සදහම් සැඳෑව
2022-10-05 නැණ දසුනට තත්පරයක් 11
සෑම දෙනාටම සමෘද්ධිමත් වූ සුබ සැන්දෑවක්, ආදරණීය හිතවතුනි, අද සදහම් සැඳෑවට ගොඩවැදුනු, නැණ දසුනට තත්පරයක් ආධ්‍යාත්මික ගවේෂණය සමඟ එකතුව සිටින. මෙතනදී අප සඳහන් කරන්නේ, වෑයම් කරන්නේ, අප පිළිබඳව සැබෑව වටහා ගන්න, තේරුම් ගන්න, අප පිළිබඳ ඇති තතු සාක්ෂාත් කරගන්න, දැන ගන්න. හිතවතුනි වෙන කිසිම දෙයක් පිළිබඳව දැනගන්නට නොවේ අපට අවශ්‍ය, අප පිළිබඳ යථාව, සැබෑව අනාවරණය කරගන්න.
ඒ සඳහා අවශ්‍යවන වැදගත්ම මෙවලමක් ගැනයි සදහම් සැඳෑවේ පළමු අදියරේදී, වසරකට ආසන්න කාලයක් කථා කළේ සිහිබුද්ධිය, සති සම්පජඤ්ඤය ගැන. එය ඉතාම වැදගත්, අත්‍යවශ්‍ය උපකරණයක් යථාව දැනගන්න, අනාවරණය කරගන්න.
බලාපොරොත්තු
මෙම වැඩසටහනේදී කථා කරනුයේ කොහොමද දැනගන්නේ (දැනගැනීම) කියන කාරණය මිස, දැනගන්නේ මොනවාද කියන කාරණය නොවෙයි. ඒ නිසයි මෙයට ‘නැණ දසුන’ කියන අනුමාතෘකාව භාවිතා වන්නේ. ජීවිතය පිළිබඳ සාමාන්‍ය දැනුම නම් ජීවිතය, ජීවත් කරවන්නේ බලාපොරොත්තු යන්නයි (මොනම ආකාරයේ ජීවිතයක් වුවත්). එය ළමා ජීවිතයක් ද යොවුන් ජීවිතයක් ද මහළු ජීවිතයක් ද හුදකලා ජීවිතයක් ද සාමුහික ජීවිතයක් ද ගිහි ජීවිතයක්ද පැවිදි ජීවිතයක් ද වෙනසක් නැහැ, ජීවත් කරවන්නේ බලාපොරොත්තු. බලාපොරොත්තු නිසයි ජීවත්වීම වන්නේ. පැවැත්ම සිදුවන්නෙත් ඒ නිසයි. සසර නිර්‍මාණය වන්නෙත් බලාපොරොත්තු මතයි. භව කියන්නෙත් බලාපොරොත්තු වලටයි. බලාපොරොත්තුවල එක්තරා සියුම් ගැඹුරු ස්වභාවයකට.
හිතවතුනි, ජීවිත්වීම හා බලාපොරොත්තු අතර තිබෙන්නේ අන්‍යෝන්‍ය නොබිදිය හැකි සම්බන්ධයක්. බලාපොරොත්තු කෙනෙකුව ජීවත් කරවනවා මෙන්ම ජීවත්වනවිට බලාපොරොත්තු ඇතිකරගන්නවා හා ඇතිකරගන්න බලාපොරොත්තු ඉටුකරගන්න වෑයම් කරනවා. මෙය සාමාන්‍ය දැනුම, විශේෂයෙන් මහා ප්‍රඥාවක්, භාවනාමය විශිෂ්ඨ අවබෝධයක් අවශ්‍ය නැහැ මේ කාරණය තේරුම් ගන්න. මේ සම්බන්ධ ඊළඟ සාමාන්‍ය දැනුම නම් බලාපොරොත්තු ඉටුවනවිට සතුටක් ඇතිවන බව හා ඉටු නොවන විට අසතුටක් ඇතිවෙන බව. එයත් සාමාන්‍ය දැනුමක්වන අතර ගැඹුරු ඥානයක් අවශ්‍ය නැහැ එය වටහාගන්න. නමුත් ඉටුවුණු විට හා කඩවුණු විට එක හා සමානව ඉන්න නම් සාමාන්‍ය දැනුම ප්‍රමාණවත් නැහැ. මේ අවස්ථා දෙකේදීම සිතක් නිශ්චලත්වයේ තබා ගැනීමට සාමාන්‍ය දැනුමට බැහැ. ඒ සඳහා නම් භාවනාව අවශ්‍යයයි. එසේම ඊළඟ සාමාන්‍ය දැනුම නම් බලාපොරොත්තු ඉටුවීමට වැඩියෙන් සිදුවන්නේ කඩවීමයි කියන කාරණය. එයත් සාමාන්‍යයෙන් හැමෝම දන්න කාරණයක්. මේ ආකාරයෙන් බලාපොරොත්තු කඩවූවිට (භංග වුණාම) එය දරාගන්න පහසු නැහැ, එයට සාමාන්‍ය දැනුම ප්‍රමාණවත් නැහැ. එමෙන්ම බලාපොරොත්තු ඉටුවීමට වඩා කඩවීම් නම් සිදුවන්නේ ජීවිතය දරාගන්න බැරිවෙන අවස්ථා වැඩියි. එයත් තර්‍කයට, ගණිතයට පැහැදිලිවන කාරණයක්. තර්‍කානූකූලවත් පැහැදිලියි, ගණිතානූකූලවත් පැහැදිලියි.
කම්පනය
ජීවිතයක දරාගන්න බැරි අවස්ථා වැඩියි. කම්පන ලෙසින් හඳුන්වන මෙවැනි අවස්ථා, අනපේක්ෂිතව සිදුවනවිට තේරුම්ගන්න හා දරාගන්න බැහැ. බලාපොරොත්තු නොවූ සිදුවීමක් වූ විට කම්පනයක් ඇතිවෙනවා. සුමටව ගලාගෙන යන ජීවිතය අතරතුර එක්වරම වැටීමක් සිදුවූ විට දෙදරීමක්, කම්පනයක් වැටුණ කෙනාට ඇති වෙනවා. එය කුඩා කම්පනයක් හෝ ප්‍රබල කම්පනයක් වීමට පුළුවන්. වාහනයක් හොඳ කාපට් මාර්‍ගයක යනවිට දෙදරීම්, ගැස්සීම් හා කම්පන අඩුයි. නමුත් ගල්බොරළු සහිත නිල්ලඹට එන මෙවැනි මාර්‍ගයදී හැමවිටම කම්පන. මෙහේ පාරේ උඩට එනවිට ගැස්සි ගැස්සි එන්න වෙනබව එන අය දන්නවා. දන්න කෙනෙකුට බලාපොරොත්තු කඩවීමක් නැහැ. බලාපොරොත්තු වෙන්නේත් නැහැ, කාපට් පාරක තිබෙන සුව පහසුව මේ නිල්ළඹට එන පාරේ.
නමුත් ගැටලුව තිබෙන්නේ සුමට පාරක කිලොමීටර් ගණනක් යනවිට සිතෙනවා, දිගටම පාර මෙසේ තිබෙයි කියා. මේ පාර වුණත් පටන් ගන්නා තැන කොන්ක්‍රීට් කරලයි තිබෙන්නේ. අලුතෙන් පැමිණෙන කෙනෙකු සිතන්න පුළුවන් උඩටම යනතුරු ඇත්තේ කොන්ක්‍රීට් පාරක් කියා. නමුත් එක්වරම කොන්ක්‍රීට් මර්‍ගය නිමාවන විට කම්පනයක් දැනෙනවා වාහනයට. “කොන්ක්‍රීට් පාර දිගටම ඇති” කියා සිතු කෙනෙකු සිටියා නම් වාහනයේ, “පාර කොන්ක්‍රීට්” කියා එයා තමන්ගේ සිහින ලෝකෙක සිටින විට, කොන්ක්‍රීට් පාර ඉවර වුණාම වලවල්වල වැටෙනවා, ගැස්සෙනවා, කම්පනයට පත්වෙනවා.
අවශෝෂණය
නමුත් නවීනතම වාහන එබඳු කම්පන දරාගෙන මගීන්ට දැනෙන ප්‍රමාණය අවම වන ආකාරයටයි නිර්‍මාණය කර තිබෙන්නේ. ඒ සඳහා shock absorber නමින් හැඳින්වෙන ඉතාම දියුණු තාක්ෂණයකින් නිර්‍මාණය කර ඇති දුනු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. එමගින් කම්පන උරාගන්නවා. ඒ කම්පනය පුළුවන් උපරිමයෙන් වාහනය අවශෝෂණය කරගන්නා අතර මඟියාට දැනෙන්නේ සුළු කොටසක් පමණයි, මුළු shock එකම මඟියාට දෙන්නේ නැහැ, වාහනය මොන වළක වැටුණත්. වාහනයේ තිබෙන හැකියාවෙන් කම්පනය උපරිමයෙන් absorb කරගන්නවා.
මනුෂ්‍ය ජීවිතයෙත් මේ ස්වභාවය ම තිබෙනවා. යහළුවන්, පවුලේ අය, ඥාතීන්, ආදරය කරන, ආදරය දෙන අය, වටවෙලා ඉන්න කෙනෙකුට අර කම්පන ලොකුවට දැනෙන්නේ නැහැ. වාහනයේ වගේ ඒ අය කම්පන උරාගන්නවා. නමුත් තනිවුණු කෙනෙකුට කම්පන ප්‍රබලව දැනෙන්න පුළුවන්. එකම සිදුවීම දෙදෙනෙකුට දෙවිදිහකට දැනෙන්න එක් හේතුවක් නම්, ඒ පුද්ගලයා මොනතරම් මානසිකව හුදකලාව ද සාමුහිකව ද සිටින්නේ කියන කාරණයයි.
ප්‍රබල කම්පන
සමහරවිට ලොකු වළක වැටුණොත් අර දුනු පද්ධතියේ සියල්ලම කැඩිලා යන්න පුළුවන්. එවිට එක්කෝ ගමන යන්න බැහැ වාහනයට, ගියත් කුඩා වළක වැටුණත් ලොකු කම්පනයක් දැනෙනවා මඟීන්ට. ජීවිතයක වුණත් මොනතරම් ආදරය කරන පිරිසක් වටේ සිටියත් ප්‍රබල දෙදරීමක් ඇතිවූ විට සම්බන්ධතා බිඳී යනවා. භෞතිකව ළඟින් සිටියත් මානසික සම්බන්ධතාවය, විශ්වාසය, බිඳිලා යනවා. shock absorber බිඳිලා ගියා මෙන්, ඒ අය මොනතරම් ළඟින් සිටියත් නැහැ වගෙයි. මේ කාරණාත් සාමාන්‍යයෙන් පෙනෙන ස්වභාවයන්, භාවනා කරන්න අවශ්‍ය නැහැ දැනගන්න.
මොනම ක්‍රමයකින් හෝ මෙවැනි ප්‍රබල කම්පනයක් ඇතිවූ විට මනසට දරාගන්න බැහැ. ඒ දරාගන්න බැරිකම දිගටම තිබුණොත් කුමක්ද වෙන්නේ ? සාමාන්‍ය ධර්‍මතාවය නම් ජීවිතයට කම්පන දී නැවත නැලවීමයි. ගස්සලා ඇහැරවනවා, නැවත නළවනවා. නළවනවිට බොහොම සෞම්‍ය ආකාරයට, ලතාවකට දෝලනය කරන අතර, ඇහැරවීමටයි ගැස්සීම කරන්නේ. මේ දෙකම ධර්‍මතා, සොබා දහම මේ දෙකම කරනවා. කම්පනයකින් තිගැස්සීම හා නළවා නිදිකරවීම. වැඩිපුර කරන්නේ නිදි කරවීම. ඒ නිසා සාමාන්‍යයෙන් කම්පනයන් දිගටම දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. කිසියම් කාලයක් ගියාම එහෙම එකක් වුණාද මතකත් නැහැ, සාමාන්‍ය පරිදි ඉන්නවා. නැවතත් තිගැස්සීමක් ඇතිකරවනවා. එවිට නින්ද යන්නේ නැහැ, කන්න බැහැ, ඇඟට හරිම අමාරුයි. එහෙම ටික කාලයක් ඉඳලා නැවත නළවනවා. මේ දෙකම කරන්නේ සොබාදහම. මේ දෙකම උදව් වෙනවා කෙනෙකුව දිගටම තියාගන්න. සංසාරය ඇතුළේ කෙනෙකුව නවත්වාගෙන සිටීමට මේ දෙකම අවශ්‍යයයි. දිගටම නළව නළව ඉන්න ගියත් තියාගන්න බැහැ. හොඳම උදාහරණය සිදුහත් කුමාරයා. අවුරුදු 29 ක් ම නැළෙව්වානේ. හැබැයි තියාගන්න බැරිවුණා. වසරින් වසරවත් කම්පන දිදී තිබුණා නම්, සමහරවිට සතර පෙරනිමිති දැක්කා කියා ලොකු කම්පනයක් ඇතිවෙන එකක් නැහැ.
අවිනිශ්චිතතාවය
දිගටම කම්පන දෙන්නෙත්, දිගටම නළවන්නෙත් නැහැ. මේ දෙක අතර කාල පරතරය කවුරුවත් දන්නේ නැහැ, අවිනිශ්චිතයි. කාලසටහනකට නොවෙයි සොබා දහම සිද්ධීන් නිර්‍මාණය කරන්නේ. එය මහා සංකීර්‍ණ තාක්ෂණයක්. ඒ නිසායි සදහම් සාහිත්‍යයේ කියන්නේ නියාම ධර්‍ම පහක් ගැන. බලවේග පහක් එකතුවෙලයි සිදුවීමක් නිර්‍මාණය කරන්නේ. කිසියම් සිදුවීමක එක් එක් බලවේගය බලපාන ආකාරය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මෙය සංකීර්‍ණයි, මෙයට කාලසටහනක් සකස්කරන්න බැහැ කාටවත්, කර්‍මයටවත් බැහැ. මන්ද එයාත් මේ පහෙන් එකක් පමණයි. එයා සකස් කරන කාලසටහන ඍතු විපර්‍යාස වෙනස් කරන්න පුළුවන්, එය බීජ නියාමයට වෙනස් කරන්න පුළුවන්, එය චිත්ත නියාමයට වෙනස් කරන්නත් පුළුවන්, කම්ම නියාමයටත් පුළුවන්. මේ සියලුම කාලසටහන් ධම්ම නියාමය ඉදිරියේ නිෂ්ප්‍රභා වී යනවා.
මෙහි තිබෙන්නේ ඉතාම සංකීර්‍ණ ගණිත ශාස්ත්‍රයක්. වෙන්න යන සිදුවීම, කොයි වෙලාවේද වෙන්නේ, කොපමණ වේලාවක් වෙයිද කියන කාරණා හරියටම කියන්න නම් විශාල ගණනය කිරීමක් අවශ්‍යයයි. ඒ ගණනය කිරීමට සමහරවිට ආත්ම ගණනක් යන්න පුළුවන්. එවිට එම සිදුවීම වෙලා ඉවරයි. ඒ නිසයි මේ අවිනිශ්චිතතාවය නියාම ධර්‍මයක් ලෙසින් තිබෙන්නේ, නූතන ලෝකය පිළිගත්. මෙම ගණනය කිරීම අමාරු නිසා එයට වැඩිය පහසුයි කියන්න “අවිනිශ්චිතයි” කියා. ‘අවිනිශ්චිතයි’ කීවාම ගණනය කිරීම් කරන්නත්, අනාවැකි කියන්නත් අවශ්‍ය නැහැ.
මේ ආකාරයෙන් නැළවීම සහ අවදිකිරීම සිදුවන අවස්ථාවල සමහරවිට නැළවීමට නොහැකි මට්ටමට අවදිවෙනවා. එවිට කුමන ආකාරයේ නැළවිලි ගී කීවත් සොබා දහමටම නැළවීමට නොහැකි අවස්ථා තිබෙනවා. Shock වෙනවා නමුත් නැවත recover වෙන්න බැහැ. මොනතරම් ආදරය, අවධානය ලැබුණත් යථාතත්වයට පත්වෙන්නේ නැහැ.
උමතුව
එවන් අවස්ථාවකදී පුද්ගලයෙකු අවධි කිහිපයකට අවතීර්‍ණ වෙන්න පුළුවන්. පළමු අවස්ථාව, කෙනෙකු උමතු වෙන්න පුළුවන්. උන්මත්තක කෙනෙකු පිළිබඳ අනාවැකි කියන්න බැහැ. එබඳු කෙනෙකු එයාට ම මෙන්ම සමාජයටමත් අනතුරක් වෙන්න පුළුවන් නිසා බලෙන් හරි ප්‍රතිකාර කරනවා. එබඳු කෙනෙකුට තමන් බෙහෙත් ගන්නවාද නැද්ද, ගෙදර ඉන්නවාද නැද්ද ඒවා එයාට තීරණය කරන්න දෙන්නේ නැහැ. මෙසේ එයා පිළිඳව එයාට තීරණ ගන්න තියෙන අවස්ථාව අයින් කරන, එකම අවස්ථාව උන්මත්තකවීම පමණයි.
දිවි නසාගැනීම
දරාගන්න බැරි කම්පනයක් නිසා අවතීර්‍ණවෙන දෙවැනි අවස්ථාව, සියදිවි නසාගැනීමයි. Shock absorber සියල්ල කම්පනය නිසා කැඩීයෑමෙන් සියයට සියයක්ම කම්පනය පුද්ගයාට දැනෙනවා. එවැනි වාහනයක යන මඟියෙකුට බැහැ, පාරේ තිබෙන කම්පන සියල්ලම දරාගෙන ගමන යන්න. එම නිසා ඕනෑම වාහනයක සුළු හෝ කම්පන දරාගැනීමක් තිබෙනවා. එසේ නොවුණ හොත් ඒ ගමන යන්න බැහැ. සියදිවි නසාගැනීම වරදක් නිසා, කර්‍මය විසින් කුමන ආකාරයේ දඬුවමක් ලබා දේවිදැයි කිව නොහැකි නමුත්, එයට උත්සාහ කිරීමකදි සාමාන්‍ය නීතියෙන් දඩුවම් ලබාදෙනවා.
අපරාධ
කම්පනය, පීඩනය මොළයට දරාගත නොහැකිවීමෙන් සිදුවිය හැකි තෙවෙනි විභවය නම් අපරාධ කරුවෙකු වීමයි. ප්‍රතිකාර ගැනීමට තරම් උග්‍ර නැති, බාගෙට උමතුවීමක් මෙන්ම සියදිවි නසාගැනීමට උත්සාහයක් නොමැති, ජීවිතයට කුමක් වුවත් කමක්නැහැ යැයි සිතන මොවුන් සාමාන්‍ය සමාජයට හඳුනා ගැනීමට නොහැකි අපරාධකරුවන්. අපරාධ කිරීමත් වරදක් නිසා, එයටත් දඬුවම් තිබෙනවා. එතනදි නීතියෙන් සොයන්නේ නැහැ “මොහු අපරාධකරුවෙකු වුණේ ඇයි? මොන කම්පනය නිසාද? තිබුණු දුනු කැඩුණේ කොහොමද? ” එවැනි දෑ වැඩිපුර සෙවීමකින් තොරව අපරාධයක් කළාද නැද්ද, ඒ අනුව දඬුවම් ලැබෙනවා.
මෙසේ කම්පනය වන සිත් දඬුවම, ආගම සහ කලාව වැනි කාරණා කිහිපයක් නිසා තුලනයකට ලක්වෙනවා.
දඬුවමට බියවීම
කම්පනය නිසා, උමතුවීමක් නම් ප්‍රතිකාර, සියදිවි නසාගැනීමකට උත්සාහයක් නම් පුනරුත්ථාපනය සහ අපරාධක් නම් නීතිය හා දඬුවම් තිබෙනවා. සාමාන්‍යයෙන් (සාමාන්‍ය දැනුමෙන්) සිදුවන දෙය මෙයයි. වෙන කරන්න දෙයකුත් නැහැ කියා සිතන, තිබෙන බිය නිසා අසුනොවී අපරාධ කිරීමට උත්සාහ කරන සහ සමහරවිට “ඕනෑ දෙයක් වුණාදෙන්” කියා අපරාධ කරන අපරාධකරුවන්, දරාගැනීමට නොහැකි ප්‍රබල කම්පනයක් නිසා බිහිවිය හැකියි. සමාජයට මහත් හිසරදක් වී තිබෙන මේ අපරාධ වලින් ආරක්ෂාවක් නීතිය නිසා ලැබෙනවා. සමාජයට ආරක්ෂාවක් ලැබෙනවාසේම අපරාධයක් කිරීමට පෙළඹෙන මනස නීතියට හා දඬුවමට ඇති බිය නිසා අපරාධයෙන් වැළකී සිටීමට සිතනවා. අපරාධ සම්බන්ධ නීති වැඩිවී ඇත්තෙත් ඒ නිසායි. බොහෝ සිත් අපරාධ කිරීමෙන් වැළකී සිටින්නේ, නීතියට හා දඬුවමට ඇති බිය නිසයි. සිතෙන සිතෙන දේ නොකරන්නේ ඒ නිසයි. සියදිවි නසා ගැනීමට යන කෙනාත් නීතිය නිසා යම්තාක් දුරකට ආරක්ෂා වෙනවා. නීතියට බැහැ මේ සියල්ල ම කරන්න, ඒ නිසායි ආගම් තිබෙන්නේ.
ආගමට බියවීම
බලාපොරොත්තු කඩවීමේ සිදුවීම් (කම්පන) සිදුවන්නේ, කර්‍මය නිසා බවයි සමහර ආගම් වලින් කියන්නේ. “පෙර ආත්මයේ කළ වරදකට දඬුවමකුයි මේ ලැබුණේ, සතුටු වෙන්න”. කම්පනයට පත්වී අපරාධ කිරීමට සූදානම් වනවිටත් කියනවා “අපරාධ කරන්න එපා, ඕවා කර්‍ම ඊළඟ ආත්මයෙත් විඳින්න වෙනවා” කියා. එසේ කියනවිටත් ඔන්න නැවතත් බිය පැමිණෙනවා. නීතිය මෙන්ම ආගම්වලිනුත් කරනුයේ බිය කිරීමක්. නීතිය එල්ලුම් ගහ දක්වා බිය කරන අතර ආගම් ඊළඟ ආත්ම ගැන බිය ඇති කරනවා. මේ බිය නිසා කම්පනයට පත්වූ මනස සියදිවි නසාගැනීමෙන්, අපරාධ කිරීමෙන් කිසියම් දුරකට වැළකෙන්න පුළුවන්.
නිර්‍මාණවාදී ආගම් කියන්නේ “දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා නිර්‍මාණය කළ ජීවිතය, ඔබට අයිති නැති අතර එය විනාශ කිරීම මහා පාපයක්, වැරදි කිරීමට, අපරාධ කිරීමට දෙවියන් වහන්සේ මෙලොවදී හෝ අවසාන විනිශ්චය දිනයේදී දඬුවම් දෙනවා.” මේ අවසාන විනිශ්චය පිළිබඳව විශාල බියක් තිබෙනවා නිර්‍මාණවාදී ආගම් පිළිගන්න සිත් තුළ. මේ ආකාරයෙන් ආගමෙන් ඇතිවෙන බිය නිසාත් මනුෂ්‍යයාව තුලනය කර තැබීමක් සිදුවෙනවා.
කලාවෙන් වින්දනය
මීට අමතරව මේ තුලනයට සම්බන්ධවෙන තුන්වන කාරණය නම් කලාවයි. කලාවෙන් සිදුවන්නේ කම්පනය හා කම්පනය ඇති වූ සිදුවීමේ ප්‍රපාතය වින්දනය කරන්න අවස්ථාවක් ලබාදීමයි. කම්පනය නිසා ඇතිවෙන දුක හරහා සියුම් වින්දනයක් හා රසාස්වාදයක් විඳින්න කලාව අවස්ථාව ලබාදෙනවා. කරවිලවල තිත්ත ඉවත්කර, රසකාරක එකතුකර රසවත් ආහාරයක් ලෙස දීමට හැකියි. එමෙන්ම ජීවිත කම්පන කලාත්මක කළාම, කලාත්මක රසයක් ලැබෙන අතර කම්පන නිසා අපරාධ කිරිම් සහ ජීවිත හානිකර ගැනීම යම්තාක් දුරකට සීමාවෙනවා. බය කිරීමක් නොව නැළවීමකුයි සිදුවන්නේ.
ඥාන දර්‍ශනය
මෙසේ බිය ගැන්වීමෙන් හා නැළවීමෙන් ඉටුවන්නේ වක්‍රාකාරයෙන් නැවතත් සොබා දහමේ අවශ්‍යතාවයයි. කම්පනය වූ සිත්, මානව සමාජය කිසියම් තුලනයක, සමබරතාවයක සිටින්නේ දඬුවම් හා ආගම්වලින් ඇතිකරන බිය සහ කලාවෙන් සිදුකරන නැළවීම නිසයි. සාමාන්‍ය ලෝකය, සාමාන්‍ය විද්‍යාව, සාමාන්‍ය ශාස්ත්‍රහා සාමාන්‍ය ආගම් දන්නේ එපමණයි. පවතින ගැටලුව නම් මෙය ප්‍රමාණවත් නොවීමයි. දඬුවම, ආගම් සහ කලාව නිසා ගැටලුව විසඳෙන්නේ නැහැ. බිය කිරීමෙන් හා නැළවීමෙන්, සිත් ස්ථාවර මට්ටමකට ගේන්නවත්, ස්ථාවර මට්ටමක දිගටම තබාගන්නවත්, කිසිම නීතියකට හා දඬුවමකටවත්, ආගමකටවත්, කලාවකටත් නොහැකි නිසායි, භාවනාව ශාස්තෘන් වහන්සේ විසින් හඳුන්වාදෙනු ලැබුවේ. භාවනාව මෙහිදී බිය කිරීම්, නැළවීම්, අමුතු කම්පනදීම් වලින් තොරව වෙනම භූමිකාවකුයි ඉදිරිපත් කරන්නේ.
නැළවීම්, විඳීම් හා බියවීම් කරන සාමාන්‍ය දැනුම ඉක්මවා ගිය විශේෂ ඥානයකුයි භාවනාව කියන්නේ. මේ ඥාන දර්‍ශනය භාවනාවෙන් ලැබෙන අතර ඥාන දර්‍ශනය නොලබන භාවනාව භාවනාවක් නොවෙයි. ‘සිහිබුද්ධියට හෝරාවක්’ වැඩසටහනකදී කිව්වා, කොච්චර ගැහුවත් දැනෙන්නේ නැති කිඹුල් හමක් වැනි සිතක් පිළිබඳව. කිසියම් කමටහනක, අරමුණක නැවත නැවත, නැවත නැවත සිත වැඩීමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි සිතක් ලැබිය හැකියි. ඕනැම දෙයකට ඔරොත්තු දෙන මෙවැනි සිතක් සාදා ගැනීම, භාවනාව ජනප්‍රිය වීමට බොහෝවිට හේතුවක් වන අතර එය සාමාන්‍ය සමාජයට යහපතක්. නමුත් එබඳු මනසකට එතෙරවීමක්, ජීවිතය පිළිබඳ යථා අවබෝධයක් ලැබෙන්නේ නැහැ, එයට බාධාවක්.
ආධ්‍යාත්මික කම්පන
හිතවතුනි, මේ කම්පන මඟින් නිදා සිටින සිත් අවදි කරන අතර භාවනාවෙන් කරනුයේ නැවත නින්දට නොවැටී දිගටම අවදිමත්බව පවත්වා ගැනීමට උපකාර කිරීමයි. නිතීය හා ඇතැම් ආගම් මෙන් බිය වැද්දීමෙන් මර්‍ධනය කිරීමත්, කලාවෙන් මෙන් දුක රසවත් වින්දනයක් කර විඳින්නට දී නැළවීමවත් භාවනාවෙන් කරන්නේ නැහැ. ගැස්සීම නිසා බාගෙට අවදිවීමෙන්, අන්දමන්ද වී සිටින මනස, ප්‍රකෘති අවදිමත් ස්වභාවයකට ගෙන ඒමට භාවනාව මෙවලමක් වෙනවා.
ආධ්‍යාත්මික ක්‍ෂේත්‍රයේ කම්පනවලට ලොකු තැනක් තිබෙන්නේ මේ නිසායි. බලාපොරොත්තු සඵලවීමට වඩා බලාපොරොත්තු කඩවීම, සිතන දේවල් ඉටුවීමට වඩා ඉටුනොවීම, ඥාන දර්‍ශනයට (අවබෝධයට) උදව්වක්. ඥාන දර්‍ශනය යනු කඩවීම් පිළිබඳව ම ලබා ගන්නා අවබෝධයක් නොව සමස්තය පිළිබඳව ම ලබාගන්නා අවබෝධයක්. ඒ සඳහා අවදිමත් මනසක් අවශ්‍ය වෙනවා. සිතන සිතන හැමදේම සිදුවන විට ඒ මනස නින්දට වැටෙනවා. සුඛෝපභෝගී කියන ජීවිත, නිදාගෙන සිටින අතර කටුක කියන ජීවිත, කටු යහනක වැතිරී සිටීමක් වැනිය. එවැනි අත්දැකීම්වලින් බැහැ කෙනෙකුව ඥාන දර්‍ශනයට ගේන්න, කිසියම් අවදිමත්බවක් අවශ්‍යයයි. ඒ අවදිමත්බව කටුක අවදිමත්බවක් නොවිය යුතුයි, එමෙන්ම සුඛෝපභෝගි නින්දක සිටින තත්වයකුත් නොවිය යුතුයි.
මේ නිසා ආධ්‍යාත්මික ගුරුවරුන් සෙස්සන්ව අවදිමත් කිරීම සඳහා කම්පන ඇති කළා. අපේ ශාස්තෘන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේටත් අවස්ථා තුනක කම්පන තුනක් ඇති කළා. ජනපද කල්‍යාණියක්, වැඳිරියක් සහ දිව්‍යාංගනාවක්. මොන තරම් කම්පනයක් ඇතිවෙන්න ඇත්ද? ඒ කම්පන ධනාත්මක කම්පන. එසේම ඛේමාතුමියට ඇතිකළ සුරූපි රූපයක් ඉතාම ඉක්මනට වියපත් වෙන කම්පනය වෙනස්ම කම්පනයක්. මේවා ආධ්‍යාත්මික කම්පන. එසේ කම්පන ඇතිකළේ නැතිනම් නන්ද ස්වාමීන් වහන්සේත්, ඛේමාතුමිය, පටාචාරාතුමිය, කිසාගෝතමිතුමිය, ඇතුළු බොහෝ දෙනෙකු තවමත් සංසාරේ.
කම්පනය කියන්නේ සිතාගත නොහැකි, නොසිතා සිටි, අපේක්ෂා නොකළ දෙයක් එක්වරම සිදුවීම. සෙමින් සිදුවෙමින්, ටික ටික දැනගන්න කාලය දෙමින් කම්පන ඇතිවන්නේ නැහැ. වයසට යෑමේදී කම්පනයක් ඇති නොවන්නේ ඒ නිසායි. ඕනෑම කෙනෙකු වයසට යනවා, වියපත් වෙනවා. කෙස් සුදුවෙනවා, හම රැළි වැටෙනවා, දත් වැටෙනවා, කුදු වෙනවා. මේ දේවල් වෙන්න අවුරුදු 60 ක්, 80 ක් වැනි ලොකු කාල පරාසයක් ගන්නවා. එය කම්පනයක් නොවේ, එතන කම්පනයක් ඇති වෙන්නේ නැහැ.
නමුත් පෙර උදාහරණයේදී විනාඩි කිහිපයකින් ඒ විපරිණාමය වුණාම ලොකු කම්පනයක්. කම්පනයයි කාලයයි අතර සම්බන්ධයක් තිබෙනවා. සිදුවීම් දෙකක් අතර කාලය දිග නම්, ලොකු කාලයක් තිබෙනවා නම් කම්පනයක් නැහැ. ඒ සිදුවීම් දෙක අතර කාලය කෙටි නම් (කෙටි කාලයකින් සිදුවන වෙනස් වීමක් නම්) කම්පනයක් ඇති වෙනවා. කාලය අඩු වෙන්න අඩු වෙන්න කම්පනයේ ප්‍රබලතාවය වැඩියි. තත්පරයක් වැනි කෙටි කාලයකින් සිදුවන ක්‍රියාවක් නිසා ලොකු කම්පනයක් ඇතිවන අතර සමහරවිට හෘදයාබාධයක් පවා ඇතිවිය හැකියි. ආධ්‍යාත්මික ගුරුවරු එවැනි කම්පන ඇති නොකරන අතර පෙර ආකාරයේ කම්පන චේතනාත්මකව ම ඇතිකරවනවා ආධ්‍යාත්මික අවදි කිරීමක් සඳහා.
ප්‍රාතිහාර්‍ය
කිසියම් කෙනෙකු දිගටම අපව නළව නළව නම් සිටින්නේ, එයට අප කැමතියි. නමුත් ඒ කෙනා මොන තරම් හොඳ කෙනෙකු වුණත් ආධ්‍යාත්මික මිත්‍රයෙකු නම් නොවේ. මවු තුරුලේ නැළවීමෙන් ඇතිවුණු ඒ ආභාෂය නිසා, ඕපපාතික නොවන හැම සත්ත්වයෙකුම කැමති ඇති කාගේ හෝ තුරුලක නැළවෙන්න, ඕනෑම ප්‍රශ්නයකදී අම්මා අපව නළවනවා වගේ. එවැනි කෙනෙකුට “හොඳ මිත්‍රයෙක්, හොඳ ස්වාමි පුරුෂයෙක්, හොඳ භාර්‍යාවක්” කියා ‘හොඳ’ කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්, එය ඇත්තක්, නමුත් ආධ්‍යාත්මික මිත්‍රයෙකු කියන්නේ එයට වඩා වෙනස් කෙනෙකුට. පිස්සු හැදෙන, දිවි නසාගන්න, අපරාධකාරයෙකු වෙන මට්ටමට ආධ්‍යාත්මික මිත්‍රයෙකු අපව කම්පනය කරන්නේ නැහැ. සොබා දහමෙන් ලැබෙන කම්පනය දරාගන්න බැරිවීමෙන් උමතු වූ, සියදිවි නසාගැනීමට උත්සාහ කරන්නා වූ, නැතිනම් අපරාධකාරයෙකු වූ අයෙකු නම් සිදුකරන්නේ නැළවීමක්. එවැනි මට්ටමක කෙනෙකුව තුලනය කරන්න පුළුවන්, එය විශිෂ්ට හැකියාවක්, දියුණු ආධ්‍යාත්මික ගුරුවරයෙකුට කළ හැකි එක් ප්‍රාතිහාර්‍යක්.
නියමිත සංඛ්‍යාතයට කම්පනය වෙන්න අවශ්‍යයයි. මොනම කම්පනයක්වත් නැතිව ඉන්නවිට ඇත්ත සොයන්න යන්නේ නැහැ, ඒ ඇත්තන්ට ඇත්තක් අවශ්‍ය නැති නිසා. එමෙන්ම ඉහළ කම්පනවල සිටින ඇත්තන්ට ඇත්ත සොයන්න තරම් නිදහස් මනසක් නැහැ. පහළ කම්පනවල සිටින අය ඉහළ කම්පනවලටත්, ඉහළ කම්පනවල සිටින අය පහළ කම්පනවලටත් ගෙන යන්නට හැකි කෙනෙකු තමයි ආධ්‍යාත්මික ගුරුවරයෙකු කියා කියන්නේ.
මේ දහම් මඟ, දහම් පථය, track එක පවතින්නේ නියමිත සංඛ්‍යාතයක. ඒ සංඛ්‍යාතයට ගෙන ඒම අවශ්‍යයයි. එවිටයි කෙනෙකු දහම් පථයට වැටෙන්නේ. නැතිනම් වන්නේ වෙනත් පථවල (උමතුවීමේ පථයක, අපරාධ කිරීමේ පථයක, සියදිවි නසාගැනීමේ පථයක) කැරකි කැරකී සිටීමයි. හරිම හොඳ, හරිම අහිංසක, කාටවත් කරදරයක් නැති, මුහුණ දිහාවත් බලන්නේ නැති කෙනෙකු අමාරුයි අවබෝධ පථයට ගේන්න. එහෙම ඉන්න බැහැ. ඒ නිසා එහෙම කෙනෙකු කම්පනය කර ඉහළ කම්පන සංඛ්‍යාතයකට ගන්න අවශ්‍යයයි. ඉහළ සංඛ්‍යාතවල සිටින අය පහළ සංඛ්‍යාතවලට ගේන්න අවශ්‍යයයි. මෙය පහසු කාර්යයක් නොවේ, මෙයයි ප්‍රාතිහාර්‍ය. මෙය පොතකින් කරන්න බැහැ. කලාවට, නීතියකට, ආගමකට කරන්න බැහැ. අන්න ඒ ප්‍රාතිහාර්‍ය යි අපේ ශාස්තෘන් වහන්සේ පෑවේ. ඉහළම ප්‍රාතිහාර්‍ය විදිහට විස්තර වන්නේ මේ ප්‍රාතිහාර්‍ය යි. එය ඉහළම ප්‍රාතිහාර්‍යයක් වන්නේ ඇයි කියන කාරණය පැහැදිලි ඇති. ඒ ශාස්තෘ ගෞරවයයි ශ්‍රද්ධාවයි එක පැත්තකින් ඇතිකර ගන්නා ගමන්, එතැනින් නතර නොවී අපේ ඥාන දර්‍ශනයට මෙය අදාළ කරගන්න අවශ්‍යයයි.
දහම දැනෙන මට්ටම
ඥාන දර්ශනයට අදාළ වන කාරණය නම්, මේ හැම කම්පනයක් ම ඇතිවන්නේ බලාපොරොත්තු කඩවීමක් තුළින් යන්නයි. කෙනෙකු කියන්න පුළුවන් “බලාපොරොත්තු හදාගත්ත නිසානේ කඩවුණේ, හදාගන්නේ නැති ව සිටියානම් කඩවෙන්නේ නෑනේ” කියා. එය ලස්සන පිළිතුරක් වුවත් ප්‍රායෝගික නැහැ. මන්ද කෙනෙකු ජීවත් කරවන්නේ බලාපොරොත්තු, ජීවිතය කියන්නේ බලාපොරොත්තු නිසා. බලාපොරොත්තු අඩුකරගන්න පුළුවන්, නමුත් කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉන්නවා කීම වෙන්නේ නැහැ, එය යථාර්‍ථයක් නොවෙයි. එසේම සෑම බලාපොරොත්තුවක්ම ඉටුකරගන්නත් බැහැ. සෑම බලාපොරොත්තුවක්ම ඉටුවෙනවා නම් එතනත් කම්පනයක් නැහැ. ඥාන දර්‍ශනයක් ඇතිකරගන්න අවශ්‍යනම් බලාපොරොත්තු කැඩෙන අවස්ථා වැදගත්. ඒවා කර්‍මයට බාර දෙන්න එපා. “පෙර කරන ලද කර්‍මයක් නිසයි මෙහෙම වුණේ” කියා විවිධ පුද-පූජා කරමින්, යන්ත්‍ර, නූල් බඳිමින් ඉන්න එපා.
එවන් අවස්ථාවක පුළුවන් නම් කල්‍යාණ මිත්‍රයෙකු සොයාගන්න. එසේ නොමැති නම් අපට මේ තිබෙන පසුබිම, දැනුම, ඥානය හොඳටම ප්‍රමාණවත් එහෙම තැනකදි අවදි වෙන්න. ඒ දහම දැනෙන, ධර්‍ම චක්‍රය කරකැවෙන සංඛ්‍යාතයට එන්න. එතන බලන්න, අපේ සංඛ්‍යාතය වැඩිනම් අඩු කරගන්න. අඩු නම් වැඩි කරගන්න. භාවනාවෙන් කරන්නේ අපේ සංඛ්‍යාතය අඩු වැඩි කර ගැනීම. සිහියෙන් තමයි එය කෙරෙන්නේ. සිහිය හා වීර්‍ය ඉන්ද්‍රිය තිබෙන්නේ ඒ සඳහායි. ඒ ගාණට ගෙන ආවිටයි දහම පෙනෙන්න පටන්ගන්නේ.
දහම දකිනවා කියන්නේ තමන්ව දැකීම. අප පසුගිය සති දෙකේදීම මේ පිළිබඳව කථා කළා. ගුරුවරයෙකු අපට අවශ්‍ය වන්නේ අපව දකින්න. ගුරුවරයා කියන්නේ කැඩපතක්. ඇස් දෙක ඇරගෙන එහෙම කෙනෙකු දිහා බලා සිටියා කියා වැඩක් වෙන්නේ නැහැ. එහෙම බලාගෙන ඉන්න ඉන්න ඇස් දෙකට රූපයම තමා පෙනෙන්නේ. එනිසායි බුදුන් වහන්සේ දේශනා කළේ “දහම දකින්නා බුදුන් දකී” කියා. දහම දකින්න නම් අපව පෙනෙන්න අවශ්‍යයයි. අප හරහානේ දහම දකින්න වන්නේ. එතනින් අපට තේරුම් ගන්න තිබෙන කාරණය නම් කෙනෙකු දහම දැක්කොත් බුදුන් දැක්කා වෙනවා, තමන් දැක්කොත් දහම දැක්කා වෙනවා. එවිට තමන් දැක්කොත් බුදුන් දැක්කාත් වෙනවා.
කම්පනය ගුරුවරයෙක්
කම්පනය වන තැනකදී ඒ කම්පනය දිහා බලන්න අවශ්‍යයයි. එවැනි තැනකදී ගුරුවරු සොයන්න යන්න එපා, කම්පනය තමයි ගුරුවරයා වන්නේ. ඒ කම්පනය තමයි කැඩපතක් වන්නේ, කැඩපතක් වෙලා අපට අපව පෙන්වන්නේ. අප හදාගත් සිහින ලෝකය, සිහින ලෝකය සාදාගත කෙනා, ප්‍රාර්‍ථනා ඒ සියල්ල පෙන්වනවා. එය නිර්‍මාණය වූ සැටිත්, දැන් සිටින අපායත් පෙන්වනවා. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, අපාය මේ තුන් ලෝකයම පෙන්වනවා. මේ කැඩපතෙන් අතීතය, වර්‍තමානය, අනාගතය යන තුන් කාලයමත් පෙන්වනවා. එමෙන්ම මෙතනින් අයින්වෙන පැත්තත් පෙන්වනවා. එය එක් වාක්‍යයකින් සංක්ෂිප්ත කළොත් කම්පන ආධ්‍යාත්මික ගුරුවරයෙක් කරගන්න. කම්පනය දඬුවම් දෙන දෙවියෙකු, මාරයෙකු, යමපල්ලෙකු කරගන්න එපා.
භාවනාව
ඒ දැක්මත් සමඟ අප ස්වල්ප වේලාවක් නිහඬව මේ පණිවුඩය උරාගන්න උත්සාහ කරමු. මේ පණිවුඩයේ තිබෙන සත්‍ය අසත්‍යතාව අපේම ජීවන අත්දැකීම් හරහා උරගා බලන්න වෑයම් කරමු, සාකච්ඡාවට කලින්.
හොඳයි හිතවතුනි, සාකච්ඡාවට යමක් එකතු කරන්න, අසන්න, කියන්න මේ අවස්ථාව.
සාකච්ඡාව
ප්‍රශ්නය : භාවනා කළත් නොකළත් ඕනෑම කෙනෙකුට ජීවිතයේ කම්පන ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී භාවනා නොකරන කෙනෙකුට නම් කළ යුත්ත නොකළ යුත්ත තෝරා බේරා ගන්න හරි අමාරු වෙනවා. නමුත් භාවනා කරන කෙනෙකු සිදුවීමකදී කම්පනයට පත් වුණත් එයින් ගැලවෙන්න මගක් තියෙනවා නේද?. ඒ වාසිය භාවනා නොකරන කෙනෙකුට වඩා භාවනා කරන කෙනෙකුට තියෙනවා නේද?
පිළිතුර : අනිවාර්යයෙන්ම, භාවනා කරන කෙනෙකු තමන්ගේ හිතත් සමගයි ගනුදෙනු කරන්නේ, හිත තමා වැඩිපුර ඇසුරු කරන්නේ, හිතත් සමග තමා ජීවත් වෙන්නෙ. එනිසා කම්පන දරාගැනීමේ හැකියාව එසේ නොකරන කෙනෙකුට වඩා සාමාන්‍යයෙන් වැඩියි. ඒවාගේම සම්පූර්ණයෙන්ම කම්පනයකදී සිහිකල්පනාව නැති වෙලා උමතු වෙන තැනකට යන්නෙත් නෑ, ජීවිතය නැති කරගන්න තැනකට එන්නෙත් නෑ, හේතුව එයා ජීවිතයේ වටිනාකම දන්නවා. ඇත්තටම භාවනාව කරනවා නම් භාවනාව තමයි දන්නේ ජීවිතය මොන තරම් වටිනවද, ජීවිතය තරම් වටිනා වෙනත් කිසිම දෙයක් මේ විශ්වයේ වෙන කිසි දේකට නෑ කියා, මොකද, මේ ජීවිතය ඇතුලේ තමා උතුම්ම ආර්ය සත්‍යය, චතුරාර්ය සත්‍ය තියෙන්නේ. සියදිවි නසා ගත්තොත් හෝ අපරාධකාරයෙක් වුනොත් එය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ වාගේම භාවනා යෝගියෙක් අතින් යම් වැරැද්දක් සිදු වීමට යාමේදී එය එක්කෝ සිතුවිළි මට්ටමේදී හෝ ක්‍රියාත්මක වෙමින් පවතිද්දී ක්‍රියාව සම්පූර්ණ වීමට පෙරම අවබෝධ වෙනවා. එනිසා ඉදිරියට තැබූ පය ආපසු ගන්නවා. ඒ හැකියාවක් ලැබෙන්නේ භාවනාවේදී.
එසේම භාවනාවේදී තාවකාලික බව ගැන කිසියම් අවබෝධයකුත් ලැබෙනවා. ඒ තාවකාලික බව පිළිබඳ විශ්වාසයන් නිසා දරාගැනීමේ හැකියාව ඉවසීම වැඩි වෙනවා. භාවනා නොකරන කෙනෙකුට එය සදාකාලිකයි කියන හැඟීම තමාඑන්නෙ.
කම්පනය භාවනාවේදී කමටහනක් කරගන්න පුළුවන්. කම්පනයක් නින්දෙන් ඇහැරෙන අවස්ථාවක් කරගන්නවා. එය සුබවාදීව ගන්නවා.
මේ විදිහට කියු නොකියූ කාරණා ගණනාවක් නිසා භාවනා යෝගියා කම්පනය වන ස්වභාවය අඩුයි. ඒ වගේම ඉන් ලොකු ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. අර තුන් දෙනාගෙන් එක් කෙනෙකු නොවී ඉන්නත් හැකියාව තියෙනවා.
ප්‍රශ්නය : කම්පන අනපේක්ෂිතයි, ඒවා ඕනෑම වෙලාවක සිදුවෙන්න පුළුවන්. ඒ වාගේම එයට විසදුම් දෙන්න කාල පරාසයක් ගැන නියතයක් නෑ, එවේලේම විසදුම් දෙන්න ඕන කියා නියතයකුත් නෑ. අපට කාලය ගන්න පුළුවන්. එතකොට මේ වගේ ක්‍රමවේදයක් යොදාගත්තොත්, එවැනි අවස්ථාවක කලබල නොවිය සිහිබුද්ධිය ඇතිකරගෙන විසඳුමක් හොයාගන්න පුළුවන් නේද?
පිළිතුර : පුළුවනි, එය තමා බුද්ධිමත්ම දෙය. එහෙම කම්පනයක ඉන්නවිට තීරණ ගන්න හොඳ නෑ, මොකද ඒ තීරණ ආවේගශීලී දුරදිග නොබලා ගන්න තීරණ වෙන්න පුළුවන්. එම නිසා හොඳම දේ තමා තීරණ ගැනීම කල් දාන්න. මේ කල් දැමීම කියන එකේ කාලය සාපේක්ෂ දෙයක්. අපට අනන්ත කාලයක් ලැබෙන්නේ නෑ, තීරණ ගන්න වෙනවා, ක්‍රියාත්මක කරන්න වෙනවා. එම නිසා කාලයේ ප්‍රමාණය නොවේ වැදගත්, ඒ ගැන හිතන්න ඉඩක් හදා ගැනීමයි වැදගත්. කම්පනයක දී වැඩියෙන්ම අහිමි වෙන්නේ හිතීමේ හැකියාව. එතනදී ඉඩක් හදා ගත්තොත් අපට හිතන්න පුළුවන් මොකද මේ උනේ මොනවද මගෙන් වෙන්න යන්නේ, විපාක මොනවද ආදී වශයෙන්. එය එක පැත්තක්.
ඊළඟට දැන ගැනීමේ හැකියාව ලැබෙනවා. කම්පනයක දී කායික පැත්තෙන් එන වේග සහ සිතිවිලි ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගන්න පුළුවන්.
ආවේගශීලීව ක්ෂණික තීරණ ගන්නේ නැතිව කාලය අරගෙන මේ දේවල් දිහා කෙනෙකු බලන්න පටන් ගත්තොත් සිහිබුද්ධියට එන්න දොරක් ඇරෙනවා.සිහිබුද්ධිය කිසියම් මට්ටමකට හරි ඇතිකර ගත්තොත් එතන ගැළවීමක් තියෙනවා, මොකද එයා අපව බලාගන්නවා. එයා නැත්නම් තමාඅපට නීති හා කලාව හා ආගම් ඕන වෙන්නේ. සිහිබුද්ධිය ආ පසු යළි වැටෙන්න යන එක නවත්වනවා( වලකට වැටුනට පස්සෙ එන කම්පනය දරාගන්න තමයි හැමෝම උදව් කරන්නේ). සිහිබුද්ධිය නැවත එබඳු කම්පනයකට පත් නොවී ඉන්න නම් කුමක්ද කරන්න ඕන කියන ඒ පෙර වැලැක්වීම සදහා ගත යුතු දේ අපට පෙන්වා දෙනවා.
ප්‍රශ්නය : විපස්සනා භාවනා යෝගීන්ට එන ලොකු ප්‍රශ්නයක් තමයි අෂ්ටලෝක ධර්ම හමුවේ කම්පන තත්වය දැකීමේ හැකියාව අඩුවෙලා ගිහිල්ල වගේ තත්ත්වයක් ඇති වෙන එක. මොකද ඒවා කම්පනයන් කියලා ගණන් ගන්නේ නැති බවක් ඇතිවෙනවා. ඒ තත්වය මේ ආධ්‍යාත්මික ගමන යාමට බාධාවක් වෙනවද?
පිළිතුර : සමථ භාවනාවේ දීත් එවැනි දෙයක් වෙන්න පුළුවන්, කිඹුල් හමක් වගේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ගතියක්, උපේක්ෂා සහගත මනසක් කියන්නේ එයනේ. එවැනි මනසක් ඇති වූ විට එයා කිසිම දෙයක් ගනන් ගන්නේ නෑ, කම්පනයක් උනාද වත් දන්නේ නෑ. ඒ හැකියාව සමථ යෙදී ලැබෙනවා විපස්සනාවට වැඩිය.
විපස්සනාවේදී වෙන්නේ කම්පනය වීම ධර්මතාවයක්, නොසිතන දේ සිදුවීම, සිතූ දේ නොවීම ධර්මතාවයක්, මේ විදිහටයි විපස්සනා කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බැලුවත්, හේතුඵල විදිහට බැලුවත්, පටිච්චසමුප්පාද විදිහට බැලුවත්, නියාම ධර්ම විදිහට බැලුවත් සාමාන්‍යයෙන් මූලිකව ලැබෙන්න දැක්ම තමා මේවා අවිනිශ්චිතයි, හිතන විදියට යමක් වෙන්නේ නෑ, ඊළඟ මොහොතේ කුමක් වෙයිද දන්නේ නෑ, එනිසා විවෘතව ඉන්න ඕන. මේ විදිහට අප මනස සකස් කරනවා, මනස සූදානම් කරනවා අනපේක්ෂිත දේකට මුහුණ දෙන්න. එසේ සූදානම් වෙන්න වෙන්න සූදානම් වූ ප්‍රමාණයට එය අපට අනපේක්ෂිත වෙන්නේ නෑ, අපේක්ෂිතයි, සියයට සියයක්ම නොවෙයි, විපස්සනාවේදීත් කිසියම් කම්පනයක් එනවා. සාමාන්‍යයෙන් එයත් අඩුවෙලා යනවා.
එය දිගටම විමුක්ති මාර්ගයේ යන්න බාධාවක් වෙනවද?. එය බාධාවක් කරගන්න පුළුවන්, කොහොමද, “දැන් මගේ හිත අකම්පිත මනසක්” කියන තැනට ආවහම ගමන එතැනින් නවතිනවා. එනිසා බලන්න ඕන එක සිද්ධියක් දෙකක් නෙමේ, විශේෂයෙන් සාමාන්‍ය ජීවිතයේ දීයි බලන්න ඕන අප කම්පනයක දී කොහොමද හැසිරෙන්නෙ කියා. එය අවශ්‍යයි අප ඉන්නේ කොතනද සහ කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ මොනවද කියලා හඳුනාගන්න.
ප්‍රශ්නය : අපේ නීවරණ හඳුනාගෙන ඒවා පාලනය කිරීමෙන් ඥාන දර්ශනයට එන්න පුළුවන් මාර්ගයක් තියනවද?
පිළිතුර : ඥාන දර්ශනය ඇති වෙන්න සුදුසුකම් දෙකක් ඕන. එක සුදුසුකමක් නම් සමාධිය. එය අත්‍යවශ්‍ය යි. සමාධියක් ඇතිවෙන්න නම් නීවරණ හඳුනාගෙන ඇයි ඒවා නීවරණ වෙන්නේ කියා (පොතේ තියෙන නිසා නොවෙයි) හඳුනාගෙන ඒ වැස්ම වල් වලින් හිත විවෘත කරගන්න ඕන. එය මෙම ක්‍රමවේදයේදී අත්‍යාවශ්‍යම පියවරක්. හිත විවෘත වීමටයි නිවරණ ප්‍රහීණ වෙනවා කියන්නේ. නිවරණ වලින් කරන්නේ හිත වසා දැමීම. වහලා දාපු හිතකට කුමන දර්ශනයක් වත් නෑ, මිත්‍යාදෘෂ්ටිය පමණයි ඇති වෙන්නේ. දිට්ඨිය කියන්නේ දර්ශනයක් නොවේ. දිට්ඨියකට බෑ දර්ශනයක් දෙන්න, ඒ වෙනුවට තමන්ගේම අදහස් ටිකකට රැවටී හා වශීවී මෝහනය වීම පමණයි සිදු වෙන්නේ. නිවරණ වලින් තොර හිතකට තමා පුළුවන් වෙන්නේ දකින්න. ඒ නිසා ඒ වෙලාවේ මතුවෙලා තියෙන නිවරණය කුමක්ද එය හඳුනාගෙන ඇයි එය නීවරණයක් වෙන්නේ කියා දැක ඉවත් කරගන්න වෙනවා. එහෙම ඉවත් කළ පසුයි පිරිසිදු හිතක් පිරිසිදු මනෝ විඤ්ඤාණයක් පහළ වෙන්නේ. එවැනි මනෝ විඤ්ඤාණයකටයි කැඩපතකින් ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ.
හිතවතුනි,කම්පනය රන් දොරටුවක්. ඒ වාගේම අනිත් අයගේ කම්පන වලටත් සංවේදී වෙන්න. මොකද ඒ කම්පනයෙන් ඒ අයව කොයි තැනකට තල්ලු කරයි ද දන්නේ නෑ, කුමක් කරයිද සියදිවි නසා ගනී ද අපරාධකාරයෙක් බිහි කරයිද දන්නෙ නෑ. එනිසා අප ඇසුරු කරන අය කෙරෙහි සංවේදීව ඉන්නත් මේ භාවනාව උදව් කරනවා.
හැම දෙනාටම,
සෙතක්ම වේවා !
ශාන්තියක්ම වේවා !!
සැනසිල්ලක්ම වේවා !!!