සදහම් සැඳෑව -2
2022-12-21 නැණ දසුනට තත්පරයක් - 21
සත්පුරුෂ හිතවතුනි, මේ එකතු වන්නේ සදහම් සැඳෑවේ නැණ දසුනට තත්පරයක් බුද දින වැඩසටහන සමඟයි. නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලය විසින් වැඩසටහන් කිහිපයක් ම ඉදිරිපත් කරනවා. අළුයම ‘සම්භාවනා’ වැඩසටහන. ඒ භාවනාවෙන් සිත තැන්පත් කරගැනීම, සිත එකඟ කරගැනීම, සිත ශක්තිමත් කරගැනීම පිළිබඳව වැඩි තැනක් දෙන ගමන් සිතේ තිබෙන ගුණාත්මකභාවය දියුණු කරගැනීම පිළිබඳව අවධානය යොමු කෙරෙනවා. ඉරිදා දිනවල සවස් වරුවේ කරනු ලබන ‘විදසුනට නිදසුනක්’ වැඩසටහනින් අවධානය යොමු කෙරෙන්නේ විදර්ශනා භාවනාව පිළිබඳව, අවබෝධය ලබා ගැනීම පිළිබඳවයි. තැන්පත් සිත උපකාරි වනවා අවබෝධය සඳහා. එමෙන්ම බදාදා දින මේ කරන ‘සදහම් සැඳෑව’ එතැනිනුත් එහාට යෑම, නිදහස්වීම පිළිබඳවයි කථා කරනු ලබන්නේ. නිදහස් වන්නේ කෙසේද, ඇයි නිදහස් වෙන්න අවශ්‍ය, නිදහස කියන්නේ කුමක්ද කියන කාරණය පිළිබඳවයි අවධානය යොමු කරනු ලබන්නේ. මේ වැඩසටහන් මාලාවේ අනුපිළිවෙලකුත් තිබෙනවා, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් නිදහස්වීමට (විමුක්තියට).
කෙසේ හෝ, මේ කොතන සිටියත් සිතේ තැන්පත්කමත්, අවබෝධයත් අවශ්‍යයයි. ඒ දෙක නොමැතිව නිදහස්වීමට නොහැකියි. තැන්පත් වූ සන්සුන් වූ සිතක් අවශ්‍යයයි කරුණු කාරණා (සිදුවීම්) තේරුම් ගැනීමට. සිදුවීම් තේරුම්ගත් විටයි එම සිදුවිම්වලට අසුනොවී නිදහස් වෙන්න පුළුවන් වන්නේ. මේ නිදහස් වීම පිළිබඳව විවිධ කෝණවලින්, දෘෂ්ටිවලින් කථාකරගෙන ආවා. මේ ආකාරයෙන් කථාකරගෙන ඒම ම ප්‍රමාණවත් නැහැ. අප එකතුවී සාකච්ඡා කරනවා, ප්‍රශ්න විසඳ ගන්නවා, එපමණක් ම ප්‍රමාණවත් නැහැ. එය ජීර්ණය කරගෙන පෝෂණයක් අපේ සිතට ගන්න අවශ්‍යයයි. එයින් අපේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍යයයි.
ජීවිතය යනු
ජීවිතය යනු, නිශ්චල දෙයක් නොවේ. කළු ගලක් මෙන්, තිබෙන තැනම තිබෙන දෙයක් නොවේ. කළු ගලක් වුවත් නිශ්චල නැහැ. තිබූ තැන තිබුණත් කළු ගලක් ඇතුළේ වුවත් මහා චංචලභාවයක් තිබෙනවා. නමුත් බැලු බැල්මට තිබූ තැනම ඔහේ තිබෙනවා. සීගිරිය එදා තිබුණු තැනමයි අද තිබෙන්නේ. ඉරි තැළිලා, සේදිලා තිබෙන්න පුළුවන් වුවත් එදා තිබුණු තැනමයි අදත් තිබෙන්නේ. නමුත් ජීවිතය එසේ නොවේ. තිබුණු තැනම තියන්න පුළුවන් දෙයක් නොවේ ජීවිතය. එක් තත්පරයකටවත්, කොහේවත් තියන්න පුළුවන් දෙයකට නොවෙයි ජීවිතය කියන්නේ. ජීවිතය යනු ගලාගෙන යෑමක් (වෙනස්වීමක්, පරිණාමයක්, විපරිණාමයක්). පරිවර්තනයක් නොවේ. ජීවිතය යනු කැරකි කැරකි තිබෙන දෙයක්.
එබඳු ජීවිතයක් නිදහසේ ගලාගෙන යන්න අවශ්‍යයයි. ගංගාවක් මෙන් නිදහසේ ගලාගෙන යා යුතුයි. උල්පතේ සිට ගංගාවක් දිගේ කෙනෙකු ගියොත් පෙනෙනවා ඔහේ නිදහසේ ගලාගෙනයන බවක්. මොන බැමි තිබුණත් ඒවා උඩින් හෝ කඩාගෙන හෝ යටින් හෝ ගලාගෙන යනවා මුහුදට ම. “ගලන ගඟකි ජීවිතේ” කියා කිව්වත්, එසේ නිදහසේ ගලාගෙන යන බවක්, නිදහසේ පවතින බවක්, නිදහසේ ඉන්න බවක් දැනෙනවාද? කලාවේදී “ජීවිතය ගලන ගඟකි” කියා කිව්වත්, මුළු ජීවිතයේ ම නොවුනත්, මොහොතකට හරි එසේ දැනුණු අවස්ථාවක් තිබෙනවාද? එක් මොහොතක්, එක් විනාඩියක්, එක් සිදුවීමක්, එක් අත්දැකීමක්, එසේ දැනී තිබේද?
එසේ නොමැති නම් දැනෙන්නේ ජීවිතය හිරවෙලා වගේද? කොහේවත් යන්නේ නැතිව මුල් ඇද්දා වගේ, කාන්දමකට ආකර්ෂණය වුණා වගේ සොබාවයක්ද ජීවිතය පිළිබඳව දැනෙන්නේ? මේ ප්‍රශ්නයට අපම පිළිතුරක් සොයාගත යුතුයි, පොත්වලින් බලලා, දේශනයකට සවන් දීලා සොයාගන්න බැහැ. කිසිම පොතක මේ ප්‍රශ්නයට පිළිතුර නැහැ. කිසිම පොතක මේ ප්‍රශ්නය අසාත් නැහැ. පොත්වල තිබෙන ප්‍රශ්න අසා වැඩකුත් නැති නිසයි පොතක නැති ප්‍රශ්නයක් ඇසුවේ, ජීවිතය නිදහසේ ගලාගෙන යන දෙයක් බව දැනෙනවාද? දැනී තිබෙනවාද? එසේ නොමැති නම් තැනින් තැන සිරවෙලා තිබෙන දෙයක්ද? එක තැනක සිරවී, එතැනින් ගැලවී “දැන් හරි කියා සිතන විට” තවත් තැනක හිරවෙන, කාලය වැයකොට මහන්සි වී එතැනිනුත් ගලවා ගත්තා ම ආයෙත් තවත් තැනක හිරවෙන සොබාවක්ද දැනෙන්නේ?
මේ දැනෙන ස්වභාවය හඳුනාගත යුතුයි. පොතේ තියෙන ස්වභාවය නොවේ, කවිවල හා කථාවල ජීවිතය ගැන කියන දේවල් නොවේ. අපට දැනෙන ජීවිතය කුමක්ද? කෙනෙකුට සිතෙන්න පුළුවන් “භාවනා කළාම, මේ තත්වය වෙනස් වෙලා, අහසේ නිදහසේ පියඹායන පක්ෂියෙකු මෙන් ජීවත් වෙන්න පුළුවන් තැනකට එයි” කියා. නමුත් භාවනා කළත් (යම් යම් අවස්ථාවල එසේ දැනුණත්), භාවනාව (සමථය, විදර්ශනාව) ඇතුළෙත් එකතැන පල්වෙන ගතියක්, එකතැන රැඳෙන ගතියක්, ආපස්සට යන ගතියක් සහ බලාපොරොත්තු නොවන තැන්වලට ගිහින් සිරකරන් ඉන්න ගතියක් දැනෙන්න පුළුවන්. වෙන මොනවා විය යුතුයැයි සිතුවත් මෙයයි සාමාන්‍ය ස්වභාවය. සිතන්න පුළුවන් “මෙසේ නොවී අර විදිහටයි වෙන්න අවශ්‍ය” කියා. “අප හොඳින් ජීවත් වෙනවා, කාටවත් කරදරයක් කරන්නේ නැහැ, ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක් ම අපට තියෙනවා,” එසේ මොනවා සිතුවත්, මොනවා තිබුණත් ජීවිතයට ඒවා කිසිවක් අදාළ නැහැ. ජීවිතය එයාගෙම නීතියකට අනුව, එයාගෙම ධර්මතාවලට අනුව වැඩ කරනවා. ‘ජීවිතය ගලන ගඟක්’ කියා සිතුවට, බැලූ බැල්මට එසේ පෙනුණට, ඒ ආකාරයෙන් අත්දකින්න නොලැබෙන්නේ ඇයි? බැලුවාමත් තේරෙනවා, ඉපදී, ළදරුවිය පසුකර, නව යොවුන් විය, තරුණ විය, වැඩිහිටි විය, මහළුවිය හා මරණය ආදී වශයෙන් ගලාගෙන යනවා. මේ අවධි දෙකක් අතර බැලුවිට පෙනෙන්නේ, ගමන් ගියා, පාසල් ගියා, රැකියාවකට ගියා මේ ආකාරයෙන් ගලාගෙන යන ස්වභාවයක්. මතුපිටින් බැලූවිට මෙසේ පෙනුණත් ජීවිතය ඇතුළින් එසේ නොදැනෙන්නේ ඇයි?
නිදහස
ගලාගෙන යෑමක් තුළ තිබෙන්නේ නිදහස් ස්වභාවයක්. නිදහස් නැත්නම් හිර වෙනවා. ජලයයි නිදහස් ම දෙය අපට පෙනෙන දේවල් වලින්. සුළඟත් නිදහස් ඇති නමුත් අපට පෙනෙන්නේ නැහැ, පෙනෙන්නේ ජලයයි. එම නිසයි බොහෝදෙනා නිදහස් ස්වභාවයට උපමාවක් ලෙසින් ජලය ගනු ලබන්නේ. ජලයට පාටක් නැහැ, හැඩයක් නැහැ, එයයි නිදහසේ ස්වභාවය. නිදහසේ වර්ණය කියා දෙයක් තිබෙන්න බැහැ. වර්ණයක් කියා කියන්නේ එක්තරා ආකාරයකින් අල්ලා ගැනීමක්. එසේ අල්ලා ගත්විටයි පාටක් පෙනෙන්නේ, වර්ණ පෙනෙන ආකාරය ගැන ඉගෙන ගෙන තිබෙන්නේ ඒ ආකාරයෙන්නේ. “මම මෙසේයි (මගේ පාට මේකයි) කියා සිතුවොත් පමණයි පාටක් පෙනෙන්නේ. රතු වද මලක් “මම රතුයි” කියා වර්ණ අල්ලා ගත්විටයි, ඒ මල රතු පාටට පෙනෙන්නේ. මෙතෙන්දි කොටසක් අල්ලා ගන්නවා, තව කොටසක් ප්‍රතික්ෂේප කරනවා. ‘මෙන්න මම’ කියා අල්ලාගත් විටයි අනිත් අයට පෙනෙන්නේ. සියල්ල අල්ලාගත් විට කළු පාටටයි පෙනෙන්නේ. මේ කිසිවක් මම නොවේ කියා කිසිවක් අල්ලා නොගත් විට පෙනෙන්නේ සුදු පාටටයි. මෙයයි වර්ණාවලිය පිළිබඳව විද්‍යාව කියන කතන්දරය. වර්ණයක් තිබෙන්නේ අල්ලා ගැනීම නිසයි. ජලයට වර්ණයක් නැහැ කියන්නේ නිදහස් ස්වභාවයක්. නිදහස භෞතික නැහැ එය ආධ්‍යාත්මිකයි, නමුත් උපමාවකින් කියන්න අවශ්‍ය වූ විට ජලයයි භෞතික ලෝකයේ නිදහසට දෙන්න පුළුවන් හොඳම උපමාව. ‘මම’ කියා වර්ණයකුත්, හැඩයකුත් ජලයට නැහැ. එසේ කිසියම් හැඩයක් තිබුණානම් කෝප්පයකට, හෝ බෝතලයකට දාන්න බැහැ. ජලයට හැඩයක් තිබුණා නම් ජලය බොන්නත් බැහැ, කන්නයි වෙන්නේ. ‘මම’ කියා කියන්න, පෙන්නන්න යමක් නැත්නම් එතැන පාටකුයි හැඩයකුයි නැහැ, පාටක් හා හැඩයක් තිබෙනවා නම් එතැන නිදහසකුත් නැහැ. පාටක් තිබෙන නිසා නොවේ නිදහසක් නැත්තේ. නිදහසක් නැති නිසයි “මෙන්න මම” කියා පාටක් අල්ලාගන්නේ, එවිටයි හිරවෙන්නේ. ජලය එසේ නොවන නිසයි (‘මෙන්න මම’ කියා පාටක් හැඩයක් අල්ලා නොගන්නා නිසා) නිදහසේ ගලාගෙන යන්නේ.
මම වෙනම කෙනෙක්
අපට එසේ (ජලය මෙන් නිදහසේ) ඉන්න නොහැකි ඇයි? එසේ ඉන්නට තිබෙනවා නම් මොනතරම් හොඳද? හොඳටම හොඳ නැති වුවත් එසේ ඉන්න තිබෙනවා නම්, මානසිකව හැඩයකුත් වර්ණයකුත් නැතිව කොතරම් හොඳද? කායිකව නම් මනුෂ්‍ය ලෝකයේ හැඩයක් සහ වර්ණයක් තිබෙනවා (එසේ නැති ලෝකත් ඇති, අරූපි ලෝක වැනි). නමුත් ගැටලුව එය නොවේ, ගැටලුව මනසේ ඇති හැඩය සහ පාටයි. ‘මම’ කියන හැඟීමේ බලපෑම කයට තිබෙන නමුත් එය කායික හැඟීමක් නොවේ, එම බලපෑමෙන් ‘කය’ නිදහස් වෙලා නැහැ. නමුත් මෙය කායික ප්‍රශ්නයක් නොවෙයි. ‘මම’ කියන එකේ අතුරුඵලයක් ලෙසිනුයි ‘කය’ හැඩගැසී තිබෙන්නේ. මේ නිසා වෙන් වුණු ස්වභාවයක්, ඉන්ද්‍රිය ලෙසින් වෙන් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා. කණ, කණ විදිහට තිබෙන්නේ ඒ නිසායි. ඇස, ඇස විදිහට තිබෙන්නේ ඒ නිසායි. ඇස, කණ වෙන්නෙත්, කණ, ඇස වෙන්නෙත් නැහැ, වෙන්නත් බැහැ. මන්ද මේ සෑම සෛලයකම තිබෙනවා ‘මම වෙනම කෙනෙක්’ කියන හැඟීම. ඒ නිසයි එයා බිත්තියක් හදාගෙන වෙනම කෙනෙකු ලෙසින් ඉන්නේ. බිත්තියක් හදාගෙන, වැටක් හදාගෙන, තාප්පයක් බැඳගෙන වෙන් වෙලා ඉන්නේ, වෙනම පිරිසක් කියා පෙන්වන්නයි. සෛලය තුළත් ඒ ගතිය තිබෙනවා. වෙනම හැඩයක් තිබෙනවා. නමුත් මෙය කායික ප්‍රශ්නයක් නොවෙයි. මේ කායිකව තිබෙන සෛල බිත්තිය අයින් කළා කියා කෙනෙකුට සොයන නිදහස ලැබෙන්නේ නැහැ. නමුත් අර මානසික බලපෑම කොතරම් දුරට තිබෙනවාද කියා භෞතික කය දෙස බැලුවිට පෙනෙන්න තිබෙනවා. මේ කය මමත්වයෙන් හැදුන කයක්. එම නිසා එයාගේ මූලිකම ලක්ෂණය වන ‘මම වෙනස් කෙනෙකු’ කියන trade mark එක මේ කයේ තිබෙනවා. “මගේ හැඩය මෙන්න, මගේ පාට මෙන්න” කියා ප්‍රධාන ඉන්ද්‍රියෙන් පටන්ගෙන අන්තිම සෛලය දක්වාම තිබෙනවා.
එසේ තිබුණත්, මමත්වය හැදු කෙනා පෙනෙන්නේ නැහැ. “මම වෙනම කෙනෙකු, මට වෙනම පාටක් තිබෙනවා, මට වෙනම හැඩයක් තිබෙනවා, එයා වගේ නෙවෙයි මම” මෙසේ මෙම සංකල්පය, නියමය හැදුවේ කවුද, එයා පෙනෙන්න නැහැ. එයා නොවේ පෙනෙන්නේ එම නියමයට අනුව සිදුවන ගාලගෝට්ටි ටිකයි පෙනෙන්නේ. ඒ නියමය ක්‍රියාත්මක කිරීමෙන් ඇතිවන ගැටුම් ටිකයි පෙනෙන්නේ. සිත් කළකිරීම්, බලාපොරොත්තු බිඳවැටීම් තමයි පෙනෙන්න තිබෙන්නේ. නමුත් මේ නියමය හැදුවේ කවුද කියා පෙනෙන්නේ නැහැ. සෛලයක් අරගෙන අන්වික්ෂයකට දමා බැලුවත් සෛලයේ තිබෙන ටික පෙනෙනවා මිසක් මෙම සෛලය ඇතුළට ‘මම’ කියන හැඟීම දමා, “ඔයා නොවේ මම, ඔයා පිට කෙනෙක්, ඔයා ආගන්තුක දේහයක් (foreign body), මා අභ්‍යන්තර දේහයක්” කියන මේ කතන්දරය එයාට කියා දී තිබෙන්නේ කවුද කියා සොයාගන්න බැහැ? සෛලයෙන් සෛලයට පතුරු ගැසුවත් ඒ අවබෝධය ලැබෙන්නේ නැහැ.
ප්‍රශ්නවල උල්පත
සෛලවලට, කයට වඩා මෙම ස්වභාවය හොඳින් පෙනෙන සිත ගැනයි මෙහිදී සැලකිලිමත් වන්නේ. සිත නොවේ මෙය හදාගෙන තිබෙන්නේ, නමුත් සිත හරහායි මෙම ධර්මතාවය ක්‍රියාත්මක වන්නේ. හැඩයක් සහ පාටක් ගන්න ස්වභාවය, ‘මම වෙනම කෙනෙකු,’ ‘මෙන්න මම’, ‘ඒ මම නොවේ’ කියන මෙම චින්තනය, මෙම අදහස, මෙම විශ්වාසය මොනතරම් දුරට කිඳා බැස තිබෙනවාද බලන්න. ‘මම’ කියන හැඟීම ම නොවේ, එය වෙනම කාරණයක්, ‘මම වෙනස් කෙනෙකු’, ‘මගේ අනන්‍යතාවය මෙන්න’, ‘මගේ හැටි මෙන්න,’ ‘මම වගේ කෙනෙකු තව කොහෙවත් නැහැ’ මේ ස්වභාවය හැම සිතුවිල්ලකම තිබෙනවා, නැති සිතුවිල්ලක් සොයාගන්න පුළුවන්ද බලන්න. හැඩයක් සහ පාටක් නැති, අනන්‍යතාවයක් නැති සිතුවිල්ලක් සොයාගන්න පුළුවන්ද බලන්න. මගේ කියන හැඟීම පැත්තකින් තියමු. එය නැති අවස්ථා තිබෙනවානේ. “මෙන්න අදහස, ඔය අදහස නොවේ මේ අදහස, ඔහොම නෙමෙයි මෙහෙමයි සිතන්න අවශ්‍ය. මේ අදහස පිළිගන්න. මෙසේ කරන්න, එසේ කළේ නැතිනම් අපේ හිතවත්කම ඉවරයි”. මේ ආකාරයට ප්‍රබලව ඇයි සිතුවිලි (අදහස්) හැසිරෙන්නේ? මේ ආකාරයෙන් බැලුවාම සිතුවිලි අදහස් ඉතාම ප්‍රබල ආකාරයට ක්‍රියාත්මක වෙනවා.
සිතුවිල්ලක් කියන්නේ හරිම පුංචි දෙයක්, ගණන් ගන්න දෙයකුත් නොවේ. ගණන් ගන්න දෙයක් නැති වුවත් සිතුවිල්ල ඇතුළේ තිබෙන මමත්වය හරිම බලවත්. පරමාණුක ශක්තියක් මෙන් බලවත්. පරමාණුවක් යනු ගණන් ගතයුතු දෙයක් නොවෙයි. පරමාණුවක බරත්, ප්‍රමාණයත් නොසලකා හැරිය හැකි තරම් කුඩායි. පරමාණුව, පරමාණුවක් ලෙසින් තිබෙනවිට හරීම අහිංසක, නොසලකා හැරිය හැකි බරක් හා ප්‍රමාණයක් ඇති දෙයක් වුවත්, පුපුරවා ඇතුළේ තිබෙන ශක්තිය එළියට නිදහස් කළාම, එහි ඇති ශක්තිය, කරන්න පුළුවන් විනාශය හරිම ප්‍රබලයි, මොනතරම් විනාශයක් වෙයිද සිතා ගන්නවත් බැහැ. සිතුවිලි ගැනත් එසේමයි. සිතුවිලි ඇවිල්ලා යනවා, ඇවිල්ලා යනවා නමුත් ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් සිතුවිලි පුපුරලා ගියාමයි ප්‍රශ්නය පටන් ගන්නේ.
විදුලි කෙටීමක් සිදුවන්නේ වලාකුළු එකට ඝට්ටනයක් (ගැටුමක්) වූ විටයි. එසේම සිතුවිලි පුපුරලා යන්නේ සිතුවිලි දෙකක් එකට ගැටුනාමයි (හැප්පුණාමයි). නොගැටෙන අවස්ථාවලදි වලාකුළුත් හරි අහිංසකයි. ඕනෑ ම කෙනෙකුට සිතෙනවා වලාකුළක් වගේ ඔහේ පාවෙලා යන්න. කාටවත් බරක් නැහැ, කිසිම ප්‍රශ්නයකුත් නැහැ. නමුත් ප්‍රතිවිරුද්ධ අයනික ශක්තියක් තිබෙන වලාකුළක් සමඟ ගැටුනවිටයි විදුලි කොටන්න (හෙණ ගහන්න) පටන් ගන්නේ. සිතුවිලිත් එසේමයි. ඒකාකාර සිතුවිලි ඔහේ ඇවිත් යනවා, හරි අහිංසකයි වගේ පෙනෙන්නේ. නමුත් සිතුවිලි දෙකක් එකට හැප්පුණාමයි පිපිරීම සිදුවන්නේ. එසේ වන්නේ සිතුවිලි දෙකක් අතරත් වෙනස් මමත්වයන් තිබෙන නිසයි. ශරීරයේ සෛලත් “ඔයා නොවෙයි මම, මම වෙන කෙනෙක්, ඔයා වෙන කෙනෙක්” කියා සිතමින් සෛල බිත්තියක් බැඳගෙන සිටින්නාක් මෙන්, සිතුවිලිත් “ඒ සිතුවිල්ල නොවේ මම, මම වෙනම සිතුවිල්ලක්” කියා සිතනවා.
මෙයයි මමත්වයේ සියුම් ම තැන. එහි රළුතැන් තිබෙනවා. “මේ ගෙදර මගේ, ඇඳුම, කාර් එක, රස්සාව, රට, ජාතිය, ආගම මගේ” ආදී වශයෙන් සිතන මමත්වයේ රළු තත්වයක් තිබෙනවා. ඒ මමත්වය කාටත් පෙනෙනවා. එයටයි නීති දමා තිබෙන්නේ. රටක නීති ඇත්තේ ඒ මමත්වය පාලනය කිරීමටයි. නමුත් මමත්වයේ සියුම් ම තැන සැලකුවිට, මමත්වයන් තිබෙනවා සෑම සිතුවිල්ලක් තුළම. එසේ “සෑම සිතුවිල්ලක් තුළම මමත්වය තිබෙනවා” කියන්නේ සෑම සිතුවිල්ලක් ම මමත්වයෙන් ඇතිවෙනවා බව නොවේ. “මමත්වය නමැති උල්පතිනුයි සියළුම සිතුවිලි ගලාගෙන යන්නේ” කියන කථාව නොවේ මේ කියන්නේ. එක් එක් සිතුවිල්ල, වෙනස් වෙනස් පුද්ගලයන් මෙන් පෙනී සිටිනවා, සිතනවා සහ ක්‍රියා කරනවා. ගණන් නොගත්තත්, අවධානය යොමු නොකළත් මෙය ඉතාම බරපතල කාරණයක්. මෙතනයි ප්‍රශ්නවල උල්පත. ඕනෑම ප්‍රශ්නයක මුල මෙතනයි. සංසාර ප්‍රශ්නේ මුලත් මෙතනයි.
කෙනෙකු සිතන්න පුළුවන්, බලාපොරොත්තු වන්න පුළුවන් “සියළුම සිතුවිලි මගේ, මගේ සිතේ ඇතිවන්නේ, එසේනම් ඇයි ඒ අය ‘මම’, ‘මම’ කියා වෙන් කරගන්නේ, එහෙම අවශ්‍ය නැහැ” කියා. ඇත්තට ම නම් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති වුවත් සිදුවන්නේ එයයි. බලන්න ඒ සිදුවීම තුළ ම බිඳවැටෙනවා, “ඒ සිතුවිලි මගේ” කියන අදහස. එක් එක් සිතුවිල්ලට වෙන වෙනම (අනන්‍ය) වූ, ‘මමෙක්’ ඉන්නවා නම්, වෙනස් වෙනස් ‘මමවල්’ ඉන්නවා නම් (එය එසේ නම්), අප කෙසේද කියන්නේ “මේ සියළුම සිතුවිලි මගේ” කියා !
මමෙක් ඇති නැති තැන
මේ කාරණය හොඳින් තේරුම් ගන්න. කාටහරි අයිතියක් කියන්න පුළුවන් වන්නේ මොනම දෙයක් හරි ඒ දේ ඇතුළේ මමෙක් නැත්නම් පමණයි. විදුලි පන්දමක් මගේ කියා කියන්න පුළුවන් වන්නේ විදුලි පන්දම ඇතුළේ ‘මමෙක්’ නැති නිසයි. නමුත් “එය මගේ” යැයි කියන කෙනාට ‘මමෙක්’ ඉන්න නිසා කියනවා “එය මගේ” කියා. නමුත් විදුලි පන්දමේ ‘මමෙක්’ ඉන්නවා නම් එයා කියයි “නෑ මම ඔයාගේ නොවෙයි. මම මගේ” කියා. මේ කාරණය හොඳින් පැහැදිලි කරගන්න. ‘මමෙක්’ නැති නිසායි අපට දේවල් වලට ‘මගේ’ කියා කියන්න පුළුවන් වන්නේ. මේ කොට්ටයක් ඇතුළේ ‘මමෙක්’ නැහැ. ඒ නිසා ‘මගේ කොට්ටේ’ කියා කියන්න පුළුවන්. කොට්ටය මොනවත් කියන්නේ නැහැ. “හා” කියන්නෙත් නැහැ “නෑ” කියන්නෙත් නැහැ, ඔහේ ඉන්නවා. “ඔව්, මම ඔයාගේ” කියන්නේ හෝ “නෑ, මම ඔයාගේ නොවේ” කියා කියන්නේ, ඒ දේ ඇතුළේ ‘මමෙක්’ ඉන්නවා නම් පමණයි.
භෞතික ලෝකයේ කිසිතැනක පෙනෙන්න නැහැ ‘මමෙක්’, එසේ කියන්නෙත් නැහැ. ශරීරයේ සෛල අනිත් සෛලත් එක්ක එහෙම ප්‍රශ්නයක් හදා ගත්තත් සාමාන්‍යයෙන් කොහේවත් එහෙම දෙයක් නැහැ. එම නිසා අපට යමක් මගේ කියන්න පුළුවන් වගේම තවත් කෙනෙකුටත් එයාගේ කියන්න පුළුවන්. කෝප්පයක් ගනිමු. කෙනෙකුට කියන්න පුළුවන් “මගේ” කියා. තවත් කෙනෙකුට කියන්න පුළුවන් “නෑ ඔයාගේ නෙමෙයි මගේ” කියා. නමුත් කෝප්පය කියන්නේ නැහැ, තමන් කාගෙද කියා. එයාගෙ ද මෙයාගෙ ද, ඒ දෙන්නාගෙම නොවේ, මම අහවල් කෙනාගේ (තුන්වන කෙනෙකුගේ) කියා හෝ, “නැහැ මම මගේමයි” කියා කෝප්පය කියන්න එන්නේ නැහැ, කෝප්පය දන්නෙත් නැහැ, කෝප්පය ඇතුළේ මමත්වයක් නැති නිසා. නමුත් එයට පිටින් ඉන්න දෙන්නෙකුට ඒගැන රණ්ඩුවෙන්න පුළුවන්. “මේ කෝප්පය මගේ, මේ කෝප්පය සේදුවේ මම,” කියා. එවිට අනිත් කෙනා කියන්න පුළුවන් “මේ කෝප්පය ගෙනාවේ මම” කියා. තව කෙනෙකු කියන්න පුළුවන් “මේ කෝප්පය තෝරා ගත්තේ මම” කියා. ඊළඟ කෙනා කියන්න පුළුවන් “ හැදුවෙ මම” කියා.
කතන්දරයකුත් තියෙන්නේ, රෑ බෝවීම නිසා ආපසු එන්න බැරිව කැලයේම නතර වුණු හතර දෙනෙකු ගැන. ඉතින් මේ හතර දෙනා එදා රෑ කැලයේ නිදාගන්න තීරණය කළා. එහිදී තුන්දෙනෙකු නිදාගැනීමටත් එක් අයෙකු අවදිව සිටිමටත්, පසුව තව අයෙකු අවදිව සිට අවදිව සිටි කෙනා නිදාගැනීමටත් තීරණය කළා. මේ ආකාරයෙන් මුලින්ම තුන්දෙනෙකු නිදා ගත්විට එක් අයෙකු අවදිව සිටියා. අවදිව සිටි කෙනා වඩුවෙක් නිසා ඒ අසල ලී කොටයක් තිබෙනවා දැක ඔහු එයින් ලී රුවක් නිර්මාණය කළා. එයා නිදාගත් විට අවදිව සිටියේ රෙදි වියන්නෙක්. ඉතින් ඔහු ඔහුගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන අර නිර්මාණය කර තිබු ලී රුවට ඇඳුම් නිර්මාණය කර ඇන්දුවා. එයා ඊළඟ කෙනාව අවදිකර නින්දා ගත්තා. දැන් අවදිව සිටින්නේ රන් කරුවෙක්. එයා මේ ලී රුව දැක මෙය කලින් දෙන්නාගේ හැකියාවක් වෙන්න ඇති කියා සිතා ඔහුගේ හැකියාවෙන් රන් ආභරණ නිර්මාණය කිරීමට තීරණය කළා. ලස්සන ඇඳුම්වලින් සැරසී සිටින මේ රූමත් ලී රුවට රන් ආභරණ පළඳවා, ඊළඟ කෙනාත් අවදිකර ඔහුත් නින්දට වැටුණා. හතරවෙනියට අවදි වූ කෙනා කළින් අයගේ හැකියාවන් තේරුම්ගෙන, තමන්ගේ හැකියාවෙන් මේ ලී රුවට, පණ දෙන්න තීරණය කළා. ඔහු ඒ රන් අභරණවලින් හා ලස්සන ඇඳුමින් සැරසී සිටින කාන්තා රුවට මන්තර කියමින් පණ දුන්නා. මේ ආකාරයෙන් රාත්‍රිය ගෙවී එළිය වැටුණා. හතර දෙනා ම අවදියෙන්, දැන් තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. මේ කාන්තා රුවට අයිතිය කියන්න එක එක හේතු එක එක්කෙනා කියන්න පටන් ගත්තා. එක් කෙනෙක් කීවා “මමයි පණ දුන්නේ එම නිසා මටයි අයිති” කියා. මේ ආකාරයෙන් සියළුම දෙනා තමන්ගේ අයිතියට හේතු කීවා. අප මෙතැනින් මේ කථාව නවත්වමු, එය අයිතිකරගත් ආකාරය සෙවීමකින් තොරව.
මේ ආකාරයෙන් මේ ලෝකයේ තිබෙන ඕනෑම දෙයකට “මගේ” කියා කියන්න හේතු තිබෙනවා. අයිතියකුත් තිබෙනවා. “හැදුවේ මම”, “කන්න දුන්නේ මම” ආදී වශයෙන් කොහෙන් හරි ගෑවිච්ච සත්‍යය හේතුත් තිබෙනවා.වැලි කැටයක් ගානේ මේ කතාව කියන්න පුළුවන්. නමුත් වැලි කැටය මේ කථාවට එකතු වන්නේ නැහැ. වැලි කැටය, වැලි කැටය විදිහට ඉන්නවා, මන්ද වැලි කැටයට ‘මමෙකු’ නැති නිසා. නමුත් සිතුවිලි ඇතුළේ ‘මමෙක්’ ඉන්නවා. වැලි කැට ඇතුළේ නැති වූවාට, අඟහරු ලෝකයේ නැති වූවාට, මේ මන්දාකිණියේ නැති වූවාට, පෙනෙන්නේත් නැති, බරකුත් කියන්න බැරි, සිතුවිලි ඇතුළේ ‘මමෙකු’ ඉන්නවා.
“මගේ” ගෘහය
‘මම’ ඉන්නේ කොහෙද? ඒ ඉන්න තැනයි සිතුවිල්ල තිබෙන්නේ. වෙන කොහේවත් ‘මම’ ඉන්නේ නැහැ, ඉන්න බැහැ. සිතුවිල්ලක් ඇතුළේ හැර වෙන කිසිම තැනක මමත්වයට පැවැත්මක් නැහැ. මම උපදින්නෙත් සිතුවිල්ලක් ඇතුළේ, මම ජීවත් වෙන්නෙත් සිතුවිල්ලක් ඇතුළේ, මම අතුරුදහන් වන්නෙත් සිතුවිල්ලක් ඇතුළේ. සිතුවිලි උපදින්නේ සිතේ, සිතුවිලි පවතින්නේ සිතේ, සිතුවිලි අතුරුදහන් වන්නෙත් සිතේ, වෙන කොහේවත් නොවේ. සිතක සිතුවිල්ලක් පහළ වෙලා වෙන තැනකදි අතුරුදහන් වන්නේ නැහැ, ඇති වුණු සිතේම තමයි අතුරුදහන් වන්නේ. සිතුවිලි ඇති වන්නේ සිතත් සමග, සිතුවිලි පවතින්නේ සිතත් සමග, සිතුවිලි නැතිවන්නේත්, අතුරුදහන් වන්නේත් සිතත් එක්ක. ඊටත් එහා ගිහිල්ලා මමත්වය ඇති වන්නේ සිතුවිල්ලක් ඇතුළේ. මමත්වය පවතින්නේ සිතුවිල්ලක් ඇතුළේ, මමත්වය අතුරුදහන් වන්නේ සිතුවිල්ලක් එක්කමයි. මමත්වයට සිතුවිලි නැතිව පවතින්න බැහැ. සිතුවිල්ලක් නැති අවස්ථාවක් කොහේ හරි තිබුණා කියා සිතන්න. හොඳින් බලන්න එහි මමත්වයක් තිබෙනවාද කියා. ‘මම’ කියන හැඟීම දැනෙනවාද? තියෙනවාද? ‘මම’ ඉන්නවා කියන හැඟීමත් නැහැ. ‘මම’ නැහැ කියන හැඟීමත් නැහැ. මෙයයි ඇත්ත. අත්දකින්න පුළුවන් ඇත්තක්. සිතුවිල්ලක් නැති අවස්ථාවක “මම ඉන්නවා” හෝ “මම නැහැ” කියන මේ දෙකම දැනෙන්නේ නැහැ. “ඉන්නවා” කියා දැනෙන්නෙත් නැහැ, “නෑ” කියා දැනෙන්නෙත් නැහැ. ‘මම’ විතරක් නොවේ, සිතුවිල්ලක් නැති වෙලාවට ‘මම’ මුල්වෙලා ඇති වෙන, ඇති කරගන්නා ද්විතියික ‘කෙලෙස්’ හෝ ‘හැඟීම්’ තිබෙනවානේ ආශාව, ඊර්ෂ්‍යාව වැනි මේවාත් නැහැ. සිතුවිල්ලක් නැති වෙලාවක හැඟීමක් තියෙන්න බැහැ. සිතුවිල්ලකින් තොරව තරහක් තියෙන්න බැහැ. තරහට මේ අවකාශයේ වෙන කොහේවත් ඉන්න බැහැ සිතුවිල්ලකින් තොරව. තරහාට ඉන්න පුළුවන් වෙන්නේ සිතුවිල්ලක් ඇතුළේ. ඊර්ෂ්‍යාවට ඉන්න පුළුවන් වන්නෙත් සිතුවිල්ලක් ඇතුළේ. අනිත් සියළුම කෙලෙස්වලටත්, මේ හැම කෙනෙකුටමත් වාසස්තානය වන්නේ සිතුවිලි. ගෙදර, ගෘහය වන්නේ සිතුවිලි.
ගෘහය තුළ ගෘහය
එසේනම් සිතක් නැතිව සිතුවිලි පවතින්නේ නැහැ. සිතකින් තොරව සිතුවිලි නැහැ. සිතයි සිතුවිලිවලට ගෙදර. එය පැහැදිලි ඇතිනේ. සිතුවිලි මේ කොහේවත් නැහැ. මේ අවකාශයේ කොහේවත් සිතුවිලි නැහැ. මේ ශාලාව අතුළේ, සිතුවිලි නැහැ. සිතුවිල්ලක නිවහන වන්නේ සිතයි. එසේම මමත්වයේ නිවහන සිතුවිල්ලයි. එසේම කෙළෙස්වල නිවහන වන්නේ මමත්වයයි. නමුත් සිත පෙනෙන්නෙත් නැහැ, සිතිවිලි පෙනෙන්නෙත් නැහැ. සිතුවිලි ඇතුළේ තිබෙන මමත්වය පෙනෙන්නෙත් නැහැ. සිතුවිලි හරි පුංචියි. අපට පරමාණු පෙනෙන්නෙත් නැහැ, සිතුවිලි පෙනෙන්නෙත් නැහැ. ඒ ඇතුළේ තිබෙන මමත්වය කෙසේවත් පෙනෙන්නේ නැහැ. ඉතින් බලන්න මේ ආකාරයෙන් ගෙයක් ඇතුළේ ගෙයක්, ගෙයක් ඇතුළේ ගෙයක් ආකාරයෙනුයි තිබෙන්නේ. සෛලයක් ඇතුළේ තව සෛලයක්, ඒ සෛලය ඇතුළේ තව සෛලයක්. පරමාණුව ඇතුළේ තව පරමාණුවක්, ඒක ඇතුළේ තව පරමාණුවක්.
සිතක් ඇතුළේ සිතුවිල්ලක්, සිතුවිල්ලක් ඇතුළේ මමත්වයක්, මමත්වය ඇතුළේ හැඟීම්. හැඟීම් ඇතුළේ අපගේ විඳීම්. අප විඳින සතුට, අසතුට වැනි කිසිම විඳීමක් අපට විඳින්න බැහැ හැඟීමකින් තොරව. සතුට විඳින්නත් බැහැ, අසතුට විඳින්නත් බැහැ හැඟීමකින් තොරව. මේ විඳීම් එන්න නම් හැඟීම් තිබෙන්න අවශ්‍යයයි. සතුට, අසතුට පවතින්නේ හැඟීම් ඇතුළේ, හැඟීම කියන නිවහන, ගුහාව ඇතුළේ. තරහා, රාගය වැනි මොන හැඟීම හරි පත්වෙනවා වාසය කරන්නෙකු බවට. මෙන්න මේ පෙරළීමේදී එක වෙලාවක ගෙයක්, ඊළඟ අවස්ථාවේ එයා ගෙයක් ඇතුළේ ඉන්න කෙනෙකු. එක වේලාවක සිතුවිල්ල වාසය කරන කෙනෙකු සිත නැමැති ගෙය ඇතුළේ. තව අවස්ථාවක සිතුවිල්ල ගෙයක් බවට පත්වෙනවා මමත්වයේ. සිතුවිල්ල ගෙයක්, මමත්වයයි එහි ජිවත් වන්නේ. හැඟීම් පැමිණිවිට මමත්වය ගෘහය බවට පත්වෙලා හැඟීම් ගෘහයේ වාසය කරන්නන් බවට පත්වෙනවා. විඳීම් පැමිණිවිට හැඟීම් ගෘහය බවට පත්ව අප විඳින විඳීම් ගෘහයේ වාසය කරන්නන් බවට පත්වෙනවා. මෙහි ඇත්ත කුමක්ද?
මේ ටික බලමු, එතැනින් එහාටත්, මෙතැනින් මුලටත් නොගොස්. මේ ටික ගත්තත් මෙහි ඇත්තක් සොයන්න බැහැ. මෙහි රැවටීමක් තිබෙන්නේ. මෙය රවටනවා magic එකක් වගේ, මනුෂ්‍යයෙකුට එහෙම වුණොත් අප බයවෙනවා. මනුෂ්‍යයෙකු ගෙයක් වුණොත් අප බය වෙනවා. එක වෙලාවකට එයා ගෙයක් බව පෙන්වනවා. තවත් වෙලාවක එයාම පෙන්වනවා “ මමයි මේ ගෙදර ඉන්නේ” කියා, වාසය කරන්නෙකු බව. මේ ආකාරයෙන් ඉතාම සියුම් මට්ටමකට යනවා, ඉවරයක් නැහැ. ඒ පැත්තෙන් ඉවරයකුත් නැහැ, අර පැත්තෙන් ඉවරයකුත් නැහැ. සිතට සිතන්න පුළුවන් සිතුවිලි මගේ කියා. “මේ සිතුවිලි මාගේ, මා නිසා උපන් අය” කියා සිතට, සිතුවිලි පිළිබඳව සිතන්න අයිතියක් තිබෙනවා. සිතුවිලි වලට අයිතියක් තිබෙනවා “ මමත්වය, මා තුළින් උපන්න කෙනෙක්, එම නිසා එයා මගේ.” මමත්වයට සිතන්න අයිතියක් තිබෙනවා හැඟීම් ගැන “ මගේ තරහා, මගේ ආදරය” ආදී වශයෙන්. එසේම ‘තරහා’ ‘ආදරය’ වැනි හැඟීම්වලට අයිතියක් තිබෙනවා, “මගේ දුක” කියා, විඳීම් ගැන සිතන්න. මේ ආකාරයෙන් බැලුවාම එහෙම සිතන්න අයිතියක් තිබෙනවා. එසේනම් අප කවුද, මේ සියල්ල ම අපේ කියන අප කවුද?
‘මගේ’ නොවේ
ඒ දාමයේ එක එක්කෙනා, එක එක්කෙනාට මගේ, මගේ කියා ගන්නවා. ගෙයක් ඇතුළේ ගෙයක්, ගෙයක් ඇතුළේ මනුෂ්‍යයෙකු, ඒ මනුෂ්‍යා නැවත ගෙයක් මේ ආකාරයෙන් යන දාමයෙත් එකිනෙකා මගේ, මගේ යැයි කියා ගන්නා අතර මේ සියල්ලටම අප කියනවා අපේ කියා, මගේ කියා. මෙහි ඇති ඇත්ත කුමක්ද? මෙම ගැටළුව ලිහා ගැනීමට පුළුවන්ද? මේ ආකාරයෙන් කොහෙන් බැලුවත් ඒ ගැටළුව සොයන්න බැහැ, ඒ විදිහට. “මගේ නොවේ” කියා බේරෙන්න පුළුවන්, ඇඟ බේරා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය නම් “අනේ අප නම් ඕවාට නෑ” කියා කීම. එයයි සාමාන්‍ය ජීවිතයේ ඇඟ බේරා ගැනීමට කියන කතාව. “අප නම් නෑ, මම නම් නෑ, මම නම් ඕවාට ගෑවෙන්නේ නෑ, මට ඇතිවෙලා තියෙන්නේ, මම නම් ඕවාට මැදිහත් වෙන්නේ නැහැ” ආදී වශයෙන් කීම, ඇඟ බේරා ගැනීමට තිබෙන හොඳම ක්‍රමයක්. “මම නෑ, මම ඕවාට නෑ” කියා කීවාම එතැන ඇත්තටම බේරීමක් තිබෙනවා. “මම ඕවාට ඉන්නවා” කියනවාට වැඩිය “මම ඕවාට නෑ” කියා කීම තුළ තිබෙනවා කිසියම් ගැලවීමක්. ඒ නිසායි දහමේ කියන්නේ එසේ සිතන්න, එසේ මෙනෙහි කරන්න කියා. “මම නම් ඕවාට නැහැ, ඕවා මගේ නොවේ, ඕවාට මම ගෑවෙන්න කැමති නෑ, මම මැදිහත් වෙන්න කැමති නැහැ.” එසේ නැවත නැවත මෙනෙහි කරන්න කියා කියනවානේ විපස්සනාවේදි. විපස්සනාවේදි වැදගත් අංශයක්නේ ඒ ආකාරයෙන් සිනීම, අනත්ත ලක්ෂණය. එම නිසා එසේ බලන්න, එවිට පේනවා ඕනෑම දෙයකින් අපට ඒ වෙලාවට හෝ ගැලවෙන්න පුළුන් බව. “මම නෑ” කිව්වොත් මම නැහැ, “මම ඉන්නවා” කිව්වොත් මම ඉන්නවා. “මම ඕවාට ඉන්නවා” (මගේ) කිව්වොත් මට ඒවාට වග කියන්න, උත්තර දෙන්න වෙනවා. නමුත් “මම ඕවාට නෑ” (මගේ නොවේ) කියා කිව්වොත් ආයේ උත්තර දෙන්න අවශ්‍ය නැහැ.
මෙහි ඇති අවාසනාව නම්, මෙපමණකින් හරි මේ ප්‍රශ්නය බේරා ගැනීමට අවස්ථාව තියෙද්දි හැම දෙයකටම “මම ඉන්නවා, මම ඉන්න ඕනේ (මගේ)” කියා සිතීමයි. බලන්න ඒ සිතීමට (“මම ඕවාට නෑ” කියනවා වෙනුවට “මම ඕවාට ඉන්නවා” කියා සිතීමට) මොනතරම් ඇබ්බැහි වී (මත්ද්‍රව්‍යයකට වැඩිය ඇබ්බැහි වී) තිබේද කියා. “මම ඉන්නවා, මගේ තමයි” කියා සිතීමට ඇබ්බැහි වී තිබෙන නිසයි දහම කියන්නේ, ආයාසයෙන්, උත්සාහයෙන්, නැවත නැවත සිතන්න “ඕවාට මම නෑ” කියා. ලෝකයේ තිබෙන, සිදුවන දේවලටත් “මම නෑ” කියා සිතන්න. ශරීරය ගැනත්, සිත, සිතුවිලි, හැඟීම් ගැනත් එසේම සිතන්න. එසේ සිතූවිට තාවකාලිකව කෙනෙකුට ඈත් වෙන්න පුළුවනි. (කෙනෙකුට පුළුවන් නම් ලෝකයේ සිදුවන හා තිබෙන දේවලටත්, තමන්ගේ ශරීරයේ සිදුවන හා තිබෙන දෙයටත් සිත, සිතුවිලි, හැඟීම් වැනි අභ්‍යන්තරික දේ කෙරෙහිත් “මම, මගේ නොවේ” කියා සිතන්න, තාවකාලිකව හෝ ඔහුට හැකියාවක් තිබෙනවා නිදහස අත්දකින්න.)
එසේ සිතුවත්, තාවකාලිකව නිදහස් වුවත්, නැවතත් මේ පටලැවිල්ලේ පැටලෙනවා. නමුත් මෙසේ තාවකාලික ගැලවීමත් වටිනවා. තාවකාලික වශයෙන් ගැලවෙන්න පුළුවන් නම් වැටහෙනවා අසුවී තිබෙන්නේ මොනතරම් බොරුවකටද කියන කාරණය. “මම නොවේ, මමත් නොවේ, මගේ නොවේ” කියා සිතීම කෘතිමයි. කෘතිමව හෝ මගේ නොවේ කියන චින්තනය ඇති කරගත් විට වැටහෙනවා මොන තරම් බොරුවකට ද අසුවී තිබෙන්නේ කියා. ඇත්තකට නොවේ මේ අසුවී සිටින්නේ, බොරුවකට කියන කාරණය පේන්න පටන් ගන්නවා. සත්‍යයකට නම් අසු වුවත් කමක් නැහැ. මිත්‍යාවකට, මායාවකට නම් අසුවී තිබෙන්නේ එයින් ඵලක් නැහැ.
බොරුවකට අසුවී සිටින්නේ, රැවටී සිටින්නේ කියන කාරණය දැනගැනීම, අවබෝධකර ගැනීම අනිවාර්යයෙන් ම අවශ්‍යයයි සම්පූර්ණයෙන් නිදහස් වෙන්න. ඇත්තටම තිබෙන දෙයකටයි අසුවී සිටින්නේ කියා සිතා සිටිනවිට නිදහස් වෙන්න බැහැ, එය සිත රැවටීමක්. මෙය ඇත්තක් කියා සිතුවොත්, “ඇත්තටම තිබෙන දෙයක්, නමුත් මම නොවේ, මගේ නොවේ, මට අවශ්‍ය නැහැ” කියා කියන විට සිත යටින් අවශ්‍යතාවයක් තිබෙනවා. උඩින් හොඳයි යටින් ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසායි ඔය ගෙයක් ඇතුළේ නිවැසියෙක්, නිවැසියා නිවසක්, ඒ නිවස ඇතුළේ තවත් නිවැසියෙක් කියන මේ දර්ශනය සිතින් මවාගත්තත් මෙහි ඇති අපභ්‍රංශකම වැටහෙනවා.
මගේ දෑ
‘මේ දේවල් මගේ නොවේ’ කියන තැනින් පටන්ගෙන, ‘මේ හැඟීම් මගේ නොවේ’ කියන තැනටයි එන්න අවශ්‍ය. ලෝකය මගේ නොවේ, අරය මගේ නොවේ, මෙයාත් මගේ නොවේ කියා ඈතින් පටන්ගෙන එන්න පුළුවන්, එහෙම කියන්න පුළුවන් එය හොඳම ක්‍රමයක්. “මේ ලෝකය, මම ඉපදෙන්නත් කලින් තිබුණා, මා මැරුණායින් පසුවත් තියෙයි, මේ රට, ජාතිය, ගම, නිවස මේවාත් මට කලින් තිබුණා, මට පස්සෙත් තියෙයි එසේනම් කෙසේද මගේ වන්නේ”. ඒ තර්ක මම කියන හැඟීම බුරුල් කරන්න, නිදහස් කරගන්න උදව් වෙනවා. එහෙම ඈතින් ඈතින් ඇවිල්ලා අන්තිමේට එනවා ළඟින් ළඟට. ලඟින් ම ඉන්න අය ගැනත් බලනවා ඒ ආකාරයෙන් “එයා මගේ වෙන්නේ කොහොමද, මම ද මගේ ද?” ආදී වශයෙන්. මෙසේ බලමින් පැමිණ ශරීරයටත්, සිතුවිලි වලටත් පැමිණෙන්න පුළුවන්. ඒවාත් මගේ නොවේ. මෙසේ බලමින් පැමිණ එක් තැනක නවතිනවා. මේ හැම දෙයක් ම ‘මගේ නොවේ’ කිව්වත් ‘මම’ ඉන්නවා. ඒ සියල්ල ම මගේ නොවේ කියාගෙන ආවාම ඒ දේවල්වල බලපෑමෙන් අප නිදහස් වෙනවා. ඒක ඇත්ත. කිසියම් දෙයක් මගේ කියා සිතුවොත්, ඒ දෙයට සිදුවන්නේ කුමක්ද එය මට බලපානවා (එය මගේ කියන කෙනාට). එසේ මගේ කියා කියන්නේ ගව් ගණනක් ඈතින් තිබෙන දෙයකට වන්න පුළුවන්, ළඟම තියෙන දෙයක් නොවන්න පුළුවන්. කොපමණ ඈතින් තිබුණත් ඒ දෙයට වන්නේ කුමක්ද, එය අපට බලපානවා. එම බලපෑමෙන්, ඒ දෙය මගේ කියු කෙනාට නිදහස් වෙන්න බැහැ. අනිවාර්යයෙන් ම වගකියන්න වෙනවා. මගේ නොවේ නම් වගකීමක් නැහැ. වගකීම්වලින් නිදහස් වෙවී එනවා. මගේ නොවේ නම් මොකටද වගකියන්නේ? වගකීමක් නැහැ. වගකීම අත්හළ තැනක නිදහසක් තිබෙනවා. එනම් ‘මගේ’ කියන්නේ නැති තැන, නිදහසක් තිබෙනවා. ‘මගේ’ කීම තුළ නිදහසක් නැහැ. එහෙම ඇවිත් එකක්වත් මගේ නොවේ කියන තැනකට පැමිණෙනවා. එකක්වත් කියන තැනදී හැම දෙයකින් ම තමන් නිදහස්. නමුත් ‘මම’ කියන හැඟීම, මමත්වය තිබෙනවා. ඒ නිසයි අසන්නේ, ‘ඒ කවුද?’ කියා. මේ ප්‍රශ්නයට වෙනම ආකාරයකින් අවතීර්ණ විය හැකි ක්‍රමයක් පිළිබඳවයි මේ කථා කළේ.
උදාහරණයක් අරන් බලමු. අම්මා-තාත්තා ට පුළුවන් තමන්ගේ දරුවන් පෙන්වා “මේ මගේ දරුවන්, මේ අපේ දරුවන්” කියා කියන්න. එය නිත්‍යානූකූලවත් නිවැරදියි. එය නිත්‍යානූකූලව නිවැරදි වුවත්, යථාර්ථය ඉදිරියේ ගැටළුවක් තිබෙනවා. එනම් ඒ කිසිම දරුවෙකු අම්මාට අවශ්‍ය ආකාරයට ඉන්නෙත් නැහැ, තාත්තාට අවශ්‍ය ආකාරයට ඉන්නෙත් නැහැ, එසේ ඉන්නම් කියා වැඳලා ප්‍රතිඥා දුන්නත් (“අම්මා-තාත්තා ට ඕන විදිහට මම ඉන්නවා” කියා හෘද සාක්ෂියට එකඟව සිතුවත්). ඇත්තටම එසේ සිතුවත් කිසිම දුවෙකුට හෝ පුතෙකුට බැහැ අම්මා-තාත්තා ට අවශ්‍ය ආකාරයට ඉන්න කොතරම් අවශ්‍ය වුවත් (අවශ්‍ය නැත්නම් කොහොමත් ඉන්න බැහැ). ඇයි ඒ? මේ කාරණය මහා අවලාදයක් ලෙසින් අම්මා-තාත්තා කියනවා, ‘මගේ දරුවෝ’ මෙහෙම කරයි කියා සිතුවේ නැහැ, ‘මගේ දරුවෝ’ ඇයි ‘මට’ ම රිදවන්නේ කියා.
දහමෙන් පිළිතුරක්
මෙයට දහම දෙන සරලම උත්තරය නම්, ඒ අය ‘මගේ නොවෙයි’ යන්නයි. ‘පුත්තා මත්ථි ධනංඅත්ථි ඉති බාලෝ විහඤ්ඤති’- පුතුන් ඉන්නවාය, ධනය තිබෙනවාය සිතමින් මෝඩ (බොළඳ) කෙනා පීඩාවට, වෙහෙසට පත්වන්නේය. “මට පුතුන් ඉන්නවා, මට දරුවන් ඉන්නවා, මට දේපළ තිබෙනවා” කියා සිතමින් (ඒ සිතුවිල්ල නිසා) වෙහෙසට පත්වෙනවා. තමන් වෙහෙසට පත්වෙන ආකාරයට සිතන්නේ බුද්ධිමත් අය නොවේ, බාලයන්. ‘අත්තාහි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධනං’ - තමන්ට තමනුත් නැති කල්හි මොන දරුවෝ ද මොන ධනයක් ද ! වත්කම් දේපළවල සැබෑ අයිතියක් තිබේ ද? මෙසේ දහම ප්‍රශ්නයක් අසනවා. දහමේ තිබෙන විශිෂ්ට ලක්ෂණයක් නම් පිළිතුරු දෙනවාට වැඩිය පිළිතුරකට අපව ගෙන එනවා, පිළිතුර අපට සොයාගන්න කියනවා. මන්ද, මෙයට පිළිතුරකුත් දහම ම දුන්නානම් අප කිසිදෙයක් කරන්නේ නැහැ. “මට දරුවන් ඉන්නවා, දේපළක් තිබෙනවා” කියා සිතන කෙනා පමණයි දරුවෝ කියන කරන දේ සහ දේවලට වන දේ නිසා දුකට (ව්‍යසනයට) පත්වන්නේ. තමන්ට තමනුත් නැති කල්හි මොන දරුවෝ ද මොන දේපළක් ද? - ‘පුත්තා මත්ථි ධනංඅත්ථි ඉති බාලෝ විහඤ්ඤති, අත්තාහි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධනං’. මෙසේ බොහොම පැහැදිලිව දහම කියනවා, පසුබිම සකසනවා පිළිතුරක් සොයා ගැනීම සඳහා.
එයයි ඇත්ත, මේ දර්ශනයත් එක්ක අපට හරීම සැහැල්ලු ජිවිතයක් ගත කරන්න පුළුවන්. ඕනෑම අම්මා - තාත්තා කෙනෙකුට තමන්ට කරන්න තියෙන යුතුකම් ඉටුකර, දෙන්න තියෙන අවවාද දී, පෙන්වන්න තිබෙන ආදර්ශ පෙන්වා, ආශ්‍රයට හොඳ යහළුවොත් සොයාදී, සංස්කෘතිය ශිෂ්ටාචාරය පැත්තෙත් හැදැරීමක් ලබාදී, සතුටින් ඉන්න පුළුවන්. නමුත් ඉතින් අප මොන පාරක් හැදුවත් වෙන පාරක යන්නත් පුළුවන්. ඒ දෙස කිසියම් උපේක්ෂාවකින් ඉන්නත් පුළුවන්. අම්මා-තාත්තා පමණක් නොවේ ඕනෑම කෙනෙකුට එසේ ඉන්න පුළුවන්.
නමුත් හිතවතුනි, මෙයින් සංසාර ප්‍රශ්නය නිමාවෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නය අසන්න “ඇයි මගේ දරුවන් මට අවශ්‍ය ආකාරයට ඉන්නේ නැත්තේ?” දරුවන්ගෙන් මේ ප්‍රශ්නය අසන්න යෑමෙනුයි ගැටුම් ඇති කරගන්නේ. බිරිඳගෙන්, ස්වාමියාගෙන් අසන්න යෑමෙනුයි ප්‍රශ්න ඇති කරගන්නේ. මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ ඒ අයගෙන් නොවේ, ප්‍රඥාවෙන්. “ඇයි මගේ අය මට අවශ්‍ය ආකාරයට ඉන්නේ නැත්තේ?”, ඒ හැම දරුවෙකු ඇතුළේ ම (හැම කෙනෙකු ඇතුළේ ම) ‘මමෙක්’ ඉන්න නිසා. සෑම දුවෙක් ඇතුළේ ම, සෑම පුතෙක් ඇතුළේ ම, සෑම බිරිඳක් ඇතුළේ ම, සෑම ස්වාමියෙකු ඇතුළේ ම ‘මමෙක්’ ඉන්නවා. ඉතින් එහෙම ‘මමෙක්’ ඉන්න විට, බැහැ තව ‘මමෙකුට’ අවශ්‍ය ආකාරයට ඉන්න. එහෙම බැහැ, එයයි මෙහි ඇති ධර්මතාවය. එක මමෙකුට බැහැ, බාහිර මමෙකුට අවශ්‍ය ආකාරයට පවතින්න. කැමති වුවත්, යටත් වුවත්, හා කිව්වත්, ලේ වලින් අත්සන් කර කිව්වත්, එහෙම ඉන්න බැහැ, එහෙම වෙන්නේ නැහැ. කිසිම මමත්වයකට බැහැ තව මමත්වයක හැඩයක්, පාටක් ගන්න. එය වෙන්නේ නැහැ. මමත්වය කියන්නේ ඝන දෙයක්. එයට පාටක්, හැඩයක් තිබෙනවා. ජලය වැනි දෙයක් නොවේ. එතනයි ප්‍රශ්නය තිබෙන්නේ, එතනයි හේතුව තිබෙන්නේ. එසේම හේතුව හැදෙන හැටිත් දැක්කා. සිත සිතනවා සිතුවිලි මගේ කියා, සිතුවිල්ල ඇතුළේ තිබෙනවා මමත්වය, මමත්වය ඇතුළේ තිබෙනවා හැඟීම්, හැඟීම් ඇතුළේ විඳීම් තිබෙනවා. මේ හැම එකක් ඇතුළේම ‘මම’ ඉන්නවා. එමනිසා මේ එක් අයෙකුටවත් බැහැ තව කෙනෙකුට අවශ්‍ය ආකාරයට ඉන්න. එය සිදුවන්නේ ම නැති දෙයක්. එසේ වනවා කියා සිතනවා නම් එය රැවටීමක්. එයයි මහාම රැවටීම. මේ මහා මායාවට අසුවුණු අයටයි සාංසාරික සත්ත්වයා කියන්නේ. මමත්වය ඇතුළේ මමත්වය, මමත්වය ඇතුළේ මමත්වය ආදි වශයෙන් මේ පැත්තේ ඉවරයකුත් නැහැ, ඒ පැත්තේ ඉවරයකුත් නැහැ.
මම = මාරයා
මේ ඇත්තයි මාරයා ඇවිත් බුදුරජාණන් වහන්සේට කිව්වේ. මාරයා සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ කියනවානේ. මෙතෙන්දි කිව්වේ සාමාන්‍ය ඇත්තක් නොවේ පරම සත්‍යයක්. මාරයා බුදුරජාණන් වහන්සේට කියනවා “ඔබ වහන්සේගේ ඇසත් මගේ, ඒ ඇසට පෙනෙන රූපයත් මගේ, ඇසයි රූපයයි නිසා උපදින චක්ඛු විඤ්ඤාණයත් මගෙයි. ඔබ වහන්සේගේ කනත් මගේ, කනට ඇසෙන ශබ්දත් මගේ, කන සහ ශබ්දය නිසා උපදින සෝත විඤ්ඤාණයත් මගේ.” මේ ආකාරයෙන් ඉන්ද්‍රියන් හය ගැනම දහඅට වතාවක් කීවා. “එසේනම් ඔබ වහන්සේ කොහේ ගිහින් මගෙන් බේරෙන්නද?” මෙයයි ඇත්ත, විපස්සනාවේදි කරන්නෙත් එයයි. ඇස අපේ නොවේ, ඇස මගේ නොවේ. නමුත් අප අසන්න යන්නේ නැහැ එය කාගෙද කියා, මෙයටයි මාරයා පිළිතුරු දුන්නේ “එය මාරයාගේ” කියා. මෙහිදී බුදුන්වහන්සේ දේශනා කරන්නේ, “තමන් වහන්සේ කවදා හෝ කියා තිබේ ද, ඔය දහ අටෙන් එකක් හරි ඔබේ නොවේ මගේ කියා?” මේ හැම දෙයක් ඇතුළේම ඉන්නේ මාරයා, ‘මම’ ඇතුළේ ‘බුදුවරයෙකු’ නැහැ, ඉන්නේ මාරයා.
මාරයාටයි ‘මම’ කියා කියන්නේ. මාරයා කියා කිව්වොත් ප්‍රශ්නයක් වන නිසා ‘මාරයා’ නොකියා ‘මම’ කියා හැඟීමක් දී තිබෙනවා. මාරයා කියන කටු අත්ත, මෘදුකර, icing කර, පැණි ගා රසවත් කර, ඇලෙන ස්වභාවයක් ඇතිකර දී තිබෙනවා. ‘මම’, මාරයාට සමානයි. එමනිසා ‘මම’ මාරයාගෙන් නිදහස් නැහැ. කිසිම මමත්වයකට මාරයාගෙන් නිදහස් වෙන්න බැහැ. මොනදෙයට මම කිව්වත්, සෑම මමත්වයක් ම මාරයාගේ වසඟයේ තිබෙන්නේ. ඒ ආකාරයෙන් බලන්න පුළුවන් නම් මම යනු මාරයායි. මේ සෑම සිතුවිල්ලක් ඇතුළේම මාරයා ඉන්නවා. ‘මම’ තිබෙනවා නම් මාරයා සිටිනවා. හැඟීමක් ඇතුළේ ‘මම’ ඉන්නවා නම් ඒ මාරයායි ඉන්නේ. මේ මාරයාට මගේ කියා කියන්න අවශ්‍ය ද, කියන්න පුළුවන් ද? මේ සත්‍ය පෙනෙනවිට, ඒ ඕනෑකම කථා දෙකක් නැතිව, දෙපාරක් නොසිතාම, එතැන ම ඇදගෙන වැටෙනවා. කටු අත්තක් සේද රෙද්දකින් ඔතා දුන්නාම අප සේද රෙද්ද තදින් අල්ලා ගන්නවානේ වැටෙයි කියා. නමුත් කටු ඇනෙන්න පටන්ගන්නවිට සේද රෙද්දක් කියා තවදුරටත් අල්ලාගෙන ඉන්නවා ද, නැහැනේ, දෙපාරක් සිතන්නේ නැහැ, එතැනම අත්හරිනවා.
අප එතැනින් භාවනාවට එමු.
භාවනාව
සිතුවිලි, කල්පනා නිහඬ කරගනිමින්, මම ගෘහයක් වන ආකාරයත්, නිවැසියෙකු වෙන ආකාරයත්, නිවැසියා තවත් ගෘහයත් වන ආකාරයත්, අවබෝධ කරගන්න උත්සාහ කරමු.
හිතවතුනි, ඒ මෙනෙහි කිරීම, ආවර්ජනය, ප්‍රත්‍යවේක්ෂාව විනාඩි කිහිපයකට සීමාකරන්න එපා. සමහරවිට මේ පරියාය ගැලපෙන්නත් පුළුවන්, හොඳයි කියා සිතෙන්නත් පුළුවන්, කවදාකවත් අසා නෑ කියා සිතෙන්නත් පුළුවන්, එසේ නොවේ කියා සිතෙන්නත් පුළුවන්. එම නිගමන මොනවා වුවත් ප්‍රයෝජනයක් ගන්නනම් දිරවන ප්‍රමාණයටම එයත් එක්ක ඉන්න අවශ්‍යයයි. ආහාරයක් වුවත් දිරවා ගැනීමට එම ආහාරය ආහාර ජීර්ණ පද්ධතියේ කිසියම් කාලයක් තියෙන්න අවශ්‍යයයි. ඒ සඳහායි මෙනෙහි කිරීම අවශ්‍ය වන්නේ. මෙනෙහි කරන්න. මෙනෙහි කර යම් යම් නිගමනයන්ට පැමිණියොත් හෝ එන්න බැරිවුණොත් ඒ පිළිබඳව ඊලඟ දවසේ කථා කරමු. එමෙන්ම ඒ පිළිබඳව සංවාදයක් කිරීමටත් WhatsApp සමූහයේ හැකියාවක් තිබෙනවා. එසේම මෙම වැඩසටහන සඳහා සහයෝගය දැක් වූ සියළුම කල්‍යාණ මිත්‍රයන්ටත්, සහභාගි වූ සියළුම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරමින් අපි අද වැඩසටහනින් සමුගනිමු.
සෑම දෙනාටම
සෙතක් ම වේවා !
ශාන්තියක් ම වේවා !!
යහපතක් ම වේවා. !!!