂ කියන සෑම තැනකම තිබෙන දැකීම. ඉතා කුඩා දෙයක් විශාල කර බැලීම, දුර තිබෙන දෙයක් බැලීම අන්වීක්ෂයෙන් හා දුරේක්ෂයෙන් සිදුවනවා සේම උපේක්ෂාවෙන් ලංවී බැලීම සිදුවෙනවා. මේ සෑම තැනකම තිබෙන්නේ පර්යේෂණයක්, සොයා බැලීමක්. පර්යේෂණය කරන්න අවශ්‍යයයි, පර්යේෂණය නොකරන මනස නැවතුන මනසක්. හොඳ තැනක් වෙන්න පුළුවන්, නමුත් park කර තිබීමක්. ගමනක් නැහැ, ඔහේ නවත්තලා තියෙනවා, පර්යේෂණය කරන්න බයයි. කවුද බය? භක්තිය. එයා පර්යේෂණය වළක්වනවා. හරස් ප්‍රශ්න ඇසීමට, තර්ක විතර්ක කිරීමට, වෙනත් කෝණවලින් නිරීක්ෂණය කිරීමට, ප්‍රතිවිරුද්ධ අදහස් වලට සවන් දීමට බයයි. භක්තිය අපව බියගුල්ලන් බවට පත්කරවනවා. භක්තිය සමඟ බය එකට යන අතර, උපේක්ෂාව සමඟ යන්නේ එඩිතරකමයි. එඩිතරකමක් අවශ්‍යයයි මේ මාර්ගයට, ඥාන දර්ශනය පහළ වන්නේ එඩිතර සිත්වලට පමණයි. බියගුළු සිත් සෑම විටම භක්තියේ සෙවණැල්ලට මුවාවීයි සිටින්නේ. භක්තියේ පිහිට අවශ්‍ය වන්නේ, බියගුළු සිත්වලටයි.

අපට තේරීමක් තිබෙනවා හිතවතුනි, භක්තියේ, ඇදහීමේ, විශ්වාසයේ සෙවණ යට බියගුල්ලන් සේ, සංසාර සිහිනය දකින්නෙකු සේ දිගටම ඉන්නවාද? උපේක්ෂාවේ ආධාරයෙන් ඇසෙන පෙනෙන දැනෙන සිතෙන මේ සියල්ල පිළිබඳව එඩිතරව ප්‍රශ්න කරනවාද, පර්යේෂණය කරනවාද? යන තීරණය වෙන කිසිවෙකුට ගන්න බැහැ. ඒ තීරණය ගත් සිත තමයා මේ මාර්ගයේ යන්නේ.

‘භක්තියේ ඉන්න‘ තීරණයක් ගන්න අවශ්‍ය නැහැ, කොහොමත් ඉන්නේ භක්තියේ. ඉපදුණේ භක්තියක් ඇතුළේ, ඒ නිසා අමුතුවෙන් තීරණ ගන්න අවශ්‍ය නැහැ. තමන් විශ්වාස කරන්න අවශ්‍ය කුමක්ද කියන කාරණය වරින් වර වෙනස් කරනවා, තීරණය කරනවා. ආගම් මාරු කරන්න පුළුවන්, දේශපාලන පක්ෂ මාරු කරන්න පුළුවන්. නමුත් ඇදහීම හා රැවටීම වෙනස්වෙලා නැහැ. භක්තිය ඇතුළේ සිටිමින් අදහන දේයි වෙනස් කරන්නේ, ඇදහීම නොවේ. එයා තීරණයක් ගන්නේ නැහැ කවදාවත්ම, උපන්න විදිහටම ජීවත්වෙලා, ඒ විදිහටම මැරෙන්න පුළුවන්. ගන්නවා නම් ගන්න තියෙන්නේ එකම එක තීරණයයි. අතන ඉන්නවාද මෙතෙන්ට එනවාද? මේ තීරණය ගන්න ලොකු එඩිතරකමක් අවශ්‍යයයි. 

තමන්ව විවේචනයට භාජනය කරන්න ඉඩදෙන්න අවශ්‍යයයි. ස්වයං විවේචනයක්ද වෙන කෙනෙකු විවේචනය කිරීමක් ද කියා ප්‍රශ්නයක් නැහැ. විවේචනයට භාජනය වෙන්න ඉඩ දියහැකි එඩිතරකමක්. තමන් කියන දෙයට තමන් අදහන දෙයට විරුද්ධවන පිරිසක් සමඟ ජීවත්වෙන්න ලොකු එඩිතරකමක් අවශ්‍යයයි. එකම විශ්වාසයක් ඇතුළේ, එකම ඇදහීමක් ඇතුළේ, එකම දෙය හරියි කියන පිරිසක් සමඟ ඉන්න කිසිම එඩිතරකමක් අවශ්‍ය නැහැ. ඒ බියගුල්ලන් ඉන්න තැනක්, ගුලක්. ඒ ගුහාවෙන්, ගුලෙන් එළියට එන්න ලොකු එඩිතරකමක් අවශ්‍යයයි. එහෙම එන්න බයනම්, “ආවොත් අපේ සිත වෙනස් වෙයි, මිත්‍යා දෘෂ්ටියට වැටෙයි” කියා සිතෙනවා නම්, අන්න සම්මා දිට්ඨියේ නොවෙයි සිටියේ. සම්මා දිට්ඨියේ සිටියා නම් මිත්‍යා දෘෂ්ටියට වැටෙයි කියන බියක් නැහැ. සිටියේ භක්තියේ නම් භක්තිය  නැති වෙනවා. එහෙන් මෙහෙන් තර්ක කරනවිට තමන් අදහන දේ සෙලවෙනවා. එය අල්ලාගෙන ඉන්න කෙනාට බියක් ඇතිවෙනවා. කවුරු හරි හේත්තු වෙලා ඉන්න බිත්තියකට කුළු ගෙඩියකින් ගසනවිට හේත්තු වෙලා ඉන්න කෙනා බිය වෙනවා. මේ නිසයි හිතවතුනි, මුලින්ම කිව්වේ ආගමයි යථාර්ථය දැකීමයි දෙකක් කියා. මේ දෙක එකට යන්නේ නැහැ. 

කොන්ද පණ නැත්නම් බිත්තියකට හේත්තු වෙලා ඉන්න පුළුවන්. බිත්තිය කඩන්න අවශ්‍ය නැහැ, බිත්තිය අතහරින්න. කිසියම් මොහොතක ඔබ හේත්තු වී සිටි බිත්තිය අතහැරියොත් ඒ මොහොතේ සිට ඔබ ශක්තිමත් කෙනෙකු බවට පත්වෙනවා. කොන්ද කෙළින් තියාගන්න පටන් ගන්නේ ඒ මොහොතේ සිටයි.  එතෙක් කොන්දක් නැති කෙනෙකු ලෙසයි ඉන්න වෙන්නේ. කොන්දක් නැති තැනක ඥාන දර්ශනයක් නැහැ.

භාවනාව

මේ දැක්මත් සමඟ ටික වේලාවක් ප්‍රත්‍යවේක්ෂාවකට එමු. මේ කරුණු ඇසුණු විට යම් පමණකට කෙනෙකුගේ සිත රිදුණා නම් බලන්න, අප්‍රසාදයක් ඇතිවුණා නම් බලන්න, එතන බලන්න. සිත රිදෙන්නේ කවුරුන් හෝ අසත්‍යයක් කියනවිට නොවේ. අප සත්‍යයි කියා අදහන දෙය අසත්‍යයි කීවොත් තමා අපට රිදෙන්නේ, සත්‍යයැයි කියා විශ්වාස කරගෙන සිටි දෙයකට කවුරුන් හෝ බොරුවක් කියා කියන විටයි එය සත්‍යයක් කියා විශ්වාස කළ සිතට වේදනාවක් එන්නේ. ඒ වේදනාව අපිට පණිවිඩ දෙකක් දෙනවා. එකක් තමා අපේ විශ්වාසයන් ගැන, දෙවන කාරණය අප සත්‍ය නොදන්නා බව. ඒ ගැන මෙනෙහි කරන්න. මේ වැඩසටහන පුරාම පහළ වූ සිතුවිලි දැක්වූ ප්‍රතිචාර, ප්‍රතික්‍රියා ඇසුරින්ම මෙනෙහි කර බලන්න මේ ධර්මතාවයන් මතුකර ගැනීම සඳහා. නැවත නැවතත් හාර හාර බලන්න අපට තිබෙන්නේ සත්‍ය දැක්මක් ද, මේවා තමා ඇත්ත කියන විශ්වාසයන් ද? සත්‍ය පිළිබඳ දැකීමක් ද අපට තිබෙන්නේ, නැතිනම් සත්‍ය මෙයයි කියන ඇදහීම ද? මේ සෙවීම කම්පනයක් ඇති කරවනවා. තැති ගන්වන අත්දැකීමක්. කම්පනය වන්න ඉඩ හරින්න. බයක් තැති ගැනීමක් ඇතිවෙනවා නම්, එයටත් ඉඩදෙන්න. විශ්වාසය නමැති බිත්තිය සෙලවුණාවේ.

ඒ ප්‍රකම්පිත සිතින් එන්න සාකච්ඡාවට. අසන්න, තර්ක කරන්න, වාද කරන්න, අදහසක් තිබෙනවානම්, අත්දැකීමක් තිබෙනවා නම්, අනාවරණයක් තිබෙනවා නම්, මේ ඒ සියල්ල සඳහාම අවස්ථාව.   

 

සාකච්ඡාව 

ප්‍රශ්නය : ශ්‍රද්ධාව සහ භක්තිය වෙන් කරලා හදුනා ගන්නේ කොහොමද?.ආගමික පැත්තෙන් ගත්තාම ශ්‍රද්ධාව තියෙන කෙනෙකු ප්‍රඥාව නැතිනම් කොයි වගේද හැසිරෙන්නේ?. ඒ වාගේම බුද්ධිය තියෙන කෙනෙක් ශ්‍රද්ධාව නැතිනම් එයා කොහොමද හැසිරෙන්නේ?

පිළිතුර : භක්තිය සහ ශ්‍රද්ධාව බාහිරින් එක වගේ පෙනුනට මේ දෙන්නා දෙන්නෙක්. භක්තිය අන්ධයි. ශ්‍රද්ධාවට දැක්මක් තියෙනවා, දැකීමෙන් පහල වෙන දෙයක් තමා ශ්‍රද්ධාව. දහමේ ශ්‍රද්ධාව ඇති වන ආකාර දෙකක් ගැන සඳහන් වෙනවා.

  1.  දුක උපනිශ්‍රය කරගෙන ඇති වෙන ශ්‍රද්ධාව. කෙනෙකු තමන් අත්දකින දුක, ඒ දුක අත්දකිමින් එයින් ගොඩ එන්න පුළුවන් මොන විදිහට ද කියා උත්සාහ කරමින් සිටින විට ශ්‍රද්ධාව එන්න පුළුවන්. මේ දුක නැති කරන්න පුළුවන් කියන ප්‍රබල හැඟීම එන්නේ දුක හේතුවක් නිසා ඇති වුණා කියා දැක්කොත් පමණයි.  අපමයි මේ වලට වැටුනෙ කියා දැක්කොත් අපටම තමා එළියට එන්න පුළුවන් කියන දැකීමට තමා ශ්‍රද්ධාව කියන්නේ.

  2. පුද්ගලයකු පිළිබඳ කරනු ලබන ගවේෂණයක ප්‍රතිඵලයක් විදිහට. අපට ගුරුවරයෙකු/ මගපෙන්වන්නෙකු අවශ්‍ය නම් මුලින්ම අප ඒ කෙනා ගැන ගවේශනයක් කරන්න ඕනේ ඔහුගේ හෝ ඇයගේ දේශනා වලින් අප තුළ තියෙන ලෝභ ද්වේෂ මෝහ නැතිවන ආකාරයට  නම් දේශනා කරන්නේ ඒ තැනදී ශ්‍රද්ධාව පහළ වෙනවා. භක්තිය මේ ගවේෂණය කරන්න යන්නෙත් නෑ කරන්න දෙන්නෙත් නෑ.

 ශ්‍රද්ධාව නැති බුද්ධිය, එතන සංවේදීතාවයක් නෑ. ශ්‍රද්ධාවේ එක ලක්ෂණයක් සංවේදී බව. හිතක් පපුවක් නැති උගතෙක් / බුද්ධිමතෙක් ඉන්න පුළුවන්. එසේ සංවේදීතාවයක් නැති බුද්ධිමත් අයට පුළුවන් පරමාණු බෝම්බයක් හදන්න. ඒ නිසා ශ්‍රද්ධාව නැති බුද්ධිය අනතුරුදායකයි.

බුද්ධියි ප්‍රඥාවයි දෙකක්. ප්‍රඥාව පහළ වෙනවා නම් ශ්‍රද්ධාව අවශ්‍ය නෑ. ප්‍රඥාවේ ලක්ෂණය තමා දුක දන්නා බව, කවුරුත් දුකට අකමැති බව. ප්‍රඥාව කිසිවෙකු දුකට පත්කරන දෙයක් කරන්නේ නෑ. ප්‍රඥාවයි කිසිවිටකත් තමන්ගේ යහපත වෙනුවෙන් අනිත් අය පාවිච්චි කරන්නෙ නෑ. 

ප්‍රශ්නය : මම භාවනාවෙන් ලැබුණු අත්දැකීමක් සහ එයින් ඇති වුණු ප්‍රශ්නයක් සඳහන් කරන්න කැමතියි. මම සිතිවිලි දිහා බලන් ඉන්න විට තේරුණා මේ සෑම සිතිවිල්ලකම මූල බීජය මගේ අත්දැකීමක් හෝ මතකයක් ආශිතව තමයි එන්නේ, අලුත් දේවල් කිසිවක් ආවේ නෑ. හැබැයි ඒවා මූලික කරගෙන අලුත් දේවල් හිතන්න පුළුවන්. මම දේශනාවකින් ඇහුවා අපි හදන සිතිවිලි විශ්වයට මුදා හරිනවා කියලා. ඒ වාගේම අනිත් අය මුදාහරින සිතිවිලි ධර්මතාව විදිහට අපිට එනවා කියලා. ඒ උනාට මට කියන්න පුළුවන් මම එක වතාවක්වත් දැක්කෙ නෑ අනිත් අයගේ සිතිවිල්ලක් එනවා. එතකොට ඒ දේශනයෙන් ආපු කාරණය හරිද වැරදිද එහෙමත් නැත්නම් මම ඒ කාරණය තේරුම් ගත් ආකාරය හරිද වැරදිද කියලා ලොකු ප්‍රශ්නයක් ආවා. මා තුළ අන්ධ භක්තියක් නැති නිසා විවෘතව ඒ ප්‍රශ්නය මට ඔබතුමා ගෙන් අහන්න පුළුවන්. කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? 

පිළිතුර : බොහොම හොඳයි දේශනයක් අන්ධ භක්තියකින් තොරව විවෘතව ඇසීම. මේ විශ්වයේ කොහේවත් සිතිවිලි නෑ. සිතිවිල්ලක් උපදින්නේත් පවතින්නේත් නිරුද්ධ වන්නේත් මනෝ විඥානයක් තුළමයි. ඉතින් මනෝ විඤ්ඤාණයක් නැති තැනක සිතිවිල්ලක් ඇති වෙන්න පවතින හෝ නැති වෙන්න බෑ. මනෝ විඤ්ඤාණයක් පවතින්නේ ජීවය තුළ පමණයි, විශ්වයේ නොවේ. මනෝ විඥානයක සිතිවිලි පහළ වෙන්නේ ඒ මනෝ විඤ්ඤාණය අත්දුටු දේවල් ආශ්‍රයෙන් පමණයි. කෙනෙකුට මතක් වෙන්නේ තමන් කළ කී දේවල් හෝ ඇහූ-දුටු දේවල් පමණයි.  එහෙම මතක් උනාම හිතන්න පටන් ගන්නවා.( සිතිවිලි එකක් සිතීම තව එකක්). සිතනවිට ක්‍රියාවක් වෙනවා. ඒ තුළින් ශක්තියක් නිෂ්පාදනය වෙනවා. 

සිතිවිල්ල කියන්නේ විපාකයක්, කර්මයක් නොවේ. එතනදී ශක්තියක් නිෂ්පාදනය වෙන්නේ නෑ. සිතීමේදී නිෂ්පාදනය වෙන ශක්තිය ඒ සිත ඇතුළෙම තියෙන්නේ නෑ එය පරිසරයට මුදා හරිනවා.( සෑම යන්ත්‍රයක්ම ක්‍රියාත්මක වෙද්දී ඉන් නිපදවෙන උෂ්ණත්වය පරිසරයට මුදා හරිනවා. සිතීම කියන යන්ත්‍රයෙනුත් එවැනි දෙයක් තමයි වෙන්නේ). එතකොට මෙතන වෙන්නේ අප හිතන්න පටන් ගත්තහම, යමක් දකිනවා කියලා හිතන්න, ඒ දකින දේ ගැන හිතන්න පටන් ගන්නවා, එහෙම හිතන්න පටන් ගත්තහම අපේ හිත එළියට විවෘත වෙනවා, එහෙම විවෘත උනහම හිත ඇතුලේ තියෙන දේවල් එළියට යනවා සහ එළියෙ තියෙන දේවල් ඇතුලට එනවා. එනිසා ඒ සිතීමේදී අලුතෙන් එන අදහස් කොහෙන් එනවද කියලා අපට කියන්න බෑ. අපෙන්ම එන්නත් පුලුවන්. පරිසරයෙන් එන්නත් පුළුවන්. එතකොට අප තීරණය ගන්නා විට ඒ තීරණ අපේ ඇතුලෙන්ම ආවේ නැති වෙන්න පුළුවන්. ඒ පරිසරය,  සංස්කෘතිය, ප්‍රජාව ඒ තීරණය ගන්න නම් හුරුවෙලා ඉන්නේ එවැනි තැනක ඉන්න විට අප ගන්න මුල්ම තීරණයත් එය වෙන්න පුළුවන්. 

ප්‍රශ්නය : අපි ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවා. එහෙම කටයුතු කරන කොට යම් කිසි කෙනෙක් බුදුන් දහම් සඟුන් විවේචනය කළොත් අපේ හිත කම්පනයට පත්වෙනවා නම්, ඒ හිත භක්තිවන්ත හිතක්ද?

පිළිතුර : අනිවාර්යෙන්ම,  එහෙම කම්පනය වෙනවා නම් අප බුදුන් වහන්සේ දැක නෑ. අප එතුමන්ව දැක තිබෙනවා නම්, කවුරු කුමක් කිව්වත් ප්‍රශ්නයක් නෑ, එතන කම්පනයක් නෑ. හැබැයි සංවේගයක් අනුකම්පාවක් ඇතිවෙනවා, බුදුන්වහන්සේට අපහාස කළා කියන සංවේගය නොවේ, මේ තැනැත්තා තමන්ට ලොකු හානියක් කර ගන්නවා සහ සමාජයට ලොකු හානියක් කරන්නේ කියන සංවේගය. අප බුදුන් වහන්සේව දැක නැත්නම්, හිතාගෙන නම් ඉන්නේ උන්වහන්සේ මෙහෙමයි කියා එහෙම නම් ඉතින් අපට රිදෙනවා. එතුමන් වෙනුවෙන් සටන් කරන්න තර්ක කරන්න උත්තර දෙන්න යන්න වෙනවා එතුමන්ගේ ගෞරවය රකින්න ඕන කියා. 

එය අපට කරන්න බැරි දෙයක්.  සූර්යයා සූර්යයා විසින්ම බැබලෙනවා, එයට අපේ උදව්වක් අවශ්‍ය නෑ. එයින් ශක්තියක් අරගෙන අපත් බැබලෙන්නයි අවශ්‍ය. ඒ වෙනුවට අප සූර්යයා වෙනුවෙන් සටන් කරන්න යනවා නම් එය මාරයාගේ උපක්‍රමයක් බව තේරුම් ගෙන එතනින් ගැලවෙන්න. 

ප්‍රශ්නය : තමා භක්ති වන්තයෙක් කියලා දැනගන්නේ කොහොමද? 

පිළිතුර : භක්තිවන්තයෙක් කියලා දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා.

  1. ඒ ඇහුණු දේ අත් දකිනවද කියල බලන්න. අත් නොදකින දේ විශ්වාස කරනවා. දැක්ක දෙයක් මොකටද විශ්වාස කරන්නේ? නොදැක්කා දෙයකුයි අප විශ්වාස කළ යුත්තේ.

  2. භක්තිය තියෙන හිතක් බොහෝම ඉක්මනට සතුටු / අසතුටු වෙනවා. තමා අදහන දේ හරි කියපුවාම සතුටු වෙනවා, වැරදියි කියා ඇහුවාම ඉක්මනට කම්පනයට පත් වෙනවා. 

මේ අත්දැකීම් දෙකෙන් අපට දැනගන්න පුළුවන් අප ඉන්නේ භක්තියෙන් ද නැද්ද කියලා. 

ප්‍රශ්නය : යෝගීයා ලබන අත්දැකීම ස්ථිර වශයෙන්ම ඤාණ දර්ශනය තුළ ඉන්නවා කියලා නිගමනයට එන්නේ කොහොමද? 

පිළිතුර : එය හොඳ ප්‍රශ්නයක්.යෝගියා අවසාන නිගමනයකට එන්නෙ නෑ. දන්න දේවල් තමන්ගේ අත්දැකීම් අනුව ඒ සීමාව ඇතුළෙ මෙය තමා සත්‍ය, මෙය තමා යථාර්ථය. හැබැයි එයට එහා අලුත් අලුත් විවෘතවීම් ඇතිවෙන කොට වඩාත්ගැඹුරු තල වලට යන්න පුළුවන්. එනිසා පරම සත්‍යයකට එන්නෙ නෑ. කවුරු හරි කියනවා නම් පරම සත්‍යයක් තියෙනවා කියලා එතන ප්‍රශ්නයක් තියෙනවා. යෝගියෙකු කිසිම විටෙක පරම සත්‍යයක් ගැන කතා කරන්නේ නෑ, කතා කරන්නේ තාවකාලික සත්‍යක් ගැන. ඒ තාවකාලික සත්‍යයත් තමන්ගේ අත්දැකීම් මතයි තීරණය වෙන්නේ. එයට වෙනස් දෙයක් වෙනත් කෙනෙකු කිව්වහම විවෘත අහන්න පුළුවන්, පිළිගන්න අවශ්‍ය නෑ, හේතු සාධක සහිත සාකච්ඡාවක් කරන්න පුළුවන්.

ඊළඟ කාරණය තමයි යම් පමණකට ඥාන දර්ශනයක් තියෙනවද ඒ පමණට ඇලීම් ගැටීම් වලින් නිදහස් කෙනෙක්, ගැරහීම් ප්‍රශංසා මත යැපෙන රූකඩයක් නොවේ. ඒ රූකඩ තත්වෙන් ටික ටික අවදි වෙනවා. 100% ක් නිදහස් වූවිට සම්පුර්ණ ඥාන දර්ශනය. මේ කාරණය තමයි හොඳම මිනුම් දණ්ඩ අපට තියෙන්නේ ඇත්තටම ඥාන දර්ශනයෙන් ද නැතිනම් නුවණින්ද දැනුම ද භක්තියක් ද කියල දැනගන්න. 

ප්‍රශ්නය : භක්තිය ගොඩක් තණ්හා උපාදාන වලට සම්බන්ධතාවයක් දක්වනවද ශ්‍රද්ධාවට වඩා?

පිළිතුර : අනිවාර්යෙන්ම. “භක්තියෙන් වැළඳ ගන්නවා” කියලානේ කියන්නේ. ශ්‍රද්ධාවෙන් වැළඳ ගැනීමක් වෙන්නේ නෑ. දර්ශනයක් , එය සොයාගත් ශාස්තෘන් වහන්සේ ගැන සහ ඒ දර්ශනය අපට ගෙන එන මාධ්‍ය මේ එකක්වත් ශ්‍රද්ධාවෙන් වැළඳ ගන්නේ නෑ. භක්තිය තණ්හාවට හා උපාදානයට අහු වුණු දෙයක්. භක්තිය කෙනෙකුව සංසාරයේ තියාගන්න තියෙන හොඳම මානසික ආයුධයක්. බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව කියන්නේ උන්වහන්සේගේ ගුණ වලට ඇතිවන පැහැදීමක්, උන්වහන්සේ අපේ හද ඇතුලේ වැඩ ඉන්නවා කියන හැඟීම. බුදු පිළිමයකින් නම් බුදුන් වහන්සේ දකින්නේ එතන තියෙන්නේ භක්තිය, හදවතේ තමයි බුදුන් වහන්සේ වැඩ ඉන්නේ. හදවතේ ඉන්න බුදුන් වහන්සේ ව දැකීම එහෙම නැත්නම් උන්වහන්සේට වැඩ ඉන්න සුදුසු තරමට හදවතක් පිරිපහදු වීම තමයි ශ්‍රද්ධාවෙන් කරන්නේ. ශ්‍රද්ධාවෙන් කරන්නේ හදවත පවිත්‍ර කිරීමක්. තණ්හා උපාදාන දෙක නැති කරන්නයි සංසාරේ කෙටි කරන්නයි ශ්‍රද්ධාව වැඩ කරන්නේ.

භක්තිය කියනවා මේ ලෝකේ කිසිම දෙයක් අල්ලගන්න එපා, ඇත්තේ එක සත්‍යක් පමණයි, දෙවියන් හෝ බ්‍රහ්මයන්, එය විතරක් අල්ලගන්න. ඒ නිසා භක්තිවන්තයා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන හොඳ කෙනෙකු වෙන්න පුළුවන්. නමුත් සංසාරයෙන් නිදහස් වන මාර්ගයේ ඉන්න කෙනෙකු නොවේ, මොකද දිට්ඨියක් උපාදාන කරන් ඉන්න නිසා.

ශ්‍රද්ධාව තියෙන කෙනා, භක්තිය තියෙන කෙනා තරම් දන් දෙන්නෙ නැති වෙන්න පුළුවන්. එනිසා මහා පරිමාණයේ ආගම් ඇදහීම් තුළ ශ්‍රද්ධාවට වඩා භක්තිය තමයි රජ කරන්නේ. ආගම වෙනුවෙන් සටන් කරන්නෙ භක්තිය තියෙන අය. එනිසා භක්තිය භයානක වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව ප්‍රාණඝාතය කරන්නේ නෑ. ශ්‍රද්ධාවෙන් සත්කාරයන් කරනවා. භක්තියෙන් පුණ්‍ය ක්‍රියා කරනවා.


බොහොම විවෘතව දැකිය යුතු තේමාවක් ගැනයි අද නැණ දසුනට තත්පරයක් වැඩසටහනින් සාකච්ඡා කළේ. මෙතැන කියවුණු කිසිවක් අදහන ඕනේ නෑ. නමුත් පැත්තකින් තියාගෙන වරින් වර විමසා බලන්න සත්‍ය-අසත්‍යතාවය සහ අප ඉන්නේ කොතැනද සහ යා යුත්තේ කොතනටද කියන කාරණය. කොතන හිටියත් එතන ඉන්න සුදුසු තැනක් නොවේ, සංසාරේ parking නැත. එහෙම තියෙනවා කියලා හිතනවා නම් එය මුලාවක්. එතෙර වෙන ගමනට අද දවසේ කාරණා මොනතරම් උදව් කරගන්න පුලුවන්ද ඒ ගැන ඉඩ ලබාගෙන  විමර්ශනයක් කර බලන්න, ගත යුත්තක් තියෙනවා නම් ගන්න, නැත්නම් එය පැත්තකින් තිබුණාවේ.

සෑම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!