සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 06

2021 නොවැම්බර් 10, සාරාංශය

බුද දිනක හැන්දෑවේ පටන් ගත් “සදහම් සැන්දෑව - සිහිබුද්ධියට හෝරාවක්” වැඩසටහනින් කිසියම් අර්ථවත් හරවත් ගමනක්සාමූහිකව යන්න පිටත් වුණා. සසර කියන්නෙම සැරසූ දෙයක්, සකස් කළ දෙයක්. එපමණක් නොවෙයි නලවන තැනක්, නැලවිලිගීත ගයන අහන තැනක්. ඇයි සසරට කෘතීම සැරසිල්ලක්? කුමකටද ? සංසාරේ නිරුවත වහගන්න. තමන්ගේ හැබෑව පෙන්නන්න හා එළිදක්වන්න විවෘත කර දකින්න ඉඩදෙන්න සසර කැමති නෑ. තමන්ගෙ ඇත්ත, යථාස්වභාවයතව කෙනෙකු දකිනවාට සංසාරය කැමති නැහැ. මේ නිරුවත වහගන්න සසරට ආයිත්තම් අවශ්‍යයයි. සාමාන්‍යයෙන් වැඩිඉල්ලුමක් තියෙන්නේ සැරසිලි වලට හා නැළවිලි වලට වුනාට අපි මෙතනට එකතු වී සිටින්නේ ජීවිත සනසන්නවත් සරසන්නවත්නොවේ.

ඒ වගේම සසරේ ඉන්න අවශ්‍ය අයත් කැමති නෑ තමන්ගෙ ඇත්ත වෙනත් කෙනෙක් දැනගන්නවට. මෙකරුණින් හොයාගන්න පුළුවන් සංසාරයේ ඉන්න කෙනායි සංසාරෙන් යන්න අවශ්‍ය කෙනයි. ඉන්න ඕන කෙනා හැම විටම ආභරණ විලාසිතා හොයනවා, බාහිරව පමණක් නොවේ මානසිකවත්. තමන්ගේ ඇත්ත, තමාව හෝ නැතිනම් තවත්  කෙනකු දකී කියා. මෙතන තියෙන රසවත්ම සහ අවාසනාවන්තම කාරණය තමා තමන් තමන්ගේ ඇත්ත දැක නොවෙයි තවත් කෙනෙකුට වහංගු කරන්න හදන්නේ. තමනුත් නොදැක්ක තමුනුත් නොදුටු ඇත්තක් තව කෙනෙකු දකී කියා හිතා, ඒ තමන් හිතුවදේ වහගන්න තමා මේ සියලුම රැවටිලි වේශනිරූපන රඟපෑම් ආටෝප සාටෝප කරන්නේ. මේවා සියල්ල සංසාරය කියන සල්පිලේ සුලබ දේවල්, කෙනෙකුට ලොකු වියදමක්නැතිව පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.

ඇයි සංසාරේ තමන්ගේ ඇත්ත සංසාරේ ඉන්න අයට පෙන්නනෙ නැත්තෙ?. විවිධ උත්තර මේ හිතවතුන්ගේ ඔළුවට එන්න පුළුවන්, ඇත්ත පෙන්නුවොත් බය හිතෙයි, කලකිරෙයි, සංවේගයක් ඇති වෙයි, මෙතන ඉන්නේ නැති වෙයි. මේ සියල්ලම ඇත්ත, මොකද සංසාරේ ඉන්න කෙනාට සංසාරේ ගැන තියෙන්නේ බොහෝම ලස්සන සැණකෙලියක වගෙ චිත්‍රයක්. හැබැයි ඇත්තම ඇත්ත කුමක්ද?,

සංසාරෙට පෙන්නන්න ඇත්තම ඇත්තක් නෑ, ඇත්තක් නෑ පෙන්නන්න. ඉතින් පෙන්නන්න නැති ඇත්තක් තියෙනවා කියා හංගලාවහලා රවටනවා, අපි හිතමු තිරයකින් වසා තිබෙනවා කියා, එසේ වසා කියනවා මෙතන ලස්සන ඇත්තක් තියෙනවා කියා.

ඉතින් සංසාරේ දෙපිරිසක්ම රවට්ටනවා. එක පිරිසක් තමා, ඇහැට පෙනෙන රූපයේ ලස්සන කනට ඇහෙන මිහිර..., මේ තමයිසංසාරයේ හරය කියා. අන්තිමට ධනයෙන් බලයෙන් ඉතාම ඉහළට වින්ද කෙනෙක් වුවත්, ජීවිතේ විඳ තිබෙන්නෙ ඔය දේවල් පහෙන්. එපමණයි. ඉතින් සංසාරයේ මේ ලාමක ආටෝපයට හා මතුපිටට වැඩි පිරිසක් රැවටෙනවා මේතමා තමයි ජීවිතය කියා. එසේ රැවටී ඒවා වැඩි වැඩියෙන් අත්පත් කරගන්න තියාගන්න නැති නොකර ගන්න මුළු ජීවිතේම උකස් කරනවා. මේ රැවටෙනු ලබන වැඩිම පිරිස. අනිත් පිරිස තමා එහි ආදීනවය දුටු පිරිස. දාර්ශනිකයින් හා චින්තකයිනුත් සසරත් සමග ගැටී හැප්පී ඇදගෙන වැටුණු පිරිසක්. මේ පිරිසත් සංසාරයේම රඳවා තියාගන්න වෙනම අදහසක් දෙනවා, නෑ මේ ඉන්ද්‍රිය අරමුණු පහෙන් එයා ඇත්තම ඇත්තක් තියෙනවා, මේ තිරෙන් පිටුපස තියෙනවා දකින්න දුර්ලභ සත්‍යක්. ඉතින් සුලු පිරිසෙන් වැඩි පිරිසක් මේ සත්‍ය සොයාගෙන මේ තිරය අරිනවා, එතකොට තව තිරයක්, තව සංස්කාරයක්. ඉතින් මේ තිර ඇර ඇර යනවා. එක තීරයක් අරිනකොට යමක් පේනවා. ඒ දෙය හොයාගෙන යනවිට තව තිරයක්. තවත් සංස්කාරයක්. එයත් සංස්කාරයක් කියා තේරෙන්න සෑහෙන කාලයක් යනවා. ඉතින් පලවෙනි තිරය හා දෙවැනි තිරයේ අතර බොහෝ පිරිසක් පදිංචිවෙලා ස්ථිර පදිංචිය කරගෙන අපි ඇත්ත දැක්ක අය කියලා හිතාගෙන ඉන්නවා. පළවෙනි තිරයට එයා ඉන්න පිරිස පංච කාමයට රැවටිලා ඉන්න පිරිසක් කියලා හිතනවා. හැබැයි මේ පිරිසත් රැවටිලා ඉන්නේ. මෙයත් තිරයකට වට ප්‍රක්ෂේපනයක් බව තේරුම් ගන්නා සුළු පිරිසක් ඒ තිරයත් අරිනව. මෙහෙමයි සංසාරයසත්ත්වයන්ව රවට්ටන්නේ, අපි රැවටිලා තියෙන්නේ, තිරේට වැටෙන දේකටයි, ඉන් එහා දෙයක් නෑ.

කල්‍යාණ මිත්‍රවරුණි මේ ගමන විහිළුවක්. මේ සංසාරේ අපිත් එක්ක කරන්නේ විහිලුවක්, මහා විහිළුවක්. හැබැයි මේ විහිලුවටඅපිට හිනා යන්නේ නෑ, ඇඩෙනවා. අප හැඬුවානම් යම්තාක්, යමක් නැති වුණා, පැතුව දෙයක් ලැබුණු නෑ කියා ඕනම දෙයකට අප හඬා තිබෙන්නේ, සංසාරේ කළ විහිළුවකට, හොඳට බලන්න, අප ඉන්නේ කොහෙද, එතන තිරයට වැටුණු විහිළුවක්. විහිළුව විහිළුවක් විදිහට අප නොදකින නිසා කම්පා වෙනවා, අඬනවා, ඇත්තක් විදිහට ගන්නවා. 

නමුත්  කාලයක් ගියාම සමහර විට හිතෙනවා ඒක මොන විහිළුවක් ද කියා, ඒ තමයි “අතීතය”. හැබැයි වර්තමානයේ ආයෙත් විහිලුවක් කළහම නැවතත් ඇත්තකට ගන්නවා. මේ උපක්‍රමය බුද්ධියට පේන්නේ නෑ. බුද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න රැවටෙනවා වැඩියි, දාර්ශනිකයින් චින්තකයින් බොහොම පහසුවෙන් රවට්ටන්න පුළුවන්. මොකද මේ හැමදෙනාම පහසුවෙන් තමන්ගෙ හිතට රැවටෙනවා. බුද්ධිය හා චින්තනය හා  දර්ශනයන් මනෝ විඤ්ඤාණයේම නිර්මාණ, මනසේ ඇතිවන අදහස්. ඒවාට රැවටුන කෙනෙකුව තව දේකට රැවැට්ටීම හරිම ලේසියි.

එම නිසා අවශ්‍ය වෙන්නේ අවදිමත් බවයි, සිහිබුද්ධියයි. බුද්ධිය හා  සිහිබුද්ධියයි කියන්නේ දෙකක්. මේ වචන අල්ල ගන්නත් එපා. සිහිබුද්ධිය හරිම විචාරශීලීව හිතනවා හා විමසා බලනවා. ජීවිතය විචාරශීලීව නිරීක්ෂණය කරනවා. මෙතන ආධ්‍යාත්මික ජීවිතය හා ලෞකික ජීවිතය කියා දෙකක් නෑ. මේ හැම බෙදීමක්ම තියෙන්නේ බුද්ධියට. සිහිබුද්ධියට හැම දෙයක්ම එකයි, සිහිබුද්ධිය බලනවා හිත රැවටිලා සිටින්නේ කුමකටද නැත්නම් රැවටෙමින් සිටින්නේ කුමකටද කියා. සිහිබුද්ධිය දන්නවා සිහි බුද්ධිය නැති තැනක මෙයා රැවටෙනවා බව. 

දිනක් දේහ ලක්ෂණ ශාස්ත්‍රය සහ අනිකුත් බොහෝ ශාස්ත්‍ර දන්නා විශාරදයෙක් බුදුන් වහන්සේගේ පා සලකුණු දැක උන්වහන්සේගෙන් විමසුවා, “ඔබ කවුද?, ඔබ මනුෂ්‍යයෙක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද ගාන්ධර්වයෙක්ද?” කියා. මොකද  මේ විශාරදයාට තමන් දන්න ශාස්ත්‍රයට අනුව මේ පාසටහන් මනුෂ්‍යයෙකුගේ විය නොහැකියි. ඉතින් බුදුන් වහන්සේ දුන් උත්තරය, “නෑ, මම බුද්ධ”. ඔය එක් කෙනෙක්වත් නොවේ ඔය ඔක්කොම නම් දෙන්නෙ රැවටීමකට, මනුෂ්‍ය දේව බ්‍රහ්ම, එක එක තිරවලටරැවටුණ අය, තිරවලට වැටුණු, ප්‍රක්ෂේපණ වලට රැවටුන අය. “බුද්ධ”, මනාවූ පිබිදීමකින් අවදිවුන, කිසිම හීනෙකට ආයෙ නොරැවටෙන. සංසාරෙට බෑ කිසිම හීනෙකින් ආයෙ බුද්ධ විඤ්ඤාණය රවට්ටන්න. කල්‍යාණ මිත්‍රවරුණි මේ තමයි සිහිබුද්ධිය.

සිහිබුද්ධිය ලඟින් තියාගන්න. භාවනා කරනකොට නෙමෙයි භාවනා කරනකොට ඇත්තටම සිහිබුද්ධිය අඩු උනාට කමක් නෑ. සිහිබුද්ධිය ඇත්තටම අවශ්‍ය අපි රැවටෙන වෙලාවට. කොයි වෙලාවෙද කොතනද කුමකටද රැවටෙන්නේ, කවුද අපිව රවට්ටන්නේ, කලින් දන්නේ නෑනේ. ඒ නිසා “සදා සතෝ”,  හැම විටම සිහිබුද්ධිය අවශ්‍යයි.  හිත ගන්න හැම තීරණයක්ම සිහිබුද්ධියෙඅනුමැතියට දෙන්න.  සිහිබුද්ධියේ විමර්ශනයට දෙන්න. හැම විටම second opinion එක සිහිබුද්ධියෙන් ගන්න, විශේෂයෙන්මබරපතළ තීරණ වලදී. සිහිබුද්ධිය පැනලා උත්තර දෙන්නේ නෑ, ඇහුවොත් පමණයි පිළිතුරු සොයන්නේ.

එමනිසා කළ්‍යාණ මිත්‍රවරුණි ඔබ හරි වාසනාවන්තයි. ඒ වාසනාව ප්‍රමාණ කරලා කියන්න බෑ. නමුත් ඒ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි උනොත් අපිට වැඩිය අවාසනාවන්තයින් තවත් නෑ. එක පැත්තකින් හරි සැහැල්ලුවක්, අපි හරි වාසනාවන්තයි, අනිත් අතින් සසර හරි භයානකයි. මේ තමයි සංසාරයේ හැටි, හැම දෙයකම දෙපැත්තක් තියෙනවනේ. අපි කොයි පැත්තද අල්ලන්නේ, මේ වාසනාව උරගා බලන්න අපි සිහිබුද්ධියත් සමග වඩාත් ඒකාත්මික වෙමු මේ සිහිබුද්ධියට හෝරාවක් සදහම් සැදෑවේ විනාඩිකිහිපයක්…

භාවනාව

  • තීන්දු තීරණ වලට මොන තරම් ඉක්මනට හිත පැමිණෙනවාද ඇහෙන දේවල් දැනෙන දේවල් මතක් වෙන දේවල්. මේ හැමදෙයක් ගැනම මොනතරම් ක්ෂණිකවද නිගමන වලට එන්නෙ, දකින්න නිගමන වලට එළඹෙන හිතේ ස්වභාවය.
  • යම්කිසි නිගමනයකට හිත පැමිණෙන්නේ දැනගෙනද, ඇත්තටම දැනගෙනද, ඇසීමක් ගැන දැනීමක් ගැන මතක් වීමක් ගැනහිත කිසියම්ම වූ නිගමනයකට එනවද එසේ පැමිණෙන්නේ දැනගෙනද, හිතින් ඇහුවොත් “ඔව්” කියයි. හිතට හරි හදිස්සි එක දෙයක් ගැන ක්ෂණිකව නිගමනයකට පැමිණ අනිත් දේට පනින්න.
  • නිගමනයෙන් නිගමනයට විනිශ්චයෙන් විනිශ්චයට පනින හිත දකින්න.
  • තමන් පැමිණි නිගමන ගැන ගැඹුරින්ම ප්‍රශ්න කළොත් විමසුවොත් විමර්ශනය කළොත් හිතටම සැකයි හිත දෙගිඩියාවටපත්වෙන්න පුළුවන්. සිහිබුද්ධිය ඉදිරියේ සංසාරික හිත දෙගිඩියාවකට පත් වෙයි.
  • සිහිබුද්ධිය නැති තැනක වීරයකු වන සිහිබුද්ධිය ඉදිරියේ පඹයකුගේ තත්ත්වයට පත්වන සංසාරික හිත යම් පමණකටහඳුනාගනිමින්, හිතවතුනි අපි සාකච්ඡාවට එමු, මේ සාකච්ඡා අවස්ථාව…

සාකච්ඡාව

සිහිබුද්ධිය භාවිතයේදී මට්ටම් තියෙනවා. සිහිබුද්ධිය තමයි වටින්නෙම කියන අදහසක් මුලු ලෝකෙටම තියනවා හැමක්ෂේත්‍රයකදීම, සත්ව ඝාතනයට දඩයමේ යන කෙනෙක් වුණත් කියනවා සිහිබුද්ධිය ඕන කියලා, නැත්නම් තමන්ම දඩයම බවට පත්වෙන්න පුළුවන්. හැබැයි ඒ භාවිතය සිහිබුද්ධියෙන් ගන්න තියෙන හැබෑම ප්‍රයෝජනය නෙමෙයි. සාමාන්‍ය ජීවිතේ වැඩකටයුතු ටිකකරගෙන යෑමට සිහිබුද්ධිය අවශ්‍යම නෑ, හොඳ පුරුද්දක් තියෙනවා නම් පළපුරුද්දෙන් කරගෙන යන්නත් පුළුවන්, නැත්නම් අපිදන්න හැම දේකටම සංවේදක (sensors) සවිකරලා. අප අතින් යම් කිසි වැරද්දක් වෙනවා නම් ඒ සංවේදක ඒ බව දැනුම් දෙයි, ඒවිදියටත් අපේ වැඩකටයුතු කරගෙන යන්න පුළුවන්.

සිහිබුද්ධියෙ උපරිම භාවිතය, සැබෑම ප්‍රයෝජනය, ගන්න තියෙන එකම වැඩේ හොඳම වැඩේ කුමකක්ද, මේ අවුල තේරුම් ගන්න. අප හසු වී තිබෙන උගුල තේරුම් ගන්න. මේ උගුලට කොහෙන්ද අහුවුනේ, කොතනින්ද මේ උගුලෙන් ගැළවෙන්න පොටක් පාදාගන්න ඕනේ, අන්න ඒ සඳහායි සිහිබුද්ධිය අවශ්‍ය. හැම මොහොතකම මේ උගුලට අහු වෙලා ඉන්නේ, හැම මොහොතකම. ඉතින්හැම මොහොතකම අපිට එයින් ගැලවෙන්නත් පුළුවන්, අහුනොවී ඉන්නත් පුළුවන්, අහුවීමෙන්  ගැලවෙන්නත් පුළුවන්. අහු නොවීඉන්නත් අසුවූ උගුලෙන් ගැළවෙන්නත් උදව් කරන්නේ සිහිබුද්ධිය තමයි.

සාමාන්‍ය ජීවිතයේදී මතුවෙන ක්ෂණික ප්‍රශ්න වලින් ගොඩඑන්න පමණද  සිහිබුද්ධිය පාවිච්චි කරන්නේ? වැඩ ක්ෂණිකවම කළයුතුබව අපට දී  තිබෙන ලොකු ලණුවක්. අපි ඒ ලණුව හොඳට ගිලලයි ඉන්නේ. සිත තමයි මේ කතන්දරේ හදා තියෙන්නෙ. දැන් බලන්නඑක විනාඩියකට කොච්චර දේවල් ගැන හිතනවද කියලා, සිතට එන සියලුම සිතිවිලි නෙමෙයි, නමුත් අපි කොපමණ දේවල් සැලසුම්කරනවාද කරන්න, කියන්න, හිතන්න හිතෙනවද. මේ විදිහට අපිට පැයකදී හිතෙන දේවල් අනුපිළිවෙළට කරන්න ගියොත් ජීවිතකාලයක් මදියි, යන්න හිතන ගමන් ටික විතරක් යන්න එක ජීවිත කාලයක් මදියි. මේ  තමා ඇත්ත. සීමිත කාල අවකාශයක අපවතියලා සීමාවක් නැති සැලසුම් හදන්න සිත පුරුදු කරලා. සිත කියන්නෙ ලෝකයේ වේගයෙන්ම වැඩ කරන යන්ත්‍රය. නමුත් ඒවේගෙන් අපි වැඩ කරන්නෙ නෑනේ. සිත කියන කියන දේ කරන්න අපිට බෑනෙ. එහෙම කරන්න ඕනේත් නෑනේ. ඒනිසා ඔය ක්ෂණික කතන්දරේට රැවටෙන්න එපා. ඒ තමා පළමු කරුණ. 

දෙවෙනි කාරණය තමා, සාමාන්‍ය ජීවිතයේදී තීරණාත්මක ප්‍රශ්නයක් ආවහම විනාඩි පහක් දහයක් ඇස් වහගෙන ඉන්න බෑනේ. සිහිබුද්ධිය කාලය මත රදාපවතින දෙයක් නෙමේ. සිත කියනවනම් එයා තමයි වේගවත්ම කියා එයාව අධීක්ෂණය කරන්නත් සිහිබුද්ධියට පුළුවන්. ඒනිසා සිහිබුද්ධිය ඊටත් වඩා වේගවත් කියා කිව්වත් කමක් නෑ. හැබැයි ඒ සඳහා පුහුණුවක් අවශ්‍යයි ඒනිසා කාලය තියන වෙලාවට සිහි බුද්ධියෙන් වැඩ කරන්න. සිහිබුද්ධියට ඉඩ දෙන්න තීරණ ගන්න, ගත් තීරණ විමර්ශනය කරන්න. එසේ එයාව යාලුකරගන්න, සමීප කරගන්න. එවිට අපට තේරෙනවා සිහිබුද්ධිය ඉපදෙන්න එපමණ වෙලාවක් යන්නේ නැති බව. ඉක්මනට ඉක්මනට සිහිබුද්ධිය එනවා. ඇවිත් තමන්ගේ කාර්‍ය්ය කර ආපසු යනවා, ස්ථිර පදිංචිකාරයෙක් වෙන්නෙ නෑ, එයාගේ වැඩේ කරදී යනවා.

ඊළඟ කාරණය සිහි බුද්ධියෙන් තොරව ගත් තීරණය;  ඉඩක් ලැබුණු පළමු විරාමයේදීම ඒ ගත් තීරණ දිහා සිහිබුද්ධියෙන් ආපහු බලන්න. ඉවර ඇති, කමක් නෑ, ආපහු බලන්න. එසේ බැලූවිට  සිහිබුද්ධිය තිබුණා නම් කරන්නේ කුමක්ද, ඒ බවත් අපට දැනගන්නපුළුවන්. ඒ දැනුම නෙමේ අපට ඊළඟට උදව්වෙන්නේ, අර ගත්ත තීරණේ අඩුපාඩුවක් තියෙනවා නම් එය හදාගන්න පුළුවන්. එතකොට එවැනි සිදුවීමක් නැවත සිදු වෙන්න කොට අපි කලින් වැටුණු වලේ නොවැටී ඉන්න උදව් කරනවා. මේ සඳහා පුහුණුවක් අවශ්‍යයි පුරුද්දක් නෙමේ.

ප්‍රශ්නය : සාංසාරික පුරුද්දක් විදිහට හිත බය සැකය වගේ negative thoughts පුරුදු කරලා තියෙනවා. ඒවායින්මිදෙන්න කොහොමද සිහි බුද්ධිය පාවිච්චි කරන්නේ?.

පිළිතුර : සැක කරන්න ඕන තැන්වල සැක කරන්න ඕන, හැම තැනම හැම දෙයක්ම සැක කරන්න අවශ්‍ය නෑ.  හිත කියන්නේ නළුවෙකු හෝ නිළියක්. එයාට අප විවිධ චරිත දෙනවා වෙනස් වෙනම් භූමිකාවල  රඟපාන්න, බය කරන චරිත, බයවෙන චරිත, සැකකරන චරිත ආදී ලෙස. මෙතැන තියෙන ප්‍රශ්නේ නම් එබඳු චරිතයක් දුන්නාම අවශ්‍ය වෙලාවෙත් රඟපානවා. ඉන්පසුව ඒ වේශ නිරුපනය අතහරින්නෙ නැතිව, දිගින් දිගටම අවශ්‍ය නැති තැන් වලත් රඟපානවා, රඟපෑමක් බව අමතක වෙනවා. නියමිත භූමිකාවක පමණයි රඟපාන්න ඕනෙ කියන කරුණ අමතක වෙනවා. එතනදී තමා ජීවිතේම බය වෙලා සිටිය යුතු, සැක කරන්නකළයුතු හා තරහ ගන්න ඕනේ කියා රැවටෙන්නේ. මෙයට තියෙන හොඳම විසඳුම තමයි සිහිබුද්ධිය ඉදිරියට ගෙනඒම. සිහිබුද්ධිය කියන තිරයට දොඩමලු මනස ප්‍රක්ෂේපණය කරන්න. 

සිහිබුද්ධිය පුළුල් තිරයක් දොඩමළු මනස පුංචි ප්‍රක්ෂේපනයක්. එහෙම පුලුල් තිරයක පුංචි ප්‍රක්ෂේපණයක් දකිනකොට වැඩියෙන් පෙනෙනනේ හිස් අවකාශයත්, ඒ නිහඬබවත් දැනෙනවා. දැන් හිත සැක කරනවා නම් ඒ වාගේම තවත් දේවලුත් කරනවනේ, ඒවටත් ඇහුම්කන් දෙන්න ඒවත් දකින්න. powerful voice එක, බය හෝ සැකය, හැබැයි ඒ අතරම වෙනස් පුංචි පුංචි ශබ්දත් ඇහෙන්න පටන් ගන්නවා. අපි ඒවටත් ඇහුම්කන් දෙනවා. අපි ඒවට ඇහුම්කන් දෙන්න දෙන්න පෙනෙනවා අර ප්‍රධාන චරිත සුළුචරිත අභිබවා නැගී සිටින්න හදන බව. 

මේ සිහිබුද්ධිය හැමෝටම එක වගේ සලකන්නේ. අන්න එතැනදී අපිට අනිත් දේවලුත් පේනවා ඇහෙනවා. එතකොට මේ හැමහඬක්ම සම මට්ටමකට එනවා එක මොහොතක. එතනදී අපට තෝරගන්න පුලුවන් කාටද ඇහුම්කන් දෙන්න කියා, එහෙම නැත්නම් නිශ්ශබ්දතාවයට ඇහුම්කම් දෙනවාද කියා. තීරණය අපේ අතේ තියෙන්නෙ. එතකොට negative thoughts වලට බයවෙන්නේ නෑ, මොකද එයා අපට නපුරක් කරදරයක් වෙයි කියලා අපව බය කරලා අසරණ කළ අවස්ථා ගණන ලක්ෂ කෝටි ගානක්. හැබැයි ඒවා හැබැවුනු අවස්ථා ගණන සොයා බැලුවොත් අතේ ඇඟිලි ගානට. නමුත් අපට මතක නෑ. ඒ නිසයි හැමදාමත් රවට්ටන්න හදන්නේ, රඟපාන්නේ. නමුත් සිහිබුද්ධිය අපට පෙන්වා දුන්විට අපි ඒ එකක් වත් ගණන් ගන්නෙ නෑ. ඕන එකක් කිව්වාවෙ, හැබැයි අප දන්නවා හිතට අනාවැකි කියන්න හැකියාවක් නැති බව. එහෙම දකිනකොට සැහැල්ලු වෙනවා. මේ තමා විසඳුම.

හිතේ එක හඬක් පමණක් නොවෙයි තියෙන්නේ එකම විදිහට රඟන නළුනිළියන් පමණක් නෙමේ ඉන්නෙ. චෛතසික පනස් දෙකක් තියෙනවා කියලා කියනවානේ. එක එක කෝණ වලින් බලන විවිධ අය ඉන්නවා. හැබැයි අප වැඩිපුරම ඉඩ දී තිබෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට තමා, අහන්නෙත් එක්කෙනෙකුගෙන් දෙන්නෙකුගෙන් පමණයි. එනිසා ඒ ඒ අයගේ ආධිපත්‍යය පතුරවලතියෙනවා, අප ඒව පිළිගන්නවා අනාවැකි විදිහට විද්‍යාත්මක සත්‍යයන් විදිහට. හැබැයි සිහියෙන් සිහි බුද්ධියෙන් ඉන්නවනම් මේවාඑක් අදහසක්හෝ මතයක් පමණයි. තව අදහස් තියෙනවද කියල අහන්න පුළුවන්. තව අදහස් තියෙනවා. අදහස් අහන්න ගියොත්නම් ඉවරයක් නෑ, මේ එක අදහසක්වත් හරියන්නැති වෙන්නත් පුළුවන්. අර මුලින්ම එන අදහස බාර ගන්න එපා. මේ තමාවැදගත්ම දේ, ඕනම දෙයක් ගැන හිතන්න ගත්තහම මුලින්ම පැනගෙන එන සිතිවිල්ල තියෙනවනේ, ඒ සිතිවිල්ල අඳුරගන්න මතකතියාගන්න, ලියාගන්න, හැබැයි මේ තමා එකම උත්තරය, හරිම හරි උත්තරය කියා හිස්මුදුනින්ම පිළිඅරගෙන  වැඩ කරන්න එපා. මොකක්ද දෙවැනි උත්තරය තුන හතර ආදී වශයෙන් අහන්න. 

එසේ අර පළවෙනියට කෑගහන කෙනාගෙ ආඩම්බරය මානය මමත්වය බැඳ දාන්න පුළුවන්. තවත් අයගෙන් විමසන්න පුළුවන්. එයා negative උනාට කමක් නෑ අපිට ප්‍රශ්නයක් නෑනෙ, අපි negative වෙන්නෙ නෑ එයා negative වුණා කියා. අනිත් කාරණය තමා negative thoughts කියා දෙයක් ඇත්තටම නැහැ, ඒකත් පැහැදිලිව තේරුම් ගන්න. තියෙන්නෙ negative actions. ඉතින්කර්මයක් වෙන්නේ ක්‍රියාවක්.අකුසල් ක්‍රියා කියලා කොටසක් තියෙන්නේ, අකුසල් සිතිවිලි නෙමේ. අකුසල් සිතීම්, අකුසල් කතා හාඅකුසල් කායික ක්‍රියා. එමෙන්ම කුසල කායික මානසික හාවාචසික හැසිරීම්, අන්න ඒවා ගැනයි අප සැලකිලිමත් වෙන්න ඕනේ.

ප්‍රශ්නය : Knowledge එක කොහොමද tool එකක් විදිහට සීහිබුද්ධියෙන් පාවිච්චි කරන්නේ?

පිළිතුර : අපි අඳුර ගන්න ඕනේ මොන knowledge එක ද පාවිච්චි කරන්නේ කියලා. දැනුම නැතිව ජීවත් වෙන්න බෑ. දැනුම නැතිවකරන්න පුළුවන් එකම දේ නිදාගැනීම පමණනේ. දැනුම කියන tool එක අනිත් සෑම ක්‍රියාවකටම අවශ්‍යයයි. හැබැයි දැනුමේ වර්ගදෙකක් තියෙනවා, එකක් අප අමාරුවේ දමන,වලට වට්ටන දැනුම. අනිත් එක ගොඩට එන්න උපකාරී වන දැනුම. අප වලවල් වලවැටී තියෙන්නෙත් දැනුම නිසා ඉතින් ගොඩඑන්නත් දැනුම ඕනේ. තෝරාබේරා ගන්න මොන දැනුම ද පාවිච්චි කරන්නේ කියා. අන්නඒ තේරීමට  සිහිබුද්ධිය අවශ්‍යයි සිහිබුද්ධිය තිබුනොත් පමණක් ගොඩයන දැනුමෙන් ගොඩ යන්න පුළුවන්.

සංසාරික හිත කියන්නේ ලොක්කෙක්, වීරයෙක් නෙමේ, එයා හැම දේකටම බය වෙනවා. එයා පඹයෙක්, ඒ නිසයි එයා අනිත් අයවබය කරන්නෙ. නැත්නම් අනිත් අයව බය කරන්න ඕනේ නෑනේ. අපි අනිත් අයව භය කරන්න හදන්නේ අපි බය නිසා. බය අප ළඟනැත්නම් අප කාවවත් බය කරන්න යන්නේ නෑ. බය නැති කෙනා කරන්නේ අභය දානය. බය තියෙන කෙනා කරන්නේ බය කිරීම. මේසංසාරික හිත දුර්වලයි එයා එහෙම තැනක තමා තියලා තියෙන්නෙ, එහෙම දුර්වල තැනක තැනක තියලා තියෙන නිසයි එයාසංසාරයේ දේවල්  රැස්කරන්නේ. සංසාරේ පවතින්නේ රැස්කිරීම උඩ. එතකොට අපි රැස් කරන්නේ බය නිසා. ඕනම දෙයක් කෑමබීම රැස් කරනවා බඩගිනි වෙයි කියන බය නිසා, ව්‍යායාම කරනවා ලෙඩ වෙයි කියන බය නිසා, තනි වෙයි කියන බය නිසා මිනිස්සු එකතු කරනවා, මේකනෙ සංසාරේ කියන්නේ. මේ කියන්නේ ඒවා කිසිවක් කරන්න එපා කියන එක නෙමේ. ඒ බය අඩුවෙන්න අඩුවෙන්න රැස්කිරීම අඩුවෙනවා, බය වැඩි නම් මේ ආත්මයට නෙමෙයි ලබන ආත්මයටත් රැස් කරනවා. තණ්හාව නිසා නේ බයඑන්නේ. තණ්හාව අඩුවෙන්න අඩුවෙන්න බය අඩු වෙනවා. තණ්හාවයි බයයි අඩුවෙන්න අඩුවෙන්න රැස්කිරීම අඩුවෙනවා, රැස්කිරීම අඩු වුණා කියලා අනතුරක් අසරණ වීමක් වෙන්නේ නෑ, වඩාත් ශක්තිමත් වෙනවා වඩාත් වර්තමානයට සමීප වෙනවා. අදඕන දේ මේ සුමානෙට අවශ්‍යය දේ ආදී ලෙස. 

මේ විදියට ඉලක්ක වඩාත් කිට්ටු කර ගන්නවා, කවදාහරි නෙවෙයි. එහෙම හිතුවොත් හැම දෙයක්ම ඔනවෙයි රැස් කිරීම ඉවරයක්වෙන එකක් නෑ. කවදහරි ඕනවෙයි කියන අදහස හිතට දාලා බලන්න එතකොට ඕනේ නැති දෙයක් නෑ. සීමා කරගන්න, සීමාකරගන්න, රැස්කිරීම අඩුයි, භය අඩුයි, සැනසිල්ල වැඩි වෙනවා. සංසාරෙ තියලා තියෙන්නෙ භය තැනකයි. ඒ නිසයි රැස් කරන්නේ. රැස් කරන නිසයි සංසාර යන්නෙ. ඉතින් මෙය මහා උගුලක්. මෙහෙම උගුලක් හදලා අපව වටේ කරකවනවා.

ප්‍රශ්නය : කිසියම් සමාධියක් අවශ්‍යයි නේද සිහි බුද්ධිය පාවිච්චි කරන්න?

පිළිතුර :  හිත තැන්පත් නම් මේ දේවල් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, රැවටෙන්නේ නැතිව ඉන්නත් නිවැරදි තීරණ ගන්නත්පුළුවන්. අනිත් පැත්තෙන් සිහිබුද්ධිය ආවොත් තැන්පත් බව නිතැතින්ම ඇති වෙනවා. උපරිම මට්ටමටම කලබල වුන අවස්ථාවක සිහිබුද්ධිය අවොත් මොකද වෙන්නේ, සියල්ල තැන්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතන ප්‍රවේශ දෙකක් තමා තියෙන්නෙ. සාමාන්‍ය ප්‍රවේශය නම් හිත තැන්පත් වෙලා සිහිබුද්ධිය අඳුරගෙන එයාට වැඩිපුර ඉඩදීලා, එයත් එක්ක යාළුවෙලා, එයාට වගකීම් දීලා ජීවිතේ ක්‍රමවත් කරගන්න එක. ඒ තමා එකම ක්‍රමය කියා ඇබ්බැහි වෙන්න එපා. ඕනෙම ප්‍රශ්නෙක ඕනම තැනකදි මොනවා නැති වුණත් සිහිබුද්ධිය ආවොත් අසරණ නැ. සියල්ල තැන්පත් වෙන්න පටන් ගන්නවා. කලබලේම විහිළුවක් කියන එකසිහිබුද්ධිය දන්නවා. ඉතින් මේ භාවිතා දෙකම අඳුනගන්න. 

මේ කියන්නේ අපිට පුරුද්දට හිතුනට හැමදේම හරි නෑ කියන එක නේද? 

අපිට පුරුද්දට හිතෙන හැමදේම හරි නෑ නිවැරදි නෑ කියනවාට වැඩිය හිතෙන දේ නිසා වෙන්නේ සසර ගමන දික් වීමද නැවතීම දකියන එකයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව සාමාන්‍ය වෙලාවෙදි අපිට හිතෙන දේ නිවැරදි වෙන්න පුළුවන්. නමුත් බලන්න තියෙන කාරණය තමයි, සංසාරයක් ඇති වෙනවාද, නැති වෙනවාද කියන කාරණය. ඉතින් සිහිබුද්ධිය වැඩියෙන්ම උදව් වෙන්නේ මේ දෙක තේරුම් බේරුම් කරගන්න. සිහිබුද්ධියට විතරක් කරන්න පුළුවන් දේ තමයි ඔය අංශ දෙක අඳුර ගන්න එක. මේ තීරණයට ගියොත් යන්නේ සංසාරයට මේ තීරණයට ගියොත් යන්නේ නැවැත්මට, පැවැත්මයි නැවැත්මයි දෙක. වැඩිපුර සිතිවිලි එන්නේ සංසාරේ ඉන්නහා. දිගිනි දිගටම යන්න. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ, ඒ නිසානේ අපි තවමත් මේ සංසාරේ ඉන්නේ. සිහිබුද්ධියෙන් හිටියොත්අපිට ඒබවත්  තේරෙනවා වැඩිපුර එන්නෙ ඒ සිතිවිලි කියලා, සියයට සීයක්ම නම් නෙමෙයි, අතරින් පතර නැවැත්මේ තීරණත්එනවා, නවතින්නත් උදව් වෙන සිතිවිලිත් එනවා, නැත්තෙ නෑ. සිහිබුද්ධිය තිබුනොත් අපට එයාව අල්ලගෙන සංසාරේ කෙටි කරගන්න පුළුවන්.

ප්‍රශ්නය : සංසාරික සිත දහම් දැනුම සොයන්න උත්සාහ කරන්නේ මේ බය නිසාම නේද?

යමක් හොයන්නේ ඒ දේ තමන්ට නැහැ කියා හිතෙන නිසානෙ. දැනුම සොයන්නෙත් මේ දැනුම නැති නිසා. මොන දැනුම වුණත් තපතින් එන දැනුමක් තියනවා ඇහුම්කන් දීලා සාකච්ඡා කර හා කල්පනා කරන විට එන දැනුමක් තියෙනවා. ඒ දැනුමට නම්දහම් දැනුම කියන්නේ, ඒ දැනුම නම් එපමණ උදව් වෙන එකක් නෑ මේ වැඩේට. දහම් දැනුම කියන්නේ පොතක දේශනයක සිතිවිල්ලක තියෙන දෙයක් නෙමේ, ධර්මතා දැනීම, ධර්මතා පිළිබඳ දැනීම දැනගැනීම. ධර්මතා පොත්වල නෑනේ, සමීකරණ පොත්වල තිබුනට භාවිතයක් නෑනේ, පේන්නට නෑනෙ. ධර්මතා පිළිබඳ දැනීම තමයි දහම් දැනුම කියන්නේ. ධර්මතා කියන දේවල්වෙනම දැනගන්න තියෙන දේවල්. ධර්මතා දැනගැනීම වැළැක්වීමක් තමයි අර දහම් දැනුමෙන් කරන්නේ. ඒ දැනුමත් එක්ක ආයෙත් සාරේටම තමයි එන්නේ.

මරණය නම් ඔය එක දැනුමක්වත් අපෙන් අහන්නේ නෑ “ඔබ චතුරාර්ය සත්‍යය දන්නවාද පටිච්ච සමුප්පාදය දන්නවාද?” කියලා. අපෙන් අහන එකම ප්‍රශ්නය තමයි “අත්හරින්න ලෑස්තිද? අත්හැරීම දන්නවාද? අත්හැරීම පුහුණු කරල තියෙනවද?” එපමණයිඅහන්නේ. ඉතින් මොන දැනුම තිබ්බත් ඔය ප්‍රශ්නෙදි බය වෙනවානේ. දැනුමට බෑ බය නැති කරන්න. ඒ නිසා ඇත්තටම තියෙන්නෙඑක ප්‍රශ්නයයි, අතාරින්න ලෑස්තිද? අත්හැරීම දන්නවාද?  අත්හරින්න.