සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 04

2022 අගෝස්තු 17 සාරාංශය

සදහම් සැඳෑව ආධ්‍යාත්මික සංගායනාවට සහභාගිවීමට නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණ සිටින කළ්‍යාණ මිත්‍රයිනි, එමෙන්ම භෞතිකව ඈතින් සිටියත් හදවතින් මේ මොහොතේ සමීපව සිටින ආදරණීය හිතවතුනි, මුලින්ම සිතනවා ගෙවුණු සතිය භාවිත සිතක (භාවනා කරන සිතක) ප්‍රතිඵල හොඳින් අත්දකින්නට ලැබුණු කාලයක් වෙන්න ඇතැයි කියා. යම් පමණකට හෝ භාවනාවට එළඹ සිටිනවා ද? (යම් දුරකට භාවනාව පුහුණුකර තිබෙනවා ද?) පුහුණු කරනවා ද? එයින් මොන තරම් ප්‍රතිඵල එදිනෙදා ජීවිතයට ලැබෙනවා ද? ගෙදර-දොරේ, මඟ-තොටේ, වැඩපොළේ කටයුතුවලදී ‘හදාගත්ත සිත මොන තරම් උපකාර වෙනවා ද?’ මේ කාරණය වඩ වඩාත් අත්දකින්නට ලැබෙනවා, විශේෂයෙන් අවිනිශ්චිත ගැටලු එකින් එක මතුවෙන විට, ඒ සෑම අවස්ථාවකම ලෝකය පිළිබඳ කලකිරීමකුත් භාවනාව පිළිබඳ පැහැදීමකුත් ඇතිවෙනවා, එසේනම් එය තමා විය යුත්තේ. කලකිරෙන්නට අවශ්‍ය, කෙනෙකු ගැනවත්, සිදුවීමක් ගැනවත් නොවේ, “මේ තමා හැටි, මේ පැවැත්මේ එක පැත්තක්” කියා, සමස්ත පැවැත්ම ම ගැන.   

හදවතේ අභියාචනය

එමෙන්ම පැහැදීමක් අතිවෙන්න ඕනේ සිත හදාගැනීම ගැන. ඒ ගැන යම් පමණකට හෝ උනන්දු වී තිබෙනවා ද, උත්සාහකර තිබෙනවා ද, ඒ ගැන සතුටක්, ස්වයං ඇගයීමක්, අගය කිරීමක් අවශ්‍යයයි. එය වඩ වඩාත් ප්‍රායෝගිකව මේ හැම දෙනාම අත්දකිනවා ඇති.

 “මීටත් වඩා භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්නම් මොන තරම් ප්‍රතිඵල ගන්න පුළුවන් ද”, ඒ සිතුවිල්ල, ඒ ඕනෑකම ඇතිනොවනවා නම් තමා පුදුමය. “භාවනාව කල්දැමීම වෙනුවට, මීටත් කලින් පටන්ගන්න තිබුණානම් මොන තරම් අපූරු ද !”. 

පුළුවන් විදිහට භාවනා කිරීම, ඒ වෙනුවෙන් කාලය කැප කිරීම මොන තරම් වටිනවා ද? තවත් පහුවුණානම් මොනවයින් මොනවා වෙයි ද? මේ ගැන සිතන විට ‘හදවතට’ සතුටක් ඇතිවෙනවා. සියලු ප්‍රශ්න නිසා විඳවන්නේ ‘හදවත’. කුස්සියේ, නිදන කාමරයේ, වැඩපොළේ, නගරයේ, ලෝකයේ හෝ වෙන ලෝකයක ප්‍රශ්න තිබුණත්, ප්‍රශ්නයක් නම් විඳවන්නේ හදවත. අහිංසක, දුප්පත් හදවත අප නිසා විඳවන්නේ. එසේ විඳවන සෑම මොහොතකම, සෑම දිනකම හදවත අපට කියනවා 

“විඳවන හදවත මේ අපායෙන් ගොඩගන්න, තවදුරටත් විඳවන්න බෑ” කියා. 

එසේ කිව්වත් බොහෝම ටික දෙනෙකුටයි, ඒ හදවතේ ආයාචනය ඇසෙන්නේ සහ දැනෙන්නේ. බොහෝවිට ඇසෙන්නේ ම නැහැ. තව කෙනෙකු තම මව් බසින්ම හඩනඟා කරන ඉල්ලීම් පවා ඇසෙන්නේ, වැටහෙන්නේ නැති කෙනෙකුට නිහඬව හදවත කරන ඉල්ලීම කෙහෙත්ම ඇහෙන එකක් නැහැ. තමන්ගේම හදවතට කෙනෙකු බිහිරිනම් අනුන්ගේ හදවත්වලටත් බිහිරියි. අනුන්ගේ හදවත්වල තිබෙන කම්පන තේරුම් අරගෙන, ඒ කම්පනවලින් අනිත් අයව නිදහස් කරවන්න කෙනෙකු උත්සාහ කරනවා කියන එක බොරුවක්, තමන්ගේම හදවතේ කම්පනයට බිහිරි හා අකර්මණ්‍ය නම්. සිරිතක් ලෙසින්, නීතියක් ලෙසින් කෙනෙකු එවන් සේවාවන් කරන්න පුළුවන් නමුත් එතන හදවත නැහැ. යන්ත්‍රයක් මෙන් කවන්න-පොවන්න, බලාගන්න, සැප-සනීප අසන්න, පුළුවන් වුවත් එතන ආදරයක් නැහැ. අනාගතයේ යන්ත්‍රත් එම හැඟීම සහිතව නිර්මාණය කළ හැකි නමුත්, වර්තමානයේ යන්ත්‍රවලට එවැනි හැඟීම් නැහැ. එම නිසා යන්ත්‍රයකින් එවැනි කාර්යයක් ඉටු වූවත් හදවතට දැනෙන්නේ නැහැ සතුටක්. සෑම දෙයක්ම යන්ත්‍රවලට පවරන, යාන්ත්‍රික වෙමින් පවතින යුගයක, එවැනි කටයුතු මිනිස් දෑතකින් කරනවාට වඩා අංගසම්පූර්ණව, අඩුපාඩුවක් නැතිව කළත් හදවතක් නැති තැනක හැඟීමක්, දැනීමක් නැහැ. මෙය විශාල ව්‍යසනයක් වුවත් ඒ පිළිබඳව කථා කරනවා වෙනුවට මතුකරන්න උත්සාහ කරන කාරණය නම්, ‘අපට දැනෙනවාද අපේම හදවතේ ආයාචනය, එයටත් එහා ගිය අභියාචනය?’ යන්නයි. අභියාචනයක් යනු නැවත නැවත කරන ඉල්ලීමක්, එක් වතාවක් කරන ආයාචනයක් ප්‍රතික්ෂේප වූ විට, නැවත කරන ඉල්ලීම,  ගැඹුරින් කරන ඉල්ලීම. හදවත දැන් කරන්නේ ආයාචනයක් නොව අභියාචනයක්. අභියාචනයක්වත් ඇහෙන්නේ නැතිනම් හිතවතුනි,  ජීවත්වීමක්, සජීවි බවක් නැහැ. එවැන්නෙකුට වඩා යන්ත්‍රයක් හොඳයි.

සැඟවුණු කුසලතා

ඔබ අප සෑම දෙනාම හැකි උපරිමයෙන් මේ දහමට එකතුවීම, නැඹුරුවීම, දහම් මඟේ ගමන් කිරීම, පුහුණුවේ යෙදීම සිදුවන්නේ, ආධ්‍යාත්මයෙන් මතුවන මේ ගැඹුරු අවශ්‍යතාවයට සංවේදී වීමේ ප්‍රතිඵලයක් ලෙසින්. කරන භාවනා ක්‍රම වෙනස් වෙන්න පුලුවන් වුවත් පරමාර්ථය එකයි, අඩු වැඩි වශයෙන් ලැබෙන ප්‍රතිඵලත් එකයි. කවදා පටන් ගත්තත්, එබඳු උත්සාහයක ඔබ අප සෑම දෙනාම යෙදෙන අතර කිසිම භාවනා ක්‍රමයක් සම්බන්ධව කථා නොකරන වෙනම වැඩසටහනක් ඇයි? බුද දින පවත්වන මේ ‘සදහම් සැඳෑව’ කුමකට ද? භාවනාව පිළිබඳ වැඩිපුර කථා නොකරන, ධර්මයේ තිබෙන කාරණා පෙළගැස්වීමකුත් නැති, මේ වැඩසටහනේ අවශ්‍යතාවය ගැන, ඉලක්ක හා අරමුණු ගැන, මීට කලිනුත් අවධානය යොමු කළා. නැවත වතාවක් සිහිපත් කළොත්, භාවනාවෙන් බලාපොරොත්තුවන අවබෝධය, එතෙරවීම, විමුක්තිය කියන මේ ඉලක්ක සාක්ෂාත් කරගන්න නම්, මතු කරගතයුතු, දියුණු කරගතයුතු හා එයින් ප්‍රයෝජන ගතයුතු, එමෙන්ම වැඩි අවධානය යොමු නොකළ ‘සැඟවුණු කුසලතා’ තිබෙනවා. සදහම් සැඳෑවේ පළමු අදියර - සිහිබුද්ධියට හෝරාවක් තුළින් අවධානය යොමුකළේ ‘සිහිබුද්ධිය’ නම් පළමු කුසලතාවය ගැන. සිහිබුද්ධිය මේ ආධ්‍යාත්මික මාර්ගයේ මොන තරම් වැදගත් භූමිකාවක් ඉටුකරනවාද කියන කාරණය පෙන්වාදීම සඳහායි ඒ වැඩසටහන් මාලාව යොදාගනු ලැබූයේ. සඳහම් සැඳෑවේ දෙවන අදියර එනම් මේ වැඩසටහන් මාලාවෙන් විවරණය කරන්නේ ‘ඤාණ දස්සන’, ‘ඥාන දර්ශනය’ හෙවත් ‘නැණ දසුන’ පිළිබඳවයි. මෙය ද භාවිතයක්, නැණ, නුවණ, ඤාණ යන මේවා නිතර භාවිතා වෙන වචන. සියලුම විෂයයන් සම්බන්ධයෙන් එම විෂයට අදාළ ඤාණයක් පවතිනවා. සෑම විෂයකම පවතින ඒ සෞන්දර්ය කොටස හා දාර්ශනික පැත්ත, අපේ අධ්‍යාපන ක්‍රමයේ විෂයත් සමඟ ඉගැන්වීමක් සිදුවන්නේ නැහැ. විද්‍යාව, භූගෝලය, ගණිතය මේ සෑම විෂයකම තිබෙන සෞන්දර්යය හා දර්ශනය ඉගැන්වීමක් සිදු නොවීම අපරාධයක්. එම කොටස් දෙකම අතහැර කරුණු ස්වල්පයක් පමණක් උගන්වා, විභාගයක් සමත් කරවීම හා ඒ විෂය දන්නවා කියා සහතිකයක් දීම අපරාධයක්. මන්ද එමඟින් ළමයා තුළ විෂය සම්බන්ධ දර්ශනයත් සෞන්දර්යයත් වර්ධනය නොවන නිසාවෙන්. කෙසේ හෝ මේ ‘නුවණ’, ‘ඤාණය’  හා ‘දර්ශනය’ යනු ඉතාම හුරුපුරුදු වචන වුවත් ‘ඤාණ දස්සන’, ‘ඥාන දර්ශන’, ‘නැණ දසුන’ යන්නෙහි අදහස එය නොවන අතර එය  සරලව ‘දැකීමේ නුවණ’ ලෙසින් පැහැදිලි කළ හැකිය.  

දැනුමේ ස්වභාවයක් නම් දැනුම පවතින්නේ වචනත් සමඟ. ඤාණය ලැබෙන්නෙත්, ලබාගන්නෙත් වචන වලින්, තව කෙනෙකු සමඟ සන්නිවේදනය කරනුයේ වචන නමැති සංකේත මඟිනි. අංග චලනයත්, ඤාණය දෙන්නත් ගන්නත් පුළුවන් භාෂාවකින්. ඤාණය ලැබෙන්නේ හා දෙන්නේ කවර හෝ භාෂාවකින් වන අතර භාෂාවකින් තොරව ඤාණ ගවේෂණයක් නැහැ. හිතවතුනි භාෂාව පවතින්නේ වචන, සංකල්ප, අදහස් සමඟ වන අතර භාෂාවකින් ලබන දැනීම, ඤාණය ලෙසින් හැඳින්විය හැකිය. මෙය භාෂාව පදනම් කරගනිමින් ලබන ඤාණයක්, දැනීමක් වන අතර ‘නැණ දසුන’ යනු එබඳු කවර හෝ භාෂාවක් මත පදනම් වූ දැනුමක්, දැකීමක් නොවේ. වෙනත් අයුරකින් පැවසුවහොත් ‘නැණ දසුන’ දීමටවත් ගන්නටවත් නොහැකි දෙයකි. “අනේ මට ඥාන දර්ශනය දෙන්න” කියා ඉල්ලුවාට කෙනෙකුට දෙන්නටවත් ගන්නටවත් බැහැ. මෙය භාෂාවක් අනවශ්‍ය වන එක් තැනක්. භාෂාවකින් යන්න පුළුවන් දුර ගියායින් පසුව ඉතිරි දුර යෑමටකිසිම බසකට බැහැ. ඒ භාෂාව කියන බසයට යන්න පුළුවන් උපරිම දුර ඇවිත් තියෙන්නේ. ඉන් එහාට ඒ වාහනයෙන් ඒ කන්ද නඟින්න, පල්ලම බහින්න බැහැ. එතැනදී එක්කෝ ඒ වාහනයෙන් බසින්න හෝ ඒ වාහනය තුළම සිටින්න ‍වෙනවා. වාහනය තුළම සිටිනවිට තිබෙන අදහස්, සංකල්ප, ව්‍යවහාර සමඟ ක්‍රීඩා කරමින් ඉන්න පුළුවනි, සාමාන්‍යයෙන් සිදුවන්නේ එවැනි දෙයක්.

දැනුම

පොත්ගුලක් කීවාම අපට මතක් වන්නේ පුස්කොළ පොත් තිබෙන කිසියම් ගොඩනැඟිල්ලක්, පුස්තකාල කීවාම කඩදාසිවලින් සකස් කළ පොත්වලින් සමන්විත ගොඩනැඟිල්ලක්, එයිනුත් පසුව CD, DVD, කැසට් වලින් සමන්විත ඩිජිටල් පුස්තකාල වලිනුත් ඔබ්බට ගොසින් අද කාලයේ දැනුම ලබා ගැනීම සඳහා භාවිතා කරන්නේ තිබෙන තැනක්වත් දන්නේ නැති Clouds Computers. මේ ආකාරයට භාෂාවෙන් සාදාගත් දැනුම විවිධ වූ ස්ථානවල ගබඩා කර තිබිය හැකියි. එබඳු පොතක්, පුස්තකාලයක්, බවට කෙනෙකුට පත්විය හැකියි. භාෂාව සමඟ සිටිමින්, වචනත් සමඟ ගනුදෙනු කරමින් පොත් ලියන්න, ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවනි, දැනුම නිසා. දැනුම ගබඩාවක් සහිත කෙනෙකුට අප කියනවා ‘ජංගම පුස්තකාලයක්’ කියා. එබඳු ඇගයීමක් ලැබෙන්නේ ඉතාම ස්වල්ප දෙනෙකුට. ජංගම පුස්තකාලයක් වීම පසහු නැහැ, හැමෝටම බැහැ. නමුත් දැඩි කැපවීමකින් එබඳු ජංගම පුස්තකාලයක් වුවත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පොතක් වුණත්, පුස්තකාලයක් වුණත්, විද්‍යුත් පුස්තකාලයක් වුණත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පරිගණකයක් තුළ පමණක් නොවේ, සාමාන්‍ය ජංගම දුරකථනයක් තුළ පවා මුළු ත්‍රිපිටකයම ගබඩා කරන්න පුළුවන් පහසුකම දැන් තිබෙනවා, තමන් කැමති භාෂාවකින් download කරගන්නත් පුළුවන්. එවිට පරිගණකය, දුරකථනය මුළු ත්‍රිපිටකයම දන්නවා (ත්‍රිපිටක දැනුම තිබෙනවා), වුවත් එයින් කිසිම යහපතක්, කිසිම සැනසිල්ලක්, අස්වැසිල්ලක් හෝ නිදහසක් දුරකථනයට හෝ පරිගණකයට වෙන්නේ නැති බව අප දන්නවා. නොදැනගත්තා කියා පරිගණකයට සිදුවන අයහපතකුත් නැහැ. දැනගත්තා කියා යහපතකුත් නොදැනගත්තා කියා අයහපතකුත් නෑ, ඒ දෙකෙන්ම නිදහස්. පුස්තකාලයක් වූ ජීවිත ගැනත් මේ කාරණය තමා පවසන්නට ඇත්තේ, පේන්නට තිබෙන්නේ සහ ඒ ඇත්තන් අවසාන කාලයේදී කියා තිබෙන්නේත්. හැම විෂයක් ගැනම පුස්තකාලයක් වුණු අය පමණක් නොවේ, ත්‍රිපිටකය පිළිබඳ ජංගම පුස්තකාලයක් වුණු මහ වියතුන්, ප්‍රාමාණිකයන් පවා ඒ ගැන පසුතැවී තියෙන්නේ.  මුලින් සතුටු වෙන්නට ඇති සම්මාන, ඇගයීම්, ආරාධනා ලැබෙන නිසා, නමුත් ප්‍රශ්න එන විට අර සතුට නැතිවෙලා යන්න ඇති. වයිරස් පැමිණෙන විට ත්‍රිපිටක දැනුම තිබුණු file එක open වී පරිගණකය ආරක්ෂා කරගන්නේ නැහැ. අධිවෝල්ටීයතාවයක් පැමිණිය හොත් පරිගණකය පිළිස්සී යෑමෙන්  ආරක්ෂාකර ගැනීම සඳහා, තැන්පත් කර තිබූ ත්‍රිපිටක file එකේ පිරිත් ටිකක් play වෙන්නේ නැහැ, එහෙම වෙලත් නැහැ, එහෙම වෙයි කියා බලාපොරොත්තුවකුත් නැහැ. ත්‍රිපිටකය download කර, මේ දුරකථනය සොරා ගැනීමෙන් වැලකේවා ! බිමවැටි නොකැඩේවා ! බැටරියට දීර්ඝායුෂ ලැබේවා ! එහෙම කියන්න ගියොත් විහිළුවක්. ඒ මට්ටමට මන්දබුද්ධික නැහැ කවුරුවත්. නමුත් හිතවතුනි, ඒ තත්වයම තමා ජීවිතවලත් තිබෙන්නේ. මෙතන වැරදීමක් අප කාලාන්තරයක් තිස්සේ කරගෙන ඇවිත් තියෙනවා. වැරැද්දක් පරම්පරා ගණනක් කරන විට නිවැරැදි දෙයක් කියා සිතෙනවා, හැඟෙනවා. එමෙන්ම එයට සමාජයෙන් ඇගයීමක් ලැබෙන විට සිතෙනවා මෙය හරි කියා, නමුත් මෙය වැරදි.

කිසිම ලෙඩක් හොඳ වෙන්නේ නැහැ දැනුමෙන්. බෙහෙත් ගැනීමෙන්ම මිස. බෙහෙත් ගැනීමෙන් පමණයි ලෙඩක් හොඳ වෙන්නේ. දැනුමට බෑ ලෙඩක් හොඳ කරන්න. වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමට, වෛද්‍ය විද්‍යාඥයින් පිළිබඳ දැනුමට බැහැ ලෙඩක් හොඳ කරන්න. ඒ අය ලියූ පොත-පත පිළිබඳ දැනුමට, බෙහෙත් පිළිබඳ දැනුමට බැහැ ලෙඩක් හොඳ කරන්න, භාවිතයට පමණයි. භාවිතයට ඒ සියල්ල අවශ්‍ය නැහැ. වෛද්‍ය විද්‍යාවේ පියා කවුද කියා දැනගන්න අවශ්‍ය නැහැ භාවිතයට. කීයෙන් කීදෙනාද දන්නේ වෛද්‍ය විද්‍යාවේ පියා පිළිබඳව. ඇයි වෛද්‍ය විද්‍යාවට මවක් ඉන්න බැරි? එක වෛද්‍ය විද්‍යාවක් නෙවෙයිනේ තියෙන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාව එකක් තවත් වෛද්‍ය විද්‍යාවන් තියෙන්න පුළුවන්. මේ වෛද්‍ය විද්‍යාවේ පියා දන්නේ නැතිව ඕනෑම දරුවෙකුට දැරියකට පුළුවන් බෙහෙත් ගත්තොත් ලෙඩේ සුවපත් කරගන්න. ඒ වාගේම තමයි වෛද්‍ය විද්‍යාවේ පියා කවුද කියා දැනගත් පමණින් කිසිම රෝගයක් සුවපත් වන්නේ නැහැ. දන්නවා කියා, ඒ ආනුභාවයෙන් “සුවපත් වේවා !” කිව්වාට, එහෙම සිතුවාට සුව වන්නේ නැහැ, එය මිථ්‍යාවක්. මෙය කාලාන්තරයක් තිස්සේ ලංකාවේ බෞද්ධයන්ට සිදුවුණු වැරැද්දක්. ලංකාවේ බෞද්ධයන් සාපේක්ෂ වශයෙන් දහම පිළිබඳ දන්නවා, ලෝකයේ වෙනත් රටවල ජීවත්වන අයට වඩා. ගිහි බෞද්ධයන්ගේ වුණත් දහම පිළිබඳ ඇති දැනීම සමහර ථේරවාදී බෞද්ධ රටවල භික්ෂුන් වහන්සේලාටත් වඩා, භාවනාවෙන් ප්‍රතිඵල ගත්තා කියා ලෝකයම පිළිගන්න, එමෙන්ම සමහරවිට උන්වහන්සේලාම ඒ බව අභීතව ප්‍රකාශකරලා තියෙන, ථේරවාදී බෞද්ධ රටවල භාවනානුයෝගී හික්ෂුන් වහන්සේලාට වඩා වැඩියි. මෙය උස් පහත් කිරීමක් නොවේ. එවැනි ස්වාමින් වහන්සේලාගේ වුවත් මේ ත්‍රිපිටකය පිලිබඳ දැනුමට වඩා සාමාන්‍ය වශයෙන් අපේ ජනතාවගේ දැනුම වැඩියි. මෙයටද  සාක්ෂරතාවය කියන්නේ? දහමේ ඇසින් බැලුවාම මෙයද සාක්ෂරතාව කියා සිතන්න වටිනවා.

මෙයටද ඤාණ දර්ශනය කියන්නේ? ශාස්තෘන් වහන්සේ ම දේශනා කරන විදිහට ‘තුච්ඡෝ’. අප දන්නා ආකාරයට  පෝඨිල ස්වාමින් වහන්සේ  බුදුරජාණන් වහන්සේගේ දේශනා කටපාඩම් කරගෙන, මතක තියාගෙන ඒ විදිහටම දේශනා කරනවා. දවසක් දම්සභා මණ්ඩපයේදී උන්වහන්සේව ඉදිරියට කැඳවලා විමසන විට, උන්වහන්සේ පිළිගන්නවා, “ඔව්, මා කටපාඩම් කරගෙන මේ දහම තියාගෙන ඉන්නවා, දහම දන්නවා.” එවිට මේ පෝඨිල ස්වාමින් වහන්සේට ශාස්තෘන් වහන්සේ දුන්න ගෞරව උපාධිය නම්, ධර්ම භාණ්ඩාගාරිකකමවත්, බහුශ්‍රැතයන් අතර අග තනතුරවත්, ප්‍රඥා අධික භික්ෂුන්වහන්සේලා අතර අග්‍රස්ථානයවත් නොවේ,  ‘තුච්ඡෝ පෝටිලෝ’ කියන නාමය. තුච්ඡෝ කියන්නේ හිස්, පහත් කියන අදහස. එයින් මනුෂ්‍යයා තව තවත් හිස්වෙනවා, පිරිහෙනවා, පහත් තත්වයට පත්වෙනවා මිස උතුම් කෙනෙකු වෙන්නේ නැහැ දහම දැනගත්තා කියා. දහම දැකීමයි වැදගත්. දැකීමේ නුවණයි ඇති කරගන්න අවශ්‍ය. දැකීම පැත්තකින් තියලා නුවණ පමණක් ඇති කරගෙන වැඩක් නැහැ. නුවණට දෙවෙනි තැන වන අතර දැකීමයි පළමු තැනට පැමිණය යුත්තේ. නමුත් පළමුවෙනියට නුවණ ඇතිකරගෙන, සිතනවා හරි කියා.

දැනගැනීම

මෙය බොහෝ අවස්ථාවල සාකච්ඡා කර තිබෙනවා. නුවණේ ස්වභාවය ‘පිල්ලි’ වගේ. මැරිච්ච කෙනෙකුට මන්තර ජපකර, එයාට පණ දී, පිල්ලි යවන බවක් අප අසා තිබෙනවා. එය ඇත්ත වුණත් බොරු වුණත් එවැනි කතන්දර තිබෙනවා. ඒ ආකාරයට දැනුමටත් පුළුවන් පණ දෙන්න. නැති දෙයක් තියෙනවා කියා පෙන්නන්න පුළුවන්, ඇත්තටම නැහැ. ඒ නිසයි “හිස් පෝඨිල” කිව්වේ, කිසිදෙයක් නැහැ, කිසිම අවබෝධයක්, හරයක්, සාරයක් නැහැ. හැබැයි මෙහි ඇති මායාව තමා, දැනගන්න දැනගන්න, දන්නවා කියන හැඟීම එනවා. ඇත්තටම දන්නේ නැහැ. 

අත්තටම දන්න බව දැනගන්න පොඩි මිනුමක් හෝ කෝදුවක් දම්සක් පැවතුම් සූත්‍රයේදී පෙන්වා දී තියෙනවා. එතනදී ශාස්තෘන් වහන්සේම දේශනා කරනවා “කොණ්ඩඤ්ඤ තෙමේ දැනගත්තේය.” “අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්‍ඤො” පින්වත් කොණ්ඩඤ්ඤයන් දන්නේය, දන්නා කෙනෙකු වූයේය. මොනවා දන්න කෙනෙකුද? එක දේශනයයි ඇසුවේ, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, එයත් හරි කෙටියි. මේ සුත්‍රය අසා සිටි පස් දෙනාගෙන් එක්කෙනෙකු ගැන ශාස්තෘන් වහන්සේ අනුදැන වදාරණවා

 “අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්‍ඤො” “අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්‍ඤො” පින්වත් කොණ්ඩඤ්ඤ තෙමේ දන්නා කෙනෙකු වූයේය, දන්නේය.” මොනවාද දන්නේ? 

අන්න ඒ කාරණය කියනවා. එය තමා කෝදුව, මිණුම, තරාදිය. සූත්‍ර පිටකය දන්නවා කියන එකද? නැහැ, අභිධර්ම පිටකය, විනය පිටකය, අටුවා, ටිකා, ටිප්පණී ද, නැහැ ඒ කිසිදෙයක් නොවෙයි. දන්නේ බොහෝම අහිංසක සරල කාරණයක්. මෙහිදී පාලි වාක්‍ය පැවසීම අවශ්‍ය නැති වුවත් කිසියම් කෙනෙකුට සමහරවිට සැකයක් ඇතිවන්න පිළිවන් “මේවා ධර්මයේ තිබෙන කාරණා ද?” කියා. එවැනි සැකයක් සමඟ දිගටම සවන් දීමට නොහැකි නිසා ඒ සැකය ඇති නොවෙන්නයි මේ පාලි උදෘතයන් භාවිතා කරනුයේ. ශාස්තෘන් වහන්සේම දේශනා කරනවා

 “කොණ්ඩඤ්ඤ තෙමේ දන්නවා, දන්නා කෙනෙකු වුණා”. මොනවාද දන්නේ? “යමක් ඇතිවීමේ ස්වභාවයෙන් යුක්තද, එය නිරුද්ධ වන්නේය” (“යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ්ධම්මන්ති.”) ඒ සියල්ල (සබ්බං තං), නැතිවෙන ස්වභාවයෙනුත් යුක්තයි (නිරෝධ්ධම්මන්ති). යමක් ඇතිවීමේ ස්වභාවයෙන් යුක්තද ඒ සියල්ල (එකක් දෙකක් නොවේ, එකක් හැර නොවේ) නැතිවෙලා යන ස්වභාවයෙන් ද යුක්තයි ධර්මතාව මේ පින්වත් කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ, තාපසයන් වහන්සේ දැනගත්තා, දැක්කා. නමුත් කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේගෙන් ඇසුවොත්, “අර සූත්‍රය ද දැනගත්තේ, මේ සූත්‍රය ද දැනගත්තේ?” කියා, උන්වහන්සේ කියයි “නැහැ, ඒ එකක්වත් නෙවෙයි” කියා. “මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ද දැනගත්තේ? ” කියා ඇසුවත් ඒත් නැහැ කියයි. මේ දැනගත්තා කියන්නේ සූත්‍රයේ තිබෙන කාරණයක් දැනගත්තා කීම නොවෙයි.

දැකීම

ශාස්තෘන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවිට කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ අවදියෙන්, අවධානයෙන් සවන් දී ප්‍රත්‍යවේක්ෂා කළා, මෙනෙහි කළා, යෝනිසෝ මනසිකාරයට ගත්තා. එවිට උන්වහන්සේට වැටහුණා, හේතුවක් නිසා යමක් ඇතිවෙනවා ද එය නැතිවෙලා යනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරනවානේ මේ දම්සක් පැවතුම් සූත්‍රයේ දී. චතුරාර්ය සත්‍යයේ තිබෙන පළමුවන න්‍යාය තමා, ‘හේතුවක් නිසා යමක් ඇතිවෙනවාද එය නැතිවෙලා යනවා’ යන්න. ඒ නිසානේ චතුරාර්ය සත්‍යයක් එන්නේ. දුකට හේතුවක් තියෙනවා, ඒ හේතුව නැති කළොත් දුක නැතිවෙනවා.  අන්න ඒ කාරණය පිළිබඳ දැකීම තමා මෙතන දී ඇතිවුණේ. දුක නැති කරලා නැහැ. හැබැයි ‘හේතුවක් නිසානම් දුක ඇතිවන්නේ හේතුව නැති කළාම දුක නැතිවෙනවා, යම්තාක් දුක් ඇතිවෙනවා ද ඒ සියලුම දුක් නැතිවීමේ ස්වභාවයෙන් ද යුක්තයි, ඒ නිසා නැති කරන්නත් පුළුවන්. කියන දැක්ම කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේට ඇතිවුණා. වෙන මොනවත් නොවේ ඇතිවුණේ ඒ දැක්ම. මෙය භාෂාවකින් කිව්වාට දැකීම තුළ භාෂාවක් නැහැ, පාලිත් නැහැ, මාගධීත් නැහැ, සිංහලත් නැහැ, මොනවත් නැහැ, ඒ දැනීම (දැකීම) ඇතුළේ. දැනීම කුමක්ද කියා කියන්න ගියොත් තමා භාෂාවක් අවශ්‍ය වන්නේ. දැකීමට භාෂාවක් නැහැ. භාෂාවෙන් යන්න පුලුවන් දුර ගියාට පසුව වැටහෙනවා ඉන් එහාට යන්න බැහැ කියා. ඉන් එහා තියෙන්නේ දකින්න, කියවන්න නොවේ. කියවීමට නම් භාෂාවක් අවශ්‍යයයි. පොතක්, පත්‍රිකාවක්, පත්තරයක් කියවන්න භාෂාවක් අවශ්‍යයයි.

 එසේ කියවීම අවසන් වී ඤාණ දර්ශනයට පැමිණීමට සමාධිය අවශ්‍ය වන්නේ ඒ නිසයි. සමාධිය ගැන කථා කරන්නේ නැහැ කිවූ නිසා ඒ ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැ. සමාධියේ දී කියවීම නවතිනවා. තව තව කියව කියව ඉන්නවා නම් එතන සමාධියක් නැහැ. පොත් කියවීම පමණක් නොව, සිතිවිලි කියවීම පවා සමාධියේදි නවතිනවා. (සිතිවිලි කියවීම යනු සිතමින් සිටිම යි.) අනිවාර්යයෙන්ම නවතින්න ඕනේ. තව තව කියවන්න නොවේ භාවනා කරන්නේ. සිතේ කථාව අඩුවී  යනවා. අඩුව ගොස් සිතේ කතාව නවතිනවා. නැවතීමට කියන යෙදුමක් තමා සමාධිය. කියවීම නැවතුණේ කොතනද, දැකීම එතනින් ‘පටන් ගැනීම’ අවශ්‍යයයි. දැකීම ආරම්භ වන්නේ එතැනින් වුවත් කියවීම නැවතුණු පමණින් දැකීම පටන් ගන්නේ නැහැ. එමනිසා සමාධියට ගිය පමණින් දැකීමක් ඇතිවන්නේ නැහැ. එතැනින් දකින්න ආරම්භ කරන්න අවශ්‍යයයි. කෙනෙකුට සමාධියේ ආස්වාදය විඳිමින් දැකීම ආරම්භ කරන්නේ නැතිව අවශ්‍ය නම් ඉන්න පුළුවන්. සමාධි සුඛය අනුභව කරමින්, භුක්ති විදිමින් ඉන්න පුළුවන්. මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරන්නේ කියවීම නවත්වා දැකීමට ඒමයි, නැණ දසුනට පැමිණිම, කියෙව්වා ඇති. පොත් කියෙව්වත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. පොත් කියවීම පමණක් නොවේ, සිතේ තිබෙන කියවිල්ල අප නැවැත්විය යුතුයි. නැවත්වීමෙන් ම මේ දේ සිදුවන්නේ නැහැ, නැවැත්වීමෙන් පසුව දැකීම ආරම්භ කළ යුතුයි.  වචන වලින් යා හැකි දුරක් තිබෙන අතර ඒ දුර අප කවුරුත් යා යුතුයි. එමෙන්ම ගමනේ අවසානයට වචනවලින් යා නොහැකියි. මන්ද වචන වලින් යා හැකි දුර නොවේ කෙළවර, තව ටිකක් එහාට තිබෙනවා. මෙහිදී දැනුම සහ දැකීම යන දෙක වෙන්කර ගන්න. එවිට කියවීම වෙනම මානයක සිදුවන දෙයක් වෙනවා. පොතක් කියෙව්වත් කියවන්නේ, දේශනයකට සවන් දුන්නත් සවන් දෙන්නේ දැකීම සඳහායි. එනම් ‘දැනුම සඳහා කියවීම හා ඇසීම’, ‘දැකීම සඳහා කියවීම හා ඇසීම’ යනු දෙකක්. දැනුම සඳහා කියෙව්වාට, ඇසුවාට, සිතුවාට, දැකීමක් ඇතිවන්නේ නැහැ. වචන තුළ නවතිනවා, වචනවල සිරකරුවන් බවට පත්වෙනවා. ඒ වචන සිංහල ද‍, දෙමළ ද, සංස්කෘත ද, පාලි ද, මූලමාගධී ද වැදගත් නැහැ. මොනම හරි වචනයක සිරකරුවෙක් බවට පත්වෙනවා. පේන්නේ ඒ වචනය පමණයි. වචනය දැනගත්තාම අපි සිතනවා අප දන්නවා කියා.

හිතවතුනි, මේ වචන බිඳගෙන එළියට එන්න අවශ්‍යයයි. මේ වචන කියන බිත්තර කටුව ඇතුළේ සිරවෙලා ඉපදෙන්න හැකියාව තිබෙන, ආධ්‍යාත්මික ජීවින් තමා, ඔබ අප සැමදෙනාම. නමුත් සිටින්නේ මේ වචන වලින් සකස් කළ බිත්තර කටුව ඇතුළේ. බැලූ බැලූ අත මේ වචන කියන කටුව තමා පේන්නේ. වචන ටික අප දන්නවා කියලා සිතනවා. බැලුවම වැටහෙනවා මේ මොන තරම් පුංචි සිරගෙයක් ද කියා. මෙය බිඳගෙන එන්න අවශ්‍යයයි. එසේ බිඳගෙන එන්න නම්, ‘දන්නේ වචන පමණයි’ කියන කාරණය අප දැනගන්න අවශ්‍යයයි. දකින්න අවශ්‍යයයි, දන්නේ වචන පමණක් බව. වචන දන්නවා, දන්නේ නැහැ කියන්න බැහැ, එපමණයි.

අවදිවීම

මේ කාරණය පැහැදිලි කළ හැකි බොහොම ආන්දෝලනාත්මක සිදුවීමක් තිබෙනවා, සැබෑ සිදුවීමක් කියා තමයි වාර්තාගත වී තිබෙන්නේ. ලෝකයේ පළමුවන විශ්ව විද්‍යාලය කියන, නාගර්ජුන හාමුදුරුවන් වහන්සේ විසින් ආරම්භ කළ ඉන්දියාවේ තිබුණු නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලයේ පසුකාලීනව නරෝපා කියා උපකුලපති කෙනෙකු සිටියා. පොත්-පත් ගණනාවක් ලියා ඇති මොහු ඉතාම බුද්ධිමතෙක් මෙන්ම දර්ශනය හා ඒ ආගම් පිළිබඳ විශේෂඥවරයෙක් වන අතර බොහෝ සම්මාන බහුමාන ලැබූ ඇවිදින පුස්තකාලයක්. ඕනෑම පොතක්, යෙදුමක් පිළිබඳ විමසූ විට, එය බලන්නේ නැතිව පිළිතුරු දෙන්න, පැහැදිලි කර දෙන්න පුළුවන්. දවසක් නින්දෙදි දුටු සිහිනයක් මෙතුමාව වෙනස් කරන්නට හේතු වුණා. මේ සිහිනයේදී වයසක‍, ඉතාම අවලස්සන, විරූපි කාන්තාවක් දුටුවා. මේ විරූපී මැහැල්ල නරෝපා නමැති මේ උපකුලපතිතුමා ගෙන් ස්වප්නයේදී අසනවා 

“ මම ප්‍රශ්නයක් අසන්න ද? ” කියා. උපකුලපති, කථිකාචාර්ය, මහාචාර්යවරයෙකු වන මෙතුමාගේ රස්සාව, අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම නිසා, චකිතයකින් තොරව කීවා “අසන්න” කියා. නූගත් සේ පෙනෙන මේ මහළු කාන්තාව ස්වප්නයේදී ඇසුවා “දන්නවා ද? ” කියා. “දන්නවා ” කියා පිළිතුරු දුන්විට අසනවා “දන්නේ වචනය ද, අර්ථය ද?” (word or sense) කියා. 

පළමු වතාවට මෙහෙම ප්‍රශ්නයක් මෙතුමාගෙන් ඇසුවේ. මේ විදිහේ ප්‍රශ්නයක් කිසිම විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙකුගෙන් එදා මෙදා තුර අසා නැතිව ඇති, සිහිනයකින්වත් අසන්න සිතාවත් නැතිව ඇති. පළමුවතාවට මෙතුමා මේ පිළිබඳව සිතනවා, සිහිනය ඇතුළේම. එවිට මෙතුමාට සිතෙනවා “දන්නේ වචන”. මේ ප්‍රශ්න කරන්නේ සභාවකවත්, දේශන ශාලාවකවත්, මාධ්‍යවේදින් ඉදිරියේවත් නොවන නිසා ඇත්තම කියන්න සිතු උපකුලපතිවරයා කියනවා 

“ඔව්, දන්නේ වචන පමණයි” කියා. 

සමහරවිට සම්මන්ත්‍රණ ශාලාවක, දේශන ශාලාවක එවැනි ප්‍රශ්නයක් ඇසුවානම් වෙන පිළිතුරක් දීමට  ඉඩ තිබුණා. නමුත් මෙහිදි ඇත්තම කීවා දන්නේ වචන කියා. මේ පිළිතුර දුන්න ගමන් අර වයසක ස්ත්‍රිය බොහොම ලස්සනට සිනහා වෙන්න පටන් ගත්තා, උපහාසයට නොව සෑබෑම සතුටකින්. ඒත් සමඟම ඇය සිහිනය ඇතුළේ දී තරුණ වෙන්න පටන් ගත්තා. එහෙම වෙනවානේ සිහිනවල, ඉන්න අය මැරෙනවා, මැරුණ අය ඉන්නවා. ඉතින් ඇය මේ සිහිනයේ දී තරුණ වුණා පමණක් නොව සුරූපී වෙන්නත් පටන්ගත්තා. දැන් මෙතුමාටත් සතුටුයි මේ දීපු උත්තරය නිසා ඇය සුරූපී ව සතුටින් නැටීම පිළිබඳව. ඇයව තව සතුටු කරන්න සිතා කීවා

 “වචන පමණක් නොවේ, මා අර්ථයත් දන්නවා” කියා.

එසේ කියනවාත් සමඟම සිනහව අතුරුදහන් වු ඇය හඬන්නට හා වැළපෙන්නටත් නැවතත් විරූපී වන්නටත් පටන්ගත්තා, වයසට යන්න පටන් ගත්තා, අවලස්සන වුණා, නැටුමත් නැවතුණා. නරෝපාට මෙය අදහාගන්න බැරිව අසනවා 

“මේ මොකද වෙන්නේ, ඇයි ඔබ හඬන්නේ අසතුටින් කණගාටුවෙන්?” කියා.

එවිට එම ස්ත්‍රිය කියනවා “ඔබ වගේ උසස් අයෙකු බොරු කියයි කියා මා සිතුවේ නෑ, මුසාවාද කියයි කියා උපකුලපතිවරයෙකු, ඒ නිසයි මට දුක.” 

කතාවේ හැටියට සිහිනය එතනින් ඉවරයි. මෙතුමා උදේ අවදිවෙලා පැදුරටත් නොකියා නාලන්දා විශ්ව විද්‍යාලයෙන් අභිනිෂ්ක්‍රමණය කළා, ‘නිකම්ම නිකමෙකු‘ විදිහට. හේතුව, දැඩි කම්පනයක් ඇතිවුණා මේ දන්නා බව බොරුවක් නිසා, මොන තරම් බොරුවක්ද මෙතෙක් කල් කළේ කියා. මොන තරම් මුසාවාද ජීවිතයක් ද ගතකළේ ! අසම්පජඤ්ඤ මුසාවාද  (නොදැන කියන බොරු) කියා කොටසක් තිබෙනවා. දන්නවා කියා කීම, නොදැන කියන බොරුවක් බව සිහිනය තුළදි මෙතුමාට දැනගන්න ලැබුණා. නින්දේ දුටු සිහිනයෙන් එතුමා අවදිවුණා. එක්තරා මට්ටමක අවිද්‍යා නින්දෙන් එතුමා අවදිවුණා. දන්නේ නැති බව දැනගත් ගමන් සැබෑ ඤාණය කුමක්ද කියා සොයාගෙන යන්න පටන් ගත්තා. නිල නිවාසය අතහැරියා, තිබුණා නම් නිල රථයක් එයත් අතහැරියා, තනතුර අතහැරියා, වැටුප, විශාම වැටුප් අතහැරියා. මේ සියල්ල අතහරින්න තරම් සිහිනය මොන තරම් කම්පනයක් ඇති කරන්න ඇතිද? අපට නම් බොහෝවිට පසුවදාට සිහිනයත් අමතකයි. නැතිනම් සුභ-අසුභ සොයනවා. ඒ කිසිවක් නෑ මෙතුමාට. මෙතුමා ගිහිල්ලා මුණගැසුනේ තිලෝපා කියන ගුරුවරයා. එවිට තිලෝපා කියනවා “මා ඔබ එනකල් බලාගෙන සිටියේ”, මෙයත් ඉතාම ලස්සන සිදුවීමක්. ගුරුවරයෙකු ශිෂ්‍යා එනතුරු බලාගෙන සිටිනවා, රසවත් යමක් ලැබුණාම එය බෙදාගන්න සුදුසු කෙනෙකු එනතුරු බලන් ඉන්නවා වගේ, අම්මා තම දරුවන් එනතුරු බලන් ඉන්නවා වගේ. මෙතුමා භාවනාව ඉගෙනගෙන මුනිවරයෙකු බවට පත්වූ බවයි ඓතිහාසික වාර්තාවල කියවෙන්නේ. ඒ මුණි පරම්පරාව දිගටම ආවා. ඉන්දියාවෙන් පටන්ගෙන තිබ්බතයට ගිහිල්ලා, තිබ්බතයෙන් ආපසු ඉන්දියාවට ආවා, නේපාලයට, චීනයට ගියා ඒ මුණි පරම්පරාව. මෙහි ආරම්භය කොතනද, ඒ සිහිනය. සිහිනය කුමක්ද, දන්නේ වචනද? තේරුමද?

හිතවතුනි මේ ප්‍රශ්නය අපෙන් කවුරුවත් සිහිනයෙන් ඇවිත් අසන එකක් නැහැ. ඒ නිසා අප අපෙන්ම අවදියෙන් ඉන්නවිට අසන්නට අවශ්‍යයයි. කවුරුවත් අසනතුරු බලා නොසිට අප අපෙන්ම නැවත නැවත ඇසිය යුතු දෙයක් අප දන්නේ වචනද? නැතිනම් වචන හා අර්ථයද? ඕනෑම වචනයක්, සිහිය, සමාධිය, නීවරණ අරන් බලන්න. දන්නේ අත්දැකීම ද, නැත්නම් වචනය නමැති හඬක් ද ? හැබැයි ඒ වචනය අර්ථකතනය කරන්න දන්නවා. සිහිය කියන්නේ කුමක්ද කියා අර්ථකතනයක් දෙන්න පුළුවන්. අර්ථකතනය එකක්, අත්දැකීම තව එකක්. දන්නේ අත්දැකීමද, අර්ථකතනයද? මේ ප්‍රශ්නය අප අපෙන්ම නැවත නැවත විමසන කල්හි හිතවතුනි ගැඹුරු කම්පනයක් ඇතිවෙනවා. ඒ කම්පනය අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. එහෙම නැතිනම් වන්නේ මේ අර්ථකතන ඇතුළේ සිරකරුවෙකු බවට තව තවත් පත්වීමයි. බිත්තර කටුවක් ඇතුළේ ක්ෂුද්‍ර ජීවියෙක් වෙලා, හිරවෙලා, විශ්වයම දන්නවා කියා, විශ්වයම අත්දකිනවා කියා මායාව, මිථ්‍යාව ඇති කරගෙන එයට රැවටිලා ඉන්නවා. විශ්වය කියන්නේ වචනයක්. විශ්වය දැකලත් නැහැ, දකින්න කටුව කඩාගෙන එළියට එන්න අවශ්‍යයයි. ඒ වෙනුවට තව තව  බිත්ති ඇතිකරගන්නවා නම් මේ සිරකූඩුව වටේට කවදාවත් ඒ විශ්වාලෝකය දකින්න ලැබෙන්නේ නැහැ. සංසාරයේ සිරකරුවෙකු බවට පත්වෙනවා. ඒ නිසයි ශාස්තෘන් වහන්සේ කිව්වේ ‘තුච්ජෝ පෝඨිලෝ’ පොඨිල ස්වාමින් වහන්සේට පමණක් නොවේ අපටත් සාධාරණයි. අප ගැන ඇසුවත් ඔයිට වැඩිය වෙනස් දෙයක් උන්වහන්සේ දේශනා කරයි කියා සිතන්නට බැහැ. බුදුරාජණන් වහන්සේගේ ශ්‍රි මුවින් එවැනි දෙයක්වත් අසා ගන්න ලැබෙනවා නම් ලොකු දෙයක්. එයින් හරි කම්පනයක් ඇති වෙන්න අවශ්‍යයයි. එය කිය කියා ඉන්න නොවෙයි, බුදුරාජාණන් වහන්සේ මට උපාධියක් දුන්නා කියා, හරවන්න ඕනේ දැනුමින් දැකීමට. එන්න දැකීමට. ඒ කෝණයෙන් අප ටික වේලාවක් භාවනානුයෝගී වෙමු සාකච්ඡාවට පෙරාතුව.

භාවනාව

වචන, අර්ථකතන

වචන + අර්ථකතන = දැනුම, ඤාණය

අත්දැකීම හා අවබෝධය = දැකීම

බලමු ගැඹුරින් ගැඹුරට විමසමින්, අප වචන හා අර්ථකතනවල සිරකරුවන් ද නැතිනම් අත්දැකීම් හරහා නිදහස් වූවන් ද? නැතිනම් නිදහස් වෙමින් සිටින්නන් ද? කියා. බලන්න දන්නවා කියා සිතන සරල හෝ ගැඹුරු ඕනෑම වචනයක් අරගෙන, ඒ වචනය කෙසේද අර්ථකතනය කරන්නේ, තේරුම් ගන්නේ, කාට හරි තේරුම් කර දෙන්නේ, ඒ හැකියාව මොන තරම් තියෙනවා ද? මොන තරම් දුරට අත්දැකීමක් බවට පත්කරගන්න පුලුවන් ද? නිකන්ම මතුපිටින් අප දන්නේ වචන පමණයි, අත්දැකීම් නැහැ කියා සිතනවා වෙනුවට ගැඹුරින් ගැඹුරට සොයා බලන්න. දන්නවා කියන ඕනෑම කාරණයක් අරගෙන, දන්නේ වචන හා අර්ථකතන පමණ ද? නැතිනම් අත්දැකීම් ද? ඒ විමසීම කරගෙන යමින්ම, සාකච්ඡාවට එමු. ඒ විමසීමට ඔව් හෝ නැහැ කියා කෙටි උත්තර නැහැ. මෙතන සිදුවිය යුත්තේ පරිවර්තනයක්, ප්‍රශ්නයක් නොවේ උත්තර සොයන්න. ඒ නිසා නැවතීමක් නැහැ, සෙවීමේ දිගටම සොයමින් එන්න. සාකච්ඡාවට බෙදාගන්න හෝ අසන්න යමක් තිබෙනවා නම් සිහියෙන් බුද්ධියෙන් කථාකරමු.

සාකච්ඡාව 

ප්‍රශ්නය :   “විශ්වාලෝකනය” කියන දේ විස්තර කරලා දෙන්න පුලුවන්ද?

 පිළිතුර : උදාහරණයකින් පැහැදිලි කළොත්, අන්ධකාර සිර කුටියක සිටින කෙනෙකුට පෙනෙන්නේ ස්පර්ශ වෙන්නේ එයා හිරවී සිටින කුටියේ බිත්ති ටික විතරයි, වෙන දැක්මක් නෑ. හැබැයි එයාට හිතෙන්න පුළුවන් “ මෙය තමා ලෝකය, එක බිත්තියකින් ලෝකය පටන් ගන්නවා අනිත් බිත්තියෙන් ලෝකය කෙලවර වෙනවා, මම විශ්වය දන්නවා ලෝකය දන්නවා එය හරි කළුවරයි හරි පුංචියි, අත් දෙක දිග හැරිය විට මට එහි දෙකෙළවර ස්පර්ශ කරන්න පුළුවන්” කියා. හැම හිතකම මේ දිට්ඨිය තියනවා, යමක් දන්නවා කියන්නෙ මෙන්න මෙයට. යමක් පිළිබඳ වචන ඇතුලෙ හිර වෙලා අර්ථකථන ඇතුලෙ හිර වෙලා සිටිමින් දන්නවා කියලා හිතනවා.  නමුත් දන්නේ ඔය වචන ටික විතරයි. 

විශ්වාලෝකනය  කියන්නේ ඉන් එළියෙ ඉන්න කෙනෙකුට පෙනෙනවා ලෝකයත් ආලෝකයත් තියනවා. එයාට පේනවා මේ මනුස්සයා පුංචි හිර කූඩුවක් ඇතුලේ ඉඳගෙන කෑගහනව සියල්ල දන්නවා කියලා, නමුත් කිසිවක් දන්නේ නෑ, දන්නවා කියන්න දකින්න ඕන, නමුත් දැකලා නෑ, නමුත් ඒ කිසිවක් දන්නේ නැතිව කෙනෙක් කියනවා නම් අගමුල දැක්කා කියලා ඒක පිස්සුවක්. එළියෙ ඉන්න කෙනෙකුට ඇතිවෙන්නේ ලොකු අනුකම්පාවක්. එළිය ඉඳන් බලන කෙනෙකුට පේනවා කූඩුවේ දුර්වල තැන කොතැනද කියා, එවැනි තැනකට තට්ටුකරලා කූඩුවේ හිර වෙලා ඉන්න කෙනාට කියන්න පුළුවන් ” මෙතනින් කුහරයක් හදාගෙන එළියට එන්න පුළුවන් ” කියලා. හැබැයි එලියට ගන්න බෑ. ගන්න බැරි මොකද මේ හිර කූඩුව හිරකාරයා විසින්ම හදා ගනු ලබන දෙයක්, කවුරුවත් හැදූ හිර කූඩුවක් නොවෙයි, කවුරුහරි හැදූ හිර කූඩුවක් නම් කාට හරි පුළුවන් කඩා දාන්න, එහෙම බෑ, සිතිවිලිවලින් දිට්ඨි වලින් හදාගත්ත දෙයක්, එහෙම දෙයක් පිට කෙනෙකුට කඩල එලියට ගන්න බෑ, හැබැයි කඩන්න ඕන තැන කොතනද කියන්න පුළුවන්. එය කූඩුවෙන් කූඩුවට වෙනස්. එහෙම එළියට ආපු කෙනාට තේරෙනවා, දන්නවා දැක්කා කියලා හිතන් හිටපු එක මොනතරම් බොරුද කියලා. ආලෝකය නොදැකයි දැක්කා කියන්නේ, ආලෝකය තියෙන්න ඕන දකින්න, දැනීමයි දැකීමයි අතර වෙනස තියෙන්නෙ එතන. ඒ කාරණය කියන්න තමයි “විශ්වාලෝකනය” කියන්න වචනේ පාවිච්චි කලේ.

ප්‍රශ්නය : ගොඩක් වෙලාවට අප අපේ අත්දැකීම් ගැන විමර්ශනය කරන්න උත්සාහ කරනවා. මොන අත්දැකීමක් ලැබුණත් ඒ අත්දැකීම මොකක්ද කියලා හඳුනා ගන්නවා, එයට පසුව විමර්ශනයක් කරනවා. මට දැනෙන්නේ අප කරන්නේ අත්දැකීමෙන් අප රූපයක් හදාගන්නවා. එහෙම රූපයක් හදා ගත්තාම එය වචනයක්, දැකීමක් නොවෙයි. ” මම දකිනවා” කියනවා, නමුත් දැනීම් ටික එකතු කරගෙන හදා ගන්නවා, දැක්මක් කියලා දකින්නේ එයයි. එහෙම දකිනවා කියන්නෙ සංස්කාරයන් හදාගෙන ඒක තුළට යාමක් නේද?. එහෙම දැකීමකට දැකීමක් යන්න බෑ නේද?

 පිළිතුර : හිර කූඩුවේ ඇතුලේ ඉඳගෙන හිත හිත ඉන්න පුළුවන්. අත දික් කරන විට මොනවා හරි අහු වෙනවා. ඒ අහු උනාම ඒ දේ ගැන හිතනවා. ඒ සිතීම තුළ එවැනි දෙයක් වෙන්න පුළුවන්. එසේ සිත සිතා සිටීම එකක්. එහෙම හිතන්න හිතන්න තමන්ගෙ සංස්කාර වල තමන්ම සිරකරුවෙක් වෙනවා, තව තව හිරවෙනවා. 

අපට ලැබෙන අත්දැකීමක් ගැන තමයි හිතන්නේ. එතකොට එන්නේ අනුමානයක් මවාගැනීමක්. ඒ අත්දැකීම ගැන හතර විදිහකට හිතන්න පුළුවන් ( ඒ ගැන අප ලබන සතියේ කතා කරමු ). ඉන් තුන් විදිහකින්ම දැකීමක් ඇති වෙන්නේ නෑ. ඇති වෙන්නේ එක විදිහකින් පමණයි. හැබැයි තුන් විදිහකට කරන්න පුළුවන් ( තව විධි ඇති, නමුත් ජනප්‍රිය තුන් විදිහක් තියෙනවා ). ඒ තුන් විදිහට හිතුවා කියා අවබෝධය ලැබෙන්නෙ නෑ. එහෙම නැතිව ඔහේ බලාගෙන “ආයෙ උඩ පනින්න හොඳ නෑ” කියලා ඔහේ ඉන්නත් පුළුවන්. එහෙම හිටියා කියලත් නිදහස් වෙන්නෙ නෑ, අවබෝධය ලැබෙන්නෙත් නෑ. දැකීම ඇති වෙන්න කළ යුතු දෙයක් තියෙනවා.

අත්දැකීම් පිළිබඳ සංකල්ප හද හදා හිටියට, ඔහේ හිත හිතා හිටියට, අර්ථකථන දිදී හිටියට නම් වැඩක් නෑ. අර්ථකථන නොවේ දෙන්න ඕන, ඒ අත්දැකීම විශ්ලේෂණය කරලා බලන්න. එතන බැලීමක් කරන්න ඕන. අඩු සිතිවිලි ප්‍රමාණයකින් වැඩි දැකීමකට එන්න ඕන. දකින්න දකින්න සිතිවිලි අඩු වෙන්න ඕන, සිතිවිළි අඩු වෙනවා, දැකීම වැඩි වෙනවා. 

ප්‍රශ්නය :බුදුන් වහන්සේගේ බොහෝ දේශනාවල උපමා උපමේය කතන්දර සිද්ධි අත්දැකීම් බොහොමයක් තියෙනවා.  ඒවා ඇහෙන විට අපගේත් අත්දැකීම් මතු වෙන්න පටන් ගන්නවා. එතකොට වැඩිපුර දැනුමට වඩා හදවතට කිට්ටු වෙන ගතියක් තියෙනවා. වර්තමානයේ තමයි තර්කයන් අරගෙන ධර්ම දේශනාවන් කරන්නේ. එය දැනුමට හොඳයි. නමුත් දහමට ලොකු සංවේදීතාවයක් ඇති වෙන්නේ නෑ. ඉතින් බුදුන් වහන්සේගේ දේශනා ක්‍රමය බොහොම සංවේදී නේද? 

 පිළිතුර : අනිවාර්යයෙන්ම. බුදුන් වහන්සේගේ බොහොමයක් දේශනා ආදරනීය ආමන්ත්‍රණයන්. සමහර දේශනා තියෙනවා බුද්ධියට කළ දේශනා, බුද්ධිමය ප්‍රශ්න වලට දුන් උත්තර. නමුත් බොහොමයක් දේශනා ආදරණීය ආමන්ත්‍රණ, පුංචි දැනුමකුයි වැඩි ආදරනීය ආමන්ත්‍රණයකුයි එතන තියෙන්නෙ. හැබැයි මේවා වාර්තාගත උනාට පස්සේ ඒ ආදරනීය ආමන්ත්‍රණය නැති වෙනවා. එය තමයි ප්‍රශ්නය. ඒ ආදරය දයාව කරුණාව පොතක තියෙන්න බැහැ, ඒවා පොත්වල නෑ, වචන තියෙන්න පුළුවන්, හැබැයි ඒ සුවඳ ස්පර්ශය පොතේ නෑ, පොතට ගිය ගමන් නැති වෙනවා. පටිගත කිරීම් වලත් අඩුවෙනවා. සජීවීව තියෙන විටයි හොඳටම තියෙන්නෙ. හැබැයි නැති වෙලා නෑ. නැති වෙලා නැති නිසයි අද වුණත් බුද්ධ දේශනාවක් කියවන විට මොන තරම් උපමා තියනවාද උදාහරණ තියෙනවද අතීත කතන්දර තියෙනවද ගාථා විදිහට කළ දේශනා තියෙනවද (ගාථාවක තර්ක නෑ, එතන තියෙන්නේ හදවතට කරන ආමන්ත්‍රණ, බොහෝ දේශනාවල ගාථා එකක් හෝ කිහිපයක් ඇතුලත් වෙනවා). ඉතින් හදවතට තමයි වැඩිපුර කතා කරන්නේ, බුද්ධියත් ඕන, හැබැයි ඕනවට වඩා බුද්ධිය ඕනේ නෑ. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. අත්දැකීම පැත්තට ගේන්නයි අවශ්‍ය වෙන්නේ. (මොකද අත් දකින්නේ විඳවන්නේ හදවත, ඉතින් එයාට තමයි ඕන මේ විඳවිල්ලෙන් එළියට එන්න, ඔළුවට එහෙම අවශ්‍යතාවයක් නෑ, ඔළුවට ඕන තව තව තර්ක විතර්ක කරන්න හොයන්න බලන්න). ඉතින් ඒ වෙනස කරන්න පරිවර්තනය කරන්න, ඔලුවෙන් හදවතට ගේන්න තමයි බොහෝ දේශනා කළේ. හදවත ඇතුලෙන් එය බදාගෙන ඉන්න කෙනෙක් එතනින් ඔළුවට ගෙනියන්නත් කල දේශනා තියෙනවා, නැත්තෙ නෑ. නමුත් වැඩිපුර තියෙන්නේ, මොකද මනුෂ්‍යයාට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි සිතිවිලි ප්‍රශ්නය, එතනින් අත්දැකීමට ගේන්න තමයි වැඩිපුර දේශනා කරල තියෙන්නේ. 

ප්‍රශ්නය : එතැනදී අපිට උගන්වනවානේ මෙනෙහි කිරීම කියන කාරණය. ඒ මෙනෙහි කිරීමේදී අප සිහිකර තර්කයන් හදා ගන්නවා ද?

 පිළිතුර : මෙනෙහි කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි තර්ක කර කර ඉන්න එක, මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. තර්ක විද්‍යාවේ තියෙන සරල උපන්‍යාසයක් තමයි A, B ට සමානයි සහ B, C ට සමානයි නම් A, C ට සමාන විය යුතුයි කියන එක. තර්කයේ දී කරන්නේ එහෙම උපකල්පනය කරන එක. ඒ මත දිගට හිතනවා. එහෙම මෙනෙහි කිරීම නොවෙයි යෝනිසෝමනසිකාරය කියන්නේ. A දිහා හොඳට බලන්න ඕන, C දිහාත් හොඳට බලන්න ඕන, මේ දෙන්නා දිහා බලන්න ඕන ඇත්තටම සමානද කියලා, B ඕනේ නෑ, B අයින් කරලා ම දාන්න ඕන, තර්කයක් නෑ මෙතන. A සහ C සෘජුවම මුණ ගස්සලා බලනවා දෙන්නා සමානද කියලා, සමාන නම් සමානයි නැත්නම් නෑ. මෙතන තර්කයක් නෑ. මෙනෙහි කිරීම තුළ තර්කයන්ට එන්න එපා. තර්කයට ආවොත් අත්දැකීම නැති වෙනවා. 

ප්‍රශ්නය : අපි සමාධියට පත් උනහම එතනින් එහා ඥාන දර්ශනයට ගොඩවෙන්න යෝගියා විසින් සමාධිය හිතාමතා මෙහෙයවනවා ද, එහෙම නැත්නම් සතියෙන් සමාධිය දිහා තවදුරටත් බලාගෙන ඉන්නවද?

 පිළිතුර : සමාධිය මෙහෙයවන්න ඕන. සමාධිය වාහනයක් කරගන්න, එය තමයි හොඳම වාහනය. එහෙම නැත්නම් සමාධිය නැවතුම්පලක්. සමාධිය නැවතුම්පලක් නම් එතනින් එහාට ගමනක් නෑ. හැබැයි ඥාන දර්ශනයට යන යෝගියාට සමාධිය නැවතුම්පොළක් නොවේ,  එය වාහනයක්. එනිසා සමාධිය මෙහෙයවන්න, ඥාන දර්ශනය පැත්තට මෙහෙයුවොත් ඤාණ දර්ශනය පහළ වෙනවා, වෙන පැත්තකට මෙහෙයුවොත් ඒ පැත්තට තියෙන දෙයක් තමයි ලැබෙන්නේ. 

සමාධියේ සංයුතිය බැලුවොත් සිහියත් ඒ සමාධියේ ඇතුළත්, සමාධියයි සතියයි දෙකක් නොවේ. සමාධිය කියන වචනය ඇතුලේ, ඒ අත්දැකීම අරගෙන බැලුවොත් ඒ අත්දැකීම ඇතුලේ සිහියත් තියෙනවා. සිහිය නැත්නම් ඒ සමාධිය සම්මා සමාධියක් වෙන්නේ නෑ. දහම ඇතුලේ සමාධිය කියලා කතා කළොත් එය සම්මා වෙනවා සහ ඒක ඇතුලේ සිහිය තිබෙනවා සහ ඒකාග්‍රතාවයත් තියෙනවා ( සිහිය විතරක් තියෙනවා නම් එය සම්මා සතිය, අවදිමත් බවයි අවධානයයි දෙකම තියෙනවා) සහ කිසි තැනක නතර වෙන්නෙ නැතිව( දැන් මමත් මේක දැනගත්තා කියලා නතර වෙන්නෙ නැතිව)  ලැබෙන සෑම අත්දැකීමක් ගැනම උපේක්ෂා වෙන ගතිය (උපේක්ෂා සහගත වෙනවා කියන්නේ ” මම දන්නවා මීට වඩා දැනගන්න දෙයක් නෑ කියන ක්ෂණික තීරණ වලට ඉන්නේ නැතිව විවෘතව  හිටින ගතිය) තියෙනවා. මේ ලක්ෂණ 3 අත්දැකීම් 3 එක ප්‍රමාණයට ලැබීමට තමයි සමාධිය කියන වචනය පාවිච්චි කරන්නේ. සමාධිය කියන්නේ වචනයක් පමණයි, මේ කාරණා ඒ ඇතුළේ තියෙනවා. 

ප්‍රශ්නය : සමාධියේ සමහර අවස්ථා තියෙනවා අපට කිසි දෙයක් කරන්න බැරි, අඳුරු ලෝකයකට එකතු වුණා වගේ ගතියක්. එහෙම සමාධියකට පත් උනහම කෙනෙකුට හිත වෙනස් කරන්න බෑ. එතකොට ඔබතුමා කියූ පරිදි ඒ සමාධියෙන් වෙන දෙයක් කරන්න බෑ. තවත් විදිහකට සමාධි උනහම තේරෙනවා අපට සමාධි වුණා කියලා, අපේ හිත මොකක්ද කියලාත් දැනෙනවා. 

පිළිතුර : පලවෙනි සමාධිය තුළ තිබෙන්නේ විවේකයක්. නින්ද වගේ අපට ඒ විවේකය අවශ්‍යයි, එයින් නැවුම් බවක් ඇති වෙනවා හිතට. ඒ සමාධියෙන් මොන යම් මොහොතක හරි එලියට ආවහම එයට පෙර හිටපු කෙනා නෙවෙයි ඉන්නේ, බොහොම සංවේදී තීක්ෂණ දැනුමක් අවධානයක් තියෙන කෙනෙක් තමයි එළියට එන්නේ. ඉන් පසුව දැකීමට එන්න පුළුවන්. හැබැයි එතන තියෙන ගැටලුව නම් එය ඇබ්බැහි වීමක් වෙන්න පුළුවන්. දැන් ඔබතුමාට පුළුවන් වුණාට ඕන වෙලාවක ගිහින් ඕන වෙලාවක ආපහු එන්න, එය ඇබ්බැහියක් වුනොත් පාලනයක් නැති වෙනවා. එවිට දෙවෙනියට කියූ සමාධියට එන්න බැරි වෙනවා, ඇස් වහ ගත් ගමන් ඔතනට තමා එන්නේ. එම නිසා පලවෙනි සමාධියට ගියාට කමක් නෑ නමුත් ඔබතුමා කියූ දෙවැනි සමාධියෙන් වැඩි වැඩියෙන් වැඩ ගන්න. 

ප්‍රශ්නය : අප සමාධිමත් සිතකින් අවදියෙන් ඔබතුමාගේ දේශනා අහන් ඉන්නවා නම් එතැනදී ඥාන දර්ශනය ඇති කරගැනීමට පහසුවක් තියෙනවා නේද?

පිළිතුර : අනිවාර්යෙන්ම, අවදියෙන් අවධානයෙන් හා විවෘතව ( පළවෙනි වචනෙම කියනවිට “ මේක තමයි හරි හෝ නෑ  මේක නම් වෙන්න බෑ, මේක කලිනුත් කියලා තියෙනවා” කියලා එහෙම වහගන්නෙ නැතිව විවෘතව ඉන්න පුළුවන් ගතිය)  අහන්න ඕන. එය තමා සමාධියේ ලක්ෂණ 3 . ඒ ලක්ෂණ 3 න් යුක්තව හිටියොත්,  එක කාරණයක් තමයි දේශනයේ පණිවිඩය ගන්න පුළුවන් වෙනවා. පැයක දේශනයක් කලාට සමහරවිට එහි සාරය පණිවිඩය වාක්‍යයක් වෙන්න පුළුවන් ( නමුත් ඒ වාක්‍යය පමණක් කියන්න බෑ, එය පමණක් කිව්වට ඒ පණිවිඩය ගන්න තරම් අපි තියුණු නෑ).  ඒ විදිහට අහගෙන හිටියොත් තමයි ඒ දේශනයේ සාරය ගන්න පුළුවන් වෙන්නේ,  එය අවශ්‍යයි. එහෙම අහන් ඉන්නකොට නොදන්නා දේ දැනගැනීම නොවෙයි ඥාන දර්ශනය කියන්නේ, දන්න  දේට නිවැරදි අර්ථ කථන ලැබීමත් නොවේ, මේ දෙකම දේශනයේ තිබෙනවා. ඥාන දර්ශනය කියන්නේ අපට අප පිළිබඳ ඇතිවන අවබෝධය, තමන් පිළිබඳ, වචන නොවේ, වචන බාහිර දෙයක්, බුදුදහම බාහිර විෂයක්, ඒ බාහිර දර්ශනය පිළිබඳ දැන ගැනීමට නොවේ ඥාන දර්ශනය කියන්නේ. ඒ සියල්ලෙන් අපට අපව තේරෙන්න ඕන මම මෙහෙමයි කියා. ඒ දැක්ම ඇතිවෙන්න නම් පෙර කී විදිහට අහන්න ඕන. එහෙම අහලා ඒ දේශනය අපිට කණ්ණාඩියක් වෙන්න ඕන, මට මාව පේන්න ඕන.

අපේ වෙනසක් වෙන්නේ ඥාන දර්ශනයෙන්. ඥාන දර්ශනය කියන්නේ විෂයක් නොවේ, උගත්කමක් බුද්ධියක් නොවේ, මේ මොහොතේ දැකීම, අපව දැකීම. ඒ සඳහා හැම තත්පරයකම සූදානම්ව සිටින්න. ඒ සූදානම් කිරීම තමයි භාවනාවෙන් කරන්නේ. ඒ හැකියාව සුදුසුකම හැකි උපරිමයෙන් ඇතිකරගැනීමේ අදිටනින් අපි සදහම් සැන්දෑවේන් සමුගනිමු.

 හැම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!