සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 33
2022 ජූනි 08 සාරාංශය
කළ්‍යණ මිත්‍ර හිතවතුනි, මේ අප එකතු වන්නේ සදහම් සැඳෑව සිහිබුද්ධියට හෝරාවක් සමඟයි. සිහිබුද්ධිය ට හෝරාවක් වැඩසටහන් මාලාවෙන් ම අවධාරණය කළේ හා අවධාරණය කරන්නේ එකම එක කාරණයයි. සිහිකල්පනාවේ, සිහිනුවණේ, සිහිබුද්ධියේ, වටිනාකම, වැදගත්කම, ප්‍රයෝජනය, අර්ථය හා භාවිතය ගැන. කෙනෙකුට සිතෙන්න පුළුවන්, මේ ගැන මෙපමණ මොනවාද කියන්න තියෙන්නේ? සිහිබුද්ධිය, සිහිකල්පනාව, සිහිනුවණ, සතිසම්පජඤ්ඤය ගැන මේ තරම් සතිපතාම කතා කරන්න, කියන්න, අහන්න, සාකච්ඡා කරන්න හා භාවනා කරන්න තරම් දේවල් තියෙනවාද? මෙපමණ මොනවාද කියන්න තියෙන්නේ, එක පැත්තකින් ඒ විමසීමේ ගතයුත්තක් තිබෙනවා. එක දවසක් කථා කළා නම් ඇති. එක දවසක් ඇහුම්කන් දුන්නා නම්, සාකච්ඡා කළා නම්, තේරුම් ගත්තා නම් ඇති. අනිත් අතින් සිහිබුද්ධිය පමණයි අපට තිබෙන එකම ගැලවීම. ගැලවීමක් සොයන, එතෙර වීමක් ගැන සිතන, තරණය කිරීමක් ගැන වෙහෙසෙන, කෙනෙකුට වැටහෙන කාරණය තමා, ඒ සියලු අරමුණු එතෙරවීම, තරණය කිරීම, නිමා කිරීම මේ සියල්ල ප්‍රායෝගික යථාර්තයක් බවට පත්වන්නේ, සත්‍යක් බවට, හැබෑවක් බවට පත්වන්නේ, සිහිබුද්ධිය තිබුණොත් පමණයි. ඒ නිසා එකම එක කාරණය සිහිබුද්ධිය කීවත් වරදක් නෑ. සිහිබුද්ධිය තිබුණොත් ඇති, වෙන මොනවා නොතිබුණත්.
සියල්ල තිබී සිහිබුද්ධිය නැතිවුණොත් ඒ කිසිවකින් මෙලෝ ප්‍රයෝජනයක් ගන්න බෑ. ධනය තියෙනවා සිහිබුද්ධිය නෑ. දැනුම තියෙනවා සිහිබුද්ධිය නෑ. බුද්ධිය තියෙනවා සිහිබුද්ධිය නෑ. බලය තියෙනවා, පිරිවර ඉන්නවා, නිරෝගිකම තියෙනවා, ඇස පේනවා, කන ඇසෙනවා, කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, සිතන්න පුළුවන්, සැලසුම් කරන්න පුළුවන්, මේ සියලුම හැකියාවන් තිබුණත් සිහිබුද්ධිය නැතිනම් මේ හැම හැකියාවකින්ම සහ සෑම සම්පතකින්ම කරගන්නේ විනාශයක්, තමන්ටත් අනිත් අයටත්. එක්කෝ එදා එදාම විනාශ වෙනවා, විනාශ කරගන්නවා. නැතිනම් හෙටවන විනාශය නොදැන නොදැක, සිහිබුද්ධියක් නැතිකම නිසා එය දැනගන්නට දැකගන්නට තරම් අනාගත දැක්මක් නැතිව වර්තමානයට රැවටෙනවා. වර්තමානයේ ලැබෙන, වර්තමානයේ තිබෙන යස ඉසුරුවලට රැවටෙනවා, බලයට රැවටෙනවා, සම්පත්වලට රැවටෙනවා, වර්තමාන නිරෝගිකමට රැවටෙනවා, වර්තමාන දැනුමට, උගත්කමට, බුද්ධියට රැවටෙනවා, වර්තමාන පිරිවරට රැවටෙනවා. එසේ රැවටී අනාගත දැක්මක් නැතිකම නිසා, හෙට අපාය අද හදාගන්නවා. හෙට අපායක් කරගන්නේ අද, හෙට නොවේ අද.
මොනවායින්ද? අද තිබෙන ධනයෙන්. අපාය හදාගන්න සල්ලි ඕනේ. අද තිබෙන ධනය වියදම්කර හෙටට අපායක් හදනවා. තමන්ට අපායක් හදාගත් සෑම දෙනාම ඒ අපාය හදාගත්තේ, තමන්ට තිබුණු ධනයෙන්. පාරම්පරිකව උරුමවුණු ධනයෙන්, උපයාගත් ධනයෙන්, සොරකම් කළ ධනයෙන්, තෑගි වශයෙන් ලැබුණු ධනයෙන් කවර හෝ ආකාරයකින්, තමන්ගේ ධනවත්කම වියදම්කර අපාය හදාගෙන තියෙන්නේ. බලන්න ධනය සම්පතක් නේ. මුදල් වියදම් කර හදාගන්නේ අපාය බව පේන්නේ නෑ, හිතෙන්නෙත් නෑ, කිව්වට ඇහෙන්නෙත් නෑ. හේතුව සිහිකල්පනාව නැතිකම. සිහිබුද්ධිය නෑ. අපාය හදාගන්නේ තමන්ට තියෙන දැනුමින්, උගත්කමින් හා බුද්ධියෙන්. ඒ දැනුම, උගත්කම, බුද්ධිමත්බව, මේවා භාවිතාකර තමා පාපකර්ම කරන්නේ. පාපකර්මයක් කරන්න දැනුම අවශ්‍යයි. කිසියම් උගත්කමක් අවශ්‍යයි. එමෙන්ම බුද්ධියකුත් අවශ්‍යයි. ඔය දැනුම, උගත්කම, බුද්ධිය කියන්නේ සම්පත්. මේවා සමහරවිට පෙර පිනකට ලැබුණා වෙන්න පුළුවන්. ධනය වුවත් පෙර පිනකට ලැබුණා වෙන්න පුළුවන්. පෙර පිනකට ලැබුණු ධනය, දැනුම, උගත්කම, බුද්ධිය, බලය, හැකියාවන් මේ සියල්ලම උදව් කරගෙන, භාවිතා කරගෙන කෙනෙකු ගොඩනඟා ගන්නේ, කපා ගන්නේ, තමන්ගේම නිරය නම්, අපාය නම් කාට කියන්නද? එය තරම් අවාසනාවක් තවත් නෑ. හිතවතුනි, ඔය අපාය, නිරය, ඒ කියන්නේ දුකනේ. අපාදුක කියානේ. ඒ නිරා දුක විඳින හැම දෙනාම ඒ විඳින්නේ වෙන කවුරුවත් නිසා නොවෙයි, තමන් නිසා. තමන් කියන්නේ තමන්ට තිබුණු දේ නිසා. තමන්ට තිබුණු ධනය, දැනුම, හැකියාවන්, බුද්ධිය, බලය නිසා. මේවා හැමදෙනාටම තිබෙනවා. ප්‍රමාණ වෙනස් වෙන්න පුලුවන්, නැති කෙනෙකු නෑ. නැතිකම නිසා කවුරුවත් අපායට යන්නේ නෑ, තිබුණු නිසයි යන්නේ.
සිහිබුද්ධිය තමා බුදු දහම කියන්නේ. “බුදු දහම කියන්නේ කුමක්ද?” කියා ඕනෑම කෙනෙකු විමසුවොත් බය නැතිව සැක නැතිව ඒකාන්ත පිළිතුරක් දිය යුතුනම්, කියන්න පුළුවන් “සිහි බුද්ධිය”. මුළු බුදු දහම ම අපට කියන්නේ සිහිබුද්ධිය ඇති කරගන්න. සිහි කල්පනාව ඇති කරගන්න. ඒ තමා බුදුරජාණන් වහන්සේගේ පළමු අවවාදයත්, අවසාන අවවාදයත්. ඒ දෙක අතර මැද දුන්නු සියලුම අවවාදයන්ගේ හරය, සාරාංශය. කවර හෝ හේතුවකට ප්‍රමුඛස්ථානය දියයුතු, මුල්තැන දියයුතු, එකම තැන දියයුතු දෙයට කිසිම තැනක් නොදීම නිසා, මුල් තැන නෙවෙයි දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, ... එකම තැනක්වත් නෑ. එසේ නොදීමේ බරපතල විපාක තමා හිතවතුනි රටක් විදිහට ජාතියක් විදිහට හා පෞද්ගලිකව මේ විඳින්නේ, මුහුණ දෙන්නේ.
සිහිබුද්ධිය පමණක් ඇතිනම් ඇයි මේ බොහෝ කාරණා කියන්නේ? සීලය අවශ්‍යයි, දානය අවශ්‍යයි තව ගුණ ධර්ම අවශ්‍යයි, සත් තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ සියල්ල අවශ්‍යයි. හැබැයි මොනවාද ඕනේ? මොනවාද අවශ්‍ය නැත්තේ? කොතෙන්ටද මේ දේ ඕනේ? කොයි ප්‍රමාණෙටද ඕනේ? ‘කවුද තීරණය කරන්නේ’ ‘සිහිබුද්ධියයි’. ඒ නිසා සිහිබුද්ධිය තිබුණොත් එයා දන්නවා මෙතෙන්ට කුමක්ද අවශ්‍ය, කොයි ප්‍රමාණයටද අවශ්‍ය, අනවශ්‍ය මොනවාද, හැම දෙයක්ම හැම තැනටම අවශ්‍ය නෑ. එමෙන්ම එක දෙයක් වුණත් ඕනෑවට වැඩිය අවශ්‍ය නෑ. අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට දැනගන්න, මැනගන්න, යොදාගන්න පුළුවනි සිහිබුද්ධියට. එම නිසා තමා දයාබර හිතවතුනි, මේ මාතෘකාව පිළිබඳව බුද්ධිකලම්භන වැඩසටහන් කිහිපයක් කරන්න අදහස් කළේ. තවත් ධර්ම සාකච්ඡාවක්, සදහම් සංවාදයක්, කිරීමට නොවේ, මෙන්න මේ හේතු නිසා. දිගින් දිගටම කියන්න අවශ්‍යත් නෑ, කියන්න බැරිකමකුත් නෑ, එකම දේ නැවත නැවත කියනවාත් නොවේ.
මා දන්නේ නෑ, මෙතන අද කී දෙනෙකු සම්බන්ධ වෙනවාද, මේ සම්බන්ධවන ආදරණීය කළ්‍යාණ මිත්‍රයන් කීදෙනෙකු පළමු වැඩසටහනේ සිට මේ දක්වා සිටියාද, කීදෙනෙකු අද අලුතින් එකතුවෙනවාද, කිහිපයකට එකතුවුණාද දන්නේ නෑ. නමුත් ඊට වඩා වැදගත් වන්නේ එක වැඩසටහනකට හෝ සම්බන්ධ වුණානම්, ඒ සම්බන්ධ වෙන්න කළින් සිටිය කෙනා නොවේ මේ වැඩසටහනෙන් පස්සේ ඉන්නේ. එය විශ්වාසයක්, බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනයක් ම නොවේ වැටහෙන දෙයක්, අප අපටම ප්‍රත්‍යක්ෂවන කාරණයක්. තව ආකාරයකට පැවසුවොත් සිහිබුද්ධිය ඇති කෙනෙකු බවට පත්වෙන්නට ඕනේ. වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කළින් ගත කළ ජීවිතයයි, දැන් ගතකරන ජීවිතයයි අතර තමන්ටම පැහැදිලිවන වෙනසක් පෙනෙන්නට ඕනේ. සිහිබුද්ධිය මුල්වෙලා ඇති කළ වෙනසක්. සිහිබුද්ධිය කියන්නේ තවත් එක් දැනුමක් නොවේ. මෙයින් විෂය නිර්දේශයක් හදන්න අවශ්‍ය නෑ. සිහිබුද්ධියෙන් syllabus එකක් හදන්න අවශ්‍ය නෑ. මෙතන තිබෙන්නේ භාවිතයක්. මේ කාරණය නැවත නැවතත් අවධාරණය කරන්න කැමතියි.
‘වඩ වඩාත් සිහිබුද්ධිය භාවිතා කරන, සිහිබුද්ධියට මුල්තැන දෙන, සිහිබුද්ධියෙන් විමසන, සිහිබුද්ධියත් සමඟ සාකච්ඡා කරන, සිහිබුද්ධියෙන් තීරණ ගන්න කෙනෙකු බවට පත්වෙන්න’.
වෙන කිසිම දෙයක පිහිටක් නෑ, අසරණයි. කියන්න බැරි තරම් අසරණයි. මොනතරම් අසරණද කියන කාරණය තාම අපට වැටහිලා නෑ. අපේ සැබෑ අසරණ බව හඳුනාගන්න ලැබුණොත්, ඒ ලැබුණු දවසට අපව කම්පනයට පත්වෙයි, සිහිසුන්වෙයි, ඇදගෙන වැටෙයි. ඒ තමා යථාර්තය, ඇත්ත. බය කරන්න කියනවා නොවෙයි. තිබෙන එකම සරණ සිහිබුද්ධිය පමණයි. සිහිබුද්ධියට ප්‍රශ්න නෑ. අභියෝග තිබෙනවා. අභියෝග ප්‍රශ්න කරගන්නේ නෑ සිහිබුද්ධිය. අභියෝගත් සමඟ සිහිබුද්ධිය ගවේෂණයක යෙදෙනවා, එඩිතර ගවේෂණයක. මේ පසුබිම අවධාරණය කිරීම හොඳයි කියා සිතුණා.
හිතවතුනි, පාසල් වියේදි, ඉගෙන ගන්න අවදියේදි සමහර විට ගුරුවරියන්, ගුරුතුමන් අහනවා කවුද මෙය කළේ. ‘කවුද කළේ?’ සමහරවිට ඩෙස්ක් පෙරළලා, වීදුරු කඩලා, මොනවා හරි. මෙය ‘කවුද කළේ’? ඒ සොයන්නේ දඬුවම් දෙන්න. කවුද කළේ කියා ඇසුවාම කරපු කෙනෙකු ඉන්නවා, එක්කෙනෙකු හෝ දෙන්නෙකු. බොහොම කලාතුරකින් ලස්සනට මල් පෝච්චියක් එහෙම හදලා තිබ්බොත් ඒත් අහනව ‘කවුද කළේ?’ඒ ප්‍රශංසා කරන්න. මේ කාර්යයන් දෙකේදීම කළ කෙනෙකු ඉන්නවා. ඒ කළ කෙනා සොයාගෙන තමා දඬුවම් දෙන්නෙත් තෑගි දෙන්නෙත්. කෙනෙකුට සිතෙන්න පුළුවන් නොකළ වැරදි වලට දඬුවම් විඳිනවා කියලා. නමුත් කර්මාධිකරණයේදී නොකළ වරදට නෙමෙයි කළ වරදටයි දඬුවම් දෙන්නේ. කළ හොඳටයි ත්‍යාග පිරිනමන්නේ. වරදින්නේ නෑ, කර්මයට වරදින්නේ නෑ, වරදින්නේ අපට. කළ කෙනෙකු, කවුද කළේ? කර්මය එය අපෙන් අහන දවසක් එනවානේ, විපාකය දඩුවම දෙන්න කළින්, තෑගි දෙන්න කළින් අහනවා කවුද කළේ? ඉතින් අපට සිදුවෙනවා අත උස්සන්න, මමයි කළේ. කර්මය විනිශ්චය කරන අවස්ථාවේ හැංගෙන්න බෑ. තමන් වෙනුවෙන් වෙන කෙනෙකු ඉදිරිපත් කරන්නත් බෑ. පගාවකට, හිතවත්කමට පණ වුණත් දෙන්නම් කියන අය ඉන්නවානේ, එහෙම කෙනෙකු ඉදිරිපත් කරලා “තමනුයි කළේ” කියා නොකළ කෙනෙකු ඒ උසාවියට, කර්මාධිකරණයට ඉදිරිපත් කරන්න බෑ. තමන්ම අත උස්සනවා, කළ වරදටත් “මමයි කළේ”, කළ හොඳටත් “මමයි කළේ”කියා. “මම කළේ” මෙහි කළ කෙනෙකු ඉන්නවා. ඒ නිසා තමා විපාක විඳින කෙනෙකුත් ඉන්නේ.
විපාකයෙත් හොඳ විපාක, නරක විපාක දෙකයි. ක්‍රියාවෙත් හොඳ ක්‍රියා නරක ක්‍රියා. කොහොමද හොඳ නරක බේරුම් කරගන්නේ? සිහිබුද්ධියට පුළුවන්. සිහිබුද්ධිය අඩුනම් තමා හොඳ නරක වෙන්කර ගන්න බැරි. එහෙම බැරි කෙනෙකුට තමයි ලැයිස්තු හදලා දෙන්න වෙන්නේ. මෙන්න හොඳ ලැයිස්තුව, මෙන්න නරක ලැයිස්තුව. යහපත් හා අයහපත් ලැයිස්තු. හිතවතුනි ඒ ලැයිස්තුවලට හැම දෙයක්ම ඇතුළු කරන්න බෑ. ජීවිතයේ මුහුණපාන්න වන සිදුවීම්, ඒ සිදුවීම්වලදි ගන්න ප්‍රතිචාර, ප්‍රතික්‍රියා, මේ සියල්ල ඇතුළු කරන්න බෑ. කිසිම ලැයිස්තුවක් කාටවත් හදන්න බෑ අංග සම්පූර්ණව. එපමණටම ජීවිතය සංකීර්ණයි. පොතේ විදිහට ජීවත් වෙන්න බෑ. ජීවිතය පොතකට, ලැයිස්තුවකට දාන්නත් බෑ. ඒ නිසා ලැස්තුවලට අනුව ජීවත් වෙන්න බෑ, ලැයිස්තුවලට අනුව හොඳ කරකර, ලැයිස්තුවේ ඇති නරක නොකර ඉන්න පුළුවන්, නමුත් සියලුම හොඳ කිසිම ලැයිස්තුවක නෑ, ඒවාගේම සියළුම නරකත් කිසිම ලැයිස්තුවක නෑ. ඒ මොහොත වෙනස්. ඒ නිසා හඳුනා ගැනීමේ පහසුව සඳහා ප්‍රධාන කාරණා ටිකක් තමයි පින්-පව්, කුසල්-අකුසල් කියා කියන්නේ. ඒ පොඩි උදාහරණ කිහිපයක්. ඒ ඇසුරින් අන්න සිහිබුද්ධියට පුළුවන් මේ කරන්න යන දේ යහපත් ද අයහපත් ද කියා කලින්ම, ක්‍රියාවට පෙර තේරුම් බේරුම් කරගන්න. ක්‍රියාවට පෙර විනිශ්චය. ක්‍රියාවට පෙර විනිශ්චය නොකළොත් ක්‍රියාවෙන් පසු විනිශ්චයට භාජනය වෙන්න වෙනවා. ක්‍රියාවට පෙර තමන් කරන්න යන දේ තමන් විසින්ම විනිශ්චය කරගන්න පුළුවන්නම්, සිහිබුද්ධියට කිව්වොත් “මෙය විනිශ්චය කර දෙන්න” කියා, සිහිබුද්ධිය හරි ලස්සනට විනිශ්චය කර දෙනවා. එහෙම කළොත් අර කර්මයේ විනිශ්චයෙන් එයා බේරෙනවා. ක්‍රියාවෙන් පසු කර්මයේ විනිශ්චයට මුහුණ දෙන්න වෙන්නේ නෑ. නමුත් ක්‍රියාවට පෙර, ඒ කියන්නේ කරන්න යන දේ, කෙරෙන්න යන දේ ගැන සිහිබුද්ධියත් සමඟ එකතුවී සොයා නොබැලුවොත්, විනිශ්චය නොකළොත්, විනිශ්චය නොකර කළොත්, කර්මයේ විනිශ්චයට මුහුණ දෙන්න වෙනවා. එදාම හෝ පසුවදා හෝ කවදා හරි. එදාට අසරණයි. එතකොට විත්තිකාරයෙකු විදිහට. දැන් විනිශ්චකාරයෙකු වීමේ හැකියාව ඇති කෙනෙකු විත්තිකරුවෙකු වීම මොනතරම් අභාග්‍යක්ද? ඊට වඩා අභාග්‍යක් තියෙනවාද? එයට වඩා පිරිහීමක් තියෙනවාද? විනිශ්චකරුවෙකු ලෙස, විනිශ්චකාර ධූරයේ සිටීමට හැකියාව තිබු කෙනෙකු, ඒ බව නොදැන කටයුතු කිරීම නිසා විත්තිකරුවෙකු, විත්තිකාරියෙකු බවට පත්වෙනවා. මෙය තමා සසරේ හැමදාම වුණේ.
තමන්ගේ නඩු අහන්නේ තමන් නෙමෙයි, කර්මය. ධර්මයත් නෙවෙයි නඩු අහන්නේ, ධර්මය නඩු අහන්නේ නෑ නඩු අහන්නේ කර්මය. ධර්මාධිකරණ නෑ, තියෙන්නේ කර්මාධිකරණ. එක නඩුවක් නෙවෙයි, එක නඩුවකින් ඉවර වෙන්නේ නෑ. නැවත නැවත-නැවත නැවත හැමදාම උසාවි. මේ තමා ජීවිතය. හැමදාම අප උසාවි යනවා විත්තිකරුවන්, කාරියන් විදිහට. ඒ බවවත් අඩුමගානේ අපට පේන්න ඕනේ මේ වන විට. දවසකට කී වතාවක් අපව උසාවියට කැඳවනවාද? ඒ කැඳවන්නේ ජූරි සභාවටවත්, විශේෂඥ උපදෙස් දෙන්නවත්, විනිශ්චය කරන්නවත් නොවේ, දඬුවම් දෙන්න. විත්තිකරුවෙකු, විත්තිකාරියක ලෙස.
මේ කාරණය අපට වටහා ගන්න පුළුවන් තැනක්. සංසාරය හා කර්මය පිළිබඳ මහා නොතේරෙන අපබ්‍රංස කටපාඩම් කරගන්නවාට වඩා, ඒ ගැන වාද-විවාද කරනවාට වඩා, භාවනාවෙන් පුළුවනි තේරුම් ගන්න. එක හෝරාවකට, එක පැයකට කීවතාවක් අපට කර්මයේ උසාවියට යන්න වෙනවාද? කැමැත්තෙන් නොවේ, අකමැත්තෙන්, ඇදගෙන යන්නේ, වරෙන්තු නැතිව. හැංගෙන්න බෑ, මොන උසාවියට හැංගුනත් කර්මයේ උසාවියට හැංගෙන්න බෑ. කර්මය දන්නවා අප ඉන්න තැන. කවුරු දන්නේ නැති වුණත් හිතවතුනි, කර්මය දන්නවා, ක්‍රියාව කළ කෙනා දැන් කොහෙද ඉන්නේ, එදා ඒ ක්‍රියාව කළ තැනැත්තා අද කොහෙද ඉන්නේ කියා. මේ පුංචි දූපතේ කොහෙද ඉන්නේ කියන එක සොයාගන්න අමාරු වගේනේ පේන්නේ. නමුත් කර්මයට මේ පුංචි ලංකාව නෙවෙයි, මේ මනුෂ්‍ය ලෝකෙත් නෙවෙයි, තුන් ලෝකයම කර්මයට පේනවා, කර්මයෙන් කාටවත් හැංගෙන්න බෑ. කර්මයට නොපෙනී, කර්මයට දැකගන්න බැරිවන්නට කොහෙවත් හැංගෙන්න බෑ. මේ කාරණය තමා බුදුදහමේ බොහොම සංකේතාත්මකව උපමාවකින් වගේ කියන්නේ, මහ මුහුදේ හැංගෙන්නත් බෑ, අහසේ හැංගෙන්නත් බෑ, මහ මුහුදේ ගැඹුරට ගිහිල්ලා හැංගෙන්න බෑ. මනුෂ්‍යන්ගෙන් නම් හැංගෙන්න පුළුවන්. සතුන්ගෙන් බේරෙන්නත් හැංගෙන්න පුළුවන්. කොහේ හරි, මුහුදට පැනලා හරි හැංගෙන්න පුළුවනි. ඒවාගේම කඳු මුදුනකට නැඟලා හරි හැංගෙන්න පුළුවනි. කර්මයෙන් බෑ. තුන්ලෝකේ කොහෙවත් කර්ම විපාක නොදෙන තැනක් නෑ. කර්මය දන්නවා අප කොහෙද ඉන්නේ කියලා. ඒ නිසා කිසියම් ක්‍රියාවක් කළොත් සිහිබුද්ධියෙන් තොරව, (සිහිබුද්ධියට කියලා “මේක මට විනිශ්චය කරලා දෙන්න, මෙහෙම එකක් මට හිතෙනවා කරන්න, කරන්නද? එපාද?, කළොත් මොකද වෙන්නේ? අනේ මට තේරුම් බේරුම් කර දෙන්න” කියා සිහිබුද්ධියට භාර දීලා, සිහි බුද්ධියත් එක්ක හිතලා-මතලා, සොයලා-බලලා, විමසලා, පෙරළා, අන්න විනිශ්චයක් කරනවා, එක්කෝ කරනවා, නැත්නම් නොකර ඉන්නවා, එහෙමත් නැත්නම් සංශෝධනයක් කරනවා. එහෙම කළොත් මිස) හිතවතුනි වෙන බේරීමක් නෑ. එහෙම නැතිව කළොත් ඔන්න දැන් කර්මයක්. සිහිබුද්ධියෙන් තොරව යමක් කළොත් තමයි කර්මයක් වෙන්නේ. සිහිබුද්ධිය නැතිව කළ කෙනා කොහෙද ඉන්නේ කියා කර්මය දන්නවා. ක්‍රියාව කරන වේලාවේ කොහෙද සිටියේ කියන එකට වඩා, පසුව නඩු අසන වේලාවේ, දඬුවම් දෙන දවසේ කොහෙද ඉන්නේ කියන්න කර්මය දන්නවා. ඉන්න තැනට තමයි වරෙන්තුව යවන්නේ, එවිට එන්න වෙනවා. ක්‍රියාව කරන වේලාවේ නුවර සිටිය කෙනෙකු දැන් නාගදීපයට ගියා කියා සිතමු, ඉන්දියාවට ගියත් ගෙන්වනවා, ඇමරිකාවට ගියත් ගෙන්වනවා, නඩු අහන වේලාවේ ගෙන්වනවා. එය මනුෂ්‍ය ලෝකයක් වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකය අතහැර වෙන ලෝකයකට ගියත්, කොහේ වුණත් කර්මයේ හස්තය දිගයි, මෙතන ඉඳලා ඉහළම ඉහළ තලයටත්, පහළම පහළ නිරයටත්. සාමාන්‍ය මනුෂ්‍ය නීතියේ හස්තය එපමණ දිග නෑ. නමුත් කර්මයේ හස්තය දිගයි. බෙල්ලෙන් අල්ලාගෙන එන්න පුළුවන්. බේරීමක් නම් නෑ. මේ කාරණය වැඩිය කියන්න ගියොත් බය සිතෙනවා. හැබැයි ටිකක් බය වෙන්නත් ඕනේ.
මෙතන අපට ගැලවීමක් තියෙනවා. එක් පැත්තකින් මෙතන සිට කරන දේ, අන්න සිහිබුද්ධියෙන් අසා විමසා කරන්න පුළුවන්. ඒ සිහිබුද්ධියෙන් අසා විමසා අවංකව, “එයාගෙන් ඇහුවානම් මෙහෙම කියයි, ඇහුවානම් ඕකමනේ කියන්නේ” කියා ගැලවීමට කියන්නේ නැතිව,ඇසිය යුතුයි.
අසා සිහිබුද්ධියත් සමඟ, විමසා-සොයාබලා, ඒ පැත්ත මේ පැත්ත පෙරළලා, සක්සුදක් සේ තමන්ට පැහැදිලි නම්, ඒ තමා නිවැරදි අන්න එතෙන්දි කර්මයට බෑ අත තියන්න.
ඒ ක්‍රියාවට කර්මයට ශක්තියක් නෑ වරෙන්තු දෙන්න, නඩු අහන්න, විත්තිකාරයෙකු කරන්න, දඬුවම් දෙන්න, තෑගි දෙන්න. තෑගි අවශ්‍ය නෑ, සිහිබුද්ධිය පහළ වුණොත් කෙනෙකුට ඊට වැඩිය තෑග්ගක් නෑ. ලෝකයේ ඉහළම සැප හා සම්පත තමා, සිහිබුද්ධිය. ඊට වැඩිය තෑග්ගක් නෑ. ඒකනේ කළින් කිව්වේ, මොනතරම් ධනය තිබුණත්, බලය තිබුණත් උගත්කම තිබුණත්, පිරිවර සිටියත්, සිහිබුද්ධිය නැතිනම්, ඒ සියල්ලෙන්ම එයා හදා ගන්නේ අපායක්. ඒ ධනයට බෑ පැනලා, මැදිහත්වෙලා දිව්‍ය ලෝකයක් හදලා දෙන්න. දැනුමට උගත්කමටත් බෑ. බලහත්කාරයෙන් ඇවිල්ලා අපාය වෙනස් කරලා දිව්‍ය ලෝකයක් ගොඩනඟන්න බෑ. එය කළ හැක්කේ සිහිබුද්ධියට පමණයි. ඒ නිසා
සිහිබුද්ධිය තමා විශ්වයේ, සංසාරයේ නැතිනම් තුන් ලෝකයේම තිබෙන අතිවිශිෂ්ඨ වූ, අග්‍රගණ්‍ය, අතිඋත්කෘෂ්ඨ, තිළිණය, ත්‍යාගය, සම්පත.
අනිත් හැම සැප සම්පතක්ම, වාසනාවක්ම ඊට වැඩිය පහළින් තියෙන්නේ. ඒ නිසා අනිත් ත්‍යාග හොඳයි, නමුත් මෙපමණ සම්පතක් සමඟ සසඳනවිට ඒවා නිකන් පයට පෑගෙන දූවිලි වගේ. ඒ නිසයි ඒ ගැන වැඩිය අවධාරණය කරන්නේ නැත්තේ. හැබැයි අවධාරණය කළ යුතු දේ තමා, මේ දුක් විපාක ගැන.
සිහිබුද්ධියෙන් තොරව යමක් කරන විටම, අන්න කර්මය සමඟ අප බන්ධනයක් ඇති කරගන්නවා. කර්මය කියන්නේ බූවල්ලෙක් වගේ නම් එයාගේ එක අඬුවකින් අපව අල්ලා ගන්නවා, සිහිබුද්ධියෙන් තොරව සිතන විටත්, කියන විටත්, කරන විටත්. ඉන් පසුව අපට යන්න අරිනවා කර්මය. කර්මය නැමති බූවල්ලාගේ අඬුවලට යන්න පුළුවන් සීමාවක් තියෙනවා, අසීමිතව කර්මයේ අඬු දික්වෙන්නේ නෑ, අනන්ත නෑ, සීමිතයි. නමුත් අපට යන්න පුළුවන් දුරත් සීමිතයි. අප මේ තුන්ලෝකේ ඇතුළෙනේ කැරකෙන්න වෙන්නේ. ඉන් එහාට යන්න බෑනේ. ඒ තුන්ලෝකයේ උඩටයි පහළටයි ඒ කර්මය නැමති බූවල්ලාගේ අඬු දිගයි. ක්‍රියාව කරන විටම ඒ බූවල්ලා අපව අල්ලා ගන්නවා එක අඬුවකින්, ඉන් පසුව අපට යන්න අරිනවා. අපත් යනවා. පේන්නේ නෑ එහෙම බන්ධනයක් තිබෙන බව. සාමාන්‍යයෙන් පේන්නේ නෑ. එක් බන්ධනයක් නෙවෙයි කරන කරන හැම කර්මයක් සමඟම එහෙම බන්ධන සාදාගන්නවා සිහිබුද්ධියෙන් තොරව කරන කරන ක්‍රියා සමඟ. හැබැයි ඉතින් එයාට සිතුනාම නඩු අහන්න එවිට ඇදලා ගන්නවා. එයයි වෙන්නේ, කොහේ හිටියත් ඇදලා ගන්නවා. මුහුද මැද්දේ සිටියත්, කන්දක් උඩ සිටියත්, පර්වතයක් පළලා ඒකේ මැද්දේ සිටියත්, ඉහළ අභ්‍යවකාශයේ සිටියත්, ඇදලා ගන්නවා.
මේ නියත කර්මයක් ගැන නොවෙයි කියන්නේ. කර්මය වෙනස් වෙනවා. සමහර විපාක තියෙනවා. විපාක නැතිවෙනවා. සියල්ල ඇත්ත නමුත් මේ කථා කරන්නේ සාමාන්‍ය පොදු ස්වභාවය ගැන. ඇදලා ගන්නවා. ඒ නිසයි කිව්වේ කර්මය දන්නවා අප කොහෙද ඉන්නේ කියලා. හැංගෙන්න බෑ. මුල් අවස්ථාව තමා බේරෙන්න කර්ම නොකර සිටීම. එය පුළුවන්. බැරිනම් ඉතින් විමුක්තියක් නෑනේ හිතවතුනි. එය තමයි හොඳම තැන ගොඩින්ම බේරාගන්න. ඒ කියන්නේ වරදක් නොකර සිටියොත් පොලිසියටවත්, උසාවියටවත් ලෙඩක් දාන්න බෑනේ කෙනෙකුට. දඬුවම් කරන්නත් බෑනේ සාමාන්‍යයෙන්. ඒ තමා හොඳම දේ ඒ සඳහානම් සිහිබුද්ධිය අත්‍යාවශ්‍යයි. වෙන මොනවාවත් නෙමේ සිහිබුද්ධියමයි අවශ්‍ය.
අප එදා කථා කළානේ ක්‍රියාවක් අපේ අතින් කෙරෙන්න අප යටත්වෙන බලපෑම් හතරක් ගැන. ඒ හතර ගැන සිතෙන විට හිතවතුනි, ඕනෑම දෙයක් අපේ අතින් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා වර්තමාන වශයෙන් කර්මයත් සමඟ බන්ධන හදා ගන්නේ නැති ව ඉන්න. වර්තමාන වශයෙන් කර්මයේ බූවල්ලාගේ අඬුවලට අසුනොවී ඉන්න. අලුත් අඬුවලට අසුනොවී ඉන්න පුළුවන්නේ. එය පුළුවන්. නැවත නැවත නැවත නැවත අසුවෙනවා නම් දඬුවම් වැඩියි. මොකද හැමදාම උසාවිනේ, සාමාන්‍යයෙන් පළමුවැනි වතාවට සමාව, දෙවෙනි වතාවට සමාව, හැබැයි නැවත නැවත කළොත් සමාවක් නෑනේ දඬුවම් වැඩියි එන්න එන්න. අඬුවෙන්නේ නෑනේ. එකම වැරැද්ද නැවත නැවත කරන විට ආයේ එක වතාවක් දඬුවමක් දුන්නා කියා දෙවෙනි වතාවේ අඩු දඬුවමක් නෑ වැඩි දඩුවමක්. ඒ න්‍යායමයි දැන් කරන්නේ නැත්නම්, දැන් වෙන්නේ නැත්නම්, අන්න දඬුවම් අඩුවෙන්න පටන්ගන්නවා. පරණ වැරදිවලටත් දඬුවම් අඩුවෙන්න පටන්ගන්නවා.
විපාක පැත්තෙන් සිහිබුද්ධිය අපට උදව් කරන්නේ කෙසේද කියා වෙනම දවසක ඉඩක් ලැබුණොත් කතා කරමු. අද කතා කළේ කර්මය පැත්තෙන්. කර්මය හා විපාක දෙකක්නේ, මේ කරන වේලාවේ කොහොමද සිහිබුද්ධිය අපට උදව් කරන්නේ. මේ ජංජාලය, ජංජාලය කිව්වොත් ඒත් සරල වැඩියි, මේ අගක්-මුලක් බේරාගන්න බැරි, කෙළවරක් නැති නඩුවලින් බේරෙන්න සිහිබුද්ධිය කොහොමද උදව් කරගන්නේ. ඒ කරුණු කාරණාත් සමඟ ස්වල්ප වේලාවක් භාවනානුයෝගී වෙමු.
භාවනාව.
ඒ භාවනානුයෝගීවිම තුළ මේ කියු කාරණා, ඇසු කාරණා, වඩාත් ධාරණය වන්නට, අවධාරණය වන්නට, වැටහෙන්නට උදව් වෙනවා. එමෙන්ම නොපැහැදිලි තැන් පැහැදිලි වෙනවා. එමෙන්ම විමසිය යුතුම තැන කුමක්ද කියා පේන්නත් පටන් ගන්නවා. ඒ සියලු ප්‍රතිඵල ලැබෙන භාවනාවට අපි එමු ස්වල්ප වේලාවකට.
හොඳයි හිතවතුනි, ශ්‍රවණයයි, මෙනෙහි කිරිමයි, අවබෝධයට එකවගේ හේතු වෙනවා. සාකච්ඡාවත් උදව්කර ගත්තොත්. මේ අහන්න විමසන්න, අවස්ථාව.
සාකච්ඡාව.
ප්‍ර : සිහිබුද්ධිය නැති කාලයට වඩා සිහි බුද්ධිය වර්ධනය වන කාලයේදී, සිහිබුද්ධිය නැතිකම නිසා කිසියම් කර්මයන් සිදු වුණොත් එයින් ඇතිවන විපාකය ඉතාමත්ම ප්‍රබල ලෙස දැනෙන්නේ ඇයි?
පි : විපාකය ප්‍රබල වීමක් නොවෙයි වෙන්නෙ. ප්‍රබල විපාකයක් වෙන්න ඉඩ තිබුණා කියන එක,එහි දරුණු බව, සිහිබුද්ධිය පහළ වූවිට තේරෙනවා, එහි ප්‍රබලත්වය තේරෙනවා. එහි විපාකය ප්‍රබල වෙනවා නොවෙයි. හරියට නීතිය ඉගෙන ගන්න ඉගෙන ගන්න දඩුවම් මොනවාද කියන එක තේරෙනවානේ. එවැනි දෙයක් මෙතන වෙන්නේ. සිහිබුද්ධිය ඇති වෙන්න ඇති වෙන්න සිහිබුද්ධිය නැතිවෙලා වල කෙරෙන දේවල් වලට විපාකය සිහිබුද්ධිය තේරුම් කර දෙනවා. සිහිබුද්ධිය නෑ කියා විපාකය අඩු වෙන්නේ නෑ, බරපතලයි, නමුත් සිහිබුද්ධිය ඇති වූවිට තමා තේරෙන්නේ එහි බරපතලකම. සිහිබුද්ධිය විපාකය බරපතළ කරන්නේ නෑ, බරපතලකම කියාදෙනවා. එහෙම කියා දෙනවිට එතන පොඩි පසුතැවිල්ලක් ඇති වෙනවා. බොහෝවිට විපාකය විදිහට අප විදින්නේ ඒ පසුතැවිල්ල, පසුතැවි තැවී සිටීමමයි ලොකුම විපාකය. භෞතික වශයෙනුත් ලැබෙන විපාකයක් ඇති, සමහර විට එය විපාක නො දීම අහෝසි වෙලා යන්නත් පුලුවන්. නමුත් මතක් වෙන වාරයක් වාරයක් පාසා පසුතැවීමක් වෙනවානේ. එසේ පසුතැවීමක් ඇති වෙන්න වත් පුංචි හරි සිහිබුද්ධියක් අවශ්‍යයි. සිහිබුද්ධිය අපව පසුතැවෙන කෙනකු බවට පත් කරන්නේ නෑ. පසුතැවීම එක් කාරණයක්. සිහිබුද්ධිය නැතිකම ගැන පසුතැවීමක් එනවා, ඒ වෙලාවේ සිහිබුද්ධිය තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ කියා. ඊළඟට අනාගතයේ සංසාරය මොනතරම් දික් වුණාද කියා පසුතැවිල්ලක් එනවා. හැබැයි සිහිබුද්ධිය දිගින් දිගට පසුතැවෙන කෙනෙකු නොවෙයි නිර්මාණය කරන්නේ. එකපාරක් පසුතැවිලා නැවත එවන් පසුතැවීම් නොවෙන්නට කළ යුතු දේ කරන්න අප්‍රමාදී වෙනවා. අප්‍රමාදී වීම පැත්තකට තියලා දිගින් දිගටම පසු තැවි තැවී ඉන්න පුළුවන්. එතන තියෙන්නේ සිහිබුද්ධිය නැතිකමයි.
සිහිබුද්ධිය ඇති වෙන්න ඇති වෙන්න තමයි සංසාරේ තියෙන භයානකකම රුදුරු බව තේරෙන්නේ. එතැනදී අපේ පෞද්ගලික සාක්ෂිත් එතනට එකතුවෙනවා. ඒ සාක්ෂිත් එක්ක තමා ඒ කාරණය හොඳට තේරෙන්නේ. හැබැයි දිගින් දිගට ඒ ගැන හිත හිතා ඉන්නවා වෙනුවට සියලු බරපතළ පාඩම් උදව් කරගෙන නැවත එබඳු අතපසුවීමක් නොවෙන තැනට කළ යුතු දේ කරනවා, නැවත එබඳු වරදක් නොකරන කෙනෙකු බවට පත් වෙනවා. එහෙම උත්සාහ කරලා අපට කියන්න පුළුවන් නම් ” ආයෙ නම් මගේ අතින් එහෙම දෙයක් වෙන්නෙ නෑ” කියා, එක ලොකු නිදහසක්, අර පශ්චාත්තාපය නැමැති කළු වළාකුළු සියල්ල නැති වෙලා ඒවාට උඩින් පායන පුන් සඳ වගේ. පුන්සඳක් වගේ පායන්නත් පුළුවන් කළු වලාකුළු වගේ පාවෙන්නත් පුළුවන්, මේ දෙකම අපේ අතේ තියෙන්නේ.
ප්‍ර : අපි අත්දකින පරිදි සිහිබුද්ධිය අපේ ජීවිත වෙනස් කරනවා. ධර්මතාවයන් හඳුනාගන්න තියෙන එකම භාෂාව සිහිබුද්ධිය නම් පසුගිය අතීතය තුළ මේ කාරණය යට යන්න හේතුව කුමක්ද? දහම් පොත්පත් වල දේශනාවල සිහිබුද්ධිය කියන කාරණය වැඩිපුර සඳහන් වෙන්නේ නැහැ. අපෙන් මේ කාරණය ගිලිහෙන්න හේතුව කුමක්ද?
පි : අනාගතය සඳහා වත් ඒකාරණා සොයා බලා අනාවරණය කිරීම නම් හරි වැදගත්.හේතු කීපයක්ම තියෙන්න ඇති.
ප්‍රධානම හේතුව තමයි “සංසාරේ ඔය කියන තරම් භයානක නෑ” කියන මතය සමාජගත වීම. සංසාරය තුළ සිටීම එපමණ භයානක නෑ කියන අදහස නිසා තමයි නිවන ප්‍රාර්ථනාවක් කියන තැනට ඇවිත් තියෙන්නේ. බුදුදහම භාවිතා කළේ සංසාර සැප සඳහා නිවන් සැප සඳහා නොවෙයි. නමුත් සංසාර සැපක් විඳින්න බුදුදහමක් අවශ්‍ය නෑ. බුදු දහම කිව්වේ සංසාරේ දුක. එතනට තමයි සිහිබුද්ධිය ඕනේ. සැප නම් සිහිබුද්ධියක් ඕනි නෑ. සංසාරේ ඉන්න නම් සිහිබුද්ධිය ඕනෙ නෑ. සුගති සම්පත් හරහා අවසානයේ නිවන් සැප ගැන තමයි අද කතා කරන්නේ. නිවනත් සැපක් තමයි, එයත් අතාරින්නෙ නෑ අපේ සම්ප්‍රදායේ, නමුත් සංසාරයත් සැපයි. එනිසා සංසාර සැප විඳලා විඳලා ඒ කෙළවර ලබන අමා මහ නිවන් සුව ගැනයි කතා කරන්නේ. ඉතින් මේ දෙකම ඇත්තක් වෙන්න බෑ. සංසාරේ සැප නම් නිවනක් අවශ්‍ය වෙන්නේ නෑ. සංසාරයත් සැපයි කියන අදහස සමාජගත වෙන්නත් හේතු තියනවා, මේ එකක්වත් ඕපපාතික කාරණා නොවෙයි, හේතු ඵල.
දෙවන කාරණය ධර්මය කියන්නේ මූලිකව තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු දෙයක් දැකිය යුත්තක් මිස ඉගෙන ගත යුත්තක් නොවෙයි. එතකොට දැකිය යුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක් ඉගෙන ගත යුතු දෙයක් කටපාඩම් කළ යුතු දෙයක් බවට පත් වෙනවා. ඉතින් එතනදීත් අත් දකින්න පත් යක්ෂ කරන්න සිහිබුද්ධිය ඕන, හැබැයි ඉගෙන ගන්න සිහිබුද්ධිය ඕන වුණේ නෑ. කරුණු වශයෙන් තේරුම් ගන්න ඒවා මතක තියාගන්න සහ නැවත මතක් කරන්න සිහිබුද්ධිය ඕනෙ නෑ.
මූලික වශයෙන් අපි දහමත් එක්ක ඔය ගනුදෙනු දෙක තමයි කළේ, දවසක් දෙකක් නොවේ අවුරුදු සිය දහස් ගණනක්. ඒ ගනුදෙනුව සදහා නම් සිහිබුද්ධියක් අවශ්‍ය නෑ. එහි විපාකය තමයි සිහිබුද්ධිය අනවශ්‍ය උපාංගයක් බවට පත්වීම. යමක් භාවිතයට ගන්නේ නැති විට එය යටපත් වෙනවා නිලීන ලක්ෂණයක් බවට පත්වෙනවා පරිණාමයේදී කියනවා නේ භාවිතයට නොගන්නා හැකියාවන් නිලීන ලක්ෂණ බවට පත්වෙනවා කියා නිතර නිතර වැඩ ගන්න දේවල් තමයි උඩ තියෙන්නෙ. දැන් දොරක් කාලයක් අරින්නේ නැතිව තිබුනොත් ඊළඟට එතන දුරක් තිබුනාද කියා වත් හොයන්න බැහැ, අරින්න කොහොමත් බෑ. ඉතින් එලියට යන්න දොරක් නැති උනහම සංසාරේ ඇතුළෙ තමයි ඉන්න වෙන්නේ. ඉතින් දොර ඇර ගන්න ලේසි නෑ හැබැයි ඒ ඒ නිසා ඇරගන්න බැරි නෑ.
ප්‍ර : වර්තමාන ජීවන රටාව තුල සිහිබුද්ධිය ගොඩක් අඩු තැනක තමයි සැලකෙන්නේ. එතකොට ඒක වර්ධනය කර ගන්න අපිට සකස් කරගන්න පුළුවන් කරුණු තියෙනවද, තියෙනවා නම් ඒ මොනවාද?. උදාහරණයකට අල්පේච්ඡ වීම ර්තමාන සමාජය පිළිබඳ සංවේදී වීම ප්‍රශ්න වලට කලබල නොවී සිටීම.
පි : අනිවාර්යෙන්ම තියෙන්න ඕන, නැත්නම් අප අසරනයිනෙ, හෙව්වොත් අපිට හොයා ගන්න පුලුවනි. ඔබතුමා කියූ කාරණාත් ඉතා වැදගත්, අල්පේච්ඡ ජීවිතය, ආඩම්බරයකටවත් පුරසාරමකටවක් අල්පේච්ඡ වීම නොවේ, එහි තිබෙන නිදහස සහ එයින් අපි ලෝකයට කරන උපකාර දැකලා අල්පේච්ඡ වෙන්න පුළුවන් නම් හරි වැදගත්. මේ කාරණය තේරුම් ගන්නත් සිහිබුද්ධිය ඕන.
මෙසේ අපට ඕනේ මොනවද එපා මොනවාද කරන්න ඕන නොකරන්න ඕන මොනවාද මෙහෙම හිතනවා කියන්නෙත් අපි සිහි බුද්ධියෙන් වැඩ කරනවා කියන එකයි. එයාගෙන් වැඩ ගන්න ගන්න තමයි එයා නැගිටලා එන්නෙ, එයාට සුදුසු තැන ලැබෙන්නේ. එහෙම නැත්නම් සමාජය කරන දේවල් ඔහේ කරනවා. දැන් සමාජය අල්පේච්ඡ නම් අපිටත් අල්පේච්ඡ වෙන්න වෙනවා. මේ දවස්වල එහෙම තත්ත්වයක් තමයි තිබෙන්නේ. සමාජය පයින් නම් යන්නේ අපටත් පයින් යන්න වෙයි. ඒ නොවෙයි අල්පේච්ඡතාවය කියන්නේ. සමාජය උඩින් ගියත් අපට බිමින් යන්න පුලුවන් නම් සහ හෝ බිමින් ගිහිල්ලා වුණත් උඩින් ගිහින් කරන ටික කරන්න පුළුවන් නම් මොකටද උඩින් යන්නේ?.මෙය තමයි සිහිබුද්ධිය. එය නැති කෙනා තමා බිමින් ගිහින් කරන්න පුළුවන් දේ උඩින් ගිහින් කරන්න හදන්නේ. එතකොට එයාගෙ ඉලක්කය උඩින් යාම මිසක් කරන කාර්ය කිරීම නොවෙයි. අල්පේච්ඡතාවය මුල් තැන දෙන්නෙ කරන ක්‍රියාවට, කරන විදිය දෙවන තැන තියෙන්නේ. පළමු තැන කරන ක්‍රියාවට ලැබෙන විට කරන විදිහ පුළුවන් තරම් සරල වෙනවා. කරන විදිහට මුල්තැන දුන්නහම එය සංකීර්ණ වෙනවා. කොපමණ සංකීර්ණ වෙනවාද කියනවා නම් ඒ කරන දෙයින් කරගන්න හදන දේ කරගන්න වෙලාවක් නැති වෙනවා. මේ ආකාරයට භාවිතයෙන් ම තමයි සිහිබුද්ධිය ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ.
ඔබතුමා කියූ කාරණා වලට තව එක් කාරණයක් එකතු කරන්නම්. පුළුවන් තරම් යන්ත්‍ර භාවිතය අඩු කරගන්න. යාන්ත්‍රික ජීවිතෙන් ටිකක් හරි මිදෙන්න. යාන්ත්‍රික ජීවිතයයි යන්ත්‍රයි දෙකක්, නමුත් යාන්ත්‍රික ජීවිතෙන් මිදෙන්න යන්ත්‍ර අඩු කිරීම ප්‍රයෝජනවත්. අද රෝහලට ගියාම පේනව සමහර කුඩා ළමුන් උපදින්නේත් යන්ත්‍රවල, සමහර පුද්ගලයින් මැරෙන්නෙත් යන්ත්‍ර වල, පදින්නේත් මැරෙන්නෙත් යන්ත්‍ර වල. ඔය දෙක අතර මොනතරම් යන්ත්‍ර අපට ඕනද?. අප දන්නවාද ගෙදර කොපමණ යන්ත්‍ර ප්‍රමාණයක් තියෙනවාද කියා?. අපිවත් දන්නෙ නෑ, කියන්න බැරිතරම් යන්ත්‍ර. අපි ගෙදර තියෙන යන්ත්‍ර පමණක් නොවෙයි භාවිතා කරන්නේ හැම තැනකදීම භාවිතා කරනවා. ඉතින් මේ යන්ත්‍ර එක්ක සිටීම තුළ සිහිබුද්ධිය අනවශ්‍ය වෙනවා. යන්ත්‍ර එන්න එන්න දියුණු වෙන විට මනුෂ්‍යයාට සිතීම අවශ්‍ය නැති වෙනවා. අපිට හැම වෙලේම අවධානයෙන් සිහිබුද්ධියෙන් ඉන්න අවශ්‍ය නෑ යන්ත්‍ර එක ජීවත් වෙන්න පටන් ගත්තම, අපිට හිතන්න දෙයක් නැති වෙනවා. අප වෙනුවෙන් යන්ත්‍ර හිතලා වැඩ කරනවා. ඉතින් අපිට හිතන්න සිහිබුද්ධිය අවශ්‍ය නැතිව යනවා. යන්ත්‍ර හිතන මිනිස්සු නොහිතන යුගයකට තමයි අපි එන්නෙ. ඒ නිසා පුළුවන් තරම් යන්ත්‍ර භාවිතා අඩු කරන්න. එය ප්‍රබලම හේතුවක් වෙයි සිහිබුද්ධියේ අවශ්‍යතාවය හඳුනාගන්න.
ප්‍ර : මෙම අලුත් උපකරණ බොහොමයක් නිසා අවට පරිසරයත් විනාශ වෙනවා නේද?
පි : එය තමයි වෙලා තියෙන්නේ. එමනිසයි අප මුලින්ම සඳහන් කළේ සිහිබුද්ධිය නැති හිතකට පේන්නේ වර්තමානය විතරයි. වර්තමානයේ ජීවත් වීමක් ගැන තමයි කතා කරන්නේ, හැබැයි අනාගත දැක්මක් ඕන. ඒ බව තේරෙන්නේ සිහිබුද්ධියට. වර්තමානය විතරක් දැකල මදි, වර්තමානයෙන් හදන අනාගතය මොනවගේද කියන කාරණයත් වැදගත්. සිහිය පමණක් ප්‍රමාණවත් නොවෙන්නේ ඔය තැනේදී. සිහිය තියෙන්නෙ වර්තමානයට දැක දැක ඔහේ ඉන්න. ඒ ටික මදි. වර්තමානය දකින්න ඕන, එසේම හේතු ඵලය පේන්න ඕන, වර්තමාන හේතුව සහ අනාගත ඵලය. එතකොට අනාගත දැක්මක් තියෙන්න ඕන. අනාගත දැක්මක් කියන්නේ හේතුඵල සම්බන්ධය මත ඇතිවන දර්ශනයක්. ඉතින් ඒ අනාගත දර්ශනය නැතිකම නිසා තමයි අද පහසුවයි සුඛයයි ලාබයයි ගැන හිතලා හෙට ලෝකය විනාශ කරන්නේ. හෙටත් ඉන්නෙ අපිම තමයි වෙන කවුරුවත් නොවේ.
අප මොනවද ලෝකෙට කරලා තියෙන්නේ?. කර තියෙන්නේ බුද්ධියෙන්ම තමයි. තාක්ෂණය; දැනුම, අත්දැකීම්, බුද්ධිය, ධනය හා බලය නැති කෙනෙකුට හදන්න බෑ, නමුත් සිහිබුද්ධියක් නෑ. සිහිබුද්ධියක් නැති සුපිරි ධනයක් සුපිරි බලයක් සුපිරි දැනුමක් සුපිරි අත්දැකීමක් සහ සුපිරි බුද්ධියක් කර තියෙන විනාශයක්. මේ විනාශය දකින විට ලොකු කම්පනයක් එනවා අප හිටියත් නැතත් අප ලෝකෙට මොනවද මේ කරලා තියෙන්නේ කියා. එයින් පාඩමක් ඉගෙන ගන්නෙත් නැතිව අප හොයනවා ජීවත් වෙන්න පුළුවන් වෙන ලෝක. ඉතින් ඒ ලෝකවලට ගිහිල්ලත් කරන්නේ මේ ලෝකයට කරපු දේම තමයි. අලුත් දෙයක් කරයි කියලා හිතනවද?. ඒකත් විනාශ කරාවි.
දයාබර හිතවතුනි, ප්‍රශ්නයේ බරපතළකම අපිට දැනෙන්න ඕන, හැබැයි දරාගන්න පුළුවන් ප්‍රමාණයට දශමයක් විතර වැඩියෙන් තමයි දැනෙන්න ඕන. එහෙම දැනුනොත් විතරයි අපි විසඳුමක් හොයන්නේ. දරාගන්න පුළුවන් නම් ඔහේ ඉන්නවා. බැරිනම් පමණයි විකල්ප හොයන්නේ. මේ සංසාර ප්‍රශ්නයේ උග්‍ර කම බරපතලකම මීට වඩා දැනෙන්න ඕන. සිහිබුද්ධිය තිබුණොත් එය දැනෙනවා. එය දැනෙන්න දැනෙන්න සිහිබුද්ධිය පහළ වෙනවා. හැබැයි ඉතින් ඒ ගැන ශාප කර කර ලතවෙමි ඉන්නෙත් නෑ. එය සිහිබුද්ධිය නැති අය කරන දේවල්. සිහිබුද්ධිය ඇති වුණු කෙනාට තියනවා වගකීමක් සිහිබුද්ධිය ඇති නොවුණු කෙනාට වැඩිය. සිහිබුද්ධිය ඇති වෙලා ඒ වගකීම ඉටු කළේ නැත්නම් එහි ප්‍රතිවිපාක ඊට වඩා දරුණුයි. සිහිබුද්ධිය නැති කෙනාට වඩා සිහිබුද්ධිය ඇති වුණු කෙනා වගකීම් පැහැර හරිනවා නම් එයාට දඬුවම් දෙකක් දෙන්න වටිනවා. සිහිබුද්ධිය ඇති වුණු ප්‍රමාණයට අපි අප්‍රමාදි වෙනවා, කළ යුතු දේ වහ-වහා කරනවා, නොකළ යුතු දේ එක්කෝ කල් දානවා නැත්නම් නොකරම ඉන්නවා.
හිතවතුනි කලයුතු දේ අදම කරන්නත් නොකළයුතු දේ පුළුවන් තරම් කල් දාන්නත් මේ දෙකේ වෙනස හඳුනා ගන්නත් හැකි විචාරශීලි විචක්ෂණ ජීවිතයකට අප හැම දෙනාම අවතීරණය වෙමු. ඒ සාමූහික අධිෂ්ඨානයෙන් අද වැඩසටහනින් සමුගනිමු.
සැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!