සදහම් සැඳෑව -2

2022-11-02 නැණ දසුනට තත්පරයක් - 15

සදහම් සැඳෑවේ ආධ්‍යාත්මික සජ්ඣායනාවට එකතු වූ ආදරණීය කල්‍යාණ මිත්‍රයිනි, සිතනවා වෙහෙසකර දවසකට පසුව, ඒ ගතට සිතට දැනෙන වෙහෙස විඳ දරාගෙන, ඉවසාගෙන, කිසියම් ප්‍රබෝධයක්, අවදිමත්බවක් සිතේ ඇතිකරගෙන, මේ මොහොතේ සන්සුන්ව සිටිනවා ඇති කියා. ජීවිතය එන්න එන්න සැහැල්ලු කරගතයුතු දෙයක් වුවත්, සිදුවන්නේ එන්න එන්නම ජීවිතය බරවීමක්. එයයි සාමාන්‍ය ප්‍රවාහය. උපදිනවිට දැනුණාට වඩා එන්න එන්න ජීවිතය මහා බරක් ලෙසින් දැනෙනවා. සිතනවා එකින් එකට ඒ බර අවසන්වෙයි කියා, නමුත් තව තව ජීවිතයට බර එකතු වෙනවා මිසක් අඩුවීමක් නැහැ. ඉබේට අඩු වන්නේ නැහැ, එය සිහිනයක් හා මිරිඟුවක් පමණයි. අසවල් දෙයින් පසුව, අසවල් දිනයෙන් පසුව මේ කරදර ඉවරයි. උසස් පෙළින් පසුව, උපාධියෙන්, පුහුණුවෙන්, රැකියාවෙ ස්ථිරත්වයෙන් පසුව, උසස්වීමෙන් පසුව, නිවසක් සාදාගැනීමෙන් පසුව, විවාහයෙන් පසුව ආදී වශයෙන් මෙන්ම විශ්‍රාම යෑමෙන් හා ඉන් පසුවත් එකින් එක එන ඉලක්ක බරක්. සිතනවා ඒ ඉලක්ක සපුරාගත්විට බර නැහැ කියා, ප්‍රශ්න ඉවරයි, සැහැල්ලුයි, විවේකයෙන් ඉන්න පුළුවන් කියා. නමුත් එය එසේ සිදුවනවා ද කියා අප නැවත නැවත විමසන්න වෙනවා. එහෙම දෙයක් පේන්නේ නම් නැහැ. අන්තිමට සිතනවා මරණයෙන් විසඳෙයි කියා. සමහරවිට ඊට කලින් සිතෙන්න පුළුවන් පැවිදිවුණාම, ‘ගිහිබර’ ඉවරවෙනවා කියා. නමුත් එසේ සිදුවෙනවාද කියා හරියටම කියන්න බැහැ, සොයා බලන්න වෙනවා. මේ සියල්ල පසු කළාම, මැරුණාම ජීවිතයේ බර ඉවරයි කියා සිතනවා. ඒ බවත් කියන්න බැහැ. මරණය අප සැහැල්ලුකර, විවේකයට පත්කර අපට නිවීසැනසිල්ලේ ඉන්න දෙයි ද, නැතිනම් තවත් අලුත් ගමනකට අපව තල්ලු කරයිද? ගමන ඉවර වෙනවාත් සමඟම තවත් අලුත්ම අලුත් ගමනකට අපව තල්ලු කරනවාද කියා හරියටම කියන්න බැහැ.

මේ සිහිනයත් සමඟ සැහැල්ලුව සහ විවේකයත් සිහිනයක් පමණයි, අත්දැකීමක් නොවේ, යථාර්ථයක් නොවේ. ලස්සන වචන දෙකක් සැහැල්ලුව හා විවේකය, බාලගිරි දෝෂය වගේ අද නොවේ හෙට.

ජීවිතය යනු

හිතවතුනි මෙවන් වූ බොහොම කලබලකාරී, වෙහෙසකර ගමනකට ද ජීවිතය කියා කියන්නේ, දිවි ගමන කියා කියන්නේ? එය නැවත විමසා බැලිය යුතු, නැවත කියවිය යුතු දෙයක්. කවුරුවත් කියන නිසා, “ජීවිතය ගිරි දුර්ගයක්, දුර්ග ගමනක්, කටුක ගමනක්, සොයන්න දෙයක් නැහැ, බලන්න දෙයක් නැහැ, එය එසේ තමයි, මේ කටු ගෝනිය ඔළුව උඩ තියාගෙන ඉන්න වෙනවා මැරෙන තුරු”කියා, එහෙම විශ්වාසයකින් දුක් විඳින්න අවශ්‍ය නැහැ. සොයා බලන්න වටිනවා එය ඇත්ත ද, බොරු ද, වෙනත් ආකාරයක ජීවත්වීමක් තිබෙනවාද නැද්ද කියා. ඒ පිළිබඳව අප බොහෝවිට කථා කර තිබෙනවා, සිතීමයි - ජීවත්වීමයි මොනතරම් එකිනෙකට බද්ධ වෙලා ද, එකක් මත අනික යැපෙනවා ද කියා.

ජීවිතය යනු සිතීම අනුව පියවරෙන් පියවරට ගොඩනැඟෙන, දික්ගැසෙන දෙයක්. සිතීමට අනුවයි ජීවිතය සකස් වෙන්නේ. ජීවිතය අනුව සිතන ආකාරය වෙනස් වන්නේ නැහැ, සිතන ආකාරය අනුවයි ජීවත් වෙන්න ලැබෙන්නේ. එතැනදී බොහෝ දෙනෙකුට ගැටලුවක් ඇතිවෙන්න පුළුවන් “අප කැමති සතුටින් ඉන්න, අප සිතන්නේ සතුටින් ඉන්න, නමුත් එසේ ඉන්න ලැබෙන්නේ නැහැ. අප සිතනවා ආදරයෙන් ඉන්න, නමුත් සෑම දිනම අඬදබර. අප සිතනවා සුඛෝපභෝගීව ඉන්න, නමුත් හැමදාම ආර්ථික පීඩා”කියා. මෙසේ දිර්ඝ ලැයිස්තුවක් සකස්කරන්න පුළුවන්, ජීවත් වෙන්න සිතන ආකාරය සහ ඇත්තටම ජීවත් වෙන ආකාරය මොනතරම් පරස්පරද කියා. එතැනදි කෙනෙකුට අභියෝග කරන්නත් පුළුවනි “කෙසේද කියන්නේ, සිතන විදිහටයි ජීවත් වෙන්නේ කියා. එහෙම වෙන්න බැහැනේ, අප සිතනවා සතුටින් ඉන්න නමුත් සිටින්නේ අසතුටෙන්. කොහොමද එහෙම වෙන්නේ? දිව්‍ය ලෝකයක් විය යුතුයි අපායක් නොවී”. ඇත්ත හිතවතුනි, දිව්‍යමය සිතුවිලි තිබෙනවා නම්, දිව්‍ය ලෝකයක්. එය සම්පූර්ණ ඇත්ත. “දිව්‍ය සැප විඳින්න ඕනේ” කියා සිතුවාට බැහැ. දිව්‍යමය සැප විඳින්න නම්, දිව්‍යමය සිතුවිලි තිබෙන්නට අවශ්‍යයයි. සිතුවිලි දිව්‍යමය නොවී දෙව් සැප, දිව්‍යමය සම්පත්, ස්වර්ග සම්පත්ති ගැන සිතුවාට, ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. වරද ඇත්තේ එතනයි. සිතනවා, ඒ ප්‍රතිඵල ලැබෙන්න කියා, මල් පිපෙන්න කියා සිතනවා, නමුත් පැළයක් සිටුවන්නේ නැතිව, සිටෙව්වත් ඒ ගැන සැලකිල්ලකින් තොරව. ප්‍රාර්ථනයකට බැහැ පියුමක් විකසිත කරන්නට, එයට අවශ්‍ය ක්‍රියාවන් නොකර. දිව්‍යමය සිතුවිලි ඇතිකර ගන්න පුළුවන්නම් දිව්‍යමය සුවයක් විඳින්න පුළුවන්. ඊට එහා සිතුවිලි ඇති කරගන්න පුළුවන් නම්, ඊට එහා තිබෙන සැප නිදහස අත්දකින්න පුළුවන්.

නමුත් ඇත්ත නම්, ප්‍රාර්ථනා කරන්නේ, සිහින දකින්නේ, බලාපොරොත්තු වන්නේ, දෙව්ලොව සැප, ස්වර්ග සම්පත්තිය විඳින්න (මරණින් මතු නොවේ මේ ලෝකේ දීම), නමුත් සිතුවිලි ප්‍රේත සිතුවිලි, තිරිසන් සිතුවිලි. ඒවාට බැහැ ප්‍රේත නොවන තිරිසන් නොවන අත්දැකීමක් ලබාදෙන්න. මෙයයි ගැටළුව. මේ නිසා අපේ සිතුවිලි, අපට ජීවත් වීමට අවශ්‍ය මට්ටමට ගේන්න වෙනවා. අපේ සිතීම තිබෙන්නේ පහළ මට්ටමක නම් ඉහළ මට්ටමේ ජීවිතයක් ගත කරන්න බැහැ. කෙනෙක් සිතනවා නම් මෙපමණ ධනය තිබෙනවා, මෙපමණ වත් පොහොසත්කම් තිබෙනවා, ඒ නිසා සුපිරි ජීවිතයක්, ඉහළ මට්ටමේ ජීවිතයක් ගත කරන්න පුළුවනි කියා, ඒ සුපිරි ජීවිතය ධනයට ලබා දෙන්න බැහැ. මිලයට ගත හැකි දෙයක් නොවේ ජීවිතය කියන්නේ. බොහෝවිට භාවිත කරන සියල්ලම (දේවල් සහ සේවාවන්) මිලට ගන්න පුළුවන් වුවත් ජීවිතය මිලට ගන්න බැහැ. දිව්‍යමය කියනු ලබන සැප සම්පත් පිරිවරාගෙන වුවත් ජීවිතය අපායක් කරගෙන තිබෙනවා, එයයි ඇත්ත. සුඛෝපභෝගී මන්දිර, වාහන, උපකරණ මේ සියල්ලම මැද ජීවිතය අපායක් කරගන්නවා. මේ කිසිදෙයකට බැහැ ජීවිතය වෙනස් කරන්න, සිතීම වෙනස් කරන්නේ නැතිව. මේ සියල්ලෙම අවසාන තීරකයා සිතීමයි. අන් සියල්ල සුදානම් වී සිටිනවා අප වෙනුවෙන් කලහැකි දේ කරන්න. දැනුම, ධනය, අන් සියල්ල ම දොරකඩට වී ඉඳිකඩට වී බලා සිටිනවා, සිතීම මොන දොර ද අරින්නේ කියා (දිව්‍ය ලෝකේ දොර ද, අපායේ දොර ද කියා). අපායේ දොර ඇරියොත් බැහැ අර කිසිම දෙයකට අපායේ දොරින් ඇතුළට පැමිණ දිව්‍යමය සැපක් ලබාදෙන්න. එමනිසා ප්‍රශ්නය ඇත්තේ සිතීමේ.  

වර්තමාන චින්තතනය

මීට කලිනුත් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා මතක ඇති, ‘මනෝපුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා’ ගාථාවක් සමඟින්. මේ මනසයි ප්‍රධාන. මනසයි බලවත්. මනස යම්සේ ද, ඒ ආකාරයටයි ජීවිතයත්. මනස ලස්සනයි නම් ජීවිතයත් ලස්සනයි, මනස කිලිටිනම්, දූෂිතනම්, ජීවිතයත් දූෂිතයි. භෞතික සම්පත් තියෙන්න පුළුවන්. නමුත් ඒවාට කරන්න දෙයක් නැහැ. ඒ කිසිදෙයකට බැහැ මනස අභිබවා යන්න. බලන්න හිතවතුනි පෙර පිනකට කළ හැකි දේ බොහොමයි. පෙර පිනකට පුළුවන් කෙනෙකුව ධනවත් කරන්න, නිරෝගී කරන්න, ලස්සන රූප සම්පත්තියක් ලබාදෙන්න, බොහෝ දේ දෙන්න පුළුවන්. ඒ නිසානේ ඒවා පිනේ විපාක ලෙසින් විස්තර කරන්නේ. පෙර පින් හෝ පව් කියන්නේ අතීත කර්මනේ. අතීත කර්ම වලට පුළුවන් බොහෝ සැප-සම්පත් දෙන්න. නමුත් වර්තමාන චින්තනයට අතීත කර්ම යටබව, මේ ඇත්ත අප තේරුම්ගත යුතුවෙනවා, පිළිගත යුතුවෙනවා. මේ මොහොතේ සිතන ආකාරයටයි අතීත කර්මය විපාක දෙන්නේ. වර්තමාන චින්තනය වෙනස් නම්, අතීත කර්මයට පටහැනි නම්, සැප සම්පත් වටවෙලා තිබුණත් ඉන්නේ අපායේ. අපාය නිර්මාණය කරන්නෙත්, දිව්‍ය ලෝකය නිර්මාණය කරන්නෙත් මනස. මෙතන දිව්‍ය ලෝකය හා අපාය කියන්නේ මරණින් පසු යන්න හෝ නොයන්න බලාපොරොත්තු වන දිව්‍ය ලෝකය හා අපායට ම නොවේ. දැන් මේ මොහොතේ තිබෙන, අත්දකින තත්වයක්. මෙනිසායි වර්තමාන චින්තතය (දැන් සිතන ආකාරය) ගැන අන් සියලුම දෙයට වඩා කෙනෙකු සැලකිලිමත් විය යුත්තේ. මේ මොහොතේ සිතන විදිහ ගැන කෙනෙකු කිසියම් ප්‍රමාණවත් මට්ටමකින් සැලකිලිමත් වන්න පුළුවන් නම්, එමෙන්ම වර්තමාන චින්තනය හසුරවා ගන්න පුළුවන් නම්, මේ මොහොතේ සිතීම, අකුසලයෙන් කුසලයට සංක්‍රමණය කරගන්න පුළුවනි නම්, මොනතරම් බලාගෙන සිටියත්, අතීතයට බැහැ එවැනි කෙනෙකුට නිරා දුකක් දෙන්න. එයයි මේ මොහොතේ තිබෙන වටිනාකම. එසේ නොමැති නම් මේ මෙහොත වැදගත් නැහැ, අතීතයට පුළුවනි නම් වර්තමානයේ කුමක්ද විය යුත්තේ කියා තීරණය කරන්න. එසේ නම් හිතවතුනි අසවල් පාප කර්මය අතීතයේ කර නැහැ කියා කිසිදු කෙනෙකුට කියන්නට බැහැ. මේ සංසාරය එපමණටම දිගයි, එපමණටම සංකීර්ණයි. විපාක නොදුන් අකුසල කර්ම, පාපකර්ම නැහැ කියා කිසිකෙනෙකුට කියන්නට බැහැ. විපාක දෙන්න බලාගෙන ඉන්න අකුසල කර්ම, පාපකර්ම ගැන කියන්නත් බැහැ. පුණ්‍යකර්ම ගැන කියන්නත් බැහැ. මෙයින් ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ ප්‍රශ්නය කර්මයට භාරදෙන්නත් බැහැ, භාරදෙන්නත් එපා. කර්මයට භාරදිය යුතු දේවල් ඇති. නමුත් ජීවිතය අපායක් කරගන්නවාද? නැද්ද? තීරණය ඔබ සතුයි, මා සතුයි, මේ මොහොත සතුයි.

මෙහිදී වැදගත්වන කාරණය වන්නේ “ඇයි මේ මොහොත අසහනකාරී” වී ඇත්තේ යන්නයි. මොනතරම් සිතුවත් සැපෙන් සිටින්න අවශ්‍යයයි කියා, එසේ නොවන්නේ ඇයි? එසේ නොවෙන්න හේතුව නම්, මේ මොහොතේ ඒ ඕනෑකමට අවශ්‍ය හේතු සකස්වීමේ සිතීමක් නොවේ තිබෙන්නේ (මේ මොහොතේ සිතන්නේ ඒ ඕනෑකමට හේතු සකස්වන ආකාරයට නොවේ). සාමාන්‍ය සිත හේතු ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. පැළයකින් මලක්, ගෙඩියක් ගන්න සිතනවානම්, වලක් හාරන්න, පොළව බුරුල් කරන්න, හොඳ පැළයක් (බීජයක්) සොයාගන්න, එය නියමිත වේලාවක සිටුවන්න, වතුර දමන්න, පොහොර දමන්න වෙනවා. ඒවා කරන්න හිතන්නේ නැතිව ඵලය ගැන පමණක් සිතීමෙන් එය ලැබෙන්නේ නැහැ. මේ හේතු පිළිබඳ දර්ශනය, ඥාන දර්ශනයේ ඉතාම වැදගත් භූමිකාවක් ඉටුකරනවා. කරන්න ඇත්තේ කාරණා තුනයි, හේතු දැනගැනීම, හේතු ඉවත් කිරීම හා හේතු එකතු කිරීම. සරලව කීවොත්, අපට විවේකයෙන්, සැනසිල්ලෙන් සිටීමට නම් මුලින්ම කරන්න අවශ්‍ය දැන් එහෙම නැත්තේ ඇයි කියා හේතු සොයා ගැනීමයි. දැන් සිටින්නේ අවිවේකයෙන් නම්, අසහනයෙන් නම්, මොනහේතු නිසාද එහෙම ඉන්නේ කියා හේතු සොයා ගැනීම අවශ්‍යයයි. කර්මය එක හේතුවක් වෙන්න පුළුවන් වුවත් එකම හේතුව කර්මය නම් නොවේ. කර්මය තියෙන්නේ අතීතයේ. වර්තමාන හේතු නැද්ද, වර්තමානය කියා දෙයක් නැද්ද කියා සොයා බලන්න වෙනවා.

කර්ම වාදයට ගියාම පටිච්ච සමුප්පාදය දකින්න බැරිවෙනවා. එතන භයානක උගුලක්. කර්මවාදය විසින් නිර්මාණය කරනු ලබන බාධකයක් තිබෙනවා, හේතුඵලවාදය නොදකින්න. එවිට පෙනෙන්නේ කර්මය හා විපාකය යි. කර්මය හා විපාකය යනු එකක්, හේතුඵලය යනු තව එකක්. හේතු වර්තමානයේ තියෙන්නේ, ඵලයත් වර්තමානයේ තිබෙන්නේ. වර්මානයේ අවිවේකයෙන්, අසහනයෙන්, විඩාවෙන් ඉන්නවා නම් වර්තමානයයි එයට වගකියන්න අවශ්‍ය, අතීතය නොවේ. වර්තමානය කෙසේද වගකිව යුත්තේ යන්නයි අප සොයාගතයුතු කාරණය වන්නේ. එයට පුබ්බේනිවාසානුස්සති ඥානය -  පෙර ආත්ම දැනගැනීමේ නුවණ අවශ්‍ය නැහැ. එයට අවශ්‍ය වන්නේ අවදිමත්බව හා සිහිබුද්ධිය යි. ඒ දෙක තිබුණොත් බලන්න පුළුවන්, බැලුවොත් පෙනෙනවා මොන හේතු නිසාද අසහනය තිබෙන්නේ කියා. අනතුරුව කළයුතු වන්නේ එම හේතු ඉවත් කිරීම සහ විවේකය ඇතිකරන හේතු එකතු කිරීමයි. මෙහිදී එම කාර්යයන් තුන සිදුවිය යුතුය. මේ කාර්යයන් තුන වෙන් වෙන්ව දැකීම, හේතු දැකීම ඥාන දර්ශනයයි.

සෙවීම

මෙසේ බලනවිට පෙනෙන ප්‍රබල හේතුවක් තිබෙනවා. වර්තමානයේ අසහනයෙන් පසුවන්න බලපාන ප්‍රබලම හේතුව නම් ‘සෙවීම’ යි. සැප සෙවීමයි, ප්‍රධානම හේතුව සැප නොලැබීමට. නැවතත් කෙනෙකුට සිතෙන්න පුළුවන් පරස්පරයක් කියන්නේ කියා. අප මුළු ජීවිතය ම සැප සොයනවා, අතන ඇති, අරයා ළඟ ඇති, ආදී වශයෙන්. විවිධ දේවල් තුළ, පුද්ගලයන් ළඟ, තනතුරු තුළ, කෑම-බීම තුළ, රූප තුළ, සංගීතය තුළ සැප සොයනවා. සොයනවා  පමණයි, සැප තියෙනවාද කියා අත්දකින්න වේලාවක් නැහැ. අත්දකින්න නම් සෙවීමෙන් පසුව නවතින්න අවශ්‍යයයි. මෙතැන නැවතීමක් නැතිව දිගටම සොයනවා නම් අත්දකින්න බැහැ. එවිට කෙනෙකුට සිතෙන්න පුළුවන් “සොයන දේ ලැබුණාම තමයි නවතින්නේ” කියා. නැහැ, සොයන දේ ලැබුණුවිට නවතිනවා කියා දෙයක් නැහැ. නැවතුණ විටයි සෙවූ දේ ලැබෙන්නේ.

මේ කාරණය පැහැදිලි කළ හැකි සිදුවීමක් තිබෙනවා. එක්තරා ගුරුවරයෙකු ළඟ, අවුරුදු ගණනක් උපාස්ථානය කළ උපස්ථායකයෙකු සිටියා.  මේ උපස්ථායකතුමාට තිබුණු ගැටලුවක් දිනක් ගුරුතුමාගෙන් ඇසුවා. 

“මම ඔබතුමා නින්දට යන මොහොතෙත්, අවදිවන මොහොතෙත් ඔබතුමාගේ කුටිය ළඟ කාලයක් තිස්සේ ඉන්නවා. ඉතින් මා දකිනවා ඔබතුමා නින්දට යනවිට ඉන්න විදිහටමයි, අවදිවනවිටත් ඉන්නේ. මොකද, ඔබතුමා නිදා ගත්තට පසුවයි  මා කුටියේ දොර වහලා කුටියෙන් යන්නේ. එමෙන්ම ඔබතුමා අවදිවෙන්න කලින්, ඔබතුමාට බීමටද යමක් රැගෙන මා එනවා උදේට දොර ඇරගෙන. එම නිසා මට මේ අත්දැකීම් දෙකම තිබෙනවා. මෙය දැනගැනීම සඳහා නිදි නොලබා, එළිවෙන තුරු ඔබතුමාගේ ඇඳ ළඟ වාඩි වී බලාගෙන සිටි වාර අනන්තයි. යම්තාක් කල් නිදා ගන්නවද ඒ තාක් කල් හැල හොල්මනක් නැහැ. නමුත් මා එහෙම නෙවෙයි” කියා උපස්ථායකතුමා කියනවා. “මම එහාට-මෙහාට හැරෙනවා, උඩුබැලි අතට, මුනින් අතට ඉන්නවා. කොහොම වුණත් නිදාගත්ත ඉරියව්වෙන් නෙවෙයි අවදි වෙන්නේ. නින්දේදීත් ඉරියව් වෙනස් කරනවා, මේකෙ රහස කුමක්ද? ඔබතුමා ඇත්තටම නිදිය ගන්නවාද?” 

එවිට ගුරුතුමා බොහොම ලස්සන අපූරු උත්තරයක් දෙනවා. “නිදා ගන්න ඉරියව්ව ඔබ තාම  සොයාගෙන නැහැ” එය මෙහෙම කිව්වහම බොහෝවිට තේරෙන්න පුලුවන්. කුමක්ද මේ කිව්වේ කියා සමහර කෙනෙකුට සිතෙන්න පුලුවන්, නිදා ගැනීමේ ඉරියව් එකයි තිබෙන්නේ, කිහිපයක් නැහැ. ඇවිදිමින් හෝ සිටගනිමින් නිදාගන්නේ නැහැ, කිසියම් දිශාවකට හැරී, හාන්සි වී නිදියනවා එපමණයි. උපස්ථායකතුමා අසනවා 

“කුමක් ද ඉරියව්ව” කියා. 

“නෑ ඔබ එළිවෙනකම් ඉරියව්ව සොයනවා.  මේ පැත්තට හැරිලා හිතනවා, ඒ පැත්ත හරි කියලා. ඒ පැත්තට හැරිලා ටික වෙලාවක් ඉඳලා උඩුබැලි අතට හැරෙනවා. මෙසේ ඒ මේ අතට හැරෙමින් සිටිනවා නිදාගැනීමේ ඉරියව්ව සොයමින්. ඔබ මේ වෙනතුරුත් තාම ඉරියව්ව සොයාගෙන නැහැ. සොයාගෙන නැත්තේ දිගටම සොයන නිසා. එක් ඉරියව්වක හිටියනම් ඒ දේ ලැබෙයි, ඉන්නේ නැති නිසා ඒ දේ ලැබෙන්නේ නැහැ”. ඉන්න බැහැ, ඉන්න බැරි මොකද “මේක නෙවෙයි අරක” කියමින් සොයන්න තිබෙන පෙළඹවීම් නිසා. මේ නිසා ගුරුතුමා කියනවා “මා ඉරියව්ව සොයාගෙනයි තියෙන්නේ, ඒ නිසා මට ඉරියව්ව සොයන්න අවශ්‍ය නැහැ. ආයේ සොයන්නේ නැහැ මට ඉරියව්ව හමු වී තියෙන්නෙ. විවේකය දැනෙන ඉරියව්ව, සැහැල්ලු වෙන ඉරියව්ව මට ලැබී තියෙන්නේ.  ක්‍රමය දන්නවා,  ඒ නිසා සෙවීම්ක් නැහැ. එම නිසා සැහැල්ලුවෙන් හා විවේකයෙන් ඉන්න පුළුවන්”.

හිතවතුනි මේ ගැඹුරු පිළිතුරක්. වම් පැත්තට ද හැරෙන්නේ, දකුණු පැත්තට ද හැරෙන්නේ කියන ඒ කතාව නෙවෙයි මෙතන කියන්නේ. එයට වඩා බොහෝම ගැඹුරු සිතන්න තියෙන කාරණයක්.  මොන කාරණයක හරි එක දිගට ඉන්න පුළුවන්, සෙවීම් (තැනින් තැනටනැනීම) නවත්වා. එක තැනකින් ටිකක් කනවා, තව තැනකින් තව ටිකක් කනවා, මෙහෙම කනවිට කිසිම තැනකින් බඩ පිරෙන්නේ නැහැ. හැමදාම ඉන්න වෙන්නේ බඩගින්නෙ. දහසකුත් දෑ දිව ගා තිබෙන නමුත්, සෑම දිනකම ක්ෂුද්‍රා ගින්නෙනුයි ඉන්න වෙන්නේ. මේ කාරණය තේරුම් ගන්න. විවේකය, සැහැල්ලුව, සැනසීම, ශාන්තිය, අස්වැසිල්ල මොන වචනවලින් කීවත් හිතවතුනි, මේවා තැනින් තැන ගොසින් සෙව්වාට ලැබෙන්නේ නැහැ, නිශ්චලවීම තුළයි ලැබෙන්නේ. සෙවීම් අත්හැරිය තැනයි මේවා ලැබෙන්නේ. අමුතුවෙන් ලැබෙනවාට වඩා, මේ සෙවීම් නිසා දේවල් අහිමි වූ බව වැටහෙනවා. කෙළවරක් නැති සෙවීම, කෙළවරක් නැති ගවේෂණය, කෙළවරක් නැති පර්යේෂණ, නිසා අහිමි වූ දේවල් වැඩි වන බව බව වැටහෙනවා. අනවශ්‍ය ගවේෂණ, අනවශ්‍ය පර්යේෂණ, අනවශ්‍ය අත්හදාබැලීම්, එක් මොහොතකට අත් හරින්න පුළුවන් නම්, දැනෙනවා සියල්ල මෙතන තිබෙන බව. නිශ්චලත්වය මුණගැසෙන්නේ, දිවීම නැවැත් වූ විටයි. නිශ්චලත්වය සොයාගෙන දුවන්න බැහැ. දිව්වට නිශ්චලත්වය හමුවන්නේ නැහැ. ඥාන දර්ශනයට මේ හේතු පෙනෙනවා. අසහනය ඇතිවීමට හේතුව නම් සහනය සෙවීම් බව ඥාන දර්ශනයට පෙනෙනවා.

ඊළඟ කාරණය නම්, සහනය නැති තැනක සහනය සෙවීම, විවේකය නැති තැනක විවේකය සෙවීම. මෙයයි ඊළඟ හේතුව. හිතවතුනි අපායක් නිර්මාණය කරගන්න, කෙනෙකුගේ ජීවිතය යකාගේ කම්මලක් කරගන්න, මේ හේතු දෙක හොඳටම ප්‍රමාණවත්.

නැවතීම

ගල් ගැසුණාක් මෙන්, මේ සෙවීම් සියල්ල එක්වර නවත්වන්න. ටික ටික නෙවෙයි, ටික ටික නවත්වනවා කීම වෙන්නේ නැහැ, එක්වර නවත්වන්න. මොනම පුරුද්දක්වත් ටික ටික නවත්වනවා කියන කාරණය වෙන්නේ නැහැ. Break කළා මෙන් එක්වර නවත්වන්න. එවිට ගිය පැත්තට නෙවෙයි අනිත් පැත්තට හැරිලයි නවතින්නේ. මුළු පද්ධතියම හෙලවිලා, ගැලවෙන්න තිබෙන කෑලි ගැලවිලා, ඉතිරි වෙන ටික ඉතිරි වෙලා, සම්පූර්ණ අනිත් පැත්ත හැරෙන්න ම ජීවිතය එක්වර break කරන්න. සමහරවිට සිතෙන්න පුළුවන් “හරි අකාරුණික කියමනක් මේ කියන්නේ, කොහොමද එසේ කරන්නේ, මෙච්චර වැඩ තිබෙනවා, මෙච්චර අය ඉන්නවා බලාගන්න” කියා. එය ඇත්ත, නමුත් එක්වරක් break කළා කියා ඒ සියල්ල නැති වන්නේ නැහැ. එක් මොහොතකට සෙවීම් සියල්ල එක්වර නවත්වන්න. එක මොහොතකට, එක දවසකට කිසිවක් සොයන්නේ නැහැ. සතුට සොයන්නෙත් නැහැ, අසතුට සොයන්නෙත් නැහැ. මොනවත් නැහැ.

එසේ එක්වර break කිරීමෙන් ඇතිවන කම්පනය, එසේ මෙසේ කම්පනයක් නොවේ. එදා කතා කළා මෙන් අභ්‍යන්තර කම්පනයක්. අභ්‍යන්තර පීඩනයක් පැමිණි විටයි, විවෘතවීමක් සිදු වන්නේ. මෙය එසේ විවෘතවීමක් කළ හැකි පීඩනයක්, කම්පනයක්. නමුත් එළියෙන් නොවේ. කිසියම් බෙහෙතක් කොහෙවත් නැහැ, ඒ pharmacyයෙත් නැහැ, මේ pharmacyයෙත් නැහැ, කොහෙවත් නැහැ කියා එවිට එළියෙන් ලොකු පීඩනයක් ආවත් එයින් කිසි වැඩක් වෙන්නේ නැහැ. මොන pharmacyයේ තිබුණත්, ඇතුළතින් එක්වරම තීරණය කරනවා නම් “නැහැ, මම සොයන්නේ නැහැ” කියා, එය වෙනම කාරණයක්. ටික ටික නෙවෙයි, අවුරුදු ගණනක් සිත සිත නෙවෙයි, එක්වරම. ඊළඟ දවසෙ නැවතත් සුපුරුදු පරිදි වැඩට යන එක, පොළට යන එක, වැඩ කටයුතු කරන එක වෙනම කතාවක්. නමුත් ඒ මොහොතට, ඒ දිනයට එක්වර ම සියල්ලම සෙවීම නවත්වනවා. ඒ තීරණය ගත්තාම ලොකු බයක් එනවා, මේ බයයි අපව සංසාරයේ තියාගන්නේ. මෙතැනදී ඇතිවෙන බිය සංසාරෙන් අයින් වෙන්න තියෙන බියක්. ඉන්න විතරක් නෙවෙයි යන්නත් බයයි.

දීර්ඝකාලීනව සිපිරි ගෙවල්වල සිටින රැඳවියන් (සිරකරුවන්) පිළිබඳව කියන කතාවක් නම්, ඔවුන් නිදහස් වී එළියට යන්න බියක් දක්වන බවයි. කාලයක් ඉන්නවා ඇඟිලි ගනිමින්, සමාව ඉල්ලමින්, appeal කරමින් එළියට යන්න. නමුත් දීර්ඝ කාලයකට පසුව මේ අය එළියට යනවිට බිය වෙනවා, depress වෙනවා. එළියට යන්න වෙයි කියා බිය ඇතිවීම සිතා ගැනීමට අපහසු දෙයක් වුවත් එයයි ඇත්ත. සංසාරයෙ වැඩිකාලයක් සිටීම නිසා ඉන් එළියට යෑමට බියක් දක්වනවා. මේ බය නිසා සංසාරේ ඉන්නවා, ඉවත්වන්නේ නැහැ. සංසාර බිය යනු එය නොවේ.  සංසාරයේ දිගටම යන්න වෙන නිසා ඇතිවන බියයි සංසාර බිය, ඒ නිසයි දහම කියන්නේ සංසාර බිය ඇතිකරගත යුතු දෙයක් බව. ඒ වෙනුවට අප ඇති කරගෙන තිබෙන්නේ නිවන් දැකීමට ඇති බියයි.

විමුක්තියට තියෙන බිය, නිදහස් වෙන්න තියෙන බිය, හිරවෙන්න ඇති කැමැත්ත, බලන්න මොනතරම් කණපිට හැරුණු ආධ්‍යාත්මයක් ද තිබෙන්නෙ කියා. එහෙම තියාගෙන, තාමත් අරහෙම වුණේ නැහැ, මෙහෙම වුණේ නැහැ, අර දේ ලැබුණේ නැහැ, මේ දේ ලැබුණේ නැහැ, කියා සිතනවා. ඒ නොලැබෙන්න හේතුව කණපිට හැරුණු ආධ්‍යාත්මය. මේ අනාර්ය දර්ශනයේ සිටිනතුරු ආර්ය ඵලයක් ලැබෙන්න විදිහක් නැහැ.

මේ පණිවිඩයෙන් අද අපි දේශනය නවත්වා භාවනාවට යොමු වෙමු. එක්වර නවත්වන්න. සෙවීම් එක්වරම නවත්වන්න. මොනවත්ම සොයන්න යන්න එපා. එකපාර නවත්වා බලන්න, ඉන්න පුලුවන්ද, මොකද වෙන්නේ කියා. වේගයෙන් ආ වාහනයක් (විනාඩියක් දෙකක් නොව, දවසක්, අවුරුද්දක් දෙකක් නොව සංසාරෙම වේගයෙන් ආ වාහනයක්) එක්වරම break කරන්න. අනිත් පැත්තට හැරිලා යි නවතින්නේ. සමහරවිට පෙරළිලා නවතින්නත් පුළුවන්. කොහොම නැවතුණත් කමක් නැහැ අත්හැර බලන්න. ඒ සඳහා කොහෙවත් යෑමට අවශ්‍ය නැහැ, ගියත් කමක් නැහැ. අත්හරින්න පුළුවන් තැනක්, break කරන්න පුළුවන් තැනක් නැහැ. ලැබුණු තැන break කරන්න. “මේවා සෙව්වාට කමක් නැහැ, අරව තමයි සොයන්න අවශ්‍ය නැත්තේ” කියා වෙනසක් නැතිව කිසිවක් නො සොයන්න. ‘කිසිවක් නොසොයමි’ කියන ශික්ෂාපදය ට එන්න. එතැන මොනවත්ම සොයන්නේ නැහැ. එසේ සිතා ශික්ෂාපදය ම ආවර්ජනය කරමින් ඒ ආකාරයෙන්ම ඉන්න උත්සාහ කරන්න. පෝය දවසකට වුණත්, වෙන දවසකට වුණත් කමක් නැහැ, ඉන්න උත්සාහ කරන්න. ඒ කම්පනය දෙන්න ජීවිතයට, එය වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ. අකුණකටවත්, සුනාමියකටවත් බැහැ එවැනි  කම්පනයක් ඇති කරන්න. මොකද එහෙම කම්පනයක් ඇතුළෙන් එයි කියා ජීවිතය කවදාවත් සිතන්නේ නැහැ, එළියෙන් එයි කියායි සිතා සිටින්නේ. අවශ්‍යයයි කියා සිතූ දේවල් දැන් නැහැ, ලංකාවෙත් නැහැ ලෝකෙත් නැහැ, එය කම්පනයක්. ඒ කම්පනය නොවේ. තිබුණත් නැතත් ඕනෙකම අත්හරිනවා, ඕනෙ නැහැ කියා සිතනවා. අවශ්‍ය යැයි සිතන දෙයක් නැතිවන විට ඇතිවන කම්පනය නොවෙයි මේ, එය අහලකටවත් ගේන්න බැහැ. මේ ‘ඕනේ නැහැ’ කිව්වාම ඇතිවන කම්පනය.

තරහින් නොවේ, තදින් කියනවා ‘ඕනේ නැහැ’ කියා. මොනවද හිතෙන්නේ, ‘ඕනේ නැහැ’,  මොනවද ඇහෙන්නේ, ‘ඕනේ නැහැ’ මොනවද පේන්නෙ, ‘ඕනේ නැහැ’. මේ තිරිංග දැමීමක්. ක්‍රමයෙන් යන, අනුපිළිවෙලින් යන මාර්ගයකුත් තිබෙනවා.  අනුපුබ්බේන මේධාවී - අනුපූර්ව වශයෙන් අවබෝධ කරගන්න.  මෙතන කියන්නේ ඒ මාර්ගයම වෙන්න පුළුවන් නමුත්, එක්වරම නැවතීමක්. හරියට පොළොව මතින් දුවන විට එක් පාදයක් තබා අනිත් පාදය තබන්න හදනවිට පොළොව නැති වුණොත්, හරියටම උඩ ඉඳලා පහළට පොළොව කපල ඉවත් කළොත්, එවන් වූ අවස්ථාවක ඇතිවන කම්පනය සිතාගත හැකියි. දුවගෙන එනවා, එක පාදයක් තියනවා, අනිත් පාදය තියන්න යනවිට තියන්න තැනක් නැහැ. එසේම ආපසු ඒමකුත් නැහැ. එසේ දුවන අවස්ථාවක ඒ පාදය පස්සට ගන්න බැහැ. ඒ නිසා පාදය බිමින් තියන්න කලින් ස්ථාවර ද නැද්ද කියා බලනවා. බලා, ස්ථාවර නම් පමණයි පාදය  තබන්නේ. එවිට කම්පනයක් නැහැ. මේ අවස්ථාවේදී පාදය තබන විටම පොළොව නැහැ. අඩිය තියන්න තැනක් හදලයි අප ජීවිත ගමනේදි අඩිය තබන්නේ. මෙතනදි අඩිය තියන තැන හදන්නේ නැතිව අඩිය තියනවා.

භාවනාව

හොඳයි හිතවතුනි, ඒ කේන්ද්‍ර කළ, සංක්ෂිප්ත කළ, සාරාංශ කළ, පණිවුඩයත් සමඟ අප ටික වේලාවක් භාවනානුයෝගී වෙමු.

ඒ විමසීමත් සමඟ අප සාකච්ඡාවට එකතු වෙමු. හිතවතුනි විසඳාගන්න පැනයක් තිබෙනවා නම්, අසන්න. කියන්න යමක් තිබෙනවානම් කියන්න. 

සාකච්ඡාව

ප්‍රශ්නය : ‘නවතින්න’ කියන කාරණය තේරුම් ගන්න උත්සාහ ගනීද්දී, අපි භාවනා කරද්දී (හුස්ම ගැන වත් විශේෂ අවධානයක් නැතිව) මොහොතින් මොහොත දිහා බලාගෙන ඉන්නවා නම් එතනදී උත්සාහ කරන්නෙත් ඒ සඳහන් කළ ‘නැවතීමට’ සමාන දෙයක්ද? 

පිළිතුර : වර්තමානය අතහරිනවා නම් නැවතීමට සමානයි. වර්තමානයේ අතහරින්න වර්තමානය දැනගන්න ඕන. වර්ථමාන මොහොත දැනගන්නවා වෙන්නේ කුමක්ද කියා, වර්ථමාන මොහොත කියා හොයා ගන්න දෙයක් නෑ, සිදුවීමක් තියෙන්නේ, ඒ සිදුවීම දැනගන්නවා. එය සම්පූර්ණයෙන් අතහරිනවා. ඒ සිදුවීම වෙන්න ඕන මේ වෙන විදිහටමමයි, නෑ-මේ විදිහටයි වෙන්න ඕන, එය සිදු නො වී තිබුණා නම් හොඳයි, ඔය විදිහේ ඕනෑකම් තුනක් එනවා. මේ ඕනෑකම් තුනම ඇති කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නම්, වර්තමාන සිදුවීම් සමග මේ ඕනෑකම් තුනම අත්හරින පුලුවන්නම් එය තමයි වෙන්න ඕන. වර්තමානය දැනගන්න ඕන, එය අතාරින්න ඕන. 

ප්‍රශ්නය : වර්තමාන මනුෂ්‍යයාගේ හැම දෙයක් සම්බන්ධයෙන්ම continuous search එකක් තියෙනවා. ඒක immediately නතර කළොත්, එතන සම්බන්ධ වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවට ද?. 

පිළිතුර : මධ්‍යම ප්‍රතිපදාව තමයි එකම ප්‍රතිපදාව මෝක්ෂයට. මුලින් සඳහන්  කළා අනුපූර්ව ක්‍රමයක්, එය නොවෙයි මේ ක්‍රමය. මේ ක්‍රමයේදී එකපාර උත්සාහයක් අරගෙන වීරියකින් අත්හරින්න ඕන ’ඕනෙ නෑ’ කියා. නමුත් ඕනකම තියෙන්න පුළුවන්, මෙතැනදී සියලු කෙලෙස් ඒ මොහොතේ ක්ෂය වෙන්නේ නෑ. නමුත් එතන ඒ දෙන කම්පනය තුළින් ඇතුලින් ලොකු පිපිරීමක් වෙනවා. එය අභ්‍යන්තරයෙ පීඩනයකින් පිටවෙන්නේ. ඒ පීඩනය ඇති කරගන්න පුළුවන් ක්‍රමයක් මෙය. වෙන කම්පනයක් දෙන්න බෑ. හිතුවොත් කම්පනයක් වෙන්නෙම නෑ. නොසිතු දේවල් වලිනුයි කම්පනයක් එන්නේ. ඒ කම්පනය එන්නෙ පිටින්. මේ කියූ කාරණය ඊට වෙනස්.

බැලූ බැල්මට පේන්න පුළුවන් මේ ක්‍රමය අත්තකිලමථානුයෝගය වගේ කියලා. නමුත් මෙය දීර්ඝ කාලයක් කරන  දෙයක් නොවේ. එහෙම කරන්න බෑ. ටික ටික අත්හැරීමක් එතන වෙන්නේ. එහෙම නොවෙයි, ‘මේ මොහොතේ කිසිවක් මම හොයන්නේ නෑ’කියන තීරණයට ක්ෂණික ව එනවා. ඔබතුමා සඳහන් කළ නොනවත්වා කරන සෙවීම, ‘නෑ’ කියන තීරණය ගන්න. අරගෙන ඒ තීරණයේ ඉන්න බලන්න. ඒ තීරණය ගන්නත් අමාරුයි, ඒ තීරණයේ සිටීම ඊටත් අමාරුයි. 

මේ ක්‍රමයෙන් අදහස් කරන්නේ කන්නේ නෑ බොන්නේ නෑ නෙවෙයි, හැබැයි ටික වෙලාවකට නොකා නොබී හිටියත් කමක් නෑ, කෑවත් කමක් නෑ. හැබැයි ඒ කෑමේ අර ඕනෑකම් තුන ඇතිවෙනවාද බලලා ඒ ඕනෑකම් තුන අත්හරින්න. ඒ තණ්හා තුන අත්හරින්න.

ප්‍රශ්නය : අපි ජීවිතය පවත්වාගෙන යන විට, හැමවෙලේම හැම දෙයක්ම අත්හරින්න බැරි අවස්ථාවන් තියෙනවා නේද? උදාහරණයකට ආහාර ගැනීම, Fasting එකකදී එය කල් දාන්න පුළුවන්, නමුත් නොකා ඉන්න බෑ. 

පිළිතුර : Fasting එකකදී කල් දැමීමට වඩා ඒ ආහාර වේල නොගෙන සිටීමයි වෙන්නේ. 

මෙතනදී ආහාර ගැනීමම නොවේ කියන්නේ. නමුත් එය වුණත් කර බලන්න වටිනවා. එයට වඩා, මානසික වශයෙන් මේ මොහොතේ සිදුවීම ඇතුළේ යමක් හොයනවානේ, සතුටක්, සැපක්, සැනසිල්ලක්. ඒ මානසික සෙවීමයි අත්හරින්න ඕන. ඒ සෙවීම කියන්නේ තණ්හාව. ඒ තණ්හාවයි අතහරින්න ඕනේ. මේ මොහොතේ සිදුවන සිදුවීමට කොයි විදිහේ තණ්හාවක් ද ඇති වෙන්නේ හඳුනාගෙන ඒ තණ්හාව අත්හරින්න. තණ්හාව එන ආකාර තුනක් ගැන අපට පෙනුණා (තව ආකාරවලින් එන්න පුළුවන්,  දහස් මුහුණු තණ්හාවට තියෙන්න පුළුවන්), මේ තියෙන විදිය සැපයි කියලා හිතනවා, මීට වඩා ටිකක් එහා මෙහා වුණොත් සැපයි කියලා හිතනවා, මෙහෙම දෙයක් ඇත්තටම වුනේ නැත්නම් තමා ඇත්තටම සැප කියලා හිතෙනවා (එක මොහොතකට මේ තුනෙන් එක් තණ්හාවයි එන්නේ). ඒ තණ්හාව හඳුනාගෙන ඒ තණ්හාව අත්හරින්න. එතකොට මේ මොහොතෙන් සැපක් හොයන්නේ නෑ. එච්චරයි. මේ මොහොත නැති කරන්න බෑ. හැබැයි සැපක් හොයන්නේ නෑ. කෑම කනවා කියන්න, රසක් හොයන්නේ නෑ, සම්පූර්ණයෙන්ම රස සෙවීමෙන් බැහැර වෙනවා.

ප්‍රශ්නය : ඉන් අදහස් කරන්නේ තණ්හාවෙන් තොරව අවශ්‍යතාවයන් තිබුණා නම් එය කරනවා කියන එකද?

පිළිතුර : එය තමයි වෙන්න ඕන. නමුත් අප තන්හාව ඇති කරගන්න ඕනෑ කියා තණ්හාව ඇති කර ගන්නේ නෑනේ. අපිට ඕන සැප. ‘මට සැප ඕනෙ නෑ’ කියන තීරණයට එන්න ඕන. මේ මොහොතේ මොනවා උනත් එහි සැපක් ඕනෙ නෑ, එතැනටයි එන්න ඕන. සැප සෙවීමේ කතාන්දරයේයි ප්‍රශ්නය. ඒ නිසයි සැප නැත්තෙ අපට. තාම හොය හොයා යනවා සංසාරේ. තාම ලැබී නෑ. එනිසා මේ මොහොතේ මොනවා ඇහුණත් ලැබුණත් කමක් නෑ. ඒවා නවත්වන්න බෑනේ. එයින් සැපක් හොයන්නේ නෑ. මේ මොහොතේ හොයන සැප හඳුනාගන්න ඕන. එසේ හඳුනාගෙන තමයි කියන්න ඕන ‘ එපා’. 

ප්‍රශ්නය : අපි සංසාරයේ හොයනවා. හොයලා හෙම්බත් වෙලා ඉන්නේ. සෙවීම නතර කරනවා කියන ශ්‍රද්ධාව නැත්නම් අපිට සෙවීම නතර කරන්න බෑ නේද?. ‘සෙවීම නතර කළොත් අසීමිත සතුටක් ලැබෙනවා’ කියන දහම ගැන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන නේද? 

පිළිතුර : ඔව්, නවත්වන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕන. ඒ හොඳටම ඇති. මේ හෙවිම නිසා දැනටමත් හරිම මහන්සියි, නමුත් තවමත් හොයනවා. එනිසා එක වරම නවත්වන්න කලින් සංවිධානය කරලා, එහෙම කරන්න බෑ, මොකද මේ මනස, එයාව ලෑස්ති කළොත් ඒ දේ වෙන්නේ නෑ. කලින් හිතන්නේ නැතිව නවත්වා බලන්න. ඕන දෙයක් වුනාවෙ කියා නවත්වා බලන්න. කිසිම දේකින් සැපක් සොයන්නේ නැත කියන තීරණයට එන්න. එතනට ශ්‍රද්ධාවත් ඕන. එතන ඉන්න පුළුවන් කියන ලොකු අධිෂ්ඨානයකුත් අවශ්‍යයි.

ප්‍රශ්නය : ‘අල්ලා ගත්තොත් තමයි සතුට’ කියන එකේ විරුද්ධ පැත්ත ගැන ද මේ කතා කරන්නේ?

පිළිතුර : යමක් අල්ලා ගත්තහම ලැබෙන සැපක් සුඛයක් සතුටක් තියෙනවා, ආශ්වාදයක් තියෙනවා. එහෙම නොතිබුනා නම් කවුරුත් සංසාරේ ඉන්නේ නෑ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ එය අල්පයි. දුක ආදීනවය බහුලයි. නමුත් මේ කාරණය නොතේරීමයි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් කියන්නේ ආදිනවය දුක දකින්න. එවිට ආශ්වාදය අඩු වෙලා යනවා. එය තමයි ක්‍රමය. ඒ ප්‍රතිපදාවේ තමා අප ඉන්නේ. ඒ ප්‍රතිපදාවේ ඉන්න ගමන් තවත් කළ හැකි දෙයක් තමා මේ යෝජනා කරන්නේ.

දේවල් තමයි අල්ලගන්නේ. නමුත් මෙතන කතා කරන්නේ දේවල් වලින් එන සැප සතුට. එය තමයි අත්හරින්න ඕන. දේවල් නොවෙයි අත්හරින්න ඕන. ඒවා තිබුනාට කමක් නෑ. දේවල්, උදාහරණයකට ශරීරය ගනිමු, එය නැති කරන්න බෑනේ, එය තිබුනාට කමක් නෑ. ‘එයින් මට සැපක් අවශ්‍ය නෑ. හොයන්නෙත් නෑ. ඉල්ලන්නේ නෑ’, අන්න එහෙම තීරණයකට එකපාර එන්න. ඇවිත් ඉන්න බලන්න.

තවත් උදාහරණයකට ඉඳගෙන ඉන්න පුටුවක් ගන්න. පුටුව අතහැරලා බිම ඉඳගන්න නෙවෙයි මේ කියන්නේ. එයින් සැපක් හොයන්නේ නැතුව ඉන්න. ඊළගට බලන්න ඒ විදිහට අතහැරියහම හිතට දුකක් එනවද කියලා. සැපයි සැප සෙවීමයි අතහැරියාම හිතට දුකක් එනවද?. තර්කයට අනුව නම් දුකක් එන්න  ඕන. හැබැයි එහෙම එනවද කියලා බලන්න.

ප්‍රශ්නය : උදාහරණයකට, ක්‍රිකට් ක්‍රීඩාව බලන්න ආසාවෙන් ඉන්නවා. දැන් ඒක දිගින් දිගටම බලලා බලලා වදයක් වෙලා. නවත්වන්න එකපාරටම තීරණය කරනවා.

පිළිතුර :  මෙය පියවර විදිහට හදාගෙන කරන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමේ. එහෙම කළොත් මෙයින් වෙන්න තියෙන දේ වෙන්නේ නෑ. එහෙම ක්‍රමවේදයක් අනුපිළිවෙළක් මාර්ගයක් කාලයක් නොදී එකපාරටම ලයිට් කැපුවා වගේ දෙයක් මේ කරන්නේ.මෙතන තියෙන්නේ මනස ලෑස්ති නොකර, මනස සූදානම් නැති අවස්ථාවක තමා මේ දේ කරන්න ඕන. උදාහරණයකට ක්‍රිකට් තරගයක් බලනවා කියන්න. ඉන් සතුටක් හොයනවද බලන්න. ඒ සමග කරන හිතීම ඒ අපේක්ෂාව අත්හරින්න පුළුවන්ද බලන්න.

මේ අභ්‍යාසය අනෙකුත් භාවනා අභ්‍යාස සමඟ පුළු පුළුවන් වෙලාවට මේ සතියේ දී කරලා ඒ ගැන ලබන සතියේදී සාකච්ඡා කරන්න බලමු.

ප්‍රශ්නය :  ඉන් අදහස් කරන්නේ ‘ දැක්කොත් දැක්කා පමණයි’, ඒ වගේ හැඟීමක් ඇති කර ගැනීම ද?

පිළිතුර : ඔව් එහෙම තමයි නවතින්නේ. පෙනෙන එක, ඇහෙන එක නවත්තන්න බෑ. නමුත් ඒ පෙනීම තුළ මොනවත් හොයන්නේ නෑ, ඉල්ලන්නෙ නෑ. රූපය ඉදිරියේ යාචකයකු නොවේ. මෙතන යාචකයෙකුත් නෑ, එතන දෙන්න කෙනෙකුත් නෑ. ඇහැට පෙනෙන රූපයට කනට ඇහෙන ශබ්දයට දෙන්න දෙයක් තියෙනවා කියලා හිතන නිසායි මේ ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ. අප හිතනවා එතන දෙයක් තියෙනවා, ඒ දේ ලැබිලා නෑ කියා. එනිසා තව තව හොය හොයා යනවා. එහෙම දෙයක් නෑ. එතන දෙන්න දේකුත් නෑ, මෙතන ගන්න කෙනෙකුත් නෑ. ඒ කාරණයි බාහියට ශාස්තෘන් වහන්සේ දේශනා කළේ  ‘ඔබ එතනත් නෑ, මෙතනත් නෑ, ඒ අතරමැදත් නෑ’ කියලා. 

ප්‍රශ්නය : අද දේශනයේදී සඳහන් කළා ශ්‍රද්ධා සිතිවිලි වලින් තමාගේ ගමන සුගතියට යා හැකියි කියා. සිතිවිලි වලට සීමාවක් තියෙනවද, මොකද සිතිවිලි වලින් බොහෝදුරට දාර්ශනිකයෙක් හෝ කලාකාරයන් ඇතිවීමේ හැකියාව වැඩියි නේද?

පිළිතුර : සිතිවිලි වැඩියෙන් හදාගන්න තරමටයි දාර්ශනිකයින් බිහිවෙන්නේ. කලාවත් ඒ වගේ, නිර්මාණ කරමින් කරමින් යනවා, එහි සීමාවක් නෑ. මෙතන උපකල්පනය කරමින් යන සිතිවිලි ගැන නෙමෙයි, අප හිතන විදිහ ගැනයි අදහස් කළේ. අපිට දෙවි කෙනෙකු වගේ හිතන්න පුළුවන් නම් අප ඉන්නේ දිව්‍යලෝකයේ. ඉන්න තැන වැදගත් නෑ. තිරිසනෙක් වගේ හිතනව නම් ඉන්නේ තිරිසන් ලෝකයේ. හිතන විදිහ අනුවයි ඉන්නේ කවුද  සහ ඉන්නේ කොතනද කියන කාරණා තීරණය වෙන්නේ, එහෙම නැතිව ඉන්න තැන සහ ඉන්න කෙනා අනුව නෙමෙයි සිතීම තීරණය වෙන්නේ. අපට හිතන්නේ දිව්‍ය ලෝකයට ගියොත් දෙවි කෙනෙක් වගේ හිතන්න පුළුවන්. එහෙම නොවෙයි ,දෙවි කෙනෙක් වගේ හිතුවොත් පමණයි දෙවි කෙනෙකු වගේ වෙන්නත් පුළුවන් දිව්‍ය ලෝකය දකින්නත් පුළුවන්. ඒ දිව්‍යමය සිතීම, පරිත්‍යාගය, බෙදා ගැනීම, සමාව දීම වගේ සිතීම හා ආකල්ප ඇති කරගන්න පුළුවන් නම් සහ ඒ අනුව ජීවත් වෙන්න පුළුවන් නම් ඉන්නේ දිව්‍යලෝක. එයා එයා දෙවි කෙනෙක්. බෙදාගන්නෙ නැතිනම් මසුරු නම් එතන ඉන්නේ පෙරේතයෙක් ඉන්නේ පෙරේත ලෝකයක.

බාහිරය සහ මම කියන්නේ ප්‍රක්ෂේපණයක් (pojection). සිතීමෙනුයි මම බිහිවෙන්නේ, මම , මම ඉන්න තැන , මගේ ලෝකය නිර්මාණය වෙන්නේ. එහෙම නැතිව මගෙන් සිතීම බිහි වෙනවා නොවෙයි. ඉතින් සිතීම කියන projector එකයි වෙනස් වෙන්න ඕන. projector එක වෙනස් වුනොත් projection එක වෙනස් වෙනවා, මමත් වෙනස් වෙනවා, ඉන්න ලෝකයත් වෙනස් වෙනවා. 

අද පණිවිඩය,සෙවීම් පිළිබඳ කාරණය, සරල සහ සෘජු ඇති කියා හිතනවා. ‘සෙවීම’, හොයන්නේ තණ්හාව. අපි දන්නේ නෑ, අපිට තණ්හාව ඕනෙත් නෑ, නමුත් සැප ඕනේ. ඒ කාරණය හඳුනාගන්න, හැම මොහොතකම හොයන බව. මේ මොහොතේ නෑ කියලා ඊලග මොහොතේ හොයනවා. මේ මොහොතේ තිබුනත් ඒ සැප ඊළග මොහොතට ගෙනියන්න බැහැ. ඒ නිසා ඊළඟ මොහොතේත් ආයෙ සොයනවා. තිබුනත් නෑ, නොතිබුණත් නෑ. මේ කාරණේ තේරුම් අරගෙන ක්ෂණිකවම ‘කිසිවක් නොසොයමි’, සිදුවන ඕනම දෙයකින් සැපක් සොයන්නේ නැත කියන තීරණයට ඇවිල්ලා එහෙම කොපමණ වෙලා ඉන්න පුලුවන්ද බලන්න. මොනදේ උනත්, එහෙම නොවේ වෙන්න ඕන, එහෙම තමයි වෙන්න ඕන, නොවෙන්න ඕන කියන ඒ තීරණ තුනට එන්නේ නැතිව ඉන්න බලන්න. විවෘතව ඉන්න. ඊළඟට වෙන දේ බලන්න. ඒ වෙන දේටත් ඒ විදිහටම ඉන්න පුලුවන්ද බලන්න. මෙය කරන්න ඕන  අභ්‍යාසයක්, (එහෙම කරන්නේ නැතිව මෙහෙම වෙයි මෙහෙම නොවෙයි කියා කියනව නම් එය පරස්පරයි) එහෙම කම්පනයක් දීලා බලන්න. ඒ අධිෂ්ඨානය ඇති කරගෙන අද අප සමු ගනිමු.

සැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!