සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 07 


2021 නොවැම්බර් 17, සාරාංශය 


අප සැම දෙනාම වෙන් වෙන්ව, තනි තනිව මේ සසරින් එතෙර වෙන්නට උත්සාහ කරනවා, එය සාමූහික ප්‍රයත්නයක් නෙමේ, තනි තනිව කළ යුතු දෙයක්. සදහම් සැදැවේ අරමුණ වුණේ එසේ වැයම් කරන උඩුගම් බලා පිහිනන්නට වෙර දරන සැමටම සතියට එක වතාවක් සුහදව මුණගැසී, මේ අධ්‍යාත්මික ගමනේ ආ ගිය තොරතුරු කතාබහ කරන්නට පුංචි තොටුපලක් මංසන්ධියක් නැත්නම් අම්බලමක් හදාගන්නට. එකම දිශාවකින් පැමිණෙන එකම තැනකින් පටන්ගෙන එකම තැනකින් ගමන නිමා කරන පියවරින් පියවර අත්වැල් බැඳගෙන ගමන් කරන සමූහයක්ම නොවෙයි. එහෙම යන්න තියෙනවා නම් හොඳයි ඒත් ආධ්‍යාත්මික ගමනක්, භාවනා ගමනක් පමණක් නොවෙයි කිසිම ගමනක් එහෙම යන්න බෑ. අපිට පෙනෙනවා පවුලේ උදවිය යහළු යෙහෙළියන් හිතවතුන් එකට අත්වැල් බැඳගෙන එකට ගමන් කරනවා වගේ. සමහරවිට එක බස් එකේ එකම වාහනේ ඉන්න පුළුවන්, නමුත් එතන දහ දෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනා යන්නේ ගමන් දහයක්. මේ කාරණය අත් දකින්න. අත්දැකීමකට ගේන්න. අප ලොකු මායාවක ඉන්නේ සාමූහික ප්‍රයත්නයන් පිළිබඳව. මනුෂ්‍යයන් පිළිබඳව ගත්තහම සාමූහිකත්වය පිළිබඳ ලොකු හීනයක් දකිනවා. අප ඉපදෙන්නෙත් තනිව නොවේ, දෙමව්පියන්ගේ රැකවරණයෙන්, ඒ අය හරහායි උපදින්නේ, ඉන්පස්සෙ මුළු ජීවිත කාලෙටම කී දෙනෙකුගේ නම් උදව් උපකාර මගපෙන්වීම් දිරිගැන්වීම් අත්වැල් අවශ්‍යද?. 


එනිසාම අප ජීවත් වෙන්නේ සාමූහිකත්වය පිළිබඳ ලොකු රාමුවක. ඒ නිසා හිතෙනවා සාමුහිකත්වය සත්‍යයක් කියා. ඒ සිතිවිල්ල තමා සංසාරය පිළිබඳ විශ්වාසය ඇති කර තිබෙන්නේ, සුරක්ෂිතයි, කරදරයක් අනතුරක් වෙන්නේ නෑ, ආරක්ෂා කරන්න ආදරය කරන්න අය ඉන්නවා කියන විශ්වාසය ඇති කර තියෙන්නේ අර සාමූහිකත්වය පිළිබඳ සිතුවිල්ලයි. මේ සාමූහිකත්වය පිළිබඳ හැඟීම නිසයි විශ්වාසය ඇති වෙන්නේ. නැත්නම් විශ්වාසයක් ඇති වෙන්නේ නෑ. විශ්වාසය නිසයි කෙනෙක් සංසාරේ දිගටම ඉන්නේ. විශ්වාසයකින් තොරව සංසාරයේ යන්නත්, ඉන්නත් බෑ. ඉදන් ඉන්න පුටුව කඩන් වැටෙන්නේ නැති වෙයි, හෙලවෙන්නෙ නැතිවෙයි කියන විශ්වාසය තියෙනවා. ඔළුවට උඩින් තියෙන වහලය ඔලුවට කඩන් වැටෙන්නේ නැති වෙයි කියන විශ්වාසයත් තියෙනවා. මේ සියල්ලක්ම විශ්වාස. ඒවා හරියන අවස්ථාත් වැඩියි. ඒ වගේම විශ්වාසය කඩවෙන අවස්ථාත් වැඩියි. නමුත් එසේ කඩ වුණත් නැවත නැවත විශ්වාසය තබනවා, සිය දෙනෙක් අපේ විශ්වාසය කඩ කලත් එකසිය වෙනි කෙනාව විශ්වාසය කරනවා., මොකද වෙන එල්ලෙන්න අත්තක් නෑ.  ඒ නිසා පිදුරු ගහේ හරි එල්ලෙනවා. එසේ විශ්වාසයෙන් යන ගමනකටයි භව ගමන සංසාර ගමන කියන්නේ. නිවැරදිවම දැක හා හරියටම දැනගෙන ඊළඟට මොකද වෙන්නේ, නොවෙන්නේ මොනවද, මේ කාරණා දෙක සහ සුද්දෙන්ම දැනගෙන නම් කාටවත් ජීවත් වෙන්න බෑ. කවුරුහරි එහෙම එක මොහොතක් හරි ජීවත් වෙලා තියෙනවද? ඊළඟ මොහොතේ වෙන්නෙ කුමක්ද නොවෙන්නෙ මොනවාද කියලා හරියටම දැනගෙන? මෙයා මෙහෙම කරයි නොකරයි කියන විශ්වාසයත් එක්ක අපි ජීවත් වෙනවා. විශ්වාසයයි නිසැකබවයි දෙකක්. මේ අංශ දෙක වෙන් කරගන්න පුලුවන්ද හා වෙන් කරගෙන තිබෙනවාද?


සාමාන්‍යයෙන් හිතන්නේ සැකයට විරුද්ධ පැත්ත තමා විශ්වාසය. ඉතින් විශ්වාසයක් තියෙනවා නම් සැකයක් නෑ, සැකයක් තියෙනවා නම් විශ්වාසයක් නෑ, එහෙමයි හිතන්නේ. හැබැයි මේ දෙකම එකට යන්නේ. අවිශ්වාසයි නම් සැක කරන්නේ නෑ, අවිශ්වාසයි නම් අවිශ්වාසයි. සැකය එන්නේ විශ්වාසයත් සමග, යම් පමණකට විශ්වාසය තිබෙනවා ද එපමණට සැකය මායාවක් විදිහට තියෙනවා. ඉදිරියෙන් විශ්වාසය කියන ආලෝකය වැටෙන විට පිටුපසින් සැකය නැමති හෙවනැල්ල වැටෙනවා. නමුත් මේ ගැන අප දැනුවත් නෑ, අවදිමත් නෑ, මොකද වචන වලට හා.යෙදුම් වලට රැවටී මේවා විරුද්ධ පද විදිහට අරගෙන. මේවා විරුද්ධ පද නොවේ සමගාමී පද.


මේ සැකය නිසයි අපට අනාරක්ෂිත බවක් දැනෙන්නේ. දොර ජනෙල් වසා CCTV කැමරා සවි කර තිබෙනවා නම් අපට දොරගුළු ගැනත් CCTV කැමරා ගැනත් විශ්වාසයි. නමුත් බලන්න අපට සැකයක් නැද්ද කියා, විශ්වාසය නැමති.දොර විවෘත කරන විටම සැකය එයට මුවා වී ඇතුල් වෙනවා, ඇවිත් අර විශ්වාසය අනුභව කරන්න පටන් ගන්නවා. සැකයට ආහාරය තමා විශ්වාසය. ඉතින් ටික කාලයකට පසු විශ්වාසයෙන් භාගයක්ම කාලා. එතැන් පටන් සැක කරන්න පටන් ගන්නවා.


මේ කියන්න හදන්නේ සංසාරයෙහි සෑම දෙයක් පිළිබඳවම තිබෙන්නේ විශ්වාසයක්. විශ්වාසය උඩයි ජීවත් වෙන්නේ, හැම දෙයක්ම දැක දැනගෙන නොවේ. එහෙම කාටද පුළුවන්? කන බොන කෑම වල ගුණ අගුණ පිළිබඳව තියෙන්නේ විශ්වාසයක්, switch එක on කලහම බල්බ් එක පත්තු වෙයි කියා විශ්වාසයක් තියෙන්නෙ, මේ දක්වා අපි සිය වතාවක් මේ switch එක on කළාම පත්තු වුනා, ඒ නිසා ඊළඟ වතාවටත් පත්තු වෙයි කියන විශ්වාසයක් තියනවා. හැබැයි ඊට වෙනස් බොහෝ දේ වෙන්න පුළුවන්, පත්තු නොවී තියෙන්න පුලුවන්, ගිනිගන්න පුපුරන්න පුළුවන්, කොපමණ දේවල් වෙන්න පුළුවන්ද?. එසේ විය හැකි හා නොවිය හැකි දේවල් පිළිබඳව අප හරියටම දන්නෙ නෑ. කරන හැම දේකම ප්‍රතිඵලය පිළිබඳව අප කවුරුත් හරියටම දන්නේ නෑ. අස්වැන්න පිළිබඳ සරල සමීකරණ ටිකක් තියෙනවා. switch එක දැම්මොත් fan එක කැරකෙයි, මීට කලින් එසේ වුණා, එසේ වූ අවස්ථා ගන්න වැඩියි. එය දළ සමීකරණයක්. හොඳ කළොත් හොඳ විපාක ලැබෙයි, නරක කළොත් නරක විපාක ලැබෙයි කියලා, මේ වගේ දළ සමීකරණ ටිකක් තිබෙනවා. මේ සමීකරණ හරියන තැනුත් තියෙනවා වරදින තැනුත් තියෙනවා. බලාපොරොත්තු වෙන දේත් වෙනවා, නොවන දේ වෙනවා. මේ සංසාරේ පිළිබඳ 100% සමීකරණයක් හදන්න බෑ. ඉතින් අපි කියනවා ආසන්න වශයෙන් මෙහෙම වෙයි කියලා.


සාමූහිකව මොනදේ කළත් එතන එක එක්කෙනා වෙන වෙනම තම තමන්ගේ සිතිවිලි ලෝක තුළයි ජීවත් වෙන්නේ. එකට අත්වැල් බැඳගෙන රංචු ගැහී ගමනක් ගියත් තම තමන්ගේ සිතිවිලි ලෝක ඇතුලේ හුදකලා වූ ගමනක යන්නේ. හැබැයි විශ්වාසයක් තියෙනවා එකටයි ආවේ, එකටයි ඉන්නේ, එකටයි යන්නේ. එය විශ්වාසයක් පමණයි, ඒ නිසයි අපට හීනයක් බෙදාගන්න බැරි. දකින හීන ඇතුලේ බොහෝ අය ඉන්න පුළුවන්.  නමුත් අපේ හීන ඇතුලේ ඒ අය ඉන්නවා කියා දන්නේ නෑ දැනගන්න විදිහකුත් නෑ. කිසි කෙනෙක් දන්නේත් නෑ අප ඒ අයව එකතු කරගෙන හීනයක් දකිනවා කියා.  දැන ගන්නත් බෑ කියන්න විදියකුත් නෑ. අපවත් එකතු කරගෙන සමහරවිට ඒ අයත් ඒ වාගේම හීන දකිනවා වෙන්න පුළුවන්. 


කෙනෙකුට හිතෙන්න පුළුවන් හීන වලදී බැරි වුනත් සැබෑ ලෝකයේදී අපට සාමූහිකව කතා කරන්න කන බොන දේ බෙදා ගන්න එකට රසවිඳින්න පුළුවන් කියා. හැබැයි එකට රස විඳීමක් නෑ. රස කියන්නෙ හදාගත් දෙයක්, සංස්කාරයක්. හදාගන්නෙ අනුභව කරන කෙනා මිස උයන කෙනා නෙවෙයි. රස දැනෙන්න වයස, ඒ වෙලාවේ ශරීරයේ උෂ්ණත්වය, ඊට කලින් ඒ කෑම ගැන තියෙන අතීත මතක සහ බලාපොරොත්තු හා ඒ වෙලාවේ මානසික ස්වභාවය බලපානවා. එනිසා රස කියන්නේ සංස්කාරයක්, සංඛතයක්. ඒ අනුව එකම ආහාරය බෙදා ගත්තත් දහදෙනෙක් අත්විඳින්නේ රස දහයක්. ඉතින් කෑම බෙදා ගන්න පුළුවන් රස බෙදා ගන්න බෑ, සුවඳ විලවුන් බෝතලයක් බෙදාගන්න පුළුවන් එහි සුවඳ බෙදාගන්න බෑ.


මේ වාගේම භාවනාවත් සාමූහිකව ඉන්න පුළුවන් හැබැයි සාමූහිකව සිදුනොවන දෙයක්, තම තමන්ගේ සිතුවිලි සංවේදනා සමග අප තනි වෙනවා. ඒ වාගේම අපේ සිහියේ මට්ටම්, අත්දැකීම් මට්ටම්, අවබෝධයේ මට්ටම් වෙනස් වෙනවා. එතකොට භාවනාවත් තනි තනිව කෙරෙන දෙයක්. 


එහෙම තනි තනිව යන ගමනක සදහම් සැදෑව කියන සුන්දර අම්බලමක මොහොතකට අප මුණගැහුනා. එකට වාඩිවී ඉන්නවා, මේ භාවනා ගමනේ ආගිය තොරතුරු කතා කරන්න. එහෙම කතා කරන්න සුහද මිත්‍රශීලී විවෘත අවකාශයක් තමා සදහම් සැදෑව. අප හැමෝම මගියන්, ආගන්තුකයන් මේ සදහම් සැදෑවට. මේ අම්බලම අප කාටවත් අයිති නෑ, අනිත් අතට කියන්න පුළුවන් හැමෝටම එක වගේ අයිතියි කියාත්. අම්බලමක් නිසා කැමති කාලයක් ඉඳලා යන්න පුළුවන් මුත් පදිංචි වෙන්න බැහැ. මෙම සදහම් සැදෑව නැමැති ආධ්‍යාත්මික අම්බලමේ ඉන්න පුංචි හෝරාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්නනම් අවශ්‍යය දේ උකහා ගන්න. අපි අත්දෙක තියන් නිකම් හිටියට ලැබෙන්නේ නෑ. ඒ නිසා හූරලා උදුරල  ගන්න, එහෙම නැත්නම් අපට හිස් අතින් තමා යන්න වෙන්නෙ. දෙන දේ ගන්න නොවෙයි, අවශ්‍යය දේ හූරගන්න කෙනාටයි අවශ්‍ය දේ ලැබෙන්නේ. එබඳු චේතනාවකින් අවධානය යොමු කරමු මේ ගමනටයි, විඩා නිවන මේ මොහොතටයි.


භාවනාව


  • අවසාන සිහිබුද්ධියට හෝරාවක් වැඩසටහනින් පසු මේ ගෙවුණු සතියේ භාවනාව හිරවුණු තැනක් තියනවද?. අපේ භාවනාමය ගමන ලොක්වුණු තැනක්, ජීවිතේ අවහිරවුණු තැනක්, මේ සතියේ අද උදේ වරුවේ ඊයේ හෝ අද හැන්දෑවේ. හිත එකඟ කර ගැනීම ගැන නොවෙයි සිහිබුද්ධියෙන් සිටීම, ජීවත් වීම ගැනයි මේ කතා කරන්නේ. සිහිබුද්ධියෙන් දැකගැනීම ගැනයි. එය බැරිවුණු, ඕන උනත් කරගන්න බැරිවුණු, අපහසු වුණු, ඊට අවහිර වුණු අවස්ථාවක් සිදුවීමක් තැනක් තිබුණද? මතක් වෙනවද?

  • භාවනාව වඩාත් සාර්ථකව කරගන්න තිබුණා මෙන්න මේ දේ තමන්ට තිබුනානම්, මේ ගැන දැනගෙන හිටියනම්, මේ හැකියාව තිබ්බා නම්, එබඳු සොයාගැනීමක් මේ සතියේ, ගෙවුණු සතියේ, කවදා හෝ කොතනකදී හෝ කවර හෝ සිදුවීමකදී සිදු වුණාද?. මට මීට වඩා භාවනා කර ගන්න තිබුණා මෙන්න මේ දැනගෙන හිටියා නම්, මේ හැකියාව තිබ්බා නම්, එහෙම අපි ගිහිල්ලා හිර වූ තැනක්.
  • අනිවාර්යෙන් දැනගතයුතු, ඉගෙනගතයුතු, උපදවාගත යුතු යමක් තිබෙනවාද? එසේ දැනී තියෙනවද? භාවනාවේ අඩුපාඩුවක්?. මේ සදහම් සැන්දෑවේන් උකහා ගන්න ඕන වුණු?
  • මේ අම්බලමෙන් විසිර යන්නට පෙර ගතයුතු යමක් තිබෙනවා නම්, ඊළඟ අම්බලම තෙක් තනිව යන ගමනට අවශ්‍ය වෙන, ඒ දේ කුමක්ද? අවශ්‍ය මොනවද? ඒ පිළිබඳ දන්නවා නම් දැනගන්න පුළුවන් වෙන්නේ තමන්ටම පමණයි.
  • තමන් පිළිබඳ තමන්ගේ ගැඹුරු අවශ්‍යතාවයක් පිළිබඳ අවදිමත්වුණු දැනුවත්වුණු මේ භාවනාවෙන් අප එකතු වෙමු සාකච්ඡාවට සංවාදයට. 

  • හිතවතුනි කියන්න තියෙන දේ කියන්න. 


සාකච්ඡාව


ප්‍ර : සමහර දවස් තියෙනවා කායිකවත් මානසිකවත් කඩා වැටුණු අවස්ථා. ඒ බලාපොරොත්තු කඩවුණු වෙලාවක භාවනා කරන්න වාඩිවූ විට පළමු විනාඩි 40- 45 ශරීර වේදනාව හිතේ විසිරුණු ස්වභාවය අත්දකිනවා. හැබැයි ඊට පස්සේ එක පාරටම එක තත්පරයකින් දෙකකින් අපි සාකච්ඡා කළ, කතා කළ දේවල් සිහියට එනවා, අවබෝධයක් එනවා. එහෙම වෙන්න පුළුවන්ද?.


පි : වෙන්න පුළුවන්, වෙන්න පුළුවන් නිසානෙ එහෙම වුණේ. දැන් අපේ අත්දැකීම තමා එහෙම වුනබව. හැබැයි අපට එය අදහගන්න බෑ එහෙම වෙන්නේ කොහොමද කියා?. අප හිතන් ඉන්නේ වෙනත් විදිහකට, උදාහරණයකින් දක්වන අර කැලතුනු වතුර වීදුරුවක් ක්‍රමානුකූලව තැන්පත් වනවා වගේ හිත තැන්පත් වෙයි කියලා. මේ සිද්ධාන්තය වලංගු වෙන්නේ භෞතික දේවල් වලට. අප දන්න හිත, සංසාරික හිතට හිත මුලදී භෞතිකයි, ඒ නිසා තමා. ටික ටික තරහ අඩුවෙන්නේ, බය අඩුවෙන්නේ. ඒ භෞතික හිත සම්බන්ධයෙන් මේ කාරණය ඇත්ත. හිතේ භෞතික සීමාව ඇතුලේ ඉඳගෙන නම් අපි භාවනා කරන්නේ ඔය කාරණය ඇත්ත. ටික ටික හිත තැන්පත් කර ගන්න ඕනේ, ඒ සඳහා වෙලාවක් හා උපක්‍රමයක් අවශ්‍යයි. පලවෙනි පියවර දෙවැනි පියවර විදිහට. නමුත් සිහිබුද්ධිය හිතේ භෞතික සීමාවෙන් එහාට යනවා. සිහිබුද්ධිය භෞතික හිතේ ගතියක් නොවේ. භෞතික හිතේ චෛතසිකයක් නොවේ සිහිබුද්ධිය, භෞතිකතවයෙන් එහා තියෙන දෙයක්. ඉතින් මෙතනදි ඕන වෙන්නෙත් භෞතිකත්වයෙන් එයා දෙයක්නෙ. සිහිබුද්ධියට කාලයක් නෑ වෙලාවක් නෑ, වෙලාවක් නෑ කියන්නේ සිහිබුද්ධිය එන්න ගතවන නියමිත වෙලාවක් ඕනෑ නැතුවාපමණක් නොවේ. සිහිබුද්ධියෙන් හිත පිවීතුරු වෙන්න නිහඬ වෙන්න අවබෝධය ඇති වෙන්න වෙලාවක් යන්නෙත් නෑ, මේ දෙක එකට වෙන්නේ, අකාලිකයි. 


එහෙනම් මුලදී විනාඩි හතලිහක් විතර ගියේ ඇයි කියන ප්‍රශ්නය එනවා. අනපේක්ෂිත යමක් වූ විටහිත කලබල වෙනවා. එහෙම වෙලාවක හිත තැන්පත් වෙන්නේ නෑ එකග වෙන්නේ නෑ මේ තැන්පත් නැතිකමම අපට පසුතැවිල්ලක් ඇති කරනවා. එතැනදී ප්‍රශ්නේ තවත් වැඩි වෙනවා. ඒ වෙලාවට ‘හා කමක් නෑ හිත එකඟ නොවුනට කමක් නෑ’ කියා, හිත එකග +වියයුතුය කියන අදහස අත්හැර අවධානයෙන්  ඉන්න පුළුවන් නම් හරි. හිතේ කැලඹීමක් සමග ඉන්නවා, එසේ සිටිනා විට එක් වරටම අප කතා කළ දෙයක් මතුවෙනවා නැත්නම් ඇසූ දෙයක් හෝ කියූ දෙයක් දෙයක් මතුවෙනවා. ඒ මතුවීමත් සමගම ප්‍රශ්නය අතුරුදහන් වී යනවා, හරියට මැජික් එකක් වගේ. මේ තමා  ප්‍රාතිහාර්ය. අවබෝධය මතු වන විට අනවබෝධයේ කැලබීම අතුරුදහන් වෙනවා, මේ දෙන්නට එකට ඉන්න බැහැ.


කැලබීම අඩු කරන්න උත්සාහ කිරීම වෙනම කාරණයක්. උත්සාහ කර  වීර්ය කර දන්න උපක්‍රම භාවිතා කර කැළඹීම අඩු කරගන්න හදනවා. එහෙමත් අඩු කරගන්න පුළුවන්. හැබැයි අවබෝධය පැමිණීමත් සමගම අනවබෝධය නිසා ලොකුවට කරේ තියා ගත් දේවල් නිකම්ම හැලී යනවා, එහෙම වෙන්න පුළුවන්. එයට කාලයක් නෑ වෙලාවක් නෑ හැබැයි අපට ඕන තැන, ඕන මොහොතේ, නොවෙයි වෙන්නෙ.


ප්‍ර : එහෙම අනපේක්ෂිත විදිහට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරනකොට සිහිබුද්ධිය මතු වෙන්නේ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට ද?


පි : අප දොර ඇතිබියයුතුයි. දොර ඇරලා තිබ්බොත් ඕන වෙලාවක එයි. හැබැයි අප දොර වහලා තියලා ඇරියොත් ඒ අරින වෙලාවටත් එයි. එතැනදී  හිතෙන්න පුළුවනි අප දොර අරින වෙලාවේ තමයි එන්නේ. එහෙම නෙමෙයි වෙන්නේ, දොර ඇර තියන්න ඕන, දොර ඇර තිබ්බොත් පැමිණිය යුතු වෙලාවේ එයි, හැම වෙලාවෙම අවශ්‍ය නෑ අවශ්‍ය වෙලාවේ එයි. මීට පුහුණුව අවශ්‍යයි. පුහුණුව අවශ්‍ය දොර අරින්න ඉගෙන ගන්න. අවබෝධයට විවෘත වෙන්න පුහුණුව ඕනේ. ගැටලුවක් ප්‍රශ්නයක් වේදනාවක් ආ විට පොරබදනවානේ කොහොමද මේකෙන් ගැලවෙන්න කියා, මනස හිර වෙලා තියෙන්නෙ. මේ තදබදය හින්දා සිතිවිලි වලින් පිරී තියන හින්දා ඇතුලට ඇරෙන දොරට ඇරෙන්න ඉඩක් නෑ ඉඩක් ඕනේ. ඒ පුහුණුව ගන්න, අවශ්‍ය වේලාවට හිතාමතා චේතනාත්මකව අර පොරකන ගතිය අතාරින්න. කොහොමද විසදන්නේ කියන එක හිතන්න. එහෙම හිතලා එක වෙලාවකදි අතෑර දාන්න. අතෑර අහක බලාගෙන නෙවෙයි බලාගෙන ඉන්න. ඒ අත්හැරීම තුළ ඉඩක් එයි. එහෙම ඉඩක් ලැබුනාම දොර ඇරෙයි තමන්ගේ පැත්තට,  අවබෝධය ඇතුල්වෙයි තමන් තුළට.


කියනවානේ මැරෙන වෙලාවයි මැරෙන තැනයි මැරෙන හේතුවයි කියන්න බෑ කියලා. මරණය ගැන එසේ කියන්න පුළුවන් වුණත්, අවබෝධය ඇතිවෙන්නේ කොතනකදී මොන වෙලාවේදී මොන හේතුව නිසාද කියා කලින් කියන්න බෑ. ඕනම තැනක ඕනම වෙලාවක ඕනම සිදුවීමක් හරහා අවබෝධය ඇතිවෙන්න පුළුවන්. අවබෝධයට ඒ සිදුවීම හොඳද, නරකද, පින්ද, පව්ද, කුසල්ද, අකුසල්ද, වැදගත් නෑ. ඒවා වැදගත් වෙන්නේ ලෞකික කාරණා වලදී. ඒ නිසා හොඳටම තරහ වෙලා ඉන්න වෙලාවක උනත් අවබෝධය ඇති වෙන්න පුළුවන්, මෛත්‍රියෙන් ඉන්න වෙලාවකදී සමහර විට එසේ නොවෙන්න පුළුවන්.


ප්‍ර : දහම පිළිබඳ විශ්වාසයක් ඇතිව නේද අපි දහම් කටයුතු කරන්නේ?. එතකොට ඊට සමානුපාතිකව සැකය අඩු වෙනවා නේද?. අත්දැකීම් වැඩිවෙනකොට විශ්වාසය තවත් වැඩි වෙනවා. එතකොට දහම සම්බන්ධයෙන් ගත්තම විශ්වාසය වැඩි වෙද්දී සැකය අඩු වෙනවා නේද?


පි : ඔය විදියට හිතන්න ඕනේ, මේකටනේ හූරගන්න කියා  කිව්වේ. මේ කියන දේට එකඟ වෙලා හරි හරි කියා මේ අම්බලමෙන් ගියොත් නම් අනාතයි, එහෙම යන්න එපා, පුළුවන් තරම් අභියෝග කරන්න තර්ක විතර්ක වාද නොවෙයි, අභියෝග කරන්න, ඒ අභියෝගය හරි වැදගත් සිහිබුද්ධියට. සිහිබුද්ධිය පමණයි  අභියෝග කරන්කන්. සාමාන්‍ය බුද්ධියට පුළුවන් තර්ක කරන්න, වාද කරන්න, හරස් ප්‍රශ්න අහන්න, ඒවා බුද්ධියේ කාර්යයක්.


ඔව් අප අත්දැකීම් ලබන විට.භාවනා දිගටම භාවනා කරනකොට දහම පිළිබඳ විශ්වාසය වැඩි වෙනවා. ඒ විදිහට විශ්වාසය වැඩිවෙනකොට සැකය අඩු වෙනවා කියලනේ හිතෙන්නේ. කොහොමත් සැකය මුලින් තිබුණේ නෑනේ, තිබුනද දහම පිළිබඳ සැකයක් මුලින්ම?. සැකය මතු වෙන්නේ ගමන යන්න පටන් ගත් පසුවයි. අප භාවනාව කරන්න පටන් ගන්නවා, හැබැයි හරි යන්න කල් යනවා, එවිට සැකයක් එනවා උපදේශ හරිද? මට මේ උපදේශ හරිද?, ඔය විදිහට සැකයක් දෙගිඩියාවක් එනවා. කලක් යනකොට ඔන්න භාවනාව හරි යනවා. එතකොට ඒ සැකය නෑ. එහෙම වුණා කියලා භාවනාව ඉවර වෙන්නෙ නෑනෙ, තව යනවා, අනිත් අයගේ අත්දැකීම් ඇහෙනවා, එතකොට සැකයක් එනවා ඇයි මට ඒ අත්දැකීම් නැත්තෙ කියලා. ඉතින් මේ විදිහට විශ්වාසයත් සමගම සැකයත් එනවා. මේ සැකය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අත්දැකීම ලැබිලාම නෙමෙයි, පාර හරියි කියල තේරීලත් නෙවෙයි. තව අපිට යන්න දුර තියනවනම් දැන් පාර හරි කියලා තේරෙන්නේ කොහොමද?, එතන තියෙන්නේ විශ්වාසයක්, එතන සැකයත් තියෙනවා, සැකය නැති වෙන්නේ ගමන ඉවර උනහම කියලා හිතන්න එපා. නෑ, ගමන ඉවර උනාම නෙමෙයි, “මමයි පාරයි එකක් කියලා තේරුණාම. මම තමයි මාර්ගය, මාර්ගය තමයි මම, ගමනත් මමයි”, මෙන්න මේ අවබෝධය ලැබුනහම ආයෙ සැකයක් නෑ ගමන පිළිබඳ මාර්ගය පිළිබඳ මාර්ග සිතියම පිළිබඳ, ආයෙ සැකයක් නැහැ. එතෙක් සැකය තියෙනවා, හැංගිලා හරි තියෙනවා අඩු වෙන්න පුලුවන් නැති වෙන්නේ නෑ. සැකය නැති වෙන්නේ මේ කාරණා තුන එකක් කියලා තේරෙන කොට, තමනුයි පාරයි ගමනයි, මමයි මාර්ගයයි ගමනයි තුනක් නෙමේ එකක්.


ප්‍ර : එදිනෙදා ජීවිතයේදී විදර්ශනාව වැඩීමට කමටහනක් දෙන්න පුලුවන්ද?


පි : අපි නම පාවිච්චි කළේ නැතුවට විදර්ශනාව තමයි අපි මේ කරන්නේ එය තේරෙන්න ඕන. නොතේරෙන්නේ අප නම් වලට රැවටිලා ඉන්න නිසා. සිහිබුද්ධියෙන් ඉන්න පුළුවන් කාරණායි ඉන්න බැරි කාරණයි කියලා ගොඩවල් දෙකක් හදන්න බැරි බව මෙතනදී පැහැදිලි වෙනවා නේ. ඇත්තටම බැලුවොත් එහෙම නෑ ඕනෑම තැනක ඕනෑම වේලාවකදී ඕනෑම සිද්ධියකදී සිහිබුද්ධියෙන් ඉන්න පුළුවන්. ඉතින් විදර්ශණා කරන්න පුළුවන්. විදර්ශනාවට එක කමටහනක් කියා නෑ. විදර්ශනා යෝගියාගේ දක්ෂතාව තමයි ලැබෙන ලැබෙන අත්දැකීම කමටහනක් කරගැනීම. එයට සිහිබුද්ධිය ඕනේ. සිහිබුද්ධිය නැත්නම් ඒ ලැබෙන ලැබෙන අත්දැකීම කමටහනක් වෙන්නේ නෑ, අර ඔලුවට බලෙන් දාගත්ත ‘මේ තමා මගේ කමටහන’ කියලා දෙයක් තියෙනවනේ, එහෙමත් විදර්ශනා කරන්න පුළුවන්. හැබැයි ඒ විදර්ශනාවෙන් මේ විදර්ශනාවට එන්ට ඕනේ. එහෙම එන්න සිහිබුද්ධිය තයා අවශ්‍ය. 


සිහිබුද්ධියට පෙර සකස් කළ කමටහන් නෑ. ඒ වෙලාවේ වෙන දෙයින් කමටහනක් හදාගන්නව. මේ සඳහා දහමේ දීලා තියෙන්නේ පාරුවේ උපමාව නේ, “මේ දහම පාරුවක් කරගන්න එතෙර වෙන්න, කරේ තියන් ඉන්න ඉන්නේ නැතිව”. මොකක්ද මේ කරේ තියන් ඉන්නවා කියන්නේ? ඒ කාරණය වෙනම කතා කරන්නඅවශ්‍යයි . කොහොමහරි පාරුව ගැන කියනකොට,  මජ්ඣිම නිකායේ අලගද්දූපම. සූත්‍රයෙහි;

කවුරුවත් පාරුවක් හදන්න ඉන්නේ නෑ අප එනකන් නගින්න කියලා කියන්න. එහෙම පාරු නෑ, එතන තියෙන ලී කෑලි වලින්, දර කෝටු වලින්, පාරුවක් හදාගන්න කියලා කියන්නේ. මේ තමා ඒ සූත්‍රයේ වැදගත්ම කොටස හැබැයි අමතකම කර තිබෙන්නෙත් මේ කොටස. අප හිතන්නේ ‘පාරුවක් තියෙනවා බුදුන්වහන්සේ එතෙර වුන, සැරියුත් මුගලන් වහන්සේලා එතෙර වුන, ඒ පාරුව අප එනතුරු බලා ඉන්නවා, අප පාරුව ඔලුවේ තියන් ඉන්නවා’. එහෙම පාරුවක් නෑ කොහෙවත්, හැබැයි පාරුවක් හදාගන්න හැටි කියා තියෙනවා. දහම කියන්නේ පාරුව හදාගන්න හැටි. හදාගන්නෙ මොනවයින්ද? එතන තියෙන දේ වලින්. තමන් ඉන්න තැන තියෙන දේවලින්. මේ කියන්නේ එතෙර වෙන්න මේ තියන දේ කමටහනක් කරගන්න. 

බලන්න මේ වෙලාවේ අප ඉන්නේ කොතනද? එතෙර වෙන්න නම් දැනට ඉන්නේ මෙගොඩනෙ. මෙගොඩ කියන්නේ.කුමක්ද හොයාගන්න, මෙගොඩ සමහර විට තරහ නැමැති ඉවුර වෙන්න පුළුවන්, නැත්නම් පශ්චාත්තාපයේ ඉවුවෙියහැකියි. ඒ විදිහට එතෙර වෙන්න නම් මෙගොඩ හඳුනාගන්න. එසේම එතෙර වෙන්න පාරුව හදන්න ඕන. එහෙම හදන්න වෙන්නේ මෙගොඩ තියන දේවල් වලින්නෙ, එගොඩ තියන දේවල් වලින් පාරුවක් හදන්නේ කොහොමද ඉස්සෙල්ලා එගොඩ වෙන්න එපැයි. මෙගොඩ තියෙන දේ වලින් තමයි හදන්න වෙන්නේ. හිතමු දැන් තියෙන්නේ පසුතැවිල්ල කියා, ඒ පසුතැවිල්ලෙන් එගොඩ වෙන්න අවශ්‍ය පාරුව හදාගන්න ඕන දඬු කෑලි තියෙන්නෙ ඒ පසුතැවිල්ල තුළමයි, වෙන කොහේවත් යන්න බෑ, එය ඇතුළෙමයි තියෙන්නෙ ඕන කරන ආම්පන්න, ඒ රහස තියෙන්නෙ පසුතැවිල්ලෙමයි. ඒ නිසා පසුතැවිල්ල විදර්ශනාවට ගන්න වඩාත් සිහිබුද්ධිය ඇති කරගන්න. පසුතැවිල්ල ගැන හොයන්න “මොකක්ද මේ පසුතැවිල්ල? ඇයි පසුතැවිල්ලක් ඇතුළෙ හිර වෙලා ඉන්නේ?. මේ දිය සුළියක් වගේ පසුතැවිල්ලක් ඇතුලේ කැරකි කැරකී ඉන්නේ ඇයි?. නැත්නම් සතුට, ඒ සතුට ඇතුලේ ඇයි කැරකි කැරකි ඉන්නේ?. වේදනාවක් නම් වේදනාව මොකක්ද? ඇයි මේ වේදනා නැමති සුලිය ඇතුලේ කැරකි කැරකි ඉන්නේ?. මේකද ජීවිතේ? මේකෙම කැරකි කැරකී ඉන්නෙ ඇයි?”. බලන්න සිහිබුද්ධියෙන් විමර්ශනයක් කරන්න. විමර්ශනය කරන්න කරන්න ඕන කරන දඬු කෑලි හම්බවෙනවා, හම්බවෙන හම්බවෙන එකෙන් පාරුව හදාගන්න.


ප්‍ර : මමත්වයෙන් කරන ක්‍රියා කියන්නේ උපාදාන වලටද?.


පි : අප කරන කියන හැම ක්‍රියාවකටම විපාකයක් නෑ. විපාක තියෙන ක්‍රියා තියෙනවා විපාක නැති ක්‍රියා තියෙනවා. ඒ වගේම වර්තමානයේ අපි ලබන හැම අත්දැකීමක්ම අතීත ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවේ, සමහර ඒවා වැඩිමනත් දේවල්, අතීත කර්ම, සමහර ඒවා එහෙම නොවෙයි. ඉතින් එහෙම කර්මවාදයක් විපාකවාදයක් තමා සිහිබුද්ධියට පේන්නේ. දහම කියන්නෙත් එහෙමනේ. ඒ නිසා මේ වෙලාවේ අපි කරන හැම දේකටම අනාගතයේ අනිවාර්යයෙන්ම පල විපාක තියෙයි කියලා කියන්න බෑ. එහෙම අනාගතයේ ප්‍රතිඵල දෙන්න තරම් ප්‍රබල නම් වර්තමාන ක්‍රියාව අනාගතයේ ප්‍රතිඵල දෙයි. ප්‍රබල වෙන්න ඕනේ. බල ගන්වන්න ඕනේ, බලගැන්වුවොත් එයි. ඒ විපාකය ගැන සාමාන්‍යයෙන් ගන්න උපමාවනේ භූමරංගය, හයියෙන් ඈතට විසි කළොත් ඈතට ගිහිල්ලා කැරකිලා ආපසු එනවා කියනවානේ. හැබැයි නිකන් එතනම අතහැරියොත් ඒක එතන වැටෙයි. ඒ නිසා ශක්තියකින් විසි කළොත් තමයි එන්නේ. මේ විදිහට අපි කරන කායික මානසික වාචසික ක්‍රියා, ඒවා බල ගන්වලා කරනවා නම් ඒකෙ විපාකයක් තියෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ බලගැන්වීම කියන්නේ මොකක්ද? බලය එන්නේ කොහෙන්ද?, මමත්වයෙන්, උපාදානය කියන්නත් පුළුවන්, උපාදානය එන්නෙත් මමත්වයෙන්. මමයි කරන්නේ, මටයි කරන්න ඕන, මෙහෙම කරහම මෙහෙම වෙන්න ඕන, මේ විදිහට ක්‍රියාව සමග ‘මම’ සම්බන්ධ කරගෙන තියෙනවා,  කරන්න තියෙන ඕනකම එක්ක ‘මම’ සම්බන්ධ කරගෙන තියෙනවා, ඉලක්කය සමග ‘මම’ සම්බන්ධ කරගෙන තියෙනවා, මේ ස්ථාන තුනේම මම ඉන්නවා. මොනවාද?  ඕනකම(චේතනාව) , ඉලක්කය(මේ කරන්නේ කුමක් සඳහාද), ක්‍රියාව(මෙතන ඉඳලා එතෙන්ට යනපිළිවෙල). එමනිසා අනාගත විපාක තියෙනවා. මොකද මේ ලියුම ලියන්නේ ආපසු ලිපිනයක් එක්කනෙ මමත්වයේ මුද්‍රාව එක්කනේ. එතකොට උත්තරයක් එයි එහෙම ආපසු ලිපිනයක් නැත්නම් එතන ක්‍රියාවක් විතරයි නම් තියෙන්නෙ ආපසු එන්න තැනක් නෑනේ යවපු කෙනෙකුත් නෑ යවපු තැනකුත් නැහැ ලියුමක් විතරයි.


ප්‍ර : කොපමණ ප්‍රමාණයකට අපිට සිහිබුද්ධියක් තියෙනවද කියන ප්‍රශ්නෙදි, ගැටලුවෙන් ගැටළුවට සිහිබුද්ධිය වෙනස් නේද?. ඒ තැනට උචිත ආකාරයට සිහිබුද්ධියක් හදාගන්නව, එහෙම කිව්වොත් හරිද?


පි : ඔව් එහෙම තමයි වෙන්නේ, හරියට හුස්ම වගේ. අප නැවතී ඉන්නවිට අවශ්‍ය හුස්ම ප්‍රමාණය හා.කන්දක් නගින කොට කන්දක් බහිනකොට ඕන හුස්ම ප්‍රමාණ එකිනෙකට වෙනස්. ඒ නිසායි මොහොතින් මොහොත කියන්නේ. සිහිබුද්ධිය අවශ්‍ය ප්‍රමාණයටයි එන්නේ වැඩියෙන් එන්නේ නෑ. නමුත්.අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් එන්න පුළුවන්. අඩුවෙන් නම් සිහිබුද්ධිය අඳුරගෙන තියෙන්නෙ, සිහිබුද්ධියෙන් වැඩ ගන්නේ අඩුවෙන් නම්, සිහිබුද්ධියට අප ජීවිතයේ ඉඩ දී තියෙන්නේ අඩුවෙන් නම්, සිහිබුද්ධියත් එන්නේ අඩුවෙන්. ඉඩ දී නැත්නම් සිහිබුද්ධියක් එන්නෙම නෑ. දොර ඇරලා තියෙන ප්‍රමාණයටයි ආලෝකය අභ්‍යන්තරයට ගලා ගෙන එන්නේ.


ප්‍ර : මෙහෙණින් වහන්සේලාගේ ජාතක කතා එහෙම බලනකොට, පටාචාරා තුමියට එහෙම අවබෝධය සිදුවුණේ ගැඹුරු සිද්ධියක් උනහමනේ. එතනට සිහිබුද්ධිය කොහොමද සම්බන්ධ කර ගන්නේ? 


පි : අපි පටාචාරාතුමිය එක්වරම රහත් වුණා කියල කිව්වට එහි එක් එක් මට්ටම් ඇති. ඒ නිසානේ දහමේ කියන්නේ යුගල වශයෙන් හතරයි පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් කියලා. එහෙම එකපාරටම වෙනවා නම් අට දෙනෙක් ඉන්න බෑනේ එක්කෙනයි ඉන්න ඕනේ. ඒ නිසා මෙතන වෙන්නේ අට වතාවකට අඩුම ගානෙ. හැබැයි ඒ පරිණාමයේ දෙකක් අතර කාල පරතරය අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි අවස්ථා අටක්. අවබෝධය ලබන මොහොතට නම් එය අතීතයෙන් නිදහස්. අවබෝධය කිසිම දෙයක් මත රඳා පවතින දෙයක් නෙමෙයි. එනිසා අතීතයෙන් නිදහස්. කොහොමද හිටියේ මොනවද කරේ ඒ එකක්වත් අවබෝධය ලබන මොහොතට අදාළ නෑ. එහෙම අදාල නම් එයසංකතයක් නේ, එහෙම දෙයක් නෙමේ අවබෝධය. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ නිවන සම්පූර්ණයෙන්ම අතීතයෙන් නිදහස් වීමක්, ආයෙ අතීතයට බෑ බලපෑම් කරන්න. කර්මයට බෑනේ බලපෑම් කරන්න, කර්මක්ෂය, අභ්‍යන්තරයේ තියාගෙන හිරවූ දේවල් වලිනුත් නිදහස්, ආශ්‍රවක්ෂය. ඉතින් රහත්වීම කියන්නේ නිදහස් වීමක් විමුක්තියක්, එය කිසිම දෙයක් මත රඳා පවතින දෙයක් නොවේ.


අපි කියනවානේ පටාචාරාට ඒ සිදුවීම වුණේ නැත්නම් එහෙම වෙන එකක් නෑ කියලා. ඒක නෙමෙයි වැදගත්, වැදගත්ම දේ තමයි බුදුන් වහන්සේගේ මුණගැසීම. පටාචාරට සමාන ජීවිත අත්දැකීම් ලැබුණු අය ඕන තරම්  අදත් ඉන්නවා එදත් ඕන තරම් ඉන්න ඇති, නමුත් ඒ අය රහත් වුණේ නෑනේ. මෙහෙම හිතන්න, අංගුලිමාලට වෙන සාස්තෲවරයෙක් මුණගැසුනා නම් නිගණ්ඨනාථපුත්ත වැනි ශාස්තෲවරයෙක්, එතුමාට අනුව අප කළ කර්ම අප විසින් විහින් ගෙවලා ඉවර කරන්න ඕන, නැතුව විමුක්තියක් නෑ. ඒ නිසානේ ඒ අය ශරීරයට දුක් දෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට හම්බ වුනා නම් අනාතයිනේ, අර ඔක්කොම කරුම ගෙවන්න වෙනවා. බුදුන් වහන්සේව හම්බ වුණ නිසයි ඒ විමුක්තිය ලබාගන්න ඒ දොර ඇරලා දුන්නේ, ඒ දොර ඇර ගන්න පුළුවන් වුණේ. එයයි වැදගත්ම කාරණය, කල්‍යාණ මිත්‍ර මුණගැසීම. අතීතය වැදගත් නෑ, ඒවා උදව් වෙන්න ඇති මුණගැසීමට ඒ කියන දේ හරියටම ඇහෙන්න. හැබැයි ඒ මුණගැසීමත් එක්ක ඒ අතීතය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. එතන වර්තමානයයි මුණගැහෙන්නේ, මේ මොහොතයි මුණගැහෙන්නේ. ඒ දොර ඇරෙන්නෙ මේ මොහොතේ. මේ මොහොතේ තමයි දොර ඇරෙන්නේ, ඒ දොර ඇරියට පස්සෙ යි කිසි දෙයක් අදාල නැති වලංගු නැති අවකාශයකට තමයි එන්නේ, පිවිසෙන්නේ. මතකය නැති වෙන්නේ නෑ, ආපහු මතක් කරගන්න පුළුවන්. එනිසා වැදගත්ම දේ තමයි කල්‍යාණ මිත්‍ර හමුවීම. කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න, කවුරුත් කල්‍යාණ මිත්‍රයෝ තමයි, මෙතන පාප මිත්‍රයෝ නැ. හැබැයි හරියටම ඇඟිල්ල තියන්න පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය තැනට. වෙන කාට හරි අංගුලිමාලට උපදේශයක් දෙන්න පුළුවන්, ඒක හොඳයි, එකත් කල්‍යාණ මිත්‍ර උදව්වක්. වැදගත්ම දේ තමයි වෙනම මානයකට ගෙනියන එක, මානයක් කියන්නේ මේ ලෞකික සංසාරික බ්‍රමනයෙන් ඒ කවචනයෙන් එළියට තල්ලු කරන එක. එහෙම කෙනෙක් කොතනින් තල්ලු කළොත්ද හරියටම එලියට විසි වෙන්නෙ කියන එක බුදුන් වහන්සේ කෙනෙක්ම තමයි දන්නේ, ඉන් මෙහා කාටත් අත්හදාබැලීම් තමයි කරන්න වෙන්නේ, හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්.


ප්‍ර : ඔබතුමා කරන මේ පැහැදිලි කිරීම් වලට සවන් දෙද්දී අපිට හිතෙන්නේ දහම් කරුණු ගැන තියෙන අවබෝධය ගොඩක් අඩුයි කියලා.


පි : දහම් කරුණුවල දැනුමේ අඩුවක් නොවේ, ඒ එකක් හරි අපි අවබෝධ කර ගන්න එකයි වැදගත්. එක කාරණයක් අරගෙන ඒකත් එක්ක ජීවත් වෙන්න උත්සාහ ගත්තොත් ඒක අවබෝධ වෙයි. එහෙම නැතුව හුඟක් කාරණා දැන ගන්න ගියොත් නම් අපිට එකක්වත් තේරෙන්නෙ නැති වෙයි. එතනයි ගැටලුව. දහම් කරුණු ගැන අවබෝධයක් නෑ කියන එක අපි දන්නවා මදි කියන එක නොවෙයි, දන්න එකක් අරගෙන ඒකත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට තමා අවබෝධය එන්නේ.


මේ වැඩසටහන ආමන්ත්‍රණය කරන්නේ සිහිබුද්ධියට. විශ්වාස කරන මනසට නොවෙයි, අවිශ්වාස කරන මනසටත් නොවෙයි. ඒ දෙන්නා ඔහේ හිටපුවාවේ. සිහිබුද්ධිය ආමන්ත්‍රණය කරන්නේ විචාරශීලීත්වයට. මේ වැඩසටහන කල්‍යාණමිත්‍රයින්ගේ විචාරශීලීත්වයයි අවදි කරන්න හදන්නේ. විචාරශීලිත්වය පටන් ගන්නේ මේ වැඩසටහනින්. මේ කියන දේ ගැන විචාරශීලී වෙන්න. ඊට පස්සේ ඒ විචාරශීලීත්වය හඳුනා ගත්තට පස්සේ ඒ ආචාරශීලීත්වය ජීවිතය ඇතුළේ පාවිච්චි කරන්න. ජීවත් වෙන්න විචාරශීලී කෙනෙකු විදිහට, විවේචකයෙකු විදිහට නොවෙයි, විචාරශීලී කෙනෙකු. එතකොට දහම අමුතුවෙන් හොයන්න ඕනෙ නෑ, විචාරශීලී ඇහැට දහම තමයි පේන්නේ. යම් පමණට විචාරශීලී වෙන්න පුළුවන්ද ඒ පමණට දහමත් පේන්න පටන් ගන්නවා. දහම පේන්නේ යම් පමණටද ඒ පමණට සිහිබුද්ධියත් වැඩි වෙනවා. ඉතින් මේ දෙක වැඩි වෙන තරමට, ඒපමණට එතෙර වෙන්නත් පුළුවන්, මෙගොඩෙන් එහාට. එගොඩට කිට්ටු වෙන්නත් පුළුවන්. හිතවතුනි සිතිබුද්ධිය සරණ යන්න. සිහිබුද්ධියේ සරණ හැර වෙන සරණක් නෑ.