සදහම් සැඳෑව

නැණ දසුනට තත්පරයක් - 10

සෑම දෙනාටම සුවදායක, සැනසිලිදායක, සන්සුන් සැඳෑවක්, දවසක් ! ආදරණීය හිතවතුනි,

 බොහෝ විට මේ හිතවතුන් සහ අප බොහෝ කාලයකින්, වසර දෙක තුනකින් භෞතිකව මුණගැසී නැහැ. සමහරවිට ඊට කලිනුත් මුණ නොගැසුණ ආදරණීය හිතවතුන් මෙතන ඇති. කායිකව දැකීම, කථාබහ කිරීම වැනි, දැන-හඳුනා ගැනීම් සාමාන්‍ය ජීවිතයට වටිනවා. එයට වඩා සමීපවීමක් මෙවැනි මාර්‍ගගත  වැඩසටහන්වලදී සිදුවෙන බව හැඟෙනවා. සමහරවිට මේ හිතවතුන්ටත් ඒ බව වැටහෙනවා ඇති. 

මට මේ හිතවතුන් නොපෙනුණාට, මේ රූපය මේ හිතවතුන්ට පෙනෙනවා. එසේම මෙතන සිටින හිතවතුන් සෑම දෙනාගේම කටහඬ මට නොඇසුණාට, මේ කථාව බාධා මධ්‍යයේ හෝ සෑම දෙනාටම ඇසෙනවා. මෙතන ඇතිවෙන දැන-හඳුනා ගැනීම පෙනෙන රූපයට හෝ  ඇසෙන හඬට වඩා නිශ්ශබ්ද, වචනයකට නැඟිය නොහැකි, රූපයකට ගෙනෙන්න නොහැකි හඳුනාගැනීමක්. මේ වැඩසටහන මුළ සිටම කළේ වීඩියෝ කැමරාව ක්‍රියාවිරහිත කර නම්, මේ කියන කෙනාව පෙනෙන්නේ නැහැ, හඬ පමණයි ඇසෙන්නේ. නමුත් කිසියම් හඳුනාගැනීමක් එතන සිදුවෙනවා. එය කතිකයාගේ සිත හඳුනා ගැනීමක් නම් නොවේ. “මෙබඳු කටහඬක් තිබෙනවා නම්, මේ වගේ කෙනෙකු වෙන්න ඕනෑ” කියා සිතා, “මේ කියන දේවල් වලට අනුව නම් අර වගේ කෙනෙකු වෙන්න ඕනේ”, “මේ කියන දේවල් නිසා අරහෙම කෙනෙකු නම් වෙන්න බැහැ”, මෙවැනි තර්‍කයකින් ගොඩනඟන ප්‍රතිරූපයක් නොවේ. ප්‍රතිරූපයක් නැහැ එතන. නමුත් කිසියම් සමීපබවක්, දැන හඳුනාගැනීමක් සිදුවෙනවා. මේ ගමන යන්න කල්‍යාණ මිත්‍ර ඇසුර අවශ්‍යයයි. අපටත්, මේ හිතවතුන්ටත්, හැමදෙනාටමත් අවශ්‍යයයි. කල්‍යාණ මිත්‍රයෙකු හඳුනාගන්නේ කෙසේද? කල්‍යාණ මිත්‍රයෙකු සතු චරිත ලක්ෂණ මොනවාද? මෙය වෙනම කථා කළයුතු දෙයක් වුවත් එය අවශ්‍යම දෙයක් නොවේ.

කල්‍යාණ මිත්‍රයා

කෙනෙකුට සිතෙනවා නම් “මේ දහම දන්නේ නැහැ, දන්න කෙනෙකු කියන දේ ඇසුවාම අපට දැනගන්න පුළුවන්. එය තමයි දැනගැනීම. ඇසුවායින් පසුව අපත් දන්නවා. ඊළඟ දවසේ මොනවා කියයිද දන්නේ නැති නිසා නැවතත් අසනවා”. මෙසේ සවන්දීගෙන සිටින විට අප දන්න දෙයක් නැවත කියනවා, නැතිනම් දැනගෙන සිටි දෙයක් වැරදියි කියා කියනවා, එසේ නැතිනම් වැරදියි කියා සිතන් සිටි දෙයක් නිවැරදියි කියා කියනවා. එසේත් නැතිනම් හතරවැනි කාරණය කොහොමවත් දන්නේ නැති දෙයක් අලුතෙන් කියනවා. මේ ආකාර සතර යි දේශනයකදී වෙන්න පුළුවන්. “අප දන්නේ නැහැ, කථා කරන කෙනා දන්නවා” කියා පරතරයක් තියෙන නිසා කල්‍යාණ මිත්‍රයෙකු කියා කියනවා. නැහැ එහෙම කල්‍යාණ මිත්‍රයෙකු කියන්න බැහැ, එය වැරදි මාපකයක්. “අප දන්නවාද නැද්ද, අප දන්නා දේට වැඩිය දන්නවාද, අප නොදන්නා දේ දන්නවාද” කියන ඒ කාරණය මත කලණ මිතුරෙකු හඳුනාගන්න බැහැ. කලණ මිතුරෙකු සමහරවිට අපට වැඩිය දන්නවා ඇති, අප එයට වඩා දන්නවාත් ඇති.

සම්පූර්‍ණයෙන්ම මේ සංසාර රෝගය කවුරුන් මුලින්ම සනීප කරගනියිද කියන්න බැහැ. සමහරවිට මේ කථා කරන කෙනා අවසාන තැනැත්තා වෙන්න පුළුවන්. එයට පෙර ඇහුම්කන්දෙන සෑමදෙනාම සසරින් එතෙර වෙන්නත් පුළුවන්. ඒ දෙගොල්ලටම කලින් කිසිම වැඩසටහනකට වැස්සකටවත් ගොඩ නොවුණු පිරිසක් සසරින් එතෙර වෙන්නත් පුළුවන්. එය කෙහොමද වෙන්නේ, කුමක්ද එහි තිබෙන ක්‍රියාපටිපාටිය කියා කිවනොහැකියි. “කවුද ඒ ලැයිස්තුව සාදන්නේ, ඒ ලැයිස්තුවේ මුලට කොහොමද නම දාගන්නේ, කවුද ලැයිස්තුවේ අග ඉන්නේ?”, කියා කවුරුන්ද  දන්නේ. ඒ ගැන සොයන්න අවශ්‍යයත් නැහැ. කියන්න උත්සාහ කරන්නේ ‘දැනුමින් කියන්න බැහැ, කවුද ඉක්මනට සුව කරගන්නේ, කවුද ප්‍රමාද වෙන්නේ’ කියා. මේ හිතවතුන් බොහොම ඉක්මනට මේ ගමන නිමා කරන්න පුළුවන්, කථා කරන කෙනාට කළින්. එසේ කියනුයේ,  එලෙසමයි සිදුවන්නේ කියන දැකීමකින් නොව අනුමානයකින්.

මෙහිදී අපට දැනගන්නට යමක් තිබෙනවා, අවශ්‍ය වන්නේ අවිද්‍යාව නැති කිරීමයි, විද්‍යාව පහළ වීමයි. නොදන්නා දෙයක් දැනගැනීමක්, දන්නා දෙයක් හරි කියා ඔප්පුකර ගැනීමක් නොව සිදුවන්නේ නොදැන සිටි යමක්, වැරදි ආකාරයට තේරුම් ගෙන සිටි යමක් නිවැරදිව තේරුම් ගැනීමට පටන්ගැනීමයි. අනිවාර්‍යයෙන්ම දැනගැනීමක් සිදුවන්න අවශ්‍යයයි. කිසියම් කාරණයක් නොදන්නාකම නිසා නම් අප සසරේ යන්නේ ඒ දතයුතු කාරණය, පොතක් කියවා දැනගන්න බැහැ. ඒ කාරණය පුස්කොළ පොතක, කඩදාසි පොතක, electronic book එකක, audio book එකක ආදී මේ කිසිම පොතක නැහැ. එමෙන්ම මේ දතයුතු කාරණය කිසිවෙකුට හෝ සවන්දීමෙන් දැනගන්නත් බැහැ. එසේ බැරිවෙන්න හේතුව එය වචනයකට ගේන්න බැරි දෙයක්. පොත් ලියන්නෙත්, දේශනා කරන්නෙත් දන්නා අය නම්, මෙවැනි දෑ ලියන එකේ සහ කියන එකේ තේරුම කුමක්ද?  කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරක් කුමකටද? එවැනි සාධාරණ ප්‍රශ්නයක්, අභියෝගයක් ඇතිවෙන්න පුලුවන්.

දැනගන්නා ආකාරය

හිතවතුනි, කිසියම් හේතුවක් (කිසියම් දෙයක් නොදන්නා කම) නිසා  ඔබ අප සසරේ සිටිනවා නම්,  ඒ දතයුතු කාරණය මෙන්න මෙයයි කියා කියන්න, කිසිම දිනක උත්සාහකර නැහැ.  “මෙන්න මේ හේතුව දැනගත්තොත් සසරින් අයින්වෙන්න පුළුවන්”, කියා ඒ හේතුව කියන්න නම් කවදාකවත් උත්සාහ කර නැහැ, උත්සාහ කරන්නත් බැහැ. එය කියාදෙන්න පුළුවන්නම්, අසන්න පුළුවන්නම්, මාර්‍ගයක්, භාවනාවක්, සීල ප්‍රතිපදාවක්, ප්‍රඥා ප්‍රතිපදාවක්, සමාධි ප්‍රතිපදාවක් මේ මොනම ප්‍රතිපදාවක්වත් අවශ්‍ය නැහැ. අසා සිටීම පමණයි තිබෙන්නේ.  එහෙම අසාගෙන සිටීමෙන්  සිදුවන පරිවර්‍තනයක් තිබෙන නමුත් මෙම අවබෝධය එසේ ඇතිවන්නේ නැහැ. එවිට ප්‍රශ්නයක් ඇතිවෙයි “බුදුරජාණන් වහන්සේගේ දේශනා අසා සිටීමෙන් සැරියුත් හාමුදුරුවන්වහන්සේ වැනි රහතන් වහන්සේලා රහත්වුණා” කියා. ඔව්, ඒ සිදුවුණු දේවල් වෙනම බැලිය යුතු කාරණාවන්. එසේ නම් ප්‍රතිපත්තියක්, උන්වහන්සේ පැවිදිවීමක් අවශ්‍ය නැහැ. එය එසේ නම් කුමකටද මේ උත්සාහ කරන්නේ? උත්සාහ කරන්නේ හිතවතුනි, එකම එක දෙයකට, දැනගන්න අවශ්‍ය දෙය නොවේ මේ කියන්න උත්සාහ කරන්නේ දැනගන්නා ආකාරයයි. මේ දෙකක්. මෙය පැහැදිලිව වෙන්කර ගන්න. දතයුතුදෙය මෙයයි කියා කීම තේරුමක් නැහැ. එය කියන්න බැහැ. “මෙයයි දැනගතයුතු දෙය, මා එය දැනගත්තා, එය හොඳින් අසාගන්න. ” එම දැනගතයුතු වාක්‍ය කටපාඩමින් කියන්න පුළුවන්නම්  “එහෙනම් හරි දැන් දන්නවා.” නැහැ දන්නේ නැහැ. අසන්න කලින් දන්නෙත් නැහැ, ඇසුවාට පසුව දන්නෙත් නැහැ. නමුත් දැනගන්නා ආකාරය අප දැනගත යුතුයි.

එසේනම් මෙතන තිබෙනවා නොදන්නා කාරණා දෙකක්. එකක් නම් “දැනගන්න අවශ්‍ය කුමක් ද? ” කියා දන්නේ නැතිකම. එය පොත් කියෙව්වාට, කාටවත් ඇහුම්කන් දුන්නාට, කල්පනා කලාට දැනගන්න බැහැ. දෙවන කාරණය, අප දැනගන්න අවශ්‍යයයි “දැනගන්නේ කොහොමද?” කියා, දැනගන්න අවශ්‍ය දෙය, දැනගැනීමේ යාන්ත්‍රණය, තාක්ෂණය, ක්‍රමවේදය. එය ඉගෙන ගන්න නම් අනිවාර්‍යයෙන් ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. මේ කාරණා දෙක පැහැදිලිව වෙන්කර ගැනීම ඉතාම වැදගත්.

අපට තිබෙන ලොකුම ගැටලුව නම්, බණක් අසනවිට, ධර්‍ම දේශනයකට සවන්දෙනවිට, සාකච්ඡාවකට සම්බන්ධ වනවිට, දහම් පොත් කියවනවිට, දෙවන කාරණය ගැන නොවේ අවධානය යොමුකරන්නේ. ඉලක්කය තිබෙන්නේ මේ දැනගතයුතු දෙය දැනගන්නේ කොහොමද?  කියා දැන ගන්න ඕනේ කියන කාරණය ගැන නොවේ. ඒ චේතනාව නොවේ. නමුත් සොයන්නේ “මොකක්ද දැනගන්න තිබෙන්නේ”, “අවබෝධය කුමක්ද?” අවබෝධය කුමක්ද කියා සොයන්න බැහැ,  සෙවිය යුත්තේ අවබෝධ කරගන්නේ කෙසේද කියායි. මෙතන පටලැවුණොත් හිතවතුනි මොනතරම් භාවනා කළත්, පොත් කියෙව්වත්, ධර්‍මය ශ්‍රවණය කළත් ඵලක් නැහැ. සොයන්නේ එක දෙයක් නමුත් ලැබෙන්නේ තව දෙයක්. ලැබෙන දෙය භාරගන්නේවත් එයින් ප්‍රයෝජනය ගන්නේවත් නැහැ.

දැනගතයුතු කාරණය

සොයන්න අවශ්‍ය නිරෝගීකම නොව නිරෝගී වන්නේ කෙසේද කියායි. කිසිම වෛද්‍ය විද්‍යාලයකින්, වෛද්‍ය විද්‍යාත්මක පොතකින් කොහෙන් සෙව්වත්, දැනුමක් ලැබෙන නමුත් නිරෝගීකම ලැබෙන්නේ නැහැ. හැමදාම තිබෙන ගැටලුව මෙයයි. “මෙච්චර සම්මන්ත්‍රනවලට ගියා, මෙපමණ පොත-පත කියෙව්වා, වෛද්‍ය සාකච්ඡාවලට ඇහුම්කන් දුන්නා, ඇයි තාම සාමාන්‍ය ලෙඩක් සනීප නැත්තේ?”. මියැදෙනකන් medical college එකක සිටියත් ලෙඩක් සනීප වෙන්නේ නැහැ. මේවා අවශ්‍ය වන්නේ ලෙඩේ සනීප කරගන්නේ කෙසේද කියා ‘දැනගන්න’යි.  

මේ ඉලක්කය නිවැරදිව ලබාගත යුතුයි. ඉලක්කය වැරදුනොත් ගමන් දෙකක්. විශ්වයේ තිබෙන ඈත තාරකාවකට යන්න රොකට්ටුවක් ගුවන්ගත කරනවිට ඉතාමත් නිවැරදිම දිශාවට හැරෙන්න අවශ්‍යයි. මෙතනදී එක අංශකයක් වෙනස් වුවහොත් (එම වෙනස මෙතනට වැදගත් නැත) ටිකෙන් ටික, මීටරයෙන්, කිලෝමීටරයෙන් අර තාරකාවෙන් (ඉලක්කයෙන්) ඈත් වෙනවා. මෙතනදි වෙනස අංශකයක් වුවත් කිලෝමිටර ගණනක් යනවිට කිලෝමිටර් දහස් ගණනකින් ඉලක්කයෙන් ඈතටයි යන්නේ. යන්න යන්න ඈත් වෙනවා. කේන්ද්‍රය එකයි. ආරම්භයේදි රේඛා දෙකම එකයි. නමුත් යන්න ගියාම ඒකකයෙන් ඒකකයට රේඛා දෙක දුරස් වෙනවා.  කාලයක් ගියාම අර තාරකාව (ඉලක්කය) නොපෙනී යනවා.

“ඇයි තාම ලෙඩේ සනීප නැත්තේ” කියා නිතර නිතර ප්‍රශ්න කරන්නේ, මෙන්න මේ කාරණය නොදන්නාකම නිසායි. එසේනම් හිතවතුනි අන්න දැනගන්න අවශ්‍ය කාරණය. ඒ කාරණය අප දන්නවාද, දැනගන්න අවශ්‍ය එයද,  එම කාරණය දැනගන්නද මේ අප එකතු වන්නේ, සාකච්ඡා කරන්නේ, එකට සිතන්නේ, එකට භාවනා කරන්නේ? එසේ නම් අපට ඉලක්කයට ලංවෙන ගමනක් තිබෙනවා, එසේ නොමැති නම් ඉලක්කයෙන් ඈතට යන ගමනක්. ඉලක්කයෙන් ඈතට ගොස් අභ්‍යවකාශයට වැටුණාම, එය හරිම භයානකයි. නොසිටිය යුතුම අවකාශයක් තමයි අභ්‍යාවකාශය (නුසුදුසු අවකාශය). අභ්‍යවකාශයේ අතරමං වුණොත්, හිටිය තැනට එන්නත් බැහැ, යා යුතු තැනට යන්නත් බැහැ. ශක්තිය තිබෙනතුරු, එහෙටත් නැතිව, මෙහෙටත් නැතිව ඔහේ පාවි පාවී ඉඳියි. එසේ කැරකි කැරකි සිටිමින්, ඒ තමා ඉලක්කය (විමුක්තිය) කියා කියන්න නම් පුළුවන්. අභ්‍යවකාශය විමුක්තිය නොවේ. විමුක්තියට අවකාශයක් නැහැ. සුදුසු අවකාශයකුත් නැති, නුසුදුසු අවකාශයකුත් නැති එය අවකාශයෙන් නිදහස් දෙයක්.

නැවත කියවන්න

මේ කියන කාරණා අසාගෙන සිටින විට අපට එක විදිහට ඔළුවට යන්නේ නැහැ. එහෙම යයි කියා බලාපොරොත්තුවකුත් නැහැ. හැබැයි ඔළුවට නොයා මෙයින් ප්‍රයෝජනයක් ගන්නත් බැහැ. ඒ නිසා දේශනය නැවත කියවා මෙයින් ප්‍රයෝජනය ගන්න. එහෙම ඔළුවට ගන්න ඕනේ කියා ලොකු ආතතියකින්වත්, ඊළඟ සතියේ කියවන්න පුළුවන් කියා අනවදානයෙන්වත් ඉන්න එපා. හේතුව සජීවීව ඇහුම්කන් දෙනවිට පණිවිඩය යන දුරක් තිබෙනවා. එමෙන්ම කියවනවිට අපේ අභ්‍යන්තරයට යන දුරක් තිබෙනවා. එම දුරවල් දෙකම එක නොවෙයි. සජීවි සවන්දීමකදී පණිවිඩයක් ඉතාම ගැඹුරට යන අතර කියවනවිට එපමණ ගැඹුරට යන්නේ නැහැ. නමුත් ඇහුම්කන්දී ඉන් පසුව කියවීම, කාරණා කිහිපයක් නිසාම ප්‍රයෝජනවත්. ඒ නිසා කියවන්න. කියවීමෙන් ඇසූදේ නැවත මතක් වෙනවා, බාගෙට ඇසුනදේ සම්පූර්‍ණයෙන් වැටහෙනවා, වැරදියට තේරුම්ගෙන තිබෙන කාරණා “නැහැ එහෙම නෙවෙයි” කියා පැහැදිලි වෙනවා.

උගත්

අප එදා කථා කළා ගුරුවරයෙකු, ආදර්‍ශයක්, කල්‍යාණ මිත්‍රයකු සහ ගුරුවරයෙකුගෙන් ගන්න තියෙන ප්‍රයෝජනය පිළිබඳ. කවුද ගුරුවරයෙකු වෙන්නේ? සාමාන්‍ය‍යෙන් ගුරුවරයෙකු වන්නේ ජීවත්වෙන විදිහෙන්, හැසිරෙන ආකාරයෙන් කිසියම් සීමිත පරිසකට ආදර්‍ශයක් ලැබෙන කෙනෙකු. ගුරුවරයෙකුගෙන් ඉගෙනුම ලබන ශිෂ්‍යයන් උගත්, බුද්ධිමත්, ප්‍රඥාවන්ත ආදී වශයෙන් වර්‍ග තුනකට බෙදන්න හැකියි. උගත් ශිෂ්‍යයා කියන්නේ, ගුරුවරයා කියනදේ වැටහෙන කෙනා. ඔහුට දැනුම ලැබෙනවා, හොඳින් ධාරණය කරගන්න පුළුවන්, නැවත විමසූවිට කියන්න පුළුන්. සමහරවිට ගුරුවයාටත් වැඩිය හොඳින් කියන්න පුළුවන්, විභාග ආදියත් සමත් වෙන්නත් පුළුවන්, නමුත් ගුරුවරයාව පෙනෙන්නේ නැහැ. සමහර කෙනෙකු ඒ ආකාරයෙන් දහම අසන්නේ විමුක්තියෙන් පිට, වෙන ප්‍රයෝජනයක් ගැනීමේ අරමුණින්. තමන්ගේම සිත සතුටු කරගන්න, එසේ නැතිනම් තමන් කරන වැඩකට, ලියන පොතකට, රැකියාවට උදව්වක් කරගන්න, කරන දේශනයකට කරැණු එකතු කරගන්න. අනුන්ගේ හරක් බලන ගොපල්ලෙකු (එඩේරෙකු) වෙන්න එපා. ගොපල්ලා නිදිමරාගෙන අනුන්ගේ හරක් බැලුවත් එයාට කිසිදෙයක් ලැබෙන්නේ නැහැ. දැනුමට ඇහුම්කන්දීම, එය දැනගෙන තව අයට කියන්න යෑම, තමන්ගේ දෙයක් විදිහට හෝ අසවල් කෙනා කිව්වා කියා හෝ ඒ දෙකෙහි වෙනසක් නැහැ. එය අත්හරින්න. එයින් තමන්ගේ ලෙඩේ සනීප වෙන්නේ නැහැ.

බුද්ධිමත්

බුද්ධිමත් ශිෂ්‍යයාට උගන්වන දෙයට අමතරව උගන්වන ගුරුවරයාවත් පෙනෙනවා. බුද්ධිමත් සිතකටයි, හදවතකටයි ගුරුවරයාව පෙනෙන්නේ. “මෙහෙම කියන්න නම් ගුරුවරයා කෙබඳු කෙනෙකු විය යුතුද?” කියා ගුරුවරයාව අනුමානයෙන් පෙනෙන්න පටන් ගන්නවා.  එයිනුත් ලෙඩේ සනීප වෙන්නේ නැහැ, මාර්‍ගයක් පෙනෙන්නේ නැහැ. නමුත් පළමු ශිෂ්‍යයාට වැඩිය බුද්ධිමත් ශිෂ්‍යයා path එකට ඇවිල්ලා නැති වුවත් path එකට ළඟයි. පළමු කෙනාට මෙන් සම්පූර්‍ණයෙන් ලෞකික ඉලක්ක, ආශාවන් දෙවන කෙනාට නැහැ. එයා ගුරුවරයා වර්‍ණනා කරනවා, ගෞරව කරනවා. පළමු කෙනාට දැනුම ලැබෙනවා මෙන් දෙවන කෙනාට ගුරුවරයාව ලැබෙනවා. ගුරුවරයා කියන දෙයට පැහැදිලා “හරි වාසනාවක්, පෙර පිනක්, අප සලකනවා මදි, තව සලකන්න ඕනේ” ආදි වශයෙන් සිතමින් නොසිට ඉන් ඉදිරියට යා යුතුයි. ඒවාට හසුවෙන්න එපා. එම දේශනාව කරන්නේ සැබෑම ගුරුවරයෙකු නම් ඔය කිසිම දෙයක් ඒ ගුරුවරයාගේ ඔලුවේ නැහැ. දේශනය කරනවිට හෝ කළායින් පසුව තමන්ට යමක් ලබාගැනීමේ සැඟවුණු න්‍යාය පත්‍රයක් තබාගෙන නොවෙයි සැබෑ ගුරුවරයෙකු කටයුතු කරන්නේ. එතන සම්පූර්‍ණයෙන්ම තිබෙන්නේ (තිබිය යුත්තේ) හුදු කරුණාවයි, මඟපෙන්වීමේ චේතනාව පමණයි. ගුරුවරයාට එහෙම නැත්නම් අපත් එවැනි දෑ ඇතිකරගන්න අවශ්‍ය නැහැ. කරන්න යමක් තියෙනවා නම් කිරීම වෙනම දෙයක්. එහෙම නැතිව “එය කරන්නම තමා අප මේ ඇවිත් තියෙන්නේ, මේ දේශනය ඇසුවේ ඒකට, ඇසුවාට පස්සේ මොනවාද බොන්න දෙන්නේ, ආපසු යවන්නේ කෙසේද?” ඒ දේවල් නොවේ අවශ්‍ය. එයින් ලෙඩේ සනීප වන්නේ නැහැ. ඒවා කරන්නම ඉපදුණා කියා සිතන අය ඉන්නවානේ, ඒ අය ඒ දේවල් කරයි. ඒ දේවල් කවුරුවත් නොකෙරුවත් කමක් නැහැ, ප්‍රඥාවට එන්න.

ප්‍රඥාවන්ත

ප්‍රඥාවන්ත ශිෂ්‍යයාට මොනවාද ලැබෙන්නේ? එයාට තමන්ව පෙනෙනවා. කියන දෙයත් නොවේ, කියන කෙනාවත් නොවේ, ඇහුම්කන් දෙන කෙනා පෙනෙනවා. මෙයයි විය යුතු පරිණාමය. උගත් මනසින් පටන්ගත්තාට කමක් නැහැ, එඩේරෙකු වී එතන ඉන්න එපා, එතන අතහරින්න. එයින් තමන්ගේ ලෙඩේ සනීප වෙන්නේ නැහැ. බුද්ධිමත්ව ගුරුවරයාව දකින එකත් හොඳයි නමුත් ගුරුවරයා ළඟ නවතින්න එපා. එයත් අතහැර ප්‍රඥාවන්තව තමන්ව දකින්න පටන් ගන්න. එවිට ගුරුවරයා සහ ඉගැන්වීම් අතුරුදහන් වී ගුරුවරයා සහ ඉගැන්වීම් යන මේ සියල්ල කැඩපත් බවට පත්වෙනවා. එම පරිවර්‍තනය සිදුවන්නේ ගුරුවරයාගේ දක්ෂතාවය නිසා නොව ශිෂ්‍යයාගේ හපන්කම නිසායි. ගුරුවරයා කියන වස්තුව, ශක්තිය, ස්වභාවය කැඩපතක් බවට පරිවර්‍තනය කිරීමේ ප්‍රාතිහාර්‍ය  පාන්න පුළුවන් ශිෂ්‍යයාට පමණයි, එය ගුරුවරයාට කළ නොහැකියි. අන්න ඒ ප්‍රාතිහාර්‍ය පාන්න පුළුවන් කෙනාට තමයි ප්‍රඥාවන්තයා කියන්නේ. බුද්ධිමතාටත් බැහැ, උගතාට කොහොමත් බැහැ ඒ ප්‍රාතිහාර්‍ය පාන්න.  

දැනගැනීමේ ඕනෑකම

ශිෂ්‍යයාට සුදුසුකම් දෙකක් තියෙන්න අවශ්‍යයයි. පළමු සුදුසුකම නම්, විඳවන කෙනා කවුද කියා දැනගැනීමේ ඕනෑකම. සංසාරය කියන මේ ප්‍රශ්නය පවතින්නේ, අපට අප ගැන අවබෝධයක් නැති නිසායි. පැහැදිලිව තේරුම් ගන්න හිතවතුනි, සූත්‍ර පිටකය, විනය පිටකය මේ කිසිවක් නොදන්නා නිසා නොවේ, අප සංසාරයේ විඳවන්නේ, අප කවුද කියා අප නොදන්නා නිසායි. විඳවන කෙනා ගැන අප දන්නේ නැති නිසායි විඳවන්නේ. මේ විඳවන කෙනා කවුද කියා දැනගැනීමේ ඕනෑකම ශිෂ්‍යයාට තිබීම අවශ්‍යයයි. මෙතන ඉන්නේ කවුද? මෙතන තියෙන්නේ මොකක්ද? කියා දැනගැනීමේ ඕනෑකම අත්‍යාවශ්‍යයයි.

සම්ම සමාධිය

දෙවන සුදුසුකම, හොඳ සමාධියක් (සම්මා සමාධි) තිබිය යුතුයි. සම්මා සමාධි, මිච්ඡා සමාධි කියා දෙකක් තිබෙනවා. මිච්ඡා සමාධි කියන්නෙත් සමාධියක්. ඕනෑම සමාධියක් සුවදායකයි, දුක්ඛදායක නැහැ. ලෞකික ලෝකයේ තිබෙන ඉහළම සුවය නම් සමාධි සුවයයි. මිච්ඡා කියා හෝ සම්මා කියා හෝ සුවය පැත්තෙන් වෙනසක් නැහැ, දෙකම සුවදායකයි, මිච්ඡා සමාධියත් හරීම සුවදායකයි. සමාධියක සිටින විට මේ ලෝකයේ සිදුවන සිදුවීම් ඉදිරියේ නොසැලි සිටිය හැකියි, මිච්ඡා සමාධියකට උනත් ඒ හැකියාව තිබෙනවා. ඕනෑම සිදුවීමක් ගණන් ගන්නේ නැතිව ඉන්න පුළුවන්. අවශ්‍ය නම් සමාධිය තුළ සිටිමින් සම්පූර්ණයෙන්ම බාහිර ලෝකය අත්හරින්න හැකියාව තිබෙනවා. එමෙන්ම සමාධියකින් ප්‍රාතිහාර්‍ය පාන්නත් පුලුවන්. ආශිර්‍වාද කරන්න, සුභාශිංසනය කරන්න, ලෙඩක් සනීප කරන්න සමාධියකින් පුළුවන්, ඒවා බලවත්. මිච්ඡා කියන්නේ පවිටු, පාපකාරි අදහසින් නොවේ. මිච්ඡා සමාධියකිනුත් පුළුවන් ලොකු ආනන්දයක්, සතුටක්, නිදහසක්, සැනසිල්ලක්, සැහැල්ලුවක්, කම්පානොවන බවක් ලබාදෙන්න. කාම ලෝකයේ සියල්ල දණහිසින් පහළ වගේ, එයින් උඩට ගන්නේ නැහැ, ගණන් ගන්නේ නැතිව ඉන්න පුළුවන්. එක් දෙයක් තිබෙනවා මිච්ඡා සමාධියට කළ හැකි, එමෙන්ම සම්මා සමාධියට කළ නොහැකි. කුමක්ද එය? මිච්ඡා සමාධියකට පුලුවන් සාප කරන්නත්, එයත් බලවත්. සම්මා සමාධිය සාප කරන්නේ නැහැ. ඒ සිතුවිල්ලවත්, ඒ ඕනෑකමවත් නැහැ සම්මා සමාධියක. ඒ සාප කිරීම පැත්තකින් තියා, අනිත් දේවල් දිහා බැලුවාම ඒවා හොඳයි. නරකක් නැහැ. මිච්ඡා සමාධියකටත් ලොකු පුහුණුවක් අවශ්‍යයයි, මහා පරිශ්‍රමයක් දරන්න අවශ්‍යයයි, සමහරවිට මුළු ජීවිත කාලයක්ම කැපකරන්න අවශ්‍යයයි, බොහෝවිට මිච්ඡා සමාධියකට, සම්මා සමාධියකටත් වඩා.

කියන්න අවශ්‍යම කාරණය, මේ දෙක පටන් ගන්නේ ම තැන් දෙකකින් බව. මෙය මූලයන් දෙකක්. මිච්ඡා සමාධියේදී සමාධි නිමිත්ත (අරමුණ) බාහිර දෙයක් වන අතර සම්මා සමාධියේදී අරමුණ තමන්. ඒ නිසයි සතර සතිපට්ඨානයක් ගැන කියන්නේ. සතර සතිපට්ඨානය තුළ, කය, අත්දැකීම් හා වින්දන මෙන්ම  සිත යන මේ තුනම තමන්. තමන්ගේ කය, කයේ සිදුවන දේ, කය කරනදේ. තමන්ගේ අත්දැකීම්, තමන්ගේ විඳීම් නැතිනම් වේදනා. තමන්ගේ චිත්ත ස්වභාවයන්. ධම්ම වනවිටයි තමන්ගේ හෝ අනුන්ගේ නොවන්නේ (‘ධම්ම’- ධම්ම). තමන්ගෙන් තමයි සම්මා සමාධිය පටන් ගන්නේ.

මිච්ඡා සමාධියේදී ඕනෑ තැනකින් පටන් ගන්න පුළුවන්. විශ්වයේ එහා කෙළවරකින් වුණත් පටන් ගන්න පුළුවන්. විශ්වයේ ඈත තියෙන තාරකාවකට සිත යොමුකර, ඒ දෙසම බලාගෙන, ඒ දෙසටම ඇස් දෙක නාභිගත කරලා, තාරකාවක්, තාරකාවක්, තරු එළියක්, තරු එළියක් කියාගෙන කියාගෙන ගියොත් ඔන්න සමාධියක් තියෙයි. එයටත් කැපකිරීමක් කරන්න අවශ්‍යයයි. ගෙයක් ඇතුළේ ඉඳන් ලොකු මිච්ඡා සමාධියකට (කම්පා නොවන, ආශිර්‍වද කළ හැකි ... ආදී) යන්න බැහැ. මිච්ඡා සමාධිය ගිහි ජීවිතයක සිට කරන්න ලේසි නැහැ. නමුත් ඒ ක්‍රමය සරලයි. අරමුණ ඈත තිබෙන තරමට මිච්ඡා සමාධියකට ලේසියි. එහෙම ගියාම එක මොහොතක ඒකාත්මික බවක් ඇතිවෙනවා. ‘ඒකාත්මික’ කියන වචනය එන්නේ මිච්ඡා සමාධියේදී. එක ආත්මයක් බවට (තමන් සහ තරුව) පත්වෙනවා. ආත්ම දෙකක්නේ තිබුණේ, දැන් ඒකාත්මිකයි, ඇස් දෙක වසා ගත්තත් තරුව මෙතන මම එතන. ඒ දෙකම එකයි. තරුව මෙතන කිව්වත්, මම තරුව ළඟ කිව්වත් හරි. දැන් ඒ සංඥාව දිගටම වඩන්න තියෙන්නේ. ඒ වැඩීම ලේසිත් නැහැ, කරන්නත් එපා, බරපතල අවදානමක් තිබෙන දෙයක් මිච්ඡා සමාධිය. එය සෙල්ලම් කරන්න හොඳ දෙයක් නොවේ. නමුත් එය කරනවා, කර අමාරුවේ වැටුණ අය වැඩියි.

මේ මිච්ඡා සමාධියේ අරමුණ වන්නේ තමන් නොව ඈත තිබෙන තරුවක්. එයින් ඇතිවෙන මිච්ඡා සමාධියකින් බැහැ තමන්ව දකින්න, තමන්ව වැහිලාම ගිහිල්ලා. මිච්ඡා සමාධියක ඉන්න කෙනෙකුට මේ ආත්මයට ලේසි නැහැ තමන්ව දකින්න. බලාගෙන ඉන්න පැත්තටම ගල් ගැහුණා, අයිස් වුණා කියා සිතමු, ආයේ හැරෙන්න බැහැනේ දිය වෙනකන්. අන්න ඒ වගේ.

සම්මා සමාධිය සෑමවිටම ආරම්භ වන්නේ තමන්ගෙන්. අවධානය යොමු කරන්නේ තමන් වෙතට. ඒ නිසා මෙතන වැඩෙන්නේ තමන්ව දැකිය හැකි සමාධියක්. සමාධිය වැඩෙන්න වැඩෙන්න, ඒ සිත සුදුසු සිතක් බවට පත්වෙනවා තමන්ව දකින්න. එමෙන්ම ඕනෑකමත් තියෙනවා තමන්ව දකින්න. අන්න ඒ සුදුසුකමත්, ඒ ඕනෑකමත් පවතින වේලාවට අවශ්‍ය වන්නේ කැඩපතක් පමණයි. එවිට කල්‍යාණ මිත්‍රයා කැඩපතක් බවට පත්වෙනවා.

උගත් මනසත්, බුද්ධිමත් මනසත් අත්හැරිමෙන් පමණයි ප්‍රඥාවන්ත මනස මතුවන්නේ. දැනුමේ එල්ලී සිටීම බරපතල තත්වයක්, එහි නැවතුණොත් නැවතුණාමයි. කියන කෙනා ගැන සිතමින් සිටියත් ඒ ආනිසංසයමයි. ඒ තැන්වලින් ආරම්භ කළාට කමක් නැහැ, නමුත් ඒවා අත්හරින්න. “අප, අපව දකින්න අවශ්‍යයයි” කියන ඒ ඕනෑකමයි, සම්මා සමාධියයි දෙකම එකම සංඛ්‍යාතයකට කම්පනය වන්න පටන් ගත්විට ගුරුවරයා කැඩපතක් බවට පරිවර්‍තනය කරගන්න පුළුවන්. ඒ ප්‍රාතිහාර්‍ය පාන්නේ ගුරුවරයා නොව ශිෂ්‍යයායි. මේ සඳහා ගුරුවරයෙකු ඒ මොහොතේ එතන ඉන්න ම අවශ්‍ය නැහැ. කෙනෙකුට සිතෙන්න පුළුවන් “මේසියල්ල කර, ගුරුවරයෙක් ඉස්සරහා ඇස් ඇරගෙන ඉන්න වෙනවානේ” කියා. එය අවශ්‍ය ම නැහැ. තව ක්‍රම තිබෙන නමුත් පහසුම ක්‍රමය එයයි.

භාවනාව

එසේ නම් මෙය මෙතැනින් නවත්වා, මොනවාද ඔළුවට ගියේ? අප සිටින්නේ දැනුම ඇතුළේ ද?, බුද්ධිය ඇතුළේ ද? ප්‍රඥාවට අවතීර්‍ණ වෙලා ද? ඒ ගැන මෙනෙහි කර, ආවර්‍ජනා කර, ප්‍රත්‍යවේක්ෂා කර බලමු.

ඒ නිශ්ශබ්ද වූ ආවර්‍ජනයෙන්, ප්‍රත්‍යවේක්ෂාවෙන් එන්න සාකච්ඡාවට. ප්‍රශ්න තිබෙනවා නම් අසන්න, කියන්න දෙයක් තිබෙනවා නම් කියන්න.

සාකච්ඡාව 

ප්‍රශ්නය : ඔබතුමා ඕනම දේකින් කම්පා නොවෙන්න සමාධියක් තියෙන්න ඕන කියලා සඳහන් කළානේ. ඉන් අදහස් කළේ සමථ සහ විදර්ශනා වලින් ලබන සමාධියද?

පිළිතුර : කම්පාවීම වෙන්නේ හිතක්. සෙලවෙන්නේ, සැලෙන්නේ හේතු ගණනාවක් නිසා. සරලව හේතු දෙක තුනක් මතක් කළොත්,

1. අනපේක්ෂිත දෙයක් බලාපොරොත්තු නොවන දෙයක් වන විට. එය සතුටේදීත් දුකේදිත් දෙකේදීම සැලෙනවා. යමක් වෙනවා කියන්නේ එය වෙන්න පුළුවන් හේතු එකතු වෙනවා. වහින්න නම් එයට අවශ්‍යය හේතු වැහි වලාකුළු එකතු වෙනවා. ඒ හේතු දිහා අප බලන්නේ නෑ. ඒ හේතු එකතු වෙන හැටි දකිමින් ඉන්නවා නම් ඒ කිසිම වැස්සකට බෑ එබඳු කෙනකුගේ හිතක් තෙමා දාන්න. හැබැයි ඒ හේතු බලන්නේ නැතිව පායනවා කියා හිතාගෙන හිටියොත්, වැස්සොත් ඔන්න කම්පනයට පත්වෙනවා. ඒ කියන්නේ යථාර්ථයෙන් පිට ලෝකෙක අප ඉන්නේ. යථාර්ථයය කුමක්ද? වහින්න අවශ්‍ය හේතු එකතු වෙනවා. නමුත් අප අන්ධයි, පායයි කියන සංකල්පයේ හීන දැක දැක ඉන්නවා. ඒ හීන දැකීම අතහැර හොදට විමසිල්ලෙන් බැලුවොත් පේනවා යම් යම් සිදුවීම් වෙන්න අවශ්‍යය හේතු සහ ප්‍රත්‍යය (සාධක සහ හැකියාවන්) එකතු වෙමින් යන බව. එහෙම නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.  බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් එතන කම්පනයක් නෑ. ඒ විදර්ශනා පැත්ත.

2. සමාධියේදී  ” ඔය ඕන එකක් උනාට කමක් නෑ, වැස්සත් එකයි පෑව්වත් එකයි” කියා ඉන්නවා. උපේක්ෂාව එතන තියෙන්නේ. ඕන දෙයක් උනාට කමක් නෑ කියන උපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒත් සැලෙන්නේ නෑ. ඒ සමාධි පැත්ත.

 ඉතින් සරලව කිව්වොත් නොසැලෙන හිතකින් ඉන්න නම් මේ මූලික සමාධියයි මූලික විදර්ශනා දැක්මයි කියන දෙකින් එකක්වත් ඕන. 

ප්‍රශ්නය : පසුගිය දේශනයේ සඳහන් වුණා ආදර්ශමත් වන අවස්ථාවක කැඩපතක් වැනි අවස්ථාවක තමන්ට තමන් පෙනෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී කම්පනයක් වෙනවා කියලා සඳහන් වුණා. ඒ කම්පනය වෙන්නේ තමන් අල්පේච්ඡ නොවන අව්‍යාජ නොවන මධ්‍යම ප්‍රතිපදාවේ නොවන අවස්ථාවකදී ද? හැමෝටම එහෙම කම්පනයක් ඇති වෙනවද තමන්ට තමන්ව දැකලා? 

පිළිතුර : හිතන්න ඕන ප්‍රශ්නයක් කාරණයක්. ඔබතුමා කිව් පරිදි අප සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවේ ඉන්නවා. තව කෙනෙකුත් ඒ මාර්ගයේ ඉන්නවා. එතකොට ඒ ආදර්ශයෙන් අප අප දිහා බලනවිට පේනවා අපත් ඒ විදිහට ගමන් කරනවා බව. එතනදී සතුටක් ඇති වෙන්නේ. ඒ කාරණය ඇත්ත.

නමුත් ඉන් එහාට ගිය දෙයක් එදා අප ආදර්ශය කියා කතා කළේ. සම්පූර්ණයෙන් කැඩපතක් ඉදිරියට ගිය විට ඇති තත්ත්වය. කැඩපතක් නම්, කැඩපත දෙන ආදර්ශය කුමක්ද, අපට අපව පෙන්වා දෙනවා. කැඩපත වගේ අප වෙන්නේ නෑ ( අනිත් ආදර්ශයේ වෙන්නේ අප කැඩපතක් වගේ වෙනවා, එහෙම නෙමෙයි). එතැනදී ඒ පේන දර්ශනය අප හිතන් ඉන්න දර්ශනය නම් ප්‍රශ්නයක් නෑ. මා ගැන මා හිතන් හිටිය දර්ශනයක් තියෙනවා ,මම මෙහෙමයි කියා . එයම නම් මට ආපසු දර්ශනය වෙන්නේ ඉතින් එහෙම නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම දර්ශනයක් වැඩක් නෑ අපට. අප දැන් හිතන් ඉන්න විදිය නම් අපට බලන්න ඕන, නැවත නැවත බලන්න ඕනේ නෑනේ, ඉන්නවා, එය දන්නවා. නෑ අප ගැන ඇඳන් ඉන්න චිත්‍රය අප දිහා මැනවින් බලා නෙවෙයි ඇඳ තියෙන්නේ. හිතලා ඇඳගෙන තියෙන්නේ, මවාගත්ත චිත්‍රයක් මිස බලාගෙන ඇන්ඳ චිත්‍රයක් නොවේ. ( මම කියලා මම හිතන් ඉන්න දේ, මම කියන්නේ මම හිතාගෙන ඉන්න දෙයක්නේ, එතකොට ඒ මම කියා හිතන් ඉන්න මම නෙමේ ඇත්ත මම). ඕනෑම කෙනෙක් ගැන හිතාගෙන චිත්‍රයක් අඳින්න පුළුවන්. අප කිසිදාක නොදැකපු කෙනෙකු, නමුත් දන්නා දුරකථන මාර්ගයෙන් කතා කරන කෙනෙකු ගැන ඒ විදිහට චිත්‍රයක් ඇඳ ගත්තොත්, ඊළඟ වතාවේදී ඒ කෙනා කතා කරනකොට අපට මැවෙන්නේ ඒ චිත්‍රය. කවදාවත් අපට ඒ පුද්ගලයා මුණ ගැසුණේ නැත්නම් අප මැරෙන තුරුම ඒ චිත්‍ර එක්ක ඉදීවි. කවදාක හෝ අපට ඒ කෙනා මුණගැහුනොත් අන්න එතනදි නම් ලොකු කම්පනයකට පත් වෙයි, මොකද ඒ කෙනාගේ කායික පෙනුම ගැන ඇඳගෙන තියෙන චිත්‍රය කොහොමත් ඒ කෙනාගේ සැබෑ පෙනුමට සමාන වෙන්න තියෙන අවස්ථාව බොහෝම අඩුයි, අප ගාව තියෙන්නේ හිතළුවක්. එනිසා කම්පනයට පත්වෙනවා. එතැනදී මුලින්ම එන සිතිවිල්ල තමයි  “ නෑ, මෙයා වෙන්න බෑ”. මුලින්ම අපට අපව පේන්න පටන් ගද්දි එන සිතුවිල්ල තමා ”නෑ, මේ මම වෙන්න බෑ, මම මෙහෙම වෙන්න බෑ” කියා. ඒ අර කම්පනයෙන් බේරෙන්න. ඉතින් මේ සිතිවිල්ල අල්ලගත්තොත් ඉන් එහා යන්නෙ නෑ. නෑ, මෙහෙම වෙන්නත් පුළුවන් ද කියලා ආයෙ බලන්න ඕන. 

ප්‍රශ්නය :  අපි භාවනා යෝගීන් විදිහට යම් යම් කුසලතාවයන් දියුණු කරනවා ( සතිය උපේක්ෂාව අල්පේච්ඡතාවය  වගේ). ඒවා දියුණු කරන අතරදී අප අපෙන්ම විමසා බලනවා  “ ඇත්තටම මට මේවා තියෙනවද” කියලා. ඒ වෙලාවෙ තමා තමාටම කැඩපතක් නේද? බාහිරෙන් ආදර්ශය වැදගත් බව මම පිළිගන්නවා. හැබැයි තමා ඉන්න තැන හඳුනාගන්න නම්, තමන්ටම පුළුවන් නේද විමසීමක් කරන්න? 

පිළිතුර : අනිවාර්යෙන්ම පුළුවනි. එහෙම භාවිතා කරන්නත් ඕන. ඒ නිසානේ මහා රාහුලෝවාද සූත්‍රය කියන්නේ ”දහම කැඩපතක් කරගන්න” කියලා. ධම්මාදාස- ධර්මය ආදර්ශයක් කරගන්න. ඔබතුමා සඳහන් කල සතිය උපේක්ෂාව අල්පේච්ඡතාවය ආදී කාරණා කියන්නේ දහම නේ. ඒවා කණ්ණාඩියක් කරගෙන අප දිහා බලනවා. එහෙම බලනකොට ඒ බලන දේ තියෙනවද නැද්ද කිය පේනවා. මේ විදිහට දහම කැටපතක් කරගෙන බොහෝ දේ බලන්නත් පුළුවන්, බලන්නත් ඕන.

දහම කැඩපතක් කරගෙන අප දිහා බැලුවම පේන්නෙ, ඒ බලන කාරණා අප තුළ තියෙනවද නැද්ද කියන කාරණය පමණයි. තියෙන්නේ මොනවද පේන්නේ නෑ. දහම කැඩපතක් කරගෙන කොහොම බැලුවත් එක්තරා තැනකදි නවතිනවා. 

ප්‍රශ්නය : එතනින් එහාට යන්න කල්‍යාණ මිත්‍රයාගේ ඇසුරක් අවශ්‍යයි නේද ?

පිළිතුර : මෙතන හරි, ඒ නිසා මෙතන නවතිනවාද නැත්නම් මෙතනින් එහාට යනවද කියන තීරණය ගන්න ඕන. එහෙම ගත්තොත් නම් කල්‍යාණ මිත්‍රයෙක් නම් ඕන වෙනවාමයි. 

ප්‍රශ්නය : මේ ප්‍රශ්න ඥාන දර්ශනයට අදාළ ප්‍රශ්නයක්. අපි භාවනායෝගීන් විදිහට විවිධ කුසලතාවයන් දියුණු කරනවා. එසේ කුසලතාවයන් දියුණු කිරීම නිසා ආකල්පයන් වෙනවා. එතකොට මේ කුසලතාවයන් ඥාන දර්ශනයේම කොටස් කියලා මට හිතෙනවා. ඒක හරිද? 

පිළිතුර : එක්තරා මට්ටමකින් එහෙම කියන්න පුළුවනි. ඥාන දර්ශනයේ උපරිම මට්ටමක් තියෙනවා. එහි උපරිම මට්ටමට ගියාම තමයි කිසිම දේකින් නොසැලෙන්න නොකිපෙන සිතක් පහල වෙන්නේ. ඒ හිත නැවත පැවැත්මක් ගැන හොයන්න යන්නේ නෑ (දම්සක් පැවතුම් සූත්‍රයෙහි සඳහන් වෙන්නේ එවැනි හිතක් ගැන) . එයට මෙහා ඔබතුමා කියූ කාරණය සහ එයටත් පහළින් එහි මට්ටම් තියෙනවා. ඥාන දර්ශනය නිසාද අප මේ කුසලයන් වඩන්නේ නැත්නම් ඥාන දර්ශනයකින් තොරව ද කියා දැන ගන්නත් පුළුවනි. ඥාන දර්ශනයක් නිසාම කුසල් ඇති කර ගන්නවාමයි කියන්න බෑ. සංස්කෘතිය සම්ප්‍රදාය අනිත් අය කරන නිසා කරන්නත් පුළුවනි, පෙළඹවීමට දඬුවමට බියේ කරන්නත් පුළුවනි. ඒ විදිහට එකම දේ දහදෙනකු චේතනා දහයකින් කරන්න පුළුවනි. ඥාන දර්ශනය නිසා කරන්නත් පුළුවන්. බලන්න ඕන ඇයි කරන්නේ කියා? මෙතන තියෙන්නේ අවබෝධයක් නිසාද මේ කරන්නෙ නැත්නම් චාරිත්‍රයක් ද පුරුද්දට ද කියා. එහෙම බැලුවම තමයි පේන්නේ ඇයි අපි මේ කුසල් ඇති කර ගන්න හදන්නේ කියලා. 

ප්‍රශ්නය : ඥාන දර්ශනය කියන එක භාවනා යෝගියෙකුට එකපාර බිහිවෙන දෙයක්ද නැත්නම්  හුණුවීම්වල ක්‍රමිකව ප්‍රතිඵලයක් විදිහට ද හමු වෙන්නේ. ප්‍රතිඵලයක් විදිහට නම් ලැබෙන්නේ අප ඒ ඥාන දර්ශනයේ කොටස් බුක්ති මිදෙමින් තමයි ඉදිරියට යන්නේ. එය හරිද? 

පිළිතුර : ඥාන දර්ශනය ඇතිවෙන විදිහට භාවනා කළොත් ඇතිවෙනවා. ඇතිවුණොත් ඥාන දර්ශනයට අනුව අපේ ජීවිතය වෙනස් වෙනවා. ඒකනම් නවතන්න බෑ. ඤාණ දර්ශනය පහළ වෙලා අඥාන විදිහට ජීවත් වීම නම් වෙන්නේ නෑ.

එහෙම නැතිව ඥාන දර්ශනයක් ඇති නොවන විදිහටත් භාවනා කරන්න පුළුවන්. ඒ නිසා විදර්ශනාව කෙරෙන්න ඕන. සමාධිය ඇති වෙන්න ඕන. අප දිහා බලන්න ඕන. එසේ බලන්න ඕන හරිද වැරදිද කියා නොවේ, ඇත්තටම මෙතන වෙන්නේ මොනවාද,  මම මොනවද කරන්නේ, ඇයි මම මේ දේ කරන්නේ, ඒ විදිහට විමර්ශනාත්මකව අප අප දිහාම බලන්න ඕන. ඒ විදිහට භාවනා කළොත් හාඉසම්මා සමාධිය ඇති වන විදියට, ඊළඟට අපව හඳුනාගන්න, අපට කරන්න තියෙන දේවල් මොනවද කියලා, ඇයි ඒවා කරන්නේ කියලා ඒ ඇහින් භාවනා කළොත් අනිවාර්යෙන්ම ඤාණ දර්ශනය පහළ වෙන්න ඕන. 

ප්‍රශ්නය : තමා තුළින් තමාව නිවැරදිව බලාගන්න කොට, එක එක්කෙනා එක එක ආකාරයට සිතන නිසා ඒ සඳහා ගත හැකි නිවැරදිම මාර්ගය පිළිබඳව පැහැදිලි කරන්න පුලුවන්ද?.

පිළිතුර : අපට කියන්න පුළුවන් අප හිතන විදිහ වෙනස් කියා. හැබැයි ඇත්ත මොකක්ද එහෙම වෙනසක් නම් නෑ. වෙනස තියෙන්නේ පෘථග්ජන චින්තනය සහ ආර්ය චින්තනය අතරයි. පෘථග්ජන ගත්තොත් හැමෝම එක වගේ හිතන්නේ, පුහුදුන් සිතීම එකයි. ඒ වගේම ආර්ය චින්තනයත් එකයි. හැබැයි ඔය චින්තන 2 වෙනස්. විය යුත්නේ පුහුදුන් චින්තනයෙන් ආර්ය චින්තනයට පරිණාමය වීමයි. ඉතින් මෙතනට පාලමක් ඕන වෙනවා,  නැත්නම් පිම්මක් පනින්න වෙනවා. මෙතන අපි එක එක්කෙනා හිතන විදිහ වැදගත් නෑ. එදිනෙදා කටයුතු වලදී නම් එය වැදගත් වෙයි. 

හඳුනා ගන්න තියෙන්නෙ මේ පුහුදුන් චින්තනය කුමක්ද කියා. “සංසාරෙ කියා දෙයක් තියෙනවා, එතැන සැප තියෙනවා, මම ඉන්නේ ඒ සංසාරේ, තව සැප හොයන්න ඕන” කියා හිතන ඒ චින්තන හඳුනා ගන්න. හඳුනාගෙන එහෙම හිතන හින්ද තමයි මේ විදින්නේ, මේ සංසාරේ දුක විඳින්න වෙලා තියෙන්නේ සංසාරේ සැප විඳින්න ඕන කියල හිතන නිසා. ඒ ඕන කම නැත්නම් සංසාරයේ දුක් විඳින්න ඕන වෙන්නෙත් නෑ. මේ කාරණය හඳුනාගන්න ඕන. සම්මා දිට්ඨිය මුලටම අරගෙන තියෙන්නේ ඒ නිසා. සම්මා දිට්ඨියෙන් තමයි මේ ඔලුව හරවන්නේ නිවැරදි පැත්තට. එය කාටත් එකයි, එය වෙනස් වෙන්නේ නෑ.” මම වෙනස්” කියල කිව්වට එයත් පුහුදුන් හිතේ තවත් එක මෝඩ සිතිවිල්ලක් පමණයි, හොඳට බැලුවොත් වෙනසක් නෑ.

එනිසා දහම් මාර්ගය කාටත් යන්න පුළුවන් ප්‍රසිද්ධ පාරක්, කාටත් එක වගේ ඉඩ තියෙන පහරක්. පටන් ගන්න තියෙන්නෙ එතනින්, සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨියෙන් කියන්නේ මේ කාරණය හොඳට නැවත නැවත බලන්න, ”සැප හොයන්නේ සංසාරයෙන් ද, කොහෙන් හෝ දුකක් ආවහම විසඳුමක් හොයන්නේ නැවත සසරින් ම ද? සසරින් ම විසඳුම් සොයමින් සංසාර ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරනවාද?” කියා බලන්න. සමස්ත සංසාරයෙන්ම ගොඩ එන්නද උත්සාහ කරන්නේ, සංසාරය තුළින්ම ප්‍රශ්න විසඳ ගනිමින්ද?. එහෙම වෙන්න බෑනේ. එනිසා සංසාරේමයි ඉන්නේ තව දුරටත්. එහෙම නම් ප්‍රශ්නය සංසාරේ නම් සසර බව දකින්න. ප්‍රශ්නය නම් ශරීරය, සියලුම රෝගයන්ට හේතුව ශරීරයයි. ලෙඩ දුක් විදින්න වෙයි කියල දන්නේ නැතිවනේ ශරීරයක් හදාගත්තේ, සැප විඳින්න පුළුවන් කියලා හිතාගෙන නේ ශරීරයක් හදාගන්න පුලුවන් තැනට ආවේ. දුක් විඳින්න වෙයි කියලා හිතාගෙන නෙවෙයි පුළුවන් වෙයි කියලා හිතාගෙන. ඉතින් එතන තමයි වැරදුනේ. ඒ වැරදීම තාමත් තියෙනවා. තාමත් ඒ වැරදි දෘෂ්ටියේද ඉන්නේ කියල බලන්න. ඇතුලේ විසඳුමක් නෑ. ‍ප්‍රශ්නයම මේ මේ ඇතුළෙ සිටීමයි. ඇතුලේ එක තැනක ඉන්න එක නෙමෙයි ප්‍රශ්නය, එතනින් වෙන තැනකට ගියා කියා ප්‍රශ්නය විසඳෙනවා නොවෙයි. එක එක විදිහට සංසාරේ එකම ප්‍රශ්නය තමයි කොහෙත් තියෙන්නේ. ඒ නිසා ඒ කාරණය බලන්න. බලල එයින් එළියට එන්න. එන එන ප්‍රශ්නය විසඳීම නොවෙයි, ප්‍රශ්නය නම් සංසාරය. ඒ දර්ශනය ඇති කරගන්න පුළුවන් නම් එතනින් අපට දුර ගමනක් යන්න පටන් ගන්න පුළුවන්. 

ප්‍රශ්නය : ඥාන දර්ශනයට පැමිණෙන්නේ ගල් ගැහුනේ නැති සමාධියක් ඇතිකර ගත්තොත් කියලා මට හිතෙන්නේ. එතැනට අවශ්‍යයි වර්තමාන තත්ත්වය, සිහිය අවදානය උපේක්ෂා වගේ දේවල්. එතකොට මේ සියල්ලටම සංසාරය කෙටි කරගන්නවා කියන මුඛ්‍ය අරමුණ කර ගත්තොත් එය සාර්ථක කරගත හැකි නේද?

පිළිතුර : එහෙම සිටීම අත්‍යවශ්‍යයි. ඔය කාරණා දෙකම ඕන. ගල් ගැහෙන සමාධියක් නොවෙයි බොහෝම කර්මණ්‍ය ක්‍රියාශීලී අවදිමත් සමාධියක් තමයි ඕන. ඊළඟට ඒ සමාධිය ඕන සමාධි සුඛය විඳ විඳ ඉන්නවත් ඒ සමාධියේ තියෙන සැපයට රැවටෙන්න වත් නොවෙයි, සමාධිය උපකරණයක් වාහනයක් කරගෙන මේ සංසාර සිහිනෙන් අවදි වෙන්න. සංසාර සිහිනෙන් අවදි වෙන්න ඕන කම ඕන. ඒ ඕනෑකම තියෙන කෙනා පමණයි ඇහැරෙන්නේ. හීන බල බල ඉන්න ඕන කෙනා දිගටම නිදියනවා. තට්ටු කරත් අනිත් පැත්තට හැරිලා නිදියනවා. මෙය තමයි අමාරුම දේ, නිදාගෙන ඉන්න කෙනෙකු ඇරෙන්න ඕන කියන චේතනාව ඇතිකරගන්න එක.  එය තර්කයෙන් හිතන්න බෑ. සංසාර හීනයෙන් නම් ඔහේ හැරෙන්න බෑ. මේ සතුටු වෙන්නේ අඬන්නේ හීනයකට, හීනෙන් හීනෙකට යෑමක් විතරයි මෙතන තියෙන්නේ, මේ හීන දැකීමෙන් ඇහැරෙන්න ඕන, හීන නොදකින නින්දකට යනවා නොවෙයි, එහෙම ගියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. එහෙම ගියත් ආපසු සිහින දකින තැනකට එනවා.  එනිසා හීනයෙන් සහ  හීන නොදකින නින්දෙන් දෙකෙන්ම හැරෙන්න ඕන කියන ඕනකම ඉස්සෙල්ලාම හිතේ ඇති වෙන්න ඕන. අන්න ඒ ඕන කම ඇති කරගන්න තමයි අවදි වූ කෙනෙක් ගේ තට්ටුවක් ආමන්ත්‍රණයක් අවශ්‍ය වෙන්නේ. ඒ ඕනෑකම එකපාරටම ඇතුලෙන් එන්නේ නෑ ඇතුලෙන් එන්න බෑ.

සැමදෙනාටම, සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!