සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 02

2022 අගෝස්තු 03 සාරාංශය 

සදහම් සැඳෑවට මේ බුද දින ගොඩවැදුණු ආදරණීය හිතවතුනි, කලබලකාරී දවසක අග වෙහෙස එක අතකින් දරාගෙන අනිත් අතින් ජීවිතයට සදහම් අරුතක් එක් කරගන්නට ඕනෑකම පෙරදැරිව නැණ දසුනට තත්පරයක් සමඟ ඒකාත්මිකව සිටින මොහොත. හිතවතුනි මා සිතනවා මේ සෑම කළ්‍යාණ මිත්‍රයෙකුම මොන විදිහේ හරඹයක ජීවත්වීම සඳහා යෙදුනත්, මොන විදිහේ අරගලයක, සටනක ජීවිත ජය ගන්නට, වගකීම් ඉටුකරන්නට උරදුන්නත්, ඒ සියල්ල හරහා මේ අභ්‍යන්තරයට යන ගමන වෙනුවෙනුත් කිසියම් උත්සාහයක යෙදෙන්නට ඇති කියා, ලෞකිකයි කියන ඒ සෑම ගැටලුවක්, අර්බුදයක් හමුවේම. 

ලෞකික ප්‍රශ්න, ගැටලු බෝවෙනවා (පැටව් ගහනවා) ඉවරයක් නෑ, ඉවර කරගත් කෙනෙකුත් නෑ, ඉවරයි කියන කෙනෙකුත් නෑ, පලායන්න තැනකුත් නෑ, කොහේ කියා පලායන්නද? මේ සියල්ල මැද්දේ ජීවත්වීම හරඹයක්, කිසියම් දුෂ්කර ක්‍රියාවක් බවට තමා පත්ව තිබෙන්නේ.  ජීවිතය, දිවිය හරි ලස්සන වචන නමුත් සැබෑම ජීවත්වීම එපමණ සුන්දර දෙයක් නොවේ. නොවිසඳුනු ප්‍රශ්න පෝලිමක් තියෙනවා. මේ සියල්ල හරහා සානුකම්පිත ගමනක තමා ඔබත් අපත් ඇතුළු සමස්ත මිනිස් ප්‍රජාවම දුවන්නේ. එදෙස බලනවිට හරිම අනුකම්පාවක් ඇතිවෙනවා, ඕනෑ කෙනෙකුගේ සිතේ ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා. අම්මා තාත්තාගේ සිතේ තමන්ගේ දූපුතුන් කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා, මේ දූදරුවන් මොන තරම් වෙහෙසක් ගන්නවාද මොන තරම් දුක් මහන්සි වෙනවාද කියා. හැබැයි ඉතින් අම්මා තාත්තාටත් මොනවත් කරකියා ගන්න බෑ. ඒවගේම දූදරුවන්ටත් තමන්ගේ දෙමව්පියන් පිළිබඳව ඇතිවන්නේ හරීම සානුකම්පිත හැඟීමක්, හැබැයි කාටවත් උදව්වක් කරන්නට බැරි තැනක ඉන්නේ. හැමෝම තම තමන්ගේ ප්‍රශ්න ගොහොරුවේ එරී සිටින්නේ, ඉතින් තවත් කෙනෙකුව ගොඩ ගැනීම හරීම අමාරුයි.

ඒ වෙනුවට හිතවතුනි එක මඩ වලකින් තවත් මඩ වලකට, එක ගොහොරුවකින් තවත් ගොහොරුවකට පනිමින් පනිමින් යන ගමනකටනේ ජීවිත ගමන, සංසාරේ කියන්නේ. එහි ඉවරයක් තියෙන්න බෑ. මේ මඩ ගොහොරුවෙන් හරි අමාරුවෙන් උඩට ඇවිත් පනින්නේ තවත් එරෙන ගොහොරුවකටම තමා. පැන්න ගමන්ම එරෙන්නේ නෑ, ටික වේලාවක් යනවිට තමා එරෙන්න පටන්ගන්නේ, හොඳටම එරුණා කියලා සිතෙන්නේ කාලයක් ගිය පසුයි. මේ ආකාරයට මොන තරම් මඩ ගොහොරුවල එරුණාද ගොඩ ආවාද, ආයේ එරුණාද ආයේ ගොඩ ආවාද? තව කොපමණ මඩ වගුරු අප එනතුරු බලාගෙන ඉන්නවාද ගිලගන්න? හරීම අවිනිශ්චිතයි. 

ජීවිතය කියන්නේ යාන්ත්‍රික දෙයකට නොවේ. යාන්ත්‍රික හැසිරීමක් නම් කලින්ම සැලසුම් කරන්න පුළුවන්. යන්ත්‍රයක් හරියටම සැලසුම් කරන්න පුළුවන්, මුලින් කුමක්ද වෙන්නේ, මැදින් වෙන්නේ කුමක්ද, අගින් එන ඵලය කුමක්ද කියා. එහෙම සැලසුම් කරන්න බැරිනම් එය යන්ත්‍රයක් නොවේ, එවැනි සැලසුම් කළ නොහැකි යන්ත්‍රයකින් වැඩකුත් නෑ. ජීවිතය එයට වඩා වෙනස්. machine එකක හැසිරීම නෙවෙයි ජීවිතයක තියෙන්නේ. එම නිසා එහි අවිනිශ්චිත බව කියන්න බෑ. ඊළඟ මොහොතේ කුමක් වෙයිද? මේ විසඳුම දුන්නොත් විසඳෙයි ද අලුත් ප්‍රශ්න ඇතිවෙයි ද කියන්න බෑ. මේ කාරණය නැවතත් අවධාරණය කරන්නේ හිතවතුනි අපට බොහොම ඉක්මනට අමතක වෙනවා. “මේ තමයි ජීවිතේ හැටි” කියන කාරණය අමතක වෙලා, පුදුම වෙනවා, කම්පාවට පත්වෙනවා “ඇයි මෙහෙම වුණේ, මොකක්ද කරපු වරද !” කියා. අප කළ වරදකට වඩා මේ තමා හැටි. වරදක්ම කියන්න බෑ, මේ තමා හැටි. මඩ ගොහොරුවක එරීම තමා හැටි(ස්වභාවය) එය වරදක් කියන්න බෑ කාගේවත්. තව මඩ ගොහොරුවකට පැන්නත් එවෙලෙම හෝ පසුව එරීම හැර වෙන දෙයක් නිශ්චිතවම කියන්න බෑ. නිශ්චිතවම කියන්න පුළුවන් දෙය තමා දිගටම සිටියොත් එවෙලෙම හෝ පසුව තව තව එරෙයි කියන කාරණය. ඒ පිළිබඳව කිසියම් හැඟීමක් තැකීමක් තියෙන නිසයි මේ කළ්‍යාණ මිත්‍රයන් මෙවන් උත්සාහයක් ගන්නේ.

මේ වැඩසටහනෙන් භාවනා කරන හැටි කථා කරන්න කාලය වෙන් කරන්න අවශ්‍ය නෑ. කුමක් හෝ භාවනා ක්‍රමයකින් භාවනා කරන හැටි හැමදෙනෙක්ම වාගේ දන්නවා. ඒ ගැන විවිධ වැඩසටහන් තිබෙනවා, පොත-පතත් තිබෙනවා, ගුරුවරුනුත් ඉන්නවා. සදහම් සැඳෑවේදි අප කතා කරන්නේ, තමන් කරන භාවනාවෙන් කිසියම් ගමනක් යන්නේ කොහොමද කියන කාරණය. මොකක්ද කරන භාවනාව කියා එපමණ මෙයට අදාළ නෑ. ඒ භාවනාවෙන් කිසියම් මානසික කායික නිශ්චලතාවයක් උපදවාගෙන තිබෙනවා, ඒ කායික හා මානසික නිශ්චලත්වය පදනම් කරගෙන තමා ඉන් ඉදිරියට මේ ගමන යන්න වෙන්නේ. ඒ නිශ්චලත්වය (සමාධිය) හරි වටිනවා.

“සමාධියක් වැදගත් නෑ, සමාධිය නැතිව ගමනක් යන්න පුළුවන්” කියා එහෙම කියන්න බෑ. එහෙම නම් ‘සීල, සමාධි, ප්‍රඥා’ වල සීල, ප්‍රඥා ඇතිනේ, සමාධිය අවශ්‍ය නැහැනේ, එහෙම නෑහැනේ.එහෙමනම් ආරිය මාර්ගයේ සම්මා සමාධිය ඕනේ නැහැනේ, සම්මා සමාධි ශික්ෂාවට අයිති ඉතුරු අංග දෙක අවශ්‍යත් නෑ, මෙය තර්කයක් නොවේ. සමාධිය අවශ්‍යයයි. කෙනෙකු සිතන, සමහර කතන්දරවල අසා තිබෙන විදිහෙ, ගල් ගැසුණු සමාධියක් නොවේ. 

සමාධිගතව ඉන්නවා කිව්වාම සිතේ මැවෙන යෝගී චිත්‍ර තිබෙනවා. යෝගීවරු බද්ධ පර්යංකයෙන්, පද්මාසනයෙන් වාඩිවෙලා දින ගණන්, සති ගණන්, මාස ගණන් නොසෙල්වී සිටිනවා, එයටත් සමාධිය කියනවා. සමහරවිට එබඳු චිත්‍ර, ඡායාරූප දැක ඇති, කොණ්ඩේ හැඩපළු ගෙතිලා, රුවුලේ හැඩපළු ගෙතිලා, නියපොතු වැවිලා, සමහරවිට වාඩිවෙලා සිටින ගසේ කොළ වටේටම වැටිලා, ඉතින් ඔහේ ඉන්නවා. කිසිදෙයක් ගැන හැඟීමක් දැනීමක් නැති ඒ ගසයි යෝගියයි එකක් වගේ තැනකට එන්න පුළුවන්, එහෙම ඇති. එබඳු සමාධි ඇති, අපට කියන්න බෑ තියෙන්නේ එකම එක සමාධියයි කියා, සමාධියේ විවිධ වර්ණ හා හැඩයන් ඇති. නමුත් එබඳු සමාධියක්, ගහක් ගලක් වගේ වෙන සමාධියක් ගැන නොවේ මෙහිදි කථා කරන්නේ, වැඩක් ගන්න පුළුවන්, ක්‍රියාකාරී, කර්මණ්‍ය බොහොම නම්‍යශීලී සමාධියක් තමා අවශ්‍ය. සිතන්න පුළුවන් සමාධියක්, සිතන්න බැරි සමාධියක් නොවේ සිත මෙහෙයවන්න පුළුවන් සමාධියක්. සිත අකර්මණ්‍ය වන සමාධියක් නොවේ. මෙන්න මේ ලක්ෂණය ඉතාම වැදගත්. සිත අත් මිටට ගන්න පුලුවන් ගතිය. සිත හරියට අධිශීතකරණයක දැමුවා වගේ තැනකට යන සමාධියක් නොවේ අවශ්‍ය වන්නේ. දියවුණු සිතක් සහිත සමාධියක්, සිත දියවෙලා ඕනෑම වැඩක් කරගන්න පුළුවන්, කීකරු තත්වයට පත්වුණු සමාධියක්. සිත කීකරුයි, අපට අවශ්‍ය‍දේ කරගන්න පුළුවන්. 

සිතේ අන්ත දෙකක් තිබෙනවා. එක අන්තයක් තමා අකීකරු සිත, කියන කිසිදෙයක් අහන්නෙත් නෑ, කරන්නෙත් නෑ, එපා කියන දේම කරන සිත. මේ සිත තමා සාමාන්‍යයෙන් තියෙන සිත, සාමාන්‍ය සිත කියන්නේ අකීකරු සිතක්. සිත කියනදේ අප කරනවා මිසක් අප කියන දේ සිත කරන්නේ නෑ. මේ එක අන්තයක්, මෙම අන්තයේ ප්‍රශ්නයක් තිබෙන නිසයි කෙනෙකු භාවනාවට එන්නේ. යම් යම් භාවනා ක්‍රම පුහුණු කරන්නේ මේ අකීකරු සිතේ ප්‍රශ්න තිබෙන නිසයි. අනිත් අන්තය තමා සිත අකර්මණ්‍ය තත්වයකට ඒම. එවිට ඒ සිත කීකරුත් නෑ අකීකරුත් නෑ, ඔහේ අධිශීතකරණයක දැම්මා වගේ තිබෙනවා. එලෙස අධික සීතලක තිබෙන දෙයකින් වැඩක් ගන්න බෑනේ, නරක් නොවී ඔහේ තිබෙනවා. උණුවෙන්නේ නැතිව තියෙනවා. මෙයත් අන්තයක්, ඒ අන්තයට යන්නෙත් නෑ

. ඒ අන්ත දෙකට යන්නේ නැතිව මැදුම් පිළිවෙතේ තිබෙන සමාධිය තමා අත්‍යාවශ්‍ය වන්නේ. බොහෝ භාවනා ක්‍රමවලින් වැඩෙන්නේ ඒ මැදුම් පිළිවෙතේ තිබෙන සමාධිය. එහි ලක්ෂණ කිහිපයක් තිබෙනවා, අවශ්‍යනම් අප එය වෙනම දවසක කථා කරමු.  සරලව කිව්වොත් සිත කීකරු තත්වයකට පත්වෙනවා. කියනදේ කරන සිතක්, කියන දේට ඇහුම්කන්දෙන සිතක් , කියනදේ තේරුම් ගන්න සිතක් හා ඒ අනුව යෙදෙන සිතක්. ඇහුම්කන්දෙන, තේරුම් ගන්න සහ අසා තේරුම්ගත් දෙයෙහි යෙදෙන සිතක් මහා සම්පතක්. සමාධිය කියන්නේ සම්පතක්. සමාධි සම්පදා ය. එය මහා සම්පතක්. මේ සියලු ආධ්‍යාත්මික සම්පත් ලැබෙන්න සමාධි සම්පත ඕනේ.

සමාධිය පිළිබඳව මෙසේ කියන විට කෙනෙකුට සිතෙන්න පුළුවන් “අයියෝ අප කොපමණ ඈතින්ද ඉන්නේ එහෙම තැනකට” කියා. “මෙපමණ භාවනා කරනවා තාම සිත දුවනවා දුවනවා, පැයක් භාවනා කලත් සිත දුවනවා, විනාඩියක්වත් එක තැනක තියෙන්නේ නෑ”. එයට කමක් නෑ විනාඩි බාගයක් හරි එකතැන තියෙනවානේ. මේ කථා කරන්නේ අන්න ඒ අත්දැකීම ගැන. ඒ නිසයි මේ වැඩසටහනට ‘නැණ දසුනට තත්පරයක්’ කියන්නේ. ඒ සමාධිය කීකරු සිත තත්පරයක් තියෙනවානම් ඒ ඇති. ඒ තත්පරයකින් ගන්න තියෙන ප්‍රයෝජනය දුවන සිතකින් අවුරුද්දකින්වත් ගන්න බෑ. අකීකරුයි කිවූ සිතකින්, ගල්ගැසුණු ඒ සිතකින්, ජීවිත කාලයකින්වත් ගත නොහැකි ප්‍රයෝජනයක් තත්පරයකට සමාධියකට පැමිණි විවෘත සිතකින් ගන්න පුළුවන්. ඒ ප්‍රයෝජනය ගන්න ඕනේ, නොගැනීමයි ප්‍රශ්නේ. 

එසේ ප්‍රයෝජනයක් නොගන්න හේතු දෙක තුනක් තියෙනවා. එක හේතුවක් තමා අපේ ඉලක්කයක් තියෙනවා මුළු පැයම සමාධිය තියෙන්න ඕනේ කියලා. භාවනා කරන මුළු කාලයම ඒ සමාධිය තියෙන්න ඕනේ කියා. ඒ එක ප්‍රශ්නයක්. එහෙම තියෙන්නේ නෑනේ, නැති නිසා ඒ ගැන සිහින දැක දැක තැවි තැවී උත්සාහ කරනවා.  දෙවැනි කාරණය, සමාධියෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන දෙයට වැඩි අවධානයක් යොමු කෙරන්නේ නෑ. ඒ වෙනුවට සමාධියේම වැඩි වේලාවක් ඉන්න ඕනේ කියන හැඟීම තියෙනවා. ඉතින් මේ හේතුනිසා අර තත්පරයකින් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න බැරිවෙලා තියෙනවා.

කෙසේ හෝ හිතවතුනි, මේ සමාධිය ඇති කරගන්න, උපදවාගන්න කිසියම් භාවනා ක්‍රමයක් දිනපතා පුහුණු වෙනවාද මූලික කමටහන විදිහට, එය හොඳට අවධානයෙන් හඳුනාගෙන වැඩි වේලාවක්, වැඩි වාරගණනක් ඒ පුහුණුවේ යෙදෙන්න. ඒ වෙනුවෙන් කැප කිරීමක් කරන්න. ඔය අමාරුම දේ තමා සමාධිය උපදවා ගැනීම. පසු ටික කිසියම් දුරකට පහසුයි. විශේෂයෙන් කාර්යබහුල ජීවිත ගත කරන හිතවතුනි අමාරුම දේ තමා සමාධි සිතක් තත්පරයකට හරි හදා ගැනීම. එය හදාගත්තොත් ඉන් එහා ටික හරි පහසුයි. ඒ කාරණය, පසුබිම ගැන කියන එක පසෙකින් තබා අපේ මූලික මාතෘකාවට එමු.

‘නැණ දසුන, ඥාන දර්ශනය, ඤාණ දස්සන’ එය ප්‍රතිපදාවේ තීරණාත්මක තැනක්. ආර්‍ය ප්‍රතිපදාවේ, ලෝකෝත්තර ප්‍රතිපදාවේ, ඉතාම තීරණාත්මක තැන තමා මේ නැණ දසුන. නැණ දසුන, ඥාන දර්ශනය, ඤාණ දස්සන කියන ස්වභාවයට කලින් තියෙන්නේ සමාධිය, සමාහිත තත්වය. ‘සමාහිත වූයේ ඇති සැටිය දනී, දකී’. ඇති සැටිය දැක්කොත් තමා ඉතිරි පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. මේ සමූහයේ (WhatsApp Group) ඉහළින්ම තිබෙන්නෙත් ඒ කාරණය “ඇතිසැටිය දුටුයේ කලකිරෙයි - කලකිරුණේ නොඇලෙයි - නොඇලුණේ මිදෙයි - මිදුණේ මිදුනු බව දනී” බලන්න මොනතරම් ලස්සන ප්‍රතිපදාවක්ද? මෙතන අන්ධ විශ්වාසයකට කිසිම තැනක් නෑ. විශ්වාසයකට මොනම තැනක්වත් නෑ. මොනම විශ්වාසයකටවත් තැනක් නෑ.

“සමාහිත වුයේ ඇති සැටිය දනී දකී - ඇතිසැටිය දුටුයේ කලකිරෙයි”. කලකිරීම ගැන ටිකක් කතා කරන්න ඕනේ, පසුව ඒ ප්‍රතිපදා එක එක වෙන වෙනම කථා කරමු. ඉතාම වැරදි භාවිතයක් තිබෙන වචනයක් ‘කලකිරීම’, ඒ වගේම ප්‍රතිපදාවේදී වැඩි වශයෙන් භාවිතාවන වචනයක් කලකිරීම. 

ප්‍රතිපදාව; සමාධිය, ඤාණ දස්සන, කලකිරීම, විරාගය, විමුක්තිය, විමුක්ති ඤාණ දස්සන. (විමුක්තස්මිං විමුක්ති මති ඤාණං) මිදෙනවා මිදුන බව දන්නවා. සමාධිය, ඇති සැටිය දැකීම දැන ගැනීම, නැණ දසුන, කලකිරීම, විරාගය, මිදීම, මිදුන බව දැන ගැනීම. මේ කාරණා පහෙන් සාමාන්‍යයෙන් වැඩි වශයෙන් භාවිතා කරන වචනය තමා කලකිරීම‍. එදිනෙදා ජීවිත ගනුදෙනුවේ හරියට කියවෙන වචනයක් තමා කලකිරීම‍. බොහොම සුලභ වචනයක්. කලකිරිලා ඉන්නේ, කලකිරීමට පත්වෙලා ඉන්නේ. මේ කලකිරීම කියන සිංහල වචනය සමඟ මොනතරම් වෙනස් අර්ථ භාවිතා කරනවාද? එපාවීමට කලකිරීම කියනවා, බලාපොරොත්තු කඩවීම්වලට කලකිරීම කියනවා, දෙයක් නැති තැන කලකිරීම කියනවා, මේ ආකාරයට විශාල පරාසයක භාවිතා කරනවා. කොයි පරාසයේ කිව්වත් ඍණ අර්ථයක් තමා එන්නේ කලකිරීම කියන වචනයෙන්. සියදිවි නසාගන්න ඇත්තන් හැමදෙනාම කලකිරිලා ඉන්නේ, කලකිරීම නිසා තමා සියදිවි නසාගන්නේ කීවාම ඍණ අර්ථයක්නේ. 

එනමුත් මේ ප්‍රතිපදාවේදී භාවිතාවන කලකිරීම ඍණ අර්ථයකින් නොවේ භාවිතා වන්නේ. අලුත් ජීවිතයක්, අලුත් ජීවන ගමනකට කෙනෙක් පා තබන කලකිරීම. ඒ නිසා එය බොහොම වෙනස්. ඒ ගැන අපි පසුව කථා කරමු. මෙම ප්‍රතිපදාවේ තීරණාත්මකම තැන ඥාන දර්ශනය. හැබැයි අඩුවෙන්ම අවධානය යොමුකළ තැනක් තමා ඥාන දර්ශනය. නැණ දසුන කියන වචනය භාවිතා කරනවා නමුත් දියයුතු තැන ලැබිලා නෑ, ගතයුතු ප්‍රයෝජනය ගන්නෙත් නෑ වගේ පේනවා, හැමෝම නෙවෙයි සමහර අය. 

උදාහරණයක් විදිහට අප බණ පොත් කියවනවානේ, දහමට ඇහුම්කන් දෙනවා, ධර්ම සාකච්ඡා කරනවා, සමහරවිට මෙනෙහි කිරීම් කරනවා කියන මේ හතරම අවබෝධය ලබාගන්න උදව්වෙන කාරණානේ. හැබැයි මේවා කොපමණ කළත් අවබෝධයක් ලැබුණාද, ලැබෙනවාද? කියවන බණපොත් ප්‍රමාණයට අවබෝධයක් ලැබෙනවාද කියා නම් සැකයි. අහන බණවල ප්‍රමාණයට ඇයි අවබෝධයක් සිදුවන්නේ නැත්තේ? කරන ධර්ම සාකච්ඡාවලට සාපේක්ෂව අවබෝධයක් උපදිනවාද? දහම ගැන සිතනවා, මෙනෙහි කිරීමත් කරනවා ඇතිනේ. ඇයි මේවාගෙන් ප්‍රයෝජනයක් නැත්තේ? නැතිවෙන්න මූලිකම හේතුව තමා මෙතන ඥාන දර්ශනයක් නැතිකම. ඥාන දර්ශනයක් එන්න සමාධියක් ඕනේ. සමාධියක් නැතිව බණපොත් කියවලා, බණ අහලා, ධර්ම සාකච්ඡා කරලා, මෙනෙහි කරලා ප්‍රයෝජනයක් ගන්න බෑ. මොකද එතන වෙන්නේ ශ්‍රවණයකටත්, කියවීමකටත් වඩා විතර්ක පහළ කරගැනීම පමණයි. නැත්නම් අවධානයක් නෑ. එවිට මොනවා කියනවාද දන්නේ නෑ, අවධානය අත්‍යාවශ්‍යයයි. සමාධියෙන් ලැබෙන ලොකුම ප්‍රයෝජනය නම් අවධානය. පැයක දේශනයක් අසනවා නම් පැයම අවධානය තිබීම අවශ්‍යයයි. පොතක් කියවනවිටත්, ධර්ම සාකච්ඡාවේදීත්, අවධානය අත්‍යාවශ්‍යයයි. අවධානය තිබුණොත් සමාධියේ එක අංගයක් සම්පූර්ණ වෙනවා. අනිත් කාරණය සිහිය තිබිය යුතුයි. ඇහෙන දේවල්, කියවන දේවල් පිළිබඳව තමන්ගේ සිතේ පහළවෙන අදහස් උදහස් තිබෙනවානේ, ඒවා හඳුනාගෙන ඒවා පැත්තකින් තියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවත් පොතේ අලවාගෙන පොත දිහා බලන් සිටියාට කියවෙන්නේ පොතේ තියෙන දේවල් නොවේ අපේම අදහස් උදහස්. ඇස් දෙකෙන් පොත දිහා බලාගෙන කියවන්නේ අපේම සිතේ ඇතිවන අදහස් උදහස්. ඇහුම්කන් දෙනවිටත් සිදුවන්නේ ඒ දේමයි. ඒ නිසා ඒවා හඳුනාගෙන අපේ සිතෙන් අයින්වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. තවත් කාරණා තිබෙනවා. කෙසේ හෝ මේ සමාධිය අත්‍යාවශ්‍යයයි. අනිත් කාරණය ඒ වචනවලට එහා පණිවිඩය තිබෙන්නේ. පොතේ වචන තියෙනවා, ඇසෙන වචන තියෙනවා, මේ වචනවල නොවේ දහම තිබෙන්නේ, වචනවලට එහායින්. මේ වචන විනිවිද දහම දකින්න පුළුවන් වෙන්න ඕනේ, එයටයි ඥාන දර්ශනය කියන්නේ. සාමාන්‍ය සිතක් වචනවල හැප්පෙනවා, වචනත් එක්ක එකතුවෙනවා. “හරි ලස්සන කථාවක්, හරි ලස්සන යෙදුමක්, හරිම වටිනා අදහසක්, හොඳ තර්කයක්, හොඳ පිළිතුරක්” කියා කියන්නේ මේ වචනවලට. ඒ වචනත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ සාමාන්‍ය සිත. සිත කියන්නේ මෙතන බුද්ධිය, බුද්ධිය වචනත් එක්ක ගනුදෙනු කරනවා. හැබැයි වචනයේ නෑ දහම, වචනය ඇමක් වගේ දෙයක්. වචනය හරහා යන්න ඕනේ දහම හොයාගෙන, ඒ යෑමෙන් තමයි ඥාන දර්ශනය ඇතිවන්නේ, නැණ දසුන කියන ඒ හැකියාව පහළ වන්නේ. එය පහළ කරගන්න ඕනේ.

වචන ඕනේ වුවත් වචනවල එල්ලීගෙන ඉන්න එපා. වචන ඕන වෙන්නේ, මෙතනින් එගොඩ වෙන්න. වචන පාරුවක් කරගන්නවා මිසක් ඒවා අල්ලාගෙන ඒවත් එක්ක තර්ක කරමින්, මතක තියාගනිමින්, ලියා ගනිමින්, බණ ඇසුවා කියා, සෑහීමකට පත්වෙන්නත් එපා, නවතින්නත් එපා. වචන කියන කඹයේ එල්ලිලා අප එහා පැත්තට ගිහිල්ලා ඒ වචනටික අතහරින්න ඕනේ. කඹය අතහරින්න ඕනේ, එහි එල්ලිලා සිටියොත් ඔහේ පැද්දි පැද්දි ඉඳියි. එගොඩටත් නෑ, මෙගොඩටත් නෑ. 

හොඳ හයිය කඹයක එල්ලෙන්න ඕනේ, හොඳ ශක්තිමත් දහමක් අපට අවශ්‍යයයි. කියවන පොතක් හරි, අහන දහමක් හරි ශක්තිමත් වියයුතු වගේම එය එගොඩට නැඹුරුවුනු දහමක් විය යුතුයි, මෙගොඩට නොවේ. ඒ කඹයෙහි, වැල්පොටෙහි එල්ලුනාම අප නව තවත් මෙගොඩටම නම් ඇදිලා එන්නේ, නැඹුරුවෙලා තියෙන්නේ ලෞකික ලෝකයට නම් එහි එල්ලුණු ගමන් හිටිය තැනටත් වැඩිය පිටිපස්සට කෙනෙකු ඇදිලා යයි. ඒවා වචන වුණත් ධර්මය නොවේ. ඒ සංකල්ප වුණත් ඒවා එහා ඉවුරට නැඹුරුවුණු සංකල්ප විය යුතුයි. ඒ කඹයේ එල්ලුණාම ඒ පැත්තට තමයි ඇදිලා යන්න ඕනේ. එහෙම කඹයක එල්ලිලා පැද්දිලා එහා පැත්තට ගියා කියලා තේරෙනකොට ලණුව අතහරින්න ඕනේ. ඒ වචන, සංකල්ප අතහැරියාම ඔන්න මෙතනින් කිසියම් එගොඩවීමක් වෙන්න පුළුවන්. පරතෙරට ගියා හෝ අඩි දෙකතුනක් හෝ එතෙර වුණා. මෙහෙම වෙන්න නම් අප තෝරගන්න ඕනේ, කුමකද එල්ලෙන්න ඕනේ කියා. එයයි වැදගත් දෙය, ඥාන දර්ශනයේ වැදගත්කම එයයි. නැතිව මැදම පැද්දි පැද්දි තියෙන වැලන එල්ලුනොත් කොහෙටවත් නෑ. එහෙම නැත්නම් පිටිපස්සට යන දෙයකත් එල්ලෙන්න පුළුවන්. අපම දන්නේ නෑ හරි ලස්සන වචන ටිකක් පාලියෙන් කිව්වේ, දහම කියා සිතා එහි එල්ලෙනවා, කාලයක් යනවිට තේරෙනවා අප හිටියාටත් වැඩිය ලෞකික වෙලා, හිටියාටත් වැඩිය සංසාරෙට ඇලිලා, හිටියාටත් වැඩිය සංසාරේ දේවල් කරගහගෙන ඉන්නේ කියා. එවිට ප්‍රමාද වැඩියි. මොන කඹයෙද, වැල්පොටේද එල්ලෙන්නේ කියන කාරණය වැදගත්. එහෙම වැල්පොටක එල්ලෙන්නේ නැතිව එගොඩ වෙන්න බෑ.

 එසේ පරෝප’දේශ රහිතව එගොඩ වෙන්න පුළුවන් බෝධිසත්වයන් වහන්සේනමකටයි. සම්‍යක් සම්බුද්ධත්වයට පත්වන්න පාරමිතා පිරූ උත්තමයන් වහන්සේ, කිසිම වැල්පොටක එල්ලෙන්නේ නැතිව තමා එගොඩ වන්නේ. උන්වහන්සේ අසංඛ්‍යෙය කල්ප ලක්ෂ හතරක් ඈත ඉඳලා දුවගෙන එන්නේ, ඒ දිවිල්ලට පුළුවන් වැල්පොටක් නොමැතිව එහා පැත්තට පනින්න. දුවන වේගය වැඩි කරන්න ඈතින් දුවගෙන ආවොත් පනින්න පුළුවන් දුර ප්‍රමාණය වැඩියිනේ. මෙගොඩින් එගොඩට, සංසාරයෙන් විමුක්තියට කිසිම වැල්පොටක එල්ලෙන්නේ නැතිව පනින්න නම් අඩුම ගානේ එපමණ දුරක්වත් ඈත ඉඳලා දුවගෙන එන්න ඕනේ නොනැවතී.  ටිකක් දුර එනවා නවතිනවා, හති අරිනවා, එහෙම ඇවිත් පලක් නෑ. බෝධිසත්වයන් වහන්සේනමක් කියන්නේ නොනැවතී ඒ පිම්ම නැතිනම් එතෙරවීම සඳහාම (සම්බෝධිපරායනය) හැල්මේ එන උත්තමයන් වහන්සේනමක්. උන්වහන්සේට කිසීම වැල්පොටක් අවශ්‍ය නෑ, ඒ නිසා තමයි පරෝපදේශ රහිතව පෙර නොඇසූවිරූ අවබෝධයකට පත්වෙනවා කිසිම ගුරුවරයෙක් නැතිව. හැබැයි ඉන් මෙහා හිතවතුනි ඔබ අප හැමදෙනාටම එල්ලෙන්න වැල් ඕනේ, හොඳින් මතක තියාගන්න ඒ වැල් අවශ්‍ය වන්නේ එතන එල්ලිලා ඉන්නවත්, ආපසු යන්නවත් නොවේ, එතෙරවීම, අත්හැරීම සඳහායි. අප එදත් කීවා අලගද්දූපම සූත්‍රයේ තිබෙන කාරණය, ‘නිත්තරනත්ථාය නොගහනත්ථාය’ එල්ලිලා ඉන්න නොවේ එතෙර වෙන්නයි දහම තියෙන්නේ.

මේ ඇස ඉතාම අවශ්‍යයයි. ඕන තරම් වැල් පොටවල්, කඹ අප ඉදිරියේ තිබෙනවා, කොයි කඹේද අප එල්ලෙන්නේ කියා සොයාගත යුතුයි. වැරදි කඹයක එල්ලුනොත් කාලයක්, ආත්ම ගණනක් ඔහේ එල්ලිලා ඉන්න පුළුවන්, නැතිනම් සිටිය තැනින් ආපස්සට යයි.

ඉතින් මේ ප්‍රශ්නය එක්තරා ප්‍රසිද්ධ ගුරුවරයෙකුගෙන් එක්තරා සත්‍ය ගවේෂකයෙකු ඇසුවා.

 “අප මොන ධර්මයටද ඇහුම්කන් දෙන්න ඕනේ, කොච්චර ඇසුවත් වෙනසක් වෙන්නේ නෑනේ, එක්කෙනෙකුකේ හෝ  දෙන්නෙකුගේ නේ වෙනසක් වෙන්නේ, ඇයි ඒ, මොකක්ද හේතුව? ඇයි ඒ දේශකයන්ට බැරි, අසන හැමදෙනාටම අවබෝධය ලැබෙන ආකාරයට දේශනයක්, මඟපෙන්වීමක් කරන්න?” 

ඉතින් මේ ගුරුතුමා කීවා

 “ඔබට පුළුවන්ද අද දවසේ මෙහි මාත් සමඟ නවතින්න” කියා. 

එවිට ගවේෂකයා හරි සතුටින් කීවා

 “මගේ උත්තරේ ලැබෙනවා නම් මම ඉන්නම්” කියා. 

මේ ගුරුතුමාට බොහොම ධනවත් ගෙදරකින් දානයකට ආරාධනාවක් ලැබී තිබුණා. ගුරුවරයා අර ගවේෂකයාටත් කීවා

 “මට දානයකට ආරාධනාවක් තියෙනවා, මගෙත් එක්ක එන්න” කියා. 

පසුව දෙදෙනාම මේ ඉතාම ධනවත් පුද්ගලයාගේ ගෙදර දානයට ගියා. ගියාම එම නිවසේ ස්වාමි පුරුෂයායි, භාර්යාවයි දෙදෙනාම මේ දෙන්නාව බොහොම ‍ගෞරවයෙන් පිළිඅරගෙන කෑම මේසයට එක්කරගෙන ගිහින් හතරදෙනාම වාඩිවෙලා ආහාර ගන්න පටන් ගත්තා. ආහාර ගන්න පටන්ගෙන පළමු කට කනවිටම ගෙදර ස්වාමියා කියනවා

 “මේ මොන ජරාවක් ද කිසිම රහක් නෑ, මේවා කන්න පුළුවන්ද, ඇයි මේවා හැදුවේ, මට හරි අප්‍රියයි, වහාම කවුරුහරි යවලා මට කඩයකින් කෑම ටිකක් ගේන්න, මේවා නම් කන්න බෑ”කියා. 

ස්වාමිදුවත් ආහාර ගත්තා මූණත් නරක් කරගෙන. ගුරුතුමාත් ආගන්තුකයාත් ආහාර ගත්තා. පසුව නිවසේ ස්වාමියා කියනවා 

“මේ කෑම ඔක්කොම විසිකරන්න. මේවා නම් අපේ ගෙදර තියන්න එපා, ගෙදර තියන්න තරම්වත් සුදුසු නෑ” කියා. 

එවිට මේ ගුරුතුමා කියනවා

 “මේවා විසිකරන්න නම් යන්නේ මට පොදියක් බැඳලා දෙන්න බැරිද?“ කියා. 

පුණ්‍යානුමෝදනා කර, ආශිර්වාද කර  මේ දෙන්නා ඒ ටිකත් අරගෙන ආපසු යන්න පිටත්වුණා. එන ගමන් ගුරුතුමා අර ආගන්තුකයාගෙන් අසනවා, “ඔබට මොකද සිතෙන්නේ කෑම ගැන?” වත්පොහොසත්කම් තියෙන මේ ආගන්තුකයා කියනවා

 “කෑම හරි රසයි, මොන හේතුවකට අර තැනැත්තා ආහාර රස නෑ, විසිකරන්න කිව්වාද දන්නේ නෑ.

ගුරුතුමා ඒකට උත්තර දෙන්න ගියේ නෑ. දෙන්නම ආපසු එනවා. මෙසේ එනවිට දිලින්දෙක් ගුරුතුමාගේ දෙපා මුල වැඳවැටිලා 

“දවස් ගණනකින් ආහාරයත් ගත්තේ නෑ, බඩගින්නේ, හාමතේ ඉන්නේ, මොනවාහරි තියෙනවානම් දෙන්න.”

කියා කියනවිට ගුරුතුමා අර ඔතලා දුන්න පොදියෙන් ආහාර ටිකක් අරගෙන දුන්නා. දුන්නාම ඉතාම ගෞරවයෙන්, ඉහවහා ගිය සතුටකින් පිළිඅරගෙන එතනදීම ඒ ආහාරය ගත් දිලින්දාගෙන් , ගුරුතුමා අහනවා

“කොහොමද ආහාර රසද?” 

කියා. එවිට හාමතේ සිටිය දිලින්දා කියනවා 

“මොනවද මේ අහන්නේ, රහ විතරක් නෙමේ, මට ඊටත් වැඩිය වටින්නේ මගේ ජීවිතය ලැබුණේ ඒ කෑමෙන්, තව ටිකක් වෙලා හිටියානම් හාමතේ මැරෙනවා, රහටත් වැඩිය ඒ කෑමටික තමයි මගේ ජීවිතය.” 

රසයටත් ගුණයටත් වැඩිය වටිනවානේ ජීවිත. දැන් මේ ගුරුතුමාත් ආගන්තුකයාත් ආශ්‍රමයට පැමිණි පසු ගුරුතුමා ආගන්තුකයාට කියනවා 

“එකම කෑමනේ, කෑම වෙනස්වුණේ නෑ. නමුත් ගෘහමූලිකයාට එය කිසිම රසක් නැති අජූත ආහාරයක්, ඔබට එය රසවත් ආහාරයක්, අර හාමතේ සිටි තැනැත්තාට එය, රසයි ගුණයි දෙකම තියෙන ඊටත් එහා ගිය ජීවිතය. එකම ආහාරය එය වෙනස් වුණේ නෑ. නමුත් ඔබ තුන්දෙනා තුන් ආකාරයකට තමයි එය පිළිගත්තේ, ප්‍රතිචාර දැක්වුයේ, ප්‍රතික්‍රියා කළේ. එකම දහම තමා දේශනා කරන්නේ” 

ගුරුතුමාගෙන් ඇසුවේ එකම දහම දේශනා කළත් කෙනෙක් ප්‍රයෝජනය ගන්නවා, තව කෙනෙක් ප්‍රයෝජනය ගන්නේ නෑ, ඇයි හැමෝටම ප්‍රයෝජනවත් ධර්මයක් දේශනා කරන්න බැරි කියා. ගුරුතුමාගේ පිළිතුර මෙය තමයි. ආහාරයේ නෙවෙයි ප්‍රශ්නය තිබෙන්නේ, ආහාරය ගන්න විදිහේ තමයි ප්‍රශ්නය තියෙන්නේ. එකම කෑම තුන්දෙනෙකුට තුන් විදිහකට කන්න පුළුවන්. කෙනෙකුට එය විසිකරන්න සිතෙන දෙයක්, කෙනෙකුට රසවත් දෙයක්, තවත් කෙනෙකුට එය තමා ජීවිතය.

හිතවතුනි, පොතක් කියවන කෙනා, දහම අසන කෙනා, ධර්ම සාකච්ඡා කරන කෙනා අතෙයි වගකීම තියෙන්නේ, උයන කෙනා අතේ නෙවෙයි කන කෙනා අතෙයි. අජීර්ණ වන තරමට කෑම ජාති අනුභව කළ කෙනෙකුට කෑමක රහක් සොයන්න හරි අමාරුයි, රස නෑ. සාමාන්‍ය බඩගින්නේ ඉන්න කෙනෙකුට රසයි. මැරෙන්න යන කෙනෙකුට ඒ තමා ජීවිතය. අප එන්න ඕනේ තුන්වන කෙනා ලඟට, ඒ ආධ්‍යාත්මයට (මානසික ස්වභාවයට) එන්න ඕනේ. අපට ආධ්‍යාත්මික සාගින්නයි, පිපාසයයි දැනේන ඕනේ. එහෙම දැනෙන්න ඉඩක් නෑ, ඕන තරම් පොත් තියෙනවා, සිතාගන්න බැරි තරමට දේශනා අසනවා, සාකච්ඡා කරනවා, ඒ නිසා මෙතන අජීර්ණයක් වෙනවා මිස ආධ්‍යාත්මික සාගින්න දැනෙන්නේ නෑ. එය ඇතුළේ තියෙනවා, දැනේනේ නෑ. දැනෙන්නේ නැති නිසා එකකින්වත් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න බැරිවෙනවා. 

අර සාගින්නේ සිටිය කෙනයි අපයි අතර ඇත්තටම වෙනසක් නෑ. ඒ තැනැත්තා දන්නවා කෑවේ නැත්නම් මැරෙනවා කියා. කෑවේ නැත්නම් මැරෙන බව අනිත් අය දන්නේ නෑ. ආධ්‍යාත්මික ආහාර නොලැබීම නිසා සංසාර සත්ත්වයා ආධ්‍යාත්මික වශයෙන් මිය යමින් සිටින්නේ. අප ආධ්‍යාත්මිකව මිය යමින් සිටින්නේ. හැබැයි එය දන්නේ නෑ, දන්නේ නැති වෙන්න හේතුව තමා, මොළයට ඕනෑවටත් වැඩිය තොරතුරු ලබාදීම. ඔළුව දන්නවා, ඔළුව නොදන්න දෙයක් නෑ. පංචශීලයෙන් පටන්ගත්තාම නවලෝකෝත්තර සද්ධර්මයම දන්නවා ඔළුව. ඔළුව දැනගත්තාම එතන විකෘති සංඥාවක් ඇතිවෙනවා. සංඥා විපර්යාසයක් වෙනවා. සංඥාවක් ඇතිවෙනවා දන්නවා කියන. එය සංඥාවක් මිස ප්‍රඥාවක් නොවේ. ආධ්‍යාත්මිකව හාමතේ ඉන්නේ නමුත් දැනුමට පුළුවන්, දන්නවා කියන සංඥාවට පුළුවන් ඒ ආධ්‍යාත්මික කුසගින්න වසා දමන්න. 

හරියට මත්ද්‍රව්‍ය, මත් පැන්වලට ඇබ්බැහිවුණු කෙනෙකු කන්නේ නෑනේ, කන්නේ නැතිව බොනවා, ඉතින් බඩගින්න දැනෙන්නේ නෑ. ඇත්තටම බැලුවොත් බඩේ මොනවත් නෑ. දින ගණනාවක් කාලා නැතිවෙන්න පුළුවන්. ඒක විපල්යාසයක් එනම් වැරදි සංඥාවක්. ඊටත් වැඩිය භයානකයි ඔය සඤ්ඤා විපල්යාසය, තොරතුරු හා දත්ත නිසා රැවටෙනවා. එසේ රැවටුණාම අර ආධ්‍යාත්මික හාමත නොදැනී යනවා. එසේ නොදැනී ගියාම අසන්නේ, කියවන්නේ, සාකච්ඡා කරන්නේ ඔළුව පමණයි. ඔළුවට විතරයි යන්නේ ආධ්‍යාත්මික ආමාශයට, හදවතට යන්නේ නෑ. හදවතට යන්නේ නෑ. ඔළුවෙන්ම බලලා කියනවා “

 වැඩක් නෑ, අර කියු දේශනයත් එක්ක බලන විට මෙහි කිසිම දෙයක් ගන්න නෑ, අර පොතත් එක්ක බලන විට මේ පොත හෝඩියේ පොතක් වගේ.” 

මේ ආකාරයට ඔළුවෙන්ම ප්‍රතික්ෂේප කරනවා, එපමණ රසැති, ප්‍රාණය වූ ආහාර අර ධනවතා කිසි රසක් නෑ කියා විසිකරන්න කිව්වා වගේ. අප සිතාමතා නොකළත් මේ දේ වෙනවා. හොඳ අවධානයක්, හොඳ දැනුවත් බවක් තියාගන්න. අපේ හාමත් වුණු ආධ්‍යාත්මය හඳුනා ගන්න. ඔළුව හාමත් වෙලා නෑ. කාලා වැඩියි අජීර්ණය වෙලා තියෙන්නේ, නමුත් හදවත කුසගින්නේ, පිපාසාවෙන් ඉන්නේ, එයට තාම අමා දහම ලැබී නෑ. බලාගෙන ඉන්නවා කොයිවෙලේ හෝ හදවතට ලැබෙයි කියා. හැබැයි අපේ ඔළුව හදවතට කිසිම උපකාරයක් කරන්නේ නැතිව එයා අරගෙන, එයාම තියාගෙන, එයාම ප්‍රතික්ෂේප කරමින්, වාදකරමින් සිටින අතර හදවත ආධ්‍යාත්මික පිපාසාවෙන් මුව අයාගෙන බලා සිටිනවා

 “අනේ මට දැන්වත් එක බිඳුවකින්වත් ආධ්‍යාත්මික පිපාසාව සංසිඳුවා ගන්න ලැබෙයි” කියා. 

සමහරවිට ජීවිත කාලයටම ලැබෙන්නේ නෑ, දෙන්නේ නෑ. ඒ නිසා හිතවතුනි මේ ඥාන දර්ශනය කියන්නේ ඔළුවෙන් කරන දෙයක් නෙවෙයි.

මේ කාරණය අපි වෙනම දවසක කථා කරමු. කිසිම උගත්කමක් අවශ්‍ය නෑ ඥාන දර්ශනයට. උගත්කම සමහරවිට ලොකු බාධාවක් වෙනවා. වචන හරඹ, වචන කියන වැල් පොටවල්වල එල්ලී සිටීම ම බාධාවක් වෙනවා. ඒ බාධාව සමාධියෙන් තමයි මුලින්ම ඉවත් කරන්නේ. ඒ නිසයි සමාධිය වටින්නේ. තමන්ගේ දැනුම කෙරෙහි උපේක්ෂා සහගතවීම ඉතාම වැදගත්. මේ සියලු කාරණා සමඟ හිතවතුනි භාවනාවට එමු. මෙතනදි භාවනාව කියන්නේ ක්‍රමයකට නොවෙයි.

භාවනාව

අවධානය යොමු කරමු අපේම ඔළුවට. මොන තරම් දේවල් දන්නවාද ඔළුව? මොන තරම් විෂයයන්, කලා ශිල්ප, බුදු දහම දන්නවාද? සෑම කෙනෙකුගේම ඔළුව පුස්තකාලයක්, ධර්ම භාණ්ඩාගාරයක්. ඒ සියලුම දැනීම්වලින් උපකාරයක් නොලැබූ, ඒ නිසාම හාමතේ සිටින ආධ්‍යාත්මය පේනවාද?  හරියට කෑම වට්ටෝරු සියදහස් ගණනක් කටපාඩම් වුවත්, ඒ වට්ටෝරුවලින් කුස පිරෙන්නේවත්, පිපාසය නැතිවන්නේවත් නෑ, හාමතේ මිය යනවා නම් එයට පිළිසරණකුත් නෑ කිසිම වට්ටෝරුවකින්. එසේ බලනවිට කම්පාවක් ඇතිවෙන්න පුළුවනි, එයට තමා සංවේගය කියන්නේ. සංවේගය උදව් වෙනවා අලුත් ගමනක් පටන් ගන්න. ඒ සංවේගයෙන් පන්නරයක් ලබමින්, ජවයක් ලබමින්, මේ එදා මෙදා තුර නොසන්සිඳුණු ආධ්‍යාත්මික සාපිපාසාව සංසිඳවා ගන්නවා කියන අධිෂ්ඨානයෙන් විවෘත සාකච්ඡාවට එමු. අසන්න යමක් හෝ විමසන්න යමක් තිබෙනවානම්, නැතිනම් කියන්න යමක් තිබෙනවානම්, පැහැදිලි කරගන්න නොපැහැදිලි තැනක් තිබෙනවානම් ඒ සියල්ල සඳහාම මේ අවස්ථාව.

සාකච්ඡාව

ප්‍ර : සමාධි ගත වෙලා ඉන් එළියට ආපුවහම හිත ගොඩක් සන්සුන්. ඒ වෙලාවට හිත ඕනෑම අරමුණකට යොමු කරන්න පුළුවන්. ඒ වෙලාවෙ හිත යොමු කළොත් ඒ වෙලාවේ වෙන දේවල් දකින්න පුළුවන්. මේ ස්වභාවය විපස්සනාවට උපකාරයක් කරගන්න බැරිද? 

පි :අනිවාර්යෙන්ම පුළුවනි. එහෙම කරන්න ඕන. සමාධිය තියෙන්නෙ සමාධියට නොවෙයි. සමාධිය ඇති කර ගන්නත් අමාරුයි. එහෙම සමාධියක් ඇති කර ගත්තහම ඉන් ගන්න තියෙන ප්‍රයෝජන ගන්න ඊටත් වඩා අමාරුයි. මොකද ඒ සමාධිය කායිකව හා මානසිකව හරිම සුවදායකයි. ඒ නිසා හරි අමාරුයි එයින් ප්‍රයෝජනයක් ගන්න ( එය සමාධියේ වරදක් නොවේ, අපේ ප්‍රශ්නයක්). සමාධියෙන් ප්‍රයෝජන ගන්න නම් හිතන හැකියාව තියෙන්න ඕන. හිතන්න පුළුවන් හැකියාව නැති කරගන්නත් පුළුවනි. නමුත් එය නැති කර ගන්න එපා. ඉවසන්න, විමසන්න හා විශ්ලේෂණය කරන්න පුළුවන් හැකියාව අනිවාර්යෙන්ම දියුණු වෙන්න ඕන. එහෙම දියුණු වුණු සමාධියක් තමා අවශ්‍යය. ඉතින් ඒ වෙලාවේ දී ලබන අත්දැකීම් අපට විපස්සනාවට ගන්න පුළුවන්. තේරුම් ගත් නමුත් ප්‍රායෝගිකව තේරුම් නොගත් කිසියම් ධර්මතාවයකට අවධානය යොමු කර ඒ ගැන සොයා බැලීමක් කරන්නත් පුළුවනි සහ තව ක්‍රම තියෙනවා, හේතුඵල සම්බන්ධතාවය දැකීමත් විපස්සනාවේ ඉතාම වැදගත් කොටසක්. නමුත් මොනව කරන්නත් හොඳ සමාධියක් නම් තියෙන්න ඕන. 

ප්‍ර : ඔබතුමා සඳහන් කළ ගල් ගැහෙන සමාධියට කෙනෙකු පත් උනහම (සමාධිය වශී කරගෙන නොවේ) ඒ සමාධියෙන් ටික වෙලාවක් ඉඳලා ඒ සමාධියෙන් එළියට ආපුහාම ඒ වෙලාවේ අපට විශේෂ හැකියාවක් තියෙනවා, සමහර විට ඈතින් කෙනෙක් කතා කරන විට ඒ කතා කරන දේ අපිට තේරෙනවා මොනවාද කතා කරන්නේ කියා. ඒ සමාධිය විපස්සනාව වඩන්න ක්ෂණික සමාධියට වඩා හොඳයි කියලා හිතෙනවා.

පි : ඔය සමාධි දෙකේ වෙනස්කම් තියෙනවා. නමුත් ප්‍රායෝගික භාවිතය පැත්තෙන් නම් ලොකු වෙනසක් නෑ. සාමාන්‍ය මතු පිටින් බැලුවම තියෙන එක වෙනසක් තමයි ස්ථාවර ගතියක් තිබෙනවා, අපේ ඉන්ද්‍රියයන් වඩාත් සංවේදී වෙනවා, කිසිම ඉන්ද්‍රිය අත්දැකීමක් ගන්නේ නැතිව ටික වෙලාවක් සිට ඉන්ද්‍රිය අත්දැකීම් ගන්න පටන් ගත්තහම ඉන්ද්‍රියන් හුඟාක් සංවේදී වෙනවා. ඒ නිසා හොඳට ඇහෙනවා පේනවා දැනෙනවා. එය හොඳයි. ඒ විදිහට ඉන්ද්‍රියන් වඩා සංවේදී තත්ත්වයකට ආවහම එයින් එයින් ගත යුතු හොදම ප්‍රයෝජනය නම් ධර්මතා මෙනෙහි කිරීම විශ්ලේෂණය කිරීම විනිවිද දැකීම. එතනට එන්න ඕනේ. එහෙම නැතිව සාමාන්‍ය තත්ත්වයේදී නොඇසෙන ශබ්ද ඇසීම නොදැනුණු වර්ණ දැකීම් වත් නොවේ.

 ඒ වාගේම ක්ෂණික සමාධියෙනුත් මේ කර්තව්‍යයම කරගන්න පුළුවන්. එම නිසා අප ඉන්න තොටුපලෙන් බහිමු. හැබැයි මේ දෙකෙන් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මේ දෙකෙන් එකක් වත් නැතුව නම් මේ ගමන යන්න බෑ.

ප්‍ර : වර්තමාන සමාජය ඉතාමත් කාර්යබහුලයි අභියෝගාත්මකයි. එහි ජීවත් වන පුද්ගලයෙකුගේ සිත සමාධිගත වීමට නැඹුරු වෙනවා කියලා බලාගන්න indication එකක් තියාගන්න පුලුවන්ද?. උදාහරණයකට ඒ පුද්ගලයා කාර්යශීලී ව වැඩ කරනවා. ඒ අතරතුර ඔහු සැලසුම් කරනවා භාවනා කරන්න කාලයක්, ප්‍රශ්න දිහා පුළුල්ව බලනවා, ඉවසීම, නැති බැරි අයට උදව් කිරීම, නිතරම ධර්ම දේශනාවලට සවන් දීමට උත්සාහවත් වෙනවා. එහෙම පුද්ගලයෙකුගේ සිත සමාධිගත වීම දෙසට යොමු වෙනවද, නැත්නම් වෙනම indication එකක් ගන්න පුළුවන්ද? 

පි : ඔව්, පුළුවනි. ඔබතුමා කියු ඒ ලක්ෂණ ඉතා වැදගත්. භාවනාව නිර්මාණය කරන්නේ වියළී ගිය ජීවිතයක් මනුෂ්‍යයකු නොවේ, බොහෝම සංවේදී දයානුකම්පිත කරුණාව තියෙන පුද්ගලයෙක්. එය අවසාන නිර්මාණය නොවෙයි. භාවනා කරන විට එහෙම චරිත හරහා අපට අනිවාර්යෙන්ම යන්න වෙනවා. ඉතින් භාවනාව ආරම්භ කරන්න පෙර හිටියාට වඩා නොමසුරු කෙනෙකු, පරිත්‍යාගශීලී කෙනෙකු, ඉවසන කෙනෙකු සමාව දෙන්න පුළුවන් කෙනෙක් හා ඇහුම්කම් දෙන්න පුළුවන් කෙනෙක් එළියට එනවා. ඒවා භාවනාවේ දියුණුවේ එක්තරා ලක්ෂණ කිහිපයක්. විශේෂයෙන් සමාව දීම හරි වටිනවා. සමාව දෙන්න පුළුවන් වෙන්නේ අත්හරින්න පුලුවන්නම්. එතකොට අත් හරින්නේ මොනවාද, අපේම සිතිවිලි. මෙයා වැරදියි මෙයා කරපු වැඩේ වැරදියි කියා දැඩිව අපේම සිතිවිලි අල්ලාගෙන හිටියොත් සමාව දෙන්න බෑ. භාවනාවේ දියුණුවත් එක්ක අපේම සිතිවිලි අපටම අතාරින්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේවා සමාධියේ දියුණුවේ අතිරේක ලක්ෂණ. මේවායින් හඳුනාගන්නත් පුළුවන් භාවනාවෙන් අපව පරිවර්තනයකට භාජනය වෙමින් යනවා කියා. ඔය ලක්ෂණ ටික අනිත් අයටත් පේනවා. නොපෙනන ලක්ෂණ ටිකකුත් තියෙනවා. 

ඒවා තමා හඳුනාගන්න ඕන අත්‍යවශ්‍යම කාරණා. විවෘතභාවය මේ තම හරි මේ තමා වැරදි කියා දැඩි මතයකට එන්නේ නැති ගතිය. එහෙම හිටියොත් ඥාන දර්ශනයට එන්න බෑ. ඥාන දර්ශනයට උදව්වෙන සමාධිය එතන නෑ, පක්ෂපාතියි. මතුපිටින් බලලා හරි කියලා ඉන්නේ නැතිව කුමක්ද හරි කියා සොයා බලන්න පුළුවන්කම ඒ විවෘතභාවය තියෙන්න ඕනේ. 

දෙවැනි කාරණය කිසිම දේකින් අවසාන නිගමනයකට එන්නේ නැතිකම, මෙපමණයි දැනගන්න තියෙන්නේ ඒ ටික මාදැනගෙන තියෙන්නේ ඉන් එහාට දැනගන්න දෙයක් නෑ, එහෙම ඉන්නේ නැහැ, දිගින් දිගටම හොයනවා. මම දන්නවා කියලා නවත්වන්නේ නැතිව හැම විටම තමන්ගේ නොදන්නා කමත් එක්ක ගමනක් තියෙනවා. තුන්වන කාරණය නම් නිහතමානීකම. මේ පණිවිඩය මේ මාර්ගය මේ සත්‍යය කොහෙන්ද එන්නේ පිළිගන්න ලෑස්තියි, එන තැන කොයි වගේද කියලා නෙමේ බලන්නේ, මෙතන සත්‍යක්ද එන්නෙ, එනවා නම් එයට එන්න දෙන්න ලෑස්තියි, එය හිස් මුදුනින් පිළිගන්න ලැහැස්තියි, මාර්ගය ඉදිරියේ නිහතමානී වෙනවා. මේ මාර්ගයේ කෙනෙකු අවංකව ගමන් කරනවාද ඒ අය කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඊළඟට මේ මාර්ගයට එන්න බැරිවුනු පිරිසක් ඉන්නවා, ඒ අය කෙරෙහි අනුකම්පාවක් ඇතිවෙනවා (මේ සමාධිය කර්කශ ඇස් වහගෙන ඉන්න සමාධියකට වඩා බොහොම ගුණ යහපත් සමාධියක්). එතකොට කොහෙන්වත් මානයට ඉඩක් නෑ, ඉඩ තියෙන්නේ නිහතමානිකම ට පමණයි. මේ indications ගැනත් අවධානය යොමු කරන්න. සියල්ලෙන්ම පරිපූර්ණ ඡීවිතයකට අපට එන්න පුළුවන්, ඒකට ගිහි ජීවිතයද නැද්ද කියන එක ලොකුවට ප්‍රශ්නයක් කරගන්න එපා. ගිහි ජිවිතයේ මේ සියල්ල ඉක්මනින් කරගන්න අමාරුයි. ඒ නිසා තමයි පුළු පුළුවන් වෙලාවට ගිහි ජීවිතෙන් අයින් වෙලා මේ වෙනුවෙන්ම කිසියම් කැපකිරීමක් අවශ්‍ය වෙන්නේ, හැබැයි බැරි නෑ. 


ප්‍ර :අපි දහම් දැනුම ලබාගන්න පොතපත කියවනවා, දේශනා අහනවා, සාකච්ඡා කරනවා. එතකොට අපි විෂම චක්‍රයකට අහු වෙලා කියලා දැනෙනවා. ඒක දහම් මගේ යන්න බාධාවක් කියාත් තේරෙනවා. මේ විෂම චක්‍රය කොහොමද කඩා ගන්නෙ. ඇයි අප එච්චර දහම් දැනුමට කෑදර?


පි :දහම් දැනුම නොවේ වැදගත්, දැනුමට කෑදරකමක් තියෙනවා. ශබ්ද අහන්න රූප බලන්න රස විඳින්න ඔය විදිහට ඉන්ද්‍රිය පහ ගත්තහම ඒවාට තියෙන කෑදරකම හඳුනාගන්න පුළුවනි. 6 වන ඉන්ද්‍රිය මනීන්ද්‍රිය ගත්තහම එන කෑදරකම මොකක්ද?. එය දැනුමට තියෙන කෑදර කම, සිතිවිලි වලට, අදහස් වලට, සිතන්න, තර්ක විතර්ක කරන්න, නොදන්න දේ දැනගන්න, දන්න දේ තව දැනගන්න, මෙන්න මේවට තියෙන කෑදර කම. මේ කෑදරකම ධර්ම මාර්ගයට ආවත් නැතත් තියෙනවා, වෙනසක් නෑ. හැබැයි එය අපේ චරිත ලක්ෂණ එක්ක කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. දැන් රහට කෑදරයි කිව්වට හැමෝම එකම රසට කෑදර නෑ, කෑදරකම වෙනස්. ඒ විදිහට දැනුම පැත්තෙන් වුනත් මොන කාරණය දැනගන්න ද කියන කාරණය වෙනස් වෙනවා. කෙනෙකු ට දහමේ රස යම්තම් හරි දැනෙන්න පටන් ගත්තහම දැනුමට තියෙන කෑදරකම දහම් දැනුම පැත්තට එනවා. එය සාමාන්‍ය දෙයක්. එය ඕනෑම විෂයක් එක්ක උනත් වෙන්න පුළුවන්. එය හොඳයි. එයින් තමයි මේ පැත්තට යන්නේ කෙනෙක්. 

නමුත් එතැන තියෙන්නේ පිවිසුම් දොරක් පමණයි. එතැනින් පිවිසෙන්න ඕන. එහෙම පිවිසෙන්නේ නැතිව දොර දිහා බල බලා හිටියොත් වැඩක් වෙන්නේ නෑ. ඉතින් මේ ධර්මතාවය තේරුම් ගන්න, දැනුමට තියන ආශාව සාමාන්‍ය දෙයක්, මනෝ විඥානයට දැනුම ගන්න ආසාව එනවා. එතනින් පස්සේ කරන්න තියෙන ටිකත් කෙරෙන්න ඕන. ඒ සියල්ල නොකර දොරටුව ගාවම ඉන්නව නම් තමයි ප්‍රශ්නය තියෙන්නේ. එතන තමයි අප පරිස්සම් වෙන්න ඕන. 



පි :දහම් දැනුම නොවේ වැදගත්, දැනුමට කෑදරකමක් තියෙනවා. ශබ්ද අහන්න රූප බලන්න රස විඳින්න ඔය විදිහට ඉන්ද්‍රිය පහ ගත්තහම ඒවාට තියෙන කෑදරකම හඳුනාගන්න පුළුවනි. 6 වන ඉන්ද්‍රිය මනීන්ද්‍රිය ගත්තහම එන කෑදරකම මොකක්ද?. එය දැනුමට තියෙන කෑදර කම, සිතිවිලි වලට, අදහස් වලට, සිතන්න, තර්ක විතර්ක කරන්න, නොදන්න දේ දැනගන්න, දන්න දේ තව දැනගන්න, මෙන්න මේවට තියෙන කෑදර කම. මේ කෑදරකම ධර්ම මාර්ගයට ආවත් නැතත් තියෙනවා, වෙනසක් නෑ. හැබැයි එය අපේ චරිත ලක්ෂණ එක්ක කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. දැන් රහට කෑදරයි කිව්වට හැමෝම එකම රසට කෑදර නෑ, කෑදරකම වෙනස්. ඒ විදිහට දැනුම පැත්තෙන් වුනත් මොන කාරණය දැනගන්න ද කියන කාරණය වෙනස් වෙනවා. කෙනෙකු ට දහමේ රස යම්තම් හරි දැනෙන්න පටන් ගත්තහම දැනුමට තියෙන කෑදරකම දහම් දැනුම පැත්තට එනවා. එය සාමාන්‍ය දෙයක්. එය ඕනෑම විෂයක් එක්ක උනත් වෙන්න පුළුවන්. එය හොඳයි. එයින් තමයි මේ පැත්තට යන්නේ කෙනෙක්. 

නමුත් එතැන තියෙන්නේ පිවිසුම් දොරක් පමණයි. එතැනින් පිවිසෙන්න ඕන. එහෙම පිවිසෙන්නේ නැතිව දොර දිහා බල බලා හිටියොත් වැඩක් වෙන්නේ නෑ. ඉතින් මේ ධර්මතාවය තේරුම් ගන්න, දැනුමට තියන ආශාව සාමාන්‍ය දෙයක්, මනෝ විඥානයට දැනුම ගන්න ආසාව එනවා. එතනින් පස්සේ කරන්න තියෙන ටිකත් කෙරෙන්න ඕන. ඒ සියල්ල නොකර දොරටුව ගාවම ඉන්නව නම් තමයි ප්‍රශ්නය තියෙන්නේ. එතන තමයි අප පරිස්සම් වෙන්න ඕන. 


ප්‍ර :දේශනාවේ සඳහන් වුණා ”සිත පිපාසයෙන් සිටිනවා, මනස දැනුම පුස්තකාලයක් වගේ” කියලා. සතර බ්‍රහ්ම විහරණ ප්‍රගුණ කිරීමෙන් මේ පිපාසිත මනස සංතෘප්ත කරන්න පුළුවන් වෙයිද?.


පි : අනිවාර්යයෙන්ම. සතර බ්‍රහ්ම විවරණ වලින් තරම් කෙනකුගේ හදවත පිරෙන්නෙ නෑ කිසිම දේකින්. එනිසා තමයි මේවට විශේෂණ පදයක් යොදන්නේ, අප්පමඤ්ඤ (අප්‍රමාණ) කියලා, හිත අප්‍රමාණ හිතක් බවට පත්වෙනවා. දැනුම ඉක්මවා යන්න පහසුම ක්‍රමයක් තමා එය. එය සමථ භාවනාවට අයිති. අපේ ඔලුවේ තියෙනවා ඔය වචන ටික, නමුත් එය  කොපමණ දුරට සාමාන්‍ය ජීවිතයෙහි තියෙනවාද කියා බලන්න පුළුවන්, වැඩිපුර තියෙන්නෙ මෛත්‍රියද වෛරය ද, නපුරුකම් ද කරුණාවද, ඊර්ෂ්‍යාව ද මුදිතාව ද, කලබල වීම ද තැන්පත් වීම ද, මේ විදිහට මේවා හොදට ජීවිතය ඇතුලේ බලන්න පුළුවන්. බලන්න බලන්නයි තේරෙන්නේ අප කොපමණ මේවා ඔලුවෙන් දැනගෙන හිටියත් භාවිතයෙන් අඩුද කියලා. එවිටයි ලොකු කම්පනයක් හා සංවේගයක් එන්නේ. ඒ සංවේගයත් එක්ක අපට ලොකු ඕනකමක් ඇතිවෙනවා ශක්තියකුත් එනවා. 

දහම් රසය බොහොම ගැඹුරින් විඳින්න පුළුවන් ආහාර හතරක් තමයි මේ සතර බ්‍රහ්ම විවරණ. මේවා හරිම ගැඹුරු ප්‍රණීත ආධ්‍යාත්මික රසවත් හා ගුණවත් ආහාර හතරක්. ඉතින් කෙනෙකු මේ රසයටයි ගුණයටයි යන්තම් හරි කිට්ටු වුණොත් කෙළවරටම ලොකු ගමනක් ගිහින් තමයි නවතින්නේ.


සමාධිය ගැන ටිකක් අවධානය යොමු කරන්න. සමාධිය ස්ථාවර කරගන්න. ඒ ස්ථාවර කරගත් සමාධියෙන් ගන්න තියෙන ප්‍රයෝජනයත් ගන්න. 


මෙතනින් ගන්න තියෙන ප්‍රයෝජනය මෙතනින් ඉවර කරන්නේ නැතිව දිගටම මේ කාරණාව ඔලුවෙන් හදවතට ගෙනල්ලා හදවතට හොඳ රසවත් ගුණවත් ආහාර දෙන්න මේ වැඩසටහන පත් කරගන්න ඒ ඉල්ලීම හෘදයාංගවම කරමින් අපි සමුගනිමු.


 හැම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!