සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 09

2022 සැප්තැම්බර් 21 සාරාංශය

සෑම දෙනාටම සුබ සැඳෑවක් ! ‘නැණ දසුනට තත්පරයක්’ සදහම් සැඳෑවට සම්බන්ධව සිටින සත්පුරුෂ හිතවතුනි, මේ ව්‍යායාමය, මේ ගමන අතිශයින්ම සුන්දරයි. ඒ සොඳුරුබව මේ හිතවතුන් විවිධාකාරයෙන් අත්දකිනවා ඇති. මේ කියන්න උත්සාහ කරන්නේ ජීවිතය සුන්දරයි කියන කාරණය නොවේ, එය වෙනම කාරණයක්.

සොඳුරු ජීවිතය

සොඳුරු ජිවිතයක්, සොඳුරු ළමාවියක්, සොඳුරු යොවුන්වියක්, සොඳුරු විවාහ ජීවිතයක්, සොඳුරු දරු-පවුලක්, සොඳුරු විශ්‍රාම ජීවිතයක් යන මේ ආකාරයට ජීවිතයේ සුන්දරත්වය වෙනස් වෙනස් තැන්වලදී කථා කරනවා, අත්දකිනවා. ඒත් තවම ප්‍රසිද්ධියේ කියාත් නැහැ, පෞද්ගලිකව අසන්න ලැබීත් නැහැ “උපන් මොහොතේ සිට යම්තාක් කල් ජීවත් වුණාද, ඒ මුළු කාලයම හරීම සුන්දරයි” කියා කියූ කෙනෙකු. මැරෙණතුරු නොවේ, මැරෙණතුරු සුන්දරයි කියන එක මැරුණායින් පසුව අසන්න තිබෙන කාරණයක්. නමුත් සෑම අත්දැකීමක්ම ලබනවිට එය හරිම සුන්දරයි කියන කෙනෙකු තාම මුණගැසී නැහැ. “ඒ කාලේ හරි සුන්දරයි”, “මේ කාලේ හරි සුන්දරයි” ආදී වශයෙන්, යම් යම් අත්දැකීම්, යම් යම් කාලපරිච්ඡේද, ජීවිතයේ යම් යම් අවධි, වගකීම් තිබුණු කාලයන් ගැන වරහන් ඇතුළේ කථා කරන්න පුළුවන්, කථා කරන අය ඉන්නවා. සාමාන්‍යයෙන් ජීවිතයේ සුන්දරත්වය ගැන සිතෙන්නේ, රැකියාව, ගෙදර, ලෝකය හෝ ඕනෑම දෙයක් සුන්දරයි කියා සිතෙන්නේ එයින් යම්කිසි සතුටක්, ආශ්වාදයක්, වින්දනයක් (සුඛ වින්දනයක්) ලැබෙනවිට. සුඛ වින්දනයක් නොලැබෙන කාල, කටුකයි, සුන්දරයි කියන්නේ නැහැ.  ප්‍රශ්න තියෙනවිට, සුඛ වින්දනය නොලබන විට “හරි කටුක කාලයක්”, “ලොකු කට්ටක් කනවා”,  “කරුමයක් ගෙවනවා”, “කාලකණ්ණි කාලයක්” කියා (එය විඳින මොහොතේ, වර්තමානයේ) කියනවා. නමුත් පසු කාලයක අර කටුක අත්දැකීම් මතක් කරමින් කියන්න පුළුවන් “ඒ කාලෙත් ලොකු සුන්දරත්වයක් තිබුණා”, “ඒ කට්ට කාපු එකෙත් ලොකු සුන්දරත්වයක් තිබුණා” කියා.

සොඳුරු චාරිකාව

ජීවිතය ගැන විවිධ කාලවල, විවිධ කෝණවලින් බලමින් කරන මේ ප්‍රකාශ පිළිබඳව සිතන්න කාරණා තිබෙන අතර එය පසෙකින් තබමින් මේ කියන්න හදන්නේ ‘දහම් මඟ හරි සුන්දරයි’ කියන කාරණය. ‘දහම අපව රැගෙන යන්නේ සොඳුරු ගමනක්’. දහම අපව සොඳුරු චාරිකාවක රැගෙන යන බව අත්දැකීමෙන් වැටහී තිබෙනවා ද, අත්දැක තිබෙනවා ද? ආගමික කටයුතු, වන්දනා ගමන් ගැන නොවේ මේ කියන්නේ. පූජනීය ස්ථානවලට, ශුද්ධ ස්ථානවලට යෑම අනිවාර්ය සුන්දර අත්දැකීමක්. එවැනි තැනක් නිසා ලබන සුන්දරත්වක් ගැන නොවේ මේ කියන්නේ. මේ දහම් මඟෙහි තබන තබන පියවරක් පාසා, ඒ ගමන් කරන කෙනාට දකින්න ලැබෙන, අත්දකින්න ලැබෙන සුන්දරත්වයක් පිළිබඳවයි මේ කියන්නේ.

ඒ සුන්දරත්වය කොහේවත් තිබෙන සොඳුරුබවක් නොවේ.  මනුෂ්‍ය ලෝකයේ, ලංකාවේ, දඹදිව, අටමස්ථාන, ආරණ්‍ය, භාවනා මධ්‍යස්ථාන, ආශ්‍රම, අසපු යන මේ කොහේවත් තිබෙන සුන්දරත්වයක් නොවේ. එමෙන්ම වෙනත් ලෝක, දිව්‍ය, බ්‍රහ්ම, නාග, අසුර වැනි ලෝක වල තිබෙන සුන්දරත්වයකුත් නොවේ. ඇඟට දැනෙන, ඇසට පෙනෙන, කනට ඇසෙන දෙයක් නොවේ. එසේ වන්නේ මේ දහම් මඟ තිබෙන්නේ අප ඇතුළේ නිසා. දහම් මග ආරම්භ වන්නෙත් අපෙන්මයි, ධර්‍ම මාර්‍ගය වැටි තිබෙන්නෙත් අප හරහාමයි, දහම් මග අවසන් වන්නෙත් අපෙන්මයි. මුල, මැද, අග අප තුළමයි (තමන් තුළමයි). සංසාරය තිබෙන්නේ වෙන කොහේවත් නොවේ මෙතන. මෙතන කියන්නේ ගේ ඇතුළේ නොවේ. “මෙය තමා සංසාරය, මේ සංසාර දුක” කියා, ගෙදර තිබෙන ප්‍රශ්න වලට, කාර්යාලයේ තිබෙන ගැටලුවලට කියනවා. නැහැ. සංසාරය තිබෙන්නේ ඇතුළේ.  සිතේ කිව්වාට වරදක් නැහැ. සිත කියන්නේ කුමක් ද කියන කාරණය අවබෝධයෙන් කියනවානම්, අවබෝධයෙන් කියන්න පුළුවන් සංසාරයත් තියෙන්නේ සිතේ කියා, එය හරියටම හරි. මුල සංසාරය නම් අග නිවීම (මෝක්ෂය, විමුක්තිය, නිවන) ය. එය කොහෙද තිබෙන්නේ? එය තිබෙන්නෙත් අප තුළම ය. ඇවිලෙන්නේ සිතයි, නිවෙන්නෙත් සිතමයි.

ඇවිලෙන සිතමයි නිවෙන්නේ. දහමට අනුව නම් නොඇවිලෙන තැනක් නැහැ. සෑම තැනම (සුන්දරයි කියන, ආශ්වාදය ලබන, වින්දනීය සෑම දෙයක්ම) ඇවිලෙනවා. ඒ ගින්න, පිච්චීම තමයි ආශ්වාදය ලෙසින් සලකන්නේ. ආදීනවයක් ලෙසින් සැලකිය යුතු දෙයක්, ආශ්වාදයක් ලෙසින් සලකනවා. එළියට එන්න බැරි ආකාරයෙන් වටේටම ගිනි ගොඩවල් ගසා ගත්තාම පිළිස්සී මරණයෙනුයි කෙළවර වන්නේ. මෙයයි ආශ්වාදයට අසු වූවිට සිදුවන්නේ. ඇවිලෙන්නේ සිතයි, නිවෙන්නෙත් සිතයි. එසේනම් මුලත් මෙතන තිබෙන්නේ, අගත් (ගමනාන්තයත්) මෙතන තිබෙන්නේ, වෙන කොහේවත් තියෙන්න බැහැ. මෙතන, ඇතුළේ, අභ්‍යන්තරයේ. ඒ නිසායි ආධ්‍යාත්මික කියන්නේ.

ආධ්‍යාත්මික කියන්නේ අභ්‍යන්තර කියන අදහස. මෙය නිතර භාවිතා කරන වචනයක්. එසේම අර්ථයත් කිහිප වතාවක් පැහැදිලිකර තිබෙනවා. එසේ නොමැතිව spiritual කියන අදහස නොවේ, එය වෙනම අදහසක්. Spiritual කියන්නේ ක්‍රිස්තියානි ආගමෙන් ආ අදහසක්, එය වෙනම අර්ථයක්, වෙනම සන්දර්භයක්, වෙනම කතාවක්. නමුත් අප ආධ්‍යාත්මිකයි කියන්නේ අභ්‍යන්තර (ඇතුළේ) කියන අදහසින්.

අරුම පුදුම චාරිකාව

ගමනේ මුල (ආරම්භය) මෙතනමයි. ගමන අවසන් වන්නෙ, ඒත් මෙතනින්මයි. මෙතනින් පටන්ගෙන මෙතනින් අවසන්වන ගමනක්. එය ‘අරුම පුදුම ගමනක්’. බොහෝ ගමන් ගැන හරි පුදුමයි, පුදුම දේ දැක්කා කියනවානේ. ඇත්තෙන්ම ඒවායේ පුදුම වෙන්න දෙයක් නැහැ. ඇලිස් දුටු විශ්මලන්තයේවත් විශ්මයට පත්වෙන්න දේවල් නැහැ. ඇත්තටම ඇලිස් දැක්කා නම් කිසිම විශ්මයකට කාරණා නැහැ, පුදුම වෙන්න දෙයක් නැහැ. ඒවාගේම පුදුම හතක් ගැන කියනවා, ඇත්තටම නම් පුදුම වෙන්න දෙයක් ඒවායේ නැහැ. පුදුම විය යුත්තේ ඒවාට පුදුම වීම ගැන.  “ඇයි මේ පුදුම වෙන්නේ” කියන එක ගැනයි පුදුම වෙන්න අවශ්‍ය වන්නේ. ඒ හැර මේ ගැන සිතනවිට, සොයනවිට වැටහෙනවා මේවා සාමාන්‍ය දේවල් බව. හැමෝටම කරන්න බැරිවෙන්න පුළුවන්, ඒ අර්ථයෙන් නම් පුදුමයි කියන්නේ පුදුම කිව්වාට කමක් නැහැ. මේ ගැන වැටහෙන සිතක් පුදුමයට පත්කරන්න කිසිම තැනකට, දෙයකට, ක්‍රියාවකට, සිදුවීමකට එමෙන්ම  කෙනෙකුට බැහැ. මේ අවබෝධය තිබෙන සිතක් විශ්මයට පත්කරන්න බැහැ.

නමුත් විශ්මයට පත්වෙන එක් සිදුවීමක් තිබෙනවා. එනම් මෙතනින් පටන්ගෙන මෙතනින් අවසන්වෙන ගමන. මෙතනින් පටන්ගෙන මෙතනින් අවසන් වෙන ගමනක් තිබෙනවා. එහෙම ගමනක් තිබෙන්න බැහැනේ මෙතනින් පටන්ගෙන මෙතනින් අවසන් වෙන, නමුත් එහෙම ගමනක් තිබෙනවා. ඒ නිසායි අරුම පුදුම කියන්නේ. අරුම කියන්නේ සිතාගන්න අමාරු නිසා. කලින් එහෙම ගමනක් ගිහින් නැති නිසා. ගියානම් ආයේ යන්න වෙන්නෙත්  නැහැ. ගිය නැති නිසානේ යන්න වෙන්නේ. නැත්තේ නැහැ, එහෙම ගමනකුත් තිබෙනවා. ඒ ගමන නැතිනම් මාර්‍ගය තිබෙන්නෙත් ඇතුළේමයි, වෙන කොහේවත් නැහැ.

ගමනාරම්භයත් අභ්‍යන්තරයේ, ගමනාන්තයත් අභ්‍යන්තරයේ, ගමන් මාර්‍ගයත් අභ්‍යන්තරයේ, ගමනත් අභ්‍යන්තරයේ. මේ හතරම අභ්‍යන්තරයේ. ඒ නිසා ආධ්‍යාත්මිකයි. එම කාරණය සාමාන්‍ය දැනුමට තබාගනිමු. දිගින් දිගට සිතන්න, කල්පනා කරන්න, තර්ක කරන්න අවශ්‍ය නැහැ. සදහම් මඟ තිබෙන්නේ අප ළඟ, අපේ අභ්‍යන්තරයේ, අපේ අතේ, වෙන කොහේවත් නැහැ කියා, සාමාන්‍යයෙන් දැනුමක් තිබුණාම ප්‍රමාණවත්. ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය මොනම පොතකවත් නැහැ, කිසිම සූත්‍රයකවත් නැහැ, තිබෙන්නේ අපේ අතේ (සිතේ).

ඒ ගමනත් සිතින් යන්න අවශ්‍ය ගමනක්. නමුත් සිතට තනියම යන්න බැරි ගමනක්. සිත තනියම යන ගමන් තිබෙන නමුත් දහම් මගෙහි සිතට තනියම යන්න බැහැ. සිත තනියම යන සෑම ගමනක්ම සාංසාරික ගමන්. සංසාරය හදාගෙන හදාගෙන යන ගමන්.  මේ ගමන සිතට තනියම යන්නත් බැහැ, තනියම යන්න දෙන්නෙත් නැහැ, තනියම ගිහිල්ලා වැඩකුත් නැහැ. අප එදත් කතා කළා මෙයා ගමනක් යනවිට හොඳයි කියලා සිතා ගමනක් යනවා, හැබැයි ඒ ගමන යනවිට හොඳ හරහා නරකට වැටෙනවා. හොඳින් හොඳට යන ගමනක් කවදාකවත් සිත ගිහින් නැහැ. හොඳින් හොඳට, සුගතියෙන් සුගතියට පමණක් සිත කවදාකවත් ගමන්කර නැහැ. එය ධර්මතාවයක්. සුගතියෙන් දුගතියට, හොඳින් නරකට, නැවත හොඳටත් එනවා. රෝදයක් කැරකෙනවා වගේ නියමිත කාලයකදි හොඳ, නියමිත කාලයකින් නරක, එහෙම වෙන්නේ නැහැ. එය වෙනස් වෙනවා, ඒකනේ කර්මය එතනට සම්බන්ධ වන්නේ.

මාර්ගෝපදේශකයා

කෙසේ හෝ ධර්ම මාර්‍ගය, දහම් මඟ, ආධ්‍යාත්මික ගමන සිතට තනියම යන්න බැහැ. ගමන් සඟයන් දෙන්න අවශ්‍යයයි. ඒ කාරණයයි භාවනාවේදි පුහුණු වන්නේ. භාවනාවෙන් ඉෂ්ටවන්නේ ඒ කාරණය, සිතට guide කෙනෙකු  ලබාදීම. මෙහිදී මඟ පෙන්වන්නෙකු, මාර්ගෝපදේශකයෙකු කීවාම අප හැමවිටම ගුරුවරයෙකු, කම්මට්ඨානාචාර්යවරයෙකු, භාවනා ආචාර්යවරයෙකු ආදී ලෙස බාහිරින් කෙනෙකුයි සොයන්නේ. මේ guide එළියේ සිටින කෙනෙකු (මනුෂ්‍යයෙකු, දෙවියෙකු, බ්‍රහ්මයෙකු) විය හැකියි. බාහිර පුද්ගලයෙකුට පුළුවනි මඟක් පෙන්වන්න, ඒ බොහොම පුංචි දුරක් යන ගමනක්. හේතුව ගමන තිබෙන්නේ අභ්‍යන්තරයේ, පටන්ගන්නේ, අවසන් වන්නේ, මුළු ගමන් මගත් තියෙන්නේ සිත ඇතුළේ. එවිට බාහිර පුද්ගලයෙකු කෙසේද මුළු ගමනටම මඟ පෙන්වන්නේ?.

එළියේ ගමනක් නම් මා පසු පසින් එන්න කියා, ඉදිරියෙන් යන්න පුළුවන්. එවිට අපට තිබෙන්නේ ඒ පිටුපසින් යන්න. වමට හැරෙන විට වමට හැරෙමින්, දකුණට හැරෙනවිට දකුණට හැරෙමින්, ආපසු හැරෙනවිට ආපසු හැරෙමින් යන්න පුළුවන්. නැතිනම් ඒ පුද්ගලයා (ගුරුවරයා, මාර්ගෝපදේශකයා) ගිය පිය සටහන් බලාගෙන යන්නත් පුළුවන්. එසේත් නොමැති නම්, තැනින් තැන එම පුද්ගලයා විසින් තබන ලද සලකුණු දෙස බලාගෙන යන්නත් පුළුවන්. ඒ කිසිවක් මේ අභ්‍යන්තර ගමනක නැහැ. එසේම කවුරුහරි කියනවානම් අඩියෙන් අඩිය, දශමයෙන් දශමයට එක්ක යන්න පුළුවන් කියා මේ අභ්‍යන්තර ගමන, එය විය නොහැකියි. නමුත් එයින් කියවෙන්නේ නැහැ, බාහිර මඟපෙන්වන්නෙකු අවශ්‍ය නැහැ කියා. එහෙම කෙනෙකු අවශ්‍යයයි. අවශ්‍ය වන්නේ වෙන මොනම හේතුවකටවත් නොවේ, එකම එක හේතුවකට. එනම් අප අප  දෙසටම හැරවීමට කෙනෙකු අවශ්‍යයයි.

නොපෙනීම

අප දිහා බැලුවොත් පමණයි අප ඇතුළේ තිබෙන පාර පෙනෙන්නේ. අප දිහා බලන්නේ නැතිව 3600 ක් වටේට කැරකි කැරකි බල බලා ඉන්නවිට, බොහෝ දේ දකින්න ලැබෙයි, බොහෝ පාරවලුත් පෙනෙයි, විවිධ ගමන් යන අයත් පෙනෙයි.  නමුත් මෙම දහම් මග පෙනෙන්නේ නැහැ. එහෙම බැලුවාම දහම් මගෙහි යන කෙනෙකු පෙනෙන්නෙත් නැහැ. සක්මන් භාවනාව කරන කෙනෙකු පෙනෙයි, ඇස් වසාගෙන පර්යංක භාවනාවක යෙදෙන කෙනෙකු පෙනෙයි.  නමුත් ආධ්‍යාත්මික ම‍‍ඟෙහි යන අයෙකු පෙනෙන්නේ නැහැ, ඇස් දෙකට පෙනෙන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් ඇස් දෙකින් දැක්කා භාවනා කරන කෙනෙකු, ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගයේ යන කෙනෙකු කියා, එය විහිළුවක්. අඩි පාරවල්, පටු පාරවල්, මං මාවත් යන මේවා ඇස්වලට පෙනුනාට ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය, ධර්‍ම මාර්‍ගය, ආධ්‍යාත්මික මාර්‍ගය ඇස් දෙකට පෙනෙන්නේ නැහැ. ඇස් දෙකට ඒ පාර පෙනෙන්නේ නැතිනම්, කෙසේද කියන්නේ ඒ පාරේ යන කෙනෙකු ඇස් දෙකෙන් දැක්කා කියා. මෙය අප රැවටෙන සහ නොරැවටිය යුතු වැදගත්ම තැනක්. ඇස් දෙකෙන් දහම් මඟ පෙනෙන්නේ නැහැ, දහම් මඟෙහි යන කෙනෙකු දකින්නත් බැහැ. එසේම ගමනාන්තය, ඒ නිවීම පෙනෙන්නෙත් නැහැ. නිවන් දකිනවා, නමුත් එය ඇස් දෙකෙන් දකින දෙයක් නොවේ. ඒ නිසා මේ ගමනට ඇස් ඇරගෙනම ඉන්න අවශ්‍ය නැහැ. අවංකවම කියනවානම් භාවනාවේදී ඇස් වහගන්නේ ඇස් ඇරගෙන ඉඳීමෙන් වැඩක් නැති නිසා. වැඩක් නැති දෙයක් කුමටද කරන්නේ? ඇස් වසාගත් පමණින්ම ආධ්‍යාත්මික මාර්‍ගය පෙනෙන්න පටන් ගන්නේ නැහැ. ඇස් ඇරගෙන සිටියත්, වසාගෙන සිටියත්  කමක් නැහැ, නමුත් අප අප දෙසට හැරිය යුතුයි.

කැඩපත

අන්න ඒ හැරවීම කරවන්න තමයි සියලුම ගුරුවරුන් අවශ්‍ය වන්නේ. මඟපෙන්වන්නෙකු අවශ්‍ය වන්නේ තමන් කරා නැවත එන්න, තමන් දිහා බලන්න. එහිදී ගුරුවරයා කැඩපතක් වෙනවා. මුලින්ම පෙනෙන්නේ ගුරුවරයාව. ගුරුවරයාගේ හැසිරීම පේනවා, එතන තිබෙන ආකර්ෂණය පේනවා, කියන දේවල්, කරන දේවල් පේනවා, විශ්මයට පත්වෙනවා. භක්තිය සෑම විටම ගුරුවරයාව තමයි දකින්නේ, පෙන්වන්නේම ගුරුවරයාව. එම නිසා භක්තියෙන් යන්න පුළුවන් වන්නේ සීමිත ගමනක්. මුළු ජීවිත කාලයම ගුරුවරයාව දැක දැක ඉන්න පුළුවන්. දකින්න දකින්න තමන්ගේ භක්තියත්, ගෞරවයත්, ආදරයත් වැඩිවෙනවා. දකින්න දකින්න ගුරුවරයා මහා කන්දක් බවට පත්වෙනවා, දකින අප මිට්ටෙකු බවට පෙනෙන්න පටන්ගන්නවා. මේ ආකාරයෙන් දිගටම ගුරුවරයාව දැක දැක ඉන්න ගියොත් ගමනක් නැහැ. ගුරුවරයාව දැකීම ඥාන දර්ශනයකට උදව් වන්නේ නැහැ. එම නිසා ගුරුවරයාව දැකීම නිමා විය යුතුයි.

ගුරුවරයා දිහා බලන්න අවශ්‍යයයි. බලනවා නම් සත්පුරුෂයෙකු දිහා බලන්න, ආධ්‍යාත්මික මිත්‍රයෙකු ඇසුරු කරන්න. සත්පුරුෂයෙකු ඇසුරු කරන්න, අසත්පුරුෂයෙකු ඇසුරු කරන්න එපා කියා, නැවත නැවත අවධාරණය කරමින් කියනවානේ. ගමනට සත්පුරුෂ සේවනය අවශ්‍යයයි, සමීප ඇසුර අවශ්‍යයයි. සත්පුරුෂයෙකු දිහා හොඳින් බලන්න. ඇස් දෙකෙන් පමණක් නොවේ, සිතින්, හදවතින්, නුවණින් ඒ සියල්ලෙන්ම බලන්න. බලන්න බලන්න සත්පුරුෂකම් පේනවා. (අසත්පුරුෂකම් පේනවානම් සත්පුරුෂයෙකු වෙන්න බැහැ.) එයින් විශ්මයට පත්වෙනවා. ගෞරවයක්, ආදරයක්, භක්තියක් ඇතිවෙනවා. එබඳු ඇසුරක් ලබන්න අප මොනතරම් පින් කර ඇත්ද කියා සිතෙනවා. වර්තමානයේ මොනතරම් පින් කර ගන්න පුළුවන්ද කියා සිතෙනවා. එවැනි ළාමක, බොළඳ, සිතුවිලිවල බොහෝ දෙනෙකු නවතිනවා. සත්පුරුෂයෙකු සමඟ බොහෝ දෙනෙකු කරන ගනුදෙනුව භක්තියෙන් කරන පින්කම් ගනුදෙනුවක් පමණයි. එතනින් එහාට යන්න ගමනක් තිබෙනවා. ගුරුවරයෙකු දිහා හොඳින් බලා සිටින විට (ඇස් දෙකින්ම නොවේ, ඇසුර තුළින් ) ගුරුවරයා අතුරුදහන් වෙනවා. බැලුවොත් තමා ගුරුවරයා අතුරුදහන් වෙන්නේ.

නොබලා සිටියොත්, විමසුම් නුවණින් බැලුවේ නැතිනම්, විචාරශීලීව බැලුවේ නැතිනම් ගුරුවරයා එතනම ඉන්නවා. තාප්පයක් තිබෙනවා, තාප්පය හොඳින් පේනවා, වටේටම බිත්තියෙන් ආවරණය වෙලා තමන්ට ලොකු රැකවරණයක්, සුරක්ෂිතබවක් තිබෙනවා. සමහරවිට කිසිම පලුද්දක් නැති බිත්තියක් පේනවා. ඉන් එහාට යන්න බැහැ. බිත්තියෙන් ආරක්ෂාව, රැකවරණය ලැබෙනවා. නමුත් ගමනක් නැහැ. එහෙම ඉන්න නොවෙයි අපට අවශ්‍ය. නිරුපද්‍රිත තැනකට යන්න ඕනේ. බිත්තියට වඳිමින්, මල් පූජා කරමින්, කන්න බොන්න දෙමින් ඉන්න පුළුවන්. නැහැ ඒ කිසිවක් නොවේ අවශ්‍ය, හොඳට බිත්තිය දිහා බලන්න.

හැමදාම ගුරුවරයාව දැක දැක ඉන්න ගියොත් අප අනාථයි. එය තමයි ඇත්තම කාරණය. බුදුරජාණන් වහන්සේ දිහාම බලන් හිටිය ස්වාමින් වහන්සේට අපේ ශාස්තෘන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළේ, “කුණුපයෙන් පිරුණු ශරිරයක් දෙස බලමින් බුදුන් දකිනවා කියන්නේ මොනතරම් මෝඩකමක්ද? දහම දැක්කොත් තමන් වහන්සේව දැක්කා වගේ, තමන්වහන්සේ දැක්කොත් දහම දැක්කා වගේ”, ‘යමෙකු බුදුන් දකී ද හේ දහම දකී, යමෙකු දහම දකී ද හේ බුදුන් දකී’ කියන ජනප්‍රිය කියමන ආවේ එතනින්.

හොඳින් බැලුවොත් පේනවා සත්පුරුෂකම්, තව තව විචාරශීලීව බලන්න බලන්න ගුරුවරයා කියන භූමිකාව අතුරුදහන් වෙලා කැඩපතක් බවට පත්වෙනවා. කන්නාඩියක් බවට පත්වුණාම අපට අපව පේන්න පටන් ගන්නවා, ගුරුවරයා දැකීම ඉවරයි. බලාගෙන සිටියොත් තමයි පේන්නේ, ගුරුවරයා අතුරුදහන් ව ගුරුවරයා පරිවර්තනය වෙනබව කැඩපතක් බවට.

දැන් භක්තිය නැහැ, භක්තිය තිබුණොත් ගුරුවරයා තමයි හැමදාම පේන්නේ, එන්න එන්න විශාලව. “අනේ අපිට නම් කවදාවත් එහෙම වෙන්න බෑ” කියන සිතුවිල්ල තමයි වැඩි වැඩියෙන් එන්නේ. එයට අප පාරමිතාත් සම්බන්ධ කරනවා. මෙච්චර කාලයක් අච්චර කාලයක් උන්වහන්සේ පාරමිතා පුරලා ඇති. අප තාම නැතුව ඇති කියා අපව පහළට දමා ගන්නවා, ගුරුවරයාව ඉහළට ගන්නවා.

ඒ බොළඳ දැක්ම ඉවර වුණාම, එය අත්හැරියාම තමා යථාර්ථය පේන්න පටන් ගන්නේ. ඒ යථාර්ථය පෙනෙනවිට මෙතන ගුරුවරයෙකු, එහෙම නමක්, එහෙම දෙයක්  නැහැ. නමුත් මෙතන පණිවිඩයක් තියෙනවා මා මා දිහා බැලිය යුතුයි කියා . එවිට මට මාව පේන්න පටන් ගන්නවා. පේන්නේ අර ගුරුවරයාගේ භූමිකාව නැතිවුණාම, ගුරුවරයා කන්නාඩියක් බවට පත්වුණාම. කැඩපතක් බවට ගුරුවරයාව පත්කර ගන්න අප දක්ෂ වෙන්න අවශ්‍යයයි. අන්න ඒ සඳහා තමයි ගුරුවරයෙකු අවශ්‍ය වන්නේ. ඈත තියෙන කඳු පංති, තාරකා පංති ඇඟිල්ල දිගුකර පෙන්වන්න නොවෙයි ගුරුවරයෙකු අවශ්‍ය වන්නේ. එහෙම කෙනෙකුට ආධ්‍යාත්මික මිත්‍රයෙකු කියන්න බැහැ. අභ්‍යන්තරය පෙන්වන කෙනෙකු කියන්න බැහැ. සංසාරය තමයි එයා පෙන්වන්නේ. එහෙම කෙනෙකු නම් අතහරින්න‍, එහෙම කෙනෙකුගේ ඇසුරක් නොවේ මෙතන අවශ්‍ය. ආධ්‍යාත්මික මිත්‍රයෙකු තමා අවශ්‍ය.

කොහොම හරි මේ හැරවුම් ලක්ෂ්‍යයේදී අප බලන් ඉන්නේ ගුරුවරයා දිහා නමුත් අපට අපව පේන්න පටන් ගන්නවා, වෙන ක්‍රමයක් නැහැ. භෞතිකව අප 1800 හැරුණත් අපට අපව පෙන්නේ නැහැ. 900 ක් හැරුණත් 3600 හැරුණත් අපට අපව පේන්නේ නැහැ. අප දිහා බලන්න ඕනේ කියා කොහොම හැරුණත් අපව පේන්නේ නැහැ. අපට අපව පේන ක්‍රමය තමා කන්නාඩියක් ඉදිරියට යෑම. කැඩපතින් අප දිහා බලන විට ආපසු දැක්මක් තමයි ලැබෙන්නේ. අපව කැඩපතේ වැදිලා ඒ දැක්ම ආපිට අපටම එනවා. එවිටයි අපට අපව පෙන්නේ. කැඩපතක් අවශ්‍යයයි, කැඩපතක් නැතුව නම් මේ ගමන අපට යන්න බැහැ. ගුරුවරයා කියන වචනය වෙනුවට කැඩපතක් කියන වචනය භාවිතා කරන්න පුළුවන් නම් හරි වටිනවා. කියන්නේ නැහැ ඔබ මෙහෙමයි, ඔබ අරහෙමයි, ඔබට හරියට තරහා යනවා, ඔබේ චරිත ලක්ෂණය මෙයයි. එහෙම කියන කෙනෙකු නොවේ ගුරුවරයෙකු කියන්නේ. කවුරුවත් එහෙම අසන්න කැමති නැහැ. සමහරවිට කියනවා “අනේ මට මා ගැන කියලා දෙන්න” කියා, අවංකවම එහෙම ඉල්ලීමක් කරනවා වෙන්න පුළුවන්. “මා ගැන කවුරුවත් එහෙම කියලා දීලා නැහැ” කියා, පින් දීලා පිළිගන්නත් පුළුවන්. සදාචාරමය වෙනසකුත් වෙන්න පුළුවන්. එයින් ආධ්‍යාත්මික වෙනසක් වෙන්නේ නැහැ.

උතුම් වූ ආදර්ශය (කැඩපත)

“අවවාදයට වැඩිය ආදර්ශය උතුම්”  කියනවානේ. ආධ්‍යාත්මික මිතුරෙකු කියන්නේ අවවාද දෙමින් ඉන්න කෙනෙකු නොවේ, ආදර්ශයක් දෙන කෙනෙකු. ආදර්ශය කියන්නේ, ආදර්ශයක් දෙන්න යමක් කරනවා නොවේ, එහෙම කරන්නේ නැහැ. බුදුන් වහන්සේ ආදර්ශයක් දෙන්න අවශ්‍යයයි කියා මොනවත් කළේ නැහැ. උන්වහන්සේගේ දේශනාවත් ආදර්ශයක්, උන්වහන්සේගේ නිහැඬියාවත් ආදර්ශයක්, උන්වහන්සේගේ ගමනත් ආදර්ශයක්, සමස්තයක් විදිහට උන්වහන්සේ ම ආදර්ශයක්. ආදර්ශයක් දෙන්න කියා යමක් කරන්න අවශ්‍ය නැහැ. ආදර්ශයක් දෙන්න කියා හෙමිහිට කථා කිරීම, නිශ්ශබ්දව සිටීම රඟපෑමක්. එහෙත් කිසියම් තැනකදී ස්ථානෝචිත ප්‍රඥාවෙන් නිහඬව සිටීම වෙනම කාරණයක්.

ආදර්ශය කියා කියන්නේ කන්නාඩියට (කැඩපතට). එසේ කීවාම පිළිගන්න එකක් නැහැ. පාලි භාෂාවෙන් කන්නාඩියට කියන්නේ ‘ආදාස’, සංස්කෘතයෙන් ‘ආදර්ශ’. ඒ නිසානේ දහම කැඩපතක් කරගන්න කියා කියන්නේ. ‘ධම්මාදාස’, දහම ආදාස කරගන්න. රාහුල පුංචි සාමණේරයන් වහන්සේට ශාස්තෘන් වහන්සේ දුන්න අවවාදය ලෙස අප අසා ඇත්තේ ‘දහම කැඩපතක් කරගන්න’ කියන ඒ කාරණයයි (ධම්මාදාස සූත්‍රය). ආදර්ශය කියන්නේ කැඩපතක් වගේ.

කොහොමද ආදර්ශයයි කැඩපතයි එකක් වන්නේ? දර්ශනය කියන්නේ දැකීම, ආදර්ශනය කියන්නේ ආපසු දැකීම. කැඩපතින් කරන්නේ එයයි. කැඩපතට ආලෝකයක් වැටුණාම එයා (සියල්ල) ආපසු දෙනවා, තියාගන්නේ නැහැ. ඒ නිසයි ආදර්ශය කියන්නේ. ආධ්‍යාත්මික මිත්‍රයෙකු කියන්නේ නැහැ “ඔබ මෙහෙමයි, අරහෙමයි” කියා. නමුත් උන්වහන්සේලා ඉදිරියේ අපට අපව පෙනෙන්න පටන් ගන්නවා. හොඳයි, නරකයි සියල්ලම සහිත අපේ හැටි පෙනෙන්න පටන් ගන්නවා. එසේ පෙනෙනවිට අප ඒ දෙස බලන්න අවශ්‍යයයි. අපව පෙනෙන විට ගුරුවරයා දෙස නොව අප අප ‍දෙසම බැලිය යුතුයි. ගමනේ ආරම්භය (බස් රථයට ගොඩවීම) එයයි. Bus halt එකේ එහෙ මෙහෙ නොයා බස් රථයට ගොඩවිය යුතුයි, අවශ්‍ය ගමන යෑමට නම්. බස් රථයට ගොඩ නොවීමෙන් ඒ ගමන යන්න බැහැ. අප බස් නැවතුම් පොළට ගියා කියන එකෙන්වත්, එතන හිටියා කියන එකෙන්වත් ගමනක් ගියා වෙන්නේ නැහැ.

කම්පනය

ඒ ආධ්‍යාත්මික මිත්‍රයා ආදර්ශය (කැඩපත) බවට පත්වුණු මොහොතයි, අපට අපව පෙනෙන්න පටන්ගන්නා මොහොතයි මේ දෙකම එකයි. අපව පෙනෙන්න පටන්ගන්නා මොහොතේ තමයි එය කැඩපතක් බවට පත් වන්නේ. එම කැඩපතෙන් අපව දකින තුරු සිදුවන්නේ, අපව නොදැක රූපවාහිනියක් ඉදිරියේ මෙන් විවිධ දර්ශන දැකීමයි. එක් මොහොතක අපට අපව පෙනෙන්න පටන් ගන්නවා. එවිට පෙනෙන  පළමු දැක්ම නම් මම, ‘මම’ නොවෙයි කියන කාරණය. “මම, ‘මම’ යි කියලා පෙනෙනවා නම් බලන්න දෙයක් නැහැ, මොනවාද සොයන්නේ ! මොනවාද අවබෝධ කරගන්නේ ! කිසිදෙයක් නැහැ. මුල්ම දැක්ම, මම ‘මම’ නොවෙයි කියන එක. හොඳින් බලන්න මෙහි තිබෙන්නේ දැක්මක් ද, නිගමනයක් ද කියා. පහළ වන්නේ ඥාන දර්ශනයක් ද නැතිනම් දිට්ඨියක් ද කියා. හඳුනාගන්න තිබෙන පළමු ලක්ෂණය මෙයයි. දිට්ඨියක් පහළ වන්නේ නම් “මම දැනගෙන සිටිය දෙයක් තමයි මේ ඔප්පු වුණේ”, “මම ඇසූ කාරණය”, “අර පොතේ තිබුණු කාරණය” කියා කියයි. එසේ නොමැතිව “නැහැ, ඒ සියල්ලම වැරදි”, “ මා, ‘මා’ නොවේ” කියා පෙනුණොත් (ඥාන දර්ශනයක් පහළ වුණොත්) කුමක් වෙයි ද? මොන ආකාරයේ කම්පනයක් ඇතිවෙයි ද? සිතා ගන්න බැරි කම්පනයක් ඇතිවෙනවා.

උදාහරණයක් ලෙස, කන්නාඩියෙන් මුහුණ දිහා බලන විට මෙතෙක් කල් සිතාගෙන සිටිය මුහුණ නොවෙයි වෙනම මුහුණක් පෙනුණා කියා සිතමු. මොන විදිහේ භයක්, කම්පනයක්, විභූතියක්, ක්ලාන්තයක් ඇ බියක් ඇති වෙයි ද? ක්ලාන්ත වෙයි, අනිවාර්යෙන්ම තොවිල් නටන්න වෙයි. අන්න එතනින් තමයි ආධ්‍යාත්මික තොවිලය නටන්න පටන් ගන්නේ. එතෙක් සිදුවන්නේ තොවිලයට අවශ්‍ය දේවල් එකතු කරමින් එයට සූදානම් වීමයි. සැබෑම ආධ්‍යාත්මික තොවිලය (ආධ්‍යාත්මික ගමන) පටන් ගන්නේ ඒ කම්පනයත් සමඟයි.  

කම්පන වර්ග දෙකක් තිබෙනවා. යම් යම් දේවල් නැති වුණාම ඇතිවන කම්පනය. සියල්ල නැති වුණාම ඇතිවෙන කම්පනයට වඩා මේ  කම්පනය (මම, මම නොවේ කියා පෙනෙන විට ඇතිවන කම්පනය) වෙනස්, අහලකින්වත් තියන්න බැහැ, අහසට පොළව වගේ. මුළු ලෝකයම නැති වුණාම ඇතිවන කම්පනය වුණත් දරාගන්න පුළුවන්. එසේම එම කම්පනයත් එක්ක ගමනකුත් නැහැ. ඒ කම්පනයෙන් එක්කෝ මැරෙයි, එක්කෝ ලෙඩවෙයි එහෙම නැතිනම් ටික කාලයකින් නැවතත් මොනවා    හෝ අල්ලාගනියි. උපාදානය කරගත හැකි දේවල් නැති වෙන්නේ නැති නිසා, සියල්ල නැති වුණත් අලුතින් යමක් නැවත උපාදානය කරගනියි.

නමුත් “මා, මා නොවේ” කියා පෙනෙන්න පටන් ගත්විට සිතේ ඇතිවන කම්පනය එසේ රැවටිය හැකි කම්පනයක් නොවේ.

කම්පනයකිනුයි ඥාන දර්ශනය පටන්ගන්නේ. එය කම්පිත සිතක්, කම්පිත ආධ්‍යාත්මයක් ඇති කරනවා. එවිට නවත්වන්න බැහැ. මේ කම්පනයත් එක්ක එක තැන ඉන්න බැහැ. කම්පනයක් නැතිනම් සමාජයේ ඔහේ ඉන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කම්පනය ඇති වුණාම නම් කල් දැමීම බොරු, එය අවලංගු කාසි බවට පත් වෙනවා. ‘හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන ලෙස’ කියන ධර්මතාවයි මෙතැනදි ක්‍රියාත්මක වන්නේ.  

හොඳයි හිතවතුනි, කියූ කාරණා ගැන වෙන වෙනම සාකච්ඡා කරන්න අවශ්‍ය වුවත්, එක දිගට දවස් ගණනක් කථා කරන්න වෙන නිසා සමහර කාරණා සංක්ෂිප්ත කරමින්, වසා දමමින්, යාන්තම් සඳහන් කරමින් හා බොහෝ අනුමාතෘකා ඉතුරු කරමිනුයි අද වැඩසටහන කරන්න වුණේ. පළමුවෙන්ම කියු කාරණය නම්, මෙය අපේ ඇතුළේ තිබෙන (ආධ්‍යාත්මික) ගමනක්. ආරම්භ වන්නෙත්, අවසාන වන්නෙත්, ගමන තිබෙන්නෙත් මෙතන, මෙතනින් මෙතනට යන ගමනක්. මෙය අතින් අල්ලගෙන යන ගමනක්වත්, කාගේ හෝ පිටුපසින් යන ගමනක්වත් නොවේ. මෙම ගමනට අප අප දෙසට හරවන මඟ පෙන්වන්නෙකු අවශ්‍යයයි.  එම මඟ පෙන්වන්නා කන්නාඩියක් බවට පත්වෙනවා (ආදර්ශය).  ආදර්ශය යනු ආපසු අපව පෙනෙන්න සැලැස්වීමයි. ඒ ආකාරයෙන් දකින විට (මාව දකිනවිට) ඇතිවන්නේ සතුටක් නොව, බයක්, තැතිගැන්මක්, කම්පනයක්. “මේ මම ද?” “මෙයාටද ‘මම’ කිව්වේ?”. ඒ කම්පනයත් එක්ක නම් ප්‍රමාද වීමක් සිදුවන්නේ නැහැ. සියල්ල දමා ගසා කැලයකට යනවා නොව කන, බොන, හුස්ම ගැනීම ඒ ටික කරන අතර ආධ්‍යාත්මික තොවිලය නටන්න පටන් ගැනීම සිදුවෙනවා.

එතැනින් අදට නවත්වමු, මේ කාරණා දිරවා ගැනීමට නිහඬව උත්සාහයක් ගනිමු.

භාවනාව

ඒ නිහඬ මෙනෙහි කිරීමෙන්, එමු සාකච්ඡාවට. කම්පනයක් ඇතිවුණා නම් කම්පනයත් සමඟ එන්න. විමසිය යුතු ඇසිය යුතු යමක් තිබෙනවා නම් අසන්න, විමසන්න.

සාකච්ඡාව

ප්‍රශ්නය : ඔබ තුමා සඳහන් කළ ආකාරයට අභ්‍යන්තර ගමන පෙන්වන ධර්මයේ සුවිශේෂත්වය තවදුරටත් විස්තර කරලා දෙන්න පුලුවන්ද?

පිළිතුර : එහි තිබෙනවා අසාමාන්‍යය බවක්. අසාමාන්‍යයි කියන්නේ සුලබ නෑ. ප්‍රශ්නයකදී සිදුවීමකදී තමා පේන්නේ, ඒ දර්පණය ඒ ආදර්ශය පේන්න පටන් ගන්නේ. පෘතග්ජනයා, පොදු ජනයා සිදුවීම්වලදී ක්‍රියාකරන ආකාරයක් තියෙනවා. හොඳට බැලුවොත් හැමෝම එක විදියකට තමා ක්‍රියා කරන්නේ. අපත් ඒ පොදු ජනතාවගෙන් කොටසක කෙනෙකු. එතකොට මම අනිත් අයට වඩා වෙනස් කියන රඟපෑම නෙමෙයි,  ඊට වඩා යථාර්ථයෙන් හා හරයෙන්ම වෙනස්, පොදු ජනතාව කලබල වෙන කෝප වෙන තැනක කලබල නොවන කෝප නොවන (කෝප නොවන කියපුවහම තේරුම් ගන්න කෝප වෙන්නෙත් නෑ ලෝභ වෙන්නෙත් නෑ) , එය තමයි නිශ්චලත්වය, ලෝභය සහ ද්වේෂය දෙකම නෑ එතන. අපට පේනවා නම් එබඳු කිසියම් සිදුවීමකදී නිශ්චලත්වයට පත් වූ තැනක් මොහොතක් ද්වේශයෙන් හෝ ලෝභයෙන් චංචල බවක් නැති, ලෝබෙට ද්වේෂයට බැහැ කැඩපතක් වෙන්න. මේවා හරි වේගයෙන් නටනවා. එහෙම වේගයෙන් නටන කණ්නාඩි වලින් අපට බෑ අපව බලන්න, නිශ්චල වෙන්න ඕන. නිශ්චල වුන දේකට තමා කැටපතක් කියන්නේ. නිශ්චලත්වය එන්නේ මේ ලෝභ ද්වේෂ දෙක නැති වුණු මොහොතක. එහෙම නිශ්චලව ඉන්න අය ඉන්නවා. නමුත් එහෙම අය හැම දෙනාටම පේන්නෙත් නෑ, කිව්වට තේරෙන්නේ නෑ. (උපක ආජීවකට එහෙම තේරුනේ නෑනේ, වචන තේරෙන්නෙත් නෑ, වචනයෙන් එහා ගිය අර්ථය තේරෙන්නෙත් නැහැ, ඕන කමකුත් නෑ) ඒ නිසා බොහොම කලාතුරකින් කෙනකුට තමා ඒ පණිවිඩය ඇහෙන්නේ, ඒ නිශ්චලත්වය පේන්නේ. බාහිර නිශ්චලත්වයට තමා කැඩපත කියන්නේ, අමුතු දේකට නොවේ. ඒ බාහිර නිශ්චලත්වය අපට පෙනුනු ගමන්ම අපේ කලබලයේ මායාව එතන පේනවා. අපේ අභ්‍යන්තරයෙන් කලබලයෙන් සියයට එකක් වත් අපි තවම දැක නෑ, ඒ ටික පේන්න පටන් ගන්නවා කැඩපතින්. 

ප්‍රශ්නය : ඉන් අදහස් වෙන්නේ ඒ පුද්ගලයා කිසිම දේකට ඇලීමක් ගැටීමක් නැති අවස්ථාවක් වෙන්න ඕන ලෝභයෙන් හා ද්වේශයෙන් නිශ්‍රිත නොවී බලන්න?

පිළිතුර : මෙතන සිද්ධීන් දෙකක්. එක සිද්ධියක් තමයි අපේ බාහිර ආදර්ශය ලෝභ-ද්වේශ නැති කෙනෙකු. නමුත් එය අපට පේන්නේ සිදුවීමකදී, නිකන් පෙන්නේ නෑ. සිදුවීමකදී පෙනෙන්නේ, බහුතරයක් ක්‍රියා කරන ආකාරය තියනවා, මේ කෙනා ඊට වඩා වෙනස්. හැබැයි වෙනස් විධියට ක්‍රියා කරන්නේ යම් අරමුණු තියාගෙන නොවේ, පූර්ණ වශයෙන්ම අවංකයි, මෝහය නෑ කියන්නේ එතන. මෝහය කියන්නේ මමත්වය. කණ්ණාඩිය ලෝභ ද්වේෂ මෝහ වලින් අපිරිසිදු වෙලා නම් එයින් පරාවර්තනයක් වෙන්නේ නෑ.

අනිත් සිද්ධිය අප ඒ දිහා බලන්න ඕන. එහෙම බැලුවේ නැත්නම් කණ්නාඩිය තිබුනට කණ්නාඩිය පේන්නෙත් නෑ, අපට අපව පේන්නෙත් නෑ. ඒ නිසා තමයි සත්පුරුෂ සේවනය (කල්‍යාණ  මිත්‍රයන් කිට්ටුවෙන් ඇසුරු කිරීම) අවශ්‍යයි කියන්නේ, අවධානයෙන් අවදිමත්ව. එසේ කරන විට අපට ගුරුවරයා ගැන පැහැදෙනවා භක්තියක් ඇති වෙනවා. නමුත් ඒ භක්තියෙන් යන දුර ගිහින් එතන අතහැරලා තමනුත් කොහොමද එහෙම වෙන්නේ කියා හිතන්න ඕන. මටත් පුළුවන් එහෙම වෙන්න. මම එහෙම වෙන්න නම්, පළමුව මම දැන් කවුද කියා දැනගන්න ඕන. ඒ ඕන කම එන්න ඕන. දැන් තියෙන ලෙඩේ හොයා ගන්න එක තමා අමාරුම කාරණය. හොඳ උනාට පස්සේ කොහොමද කියා හිතා ගන්න පුළුවන් පහසුවෙන්. තුන්වන ආර්ය සත්‍ය තර්කයට පේන දෙයක්, එය නිවන නොවේ, තර්කයට පේන දෙයක්. එනිසා තමයි හතරවෙනියට මාර්ගයක් තියෙන්නේ. නැත්නම් තුන්වන සත්‍යයෙන් ඉවර වෙන්න ඕන. ඊළඟට මම වෙන්න ඕන කවුද. එයත් අවශ්‍යතාවයන් බැලුවොත් තමයි පෙනෙන්නේ. ඒ අවශ්‍යතාවය නැතිව මම කොයි වගේ කෙනෙක්ද වෙන්න ඕන කියන එක විතරක් බැලුවොත් නම් රහතන් වහන්සේලාව පෙනෙයි, එච්චරයි, එතුමන්ලා එතන ඉඳීවි, අප මෙතන ඉදීවි, අප අපමයි.

අදහස් : පහුගිය දින වල මම අසනීප වුණා. ඒ අවස්ථාවේදී කරගෙන ආපු භාවනාව යම්කිසි විදිහකින් පසුබෑමකට ලක් වුණා කියලත් තේරුණා. නමුත් මම උත්සාහ කළා මේ මගේ  අසනීපය මොකක්ද කියලා තේරුම් ගන්න. ඒ වෙලාවේ තේරුණු දෙයක් තමයි මම හිතාගත්ත ශරීරය නොවෙයි මම ගාව තියෙන්නේ. මට පාලනය කරන්න බැහැ, කොයිවෙලේ කඩා ගෙන වැටෙයිද කියල හිතාගන්න බෑ. ඒ බව තේරුණේ මට රෝගයක් හැදුන නිසා. හිත තියා බැලුවහම තේරුනා එය හිතන තරම් ධර්ම ගමනක් ගිහින් නැති බව, කෙලෙස් තියෙනවා දැක්කා. ඒ අස්සේ ධර්මයත් තියෙන බව දැක්කා. 

පිළිතුර : සිද්ධියකදී තමයි තේරෙන්නේ අප කවුද කියන කාරණය. සිද්ධියක් නැති තැනකදි හැමෝම එක වගේ. ලෙඩවීම ලොකුම සිදුවීමක්. සිදුවීම් තුනයි තියෙන්නේ ලෙඩවීම මහලු වීම සහ මරණය (හතරවෙනි සිදුවීම,ජාතිය, එය පහසුවෙන් බලන්න බෑ). මේ තුනම කයට වෙන දේවල්.  මේ සිදුවිම් තුනටම ලොකු තැනක් දීලා තියෙනවා. නමුත් අප එය භාවිතා කරන්නේ විපාක පෙන්නන්න පමණයි. නැහැ, මේවා කමටහන්. අසනීප කියන්නේ උණ හෙම්බිරිස්සාව, ඒවාට බෙහෙත් ගත්තාම අඩු වෙනවා. හැබැයි එහෙම නැති අසනිපත් තියෙනවා. එවැනි අසනීපයක් හැදුනොත් තමයි තේරෙන්නේ මොන තරම් අපි අසරණ ද කියන කාරණය. මොන තරම් දේවල් කරන්න හිතන් හිටියත් ඒවා එකක් වත් කරන්න බෑ. මොනතරම් නෑදෑ හිතවතුන් හිටියත් ඒ අයට අපේ අසනීපය බෙදා ගන්න බෑ. සමහර වෙලාවට බෙහෙත් වැඩ කරන්නෙත් නෑ. එතකොට ශරීරය කියන්නේ දැවිල්ලක් බව තේරෙන්න පටන් ගන්නවා. එය තමයි ඇත්ත. නමුත් ඒ ඇත්ත වැහිලා තියෙනවා නින්දෙන්. අසනීපයක් ඇවිත් ඇරපුවාම තේරෙනවා. එතනදි ප්‍රශ්නයක් නෑ කියලා හිතන් හිටපු හිත වැටෙනවා. පිහිටක් වෙයි කියලා සිතු කිසිවකින් පිහිටක් නෑ, නෑදෑයන් මුදල් හදල් බෙහෙත් ඒත් ඒවා සියල්ල අවලංගු කාසි. නමුත් ඒ  සියල්ලේ පිහිටක් නැති වෙලාවක දහම එතන ඉන්නවා, දහම අප අතහැරලා දාන්නෙ නෑ. එක පැත්තකින් අපට එයා ශක්තියක් වෙනවා, අනිත් අතින් අපේ වැරදි චින්තන පෙන්නන්න පටන් ගන්නවා. දහම අපට කියනවා ”ශරීරයෙ කියන්නේ ඔබ හිතන් හිටිය වගේ දෙයක් නොවේ, හිත ගැනත් ඔබ හිතන් හිටිය විදිය වැරදියි, මෙන්න කයේ සහ සිතේ ඇත්ත තත්ත්වය. ඉතින් ඔබ මේ තත්ත්වයත් එක්ක ඉන්නවාද වෙනසක් කරගන්නවා ද?” කියා .දහම අපෙන් ඒ ප්‍රශ්නය අහල විසඳුමක් හොයාගන්න ඕන කෙනාට එයටත් උදව් වෙනවා. ඔබතුමාට බොහොම පින් ඔබතුමාගේ අත්දැකීම හරහා රුහුණු වටිනා දහම් පණිවිඩයක් සමාජගත කිරීම ගැන.

අදහස් : ඒ වගේම සාපේක්ෂ වශයෙන් ගත්තහම වෙනදාට වඩා ඒ දහම උදව් කරන ගතියකුත් තියෙනවා. මෙතන තමයි ගැලවෙන්න තියෙන එකම තැන කියල දහම ගැන අප ළඟ තියෙන ශ්‍රද්ධාව විශ්වාසය දෙගුණ තෙගුණ වෙලා, දහම අපට ” වහාම එන්න” කියලා අඩගහනවා. 

පිළිතුර : ”ඒහිපස්සිකෝ” කියන්නේ එයයි,” එන්න මගේ ළගට”. දහම ළඟට අප නොයන නිසයි, දහමත් එක්ක අපි නොඉන්න නිසයි මේ සියලු ප්‍රශ්න. දහම අහන ප්‍රශ්නය එයයි “ ඇයි මේ ප්‍රශ්නත් එක්ක ඉන්නේ?, ඒවා නැති තැනක් තියනවා, එතනට එන්න, ඔය ඉන්න තැන ඉඳගෙන ඒවා නැති සොබාවයක් බලාපොරොත්තු වෙන්න එපා, එය හීනයක්”. කොතනත් මේ අඬගැසීම කරනවා. නමුත් මේ වගේ වෙලාවක එය ප්‍රබල ව ඇහෙනවා  සහ එයට ආකර්ශනයකුත් තියෙනවා. 

ආදරණීය හිතවතුනි, මේ ආධ්‍යාත්මික කම්පනයට සිදුවෙන්න ඉඩහරින්න. හැම සිදුවීමකදීම තේරුම් ගන්න අප හිතන් ඉන්න විදිහ එකක්, යථාර්ථය තව එකක්. හැම සිදුවීමකදීම යථාර්ථය දකින්න. යථාර්ථය දකිනවා කියන්නෙ අප හිතන් හිටිය කාරණය හරි කියනවා නොවෙයි. හිතන් හිටිය දේ වැරදි, මොනතරම්මිච්ඡා දිට්ඨියකද කියන හිටියේ කාරණය තේරෙනවා. මිච්ඡා දිට්ඨිය දකින්නේ නැතිව සම්මා දිට්ඨියට එන්න බෑ. අප හිතනවා එකපාර සම්මා දිට්ඨිය ඇති වුණා කියා. සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ මිච්ඡා දිට්ඨිය පේනවා. එහෙම නැතිව කුමක්ද සම්මා දිට්ඨිය කියන්නේ?

මේ දැක්ම ඇතිවෙන විට මහා කම්පනයක් ඇති වෙනවා. ඉන්පසුව තමා ඇත්තටම ඇතුලට යන ගමන පටන් ගන්නේ. මේ  සඳහා වූ ඕනතරම් අවස්ථා ආදර්ශයන් තියෙනවා. එකම දේ අප ලෑස්ති නැතිකම. අප සූදානම් විය යුතුයි. අප සූදානම් නම් බස් එකත් ලෑස්තියි, පාරත් ඇරලා තියෙන්නෙ. ඒ අප්‍රමාදයට සම්ප්‍රාප්ත වෙමින් අද වැඩසටහන අවසන් කරමු.

හැම දෙනාටම, සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!