සදහම් සැඳෑව -2
2023-01-04 නැණ දසුනට තත්පරයක්
සැහැල්ලු, සැනසිලිදායක සන්ධ්‍යවක් ආදරණිය කල්‍යාණ මිත්‍ර සෑම දෙනාටම. අලුත් අවුරුද්දේ පළමුවෙනි ‘සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක්.’ අලුත් අවුරුද්ද ගැන, අලුත් අවුරුද්ද සැමරීම ගැන අවදිමත්ව සිටින්නට ඇතැයි සිතනවා. මේ අලුත් පරණ කතන්දරය ගැන මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ ගැන අවධානයෙන් ඉන්න පුළුවන් නම්, ඒ කාරණය අපව බොහෝ දුරක් දහම් මඟෙහි ගෙනියන්න උපකාර වෙනවා.
ලොකුම දුකට හේතුව
අප අවසාන බදාදා කථා කළේ (භාවනාවට අරමුණ වුණේ) ‘ඇයි තව කෙනෙකු අපට ඕන විදිහට ඉන්නේ නැත්තේ’ කියන කාරණය පිළිබඳව. එහිදී අවධානය යොමුකළේ “අපේම කියන අය ඇයි අපට අවශ්‍ය ආකාරයට ඉන්නේ නැත්තේ” කියායි. අපේ අය ගැනයි එසේ සිතෙන්නේ, අනිත් අය පිළිබඳව අප එසේ සිතන්නේ නැහැ. මේ කාරණය බොහෝවිට අසන්න ලැබෙන දෙයක්. මේ නිසාමයි ලොකුම දුකක් මිනිසුන් විඳින්නේ. මනුෂ්‍යයන් විදින මානසික දුක බැලුවාම, වැඩිපුරම විඳවන්නේ “තමන්ගේ කියා සිතන කෙනෙකු ඇයි තමන්ට අවශ්‍ය ආකාරයට ඉන්නේ නැති නිසා” . අම්මලා තාත්තලා වැඩිපුරම විඳවන්නෙත්, සතුටු වන්නෙත් ඒ කාරණයටමයි. දෙමව්පියන් ලොකුම දුක විඳින්නේ ‘තමන්ගේ දරුවන් ඇයි තමන්ට ඕන විදිහට ඉන්නේ නැත්තේ’ කියායි. තමන්ව සතුටට පත්වන ආකාරයට ඇයි ජීවත් වෙන්නේ නැත්තේ. පවුල් ඇතුළෙත් මේ ප්‍රශ්නය තිබෙනවා. ස්වාමිපුරුෂයා සිතනවා “බිරිඳ තමන්ට ඕන විදිහට ඉන්න ඕනේ, මගේ බිරිඳ” කියා. බිරිඳ සිතනවා “මගේ ස්වාමිපුරුෂයා, මට ඕනේ විදිහට ඉන්න ඕනේ” කියා. යාළුවන් ගැනත් එය එසේමයි. ඕනෑම ගනුදෙනුවකදී මේ කාරණය තිබෙනවා. නමුත් මගේ නොවන කෙනෙකු ගැන එසේ බලාපොරොත්තුවක් නැහැ. කොහෙන් හරි මගේ කියන හැඟීම තිබෙන කෙනෙකු ගැනමයි බලාපොරොත්තුවක් තිබෙන්නේ “මගේනම් මට අවශ්‍ය ආකාරයට සිටිය යුතුයි” කියා. “මගේ සේවකයෙක්, මා ආදරය කරන කෙනෙක්, මමයි සලකන්නේ, කන්න දෙන්නේ මා, උගන්වන්නේ මා, ඒ නිසා මට ඕන විදිහට ඉන්න ඕනේ”. බලන්න මේ හැමතැනකම මේ අංශ දෙක මොනතරම් බද්ධ වී තිබේද කියා. මගේ නිසා, මා යමක් කරනවා, මා කන්න දෙනවා, අඳින්න දෙනවා, උගන්වනවා, බලාගන්නවා, හදනවා, වඩනවා, ආදරය කරනවා, ඒ නිසා මට අවශ්‍ය ආකාරයට ඉන්න අවශ්‍යයයි. මේ එක්කෙනක්ම ද කියාත් සිතිය යුතුයි. උදව් කරන කෙනාම ද මෙසේ බලාපොරොත්තු වන්නේ, නැතිනම් ඇතුළේ දෙතුන් දෙනෙකු සිටිනවා ද? එය වෙනම කාරණයක්. එය අද කථාකරන්න අවශ්‍ය නැහැ.
නමුත් යමක් ‘මගේ’ කියා සිතන විට, අයිතියක් පිළිබඳ කාරණයත් එක්කයි බලාපොරොත්තුව හැදෙන්නේ. යමක් අයිතිනම් ඒ අයිති දේට (කෙනාට) සැලසුම් හදනවා. මොන පාරෙද යන්න අවශ්‍ය, මොන පාරෙද නොයන්න අවශ්‍ය කියා සිතියමක් නිර්මාණය කරනවා. එය භෞතික දෙයක්, ජීවි දෙයක්, මනුෂ්‍යයෙකු හෝ සතෙකු වැනි ඕනෑම දෙයක් ගැන වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ, වැඩිපුරම විඳවන්නේ මිනිසුන් ගැනයි. සතුන් හෝ භෞතික දෙයට වඩා කෙනෙකු වැඩිපුරම මනසින් විඳවන්නේ අනිත් මිනිසුන් තමන්ට අවශ්‍ය ආකාරයට සිටින්නේ නැති විටයි. එසේ සිදුවන්න හේතුව පිළිබඳව අප එදා යන්තමට කථා කළා. එසේ සිදුවන්න හේතුව වන්නේ ඒ හැම කෙනෙකු ඇතුළේ ම ‘මම’ කියා කෙනෙකු සිටීමයි.
මගේ දරුවන්, මගේ ශිෂ්‍යයන්, මගේ යහළුවන් කියා කියන විට, අඳුන්වන හැම දෙනා තුළමත්, මේ ‘මම’ වගේ කෙනෙක් ඒ අය ඇතුළෙත් ඉන්නවා. එසේ නැති කෙනෙකු සොයා ගන්න නැහැ. හැම දුවෙකු පුතෙකු ඇතුළෙම, හැම කෙනෙකු ඇතුළෙම ‘මම’ කියන හැඟීම තිබෙනවා (මමෙක් ඉන්නවා). අපට තිබෙනවා වගේම හැඟීමක් ඒ අයටත් තිබෙනවා. අප ආදරය කරන්නේ, කන්න-බොන්න අඳින්න දෙන්නේ, බලා ගන්නේ, උදව් කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ, ‘මම’ කියන හැඟීම තිබෙන කෙනෙකු විසින්, ‘මම’ කියන හැඟීම තිබෙන කෙනෙකුටයි.
මෙවිට අමතකවී යන කාරණය නම්, උදව් ලබන කෙනා තුළත් ‘මම’ කියා කෙනෙකු සිටින බවයි. එම නිසා යමෙකු “මට අයිති” කියා සිතූ ගමන්ම එය තවදුරටත් ජීවියෙකු, සත්ත්වයෙකු, මනුෂ්‍යයෙකු නොවී ‘දේපළක්’ බවට පත්වෙන අතර ‘මම’ අයිතිකරු බවට පත්වෙනවා. එයා අම්මා ද තාත්තා ද දුව ද පුතා ද බිරිඳ ද ස්වාමියා ද සීයා ද ආච්චි ද සේවකයා ද ස්වාමියා ද කියන ඒ සම්බන්ධය වෙනුවට දේපළක් බවට පත්වෙනවා. දේපළක් ගැන සිතනවිට මමත්වයක් එතන තිබෙනවා කියා සිතෙන්නේ නැහැ. කාර් එකක් ඇතුළේ මමත්වයක් නැහැ. ඒ ආකාරයෙන්මයි අනිත් අය ගැනත් සිතන්නේ. සපත්තු දෙකක් ගැන සිතන ආකාරයටයි යමෙකු ‘මගේ’ කියා සිතූවිටත් සිතෙන්නේ (“මට ඕන වෙලාවට දානවා, ඕන වෙලාවට ගලවනවා”). එසේම ‘මගේ’ කියා සිතා, ‘මට අවශ්‍ය ආකාරයට ඉන්න ඕනේ’ කියා සිතන්නේ නැතිව ඉන්න බැහැ. එතනයි මේ පටලැවිල්ල ඇතිවන්නේ, ‘මගේ’ කියා සිතා ඊට පසුව උත්සාහ කරනවා, “මට අවශ්‍ය ආකාරයට ඉන්න ඕනේ” කියා බලාපොරොත්තු නොවී ඉන්න. එය කෘතිමයි. එවැනි උත්සාහයක් ගත්තත් එය සිදුවන්නේ නැහැ. මගේ කියා අයිතිවාසිකමේ ඔප්පුව ලියාගත් මොහොතේ පටන් ම සිත යන්නේ (කොයි පාරෙද යන්න ඕනේ, කොයි පාරෙද යන්න එපා කියන්නේ කියා) නීති දාන, සැලසුම් සහ සිතියම් හදන පැත්තට.
අකීකරුවීම
අප එදාත් කථා කළා මේ හැම කෙනෙකු ඇතුළෙම ‘මමෙකු’ සිටින බව. ඒ ආකාරයෙන් ඕනෑම කෙනෙකු තුළ සිටින ‘මම’ කියනවා “මම ඉන්නේ කියන විදිහට තමයි” කියා. දරුවෙකු කියනවා “මා ඉන්නේ අම්මා කියන විදිහටයි කියා. එය බොරුවට කියන දෙයකුත් නොව අවංකවම කියන දෙයක් වෙන්න පුළුවන්. අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු මෙය අසන්නත් හරි ම කැමතියි. අහන්න කැමතිම වචන ටිකක් තමා, ‘මගේ’ කරගත් අය ‘මම’ කියන විදිහටම ඉන්නවා කියන එක. ඔප්පුව ලියාගත් කෙනා, අසන්න කැමතිම, මිහිරිම චචන ටික නම් “මම ඔබ කැමති විදිහට ඉන්නම්” . එසේ කියනවා පමණක් නොවේ එසේ සිටීමට උත්සාහත් කරනවා. නමුත් එසේ ඉන්නේ නැහැ. එවිට (එසේ ඉන්නේ නැතිවිට) මගේ කරගත් කෙනාට රිදෙනවා. එමෙන්ම සිතනවා මෙයා ඉන්නේ නැහැ කියා. අන්න එවිට භාවිතා කරනවා වචනයක් ‘අකීකරුයි’ කියා. දරුවන්, ශිෂ්‍යයන්, ස්වාමියා, බිරිඳ, අකීකරුයි කියා. මේ අකීකරුයි කියන වචනය භාවිතා කරන්නේ ‘අයිතිකරුට කීකරුවෙන්න අවශ්‍යයයි’ කියන අර්ථයෙන්. කීකරු කියන වචනයේ සරල තේරුම ‘කියන දෙය කරන’ යන්නයි. කවුරු කියන දෙය ද, තමන්ට අයිතිවාසිකම් කියන (තමන්ගේ කියා ඔප්පුව ලියාගත්) කෙනා කියන දෙය කරන. එහෙම කීකරු (කියන කියන දෙය කරන) කවුරුවත් නැහැ. ටික දවසක්, එකක් දෙකක් කරන්න පුළුවන්. නමුත් දිගටම එහෙම නැහැ. නැතිවනවිට අකීකරුයි (අකීකරු ශිෂ්‍යයෙකු, අකීකරු සේවකයෙකු) කියා කියනවා.
මනුෂ්‍යයෙකුට රිදෙන ලොකුම තැන වන්නේත් මෙයයි. තමන් අයිතිවාසිකම් කියන කෙනෙකු (තමන්ගේ කියා ඔප්පුව ලියාගත් කෙනෙකු) තමන්ට අවශ්‍ය ආකාරයට නොසිටින විට දැනෙන වේදනාව, විඳවීම සමහරවිට මරණයටත් වඩා වේදනාකාරි විය හැකියි.. මරණය වේදනාකාරි ම දෙය කියා කිව්වත්, එය එසේ නොවේ කියන්න ඇති එක් හේතුවක් නම්, ඔය අකීකරු වීම නිසා ඇතිවන වේදනාව දරාගැනීමට බැරිව කී දෙනෙකු මැරෙනවාද කියන කාරණය. “මේවා බල බල ඉන්නවාට වැඩිය මැරෙන එක හොඳයි” කියා කියනවානේ. කීදෙනෙකු සියදිවි නසාගන්නවා ද අර කීකරුකම නැතිබව දරාගන්න බැරිව. “මායි අයිතිකරු, ඒ නිසා මට අවශ්‍ය ආකාරයට සිටිය යුතුයි” කියා සිතීම නමැති සරල මුල් දෙක නිසායි මේ දරුණුම වේදනා ඇතිවන්නේ.
මොන භාවනාව කළත් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එය විසඳාගැනීමට නම්, මේ කාරණය පිළිබඳව අප භාවනා කළයුතුයි. ටික කාලයකට අමතක කර (නිදාගෙන) ඉන්න පුළුවන් වුවත් නැවත අවදිවන්නේ මගේ කියාගත්ත ලෝකයකටයි. මෙතනදි පෙනෙන කාරණයක් නම් මේ හැම කෙනෙකු ඇතුළේම ‘මමෙක්’ ඉන්නවා කියන කාරණය සහ ඒ ඉන්න ‘මම’ ඇත්තටම කියනවා, පෙන්වනවා “මා අයිති ඔබට, එම නිසා ඔබ කියන ආකාරයට ඉන්නම්” කියන කාරණය. යම් යම් අවස්ථාවල එසේ කරන්න පුළුවන් වුවත් දිගටම කරන්න බැහැ. අපට තව කෙනෙකු කියන ආකාරයට ඉන්නට බැරි වන්නේ අප අතුළේ ‘මමෙකු’ ඉන්න නිසයි.
මේ ‘මම’ කියා කියන්නේ ඝන දෙයක් නිසා එයට හැඩයක් හා පාටක් තිබෙනවා. එම නිසා තවත් හැඩයක් හා පාටක් ගන්න බැහැ. එයයි මෙතන ඇති ප්‍රශ්නය. අප ජලය ගැන කථා කළා. එයට පාටක් හා හැඩයක් නැති නිසා ඕනෑම හැඩයක් සහ පාටක් ගන්න පුළුවන්. ඕනෑම විලක, ඇළක, දොළක හැඩය සහ පාට ගන්න පුළුවන්. ‘මම’ කියා කියන්නේ එසේ ගලාගෙන යන දෙයකට නොවේ. මේ විශ්වයේ තිබෙන ඝනත්වය වැඩිම දෙයයි ‘මම’. නමුත් පෙනෙන්නෙත් නැහැ ගුරුත්වාකර්ෂණය මෙන්. මේ ගුරුත්වයේ තිබෙන ආකර්ෂණය, කොහේද ඒ කාන්දම තිබෙන්නේ කියා පෙනෙන්න නැහැ. එසේ පෙනෙන්න චුම්භකයක් නැති වුවත් ඕනෑම දෙයක් ඇදගන්න තරම් ප්‍රබලද එය? ඊටත් වඩා ‘මම’ ඝනත්වයෙන් වැඩියි. ඒ නිසා ඒ ‘මම’ ට බැහැ තව කෙනෙකුගේ හැඩයක් ගන්න. ‘මම’ කියන්නේ jelly එකක් නොවේ.
මෝඩකම හා තණ්හාව
නමුත් ‘මම’ සිතනවා කීකරු වෙන්න පුළුවන් සහ අවශ්‍යයයි කියා. එසේ සිතන්නේ එයා, එයා ගැන දන්නේ නැති නිසායි. ‘මම’, ‘මම ගැන’ දන්නේ නැති නිසා ‘මම හිතනවා’ මට පුළුවන් එයා කියන විදිහට ඉන්න සහ “එසේ ඉන්න අවශ්‍යයයි” කියා. මෙහිදී මෙයාගේ මෝඩකම සහ තණ්හාව කියන දෙකම මතුවෙනවා. මෝඩකම නම් තමාට තව කෙනෙකු කියන ආකාරයට සිටින්න පුළුවන් කියා සිතීමයි. තණ්හාව නම් එසේ සිටින්න ඇතිවන අවශ්‍යතාවයයි. “එයා කියන විදිහට ඉන්න ඕනේ, මොකද එයාව නැති කරගන්න බැහැ.” අපට අයිතිකරුවෙකු සිටින එක ලොකු දෙයක්. මේ මෝඩකමට අයිතිකරුවෙකු අවශ්‍යයයි. එසේ අයිතිකරුවෙකු නොමැතිව ඉන්න මේ මෝඩකම කැමති නැහැ, ඉන්න බයයි. ඒ නිසා එයා කැමතියි තව කෙනෙකුට අයිති වෙන්න සහ අයිති කරගන්න. නමුත් කිසිකෙනෙකුට අයිති වෙන්න බැහැ. නමුත් බිය නිසා අයිති වෙන්න ඕනෑකම තිබෙනවා. තණ්හාව තිබෙන නිසා උත්සාහ කරනවා ඒ ආකාරයෙන් ඉන්න, නමුත් ඉන්න බැහැ. ඉන්න පුළුවන්කම තබාගෙන නොඉන්නවා නොවේ. උපරිම උත්සාහ ගත්තත් ඉන්න බැහැ.
මෙය පෙනෙන්න තිබෙන කාරණයක් වුවත් දහම කියනවා එයත්ට එහා දෙයක්. ‘තව කෙනෙකු කියන ආකාරයට ඉන්න බැරි මමත්වය නිසා.’ මෙයයි මෙතන ඇති අමු ම අමු මෝඩකම. තව කෙනෙකුට අවශ්‍ය ආකාරයට ඉන්න බැරිකම එකක්, තමන්ට අවශ්‍ය ආකාරයටවත් ඉන්න බැහැ. මමත්වයට බැහැ එයාට අවශ්‍ය ආකාරයට ඉන්න. එයාට අවශ්‍ය ආකාරයට ඉන්න බැරි කෙනෙකුට පුළුවන්ද තව කෙනෙකුට අවශ්‍ය ආකාරයට ඉන්න. බොහොම සරල තර්කයක් දහම නගන්නේ. තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ට ඉන්නත් බැරිනම්, තමන්ට අවශ්‍ය ආකාරයට අනිත් කෙනෙකුට ඉන්න පුළුවන්ද (අනිත් අයට අවශ්‍ය ආකාරයට තමන්ට ඉන්න පුළුවන්ද)? මෙය වෙනස් ආකාරයකට දහම අසනවා, ‘අනිත් අය අපට අවශ්‍ය ආකාරයට ඉඳියි ද, ඒ අයට, ඒ අයට අවශ්‍ය ආකාරයටවත් ඉන්න බැරිනම්?’ මේ ප්‍රශ්න දෙකටම හේතුව හිතවතුනි, මෝඩකමයි (මමත්වයයි).
මේ මමත්වය නොපෙනෙන ඝන දෙයක්. ඝන දෙයක් නම් පෙනිය යුතුයි. නමුත් පෙනෙන්නේ නැහැ. හොඳම උදාහරණය ගුරුත්වාකර්ෂණය, එය පෙනෙන්න නැහැ. පෙනෙන්න නැති වුණත් එය පොළවේ සහ කිසියම් දුරකට අහසේ ඇති ප්‍රබල ශක්තියක්. ඒ නිසයි කොච්චර උඩ පැන්නත් වැඩක් නැහැ, ආපසු වැටෙනවා. මමත්වය සිතනවා උඩ ඉන්න පුළුන් කියා, එම නිසා එයා පුළුවන් තරම් උඩ පනිනවා. එයාට උඩ ඉන්න බැරි නිසා වැටෙනවා. ඒ වැටෙන්නේ කවුරුවත් නිර්මාණය කළ වළකට නොවේ, එයා ම නිර්මාණය කළ වළකට. මේ පිළිබඳව මතුපිටින් ඕනතරම් කථාකරන්න පුළුවන් වුවත්, ඒ වෙනුවට අභ්‍යන්තරගතවීම අවශ්‍යයයි.
මෙයට දහමේ කියන්නේ ‘ඝන සංඥාව’ කියායි. ඝනත්වයේ අඩු වැඩිවීම් තිබෙන්න පුළුවන්, ඝනත්වය උපරිමයෙන් තිබෙන සංඥාව, අත්ත සංඥාව යි (මමත්වය, මම පිළිබඳව තිබෙන හැඟීමයි ඝනත්වය වැඩිම සංඥාව). එයට හැඩයක් තිබෙන නිසා වෙනත් භාජනයකට දමන්න බැහැ. දැමුවත් හිටින්නෙත් නැහැ, එහෙන් මෙහෙන් වදිනවා. එමනිසා කීකරුකම කියන්නේ කෘතිම දෙයක්. නමුත් මේ සත්‍යය දෙමව්පියන්, ගුරුවරුන් අසන්න කැමති නැතිව ඇති. කීකරුවෙන්න උත්සාහ කරනවා කිසියම් දුරකට, කිසියම් කාලයකට නමුත් එසේ ඉන්න බැහැ. ඉඳියි කියා බලාපොරොත්තුවන කෙනාටත්, එසේ ඉන්න උත්සාහ කරන කෙනාටත් කියන මේ පාර්ශව දෙකට ම මේ නිසා රිදෙනවා. දෙන්නාගේ ම මමත්වයන් නිසා මේ දෙන්නා ම ලොකු දුකක් විඳිනවා.
කීකරු වෙස්මුහුණ
අප එදා අවධානය යොමුකළ දෙයක් නම්, සිතුවිල්ලක් ඇතිවෙන්න බැහැ සිතක් නැතිව, මමත්වයට බැහැ සිතුවිල්ලක් නැතිව පවතින්න (මමත්වය කොහේවත් නැහැ, සිතුවිල්ලක් ඇතුළෙයි මමත්වය තිබෙන්නේ. සිතුවිල්ලක් කොහේවත් නැහැ සිතක් ඇතුළෙමයි පවතින්නේ). හැඟීම් පවතින්නේ මමත්වය ඇතුළෙයි. හැඟීම් නිසා ඇතිවෙන විඳිම් තිබෙන්නෙත් මමත්වය ඇතුළේ. එකක් ඇතුළේ එකක්, එකක් ඇතුළේ එකක්. ගෙයක් ඇතුළේ ගෙයක්, ගෙයක් ඇතුළේ ගෙයක්. එමෙන්ම ගෙයක් ඇතුළේ ගෙහිමියෙක්, තවත් වෙලාවක ගෙහිමියා ගෙයක්. මේ නිසා මෙය සොයා ගැනීම ලෙහෙසි නැහැ. සොයන්න පටන්ගන්න විට ගෙයක් බවට පත්වන අතර, සොයන්නේ නැතිවිට ගෙහිමියෙක් බවට පත්වෙනවා. හොඳින් බලන්න ‘මමත්වය’ දිහා, බැලූවිට ම එහෙම එකක් පෙනෙන්න නැහැ. සිතක් තිබෙනවා, සිතුවිලි තිබෙනවා කියායි පෙනෙන්නේ, මමත්වය පෙනෙන්නේ නැහැ. බලන්න ගිය ගමන් එයාගේ වෙස් මාරුකර ගන්නවා. වෙස් මාරුකිරීම් කරන අය අතර අතිදක්ෂම කෙනායි මමත්වය. එයාට නිශ්චිත හැඩයක් තිබුණත් පුළුවන් වෙස් මාරුකරගන්න. හොඳම වෙස්මාරුව කීකරුකමයි. ඒ වේෂ නිරූපණය කළ සැණින් හැමෝම රැවටෙනවා. කීකරුකම කියන වෙස් මුහුණ දාගත් විට එයට නොරැවටෙන කෙනෙකු සොයාගන්නත් අමාරුයි. එසේ කීකරුකම නමැති වෙස් මුහුණ දාගෙන ඉන්නේ අකීකරුකම. අකීකරුකමටයි කීකරුකමේ වෙස්මුහුණු අවශ්‍ය වන්නේ.
අකීකරුකමයි මමත්වයේ මූලිකම ස්වභාවය. එයා කැමති නැහැ කවුරුවත් කියන දෙයක් කරන්න. කිසිම කෙනෙකු කියන දෙයක් කරන්න ඇතුළෙන් ම කැමති නැති වුවත් බිය තිබෙන නිසා එයා එළියෙන් කැමති වෙන්න පුළුවන්. නමුත් ඒ එළියේ තිබෙන ඕනකම යටපත් වෙනවා ඇතුළෙන් පැමිණ, “නැහැ මම වැඩකරන්නේ මට ඕනේ විදිහට. මම කාටවත් ඕනෑ විදිහට වැඩකරන්නේ නැහැ.” කියා කියනවිට. එයයි මේ ඝනත්වයේ ඇතුළෙම තිබෙන දෙය (න්‍යෂ්ටිය). “මම මට ඕනේ විදිහට ඉන්නවා” කියා න්‍යෂ්ටිය කිව්වත් කිසිම න්‍යෂ්ටියකට බැහැ න්‍යෂ්ටියට අවශ්‍ය ආකාරයට ඉන්න, එසේ ඉඳලත් නැහැ. මන්ද එයා දමාගන්නා වෙස්මුහුණට අනිත් අය රවටනවා සේම එයාත් රැවටෙනවා. මේ ලෝකය හැමදාම ගියේ මේ රැවටීම මතයි. රැවටෙන ලෝකයකටයි අප ඇවිත් තිබෙන්නේ රැවටිලා.
ලෝකයේ තිබෙන කිසිදෙයක් අපට කීකරු කරගන්න බැහැ. ඇසට පෙනෙන කිසිම රූපයක් අපට කීකරු වෙන්නේ නැහැ. කනට ඇසෙන කිසිම ශබ්දයක් අපට කීකරු වෙන්නේ නැහැ. ඇඟට දැනෙන කිසිම ස්පර්ශයක් දැනෙන කෙනාට කීකරු වෙන්නේ නැහැ. කීකරු වෙනවාද කියා බලන්න. ‘අනත්ත සංඥාව’ ඇති කරගන්න. ‘ඝන අත්ත සංඥාව’ වෙනුවට ‘අනත්ත සංඥාව’ ඇති කරගන්න කියා දහම කියනවා. අනත්ත සංඥාව කුමක්ද, ‘චක්ඛුං අනත්තා, රූපං අනත්තා, චක්ඛු විඤ්ඤාණං අනත්තා.’ - ‘ඇස අයිති කෙනාට ඇස කීකරුද, ඇසට පෙනෙන රූප අපට කීකරුද, එමනිසා පහළවෙන දැනගැනීම කීකරුද?’ දැනගැනීමෙන් පසුව එන සියල්ල කීකරුද කියා එකින් එක බලන්න. බලන කෙනාට පෙනෙන දේ කීකරු ද? අසන කෙනාට අසන දේ කීකරුද කියා බලන්න. ඇස මට කීකරුද බලන්න, එවිට පෙනෙනවා ඇස අකීකරුයි කියා. ආත්ම නම් කීකරු විය යුතුයි. අනත්ත නම් අකීකරුයි. අසන කෙනාට ඇසෙන දේ කීකරු දැයි බලන්න. මේ ආකාරයෙන් ඇත්තටම බලාගෙන ගියොත් උමතුවෙනවා. එහෙම නෑ කියන කාරණය වැටහෙන විට, දරාගන්න බැරි තැනකට එනවා. ඒ නිසා කියනවා ඒ ගැන වැඩිය සොයන්න එපා කියා. දරුවන් ගැන වුවත් වැඩිය සොයන්න එපා. සොයන්න ගියොත් වැටහෙනවා ඔවුන් කීකරු නැහැ කියා. කීකරුයි කියා කීම එකක්, නමුත් ඇත්ත වෙනස්. මේ සියල්ල සොයන්න ගියොත් උමතුවෙයි. අම්මලා තාත්තලාට, ගුරුවරුන්ට පිස්සු හැදෙයි. එමනිසා සීමාවක් ඇතුළේ සොයන්න. අනිත් දේවල් ගැන සොයන්න එපා.
තමන් පිළිබඳව සෙවීම, සෙමින් සෙවිය යුතු දෙයක්. එක දිගට කඩාගෙන බිඳගෙන සොයාගෙන ගියොත් උමතු වෙන්න පුළුවන්. මෙතන කිසි දෙයක් නැහැ අපට කීකරු. අපේ ඇසත් අපට කීකරු නැහැ. කන කීකරුත් නැහැ. එක ඉන්ද්‍රියක්වත් කීකරු නැහැ. එසේම ඒවාට සංවේදී දේවල් කීකරුත් නැහැ. ඒ නිසා ඇතිවන විඳීම් කීකරුත් නැහැ. අප ඇවිත් තිබෙන්නේ අකීකරු ලෝකයකට. අකීකරු පුතුන් සහ දූවරුන් තමා ඔබත් අපත්. අපත් අකීකරුයි, අප ඇවිත් තිබෙන්නෙත් අකීකරු ලෝකයකටයි. එසේම යන්න කියා කීකරු ලෝකයකුත් නැහැ. තිබෙන්නේ ම අකීකරු ලෝක. මේ සත්‍ය ටිකෙන් ටික පෙනෙනවිට අමාරුයි දරා ගැනීමට. බියක්, තැතිගැනීමක් එනවා. ක්ලාන්ත වෙන්නත් පුළුවන්. නමුත් මේ ඇත්ත තේරුම් නොගැනීම නිසා කටයුතු කරන්නේ උමතුවෙන්, කරන්නේ පිස්සු වැඩ.
නිබ්බිදා
හිතවතුනි මේ අකීකරු ලෝකය කීකරු කරගන්න නොවෙයි භාවනාව තිබෙන්නේ. භාවනා කළා කියා මේ කිසිදෙයක් (ලෝකය) කීකරු වෙන්නේ නැහැ. මේ සියල්ල අකීකරුයි කියා පෙනෙනවිට ඇතිවන්නේ කළකිරීමක්. ඕනෑම කෙනෙකු අකීකරුයි කියා දැනෙන විට ඇතිවන්නේ ආදරයක් නොවෙයි කළකිරිමක්. සියල්ල ම අකීකරුයි කියා පෙනෙනවිට සියල්ලම කෙරෙහි ඇතිවන්නේ කළකිරීමක්. ‘කළකිරීම’ (නිබ්බිදා) කියන වචනය පිළිබඳව අප කලිනුත් පැහැදිලි කළා. දහමේ ‘කළකිරීම’ කියා කියන දෙයයි, අද භාවිතයේ ‘කළකිරීම’ කියා කියන දෙයයි සම්පූර්ණයෙන් වෙනස්. සාමාන්‍ය ජිවිතයේ ‘කළකිරීම’ කියා කියන්නේ ළිඳට පනින, කෝච්චියට බෙල්ල තියන කළකිරීමක්. නමුත් නිබ්බිදාව එසේ නොවේ, ළිඳට පන්නන්නෙත් නැහැ, කෝච්චියට බෙල්ල තියවන්නෙත් නැහැ, වස කුප්පියක් අතට දෙන්නෙත් නැහැ. එයට නොවේ ‘නිබ්බිදා’ කියා කියන්නේ. නිබ්බිදාවක් ඇති වුණාම මේ අකීකරු ලෝකයට තිබෙන ඇලීම අඩුවෙලා යනවා. ‘කළකිරුණේ - නොඇලෙයි.’ අකීකරු කෙනෙකුගෙන් කීකරුකමක් බලාපොරොත්තු වන්නේ නැහැ ඉන් පසුව, ඒ බලාපොරොත්තුවෙන් නිදහස් වෙනවා. ‘නොඇලුනේ - මිදෙයි, ’මිදුනේ - මිදුනු බව දනී.’ මේ සියල්ලටම මුල්වන්නේ දැකීම. එම නිසා ‘ඇති සැටිය දුටුයේ - කළකිරෙයි.’ කළකිරුණේ - නොඇලෙයි, නොඇලුනේ - මිදෙයි, මිදුනේ - මිදුනු බව දනී.’ එයයි මේ ‘නැණ දසුනට තත්පරයක්’ තේමාව.
හොඳයි හිතවතුනි ඒගැන ටික වේලාවක් මෙනෙහි කිරීමකින් පසුව අප සාකච්ඡාවට එමු.
භාවනාව
අපි විනාඩි කිහිපයක් මෙනෙහි කරමු මේ කියූ සම්බන්ධතා පිළිබඳව. කීකරු ලෝකයක් සොයනවාද, අප ලෝකයට කීකරුවෙන්න උත්සාහ කරනවාද, අපට ලෝකයට කීකරු වෙන්න පුළුවන්ද, ලෝකය අපට කීකරු කරගන්න පුළුවන්ද, ඒ ගැන ටිකක් අවධානය යොමු කරමු නිහඬව.
ඒ කෙටි භාවනාවත් සමඟ හිතවතුනි, අසන්න හෝ කියන්න යමක් තිබෙනවානම් එමු සාකච්ඡාවට.
සාකච්ඡාව
ප්‍රශ්නය: හිතේ අකිකරු කමින් මිදෙන්නේ කොහොමද?
පිළිතුර: හිත කිකරු වෙන්නේ එයා අකිකරුයි කියලා තේරුම් ගත්තහම.එය තමයි එකම ක්‍රමය .එහෙම නැතිව වල් සත්තු හීලෑ කරන විදිහට කැමති දේවල් කන්නදීලා හෝ නොදී හිර කරලා දඬුවම් දීලා හෝ නම් හිතක් කීකරු කරගන්න බෑ. එතනදී අප රැවටීම පමණයි වෙන්නේ අරයා කීකරුයි මෙයා කීකරුයි කියා. එකම දෙය නම්.අකීකරුයි කියා තේරුම් ගැනීම. අකිකරුයි කියන්නේ “මේ හිත මගේ නෙවෙයි, මට ඕන හැටියට ඉන්නේ නෑ”. ඒ අවබෝධයත් එක්ක හිත කීකරු වෙන්න ඕන කියන ඕනකම “මේ හිත මගේ, මට ඕන විදිහට කීකරු වෙන්න ඕන” කියන බලාපොරොත්තු පීඩන සියල්ලකින්ම තමන් නිදහස් වෙනවා, හිතත් නිදහස් වෙනවා ( අප පීඩනයට පත් කරවන්නේ හිනයි). නිදහස් වුණ ගමන්ම ඒ නිදහස කීකරුයි. කීකරු කියා කියන්න පුළුවන් නිදහසට. කීකරු කමක් නැති තැනක නිදහසක් නෑ. අප නිදහස් නම් එයා මොනවා කළත් අපට එයින් බලපෑමක් නෑ නේ. අප හිතට බලපෑම් නොකරන විට හිත ස්වභාවයෙන්ම අකීකරු නැති දෙයක් බවට පත් වෙනවා. අපේ පීඩනය නිසාමයි හිත අකීකරු වී තිබෙන්නේ. ඉතින් සිතිවිල්ලෙන් සිතිවිල්ලට මේ අවබෝධයෙන්ම වෙන නිදහස් වීමකුයි අවශ්‍ය.
ප්‍රශ්නය : අප වයසට යාම අපටවත් පාලනය කරන්න බෑ. එහෙම තියෙද්දි තව කෙනෙකුව, දෙමාපිය දරු සම්බන්ධතාවයේදී නම් දරුවන් පාලනය කරන කොහොමත් බෑ නේද? එහෙම පාලනය කරන්න ගියොත් නරකක් නේද වෙන්නේ?
පිළිතුර: දැන් සංසාර යයි නිර්වාණයයි දෙකම අපට ඕන. මෙයින් එකක් පමණක් නම් අවශ්‍ය ඔය ගැටලුව එන්නේ නෑ. අපට ඕන සංසාරය පමණක් නම් පුළුවන් තරම් පාලනය කරන්න බලනවා, නිර්වාණය විතරක් නම් ඕන කිසිම දෙයක් පාලනය කරන්න යන්නේ නැහැ, සියල්ල අතහැර දාන්න පුළුවන්. නමුත් ගිහි අය විදිහට මේ දෙකම සමබර කරගෙන යන්නයි උත්සාහ කරන්නේ. එතනදී අප තේරුම් ගතයුතු වැදගත්ම කාරණයක් තියෙනවා, “කීකරු කර ගැනීම එක දෙයක්, මගපෙන්වීම තව දෙයක්”, මේ දෙක වෙන් කර ගන්න ඕන. කීකරු කරගන්න නෙමෙයි මග පෙන්වන්නයි අවශ්‍ය. මට ඕන පාර නොවේ, හරි පාර කුමක්ද. කීකරු කරගන්නවා වෙනුවට මගපෙන්වීම කරන්න. යහ පාරක් කියන්නේ කුමකටද, එහි ගියොත් මොකද වෙන්නෙ, නොගියොත් වෙන්නේ කුමක්ද, ඒ තොරතුරු ටික දීලා ආදර්ශ සපයා ඒ දරුවා තුළින්ම ඕනකමක් ආශාවක් ඇතිකරවන්න පුලුවන්ද බලන්න.
මග පෙන්වන්න තියෙන හොඳම ක්‍රමය ආදර්ශය. ඒ ආදර්ශය ලොකු බලපෑමක් කරනවා අවට ඉන්න අයට එහෙම ඉන්න හිතෙන්න හිතවන්න. එසේ ආදර්ශයෙන් හිඳීම තුළ අප සතුටක් හා ආශ්වාදයක් විදින්න ඕන. ඒ බව අන් අයටත් පේන්න ඕන. අන්න එතනදී තමයි ඒ අයට හැඟීමක් එන්නේ අපත් ඒ විදියට ඉන්න ඕනෑකියා.
දහමටයි (ධර්මතාවයන්ටයි) කීකරු වෙන්න ඕන, වෙන මොනවටවත් කීකරු වුනාට වැඩක් නෑ දහමට කීකරු නැත්නම්. දහමට කීකරු වීම වෙනම දෙයක්. ඒ සඳහායි අපත් උනන්දු විය යුත්තේ, අනිත් අයවත් උනන්දු කරවන්න ඕන.
ප්‍රශ්නය: උදාහරණයකට මම දරුවාට උදව් කරන්නේ අයිතියක් එක්ක. ඒ අයිතිය ම තමයි පසුව අර්බුදයක් බවට පත්වෙන්නේ. මෙතැනදී ප්‍රශ්න දෙකක් මතු වෙනවා. අයිතිය කොහෙන්ද ඇතිවුණේ සහ අයිතියක් නැතිව කෙනෙක් වැඩ කරයිද?
පිළිතුර: හොඳ ප්‍රශ්න දෙකක්. බැලූබැල්මට නම් අයිතියක් එන තැනක් පේන්නත් නෑ, අයිතියක් නැතුව වැඩක් කරන්නෙත් නෑ වගේ. හැබැයි සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් අනිත් අය අපට එක එක වැඩ පවරනවා “මේ වැඩය ඔබට අයිතියි” කියා. එතකොට බැලූ බැල්මට පේන දෙයක් නම් මේ අයිතිය එන්නෙ පිටින්, ඇතුළතින් එන දෙයක් නොවෙයි. ඕනම අයිතියක් අරගෙන විග්‍රහ කරගෙන ගියොත් අන්තිමට පේන දෙයක් තමයි මේ අයිතිය පිළිබඳ මූලික වගකීම ඇවිල්ලා තියෙන්නෙ පිටින් සහ පිට දේවල් ගැන. එම නිසා අප අප පිළිබඳ වගකීමෙන් නිදහස් කියා හිතන් ඉන්නවා, “මා වෙනුවෙන් කළ යුතු වැඩක් නෑ, කරන්න තියෙන්නේ ගෙදර රට වෙනුවෙන්”. නමුත් මෙතන තමන් වෙනුවෙන් කළයුතු වැඩක් තියෙනවා. එයට කියනවා “අත්ත කුසලය” කියලා. නමුත් එය සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහින් බාහිර වැඩ නිසා, ඒ වැඩ තමන්ගේ කරගෙන සිටින නිසා. අපට තියෙන්නේ එකම එක වැඩයි, එය නම් උපතින්ම ගෙනාව වගකීම, ඉපදුනේත් ඒ කාර්ය කරගන්න, අනිත් සියළුම වැඩ ඉපදුනාට පස්සේ ඇවිත් තියෙන්නේ, එනම්, තමන් වැඩ කාරයකු නොවන බව තේරුම් ගැනීම, කාගෙවත් කිසිම දේක මෙහෙකරුවෙකු නොවෙන බව තේරුම් ගැනීම. එය තේරුම් නොගන්නා තාක් කල් අප හැමදාම කාගේ හෝ කුමක හෝ මෙහෙකරුවෙක් මෙහෙකාරියක්. ඉතින් මෙය තේරුම් ගන්න තියෙන දෙයක්.
ඊළඟට අයිතියක් නැතිව වැඩක් කරයිද?. නියම සේවය හෝ වැඩ පටන් ගන්නේ අයිතිය නැති වෙලා ගියහම. අයිතිය නැති වුණු මොහොතේ සිටයි පිවිතුරු පිරිසිදු ක්‍රියා කෙරෙන්න පටන් ගන්නේ. එතෙක් කරන කිසිම ක්‍රියාවක් පිරිසිදු නෑ, බාගෙට කාලෙට කෙරෙන්නේ. එවැනි තත්ත්වයකට පත්වනු උත්තමයන්ට තමාශාස්තෘන් වහන්සේ දේශනා කළේ බහුජන හිතාය බහුජන සුඛාය, දැන් වැඩ කරන්න පටන් ගන්න කියල. ඊට කලින් අයට කිව්වේ නෑ. ඒ පිරිසට පමණයි පුළුවන් අයිති කර නොගත් අනුන් වෙනුවෙන් හරියට වැඩ කරන්න.
ප්‍රශ්නය: දේශනයේදී “මම” කියන්නේ ගණ සංඥාවක් කියා සඳහන් වුණා. කුඩා කාලයේ සිට වයසට යාමේදී මේ සංඥාව එන්න එන්න ඝන වීම ද සිද්ධ වෙන්නේ?. කුඩා දරුවෙක් දිහා බලද්දි මමත්වය ගොඩක් අඩුයි. නමුත් වයසට යද්දී එය හොඳින් පේන්න තියෙනවා. එහෙම ඝන වීමක් වෙන්නේ කොහොමද? ඒ ඝන සංඥාව දිය කරන්නේ කොහොමද ?
පිළිතුර: ඝනත්වය අඩු වැඩි වෙන දෙයක්, එක ගානට තියෙන්නේ නෑ. කාන්දමක් ගත්තොත් එය මුලින්ම කඩෙන් ගනිද්දී පිරිසිදුයි. නමුත් කාලයත් සමග එයට යකඩ කැබලි ඇණ ආදිය ඇලෙනවා. එහෙම ඇලුන ඇණ යකඩ වලට තව තව ඇණ යකඩ ඇලෙනවා. මේ විදිහටයි එය අපිරිසිදු වෙන්නේ. ඒ විදිහටම ළමා කාලයේ දීත් මමත්වය තියෙනවා. නමුත් එයට මොනවත් එකතු වෙලා නෑ. ඒ මම කියන හැඟීම තියෙන කෙනෙකුට ’මේ ඔබේ නම, ඔබේ රට’ ආදී විදිහට කිව්වාම මමත්වය ඒ සියල්ල ඇදලා ගන්නවා. මේ විදිහට එහි ඝනත්වය වැඩි වෙනවා.
එතකොට මෙය විසුරුවා දාලා ශූන්‍ය කරන්නේ කොහොමද, එය තමයි වැදගත් වෙන්නේ. එයට ප්‍රතිපදාවක් තියනවා. ඒ ප්‍රතිපදාව තමා පළමුව කාන්දම තනි කිරීම, අත්හැරීම. අත්හැරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ, නමුත් එයින් කාන්දම තනිවෙනවා. එවිටයි කාන්දමට මධ්‍යය හොඳට පේන්න පටන් ගන්නේ.
ඊළඟට මෙහෙම ඉතුරු වෙන මධ්‍යයට මොකක්ද කරන්නේ?. එහෙම “මම” කියල කෙනෙක් නෑ කියල ඔප්පු කරන්න පුළුවන්. හැබැයි එහෙම ඔප්පු කරන්නෙත් මම ම තමයි. එහෙම මම නෑ කියලා ඔප්පු කරන්න යද්දි සියුම් “මම” තහවුරු වීම පමණයි වෙන්නෙ. නිසා එයට වෙනම ප්‍රවේශයක් ඕන වෙනවා. හැබැයි මම තනි කරන්න. එහෙම පමණයි ඊළඟට කරන්න තියෙන ටික හිතාගන්න පුළුවන් වෙන්නේ.
ප්‍රශ්නය: මම කියන්නේ මගේ කියන ඒවායේ එකතුවක් නෙමේද? මගේ කියන දේවල් අත්හැරලා යද්දී මම ට පවතින්න බෑ නේද?
පිළිතුර: මම ට පවතින තමයි මගේ දේවල් තියෙන්නේ. හැබැයි මගේ දේවල් නැති වුණා කියලා මම නැති වෙන්නේ නෑ. නමුත් එයා වැටෙනවා. එහෙම වැටුණට පසුව එයාව හඳුනාගන්නත් එයත් එක්ක ගනුදෙනු කරන්නත් ලේසියි.
ප්‍රශ්නය: සිතිවිලි කුසල් සහ අකුසල් විදිහට තියෙන්න පුළුවන්. අකුසල් සිතිවිලි තමයි කෙලෙස් විදිහට එළියට එන්නේ. එතකොට කුසල් සිතිවිලි කොහොමද තියෙන්නේ?
පිළිතුර: කුසල් අකුසල් දෙකට එක එක අර්ථ කථන දෙන්න පුළුවන්. මම ඉන්න සිතිවිලි වලට තමයි අකුසල් සිතිවිලි කියන්නෙත්. මම නැති සිතිවිලි තමයි කුසල් සිතිවිලි වෙන්නේ. ඒ තමයි හොඳටම බලාගෙන ගියහම පැහැදිලි වෙන කාරණය. මම කියන ස්වභාවයට සිතිවිල්ලකින් තොරව ඉන්න බෑ, මම ඉන්නේ සිතිවිල්ලක් ඇතුළෙමයි, සිතිවිල්ලක් ඇතුලේ නැතිව වෙන කොහෙවත් මමට ඉන්නත් බෑ. නමුත් සිතිවිල්ලකට පුළුවන් මම නැතිව ඉන්න. ඉතින් මම අඩුවෙන්න අඩුවෙන්න කුසලය වැඩි වෙනවා. කුසලය වඩනවා කියන්නේ මම අඩු වීමට.
ප්‍රශ්නය: සිතිවිලිත් එක්ක පැටලෙන්නේ නැතිව ඉන්න කියන එකේ තේරුම, සිතිවිලිත් එක්ක මමෙක් හදා ගන්නවා නේ. එතකොට සිතිවිලිත් එක්ක පැටලෙන්නේ නැතිව සංස්කාර හදාගන්නේ නැතිව ඉන්න විට මම කියන එකේ පැවැත්ම අඩුවෙලා යනවා නේද?
පිළිතුර: සිතිවිලි නැතිව මට ඉන්න බෑ, සිතිවිලි තිබුනත් මම නැතිව ඉන්න පුළුවන්. සිතිලි නැති කරන්න නෙමේ මෙතන ඕන. මමත්වයේ සිතුවිළි එකතු කරන්නේ නැතිව සිටීම. මමත්වයෙන් තොරව හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න පුළුවන්. ඒ ක්‍රමය තමයි හොයාගන්න ඕන. මමත්වයෙන් තොරව හිතද්දී සංස්කාර හැදෙන්නේ නෑ. සංස්කාරයක් හැදෙන්න බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියෙන්න ඕන. ඒ අපේක්ෂාවකින් තොරව කරන ක්‍රියා සංස්කාර කර්ම වෙන්නේ නැහැ. සිතිවිල්ලක් හදන්න සැම විටම චේතනාව ඕන. හැබැයි ඒ චේතනාව බලාපොරොත්තුවෙන් තොරයි. ඒ චේතනාව මමත්වයෙන් උපදින චේතනාවක් නොවේ.