සදහම් සැඳෑව -2


2022-10-26 නැණ දසුනට තත්පරයක් - 14


සෑම දෙනාටම අවදිමත් වූ සැඳෑවක් ! සදහම් සැඳෑවේ ආදරණීය හිතවතුනි, 

මේ මොහොත සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ අප වෙතටමයි, අභ්‍යන්තරයටයි. මේ සෑම වචනයක්ම යොමුවන්නේ සහ මඟ පෙන්වන්නේ එමෙන්ම සෑම වචනයකින්ම ගතයුතු උපකාරය වන්නේ, තමන්වම හඳුනා ගැනීමයි, තමන් කියන පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමයි. මෙහිදී ඒ අරමුණින් අප සෑම දෙනාම සුහදව කල්‍යාණ මිත්‍රත්වයෙන් එකතුවී, මේ ස්වල්ප කාලය ගත කරනවා. 


මුණගැසීම


බොහෝ හමුවීම් අද දවසේ සිදුවන්න ඇති, දන්නා කියන ඇත්තන් නැවත මුණගැසෙන්න ඇති, ඥාතීන්, එක්ව හරි-හම්බ කරන පිරිස් සහ ආගන්තුකයන් මුණගැසෙන්න ඇති. ඒ හමුවීම්වලදී බොහෝ තොරතුරු හුවමාරු වෙන්න ඇති. බොහෝ හැඟීම් ඇතිවෙන්නත් ඇති. එමෙන්ම භෞතික ගනුදෙණුත් සිදුවෙන්න ඇති. මුදල් අතමාරු වෙන්න ඇති, පොත-පත සහ වෙනත් දෑ හුවමාරු වෙන්න ඇති. හැම හමුවීමකම යම්කිසි ප්‍රතිලාභයක්, ප්‍රතිඵලයක් තිබුණා. මානසික ප්‍රතිඵලයක්, හැඟීම්මය ප්‍රතිඵලයක්, එසේත් නැතිනම් භෞතික ප්‍රතිලාභයක් තිබුණා. අඩුම තරමින් තිබුණු හිතවත්කම්, ඥාතීත්වයන් තව තහවුරු වෙන්න ඇති. නොතිබුණු හිතවත්කම් උපදින්නත් ඇති. එමෙන්ම මෙතෙක් හඳුනාගෙන නොතිබුණු සමහර අයගේ සමහර ගති (පැති) හඳුනාගන්නත් ඉඩ තිබුණා. එම නිසා හමුවීම් වැදගත්, එය අවශ්‍යයයි. ඒ මුණගැසීම් සියල්ල අතර බදාදා රාත්‍රියේ සදහම් සැඳෑවේ දී වන මුණගැසීම වෙනස් හා වෙනස් විය යුතුයි. තවම පෙනුණේ නැතිනම් ඒ වෙනස, අදවත් හඳුනාගතයුතු වනවා. මේ තවත් එක් හමුවීමක්, තවත් එක් මුණගැසීමක් ම පමණක් නොවේ. තොරතුරු හුවමාරු කරගැනීමක්, නොදන්නා කරුණු කාරණා දැනගැනීමක්, නොහඳුනන අය හඳුනාගැනීමක් නොවේ. එය කිසිසේත්ම මෙයට අදාළ නැහැ. නමුත් මෙතන හිතවත්කම, දයාව, මිත්‍රත්වය, විශ්වාසය තිබෙනවා. වැඩසටහනින් වැඩසටහනට, සතියෙන් සතියට සමහරවිට ඒ හෘදයාංගම හැඟීම් තීව්‍ර වෙන්න, ගැඹුරු වෙන්න පුලුවනි. නමුත් ඒ සඳහා ම නොවේ මේ වෙහෙසෙන්නේ, සෑම දෙනාම මේ කැප කිරීම් කරන්නේ. එයට ලඝු කරන්න, සීමා කරන්න බැහැ. මන්ද එවැනි  අවශ්‍යතාවයක් කිසිවෙකුට නැති නිසා. ඒ සඳහා ඕනෑතරම් හමුවීම් තිබෙනවා. 


විවෘතවීම


මේ මුණගැසීම තුළ සිදුවන එක් සුවිශේෂී ක්‍රියාවලියක් නම් විවෘතවීමයි. මෙය සාමාන්‍යයෙන් සිදුනොවන දෙයක්. ඕන තරම් මුණගැසීම් සිදුවන්න ඇති නමුත් විවෘතවීමක් සිදුවුණා ද? නැතිනම් මතුපිට කථා බහක්, මතුපිට තොරතුරු හුවමාරුවක්, මතුපිට හැඟීම් උපදවා ගැනීමක්, මතුපිට බලාපොරොත්තු කිහිපයක් යන මේවාට සීමා වුණා ද? අප අපව විවෘත කළාද? විවෘතවීමටයි අවධානය යොමුකරන්න අවශ්‍ය වන්නේ. මේ විවෘතවීම නිරායාසයෙන්, ඉබේට සිදුවන්නේ නැහැ. එමෙන්ම බලකිරීමකින් (පීඩනයකට ලක්කර) විවෘතවන්නෙත් නැහැ. පීඩනයක් එල්ලකර රහස්‍ය තොරතුරු (කියන්න අකමැති තොරතුරු) දැනගන්න පුළුවන්. කායික පීඩනයක්, මානසික පීඩනයක්, නැතිනම් ආවේගමය පීඩනයක් රහස රැකගෙන සිටින කෙනාට එල්ල කිරීමෙන් ඒ රහස දැනගන්න පුළුවන්. දරාගන්න පුළුවන් සීමාව දක්වා, “කියන්නේ නෑමයි” කියන ස්ථාවරයේ ඉන්න පුලුවනි, ඉන් එහාට දරාගන්න බැහැ, කියවෙනවා. දරාගැනීමේ සීමාව වෙනස් වෙන්න පුළුවන් වුවත්, දරාගන්න බැරි තැනක් එනවා, එය සෑම දෙනාටම පොදුයි. කායික පීඩන, මානසික පීඩන සහ ආවේග දරාගැනීමේ සිමාවක් තිබෙනවා. ඒ සීමාව තුළ සිතාගෙන සිටින ආකාරයට කෙනෙකුට කටයුතු කරන්න පුළුවන්. කිසිදු බලපෑමකට, අණසකකට නතුනොවි, කිසිදු පීඩනයකට හසුනොවි තමන්ගේ අධිෂ්ඨානයේ පිහිටා ඉන්න පුළුවන්. නමුත් ඒ පීඩනය තවදුරටත් පවතිනවිට, එල්ලවනවිට කායිකව දරාගැනීමේ සීමාව පසුවී, පීඩනය වැඩිවී, දරාගැනීමේ සීමාව අඩුවී සිහිනැති වෙන්න (අසඤ්ඤී, අවිඤ්ඤාණික වෙන්න) පුළුවන්. සිහිය තිබුණොත් ඉන් එහාට දරාගන්න බැරි නිසා පද්ධතිය රැකගැනීමේ ආරක්ෂණ විධික්‍රමයක් ලෙස පද්ධතියම (සියලු සන්නිවේදනයන්) ක්‍රියාවිරහිත කරගන්නවා. මෙය ආරක්ෂණ විධික්‍රමයක් ලෙසයි පද්ධතිය විසින් නිර්මාණය කර ලැබ තිබෙන්නේ. හිතාමතා කාටවත් තමන්ගේ සිතිවිල්ලකින් සිහි නැති කරගන්න බැහැ (කිසියම් උපක්‍රමයකින් තොරව). දරාගැනීමේ සීමාව පසුවෙනවාත් සමඟම පද්ධතිය විසින් සකස්කරගෙන ඇති වැඩසටහනක් ක්‍රියාත්මක වීමෙනුයි සිහිනැතිවීම සිදුවන්නේ. එසේම දරාගැනීමේ සීමාව ඉක්මවා පීඩනය එල්ල වූ විට උමතු වෙන්නත් පුළුවන්. එවිට ඕන දෙයක් වෙන්න ඇරලා ඔහේ ඉන්න පුළුවන්. රිදුණාට ප්‍රතිචාර දක්වන ආකාරය උමතු වූ විට වෙනස්. පීඩනය වැඩි වූ විට මරණය පවා සිදුවිය හැකියි (කම්පනයකදී සිදුවන සියදිවි නසාගැනීම මෙයට වෙනස්). දරාගැනීමේ සීමාව ඉක්මවා පීඩනය එල්ලවනවිට නොකියා සිටින්න උත්සාහ කළ කාරණා කියවෙනවා. එසේ නොවන අවස්ථාවක තවදුරටත් පීඩනය වැඩි වුවහොත් සිහිනැතිවීම, උමතුවීම සහ මරණය වැනි සිදුවීම් වෙන්න පුළුවන්. 

බාහිර පීඩනයකට තොරතුරක් එළියට ආවට එතන විවෘත වීමක් නැහැ. ඕනෑම දෙයකට බාහිරෙන් යම්කිසි පීඩනයක් එල්ලවනවිට සිදුවන්නේ ඇතුල් පැත්තට හැකිළීමක් (ගුළිවීමක්). වාහනයක දොරකට බාහිරින් පීඩනයක් එල්ලවනවිට දොර ඇතුළට හිරවෙනවා, දොර ඇරෙන්නේ නැහැ. දොර ඇරෙන්න නම් පීඩනය එන්න අවශ්‍ය ඇතුළින්. විවෘත කිරීමකදී අභ්‍යන්තරයෙන් බාහිරට පීඩනයක් එල්ල විය යුතු නිසා එය බලෙන් සිදුකරන්න බැහැ. කිසියම් නිදහසකින් සිදුවිය යුතුදෙයක්.



නිදහස


දහම මොනම බලපෑමක්වත් කරන්නේ නැති නිසා අප සිතනවා නිදහස දී තිබෙනවා කියා. වීමංසක සූත්‍රය, කාලාම සූත්‍රය වැනි විවිධ සූත්‍ර දේශනාවලින් මේ පිළිබඳව අප අසා තිබෙනවා. “කැමති නම් පිළිගන්න, නැතිනම් නොපිළිගන්න” කියා සෑම දෙයක්ම අප සාධාරණීකරණය කරනවා, නිදහසක් දී තිබෙනවා කියා. එවැනි නිදහසක් ඇත්තටම දහම දී තිබෙනවාද යන්න ‍වෙනම කාරණයක්. ඒ දේශනා හොඳින් කියෙව්වොත් පැහැදිලි වෙනවා එවැනි නිදහසක් දී නැතිබව. කොයි දේශනයෙත් කරන දේශනායි, කාලාම සූත්‍රයෙත්, වීමංසක සූත්‍රයෙත් අනිකුත් දේශනාවලත් දේශනාකර තිබෙන්නේ. නමුත් දහම පීඩනයක් එල්ල කරන්නේ නැති අපූරු නිදහසක් දෙනවා. කුමක්ද ඒ ? දහම අපට ආදීනව හා ආනිසංස කියමින් නිදහසක් දෙනවා තීරණයක් ගැනීමට. මෙය වෛද්‍ය විද්‍යාවෙත් කියන දෙයක්. ඔබ මත්පැන් පානය කළොත්, මේ මේ ලෙඩ හැදෙන්න පුළුවන්. “Cirrhosis හැදෙන්න පුළුවන්, නොබී සිටියොත් එහෙම වන්නේ නැහැ”, වෛද්‍ය විද්‍යාවත් නිදහසක් දෙනවා රෝගීන්ට තීරණය කරන්න. නමුත් හිතවතුනි ආදීනව කියමින්, නොබි සිටිමේ ආනිසංස කියමින් නොකියා බලකිරීමකුයි කරන්නේ නොබී සිටින්න. මත් ද්‍රව්‍ය භාවිතා කරනවාද නැද්ද යන්න වෛද්‍ය විද්‍යාව තීරණය කරන්නේ නැති අතර එය තීරණය කළයුතු වන්නේ පුද්ගලයා විසින් ය. මෙහිදී පැහැදිලිවම තල්ලු කිරීමක් සිදුකරන අතර එය සිදුකරනුයේ නොදැනෙන්නයි. එසේම අවසාන තීරණය ගැනීම පුද්ගලයා විසින් සිදුකළ යුතුයි. කොතරම් එතැනට තල්ලු කළත් කෙනෙකුට පුළුවන් තීරණය නොගෙන ඉන්න. ඒ නිසයි කොතරම් වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, උපදේශනය තිබුණත් තැබෑරුම් වල ජීවිත විනාශකර ගන්නා පුද්ගලයන් සිටින්නේ. නොදන්නාකම නිසාවත්, වෛද්‍ය උපදෙස් නොලැබුණ නිසාවත් නොවේ, අවසාන තීරණය පුද්ගලයා අතේ තිබෙන නිසා. 


තීරණය ගැනීම පුද්ගලයා අතේ වුවත් දහම කරන්නෙත් එම තීරණය ගැනීමට අවශ්‍ය තැනට තල්ලු කිරීමක්. ධර්ම දේශනයකින් කරන්නෙත් එයයි. කිසිම දේශකයෙකුට බැහැ ශ්‍රාවකයන් වෙනුවෙන් තීරණ ගන්න. කියන්න අවශ්‍ය කුමක්ද, කොපමණ දුරට කියනවාද, කියන්නේ කෙසේද යන්න දේශකයෙකුට තීරණය කරන්න පුළුවන්. එමඟින් ශ්‍රාවකයන් ඇසිය යුත්තේ කුමක්ද කියන තීරණය දේශකයෙකුට ගන්න පුළුවන්. නමුත් එය ඇසුණායින් පසුව සවන් දෙන්නන් ඒ ඒ අයගේ ජීවිත පිළිබඳව ගතයුතු තීරණය කිසිම දේශකයෙකුට ගන්නට බැහැ. ගන්න පුළුවන් නම් දේශනා අවශ්‍ය නැහැ, තීරණය කෙළින්ම ගතහැකියි. එසේ පුළුවන් නම් සතුන් දක්කනවා මෙන් අපවත් දක්කාගෙන යන්න පුළුවන්. කියන්න අවශ්‍ය නැහැ. කිසිම සතෙකුට කියන්නේ නැහැ. තීරණ ගන්නවා. “මෙතන වතුර නැහැ. වතුර නැති තැනක සිටියොත් තිබහ ආවිට බොන්න වතුර නැති වෙනවා. දිගටම පිපාසාවෙන්, වතුර නොබි සිටියොත් විජලනය වෙනවා. එහෙම වුණොත් ජීවිත විනාශ වෙනවා” කියා ගොපල්ලෙකු කිසිම සතෙකුව එක්කගෙන යන්නේ නැහැ. එහෙම නොකියා දක්කනවා. ඒ දැක්කවීම මත වතුර නැති තැනක සිට වතුර තිබෙන තැනකට, අනතුරක් ඇති තැනක සිට අනතුරක් නැති තැනකට යනවා. විස්තර කිරීමක්, ආදීනව, ආනිසංස කීමක් නැහැ. සත්ත්ව පාලනයේදී අනුගමනය කරනු ලබන ඒ ක්‍රමය මනුෂ්‍යයෙකු සම්බන්ධයෙන්, මානව ප්‍රජාව සම්බන්ධයෙන් යම් යම් තැන්වලදි ගැලපෙන්න පුළුවන් වුවත්, අවබෝධයට එනවිට එය ගැලපෙන්නේ නැහැ. කිසියම් විෂ රසායනිකයක් නිෂ්කාශනය වන, කිසියම් තැනක බෝම්බයක් තිබෙන අවස්ථාවක් සලකමු. විෂ රසායනිකයක් අශ්වාස කිරීමෙන් වන්නේ කුමක්ද, ඉන් මාස කිහිපයකින් වන්නේ කුමක්ද, බෝම්බය පිපිරෙන විට ආසන්නයෙන් සිටින්නන්ට වන්නේ කුමක්ද, කිසියම් දුරකින් සිටින්නන්ට වන්නේ කුමක්ද මේ සියල්ල විස්තර කරමින් සිටිය නොහැකියි. එවිට භාවිතා වන්නේ සතුන් ගාල්කිරීමට භාවිතා කළ ක්‍රමයයි. එයයි විශාල පිරිසක් ක්ෂණිකව හසුරවන්න භාවිතා කළ හැකි පහසුම ක්‍රමය. ආනිසංස, ආදීනව විස්තර කිරීමකින් තොරව අණ දීම හා දැක්කීමයි එහිදි සිදුවන්නේ. ඊට විරුද්ධ වන සතෙකු සිටිනවා නම් කෙවිටෙන් ගහනවා, නාස් ලණුවෙන අදිනවා. එය මොනදේට අදාළ වුවත් අවබෝධයට අදාළ නැහැ. එය එසේ ක්‍රියාත්මක වන්නේ නැහැ. බලහත්කාරයෙන් අවබෝධයක් ඇති කරන්න බැහැ. බලහත්කාරයෙන් ප්‍රඥාවන්තයෙකු කරන්න බැහැ කාවවත්. ප්‍රඥාව තියෙන තැනකට දක්කන්නත් බැහැ. නිවනට බලෙන් ගෙනියන්න බැහැ. එහෙම  පුළුවන් නම් අපගේ ශාස්තෘන් වහන්සේ එසේ කරනවා. එහෙම බැහැ. නන්ද තෙරණුවන්ගේ කථාවෙදි වුවත් පෙන්නුවා, දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරමින් යම් යම් කාරණා. සිදුවීම් පෙන්වමින් තීරණය ගන්න තැනට යොමුකළා, නමුත් තීරණ ගැනීම නන්ද ස්වාමින් වහන්සේට භාරදුන්නා. හේතුව බාහිරින් පීඩනයක් එල්ලවනවිට ඇතුළට හැකිළීමකුයි, හිරවීමකුයි වන්නේ. මේ දොර ඇරෙන්නේ එළියට, ඒ සඳහා එළිය නිදහස් වීම අවශ්‍යයයි. වාහනයක් ජලයේ ගිලුණාම එම දොරවල් ඇතුළෙන් එළියට අරින්න බැහැ, ලොකු ජල පීඩනයක් එළියෙන් ඇතුළට තිබෙන නිසා. එවිට සිදුකරන්නේ වාහනයේ විදුරු පහත් කර, ඇතුළටත් ජලය යන්න සලස්වා, පීඩනය සමාන වූ විට පහසුවෙන් දොර ඇරීමයි. මෙයයි සත්‍යය, මෙය භෞතික විද්‍යා නියමයක්. 


නියමයන් සෑම දෙයකටම අදාළයි. ධම්ම නියාමය නියමයක්, එහි භෞතික මානසික කියා දෙයක් නැහැ. අවසානයේ බැලුවාම භෞතික මානසික කියා ප්‍රතිවිරුද්ධ දෙයක් නැහැ. නාම-රූප විග්‍රහයේදී එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් දෙකකුත් නැහැ. එකක් හෞතික අනික මානසික, එකක් ද්‍රව්‍යාත්මක අනික අද්‍රව්‍යය, එහෙම දෙයක් නොවේ. නාමය ඇතුලේ රූපය තිබෙනවා, රූපය ඇතුලේ නාමය තිබෙනවා. සංඛ්‍යා රේඛාවක් මෙන් එය සාපේක්ෂයි. බිංදුවෙන් වෙන් කරලා වම් පැත්ත ඍණ, දකුණු පැත්ත ධන කීවාට ඕනෑම කෙනෙකු දන්න කාරණයක්, ඕනෑම තැනක ධන ඍණ තිබෙනවා. මේ ආකාරයෙන් භෞතික හා මානසික කාරණා පිළිබඳව අවබෝධය ලැබෙන විට පැහැදිලි වෙනවා, එසේ වෙන් කරන්න බැරි බව. මේ ධර්මතා සිතටත් එකයි, ගතටත් එකයි, බාහිර පරිසරයටත් එකයි, වෙනස් වෙන්නේ නැහැ. 


කල්‍යාණ මිත්‍රත්වය නැතිනම් බාහිරය (එළියේ) නිදහස්වීම අවශ්‍යයයි කෙනෙකුට විවෘතවීමට. එයින් කියවෙන්නේ නැහැ එළියේ කවුරුවත් නැහැ කියා. එළියේ සිටිනවා නම් සිටිය යුත්තේ විශ්වාසය තැබිය හැකි කෙනෙකු. එවිට එළියේ නිදහස් පරිසරයක් (ආරක්ෂිත පරිසරයක්) නිර්මාණය වෙනවා. එළියෙන් ඇතුළට එන පීඩනය එවිට නැහැ. කිසිම දෙයකට බලකිරීමක් නැහැ. බලකිරීම්වලින් එහා ගිය සියුම් බාධා නැතිවිය යුතුයි. එවිට ඇතුළෙන් පුංචි තල්ලුවක් කරන විට ඒ දොරවල් එළියට ඇරෙනවා. එයට එළියෙන් බාධාවීමක් නැහැ. හිර කරන්නේ නැහැ. හිතවතුනි කල්‍යාණ මිත්‍රත්වයකදි මෙයයි සිදුවන්නේ. මෙය සිදුවන තැනකටයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් කියන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙන්නේ කරදරයක් වුණාම අතදෙන්න, නොදන්න දෙයක් දැනගන්න විතරක් ම නොවේ, ඒ සඳහා නම් ඥාතීන්, හිතවත් අය ඕනතරම් සිටිනවා. හඳුනන්නෙ නැති කෙනෙකු වුණත් කරදරයක් සිදුවනවිටදී අතදෙන්න පුළුවන්. එමෙන්ම එයට පුරුදු වූ, එයම වෘත්තිය කරගත්ත පිරිසකුත් සිටිනවා. එම නිසා කල්‍යාණ මිත්‍රයෙකු ඒ සඳහා අවශ්‍ය නැහැ. කල්‍යාණ මිත්‍රයන් අවශ්‍ය වන්නේ බාහිර පරිසරය නිදහස් පරිසරයක් කරගන්න. එයින් කිසි පීඩනයක් ඇතුළට එන්නේ නැහැ. අභ්‍යන්තරයට, ඇතුළට, තමා වෙතට පීඩන එන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර‍යෙකු බරක් නොවේ. බරක් තිබෙනවා නම් එතන පීඩනයක් තිබෙනවා. පීඩනයක් තිබෙනවා නම් කල්‍යාණ මිත්‍රත්වයක් එතන නැහැ. එහෙම කෙනෙකු දකින විට, කථා කරන්න වනවිට, මුණ ගැසීමකදී ඔලුවට බරක් එනවා නම් එතන කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා. එක්කෝ තමන්ගේ පැත්තේ ප්‍රශ්නයක් තිබෙනවා, නැතිනම් කල්‍යාණ මිත්‍රයා කියන කෙනාගේ පැත්තේ ප්‍රශ්නයක් තිබෙනවා. කෙසේ හෝ විසඳෙන විට එළියේ පීඩනය අඩු වෙනවා ඇතුලේ පීඩනයට වැඩිය. 


දියේ ගිලෙන වාහනයක එළියේ පීඩනය වැඩියි, ඇතුලේ පීඩනය ඉතාම අඩුයි. එමනිසා මනුෂ්‍යයෙකුගේ ශක්තිය ප්‍රමාණවත් නැහැ දියේ ගිලුණු වාහනයක දොරක් අරින්න. එමනිසා ඇතුළෙන් මොනතරම් උත්සාහ කළත් දොරවල් ඇරෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රත්වයකදී එළියේ පීඩනය අඩු වෙනවා ඇතුලේ පීඩනයට වැඩිය. දොර එළියට අදිනවා. නමුත් දොර විවෘත වීම ඇතුළෙන් කළ යුතුයි.විවෘත වෙනවා කියන චේතනාවෙන් ඇතුළෙන් යන්තම් අත තියන විටම දොර විවෘත වෙනවා. චේතනාව වැදගත්. එළියේ තිබෙන්නේ රික්තකයක්, එම නිසා පහසුවෙන් දොර විවෘත වෙනවා. ඇත්තෙන්ම කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ ශූන්‍ය බවක්. විවිධ නම් භාවිතා කළාට කල්‍යාණ මිත්‍රයා කියා එතන ඇත්තෙන්ම කෙනෙකු නැහැ. අප හරිද වැරදිද කියා විනිශ්චය කරන, ලකුණු දෙන කෙනෙකු නැහැ. එසේම අපේ කාරණා දැනගෙන වෙන තැනකට ගිහින් කියන කෙනෙකුත් නැහැ. දඬුවම් දෙන කෙනෙකුත් නැහැ. තෑගි දෙන කෙනෙකුත් නැහැ. අප සාමාන්‍යයෙන් සිතන ආකාරයේ කවුරුවත් මෙතන නැහැ. කල්‍යාණ මිත්‍රයෙකු සිටින තැන නිදහසක්, රික්තකයක්, විශ්වාසනීයත්වයක් පවතිනවා. බාහිරය රික්තයක් වූ විට සිදුවන්නේ ඒ දෙසට ඇදීමක්. එවිට යන්තම් ඇතුළතින් යොදන පුංචි වීර්යයකින් ලොකු විවෘතවීමක් වෙනවා. ඒ නිසයි “විස්වාසා පරමා ඤාති - ඉහළම ඥාතීත්වය විශ්වාසය යි”  කියා දහමේ කියන්නේ. ආධ්‍යාත්මික ගනු දෙනු ඇතුලු සියලු ගනුදෙනු සිදුවන්නේ මේ විශ්වාසය මතයි. ඒ, අපව දක්කාගෙන යයි කියන විශ්වාසය නොවේ, එවැනි විශ්වාසයක් කිරීමට තරම් බොළඳත් නැහැ. මෙහි ඇත්තේ එයට වඩා වෙනස් දෙයක් වන ආලෝකය පිළිබඳ, අවබෝධය පිළිබඳ කාරණයක්. එනම් අවබෝධයට මඟ පෙන්වයි කියන විශ්වාසය. 


මේ අත්දැකීම හරිම ගැඹුරු අත්දැකීමක්. පුද්ගලයෙකු ඉන්නවා, නමුත් නැහැ වගේ. දොරට කවුරුහරි හේත්තු වෙලා හිටියොත් දොර අරින්න ලෙහෙසි නැහැනේ. දොරට කවුරුවත් හේත්තු වී නැහැ. නමුත් ඉන්නවා, ඉන්න නිසානේ දොර අරින්නේ. විනිශ්චයෙන්, ලකුණු දීමෙන් හේත්තු වුණු කෙනෙකු නැති නමුත් ගැඹුරු විශ්වාසයක් තිබෙනවා. මේ සියලු කාරණා පෙළගැස්වූයේ (ගෙනහැර පෑවේ) හිතවතුනි, මේ බදාදා සන්ධ්‍යාව වෙන්වී තිබෙන්නේ ඒ සඳහා යැයි අවධාරණය කිරීමට. මෙතැනදී අප හැම දෙනාම, අප හැමදෙනාට ම කල්‍යාණ මිත්‍රයන්. ඒ විශ්වාසය එක්වරම ඇති නොවුණත් ටිකින් ටික ඇතිවිය යුතුයි. එවැනි විශ්වාසයක් ඇතිවන්නේ කෙනෙකු දැක නොවේ. මෙතන කවුරුවත් දකින්නේවත්, කාගෙවත් විස්තර දන්නේවත් නැහැ. නමුත් එවැනි තොරතුරු අදාළ නැති වෙනත් තැනකිනුයි මේ විශ්වාසය ඇතිවන්නේ. එසේම අප හැමදෙනාම එකම පාරක යන්නේ, එකම වාහනයක ඉන්නේ. එම නිසා සෑම දෙනාගේම සාමූහික ශක්තිය අවශ්‍යයයි මේ ගමනට. එයින් අදහස් වෙන්නේ නැහැ මෙය බදාදා හත හමාරට පටන්ගෙන නවයට ඉවරවෙන ගමනක් කියා. නමුත් මේ හමුවීම තුළ සුවිශේෂී ගමනක් සෑමදෙනාම යනවා. සුවිශේෂී ගමනකයි සෑම දෙනාම සිටින්නේ. ඒ ගමන සාමූහිකව යන ගමනක්. අත්වැල් බැඳගෙන නැති වුවත් මනසින් මනසට හදවතින් හදවතට කිසියම් ආකාරයක විශ්වාසයක් සමඟ යන ගමනක්. මේ කාරණය අඩු වැඩි වශයෙන් හෝ දැනෙන්නට අවශ්‍යයයි. එතැනිනුයි ගමන ආරම්භ වන්නේ. එසේ නොමැතිනම් තවමත් බලා සිටින්න පුළුවන් ගොපල්ලෙකු මෙන් විමුක්තියට, නිවනට, මෝක්ෂයට අපව දක්කාගෙන යන ගැලවුම්කරුවෙකු පැමිණෙන තුරු. අනිවාර්යෙන්ම දක්කාගෙන යන්න පුළුවන්, ඒ විමුක්තියට, මෝක්ෂයට, නිවනට හැර ඕනෑම තැනකට.

දිව්‍ය ලෝකයටත්, අපායටත් දක්කාගෙන යන්න පුළුවන් වුවත්, නිවනට බැහැ. එයට හේතුව නම් අවිද්‍යාවෙන් විද්‍යාවට, අන්ධකාරයෙන් ආලෝකයට දක්කන්න බැරිවීමයි. ඒ පිම්ම කාටවත් බැහැ අප වෙනුවෙන් පනින්න. අවිද්‍යාවේ ඉවුරේ සිට විද්‍යාවේ ඉවුරට අපව කරේ තියාගෙන පනින්න බැහැ. එය ඇතුළතින් සිදුවන පරිවර්තනයක්. අන් සියල්ල සිදුවන්නේ බාහිරින්, දිව්‍යත්වයට පත්වීම, ධ්‍යානලාභී බ්‍රහ්මයෙකු වීම, මේ සියල්ල බාහිරින් සිදුවන වෙනස්කම්. අභ්‍යන්තර වෙනසක් නම් සිදුවී තිබෙන්නේ, කෙසේද “ඉන් පසුව අපායේ වුවත් උපදින්නට පුළුවන්” කියා කියන්නේ. එක් භවයක ශක්‍ර දිව්‍ය රාජයා වෙලා ඊලඟ භවය තිරිසන් අපායක නම් උත්පත්තිය ලබන්නේ, අභ්‍යන්තර වෙනසක් වුණා කියන්න බැහැ. 


එම නිසයි හිතවතුනි මේ සියල්ලම බාහිර වෙනස්කම් කියා කියන්නේ. ඒවා බාහිර වෙනස්කම් ලෙස නොදකින තුරු සැබෑම අභ්‍යන්තර වෙනස සිදුවන්නේ නැහැ. මෙයයි අවධාරණයෙන් ම හඳුනාගතයුතු කාරණය. කුමක්ද? භෞතික වෙනස්කම් තියෙනවා. ළමයෙකු වැඩිහිටියෙකු වීම, මැදිවියට පැමිණිම, අනතුරුව මහළු වීම කියා අප කියන්නේ බාහිර, නැතිනම් භෞතික වෙනස්කම්වලට. එසේ වූවා කියා අභ්‍යන්තර වෙනසක් සිදුවන්නේ නැහැ. ළමයෙකු අධ්‍යාපනයක් ලැබීමකදී, මුලදි මොනවාවත් දන්නේ නැහැ. කාලයක් ඉගෙන ගත්තාම බොහෝ දේ දන්නවා, එයත් බාහිර වෙනසක්, අභ්‍යන්තර වෙනසක් සිදුවී නැහැ. දැනුමක් තිබෙනවා, අත්දැකීම් ලබනවා. අලුතෙන් උපදින ළදරුවෙකුට අත්දැකීම් නැහැ, අඩුම තරමේ ගින්දර පිළිබඳවවත් අත්දැකීමක් නැහැ. ජීවත්වීම තුළින් අත්දැකීම් ලැබුවාට අභ්‍යන්තර වෙනසක් සිදුවන්නේ නැහැ. 


අභ්‍යන්තර වෙනස්කම් අතර පළමුවෙන්ම සිදුවන්නේ, කිසියම් කෙනෙකු තමන්ව ම දුගතියකට කැඳවාගෙන යන්නෙකු නොවීමයි. වෙන කෙනෙකු නොව තමන්වම අපායට දුගතියට තල්ලු නොකරන්නෙකු වීමයි. මෙයයි මූලිකම අභ්‍යන්තර වෙනස. කාටවත් බැහැ කෙනෙකුව අපායට දාන්න, තල්ලු කරන්න. එතනටම, කට ලඟටම ගෙනියන්න පුළුවන් නමුත්  අපායට පනිනවාද නැද්ද යන්න තමන්ට තීරණය කරන්න පුළුවන්. එතනට ම ගියාට පස්සේ 99% ක්ම අපායට වැටෙනවා. ඒ අභ්‍යන්තර වෙනස වූවානම් බාහිරින් මොනතරම් පීඩන එල්ලවුවත් (දරාගන්න බැරි පීඩන ආවත්) කෙනෙකු තමන්ව එතනට (දුගතියට) ගෙනියන්නේ නැහැ. පීඩනය වැඩිවෙලා නොකියා සිටි රහස් තොරතුරු කියන්න පුළුවන්, උමතු වෙන්න පුළුවන්, සිහි නැති වෙන්න පුළුවන්, සමහර විට මිය යන්නත් පුළුවන් නමුත් ඒ තැනැත්තා තමන්ව දුගතියට වට්ටන්නේ නැහැ. එසේම කිසියම් පීඩනයක් නිසා යමෙකු තමන්ව දුගතියට පමුණුවනවා ද, ඒ තැනැත්තා තුළ සිදුවිය යුතු මූලිකම අභ්‍යන්තර පරිවර්තනය සිදුවී නැහැ. එතන ඥාන දර්ශනයක් නැහැ. එයයි හොඳම සාක්ෂිය, හොඳම මිනුම. මෙතනදි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් දුගතියට හෝ සුගතියට යෑමක් සිදුවන්නේ මරණයෙන් පසුව නිසා, කෙනෙකු අභ්‍යන්තරයෙන් වෙනස්වීද නැද්ද යන්න දැනගන්න එය භාවිතා කරන්නේ කෙසේ ද කියා. මැරුණාමත් දැනගන්න පුළුවන්, මැරෙනවිටත් දැනගන්න පුළුවන්, එයට කලිනුත් පුළුවන්. කෙසේද කලින් දැනගන්නේ? මරණයෙන් පසුව සුගතියට හෝ දුගතියට යෑම තීරණය වන්නේ දැන්. මැරෙන වේලාවේ නොවේ, මැරෙන්න කලිනුයි එය තීරණය කරන්නේ, කොහෙද යන්නේ කියන කාරණය. 


චුති සිත;


සමහරවිට චුති සිත සම්බන්ධ මෙම කාරණය ආන්දෝලනාත්මක කථාවක් වෙන්න පුළුවන්. මෙතනින් යන විට මෙතන පහළ වූ අන්තිම සිතටයි චුති සිත කියන්නේ. එහෙම සිතක් තිබෙනවා. ඒ සිතට අනුවයි පටිසන්ධි සිත පහළ වන්නේ. පටිසන්ධි සිත කියන්නේ කොහේ හෝ හිහින් මුළින්ම පහළවෙන සිත. එහෙම සිතකුත් තිබෙනවා. චුති සිත හා පටිසන්ධි සිත කියා කියන්නේ සිත් දෙකකට දෙනු ලබන නම් දෙකක්. චුති සිතට අනුව තමයි පටිසන්ධි සිත පහළ වන්නේ එයත් ඇත්ත. ඔය කියන කතන්දර අනුව සිතෙන්නේ “එය කොහොම වෙනවාද දන්නේ නෑ, හරි අවිනිශ්චිතයි, මොනතරම් පින් කරගෙන හිටියත් වෙනස් වෙන්න පුළුවන්. පව් කරගෙන සිටියත් හොඳ හිතක් එන්න පුළුවන්. මෙය කොහොම වෙයිද දන්නේ නැහැ, අවිනිශ්චිතයි.” නමුත් භවයක්  හදාගෙනමයි මැරෙන්නේ, ඒ නිසයි භවපච්චයා ජාති කියා කියන්නේ. පටිච්ච සමුප්පාදයේ එහෙමනේ කියන්නේ. භවයක් හදාගත්තේ නැත්නම් ඉපදීමක් වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ කොහේවත් ඔය සිදුවීම් අතර මරණය නැහැ. මරණය තියෙන්නේ ‘ජාතිපච්චයා ජරාමරණං’ කියන තැනනේ. නමුත් එයට කළින් කියා නැහැ. කියන්න අවශ්‍යයයි නේ. ‘භවපච්චයා ජාති’ වෙන්න නම්, භවයෙන් පසුව මැරෙන්න අවශ්‍යයයි නේ. ‘වේදනාපච්චයා තණ්හා - තණ්හාපච්චයා උපාදානං - උපාදානපච්චයා භවෝ’ එහෙම කියනවා. ඒ ටිකත් තාම වෙනවා. අනතුරුව ‘භවපච්චයා ජාති’. එසේනම් මැරෙන්නේ කොයි වෙලාවෙ ද? තාම මැරිලා නැද්ද? ඉපදෙන්න නම් මැරෙන්න අවශ්‍යයයි නේ. සංසාරයේ මරණය කියන්නේ කොතනද, එය කියා නැහැ. කලින් ‘ජාතිපච්චයා ජරාමරණං’ කියා කියන්නේ මරණය වන තැනක් ගැන නොවේ. දිරීමයි, මරණයයි, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා මේ සියල්ල ඇතිවන්නේ ජාතිය නිසායි. ඉපදුණ නිසා මේවා වෙනවා කියනවා මිසක් මෙතනදි මැරෙනවා කියන්නේ නැහැ. නමුත් ඉපදීමක් ගැන කියනවා. ‘භවපච්චයා ජාති’. ඇයි මරණය කියා නැත්තේ? මේ හිතවතුන් ඒ ගැන සිතාත් ඇති, එයට පිළිතුරු සොයාගෙනත් ඇති, එය සොයන්න අවශ්‍ය නැති කාරණයක් කියා බැහැර කරලත් ඇති. මැරුණාට පස්සේ භවයක් හැදෙනවා නොවේ, ‘උපාදානපච්ඡයා භවෝ’, භවයක් හදාගෙනයි මැරෙන්නේ. මේවා සියුම් කාරණා, ඒවාට එතරම් යන්න අවශ්‍ය නැහැ.  


මෙයින් කියන්න උත්සාහ කරන්නේ චුති සිත කුමක් විය යුතුද කියන කාරණය කලින්ම තීරණය වෙනවා යන්නයි. කලින්ම භවය හැදෙනවා. කොහොමද තීරණය කරන්නේ, එවිටයි අර දුගති කතාව මතුවන්නේ. ඇතුලේ පරිවර්තනය වී ඇති කෙනෙකු තමන්ව දුගතියට ගෙනයන්නේ නැහැ කිව්වානේ. එසේ පරිවර්තනය වී නැති කෙනෙකු ඉන්න පුළුවන්, එයාට උසස්වීම් ගන්න පුළුවන්. එයාට ධනවතෙකු, බලවතෙකු, වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු, අගමැතිවරයෙකු, ජනාධිපතිවරයෙකු වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් එයා එයාවම අපායට රැගෙන යාම නවතින්නේ නැහැ (එයා එයාව අපායට එක්ක නොයයි කියා කියන්න බැහැ). ධනය තිබුණත්, බලය තිබුණත්, දැනුම තිබුණත්, මොනදේ තිබුණත්,වැඩක් නැහැ එයා දුගතියට යන්න භවය හදාගෙන නම් ඉන්නේ. ඒවා කියා නවත්තන්න බැහැ. නවතින්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම පරිවර්තනයක් වෙලා නැහැ. වෙන්නත් පුළුවන්. අගමැති කෙනෙකු වී පරිවර්තනයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයා අගමැතිකමේ ඉඳියි ද, මොනවගේ අගමැති කෙනෙකු වෙයිද කියා වෙනම සොයාගත යුතු කාරණයක්. 


පාර කපා ගැනීම;


මෙහිදී කියන්නේ එය නොවේ, අභ්‍යන්තර පරිවර්තනය සිදුවෙලා නම් ඒ තැනැත්තා තමන්ව දුගතියට ගෙනියන්න අවශ්‍ය පාර කපාගන්නේ නැහැ.භවය කියන්නේ පාර. එයයි ලස්සනම කාරණය. පාරක් නැතිව ගමනක් යන්න බැහැ. කවුරුන් හෝ කැපූ පාරකයි ජීවිතය පුරාම මැරෙනකන් ම යන්නේ. නමුත් මෙලොවින් එලොවට යන පාර කවුරුවත් කපා නැහැ. මැරුණාම යන්නේ තමන් ම කපා ගත් පාරේ. අනිත් අයගේ බලකිරීමට පාරවල් කපා ගන්නවා. දිව්‍ය ලෝකයේ පාර, බ්‍රහ්මලෝකයේ පාර බලකිරීමට කපාගන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ කලාතුරකින්. බලකිරීම නිසා බහුතරයක් කපාගන්නේ දුගතියට යන පාරවල්. “භවය හදාගත්තාට පසුවයි මැරෙන්නේ” කියා කියන්නේ කුමක්ද? “මැරුණට පස්සේ කොහෙද යන්නේ” කියන පාර, කපාගෙනමයි කෙනෙකු මැරෙන්නේ, එහෙම නැතිව මැරෙන්නේ නැහැ. මෙය සමහරවිට සිත කලඹන කාරණයක් වන්න පුළුවන්, හිතුවොත් නම් මෙයයි ඇත්ත. එය අප අසා තිබෙනවා වෙන වචනවලින්, නමුත් ඔය විදිහට සිතා නැතිව ඇති. 

අප ඉන්නකල් කරන්නේ පාරවල් කපා ගැනීම. එවිට යන්න පුළුවන් ගමනාන්ත කිහිපක් තිබෙනවා. මූලිකවම බෙදනවා සුගති, දුගති කියා. සුගති නැවත බෙදනවා මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ලෙස. දුගති හතරකට බෙදනවා, ඒවා තව ඒවාට බෙදනවා. මේ ආකාරයට තිස් එකක් තියෙනවා කියනවා. මේ ජීවත්වෙලා ඉන්න කාලේ එක එක ලෝකවලට පාරවල් කපාගන්නවා. මේ එක පාරක්වත් දිගටම කපන්නේ නැහැ. පිනක් කරලා එක ලෝකයකට පාරක් කපනවා, ආයේ පවක් කරලා තව ලෝකයකට පාරක් කපනවා, ටිකක් භාවනා කරනවා. මෙයයි පෘතග්ජන කෙනාගේ ජීවත්වීම, නිශ්චිත නැහැ. ඔලුව හැරුණු හැරුණු අතේ පෘතග්ජන කෙනා මේ ආකාරයට පාරවල් කපනවිට එක් පැත්තකට කැපූ පාරක් ම නැවත වතාවක් නොදැනුවත්ව ම ඉදිරියට කැපෙන්න පුළුවන්. එවිට ඒ පාරේ තවත් ඉදිරියට යන්න පුළුවන්, නොදැනුවත්වම සෑහෙන දුරක් කපලා තියෙන්න පුළුවන්. එවිටයි එය පාරක් වෙන්නේ. එක් පැත්තක් අඩියක් දෙකක් කැපුවාට, උදලු ගෑවාට පාරක් වෙන්නේ නැහැ. ඒ ආකාරයට හැම පැත්තම උදලු ගාලා ඇති.  නමුත් එක් පැත්තකට දිගටම සුද්දකරලා තියෙනවා නම් අඩි පාරක් හැදිලා තියෙනවා. උදැල්ලේ දුරට උදලු ගාන්න පුළුවන්, ඉන් එහාට උදලු ගාන්න නම්, ඒ උදලු ගෑ පාර උඩින් යන්න අවශ්‍යයයි. දැන් ඉන්න භවයේදී, දැන් ඉන්න ආත්මයේදී එයා ඒ පාරේ යනවා. ඒ පාරේ යන නිසානේ අඩියෙන් අඩිය පාර කැපෙන්නේ. මෙයයි වෙන්නේ මැරෙනකන් ම. මැරෙන වෙලාව වනවිට එක් පාරක සෑහෙන දුරක් ගිහිල්ලා. එයයි භවය හදාගන්නවා කියන්නේ. එයාට මැරුණාට පස්සේ යන්න තැනක් තියෙනවා, තමන්ම කැපු ඒ පාරේ තමයි එයා යන්නේ. නමුත් ඒ පාර කපන්න තවත් අය ශ්‍රමදාන මගින්, ආයුධ සැපයීමෙන් උදව් වෙන්න පුළුවන්. එසේම වර්ණනා කරන්නත්, එපා කියන්නත්, බාධා කරන්නත් පුළුවන්. (ඒ අනුව පාර වෙනස් වෙන්නත් පුළුවන්) හැබැයි ඒ මොනවා වුණත් හදාගත්ත පාරකමයි හැමෝම යන්නේ. 

එසේනම් මේ මොහාතෙයි පාර සකස් කරන්නේ. මෙතෙක් හැදුවා, දැනුත් හදනවා. එයින් අතීත ක්‍රියාවටත් වඩා, අනාගත ක්‍රියාවටත් වඩා, වර්තමාන ක්‍රියාවයි වටින්නේ. වර්තමානයේ කෙනෙකු අපායගාමී වන අකුසල් කරනවා නම් එයා ඒ පාර (එතැනට යන පාර) කපාගන්නවා. එහෙම කෙනෙකු ආධ්‍යාත්මික පරිවර්තනය කරගෙන නැහැ. එහෙම කෙනෙක් ආධ්‍යාත්මික විප්ලවකාරයෙකු නොවෙයි. එම නිසා මොන පෙළඹවීමකට හරි එයා දුගති පාර කපා ගන්නවා. මෙයයි පැහැදිලිම සාක්ෂිය ඥාන දර්ශනයක් ඇතිවෙලාද නැද්ද කියන කාරණය තීරණය කිරීමට. එමෙන්ම ඥාන දර්ශනය ඇති කරගන්නත් මෙය ම හේතුවක් වෙනවා. සිතීමේ ක්‍රියාව, සන්නිවේදන ක්‍රියාව සහ කායිකව කරන ක්‍රියාව කියන ක්‍රියා වර්ග තුනයි තියෙන්නේ. එයින් පිට නැහැ, ක්‍රියාවකින් තමයි මෙය සිදුවන්නේ. පාලනයකින් තොරව නම් මේ මානසික ක්‍රියා, වාචසික ක්‍රියා හෝ කායික ක්‍රියා සිදුවන්නේ, කොතැනින් නවතීදැයි කියන්න බැහැ. පාලනයක් නැති නම් නවතින තැන තමයි පහළ. කෙනෙකුගේ සිත රිදෙන්න කියන වචනයකින් අප සිතනවා “පාඩමක් ඉගැන්නුවා” කියා. නමුත් අප කියන ඒ වචනවලට පුළුවන් අපව අපායට ඇදලා දාන්න. අපම කරන ක්‍රියාවකට පුළුවන් දුගතියට ඇදගෙන යන්න. එසේම අප සිතන ක්‍රියාවකට පුළුවන් අපව අපායට ඇදගෙන යන්න. අනිත් අය කරනදේ නොව, භයානකම අපම කරන ක්‍රියාවයි. වර්තමානයේ කරන මේ ක්‍රියා ගැන අපට අනිවාර්යයෙන්ම සිහිබුද්ධිය ඇතිවෙන්න අවශ්‍යයයි. එමෙන්ම කොහාටද මේ පාර කැපෙන්නේ කියා, ඥාන දර්ශනයක් අවශ්‍යයයි.


තීරණාත්මක ක්‍රියා


අපේම ක්‍රියා විනිවිද දකිමින් කුසල චේතනා ද, අකුසල චේතනා ද ඇත්තේ කියා හඳුනාගැනීමට හැකියාව තිබීම අවශ්‍යයයි. එම ක්‍රියාව විශ්ලේෂණය කර, ක්‍රියාව දෙපලුකර බලන්න හැකි විය යුතුයි. එසේ බලනවිට එහි වැඩිපුර තිබෙන්නේ කළු පාට නම් අඳුරු තැනකට තමා මේ පාර කැපෙන්නේ. පෙනෙනවා නම් සුදු පාටට, ප්‍රභාස්වරව එසේනම් ආලෝකමත් වූ තැනකටයි පාර කැපෙන්නේ. එම ක්‍රියාවෙන් තමන්ට යන්න පුළුවන් වන්නේ එවන් තැනකට. එහෙම බලනවිට පෙනෙනවා මේ හැම ක්‍රියාවක් ම හරිම තීරණාත්මකයි කියා. “මෙතෙක් කල් හොඳ කළා, දැන් මොනවා කළත් කමක් නැහැ” කියා කියන්න බැහැ. එමනිසා මේ හැම මොහොතක් ම, එමෙන්ම හැම ක්‍රියාවක් ම තීරණාත්මකයි, නොසලකාහැරිය නොහැකියි. මේ කාරණය වැටහෙනවිට ලොකු කම්පනයක් ඇති වෙනවා. මෙය ලෙහෙසි පහසු වගකීමක් නොවේ, මොනතරම් බරපතල වගකීමක් ද? අපට වැටහෙනවා අපමයි අපව දුගතියට එක්කන් යන්නේ, වෙන කවුරුවත් නොවේ කියා. එක්ක යන්නේ කොහොමද? කරන ක්‍රියාවලින් අප ම පාර කපා ගැනීමෙන් අපායට. කොයි වෙලාවේ කරන ක්‍රියාද කියා කියන්න බැහැ. එහෙම පුළුවන් නම් ඒ වෙලාවට පරෙස්සම් වෙන්න තිබුණා, මොකුත් නොකර ඉන්නත් පුළුවන්, එහෙම බැහැ. ඕනෑම වෙලාවක කරන, ඕනෑම ක්‍රියාවකින්, ඕනෑම දිශාවකට පාරක් කැපෙන්න පුළුවන් නම්, හැම මොහොතකම කරන, කියන, සිතන හැම ක්‍රියාවක් ගැනම පරෙස්සම් වෙන්න අවශ්‍යයයි. එය නොහැකි කාර්යයක් නොවේ, නමුත් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ, බරපතල වගකීමක්. අන්න එතැනදි තමා කම්පනය එන්නේ. ඒ කම්පනය අප වෙනදා කථා කළ බාහිර කම්පනයන්ට වඩා හරිම ප්‍රබලයි, කෙනෙකුව සොලවා, තැතිගන්වා කරන කම්පනයක්. ඒ කම්පනයත් සමග ලොකු අවදිවීමක් වෙනවා. ඒ අවදිවීම තුළ විවෘතවීමක් වෙනවා. ඒ තුළ පරෙස්සම් වෙන්න පුළුවන් කියන කාරණය වැටහෙනවා. පාර කපාගන්නේ නැතිව ඉන්න පුළුවන්. එසේම පරෙස්සම් නොවුණොත් පාර කැපෙන්නත් පුළුවන්. පරෙස්සම් වුණොත් අපේ ක්‍රියා ගැන, වචන ගැන, සිතුවිලි ගැන දුගතිගාමී නොවී ඉන්න පුළුවන් කියන ඒ විශ්වාසය ඇතිවෙනවා, එමෙන්ම ඒ ආකාරයෙන් ජීවත් වන විට ඒ විශ්වාසය තහවුරු වීමක්ද වෙනවා. චුති සිත ගැන තියෙන බය නැතිවෙනවා. සිතුවිලි, වචන, ක්‍රියා ගැන සැලකිලිමත් වනවිට අභ්‍යන්තරය ගැන ඥාන දර්ශනය පහළ වෙනවා. 

බාහිර පමණක් නොවේ අභ්‍යන්තර පෙළඹවීමක් තිබෙනවා. අපායට යන්න සිද්ධවෙන කර්ම කිරීමේ ප්‍රවණතාවයක් (ආසාවක්, නැඹුරුවක්, පෙළඹවීමක්) අභ්‍යන්තරයේ තිබෙනවා. එම පෙළඹවීම තිබෙන තුරු, මූලික අභ්‍යන්තර පරිවර්තනය සිදුවී නැහැ, එමෙන්ම අනිත් කාරණය එයා අපායෙන් නිදහස් (අපායගාමී නොවෙන) කෙනෙකු කියන්නත් බැහැ. අපගේ ක්‍රියා ගැන සැලකිලිමත් වනවිට, එවැනි අභ්‍යන්තර පෙළඹවීම් පෙනෙන්නට පටන්ගන්නවා. අපව දුගතිගාමී කරවීමේ ප්‍රවණතාවය ගැනයි වඩ වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ. එය ප්‍රබලයි සියලුම දේවල් වලට වඩා. එමනිසා ඒ ප්‍රවණතාවයට විවෘත වෙන්න පටන් ගන්නවා. ප්‍රවණතාවය දැක්කාම තමයි එම ප්‍රවණතාවයට විවෘත වන්නේ. එමනිසා පරෙස්සම් වෙන්න අවශ්‍ය එයාගෙන් පමණයි. පරෙස්සම් විය යුතු එකම තැන එතනයි. එතැනින් පරෙස්සම් වෙන්න කළ යුතු සියලු කාර්යයන් කරන්න එයා යොමුවෙනවා, ඒ බිය දැක්කාම, පෙළඹවීම දැක්කාම. එතනින් පස්සේ ලේසියි. නමුත් එය දකින්නේ නැතිව මෙම කාර්යය කරනවා කියන්නේ අර කණා මුට්ටියට ගහනවා වගේ කැරකි කැරකි ගැහීමක්. වදින්නත් පුළුවන් නොවදින්නත් පුළුවන්.  මේ වැඩපිළිවෙල මේ ක්‍රමවේදය නිශ්චිතයි. මෙයින් පිට යමක් වෙන්නේ නැහැ. 

අද අප කථා කළ කාරණා හැම එකක්ම මේ ගමනට අත්‍යාවශ්‍ය කාරණා. පටිච්ච සමුප්පාදය, ශ්‍රාවකයා සහ දේශකයා, පිටින් පීඩනයක් එනවිට විවෘත වෙනවා වෙනුවට තව තවත් ගුළිගැසීම, බාහිර කල්‍යාණ මිත්‍රයෙකු සිටින විට බාහිර කිසි කෙනෙකු නැහැ වගේ දැනීම නිසා කෙනෙකුට විවෘතවීමට ඇති හැකියාව සහ මේ අප මැරුණාට පසුව යන්නේ, මේ දැන් කපාගන්නා පාරේ වීම.  ඒවා වෙන වෙනම කතා කරන්න තරම් ගැඹුරුයි, ප්‍රායෝගිකයි.


භාවනාව 


අවසාන මොහොතේ පාර කපාගන්න බැහැ. ඒ වනවිට පාර කැපිලා ඉවරවී තිබෙන්න පුළුවන්. එමනිසා හිතවතුනි මේ මොහොත තීරණාත්මකයි. ක්‍රියාව, කරන සන්නිවේදනය, සිතන දේ අතිශයින්ම බැරෑරුම්, වගකීම් සහගතයි. ඒ පිළිබඳව අපි ටික වේලාවක් භාවනානුයෝගී වෙමු.

හොඳයි හිතවතුනි ඒ කෙටි භාවනාවෙන් අපි සාකච්ඡාවට එමු.


සාකච්ඡාව 


ප්‍රශ්නය : ඔබතුමා අදහස් කරන්නේ ආධ්‍යාත්මික පරිවර්තනයක් වුන කෙනෙකු පෙළඹවීම් ගැන දැඩි අවධානයෙන් ඉන්න ඕන, එයාගෙන් වෙන අකුසල් වළක්වා ගන්න ඕන කියන එකද එහෙම නැත්නම් ආධ්‍යාත්මික පරිවර්තනයක් සිදු කර ගන්න බලාපොරොත්තු වන කෙනෙකු ඒ පිළිබඳ වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එකද?

 

පිළිතුර : ඒ දෙකම. හේතුව ආධ්‍යාත්මික පරිවර්තනය සිදුවී ඉවර වෙන දෙයක්. ” සියලු කෙලෙසුන් නසා මහරහතන් වහන්සේ කෙනෙකු බවට පත් වුනා” කියලනේ සඳහන් වෙන්නේ. එතනදී පරිවර්තනය වෙලා ඉවරයි, ”කළයුත්ත කරන ලදී, නැවත කරන්න දෙයක් නෑ”, ඒ කෙළවර.

හැබැයි ඊට මෙහා ගත්තොත් වෙන්නේ, පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්න පරිවර්තනය තමයි අතනදී ඉවර වෙන්නේ. පරිවර්තනය වෙන්න පටන් ගත්තා කියූ පමණින් පෙළඹවීම් සියල්ල නතර වෙන්නෙ නෑ, කිසියම් පෙළඹවීම් ටිකක් නැති වෙන්න පුළුවන්. නමුත් තව ඉතුරු වෙලා තියෙනවා, තව එහාට කළ යුතු කාර්යයන් තියෙනවා, ප්‍රහීන කළ යුතු සංයෝජන තියෙනවා. එනිසා අධ්‍යාත්මික පරිවර්තනයක් වෙන්න පටන් ගැනීමයි ඉවර වීමයි අතර ලොකු කාල පරතරයක් තියෙන්න පුළුවන්. පරිවර්තනය වෙන්න පටන් ගත් තැනින්ම එය සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මේ දෙක අතර කාල පරතරය නිසා මේ කෙනා වඩාත් සැලකිලිමත් වෙනවා, අනිත් අයට වඩා සැලකිලිමත් වෙන්නත් ඕන. 

පුහුණුව ලබන කෙනාත් (සේඛ පුද්ගලයා)  සැලකිලිමත් වෙන්න ඕන, පුහුණුවේ කොටසක් විදිහට ශික්ෂා පද විදිහට. ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙන්න පටන් ගත්ත කෙනා පරිස්සම්  වෙන්නේ ශික්ෂා පද නිසා නොවේ, තියෙන අවබෝධය නිසා. ඊට මෙහා කෙනාට ශික්ෂා පද ඕන වෙනවා පරිස්සම් වෙන්න. එයා බලන්නේ ශික්ෂා පද යි ක්‍රියායි දිහා. මම මෙහෙම කරන්නෙ නෑ කියලා ගත්ත ශික්ෂාපද තියෙනවා. ඊළඟට කරන ක්‍රියා දිහා බලන්නේ ඒ ශික්ෂාපද වලට සාපේක්ෂව. ශික්ෂාපදයට සාපේක්ෂව මේ ක්‍රියාව කළ යුතුද නොකල යුතු ද කියා.

පරිවර්තනය වෙන්න පටන් ගත් කෙනා ශික්ෂා පදවලට දදා බලනව නෙමෙයි. මෙතැන මේ  පාර කපා ගැනීම් ගැන ගැන තමයි එයා බලන්නේ. මේ ක්‍රියාවෙන් මොන පැත්තටද පාර කැපෙන්නේ, අනියමින් හරි මොන පැත්තටද යැවෙන්නේ? එතකොට ඒ පැත්තට යන්නද ඇතුලින් තල්ලුව එන්නේ කියා.

එනිසාම දෙදෙනාම පෙළඹවීම් ගැන සැලකිලිමත් වෙනවා, වෙන්න ඕන.


ප්‍රශ්නය : ඔබතුමා සඳහන් කළ විරුද්ධ වීම කියන අදහස, උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය ජීවිතයේ දී දැනුවත්ව හෝ නොදැනුවත්ව අපෙන් වරදක් උනා නම් එයට විසඳුමක් ලබාගන්න විශ්වාසවන්ත කෙනෙකු සමගයි ඒ ගැන කතා බහ කරන්නේ. විශ්වාසවන්ත කෙනෙක් කියන්නේ කල්‍යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක්. එහෙම කතා කරන්නෙත් ඒ බාහිර ප්‍රතිරෝධය අඩු අවස්ථාවක. එවැනි අවස්ථාවක් විවෘත වීමක් විදිහට ගන්න පුළුවන්ද? 

පිළිතුර : ඔබතුමාට බොහොමත්ම පින් මේ කාරණය උදාහරණයක් ඇසුරින් හැමදෙනාටම පැහැදිලි වෙන ආකාරයට විමසීම සම්බන්ධයෙන්. 

පුළුවනි. එතනදි අපේ අතින් යම්කිසි අත්වැරදීමක් වුන අවස්ථාවක මුලින්ම ඇති වෙන්නේ පසුතැවීමක් සහ එහි විපාක ගැන සැකයක් විචිකිච්චාවක්. ඒ ගැන සැකයක් විචිකිච්චාවක් නැත්නම් අප කාටවත් කතා කරන්නේ නෑ. කෙනෙකු රහසක් විදිහට හංගාගෙන ඉන්නේ නොකියා ඉන්නේ පසුතැවිල්ලයි විචිකිච්චාවයි නිසා. ඒවගේම පසුතැවීම සහ විචිකිච්චාව නිසා කෙනකුගේ ඇතුලේ ඇතිවෙන පීඩනය තියාගන්න බැරි උනහම තමයි ඒ කෙනා විවෘත වෙන්නෙත්. ඒ වගේ වෙලාවකදි ප්‍රශ්නය කියන්න සුදුසු කෙනෙකු හොයනවා. පළමුව මුණ ගැසෙන ළඟම ඉන්න කෙනාට නැතිනම් නිතරම කතා කරන්න පුරුදු වෙලා ඉන්න කෙනාට කියන්නත් පුළුවන්. හැබැයි එය නොවේ විවෘත වීම කියන්නේ. “එහෙම දෙයක් වුණේ ඇයි?” කියා ඇතුල බැලීම, කැඩපතක් වීම එතනදි වෙන්නෙ නෑ. එනිසා විවෘත වීමක් වෙන්නේ නෑ.

කලණ මිතුර / සත්පුරුෂයා අපට බයක් පීඩනයක් එල්ල කරන්නේ නෑ. බයක් පීඩනයක් ඇති තැනක විවෘත වීමක් වෙන්නේ නෑ, බය නම් තව තව හැකිලී ගුලි වීමයි වෙන්නේ. කළ්‍යාණ මිත්‍රයා විනිශ්චය කරන්න යන්නෙ නෑ, අනාවැකි කියන්න යන්නෙ නෑ, අතීතය ගැන කියන්න යන්නෙත් නෑ ( ප්‍රශ්නය අතීත ආත්මයක කළ ක්‍රියාවක විපාකයක් විදිහට පැහැදිලි කරන්න උත්සාහ කරන්නෙ නෑ). මේවා තමයි පීඩන. එතන තියෙන්නෙ එක පීඩනයක් වත් නැති සොඳුරු ආදරණීය නිශ්ශබ්දතාවයක්. එයා කතා කරන්නේ නෑ, නිශ්ශබ්දයි. එනිසා අපට කතා කෙරෙනවා. එයත් කතා කරන්න ගත්තොත් අප කතා කෙරෙන්නේ නෑනේ. එහෙම වුනොත් එතන තර්කයක් වාදයක අප හිරවීමක් විතරයි වෙන්නේ. ඒ වෙනුවට එතන තියෙන්නේ ගැඹුරු ආදරණීය නිශ්ශබ්දතාවයක්. ඒ නිහැඬියාව අප හිර වෙලා ඉන්න තැනින් අපව ඇදලා ගන්නවා. අපව ගිල ගන්නවා ඒ නිශ්ශබ්දතාවය. ඉතින් අප සම්පුර්ණයෙන් දියවෙලා යනවා, නැතිවෙලා යනවා. මම කියන කටුව ඇතුලේ තමා රහස් ටික තියාගෙන ඉන්නේ. ඒ කටුව කැඩිලා දියවෙලා යනවා. ඒ විවෘත වීමත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. 


ප්‍රශ්නය : ප්‍රඥාවන්තයෙක් කියන්නේ හැමවිටම විවෘත වෙන කෙනෙකු නේද? හිරකරගෙන ඉන්නේ නෑ නේද?

පිළිතුර : ඔව් ප්‍රඥාවේ ලක්ෂණය විවෘත බවයි දැකීමයි. අලෝකයේ ස්වභාවය තමා විහිදීම, එහි සීමාවක් නෑ. ප්‍රඥාවන්තයකු නම් හිරකරගෙන ඉන්නේ නෑ. හැබැයි ප්‍රඥාවන්තයකු වෙන්න නම් උත්සාහයක් ගන්න ඕන හිර කර ගන්නේ නැතිව එක්කෝ තමන්ම ඒව දිහා බලන්න, විවෘතව බලන්න, ඒ වාගේම විවෘතව බලන්න පුළුවන් කෙනෙකු සමග කතා කරන්න.ඒ දෙකම අවශ්‍යයි. ප්‍රඥාවන්තයකු වෙන්න අවශ්‍ය හේතු ගැන කියන හැම තැනකම ඔය හේතු දෙක කියනවා, විවෘත වෙන්න ඕන, ඇහුම්කන් දෙන්න ඕන, අහන්න ඕන, විමසන්න ඕන, ආවර්ජනය කරන්න ඕන කියා.


ප්‍රශ්නය : යෝගියකු ගේ අභ්‍යන්තර ගමන් මාර්ගය පැටලිලි සහගත නම් සමහරවිට හිර වෙලා ඉන්න තැන් තියනවා. ඒ වගේ වෙලාවකදී සමහරවිට කල්‍යාණ මිත්‍රයෙක් හිටියත් උදව් කරන්න වචනවලින් ප්‍රකාශ කරන්න බැරිව යෝගියා අතරමං වෙලා ඉන්න පුළුවන්. ඒ වෙලාවෙදි කොයි වගේ තීන්දුවක්ද යෝගියා ගත යුත්තේ? 


පිළිතුර : වරින්වර කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැසීම, කිසියම් කාලයක් ඔහු සමඟ ගත කිරීම අවශ්‍යයි .එහෙම ඇසුරකදී, එකක් තමා වචන වලට පරිවර්ථනය කරගන්න බැරිව හිර වෙලා තියෙන ප්‍රශ්නය අප අතින් කියවෙන පුළුවන්. ප්‍රශ්න වචන වලට පරිවර්තනය කර ගන්න බැරි වෙන්න එක හේතුවක් නම් බාහිරින් තියෙන පීඩනය. ඒ පීඩනය නැති තැනකදී එය ප්‍රකාශ වෙන්නත් පුළුවන්,  ඇඬීමකින්, ඉකි ගැසීමකින්, ගොළු වීමෙන් මොන විදිහකින් හරි පිට වෙන්න පුළුවන්. එනිසා ප්‍රශ්නයක් තිබුණත් නැතත් වරින් වර කල්‍යාණ මිත්‍ර ඇසුර අවශ්‍යයයි.

දෙවැනි කාරණය අපට කියාගන්න බැරි වුනත් ‍කල්යාණ මිත්‍රයාට තියෙන මෛත්‍රිය නිසා සංවේදීතාවයක් නිසා මෙතන පීඩනයක් අර්බුදයක් තියෙන බව දැනී සමහරවිට අහන්න පුළුවන්. එසේ නැතත් කිසියම් මග පෙන්වීමක් උපකාරයක් කරන්න පුළුවන් අපට දැනෙන්න හෝ නොදැනෙන්න. අප ඉන්න පීඩනයෙන් නිදහස් වෙන්න, අපටම දොරක් විවෘත කරගන්න අවශ්‍ය කිසියම් උපදෙස් ලැබෙන්න පුළුවන් අප දැනුවත් හෝ නොදැනුවත්ව.

එනිසා එවැනි අවස්ථාවක අප විශ්වාසය අනුව කටයුතු කරන්න ඕන. කල්‍යාණ මිත්‍රයෙකු ඉන්නවා නම් ප්‍රශ්නයක් නැතත් ආශ්‍රය කිරීම වැදගත්. ප්‍රශ්නයක් තියෙන වෙලාවක දී එය කියන්න බැරි වුනත් ඒ ඇසුර ඇතුලේ අපට විසඳුමක් හොයාගන්න වචනවලින් හෝ නිශ්ශබ්දතාවයෙන් උත්තර ලැබේවි. 


ප්‍රශ්නය : සංස්කෘතිය තුළින් ලොකු බියක් ඇති කරලා තියෙනවා ප්‍රශ්න විවෘතව කතා නොකරන්න. අපට පාසල් වලින් ඒ උනන්දු කිරීම කරලා නෑ. ඒ අඩුපාඩුව දහමට එනකොටත්  තියෙනවා. එනිසාම කල්‍යාණ මිත්‍රයෙක් ඉදිරියේ ප්‍රශ්න විවෘතව කතා කරන්න පෙළඹෙන්නේ නෑ නේද?


පිළිතුර : අඩු වැඩි වශයෙන් හිරකරගෙන ඉන්න ගතිය ඕනෑම මනුස්සයෙකු ළඟ තියනවා. සක්කාය දිට්ඨිය නිසයි හිර වෙන්නේ. මම කියා ප්‍රතිරූපයක් හදාගෙන ඒ ප්‍රතිරූපය පරිස්සම් කරගන්න යෑමේ ප්‍රතිඵලයක්. එහෙට බටහිර පෙරදිග කියා වෙනසක් නෑ. 

හැබැයි  බටහිර ලෝකය තුළ විවෘතව කථා කිරීම පවුල ඇතුලේ තියෙනවා යාලුවන් එක්ක කතා කරනවා, එහෙම කතා කරන්න පුළුවන් මාතෘකා පරාසයත් හරි පළල් අපට වඩා. පෙරදිග සංස්කෘතියේ එසේ කතා කරන්න පුළුවන් මාතෘකා වල පටු බවක් තියෙනවා. අප අප ගැනම කතා කරනවා බොහොම අඩුයි. එමනිසාමයි කල්‍යාණ මිත්‍රත්වය හදුන්වාදෙන්න හඳුන්වා ගන්න වෙලා තියෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වය තුළ සංස්කෘතික සීමා දේශපාලන සීමා අධ්‍යාපනික සීමා මොනවත් නෑ. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ නිදහස් අවකාශයක්.

බටහිර අයටත් ඔය ගැටලුව තියෙනවා, නැතිම නෑ.කතා කරන්න විශ්වාස වන්තයෙක් නෑ. එහෙම අයට මා දෙන එක් උපදේශයක් නම් හිස් තැනකට ගිහින් හයියෙන් කතා කරන්න කියා. තමන්ට තියෙන්නේ බයක් තරහක් දුකක් නම් හිර වෙලා තියෙන හැඟීම් එක්කම එළියට දාන්න, ඒ හිස් අවකාශයට හයියෙන් කෑ ගහලා කියන්න. මේ ප්‍රශ්නය කියන්නේ අවකාශයටයි විශ්වයටයි  කියා හිතාගෙන කියන්න. එයින් ලොකු සැහැල්ලුවක් ලැබෙනවා. ආයෙත් ප්‍රශ්නයක් ආවහම ආයෙත් ගිහින් අවකාශයට කෑගහන්න පුළුවන්, සම්පූර්ණයෙන් නිදහස් වෙන්නේ නැහැ. නමුත් ඒ පීඩනයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා.

කල්‍යාණ මිත්‍රත්වය කියන වචනය වත් අපට තියෙනවා. එහෙත් එහි ප්‍රායෝගික භාවිතයේ අඩුවක් තියෙනවා. එසේ භාවිතය අඩු නිසාම තමා සියදිවි නසා ගැනීම වැඩි. බෞද්ධ රටක් නම් පළවෙනි කාරණය තමා කල්‍යාණ මිත්‍රත්වය. බෞද්ධ නැති නිසයි මේ ප්‍රශ්නය. දැන්වත් අප කල්‍යාණ මිත්‍රත්වය මත පදනම් වූ ආගමක් අදහන්න පටන් ගන්න ඕන. එහෙම පටන් ගත්තොත් පමණයි මේ ප්‍රශ්නය යම්තාක් දුරකට සමනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ පරිසරය ගේ ඇතුලේ පාසල ඇතුලේ හැදෙන්න ඕන. පාසලේ ඉන්න අයගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් වටපිටාවක් පාසල ඇතුලේ හැදෙන්න ඕන. එහෙම වුනොත් තමයි කල්‍යාණ මිත්‍ර පාසලක් වෙන්නේ. එහෙම නැතිව උගන්වන්නේ මොනවාද කියන එක අනුව නෙමෙයි. 


හිතවතුනි, අපේ හැම සිතුවිල්ලක්ම චනයක්ම ක්‍රියාවක්ම අපට යන්න පාරක් කපනවා. සිතිවිල්ලෙන් සිතිවිල්ලට, වචනයෙන් වචනයට, ‍ක්‍රිරියාවෙන් ක්‍රියාවට අපි කොහාටද යන්නේ  කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. අසිහියෙන් අපි පාරවල්  කපාගෙන යන්න ගියොත් අපි අපිටම වල කපා ගත්තා වෙනවා. ඒ අරපිරිමැස්මත් සමග අද වැඩසටහනින් සමුගනිමු.


හැමදෙනාටම, සෙතක්ම වේවා !  ශාන්තියක්ම වේවා !!  සැනසිල්ලක් ම වේවා !!!