සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 08
2021 නොවැම්බර් 24, සාරාංශය
එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සියල්ල අතර පැයකට එකහමාරකට සදහම් සැදෑව සුහද ආධ්‍යාත්මික අම්බලමට ගොඩවී ආගිය තොරතුරු කතාබස් කිරීමට ගිමන් නිවන්නට හා ඉතිරිව ඇති ගමනේ කිසියම් කොටසක් අවසාන කරන්නට අවශ්‍ය ශක්තිය දැක්ම ඇති කරගන්නට මේ කල්‍යාණ මිත්‍රයන් කරන කැප කිරීමට කරන උපහාර තිළිණයකුයි මේ සදහම් සැඳෑව. මෙම වැඩසටහන සෘජුවම මේ ගමනට එළිය කරන අපට හැකි පමණින් මඟ ගැන අනාවරණය කරන්න උත්සාහ කරන වැඩසටහනක්. එක තැන ලොප් වෙන්නෙ නැතිව ආපස්සට යන්නෙත් නැතුව, අඩියෙන් අඩිය, සතියෙන් සතිය පෙරට යෑම අපේ වගකීමක්. ලිස්සලා යන්න බෑ, ලිස්සලා යන්නේ පල්ලමකට ප්‍රපාතයකට සමහරවිට ගොඩ එන්නට බැරි තරම් පල්ලමකට. මේ සදහම් මගේ ලිස්සිම් නෑ ඔහේ ලිස්ස ලිස්සා යන්න බෑ, ඒ නිසා හැම අඩියක්ම, හැම පියවරක්ම දැනගෙන විර්යෙන්ම තැබිය යුතුයි. එහෙම නැත්නම් එක තැන ඉන්න වෙනවා. එක තැන සිටීමෙන් වෙන්නේ නොදැනුවත්වම පස්සට තල්ලුවීමක්, ලිස්සලා යනවා ආපස්සට. මේ කරගත් ටික ඇති, සෙස්සන් සමග සසදා බලනවිට, පවුලේ අය සමාජය, රට හා ලෝකය දෙස බලනවිට, තමන් බොහොම ඉදිරියෙන් ඉන්නෙ, මේ ලබාගත් දියුණුව හොඳටම ඇති කියා නැවතුනොත් අපහසුවෙන් පැමිණි තැන වත් ඉන්න ලැබෙන්නෙ නෑ, මහන්සියෙන් කන්දේ මෙපමණ කොටසක් තරණය කළාද එතන ඉන්න ලැබෙන්නෙ නෑ. ආපසු යනවා මුලටම හෝ යම් තැනකට ආපසු වැටෙනවා, ඒ තමා න්‍යාය. මුළු කන්දම එක පිම්මට එක හුස්මට නගින්න බැරි වුවත් අවම වශයෙන් ආපහු නොවැටෙන තැනකටවත් එන්න පුළුවන්නම් අන්න ස්ථාවරයි, ස්ථාවර කෙනෙකු කියන්න පුළුවන්.
කරණීය සූත්‍රය මෛත්‍රිය කිරීමේ පහසුව සඳහා පුද්ගලයන් වර්ග කරනවනේ. එක යුගලයක් තමා තසාවා - ථාවරාවා හා හෙලවෙන සිදුවීම් නිසා වැටෙන ත්‍රස්ත වෙන ඇදගෙන වැටෙන ලිස්සල වැටෙන හා ස්ථාවර නොවැටෙන ආපහු වැටෙන්නේ නැති ලිස්සා යන්නේ නැති . එබදු දැක්මක් අවශ්‍යයි මේ ගමනට.
අපට ඉහළින් තියෙන දේවල් වලට අප ගරු කරනවානේ. ඉතින් ගරු කරන්න කෙනෙක් ඉන්නව නම් අපට වඩා උඩින් තමයි අසුන්ගන්වන්නේ. මේ සම්ප්‍රදාය අනිත් පැත්තට කැරකිලා, අපට වඩා වැඩියෙන් යමකුට යමක් තිබෙනවාද, එය වැඳිය යුතු දෙයක්, ගරු බුහුමන් කළ යුතු දෙයක්, පිදිය යුතු දෙයක් කියන හැඟීම ඇති කරනවා මේ තමා ස්වභාවය. කාට හෝ ගරු කිරීම සඳහා ඉහළ තැනක් දෙනවා, උස් ස්ථානයක් දි අප මිටි තැනකයි ඉන්නේ. දැන් මෙම මානසික ආකල්පය අනිත් පැත්තට කැරකිලා කෙනෙකු හෝ යමකු අපට වඩා ඉහළින් සිටිනවා නම් එයට ගරු කරන්න පෙලඹෙනවා. නොවැටෙන තැනක අපට වඩා ඉහළින් සිටින විට නිතැතින්ම හිස නැමෙනවා, හිසනමා ආචාර කරනවා, දණනමා ආචාර කරනවා වන්දනාමාන කරනවා. අපට වඩා ඉහළ ගතිගුණවලින්, ඉහල ආධ්‍යාත්මික තලයක ඉන්න මනුෂ්‍යයෙකුට හෝ වෙනස් ජීවියෙකුට වැන්දට ගරු බුහුමන් කළාට පූජා පැවැත්තුවාට කමක් නෑ. අප එසේ කළ යුතුයි.
එනමුත් මෙතන එහෙම කෙනෙක් නෙමේනේ ඉන්නේ, ස්වභාවයක්. ස්වභාවයකට වදින්න ඕනද?.නොවැටෙන කෙනෙක් ඉන්නවනම් එකම සිදුවීමකදී අප වැටෙන විට අනිත් කෙනා නොවැටී ඉන්නවනම් අන්න වැන්දට කමක් නෑ, එය ප්‍රාතිහාර්යක්නේ, අන්න වැඳිය යුතු ගරුබුහුමන් දැක්විය යුතු කෙනෙක්. හැබැයි ස්වභාවයක් නම් කුමටද වන්දනා හා.කුමටද නමස්කාර?. භෞතික දෙයක් තියෙනව නම් ඒත් වැන්දත් කමක් නෑ. සංකේත වලටත් අප වඳිනවා ගරු කරනවානේ, ජාතික කොඩියට ආගමික සංකේත වලට. මෙය එබඳු දෙයකුත් නෙමේනේ හුදු ස්වභාවයක්. නොකිපෙන බව අපි සරලව ගනිමු, එහෙම නැත්නම් මුළානොවන බව, එහෙමත් නැත්නම් ආකර්ෂණය නොවන ස්වභාවය.
කාන්දම් තියෙනවා නමුත් අප ඒවට ඇදිලා යන්නේ නෑ. කෙනෙකුට හිතන්න පුළුවන් ඇදීයන්නේ ලෝකයේ තිබෙන මේ කාන්දම් ගතිය නිසා. ඉතින් එබඳු කාන්දම් ගතියක් චුම්බක ගතියක් තිබෙනවානම් ඒ වෙතට අප ඇදීයාම වළක්වන්න බෑ. නෑ, එසේ හිතුවොත් මුළුලෝකෙම චුම්භකත්වය උදාසීන කරන්න වෙනවා, එබඳු ලෝකයක් හදන්න වෙනවා ආකර්ෂණය නොවී ඉන්න. කාටද පුළුවන්?. නෑ, මෙතන තිබෙනවා හේතුවක් ආකර්ශනය වෙන, අන්න ඒ හේතුව හඳුනාගෙන නිෂ්ක්‍රීය කළොත් මොන තරම් කාන්දම් බලයක් තිබුණත් ගානක්වත් නෑ, කිසිම කාන්දම් බලයකට බෑ එහෙම හිතක් ඇද බැද ගන්න. උදාහරණයකට ගත්තොත් එබඳු මොන දේකටවත් ආකර්ෂණය නොවන, මොනම දේකටවත් කිපෙන්නේ නැති මොනම දේකටවත් වැටෙන්නේ නැති, අපට වඩා ඉහලින් තියෙන ස්වභාවයක් එබඳු මානසික මට්ටමක් පිළිබඳ අනුමානයක් ඇති වන විට, ඒ අනුමානයට වඳින්ට ඕනද? පූජා පවත්වන්න ඕනද? නමස්කාර කරන්න අවශ්‍ය ද?
ඒ නිසානේ වැඳිය යුතු පුද්ගලයන් ගැන දහමේ කියනවනේ අංජලිකරණීයෝ කියලා අෂ්ඨ ආර්ය මහා සංඝරත්නය ගැන. ඇගිලි බැඳ නමස්කාර කරන්න සුදුසුයි කියා. දැන් සඟ ගුණවල එක ගුණයක් තමයි දුර සිට වුණත් ඇවිත් වදින්ට පුදන්ට සුදුසුයි, දුර සිට ඇවිත් ඇඟිලි බැඳ වදින්ට සුදුසුයි. ඒ වාගේම බුදුගුණ වලත් තියෙනවනේ දෙවි මිනිසුන්ට ශාස්තෘ ගුරුවරයෙක් බව. සියලු පුදපූජා වලට සුදුසු බව. එනමුත් දහම් ගුණවල එහෙම කතාවක් නෑ දහම් ගුණ කියන ස්වාක්ඛාතෝ ගාථාවේ කොහේ හරි තියනවද වඳින්ට සුදුසුයි නමස්කාර කරන්න හිස නමන්න ? නෑ එහෙම කිසි කතාවක් නෑ එය අවශ්‍ය නෑ කරන්නත් බෑ එසේ කළා කියා ලැබෙන ඵලයක් නෑ ධර්මතාවයකට වැන්දාට ලැබුණු ඵලයක් නෑ.
හිතවතුනේ මෙතන කාරණා තුනක් තියෙනවා , පළමු කාරණය තමා ප්‍රශ්න ගැටලු. දෙවැනි කාරණය විසඳුම්. ගැටලුවක් තිබෙනවා නම් විසඳුමක් තියෙන්න ඕනේ. විසඳුම කොහෙන්ද එන්නේ? කොහොමද ඒ විසඳුම ලබාගන්නේ?. අන්න එතනදි තමයි ආගම් මතුවුනේ. ඒ විසඳුම මේ ඉන්න රජයේ නිලධාරීන්ගෙන් පලාතේ ප්‍රධානියෙකුගෙන් හෝ වෙදමහත්තයගෙන් එහෙම නැත්නම් රජතුමාගෙන් ලබාගන්න පුළුවන් නම් ආගම් අවශ්‍ය නෑ. අපේ ගැටළු වලට පිළිතුරු ඒ අය ළඟ තියෙනවා නම් මොකටද ආගම්? එහෙම ලබා ගන්න පිළිවන් විසඳුම් තිබෙනවා බැරි විසඳුමුත් තිබෙනවා. අපි පිළිතුරක් හොයාගෙන සරණක් සොයා ගෙන කෙනෙකු ළඟට යනකොට ඒ තැනැත්තාටත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති කෙනෙකු මුණගැසී තිබේද? ඔබේ ප්‍රශ්නය විසඳාගන්න, පිළිසරණක් හොයාගෙන ඔබට වඩා ඉහලින් ඉන්න ප්‍රධානියෙකු,
හෝ දැනුම බුද්ධිය අත්දැකීම් තියෙන කෙනෙකු ළඟට යනවා. හැබැයි එතුමාට එතුමියට ප්‍රශ්න නැද්ද? එතුමාත් එතුමියත් තව කෙනෙක් ළඟට යනවා. මෙසේ අවසානයේ යන කෙනා හිතමු පෘථිවියටම සක්විති රජ කෙනෙකු කියා, හැබැයි එතුමාටත් ප්‍රශ්න නැද්ද? ඉහල පුද්ගපයන් වෙතට යන්න යන්න අපට තේරෙනවා අපට වඩා ප්‍රශ්න තියෙනවා, අපට වඩා ගැටලු තියෙනවා. මෙසේ අවසානයේ කාටද කියන්නේ? අපට නම් කියන්න අපට උඩින් කෙනෙක් ඉන්නවා හැබැයි අප හැමකෙනාටම වඩා ඉහළින් මේ පොළොවේ ඉන්නවනම් කවුරුහරි තුමාගේ හෝ එතුමියගෙ ප්‍රශ්න කියන්නේ කාටද?
ආගමයි දේශපාලනයයි එකට යන්නේ, කවදත් දේශපාලනයෙන් විසදන්න නොහැකි ප්‍රශ්න ආගමට බාරදෙනවා. මේ විදිහට අපට තියෙන ගැටලුවලින් සමහරක් මේ ලෝකෙ ඉන්න අයගෙන් විසඳ ගන්න පුළුවන්. ඒ වගේම විසඳ ගන්න බැරි කොටසක් තියෙනවා, ඒ සඳහා තමයි ආගම. ආගම කියන්නේන් කුමක්ද?. මේ ප්‍රශ්න දුක් ගැහැට සියල්ලම අපට වඩා ඉහලින් සිටින කෙනෙකු එවන දේවල්, දෙන දේවල්, හේතු දෙකක් නිසා. එකක් අපේ අයහපත් කල්කිරියාවට දෙන දඩුවම්. දෙවන හේතුව තමා අපව පරික්ෂා කරන්න. මොන තරම් භක්තියක් තිබෙනවාද, භක්තිය අතාරිනවද ප්‍රශ්න එන්න එන්න. ‘කිසි වැඩක් නෑ මෙපමණ හොඳින් හිටිය සිල් අරගෙන හිටියා මස්මාංශ කන්නෙ නැතිව හිටියා, හැමදාම ආගම ඇදහුවා, ඒත් මටමයි ප්‍රශ්න, මම වගේ භක්තිවන්තයෙක් නෙමෙයි අරයා හැබැයි එයාට කිසි ප්‍රශ්නයක් නෑ, ඒ මනුස්සයා පන්සල් පල්ලි යන්නෙත් නෑ හොඳට කනවා බොනවා නමුත් අපට වඩා හොඳින් ඉන්නේ මේවා තේරුමක් නෑ’ කියා ආගමික ජීවිතය අතාරිනවද බලන්න, පරික්ෂා කරන්න ප්‍රශ්න ඇති කරනවා කියන මේ කාරණා දෙක කියන්නයි සාමාන්‍යයෙන් ආගමකින් කෙරෙන්නේ.
මේ ගැටළු මොන ගැටලුව වුණත් එක්කෝ අපේ අතීත වරදකට දෙන දඬුවමක් නැත්නම් අප මොනතරම් දුරට ස්ථිර විශ්වාසයකින් ඉන්නවාද නැද්ද යන්න පරික්ෂා කරන්න පවත්වන විභාගයක්. මෙය පරීක්ෂණයක් නම් මේ හැම ගැටළුවකටම මුහුණ දෙන්න ඕන, හැබැයි අපව පරික්ෂා කරන කෙනා පිළිබඳව තිබෙන විශ්වාසය අතාරින්නෙ නැතිව. දඬුවමක් නම් අපට ඒ දඬුවම් දෙන කෙනා පිළිබඳ තියෙන භක්තිය අත්නොහැර දිගින් දිගටම ඉල්ලා හිටින්න වෙනවා විසඳුමක් එවන්න, පිළිතුරක් එවන්න, ගලවාගන්න කියා. හැම ආගමක්ම දෙන නිර්වචන සමානයි ඒ නිසා ආගම් කියනවා මේ ප්‍රශ්න ඇති කරන්නේ මේ හේතු නිසා බව. අවශ්‍ය නම් ප්‍රශ්න නැතිව ඉන්න ඉල්ලා හිටින්න, ප්‍රශ්න නැති ජීවිතයක් ඉල්ලන්න, යදින්න, යාච්ඤා කරන්න. මෙහි ප්‍රතිඵලත් ඇති, ප්‍රතිඵල නැත්නම් අවුරුදු දහස් ගණනක් ආගමකට පවතින්නට බෑනේ. ප්‍රතිඵල තියෙනවා ඉල්ලුවොත් සමහර දේ ලැබෙයි එතැනදී වන්දනාව, නමස්කාරය හා යාච්ඤාව අත්‍යාවශ්‍යයයි.
ආගම් අපට නොකියන කාරණය තමා මෙතන තිබෙන්නේ ධර්මතාවයක්. තරහ එන්නේ ධර්මතාවයක් නිසා. දුක හිතෙන්නෙ ධර්මතාවයක් නිසා, කවුරුත් නෑ ඒ පිටුපස. තිබෙන්නේ ධර්මතාවන් පමණයි. එතකොට තරහ ගැනීමත් ධර්මතාවක්, තරහ නොගෙන සිටීමත් ධර්මතාවක්. මේ හැම සිදුවීමක්ම පිටුපස තිබෙන්නේ ධර්මතා. ධර්මතා නම් ඇත්ත ආගමක් අවශ්‍ය නෑ, ආගම්.අවලංගු කාසි බවට පත්වෙනවා.
ධර්මතාවයකට වඳින්න ඕනද ධර්මතාවයකට පූජා පවත්වන්න ඕනද පැවැත්වුවා කියලා ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?. ඒ ධර්මතා දන්නවද අප වන්දනා කරනව බව? පූජා පවත්වනවා කියා?. උදාහරණයක් විදිහට වතුර පහලට ගලාගෙන යන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියලා කියනවා. මෙය ධර්මතාවයක්, ගුරුත්වාකර්ෂණය ධර්මතාවයක්. මේ ධර්මතාවයට වඳින්න ඕනද? ගරු කරන්න පූජාවන් පවත්වන්න ඕනෙද? එසේ කළා කියලා ගුරුත්වාකර්ෂණය වෙනස් වෙනවද? ගුරුත්වාකර්ෂණය සතුටු වෙනවද? ගුරුත්වාකර්ෂණයට දැනෙනවද අප කිසියම් භාෂාවකින් ප්‍රශංසා කරන බව නැත්නම් ඉල්ලා සිටිනවා කියා ආපසු වතුර උඩට යවන්න? එය නිෂ්ඵලයි. ප්‍රතිඵලයක් ලැබෙන ධර්මතාවය හොයාගන්න. ජලය ඉහළ සිට පහළට යන ධර්මතාවයක් තියෙනවා, වගේම මුහුදේ වතුර අහසට යන්නෙත් ධර්මතාවයක් නිසානේ. කවුරුවත් උඩට අදින නිසා නෙමෙයි. එයත් ධර්මතාවයක්, වාෂ්ප වූවිට ජලය ඉහලට යනවා. තවත් ධර්මතා තියෙනවා එකම නියායක් නෙමෙයි තව තව ක්‍රම තිබෙනවා. පහල තියෙන ජලය ඉහලට ගන්න ක්‍රමයක් හොයාගන්න. වැඳ වැඳ හිටියා කියා එන්නෙ නෑ.
මෙන්න මේ හේතුවයි ඵලයයි, ඵලයයි හේතුවයි අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධය සබැඳියාව සොයා ගැනීමට තමා සිහිබුද්ධිය අවශ්‍ය. සිහිබුද්ධිය ඕන වෙන්නේ ඒසඳහා. සිහිබුද්ධිය තිබෙනවාද නැද්ද කියා දැන ගන්න පිළිවන් ප්‍රයෝගිකම නිදර්ශනය මෙයයි. කිසියම් දෙයක් සිදුවන විට ඇයි මෙහෙම වෙන්නේ, ඇයි මටම මෙහෙම වෙන්නේ කියා නෙමෙයි, ප්‍රශ්නයත් සමග ආපස්සට, සිද්ධියේ පිටිපස්සට, සිදුවීමේ පිටිපස්සට ගිහින් ධර්මතා අඳුනාගන්න. පෙනෙන සිදුවීමයි නොපෙනෙන ධර්මතා අතර සම්බන්ධය අනාවරණය කර ගැනීමයි සිහිබුද්ධියේ කාර්යය. ඵලයත් සමග හැප්පීම නෙමෙයි. ඵලයන් නිසා අක්‍රීය වීමත් නෙමෙයි. පලයක් ඉදිරියේ, සිදුවීමක් ඉදිරියේ නිෂ්ක්‍රීය තත්ත්වයට පත්වෙලා අනේ අපොයි කියා ගැනීමෙන් පෙන්නේ ඒ හැම අවස්ථාවකම සිහිබුද්ධිය නැතිවෙන බවයි. සිහිබුද්ධිය ඇති වුනොත් හේතුව කුමක්ද කියා කාගෙන්වත් අහන්නේ නෑ, සිදුවීමෙන් තමයි අහන්නේ. මේ සිදුවීම හරහා එය දෙබෑ කරගෙන ඒ තිරය සිදුරු කරගෙන පිටිපසට යනවා විනිවිද යනවා. භාවනාව කියන්නේ මෙයටයි. මෙතන විශ්වාසයට ලොකු ඉඩක් නෑ. පුංචි විශ්වාසයක් තිබුණාවේ. නමුත් විශ්වාසයට වඩා සිහිබුද්ධියට තමා වැඩි අවස්ථා වැඩි ඉඩ දිය යුත්තේ. මෙය වැටහිය යුතු කාරණයක්. ප්‍රශ්නයක් වූ අවස්ථාවක් බැලුවොත් සිහිබුද්ධියේ අඩුවක් නිසයි අනාගත හ .අවුල්කරගත් බව වැටහෙනවාද? හොඳට තිබුණ දේ අවුල් කරගත්තේ අවුල්ව තිබුණ දෙයක් වියවුලක් කරගත්තේ සිහිබුද්ධියෙ අඩුවක් නිසා බව. අන්න ඒ හේතුව දකින්න. හැබැයි ‘සිහිබුද්ධිය’ කියන වචනය නොවෙයි.
සිදුවීමත් සමග බලන්න. ඒ බලන බලන හැම අවස්ථාවකම පෙනෙනවා නම් සිහිබුද්ධියෙන් හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ , මෙහෙම නොවෙන්න තිබුණා. ඒ වගේම සිහිබුද්ධියෙන් හිටිය අවස්ථාවල එහෙම වුණේ නෑ. එහෙම නම් සිහිබුද්ධියට ගාථාවක් හදාගෙන වැන්දොත් හරියයිද? මල් පූජා කළොත් සිහිබුද්ධිය වැඩියෙන් එයිද? ‘ආ මෙයා මට වඳිනවා මට ගරුකරනවා මට පූජා පවත්වනවා, එනිසා මගේ වැඩිපුර ඇල්ම බැල්ම මේ මනුස්සයාට දෙන්න ඕන’ කියා? නැහැ. මොකද එය ධර්මතාවක්. සිහිබුද්ධිය කියන්නේ ධර්මතාවයක්. ඒ ධර්මතාවය පාවිච්චි කරන්න, භාවිතා කරන්න, භාවිතය හැර ධර්මතාවලින් සරණක් ලබා ගන්න වෙන ක්‍රමයක් නෑ. ධර්මතාවයකින් ප්‍රයෝජනයක් ගන්න මන්තරයක් නෑ. මේ භාවනාව හිතවතුනී අපව ගෙනියනවා හැම ගැටලුවක් සමගම මේ සිහිබුද්ධිය ළඟට. සිහිබුද්ධියේ අඩුවක් නිසයි ගැටළුවක් හදාගත්තේ, වවාගත්තේ. ගැටළු හදනවා කියා නොවෙයි සැපක් හදාගන්නවා කියලා, නමුත් හැදිලා තියෙන්නේ ගැටලුවක්. අන්න මුල්ම සිහිබුද්ධිය. ඒ නිසා සිහිබුද්ධිය පිළිබඳ භාවනා කළ යුතුයි. සිහිබුද්ධියත් ඕනේ භාවනාවට හැබැයි සිහිබුද්ධිය ගැනත් භාවනා කරන්න පුළුවන් හා කළ යුතුයි. ඒ චේතනාවෙන් උත්සාහයක් අරගෙන බලමු කොහොමද සිහිබුද්ධිදිය ගැන භාවනා කරන්නෙ කියල.
භාවනාව
මේ සුහද ආධ්‍යාත්මික අම්බලමේ සිට භාවනා කරමු පහුගිය අම්බලමේ සිට මේ අම්බලමට පැමිණෙන ගමනේදී ගෙවුණු සතියේ සිදුවුනු සිදුවීම්, විශේෂයෙන් ප්‍රශනයක් ගැටලුවක් අර්බුදයක් කියන සිදුවීම් වලට. ප්‍රශ්නයක් හිතුනු දැනුණු අවස්ථාව හොඳින් දිගහැරලා බලන්න.
කවර හේතුවක් නිසා ද එතනදී වින්දේ?. විදීමක් කලා නම් මොන හේතුවද, අසහනයක් දුකක් පීඩාවක් වින්දා නම් එසේ වින්දේ මොන හේතුව නිසාද?
සිදුවීම හරියට තේරුම් නොගැනීම වටහා නොගැනීම, කියූ දෙය හරියට අවබෝධ කර නොගැනීම, කිවයුතු දේ නොකියයුතු දේ හරියට තේරුම් බේරුම් කර ගන්නට බැරිවීම, හදිසිවීම, බලාපොරොත්තු විය නොහැකිදේ බලාපොරොත්තු වීම, මේ නිදර්ශන කීපයක්. බලන්න වින්දේ මොන හේතුවක් නිසාද? සිදුවීමක් ප්‍රශ්නයක් කර ගත්තේ කවුද?
එසේ එබඳු අර්බුදයක් බවට පත් කරගත් සිදුවීමක් ගැන භාවනා කළා වගේම, අර්බුදයක් බවට පත් කළ නොගත් සිදුවීමක්, සමහරවිට ඊටත් වඩා ප්‍රබල සිදුවීමක්, ගෙවුණු සතියේ මතක් කරගන්න පුලුවන්ද? එබඳු සිදුවීමක් පිළිබඳව මතකය හාරා බලන්න. එය දුකක් නොවුණේ ඇයි? එතැනදි වින්දේ නැත්තේ මොන හේතුව නිසාද?
සාකච්ඡාව
ප්‍ර : අපි මෙහෙම භාවනා කරගෙන යනකොට එදිනෙදා ජීවිතයේ තියෙන රාජකාරි කටයුතු වලට තියන වීරිය අඩු වෙන ගතියක් තියෙනවා. එතනදී කොහොමද අපි වීරිය වැඩි කරගන්නේ?
පි : එහෙම වෙන්න පුළුවනි, භාවනා කරන්නේ වෙනස් වෙන්න නේ. දෙවිදිහකට වෙනස් වෙන්න පුළුවන්. භාවනාව කරන්න පටන් ගත්තාම කරන්න බැරිව තිබුණු වැඩක් හොඳට කරන්න පුළුවන් වෙනවා, බෑ කියා අපහසුයි කියලා හිතන් හිතපු දේවල් පහසු වෙනවා, පුළුවන් වෙනවා. කල්දැමූ වැඩ කරන්න වෙලාවක් ලැබෙනවා. දෙවෙනි වෙනස තමා ටිකක් මන්දගාමී වීම. ඉතින් මෙතන තේරුම් ගන්න තියෙන්නෙ අපේ වේගය භාවනාව වෙනස් කරනවා. ඇවිදින්නට ඕන වෙලාවට ඇවිදින්නට, දුවන්නට ඕන වෙලාවට දුවන්නට, නවතින්නට ඕන වෙලාවට නවතින්නට. මේ විදිහට මේ සියල්ල තීරණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා, ඒ ඒ තැනේ හැටියට පොදුවේ කියන්න බෑ. නමුත් මේ හැකියාව එකපාරටම සීයට සීයක් ලැබෙන්නෙ නෑ. වේගය වෙනස් වෙනවා, බොහෝවිට අඩු වෙනවා. හැබැයි මේ තත්ත්වය දිගටම තියෙන්නේ නැ. ඒ පිළිබඳ දැනුවත් වෙලා තියෙනවා, ඒ දැනුවත් වීම හොඳයි, දැනුවත් වීම නිසා අපට ඕන වේගයකට ගන්න පුළුවන්. මීට වඩා වේගවත් වෙන්න ඕන අවස්ථාවල වේගවත් වෙන්න පුළුවන්. වේගය තීරණ ගැනීමේ හා තීරණ ක්‍රියාත්මක කිරීමේ වේගය විදිහට, හැබැයි ආවේගයක් නැ. ආවේගයක් නැතිව තීරණ ගන්න පුළුවන් ක්ෂණයෙන් හරි වඩාත් නිවැරදි තීරණ, ඒ තීරණ ක්‍රියාත්මක කරන්නත් පිළිවන් හිත හිතා ඉන්නේ නැතිව. ඉතින් මෙතන බලන්න මොන වැඩ වලදීද වැඩියෙන් ප්‍රමාද වන්නේ? හැම වැඩකදීම ද නැත්නම් තෝරාගත් කාර්යයන් වලදීද මේ ප්‍රමාදයන් වෙන්නේ? අන්න ඒ කාරණයත් හොයාගන්න. හොයාගෙන මේ වේගය කළමනාකරණය කරගැනීමට තීරණයක් ගන්න පුළුවන්. එහෙම නැතිනම් කෙනෙකුට යටි හිතෙන් හරි හිතෙනවා නම් කොපමණ කළත් වැඩක් නෑ අන්තිමට ඉතිරිවෙන දෙයක් නෑනේ වගේ නිස්සාරත්වය කලකිරීම නිසා හිතෙනවා නම් අනවශ්‍යයි කියල එහෙම වෙන්නත් පුළුවන්. ඒ කාරණයත් සොයා ගන්න. ඔය කරන වැඩ වලින් එවෙලෙට ලැබෙන ප්‍රයෝජන ටිකක් හැර අවසාන වශයෙන් කිසි දෙයක් ඉතිරි වෙන්නේ නෑනේ. ඕනම දෙයක් එහෙම තමා, මේ සාකච්ඡාව උනත් එහෙමයි. එතැනදී එහි ප්‍රයෝජනය දකින්න. අපි කරන හැම වැඩකදීම විශේෂයෙන් ලෞකිකයි කියන රැකියාවක් එක්ක තියෙන කාර්යභාරයෙන් ලැබෙන ප්‍රයෝජනය බලන්න. අඩුම ගානේ ජීවත්වෙන්න ඊගාවට දරු පවුලක් ජීවත් කරවන්නට ප්‍රතිලාභ ලැබෙනවානේ. ඉතින් එහෙමනම් අපෙන් වෙන්න ඕන වගකීමක් තිබෙනවා. බලන්න ඒ වගකීම මගහැරෙනවාද මගහැරෙනවා කියන්නේ ණය වෙනවානේ. ගන්න දේට අපි ණය වෙනවනේ. ඒ නිසා ණය නොවෙන කෙනෙක් වෙන්න. අන්න ඒ හැඟීමත් හිතට ඇති කරගෙන බලන්න කොතැනදීද මේ ප්‍රමාදය වෙන්නේ?. කරන්න ඕන දේ හොයා බලන තැනදීද, කළ යුතු දේ කුමක් ද කියා තීරණය කරන තැනදීද, තීරණය ක්‍රියාත්මක කරන තැනදිද?.මේ අවස්ථා තුනෙන් කොතනදීද මේ ප්‍රමාදය වෙන්නේ?. බලා අදුරගෙන අන්න එතැනදී කාර්යක්ෂම වෙන්න තීරණයකට එන්න. වීරිය කරන්න. එහෙම තීරණයක් ගත්තොත් ඒ තීරණය ක්‍රියාත්මක කරන්න වීරිය කළොත් ආතතියකින් තොරව ප්‍රමාදය මගහරවා ගන්න පුළුවන්.
ප්‍ර : මගෙ හිත හැම වෙලේම මොකක් හරි කරන්න තමයි බලන්නේ, අලුත් දෙයක් බලන්න කියවන්න අලුත් අලුත් ඇඳුම් අඳින්න... එයා නිකන් ඉන්න කැමතිම නෑ. සිහිනෙන් මේ දිහා බලනකොට මට තේරෙනවා මම එකම විදිහට තමා හිතන්නේ, එකම පාටවල් කෑම වර්ග වලට තමයි කැමතියි. හැබැයි සිහිබුද්ධියෙන් බලනකොට හොයාගෙන යනකොට මේවා කොහෙන් ආවද කවුද මේවා දුන්නෙ කියලා ඒ පිළිබඳ ගැටළුවක් එනවා. තවත් විදිහකින් කියනවනම් මම එකම තැන කැරකෙනවා කියලා දැනෙනවා. එකම pattern එකක තමයි ඉන්නේ. සිහිබුද්ධිය මතක් කරලා දෙනවා ඔය එකම pattern එකේ ඉන්න අවශ්‍ය නැ, එයින් ගැලවෙන්න පුළුවන්. වෙන විදිහට හිතන්න පුලුවන් කියන එක. මම මෙහෙම කිව්වොත් හරිද?
පි : ඔව් ‘මම’ කියා කියන්නේ pattern එකකට. patterns නැත්නම් ‘මම’ කියන්න බෑනෙ. මොනවටද මම කියන්නේ?. අනිත් අයට වඩා වෙනස් හින්දානේ. ඒ වෙනස් වෙන්නේ මේ patterns වල වෙනස්කම්, විලාසිතාවේ වෙනස, අඳින වීදිහේ කතා කරන විදිහේ කැමති දේවල් අකමැති දේවල් කැමති දෙයක්, අකමැති දෙයක් සිදුවන විට ප්‍රතික්‍රියා දක්වන විලාසිතා. මේවා අනන්‍යයි. අනන්‍යයයි කියන්නේ මගේ විදිහ තව කෙනෙක්ගේ විදිහට වඩා වෙනස්. මේ වෙනසටයි ‘මම’ කියන්නේ.’ මම’ කියන කාරණය ඉස්මතු වෙන්නේ ඔය විලාසිතාවෙන් තමයි. මේ හැම විලාසිතාවම එකනම්, ඒ කියන්නේ හැම විලාසිතාවක්ම එක නම් ඒ කියන්නේ එකම විලාසිතාවට නම් හැමෝම වැඩ කරන්නේ හිතන්නේ කන්නේ බොන්නේ එහෙම නම් මමෙක් හොයාගන්න බෑ, මොකක්ද වෙනස?. එහෙම නම් වෙනස අඩුයි. වෙනසක් නෑ. එහෙම ලෝකත් ඇති, වෙනස්කම් අඩු ලෝක ඇති. හැබැයි මේ ලෝකෙ නම් විවිධත්වයක් තියෙනවා, නානත්ත කාය නානාත්ත සංඤ්ඤා ලොකු විවිධත්වයක් තියෙනවා.
ඒ කාරණය ඔබතුමා අනාවරණය කරගැනීම හරි වටිනවා. ‘මම’ කියා කියන්නේ මෙන්න මේ කාරණාවලට. වෙනත් කාරණාතු තිබෙන්න පිළිවන් අප තවම හඳුනා නොගත්ත, කැමති පාටක් තියෙනවා හොයාගෙන යන පරිසරයක් තියෙනවා, කැමති කෑම වර්ග තියෙනවා, හොඳයි කියන මිනිස්සු ඉන්නවා. මේවා මෙහෙම වුණේ කොහොමද බලන්න කෑම වර්ගයකට කැමති වුනේ කොහොමද? එක කෑම වර්ගයක් අරන් බලන්න. ඒ කෑමත් එක්ක යන්න අතීතයට. අතීතයට යන්න එතකොට ඒ ආහාරය ගත්ත පලවෙනි දවස මතක් කර ගන්න පුලුවන්නම් වඩාත් හොඳයි. එහෙම බලනකොට මතුවෙන කාරණා කිහිපයක්ම තිබෙනවා. හැබැයි ඒවා ගැන කතා කරනවාට වඩා හොඳයි තම තමන්ම පර්යේෂණය කර මතු කරනැනීම. එකම හේතුවක් නෙවෙයි හේතු ගණනාවක් නිසයි ‘මම’ මේ විදිහට අද ඉන්නෙ, එකම හේතුවක් නිසා නෙමෙයි ‘මම මම’ විදිහට අද ඉන්නේ, හේතු නිසා, හේතුවක් නැතුවත් නොවෙයි. මේ නිසා තමා ‘මම’ කියන කාරණයක් සංස්කාරයක් විදියට දහම කියන්නේ, ‘මම’ කියන්නේ සංස්කාරයක් සකස් වුණු සකස් වෙන දෙයක්. මේ කාරණය අනාවරණය වූවිට මට වෙනස් වෙන්න පුළුවන්. ‘මම’ කියන්නේ හැදුනු දෙයක් පමණක් නොවෙයි හැදෙන දෙයකුත්, මේ වෙලාවේත් සංස්කරණයක් වෙනවා, සංඛතයක් පමණක් නොවෙයි සංඛාරයක්, මේ වෙලාවෙත් හැදෙනවා. අන්න ඒ නිසා කොහොමද හැදෙන්නේ ඕන කියලා තීරණයක් ගත්තෙත් ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන්. දෙවි කෙනෙක් වෙන්න ඕන නම් දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, බ්‍රහමයෙක් වෙන්න ඕන නම් බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන් මේ ජීවිතයේදීම, මැරුණට පස්සේ එහෙම වෙන්නේ මේ ජීවිතයේ එහෙම හිටියොත්නේ. මේ ජීවිතේ පුළුවන් එහෙම වෙන්න. ඒ පාර හොයාගෙන මෙන්න මෙහෙම හිටියොත් පුළුවන් කියලා අන්න ඒ පාරේ යන්න, ගියොත් එහෙම වෙනවා. ඉතින් එහෙම පාරවල් ඕන තරම් තියෙනවා. හැබැයි එහෙම වෙනස් වෙන්න බැහැ කියා එකම විලාසිතාවකටම කටයුතු කරාම ඉතින් ඒ විදිහටම හංවඩු ගැහෙනවා. නමුත් තව රටා තිබෙනව බව දැක්කොත් අන්න වෙනස් වෙන්න පුළුවන්. වෙනස් පාරක ගියොත් වෙනස් කෙනෙක්. ඉතින් පුළුවන් වෙනස් වෙන්න අවශ්‍ය නම් පුළුවන්. හැමදේම වෙනස් කරන්න ඕනෙත් නෑ. අකමැති පාටට කැමති වෙන්න පුළුවන්, හොඳටම පුළුවන්. පේන්න බෑ කියපු දෙයක් නොදැක ඉන්න බැරි තරමට කැමැති වෙන්න පුළුවන්, ඒ වගේම නොදැක ඉන්න බෑ කියලා ආසාවෙන් හිටිය දෙයක් නොදකිං කියන තැනකට එන්නත් පුළුවන්,එහෙම වෙනවානේ, හිතලා නෙවෙයි. සිතා මතාත් එහෙම පුළුවන් කරගන්න ඕනෑම දෙයක්, වෙනස් කරගන්න පුළුවන්. හැමදේම වෙනස් කරන්න ඕනේ නෑ වෙනස් කරගන්න හිතෙන විදිහ, හිතන විදිහ වෙනස් කරගන්න. කැමති පාටක් අඳින්න හැබැයි ඒ පාටම ඒ විදිහටම නෑ කියලා දුක් වෙන චින්තනයක් තියෙනවනේ, ඒ චින්තනය වෙනස් කරගන්න.
මෙන්න මේ ගානට ලුණු ඕන මිරිස් ඕන පැණි ඕන කියන චින්තනයක් තියෙනවනේ ඒ ගානට නොලැබුණොත් නෑ ප්‍රශ්නයක් නෑ කියා චින්තනය වෙනස් කරගන්න. මිරිස් ලුණු නෙමෙයි වෙනස් කරගන්න ඕන ඒ විදිහට නැති වුනත් කමක් නෑ, රස වෙනස් වෙන්න පුළුවන් රස කියන්නේ එකක් දුක කියන්නේ තව දෙයක්. මේ දෙක අතර අනිවාර්‍ය සම්බන්ධයක් නෑ. සම්බන්ධ නැති දෙකක් මෝඩකම හින්දා එකට ගැට ගහගන්නවා. ගැටගැහුවාම එකක් වෙනස් වෙනකොට අනිත් දේත් වෙනස් වෙනවා. දෙන්නෙක් එකට ගැට ගැහුවාම එක්කෙනෙක් වැටෙනකොට අනිත් කෙනා වැටෙනවා, එක්කෙනෙක් හිතනවා එයා හින්දයි මම වැටුණේ අනිත් කෙනා හිතනවා මෙයා නිසයි මම වැටුණේ, නෑ ගැටගහපු නිසයි වැටුණේ. ඉතින් ගැට ගහන්න ඕනේ නැති දේවල් එකට ගැට ගැහුවම ප්‍රශ්න එනවා. රස එකක් දුක තව එකක්.
ප්‍ර : සතියෙන් නොසිටීම නිසා වැරදි තීරණ ගන්නවා. සමහර අවස්ථාවලදී සතියෙන් සිටියත් අවශ්‍ය දත්තයන් නොදැකීම නිසා වැරදි තීරණ ගන්න පුළුවන් නේද?
පි: අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. එතනදි තීරණයකට එන්න හදිසි වුනා වෙන්නත් පුළුවන් තීරණයක් ගන්න අවශ්‍ය සියලුම තොරතුරු වලට ඇහුම්කම් දෙන්න හොයාගන්න යන්නෙ නැතිව එකකින් දෙකකින් නැවතීලා මේ තමයි සියලුම දත්ත කියා හදිසි වෙලා තීරණයක් ගත්තා වෙන්න පුළුවන්. ඒ තමයි සිහිබුද්ධියේ අඩුව. සිහිය තිබ්බොත් ලැබුණු තොරතුරු ටික දන්නවා. හැබැයි තීරණයක් ඕනේනේ, ඉතින් මේ තමයි සියලුම තොරතුරු මින් එහා තොරතුරක් ඕනෙ නෑ කීම වැරදි තීරණයක්. ඒ වැරදි තීරණය නිසාමයි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්නේ. මේ කාරණයත් හොයා ගත්තා නම්, සිහිය පමණක් මදි කියා, සිහිබුද්ධියත් ඕන. සිහියෙන් කරන්නේ ලැබෙන තොරතුරු හඳුනා ගන්නවා වර්තමානය හඳුනාගන්නවා. වර්තමානය කියන්නේ තොරතුරුනේ, වෙන වර්තමානයක් නෑනේ. වර්තමානය හඳුනාගැනීම තමයි සිහියෙන් කරන්නේ. ඒ හඳුනාගන්න වර්තමානයට රැවටෙන්නේ නැතිව සිටීම තමයි සිහිබුද්ධිය. වර්තමානයට රැවටෙන්න එපා. ඒ වාර්තමානය මදිනම්, මදි නම් කියන්නේ වර්තමානයේ අපට ලැබුණු තොරතුරු ටික මදි නම් තීරණයකට එන්න, එහෙම නම් තීරණයකට ඒම කල්දාන්න තව තොරතුරු හොයාගන්න. තීරණයක් ගන්නම වෙනවා නම් තාවකාලික තීරණයක් ගන්න වඩාත් නිවැරදි වඩාත් වැඩි තොරතුරු ලැබෙන කොට වෙනස් කරන්න පුළුවන් තීරණයකට එන්න. මේ විදිහට අත්හදා බලමින් තමයි මේ ගමන යන්න වෙන්නේ. එකපාරටම පරිපූර්ණ තීරණයක් ගන්න බෑ. එහෙම තීරණයක් ගන්න පුළුවන් නම් එකපාරටම තීරණයක් ගන්න පුළුවන්නේ සංසාරේ ඉවරයි ,මෙතනින් එහා ගමනක් නෑ කියලා. එහෙම ගන්න බෑ ටික ටික තමා මුහුකුරා යන්නේ.
ප්‍ර : යම්කිසි කෙනෙක් අපට අසාධාරණයක් කරන බව හොඳින්ම වැටහෙන වෙලාවක එම පුද්ගලයාගෙන් එම අසාධාරණය නිසා අපට වෙන බලපෑම අඩු කරගන්නට තියන හොඳම ක්‍රමය එම පුද්ගලයාගෙන්ම එම අසාධාරණයට පිළියමක් ඉල්ලා සිටීම බව මෙම භාවනාව කිරීමේදී වැටහුණා. එය සිහිබුද්ධිය ක්‍රියාත්මක වීමක් ද?. එම පුද්ගලයාගෙන්ම පිළියමක් ඉල්ලා සිටීම යනු එම පුද්ගලයා රැවටීමකට ලක් කිරීමක් හෝ අපි කරන කපටි කමක් හෝ කියා සිතෙනවා. එසේ කපටිකම් නොකිරීම නිසා අපි අසාධාරණයට ලක් වෙනවා. නමුත් කපටිකම් කිරීම ජීවිතයට සමීප නැති නිසා අසාධාරණයට ලක් වීම වැඩි වන බවයි හැඟෙන්නේ. මෙවන් අවස්ථාවකදී ගත හැකි පිළියම කුමක්ද ?
පි : දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කළ හැකියි කාටත් ප්‍රයෝජනවත් වන අංශයක් පිළිබඳවයි මේ කල්‍යාණ මිත්‍රයා ප්‍රශ්නයක් විදිහට මතුකරන්නේ. නමුත් ඉතින් කෙටියෙන් සරලව කතා කළොත් අසාධාරණය පැත්තකින් තියන්නකෝ. අසාධාරණය කියන්නේ දරුණු බරපතළ මාතෘකාවක්නේ. එම මාතෘකාව වෙනම දවසක ඉඩක් ලැබුණොත් කතා කරමු මොනවටද අසාධාරණය කියන්නේ ඒවා අසාධාරණයන් වෙන්නෙ කොහොමද කියා. කෙසේ හෝ තව කෙනෙකකු මුල් වෙලා තව කෙනෙකු නිසා අපට හිරිහැරයක් වෙනවා නම් ඒ සඳහා කළ යුතු දේවල් ටිකක් තියෙනවා. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා අපට හිරිහැර කරන්නේ කවුද කියන එක මත වෙනස් වෙනවා. සමහර කෙනකු එක්ක අපට කතා කරන්න පුළුවන්. සමහරවිට එයා දන්නෙ නැති වෙන්න පුළුවන් ඇත්තටම එහෙම අසාධාරණයක් වෙන බව. එහෙම නම් දැනුවත් කරන්න දැනුවත් කළොත් ඒ වෙන අසාධාරණය අඩු කරගන්න නවත්තගන්න පුළුවන්. සමහරවිට ඒ තැනැත්තාගේ ආකල්පයක් තියෙන්න පුළුවන් අපව නිවැරදි කරන්න ඕන ඒ සඳහා අපහසුතා ඇති කරනවා වෙන්නත් පුළුවන්. අප වැරදියි කියලා එයා හිතන් ඉන්නවා ඒ නිසා අපව නිවැරදි කරන්න යම් යම් ප්‍රශ්න ඇති කරනවා වෙන්න පුළුවන්. ඉතින් එතැනදී ඒ කාරණය අප දෙපිරිසම හඳුනාගැනීම වටිනවා, අප එහෙම හිතන්නේ නෑ ඒ තැනැත්තා හිතනවා. ඒ තැනැත්තා හිතන්නේ කොහොමද කියා දැනගැනීම වටිනවා වගේම ඒ තැනැත්තාටත් අපව හඳුන්වාදීමත් වටිනවා. එතනදීත් කතාබහ කිරීම වැදගත්.
තුන්වන අවස්ථාව තමා කෙනෙකු ඉන්න පුළුවන් තව කෙනෙකුට රිදවලා ඉන් සතුටු වෙනවා. එහෙම අවස්ථාවක නම් කතා කරන්න යෑම එපමණ ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. අපට රිදෙන බව තේරෙන්න තේරෙන්න තව තව රිදවන්න තමා බලන්නේ, මොකද ඒ තැනැත්තාගේ සතුට තියෙන්නේ අපේ වේදනාව මත. එය.මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එබඳු මානසික ප්‍රශ්නයක් තියෙනවනම් කෙනකුට එයා ළඟට ගිහිල්ලා එයා නිසා මම ලොකු දුකක් විඳින්නේ කියලා කිව්වොත් ඒ තැනැත්තා හිතනවා තමන් සතුටු වෙන ක්‍රමය හරි ඵලදායි කියා වඩ වඩාත් අපව රිදවන්න පුළුවන්. එමෙන්ම මෙතෙක් කලක් නොරිදවූ අයවත් රිදවන්න පුළුවන්. එබඳු අවස්ථාවල නම් නොරිදුනා වගේ සිටීමයි හොඳ. රිදුනේ නෑ වගේ ඉන්න බලන්න එහෙම අවස්ථාවලදී. එය කපටි කමක් නෙමෙයි ‘කපටිකම’ කියන වචනෙ කිව්වත් කමක් නෑ, හැබැයි මට නම් හිතෙන්නේ නෑ කපටිකමක් කියා. ඇතුලෙන් රිදුනාත් රිදුනේ නෑ වගේ ඉන්න බලන්න සාමාන්‍ය විදිහට ඉන්න බලන්න. එතනදි එයා තව වැඩි කරන්නත් පුළුවන්. එතනදිත් එහෙම හිටියොත් අත්හැරලා දාන්න පුළුවන් මේක හරියන්නේ නෑ කියලා. වෙන කෙනෙක්ව රිදවන එක නවත්වයිද නැද්ද දන්නෙ නෑ, අපව රිදවන එක නවත්තන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට රිදවලා සතුටු වෙනවා නම් කෙනෙක්, අප දන්නවා නම් මේ අසාධාරණය කරන්නේ වෙන සතුටක් ලබන්න දන්නෙ නෑ ඒ නිසාමයි කියා, එහෙමනම් ඉතින් සැබෑ සතුට මොකක්ද කියන එක ඒ කියන්නේ අහිංසකව සතුටු වෙන්නේ කොහොමද කියා වක්‍රානුකූලව හඳුන්වා දෙන්න, ප්‍රශ්නේ කියන්නේ නැතිව. එතනදීත් හිතනව නම් එයත් කපටි කමක් කියා ඒ කපටිකම හොඳයි. ඔයා නිසා ප්‍රශ්නයක් එනවා ඒ ප්‍රශ්නෙ නැති කරන්නයි මම ඔබට හරියට සතුටුවෙන ක්‍රමයක් අඳුන්වලා දෙන්නෙ මේ පොත් දෙන්නෙ මේ සීඩී තැටිය දෙන්නේ, නෑ එහෙම කියන්න එපා හැබැයි ඉතින් ඇහෙන්න පේන්න තියන්න ඒ දේවල් එහෙම තිබ්බම සමහරවිට කෙනෙක් පලවෙනි දවසේ දෙවෙනි දවසේ නැති උනත් ටික දවසකින් හරි අහන්න කියවන්න පටන් ගනී. එහෙම වෙනස් වෙන්න පුළුවන්. මේවට කියන්නේ උපක්‍රම කියලා. හරියටම පුද්ගලයා තේරුම් ගත්තොත් අපට උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එයින් අපටත් ඒ තැනැත්තාටත් තවත් අයටත් යහපතක් වෙනවා. අන්න ඒ කරුණාව සහ සිහිබුද්ධිය මේ දෙකම පාවිච්චි කළොත් සෑහෙන ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපේ මුළු ජීවිත කාලයම මහන්සි වුනොත් කොහොම හරි එක්කෙනෙක්ව දෙන්නෙක්ව වෙනස් කරන්න පුළුවන් වෙයි, සීයක් දෙසීයක් නම් බෑ දාහක් දෙදාහක් කොහොමත් බෑ ලෝකෙ මිනිස්සු මිලියන ගානක් ඉන්නවා නේ ඒ නිසා අසාධාරණය තමයි වැඩි. සර්ව සාධාරණ ලෝකයක් සමාජයක් කියන්නේ ලස්සන හීනයක් හැබෑ නොවන.
ප්‍ර : සිහියේ වර්ධනයත් එක්ක කාර්යයන් ඉක්මනින් කරන්න පුළුවන් ගතියක් එනවා. ඒ වගේ තත්ත්වයක් ආපුහාම අප හිතලම ඒ වේගය අඩු කර ගැනීමක් කරන්න ඕනෙද?
පි : අනවශ්‍ය වේගයක් නම් අඩු කරගන්න. අනවශ්‍ය වේගයක් කියන්නේ කායික මානසික ශක්තිය සම්පත් වැඩියෙන් වැය වෙනවා නාස්තියක්නේ වෙන්නේ, සම්පත් ඉතිරි කර ගන්න පුළුවන් වේගය අඩු කළොත්. බලන්න ඒ වෙලාවෙ කොපමණ වේගයක් ද ඕනේ සහ ඇවිල්ල තියෙන වේගය කොපමණද?. මේ දෙක සමබර කරගන්න, වේගය අඩුනම් වැඩි කරගන්න, අවශ්‍ය වේගයෙන් නම් ඒ වේගයෙන් යන්න. අවශ්‍ය වුණාට වඩා වැඩි වේගයක් නම් අඩු කරගන්න.
ප්‍ර : ධර්මතාවයන් හඳුනා ගන්න කොට අපි සතිසම්පජඤ්ඤය මෙවලමක් විදියට භාවිතා කරනවා. ඒවාගේම යෝනිසෝමනසිකාරයක් පාවිච්චි කරනවා නේද? එතකොට මේ වචන දෙක එකම අදහසක් ද කියවෙන්නේ දහමේ නැත්නම් ප්‍රායෝගික භාවිතාවේදී වෙනස් තලයන් දෙකද භාවිතා වෙන්නේ?
පි : මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. යෝනිසෝමනසිකාරයට සතිසම්පජඤ්ඤය ඕන, හැබැයි සතිසම්පජඤ්ඤයට යෝනිසෝමනසිකාරය නොතිබුණා කියා ගැටළුවක් නෑ. සතිසම්පජඤ්ඤය එන්නේ වර්තමානයට, මේ වෙලාවේ අපි හිතන කියන කරන දේ දැන ගැනීම තමයි සතිසම්පජඤ්ඤය. යෝනිසෝමනසිකාරයෙන් කරන්නේ මෙහෙම වුණේ ඇයි කිය බැලීම, ප්‍රභවය සෙවීම. හිතමු බොහොම සන්සුන්ව ඉන්නවා කියා. එතකොට යෝනිසෝමනසිකාරය ඕන වෙන්නෙ සන්සුන් තාවය ඇතිවුණේ කොහොමද? කොහොමද මම සන්සුන් කෙනෙකු බවට පත් වුණේ? අන්න ඒ ආපස්සට බලන්න වෙනවානේ. ඒ වෙලාවට තමා යෝනිසෝමනසිකාරය. දැන් මම මෙහෙම උත්තරයක් දෙනකොට ඇයි මෙහෙම කියන්නේ එතකොට මම එහෙමද ඉන්නේ එහෙම නොවේ නම් එහෙම නැතිව ඉන්නේ ඇයි? මේවා හොයා ගැනීම තමා යෝනිසෝමනසිකාරය. එතනට සතිසම්පජඤ්ඤය ඕන සතිසම්පජඤ්ඤය නැතිව මනසිකාරයක් තියෙනවා. එය යෝනිසෝ නෙමෙයි අයෝනිසෝ මේ දෙක දෙකක් හැබැයි බොහොම කිට්ටුවෙන් සමීප සම්බන්ධතා තියෙන ආධ්‍යාත්මික ගමනට අත්‍යවශ්‍ය මෙවලව් නම් දෙකක්.