සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 04
2021 ඔක්තෝබර් 27, සාරාංශය
කළ්‍යාණ මිත්‍රවරුණි අපි මේ නිවෙන ගමනේ සාමූහිකවත් තනි තනිවමත් යෙදී සිටිනවා. එහි එක් පියවරක් තමා මේ සදහම් සැඳෑව පහුගිය වැඩසටහන් කිහිපයේදීම අපි සාකච්ඡා කළේ අවධානය යොමු කළේ සහ ප්‍රත්‍යක්ෂ කර ගන්නට වෑයම් කළේ මේ ජීවිත ගමනේදී අපිට සිදුව ඇත්තේ කුමක්ද කියන එක. අපට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ, අපි අපිට මොනවද කරගෙන තියෙන්නේ, අපි කොහෙද යන්නේ කොහාටද යන්නේ කොතනටද යන්නේ කියන කාරණා පිළිබඳව.
අපි පහුගිය වැඩසටහනේදි සාකච්ඡා කළා අනාවරණය කර ගත්තා සොබාදහමේ එක් නීතියක් පිළිබඳව, සොබාදහම බලාපොරොත්තු වෙනවා කාර්යක්ෂමතාවය. කාර්යක්ෂම කෙනෙක්ට එකවර වැඩ කිහිපයක් කරන්නට පුළුවන්. මෙහෙම කෙනෙක් තමයි ස්වභාදහම මනුෂ්‍යයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම වැඩ කරන්න නම් යන්ත්‍රයක් වෙන්න ඕන, මුළු ජීවිත කාලයටම යාන්ත්‍රික හැසිරීමක්. ඉතින් මොනවද යන්ත්‍රයකට ලැබෙන්නේ, යන්ත්‍රයකට ලැබෙන්නේ තෙල් විතරයි. යන්ත්‍රය ගෙවෙනවා, ගෙවෙනවා, හැබැයි දවසක් එනවා ඒ යන්ත්‍රයට වැඩ කරන්න බැරි වෙන. එදාට සොබාදහම මේ යන්ත්‍රය ගැන තැකීමක් කරන්නේ නෑ, කෘතවේදීත්වයක් දක්වන්නෙ නෑ, අලුත් යන්ත්‍රයකින් ගමන යාවි . කල්‍යාණ මිත්‍රවරුණි මේ කාරණය ගැඹුරින් දකිනකොට ලොකු කම්පනයක් ඇති වෙනවා සංවේගයක් ඇති වෙනවා අපෙන් මොන විදිහෙ වැඩක් ද මේ ගන්නේ? අපෙන් මේ සංසාරේ ගන්න වැඩේ. අපව යන්ත්‍ර බවට පත් කරලා සංසාර පොහොසත් වෙනවා යන්ත්‍ර වුණු අපි දුප්පත් වෙනවා. මෙය අනිත් පැත්තට වෙන්නේ නෑ. සසර යාත්‍රිකයා හැමදාම දුප්පත් මනුෂ්‍ය ලෝකෙ හිටියත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල හිටියත්. ඉන්නේ දුක් විඳින කෙනෙක් දුප්පතෙක්. මේ තමා ඇත්ත. ඉතින් මේ ඇත්ත තේරුම් ගන්නකොට ඇතිවෙනවා ලොකු කම්පනයක්, සංවේගයක්. යන්ත්‍රයකට වෙන විකල්පයක් නෑ නමුත් මනුෂ්‍යයාට විකල්පයක් තියෙනවා. සිහිබුද්ධියෙන් දැකීම, තේරුම් ගැනීම, තීරණ ගැනීම, ක්‍රියාත්මක කිරීම, සාමාන්‍යයෙන් යන්ත්‍රයකට කරන්න බැරි දෙයක් හැබැයි මනුෂ්‍යයාට පුළුවන්. ඒ නිසයි සිහිබුද්ධියට වැඩි අවධාරණය ක් දෙන්න ඕනේ, සිහිබුද්ධිය හැර අපිට වෙන පිලිසරණක් නෑ .
අද අප අනාවරණය කරගන්න උත්සහ කරන්නේ ස්වභාදහමේ තවත් නීතියක්, ඔරොත්තුදීම. සසර අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔරොත්තු දෙන කෙනෙක්. සසරට, එහි තියෙන ජරමර වලට ඔරොත්තු දෙන කෙනෙක්. මේ සියලුම ජරමර තියෙන්නේ සංසාරේ, හැම ලෙඩක්ම, හැම ප්‍රශ්නයක්ම, හැම තුවාලයක්ම, අනතුරක්ම, අලාභයක්ම, හානියක්ම. එක පැත්තකින් සොබාදහම එබඳු අනතුරුදායක රෝග බහුල වසංගත තිබෙන, කරදර තියෙන, සංසාරයක් නිර්මාණය කරලා අනිත් අතින් බලාපොරොත්තු වෙනවා එයට ඔරොත්තු දෙන කෙනෙක්. මෙතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ ව්‍යාජ කපටි ගනුදෙනුවෙන් බේරෙන්න, කපටි උපක්‍රමශීලී උප්පරවැට්ටියෙන් ගැලවෙන්න, මේ පරස්පරයම ඇති අපට හොඳ කමටහනක් කරගන්න. මේ දෙකම සොබාදමේ නිර්මාණ. එක අතකින් සියලු ව්‍යසන කරදර සහිත සංසාරයක් නිර්මාණය කරලා තියෙනවා. හැම මොහොතකම කුමක් හෝ ප්‍රශ්නයක්, මේවට කුමක් හෝ පිලිතුරක් හොයන්න වෙනවා. මෙහෙම මොහොතින් මොහොත විසඳුම් හොයන සංසාරයක් නිර්මාණය කරලා අනිත් අතින් එයට ඔරොත්තු දෙන කෙනෙක් වෙන්න ඕන පාඩමත් අපිට කියලා දෙනවා. සන්සාරය පමණක් නොවේ ලෝකය බලාපොරොත්තු වෙන්නෙ, ඔරොත්තු දෙන කෙනෙක්. මේ තමා ස්වභාවය. මෙතනදි කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේවට ඔරොත්තු නොදෙන කෙනා සංසාරෙන් අයින් කරනවාද කියල. නැ, සංසාරෙන් දුර්වලයි ඔරොත්තු දෙන්නට බෑ කියලා අයින් කරන්නේ නෑ, සිදුවෙන්නේ, සිදු කරන්නේ වරප්‍රසාද අයින් කරනවා. අර ඔරොත්තු දෙන්න හුරු වෙන කෙනාට ලැබෙන දිරි දීමනා වරප්‍රසාද දුර්වලයාට ලැබෙන්නෙ නෑ.
භාවනාවටත් පුළුවන් ඔරොත්තු දෙන කෙනෙක් හදන්න. බොහෝ විට ජනප්‍රිය වෙන්නේත් මේ භාවනාවයි. හමුදාවකින් හදන්නේ ඔරොත්තුදෙන සොල්දාදුවෙක්, හැබැයි ඊටත් එහා ගිය අභියෝගවලට ඔරොත්තු දෙන කෙනෙක් භාවනාවෙන් හැදෙනවා. ඒ නිසා තමයි භාවනාවට මහත්ඵල මහානිසංස දෙයක් විදිහට සඳහන් කරන්නේ. මේ කාරණාව හොඳට තේරුම් ගන්න. භාවනාව පුණ්‍ය ක්‍රියාවක් විදිහට විස්තර කරනවා. ලොකුම පිංකම, හේතුව භාවනාවක් තරම් සංසාරෙට ඔරොත්තු දෙන කෙනෙක් නිර්මාණය කරන්න පුළුවන් වෙනත් තාක්ෂණයක් නෑ. මේ සංසාරයට ඔරොත්තු දෙන කෙනෙක් වෙන්න කියන අරමුණින් කෙනෙක් භාවනා කරනවද ලැබෙන ආනිසංසත් ඉහළින්ම ලැබෙනවා. කාලයක් කරදර ප්‍රශ්න අඩුවෙන් කිසියම් නිවාඩුවක් ගත කරන්න පුළුවන්. එය හුදෙක් නිවාඩුවක් පමණයි. ඔරෝත්තු දෙන භාවනාව කියල නමක් දෙන්න පුළුවන් ඒ භාවනාවට. ඒ භාවනාවත් එක්ක කිසියම් පහසුවකින් කෙනෙකුට සංසාරයේ ඉන්නත් පුළුවන්, සංසාරයේ යන්නත් පුළුවන්.
නමුත් තවත් භාවනාවක් තියෙනවා. ඒ භාවනාවයි තමයි අපි මේ ගවේෂණය කරන්න හදන්නේ, හොයා ගන්න හදන්නේ. “එතෙරවෙන භාවනාව” ඔරොත්තුදෙන භාවනාවෙන් එතෙරවෙන භාවනාවට. ඔරොත්තු දෙන කෙනෙක් වෙන්ට සිහිබුද්ධියක් අවශ්‍ය නෑ හොඳ ඝනකම් කිඹුල් හමක් වගේ ආවරණයක් තියෙනවා නම් ඕනම දේකට ඔරොත්තු දෙයි. ඒ වගේ හිතක් හදා ගන්න පුළුවන්, භාවනාවෙන් දැඩි හිතක් කාලයක් පවතී, නමුත් සදහටම නොවෙයි. සිහිබුද්ධිය අවශ්‍ය වෙන්නේ මේ ෂුක්ෂම වූ රහස අනාවරණය කරගන්න. මේ සංසාරේ තියෙන කපටි ස්වභාවය අනාවරණය කරගන්න. අනාවරණය කරගෙන මේ ඔරොත්තු දෙන භාවනාවේ සීමාව දකින්න. එහිත් සීමාවක් තියෙනවා එයත් අවසානයේ සංසාරෙම නිර්මාණයක්, සංස්කාරයක්. එතනින් එතෙරවෙන භාවනාවට එතෙරවෙන ගමනකටයි පා තබන්න තමා අපි මේ උත්සාහ කරන්නේ. සිහිබුද්ධිය තමයි යතුර, දොරටුව, මාවත වාහනය, යානය යාත්‍රාව. අපට තියෙනවා තෝරා ගැනීම් දෙකක්. ඔරොත්තු දෙන කෙනෙක් වෙනවද, එතෙර වෙන කෙනෙක් වෙනවද?. ඔරොත්තු දෙන්න සිහිබුද්ධිය අවශ්‍ය නෑ. එයට අවශ්‍ය කිඹුල් හමක් පමණයි. එය හදාගන්න පුළුවන් සිත එකම අරමුණක නැවත නැවත නැවත පුහුණු කිරීම තුළ. මේ මායාව තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ සිහිබුද්ධියයි. ඒ අවබෝධයෙන් හිතවතුනි අපි සිහිබූද්ධියට අවධානය යොමු කරමු...
භාවනාව
ආවර්ජනය කරන්න. අද දවස ගෙවුනු වරුව වරු දෙක අවදි වුන මොහොතේ පටන් මේ දක්වා මොන තරම් ගැටලු ප්‍රශ්න විසඳන්න සිදු වුණාද?
කීයක් නම් ප්‍රශ්න වලට උත්තර හොයන්න කීයක් නම් ගැටලු වලට විසඳුම් හොයන්න වෙහෙසුනාද? ඒ ගැන ගැඹුරින් ආවර්ජනයක් කරන්න.
ඇතිවුන පැමිණි ගැටලුවලින් කීයකට ස්ථිර විසඳුම් දෙන්න පුළුවන් උනාද, නැවත කවදාවත් ඇති නොවන ආකාරයට.
කීයක් නම් ගැටලු වලට තාවකාලික පිළියම් යොදන්න සිදු වුණාද පැලැස්තර අලවන්න ගැටළු කීයකට විසඳුම් හොයාගන්න බැරිවුනාද?. මේ එක දවසක් දවසින් බාගයක් ඇතුළත මුණගැසුනු ගැටලු ප්‍රශ්න වලින් මතක් කරන්න පුළුවන් ගැටළු ප්‍රශ්න මේ කාණ්ඩ තුනට බෙදන්න පුළුවන්, ස්ථීරව විසඳු ප්‍රශ්න සියයට සියයක් විශ්වාසයි නැවත ඒ වූ ප්‍රශ්න ඇති නොවන බව. දෙවැනි කාණ්ඩය එවෙලෙට පැලැස්තරයක් ඇලවූ ප්‍රශ්න කොයි වෙලේ ආයෙ කෑ ගහයිද දන්නෙ දන්නැති ගැටලු තුන්වන කාණ්ඩය ස්ථිර විසඳුමකුත් දුන්නේ නැති තාවකාලික විසඳුම් හොයා ගන්නත් බැරිවුනු තවමත් වද දෙන ප්‍රශ්න.
කීයක් නම් ගැටලු අභියෝග ප්‍රශ්න දරාගෙන ඉන්න වෙලා තිබෙනවාද ? දරාගෙන ඉන්න පුළුවන් කෙනකු බවට පත්වෙලා තිබෙනවාද ?
ඊයෙන් අදට ගෙනා ගැටළු අදින් හෙට ගෙනියන ගැටළු...
මේ සියලුම විසඳුම් සහිත විසදුම් රහිත ප්‍රශ්න මවන සැබෑම මූලය මේ සියලුම ප්‍රශ්න උනන උල්පත, ඒ උල්පතේ සිටිනතුරු ඉවරයක් නෑ, එන එන ප්‍රශ්නෙට උත්තර හොයනවා, උත්තර හොයනවා, උත්තර හොයනවා. එයයි උල්පත අපෙන් බලාපොරොත්තු වෙන්නේ.
දවසක මරණය නැමැති ප්‍රශ්නයත් මේ උල්පතින් ම මතුවෙයි කටඋත්තර නැතිවම. එතෙක් එන එන ප්‍රශ්නයට රැවටිලා එන එන ගැටළුවට රැවටී ඒ වෙනුවෙන් ඒ සියල්ල වෙනුවෙන් මේ ජීවිතයේ නාස්ති කරනවාද නැතිනම් ඒ හරහා එගොඩ වෙන ගමනක් පටන් ගන්නවා ද? ඒ විතර්කයත් සමග හිතවතුනි සාකච්ඡාවට එමු.
සාකච්චාව
සිහිබුද්ධිය තිබුනොත් වර්තමානය පැහැදිලිව තේරුම් අරගෙන වර්තමානය අනාගත භවය හදන තැනක් කරගන්නේ නැතිව අතීත භවය නිරෝධ වෙන තැනක් පමණක් බවට පත්කරගන්න පුළුවන්. විපාක දෙන භවයක් විපාක දෙන කර්ම කියලා කියන්නේ මෙතන වර්තමානයේ කරන ක්‍රියාවක්. එතකොට ඇයි වර්තමානයේ කර්මයක් කරන්නේ ? කර්මයක් කෙරෙන්නේ මෙතන ප්‍රශ්ණයක් තියෙනවා කියලා දැනෙන නිසා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයනවා. ඒ උත්තරය තමා කර්මය කියලා කියන්නේ. එතකොට ප්‍රශ්නය කියන්නේ “අතීත කර්මයක වර්තමාන විපාකය”. වර්තමානයේ තියෙන ගැටලුව එක්කෝ අසනීපයක්,බොහෝ විට පවුලේ රටේ ලෝකයේ අතීත ක්‍රියාවක වර්තමාන විපාකයක්. ඒ බව අවබෝධ කරගන්නේ නැතිව මේ වර්තමාන විපාකය අලුත් ප්‍රශ්නයක් විදිහට අරගෙන ඒකට උත්තරයක් හොයනවා. එතකොට ආයෙත් විපාකය නිසා කර්මයක් කරනවා. ඒ කර්මය නිසා කිසියම් දවසක ආයෙත් විපාකයට මූණදෙන්න සිද්ධ වෙනවා. සංසාරයේ විපාකය මෙතන මේ මොහොතේ නෙමෙයි, ඒ නිසා ඒ තාක් ඉන්න සිද්ධ වෙනවා මේක තමයි භවය කියන්නෙ. ඉතින් මේ සියල්ල වෙන්නේ සිහි බුද්ධියෙන් තොරව. සිහිබුද්ධිය තිබුනොත් තේරෙනවා වර්තමාන ගැටලුව කියන්නේ අතීත කර්මයක විපාකයක් කියල, එහෙම තේරුනොත් වර්තමාන ගැටලුවට අනාගත විපාකයක් විදින්ට සිදුවුන කර්මයක් නොකර පිළිතුරක් හොයන්න පුළුවන්. ක්‍රියා වර්ග දෙකක් තියෙනවා අනාගත විපාක ලැබෙන ක්‍රියා සහ අනාගත විපාක නොලැබෙන ක්‍රියා කියල. මමත්වයෙන් කරන ක්‍රියා සහ මමත්වයෙන් තොරව කරන ක්‍රියා. ඉතින් මේ දෙක වෙන් කරගන්න සිහිබුද්ධිය අවශ්‍යයි. එසේ වර්තමානය පැහැදිලිව තේරුම් අරගෙන අනාගත විපාකයක් ලැබෙන ක්‍රියාවක් සිදුනොකොට අතීත විපාක නිරෝධ වෙන තැන පමණක් බවට පත්කරගන්න පුළුවන්.
දැකීම අවබෝධය තමා සිහිබුද්ධිය බලාපොරොත්තුව. ඒ සඳහා අපි සොයන්න හිතන්න විමසන්න ඕනේ මේ කියන කිසි දෙයක් ඇත්ත හෝ බොරු හෝ කියා විශ්වාස කිරීම නොවෙයි. විශ්වාස කිරීම සිහිබුද්ධියට අදාල දෙයක් නෙමෙයි විශ්වාසයක් තියෙන තැනක සිහිබුද්ධිය නෑ සිහිබුද්ධියක් තියෙන තැනක විශ්වාසයක් අවශ්‍ය නෑ.
භාවනාව ඇතුලේ එකවර වැඩ කිහිපයක් කරලා කාර්යක්ෂම යෝගියෙක් වෙන්න බෑ, ඒ වෙනුවට යෝගියෙක් කරන්නේ මනස කළමණාකරනය කර ගැනීමක්, ඒ මොහොතේ කරන කාර්යයට සම්පූර්ණ අවධානය යොමු කරන එක. ඇහෙනවා නම් ඇහෙනවා පේනවා නම් පේනවා හුස්ම නම් හුස්මක් ඇවිදිනවා නම් ඇවිදිනවා එහෙම ඉන්න එක නමුත් මනස එහෙම ඉන්න දෙන්නෙ නෑ. මේ මනස පුරුදු කරල තියෙන්නෙ බහුකාර්ය යන්ත්‍රයක් වගේ. ඉතින් මේ භාවනාව ඇතුලෙත් බහුකාර්ය යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා. ඒ බව අඳුරගෙන අපි ඒ යන්ත්‍රය පණ ගන්වන්නේ නෑ.
මට අසීමිතව ඔරොත්තු දෙන කෙනෙක් වෙන්න බැහැ. ඒක හීනයක්. සංසාරේ ප්‍රශ්න අසීමිතයිනේ ඒ බව තේරුම් ගෙන සංසාරය ගැන කලකිරෙයි කියලා සංසාරය අපට හීනයක් පෙන්වනවා. අපිට අසීමිතව ඔරොත්තු දෙන කෙනෙක් වෙන්න පුළුවන් කියා. ඒ වෙනුවට මෙතන තියෙන්නෙ හේතුඵල සම්බන්ධයක්. සිහිබුද්ධිය තිබුනොත් පේනවා විරිය කැමැත්ත ඕනෙකම තිබුනොත් යම් ප්‍රමාණයකට දරාගන්න පුළුවන් කියා, ප්‍රඥා චෛතසික තිබුනොත් මෙම වේදනා ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියලා දකින්න පුළුවන්. සිහිබුද්ධිය තිබුනොත් මීට කලින් මොන තරම් කායික වේදනා විඳලා තියෙනවාද ඒ එකක් වත් දැන් නෑ. මේ විදිහට මේ වේදනාවත් තව ටිකකින් නැති වෙයි. මේ වගේ ඉන්ද්‍රිය ධර්ම චෛතසික එකතු උනොත් අපිට ඉන්න පුළුවන්. ඒව එකතු නොවී මට පුළුවන් කියල හිතුවට එහෙම ඉන්න බැහැ. එහෙම ඉන්න පුළුවන් කියලා සිතුවිල්ලක් තියෙනවා, හැදිලා තියෙනවා එවල තියෙනව ඒ ආපු සිතුවිල්ලට අපි රැවටිලා තියෙනවා.
සිහිබුද්ධියේ ඉහළම භාවිතය තමයි කුසල් අකුසල් වෙන්කරගැනීම, සිතුවිලී හඳුනාගෙන මොන සිතුවිල්ලටද පණපොවන්නේ මොන සිතිවිල්ලටද යන්න හරින්නේ කියා තෝරා බේරා ගන්න එක. එතකොට අපි ok එක දුන්නොත් පමණයි සිතුවිල්ලක් ක්‍රියාත්මක වෙන්නේ. අපි ok නොකොළොත් කිසිම සිතිවිල්ලකට බෑ ක්‍රියාත්මක වෙන්න. සිතිවිලි එනවා හැබැයි ඒ සිතිවිලි වලට බලයක් නෑ. වචන හදන්න ක්‍රියා හදන්න කල්පනා හදන්න. මේ වචන කායික ක්‍රියා කල්පනා හැම දෙයක්ම සඳහා අනුමැතිය අවශ්‍යයි. ඉතින් වෙලා තියෙන්නෙ මේ හැම සිතිවිල්ලක්ම බලෙන්, රවට්ටලා අපෙන් ok එක ගන්නවා. අපි දන්නේත් නෑ අපි අනුමැතිය දුන්නා කියලා. ඉතින් මේ නොදැනුවත්කම තමයි මිනිස්සු පින් කරන්නෙත් පව් කරන්නෙත්, පින් කරන්න කිසියම් බුද්ධියක් අවශ්‍යයි. හැබැයි කුසලය සඳහා සිහිබුද්ධිය දැනුවත් බව අත්‍යවශ්‍ය ය.
සිහි බූද්ධිය පමණයි මනසට තියෙන එකම රැකවරණය ආරක්ෂාව. මනස තරම් අනාරක්ෂිත තවත් දෙයක් නෑ. මනසට සාපේක්ෂව ශරීරය, යම්තාක් දුරකට ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. සියයට සියයක් සාර්ථක නොවුනත් උදාහරණයකට කිව්වොත් ගින්දරකට ඇඟිල්ලක් දික් කළොත් ඇඟිල්ල දන්නවා ආපහු ගන්න දිගටම පිච්චි පිච්චි ඇඟිල්ල ගින්දරේ තියෙන්නෙ නෑනේ. ශරීරයේ යම් තාක් දුරකට තමන්ම ආරක්ෂා වෙන්න දන්නවා, මෙතැනදී ශරීරය මනසට වඩා ඉදිරියෙන් ඉන්නේ. මනසට එහෙම නෑ, එයා හරිම අසරණයි. දිගටම පිච්චි පිච්චි ගිනි ගොඩවල් මැදට වෙලා ඉන්නවා. එයාට ගින්නක රස්නය දැනෙද්දී එකපාරටම එලියට පනින ගතිය ඒ හැකියාව නැහැ, රෑ වැටුණු වලේ දවලුත් වැටෙනවා. එහෙම මනසකට බාහිර පිළිසරණක් නෑ. එහෙම තියෙනවා කියලා මනසම රැවටිලා තියෙන්නේ, ලොකු රැකවරණයක් පිළිසරණක් තියෙනවා කියලා. ඒක සිතුවිල්ලක් පමණයි. තියෙනවනම් රැකවරණයක් ලැබෙන්නේ සිහි බූද්ධියෙන් පමණයි, එය තමයි මනසට තියෙන එකම රැකවරණය ආරක්ෂාව.
ආවර්ජනය කළ හැකි ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි අග සිට මුලට ආපස්සට මතක් කරගෙන යන එක අවසානයට කළේ මොකක්ද ඊට කලින් කළේ මොකක්ද ආකාරයට. ඊළඟට කතාබහක් අරගෙන ආවර්ජනය කරන එක. එතනදී ආවර්ජනය කරන්නේ කළ කතාබහ පමණයි. ඊටත් එහා ගිහින් අපේ සිතීම් ආවර්ජනය කරන්න පිළිවන්. අපි ආවේගශීලී උණ අවස්ථාවන් ටික විතරක් අරන් ආවර්ජනය කරන්න පිළිවන්. මේ ආකාරයට ක්‍රම රාශියක් තියෙනවා. මේ සැම ක්‍රමයකම ප්‍රතිඵල ආනිසංස තියෙනවා. ඉතින් එතකොට එහෙම බලනකොට තමයි මතක් වෙන්නේ සමහර දේවල් බාගෙට කරන තියෙන්නෙ සමහර දේවල් කල්දාල තියෙනවා සමහර දේවල් අමතක වෙලා තියෙනවා කියල.මේවා ඔක්කොම මතක් වෙනවා ආවර්ජනයේ තියෙන වටිනාකම ඒකයි වැරදියට තේරුම් ගෙන තියෙන දේවල් වැරදියට උත්තර දුන්නු ප්‍රශ්න, බාගෙට උත්තර දුන්නු ප්‍රශ්න, උත්තර නොදුන් ප්‍රශ්න, මේ සියල්ලම තේරෙනවා. ජීවිතයට සැලසුම් ඕනේ, ආවර්ජනය වැදගත් වෙන්නේ ජීවිතය හරියට සැලසුම් කරගන්න. ආවර්ජනයයි සැලසුම් කිරීමයි දෙකම වර්තමාන ක්‍රියා දෙකක් ආවර්ජනය අතීත ක්‍රියාවක්වත් සැලසුම් කිරීම අනාගත ක්‍රියාවක්වත් වෙන්නේ නෑ. අතීත අනාගත ක්‍රියා කියා දෙයක් නෑ. ක්‍රියාවක් හැමවිටම වර්තමානයි. මෙය ආවර්ජනයක් පමණයි කියන අවබෝධයෙන් හා මෙය සැලසුම් කිරීමක් පමණයි කියන අවබෝධයෙන් ආවර්ජනය කරන්නත් පුළුවන්, සැලසුම් කරන්නත් පුළුවන්. එතකොට හොඳ සැලසුමක් හදන්න හොඳ ආවර්ජනයක් අවශ්‍යයි. හොඳ ආවර්ජනය කරන්න හොඳ සිහියක් සිහි බුද්ධියක් අවශ්‍යයි.
සංසාරය කියන්නේම ගැටුමකට අමුතු දෙයක් නෙමේ. අපි ගැටුමක්ද හදාගන්නෙ එතන හදාගෙන තියෙන්නේම සංසාරය. අතීත කර්ම විපාකයකට වර්තමානයේ අලුත් කර්මයක් කරනවා ඒ කර්මය නැවත අනාගත දවසක විපාක දෙනවා, මේ තමයි සංසාරය කියන්නේ. ගැටුමක් නෑ සසරක් නැතිව. සසර තියෙන හැමතැනම ගැටුමක් තියෙනවා. ඉතින් අපි අවබෝධයන් අත්දැකීම් සියල්ල උදව් කරගෙන ගැටුම් අඩු කරගන්න ඕනේ, ඒ සඳහායි මේ සියල්ලම. මේකෙ ගැටෙන්න දෙයක් නෑ, ගහගෙන බැනගෙන සංසාරේත් එක්ක යන්න බෑ. අපිට වෙන කෙනෙක් එක්ක රැකියාව එක්ක තරහ වෙලා දමන ගහලා යන්න පුළුවන්. හැබැයි සංසාරෙත් එක්ක තරහා වෙලා කොහේ යන්නද? ඒ තරහ වීම තුළමත් අපි සසර ගමනමයි දික් කරගන්නේ. ඒ නිසා අපේ සිහිබුද්ධිය උරගාලා බලන්න තියෙන හොඳම තැන තමා සංසාරය. මේ එදිනෙදා ජීවිතයම තමයි හොදම තැන. අපි කොතරම් සිහිබුද්ධියෙන් ඉන්නවද, අපිට කොතරම් සිහි බුද්ධියක් තියෙනවද කියලා බලන්න. එදිනෙදා එන ගැටළු ඒවාට අපි මුහුණ දෙන්නේ කොහොමද, මොනතරම් දුරට අනිත් අයගේ ප්‍රශ්න වලට අපි සංවේදීද, ඒ අයගේ ඕන එපාකම් වලට සංවේදීද, මොන තරම් දුරට මට මගෙන් එළියට ඇවිල්ලා අනිත් අය වෙනුවෙන් කැපවෙන්න පුලුවන්ද, උදව්වක් කරන්න පුලුවන්ද, කිසිම අපේක්ෂා කිරීමකින් තොරව. මේවා තමයි සිහිබුද්ධිය උරගාලා බලන්න පුළුවන් උරගල්. වෙන උරගල් නැ. සංසාරේම තමයි අපේ සිහිබුද්ධියේ මුවහත උරගා බලන්න තියෙන දේ.
මේ සිහිණුවන එක්ක මොනතරම් ආශ්චර්යමත් ගමනක් යන්න පිළිවන්ද කියන කාරණය වැඩි වැඩියෙන් තේරෙනවා ඇති. මොනතරම් ගැඹුරෙන් සිහිබුද්ධිය උපදවා ගත හැකිද උපදවාගත යුතු ද කියන කාරණයත් හොඳින් තේරෙනවා ඇති. ඒ වගකීම සම්පූර්ණයෙන්ම අපේ අතේ තියෙන්නෙ. ඒ සඳහා මොහොතක් ජීවිතයෙන් දෙන්න සිහිබුද්ධියට, එයයි චේතනාව එයයි අදිටන. සිහිබුද්ධියට ඉඩ දෙන්න ජීවිතයෙන්. හැමදෙනාටම සෙතක් ශාන්තියක් සැනසිල්ලක් ම වේවා !
-------------------------------------------------------------
මෙම සාරාංශය කියවා ඔබට ඇති ගැටළු අදහස් මෙහි ඇති comments යටතේ සඳහන් කරන්න පුළුවන්. ඊළඟ සාකච්චාවේදී ගුරුතුමා විසින් පිළිතුරු ලබාදේවි.