සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 06

2022 අගෝස්තු 31 සාරාංශය

සදහම් සැඳෑවට එකතු වූ ආදරණීය කළ්‍යාණ මිත්‍රයිනි, පැමිණ සහභාගිවන එමෙන්ම දුර සිට අන්තර්ජාලය හරහා සම්බන්ධව සිටින. ජීවිතය පිළිබඳ සදහම් දැක්මක්, දහම් ඇසින් ජීවිතය දෙස බැලූවිට ජීවිතය පෙනෙන ආකාරය ගැන හා දකින ආකාරය ගැන කරගෙන යන සොයා බැලීම් මාලාවක, ‘නැණ දසුනට තත්පරයක්’ තවත් එක් පියවරකටයි මේ පා තබන්නේ. අප නැවත නැවතත් සිතනවා, අවධාරණය කරනවා, මේ ඇසෙන සියලුම වචන එකින් එක එකින් එක මතක නැති වුණත් හා මතක තියාගන්න උත්සාහ නොකළත්, අමතක වුණත්, ගැටලුවක් නැහැ, මෙයින් ගන්න පුළුවන් එකම එක පුංචි පණිවුඩයක් හරි නිවැරදිව, මැනවින්, පැහැදිලිව, පරිපූර්ණව, අරගෙන එය තෝරා බේරා ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කළ යුතුයි. එතනයි අපේ ජයග්‍රහණය, එතනයි විසඳුම, එතෙරවීම.

එතෙර වන්නට හදමු පාරුවක්

 මෙගොඩ සිට එගොඩ දෙස බලා හීල්ලීමෙහි ප්‍රතිඵලයක් නැහැ. එසේම මෙගොඩ සිට මෙගොඩටම දොස් කීම, මෙගොඩ විවේචනය කිරීම ඵලක් නැහැ. සැඩ පහරේ විචිත්‍රත්වය හෝ භයානකත්වය ගැනම කථා කරමින් සිටීම නිරර්ථකයි, එතෙර වන්න ක්‍රමයක් නැතිනම්, සොයා ගන්නේ නැතිනම්, පාරුවක් සාදන ආකාරය දන්නේ නැතිනම්, සාදාගන්නේ නැතිනම්. එමනිසා මුල්තැන දියයුත්තේ පාරුවක්, ඔරුවක් සාදාගන්න. මෙබඳු වැඩසටහන් වලින් ලැබෙන්නේ පාරුවක් නොවේ, පාරුවක් සාදාගැනීමට අවශ්‍ය කළමනායි. මේ සියල්ල දෙස ඒ ඇසින් බලන්න. අද කුමක්ද මේ පාරුව සාදාගන්න ගන්න තියෙන්නේ, මේ සාදාගෙන යන පාරුවේ, බෝට්ටුවේ අඩුපාඩු තිබෙනවා ද? ඒ අඩුපාඩු වලින් කවර අඩුවක් (හිස් බවක්) අද සම්පූර්ණ කරගන්න පුළුවන් ද? එපමණයි සෙවිය යුත්තේ. දවසින් දවස මේ පාරුව හැදෙන්න අවශ්‍යයයි, එතෙර වීමට ප්‍රමාණවත් තරම දක්වා. එමෙන්ම තමන්ට එතෙරවීමට ප්‍රමාණවත් මට්ටමට බෝට්ටුව සෑදුනවිට එතෙර විය යුතුයි, “මා පමණක් එතෙර වුණාම මදි, පවුලේ අය සිටිනවා, ගමේ අය සිටිනවා, බෞද්ධ පිරිසක් සිටිනවා, තව ලෝක වාසීන් සිටිනවා” කියා සිතමින්, බෝට්ටුව නැවක් වෙනතුරු බලා නොසිට. එසේ බලා සිටීමෙන් ‘නෝවාගේ නැව වගේ’ කාටවත් එතෙර වන්නට නොහැකි වේවි. එසේම තමන්ට එතෙර වීමට තරම් කුඩාවට පාරුවක් (බෝට්ටුවක්) සෑදුවත්, එය සම්පූර්ණ එකක් විය යුතුයි. එසේ නොමැති වීමෙන් (බාගේට, කාලට සෑදිමෙන්) වන්නේ දියබත් වීමයි. ‘හදිසිවීම සහ පමාවීම යන අන්ත දෙකට නොයා, කල් යල් බලා පාරුව දියට දැමිය යුතුයි.

එසේම අප සිතනවා සහ විශ්වාස කරනවා, සදහම් සැඳෑවේ පළමු වැඩසටහනෙන් ඒ පාරුව සාදා ගැනීමට අවශ්‍ය බොහෝ කලමනා ලැබෙන්න ඇති කියා. දැන් තියෙන්නේ ගමන යෑම පිළිබඳ, මේ පාරුව  වතුරට දාලා කොහොමද යන්නේ, කෙසේද හබල් ගසන්නේ, රුවල කෙසේද  සදාගන්නේ කියන කාරණා ටික දැනගැනීමයි. ඒ සඳහායි වැඩිපුර අවධානය යොමුකරන්නේ සහ කථා කරන්නේ. හිතවතුනි ඒ ඇසින්ම මෙම වැඩසටහන සමඟ එකතුවන්න, ඒ කනින්ම අසන්න, ඒ සිතින්ම විමසන්න, වෙන අරමුණු නැහැ. අරමුණු දෙකයි තිබෙන්නේ, තුන්වන අරමුණක් නැහැ. එක අරමුණක් නම්, මේ පාරුව නිවැරදිව සාදා ගැනීම. දෙවන අරමුණ නම් තමන්ට එතෙර වෙන්නට ප්‍රමාණවත්ව පාරුව සෑදුනවිට එය දියට දමා පැදගෙන එතෙර වීම. ඒ ආකල්පය, ඒ හැඟීම ඕනෑකම ඔළුවේ, හදවතේ දරාගෙන අප අද වැඩසටහනට එකතුවෙමු.

සාංසාරික අරගලය

පසුගිය සති දෙකේම කථා කරමින් ආවේ, අප ‘මොනවාද කරන්නේ?’ කියන කාරණය. සාමාන්‍ය ඇසින් බැලූවිට ඉවුම්-පිහුම්, අතුගෑම්, වාහන පැදවීම්, වැඩ කිරීම් වැනි ක්‍රියා මෙන්ම මොකුත් නොකර සිටීම් පෙනෙනවා. නමුත් සැබෑව නම් මේ එකක්වත් නොව නිරන්තරයෙන්ම අප කරමින් සිටින්නේ ‘විඳීම සහ සිතීම’ යන ක්‍රියා දෙකයි. ඒ පිළිබඳව ප්‍රමාණවත් විස්තර පසුගිය සතිවල කථා කළා. එසේම එය බොහෝ දෙනෙකු භාවනාවට යොදාගත් බව ද දැනුම් දී තිබෙනවා. එමෙන්ම එයින් භාවනාව වඩාත් පහසු වූ බවත්, භාවනාවේ දිශාව නිවැරදි කරගන්න (සොයාගන්න) උපකාරී වු බවත් ප්‍රතිචාර ලෙසින් දැනගන්න ලැබී තිබෙනවා. එයයි විය යුතු වන්නේ. ජීවිතයේ නොවිඳින සහ නොසිතන මොහොතක් නැහැ. මොනවා නොකළත් විඳිනවා, සිතනවා. සිතන්නේ විඳීම් ගැනයි. අත්දැකීම් ගැන තමා සිතෙන්නේ. මේ සිතීම නිසා සමහර අත්දැකීම් තීව්‍ර වෙනවා, ප්‍රබල වෙනවා. සමහරවිට අමතක වෙලා යන්නත් පුළුවන්. සිතන්න ගියාම සීමාවක් නැහැනේ. එහෙම සිතමින් ඉන්න ගියාම අර මුල් අත්දැකීම අමතකව යනවා. විඳීම් සතුටුදායක නම් තියාගන්න සිතනවා. අසතුටු නම් නැති කරගන්න සිතනවා. මෙය සරල හෝඩිය. එයින් පිට තුන්වෙනි සිතීමක් නැහැ සාමාන්‍යයෙන්. 

මේ දෙයාකාරයෙන්ම සිතීම නිසා සිදුවන්නේ වින්දනයේ සිරකරුවන් බවට පත්වීම. සාංසාරික සත්ත්වයා කියන්නේ තමන්ගේම වින්දන වල සිරවුණු ඇත්තන්. වින්දනය යන සිරකුටිය ඇතුළේ සිටිමින් සිතන්න සිතන්න සිදුවන්නේ ඇතුළෙන් බිත්ති බැඳ ගැනීම. සිරකුටියේ ඇතුළින් නම් බිත්ති බඳින්නේ, බඳින්න බඳින්න සිරකුටිය කුඩා වෙනවා, තව තවත් සිරවෙනවා. සාමාන්‍ය ආකාරයෙන් සිතුවාම වෙන්නේ තමන්ගේම සිතුවිලිවල හොඳටම කොටුවී, හුස්මක් කටක් ගන්න බැරි තරමට සිරවීමයි. එවිට මොනවත්ම සිතාගන්න බැරි තැනකටත් එන්න ඉඩ තිබෙනවා. එතැනදී ලොකු කුළුගෙඩි පහරක් වැනි දෙයක් (කම්පනයක්) අවශ්‍යයයි එම සිතුවිලි පුපුරා යන්න.  වින්දනයක් වෙනස් කිරීම හරි ලේසියි. වේදනාවලට ලොකු ආයුකාලයක් නැහැ, දිය බුබුලක් වගේ. දිය බුබුලකටත් ලොකු ආයුකාලයක් නැහැ. එමනිසා වින්දනයක් වෙනස් කරගැනීම හරි පහසුයි. ලෝකයේ තිබෙන පහසුම හා ලේසිම පරිවර්තනය නම් වින්දන පරිවර්තනය කර ගැනීමයි.

දුක් වින්දන, සැප වින්දන බවට පත්කරගැනීමේ අරගලයක තමා සමස්ත සාංසාරික සත්ත්වයාම යෙදී සිටින්නේ. සාංසාරික සත්ත්වයාට අරගල දෙකක් නැහැ, පවතින්නේ එකම එක අරගලයයි, දුක් වේදනා සැප වේදනා බවට පරිවර්තනය කර ගැනීමේ අරගලය. සමහරවිට ඒ අරගලය ජය ගන්නවා. ජය ගත්තත් හිතවතුනි දුක් වේදනාවල ආයුකාලය වගේම තමා සැප වේදනාවල ආයුකාලයත්. මේවා සිතන තරම් වැඩි කාලයක් තියාගන්න බැහැ. සිතන්න පුළුවන්, සිතීමට සීමා නැහැනේ, අහස උසට බලපොරොත්තු හදාගන්න පුළුවන්, ඒ බලාපොරොත්තු ඉටුකර ගන්නත් පුළුවන්, ඉටුවුණු බලාපොරොත්තුවක සැප මෙපමණ කල් තිබිය යුතුයි කියා නියම කරන්නත් පුළුවන්, නමුත් අපේ සියලුම නියමයන් උල්ලංඝනය කරමින් ඒ සියලූම වින්දන තමන්ට සිතුණු ‍වේලාවට අපව දාලා යනවා. එවිට මානසිකවත් ඔන්න දුකක්. සෙව්වේ කායික සැපයක් ඒ සැප ලැබුණා. ලැබුණාම සිතට අවශ්‍ය වුනා එය දිගටම තබාගන්න. එය සිතන තරම් කල් තියෙන්නේ නැති වුණාම කායිකවත් දුකක්, මානසිකවත් දුකක්. අලුත් සැප වේදනාවක් හදාගන්නවා, ඒකත් දිගට තියාගන්න බලනවා. ඒත් ඔය සෙල්ලමමයි.  මේ තමා සාංසාරික සත්ත්වයාගේ ක්‍රීඩාව, වින්දන සමඟ සෙල්ලම් කිරීමේ ක්‍රීඩාව, සංගීත  පුටු තරගයක් වගේ. සැප වේදනාවල වාඩිවෙලා දිගටම ඉන්න බැහැ, ආපසු සිටගන්න වෙනවා, නැවත කැරකෙන්න වෙනවා, එවිට දුක් වේදනාවක් ඇවිල්ලා එතනට. එවැනි තරගයකයි සාංසාරික සත්ත්වයා සිටින්නේ, එම නිසා ලොකු ආතතියකයි සිටින්නේ. ආතතිය තියෙන්නේ වැඩකරන අයට කියායි අප සිතන්නේ. මේ ආකාරයෙන් බැලුවාම නිකම් සිටින අයට ආතතිය ඇති වෙන්නේ කෙසේද කියා දැන් හොඳට පැහැදිලි වෙනවා ඇති. නිකම් සිටින්නේ නැහැ කවුරුවත්, ඔය සංගීත පුටු තරගය වගේ වින්දන සමඟ ලොකු තරගයක තමා හැමෝම යෙදී සිටින්නේ. තමා තුළම අරගලයක, ඉතින් කෙසේද සැහැල්ලුවක්.  

සතුට

හිතවතුනි මේ වේදනා, වින්දන කියන්නේ අත්දැකීම්. සැමවිටම කුමක් හෝ අත්දැකීමක් ලබනවා, නොලබන වේලාවක් නැහැ. එසේම ලබන අත්දැකීම් ගැන සිතනවා. එක්කෝ මේ වෙලාවේ ලබන අත්දැකීමක් ගැන නැතිනම් කලින් ලැබූ අත්දැකීමක් ගැන, එසේත් නැතිනම් අනාගතයේ ලබන්න බලාපොරොත්තුවන අත්දැකීම් ගැන සිතනවා. අපේ සිතීම් එන්නේ ඔය තුන් ආකාරය ගැන, අතීතයේ ලැබූ අත්දැකීම් ගැන සිතනවා, වර්තමාන අත්දැකීම් ගැන සිතනවා, අනාගතයේ ලබන්නට බලපොරොත්තුවන අත්දැකීම් ගැන සිතනවා. කුමක් බලාපොරොත්තු වුවත් එය අත්දැකීමක්. සිතමු කෙනෙක් දිව්‍ය ලෝකය බලාපොරොත්තු වෙනවා කියා, එතනදි කුමක්ද බලාපොරොත්තු වන්නේ, අත්දැකීමක්. රසවත් ආහාරයකින් ලැබෙන්නෙත් අත්දැකීමක්, හිතවත්කමකින් ආදරයකින් ලැබෙන්නෙත් අත්දැකීමක්, ගමනකින් බිමනකින් ලැබෙන්නෙත් අත්දැකීමක්. අප සෑමවිටම බලාරොත්තුවන්නේ වෙන මෙනවාවත් නොවේ අත්දෑකීම්, සොයන්නේ අත්දැකීම්. කෙනෙකුට අත්දැකීම් ඍජුවම ගන්න බැරි නිසා හා ඍජුවම ගන්න දන්නේ නැති නිසා තමා අනිත් අය හරහා හෝ අන් දේවල් හරහා ඒ අත්දැකීම් සොයන්නේ. සතුට, සුඛය කෙළින්ම ගන්න පුළුවන් නම් කිසිදෙයක් කෙනෙකුට ඕනේ වෙන්නේ නැහැ. මිනිස්සුන්, කෑම-බීම, රසවත් ආහාර-පාන, සංගීතය කිසිවක් අවශ්‍ය නැහැ, ඒ සියල්ලෙන්ම ලබන සතුට කෙනෙකුට ඒ කිසිවකින් තොරව අත්දකින්න පුළුවන් නම්.  එහෙම ක්‍රමයක් තියෙනවාද නැද්ද කියා සොයන්නේ නැතිව සමස්ත පුහුදුන් ප්‍රජාවෙම පැවැත්ම නිර්මාණය වී  තිබෙන්නේ ඔවුනොවුන් මත යැපෙන ආකාරයෙන්. කිසිකෙනෙකුට ස්වාධීන වන්නට නොහැකි ලෙසයි සංසාරය නමැති ජාලාව ගෙතී තිබෙන්නේ, පන් පැදුරක් වගේ ගෙතී තිබෙන්නේ. එක් පන් කොළයක් හරහා තව පන් කොළයක් යෑමෙනුයි පන් පැදුරක් ගෙතී තිබෙන්නේ. තනි පන් කොළයක් කොහේ හරි තියන්න පුළුවන්, එල්ලලා හෝ බිම හෝ, නමුත් ගොතන්න බැහැ. ඔවුනොවුන් කීවාම තමනුත් ඉන්නවා, අනිත් මිනිසුනුත් ඉන්නවා, සතුනුත් ඉන්නවා, ගස්-කොළන්, අහස-පොළොව, අනිත් දේවලුත් තිබෙනවා. අප සිතන සෑම දෙයක්ම හරහායි සැප සොයන චාරිකාවට යන්න වෙලා තිබෙන්නේ. එසේ ගමන් කරන පිරිසකට තමා පුහුදුන් කියා කියන්නේ.

පුහුදුන් (පෘතග්ජන) සිතක දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනය කුමක්ද? තමන්ගේ ඒ සතුට, සුඛය තව දේවල් හරහා තමයි ගන්න සිදුව තිබෙන්නේ, එම නිසා සමස්ත ලෝකයම (සෑම මනුෂ්‍යයෙක්ම, සෑම සතෙක්ම, සෑම දෙයක්ම) පෙනෙන්නේ තමන්ට සැප, සතුට ගන්න තිබෙන දොරටු ලෙසින්. මේ නිසයි ගැටුම්, අරගල, යුද්ධ  ආරම්භ වන්නේ.  වාද-විවාද, අඬ-දබර මේවා සියල්ලම ආරම්භ වන්නේ එම නිසායි. අප තව කෙනෙක් දිහා ඒ ඇසින් බලන විට ඒ කෙනත් අප දිහා ඒ ඇසිනුයි බලන්නේ. අපටත් අපව සතුටු කරන්නට බැරිව සිටිද්දි අප කෙසේද තව කෙනෙකු සතුටු කරන්නේ කියා සිතන විට පේනවා එය සිනහා වෙන්න බැරි මහා විහිළුවක් බව. මහම මහ ඇඬෙන විහිළුවක්. ප්‍රශ්න උග්‍ර වු විට හඬන්නේ එම නිසායි. “අරයා මෙහෙම කළා, මෙයා මෙහෙම කළේ නෑ, එහෙම වුණේ නෑ. මෙහෙම වුණා” කියා සිතමින් සිටිනවිට ඇඬෙන්නේ එම නිසායි. දිගටම සතුටුවන දේවල් කරන කෙනෙකු කිසියම් විදිහකින් නැති වුණොත් ලැබීම් නොලැබීම් බවට පත්වීමෙනුත් ඇඬෙන්න පුළුවන්. මේ ආකාරයෙන් හැඬීමෙන් කෙළවර වන ක්‍රීඩාවකුයි කරමින් ඉන්නේ. ක්‍රීඩාව යම් විටක නිමා වන්නේ හැඬීමෙන්. නැවතත් සිනහවකින් ආරම්භවී, හැඬීමකින් අවසන් වෙනවා. හැඬීම් දෙකක් අතර ඇති විවේකයයි සතුට කියා අප කියන්නේ. විවේක කාලය සමහරවිට කාලපරිච්ජේද වලට වඩා ටිකක් දිගයි, සමහර විට කෙටියි. කෙටි වුවත් දිගු වුවත් එය පුංචි interval එකක් පමණයි. Periods දිගයි intervals කෙටියි.

කෙසේ වුවත් අත්දැකීම් හැර වෙන කිසිම දෙයක් අපට නැහැ. ඇත්තේ අත්දැකීම් පමණමයි. පුද්ගලයන් සමඟ ලබන අත්දැකීම් මත තමා ඒ පුද්ගලයන්ව අප හඳුන්වා දෙන්නේ. අප අනිත් අයව දකින්නේ හොඳ කෙනෙකු හෝ නරක කෙනෙකු කියා, අපට ලැබෙන අත්දැකීම් අනුව මිස, අනිත් පුද්ගලයාව විශ්ලේෂණය කර හෝ x-ray   කර නොවෙයි. කිසිවෙකුට එසේ කිරීමටද නොහැකියි. තව කෙනෙකු හඳුනාගන්න ලැබෙන්නේ ඇසුරෙන් හා කරන කථා බහෙන් අපට ලැබෙන අත්දැකීම් අනුව. ඒ අත්දැකීමට තමා අප නම දෙන්නේ හොඳයි, නරකයි කියා, පුද්ගලයාට නොවේ. ඒ බව නොදන්න නිසා අප සිතනවා මේ නම දෙන්නේ ඒ පුද්ගලයාට කියා. එම විශේෂණ පදය දෙන්නේ පුද්ගලයාට නොවේ අප ලබන අත්දැකීම්වලට. දෙදෙනෙකු ලබන්නේ අත්දැකීම් දෙකක්, සිය දෙනෙකු ලබන්නේ අත්දැකීම් සියයක්. එම නිසයි විශේෂන පද තිබෙන්නේ සියගණනක්.

පරපටිබද්ධය

ඊළඟ කාරණය මේ සංසාර වියමන වියන්නේ, ගෙතෙන්නේ,  ඔවුනොවුන් හරහා මිසක් හුදකලාව නොවේ. පරිසරය, අහස, පොළොව, අතීතය, අනාගතය, දේශපාලනය, ඉතිහාසය, සංස්කෘතිය, ආගම වැනි දේවල් හා ළඟින් සිටින ඈතින් සිටින මේ සියළුම දෙනා හරහායි සාංසාරික සිත්තම ගෙතෙන්නේ. සාංසාරික සිතුවම ඇඳෙන්නේ සිත නමැති කැන්වසයේ මිසක් වෙන කොහෙවත් නොවේ. ඒ සිතුවමේ අර දේවල් හා පුද්ගලයන් සියල්ලම පවතිනවා. ඒ සියල්ල සමඟ ලබාගන්නා අත්දැකීම් අනුසාරයෙනුයි සිතුවම විචිත්‍රවත් වන්නේ. ඇයි මෙසේ අනිත් අය හරහා ගමනක් යන්න සිදුව තිබෙන්නේ? සංසාරය ඇයි මෙහෙම නිර්මාණය වී තිබෙන්නේ? සංසාරයේ එක් ස්වභාවයක් නම් ස්වාධීන නැතිකමයි. සංසාරයේ කිසිවක් ස්වාධීන (auto) නැහැ. සෑම දෙයක්ම තවත් දෙයක් මතයි යැපෙන්නේ, රැඳෙන්නේ, පවතින්නේ. එය පැවැත්මට අත්‍යාවශ්‍ය කාරණක්, auto වුණොත් පැවැත්ම නැතිව යනවා. භවය සඳහා අත්‍යාවශ්‍යවන ප්‍රත්‍යයක් තමා පරපටිබද්ධය, අනුන් මත යැපෙන ලක්ෂණය. ‍භෞතික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද අනුන් මත යැපීමට සිදුවෙනවා. තාවකාලික වශයෙන් මේ ස්වභාවයෙන් (ධර්මතාවයෙන්) ඈත් වෙන්න පුළුවන් වෙන්නේ සමාධියේදී යි. සමාධි අත්දැකීමේදීයී මේ කිවූ යාන්ත්‍රණයෙන් (සියලු සාංසාරික යාන්ත්‍රණවලින් නොව) අනුන් මත යැපීමේ ධර්මතාවයෙන් මොහොතකට හෝ මිදෙන්න පුළුවන් වන්නේ. මන්ද සමාධියේදි එකතු කරගන්නේ අභ්‍යන්තර හේතු නිසා. සමාධියට බාධා වෙන අභ්‍යන්තරයේ තිබෙන හේතු අයින් කිරීම හා සමාධියට අත්‍යාවශ්‍ය අභ්‍යන්තර හේතු එකතු කිරීම, නීවරණ ප්‍රහීණ කිරීම හා ධ්‍යානාංග එකතුකර ගැනීම මෙන්ම ඉන්ද්‍රිය ධර්ම වැඩීමේ ප්‍රතිඵලයක් තමා සමාධිය. එවැනි අත්දැකීමක දී ඒ වේලාවට කිසිම දෙයක් මත රඳා පැවැත්මක් නැහැ. එසේ රඳා පවතිනවා නම් එයට සමාධිය කිව නොහැකියි. එසේම එය තාවකාලික අත්දැකීමක්. කෑම-බීම ගැනීම වැනි දෑ සඳහා නැවත ලෝකයට පැමණි විට නැවතත් අර සාපේක්ෂ, ගැටෙන මනසම තමයි.

අවිද්‍යාව

මේ නිසයි  සියලුම අත්දැකීම්වල සීමාව හඳුනාගැනීම අවශ්‍ය වන්නේ. යම්කිසි හොඳ හෝ නරක, බාහිර අය මත රැඳෙන හෝ කිසිවෙකු මත නොරැඳෙන, අත්දැකීමක් (වින්දනයක්) නම් එහි ස්වභාවය කෙබඳුද යන්න බැලීමයි කළයුතු එකම දෙය වන්නේ. වින්දනය හඳුනා ගැනීමෙනුයි ප්‍රශ්නය විසඳෙන්නේ. මෙයයි අපට තිබෙන ප්‍රශ්නය, සංසාරය පිළිබඳ සමස්ත ගැටලුවම උපදින්නේ මෙතනින් (අත්දැකීම විග්‍රහ කරගන්න බැරිවීමෙන්). අත්දැකීම හඳුනා ගැනීමට නොහැකි වීමෙන් අත්දැකීමේ සීමා නිර්ණය කරගැනීමට නොහැකි වීමෙන්. තමන් සමඟ, අනුන් සමඟ, ලෝකය සමඟ, අතීතය මෙන්ම අනාගතය සමඟද ගැටුම් ඇතිවන්නේ වර්තමාන අත්දැකීම නිවැරදිව දකින්න නොහැකි වීමෙන්. ධර්මය නොදැකීම නිසා නොවේ, කිසියම් පොතක ඇති කරුණු නොදන්නා නිසා නොවේ, වර්තමාන අත්දැකීම දන්නේ නැති නිසා. අර සියල්ල දැනගෙනත් වර්තමාන අත්දැකීම දන්නේ නැතිනම් අවිද්‍යාව. අවිද්‍යාව විස්තර කරන්නේ ‘දුක්ඛෙ අඤඤාණං…’ ආදී වශයෙන්නේ. වර්තමාන අත්දැකීම දන්නවානම් අර කිසිම පොතක් නොදැනගත්තත් එයා ප්‍රඥාවන්තයෙක්. වර්තමාන අත්දැකීම පිළිබඳව සම්පූර්ණ වශයෙන්ම කෙනෙකුට දැක්මක් තිබෙනවානම්, දකිමින් ඉන්නවානම් ප්‍රඥාවන්තයෙක්, එතනයි විද්‍යාව පවතින්නේ. ඒ ආකාරයෙන් බැලුවාම මෙය හරි සරලයි. කරන්න තියෙන්නේ එකම එක දෙයයි, වර්තමාන අත්දැකීම නිවැරදිව දැකීම.

නමුත් එය වහලා තියෙන්නේ. වහලා තියෙන්නේ මොනවායින්ද, අපේම සිතිවිලි වලින්. එයයි වැදගත් කාරණය. සිතීමෙන් වෙන්නේ අපේ දැකීම වැහිලා යනවා, නොපෙනී යනවා, අන්ධ වෙනවා. සිතන්න සිතන්න වෙන්නේ අන්ධ වෙන එක. එහෙම අන්ධ වෙන සිතීම් ආකාර තුනක් පවතිනවා. කලිනුත් පැවසූ ලෙස සිතන්න පුළුවන් ආකාර හතරක් තිබෙනවා. එයින් තුනකින්ම සිදුවන්නේ දැකීම වැහිලා යන එක. නොදකින කෙනෙකු බවට පත්වෙනවා. ඥාන දර්ශනයක් ඇති වන්නේ නැහැ.

දර්ශනයක් නැති දාර්ශනිකයා

අත්දැකීමක් පිළිබඳව සිතන පළමු ක්‍රමය නම් අත්දැකීමේ වටපිටාව ගැන සිතීම. අත්දැකීමට අදාළ එක් කාරණයක් අරගෙන ඒ කාරණයේ අලගිය, වැලගිය, මුල්ගිය ආකාරය පිළිබඳව සිතීම, සමස්ත අත්දැකීම ගැන නොවේ අත්දැකීමට ගෑවුණු එක් කාරණයක් පිළිබඳව. “ඇයි මෙහෙම දුකක් විඳින්න වෙන්නේ”, එවිට මතක් වෙනවා “කර්මය නිසා”, පසුව සිතනවා “මොනවගේ කර්මයක් නිසාද මෙහෙම විඳින්න වෙන්නේ”,  ඔය විදිහට සිතනවා. එවිට වන්නේ අත්දැකීම නොපෙනී යෑම. නමුත් සිතන්න ගියාම සිතීම රසවත් වෙනවා. එසේ සිතා බලන්න. විඳින්නේ මහ දුකක් වුවත් එහි එක් අංශකයක් අල්ලාගෙන දිගින් දිගටම දිගින් දිගටම සිතාගෙන ගියාම, වෙන්නේ සිතිවිලි රසවත් වෙන්න පටන් ගැනීම. තමන්ගේම සිතිවිලි විඳින්න පටන්ගැනීම. කොහොමද සිතිවිලි විඳින්න පටන් ගන්නේ? සිතිවිලි කියන්නේ අදහස්, රසවත් (ගැඹුරු, දාර්ශනික) අදහස් එන්න පටන් ගන්නවා. ඕනෑම කෙනෙකු (උගත්, නූගත්) ඕනෑම දෙයක් ගැන දිගින් දිගටම සිතුවාම වෙන්නේ පහළවෙන තමන්ගේම අදහස් තමන්ම විඳින්න පටන් ගැනීම. තමන්ටම එය වින්දනයක් බවට පත්වෙනවා. ඒ අදහස් ඇත්තද බොරුද? ලෝකය පිළිගනීද නැද්ද? ඒවා අදාළ නැහැ. ඒවා අදාළ නැත්තේ ඇයි, තමන්ගේ අදහස් වලින් තමයි තමන්ගේම ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. දාර්ශනික ලෝකයක් කියලා සිතමු. දාර්ශනිකයන් සිටින්නේ තමන්ගේම අදහස් නමැති ලෝකය ඇතුළේ. ඒ ගැන, දාර්ශනිකයන් ගැන ඕන තරම් කතන්දර තිබෙනවානේ. ඒ අයට සාමාන්‍ය ජීවිතයක් නැහැ. සාමාන්‍ය ජීවිතය දන්නෙත් නැහැ, අසාර්ථකයි. සාමාන්‍ය ජිවිතය අසාර්ථකයි කියා ඒ ගැන තැවෙන්නෙත් නැහැ. මන්ද ඒ පිළිබඳව හැඟීමකුත් නැහැ. ලාඳුරු හැදුනා වගේ සංවේදීතාවයකුත් නැහැ. තමන් විඳින්නේ තමන්ගේම සිතිවිලි නිසා. කෑවා ද, බීවා ද, හරියට ඇඳගෙන ඉන්නවා ද, ඇඳුම ගැලපෙනවා ද, ඒ කිසිදෙයක් ගැන තැකීමක් නැහැ. අනිත් අය ඒ පිළිබඳව මොනවා කිව්වත් එකයි නැතත් එකයි. තමන් ඉන්නේ තමන්ගේම සිතුවිලි වින්දනය කරමින්. මොකද ඒ සිතුවිලි වලට පුළුවන්, නැති දේවල් තියෙනවා වගේ පෙන්වන්න. “අලුත් අදහසක්, අලුත් සොයා ගැනීමක්, දර්ශනයක්” කියා සිතනවා. ඒ අය ඉන්නේ සිතිවිලි ලෝකයක. සිතිවිලි ලෝකයක ඉන්න කෙනෙකුට යථාර්ථය අවබෝධ කරගන්න ලේසි නැහැ. ඒ නිසයි අප දිනක් පැවසුවේ දාර්ශනිකයෙකුට මේ ඇත්ත තේරුම් ගැනීම අසීරුයි කියා. එයාට ඇත්ත තමන්ගේ සිතුවිලි පමණයි. නමුත් ඇත්ත පේන්නේ සිතිවිලි නැවතුණාම. ඒ ඥාන දර්ශනය පහළ වන්නේ දැනීමේ කෙළවරට ගියාම. දැනීම නැවතුණ තැනයි දැකීම පටන් ගන්නේ. ඒ වෙනුවට දැනුම, සිතුවිලි, අදහස්, මේවා අතරේ සිටිමින් ඒවායේ උල්පතක් බවට පත්වෙ සිටින විට දර්ශනයක් නැහැ. දාර්ශනිකයෙකු වන්නට පුළුවන්, නමුත් ඥාන දර්ශනයක් නැති දාර්ශනිකයන් තමයි සිටින්නේ. මේ පිළිබඳව අවශ්‍යනම් වෙනත් දවසක විස්තරාත්මකව කථා කරමු.

දුකට කියන කවි

දෙවෙනි සිතීම නම් වින්දනය, අත්දැකීම මොන තරම් කටුක වුණත්, උත්සාහ කරනවා ඒ කටුක වින්දනය ටිකක් හෝ මධුර කරගන්න. සාමාන්‍ය කෙනෙකු කරන දේ තමයි තිත්ත රසයට උඩින් සම්පූර්ණයෙන් පැණි තට්ටුවක්, අයිසින් තට්ටුවක් දැමීම. එවිට අයිසින් තට්ටුව කන තෙක් රසයි. නමුත් තිත්ත නැතිවෙලා නැහැ. එය යටවී තිබෙනවා. එය මතු වූ විට නැවත දුකයි. එවිට නැවතත් අයිසින් තට්ටුවක් සොයනවා. සාමාන්‍ය පෘතග්ජන කෙනා යන ක්‍රමය එයයි. මෙතනදි කියන්නේ එය නොවේ. ඒ තිත්තට එසේම තිබෙන්නට හැර එයට එහෙන් මෙහෙන් සායමක් දෙකක් ගාලා බලනවා ලස්සනට පේනවාද කියා. අමුම අමු, බලන්න කැත දෙයක් දෙස බලනවා ලස්සන කර ගන්න පුළුවන්ද කියා. එහෙම බැලීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඔන්න ලස්සනට පේන්න පටන් ගන්නවා. කැත වුවත් අවලස්සන වුවත් එහිත් ලස්සනක් දකින්න පුළුවන්. අපට ලස්සනට බලන්න අවශ්‍ය නිසා, ඕනෑම අවලස්සනක ලස්සනක් දකින්න පුළුවන්. එහි තිබෙන නිසා නොවේ, බලන්න අවශ්‍ය නිසා පේනවා. මෙහි ප්‍රවීණයන්ටයි කලාකරුවන් කියා කියන්නේ. නමුත් ප්‍රවීණත්වයට පත්වුවත් නැතත් සෑම මනුෂ්‍යයෙකු තුළම දාර්ශනිකයෙකු සිටිනවා වගේම කලාකරුවෙකුත් සිටිනවා. එම කෙනාට තැන ලැබුණු ගමන් ඔහු හෝ ඇය කරන්නේ මොන තරම් දුක්ඛදායක අත්දැකීමක් වුවත්, එම අත්දැකීමේ නොමැති විවිධ දේ එකතු කරමින් (ආහාරයක් රසවත් කිරීමට විවිධ රසකාරක එකතු කරන්නා මෙන්) රසවත් කරගැනීමට උත්සාහ කිරීම. අපගේ ලඟ තිබෙන දේවල් එසේ අත්දැකීමට එකතු කළ විට එය රසවත් දෙයක් බවට පත්වෙන අතර එය සැබෑ අත්දැකීම නොව මවාගත්ත දෙයක් නේ. අත්දැකීමෙන් මැවීමකට (සංස්කාර) ගමන් කිරීම. සෑම කලා කෘතියක්ම සංස්කාරයක්. කවි, ගීත, නාට්‍ය, චිත්‍ර, පිළිම මේ සියලුම කලා කෘති සංස්කාරයන්. දුකට කියන කවි, විඳින්න පුළුවන් නිසා විඳ විඳ ඉන්නවා. දුක නිකන්ම අඬ අඬ කියනවාට වැඩිය කවියකින්, ගීතයකින්, නාට්‍යයකින්, චිත්‍රයකින්, මූර්තියකින් වැනි ඕනෑම කලා නිර්මාණයකින් කීවාම රසවත්, අසන බලන අයටත්, අහන් ඉන්න සිතෙනවා, නැවත නැවත රස විඳින්නත් පුළුවන්, කරන කෙනාටත් වින්දනයක් තිබෙනවා. නමුත් නිර්මාණකරු සහ රසිකයා යන දෙදෙනාම සිටින්නේ යථාර්ථයේ නොවෙයි. ඒ විදිහට සිතීමෙන් මේ දෙන්නාටම ඥාන දර්ශනයක් ඇතිවෙන්නේ නැහැ.

නිරීක්ෂණය

පළමු ක්‍රමය දාර්ශනිකයෙකු මෙන් සිතීම‍, දෙවන ක්‍රමය කලාකරුවෙකු මෙන් සිතීම, තුන්වන ක්‍රමය විද්‍යාඥයෙකු මෙන් සිතීම. විද්‍යාඥයින් කුමක්ද කරන්නේ, සමාජ අත්දැකීම් (අන් අයගේ අත්දැකීම්) නිරීක්ෂණය කිරීම. ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්, උද්භිද විද්‍යාඥයින් ගස් කොළන්වල අත්දැකීම් නිරීක්ෂණය කරනවා. ගසට අව්ව වැටුණාම ගසට වන්නේ කුමක්ද, ගස ලබන අත්දැකීම් මොනවාද? කියා නිරීක්ෂණය කරනවා. අව්ව අඩු වැඩි කරමින්, වැස්ස අඩු වැඩි කරමින් ගස්-වැල් ලබන අත්දැකීම් නිරීක්ෂණය කරනවා. සමාජ විද්‍යාඥයින්, ජීව විද්‍යාඥයින්, මේ හැමෝම කරන්නේ කවුරුන් හෝ  මොනම හෝ අත්දැකීමක් ලබනවා නම්, ඒ බාහිර අයගේ අත්දැකීම් නිරීක්ෂණය කිරීම. මෙම නිරීක්ෂණය ඉන්ද්‍රිය පහෙන් කරන්න නොහැකි අවස්ථාවලදී පංචේන්ද්‍රියෙන් නිරීක්ෂණය කළ හැකි ආකාරයේ උපකරණ නිපදවා ඒවා මඟින් නිරික්ෂණය කරනු ලබනවා. අවසානයේදී විද්‍යාඥයෙකු කරන්නෙත් තමන්ගේ ඉන්ද්‍රියෙන් නිරීක්ෂණය කිරීමක්. සියලුම විද්‍යාඥයින් නිරීක්ෂණය කරන්නේ අන් අයගේ වින්දන (අත්දැකීම්). කලින් සඳහන් කළි දෙන්නාට වැඩිය අනුන්ගේ අත්දැකීම් නිරීක්ෂණය කරන්නා ඉතාමත් ඈතින් සිටියත් තවත් පැත්තකින් ඉතාමත් ළඟින් ඉන්නේ. අර (අප තුළම සිටින) දාර්ශනිකයාට හා කලාකරුවාට වඩා භාවනා කරන්න පුළුවන් වන්නේ විද්‍යාඥයාට. මන්ද භාවනාවේ මූලිකම ශිල්පය විද්‍යාඥයා හඳුනාගෙන තිබුණේ. නමුත් ඔහුට වැරදී තිබෙන්නේ අනුන්ගේ වින්දන නිරීක්ෂණය කිරීමයි, භාවනාවේදී පරීක්ෂණය කරන්න අවශ්‍ය තමන් ගැන මිසක් අනුන් ගැන නොවේ. විද්‍යාඥයාට කරන්න තිබෙන්නේ 180හැරීම. තමන් දෙසට හැරීම පහසු නොවුණත් මුලින් සඳහන් කළ දෙදෙනාට වැඩිය භාවනාව පහසුයි.

මේ මොහොතේ, මෙතන තිබෙන දුක නොදන්නාකම

හිතවතුනි අපට කරන්න බොහෝ දේවල් නැති අතර තිබෙන එකම එක දෙය නම් වර්තමාන වින්දනය (අත්දැකීම) ගැන සිතිම නොව, ඒ දෙස බැලීමයි. සිතන්න වූ විටයි, දර්ශන ලෝකයක් බිහිවෙන්නේ. මාක්ස් වාදය වුවත් නිර්මාණය වූයේ “වර්තමාන සමාජ දුක ඇතිවුණේ කෙසේ ද, එය නැති වන්නේ කෙසේද, නැති වූ විට මොන වගේ සමාජ ක්‍රමයක් ද පවතින්නේ?” මේ ආකාරයෙන් සිතීමෙන්, ආගම් බිහි වී ඇත්තේද එලෙසින්, ධනවාදී දර්ශනයක් පැමිණියේ එලෙසින්. ආගමික, දේශපාලනික වැනි සෑම දර්ශනයක්ම බිහි වී ඇත්තේ මේ ආකාරයෙන් සිත සිත සිටීමෙන්. කලාව බිහිව ඇත්තේද මේ ආකාරයට විඳීමට යෑමෙන්, තිබෙන ආකාරයෙන්ම විඳීම ප්‍රමාණවත් නොවේ යැයි සිතා, නැතහොත් එහි ප්‍රශ්නයක් තිබේයැයි සිතා එය වෙනස්කර විඳින්න යෑම.  දර්ශනයට නිමාවක් නැතුවාක් මෙන් කලාත්මක නිර්මාණයටද නිමාවක් නැහැ. චින්තනය අනන්ත වගේම නිර්මාණයත් අනන්තයි. නිර්මාණශීලී හැකියාව අනන්තයි, කිසියම් කෙනෙකු එක් නිර්මාණයක් කළ විට, තවත් කෙනෙකු එයට යමක් එක්කර තව නිර්මාණයක් කිරීම මෙන්ම එකම කෙනෙක් වුවත් ජීවිත කාලය පුරාම අලුත් නිර්මාණ කරමින් සිටින්න පුළුවන්, මෙහි නිමාවක් නැහැ අනන්තයි. නිර්මාණ කරන්න කරන්න භවය දික්වෙනවා. සිතන්න සිතන්න ගියාමත්, අනුන්ගේ අත්දැකීම් නිරීක්ෂනය කරන්න ගියාමත් වන්නේ භවය දීර්ඝවීමයි. අවශ්‍ය වන්නේ තමන්ගේ අත්දැකීම් බැලීම, බලන්න තිබෙන්නේත් තමන්ගේ අත්දැකීම් පමණයි, එයද සිතීම සඳහා ද නොව, විඳීම සඳහා ද නොව, අත්දැකීම නිවැරදිව හඳුනාගැනීම සඳහායි.  

ප්‍රශ්නය නම් අත්දැකීම නිවැරදිව හඳුනා නොගැනීමයි, එයයි අවිද්‍යාව. දුක නොදන්නාකම අවිද්‍යාව ලෙසයි විස්තර වන්නේ (දුක්ඛේ අඤාණං). දුක යනු අත්දැකීම, එයයි අවිද්‍යාව. දුක කොයි කාලයේ තිබෙන දෙයක්ද? වර්තමාන කාලයේ. අතීත කාලයේ තිබුණ දුකක් නොවේ, අනාගතයේ නොවේ, මේ මොහොතේ. කොතන තිබෙන දුකක්ද? මෙතන තිබෙන දුකක්, එපමණයි. පළිඟුවක් නැතිනම් උත්තල කාචයක් එහෙ මෙහෙ විසිරෙන කිරණ සියල්ල එකතුකර එක තිතක් සාදනු ලබනවා. නිවැරදිව ඒ දුර ගත්තාම තිතක් සෑදිය හැකි අතර එම ස්ථානයයි පිච්චෙන්නේ. ලොකු ආලෝකයක් තිබුණා කියලා හෝ ලොකු පළිඟුවක් තිබුණා කියලා පුච්චන්න බැහැ,  නිවැරදිව නාභිගත කරන්න අවශ්‍යයයි.  හරියටම focus කළොත්, සියලුම කිරණ එකම එක තිතකට වැටෙන විදිහට නාභිගත කළොත් එතන පිච්චිලා යනවා. ඒ සීරුමාරු කරගැනීමටයි සමාධිය අවශ්‍ය වන්නේ. සමාධියක් නැති විට සිදුවනදේ තමයි එහෙ මෙහෙ යනවා. එහෙන් මෙහෙන් ආලෝකය වැටුණත්, උත්තල කාචයක් තිබුණත්, උත්තල කාචය තුළින් පෙනුණත්, කේන්ද්‍රය දැවිලා යන්නේ නැහැ, උත්තල කාචය නිවැරදිව නාභිගත වුණේ නැතිනම්. දැවෙන්න නිවැරදිව පේන්න අවශ්‍යයයි. ඥාන දර්ශනය පටන් ගන්නේ සමාධියෙනුත් එහා ගිහින්. සමාධිය තිබෙන්නේ ඥාන දර්ශනය සඳහායි. මේ දෙකම ඇතිවන්නේ වර්තමාන අත්දැකීම දෙස බැලුවොත් පමණයි. සමාධිය අවශ්‍ය වන්නේ වර්තමාන අත්දැකීම දෙස බලන්න. සිතීම අත්හැර, විඳීම අත්හැර, අනුන්ගෙන් තොරතුරු ගැනීම අත්හැර, තමන්ව නිරීක්ෂණය කිරීමෙන්, දැකීම පහළ වෙනවා. ඒ  දැකීමෙනුයි තමන් වෙනස් වෙන්නේ. අනුන්ගේ දුක දැක්කාට අප වෙනස් වෙන්නේ නැහැ, අප පරෙස්සම් වෙනවා. අනුන්ගේ දුක දකින්න දකින්න අප පරෙස්සම් වෙනවා මිසක් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න නම් තමන්ගේ දුක දකින්න අවශ්‍යයයි. අත්දැකීම්වල ස්වභාවය දකින්න අවශ්‍යයයි. එය නොදකිනතාක් අප මේ ක්‍රීඩාව කරගෙන යනවා, දාර්ශනිකයන් ලෙසත්, කලාකරුවන් ලෙසත්, විද්‍යාඥයින් ලෙසත්. මේ තුන්දෙනාම කරන්නේ එකම ක්‍රීඩාව තුන් ආකාරයකට. ආකාර තුනයි, සෙල්ලම එකයි, අවසන් වන්නේ හැඬීමෙන්.

භාවනාව

ඒ නිගමනයත් එක්ක හිතවතුනි අප ස්වල්ප වේලාවකට භාවනානුයෝගී වෙමු. මෙතෙන්දි හඳුනාගන්න තිබෙන්නේ කාරණා තුනයි. අප ළඟ සිටින දාර්ශනිකයාව හඳුනාගන්න, එයාව අත්හරින්න. ඉන්න කලාකාරයාව හඳුනාගන්න, එයාටත් නිවාඩු දෙන්න. අනුන්ගේ දුක් හා ප්‍රශ්න නිරීක්ෂණය කරන, විග්‍රහ කරන, විශ්ලේෂණය කරන හා පිළිතුරු සොයන විද්‍යාඥයා හඳුනාගෙන එයාටත් විවේකයක් දෙන්න. මේ චරිත තුනම හැම පුද්ගලයෙකු තුළම තිබෙනවා. එක් එක් වේලාවේ එක් එක් චරිතය රඟපානවා. කෙනෙකු වැඩිපුර දාර්ශනික චරිතයේ ඉන්න පුළුවන්, තව කෙනෙකු කලාත්මක, නිර්මාණශීලි චරිතයක, තව කෙනෙකු විද්‍යාත්මක චරිතයක ඉන්නවා වෙන්න පුළුවන්. මේ චරිත තුන හඳුනා ගන්න. මොන තරම් මේ චරිතවලට ඇබ්බැහි වෙලාද කියා තේරුම් ගන්න. මේ නිසා මොන තරම් දුරට අපේ දුක වැසුණා ද, මොන තරම් අප ප්‍රමාදී පුද්ගලයන් වුණාද? ඒ කාරණා ගැඹුරින් ම මෙනෙහි කරමු.

ඉන්නේ දාර්ශනිකයෙකු නම් එයාට යන්න අරින්න. නිර්මාණ ශිල්පියෙකු නම් එයාටත් යන්න දෙන්න. අනුන්ගේ දුක් නිරීක්ෂණය කරන විද්‍යාඥයෙකුනම් ඔහුට හෝ ඇයටත් සමුදෙන්න. ඒ චරිත එක, දෙක, තුන මතුවනවිට හඳුනාගෙන, ඒ ඇබ්බැහිවීම් වලින් සිත ඈත් මෑත් කරගත් කල, පිරිසිදු දැක්මකට සුදුසුයි. කිසියම් දුරකට ශුද්ධ වූ දැක්මකින්, පිරිසිදු වූ දැකීමකින්, කළ්‍යාණ මිත්‍රයිනි අත්දැකීම් බෙදා ගන්නටත්, අවබෝධයන් හුවමාරු කරගන්නටත්, ගැටළු විමසන්නටත් තිබෙන, මෙම අවකාශයට එන්න, සාකච්ඡාවට.

සාකච්ඡාව 

ප්‍රශ්නය : සමාධියත් අත්දැකීමක් නේද?  

පිළිතුර : සමාධිය අත්දැකීමක්ද, ඔව් කියන්නත් පුළුවනි නෑ කියන්න පුළුවනි. අත් දකින්න ඕන කෙනාට එය අත් දැකීමක්, විඳින්න ඕන කෙනාට වින්දනයක්, පර්යේෂණය කරන්න ඕන කෙනාට පර්යේෂණයක්. සමාධියට එන්න ඒ තුන්දෙනා අයින් කරන්න ඕන. හැබැයි සමාධියට ආවට පසු ඒ අය ආපහු එතනට එන්න පුළුවන්. ඇවිල්ලා ඒ අයට ඕන දේ සමාධියෙන් කරගන්නවා. (සමාධියේ ඉඳගෙන හිතන්නත් පුළුවන්. එහෙම සමාධියෙහි සිටිමිනුයිඉකර්මවාදය වගේ දේවල් හොයාගෙන තියෙන්නේ. සමාධියෙන් ඒ අය දැකලා තියනවා පින් කරන අයට හොඳ විපාකත් පව් කරන අයට නරක විපාකත් ලැබෙනවා. එසේ දැක තමා ඒ අය දර්ශනයක් හදලා තියෙන්නේ පින්  කළොත් අනිවාර්යෙන්ම සැපද  සහ පව් කළොත් දුකද ලැබෙනවා කියා. තවත් පිරිසක් දැක තියෙනවා පින් කරන අයට දුක ලැබෙනවා හා පව් කරන්නන් සැප විඳින බවත්.ඒ අනුව ඒ අය දර්ශනයක් හදා තියෙනවා කර්මය කියා දෙයක් නෑ කියන. මේ දෙගොල්ලටම මුල් වෙලා තියෙන්නේ සමාධිය). 

අපට ඕන මොකක්ද ඒ දේට අපට සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. සමාධිය තියෙන්නේ මොකටද කියන එක තීරණය වෙන්නේ එයින් අප කරන්න යන්නේ කුමක්ද කියන කරුණ මත. විදර්ශනා කරන කෙනෙකුට නම් ඔය එකක්වත් නොවේ,, සමාධිය උත්තල කාචයක් කරගෙන වර්තමානය විනිවිද දකින්න, වර්තමාන අද්දැකීම හරියට තේරුම් ගන්න, එය උපකරණයක්. ධර්ම මාර්ගයේ දී නම් සමාධිය කියන්නේ උපකරණයක්. 


ප්‍රශ්නය :  බෝසතාණන් වහන්සේ  ප්‍රගුණ කළේ විදර්ශනාව. ඒ ගැන නේද අද දේශනයේ පැහැදිලි කළේ?

පිළිතුර : බෝධිසත්වයන්වහන්සේ ළඟත් ඒ තර්ක තුනම තිබුණා. කාමසුකල්ලිකානු යෝගීව ඉන්න විට කලාකරුවෙක් විදිහටත් ඉන්පසු අනුන්ගේ දුක දකිද්දී( ලෙඩෙක් මහල්ලෙක්) විද්‍යාඥයෙක් විදිහටත්. ඉන්පසු දාර්ශනිකයෙක් විදිහට “මේ දේම මටත් වෙනවා නේද?’ කියන දාර්ශනික ප්‍රශ්නයක් ඇහුවා. එසේ විමසා ඒවට උත්තර හොයාගෙනයි ගිහිගෙයින් නික්මුනේ. උත්තර ලැබුණා, නමුත් ඒ උත්තරවලින් ප්‍රශ්නය විසඳුනේ නෑ. උත්තර එකක්, විසඳුම් තව එකක්. මේ දෙක වෙන් කර ගන්න බැරි කමේ ප්‍රශ්නයයි ලෝකයට තියෙන්නේ. අප ප්‍රශ්න වලට උත්තර හොයනවා උත්තර දෙනවා. දාර්ශනිකයින් විද්‍යාඥයන් කලාකරුවන් දෙන්නේ ප්‍රශ්න වලට උත්තර. හැබැයි එයින් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. එහෙම විසඳෙන්නේ නැති බව දැන ගත් විටයි උන්වහන්සේට සිදු වුණේ තමන් වහන්සේටම විසඳුම සොයා ගෙන යන්න. විසඳුම තමයි මැදුම් පිළිවෙත. ඒ මැදුම් පිළිවෙත සොයාගන්න සමාධිය අනිවාර්යෙන්ම අවශ්‍යයි. සමාධිය උදව් කරගෙන විදර්ශනාවට දැකීමට එන්න ඕන. එය තමයි අවශ්‍යය. 


ප්‍රශ්නය : අපි කතා කරන ඥාන දර්ශනය කියන්නේ යම්කිසි ශ්‍රේණියක ක්‍රියාපටිපාටියක යම්කිසි අවස්ථාවක් ද?. සමාධියෙන් පරිපූර්ණ වෙලා ඥාන දර්ශනයට සම්ප්‍රේෂණයක් වීමක්ද වෙන්නේ නැත්නම් ඊට අමතරව තව සාධක තියෙනවද ඒ ශ්‍රේණියේ?

පිළිතුර : සමාධියක් අවශ්‍යයි. සමාධියකින් තොරව ඥාන දර්ශනයක් පහළ වෙන්නෙ නෑ. ඒ සමාධිය පරිපූර්ණ වෙනවා කියලා දෙයක් නෑ. අවම සමාධියක් ඇති, එතනින් එහාට එය වැඩි කරගන්න පුළුවන්. අවම සමාධියකින් ඥාන දර්ශනය ට එන්නත් පුළුවන්. හැබැයි සමාධිය තිබූ පමණින් ඥාන දර්ශනයක් පහළ වෙන්නේ නෑ. 

එතකොට මෙතන වැදගත්ම කාරණය ධර්ම ශ්‍රවණය. සමාධියට ලොකු ධර්ම ශ්‍රවණයක් ඕන නෑ. ධර්ම ශ්‍රවණය වැඩිවෙන්න වැඩිවෙන්න සමාධිය කරගන්න බැරිවෙනවා. සමාධි භාවනාවේදී පුංචි කමටහනක් විතරයි ඕන කොහොමද මේ නීවර්ණ අත්හඅරීමට සහ ඉන්ද්‍රිය ධර්ම වඩවා ගන්නට. එහෙම සමාධියක් ඇති කර ගත්තට එයින් ඤාණ දර්ශනය පහළ කරගන්නනම් ධර්ම ශ්‍රවණය ඕන. ධර්මශ්‍රවණය කියන්නේ කියන හැම එකටම නම් නොවේ. වර්තමාන අත්දැකීම දකින්නේ කොහොමද, දකිනවා නම් දකින්න ඕන වර්තමාන අද්දැකීම පමණයි, වෙන මොනවත් දකින්නත් බෑ, එතකොට කොහොමද වර්තමාන අත්දැකීම දකින්නේ? අන්න ඒ පිළිබඳ මඟ පෙන්වීමක් ඕන. ඒ මඟ පෙන්වීම හොදට හදුනා ගන්න ඕන. කෙනෙකු පාරක් කියන විට එයට අප හොඳින් ඇහුම්කන් දෙන්න ඕන. හරියට තේරුනේ නැත්නම් නැවත අහන්න ඕන (සාකච්ඡාව). ඊළඟට ඒ ගැන තමන් කල්පනා කරන්න ඕන, මෙනෙහි කර බලන්න ඕන. ඒ සියල්ල සහතික නම් ගමන පටන් ගන්න. ඔය කාරණා ටික ඕන වෙනව. ඔය කාරණා ටික එකතු වෙලා ගමන ගියොත් තමයි ඤාණ දර්ශනය පහළ වෙන්නේ. 


ප්‍රශ්නය : අපේ හිතේ ඇතිවන ක්ලේශයන් වලට උත්තර දෙන්න යන නිසා තමයි මෙහෙම චරිත තුනක් එන්නෙ. එතකොට මේ චරිත තුන අත්හරින්න සමාධියක් ඕනමද? සමාධියෙන් තොරව අත්හරින්න බැරිද? 

පිළිතුර : මෙතන තියෙන්නේ භාවිතය පිළිබඳ කාරණයක්. සමාධියකට එන්න නම් විතර්ක අත්හරින්න ඕන, හිතමින් සිටීම අත්හරින්න ඕන. අමාරුම දේ එය. ඊළඟට විඳින්න තියෙන ආශාව, විඳීම අත්හරින්න ඕන. ඊළඟට අවධානය අප වෙතට ගන්න ඕන. සතියෙන් කරන්නේ ඒකයි. ඊගාවට සමාධියක් ඇති උනහමත් මේ තුන්දෙනා එන්න පුළුවන්. දාර්ශනිකයා ඇවිත් ඒ සමාධි හිතින් ඕන දෙයක් ගැන හිතන්න පුළුවන්. සමාධියක් ආවහම තමන්ට ඕන දේට පමණක් අවධානය යොමුකර ඒක දිගේ දිගින් දිගට යන්න පුළුවන්. ඉතින් දාර්ශනිකයා ඇවිත් සමාධියෙන් එයාගේ වැඩේ කරගන්නවා. කලාකාරයා ඇවිත් ඒක විඳින්න ගන්නවා (ධ්‍යාන සුඛය). ධ්‍යානයේ තියෙන හැකියාවන් භාවිතා කරලා විද්‍යාඥයාට පුළුවන් අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න. සමාධියේ දී මේ තුන්දෙනා සම්පූර්ණයෙන් නැති වෙන්නේ නෑ, නැවත නැගිටලා එනවා. සමාධිය සඳහාත් මේ අය අත්හළ යුතුයි. සමාධිය නිසා සංසාර ගමන නැවතිලා නෑ, ආයෙත් මේ තුන්දෙනා ඇවිත් බාධා කරනවා. මේ තිදෙනා මාරයන් විදියට විස්තර කරන්න පුළුවන්, සමාධියටත් බාධා විදර්ශනාවටත් බාධා කරනවා. තමන්ගේ ප්‍රශ්නය විසඳ ගත් පසුව කෙනකුට ඕන නම් දාර්ශනික ඇහෙන් දර්ශනයක් හදන්නත් පුළුවන්, කලා රස වින්දනයක් හදන්නත් පුළුවන්. ලෝකය විශ්ලේෂණය කරන්නත් පුළුවන්. හැබැයි ඒ සියල්ලටම පළමු තමන් ගේ ප්‍රශ්නය විසඳලා ඉන්න ඕන. 

ප්‍රශ්නය : දේශනයේදී සඳහන් වුණා විද්‍යාඥයෙකුට අනිත් චරිත දෙකට වඩා පහසුවෙන් මේ කාර්යයට එකතු වෙන්න පුළුවන් කියලා. හැබැයි විද්‍යාඥයා බාහිර ලෝකයත් එක්ක පැටලිලා නේද ඉන්නේ?. එයාටත් ධර්මයට අනුව හොඳ ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන නේද මේ පැත්තට හැරෙන්න?.

පිළිතුර :  අනිවාර්යෙන්ම.ලෝකය දිහා බල බලා හිටියා කියලා, එයාට පුළුවන් පළවෙනි ධ්‍යානයේ සිටින කෙනෙකුව පර්යේෂණය කර කියන්න පලවෙනි ධ්‍යානයේ මේ වගේ ලක්ෂණ තියෙනවා කියා. ඒවා බොරු නොවෙයි. හැබැයි එයින් එයාට ලැබෙන ප්‍රයෝජනයකුත් නෑ, එයාගේ හිත සමාධිගත වෙන්නෙත් නෑ. නමුත් එයාට එක සුදුසුකමක් තියෙනවා, නිරීක්ෂණය කිරීමේ සුදුසුකම. යමක් පිළිබඳව මුල සිට අගටම කොහොමද නිරීක්ෂණය කරන්නේ පුර්ව නිගමනවලට එන්නේ නැතිව. තමන්ගේ සිතිවිලි මතිමතාන්තර ආගම හා සංස්කෘතිය පටලවා ගන්නේ නැතිව මේ වෙලාවේ සිදුවන දෙය කොහොමද නිරීක්ෂණය කරන්නේ කියන හැකියාව. නිරීක්ෂණය කරන්න ගියාම ආගම ඇවිත් කියනවා “ එය මෙහෙමයි වෙන්නේ, ඊට එහා බලන්න දෙයක් නෑ” කියා. එය පිළිගත්තහම දැකීම ඉවරයි, නිරීක්ෂණය එතනින් එහාට වෙන්නේ නෑ. ඒ නිසා නිරීක්ෂණය කරන්න පූර්ව නිගමනවලින් සම්පූර්ණයෙන්ම බැහැර වෙන්න ඕන. විද්‍යාඥයෙකු කියන්නේ එබඳු  කෙනෙකුට. අමාරුම දේ එයා කරගෙන තියෙනවා. වියයුතු පරිවර්තනය නම් තමන් දෙසට හැරීම. එහෙම වෙන්න නම් මගපෙන්වීමක් අවශ්‍යයි. මේවා දිහා බැලුවා කියා “තමන්ගේ ප්‍රශ්නය විසඳන්නේ නෑ” කියන හැඟීම එන්න ඕන. ඒ විදිහට සංවේගයක් ඇති වුනොත් විද්‍යාඥයකුට පහසුවෙන් වැඩේ පටන් ගන්න පුළුවනි අනිත් දෙන්නට වැඩිය. හැබැයි ඉන් කියවෙන්නේ නෑ අනිත් දෙන්නට පටන් ගන්න බෑ කියල. 

ප්‍රශ්නය : විද්‍යාඥයාට සිහිබුද්ධිය ආවොත් හැරෙන්න ලේසියි නේද?.

පිළිතුර : ඔව්, කාට උනත් සිහිබුද්ධිය ආවොත් හැරෙන්න ලේසියි. සිහිබුද්ධිය ඇති කරගන්න තමා අවශ්‍යය. දාර්ශනිකයාට අමාරු එයාට ඇත්ත තමන්ගේ සිතිවිලි. එය අත්හරින් අමාරුයි. තමන්ව අත්හරිනවා වගේ වැඩක්නේ සිතිවිලි අතරිරීම. ඒ නිසා අමාරුම එක්කෙනා එයා. කලාවට හුරු වුණු කෙනා වින්දනයට හුරු උනහම එයාටත් අමාරුයි. හැමදේකින්ම වින්දනයක් හොයන්නේ, දුක නැති කරන්න නෙවේ උත්සාහ කරන්නේ, දුක කලාත්මක කර, රසවත් කර විදින්න බලනවා. එතනිනුත් ගැලවෙන්න ඕනේ. කාමච්ඡන්දය ප්‍රහීණ කළයුතුය.ඉතින් මේ තුන්දෙනාට මාර පුත්තු මාර දූවරු කියා කිව්වට කමක් නෑ. මේ කාරණය හදුනාගන්න ඕන. හදුනාගත්තොත් ඕන කෙනෙකුට පුළුවන්. 

ප්‍රශ්නය : විද්‍යාඥයාගේ වෙන්නේ සිහිබුද්ධිය අවම වෙලා දෘෂ්ටිගත වීමක් ද ?

පිළිතුර : නිරීක්ෂණ වලින් පස්සේ එයා නිගමන වලට එනවා.ඒ නිගමන ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇත්ත හැමදාම තියෙන ඇත්ත නොවෙයි, වෙනස් වෙන ඇත්තවල්. හැබැයි ඒ නිගමනයට ආවහම එයා හිතනවා මෙය තමයි ඇත්ත කියා. එහෙම හිතුවොත් එය දිට්ඨියක්. දිට්ඨියක ස්වභාවය තමයි මෙයින් පිට වෙනත් ඇත්තක් තියෙන්න බෑ කියා සිතීම. විද්‍යාඥයකුට නැත්තෙ සම්මා සතිය. සිහිබුද්ධිය කියා කීවත් කමක් නෑ, තමන්ව නිරීක්ෂණය වීමක් වෙන්නේ නෑ. සම්මා සතියෙන් වෙන්නේ තමන්ව නිරීක්ෂණය වීමක්. සතියේදී විද්‍යාඥයාත් පරීක්ෂණයට භාජනය වෙන්නාත් විද්‍යාගාරයත් එකක් වෙනවා. සාමාන්‍ය විද්‍යාවේ දී නිරීක්ෂණය කරන්නේ බාහිර. එයින් අභ්‍යන්තර වෙනසක් වෙන්නේ නෑ. මොන තරම් දක්ෂ භෞතික විද්‍යාඥයෙක් වුණත් මිත්‍යා මත වලින් නිදහස් වෙන්නේ නෑ. මිත්‍යාව නැති වෙන්නේ තමන් පිළිබඳ විද්‍යාව පහළ වුණොත් පමණයි. එම නිසා පැමිණිය යුත්තේ සම්මා සතියට.

ප්‍රශ්නය : පරීක්ෂකයා ආර්ය පරීක්ෂකයෙක් වුනොත් සමාධියෙන් හේතුඵල විදිහට දැකලා ත්‍රිලක්‍ෂණය මතුකර ගන්න එකද තියෙන්නෙ?

පිළිතුර :ඔව්, ඒ එක ක්‍රමයක්. එහෙම කරන්නත් පුළුවනි. හුඟාක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒ ක්‍රමය. විපස්සනාවට නිශ්චිත එක ක්‍රමයක් නෑ, ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. ත්‍රිලක්‍ෂණය මෙනෙහි කිරිම එකක්, හේතුඵල සම්බන්ධය අවබෝධ කරගැනීමත් තව එකක්. තවත් ක්‍රම තියෙනවා. මේ ඕනම ක්‍රමයක් දෙයාකාරයකට කරන්න පුළුවන්. එකක් තමා සමාධියක් ඇතිකරගෙන ඒ සමාධිය උදවු කර ගනිමින් (සමාධිය අන්වීක්ෂයක් කරගනිමින්) තමන් මේ මොහොතේ ලබන ඉන්ද්‍රිය අත්දැකීම් සියුම් විදියට බලන්න පුළුවන්, ඒවාට මොකද වෙන්නේ, ඒවා ඇතිවෙන්නේ කොහොමද, ඒවා පවතින්නේ කොහොමද ,ඉදිරියට මොකක්ද වෙන්නේ, එහෙම බලන්න පුළුවන්. දෙවන ක්‍රමය සමාධිය දිහාම බලනවා, සමාධියෙන් සමාධිය දිහා බලනවා. එහෙම බැලුවොත් පමණයි පේන්නේ සමාධිය කියන්නේ සීමිත දෙයක්, සමාධිය කියන්නෙත් හේතු ඵලයක්, එයත් ප්‍රත්‍යයන්ගෙන් ඇති ඇතිවන දෙයක්, ප්‍රත්‍යන් නැති වුනහම නැති වෙන දෙයක්. සමාධිය කියන්නේ අයිතිකර ගන්න පුළුවන් දෙයක් නොවෙයි. මේ තමා ක්‍රම දෙක, සමාධියෙන් සමාධිය දිහා බලන්න පුළුවන් නැත්නම් සමාධියෙන් තමන් ලබන ඕනෑම ඉන්ද්‍රිය අත්දැකීමක් දිහා බලන්න පුළුවන්. 

මෙම වැඩසටහන් මාලාවෙන්ම වැඩසටහනින් වැඩසටහනට මාර්ගය සරල වෙන්න ඕන. පටන් ගත්ත දවසට වඩා අද වෙනකොට කරන්න තියෙන දේ හරි සරලයි කියන එක තේරෙන්න ඕන. එහෙම තේරෙන්නේ නැත්නම් මෙතන කියන විදිහේ වැරැද්දක් තියෙනවා. එන්න එන්න සංකීර්ණ වෙන්නත් බෑ, එන්න එන්න ගැඹුරු වෙන්නත් බැහැ. ඥාන දර්ශනය ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඥාන දර්ශනය ඇතිකරගන්න කරන්න තියෙන්නේ සරල දෙයක් කියන එක වැටහෙන්න ඕන. අත්හරින්න ඕනේ මොනවද ඒවා පේන්න ඕන. ඒ කාරණා තුනක් ගැන තමා අද කතා කළේ. එය බලන්න. හොඳින් බලන්න අප හැමෝම ලඟ ඉන්න මේ තුන් දෙනා ගැන. ඒ අය හඳුනාගෙන ඒ අයට මේ කාර්යය, භාවනාවයි බණ ඇසීමයි මෙනෙහි කිරීමයි කියන ටික බාර දෙන්න එපා. දුන්නොත් අපි අමාරුවේ වැටෙනවා. ඒ කාර්යයන් සම්මා සතියට හා සම්මා සමාධියට බාර දෙන්න. ඒ මට්ටමට සම්මා සතියත් සම්මා සමාධියත් දියුණු කරගන්න උත්සාහවත් වෙමු. මේ සියල්ල එකට යන්නේ. ඒ චරිත තුනේ හුලං අරිනකොට එහි ප්‍රතිඵලයක් විදිහට සම්මා සතිය හා සම්මා සමාධිය වැඩෙනවා.

කළ යුතු දේ මෙය යයි හඳුනාගෙන ඒ දේහි දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ අධිෂ්ඨානයෙන් චේතනාවෙන් අද සමුගනිමු. 

හැම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!