සදහම් සැඳෑව -2

2023-03-22 නැණ දසුනට තත්පරයක් - 23

සුවදායක සැඳෑවක් ආදරණීය හිතවතුනි, කලකට පසුව බදාදා රාත්‍රියේ මුණගැසෙනවා සදහම් සැඳෑවෙන් නැණ දසුනට තත්පරයක් වැඩසටහනින්. වැඩසටහන කාලයක් කරගෙන ආවා, නැවතුණා, තැවත පටන් ගත්තා. පටන් ගැනීම, කරගෙන යෑම, නැවත්වීම හා නැවත පටන්ගැනීම කියන මේ ස්වභාවයන් සතුටිනුයි අත්දකින්නේ, අත්විඳින්නේ. සතුටින්මයි එකතුවන්නේ හා වෙන්වෙන්නේ.

සාංසාරික උගුල

හිතවතුනි, වටහාගැනීම, අවබෝධය, තේරුම් ගැනීම, ප්‍රත්‍යක්ෂ කරගැනීම, අත්දැකීම, මේ සියල්ලම මුල්වෙනවා අපට උගුලෙන් ගැලවෙන්න, සාංසාරික උගුලෙන් මිදෙන්න. සසර යනු ලස්සන උගුලක්, භයානක උගුලක්. ලස්සනයි, රසවත්, සුන්දරයි, විචිත්‍රයි නමුත් උගුලක්. ලස්සන නිසා බැඳෙනවා. රසවත් නිසා විඳිනවා. විචිත්‍ර නිසා සැරිසරනවා. සුන්දර නිසා අන්ධවෙනවා. සෞන්දර්යයෙන් අන්ධ වුණු, විචිත්‍රත්වයෙන් මංමුලා වුණු, රසයට ගිජු වුණු, ලස්සනට වශී වුණු කෙනෙකුටයි සත්ත්වයා කියා කියන්නේ. දහමට අනුව සත්ත්වයා කියා කියන්නේ අං තිබෙන, වලිගයක් තිබෙන, නැතිනම් අතපය තිබෙන, ඇවිද යන, පියාඹා යන, බඩගා යන, පීනා යන කෙනෙකුට නොවෙයි. දහමේ සත්ත්වයා කියා කියන්නේ ලස්සනයි කියා වශී වූ, රසවත් කියා ගිජූ වූ, විසිතුරුයි කියා මංමුලා වූ, සුන්දරයි කියා අන්ධ වූ සිතකටයි.

බොහොම ලස්සනට මේ උගුල හදා තිබෙනවා. උගුලක් බව නොපෙනෙන්න, නොදැනෙන්න හදලා තිබෙන නිසාම ඔබ අප සෑම දෙනෙකුම වාගේ මේ උගුලට වැටෙනවා, අසුවෙනවා. දහමේ ම උපමාවක් තිබෙනවා, කුරුලු වැද්දෙකු දැලක් විසි කළාම කුරුලු රංචුවක් මතට, ඒ දැලට හසුනොවී දැලෙන් මිදී බේරී යන්නේ නැහැ වගේ, බොහොම කලාතුරකින් කුරුල්ලෙකුට දෙන්නෙකුට යන්න පුලුවන් වුනත් මුලු රෑනෙම කුරුල්ලන් දැලට කොටුවෙනවා. 

හිතවතුනි සසර කියන්නේ දැලක්, උගුලක්. පෙනෙන උගුලක් නොවේ. කිසිම තැනක බැලුවට උගුල් පෙනෙන්නේ නැහැ. මනුෂ්‍යයා විසින් අනිත් අයට ඇටවූ උගුල් පෙනෙනවා මිසක් සොබාවික උගුල් පෙනෙන්නේ නැහැ, තමන්ට ඇටවී තිබෙන උගුල් පෙනෙන්නේ නැහැ.

එම නිසා සසර කල්ගෙවනවා මෙහි තිබෙන ප්‍රශ්න විසඳන්න වෑයම් කරමින්. එය එක් උගුලක්. මේ කෙළවරක් නැති ප්‍රශ්න නිර්මාණය කර තිබෙන්නේ උගුලක් ලෙසින්. එතැනදී කෙනෙකුට සිතෙනවා තමන්ට හැකියාව තිබෙනවා, බලය තිබෙනවා, ශක්තිය, ධෛර්යය තිබෙනවා, ප්‍රබෝධය, දැනුම තිබෙනවා, පිරිවර ඉන්නවා, පින තිබෙනවා, එම නිසා මේ ප්‍රශ්න විසඳන්න පුළුවනි කියා. පුළුවන් කියා සිතාගෙන විසඳන්නත් පටන්ගන්නවා. පටන්ගැනීමක් මිස විසඳූ ප්‍රශ්නයක් නම් නැහැ. දවසක එක ජීවිත කාලයක් ඉවර වෙනවා සම්පූර්ණයෙන් නොවෙයි බාගෙටවත් විසඳූ ප්‍රශ්නයක් නැතිව. අවසානයේ විසඳන්න උත්සාහ කළ ප්‍රශ්න ඉතිරි වී මරණය නමැති අලුත් ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්නය විසඳාගන්න බැරිනිසා නැවත උපදිනවා. මේ ගමනයි සංසාරය කියා කියන්නේ. 

මෙය උගුලක්, කුමක්ද උගුල? ප්‍රශ්න, ගැටලු. මේ උගුලට අසුනොවන කෙනෙකු බොහොම කලාතුරකින් ඉන්නේ. තමන්ගේ ප්‍රශ්න, අනුන්ගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ජාතියේ ප්‍රශ්න, ආගමේ ප්‍රශ්න, අතීතයේ තිබූ ප්‍රශ්න, අනාගතයේ එයි කියා සිතන ප්‍රශ්න, වර්තමානයේ තිබෙනවා කියා සිතන ප්‍රශ්න, පාරිසරික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න මේ විදිහට හැම විෂයක් කියන්නේම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නැතිව විෂයක් නැහැ. කිසිම විෂයක් නැහැ ප්‍රශ්නයක් නැතිව. ප්‍රශ්න කියන නම වෙනුවට විෂය කියන නම දෙනවා. හෘදය වෙනම විෂයක්. එය ප්‍රශ්නයක්. පෙහලු කියන්නේ ප්‍රශ්නයක්. ඕනෑම විෂයක් කියන්නේ ප්‍රශ්නයක්.

එක් පැත්තකින් එහෙම ප්‍රශ්න නිර්මාණය කර අනිත් පැත්තෙන් ඇතිකරනවා සිතුවිල්ලක් ‘ඔබට පුළුවන් විසඳන්න’ කියා. එම සිතුවිල්ල ඇතිකරවන්නෙත් අර ප්‍රශ්නය හැදූ කෙනාමයි. ‘මට පුළුවන්’ කියන මේ සිතුවිල්ලයි ‘මමත්වය’ කියා කියන්නේ. ‘මට පුළුවන් ඒ ප්‍රශ්නය විසඳන්න’ මෙහෙම හිතෙන්නේ නැති කෙනෙකු නැහැ වගේ. සමහර ප්‍රශ්න ගැන සිතුවත් ‘මට බැහැ’ කියා නමුත් විසඳන්න පුළුවන් යැයි සිතන ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න තිබීම කෙසේ වෙතත් එසේ සිතෙනවා. විසඳන්න පුළුවනි කියා සිතෙනවා. 

කොහේ හරි තිබෙන ප්‍රශ්නයක් මාතෘකා කරගෙන කථාවක් සාකච්ඡාවක් පටන්ගන්නේ,  ‘අනිත් අයට වැඩිය හොඳින් ඒ ප්‍රශ්නය තමන්ට විසඳන්න පුළුවන් කියා’ සිතන නිසයි, ඒ සිතුවිල්ල නිසයි. විසඳන්න බැහැ කියා තේරෙනවා නම් අනිත් අය ඒ ප්‍රශ්නය විසඳනවාද නැද්ද, ඒ ගැන කථා කරන්න යන්නේ නැහැ. හොඳින් බලන්න කෙනෙකු රටේ ප්‍රශ්නයක්, දේශපාලන ප්‍රශ්නයක්, ආර්ථික ප්‍රශ්නයක්, තව කෙනෙකුගේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න පටන්ගන්නේ, ඒ ප්‍රශ්නය විසඳීමේ හැකියාව, ශක්තිය, බලය තමන්ට තියෙනවා වගෙයි. විවේචන අරගෙන බලන්න. ඕනෑම  විවේචනයක් එන්නේ “ ඔහොම නෙමෙයි කරන්න තිබුණේ, මෙහෙමයි කරන්න තිබුණේ”, 

 “මමනම් මෙහෙමයි කරන්නේ”, “ඇයි මෙහෙම කරන්න බැරි?” 

මේ හැම තැනකම තියෙන්නේ ප්‍රශ්නය විසඳන්න දන්නවා කියන හැඟීම. ඒ හැඟීම නැතිනම් ප්‍රශ්න ගැන කතා කරන්න යන්නේ නැහැ. ප්‍රශ්නයක් තිබෙනවා කියා කියන්න පුළුවනි. නමුත් එය විසඳන්න උත්සාහ කරන කෙනෙකු ගැන විවේචනයක්, ඇගයීමක් හෝ උපදෙස් දීමක් කරන්නේ නැහැ. මෙය උගුලක්, ඒ උගුලට හසුවෙන එක් ආකාරයක්.

ප්‍රශ්න තිබෙනවා. අලුතින් අලුතින් ප්‍රශ්න හැදෙනවා. නිර්මාණය කියන්නේ ප්‍රශ්න නිර්මාණය කිරීම. නිර්මාණ වාදය ගැන කතා කරනවානේ, ලෝකය, විශ්වය නිර්මාණය කළේ කවුද කියා. දහම ඒ කාරණයේදි නිහඬයි. මේ පොළව නිර්මාණය කළේ කවුද? මහවැලි ගඟ නිර්මාණය කළේ කවුද? කැළණි ගඟ නිර්මාණය කළේ කවුද? නයිල් ගඟ හැදුවේ කවුද? ඒ ගැන දහම නිහඬයි. නිහඬවන්නේ දහමේ කාර්ය ඒවාට පිළිතුරු සැපයීම නොවන නිසා. දහම කියන්නේ නැහැ කවුරුවත් හැදුවා කියා හෝ හැදුවේ නැහැ කියා. එය දහමට අදාළ දෙයක් නොවෙයි. නමුත් දහම කියන දෙයක් තිබෙනවා, කුමක් ඒ? ප්‍රශ්න යනු නිර්මාණයන් මිස තිබෙන දේවල් නොවේ. සදාකාලික ප්‍රශ්න කියා දෙයක් නැහැ. කෙනෙකුට සිතෙන්න පුළුවන් ප්‍රශ්න සදාකාලිකයි කියා. එදත් තිබුණා, අදත් තිබෙනවා, හෙටත් තියෙයි. එම නිසා ප්‍රශ්න සදාකාලිකයි අප සිටියත් නැතත්. ප්‍රශ්න සදාකාලිකයි කියන කාරණයම අදාළ නැහැ, එය වැරදියි. සදාකාලික ප්‍රශ්න කියා කොටසක් නැහැ, ප්‍රශ්න කියන්නේ නිර්මාණයන්.

සත්ත්වයා සසර තුළ තබා ගන්න කරන්න පුළුවන් හොඳම, පහසුම උපක්‍රමයයි ප්‍රශ්න නිර්මාණය කිරීම. ප්‍රශ්නයක් නැතිනම් සත්ත්වයෙක් සංසාරයේ ඉන්නේ නැහැ. ඇතුළේ ඉන්නෙම ඇතුළේ තිබෙන ප්‍රශ්න නිසා. බැලූ බැල්මට මේ සංකල්පය, න්‍යාය විරෝධී වගේ. සාමාන්‍ය තර්කයට පටහැනියි වගේ. සාමාන්‍ය තර්කය නම් පැනලා දුවන්න හදන්නේ ප්‍රශ්නයක් තිබෙන නිසා. විවාහයෙන් පැනලා දුවන්න හදන්නේ, රැකියාවෙන් පැනලා දුවන්න හදන්නේ ප්‍රශ්නයක් තිබෙන නිසා. ගෙදරින් පැනලා යන්න හදන්නේ, රටින් පැනලා යන්න හදන්නේ, හිරෙන් පනින්න හදන්නේ ප්‍රශ්නයක් තිබෙන නිසා. ප්‍රශ්නයක් නැත්නම් ඔහේ ඉඳියි. එහෙම තැනකින් තව තැනකට යන්න පුළුවන් ප්‍රශ්නයක් නිසා. නමුත් එතනත් ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න නැති තැනකට නොවෙයි නේ පැනලා දුවන්නේ. 

නමුත් පුළුල් ම කෝණයකින් බැලුවොත් පෙනෙනවා, ප්‍රශ්න තිබෙන නිසායි ඉන්නේ කියා. යන්නේ නොවෙයි, ඉන්නේ ප්‍රශ්න තිබෙන නිසායි. සියළුම ප්‍රශ්න විසඳුනොත් කවුරුවත් සංසාරයේ ඉන්න එකක් නැහැ. සංසාරය කියන්නේ ප්‍රශ්නයක් නොවෙයි කියන තැනට කෙනෙකු ආවොත් එතන ඉන්නේ නැහැ. නමුත් ඒ ආකාරයෙන් සිතන්නේ නැහැ. සිතන්නේ නැති නිසා ඉන්නවා.

මෙය මහ විහිළුවක්. කෙසේ හෝ හිතවතුනි, මේ ප්‍රශ්නත් එක්ක එක්කෝ විසඳන්න හදනවා, එහෙම නැතිනම් ප්‍රශ්න පිළිගන්න හදනවා.  

මේක තමයි ප්‍රශ්නය, ප්‍රශ්න තමයි සංසාරය, ප්‍රශ්න තමයි ජීවිතය, ප්‍රශ්න තමයි ලෝකය කියා පිළිගන්න හදනවා. මේ රටේ ඉන්නවා නම් ප්‍රශ්න තිබෙනවා, වෙන රටක ඉන්නවා නම් ප්‍රශ්න තිබෙනවා 

එහෙම සිතා අතපය හකුලාගෙන ඉන්නවා. මේ උගුලට අසුවෙන අනිත් ක්‍රමය මෙයයි. උගුලට අසුවෙන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් නම් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියා සිතාගෙන ලොකු ව්‍යාපෘති නිර්මාණය කරනවා සෑම දෙයකටම. ඒ එකක්වත් විසඳා ඉවර වෙන්නෙත් නැහැ. නමුත් කෙනෙකුට එකක් මත්තේම නැහෙන්නත් බැහැනේ අර විචිත්‍රත්වය නිසා. එම නිසා ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පනිනවා. හොඳින් බලන්න හිතවතුනි ජීවත් වූ කාලය අරගෙන, මොනවාද කර තිබෙන්නේ කියා. ප්‍රශ්න විසඳන්න උත්සාහ කර තිබෙනවා. විසඳලා නොවෙයි, උත්සාහ කර තිබෙනවා. විසඳුවා කියා සිතාගෙනත් ඉන්නවා, නමුත් තවත් තැනකින් මතුවෙනවා අලුත් ප්‍රශ්නයක් විදිහට. ඒ ප්‍රශ්නයත් විසඳන්න හදනවා.

ගණන් කර බලන්න. ගණිත දැනුම වැඩිවෙන්නත් මෙම ව්‍යායාමය උපකාරි වෙයි. අපට ගණන් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවානේ. ප්‍රශ්න ගණන් කරන්න ගියොත් අපේ ඒ සීමාව ඉක්මවා යනවා. ගණිතය පිළිබඳව අසීමිත දැනුමක් ලැබෙනවා අප විසඳන්න උත්සාහ කරන ප්‍රශ්න 1,2,3,... ආදී ලෙසින් ගණන් කරන්න උත්සාහ කළොත්. මෙසේ ගණන් කරමින් ගණන් කරමින් ගියොත් හිතවතුනි වැටහේවී, ජීවිතයේ කර තිබෙන්නෙම ප්‍රශ්න විසඳන්න වෑයම් කිරීමක් බව. ජීවත් වුණා කියන්නේ එයටයි. අවුරුදු පහක් හිටියා, අවුරුදු දහයක් හිටියා, සියයක් හිටියා කියා කියන්නෙ ඔය කාරණයටයි.  

ප්‍රශ්න වින්දනය කිරීම

අර්බුද කියන්නේ උගුලක්. මානසික අර්බුද වේවා, කායික අර්බුද වේවා, පවුලේ, ගමේ, රටේ, ලෝකයේ අර්බුද වේවා, මේ සියල්ලම සත්ත්වයාව සසර ‘කැමැත්තෙන්මඉන්න සලස්වන මනෝ විද්‍යාත්මක උපක්‍රම. ප්‍රශ්නවලින් වින්දනයක් ලබනවා. ප්‍රශ්න නැතිනම් ජීවිතයක් නෑ වගේ. ඒ වින්දනය ගැන අවදිමත්වීම අවශ්‍යයයි. අනිත් වින්දන ගැන සාමාන්‍ය දැනුමක් තිබෙනවානේ. කෑමක තිබෙන රස පිළිබඳ වින්දනය ගැන සිතමු. ආහාරයේ රසයක් තිබෙන නමුත් ඒ රසයට ඇලිලා, රසයට ගිජුවෙලා.

‘ගිජුකමට නොවෙයි ආහාරය ගන්නේ, මේ රසයට ඇලෙන්න නොවෙයි කන්නේකියා අනුභව කරන්න කලින්ම ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න කියා තිබෙනවානේ. ‘පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි‘. පිණ්ඩපාතය, එනම් ලැබුණු ආහාරය ගැන මේ ආකාරයෙන් නුවණින් සිතනවා. එසේ සිතන ක්‍රම තිබෙනවා. එයින් වැදගත්ම කාරණයක් නම් ‘වින්දනයට ලොල් වී නොවෙයි ආහාර ගන්නේකියන කාරණය. එය රළු වින්දනයක්. කෙනෙකු එසේ ඇලී සිටිනවානම් අනිත් අයට පෙනෙනවා. නමුත් ප්‍රශ්නවලින් වින්දනයක් ලබන බව පෙනෙන්නේ නැහැ. එවැනි දෙයක් කථා කරන්නෙත් නැහැ. 

පටිච්ච සමුප්පාදයේ, පටිච්ච සමුප්පන්න ධර්ම වල තිබෙනවා වේදනා පටිච්ච තණ්හා කියා, වේදනාව නිසා තණ්හා ඇතිවෙනවා කියා. (වේදනාවටයි තණ්හාව ඇතිවන්නේ) මේ ආකාරයෙන් වින්දනයට තණ්හා ඇතිවීමෙනුයි භවය හැදෙන්නේ. කෙනෙකු ප්‍රශ්නත් වින්දනය කළාම හැදෙන්නේ සංසාරය. භවයයි හදාගන්නේ. නමුත් ඒ බව පෙනෙන්නේ නැහැ, සිතන්නෙත් නැහැ. සංසාරය කළකිරෙනවා, සංසාරයෙන් ඉවත්වෙන්න අවශ්‍යයයි කියා මේ ප්‍රශ්න ගැන සිතන්න සිතන්න සිදුවන්නේ තව තවත් සංසාරයට ඇලීමයි.

මෙය හොඳින් බලන්න. ඕනෑම ප්‍රශ්නයක් ඔළුවට දාගෙන බලන්න. ආහාර ගන්නාවිට, නිදාගන්න ගියාම සිතෙන්නේ ඒ ප්‍රශ්නය ගැන. පෙනෙන සිහිනත් ඒ ප්‍රශ්නයට සම්බන්ධයි, අවදිවුණු ගමන් මතක් වෙන්නෙත්, කෙනෙකු මුණගැසුණුවිට මාතෘකාවක් ලෙසින් ගන්නෙත් ඒ ප්‍රශ්නයයි. නිදහසක් නැහැ. මෙසේ කියනවිට කෙනෙකුට සිතෙන්න පුළුවන් ‘කිසිම ප්‍රශ්නයක් විසඳාගන්නේ නැතිව, අතපය හකුලාගෙන ඉන්නද කියන්නේ?කියා. නැහැ. ප්‍රශ්නයකට උත්තරයක් සෙවීම එකක්. අසනීපයකට බෙහෙතක් සොයාගෙන, ඒ බෙහෙත අරගෙන ලෙඩේ සනීපකර ගැනීම එකක්. බඩගින්නට ආහාරයක් ගෙන කුසගිනි නිවාගැනීම එකක්, බඩගින්න ගැන කථා කර කර සිටීම, බඩගින්න ගැන සිත සිතා සිටීම තව එකක්. ආහාර ගැනීම පැත්තකින් තබා බඩගින්න ගැන සිතමින්, ඒ ගැන කථා කරමින්, බඩගින්න ගැන පැමිණිලි කරමින් එයින් වින්දනයක් ලබනවා. ආහාරයට වැඩි වින්දනයක් එයින් ලබනවා. ආහාරයෙන් ලබන වින්දනය පවතින්නේ තත්පර ගණනක්, පැය ගණන් තිබෙන්නේ නැහැ. නමුත් බඩගින්න හා ආහාර ගැන සිතන වාරයක් පාසා පැය ගණන් සිත සිත විඳ විඳ ඉන්න පුළුවන්. බඩගින්න නොවෙයි විඳින්නේ, සාගින්න හා ආහාර ගැන සිතීමේ තිබෙන රසයයි විඳින්නේ. කථා කරන්න, විවේචනය කරන්න පුළුවන්.

දහමේ ‘තිබෙනවා කියා කියනප්‍රශ්න ගැනත් එහෙමමයි. දහමේ ප්‍රශ්න නැහැ. ධර්ම සාකච්ඡා වලදී කියනවානේ ප්‍රශ්න තිබෙනවා නම් අසන්න කියා. දහමේ ප්‍රශ්නයක් නැහැ. දහම කියන්නේ උත්තරයක්. එහි මොනවාද තිබෙන ප්‍රශ්න! ආහාරයක් වැනි දෙයක් දහම. එය අනුභව කරන්න තිබෙන්නේ. එය බෙහෙතක්, පානය කරන්න. එහි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වෙනුවට ප්‍රශ්න හදනවා. හදපු ප්‍රශ්න තිබෙනවා. දහම ගැන හැදූ ප්‍රශ්න තිබෙනවා. දහම දේශනා කරන්න පටන්ගත්ත මොහොතේ සිට, පළමු ධර්ම දේශනය ‘දම්සක් පැවතුම් සූත්‍රයගනිමු. ඒ දේශනය කරන්න කලින් කිසිකෙනෙකුට දහම ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. ප්‍රශ්න තිබුණා, නමුත් දහම ගැන ප්‍රශ්න තිබුණේ නැහැ. ශාස්තෘන් වහන්සේ දහම දේශනා කළා. දේශනා කළාම එය පානය කළා. කොණ්ඩඤ්ඤ තාපසතුමා මුලින්ම පානය කළා. එතුමාගේ රෝගය සුව වෙන්න (ප්‍රශ්න විස‍ඳෙන්න) පටන්ගත්තා. අනිත් තාපසතුමන්ලා බෙහෙත පානය කරන්න පටන්ගත්තා. ඒ අයගෙත් ලෙඩ සනීප වෙන්න පටන් ගත්තා. ඉන් පසුව ‘ලක්ඛණ දේශනය කළා, එයත් සම්පූරණයෙන්ම පානය කළා. එයින් පංචවග්ගිය තාපසතුමන්ලාගේ සියලුම ප්‍රශ්න විසඳුණා. එසේ පානය කළාම ප්‍රශ්න විසඳෙනවා, ලෙඩේ සනීප වෙනවා. දහම (සසුන) ආරම්භ වූයේ සහ පැමිණියේ ඒ ආකාරයෙනුයි.

නමුත් ඉන් පසුව මේවා ‘අධ්‍යයනයකරන්න පටන් ගත්තා. මෙය හරි ලස්සන වචනයක්. අධ්‍යයනයට විවිධ අර්ථ කථන දෙනවා. ඉන්න තැනකට වැඩිය ඉහළ තැනකට (අධි තත්වයකට) කෙනෙක් පමුණුවන නිසා, අධ්‍යාපනයකියා කියනවා. සංස්කෘත භාෂාවෙන් අධ්‍යාපනය කියන වචනය  වෙනම දෙයක්. දහමේ මෙම වචනය තිබෙනවා. දහමෙ එයට වැඩිය හරි ලස්සන අර්ථකථනයක් දෙනවා. එම අර්ථකථනය පුරාවෘතයක් සහිත දීර්ඝ දේශනයක් සමඟයි එන්නේ. සත්ත්ව වර්ගයා මේ ලෝකයේ පහළවීම පිළිබඳව පුරාවෘතයෙයි එම දේශනය තිබෙන්නේ.

අජ්ඣායකෝ

මුල් කාලයේ (ලෝකය ආරම්භයේ) කොහොමද තිබුණේ, පෘථිවිය මතුපිට කිරි යොදයක්, මී වදයක් මෙන් තිබුණා, ... කියා කියන ඒ කතන්දරය අසා තිබෙනවානේ. ඒ කතන්දරයේ එක්තරා තැනකට ඇවිත් කියනවා වේදය විෂයක් ලෙසින් තිබෙන බව. දහම පිරිත් ලෙසින් කියනවා මෙන්, වේදය මන්ත්‍ර ලෙසින් භාවිතාකරමින් කටපාඩම් කරමින් ඉගෙන ගත්තා. දහම එකක්, එය පිරිතක් ලෙසින් භාවිතා කිරීම තව එකක්. මංගල සූත්‍රයේ තිබෙන්නේ දහම. එය පිරිතක් ලෙසින් කියන්න පුළුවන්. කරණීය සූත්‍රය පිරිතක් ලෙසින් කියන්න පුළුවන්. මේවා බෙහෙත්, පානය කරන්න තිබෙන දේවල්. පානය කිරීම පසෙකින් තබා වේදයත් මන්ත්‍ර ලෙසින් භාවිතා කිරීමට පටන්ගත්තා. මෙසේ මන්ත්‍ර ලෙසින් ජප කරමින් ජප කරමින් යාම නිසා සමාජයට සෙතක් වෙන්නත් ඇති. ලෙඩ සුවවීම්, යම් යම් ප්‍රශ්න විසඳීම් වෙන්න ඇති. පිරිතෙත් යහපත් ධ්වනි තරංග ඇතිවී ඒවායින් යම් ප්‍රශ්න විසඳෙන බව, ආශීර්වාද ලැබෙන බව, බලපෑම් කළ හැකි බව පරික්ෂණ වලිනුත් ඔප්පු වී තිබෙනවානේ. එවැනි අවස්ථාවක අරුත වැදගත් නැහැ. වේදයේත් එවැනි තත්වයක් තිබුණා.

මෙසේ ජප කරමින් ඉගෙන ගන්නා සමහර බමුණන්ට සිතුණා මෙහි නිකම්ම ශබ්ද (ධ්වනි කම්පන) පමණක්ම නොවෙයි තිබෙන්නේ මේවායෙහි ඉතාමත් වැදගත් තේරුමක්ද තිබෙන බව. ජප කරන මන්ත්‍රවල අර්ථය සොයන්න ගියවිට ඒ අයට තේරුණා ඒවායෙහි පුහුවන්නට උපදෙස් තිබෙන බව. වේදයෙහි ගැඹුරුම හරියේදි ධ්‍යාන පිළිබඳ කියනවා. සමහර අයට සිතුණා ජප කරමින් සිටීම මොන විකාරයක්ද (සීනි බෝල ලෙවකෑමක් මෙන්) කියා. එයට වැඩිය ගැඹුරක් මෙහි තිබෙනවා, ධ්‍යාන තත්වයකට එන්න පුළුවන් කියා. මේවා සමාජයේ කරන්න බැරි බවත්, වනගතවීම අවශ්‍ය බවත් වේදයේ තිබෙනවා.  එවිට ඒ අය ජප කිරිම් පැත්තකින් තබා, ජීවත්වෙන ක්‍රමය, ඒ ලැබෙන පුදපූජා, ගෞරව තනතුරු පසෙකින් තබා ධ්‍යන වඩන්න වනගත වුණා. සාමාන්‍ය සමාජයක සිටිමින් ධ්‍යාන වඩන්න බැරි නිසායි සම්ප්‍රදායේ වනගතවීම් තිබෙන්නේ. පූජක පන්තිය කියන මේ අධිසුඛෝපභෝගි ජීවිත ගත කළ අයට වනගතවී ධ්‍යාන වැඩීම පහසු කටයුත්තක් නොවේ. ඉතාම  දුෂ්කර කාර්යයක් වුණා. එයින් සීමිත පිරිසක් ඒ දුෂ්කර කැපකිරීම කර සමාධි, ධ්‍යාන ලැබුවා. නැතිනම් ලැබෙයි කියන විශ්වාසයෙන් සිටියා.

නමුත් වැඩි පිරිසකට මෙය කරගන්න බැරිවුණා. නමුත් මේ අයට ආපසු නගරයට යන්නත් බැහැ. එවිට උපහාසයට, අපහාසයට ලක්වන නිසා මේ අය කැලෙයි ගමයි වෙන්කරන මායිමේ සිටියා. දැන් මන්ත්‍ර ජප කිරීමටත් නොහැකි නිසා ධ්‍යාන ලබාගන්නා ආකාරය පිළිබඳව කියාදෙන්න පටන්ගත්තා. වේදයේ තිබෙන ක්‍රමවේදය ගම්වාසීන්ට, නගරවාසීන්ට උගන්වන්න පටන්ගත්තා. එවිට එය විෂයක් බවට පත්වුණා. නමුත් කලින් තිබුණේ මන්ත්‍ර ලෙසින් ජප කිරීම හෝ පානය කිරීමයි. මේ අය දැන් උගන්වන්න පටන්ගත්තා, පළමු ධ්‍යානය, දෙවන ධ්‍යානය (නිර්විකල්පිත ධ්‍යාන, සවිකල්පිත ධ්‍යාන)ආදී ලෙසින් ධ්‍යාන වඩන ආකාරය උගන්වන්න පටන්ගත්තා. නමුත් ඉතින් ගම්වාසීන්ට තමන්ගේ දෛනික කටයුතුත් සමඟ මේ ධ්‍යාන වඩන්න බැහැ. නමුත් ඒ අහිංසක මිනිසුන්ට මේවා ඉතා ගැඹුරු දෙයක් උගන්වනවා මෙන් උගන්වන්න පටන්ගත්තා. වැඩි පිරිසක් නොතේරෙන නිසාවෙන්ම එයට ගෞරව කරන්නත්, අර ඇත්තන්ට ජීවත්වෙන්න ක්‍රමයක් සැලසෙන්නත් ඇති. නමුත් බුද්ධිමතුන් මේ ධ්‍යාන උගන්වන අයට අජ්ඣායකෝ (ධ්‍යාන කරගන්න බැරි අය) කියා අපහාස කළ බව පැවසෙනවා. එයයි අධ්‍යයනය (ධ්‍යාන නොකරන). එසේ නොමැතිව ඉගෙන ගැනීමට කියන වචනයක් නොවෙයි අධ්‍යයනය කියා කියන්නේ.

ධ්‍යානය ලැබීමට තරම් ප්‍රමාණවත් උත්සාහයක් නොකර, අනිත් අයට කරන්නේ කෙසේද කියා කියාදීමයි අධ්‍යයනයේදී සිදුවන්නේ. එහි ඉගෙනගැනීමක් ගෑවිලාවත් නැහැ. එහි තිබෙන්නේ පානය නොකර පානය කරන ආකාරය ගැන කතා කිරීමක්. ඒ ආකාරයෙන් විෂයක් හදන්න පුළුවන්. උදාහරණ සමඟින්, දිග පළලට ඕනෑම විෂයක් ගොඩනගන්න පුළුවන්නේ.  ඒ ආකාරයෙන් විෂයන් ගොඩනැඟුණා.

දහම විෂයක්වීම

දහමේ විෂයක් නැහැ. තමනුයි විෂය. මේ ආකාරයෙන් විෂයක් වූ විට ප්‍රශ්න තිබෙනවා. ඕනෑම විෂයක ගැටළු, ප්‍රශ්න තිබෙනවානේ. ප්‍රශ්න සහ උත්තර තිබෙනවා. බුදු දහමටත් සිදුවුයේ එයයි. ධර්ම සාකච්ඡා කීවාම, දහම් දැනුම කීවාම බලන්න හිතවතුනි බෙහෙත පිළිබඳව, පානය කළයුතු දෙය පිළිබඳව, ප්‍රශ්නයක් කරගෙන තිබෙන ආකාරය. විසඳුම ප්‍රශ්නයක් කරගෙන තිබෙන ආකාරය. එයින් හරි වින්දනයක් ලබනවා. මෙසේ ප්‍රශ්න ගැන කථා කරමින්, සාකච්ඡා කරමින්, විවිධ කෝණ වලින් බලමින් වින්දනයක් ලබනවා. සූත්‍ර පිටකයට අනුව කොහොමද, අභිධර්ම පිටකයට අනුව කොහොමද, අටුවාවට අනුව කොහොමද, විශුද්ධි මාර්ගයට අනුව කොහොමද, ථේරවාදයට, මහායානයට අනුව කොහොමද කියා බලමින් වින්දනයක් ලබනවා. මෙයයි අධ්‍යයනය කියන්නේ. නමුත් එය අපහාසයට භාවිතා කළ වචනයක්. ‘ඣායතිකියා කියන්නේ ‘ධ්‍යානයන්නයි. ධ්‍යාන යන සංස්කෘත වචනයට පාළියේ තිබෙන්නේ ඣාන කියායි. පඨමඣාන - පළවෙනි ධ්‍යානය ආදී ලෙසින්. එවිට අඣාය කියන්නේ නොකරන (කරන්න බැරි)  යන්නයි. ‘අධ්‍යයන කියන්නේ කරන්න බැහැ කියා දමාගැසූ අය. අධ්‍යයනය කරන අයටයි ප්‍රශ්න තිබෙන්නේ. ධ්‍යාන කරන අයට ප්‍රශ්න නැහැ. අධ්‍යයනය කරන්න ගියාම කෙළවරක් නැති ප්‍රශ්න. එයින් දහම වින්දනය කරන්න පටන් ගන්නවා. ඒ වින්දනය යනු රෝගය සුව වීමෙන් ලබන වින්දනය නොව රෝගය එසේම තිබියදී බෙහෙත ගැන කථා කරමින්, විවේචනය කරමින්, එක් එක් කෝණයෙන් බෙහෙත දිහා බලමින්, ඒ බෙහෙතයි මේ බෙහෙතයි සංසන්දනය කරමින් ලොකු වින්දනයක් ලැබීමයි.

වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානා, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජරා ... ආදී වශයෙන් යනවා. බලන්න හිතවතුනි මෙහි තිබෙන උගුල. මෙම උගුලට හසු නොවුණු අය සොයාගැනීම අපහසුයි.  කවුරුත් අසුවෙනවා. බුදු දහම කියන්නේ විෂයක් නොවෙයි. එය විෂයක් කරගන්න එපා. විෂයක් නැහැ එතන. දහම කියන්නේ විෂයක් නැහැයි කියන කාරණයයි. විෂයක් ලෙසින් ගන්න දෙයක් මේ ලෝකයෙහි නැහැ. විෂයීය ලෙසින් ගන්න දෙයකුත් මේ ලෝකයෙහි නැහැ. එහි subject එකකුත් නැහැ. Object එකකුත් නැහැ. එහෙම තිබෙනවා කියා සිතූ තැනිනුයි සංසාරය පටන් ගන්නේ. මෙතන මම ඉන්නවා, ඔතන දෙයක් තිබෙනවා (subject එකයි object එකයි). එහෙම නැහැ. විෂයක් (subject) නැහැ. නැති දෙයක් තිබෙනවා කියා සිතා ගැනීම නිසා හදාගන්නා ප්‍රශ්න.

ඕනෑම දෙයක් අරන් බලන්න හිතවතුනි, නැති දෙයක් තිබෙනවා කියා පිළිගත්තාම විසඳුමක් නැහැ. එතැනින් ප්‍රශ්න හැදෙන්න පටන් ගන්නවා. තියෙන ප්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ, නැති ප්‍රශ්න හැදෙන්නත් පටන් ගන්නවා. මේ ආකාරයෙන් වැරදි සිතීම ප්‍රශ්න නිර්මාණය කරනවා. ඉන් අනතුරුව ඒ සිතටම ලණුවක් දෙනවා ඔයාට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියා. ලණුවක් කියා කියන්නේ සිත දන්නේ නැහැ මේ ප්‍රශ්න තමන් හැදුවා කියා. සිතන්නේ මේ ප්‍රශ්න සියල්ල තිබෙන්නේ ලෝකයේ කියායි. ලෝකයේ ප්‍රශ්න නැහැ, ප්‍රශ්න තිබෙන්නේ සිතේ. සිතින් හදන ප්‍රශ්න සිත දන්නේ නැහැ, සිත ඇතුළේ තිබෙන ප්‍රශ්නයක් කියා. එයාට ඒ ප්‍රශ්නය පෙනෙන්නේ එළියේ තිබෙන ප්‍රශ්නයක් ලෙසින්. එතන මායාවන් දෙකක්. පළමු මායාව නම්, ප්‍රශ්න සාදාගනුයේත් රැවටී‍මෙන්. දෙවන මායාව නම්, මෙය ලෝකයේ තිබෙන ප්‍රශ්නයක් කියා සිතීම. ඉපදෙන්න කලිනුත් මේ ප්‍රශ්නය තිබුණා මැරුණායින් පසුවත් තිබෙනවා. ප්‍රශ්න සදාකාලිකයි කියා එවැනි අදහස් ලබා දෙනවා. තුන්වන මායාව නම්, ලෝකේ තිබෙන ප්‍රශ්න ඔයාට විසඳන්න පුළුවන් කියා කීම. 

විසඳන්න පුළුවන් එකම එක අකාරයකින් පමණයි. කෙසේද? නිර්මාණය නොකර සිටීමෙන්. ප්‍රශ්නයක් නිර්මාණය නොකර සිටීමයි විසඳුම. ප්‍රශ්නයක් නැත්නම් විසඳුමක් අවශ්‍ය නැහැ. එයයි විසඳුම. එසේ නොමැතිව factory එකක outlet එකකින් එළියට දමන්නා සේ ප්‍රශ්න නිර්මාණය කරමින් එළියට දමා අනිත් කෙළවරින් ඒ ප්‍රශ්නයම පෙන්වමින් කියනවා අන්න ප්‍රශ්නයක් තිබෙනවා විසඳන්න කියා (තමාම ලෝකයට බිහිකළ ප්‍රශ්නය විසඳීමට තමාටම හැකියැයි සිතා එයට උත්සාහ කිරීම). තමාම එක පැත්තක සිට නිර්මාණය කළ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නේ. මෙසේ තැන මාරුවූ ගමන් තමන් විසින්ම නිර්මාණය කළ ප්‍රශ්නයකුයි නැවත තමන් වෙතට එන්නේ කියන කාරණය අමතක වෙනවා. එකම කෙනා තැන් දෙකක නොදැන භූමිකා දෙකක් නිරූපණය කරනවා, නිරූපණය කරන්න වෙලා තිබෙනවා. එක තැනකවත් දිගටම ඉන්න බැහැ. ප්‍රශ්නය නිර්මාණය කරන කෙළවරට ගොස් දිගටම ඉන්නත් බැහැ, ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන තැන දිගටම ඉන්නත් බැහැ. එතැනින් මෙතනට, මෙතැනින් එතනට මාරුවෙනවා. 

මේ කාරණය හොඳින් පෙනෙනවා කර්මය හා විපාකය දෙස බැලුවිට. කර්මය නිර්මාණය කරන කෙනාමයි විපාක විඳින්නෙත් (සදාකාලික ආත්මයක් තිබෙනවා, අනාත්මයට මොකද වෙන්නේ කියා ආත්මවාදය සමඟ මෙය පටලවා නොගන්න). සාමාන්‍ය සරල දහමේ න්‍යායක්, ‘තමාට කියා කියන්න දෙයක් තිබෙනවා නම් ඒ කර්මයයි(කම්මස්සකෝම්හි). යං කම්මං කරිස්සාමි කල්‍යානං වා පාපකං තස්ස දායාදෝහෝති - හොඳක් හෝ නරකක් කළොත් තමන්ට දායාද වශයෙන් ලැබෙන්නේ තමන් කළ හොඳ නරක. යාදිසං වපතේ බීජං - යම්කිසි බීජයක් වැපුරුවොත්, තාදිසං හරතේ ඵලං - අස්වැන්න ලෙසින් වැපිරූ කෙනාට එයමයි නෙලාගන්න වන්නේ. එකම කෙනෙක් දිගටම යනවා කියා නොවෙයි මේ කියන්නේ. මේ ආකාරයෙන් මේ තැන් දෙක මාරුවෙනවා. එක පැත්තක සිට කර්මය කරනවා, අනිත් පැත්තට ගිහිං විපාක විඳිනවා. කර්ම කරන තැනකුයි විපාක විඳින තැනකුයි තිබෙනවා. මේ ඉතින් පුද්ගලයාමයි. ඒ නිසයි පුද්ගලයාව විස්තර කරනවිට රූප - වේදනා - සංඥා - සංඛාර - විඤ්ඤාණ ලෙසින් ස්කන්ධ පහක් විස්තර කරන්නේ. මෙම ක්‍රියාකාරීත්වයන් පහේ එකතුවට දෙන නමකුයි ‘පුද්ගලයා කියා කියන්නේ. එයින් දෙවැන්න නම් විඳීමයි (වේදනා). විපාකයේ ස්වභාවය නම් විඳීමයි. සංඛාර යනු කිරීමයි. එනම් මේ පුද්ගල ස්වභාවය කරන දෙයෙහි විපාක විඳීමකුයි සිදුවන්නේ. එක් පැත්තකින් ප්‍රශ්න නිර්මාණය කරන අතර අනිත් පැත්තෙන් විපාක විඳීමක් සිදුවෙනවා. නිර්මාණයයි විඳීමයි කියන මේ භූමිකා දෙකෙහි මාරුවෙවී ඉන්නවා. මෙසේ මාරුවනවිට අමතක වෙනවා කලින් සිටි භූමිකාව කුමක්ද කියා. එම නිසා මේ විඳීම කොහෙන් එනවාද කියා දන්නේ නැහැ. දන්නේ නැති නිසා සිතනවා මෙය ලෝකයේ තිබෙන ප්‍රශ්නයක් කියා.

හිතවතුනි වින්දන අතර ඉතාම සියුම් ම වින්දනය, ප්‍රශ්න වින්දනය කිරීමයි. එයින් මොනතරම් නම් සසර දික්වෙනවාද?  දහම ගැන, සංස්කෘතිය ගැන කියන මේ ඕනෑම දෙයක් පිළිබඳව එය එසේමයි. ප්‍රශ්නයක් කරගන්නේ නැතිව සිටීම එකක්. තවකෙනෙකු අපට ඇවිත් ප්‍රශ්නයක් කියනවිටත් දෙන්න තිබෙන උපදේශය නම් කෙසේද අප ඔය කියන දෙය ප්‍රශ්නයක් කරගන්නේ නැතිව ඉන්නේ කියායි. එයයි බුද්ධිමත්ම කාරණය. ප්‍රශ්නවලට උත්තර සොයන එක නොවෙයි, ඔය කියන දෙය කොහොමද ප්‍රශ්නයක් නොකරගෙන ඉන්නේ කියන එකයි.

එය නොකර, ප්‍රශ්නයි උත්තරයි ප්‍රශ්නයි උත්තරයි කියන මේ සුළියේ කැරකි - කැරකි, කැරකි - කැරකි (කාලය ගතවෙනවා, වයසට යනවා), සංසාරය හදනවා  තේරෙන්නේ නැහැ. වයසට යනවා තේරෙන්නේ නැහැ කියා කියන්නේ, ඇස් නොපෙනීම වැනි දේ තේරෙනවා. ඒවා නොවෙයි කොපමණ වේගයෙන් වයසට ගියාද මොනතරම් වේගයෙන් ජීවිතය ගෙවී යනවාද කියන කාරණය තේරෙන්නේ නැහැ ප්‍රශ්නත් සමඟ ඉන්න ගියාම. ප්‍රශ්න තරම් කෙනෙකුව යමකට ඇදලා බැඳලා රඳවා තියාගන්න පුළුවන් තවත් දෙයක් නැහැ. සැපට එච්චර දෙයක් කරන්න බැහැ. දුකට කළහැකි දේ සැපකට කරන්න බැහැ. සැපට කරන්න පුළුවන් වන්නේ බොහොම පුංචි දෙයක්. සැප විතරක් තිබුණා නම් කවුරුවත් සංසාරයේ ඉන්නේ නැහැ, මේවනවිටත් ගිහිල්ලා. දුක වැඩි හින්දාමයි සංසාරයේ ඉන්නේ. සැප වැඩි නිසා නොවෙයි දුක වැඩි නිසා, කෙළවරක් නැති දුක් නිසායි. ඒ නිසානේ භාවනාවක් කරගන්නත් බැරි. දුක වැඩි නිසා නොවෙයිද කෙනෙකුට වෙලාවක් නැත්තේ, කාලය නැත්තේ, සිතේ විවේකයක් නැත්තේ? අද දවසේ භාවනා කරන්න කියා අමාරුවෙන් හරි ආයතනයෙන්ම නිවාඩු දෙනවා කියා සිතන්න. සුදු ඇඳුමකුත්, වාඩිවෙන්න තැනකුත්, දානෙත් දීලා කරන්නේ කුමක්ද? ප්‍රශ්න ගැන සිත සිතා සිටීමයි. පුටුවේ වාඩිවෙන කෙනා බිම වාඩිවෙලා, රතුපාට, කළුපාට වැනි විවිධ පාටවල් ඇඳපු කෙනා සුදුපාට ඇඳගෙන, ඇස් ඇරගෙන සිටිය කෙනා ඇස් වහගෙන ප්‍රශ්න ගැන සිතමින් සිටිනවා.

කවුරු මේ සංසාරය හැදුවත් හිතවතුනි මේ හදලා තියෙන්නේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් සංසාරයක් නොවෙයි. බලන්න අප සාමාන්‍යයෙන් සිතන්නේ දුක වැඩිනම් ඉන්නේ නැහැ කියානේ. දුකක් තියෙන නිසයි ඉන්නේ, තියෙන නිසාමයි දාලා යන්න බැරි. ඒ නිසායි කියන්නේ දුක අවිද්‍යාවේ නිර්මාණයක් කියා. නොදන්නාකම නිසායි ප්‍රශ්න නිර්මාණය කරගන්නේ. ඒ නොදන්නාකම නිසාමයි එක් එක් ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන්නේ. ඔයාට විසඳන්න පුලුවන්, ඔයාම තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් හොඳම කෙනා. 

මේ ආකාරයෙන් හිතවතුනි, අධ්‍යයනය කියන්නේ බොරුවක්. අධ්‍යයනය නිසා විසඳුණු ප්‍රශ්නයක් නැහැ. විසඳෙනවා නම් විසඳෙන්නේ ධ්‍යානයෙන්.

එකම එක දවසක් ප්‍රශ්නවලට (රටේ ප්‍රශ්න, ලෝකයේ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, තමන්ගේ ප්‍රශ්න) ඇහුම්කන් දීම අතහරින්න. එක දවසකට ප්‍රශ්න කතා කිරීම අත්හැර දමන්න. මෙහෙම කියනවිට බය හිතෙන්න පුළුවන්. එහෙම හිටියොත් මොකද වෙන්නේ? මොනතරම් මානයක් ද බලන්න. එහෙම කෙනෙකු සිතනවානම් “මම මේ ප්‍රශ්න ගැන සිතන්නේ නැතිව සිටියොත් ලෝකයට මොකද වෙන්නේ? මේ අසරණ ලෝකයට මොකද වන්නේ?. රූපවාහිනියෙන් ලෝකය ගැන කියන ප්‍රශ්න ඇසීම, බැලීම එක දවසකට නැවත්වුවහොත්, පුවත්පත්වලින් ප්‍රශ්න ගැන කියවීම එක දිනකට නැවැත්වුවහොත් ලෝකයට මොකද වෙන්නේ? කෙනෙකුට එහෙම එසේ සිතෙනවානම් ඒ තරම් මෝඩකමක් තවත් තියෙනවාද? ලෝකෙට මොකුත් වෙන්නේ නැහැ. හිටියා කියා මොකුත් වෙන්නෙත් නැහැ. අප එක දවසක් නිදා ගත්තා කියා ලෝකයේ ප්‍රශ්න වැඩි වන්නෙත් නැහැ. 

එමනිසා එකම එක දවසක් බලන්න අධිෂ්ඨානයක් කර ප්‍රශ්න ගැන සිතීම, කථා කිරීම, ඇසීම, කියවීම, බැලීම සම්පූර්ණයෙන් නවත්වනවා කියා.  ශික්ෂාපදයක් විදිහට ගන්න. මෙය ශික්ෂාපදයක් ලෙසිනුයි දී තිබෙන්නේ, නොකළ යුතු කථා තිස්දෙකක් ලෙසින්. නොකළ යුතු දෙතිස් කථා ගැන කියනවානේ, ඒ ප්‍රශ්න ගැනයි.  අප ප්‍රශ්නයි කියන ඒවායි ඔය එක එක මාතෘකා ලෙසින් දී තිබෙන්නේ. කතා කරන්න එපා කියන්නේ ඒවා ගැන සිතන්නත් එපා කීමයි. ඇහුම්කන් දෙන්නත් එපා, කියන්නත් එපා, කියවන්නත් එපා, බලන්නත් එපා කියන එකයි. අධ්‍යයනය කරන්නත් එපා. “මෙහෙම කරන්න තිබුණා නම් හරි, එහෙම නෙමෙයි කරන්න තිබුණේ, මෙහෙමයි කරන්න තිබුණේ

බලන්න මේ මෝඩ සිත සියළුම ප්‍රශ්න විසඳන්න උපදෙස් දෙන්න පුළුවන් කියා සිතනවා, හැමදෙනාටම. වෛද්‍යවරුන්ට, රජවරුන්ට, ඉංජිනේරුවන්ට, උපදෙස් දෙන්න සිතනවා. මේ ඕනෑම තැනක ප්‍රශ්නයක් තිබුණාම ඒකනේ අප සිතන්නේ “එහෙම නොවෙයි මෙහෙමයි කරන්න තිබුණේ, ඔහොම නෙමෙයි කරන්න තිබුණේ මෙහෙමයි කරන්න තිබුණේ කියා සිතන්නේ ඒ නිසායි. ඒ අයට උපදෙස් දෙන්න අපට හැකියාවක් තියෙනවා කියා අධිතක්සේරුවක ඉන්න නිසා. මෙයයි මමත්වය. පුහුමානය. මේ බව තේරෙන්න තේරෙන්න කෙනෙකු නිහඬවෙනවා. නිහඬවෙන්නේ සංවේදීකම නැති නිසා නොවෙයි, අනිත් අයගේ දුක පිළීබඳව ගල් සිතක් තිබෙන නිසා නොවේ, මෙහි තිබෙන විකාරය පෙනෙන නිසා.

එක දවසක් නිහඬවී බලන්න. එතනින් ලැබෙන ධ්‍යානය මොනතරම් ඖෂධීය ගුණයක් තිබෙනවාද කියා. විවේකය එන්නේ එතැනින්. විවේකය එන්නේ සැපෙන්, දුකෙන් නොවෙයි. දුක හැමවිටම කරන්නේ අවිවේකී කිරීමක්. කෙළවරක් නැති ප්‍රශ්න තිබෙනවා කියා කෙනෙකුගේ ඔළුවට දැම්මාම, කොහේද විවේකයක්? විවේකයක් නැහැ. ප්‍රශ්න නිසා විවේකය ලැබූ කෙනෙකු නැහැ. විවේක ගන්න, විවේකය ගත්තොත් ප්‍රශ්න නැහැ. මේ ධ්‍යානය සාමාන්‍ය ජිවිතයේ මතුකර ගන්න පුළුවන් දෙයක්. අධ්‍යයනය අත්හැරියාම මතුවන්නේ ධ්‍යානයයි. ඒ ධ්‍යානයට මතුවෙන්න බැරිව තිබෙන්නේ අධ්‍යයනය නිසා. අධ්‍යයනය කරමින් ධ්‍යානගත වෙන්න නම් බැහැ කාටවත්. එහෙම වෙන්නේ නැහැ. අධ්‍යයනය කරමින් ගිහින් අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙසින් ධ්‍යානයක් ලැබෙන්නේ නැහැ කෙසේවත්. අධ්‍යයනය අත්හැරිය තැන තිබෙන්නේ ධ්‍යානයයි, විවේකයයි. ධ්‍යානයේ මූලිකම ලක්ෂණය වන්නේ විවේකයයි. පළමුවෙනි ධ්‍යානය විස්තර වන්නේ විවේකයෙන් උපන් ධ්‍යානයක් ලෙසින්. පළමුවෙන් සමාධිය උපදින්නේ විවේකයෙන්. අධ්‍යනයෙන් කරන්නේ අවිවේකය ඇති කිරීම. ධ්‍යාන ගැනත් කථා කරමින් ඉන්න පුළුවන්. “පළමුවෙනි ධ්‍යානයේ අරක තිබෙන්නේ ඇයි? ඇයි මේක නැත්තේ? කියා ඒ ගැනත් ප්‍රශ්න කරමින් ඉන්න පුළුවන්.

හිතවතුනි මෙය උගුලක්. උගුලක් බව දැනගෙන හසුනොවී සිටිමයි හපන්කම. තියෙන්නේ පානය කිරීමටයි, එපමණයි. බෙහෙතක් තියෙන්නේ පානය කිරීමටයි. වෙන කිසිම දෙයකට නෙවෙයි බෙහෙත ගන්නයි තිබෙන්නේ. බෙහෙත් ගන්නා කෙනෙකුටයි ශ්‍රාවකයෙකු කියන්නේ. වෛද්‍යවරයෙකු client කියා කියන්නේ ඒ doctor දෙන බෙහෙත් ගන්න කෙනාටයි. Doctor ගේ සැප දුක අසා යන කෙනාට කිසිම වෛදවරයෙක් කියන්නේ නැහැනේ මගේ client කෙනෙක් කියා. බුදුන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෙක් කියා කාටහරි කියා තිබෙන්නේ ඒ උන්වහන්සේ දුන්න බෙහෙත ගන්නවානම් පමණයි. බෙහෙත ගැන කථා කරන අයට නොවෙයි, බෙහෙත ගැන ප්‍රශ්න කරන කෙනාට නොවෙයි, බෙහෙත පානය කරන කෙනාටයි. මේ කාරණය එක් පැත්තකින් ලොකු සංවේගයක් ඇති කරනවා, කළකිරීමක් ඇති කරනවා. එසේම ලොකු ගැම්මකුත් ඇති කරනවා. හිතවතුනි, එන්න ධ්‍යානයට අධ්‍යනයෙන්. බලන්න පුලුවන්ද එක මොහොතකට අධ්‍යයනය නතර කරන්න. උත්සාහයක් කර බලමු.

භාවනාව

අනධ්‍යනය, විවේකය උපදවනවා. විවේකය, සිතක් සන්සුන් කරනවා. ඒ මාර්ගය කිසියම් දුරකට එළි පෙහෙළි කරගැනීමයි අපේ වෑයම. ඒ උත්සාහය ගැන කියන්න යමක් තිබෙනවා නම් මේ ඒ සඳහා අවස්ථාව.

සාකච්ඡාව 

ප්‍ර : ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ සෑම ඉන්ද්‍රියක්ම හැදිලා තියෙන්නේ රසයක් ගන්න, ඒ දිශාවට ඇදිලා යන විදිහට. එහෙම ඇදිලා ගිහිල්ලා අන්තිමේදී ඒකෙන්ම විපතට පත් වෙනවා. සෑම ඉන්ද්‍රියක්ම උගුලක්. මිනිසා ඇතුළු සෑම සත්වයෙක්ම හැදිලා තියෙන්නේම මේ උගුලට අහුවෙන විදිහට.  ඒ විදිහට බැලුවහම මේ ලෝකේ හරිම අසාධාරණයි කියල හිතෙනවා. 

පි : අසාධාරණයි විතරක් නෙමේ  මේ උගුලට අහුවෙන  හැම සත්වයෙක්ම අසරණයි. 

අප හිතනවා මේ ලෝකය සාධාරණ වෙන්න ඕන. නමුත් මොන හේතුවක් නිසා හෝ ඒ සාධාරණය දැන් නෑ.  එනිසා ඒ සාධාරණය නැවත ඇති කරගත්තොත් තමයි මේ ප්‍රශ්නය විසඳෙන්නේ කියලා සාධාරණය ඇතිකරගන්න සාධාරණය වෙනුවෙන් බොහෝ දේ කරන්න හදනවා. 

අසාධාරණය තමයි යථාර්ථය. සාධාරණය කියන්නේ අසාධාරණයට විරුද්ධව හදාගත්තු වචනයක් පමණයි. ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. 

සාධාරණ - අසාධාරණ සම්බන්දයෙන් අපට එකම එක දෙයක් කරන්න තියෙනවා. අපෙන් කාටවත් කිසිම අසාධාරනයක් නොවෙන්න  ජීවත් වෙන්න ඕන. එය පින්කමක් සහ කුසලයක්. අපෙන් කාට හෝ අසාධාරණයක් වෙනවා නම් එය පවක් සහ අකුසලයක්. එහෙම නැතිව සාධාරණය වෙන කෙනෙකුගෙන් ගන්න යන තැනයි ප්‍රශ්න ඇතිවෙන්නේ. 

එක පැත්තක ඇහැ තියෙනවා. අනිත් පැත්තේ වර්ණ සටහනක් රූපයක් තියෙනවා. ඉතින් හිත එයට ඇදිලා බැඳිලා යනවා. ඒ බැඳෙන මොහොතක් මොහොතක් පාසා සංසාරයක් තමයි හැදෙන්නේ. සංසාරයක් හැදෙන විදියට තමයි මේවා හැදිලා තියෙන්නේ, එකතු වෙන්නේ.

අපට ඇහැ වෙනස් කරන්න බෑ. ලෝකය වෙනස් කරන්නත් බෑ. කළ යුත්තේ ඇහැ මොනවා හරි ලස්සන දෙයක් පෙන්නුවොත් එයට බැඳෙන්නෙ නැතිව ඉඳීම පමණයි. මේ ඇහැ පෙන්නන්නේ ලස්සනක් කියලත් දන්නවා, ඒ ලස්සන ඇහැට පේන ලස්සනක් මිස ඇත්තටම තියෙන ලස්සනක් නෙමෙයි. ඇත්තටම ලස්සනක් කිසිම දේක නෑ. එහෙම තියෙනවනම් ඒ ලස්සන දකින්න ඇහැ ඕනෙ නෑ. ඇහැ ඕන වෙන්නේ ලස්සන හදන්නයි. එනිසා  මේ ආයතන හයේ  සලායතනයේ නිරෝධය ම තමයි විසඳුම. එසේ නොමැතිව අසාධාරණයට විරුද්ධව සටනක් මෙතන නෑ.

සළායතන නිරෝධය කියන්නේ ඇහැ වසා ගැනීම කන වසා ගැනීම නොවෙයි, ප්‍රශ්න හදන්නේ ආයතන බව තේරුම් ගන්න ගැනීම. ඇත්තටම තියෙන දේකට අප මුලා වෙනවා නොවෙයි, හදාගන්න මවාගන්න දෙයකටයි අප මුලා වෙන්නේ.

හැම දෙනාටම සෙතක්ම ශාන්තියක්ම සැනසිල්ලක්ම වේවා !