සදහම් සැඳෑව -2
2022-11-30 නැණ දසුනට තත්පරයක් - 19
දයාබර කල්‍යාණ මිත්‍රයිනි, අද දින සදහම් සැඳෑවේ ආධ්‍යාත්මික ගනු-දෙනුවට සැදී පැහැදී සිටින හිතවතුනි, මේ මොහොත කාටත් වැදගත්. මේ මොහොත සෑම දෙනාටම වැදගත් වන්නේ, මේ වැඩසටහන නිසා නොවේ. හැම මොහොතක්ම ඉතාම වටිනවා, නොවටින මොහොතක් නැහැ. “පැයක් දෙකක්, දවසක් මාසයක්, අවුරුද්දක් සමහරවිට ජීවිත කාලය ම කිසිම වටිනාකමක් නැහැ” කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ‘මොහොත’ වටිනවා, මුළු ජීවිත කාලයක් ම නොවටිනා දෙයක් වුවත් මොහොත යනු ඉතාමත් වටිනා දෙයක්.
මොහොත වටිනවා
එම නිසයි මොහොත පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්නේ, ඒ පිළිබඳව වඩාත් අවදිමත්වන්න උත්සාහ කරන්නේ. මේ මොහොතෙයි සියල්ල (එනම් විඳින්න අවශ්‍ය සැප ද දුක ද යන්න) තීරණය වන්නේ. විඳින්න අවශ්‍ය සැප ද දුක ද, යන්නේ අපායට ද සුගතියට ද, සසර දුකට ද? මේ සියලු මංසන්ධි තිබෙන්නේ මේ මොහොතේ. මෙබඳු දෙමංසන්ධි සෑම විටම මුණගැසෙනවා. තීරණයක් ගන්න අවශ්‍යයයි අත්හරිනවා ද අල්ලගන්නවා ද කියා. “හා” කියනවා ද “බැහැ” කියනවා ද, “ඔව්” කියනවා ද “නැහැ” කියනවා ද, නිහඬව ඉන්නවා ද කියන මේ සියලු තීරණ ගන්න තිබෙන්නේ මේ මොහොත පමණයි. මේ මොහොතේ ගත යුත්තේ කුමන තීරණයක්ද කියා කොහොමද තීරණය කරන්නේ ? ගන්න අවශ්‍ය තීරණය ගැන තීරණයක් ගන්නෙ කොහොමද? එවැනි තීරණයක් ගන්න නම් මුලින් ම උපරිම තොරතුරු ප්‍රමාණයක් සොයා ගතයුතු නිසා මේ මොහොතේ සිදුවීම නිරීක්ෂණය කරන්න වෙනවා. නිරීක්ෂණයකින් තොරව එකතු කරන තොරතුරු, ඕපාදූප පමණයි. ඕපාදූප මත ගනු ලබන තීරණ කොපමණ දුරට අපව ඉලක්කයකට රැගෙන යයි ද නොයයි ද කියා තීරණය කරන්න බැහැ. නමුත් නිරීක්ෂණය එයට වඩා ඉතාමත් ම ප්‍රායෝගිකයි. එම නිසා තමන් නිරීක්ෂණය කළ යුතු වෙනවා, එම නිරීක්‍ෂණය සිදුවියයුතු වන්නේ මේ මොහොතේයි. නිරීක්ෂණයක් සිදුවෙනවා නම් සිදුවිය හැක්කේ මේ මොහොතේ පමණයි. එම නිසා මේ මොහොත වැදගත්.
මුළු දහම ම තිබෙන්නේ මේ මොහොතේ. සංසාරය තිබෙන්නේ අතීතයේවත් අනාගතයේවත් නොව, මේ මොහොතේ, සසරින් එතෙරවීමත් මේ මොහොතේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ ක්‍රමවේදය (ඒ සඳහා ගමන් කළයුතු මාර්ගය) කියන මේ අංශ හතරම තිබෙන්නේ මේ මොහොතේයි. එම නිසා කාලයේ වෙන කොහෙවත් ‘චතුරාර්ය සත්‍යය’ සොයා ගන්නට බැහැ මේ මොහොතේ හැර. කෙනෙකුට සිතෙන්න පුළුවන් “මේ චතුරාර්ය සත්‍යය පිරිසිදුව නිර්මලව තිබුණේ වසර දෙදහස් පන්සියයකට කලින්, අද එය විවිධ අර්ථකථන වලින් වෙනස් වී තිබෙන්න පුළුවන්, අමතකවීම් නිසා අඩුපාඩු තිබෙන්න පුළුවන්, එකතුවීම් තිබෙන්න පුළුවන්, එම නිසා නියම චතුරාර්ය සත්‍ය සොයා ගැනීමට නම් අවුරුදු දෙදහස් පන්සියයකට එහා අතීතයට යන්න ඕනේ” කියා. හිතවතුනි වසර දෙදහස් පන්සියයක අතීතයකට නොව, පන්දහසක අතීතයකට ගියත් චතුරාර්ය සත්‍යය මුණ ගැසෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට සිතෙන්න පුළුවන් “අනාගතයට ගියොත් තමා මේ චතුරාර්ය සත්‍යය මුණගැසෙන්නේ. ඊළඟ බුද්ධෝත්පාද කාලයකදීයි මේ ආර්ය සත්‍ය සතර මුණගැසෙන්නේ” කියා. අනාගතයට බැහැ චතුරාර්ය සත්‍ය පෙන්වන්න, වත්මන් මොහොතට පමණයි, කළ හැකි නම් කළ හැක්කේ මේ මොහොතට පමණයි. එම නිසා මේ මොහොත ඉතාමත් වැදගත්. මේ මොහොත අතහැර, මඟහැර, අමතක කර අවබෝධයක් ගන්නට බැහැ. මේ මොහොත අමතක කර ඕනෑම දෙයක් කළ හැකි නමුත් අවබෝධය ලබාගැනීම නම් කළ නොහැකියි.
හේතුව නැති කිරීම
පසුගිය සතිවල අප කතා කළා අපගේ සියලුම ප්‍රශ්නවලට ළඟින්ම තිබෙන හේතුව පිළිබඳව, ඈතින් තිබෙන හේතු ඇති නමුත් අපගේ මේ සාංසාරික ප්‍රශ්නයට හේතුව, සාංසාරික ප්‍රශ්නය නිසා පැන නැඟී තිබෙන දෙවන තුන්වන ප්‍රශ්න වලට හේතුව (අපට තිබෙන ගැටලු වලට අත ළඟම තිබෙන හේතුව) සහ ඒ හේතුව සමඟ බුද්ධිමත්ව, ප්‍රඥාවන්තව කෙසේද කටයුතු කරන්නේ කියන කාරණය. විශේෂයෙන් තණ්හාව (තෘෂ්ණාව) පිළිබඳව අප උත්සාහ කළා ටිකක් ගැඹුරින් විමසා බලන්න. තණ්හාව සමඟ කෙසේද ආත්මාරක්ෂාව සලසාගෙන (ඇඟ බේරාගෙන) කටයුතු කරන්නේ කියා. තමන්ව විනාස කරගෙන නොවේ. සමහරවිට යුද්ධයක් කරන්න පුළුවන් අවසානයේදී පාර්ශව දෙකම, පවුල් දෙකම, රටවල් දෙකම විනාශ කරගෙන. එසේ නොමැතිව තණ්හාව සමඟ කෙසේද මේ අරගලය කරන්නේ කියායි කතා කළේ. ඒ සඳහා බොහෝ උපක්‍රම තිබෙනවා. සැබැවින් ම මුළු දහමේම තිබෙන්නේ ඒ සඳහා කමටහන්. එයින් තුනක් ගැනයි පසුගිය සති තුනේ කතා කළේ. අවසානයේදී කතා කළේ (තුන්වන උපක්‍රමය) මේ තණ්හාව දෙස බලන්න කියායි. මෙසේ සෘජුවම බැලීම කලින් කතා කළ මුල් ආකාර දෙකට වැඩිය අපහසු දෙයක්. “බැහැ” කීම සාපේක්ෂව පහසුයි. සාමාන්‍යයෙන් “හා” කීමයි සිදු වන්නේ, එය පහසුයි “බැහැ” කීමට වඩා. නමුත් “බැහැ” කියන්නත් පුළුවන්. අනිත් කාරණය පැත්තකට වීම, එයත් කරන්න පුළුවන්. මේවා සඳහා මොනතරම් සිහියක් අවශ්‍ය ද කියන කාරණය, එය ප්‍රායෝගිකව පුහුණු වීමට උත්සාහ කළ කෙනෙකුට වැටහෙනවා. තණ්හාව මුහුණට මුහුණ මුණ ගැසීම, හරියට ම මුහුණ පෙනෙන තුරු මුහුණට මුහුණ බලන්න වෙනවා. එහෙන් මෙහෙන් දැක්කාට, තණ්හාව දැක්කා කියා සිතුවාට වැඩක් නැහැ, ඇස් කොනින් දකින්නට සලස්වා තණ්හාව මුහුණ නොදී දුවනවා, හැංගෙන්න බලනවා. සැඟවුණු තරමටයි තණ්හාවට පවතින්න පුළුවන් වන්නේ. කෙසේ හෝ තණ්හාවේ මුහුණ 100% ක් ම නිවැරදිව දැක්කොත්, එයයි එකම හමුවීම. ආයේ නැවත එම තණ්හාව හමුවෙන්නේ නැහැ. එතෙක් හැකි පමණ අංශකයෙන් අංශකය හරි තණ්හාව දකින්න අවශ්‍යයයි. එහෙම දැක්කාම මෙයා දුවනවා. දුවනවිට අල්ලා ගැනීමට දුවන්න අවශ්‍යයයි. එහෙම දුවගෙන ගිහිල්ලා තණ්හාව අතුරුදහන් වෙනවා, එසේ අතුරුදහන් වෙන තැන කොහෙද කියායි බලන්න අවශ්‍ය වන්නේ.
තණ්හාව අතුරුදහන් වන්නේ හැමවිටම ඉන්ද්‍රිය අරමුණක් පටන් ගන්න තැනක. කිසියම් අරමුණක් අත්විඳින්න පටන් ගත්ත තැනකිනුයි තණ්හාව ඉපදුණේ. එතැනින්මයි එයා අතුරුදහන් වෙලා යන්නෙත්. හතරවන සතියේදී කතා කළා “ඇයි තණ්හාවට මෙපමණ බලයක් තිබෙන්නේ” කියා. මේවා නැවත සිහිපත් කළේ ඉල්ලීමක් තිබුණ නිසා සහ පූර්ව අපර සන්ධි ගැලපීම සම්ප්‍රදායකුත් වන නිසා. එමෙන්ම මනෝ විද්‍යානූකුලවත් එය ගැලපෙනවා. තණ්හාවට මෙසේ බලයක් ලැබෙන්නේ තණ්හාව අප අල්ලාගෙන සිටින නිසා. තණ්හාව නිසයි හැම දේම අල්ලාගෙන සිටින්නේ. ඕනෑම දෙයකට ඇලිලා, බැඳිලා, රැඳිලා ඉන්නේ තණ්හාව නිසා. ඒ ගැන කිසි කථාවක් නැහැ, තණ්හාව නැත්නම් කිසිම දෙයකට බැඳීමක් නැහැ. එය න්‍යායාත්මක, තාර්කික හා ධර්මානූකූල දෙයක්. ඒ නිසයි අප උපමාවක් ලෙස ඉදිරිපත් කළේ මැලියම් වර්ගයක් අතේ තවරාගෙන දේවල් ඇල්ලීමක් පිළිබඳව. මුලින්ම මැලියම අතේ ඇලෙනවා, අනතුරුව අත තියන තැන අත ඇලෙනවා (මැලියම වේලෙන තුරු). අතේ දූවිලි ගැවුණොත් දූවිලි ඇලෙනවා, ඇඳුමක්, කෑමක් අල්ලුණොත් ඇඳුම, කෑම ඇලෙනවා. එසේ ඇලෙන්නේ ඒවායේ (දුවිල්ලේ, ඇඳුම්වල, කෑමවල) වරද නිසා නොවේ.
කෙනෙකුට සිතෙන්න පුළුවන් “මේ දේවල් වල වරද නිසායි අප මේවාට අසුවන්නේ” කියා. ඒ අදහසිනුයි පිළිකුල් භාවනාව බාහිර දේවල් අරමුණු කරගෙන පුහුණු කරන්නේ, ඒවායේ තිබෙන ලස්සන හා අවලස්සන දකින්න, ප්‍රසන්න දෙයක පිළිකුළ දකින්න, පිරිසිදු දෙයක අපිරිසිදු බව දකින්න. එසේ දුටු විට අප්‍රිය වෙනවා, ඇත්තක්. පිරිසිදුයි කියා සිතෙන නිසයි ඇලෙන්නේ, ලස්සනයි කියා සිතන නිසයි නැවත බැලෙන්නේ, හොඳයි කියා සිතෙන නිසයි රැඳෙන්නේ. නමුත් නරකයි කියා සිතෙනවා නම්, කැතයි කියා පෙනෙනවා නම්, අපිරිසිදුයි කියා දැනෙනවා නම්, ඒ වෙනුවට ඇති වන්නේ අප්‍රියාවක්, පිළිකුළක්. එය ඇත්තක්. නමුත් එයින් ඇතිවන්නේ ප්‍රතිවිරුදධ හැඟීමක්. තණ්හාවේ මූලය නැති වෙන්නේ නැහැ. නමුත් තණ්හාව විසින් ඇති කරනු ලැබූ ප්‍රියභාවය වෙනුවට අප්‍රියභාවයක් ඇතිවෙනවා (ප්‍රිය භාවය නිසා නොවේ ඇලෙන්නේ, ප්‍රිය භාවය ඇතිවුණු නිසයි ඇලෙන්නේ.) අප්‍රිය භාවයෙන් ප්‍රියභාවය වසනවා, තල්ලුකර දමනවා. ඇණයකින් ඇණයක් ගලවනවා මෙන් කරන්න පුළුවන් හොඳ මනෝ විද්‍යාත්මක උපක්‍රමයක්.
නමුත් යථාර්ථය නම් සුවඳේ, රසයේ, මෘදුබවේ ප්‍රශ්නයක් නිසා නොවේ සිතක් ඒවාට ඇලෙන්නේ. එය නොවෙයි හේතුව, ඇලෙන්නේ තණ්හාව තිබෙන නිසයි. එසේම තණ්හාව ඇති වන්නේ ඒවා ලස්සන නිසා නොවේ. මෙයයි ඥාන දර්ශනය සහ ආගම වෙන්කරන තැන. කුමක්ද? හොඳ දේට ඇලෙන්න කියායි ඕනෑම ආගමක් කියන්නේ. රසයි නම් එයට කැමති වන්න. සුවඳ නම් විඳින්න ආශාවක් එනවා. ගඳ නම් අප්‍රියාව එනවා. බාහිරෙන් තිබෙන ප්‍රශ්නයක් නිසයි ඇලීම් ගැටීම් ඇති කරගන්නේ. එයින් ගැටලුව තරමකට විසඳගන්න පුළුවන් වුවත් සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැ.
දැක්මක් ඇති වන විට පේනවා ඒ සඳහා කිසිදු බාහිර ගැටළුවක් නැති බව. බාහිර තිබෙන එකම සාධකය නම් මැලියමකට ඇලෙන්න ඇති හැකියාවයි. කොළයකට පුළුවන් ගම් එකක ඇලෙන්න. කොළයකට බැන්නට, ඇඳුමකට බැන්නට, බිත්තියකට බැන්නට ඒ කිසි දෙයක වරදක් නැහැ. අතේ ගම් ටිකක් ගාලා, අත බිත්තියේ තැබූවිට අත බිත්තියේ ඇලෙනවා. එවිට බිත්තියට බණින්න පුළුවන්. නමුත් බිත්තියේ කිසි වරදක් නැහැ. බිත්තියේ ලක්ෂණයක් තිබෙනවා ගම්වලට ඇලීමේ ගතිය. කිසියම් දෙයක් සාංසාරික ද, ඒ සාංසාරික වූ හැම දෙයක්ම, සෑම සංස්කාරයක්ම ඇලෙන සුළුයි. ගිනි ගන්නා සුළුයි කීවට ගිනි ගත්තොත් එහි වරද ඒවායෙහි නොවේ. පෙට්‍රල් ගිනිගන්නා සුළුයි. ගින්නක් ඇති වුණොත් පෙට්‍රල්වලින්, එහි වරද පෙට්‍රල් වල නොවේ. නමුත් පෙට්‍රල් ගිනිගන්නා සුළුයි. ලෝකයේ යම්තාක් දේ තිබේ ද, ඒ සියල්ල ම ‘වහා ඇලෙන සුළුයි’. ඇලෙන්න කාලයක් යන්නේ නැහැ, වහා ඇලෙන සුළුයි. ලෝකයේ දේවල් වල ඒ ස්වභාවය තිබෙනවා, මිනිස්සුන්ගේ තිබෙනවා. සතුන් තුළ, ගහ-කොළ තුළ තිබෙනවා, ඇළ-දොළ තුළ, කාන්තාර, මහ මුහුද මේ සෑම ස්ථානයකම තිබෙනවා. කුමක්ද? තණ්හාව නොවේ තිබෙන්නේ.
නමුත් තණ්හාවට හැකියාවක් තිබෙනවා බාහිර දෙයකුයි සිතකුයි එකට අලවන්න. හරියට සැන්විච් එකක් සකසනවා වගේ පැත්තකින් සිත තිබෙනවා, අනිත් පැත්තෙන් ලෝකය තිබෙනවා (ලෝකය කියන්නේ වැලි කැට තාරකා වැනි දේවල් වල සිට ලෝකයේ කොපමණ දේවල් තිබෙනවාද ඒ සියලුම දේවල්) මැදින් තණ්හාව තිබෙනවා. මෙසේ සිත සහ ලෝකය මැදින් තණ්හාව තිබුණොත් ලෝකයේ තිබෙන ඕනෑම දෙයක් සිතකට ඇලෙන්න පුළුවන්. එහෙම නැති දෙයක් ලෝකයේ නැහැ. ඒ නිසා කෙනෙකුට සිතෙන්න පුළුවන් ප්‍රශ්නය තිබෙන්නේ ලෝකයේ කියා. ලස්සන නිසා, ලස්සනට අඳින නිසා, ලස්සනට ගමන් කරන නිසා, ලස්සනට කථා කරන නිසා, ලස්සනට වැඩ කරන නිසා, ලස්සනට ජීවත් වෙන නිසයි කැමැත්ත ඇති වන්නේ කියා. එසේ සිතෙන්න පුළුවන් වුවත් එය නොවේ සිදුවන්නේ. මේ නිසා එක්කෝ ලෝකයට බණිනවා, නැත්නම් සිතට බණිනවා. මෙය සිතේ ප්‍රශ්නයක්වත් ලෝකයේ ප්‍රශ්නයක්වත් නොවේ. මෙයයි තේරුම්ගත යුතු සහ තේරුම් ගැනීමට අපහසු කාරණය. මැදින් තිබෙන තණ්හාවේ ප්‍රශ්නයක්. එවිට සිතට නිදහසකුත් නැහැ, බාහිරින් අල්ලා ගන්නා දෙයට නිදහසකුත් නැහැ. මෙයයි සංයෝජන කියා කියන්නේ. ප්‍රශ්නය සංයෝජනයි. එම නිසා නැති කළ යුත්තේ සංයෝජනයි. වෙන මොනවා නැති කළත් මේ ප්‍රශ්නය නැති කරන්න බැහැ. විසඳෙන්නේ සංයෝජන ප්‍රහීණ කිරීමෙන් පමණයි.
සංයෝජන
‘සං’ යනු එකතු කිරීමයි. සංගමය, සම්මුඛ, සම්මේලනය වැනි සෑම තැනම ‘සං’ කියා කියන්නේ එකට එකතුවීමක් ගැන. යෝග යනු දෙකක්. එසේනම් සංයෝග (සංයෝජන) යනු දෙකක් එකතු කිරීමයි. මෙසේ දෙකක් එකතු කළාම දෙන්නාට ම නිදහසක් නැහැ, මෙයාට ඕන ආකාරයට අරයට ඉන්නත් බැහැ, එයාට ඕන ආකාරයට මෙයාට ඉන්නත් බැහැ. දෙදෙනාටම සිදුවෙනවා එකිනෙකාට ඕන ආකාරයට ඉන්න. මෙයාට සිදුවෙනවා, එයාට අවශ්‍ය විදිහට ඉන්න. එයාට සිදුවෙනවා, මෙයාට අවශ්‍ය විදිහට ඉන්න. මෙයයි ඇත්ත, මොනම කාරණයකට දෙදෙනෙකු එකතු වුණොත් එක්කෙනෙකුටවත් නිදහසක් නැහැ. සමාජ සේවයට, ව්‍යාපාරයකට, පින්කමකට, භාවනාවකට, ගමනක් යන්න මොනම දෙයකට හරි දෙපිරිසක් එකතු වුණොත්, ඒ දෙපිරිසට සිදුවෙනවා තමන්ව වෙනස් කරගන්න. දෙපැත්තට ම සිදුවෙනවා ඕනෑකම් අඩුකරගන්න, එපා දෙයට “හා” කියන්න. සංයෝජනය නිසා දෙපැත්තටම තමන්ට අවශ්‍ය ආකාරයට ඉන්න ලැබෙන්නේ නැහැ. එසේ සිටිය කෙනෙකුත් නැහැ. කෙනෙකුට සිතෙන්න පුළුවන් “මට අවශ්‍ය ආකාරයට අනිත් කෙනාව තියාගෙන ඉන්නේ” කියා. එය ඇත්ත නොවේ. එය මානය, අහංකාරය, අවිද්‍යාව සහ අසිහිය නිසා සිතා ගත් දෙයක් මිස යථාර්ථය නොවේ. මොනම ඒකාධිපතියෙකුවත් එසේ සිතුවාට එහෙම ඉන්න බැහැ. මොනම දෙයකට හෝ සංයෝග වුණොත් ඒ පැත්තට ඇදෙන්න වෙනවා මෙන්ම, ඒ පැත්තේ තිබෙන දේ මේ පැත්තටත් ඇදෙනවා.
උදාහරණයක් ලෙස ඈතින් සිටවා ඇති කණු දෙකක් (පුවක් ගස් දෙකක්) ශක්තිමත් ලණු දෙකකින් එකට බැඳ, තිරිංගයක් යෙදූවිට (ලණුදෙක එකට ඇඹරූවිට) සිදුවන්නේ මේ කණු දෙක එකිනෙකට ලංවීමයි. ඇඳක දෙපසින් ඇති ලී දෙක ඈත්වෙලා ඇඳ පොලු වැටෙනවිට, ලී දෙක එකට බැඳ තිරිංග යොදා ලං කිරීමක් කරනවා. මෙසේ තිරිංගයක් යොදා තද කරන විට (සංයෝජනය) නිසා, ඈත්ව තිබූ දේවල් එකිනෙකට ලං වෙනවා, වෙනස් වෙනවා, නැමෙනවා. කිසිම සංයෝජනයක් නිසා තමන්ට අවශ්‍ය ආකාරයට ඉන්න ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ සංයෝජනයේ වුවත් “අරයා නිසයි මට අවශ්‍ය ආකාරයට ඉන්න බැරි” කියායි සිතෙන්නේ. මේ ඥාන දර්ශනය නැති නිසා ක්ෂණිකව එනවා තීරණයකට “මට ඕන විදිහට මට ඉන්න ලැබෙන්නේ නැත්තේ අසවල් කෙනා (අර පිරිස, මේ දෙය) නිසයි” කියා. ඒ පිරිසටත් මෙසේ සිතෙනවා. කාටද එසේ නොසිතෙන්නේ? සංයෝග වූ සෑම දෙනෙකුම මෙසේ සිතනවා. ඒ නිසා දෙපිරිස ගැටෙන්න පටන් ගන්නවා. මුලින් ගැටෙන්නේ නැහැ. සංයෝග වන්නේ කැමැත්තෙන් නිසා, ටික ටික වෙනස් වෙනවා කැමැත්තෙන් “මම ඒ විදිහට ඉන්නම්, ඒ යෝජනාව හොඳයි, මම ස්ථීර කරන්නම්” කියා. නමුත් මෙය දිගටම වෙන්නේ නැහැ.
මුලින් නිරහංකාරකමට තිබුණාට පසුව අහංකාරය මතුවෙනවා. අහංකාරය කොයි මොහොතේද මතුවන්නේ, එතනදීයි ගැටුම පටන්ගන්නේ, ගැටුම බාහිරට එන්නේ. එතෙක් ගැටුම අභ්‍යන්තර ගැටුමක්. ස්වාධීනව ජීවත් වෙන්න බැරිවීම නිසා, අන්න වෛරය මතුවෙනවා. එවිට ගැටුම පටන් ගන්නවා. මේ ගැටුමයි සසර පැවැත්මට අත්‍යාවශ්‍ය වන්නේ. සංසාරය ප්‍රතිනිර්මාණය වන්නේ ගැටුමින්. ගැටුමක් නැති තැනක සංසාරය ඔහේ පල්වෙනවා, ගලාගෙන යන්නේ නැහැ. ගැටුමකදීයි සංසාරය දිගින් දිගට ගලාගෙන යන්නේ. සසරේ පැවැත්මට, භවයේ පැවැත්මට ගැටුම අවශ්‍යයයි. ගැටෙන්න නම්, එකතු වෙන්න අවශ්‍යයයි. එකතු නොවී ගැටෙන්න බැහැ. මෙහි පවතින සූක්ෂම මනෝ විද්‍යාව එයයි. ඒ අප සිතන මනෝ විද්‍යාව නොවේ. අප සිතන්නේ “එකතු වී නැති නිසායි ගැටෙන්නේ, එකතු වු විට ගැටීමක් නැහැ” කියායි. නැහැ ,එකතු වුණොත් තමයි ගැටෙන්නේ. මුලින් එකතු වෙනවා, දෙවනුව ගැටෙනවා. ගැටීමට හේතුවත් සංයෝජනය තමයි.
මේ කාරණය ඉතාමත් ලස්සනට දහමේ විස්තර කරනවා, සංයුක්ත නිකායේ තිබෙන ‘කළු ගොනයි සුදු ගොනයි’ කියන කථාවෙන්. සුදු ගොනෙකුයි කළු ගොනෙකුයි එකට බැඳලා තියෙනවා. එවිට සුදු ගොනාට තමන් කැමති පැත්තට යන්න බැහැ වගේම, කළු ගොනාටත් තමන් කැමති පැත්තට යන්නත් බැහැ. දෙදෙනොගේ කැමති අකමැති දේවල් වෙනස්. මී ගවයෙකුයි එළ ගවයෙකුයි ලණුවකින් එකට බැන්ඳා කියා සිතමු. එළ ගවයා කැමතියි ගොඩට එන්න, මී ගවයා කැමතියි මඩට යන්න. දැන් මී ගවයාට මඩට යන්නත් බැහැ, එළ ගවයාට ගොඩට එන්නත් බැහැ. එවිට එළ ගවයා සිතනවා, “මී ගවයා නිසයි මට ගොඩට යන්න බැරි” කියා. එසේම මී ගවයා සිතනවා “එළ ගවයා නිසයි තමන්ට මඩට යන්න බැරි” කියා. මේ නිසා ගවයන් දෙදෙනා ඇන ගන්න, පොරකන්න පෙළඹුණත් ඇත්ත එය නොවේ. මී ගවයාගේ ප්‍රශ්නයට හේතුව එළ ගවයා නොවේ, මේ දෙන්නා එකට බැඳ තැබීමයි. එසේම ඒ දෙදෙනාව වෙන කවුරුන් හෝ විසිනුයි එකට බැඳ දමනු ලැබ ඇත්තේ. නැතිව ඒ දෙදෙනා එකතුවෙලා බැඳගෙන නැහැ. බන්ඳවන ලද කෙනා මෙතන නැහැ දැන්. නමුත් ගැටෙන්න වෙන්නේ මේ දෙදෙනාටයි. එතනයි ගැටලුව.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියා කට පාඩමින් කියන පහක් තිබෙනවානේ. ඒවාට බැණලා වැඩක් නැහැ. මේ පැත්තෙන් ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට බැණලා වැඩකුත් නැහැ. මේ දෙදෙනාම අහිංසකයි. ඇසත් අහිංසකයි, රූපයත් අහිංසකයි. අනිත් ඉන්ද්‍රියනුත් අහිංසකයි, අරමුණුත් අහිංසකයි. බාහිර ආයතනත් අහිංසකයි, ආධ්‍යාත්මික ආයතනත් අහිංසකයි. මේ දෙගොල්ලොයි බැණුම් අසන්නේ. ඇසට බණිනවා නැතිනම් රූපයට බණිනවා. වැඩියෙන් බැණුම් අසන්නේ රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ කියන මේවායි. නමුත් මේ ඇසයි රූපයයි සංයෝග කිරීම දකින්නේ නැහැ. බාහිර ආයතන සහ ආධ්‍යාත්මික ආයතන අතර තිබෙනවා අදෘශ්‍යමාන සංයෝග කිරීමක්. පෙනෙන්න නැති නමුත් මේවා එකිනෙක බන්ඳවමින් තිරිංග යොදනවා. උදාහරණයක් විදිහට කණු දෙකක් ඉහළට වන්නට (පොල් ගස් දෙකක්) ලණු දෙකකින් බැඳ, ලණු දෙක අතරට ලීයක් දමා කරකැවීම නිසා, ලණු දෙක ඇඹරීමකට (දඟ වැටීමකට) ලක්වී, දුරස් බව අඩුවී කණු දෙක (පොල් ගස් දෙක) කිට්ටුවීමකුයි තිරිංග දැමීමේදි සිදුවන්නේ. තිරිංග යෙදීමෙන් ඕනෑම ඈතින් තිබෙන දෙකක් සමීප කළහැකියි. එවිට ආතතියක් ඇතිවෙනවා, පසුව ලණු දෙක ලිහිලා ගියාම, කණු දෙක ඈතට මුලින්ම ඉදිරිලා ම විසි වෙන්න පුලුවන්. කලින් තිබුණු තැනම නවතින්නේ නැහැ, බැඳීම කැඩී ගියාම.
නැවත මෙනෙහි කර බලන්න, ලං වුණු ප්‍රමාණයට වඩා වැඩි දුරකට බැඳීම් කැඩුණාම විසි වෙනවා. කැඩිලා යන්නත් පුළුවන්. එසේ වූ විට අනිත් කණුවටයි (ගසටයි) බණින්නේ, තිරිංගයට නොවේ. බණින කෙනෙකුයි බැණුම් අසන කෙනෙකුයි හැම විටම ඉන්නවා සංයෝග තුළ. මුලින් හොඳ කියනවා පසුව බණිනවා.
මෙයයි නොපෙනෙන ප්‍රශ්නය (හේතුව) නමුත්. ඇසයි රූපයයි අතර තිබෙන සංයෝජනය, කණයි ශබ්දයයි අතර තිබෙන සංයෝජනය පෙනෙන්නේ නැහැ. ස්පර්ශය කියා කියන්නේ මේ ආකාරයට මේ දෙක අතරට තිරිංගයක් වැටීම. ‘චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ’. ‘සං’ කියා කියන්නේ එකතුවටයි. මේ ත්‍රිත්වයේ එකතුවටයි ‘ඵස්ස’ (තිණ්ණං සංගති ඵස්සෝ) කියා කියන්නේ. සංගති එකතුවට දෙන නමයි ‘ඵස්ස’ කියා කියන්නේ. එසේ නොමැතිව කිසියම් දෙයක් නැහැ ‘ඵස්ස’ කියා, තිරිංග වැටීමට කියන නම. මෙය ස්පර්ශ කියා නොවේ තේරුම් ගත යුත්තේ, එය වැරදියි, කිව යුත්තේ සම්බන්ධය කියායි. ‘ඵස්ස’ කියන පාලි වචනය නිවැරදිව පරිවර්තනය කළොත් ක්‍රියාවේ අර්ථය අනුව, කියන්න වෙන්නේ සම්බන්ධය කියායි. මේ තුන්දෙනාගේ එක්වීමට කියන නමයි සම්බන්ධය.
සම්බන්ධයක් ඇති වෙනවා, තිරිංගයක් වැටෙනවා, පසුව ඒ තිරිංගය තව තව කිට්ටු කරගන්නවා. කිට්ටුවෙලා කිට්ටුවෙලා ඇසයි රූපයයි සිතයි එකක් බවට පත්වෙනවා. ඒ මොහොතට එයින් පිට වෙන ලෝකයක් නැහැ. වෙන දේවල් ඇසෙන්නේ, සිතෙන්නේ, දැනෙන්නේ නැහැ. එහෙම මොහොතවල් තිබෙනවා. ඕනෑම හඬක් සමඟ, ආහාරයක් සමඟ, සිතුවිල්ලක් සමඟ, සංවේදනයක් සමඟ හෝ රූපයක් (දැකීමක්) සමඟ එකතුවෙන වෙලාවට, වෙන කිසිදෙයක් දැනෙන්නේ නැහැ. ගීතයක් සමඟ සිටින විට දැහැන් ගත වෙනවා කියා කියන්නේ. සමහරවිට ඒ සංගීතඥයා වේල් දෙක තුනක් නිරාහාරව ඉන්නවා වෙන්න පුළුවන්, නිදාගෙන නැතිව ඇති, දතේ කැක්කුම, හිසේ කැක්කුම තිබෙනවා ඇති. නමුත් ඒ දැහැන්ගතවන වේලාවට ඒවා පැත්තකවත් නැහැ. එකක් බවට පත්වෙනවා, ඒ මට්ටමට මේ මැලියම දරුණුයි.
විඤ්ඤාණයයි, බාහිර අත්දැකීම සහ අභ්‍යන්තර ඉන්ද්‍රිය, මේ තුනම එකට අලවා එකක් කරනවා. වෙන දෙයක් බලන්න සිතෙන්නේ නැහැ, වෙන දෙයක් ඇසෙන්නේ නැහැ, ඔහේ ඉන්නවා. කිසියම් කාලයකට, දිගටම එසේ එකම අරමුණක තියාගන්න බැහැ, එසේ වුවහොත් එය ජිවිත තර්ජනයක් විය හැකියි. ජීවිතයට හානියක් වන විට එය දැනෙන්න අවශ්‍යයයි කෙනෙකුට. එසේ දැනුණේ නැත්නම් මැරෙන්න පුළුවන්. එක් පැත්තකින් ඇසෙන ලස්සන සංගීතයකට දැහැන්ගත වී ඉන්නවා කියා සිතමු. අනිත් පැත්තෙන් ගින්නක් එනවා. ඒ මොහොතේ ‘තිණ්ණං සංගති ඵස්සෝ’ මේ සම්බන්ධතාවය, එකතුවීම සිදුවන්නේ කණයි, විඤ්ඤාණයයි, ශබ්දයයි එකට සම්බන්ධවීමෙනුයි. එකට සම්බන්ධ වෙලා, තිරිංග වැටිලා එහෙම ඉන්න පුළුවන්. නමුත් එක පැත්තකින් පිච්චෙනවානේ ගින්න නිසා. එය කොයි වෙලාවේ හරි දැනෙනවා, මැරෙන්න කලින් දැනෙනවා. රූපයක සුන්දරත්වය බලමින් සිටීම නිසා, සංගීතයක මිහිර අසමින් සිටීම නිසා ගින්නට පිච්චෙන බව නොදැනී මැරුණ කෙනෙකු නැහැ. ඒ නිසා එක් තැනකදි මේ සම්බන්ධතාවය කැඩෙනවා, එයයි ධර්මතාවය. එසේ කැඩෙන්න මූලිකම හේතුව නම් ජීවිත පැවැත්ම අවශ්‍ය වීම. සොබා දහම ප්‍රමුඛ ස්ථානය දෙන්නේ මේ ජීවිතයේ පැවැත්මට. දෙවන ස්ථානය දෙන්නේ සාංසාරික පැවැත්මට. මුලින්ම බලන්නේ ජීවිතයේ පැවැත්ම දිගටම පවත්වා ගන්න. එය නොහැකි වූ විට, සොබා දහම මේ ජීවිතය කැප කරනවා සාංසාරික පැවැත්මට. මුලින් ඒ දෙය කරන්නේ නැහැ.
මනෝ විඤ්ඤාණය
කෙසේ හෝ මේ අවධාරණය කරන්නේ තණ්හාවට බැරිබව අභ්‍යන්තර ඉන්ද්‍රියයි, බාහිර අරමුණයි, විඤ්ඤාණයයි කියන මේ තුන සදාකාලිකව එකට බැඳ තබා ගැනීමට. එම නිසා කැඩෙනවා, බන්ධනය ලිහිල් වෙනවා. කිසිම වශී බන්ධනයකට බැහැ සදාකාලිකව බැඳලා තියාගන්න, සීමිත කාලයකටයි පුළුවන් වන්නේ. නමුත් ආශාව නැති වන්නේ නැති නිසා ප්‍රශ්නයක් තිබෙනවා. ඇසට බැහැ තවදුරටත් ඒ රූපය බල බල ඉන්න. සම්බන්ධතාවය කැඩිලා නිසා දැන් සිදුවන්නේ, මනෝ විඤ්ඤාණය (මනින්ද්‍රිය) ක්‍රියාත්මකවීමයි. එවිට ඉතුරු ටික ක්‍රියාත්මක කරන්නේ මනින්ද්‍රියයි. මෙයා හැම හමුවීම්වල ම (සම්බන්ධතාවල ම) මතක සටහන් තියාගන්නවා. එයයි මනින්ද්‍රියේ රස්සාව. සමහර පභූ කියන ඇත්තන්ට සිටින යාව ජීව කැමරා ශිල්පියා මෙන් යන යන තැන ෆොටෝ ඇරගෙන ඇල්බම් හදලා දෙනවා. එවැනි කෙනෙකුයි මනින්ද්‍රිය කියන්නේ. සෑම දෙයකම ෆොටෝ ගන්නා නමුත්, ඒ සෑම ෆොටෝ එකක් ම අපට පෙන්වන්නේ නැහැ. අවශ්‍ය වේලාවට එයා තෝරලා එකක් පෙන්වනවා.
මනින්ද්‍රිය මෙතැනදි කියනවා “හරි, බිය වෙන්න එපා, ඒ ප්‍රශ්නය මා විසඳලා දෙන්නම්” කියා. එසේ කියමින්, අර කලින් දුටුව රූපය පිළිබඳව එයා ගත්තත ෆොටෝ එක අපට පෙන්වනවා. ඉන් අනතුරුව මුළු කතන්දරය ම යන්නේ ඒ ඡායාරූපය ගැනයි. රූපය සමඟ නොවෙයි දැන් ප්‍රශ්නය තිබෙන්නේ ඡායාරූපය සමඟ. රූපයේ ප්‍රශ්නය ඉවරයි, රූපය පවතින්නේ ඉතාම ස්වල්ප කාලයයි. ඡායාරූපයේ ප්‍රශ්නය දිගින් දිගටම යන්න පුළුවන්. සදාකාලිකයි කීමට නොහැකි වුවත් දිගු කාලීනයි. එම නිසා රූපය දිරනවා, ඡායාරූපය එසේ ලේසියෙන් දිරන්නේ නැහැ. තණ්හාව කරන්නේ රූපය අලවන්න බැරි තැන ඡායාරූපය අලවනවා. රූපයට ඇලුණත් ඡායාරූපයට ඇලුණත් වෙන්නේ එකම දෙය. මේ හැම තැනකින් ම පෙනෙන දෙය නම් ප්‍රශ්නය තණ්හාව බවයි. ඡායාරූපයේ නොවෙයි ප්‍රශ්නය, මනින්ද්‍රියේ රැකියාවයි එයා කරන්නේ, එයාට බැණලා වැඩකුත් නැහැ. තණ්හාව හැර හැමෝම බැණුම් අසනවා. මනින්ද්‍රියත් බැණුම් අසනවා. මුලින්ම බාහිර ලෝකයට, පසුව අභ්‍යන්තර ඉන්ද්‍රියට, අන්තිමේට මනින්ද්‍රියට බණිනවා. මේ කිසි කෙනෙකු බැණුම් අසන්න අවශ්‍ය අය නොවේ. ඒ අය කරන්නේ ඒ අයගේ රැකියාව. ඇස කරන්නේ, කන කරන්නේ තමන්ගේ රැකියාව. මනින්ද්‍රිය කරන්නෙත් තමන්ගේ රැකියාව. ෆොටෝ එකක් ගත්තා කියා සංසාරය දික්වෙන්නේ නැහැ. ප්‍රශ්නය ඇත්තේ මේවාට ඇලීමයි.
තණ්හාව කියන මැලියමට ඇලෙන ආකාරයටයි සිත නිර්මාණය වී තිබෙන්නේ. රූපයට සිත ඇලෙන්නේ නැහැ. ශබ්දයට සිත ඇලෙන්නේ නැහැ. අනිත් දේවල් එකකටවත් සිත ඇලෙන්නේ නැහැ. හොඳින් බලන්න මේ අතක් කොහෙවත් ඇලෙන්නේ නැහැ තිබ්බාට. සිතත් එසේමයි. සිතේ සාමාන්‍ය ස්වභාවය (ප්‍රකෘතිය) නම් නොඇලෙන බවයි. නමුත් සිත ඇලෙන්නේ එකම එක දෙයකටයි, තණ්හාවට ඇලෙන සිතක් සමඟයි ඉපදුණේ. නොඇලෙන සිතකින් නොවෙයි ඉපදුණේ. එම නිසා තණ්හාව ඇලෙනවා. මැලියම ඇලෙනවා අතේ. එසේ තණ්හාව තැවරණු අත පිරිසිදු අතක් නොවේ, ඒ පෘෂ්ඨය පිරිසිදු නැහැ, ඕනෑම දෙයකට ඇලෙන්න පුළුවන්. ඇයි තණ්හාවට මෙපමණ ඇලෙන්නේ? ඇයි තණ්හාව අල්ලා ගන්නේ, ඇයි උපාදානය කරන්නේ තණ්හාව? තණ්හාව උපාදානය කළාම ලෝකයට ම ඇලෙනවා. ලොකෙට ම ඇලෙන්න පුළුවන් තණ්හාව අතේ ගා ගත්විට.
මේ ප්‍රශ්නය භාවනා මනසිකාරය ඉදිරියේ තබමින්, “මේ ප්‍රශ්නය විසඳා දෙන්න, මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න, ඇයි මෙහෙම වෙන්නේ ?” අප අසනවා අපේම භාවනා මනසිකාරයෙන්, අපේම සිහිබුද්ධියෙන්. වෙන අසන්න කෙනෙකු නැහැ අපට. සිතනවාද ශ්‍රාස්තෘන්වහන්සේ සිටියා කියා මේ ප්‍රශ්නය අපට විසඳා දෙයි කියා. පිළිතුරු දෙයි (විසඳාගන්න ආකාරය කියාදෙයි) නමුත් විසඳාගැනීම අප අතේයි තිබෙන්නේ. මේ සංසාර ප්‍රශ්නය අපයි විසඳාගත යුතු වන්නේ. එය කිසිවෙකුටවත් විසඳා දෙන්න බැහැ. පිළිතුර විසඳුමක් කර ගැනීම අප සතු වගකීමක්. එමනිසා අපට අසන්න වෙන කෙනෙකු නැහැ. අප අසන්නේ අපේම සිහි බුද්ධියෙන්. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම නොවෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. වෙන මොනවා තිබුණත් තණ්හාව අප අල්ලාගන්නේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එම නිසා අතහරින්න තිබෙන්නේ තණ්හාවයි, ලෝකය නොවේ. ඒ කාරණයයි පළමුවෙනි දේශනයේදි සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන. දෙවැනි ආර්ය සත්‍යය කියූ, දුකට හේතුව වන තණ්හාව පිළිබඳව ලස්සන විස්තරයක් තිබෙනවා. දුක්ඛ නිරෝධය කුමක්ද ‘යෝ තස්සායේව තණ්හාය අසේස’, අවශේෂ නැතිව, balance එකක් නැතිව. අප සිතනවානේ එහාට මෙහාට තණ්හාව balance කරන්න අවශ්‍යයයි කියා. රස්සාව කරන්නත් අවශ්‍යයයි, පින් කරන්නත් අවශ්‍යයයි, නිවන් දකින්නත් අවශ්‍යයයි, දිව්‍ය ලෝකේ යන්නත් අවශ්‍යයයි. නැහැ, balance එකක් නැතිව, ‘අසේස,’ ශේෂයක් නැති කර්න තණ්හාවේ. ‘විරාග,’ තණ්හාවට ඇලෙන්න එපා, balance කරන්න හැදුවොත් නිරෝධයක් නැත. ‘නිරෝධෝ,’ තණ්හාව සමඟ යන ගමන නවත්වන්න. ‘යෝ තස්සා යේව තණ්හාය අසේසවිරාග නිරෝධෝ, චාගෝ’ තණ්හාව දීලා දාන්න ‘පටිනිස්සග්ගෝ,’ සම්පූර්ණයෙන් තණ්හාවෙන් නික්මෙන්න. ‘මුත්ති අනාලයෝ,’ තණ්හාවෙන් නිදහස් වෙන්න. තණ්හාවට නොඇලෙන්න, ලෝකයට නොව තණ්හාවට නො ඇලෙන්න. මෙන්න දුක්ඛ නිරෝධය.
භාවනාව
හොඳයි හිතවතුනි, ඒ සියලුම දත්ත, සාක්ෂි සිහිබුද්ධිය හමුවේ තබමින්, අප මේ නඩුව කියනවා සිහිබුද්ධියට “අසා අපට සාධාරණයක් කරදෙන්නයි” කියා. අපි අපේ නඩු, සියළුම සාක්ෂි ඉදිරිපත් කරමු නිහඬව.
විනිශ්චයත් සමඟ සාකච්ඡාවට එමු. අසන්න ගැටලු තිබෙන්නත් පුළුවනි, නැති වෙන්නත් පුළුවනි. තිබෙනවානම් ගැටලු ඉදිරිපත් කරන්න. අවබෝධයන් කාටත් ප්‍රයෝජනවත් වෙයි කියා සිතනවා නම්, බෙදාගන්න.
සාකච්ඡාව :
ප්‍රශ්නය : ඔබතුමා සඳහන් කළ ආකාරයට සිහිබුද්ධියෙන් ඉන්න විට තණ්හාව තමන් පිටුපසින් ඇවිල්ලා තල්ලු කරන විට ඒ තල්ලු කරන මොහොතේ එතනින් ඉවත් වෙන්න කියන ක්‍රියාකාරකම පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
පිළිතුර : මුලින්ම ඕනෑම දෙයක් ගැන තොරතුරක් විතරයි දැනෙන්නෙ. එය ඇවිත් යනවා එහි කිසි බලපෑමක් නෑ. අපත් අපේ කටයුතු පුරුදු විදිහට කරගෙන යනවා. ඊළඟට ටික ටික පෙළඹවීම් ඇති වෙනවා, එක්කෝ පෙළඹුණු අය මේ පෙළඹීම බෝ කරනවා. එහෙම ඇහෙනකොට ඇතුළතින් පෙළඹීමක් ටික ටික ඇති වෙනවා. එසේ ටික ටික ඇතුලේ එකතු වී නොකර බැරි තැනකට එනවා. එතැනදි ජීවිතය වෙනස් වෙනවා. නමුත් තාම මනසින් හොයන තැනයි ඉන්නේ. ඊළඟට දැන් මේ “කොටපු අහස් වෙඩිල්ලට” ගින්දර එකතු වෙන්න යන්නේ. අන්න ඒ මොහොතයි හඳුනාගන්න ඕන. ඒ මොහොතේයි පැත්තකට වියයුත්තේ. දැන් ගින්දර එනවා වෙඩි නූලට තියන්න, ඒ මොහොතේ වෙඩි නූල පැත්තකට යනවා, ඒ මොහොතේ, ඊට කලින් වත් පසුව වත් නොවේ. පත්තු වෙන තැන හඳුනාගන්න ඕන, එතන තමයි අමාරුම සහ හොඳම තැන. නැවත ගිණිකුරක් පත්තු කරන් එන්න පලුවන්. එතකොට මේ තියෙන ඕනකමයි ආශාවයි පෙළඹවීමයි ආයෙ මුල ඉදලා හදාගන්න ඕන. ඊට කලින් පැත්තට ගියොත් මේවා හිස් වෙනවා. එවිට ආයේ ආයේත්. ළඟි ළඟ කාල තුළ පෙළඹවීම් ඇතිවෙන්න පුළුවන්. හැබැයි එතනදී සම්පූර්ණයෙන්ම පත්තු නොවී පිපිරිලා යනවා. ඉතින් හොඳ අවධානයෙන් ඉන්න ඕන, මෝදුවෙලා තීරණය ගන්න යන තත්පරයට කලින් තත්තරයේ තමා අයින් වෙන්න ඕන. එතැනදී ඒ ආශාවට අප කියනවා “ඕනෙ නෑ” කියා.
ප්‍රශ්නය : සමහරවිට sale දාලා තියෙනකොට අප දකිනවා වැඩි මිලකට තියෙන එකක් අඩු මිලකට දෙනවා කියලා. එහෙම දකිනකොට එකවරටම “මේක හොඳ දෙයක්, ගන්න ඕන” කියලා අප ගන්න දේවල් තියෙනවා. හැබැයි යටිහිත දකිනවා මේක ඕනෙත් නෑ පසුව ආපසු දෙන්නත් පුළුවනි කියල. එතනදී තණ්හාවෙන් එය අරගෙන පස්සේ ගෙදර ගිහින් අප හිතනවා “මේක ඕනේ නැති එකක්” කියා. කොහොමද ඒ වගේ දෙයක් වලක්වා ගන්නේ?
පිළිතුර : “sale” කියනකොට වැඩිපුර ඕන නැති දේවල් තමයි ගැනෙන්නේ. සාමාන්‍යයෙන් අපට අවශ්‍යතාවයක් තියෙනව නම් sale එනකම් බලන් ඉන්නේ නෑ, සමාන්‍යයෙන් ඒ අවශ්‍යතාවය ඊට කලින් ඉටුකර ගන්නවා. ආර්ථිකය ගැන හොඳටම හිතන කෙනෙකුයි අත්‍යවශ්‍යය දෙයක් ගන්න sale එකක් එනකම් බලන් ඉන්නේ. එ නිසා sale එකකින් බොහෝවිට ගැනෙන්නේ අනවශ්‍ය දෙයක්.
return කරන්න පුළුවන් නිසා මෙතන ගැටලුවක් නෑ කියා හිතනවා. හැබැයි ඔය විදිහට අනවශ්‍ය දේවල් ගන්න පුළුවන් ජීවිත කාලෙටම return කරන්න බැරි. සමහර විට විසි කරන්න පුළුවන් ලොකු වටිනාකමක් නැති දෙයක් වෙන්න පුළුවන්. භයානක කම තියෙන්නේ ගන්න දේ නෙමෙයි, මෙතන තියෙන පුරුද්ද. ඒ පුරුද්ද හරි භයානකයි. ඒ පුරුද්දයි මේ සංසාරේ ඕන නැති දේවල් සඳහා කාලය නාස්ති කරමින් ඊළඟට ඒවා නිසා ඇතිවන ප්‍රශ්න විසඳාගන්න කාලය විනාශ කරගනිමින් වෙන කිසි දෙයක් කර ගන්න බැරි තැනක අප හිර කර තියෙන්නේ. එනිසා පුරුද්ද ගැන සැලකිලිමත් වෙන්න. සිහිබුද්ධියට පුළුවන් තරම් ඉඩ දෙන්න තීරණ ගන්න. කවුරු මොනව කිව්වත් නිකන් දෙනවා කිව්වත් සල්ලි එක්ක දෙනවා කිව්වත් “ඇත්තටම ඕනද?” බලන්න. ඒ දේ නැතිව කුමක්ද තිබුණු ප්‍රශ්නය? නැතිකමේ සහනය බලන්න සැනසිල්ල බලන්න. ගත්තාම වාසියක් දෙකක් වෙයි ,අවාසි වැඩියි. එහෙම බලන්න.
ප්‍රශ්නය : සාමාන්‍ය ජීවිතයේ පැවැත්මට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන් හතර තමයි ආහාර නිවාස බෙහෙත් ඇඳුම් පැළදුම්. ඒවාට ඇලෙන්නෙ ගැටෙන්නෙ මුලා වෙන්නේ නැතිව ක්‍රියා කළොත් තණ්හාව බොහෝ දුරට ක්ෂයකර ගත හැකි නේද ?
පිළිතුර : අනිවාර්යෙන්ම වෙන විකල්පයක් නෑ. පළමුවෙන්ම කල යුත්තේ ඔය හතරට අඩු කරගැනීම. ශික්ෂා පදත් එක්ක ඒ සීමා කරගැනීම කරගන්න පුළුවන්. (එය තමයි පෝය දවසට කරන්නේ). ඒ විදිහට ප්‍රයෝගිකව ඉන්න විට සිහිබුද්ධියට තේරෙනවා ඒ හතරෙන් ඉන්න පුළුවන් බව.
ඊළඟට, මේ හතර ප්‍රායෝගික ප්‍රයෝජනය සඳහා පමණක් සීමාකර ගන්නවා, තණ්හාවට නොවෙයි. සිහිබුද්ධියට තේරුනාට පස්සෙ මේ හතරක් එක්ක පමණක් ඉන්න පුළුවන් බව, තණ්හාව කරන්නේ ඒ හතර කෙරෙහි අපව අලවනවා. අලවලා ඒ ගැන බලාපොරොත්තු සැලසුම් හදනවා. ඒ තුළ ඕන තරම් සංසාර හදාගන්න පුළුවන්. අන්න එතනදීයි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය එතැනදී වැදගත්. ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය කියන්නේ ඔය හතර පිළිබඳව කොහොමද සිහියෙන් ඉන්නේ කියන කාරණය, තණ්හාවට නොවේ අහාර ගන්නේ අවශ්‍යතාවයට. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඔය හතර පිළිබඳව අත්දැකීම් ලැබෙන විට ඒවා තෝරලා බේරලා ගන්නෙ නෑ හොඳයි නරකයියනුවෙන්, සියල්ල එක විදියට අරගෙන අතෑරලා දානවා, ආයෙ මතකයේ විශේෂ සටහනක් තබා ගන්නේ නැතිව. ඊළඟට කායානුපස්සනා භාවනාවේ සම්පජන්න කොටසේ සිහිබුද්ධිය ගැන විශේෂයෙන් අවධාරණය කරන කොටසේත් තියෙන්නේ ඔය ටික තමයි. ඒවා පරිහරණය කරන කොට පුළුවන් තරම් සිහියෙන් කටයුතු කරන්න, තණ්හාවට රිංගන්න ඉඩ දෙන්නේ නැතිව.
ඊළඟට ඒ හතර ගැන ලද දෙයින් සතුටු වෙලා ඉන්නවා, නොලැබුන දේ ගැන දුක් වෙන්නේ නෑ, අවමය වත් ලැබුනේ නැත්නම් ඒ ගැනවත් දුක් වෙන්නේ නෑ, ලැබුණු නොලැබුණු දේ ගැන බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මෙයට ආර්ය ස්වභාවය කියනවා. මෙය මුලින් කී කාරණා වලට වඩා සියුම් තැනක්.
මේ විදිහට ක්‍රමානුකුලව තණ්හාවට ඇතුළු වෙන්න තියෙන හිදැස් වහපුවාම, අන්තිමටම තණ්හාව එන තැනක් තියෙනවා, බොහොම සියුම් තැන්. එතනින් ඇවිල්ලා කියනවා” ඔබ මෙහෙම හිටියට අනිත් අය මෙහෙම නෑ, ඔබ උතුම් ප්‍රතිපත්තියක ඉන්න කෙනෙකු” කියා. තමන්ගේ ප්‍රතිපත්තිය ගැන තණ්හාවක් ඇතිකරනවා. එතනත් වහන්න. සංසන්දනයක් කරල එහෙම නැති අය දිහා බලලා එහෙම නැති අය හෙළා දකින්න එපා. උස් කරන්න හරි පහත් කරන්න හරි කොහොමවත් මනින්න යන්න එපා. ඒ තමා ක්‍රමය.
ප්‍රශ්නය : ඒ මැවීමෙන් වෙන්නේ මමත්වය ඇතිවීමක් නේද ?
පිළිතුර : ඔව්. මොනවටවත් අලවන්න බැරි තැන ප්‍රතිපත්තියට අලවනවා, “මම මෙහෙම කෙනෙකු” කියා. එය සියල්ලටම වඩා භයානකයි. කිරි මුට්ටියක් දොවා ගොම බින්දුවක් දැම්මා වගේ. තණ්හාව මොන තැන්වලින් රිංගන්න හදනවා ද කියා බලන්න ඒ හැම තැනකදීම සිහිබුද්ධිය ඕන.
ප්‍රශ්නය : දේශනයේදී සඳහන් වුණා අප සියලු දෙනාම තන්හාවේ නියෝජිතයන් බව. ඒ වාගේම උපතේදී යම් යම් කර්ම බීජ විදිහට අරගෙන ඇවිත් තියෙනවා ( නිද්‍රාගත වූ නියෝජිතයින්). අප ඉපදුන පසු වෙන විකල්පයක් නෑ, එකම විකල්පය තණ්හාවේ සරණ යාම පමණයි. සාම්ප්‍රදායික භාවනාවට අමතරව “ක්ෂණික නැවැත්වීම” පුහුණු කරන විට එවැනි නිද්‍රාගත වී තිබෙන කර්මයන් නැගිටිනවා නේද, ඒ වගේම තණ්හාව පස්සට යනවා නේද?
පිළිතුර : ඔව්.තණ්හාව අප එකපාරම break ගහයි කියන බලාපොරොත්තුවෙන් නෙමේ ඉන්නේ. තණ්හාව break ගහන්න දන්නෙත් නෑ, එයා පාගාගෙන ඉන්නෙම accelerator එක. සිහිබුද්ධියයි break එක ගහන්නේ. Break ගහපු ගමන්ම තණ්හාව shock වෙනවා (මෙපමණ කල් තණ්හාව තමයි අපව shock කර කර හිටියේ). එතැනදී එක මොහොතකට තේරෙනවා තණ්හාව මොනතරම් බලවත්ද කියන කාරණය. ඒ ප්‍රබලත්වය දකින්න ඕනේ. තණ්හාව කියන වචනයත් නොවේ, මතුපිටින් එන පෙලඹවිමත් නොවේ (ළඟට ඇවිත් ගහන අයගැන නොව), ඈත ඉඳන් අපට ඉලක්ක ගන්න අයවයි දකින්න ඕනේ.ඒ snipers ලවයි දකින්න ඕනේ. ඒ අය අපව ඉලක්ක කරන්න කලින් අප ඒ අයව ඉලක්ක කරන්න ඕන. ඒ අය දකින්න නම් මුළු පද්ධතියම ක්ෂණිකව කම්පනයකට පත් කරන්න ඕන. මේ උපක්‍රමය හෙමිහිට කරන්න බෑ. හෙමිහිට කරොත් වෙන්නේ තණ්හාව ලෑස්ති වෙනවා මගහැර යන්න. මේ සඳහා සමාධිය අත්‍යවශ්‍යයි. සිහිය සහ සිහිබුද්ධිය කියන්නේ ඒ සමාධියේ අංග. ඊළඟට උපේක්ෂාව අවශ්‍යයි.
මේ කාරණා අහල හිතලා සතුටුවන්නේ නැතිව අනිවාර්යෙන්ම අත්හදා බලන්න. අත්හදා බලල සාර්ථක අසාර්ථක වීම් සමග ඊළඟ වැඩසටහනට සහභාගි වී අප සැමගේ යහපත සඳහා ඒ අත්දැකීම් බෙදා හදා ගන්න. ඒ ආදරණීය ඉල්ලීම කරමින් අපි අද වැඩසටහනින් සමුගනිමු.
හැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!