සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 09
2021 දෙසැම්බර් 01, සාරාංශය
සිහිබුද්ධිය කියන්නේ ලෞකික වචන දෙකක්. සෑම වචනයක්ම ලෞකිකයි ලෝකෝත්තර වචන නෑ සාමාන්‍ය ජීවිතයේදී සන්නිවේදනයට අවශ්‍ය වාග්මාලාවක් ශබ්දකෝෂයක් තමා තියෙන්නේ. විමුක්තියට හැදුනු වචන නෑ. “විමුක්තිය” කියන්නේත් සාමාන්‍ය ජනවහරේ තිබෙන වචනයක් “යම් යම් දේවල් වලින් නිදහස් වීම” කියන අදහස. එනිසාම ඒ වචන වල සීමා තියනවා. ඒ වගේම වැරදි අර්ථකථනත් තිබෙනවා. ඉතින් මේ සියලු කාරණා සලකා බලා තමා දහම කතා කරන්න, ලියන්න, කියවන්න, ඇහුම්කන් දෙන්න වෙන්නේ. කෙසේ හෝ අපට මඟ පෙන්වන්නට සාමාන්‍ය ජන වහරේ තියෙන වචන තමයි ගුරුවරුන් භාවිතා කළේ. අප ඉන්නේ කොතනද? යා යුත්තේ කොතනටද? කොහොමද එතැනට යන්නේ? එතැනදී වඩාත් සුදුසු වචන තෝරා බේරා ගැනීම ගුරුඋතුමන්ගේ දක්ෂතාවය. වැරදි අර්ථකථන අවම කර ගනිමින්, වචනවල සීමාවන් හඳුනා ගනිමිනුයි දක්ෂ ගුරුවරුන් අපට මගපෙන්වන්නේ. නමුත් මේ හැම වචනයක්ම සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු වලදී භාවිතා කළ වචන. ඒ නිසාම ඒවාට හුරු පුරුදු වූ අර්ථ තිබෙනවා. එමෙන්ම ඒ ලෞකික වචන වල ලෞකික අර්ථයන්ට මුවාවූ ලෝකෝත්තරය පණිවිඩයකුත් තිබෙනවා,. 100% ක් ලෝකෝත්තර පණිවුඩයක් දෙන්න පුළුවන් වචනයක් නෑ. සුපිරිසිදු 100% ක් ලෝකෝත්තර වූ වචනයක් නෑ. මෙන්න මේ කාරණය හොඳින් අවධාරණය කරගන්න.
එසේ 100% ක් ලොව්තුරු වූ යමක් තිබෙනවා නම් එය තමා ‘ආර්ය තුෂ්නිම්භූතභාවය’. එය 100% ක් ආර්යයයි එමෙන්ම ලොව්තුරුයි. ආර්ය නිශ්ශබ්දතාවය කියන්නේ කට පියාගෙන සිටීම නොවෙයි. ආර්ය නිශ්ශබ්දතාවය කියන වචන දෙක ගත්තත් ඒ වචන දෙකත් ලෞකිකයි, එදිනෙදා ජීවිතේට සම්බන්ධ නොයෙකුත් අර්ථ තියෙනවා. ඉතින් එසේ එගොඩ ඉවුරේ ඉන්න ගුරු උතුමන් වහන්සේලා තමන්ගේ අත්දැකීම් වලින් කොටසක් අපට දෙන්නට මෙගොඩ ඉවුරේ තිබෙන වචන තමා භාවිතා කරන්නේ. මේ ඉවුරේ භාෂාව උපමා, උපමේය, උදාහරණයි දෙන්නේ. එහා ඉවරේ දේවල්වලින් කිව්වට වැඩක් නෑ තේරෙන්නෙ නෑනෙ. එහා ඉවුරු කතා කරන්නේ නෑ, එය නිහඬයි. ඒ නිශ්ශබ්දතාවය ඒ භාෂාව අපට වැටහෙන්නේ නැහැ. ආර්ය තුෂ්නිම්භූතභාවය අපට ඇහෙන්නෙත් නෑ, තේරෙන්නේ වැටහෙන්නේත් නෑ. ඒනිසාම එතෙර වුණු ඒ උතුමන් වහන්සේලා මේ ඉවුර දෙස කරුණාවෙන් බලා මේ ඉවරේ භාෂාවෙනුයි කතා කරන්නේ.
මේ ඉවුරේ තිබෙන භාෂාව මේ ඉවුරට අදාළ භාෂාවක්, එගොඩ වෙන්න තිබෙන භාෂාවක් නොවෙයි, මෙතන පදිංචි වෙන්න තිබෙන භාෂාවක්, මේ ඉවුර ලස්සන කරගන්න, සැප පහසු කරගන්න, ප්‍රශ්න අඩු කරගන්න, ඉන්න හිතෙන විදියේ භාෂාවක්, යන්න හිතෙන භාෂාවක් නොවේ. හැබැයි ඉන්න හිතෙන භාෂාවෙන් තමා යන්න හිතන්න සහ හිතෙන්න කියන්න වෙන්නේ, වෙන භාෂාවකින් කිව්වට අපට ඇහෙන්නේවත් තේරෙන්නෙවත් නෑ, තේරුනේත් ඇහුනෙත් නැත්නම් එහා ඉවුරට යන්න පිම්මක් පනින්නෙත් නෑ. මෙය තාක්ෂණික ගැටලුවක්. ඒ ගැටලුවට සෑම ශාස්තෲවරයෙක්ම මුහුණ දෙන්නට ඇති. සමහර විට මුලින්ම ධර්ම දේශනා කිරීම කල් දාන්න නැත්නම් නොකර සිටින්නට අප ශාස්තෘන් වහන්සේ ගත් තීරණයට මේ සන්නිවේදන ගැටලුව ප්‍රබලව බලපාන්නත් ඇති. මෙගොඩ ඉන්නේ ආධ්‍යාත්මිකව අන්ධ හා බිහිරි කෙලෙස් දුහුවිලි වලින් වැසුණු සිත්. එහෙම පිරිසකට කොහොමද කතා කරන්නේ? කතා කරාට ඇහෙයිද? තේරෙයිද? වචනාර්ථය තේරුණා කියා ඒ කෙලෙස් දූවිලි වලින් පිරුණු හිත් අර්ථය හරියට තේරුම් ගනීද?, මෙවන් විතර්ක නිසා ධර්මය දෙසීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයකින් සිටි බවයි අප අසා තිබෙන්නෙ.
අවබෝධය ලැබෙන්නේ වචන අතහැරියාම, සංකල්ප අතහැරියාම, දැනුම අතහැරියාම, දන්නවා කියන හැඟීම අතහැරියාම. මම දන්න කෙනෙක්, මම දැනගෙන හිටිය කෙනෙක්, මේ සියලු අහංකාර මමංකාර මානයන් අත්හැරිය තැනයි අවබෝධය ලැබෙන්නේ. ඒ අතාරින දේවල් අතර අතර පලවෙනි තැනට එන්නේ දැනුම දිට්ඨි. මේ දිට්ඨි සහ භාෂාව එකට යන්නේ. භාෂාවකින් තමා දිට්ඨි හැදෙන්නේ. දිට්ඨ වලින් තමා භාෂාව හැදෙන්නේ. හොඳට හොයලා බලන්න හැම සංකල්පයකටම දිට්ඨියක් සහ වචනයක් තියෙනවා, මේවා එකට යන්නේ වෙන් කරන්න බෑ, අදහස්, උදහස්, ආකල්ප, විකල්ප, සංකල්ප, තර්ක, විතර්ක, වාද, සංවාද, විසංවාද, හොඳට බලන්න මේ හැම දෙයකටම භාෂාවක් තියෙනවා, ඒ වගේම වචන තියෙනවා, වචන නැතිව මේ එකක්වත් වැදගත් නෑ. ඉතින් මේ අදහස් වලින් ගොඩනඟාගෙන තියෙන ලෝකය ඇතුලේ, ඒ අදහස් හරියට කනාමැදිරි වගේ, කණාමැදිරි එළි සීයක් දාහක් විතර එකතු කරගත්තාම තමන්ව ආලෝකමත් වෙන්න පුළුවන් ටිකක්, හැබැයි ඒ සැබෑ ආලෝකයක් නොවේ. ඒ වගේ තමයි මේ සංකල්ප දිට්ඨි සියල්ලක්ම.
මේ සංකල්ප කියන්නේ හිර කූඩුවක් බව දැනුනොත් පමණයි කඩල බිඳල දාන්නෙ. එයටයි විමුක්තිය කියන්නේ, මේ දිට්ඨි වලින් එළියට ඒම තමා විමුක්තිය. අපේ සිතීම හරිම සීමිතයි, දිට්ඨි සංකල්ප ඇතුලේ හිරවෙලා ඉන්නේ. අප හිතනවා ඕන දෙයක් හිතන්න පුළුවන් කියා. නමුත් ඕන දෙයක් කියන එක සීමිතයි. හිතන්නෙත් සීමිත විදිහට, හිතන්න පුරුදු වෙලා තියෙන විදියට තමා හිතන්නේ, මේ සිතීම නිදහස් නෑ, අසීමිතත් නෑ. සිතීමෙන් තමා ලෝකය නිර්මාණය වෙන්නේ. මගේ ලෝකය නිර්මාණය වෙන්නේ මා හිතන ආකාරය අනුව. මම නිර්මාණය වෙන්නෙත් හිතන ආකාරය අනුව, සිතන්නා විසින් සිතීම නිර්මාණය කරන අතර සිතීම විසින් සිතන්නා නිර්මාණය කරනවා. මේවා එක් පැත්තකට පමණක් යන දෙයක් නෙමෙයි. කෙනෙක් සිතන්න පටන් ගන්න මොහොතේම, ඒ සිතීම විසින් ඒ සිතන්නාවත් වෙනස් කරන්න පටන් ගන්නවා. එතකොට ඒ සිතීමෙන් සිතන්නෙක් බිහිවනවා, සිතෙන දෙයක් පේන්න පටන් ගන්නවා. සිතීම පාලමක් වගේ, මේ පැත්තෙ හිතන කෙනෙක් ඉන්නවා එහා පැත්තේ හිතන දේ තියෙනවා. මේ හිතන දේ තමා ලෝකය, මම තමා හිතන කෙනා. මේ ලෝකයේ තිබෙන ඕනම දෙයක් අරන් බලන්න, අප හිතන දෙයක් අපට හිතන්න පුළුවන් දෙයක්, ඕන දෙයක්, දැනුත් හිතන දෙයක්, එහෙම නැති දෙයක් ලෝකේ නෑ. මගේ ලෝකයේ තියෙන්නේ මට හිතන්න පුළුවන් දේවල්, සහ සිතූ දේවල්, සහ දැනටමත් මා සිතන දේවල්. කවදාවත් නොසිතු දෙයක් දැනටත් හිතන්නේ නැති දෙයක් සිතන්න බැරි දෙයක් මගේ ලෝකෙ නෑ. මේ කාරණය මෙනෙහි කරන විට පේනවා මම කියන්නේ මගේ සිතීමේ හිරකාරයෙක්. මේ හිරගෙය සිතීමෙන් තමා නිර්මාණය කරගෙන තියෙන්නේ. එහෙම නම් සිතීමෙන් නිර්මාණය කරගත් හිර කූඩුවට තමා ලෝකය කියා කියන්නේ. එහි.හිර වෙලා ඉන්නේ තමන්මයි. මෙයටයි සංසාරය කියන්නේ. එය වෙනම දෙයක් නොවෙයි, කවුරුවත් හැදු දෙයක් නොවෙයි, කාටවත් බෑ සංසාරයක් හදලා ඒ සංසාරෙට අප ගෙනවිත් මෙපමණ කාලයක් සිටිය යුතුයි කියන්න. සංසාරේ කියන්නේ මොහොතින් මොහොත සකස්වෙන, මැවෙන, දික්වෙන, හිර වෙන දේකට.
සසර මැවෙන්නෙත් සිතීමෙන්ම තමා. සිතීමෙන් මැවෙන සංසාරේ සිතන්නා හිරවෙනව, නිදහස් වෙන්නේ නෑ, තව තව හිරවෙනවා. බලන්න මේ ප්‍රහේලිකාව දිහා. නැත්නම් මෙය ප්‍රහේලිකාවක් විදිහට පේන්නේ නෑ, තමන්ගේ සිතීමෙන්ම තමන් විසින්ම හිරකූඩුව නිර්මාණය කරගන්නවා. මේ කාරණය තමා අර එගොඩ වුනු ගුරුතුමන් මෙගොඩ ඉන්න අපට අපේ භාෂාවෙන් කියන්නේ. එහෙම කියන විට මේ කාරණය ඉතාම සරලව පහසුවෙන් අර්ථය වෙනස් වෙලා අප වෙනම, සංසාරේ වෙනම, තියෙනවා, මේ සසර හැදුවේ කවුද දන්නෙ නෑ, ඒකට කවුද අපව දැම්මෙ දන්නෙ නෑ, කර්මය නිසා යනවා කියා හිතනවා, කර්මය ඉවර වූවිට සංසාරේ ඉවරයි කියා හිතනවා. එසේ කාලයට බාර දුන් සංසාරයකුයි අපට තියෙන්නේ. නමුත් සිහිබුද්ධියෙන් බැලුවොත් පමණයි පෙනෙන්නේ සිතීම නිසා සංසරත්, සසර තුළ ඉන්න කෙනෙකුත්, මැවෙන බව. සිහිබුද්ධිය කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචන. එතකොට සිහිබුද්ධිය කියා දෙන්නෙ අභ්‍යන්තරව බැලීම. නමුත් කාලයක් යනවිට ඒ වචනදෙකේ තිබෙන ලොව්තුරු රසය හේදිලා වේලිලා ගිහින් අමුම අමු ලෞකික අර්ථයක් පමණක්ම ඉතිරි වෙනවා. එහි තිබුණු ලොව්තුරු පණිවිඩය මැකිලා සුවඳ රසය වර්ණය නැතිවෙලා ගිහිල්ලා කිසිම රහක් නැති, ලස්සනක් නැති, ගමනක් යන්න හරියට පාර කියන්න බැරි, වේලිච්ච වචන දෙකක් බවට පත් වෙනවා.
එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත්, එදිනෙදා ජීවිතයට ගන්න වචන දෙකෙන් තමයි මේ රහස අපට දුන්නේ. එදිනෙදා කටයුතු වලට, අධ්‍යාපන කටයුතුවලට, පාරේ තොටේ යන එන දේවල් වලට, කපන කොටන දේවල් වලට, රස්සාවට උදව් වචන දෙකකින් වචන දෙකෙන් තමයි මේ රහස අපට කිව්වේ. වෙන කියන්න විදියක් නෑ, මේ ඉවුරට මේ වචන දෙක ඇවිත් මේ ඉවුරේ කලක් ව්‍යවහාර වනවිට එහා ඉවුරේ තිබුණු ඒ ලොව්තුරු රසය මැකී ගොස් නැවතත් මේ ඉවුරේ සදාකාලිකව පදිංචි වෙන්න අවශ්‍යවන සේ හැඩ ගැසී තියෙනවා. මෙතනින් යන්න හිතෙන්න හා එවන් ගමනක් පටන් ගැන්මේ චේතනාවක් ඇති වෙන්න ඒ වචන ශුද්ධිය වැදගත් වෙනවා.
මේ කාරණය ප්‍රශ්න දිහා හොඳින් බලනකොට (ඇස්දෙකෙන් නොවෙයි) පේනවා සිතීම නිසා මේවා හැදෙන්නේ කොහොමද, නැති ප්‍රශ්න හැදෙන්නේ කොහොමද, තියෙන ප්‍රශ්න වැඩි වෙන්නේ කොහොදැයි. නිකම්ම සිතීම නිසා නොවෙයි, සිදුවෙන ධර්මතාවට (ධර්මතා ගැන අපි ගිය සතියේ කථා කළා) පිටින් සිතීම නිසා.. සිතීමේ ක්‍රම දෙකක් තියෙනවා, ධර්මතා වලට අනුකූලව සිතීම සහ එයට පිටින් සිතීම. සිදුවන හේතු සාධක නොසලකා හැර, කොහොමද වෙන්න ඕන කියා කැමති කැමති විදිහට හිතනවා. අන්න ඒ සිතීම නිසා අප අමාරුවේ වැටෙනවා. අප හදා ගන්න දේවල් සමග සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් යථාර්ථය සමග, ඇති සැටිය සමග, සොබාදහමත් එක්ක සෙල්ලම් කරන්න බෑ, පුළුවන්ය කියා හිතෙනවා, පටන් ගන්නවා, පරදිනවා දිගටම පරදිනවා. මෙසේ පැරදුණු සංසාරෙක තමා අප ඉන්නෙ, දිනූ සසරක නොවෙයි. ඊළඟ වතාවේ හරි දිනයි කියා හිතන මෝඩ කල්පනාවයි, බලාපොරොත්තුවයි, විශ්වාසයයි එක්ක දුවනවා, නමුත් සසර දිනූ කෙනෙක් නෑ.
ඒ නිසා තමන්ට ඕනෑ හැටියට හිතනවා වෙනුවට, ධර්මතා වලට අනුව සිතීමයි සිදුවිය යුතු එකම පරිවර්තනය. අන්න සිහිබුද්ධිය කරන පරිවර්තනය. සිහිබුද්ධිය නැති වූ විටයි උන්මත්තක තත්ත්වයෙන්, වියරු වැටිලා හිතන්නේ. එතනදී තමන්ට ඕන ඕන හැටියට හිතනවා, හිතන හැටියට වෙන්න ඕන කියාත් බලාපොරොත්තු වෙනවා. හිතෙන හිතෙන විදියට තමන් ඉන්න ඕන කියන බලාපොරොත්තුවක් තියෙනවා. සැබැවින්ම බැලුවොත් එහෙම ලෝකෙකුත් නෑ කෙනෙකුත් නෑ. සිහිබුද්ධියෙන් බලා, විමසා, ධර්මතා හඳුනාගෙන, ඒ ධර්මතාව වලට අනුකූලව හිතන්න පටන් ගත් කල අර උන්මත්තක තත්වය නැති වෙනවා. ධර්මතා සමග එකඟ වෙනවා. ධර්මතා සමඟ ජීවත් වෙන්න පටන් ගන්නවා. ධර්මතා හා සිටින තාක්කල් අනතුරක් පීඩාවක් වෙන්නේ නෑ. මේ හැම අනතුරක් පීඩාවක්ම වෙන්නේ ධර්මතා වලට පටහැනිව හිතන්න ගියාම. හිතලා නවතින්නේ නෑනෙ, ඒ අනුව ජීවත් වෙන්නත් අපට ඕන වෙනවා. අපට ඕන විදිහට ඉන්න ඕන කියන කාරණය සාමාන්‍ය ජීවිතේදි ගත්තොත්, මානව නිදහස වගේ දෙයක්, තමන්ට ඕන විදිහට ජීවත් වීම. නමුත් සිහි බුද්ධියෙන් බලන කල්හී පේනවා මෙය අමුම අමු මමත්වය බව. තමන්ට ඕන විදිහට ඉන්න ඕනේ කියා කියන්නේ කවුද? මමත්වය, සිහිබුද්ධිය නැතිකම. තමන්ට ඕන විදිහට ඉන්න ඕනෑ කම තිබුනාට එසේ ඉන්න පුලුවන්ද කාටවත්?, එහෙම හිටියොත් තමන්ට වෙන්නේ යහපතක්ද අයහපතක්ද?. මමත්වය මේ කිසිවක් හොයන්නෙ බලන්නෙ නැතිව ඔහේ හිතනවා. මමත්වයට සිහිබුද්ධිය නෑ, ඒ ගැන දන්නෙත් නෑ, සිහිබුද්ධියෙන් වැඩ කරලත් නෑ. මේ දෙන්න එකට අත්වැල් බැඳ ගන්නෙත් නෑ. සිහිබුද්ධිය යම් පමණකට ක්‍රියාත්මකද ඒ පමණට මමත්වය අඩුයි. මමත්වය යම් පමණකට ක්‍රියාත්මකද ඒ පමණට සිහිබුද්ධියට ඉඩ අඩුයි. ඉතින් මේ ඉවුර පරිපූර්ණ මමත්වයේ ඉවුර, එහා ඉවුර පරිපූර්ණ සිහිබුද්ධියෙන් ඉවුර. මේ දෙක අතර පාලමකුයි මේ හදන්න යන්නේ. ඒ සිහි කල්පනාවත් සමග සාකච්ඡාවට පෙර භාවනානුයෝගී වෙමු.
භාවනාව
භාවනා කරන මොහොතේ භාවනාව කොහොමද වෙන්න ඕන මොනවද දෙන්න ඕන කොයි පමණට ද වෙන්න ඕන මේ සියල්ල ගැන අදහස් බලාපොරොත්තු ඇතිවෙනවා. ඒ ගැන සාවධාන වෙන්න.
මම දන්න භාවනාව, මට පුරුදු භාවනාව, මම කරන භාවනාව, මම විශ්වාස කරන භාවනාව, මට හරියන භාවනාව. බලන්න සියලුම අදහස් පැන නගින මූලය මම.
සාමාන්‍ය සිහියට පෙනෙන්නේ අදහස් පමණයි. සිහිබුද්ධියට පෙනෙනවා අදහස් උනන උල්පත, මම.
දකින්න උත්සාහ කරන්න, වටහා ගන්න, වෑයම් කරන්න, මම භාවනා කරන්නෙ මට ඉන්න ඕන නිසා. මට පවතින්න ඕන නිසා.
මම මට පවතින්නට, සදහටම පවතින්නට, හැකිවන භාවනාවක් තමා හොයන්නේ, කරන්නේ හදාගන්නෙ.
මට ඕන මට පුරුදු, මම දන්නා, මම කැමති, මම කරන, මට හොද, මේ විශේෂත්වයන්ගෙන් ඈත්වෙන්න පුලුවන්ද?අවම වශයෙන් මේ සියල්ලම උනන්නේ මම නැමැති උල්පතකින් කියා දකින්න පුලුවන්ද, මම නැමැති උල්පතකින් පිම්බෙන පෙනපිඩු, දියබුබුළු, සබන්බෝල.
සිහිබුද්ධියේ බැල්ම වැටෙන විට ඒ පෙනපිඩු, දියබුබුළු පුපුරා යනහැටි, සමහරවිට අත්දකින්නට ඉඩ තිබෙනවා. මොහොතකට දෙකකට කිසිම මමත්වයේ අදහස් සංකල්ප උනන්නේ නැති සිත අත්දකින්න.
සාකච්ඡාව
ප්‍ර : කිසියම් කෙනෙක් ධර්මතා උගන්වනකොට නැත්නම් දේශනයක් පවත්වන කොට අපගේ පෞද්ගලික අත්දැකීම් නොදැනුවත්වම එකතු වෙනවා. අන්තිමට ඒ ධර්මතාවයන් මා නැවත තේරුම් ගන්නේ මගේ කොටසක් එකතු කරගෙන. ඒවගේම මගේ තියෙන හැඟීම් ආවේගත් එකතුවෙනවා. අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ අර නියම ධර්මතාවය නොවේ, ඊට වෙනස් නැත්නම් පරස්පර ධර්මතාවයක්, මම හිතන ධර්මතාවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද මෙයින් ඉවත් වෙන්නේ?
පි : ඔබතුමා ඇණේ ගහන්න ඕන තැනටම තමා ඇණේ ගැහුවෙ. මේ තමා එකම ප්‍රශ්නය, සංසාරය පිළිබඳව. ඔය ප්‍රශ්නය තේරුම් බේරුම් කර ගැනීමට නොහැකි වීම නිසා තමා අප මේ හිරගෙදර ඉන්නේ. ඇහෙන වචන අප අර්ථකථනය කරනවා, එසේ අර්ථකථන කරන්න අවශ්‍යයිනේ, මොකද ඇහෙන්නේ ශබ්දයක්, කනට ඇහෙන ශබ්ද අතර සමහර ශබ්ද වලට අර්ථ දී වචන හදාගන්නවා, ඉන්පසු ඒ වචන වලට තේරුම් හදනවා. මේ පරිවර්තන දෙක සිදුවුනාට පසුවයි ඇහෙන්නේ, කනට ඇසීම නොවෙයි, ඇහුනා කියන්නේ ඒ පරිවර්තන දෙක වුණාට පසුවයි. පරිවර්තන දෙකක් සිදු වනවිට මොනතරම් අර්ථය වෙනස් වෙන්න පුලුවන්ද? පලමු භාෂාවෙන් දෙවන භාෂාවකට, එයින් තුන්වන භාෂාවකට පරිවර්තනය වනවිටදී පළමු භාෂාවේ අර්ථය වෙනස් වෙනවා. පරිවර්තනය නැවත තුන්වන භාෂාවෙන් පළවන භාෂාවට ආපසු පරිවර්තනය කළ බැලුවොත්, අර්ථය අහසට පොළොව වගේ වෙනස් වී තිබෙන බව හොඳට පැහැදිලි වෙනවා. මේ බාධාවට තවත් බාධා එනවා. ඔබතුමා කිව් ආකාරයට අපේ අත්දැකීම්, පුරුදු, දැනුම, අතීතය සහ මේ වෙලාවේ අප ඉන්න මානසික ස්වභාවය. මේ බාධා හැම එකකින්ම බේරී 100% ක පණිවිඩයක් ගන්න බෑ. එහෙමනම් නිශ්ශබ්දතාවයෙන් තමා ගන්න වෙන්නේ, නිශ්ශබ්දතාවයෙන් පණිවිඩය ගන්න පුළුවන් නම් 100% ක් නිවැරදිව ලැබනවා. ඒ භාෂාව අප තවම දන්නේ නෑනේ. භාෂාවකින් පණිවිඩයක් ගන්නා විට සියයට කොටසකුයි එන්නේ. ඒ එන බාග පණිවිඩය ක්‍රියාත්මක කරන්නේත් සියයට ගානක්. අන්තිමට කරන්න කියන දෙයින් ඉතා කුඩා ප්‍රමාණයකුයි අප කරන්නේ. උපදෙස් දෙන ගුරුවරයා දන්නවා 100%ක් කරන්නේ නැති බව, 100%ක් කරන්න බැරි බවත් දන්නවා. හැබැයි 100%ක් කියනවා. එහෙම කිව්වොත් පමණයි සියයට එකක්වත් කරන්නේ. මේ කාරණය දන්න ගුරුවරයා ඒ සීමා දැනගෙනයි පණිවිඩයක් දෙන්නෙ. ඒ නිසා මෙය ව්‍යාකූලව වෙන තත්ත්වයක් නොවෙයි.
අනිත් පැත්තෙන් අපට තියෙනවා වගකීමක් ඔබතුමා කියූ ඒ ආවරණ හැකි පමණ නිරාවරණය කිරීම ඒවට මුවාවෙලා අහන්නෙ නැතිව. පුළුවන් තරම් තමන්ගේ දැනුම තමන්ගේ රුචි අරුචිකම්, තමන් පිළිගත් නොපිලිගත් දේවල්, මේවා පෙරහන්කඩවල් ලෙස ගෙනත් පෙරන්නේ නැතිව හැකි පමණ පණිවිඩයට විවෘත වෙන්න ඕනේ. මෙහෙම පෙරහන් ගණනාවක් තියෙනවා, ‘මම’ මට ඉන්න, ‘මම’ මට පරිස්සම් කරන්න, ‘මම’ මා වටා එලා ගන්න දැල් ගොඩක් තියෙනවා. මේවට තමා දිට්ඨි කියන්නෙ( බ්‍රහ්මජාල), ‘මම’ එච්චරම බයයි. ඕනෑම දෙයක් මා කරා පැමිණෙනත්, බාර ගන්නෙත්, ඒ දැල් වලින් පෙරලයි. නමුත් දහමේ තිබෙන සුවිශේෂී ලක්ෂණය තමා මේ ඕනම දැලක් අතරින් රිංගලා යන්න පුළුවන් කම. දහමට යන්න පුළුවන් ඕනම තැනකට. යන්න බැරි තැනුත් තිබෙනවා ඇති, අපායට, තිරිසන් ලෝකය වැනි තැන්වලට. නමුත් මනුෂ්‍ය ලෝකය ගත්තොත් නම් ඕනම තැනකට යන්න පුළුවන්, කොච්චර දැල් ගැහුවත්, නමුතු පෙරිලා තමා එන්නේ. ඒ නිසා අහන ශ්‍රාවකයෝ විදිහට අප කරන්න ඕන දෙයක් තියෙනවා, පුළුවන් තරම් පේන්නට තිබෙන දැල් ටික අයින් කරගන්න, නොපෙනෙන දැල් තිබෙනවා, ඒවා ගැන අප දන්නෙ නෑනෙ. පුළුවන් තරම් වර්තමානයේ ඉඳගෙන අහන්න. අහන්න අතීතය ඕනේ. අතීතයේ ජීවත්වීම වෙනුවට, අතීතයේ ඇසූ කියූ දේවල් මෙතනට ගෙනල්ලා මනින්නෙ නැතුව, හැකි පමණ වර්තමානයේ සිටීම මගින් පණිවිඩයෙන් වැඩිපුර ප්‍රතිශතයක් උරා ගන්න උදව් වෙනවා.
දෙවෙනි කාරණය තමා විනිශ්චය නොකර සිටීම හරිද වැරදිද එකඟද නැද්ද. ඒවට මේ මොහොත නාස්ති කරන්නේ නැතුව, ඒවා පසුව පුළුවන්, මේ මොහොතේ සමස්ත පණිවිඩය ඇතුළට ගැනීම. හරිනම් ගන්නවා වැරදි නම් ගන්නේ නෑ, හරි වැරදි කතාව පස්සේ වෙනම විමසන්න පුළුවන්, මේ වෙලාවේ තියෙන්නේ අහන්න. අහන වෙලාවේ ඇසීම පමණක් කරන්න.
තුන්වන කාරණය ආවේග. පණිවිඩයට විවෘත වෙන්න සන්සුන් මනසක් අවශ්‍යයි. මනස සන්සුන් වන පමණට හොඳට ඇහෙනවා. ඇහෙන දේ ඒ පමණටම තේරුම් ගන්නත් පුළුවන්. එනිසා ආවේගශීලී නොවන මනසක් යම් පමණකට හෝ අවශ්‍යයි, 100% ආවේග නැති කරන්න බැරි නිසා ඇතිකරගන්න කියනවා හිතකර චිත්තවේග. එකක් තමා ශ්‍රද්ධාව, ශ්‍රද්ධාව කියන්නේ හැඟීමක්නේ, ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය නොවේ, විවෘත වීමට, සම්පූර්ණයෙන් විවෘත වීමට. ‘සද්ධා බීජං’ කියලනේ කියන්නේ. බීජයක් මහ පොළොවට වැටෙන විට මහපොළොව පිළිගන්නවානේ, මහපොළොව තෝරන්නේ නෑ බේරන්නේ නෑ, ප්‍රතික්ෂේප කරන්නේත් නෑ, තමන්ගේ කොටසක් බවට පත් කර ගන්නවා, තමා තුළ වැඩෙන්නට ඉඩ දෙනවා. අන්න ඒ විවෘත භාවයෙන් පිළිගැනීම සහිත හිතකින් අහන්න. එතකොට අර අනිත් ආවේග වලින් එන බාධාව බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්.
ඊළඟ කාරණය තමා ආවර්ජනය. ඇසූ පසුව කළයුතු පළමුම කාර්යය නම් ආවර්ජනය, මොකද මමත්වයේ ස්වභාවය තමා අමතකකිරීම. කළ දේවල් මතක තියාගන්නෙ නෑ. මමත්වයට අමතක කරන්න බැරි කොටසක් තියෙනවා. මමත්වයට අත ගහන්න බැරි තැනකත් මේ ‘මම’ කියන කෙනා කරන හැම ක්‍රියාවක්ම වාර්තා වෙනවා. ඒ අපෞද්ගලික මතකයට මමත්වයට බලපෑමක් කරන්න බෑ, පුලුවන්නම් මමත්වය ඒවත් මකා දමයි, හැබැයි මමත්වයට බෑ ඒ මතකයට ගිහින් අකා මකා වෙනස් කරන්න., මොකද එය ධර්මතාවයක්. ධර්මතා වෙනස් කරන්න මමත්වයට බෑ, හැබැයි එයාගෙ අණසක තිබෙන ප්‍රදේශයේ අණසක තියෙන දේවල් එයා අමතක කරනවා. ඒ අමතක කරන්නේ ඊළඟ කාර්යය කරන්න තිබෙන හදිස්සිය, එක්වර වැඩ ගොඩක් කරන්න හදිස්සි නිසා පහසුවෙන්න අමතක කර දානවා.හොඳම දේ තමා මැනවින් අසා, ඇසූ පසුව ආවර්ජනය.කිරීම, මොනවද ඇහුවෙ මොනවද මතක තියෙන්නේ මොනවද තේරුනේ. මෙසේ ආවර්ජනය කළවිට පරස්පරයක් තියෙනවා නම් අහුවෙනවා. අන්න ඒ පරස්පර අපට විචාරන්න, විමසන්න පුළුවන්, සාකච්ඡාව ඉන්පසුව. ඒ විදිහට මෙය වැඩපිළිවෙළක්, පින්කමක් නෙමේ, බණ ඇහුවොත් පින් ලැබෙනවා, හැබැයි එතෙරවීමට පාරුවක් හැදීම සඳහා යෝජනා ක්‍රමයක් විදිහට ගත්තොත් නම් මෙතන කලයුතු වැඩපිළිවෙළක් තියෙනවා. අප අහන සියල්ලම මතක නොතිබුණා කියා ගැටලුවකුත් නෑ, එහෙම ගැටලුවක් වෙන්නෙ විභාගයකටයි. මෙතනදී සමස්තයෙන් ගතයුතු පණිවිඩය මිරිකල මිරිකල ගන්න පුලුවන්නම් ඒ ඇති. පැය එකහමාරම මිරිකලා එක විනාඩියක යුෂයක් ගත්ත නම් ඒ ඇති.
ප්‍ර : අපි බුදුන් වහන්සේ වන්දනා කරනවා වගේම ශ්‍රද්ධාවෙන් ධර්මයත් වන්දනා කරනවා. මේ විදිහට අපි ධර්මතාවය වන්දනා කරන අවස්ථා තියනවා නේද?.
පි : ඔව් අපි ධර්මය වන්දනා කරනවා එහෙම කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි එහෙම කළාට දහමට වඳින බව ගරු කරන බව දහම දන්නවාද ? ඒ එකක්වත් දහම දන්නෙ නෑ. ඉතින් අපි දහමත් එක්ක කළයුතු ගනුදෙනුවේදි වන්දනා කළා කියා විශේෂ වරප්‍රසාදයක් ලැබෙන්නේ නෑ. අනිත් පැත්තෙන් වඳින්නේ මොකකටද? බුදුන් වහන්සේ, මහා සංඝරත්නය වඳින්න සුදුසුයි, බුදුන් වහන්සේ තමයි වැදිය යුත්තන් අතර ශශ්‍රේෂ්ඨතම කෙනා, නමුත් දහමේ ගුණ කියන විට කියන්නේ නැහැ එය වදින්ට සුදුසුයි කියා, ඒ ගුණ වෙනස්. මේය අප තේරුම් ගත යුතු කාරණාවක්. සම්ප්‍රදායේ කාරණා තියෙනවා ඒවා නරක නෑ හොඳයි. සිහිබුද්ධියට පෙනෙන කාරණා වෙනස්. බෙහෙත් වට්ටෝරුවකට වැන්දොත් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ වගේ දෙයක් තමා මෙතන තියෙන්නේ.
ප්‍ර : ධර්මතාවලට අනුකූලව ජීවත්වීමට සේඛ බල වර්ධනය කළ ගත්තොත් පහසුයි නේද?
පි : ධර්මානුකූලව ජීවත් වෙන්න, නිකන් හිතුවට බෑ, ජීවත්වීමත් ධර්මතාවයක් තමා. ධර්මතා වලට අනුව තමා ජීවත් වෙන්න වෙන්නෙ. අප මුලින්ම කිව්වනේ ශ්‍රද්ධාව තිබුණොත් බණ අහන්න පහසු බව. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය නොවෙයි, සම්පූර්ණයෙන්ම විවෘත වීමයි. මේ ධර්මතා හරහා තමා මේ ගමන සම්පූර්ණයෙන්ම යන්න වෙන්නේ, හිතුවට බෑ, මමත්වය කියයි තමන්ට පුළුවන් කියා. හිත එකඟ කරගන්න පුළුවන් කියා හිතුවට හිත එකඟ කරගන්න බෑනේ, ධර්මතා වල උදව් ඕනේ, සිහියේ හා වීරියේ උදව් අවශ්‍යයි, මේවා ධර්මතා. අවශ්‍ය ධර්මතා මොනවාද කියා තේරුම් අරගෙන ඒ ධර්මතා වල උදව් ගත්තොත් පමණයි ප්‍රතිපලයක් ලැබෙන්නේ.
හිතවතුනි අද පණිවිඩයේ සාරය නැවත මතක් කළොත්, මමත්වයෙන් මතුවන අදහස් මමත්වයෙන් මතුවන අදහස් විදිහට අඳුනගන්න. අදහසක් ආවහම බලන්න මේ අදහස ආවේ කොහෙන්ද කියලා. හරිද වැරදිද හොඳයිද නරකයිද කියන එක සාමාන්‍ය ජීවිතයේදී වැදගත් වෙන වෙනම කාරණාවක්, නමුත් මේ ආධ්‍යාත්මික ගමනේදී අවශ්‍ය වෙන්නේ කොහෙන්ද අවේ කියා සෙවීම, මතුවුණේ කොතනින්ද?. එහෙම බලන විට බොහෝ විට පෙනෙන්නේ ‘මම’ කියන කෙනා, ‘මම’, කොහෙන් ආවත් කමක් නෑ හඳුනාගන්න, ‘මම’, ‘මගේ’ අදහස, ‘මම’ දන්න විදිය,’ මට’ හරි විදිහ, ‘මම’ අසා තියෙන විදිය, කියවා තියෙන විදිහ,තේරුම් ගත් ආකාරය. අපට පුළුවන් නම් මේ ගැන විමසිලිමත් වෙන්න, සැලකිලිමත් වෙන්න, වැඩි අවධානයක් යොමු කරන්න, එයින් සිහිබුද්ධියත් වැඩිවෙයි, තමන් පිළිබඳවත්, ‘මම’ පිලිබඳවත් නොදුටු පැත්තක් දකින්නටත් අවස්ථාවක් සැලසෙයි. ඒ චේතනාවෙන් අප සදහම් සැඳෑවට නැවතුම් තිත තබා මේ අම්බලමෙන් නික්ම යමු දිනයකදී තවත් අම්බලමකින් හමුවෙනතුරු.