සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 37

2022 ජුලි 6 සාරාංශය

සදහම් සැඳෑවට එකතු වුණු ආදරණිය හිතවතුනි, සිහිබුද්ධියට හෝරාවක් තුළින් කිසියම් අභ්‍යන්තර චාරිකාවක ඔබ අප යෙදුණා. ඒ චාරිකාවේ චමත්කාරජනක අත්දැකීම් හා අවබෝධයන් මෙන්ම සංවේගයන්ද අඩු වැඩි වශයෙන් ලැබුවා. විශේෂයෙන් තුන් සිතකින්වත් නොසිතූ, අනපේක්ෂිත සිදුවීම්, විපත්තිදායක සිදුවීම් එකින් එකට මුහුණ පාන්නට සිදුවන විට, රැකවරණයට, පිහිටට, ආරක්ෂාවට හා තනිනොතනියට තිබෙන්නේ හා සිටින්නේ ගොඩනඟාගත් සිහිකල්පනාව පමණක් ම බව මනාව සනාථ වුණා. කොපමණ වෙනත් ක්‍රියාකරකම්වල, වත්පිළිවෙත් වල යෙදුන ද, එයින් කොපමණ ඵල-ප්‍රයෝජන ලැබුණ ද, හිතවතුනි තිබුණු සැප-සම්පත් හා හුරුපුරුදු ජීවන රටාව එක්වරම අහිමිවන විට සාමාන්‍ය සිතකට මුලින්ම සිදුවන්නේ සිහිකල්පනාව නැතිවීම.

වියෝවකදි, අහිමිවීමකදි, ඛේදවාචකයකදි, අර්බුදයකදි, අරගලයකදි, පිළිතුරක් සොයාගන්නට බැරි ගැටලුවකදි මුලින්ම සාමාන්‍ය සිතකට සිදුවන්නේ සිහිකල්පනාව නැතිවීම. සිහිය නැතිවීම ක්ලාන්තවීම දක්වාම සිදුවිය හැකිය. කම්පනය උග්‍රනම් ක්ලාන්තවීම සිදුවිය හැකියි. ක්ලාන්තවීම තාවකාලික බැවින් නැවතත් සිහිය පැමිණේ, නමුත් ඉන් ඔබ්බට ගොස් හෘදයාබාධයක් දක්වා කම්පනය බලපෑ හැකි අතර එයිනුදු නොනැවතී මොළයේ කොටසක් මියයෑමක්, ඊටත් එහා සම්පූර්ණයෙන්ම ජීවිත හානියක් වියහැකියි. මෙවැනි කාරණා පිළිබඳ උදාහරණ අවශ්‍ය පමණට ලැබෙන බව කියන්නට වෙන්නේ සතුටින් නම් නොවේ, සිහිබුද්ධියට හෝරාවක් වැඩසටහන් මාලාවෙම කළ පැහැදිලි කිරීම්වලට උදාහරණ අප ජීවත් වන සමාජයෙන් දින කිහිපයකින්ම ලැබෙන විට, මේ න්‍යායන් සමාජයෙන්ම පැහැදිලිව ඔප්පුවෙන බව දකින විට ඇතිවන්නේ සතුටක් නම් නොවේ, සංවේගයක් මෙන්ම ධර්මතා අවබෝධ කරගැනීමට ලැබීම සැනසිල්ලට හේතුවක්.

අර්බුද අවශ්‍ය නෑ ධර්මතා අවබෝධ කර ගැනීමට, අවශ්‍ය වුණත් නැතත් අර්බුද පවතින විට මුලින්ම බැලිය යුත්තේ සිහිකල්පනාව තිබෙනවාද කියා. සිහිකල්පනාව තිබුණොත් වෙන දේවල් පිළිබඳ බියවිය යුතු නැහැ. සිහිකල්පනව නැතිවූ විට එපා කීවත්, බිය වී මොනවා කරගනියිද කියා කිවනොහැකියි. බිය වැඩි වූවිට කරන කියන දේ පිළිබඳ අනාවැකි කිව නොහැකියි. නිර්භීත කෙනෙකු පිළිබඳ අනාවැකි කිව හැකියි, කිසිම දෙයකින් බියට පත්නොවන, කිසිම සිදුවීමකින් භීතියක් ඇති කළ නොහැකි සිතක් පිළිබඳ අනාවැකි කියන්න පුළුවන්. එවැනි අයෙකුගෙන් කිසිවෙකුට හානියක් වන්නේ නෑ. බිය නැති අයෙකු කිසිවෙකුට භීතියක් ඇති කරවන්නේ නෑ. ‘කෙනෙක් බය නැත්නම්, අනිත් අයව බය කරන්නේ නෑ’. නිර්භීත සිතකට අභය දානය දියහැකිය. අභය දානය දියහැක්කේ නිර්භීත සිතකට පමණි. බියට පත්වන, තැතිගන්නා සිත්, අන් සිත් භීතියට පත් කරනවා. කිසියම් සිතක් බියෙහි ගොදුරක් බවට පත්වන්නේ නම් එම සිත කුමක් කරයිද කියා කියන්න බෑ.

මරණ බිය ඇති වුණාම ඕනෑම දෙයක් කරන්න පුළුවන්. පාලනය කර ගැනීමට අමාරුම හැඟීම ආවේගය බියයි. අන් සියලුම ආවේග හා බිය අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. කුමක්ද වෙනස සැඟවීමට හැකිවීම. වෙස්මුහුණු දාගන්න පුළුවන්. ඉරිසියාව කිය හැඟීම සිතේ තියාගෙන, “හරි සතුටුයි” කියා කියන්න පුළුවන්. විභාගයක් සමත් වූවාට, නව නිවසක් හැදුවාට, අළුත් වාහනයක් ගත්තාට, සතුටුයි කියා කියන්න පුළුවන්.  ඊර්ශ්‍යාව වැහෙන්න ප්‍රමෝදයේ වෙස්මුහුණ පැළඳිවිට, ප්‍රමෝදය නැමති වෙස් මුහුණින්  ඊර්ශ්‍යාව නමැති ප්‍රකෘතිය වැසී යනවා. තරහා, අමනාපය වහන්න පුළුවන් ආදරයේ වෙස් මුහුණින්. එය සැබෑ ආදරයක්, හිතවත්කමක් නොවෙනමුත් පෙන්වන්න පුළුවන්. ඇතුළේ තියෙන්නේ කැකෑරෙන බද්ධ වෛරය, නමුත් උඩින් හිනාවෙන්න පුළුවන්, සුබ පතන්න පුළුවන්. අනිත් හැම ආවේගයනුත් වහගෙන නෑ වගේ ඉන්න පුළුවන්, එසේම නෑ වගේ ඉන්නවාට අමතරව එයට ප්‍රතිවිරුද්ධ ලස්සන හැඟීම මුහුණේ තවරාගන්න පුළුවන්, කටහඬේ ගාගන්න පුළුවන්. ඇස් දෙකේ සැබෑව වෛරය, නමුත් හිතවත්කමේ අඳුන් තවරාගන්න පුළුවන්, එවිට ඒ බැල්මෙන් පේන්නේ හිතවත්කම. වෛරයේ ශාපය හිතවත්කමේ ස්වරයෙන් වැහිලා. 

සියලූම ආවේගයන් එසේ වසාගන්න පුළුවන් මුත් හිතවතුනි වසාගන්න බැරි හැඟීම තමා බය. බයත් එක්ක ඉන්න බෑ. කිසියම් සතෙකුට බයක් ඇතිවෙනවා නම් පුළුවන්ද බය නෑ වගේ ඉන්න. Phobia භීතිකාව තිබෙනවා නම්, කැරපොත්තෙකු ඉන්නවා දකිනවා. “නෑ බය නෑ” වගේ ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. ඒ තමා භීතිකාවේ phobiaවේ ස්වභාවය. අර වෛරය තියාගෙන හිනාවෙන්න පුළුවන් වගේ බය තියාගෙන වීරත්වයක් පෙන්වන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ, නමුත් මොන ආවේගය රැවැට්ටුවත් බිය රවට්ටන්න බෑ. සෑම තැනම ක්‍රියාත්මක වන්නේ ධර්මතාවයන් වන අතර මෙතැන ක්‍රියාත්මක වන්නේ ද එවැනි ධර්මතාවයක්ය. අනිත් සෑම හැඟීමකටම වෙස් මුහුණ දී ඇති නමුත් බය නමැති හැඟීමට වෙස් මුහුණු නෑ. රාගයට පිළිකුලේ වෙස් මුහුණ, සැකයට විශ්වාසයේ වෙස් මුහුණ පැළඳගන්න පුළුවන් නමුත් බයට වෙස් මුහුණක් නෑ. බිය ආ සැණින්, බියට පත්වෙන දෙයක් පැමිණි විගසින්, බිය ඇති වෙනවා එසේම ඇතිවන බිය ප්‍රදර්ශනය වෙනවා. 

බිය පාලනය කරන්න බෑ. බිය පැමිණිවිට ‘ඉතිපිසෝ ...’ ගාථාව කියන්න පුළුවනි. නැතිනම් සුරයක් දාගන්නත් පුළුවනි. එසේ නොමැති නම් ආයුධයක් අතේ තියාගන්නත් පුළුවනි. එයින් අමතර ශක්තියක් ලැබෙනවා. නැතිනම් ශරීර ආරක්ෂකයෙකු තමන් සමඟ ඉන්නවා එහෙම පුළුවනි. එය හැමෝටම පේනවා, ගාථාව කියනබව, සුරයක් දමාගෙන සිටිනබව, ආයුධයක් අතේ ඇතිබව, ශරීර ආරක්ෂකයින් වටකරගෙන ඉන්නබව පේනවා. දකින විටම පේනවා බියට පත්වූවෙකු (බියගුල්ලෙකු) බව. මේවායේ වැරදි නෑ, ඉතිපිසෝ ගාථාව කීම වැරැද්දක් නොවේ. හැබැයි දන්නවානේ මේ බියට පත්වී බව.

බියට සොබා දහම වෙස් මුහුණු දී නැති නිසා බිය අඩු වැඩි වෙනවා. බිය, තමන්ගේ ජීවිතයට හෝ තමන්ගේ අභිමානයට තර්ජනයක් ආවම ඇතිවන්නක. ප්‍රබල බිය අතර සුවිශේෂි තැනක් හිමිවෙනවා ජීවිත බියට, ජීවිතය නැතිවේයැයි කියා ඇතිවන බිය, මරණ බිය. ඊලඟට ජීවිතයට අනතුරක් වේයැයි සිතා ඇතිවන බිය. ඊළඟට දේවල්, ළඟින්ම සිටි අය, තනතුරු නැතිවේ යැයි ඇතිවන බිය. මේ ආකාරයට භෞතික දේවල් ආශ්‍රයෙන් බියවල් කීයක් අප විඳිනවාද?

 මරණ බියවැනි උග්‍රම බියටත් එහා ගිය බියක් තමා තමන්ගේ අභිමානය නැතිවේ යැයි ඇතිවන බිය. ‘මමත්වයට තිබෙන බිය’ කුමක්ද ‘නම කැතවෙයි, කීර්ති නාමයට හානිවෙයි, මෙතෙක් කල් රැකගත් ආත්ම ගෞරවය නැතිවෙයි, සමාජයට මුහුණ දෙන්න බැරිවෙයි’. මෙය මරණ බියටත් වඩා ප්‍රබල බියක්. එයටත් වඩා ගැඹුරු තැනකින් තමා මෙම බිය මතුවන්නේ. මරණ බිය ඇතිවන්නේ ජීවිත ආශාවත් එක්ක. ජීවිත තෘෂ්ණාව, ජීවත් වෙන්න තියෙන ආසාව නමැති උල්පතිනුයි මරණ බිය උනන්නේ. නමුත් නම පිළිබඳ කාරණයට එනවිට තමන්ගේ නමට හොඳ නෑ, පරම්පරාවට හොඳ නෑ, රටට, ජාතියට ආගමට, කීර්ති නාමයට හොඳ නෑ කියමින් පැමිණෙන බිය එන්නේ මරණ බියටත් යට තැනකින්, මානයෙන් පැමිණෙන්නේ. ශරීරයට තියෙන ආශාවටත් වඩා ගැඹුරු තැනකින් තමා මානය උපදින්නේ. මානය නිසා තමා ඔය අනිත් කාරණා එන්නේ. සමාජයට මුහුණ දෙන්න බෑ කියා සිය දිවි නසා ගන්නා අය ඉන්නවානේ. බලන්න එවිට මරණ බිය නැද්ද? නමුත් කැමැත්තෙන් මැරෙනවා, මැරිලා රැකගන්න පුළුවන් දෙයක් නෑ. කිසිදෙයක් රැකගන්න බෑ මැරිලා, රැකගන්න නම් ජීවත් වෙන්න ඕනේ. නමුත් ඒ නොදන්නකම නිසා සිතනවා “නම කැත කරගෙන, කීර්තිය නැති කරගෙන, ලැජ්ජාවට පත්වෙලා ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳයි” කියා. එවිට පේනවා මරණ බිය දෙවැනි වෙන බව අර දේවල් නැතිවෙනවාට තියෙන බයට වඩා. මේ මානය නිසා, මානය ඇතිවන්නේ ශරීරය පිළිබඳ තියෙන ආශාවට වැඩිය ගැඹුරු තැනකින්. යටින් එන දේ ඊට උඩින් තියෙන දේවල් යටකරගෙන, කඩාගෙන බිඳගෙන යන්න පුළුවන්.

මේ ආකාරයට බියක් ඇතිවුණාම බියේ හැටියට කොපමණ දේවල් සිදුවෙන්න පුළුවන්ද? එහි ප්‍රමාණයට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. සිය දිවි නසා ගැනීමත් වෙන්න පුළුවන්, ඉන් මෙහා විනාශකාරි දේවල් කරන්න පුළුවන්. තම ජීවිතය, ආත්ම ආරක්ෂාව, දේපළවල ආරක්ෂාව සඳහා කියා තව කෙනෙකුගේ ජීවිතය හානි කිරීම් කරන්න පුළුවන්, සමහරවිට නීතියත් එය පිළිගන්න පුළුවන්. මෙයින් පැහැදිලි වන්නේ බිය ඉදිරියේ සාමාන්‍ය සිතක් මොනතරම් අසරණ, රූකඩ තත්වයට පත්වෙනවාද. වෙන කිසිදු හැඟීමක් එසේ ප්‍රබල නැහැ. ඒවා පාලනය කර ගැනීමට හැකියි වෙස් මුහුණු භාවිතයෙන්, නමුත් බියට වෙස් මුහුණු නැත. ඒ නිසා බිය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මන්ද බියක් ඉදිරියේදි සිහිකල්පනාව නැතිව යන නිසා. ඒ නිසා ඕනෑම දෙයක් බියට පත්වූවෙකු අතින් සිදුවිය හැකියි. බිය ඉදිරියේ සිහිකල්පනාවෙන් යුක්ත වන්න, සිහිකල්පනාව ඇතිකරගන්න විශේෂයෙන් පුහුණුවක් අවශ්‍යයි.

බියට වෙස් මුහුණක් නැත්තේ ඇයි යන්න කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලි වෙන සරලම කාරණය නම් බිය අවශ්‍යයි පැවැත්මට. පැවැත්ම, භවය නැතිනම් සංසාරයේ ඉන්න බිය අවශ්‍යයි වගේම සංසාරයෙන් ඉවත් වීමටත් බිය අවශ්‍යයි. මේ දෙකටම බිය අවශ්‍යයි. දිගින් දිගටම සංසාරයේ ඉන්නේ බිය නිසා කියන මේ සරල නිගමනය අහන්න කවුරුවත් කැමති වෙන එකක් නෑ, නමුත් සංසාරයේ ඉන්නේ බියගුල්ලන්. සංසාරයේ යම්තාක් දෙනෙකු ඉන්නවාද ඒ හැම දෙනාම බියගුල්ලන්. බිය නිසයි ඉන්නේ, නිර්භීත කිසිකෙනෙකු සසරේ ඉන්නේ නෑ. බය කර තමා සත්ත්වයින් සංසාරයේ තියන් ඉන්නේ. 

හිතවතුනි, මැනවින් විචාර බුද්ධියෙන් විමසා බලන්න, පැවැත්ම වෙනුවෙන් මොනතරම් දේ කරනවාද? බිය නිසා මොනතරම් දේ කරනවාද? ඔය ආරක්ෂාව කියන වචනෙම එන්නේ බිය නිසානේ. බයක් නැත්නම් කුමටද ආරක්ෂාවක්? මොන පැත්තෙන් ආරක්ෂාව ගත්තත් බිය නිසයි ආරක්ෂාව අවශ්‍ය. සාමාන්‍ය කෙනෙක් ආරක්ෂාව වෙනුවෙන් මොනතරම් දේ කරනවාද? එක අතකින් බැලුවාම සියල්ලම කරන්නේ ආරක්ෂාව වෙනුවෙන්. මොනවා කෙරුවත් අන්තිමට බැලුවාම ආරක්ෂාව වෙනුවෙන් තමයි කර තියෙන්නේ, අනාගත ආරක්ෂාව වෙනුවෙන්, මතු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන්. මෙවැනි ආකර්ශනීය වචන භාවිතා කරමින් මොනවාද කරන්න බැරි? පාපකර්ම බැලුවොත් සියලුම පාපකර්ම කරන්නේ බිය නිසා. යම්තාක් කල් බිය තිබෙනවාද ඒතාක් කල් පව් නොකරයි කියා කිව නොහැකියි. බිය තියාගෙන පාපකර්ම නොකර සිටීම නම් ලේසි නෑ. බිය වැඩි වන්න වැඩි වන්න පව් කරනවා වැඩියි. බිය වැඩි වන්න වැඩි වන්න පින් කරන්නත් පුළුවන්. අන්න එය බුද්ධිමත් තීරණයක්.

ස්වභාවයෙන් බිය වැඩිවෙන්න වැඩිවෙන්න පව් තමා කෙරෙන්නේ. ආරක්ෂාවට සතුන්ව, මිනිස්සුන්ව මරන්න පුළුවන්. එය නිත්‍යානුකූලයි කියා කියන්නත් පුළුවන්. මනුෂ්‍යයෙකුගේ ජීවිතය හානි කරලත් කිසියම් සමාවක් නීතියෙන් ලැබෙන්න ඉඩ තිබෙනවා. නමුත් කෙනෙකුට එම බිය නිසාම පුණ්‍යකර්ම කරන්න පටන්ගන්න පුළුවන්. පුණ්‍යකර්ම බැලුවත් එන්නේ බිය නිසා, ඒ උල්පතත් බිය තමා. අපායේ යන්න තියෙන බය, හිරේ යන්න තියෙන බය, දඬුවම් විඳින්න තියෙන බය, දුක් විඳින්න තියෙන බය, මේ බියවල් නිසා පින් කරනවා. නමුත් එසේ පුණ්‍යකර්ම කිරීමට විර්යයක් අවශ්‍ය වෙනවා. හැමදෙනාම පින් කරන්නේ නෑ. වැඩි දෙනෙකු කරන්නේ පව්. ටික දෙනෙකු තමා පුණ්‍යකර්ම කරන්නේ. පව් කළත් පින් කළත් ඒවාට වෙනස් වෙනස් විපාක තිබෙනවා. යම් කිසි සීමාවක් ඇතුළේ පාපකර්ම වලට දුක් විපාක, පුණ්‍යකර්ම වලට සැප විපාක තිබෙනවා. නමුත් බිය නැතිවෙන්නේ නෑ. 

කිසිම පිනකට බෑ බිය මුලිනුපුටා දමන්න. නමුත් සීලයට පුළුවනි යම් මට්ටමකට බිය අඩුකර දෙන්න. ඕනෑම තැනකට බය නැතිව යන්න පුළුවන්. වැරදි කරන්නේ නැත්නම්, සමාජය පිළිගත්, ආගම පිළිගත්, ශිෂ්ඨ මිනිසුන් පිළිගත් වැරදි එළිපිට හෝ රහසේ නොකරන කෙනෙකු, ඉන්නවාද ඒ තැනැත්තාට හෝ තැනැත්තියට ඕනෑම කෙනෙකු ඉදිරියට යන්න පුළුවන් බියක් නැතිව. කිසිම කෙනෙකුට බෑ හේතු සාධක සහිතව අව්‍යාජ සාධක සහිතව චෝදනා කරන්න. ඒ නිසා ඒ බය නෑ. සිල් රකිනවා නම්, ශීලයෙන් දෙන මේ රැකවරණය නිසා ඒ බය නැතිවෙනවා. හැබැයි සෑම බියක්ම නැතිවෙන්නේ නෑ. කැමැත්තෙන්ම දෙයක් අන්සතු කිරීම හෙවත් දන්දීමේ පුහුණුව සහිත සිතකට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා තමන්ගේ දෙයක් නැතිවුණාමත් යමක් සොරකම් කළ පසුවත්. දානයක් දුන්නා කියා හිතාගන්න පුළුවන්නේ. එයිනුත් කිසියම් බියක් අඩුවෙනවා. සමථ භාවනාවෙනුත් ඒ වගේ බිය අඩුවෙනවා. නමුත් ඒ බියෙහි උල්පත නම් තියෙනවා. කිසිම පුණ්‍යකර්මයකට බෑ ඒ උල්පත වහලා දාන්න. දාන, ශිල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලට බිය අඩු කරන්න පුළුවන් වුණාට බිය නැති කරන්න බෑ.

මේ ආකාරයෙන් බියේ අවස්ථා ගණනාවක් දකින්න පුළුවන්. පැවැත්ම සිදුවන්නේ බිය නිසා, පවතින්න ආසාවක් තියෙනවා. ඒ නිසා බියට පත්වූ සිත් ඕනෑම දෙයක් කරනවා. හොඳ කළොත් හොඳ විපාක තියෙනවා, නරක කළොත් නරක විපාක තියෙනමුත් බියට පත් වූ සිත හොඳක් නරකක් නොසොයා, සිතෙන දේ කරනවා, මනුෂ්‍යයාගේ සිහිකල්පනාව නැතිකර දමනවා, එවිට හොඳ නරක පිළිබඳව සැලකිල්ලක් නෑ, සිතෙන දේ කරනවා. මුලින්ම ආ සිතිවිල්ල ක්‍රියාත්මක කරන්න තිබෙන ඉඩ වැඩියි බියේදි. බියට වෙස් මුහුණු හදලා නෑ සොබා දහමෙන්. අනිත් කාරණය බියක් ඇතිවුණාම පාපය කියන ඒ ප්‍රපාතයට පෙරළෙන්න තිබෙන ඉඩ බොහොම වැඩියි. නමුත් යම්කිසි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක්, ධර්ම ශ්‍රවණයක් කියන ඒ කාරණා උදව් කරගෙන පින් කරන්නත් පුළුවන්. ඒ පින්කිරීම තුළින් යම් යම් සීමාවන් ඇතුළේ තිබෙන බියෙහි කිසියම් අඩුවීමක් සිදුවෙනවා.

ආර්ය මාර්ගයටත් කෙනෙක් එන්නේ බිය නිසා. සසර බිය, සංසාරයට ඇති බිය. සංසාරේ ඉන්නෙත් බය නිසා, අපායේ යන්නෙත් බය නිසා, දිව්‍ය ලෝකේ යන්නෙත් බය නිසා, එසේම නිවන් දකින්න පටන් ගන්නෙත් බය නිසා. වෙස් මුහුණු නෑ බියට, නමුත් බියට විවිධ මුහුණුවරවල් තිබෙනවා. අන්න ඒ මුහුණුවර හඳුනා ගත්තොත් දැන් තිබෙන මුහුණුවරින් ඉහළ මුහුණුවරකට යන්න පුළුවන්. පාපයෙන් පිනට හා පිනෙන් කුසලයට එන්න පුළුවන්, අපායෙන් දිව්‍යලෝකයට හා දිව්‍යලෝකයෙන් විමුක්තියට. ඒ සඳහාත් බිය නමැති මේ සුවිශේෂි හැඟීමයි මුල්වන්නේ. යම් විදිහකින් බියට වෙස් මුහුණු තිබුණා නම් දිව්‍යලෝකයේ යන්නත් බැරිවෙනවා, නිවන් දකින්නත් බැරිවෙනවා. වෙස් මුහුණු නැති නමුත් විවිධ මුහුණුවරයන් ඇති බිය මොන මට්ටමින් අප තුළ තිබෙනවාද? කොයි මට්ටමින් අප එහි ඉත්තන් බවට පත්වී තිබෙනවාද? මොන මුහුණුවර තිබෙන බියද මේ වේලාවේ අපත් සමඟ ඉන්නේ? ඒ මුහුණුවරත් සමඟ අප දිගටම ඉන්නවාද නැතිනම් ඊලඟ මුහුණුවරට අප පරිණාමය වෙනවාද? මේ සියලු තීරණ ගැනීම් කරන්න පුළුවනි සිහිබුද්ධිය තිබෙනවා නම්. ඒ විමර්ශනය සඳහා අපි යොමු වෙමු.

භාවනාව

නිහඬ විමර්ශනයත් සමඟ කල්‍යාණ මිත්‍රයිනි ඇරයුම සංවාදයට, විමසන්නට යමක් තිබෙනවා නම් එසේත් නැතිනම් පවසන්නට යමක් තිබෙනවා නම් මේ ඒ සඳහා අවකාශයයි.

සාකච්ඡාව 

දුක් විඳින්නට වන කාරණාවම තමයි උදව් කරගන්නට පුළුවන් වෙන්නේ දුක් නොවිඳ ඉන්නත්. ගිලෙන ජලයම තමයි උදව් වෙන්නේ පීනා එතර වෙන්නත්. මේ තමා ස්වභාවය හා ධර්මතාවය. බියටත් එය සාධාරණයි. බියෙහි තිබෙන මේ ද්විත්ව රංගනය හඳුනාගෙන එය එතෙරවීම සඳහා පහුරක් කරගන්න පුළුවනි.

ප්‍ර : ඔබතුමා සඳහන් කළ විදියට බියට වෙස්මුහුණක් නෑ. නමුත් විවිධ අවස්ථාවල විවිධ මුහුණුවරින් ඇතිවෙනවා. ඒ විවිධ මුහුණුවර වල් පාලනය කිරීමට සිහිබුද්ධිය භාවිතා කරන ආකාරය ගැන විස්තර කරලා දෙන්න පුලුවන්ද? 

පි : මුල්ම කාරණය තමයි බිය විසින් හසුරුවන බිය විසින් පාලනය කරන බිය විසින් උසිගන්වනු ලබන දෙයක් තමා සංසාරය කියන්නේ, වෙන කිසිම දෙයකට නොවේ. අද අප කතා කළ කාරණා පහුගිය සතියේ සාකච්ඡා කළ දේවලට සම්බන්ධයි, මාරයා ගැන මාරයාගේ නියෝජිතයින් ගැනයි කතා කළේ. මාරයා කරන්නේ  බිය කිරීම. බෝධිසත්වයන් වහන්සේවත් බය කරන්න හැදුව කියලනේ අප අහලා තියෙන්නේ. ඊළඟට බිය කරන්න පැමිණි මාරයාව බුදුන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ “පාපී මාරය”  කියා. එහෙම ආමන්ත්‍රණය කරන විට මාරයා ලැජ්ජාවට පත්වෙලා එතනම අතුරුදහන් වුණා කියනවා, මොන වැරැද්ද තිබුණත් මාරයාගෙන් ”උඹ මාරයා නේද” කියලා ඇහුවම මාරයා ප්‍රතික්ෂේප කරන්නේ නෑ, ඒ අතින් හරි අවංකයි. මාරයා වෙනකෙනෙකු තමන්ව හඳුනා ගත්තොත් ලැජ්ජාවට පත් වෙනවා. හැබැයි ඇහෙන් හඳුනාගන්න බෑ මාරයාව, හඳුනාගන්න පුළුවන් වෙන්නේ සිහි කල්පනාවෙන්. මේ අදහස දෙන්නේ මාරයා මේ යෝජනාව කරන්නේ මාරයා මේ අණ ඇවිත් තියෙන්නේ මාරයාගෙන්, එහෙම හඳුනාගන්න සිහිබුද්ධිය ඕන. 

අවසාන වශයෙන් මේ සියල්ල එන්නේ එක්කෝ ශබ්දයක් විදිහට රූපයක් විදිහට ස්පර්ශයක් විදිහට සංවේදනයක් විදියට නැත්නම් සිතිවිල්ලක් විදිහට. ඔය ක්‍රම හයෙන් එහා මාරයාට බෑ සන්නිවේදනය කරන්න. මාරයා සත්වයා සමග සන්නිවේදනය කරන්නේ ආයතන හය හරහායි. ඒ නිසායි මාරයා හරි ආඩම්බරයෙන් කියන්නේ ”ඇහැත් මගේ රූපයත් මගේ ඇහැයි රූපයයි එකතු වෙලා හැදෙන චක්ඛු විඤ්ඤාණයත් මගේ” ආදී වශයෙන්. ඒවා සම්පූර්ණ ඇත්ත. එතකොට මාරයා එන්නේ ඉන්ද්‍රියය අත්දැකීම් හරහා. බිය එන්නෙත් ඉන්ද්‍රිය අත්දැකීමක් හරහා. එතකොට මේ ඉන්ද්‍රිය අත්දැකීම් ගැන සිහියෙන් ඉන්න වෙනවා. බිය පිළිබඳ නියාමනයක් කරන්න නම් ඉන්ද්‍රිය අත්දැකීම් පිළිබඳ සිහිය අවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය අත්දැකීම් ගැන සිහිය වගේම ඒ අත්දැකීම් ලබන විට අපට කරන්න හිතෙන්නේ මොනවාද ඇහෙන දේට මොනවාද කරන්න හිතෙන්නේ පේන දේට මොනවාද කරන්න හිතෙන්නේ අන්න ඒ ඇතුළෙන් එන පෙළඹවීම දකින්නට සිහිබුද්ධියක් තියෙන්න ඕන. ඇතුලෙන් තීරණයක් එන්නෙ, මෙහෙම කරන්න ඕන මෙහෙම කියන්න ඕන නැතිනම් නිහඬව ඉන්න ඕන කුමක් හෝ නිගමනයක් තීරණයක් එනවා. ඒ තීරණය දකින්න හඳුනාගන්න සිහිබුද්ධිය ඕන. ඒ තීරණයයි ඒ තීරණය ක්‍රියාත්මක කළහොත් මොකද වෙන්නේ? 

බය වුණු ගමන්ම යමක් කෙරෙන්නට යනවා, ඒ කෙරෙන්න යන්නෙත් චේතනාවක් හරහා. ප්‍රශ්ණය තියෙන්නේ බියක් ආවහම යමක් කරන්න හිතුනහම ඒ දේ නොකර ඉන්න බෑ හරි අමාරුයි. උස තැනකින් වැටෙන්න යනවා වගේ දැනෙන කොට ඒ තැන හිටන් ඉන්න අමාරුයි. උස තැනක ඉඳලා එතනින් වැටෙයි කියලා බය ආවහම ඒ බය නිසා එතැනින් පනින්නත් පුළුවන්, පැන්නහම වැටුණට වඩා හානියක් වෙනවා, හැබැයි වැටෙයි වැටෙයි කියා හිත හිතා ඉන්න නම් බෑ. එතකොට අන්න එතනදී සිහිබුද්ධිය කලින් පුහුණු වෙලා තියෙනවා නම්, ඒ සිදුවීම දන්නවා, ඒ සිදුවීමට බියවුණු බව දන්නවා, ඒ සිදුවීම විසින් තීරණයක් අරගෙන දෙනවා මෙය ක්‍රියාත්මක කරන්න කියා, අන්න එතනදී තමයි සිහිබුද්ධිය ඕන. සිහිබුද්ධිය එතනට ආවා නම් බය නියාමනය කරගන්න පුළුවන්, වෙන කිසිම ආයුධයක් (tool) එකක් නෑ බිය නියාමනය කරන්න. බය පාලනය කරන්න බැහැ, ඒ බියට මුහුණ දෙන්න බෑ වෙන කිසිම උපකරණයකට සිහිබුද්ධිය ට හැර.

ඊළඟ කාරණය බිය නැති කර ගැනීම වෙනුවට බිය දිහා බලන්න පුහුණුවෙන්න. බිය නැති කර ගන්නවා කිව්වට ඇත්තටම කරලා තියෙන්නේ ඒ බිය වූ දෙයින් පල යාම, පලා යන්නේ බියෙන් නොවෙයි, බිය වූ දෙයින්, පලාගියේ බියත් එක්ක, බිය ඉන්නවා ඇතුලේ.  අප සතෙකුට බිය වුනොත් කාමරේට ගිහින් දොර වහ ගන්න පුළුවන්. බිය වූ දේට එන්න බෑ ඇතුලට. නමුත් බිය ඇතුලේ තියෙනවා. නමුත් දැන් සතා නැති නිසා බයක් නැතිව ඉන්න පුළුවන්. හැමවිටම බියෙන් පලායාමක් තමයි කරන්නේ, පිරිත් කියලා කරන්නේත් ආරක්ෂක භටයින් යොදාගෙන අවි ආයුධ තබාගෙන කරන්නෙත් මැරිල කරන්නෙත් බියෙන් පළා යාමක්. පලා යනවා කියන්නේ නැති තැනකට යනවා නොවේ, බියත් එක්ක තමන් යනවා. හැබැයි එක දේකට බය වුනා නම් ඒ දේ නැති තැනකට ටිකවෙලාවකට යන්න පුළුවන්. මේ කාරණය තේරුම්ගෙන බිය දිහා බලන්න පුරුදු වෙන්න. 

කලින් සඳහන් කළා මුහුණුවර කිහිපයක් ගැන, ඔබතුමා ප්‍රශ්නය මතු කළේත් ඒ සම්බන්ධයෙන්. එතකොට ආගමක් නීතියක් සභ්‍යත්වයක් සදාචාරයක් අවශ්‍ය වෙන්නේ බියක් ආවහම පව් කිරීම වෙනුවට පින් කරන්න, එයට ලොකු සිහිබුද්ධියක් ඕනෙ නෑ, යම්කිසි සිහි කල්පනාවක් තියෙනවා නම් පව් කරනවාට වඩා පින් කරන එක හොඳයි කියන එක තේරෙනවා. මෙහි ඉවරයක් නැති බව තමයි අප වටහාගත යුත්තේ. බියෙන් පලා යන්න බැරි බව හා ඉවරයක් නැති කම. හැමදාම බියගුල්ලන් විදිහට ඉන්න වෙනවා කාට හරි බය වෙලා. 

ඒ නිසා  මොන දේවල් වලට ද බය වෙන්නේ කියා නොවෙයි ඇයි බයට මෙච්චර බය. බය ගැන කතා කරන්නත් බයයි. අන්න ඒ බය මුලින්ම නැති කරගන්න ඕන. බයට තියෙන බය බය ගැන භාවනා කරන්න පටන් ගන්න ඕන. බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන අවධියේ කැලේ ඈතට ඈතට යනකොට සමහර තැන්වලට යන්න කලින් මිනිස්සු කියනවා” ඔය පැත්තට යන්න එපා හරිම භයානක තැනක්” කියා. එහෙම කිව්ව විට උන්වහන්සේ කල්පනා කර තියෙනවා එහෙම භයානක තැන් තියෙන්න පුලුවන්ද,  බය තියෙන භෞතික තැනක් තියෙන්න පුලුවන්ද කියා, ඒ ගැන හොයන්න උන්වහන්සේ එතනටම වැඩම කළා කියලා සඳහන් වෙනවා. එතන ප්‍රබල ශබ්ද තියෙන්න පුළුවන්, නමුත් බය තියෙන්නේ හිතේ, භයානක තැන් තියෙන්නේ හිතේ විතරයි වෙන කොහේවත් නෑ. ඒ නිසා භය ඇති වෙන්නේ හිතට පමණයි. අප බයයි බයයි කියන තැන් වලට කැමැත්තෙන් යන්න පුළුවන් නම් හොඳයි, කැමැත්තෙන් යන්න  බැරි වුනත් ජීවිතේ ඕනතරම් අවස්ථා ලැබෙනවා අකමැත්තෙන් හෝ යන්න වෙන. එවැනි අවස්ථාවලදී විවෘත වෙන්න, විවෘත වෙලා බලන්න මොකක්ද මේ බය කියන්නේ, මොන වගේ හැඟීමක් ද, බයත් එක්ක ඉන්න පුලුවන්ද. 

එක එක දේවල් වෙයි කියලානේ අපව බය කරන්නේ, අරහෙම වෙයි මෙහෙම වෙයි කියා. එහෙම උනහම මොකද?. දැන් එහෙම නොවෙන්න ඕන කියලා හිතුවොත් තමයි මේ ප්‍රශ්නය එන්නේ, එතකොට නේ බයට වෙන්නේ, අපව බය කරන්න පුලුවන් වෙන්නෙ එහෙම නේ. අපත් කියනවා නම් ”එහෙම වුණාම මොකද?”. එහෙම කිව්වට පස්සේ කාටවත් බෑ බය කරන්න, එහෙම බයට කියන්න. බය කියන හැඟීම කියනවා මෙහෙම වෙයි කියා, අප කියනවා එහෙම උනාට කමක් නෑ කියා, බයත් එක්ක එකඟ වෙනවා විරුද්ධ වීම වෙනුවට. බයට  විරුද්ධ වී මේ ප්‍රශ්නේ විසඳන්න බෑ, ඒ වෙනුවට එකඟ වෙන්න.


හිතවතුනි, බයවෙන්න ඕනේ එක දෙයකටයි, සිහිකල්පනාව නැතිවීමට බියවිය යුතුයි. භයානක රෝග ලයිස්තුවක් තියෙනවා පිළිකා හෘදයාබාධ…. ඒ රෝග අතර බය වෙන්න ඕන සිහිකල්පනාව නැති වෙන ලෙඩ වලට. ඒවාට බය වෙලා වෙවුල වෙවුලා ඉන්න නොවෙයි. එහෙම ලෙඩකින් සිහි කල්පනාව නැති වුණොත් ඊට පස්සේ කරන්න දෙයක් නෑ. ඒ නිසා ඊට කලින් කරන්න ඕන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි සිහිකල්පනාව දියුණු කරගැනීම. එසේ දියුණු කර ගත්තහම නැති වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ සඳහා කළ යුතු අභ්‍යාස පුහුණුවීම්,  ජීවිතය භාවනාවක් කර ගැනීම, සිහියෙන් ඉන්න අය ආශ්‍රය කිරීම මේ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙම හිටියත් සිහිකල්පනාව නැති වෙන ලෙඩක් හැදෙන්නේ නැති බව සියයට සීයක් කියන්න බෑ. ඒ නිසා දෙවැනි කාරණය ඊට වඩා වැඩිය වැදගත්. සිහිය තියෙන මේ වෙලාවේ සිහියෙන් කරගත යුතු දේ සිහියෙන්ම කරගැනීම. සිහිය නැති වුණාට පස්සේ අඩුම ගානේ සිහිය නෑ කියා දුක් වෙන්න වත් බෑ, එම නිසා සිහිය තියෙන අද දවසේ සිහියෙන් පමණක් කළ හැකි දේ කරගන්න, එයට ප්‍රමුඛස්ථානය දෙන්න. මේ කාරණාවලින් බියේ මුහුණුවර වල් වලට යන්න පුළුවන්.


පාපයේ ඉන්න වීරියක් ඕනෙ නෑ. හැබැයි පුණ්‍ය පැත්තට එන්න වීරියක් ඕනේ. නමුත් අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නෑ. හැබැයි තව ටිකක් මහන්සි වෙන්න ඕන කාර්යය තමයි කුසලයට එන්න. බියට බිය  බියවීම නිසා වෙලා තියෙන දේ තේරුම් ගන්න. මෙතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. සියලුම ප්‍රශ්න පටන් ගන්නේ එතනින්, බිය නිසා. 

ප්‍ර : අද සාමාන්‍ය සමාජයම බියට පත් වෙලා ඉන්නේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

පි : මේ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. එහෙම නොවුණා නම් තමා පුදුම වෙන්න තියෙන්නේ. බිය බොහොම වේගයෙන් පැතිරෙන දෙයක්. ආවේග ඉතාම වේගයෙන් පැතිරෙන වෛරසයක්. මාරයා විසින් පතුරුවනු ලබන ආවේගමය වයිරසයක් බය කියන්නේ. පාලකයිනුත් වැසියනුත් වැඩි පිරිසක් එයට අහුවෙලා රෝගී වෙලා. මේ දෙගොල්ලොම මාරයාගෙ තොටිල්ලෙ ඉන්නේ. මාරයා තොටිල්ලක දාලා නලවනවා, බය කර කර නලවනවා. මාරයාගෙ තොටිල්ලේ නැළවෙනවාද බියට පත් බිලිඳකු සේ නැත්නම් පරිණත මුහුකුරා ගිය අයකු වෙනවද?. සමාජය ගැන ඇත්තටම ලොකු සංවේගයක් ඇති වෙන්නේ. සමාජය පැත්තෙන් කළ හැක්කේ කුමක්ද සමාජයට දෙන්න තියෙන විසඳුම කුමක්ද රට පැත්තෙන් මොකක්ද ගන්න පුළුවන් විසඳුම කියන කාරණය වෙනම දවසක සාකච්ඡා කරමු.

එතනට යන්න කලින් පුද්ගලිකව අප යම් තාක් දුරකට මේ ප්‍රශ්නය විසඳාගන්න ඕන. එහෙම විසදා ගන්නේ නැතිව පළල් විසඳුමක් සමාජයට දෙන්න බෑ. ඉතින් වැඩි පිරිසක් වැඩි වශයෙන් මේ ප්‍රශ්නය පුද්ගලිකව විසඳා ගත්තොත් ඒක සමාජයට ලොකු ශක්තියක්. දැන් ඒ අඩුවනේ තියෙන්නේ. පුද්ගලික වශයෙන් ආවේග ප්‍රතිශක්තිය තියෙන වැඩි පිරිසක් ඉන්නවා නම් සමාජය නිරෝගී කරන්න ලේසියි, වැඩි පිරිසක් කෙසේ වෙතත් ටික පිරිසක් හෝ ඉන්නවනම්. හැබැයි ආවේග ප්‍රතිශක්තිය හොඳටම පහළ තැනක නම් තියෙන්නේ හරි අමාරුයි. ඒ නිසා පුද්ගලිකව බොහොම ආදරයෙන් ඉල්ලන්නේ තම තමන් මේ ප්‍රතිශක්තිය ඇතිකරගන්න. එසේ ඇතිකර ගත්තහම ඒ  ප්‍රතිශක්තියත් පැතිරෙන්න පුළුවන් ලෙඩ පැතිරෙනවා වගේම. 


ප්‍ර : බියත් ධර්මතාවයක් විදියට සලකලා අපිට පුලුවන්ද සිහිබුද්ධියෙන්  විපස්සනා කරන්න?

පි : ඒ කාරණය පිළිබඳව මුලින් ඇසූ ප්‍රශ්නයට විසඳුමක් විදිහට කතා කළා, බියෙන් පලා යාම වෙනුවට බියට මුහුණ දෙන්න. බියෙන් පලා ගියත් බියත් එක්ක තමයි පලා යන්නේ, බිය වන දේවල් වලින් පලා ගියාට බියත් එක්කයි පලා යන්නේ කොහේ ගියත්. ඒ නිසා කොහේවත් ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ, බය නැති තැනකට යන්න බෑ, බය තියෙන්නේ හිතේ, භයානකම තැන තමා හිත. මේ විශ්වයේ වෙන භයානක තැන් නෑ. බිය ඇති වෙන තැන හිත, එසේ බිය ඇති වෙන තැන තමා භයානකම තැන. එතකොට හිත දිහා බලන්න පුරුදු වෙන්න. විපස්සනාව කියන්නේ ඒකටයි. විශේෂයෙන් බියක් ඇති උනහම ඒ දිහා බලන්න නම් එඩිතරකමක් ඕනේ. බය හිතෙන දෙයක් දෙයක් දිහා අපි බලන්නේ නෑනේ, අහක බලන්න යන්නේ. එහෙම බැහැ, ඒ බය දිහා බලන්න අවශ්‍යයි. සිහිබුද්ධියෙන් කරන්නේ ඒ එඩිතරකම ලබා දෙන එක. බිය තමයි තීරණ ගන්නේ සහ අපට මෙහෙම කරන්න කියා උපදෙස් දෙන්නේ .ඒ තීරණ ගත්තහම බිය නැති වෙනවද කියලා විමසන්න ඕන. ඒ බියට බෑ බුද්ධිමත් තීරණයක් ගන්න. බිය දන්නේම පලා යෑම පමණයි. ඒ බියන් උපදෙස් ගත්තොත් පලායන්නට තමයි වෙන්නේ, සදාකාලිකවම පලා යන්නෙක් බවට පත්වෙනවා. සංසාර කියන්නේ පලා යන තැනක්. ඒ වෙනුවට නවතින්න, නැවතිලා බිය දිය ආපසු හැරී බලන්න මේ කොහොමද ඇතිවුණේ මෙයා මොනවද කියන්නේ ඇත්තටම මෙතන ප්‍රශ්ණයක් තියෙනවද එහෙම උනාම මොකද කියල අහන්න. එසේ අහන්න බය වෙන්න එපා ” ඔව්, ඔබ කියන දේ වෙන්න පුළුවන්, නමුත්  එසේ උනහම මොකද?” ,” මැරෙන්න පුළුවන්, ඉතින් මැරුණට මොකද”, මැරෙන්න අවශ්‍ය නෑ, නමුත්  ඒ ප්‍රශ්නය අහන්න බයවෙන්න එපා ” මැරුනාම මොකද?”. අන්න ඒ ප්‍රශ්නය තුළින්ම එඩිතර බවක් එනවා, මැරෙන්න නෙවෙයි, මැරෙන එක වෙනම දෙයක්, මැරුනට මොකද කියලා හිතන්න. බය වෙන්න ඕන මැරෙන්න නොවේ බය වෙවී ඉන්න තමයි බය වෙන්න ඕන.

සියල්ල නැතිව ගියත් සිහිබුද්ධිය තියෙනවා නම් ඒ හොඳටම ඇති. සියල්ල ඉතිරිවෙලා සිහිබුද්ධිය නැති වුණොත් වැඩක් නෑ. මේ කාරණය අවබෝධ කරගන්න පුළුවන්නම් ඒ තමා විපස්සනාව. මොන හේතූන් නිසාද බය ඇති වුණේ කියන කාරණයත් විපස්සනාවට ගන්න පුළුවන්. සරලව ගත්තොත් තණ්හාව. හැබැයි එය නමක් පමණයි. මොනවට තියෙන තණ්හාවද, නමට කීර්තියට ශරීරයට තියෙන තණ්හාව, ඒ විදිහට විවිධ තණ්හා තියෙනවා. ඒ අනුව ඇතිවන ඇතිවන බිය මොන තණ්හාව නිසා ද ඇති වුණේ කියා හොයාගන්න පුළුවන් නම් එතනත් විපස්සනාව. ඊළඟට මේ බියට මොකද වෙන්නේ කියලා බිය දිහා බලන් ඉන්න විට පේනවා  ඒ බය වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ තුනෙන් පිට 4 වන සිදුවීමක් නොවන බව පේනවා.

සමාජයේ වැඩි පිරිසක් බියට පත්වෙලා ඉන්න බව ඇත්ත. ඒ ගැන කරුණාවක් අනුකම්පාවක් ඇති වෙන්න ඇති. ඒ දයානුකම්පාවෙන්ම ඒ ගැන මීට වඩා පළල් විදිහට වෙනත් දවසක කතා කරමු. අද අප කතා කළේ අභ්‍යන්තර පැත්තෙන් පුද්ගලික පැත්තෙන් තනි තනි පැත්තෙන් කුමක්ද කළ හැක්කේ කියා.

හිතවතුනි, බිය නමැති මඩ වගුරේ එරෙනවා වෙනුවට එගොඩ වෙන්න වීරිය කරමු. ඒ අදිටනින් අපි සදහම් සැඳෑවෙන් සමුගනිමු.

 සැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!