සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 36

2022 ජූනි 29 සාරාංශය

සදහම් සැඳෑවට ගොඩ වැදුනු ආදරණීය හිතවතුනි නැවතත් කියන්න තියෙන්නේ, සැප-දුක් අහන්නේ නැති බවයි, ඒ ප්‍රශ්නය නොඇසිය යුතු, අසාධාරණ තොරතුරක් විමසීමක් විදිහටයි කාටත් දැනෙන්නේ. දුක මිස මොන සැපක් ද? විශේෂයෙන් ලංකාවේ මේ දවස්වල ජීවත් වන සැමටම.

 හිතවතුනි පහුගිය සතියේ කතා කළා මේ තියෙන සියලු ගැටලුත් සමඟ කය ලොකු දුකක් විඳිනවා, කායිකව, නැති බැරිකම් සමඟ විඳින දුක, එමෙන්ම ඒ අඩුපාඩු සොයා ගන්නට කායිකව ගන්න වෙහෙස නිසා කයට දැනෙන දුක එවිට දෙවිදිහකට කය දුක් විඳිනවා. මනස එයට වඩා විඳිනවා. විසඳුම් සොයන්න භාර දෙන්නේ නොදන්නා මනසට. එබඳු මනසට විසඳුමක් පේන්නේ නෑ. විසඳුම් පේන්නේ නැති ගැටලුවකට විසඳුම් සොයන්නට ගිහිල්ලා ඒ මනස මොනතරම් ආතතියකට, බියකට පත්වෙනවාද සහ අතීතය සමඟ සංසන්දනය කර ඉස්සර මේ ප්‍රශ්න තිබුණේ නෑ, දැන් තියෙනවා, ඒ සැසඳීම නිසාත් සිත දුක් විඳිනවා. මේ කාරණා ගැන අප ටිකක් කතා කළා.

මේ සියල්ල නිසා මිනිස් සිත අසහනයට පත් වෙනවා. අසහනයෙන් නවතින්නේ නෑ, පිස්සු හැදෙනවා, පිස්සුවෙන් නවතින්නේ නෑ, වියරු වැටෙනවා. ඒ බවට සාක්ෂි ලැබෙමින් පවතිනවා. හොඳට තියෙන සිත් මොනතරම් වියරු වැටෙනවාද? වියරු වැටීම භයානකයි එයට පිළියමක් නෑ. ඉන් මෙහා ඕනෑම අසහනයට බෙහෙත් තියෙනවා. පිස්සුවට බෙහෙත් තියෙනවා. බෙහෙත් නැත්තේ වියරුවට. වියරු වැටුණු සිතකට පාලනයක් නෑ. කිසිම දෙයකට පාලනය කරන්න බෑ. එනමුත් එබඳු තැනකට යන්න කලින් මානව සමාජය නවත්තගන්නයි ආගම් තියෙන්නේ. ආගමකින් කරන්නේ පැවැත්මට උදව් කිරීමක්, පවතින්න බැරිවෙනවා වියරු වැටුණාම. වියරු වැටුණ සිත් සමඟ පැවැත්මක් නෑ, විනාශයක් මිස. ආගම් වලිනුත් එදා මෙදා තුළ සිදු වුණෙත් වැඩි වශයෙන් එතැනට යන්න කලින් නවත්වා ගැනීම, විවිධ දර්ශන සහ විශ්වාසයන් ඉදිරිපත් කරමින්. 

ඊලඟට කලාව ගැන කතා කළා. කලාවෙන් කරන්නෙත් මනුෂ්‍යයාව වියරු වැටෙන්න නොදී වෙනම කෝණයකින් තැන්පත් කිරීම. ඒ අඩුපාඩු, ඒ දුක රසවත් දෙයක් කර පෙන්වීමයි කලාවෙන් කරන්නේ. එක්තරා රසයක්, දුක්ඛ රසය, ශාන්ත රසය, කරුණා රසය, මේ සියල්ල එකතු කර හරියට තිත්ත ආහාරයකට රස කාරක එකතු කර තෙලෙන් බැදලා කන්න දෙනවා වගේ දෙයකුයි කලාව කරන්නේ. මේ කොයි ක්‍රමයෙන් හෝ ඕනෑ වන්නේ තැන්පත් කිරීමක්. කලාව අවශ්‍ය නෑ උසිගන්වන්න, ආගම් අවශ්‍යත් නෑ උසිගන්වන්න. තමන්ගේ ගැටලු තමන්ට විසඳගන්න බැරි තැනකට ආවාම, ජීවිතය දරාගන්න බැරි තැනකට ආවාම වියරු වැටෙනවා. වියරු වට්ටන්න ආගම් අවශ්‍ය නෑ. මොනම ආගමක්වත් අවශ්‍ය නෑ වියරු වට්ටන්න, මිනිසාව හෝ තමන්ගේ බැතිමතුන්ව. එමෙන්ම කලාව අවශ්‍යත් නෑ, කිසිම කලා රසිකයෙකුව වියරු වට්ටන තැනකට ගේන්න. මේ දෙකම වෙන්නේ ආගම් සහ කලාව අවභාවිතා කිරීම නිසා.

මෙසේ කියනවිට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, 

“ආගම් හා කලාව භාවිතා කර අසාධාරණය ඉදිරියේ මිනිසුන්ව නිහඬ කිරීම සාධාරණ ද?

 උසිගැන්වීම හා කුලප්පු කිරීම කලාව හා ආගම් අවභාවිතා කිරීමක් නම්, නිහඬ කිරීම යහභාවිතා කිරීමක් ද? ඒ කියන්නේ ආගමකට මුවාවෙලා විශාල ප්‍රශ්නයක්, අර්බුදයක්, අසාධාරණයක් ඉදිරියේ එය විඳ දරාගෙන නිහඬව, බැගෑපත්වෙමින්, නිවට විදිහට සිටින්නට තමන්ගේ බැතිමතුන් ගෙන ඒමට ආගම යොදා ගැනීම ආගම නිවැරදිව භාවිතා කිරීමක් ද? කලාව නිවැරදිව භාවිතා කිරීමක් ද? හිතවතුනි මේ දෙකම අවභාවිතා කිරීමක්. අවභාවිතා කිරීමක් කියන්නේ ආගමකින්, කලාවකින් නොවිය යුතු දෙයක්. කුමක්ද උසිගැන්වීම සහ නිහඬ කිරීම. අන්ත දෙකක්,

 එක් අන්තයක් තමා කුලප්පු කිරීම, උසිගැන්වීම, ආවේගශීලි කිරීම. මෙබඳු තැනකට මනුෂ්‍යයාව ගෙන එන්න පහසුයි ආගමට හා කලාවට. හේතුව ආගම් අදහන්නේ අන්ධ භක්තියෙන්. හේතු සොයමින්, විශ්ලේෂණය කරමින්, විමර්ශනය කරමින්, සාධක ගවේශනය කරමින් ආගම් අදහන්න බෑ. එහෙම කවුරුවත් ආගම් අදහන්නේ නෑ. ආගම අදහන්නේ භක්තියෙන්. ඒ භක්තියත් බොහෝවිට හේතුකාරණා නොසොයන අන්ධ භක්තියක්. බැතිමතුන් වැඩිපුර ඉන්නේ අන්ධ භක්තිය තුළ. එනිසා තමා බැතිමතා කියන්නේ භක්තිවන්තයා. හොඳ පැත්තට හෝ නරක පැත්තට මනුෂ්‍යයාව පහසුවෙන් නැඹුරු කරන්න පුළුවන් ආගමකට, වෙන කිසිම දෙයකට වඩා. ඒ ආගම කියන දේ විශ්වාස කරන තැනකට කෙනෙකු ආවොත්, ඒ කෙනාටයි බැතිමතා කියන්නේ, භක්තිවන්තයා, අදහන කෙනා. එක්තරා විදිහක මෝහනයක් එතන තියෙන්නේ. ආගම් වලට ඒ ඒ බැතිමතුන් ඒ ඒ ආගම් වලට මෝහනය වෙලා ඉන්නේ. වශීවෙලා තමන්ගේ ආගමට. හැම ආගමකටම නෙවෙයි. තම තමන් වශීවුණු ඇදහීම් තියෙනවා. ආගම් අදහනවා, ආගම් විශ්වාස කරනවා කියන්නේ එක්තරා විදිහක හේතු සොයන්නේ නැති, විශ්ලේෂණය නොකරන, හුදු ඇදහීමක්, පිළිගැනීමක්, අනුගමනය කිරීමක්. ඉතින් එතන වෙන්නේ මෝහනයක්, වශීවීමක්, වසඟවීමක්. ඒ වසඟයට ගියාම හොඳ පැත්තටත් කෙනෙකුව පහසුවෙන් ගෙනියන්න පුළුවන්, අයහපතටත් පහසුවෙන් ගෙනියන්න පුළුවන්. 

කලාවත් ඒ වගේ, කලාවටත් වශීවෙනවා, මෝහනය වෙනවා. ඒ වශී කරවන්න, මෝහනය කරවන්න පුළුවන් හැකියාවටයි කලාව කියන්නේ. ඒ නිසා තමා “මෝහනීය කටහඬක්, මෝහනීය වාදනයක්” එහෙම කියන්නේ. එතනදිත් නිර්මාණ ශිල්පීන්ට පුළුවන් රසිකයන්ව ඕනෑම දිශාවකට දක්කන්න, හොඳ දිශාවට හෝ අයහපත තියෙන දිශාවට. මේ නිසා මේ මනෝ විද්‍යාව දන්න කෙනෙකුට පුළුවන් ආගමට හා කලාවට මුවාවී ඒ හරහා තමන්ට අවශ්‍ය දිශාවට බැතිමතුන් හා රසිකයන්ව දක්කන්න‍. එය අවභාවිතා කිරීමක්. ආගම අවභාවිතා කිරීමක්, කලාවත් අවභාවිතා කිරීමක්. මේ අවභාවිතය දෙවිදිහකට කරන්න පුළුවන්. එක විදිහක් තමා උසිගැන්වීම, අනිත් ආකාරය තමා නිහඬ කිරීම. මේ දෙකම අන්ත දෙකක්. අසාධාරණයකට විරුද්ධව වියරු වැටෙන තරමට කුලප්පු කිරීම එක අන්තයක්, අනිත් අන්තය තමා ඕනෑම අසාධාරණයක් නිහඬව, නිවටව ඉවසාගෙන ඉන්න තරමට නිද්‍රාවට පත්කිරීම.

මේ දෙක අන්ත දෙකක් නම් කුමක්ද නිවැරදි භාවිතය? එහෙමනම් කුමක්ද සිදුවිය යුත්තේ? නිහඬවීමත් වැරදි නම්, ආවේගශීලි වීමත් වැරදි නම්, කුමක්ද කළ යුත්තේ? එතනදි කළ යුතු කාරණා දෙකක් තියෙනවා. තැන්පත් වීම සහ හඬ නැඟීම. හඬ නැඟීම කියන්නේ යටි ගිරියෙන් කෑගැසීම නොවෙයි. එයට වඩා වෙනස් දෙයක්. තැන්පත් බව කියන්නෙත් නිවට-නියාළු විදිහට, ඔළුව පහත් කරගෙන, ඕනම දෙයක් විඳ දරා ගැනීමට බැරි වුණත්, පුළුවන් වුණත්, ඉන්නට උත්සහ කිරීමත් නොවෙයි. තැන්පත් බව මානසික දෙයක්, මනස තැන්පත් වෙන්න ඕනේ. ඉතාම ලේසියි වෛරය ඇති කර ගැනීම, තරහ ගැනීම හරී පහසුයි, විශේෂයෙන්ම අසාධාරණයන් ඉදිරියේ. ඔය අසාධාරණය කියන වචනය එක්කම තරහ එනවා. පුංචි හරි අසාධාරණයක් කියන ඒ සිතිවිල්ල ආ සැණින්ම කුමක්ද වෙන්නෙ බලන්න. තරහ එනවා, ලේ කිපෙනවා, කෝප වෙනවා. කවුරුවත් අවශ්‍ය නෑ අවුස්සන්න, අසාධාරණයකදී සාමාන්‍ය සිතක ස්වභාවය තමා කිපීම. නමුත් ඉතින් ආගම්වලට සහ කලාවට පුළුවන් තව එය දෙගුණ, තෙගුණ, සියගුණයක් දක්වා කුලප්පු කරන්න, ඒ බැතිමතුන් හා රසිකයන්, හැමෝම නෙවෙයි, ඒ ආගම අදහන බැතිමතුන්ව හා රසිකයින්ව පුළුවනි කුලප්පු කරන්න. එහෙම නැතුව ඔහේ කරබාගෙන ඉන්න තැනකට ගෙනියන්නත් පුළුවන්.

මේ දෙකම නෙවෙයි හිතවතුනි විය යුත්තේ. පළමුවෙනිම කාරණය තරහ ඇතිකර නොගැනීම හෝ ඇතිවන තරහින් තමාව නිදහස් කරගැනීම. මේ තමා පළවෙනිම වගකීම. ඕනෑම අසාධාරණයක්ය කියා කියන සිදුවීමක් හමුවේ කෝපයේ ගොදුරක් බවට පත් නොවී සිටීම. කෝපයේ ගොදුරක්වීම හරී පහසුයි, කිසිම උත්සාහයක් අවශ්‍ය නෑ. නමුත් කෝප නොවී සිටීමට, ඇතිවන කෝපය පැල නොකර සිටීමට නම් උත්සාහයක් අවශ්‍ය වෙනවා. අන්න ආගමක් අවශ්‍ය වන තැන, පේනවනෙ ආගමක් ඕන වෙන්නෙ එහෙම අවස්ථාවක, කලාව ඕන වෙන්නෙත් එහෙම. පළවෙනි කාරණය තමා තැන්පත් නැති හිතකට විසඳුම් නොපෙනීම. විසඳුම් හොයා ගන්නත් බෑ, කොරහෙ අත දාගන්නත් බෑ කියනවා. ඒ කලබල වුණු අවස්ථාවක කලබලේට පත් වුණු අවස්ථාවක ප්‍රශ්නය තේරෙන්නෙත් නෑ, ප්‍රශනය ඇතිවුණු හේතුව පේන්නෙත් නෑ, විකල්ප පේන්නෙත් නෑ. එතකොට මේ සියල්ල සොයා ගන්නට නම් සිත සන්සුන් වෙන්නට ඕනෑ.

දෙවැනි කාරණය, මේ කිපීම නිසා ඇතිවන අකුසල්. අකුසල් නේ, පිනක් වෙන්නෙත් නෑ, කුසලයක් වෙන්නෙත් නෑ. ඉතින් මේ පුංචි අසාධාරණයක් ඉදිරියේ කෝප වීමෙන් සිදුවන බාහිර පාඩුවට වැඩිය ලොකු අසාධාරණයක් අප අපේ භව ගමනට, සංසාර ගමනට, විමුක්ති මාර්ගයට කරගන්නෙ. මේ සියලු උත්සාහයන් ගන්නේ ඔය අකුසල් මුල් උදුරලා දාන්නනෙ. ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මුල් මුලින්ම උදුරලා දාන්නනෙ මේ සියලූම උත්සාහයන් ගන්නෙ, වෙන මොනවටවත් නොවෙයිනෙ. ඉතින් ඒ සඳහා ලොකු කැපවීම් කරමින්, ලොකු වියදම් කරමින්, පරිශ්‍රමයන් එක පැත්තකින් දරමින්, අනෙක් පැත්තෙන් හිතාමතාම කෝප වෙනවනම් එය මෝඩකමක්. මෝඩකමකට වඩා එතන තියෙන්නේ නොතේරුම්කමක්. එය ලොකු අසාධාරණයක්. අර හෝද හෝද මඩේ දානව කියන්නේ, අන්න එහෙම සිදුවීමක් වෙන්නේ. ඉතින් මේ කාරණය හොඳින් තේරුම් ගත යුත්තක්.

අනිත් කාරණය ඔය වැරදි ඉදිරියේදීයි තැන්පත් වෙන්න අවශ්‍ය පුහුණුව ලැබෙන්නෙත්. කිසිම ප්‍රශ්නයක් නැති තැනක තැන්පත් වීමක් අවශ්‍ය නෑනේ, කොහොමත් තැන්පත්. නමුත් මේ තැන්පත් වීමට අවශ්‍ය දුෂ්කර පුහුණුව ලැබෙන්නේ අපහසු තැන්වලදි. 

මේ සියල්ල හා සමාන ඊළඟ සියුම් කාරණය තමා හිතවතුනි පැහැදිලිව තේරුම් ගතයුතු දෙය. ‘මාරයා කැමති අප කලබල වෙනවාට’. මාරයා තරම් සතුටු වන කෙනෙකු නෑ අප කිපෙනවාට. අප කිපීම තුළින් මාරයාගේ අවශ්‍යතායි ඉටුවෙන්නේ. මාරයා සමහරවිට සිදුවීම් නිර්මාණය කරන්න පුළුවන් අපට තරහා යන, අප කෝපයට පත්වෙන, කලබල වෙන‍‍, ආවේගශීලි වෙන. ඒ ප්‍රශ්න ඇති කළ අය කැමතියි, ඒ ප්‍රශ්නය නිසා පීඩාවට පත් වූ අය ආවේගශීලි වෙනවාට. මේ කාරණය හොඳින් තේරුම් ගන්න. ඔය අන්ත දෙකෙන් එකකට යනවාට හරි කැමතියි, එක්කෝ ආවේගශීලි වෙනවාට නැතිනම් නිවටව නිහඬ වෙනවාට. දෙකම එක වගේ දෙකෙන්ම ප්‍රයෝජනය ලැබෙන්නේ මාරයාට. මේ සියලු ප්‍රශ්න ඇතිකළ අයට තමා ඒ දෙකෙන්ම වාසි ලැබෙන්නේ. නමුත් තැන්පත්වීම එයට වෙනස්, මාරයා කැමති නෑ තැන්පත් වෙනවාට. ප්‍රශ්න ඇති කළ අය කැමතිත් නෑ තැන්පත් වෙනවාට ඒ ප්‍රශ්නවලට ලක්වුණු අය, මැදිවුණු අය, පීඩාවට පත්වුණු අය තැන්පත් වෙනවාට කැමති නෑ. මේ තැන්පත් බවයි, නිහඬ නිවට බවයි දෙකක්. සිත තැන්පත් කර ගැනීම සහ ඒ තැන්පත් සිතින් විසඳුම් සෙවීම. එතකොට ප්‍රශ්නයට හේතුව සොයන්න ඕන විසඳා ගන්න. එහෙම පිරිස් භයානකයි. කාටද භයානක, ප්‍රශ්න ඇති කරන අයට. මාරයා එහෙම අයට කැමති නෑ, මාරයා අර දෙගොල්ලොටම කැමතියි, අර අන්ත දෙකටම යන අයට කැමතියි. නමුත් මාරයා කැමති නෑ අර විවේකී බුද්ධියට එන අයට. ඒ සඳහා කළ හැකි සියලූම බාධා කිරීම් මාරයා කරනවා. මොකද ඒ අය තමා ප්‍රශ්න විසඳන්නේ, විසඳුම් දෙන්නේ, විසඳුම් පේන්නේ. අවසාන වශයෙන් සාංසාරික ප්‍රශ්නයත් විසඳගන්නේ ඒ තැන්පත් සිතින් විවේකී බුද්ධියෙන් කරන මෙනෙහි කිරීමකින් තමා. සංසාර ප්‍රශ්නෙත් විසඳෙන්නේ එහෙම නම්, අනිත් ප්‍රශ්න, ලෞකික ප්‍රශ්න සරලයි නේ සංසාර ප්‍රශ්නයත් සමග බලනවිට‍. ඒ සරල ප්‍රශ්න වුනත්, දැනට උග්‍රව දැනෙනවා සියලු ප්‍රශ්න, නමුත් සංසාර ප්‍රශ්නෙට සාපේක්ෂව උග්‍ර නෑනේ අනිත් සියලු ප්‍රශ්න. උග්‍රම ප්‍රශ්නය විසඳන්නේ තැන්පත් වු විවේක බුද්ධියෙන් කරන භාවනාවකින් නම් ඉන් මෙහා ලෞකික ප්‍රශ්න විසඳෙන්නේ තැන්පත් වූ විවේක බුද්ධියෙන් කරනු ලබන භාවනාවකින්ම තමා. එය අවශ්‍යයි.

ඒ නිසා ඒ පිරිසට කවුරුත් කැමති නෑ. එහෙම වෙන්න දෙන්නෙත් නෑ. ආගම් කැමති නෑ, ආගම් අවභාවිතා කරන්නන් කොහොමත් ඉඩදෙන්නේ නෑ, කැමති නෑ, තැන්පත් විවේක බුද්ධියකට තමන්ගේ බැතිමතුන්, රසිකයන්, සාමාන්‍ය ජනතාව එනවාට. ඊලඟට අර නිහඬවීම වෙනුවට ප්‍රශ්න කිරීම, ආවේගශීලීව කලබල කිරීම නොවේ, විවේක බුද්ධියෙන් විචාරීම, ප්‍රශ්න කිරීම‍. මේ දෙකම සිහිබුද්ධියේ කාර්යයන් දෙකක්. සිහිබුද්ධියට තමා මේ අවස්ථාවේදි පැහැදිලිවම වැටහෙන්නේ මේ වෙන්නේ කුමක්ද කියා. ඉබේට ඇතිවෙනවාද, නැතිනම් හිතාමතා ඇති කරනවාද, අප ඉන්නෙ කොතනද, මේ යන්නෙ කොහාටද, යා යුත්තෙ ‍කොතැනටද? මේ භාවිතයේදී හිතවතුනි සිහිබුද්ධියට සුවිශාල වගකීමක් පැවරී තිබෙනවා. සිහිබුද්ධිය බොහෝම කැමැත්තෙන් ඒ වගකීම භාර ගන්නවා. හේතුව සිහිබුද්ධිය දන්නවා සිහිබුද්ධිය හැර මෙතැන වෙන පිහිටක් හෝ පිළිසරණක් මානව සමාජයට නොමැති බව. ඇදහීමකට හෝ වින්දනයකට මේ ප්‍රශ්නය තේරුම් ගන්නත් බෑ, විසඳන්නත් බෑ. ඇදහීමකට සහ වින්දනයකට කළ හැක්කේ එක්කෝ කුලප්පු කිරීම නැතිනම් නිදි කරවීම. එක්කෝ නිදි කරවන්න පුළුවන් නැත්නම් කුලප්පු කරවන්න පුළුවන්. මැද මාවත, මැදුම් පිළිවෙත කුමක්ද? ආවේගශීලී වන්නෙත් නැතිව, නිද්‍රාගත වන්නෙත් නැතිව නිද්‍රාශීලී නොවී, විවේක බුද්ධියෙන් විමසීම, විචාරීම. එහෙම අයට කවුරුවත් කැමති නැහැ. සිහිබුද්ධියේ භාවිතය හරීම අනතුරුදායකයි මාරයාට හා මාරයාගේ නියෝජිතයන්ට. ඒ නිසා සිහිබුද්ධිය නැති කරන්න තමා මාරයා සියලු දේ කරන්නේ.

මාර සටන ගැන සොයනවිට, ඒ විස්තර ගැන අහනවිට තේරෙනවානේ, බෝධිසත්වයන් වහන්සේගේ සිහිකල්පනාව නැති කරන්න තමා, මාරයා ඇවිත් ආයුධ වලින් ප්‍රහාර එල්ල කළේ. මාරයා එනවිට බෝධිසත්වයන් වහන්සේ බෝමැඩ පර්යංකගතව වැඩසිටින තැනට කිසි කෙනෙකු ආවේ නෑ. ඒ කතන්දරයේ හැටියට හැමෝම දිව්වා, තමන්ගේ දෑසින් බුදුවරයෙකු පහළවීම දකින්න ආසාවෙන් බලාගෙන සිටිය දෙවිවරුන් පවා ඒ වේලාවේ දිව්වා. දෙවියන් දන්නවා මොකද, දෙවියන් අතර සිටි කෙනෙකුනේ ඒ දේවත්වය අතහැර මිනිස් ලෝකයට, මනුෂ්‍යයෙකු විදිහට පැමිණියේ බුද්ධත්වය ලබාගන්න, බුද්ධත්වයට පත්වෙන්න. දෙවියන් දන්නවා වෙනදේ. නමුත් මාරයා තමන්ගේ සියලුම අවිආයුධ භාවිතා කරමින්, මාරයා තමන්ගේ උපරීම ප්‍රචණ්ඩත්වය මුදාහරිනවිට, ඒ දෙවියනුත් බය වුණා. දෙවියන්ට තම ජීවිත කාලයේ සියැසින් දැකගන්නට තිබුණු ඒ අසිරිමත් දර්ශනය දැකගන්න බැරිවුණා, දාලා දිව්වා. නමුත් බෝධිසත්වයන් වහන්සේ නිසලව වැඩසිටියා. අන්න තැන්පත් බව, උන්වහන්සේ නිසලව වැඩසිටියා කිපුනේ නෑ. උන්වහන්සේගේ ශරීරයට හානියක් කරන්න නෙවෙයි මාරයාට අවශ්‍ය වුනේ, එහෙම නම් අර අප්‍රාණිකව ක්ලාන්ත හැදිලා වැටුණ වෙලාවේ මාරයා ඇවිත් කියන්නේ නෑනේ “කාලා බීලා පිනක් කරගෙන ඉමු” කියා, එහෙමම මැරෙන්න අරින්න තිබුණානේ, මාරයාට මේ කාගෙවත් ශරීරය මරන්න අවශ්‍ය නෑ. “මාරයා ඇවිත් එක්ක ගියා” කියා කියනවානේ මැරුණාම. ඒ වෙනම ම මාරයෙක්, මේ මාරයා වෙනස්. මාරයාට අවශ්‍යවී තිබෙන්නේ සිත තැන්පත්වීම වැළැක්වීම, විවේක බුද්ධියකට එන්න ඉඩදෙන්නේ නෑ. එය නැතිකරන්න තමා නව විධ වර්ෂා වැස්සුවා කියා කියන්නේ. උන්වහන්සේ නොසැලී හිටියා, විවේක බුද්ධියෙන් සිටියා. ඒ තැන්පත් වී හිඳිමින්, නිහඬව සිටියේ නෑනේ, විචාරීම කළා, ඒ විචාරීමේ ප්‍රතිඵලය තමා සම්බුද්ධත්වය. මාරයා පැරදුණා. පැරදිලා ගියාම තමා ඒ දූවරුන් ඇසුවා කියනවානේ

 “ඇයි තාත්තේ මේ කම්පාවෙලා ඉන්නේ?”, එවිට මේ විස්තරේ කිව්වාම “අප ගිහිල්ලා චංචල කරලා එන්නම්, ආවේගශීලි කරලා එන්නම්.” මාරයා කිව්වා “එහෙම කරන්න බෑ දැන්”,

 හැබැයි තරුණ විෂයට, ඒ වයසේ අය සිතනවානේ, ඕන දෙයක් කරන්න පුළුවන් කියා, තණ්හා, රතී, රඟා ඇවිල්ල, තමන් දන්න සියලුම ශිල්ප පෙන්නුවා, නමුත් බුදුන්වහන්සේ එතනදි කොහොමත් කලබලයට පත්වෙන්නේ නෑනේ, උන්වහන්සේගේ තැන්පත් සිත එහෙමම තිබුණා.

හිතවතුනි මේ මාරයා සහ මාරයාගේ නියෝජිතයන් හඳුනාගන්න ඕනේ, මාරයාව හඳුනාගැනීම ධර්ම මාර්ගයේ වැදගත් මංසන්දධියක්. මෙතන පුද්ගල ස්වරූපයෙන් මාරයෙකු හඳුනාගැනීම නොවෙයි වෙන්නේ. ක්‍රියාව පැත්තෙන්, භාවිතය පැත්තෙන් තමා මාරයාව හඳුනාගන්න ඕනේ. පුද්ගලයෙකු වශයෙන් හඳුනාගන්න ගියාම තමා අමාරුවේ වැටෙන්නේ, එහෙම කෙනෙකු සාමාන්‍ය ඇස් දෙකින් දකින්න බෑ. නමුත් නියෝජිතයන් ඉන්නවා. පුද්ගල ස්වරූපයෙන් ඉන්න වැඩි දෙනෙකු මාරයාගේ නියෝජිතයින්. බොහෝ දෙනෙකු දන්නේ නෑ තමන් මාරයාගේ නියෝජිතයන් බව, මේ තමා හිනායන කාරණය. හරියට ඔය මත්ද්‍රව්‍ය භාවිතා කරන ඇත්තන්, දුම්වැටි හෝ මත්පැන් භාවිතා කරන ඇත්තන් නොදැනුවත්වම ඒ දුම්වැටි සමාගමේ වෙළඳ නියෝජිතයන් බවට පත්වෙනවා, වෙළඳ ප්‍රචාරය කරන අය බවට පත්වෙනවා. ඒ අයට වැටුපක් ලැබෙන්නේ නෑ, දුම්කොළ සමාගමෙන් ගෙවන්නේ නෑනේ. තමන් මුදල් ගෙවා දුම්වැටි මිලදී ගෙන, ඒවා පානය කරමින් කිසියම් වෙළඳ ප්‍රචාරයක යෙදෙනවා දන්නෙම නැතිව. එහෙම දුම්වැටි බොනවා දැකලානේ තව කෙනෙකුට හිතෙන්නේ දුම්වැටි බොන්න. කවුරුවත්ම දුම්වැටි බොනවා දැකලාම නැත්නම් තව කෙනෙකුට හිතෙන එකක් නෑ දුම්වැටි බොන්න. ඒ කිසි කෙනෙකු දැක නැත්නම් කවුරුවත් මත්පැන් පානය කරනවා කාට සිතෙයිද මත්පැන් බොන්න. මත්පැන් බීම තුළින් හා දුම්වැටි පානය තුළින් ඒ ඇත්තන් කරන්නේ නොදැනුවත්වම අර සමාගම්වල වෙළඳ ප්‍රචාරකයන් ලෙස කටයුතු කිරීම වැටුප් නොලබා, තමන්ගේ ධනය වියදම් කරමින්.

මෙන්න මේ මූලධර්මය ඇවිත් තියෙන්නේ මාරයාගෙන්. ඒ මාරයාගේ නියෝජිතයන් ලෙස ක්‍රියාකරන බොහෝ දෙනකු දන්නෙ නෑ තමා මාරයාගේ නියෝජිතයන් බව. ඒ ඇත්තන් වියදම් කරමින් හා හම්බ කරමින් කරන්නේ, මාරයාට කරන්න බැරි වුණු හා මාරයාට කරන්න අවශ්‍ය වුණු කාර්‍යයන් මේ මනුෂ්‍ය ලෝකයේ ඉටු කිරීම තමන්ගේ වපසරිය ඇතුළේ. තමන් කියන දේ අහන, තමන්ට බලපෑම්ක් කළ හැකි, ඒ වැට ඇතුළේ ඉන්න පිරිසට අර මාරයාගෙන් වෙන්න ඕන දේ මේ අය මාරයාට කර දෙනවා. එතකොට කවුරුවත් දන්නෙ නැතුව ඇති තමන් මාරයාගේ නියෝජිතයකු බව, මේ ඉටුකරන්නේ මාරයාගේ කාර්යයක් බව ඔය කවුරුවත් දන්නේ නෑ. කුලප්පු කරන සහ නිහඬ කරන දෙපිරිසම මාරයාගෙ නියෝජිතයන්, ඒ කාරණය හොඳට සිහිබුද්ධියට පේනවා. මොකද ඒ දෙපැත්තෙන්ම ඉටුවෙන්නෙ මාරයාට අවශ්‍ය දේ. පැවැත්මට ගැටෙන්න ඕන. පැවැත්මට අසාධාරණයන් තියෙන්න ඕන. සාධාරණව පවතින්න බෑ. පැවැත්ම සාධාරණව සිදුවන දෙයක් නොවේ. ගැටුම් ඕනේ පවතින්න, දෙකක් ගැටෙන්න ඕනේ පවතින්න.

කිව්වානේ හම්බ කරමින් වියදම් කරමින්, ඔවුන් මාරයාගේ නියෝජතයින් සේ ක්‍රියා කරනවා කියා. දුම්වැටි බොන අය නම් තමන්ගේ ධනයනේ වියදම් කරන්නේ, ඒ අය තමන් ඉපයූ දෙයක් කඩේට දීලා දුම්වැටියක් අරගෙන පානය කරනවා. ඉපයූ දෙයක් වියදම් කර මත්පැන් බෝතලයක් අරන් බොනවා. ඒ තමන් ඉපයූ දෙයක් වියදම් කරන්නේ. ලංකාවෙ නම් රුපියල්-සත. මේ මාරයා ගේ නියෝජිතයිනුත් හම්බ කරමින් සහ වියදම් කරමින් තමයි කටයුතු කරන්නේ. වියදම් කරමින් හා හම්බ කරමින්, මොනවද ඒ අය වියදම් කරන්නේ?, තමන්ගේ පෙර පින්. මනුෂ්‍ය ලෝකයේ පහළ වෙන්න පෙර පින් කරන්න අවශ්‍යසි, බලයක් ලැබෙන්න පිනක් තියෙන්න ඕනේ. කවර හෝ නායකත්වයක් ලැබෙන්න පිනක් තියෙන්න ඕනේ. ආගමික නායකත්වයක්, සමාජමය ප්‍රජා නායකත්වයක් ලැබෙන්න, නිල තලයක් ලැබෙන්න, පින් තියෙන්න ඕනේ. එවිට ඒ පින් වියදම් කරමින් හම්බ කරන්නේ පව්. පාප කර්ම උපයමින් තමන්ගේ බලපෑමට යටත් වූ පිරිසට අසාධාරණකම් කරමින් හා ඒවාට එරෙහිව උසිගන්වමින්, එමෙන්ම ඒවා නිවටව නිහඬව ඉවසන්නට කියාදෙමින්, හම්බ කරන්නේ පාප කර්ම, වියදම් කරන්නේ පෙර පින්. එතකොට ඒ මාරයාගේ න්යෝජිතයනුත් පව්. මෙතන තරහා ගන්න දෙයක් නෑ. මහා විහිළුවක්, නමුත් මේ විහිළුවට හිනා යන්නේ නෑ, ඇඬෙන්න පුළුවන්, සිනහා නොයන විහිළුවක්. මේ කරුණ  තේරෙන්න තේරෙන්න කෙනෙකුට පේනවා මොන තරම් විහිළුවක් ද මේ වෙන්නේ කියා. මෙය විහිළුවක් බව ඔය කවුරුවත් දන්නේ නෑ, දන්නේ මාරයා පමණයි. මාරයා හිනා වෙනවා ඇති නමුත් අපට හිනා යන්නේ නෑ. සමහරවිට කඳුළු එන්න පුළුවන් ඇස් දෙකට මේ විහිළුව තේරෙන විට.

ඉතින් හිතවතුනි මේ කවුරුවත්ම නොකියන, මාරයා හෝ මාරයාගෙ නියෝජිතයන් නොකියන සහ අවධාරණය නොකරන, හංගන දෙයක් තමා, සිහිබුද්ධිය, විචාර බුද්ධිය, විවේක බුද්ධිය. ඒ නැතිව වෙන මොනවා සොයා ගත්තත් මාරයාට ප්‍රශ්නයක් නෑ. මාරයා කවදාකවත් බාධා කරන්නේ නැහැ අනිත් මොනවා සොයා ගත්තත්. සොයා ගන්න දෙන්නෙ නැති හංගන ම දේ තමයි විවේක බුද්ධිය, සිහිබුද්ධිය, විචාර බුද්ධිය, සිහිකල්පනාව. එමනිසා මාරයා තමන්ගේ නියෝජිතයන් සේ යොදාගන්නා සියලුම දෙනා භාවිතා කර සිදු කරන්නේ, සිහිබුද්ධිය නැති කිරීම, සිහිකල්පනාව නැති කිරීම. හරි ලේසියි එය නැති කරන්න. කලබල කරලා, එහෙම නැතිනම් මෝහනය කරලා, අඩපණ කරලා, නිද්‍රගත කරන්න. නිද්‍රාශීලි වුණාම කොහොමත් සිහිකල්පනාවක් නෑ. සාමාන්‍ය සිහිකල්පනාවවත් නැහැ නේ නිද්‍රාශීලි වුණාම, ආවේගශීලී වුණාමත් නෑ. ඉතින් මෙය කඹයක යනවා වගේ වැඩක්, ඔය සිහිබුද්ධියත් එක්ක කරන්න තියෙන්නේ, වමට වැටෙන්නත් පුළුවන් දකුණට වැටෙන්නත් පුළුවන්. වැටීම් හරි පහසුයි. මේ අන්ත දෙකට නොවැටී බොහොම සීරුවෙන් මාරුකිරීම (සීරුමාරු කිරීම), පියවර මැනීම තමා අමාරුම දේ. හැබැයි ඒ අමාරුම කාර්යයට තමා සිහිබුද්ධිය උර දෙන්නේ, කර දෙන්නේ.

ඉතින් මේ කාරණා ටික පැහැදිලි කළේ හිතවතුනි මෙතන ලෞකික වගකීමකුත් තියෙනවා, ලෝකෝත්තර වගකීමකුත් තියෙනවා. අවසාන වශයෙන් මේ දෙකම එකයි, දෙකක් නොවෙයි එකයි. එකක් විසඳලා අනිත් එකට යනවා නොවෙයි, සිහිබුද්ධිය හරහා දෙකම විසඳා ගැනීම. ඒ සඳහා තැන්පත් බවයි, විචාරශීලී බවයි දෙකම අවශ්‍යයි, තැන්පත් බවයි විචාර පූර්වක බවයි. ඒ තැන්පත් සිතට විචාර පූර්වක වෙන්න පුළුවන්. එනම් විචාර පූර්වකවීම තුළම, කලින්ම විචාර පූර්වක වීම තුළ වඩ වඩාත් තැන්පත් වන්න පුළුවන්, සිහිබුද්ධිය ඇතිවෙනවා. සිහිබුද්ධිය ට තමා පේන්නේ සියලුම games මාරයාගෙ බව. ඒවාට අහුවෙලා ඉන්නවා පින් කළ මිනිස්සු ටිකක්, තමන්ගෙ පින් වියදම් කරමින් ඒ ඇත්තන් මහා පාප කර්ම උපයා ගන්නවා. ඉතින් හරි අමාරුයි මේ වගේ වෙලාවක උදව් කරන්න.

යාන්තමට හරි කරන්න පුළුවන් උදව්ව තමා මේ සිහිකල්පනාව පිළිබඳව ආදර්ශයක් දීම. ඒ ගැන අප ටිකක් සාවධාන වෙමු. මේ කාරණය, මාරයාව හරියට හඳුනාගැනීම තමා ධර්ම මාර්ගයේ තීරණාත්මකම සාධකය. ඒ සඳහා මේ කියූ කාරණා සහ ඇසූ කාරණා කොතරම් දුරට උපකාර කරගන්න පුළුවන් ද? ඒ ගැන අප ටිකක් භාවනානුයෝගී වෙමු. එයින් වඩාත් අර්ථවත් සාකච්ඡාවකට පිවිසෙන්න පුළුවන් වෙයි.

භාවනාව

බුද්ධියෙන් කළ විචාර පූර්ව මෙනෙහි කිරීමත් සමඟ හිතවතුනි එමු සාකච්ඡාවට. සමහරවිට අද මේ වැඩසටහන විවාදශීලි වෙන්නත් පුළුවන්, විවාදයට හේතුවන ආකාරයේ කාරණා කියවෙන්නත් ඇති, කෙසේ හෝ මේ අවස්ථාව තියෙන්නේ තවදුරටත් විමසන්න, පැහැදිලි කරගන්න, අනාවරණය කරගන්න. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගන්න, අහන්න යමක් තියෙනවා නම් අසමින්, කියන්න යමක් තියෙනවා නම් කියමින්.

සාකච්ඡාව 

ප්‍ර : සිහිබුද්ධිය නැති, සම්මා සතිය නැති හැම වෙලාවකදිම මාරයාට අවශ්‍ය දේ ද සිද්ධ වෙන්නේ, නැත්නම් ඊට එහා දෙයක් අපිට නොදැනී සිද්ධ වෙනවද?

පි : සති සම්පජඤ්ඤය හා සම්මා සතිය නැති ඕනෑම වෙලාවක කෙරෙන්නේ නරක වැඩම නොවේ, හොඳ තීරණ ගන්න පුළුවන් යහපත් වැඩ කෙරෙන්නත් පුළුවන්. තව විදියකට කියනව නම් පින් කෙරෙන්නත් පිළිවන්, පව් කෙරෙන්නත් පිළිවන්. පින් කරන්න සම්මා සතිය අවශ්‍යම නෑ, ඒවගේම පව් කරන හැම වෙලේම සම්මා සතිය නෑ.

මාරයා ගේ මූලිකම අවශ්‍යතාවය තමයි සත්වයා සංසාරයේ ඇතුලේ තබා ගැනීම ( සත්වයා කියන්නේ බ්‍රහ්මයන් දෙවියන් මනුෂ්‍යයන් සහ ඊට පහල අය, සත්ව කියන්නේ මේ පැවැත්මේ හරයක් තියෙනවා මේ පැවැත්ම තමා පරම සත්‍යය සුඛය කියා සිතා රැවටී එයට බැඳුණු ඇලුනු බව. නැතුව සතුන් කියන අදහස නොවේ ). ඕනෑම බැඳීමක් තාවකාලිකයි, දිගුකාලීනව ජීවිත කාලයටම තියෙන බැඳීම් තියෙන්න පුළුවන් නමුත් සදාකාලික බැඳීම් නෑ. දේවල් කියන ඒවා හරහා අප බැඳෙන්නෙ පැවැත්මට, මොකද පැවැත්ම සසර තුළ තමා සැප තියෙන්නේ හරය තියෙන්නේ කියලා එයට රැවටෙනවා. එතකොට ඒ බැඳීම ටික කාලයකින් බුරුල් වෙනවා. බුරුල් වෙනකොට නැවත බන්දවනවා. ඒ රස්සාව තමයි මාරයා භාර අරගෙන තියෙන්නේ. සසරට බැඳුණු අය සසරට නැවත නැවත බැඳ තබා ගැනීමයි මාරයාගේ වගකීම වෙන්නේ. එතකොට පිනෙනුත් පවෙනුත් දෙකෙන්ම මේ දේ වෙනවා සම්මා සතිය අවශ්‍ය නෑ ඒකට. බැඳීමක් සදාකාලිකව තියෙනවා නම් නැවත නැවත බැඳලා තියාගන්න අවශ්‍ය නෑ, එහෙම නෑ. ඒ නැතිකම තමයි අපට තියෙන වාසිය. මේ සසරට තියෙන බැඳීමත් තාවකාලිකයි. තාවකාලික නිසා බුරුල් කරගන්න පුළුවන්. ගැලවෙන්න තියෙන රහසයි ඇලවෙන්න තියෙන රහසයි දෙකම එකයි.

හැබැයි ඒ සම්මා සතියයි සම්මා දිට්ඨියයි එක්ක එන සම්මා ඤාණ තියෙනවා. ඒ ඥානයට තමා පේන්නේ මේ සියල්ල පිටිපස්සේ ඉන්නේ මාරයා බව හොඳින් හෝ නරකින් මේ ඉටු වෙන්නේ මාරයා ගේ අවශ්‍යතාවය බව. හොඳිනුත් වෙනවා නරකිනුත් වෙනවා, හොඳ නරක මාරයාට ප්‍රශ්නයක් නෑ.

එම නිසා ඔබතුමාගේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරය, සම්මා සතිය නැතිවෙලාවෙ මාරයාට රිංගන්න අප දොරක් අරිනවා. මාරයා එයින් රිංගන්නත් පුලුවන්. නැතිව ඉන්නත් පුළුවන්. නමුත් අප තීරණාත්මක අවස්ථාවකට එන විට එතන සම්මා සතිය නැත්නම් අන්න මාරයා ප්‍රයෝජන ගන්නවා. සම්මා සති සූත්‍රයේ අප දන්නවා “වම බලන විට වම බලන බව දන්නවා….”.  නමුත්.එතැන කියා නෑ  කෙනෙකු වම-දකුණ බැලුවාය කියා සසර දික් වෙන බවක්. හැබැයි සසර දික් වෙන්න එතන දොරක් ඇරෙනවා., මොකද අප සම්මා සතියෙන් තොරව බැලුවොත් එතන පේන දේකට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. එතන යමක් පෙනෙනවා. ඒ පේන දේ හරහා මාරයාට රිංගන්නත් පුළුවන් රිංගන්නේ නැතිව ඉන්නත් පුළුවන්. සම්මා සතියෙන් නැත්නම් පාලනය අපේ අතේ නොවේ තියෙන්නේ. ඒ අවදානම තියෙනවා. 

ප්‍ර : ඔබතුමා සඳහන් කරන ආකාරයට මාරයා සංසාරය සංකීර්ණ තත්ත්වයකට පත් කිරීම තමයි කරන්නේ, අභියෝග ගොඩක් එකපාර ඉදිරිපත් කරනවා. එතනදී කලබල නොවී සිටීම සිහිබුද්ධිය විචාරශීලී බව තුලින් අපට ගැලවෙන්නන පුළුවන්. ඊට අමතරව නිතර බුද්ධ දේශනාව පරිශීලනය කිරීම එයින් උදාහරණ ගැනීම තුළින් අපිට තවදුරටත් ගැටළුවලට යොමු නොවී සිටීමේ හැකියාවක් ලැබෙනවා නේද? 

පි :අනිවාර්යෙන්ම තිබෙනවා. ඒ සඳහායි බුද්ධ දේශනාව. වෙන කිසිම දේශනාවකින් නම් ඒ කාර්යය වෙන්නේ නෑ, බුද්ධ දේශනාවෙන් පමණයි. බුදුවරයෙක් පහළ වෙන්නෙත් එය දේශනා කරන්නයි. එම නිසා බුද්ධ දේශනාවෙන් ගන්න තියෙන හොඳම සහ එකම වැඩේ තමා මාරයා හඳුනාගන්නත් මාරයාට අහු නොවී සිටීමත්. ඒ තමයි බුදුන් වහන්සේ කෙනෙකුගෙන් අපට ගන්න තියෙන ප්‍රයෝජනය, මොකද අනිත් ප්‍රයෝජන වෙන අයගෙන් ගන්න පුලුවන්, ඒවාට බුදුන් වහන්සේ නමක් අවශ්‍ය නෑ. ඒ අනිත් අයට කරන්න බැරි එකම දේ තමා මාරයා පිළිබඳ කියා දීම. මාරයා කියල කිව්වට එතැන තිබෙන්නේ හේතුඵල ක්‍රියාකාරීත්වයක්, ඒ හේතුඵල ක්‍රියාකාරීත්වය පෙන්වා දීම විග්‍රහ කිරීම පැහැදිලි කිරීම සහ එතනින් ගැලවෙන හැටි කියාදීමයි බුද්ධ දේශනාවෙන් කෙරෙන්නේ. ඒ ඇහෙන් කියවන්න අහන්න පුළුවන් නම් ඒ ආකල්පයෙන් සම්මා දිට්ඨියෙන් අහන්න පුළුවන් නම් එයින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා.

බුද්ධ දේශනාව ඇතුලේ ඕනම කෙනෙකුට ඕනම වැඩකට ප්‍රයෝජන ගන්න පුළුවන් කාරණා තියෙනවා. රජ කෙනෙකුට රජ වෙන්න නම් ඒ පැත්තට, ගුරුවරයෙකු වෙන්න නම් ඒ පැත්තට, එබඳු සියලුම ක්ෂේත්‍ර වල සාර්ථකත්වයට ප්‍රයෝජනයට ගන්න තියෙන එකම දේශණය බුද්ධ දේශනයයි, වෙන කොහේවත් නෑ. නමුත්.එසේ ගැනීම ලොකූ අපරාධයක්. එනිසා සම්මා දිට්ඨියෙන් යුතුව තමා බුද්ධ දේශනය අහන්න ඕන. මාරයාව හඳුනාගන්නවා කියන ආකල්පයෙන් ඒ ඇහෙන් හා කණිනුයි අහන්න ඕන. මාරයා ගේ නියෝජිතයින් හඳුනාගන්න මාරයාගේ ක්‍රියාකාරීත්වය දකින්න හා ඒවාට අහු නොවී ඉන්න ආකාරයයි බුදුන් වහන්සේ මහා කරුණාවෙන් අපට දේශනා කළේ, වෙන මොනවටවත් නොවේ. ඒ තමයි උන්වහන්සේගේ අරමුණ. ඒ නිසා තමා බුද්ධත්වය ලැබූ ගමන්ම මාරයා ඇවිත් පිරිනිවන් පාන්න ආරාධනා කළාම එය පිළි නොගත්තේ. එතුමන් වහන්සේ කිව්වේ “ඔබ කිව්වට මාබපිරිනිවන් පාන්නේ නෑ.බුද්ධත්වය ලැබුවේ තමන් වහන්සේ වෙනුවෙන් නොවේ බොහෝ දෙනාගේ හිත සුව පිණිසයි” කියා.

ඔබතුමා කියූ කාරනය හරියටම හරි, හැබැයි බුද්ධ දේශනාව අහන්න ඕන ඔය අවශ්‍යතාවය හිතේ තියාගෙන. එහෙම ඇහුවොත් කියෙව්වොත් මොන තරම් මුතුමැණික් මේ බුද්ධ දේශනය ඇතුලේ තියෙනවද කියන එක තේරුම් යනවා. එරෙන වගුරක යන්න පුළුවන් අඩිපාරවල් තියෙන්න පුළුවන්. හැබැයි අපට ඒවා පෙනෙන්නේ නෑ. එතකොට බුදුන් වහන්සේ කළේ ඒ අඩිපාරවල් දෙපැත්තේ මායිම් ලකුණු දමා ප්‍රකට කිරීම . ඒ නිසා අපට ඒ එරෙන්නේ නැති අඩි පාරවල් දිගේ යන්න පුළුවන්. සිහිබුද්ධියටයි ඒවා පේන්නේ. මුළු බුද්ධ දේශණාවේම තියෙන්නේ මේ මාරයා හදන සංසාර මඩ වගුරට වැටිලා එරිලා විනාශ වෙන්නේ නැතිව කොහොමද එතෙර වෙන්නේ කියන කාරණය. එතෙර වෙන්න පාරක් තියෙනවා, පාරක් නැත්නම් එතෙර වෙන්න බෑ. හැබැයි ඒ පාර හොයාගන්න ලේසි නෑ. බුද්ධ දේශනාවෙන් කලේ ඒ පාර සලකුණු කරලා දුන්නු එක. ඕනෑම දේශනාවක් ඇතුලේ පාරක් තියනවා. පාරක් හොයන්න තමයි දේශනාව, වෙන මොනවටවත් නොවේ.

එනිසා බණ අහන අපට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම අප දැනගෙන බණ ඇහුවොත් තමයි ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව ඇහෙන තැනක ඉඳගෙන හිටියට, විහිළුවකට හිනා උනාට, පැහැදෙන තැනකට සාධු කිව්වට නම් ඔය ප්‍රයෝජනය ලැබෙන්නේ නෑ. එයට වඩා ලොකු වගකීමක් තියෙනවා ශ්‍රාවකයකුට. ඒ නිසානේ ධර්මශ්‍රවණය දුර්ලභ කාරණයක් කියන්නේ. වගකීමකින් තොරව ඒ ශ්‍රවණය සිදුවෙන්නේ නෑ, ඒ නිසයි දුර්ලභයි කියා කියන්නේ, නැතිව කනට බණ ඇසීම නොවේය දුර්ලභ වෙන්නේ, සිහි බුද්ධියට ඇහෙන එකයි දුර්ලභ. ඉතින් අපි ඒ සිහිබුද්ධිය නැතිව බණ ඇහුවට නම් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. 

ප්‍ර :අද වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක අපිට අවශ්‍ය නම් එකම බණ දේශනාව නැවත නැවත අසා අපට ඇති ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා නේද?

පි : ඔව්, එහෙම පුළුවන්. එකම දේශනය නැවත නැවත ඇසීම හොඳයි, විවිධ දේශනා එක දිගට අහනවාට වඩා. එක දේශනයක් අසා ඒ ගැන හිතා මෙනෙහි කර හා ආවර්ජනය කර නැවත අහන්න. එහෙම නැතිව දිගටම ඇහීම නොවෙයි කළ යුත්තේ. එක්වරක් ඇසූවිට යමක් තමන්ගේ මනසේ තැන්පත් වෙනවා, ඒ මතකයත් එක්ක නැවත අහන්න, එහි තියෙන පණිවිඩය ඉස්මතු කර ගන්න. එසේ ඉස්මතු කර නැවත ඒ දේශනයට ඇහුම්කන් දෙන්න. එහෙම අහන විට තවත් පැහැදිලිවෙයි. තාක්ෂණයෙන් ගන්න තියෙන හොඳම ප්‍රයෝජනය තමයි නැවත නැවත අහන්න පුළුවන්කම. එහෙම නැතිව වෙනස් වෙනස් දේශනා එක දිගට ඇහුවා කියා ඒ එකකින් වත් ප්‍රයෝජන ගන්න බැරි වෙයි. 

ප්‍ර : ගිහියෙකුගේ ලෞකික ඉලක්කයන් තියෙනවා. ලෞකික ඉලක්කයන් කියන්නේ යම් යම් දේ රැස් කරන එක. ඒ වාගේම ඔහු භාවනායෝගීයෙක් නම් ඔහුගේ ලෝකෝත්තර ඉලක්කත් තියෙනවා, දේවල් අත්හැරිය යුතුයි කියන එක. මේ රැස්කිරීම සහ අත්හැරීම පරස්පරයි නේද?. ඒ තත්ත්වය තුළ ලෞකික හා ලෝකෝත්තර අරමුණු අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවෙනවා නේද?. එතකොට බුද්ධ දේශනාවට අනුව එසේ ගැටුම්කාරී තත්වයක් ඇති නොවන ආකාරයට දහම් මග සකසා ගන්නේ කෙසේද? 

පි : රැස් නොකරන්නේ රහතන් වහන්සේලා පමණයි. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කිසිම රැස් කිරීමක් නෑ, එනිසා උන්වහන්සේ කිසිම සටහනක් තබන්නේ නැහැ කොහෙවත්, හරියට අහසේ පියාසර කළ  කුරුල්ලෙකුගේ පා සටහන් දකින්න නෑ වගේ. රැස් කිරීම තුළ අප හැම තැනකම අපේ අත්සන ගහනවා පා සටහන තබනවා. මේ කාරණය තේරුම් ගන්න. රහතන් වහන්සේ කෙනෙකුට මෙහා කිසිම කෙනකුට රැස් නොකර ඉන්න බෑ. කිසියම් මට්ටමකින් රැස් කිරීමක් වෙනවා. ගිහි ජීවිතයක බර තියන කෙනෙකුට කොහොමත් රැස් නොකර ඉන්න බෑ. එසේ නොකර හිටියොත් සංකිර්ණ ප්‍රශ්න රාශියක් ඇතිවෙනවා. එතනදි අත්හැරීම වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. රැස්කිරීම සිහි බුද්ධියෙන් කරන්න පුළුවන් අවශ්‍යය දේ අවශ්‍ය ප්‍රමාණයට. එතන සීමා කිරීම් තියෙනවා. අනිත් අය කිව්වට අප රැස් කරන්න අවශ්‍ය නෑ, සිහි බුද්ධියෙන් බලා අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයට රැස් කරන්න පුළුවන්. කොච්චර අත්‍යවශ්‍ය උනත් නැත්නම් රැස් කරන්න බෑ. එතනදි ශෝක නොකර ඉන්නත් පුළුවන්. තමන් ආතතියට පත් වෙලා ආවේගශීලී වෙලා වියරු වැටෙන තැනකට නොයා ඉන්නත් අප දක්ෂ වෙන්න ඕන. ඒවාගේම රැස් කිරීම අවම අසාධාරණයකින් වෙන්නත් ඕන. කිසිම අසාධාරණයකින් තොරව රැස් කරන්න බෑ. ඒ කියන්නේ සංසාරේ ඉන්න බෑ වැරැද්දක් නොකර. කවුරුහරි කියනවා නම් සංසාරේ ඉන්න පුළුවන් කිසිම වැරැද්දක් නොකර කියා එය නොදන්නාකම නිසා කියන දෙයක් හෝ දැනගෙන රවට්ටන්න කියන දෙයක්. එහෙම ඉන්න පුළුවන් නම් නිවනක් අවශ්‍යය නෑ. සංසාරේ කිසිම වැරැද්දක් නොකර ඉන්න පුළුවන් නම් නිවනක් මොකටද?. එහෙම ඉන්න බෑ. මොන තරම් සාධාරණව ජීවත් වෙන්න ගියත් අසාධාරණකම් වෙනවා. එසේ වැරදි වන ආකාරයටයි මේ සංසාරේ හදලා තියෙන්නේ, වැරදි වෙන්න පුළුවන් හැකියාව වැඩි තැනක් විදිහට. වැරැද්දක් නොකර සිටීම අමාරු. අවම අසාධාරණයකින් අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට රැස් කරන්නයි උත්සාහ කරන්න ඕනේ. එතනත් වගකීමක් තියෙනවා. සම්මා ආජීවය ආර්ය මාර්ගයේ අංගයක් විදිහටනේ තියෙන්නේ. සංසාරෙන් එතෙර වෙන්න ඕන අංගයක් තමා නිවැරදි ජීවන උපාය. මෙය ගිහි කෙනෙකුට වුණත් අදාලයි. රැස් කිරීම හැකි පමණ නිවැරැදිව කිරීම. මෙය හරි පළල් දෙයක්.

රැස්කිරීම භෞතිකයි, දන් දීමත් භෞතිකයි. රැස් කරන්න පුළුවන් වෙන්නේ භෞතික දේ, දන් දෙන්න පුළුවන් වෙන්නෙත් භෞතික දේ. ඊළඟට අත්හැරීම කියන්නේ මානසික ක්‍රියාවක්. හිතින් කරන්න ඕන දෙයක්, රැස් කිරීම තුළ අත්හැරීම කරන්න පුළුවන්. අත්හරින්න පුළුවන් රැස්කරමින්. එය තමයි දක්ෂතාවය.

ප්‍ර : එය සමතුලිතව කරගැනීම නේද අපහසු?

පි : එය සංකීර්ණ කාරණයක්. සංකීර්ණයි කියන්නේ සරලව උත්තරයක් දෙන්න බැරි කාරණයක්. හේතුව තමා ගිහිගෙය කියන්නේ සංකීර්ණ දෙයක්. ඒ ඇත්ත තේරුම් ගන්න ඕන. ධර්මයේ  සඳහන් වෙන්නේ ගීහි ජීවිතය කියන්නේ ගැටලු ප්‍රශ්න අර්බුද වලින් පිරුණු නිතැතින්ම සිත අපිරිසිදු වෙන්න පුළුවන් තැනක් විදිහට. මේ ඇත්තට අපි මුහුණ දෙමු, මොකද ඒ ඇත්තට ඒ තැනට අප අප කැමැත්තෙන් ඇවිත් තියෙන්නේ, කර්මානුරූපීවයි අප මේ මනුෂ්‍ය ජීවිතයට ආවේ. වෙන කාටවත් බැණලා දොස් කියලා වැඩක් නෑ.

ඊළඟට සිදුහත් කුමාරයා ගිහි ජීවිතය අත්හැරලා අභිනිෂ්ක්‍රමණය කළේ එදා තිබුණු සම්ප්‍රදාය නිසා. උන්වහන්සේ ලෝකෙ ඉන්න හැමෝටම පැවිදි වෙන්න කියල කිව්වෙ නෑ. හැබැයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න කිය නම් දේශනා කළා, ගිහි විදියට හෝ පැවිදි විදිහට. ඉතින් පැවිදි විදිහට යන්න පුළුවන් නම් හොඳයි, එය හරි කෙටි ශ්‍රේෂ්ඨ ක්‍රමයක්. හැමෝටම එහෙම බැරි නිසායි උන්වහන්සේ සිවුවනක් පිරිසක් ගැන දේශනා කළේ. අප දැන් කොතන හරි ඉන්නවා නේ, ගිහි කෙනෙකු විදිහට හරි පැවිදි කෙනෙකු විදිහට හරි විවාහ වී විවාහ නොවී හෝ දික්කසාද වී හෝ. ඉතින් මේක ගැන ලතවීම හෝ පසු තැවීම නොවේ වෙන්න ඕන කොහොමද මේ ඉන්න තැන ඒ බරත් එක්ක ඒ වගකීම් එක්ක මේ පාරේ යන්නේ. එහෙම නැතිව වෙන තැනකට ගිහිල්ලා යන්නේ කොහොමද කියන එක නොවේ. මෙතන ඉන්න තැනින් කොහොමද ගමන පටන් ගන්නේ. මෙය අමාරු කාර්යක්. එසේ අමාරු වෙන්න එක හේතුවක් තමයි අප ජීවිතය සංකීර්ණ කරගෙන සිටීම. ඒ සංකීර්ණකම ඇතුලේ හැමතැනම පැටලිලා හුස්මක් කටක් ගන්න ඉඩක් නෑ. හරි අවිවේකයි.  අප දක්ෂ නම් අපිට පුළුවන් මේවා එහා මෙයා කරගෙන යම්තාක් දුරකට පටන් ගන්න. පටන් ගත්තොත් නම් යන්න පුළුවන්.

මේ කාලය මේ ගේම් එක හොඳටම පේන්නයි රඟදැක්වෙන්නේ, වෙන කවරදාටත් වඩා. ඉතින් මේ කාලයෙන් ඒ ප්‍රයෝජනයත් ගන්න පුලුවන්නම්, මේ සියලු දුෂ්කරතා විදවීම් මැද්දේ අපට පුළුවන් නම් ඒ ප්‍රයෝජනයත් ගන්න අප දිනුවා වෙනවා. නැතිනම් අප පරදිනවා. මොනවා ලැබුණත් තෙල් ලැබුණත් gas ලැබුණත් විදුලිය ලැබුණත් සංසාරය ඉදිරියේ අප පරදිනවා. ඒ අධිෂ්ඨානයත් එක්ක සමුගනිමු.

සෑම දෙනාටම සෙතක්ම වේවා !  ශාන්තියක්ම වේවා !!  සැනසිල්ලක් ම වේවා !!!