සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 32

2022 මැයි 31 සාරාංශය

සෑම දෙනාටම සුවදායක සැනසිලිදායක අරුත්බර නිවුණු සැඳෑවක් ! සදහම් සැඳෑවට සිහිබුද්ධියේ හෝරාවෙන් එකතුවූ කළ්‍යාණ මිත්‍රයිනි, අප පසුගිය වැඩසටහනේදී අවධානය යොමු කළා ජීවිතයේ අපි කරන වැඩකටයුතු ඇයි කරන්නේ කියන කාරණයට. එතනදි එක ප්‍රධාන හේතුවක් මතුකරගත්තා අප ජීවිතයේ බොහෝ දේ කරන්නේ “පුරුද්දට’ බව.

ඒ ගැන යම්කිසි මට්ටමකින් කථා කළා. දීර්ඝ කාලීන පුරුදු, කෙටි කාලීන පුරුදු, හොඳ පුරුදු, නරක පුරුදු මේ පුරුදු තමා අප කරන කියන බොහෝ කටයුතුවලදි පෙරමුණ ගන්නේ. සමහරවිට ඒ පුරුදු හොඳයි, සමහර පුරුදු නරකයි. පුරුද්දක් විසින් දක්කනු ලබන ජීවිතයකුයි සාමාන්‍යයෙන් අපට තියෙන්නේ. හරියට ගවයෙක් හරි වෙන සතෙකු හරි බෙල්ලට තොණ්ඩුවක් දාලා බෙල්ල ගැට ගහලා ලණුවකින් ඇදගෙන යනවානේ, එවිට ඒ සතාට නිදහසේ තමන්ට අවශ්‍ය තැනට යන්න බෑ. ඒ ලණුවෙන් ඇදගෙන යන තැනට තමයි යන්න වෙන්නේ. ඒ වගේ තමා මනුෂ්‍යයා කරන කියන කටයුතු වලදී පුරුද්ද නමැති ඒ ලණුවෙන්, ඒ රැහැනින් බැඳ දමා තියෙන්නේ. එවිට ඒ පුරුදු විසින් අපව අදිනු ලබනවා, යම් යම් තැන්වලට දක්කනවා, ඒ අනුවයි ජීවිතය යන්නේ.

මේ කාරණය පිළිබඳව අප දැනුවත්වද ඉන්නේ කියන දෙය සොයාගන්න වටිනවා. අප කරන කියන දේවල් කරන්නේ කියන්නේ පුරුද්දට, කෙරෙන්නේ පුරුද්දට, සිතෙන්නේ පුරුද්දට. හොඳ හෝ නරක කියවෙන්නෙත් පුරුද්දට. අප නිදහස් නෑ. පුරුදු විසින් නම් තීරණය කරන්නේ කළයුත්තේ කුමක්ද කියා ඒ දෙය හොඳ වුණත් නරක වුණත් අප නිදහස් නෑ. නිදහස් නැති බව අපට වැටහී තිබෙනවාද? පුරුදුවල අප සිරකරුවෙකු බව, ස්වාධීන නැති බව. ඒ වගේම යම් යම් අවස්ථාවලදී අපට වෙනත් යමක් කරන්නට සිතෙනවා, කරන්න ඕනේ කියන හැඟීම ඇතිවෙනවා. එනමුත් අර පුරුදු බලවත් වැඩි නිසා හැමදාම යන විදිහට දේවල් සිදුවෙනවා. හැමදාම පුරුද්දට අනුව සිදුවන දේවල් වෙනවා. අපට වෙනස් කරගන්න අමාරු බව වැටහී තිබෙනවාද? මේ කාරණය තමා වැදගත්, ඒ අප කථා කළ මුලපිරූ වැඩසටහනින්, පුරුද්ද විසින් දක්කනු ලබන සත්ත්ව කොට්ඨාශයක් බව.

මේ පුරුදු කවුද හදාගෙන තියන්නේ? ඒවාත් අපම තමා. අපම තමා පුරුදුත් හදාගෙන තියෙන්නේ. කොයි කාලේද මේ පුරුදු වෙලා තියෙන්නේ? අතීතයේ. සමහර දේවල් කවද්ද පුරුදු වුණේ කියා අපම දන්නේ නෑ. ඒ දින වකවානු මතක නෑ. මොනතරම් ඉස්සර පුරුදු වුණු දේද කියා අපට කියන්න බෑ. නමුත් කාලය පැත්තෙන් අතීතයේ සිටි අප විසින්. අප අතීතයේදී මේ විදිහටම ඉන්නට නැතිව ඇති. අපේ අතීත පුරුක් විසින්, මම නමැති දම්වැලේ අතීත පුරුක් විසින්, පුරුදු කරනු ලැබූ, ඒ දේවල් වල වර්තමාන ඵලය තමා, ඔබ කියන්නෙත් මම කියන්නෙත් සහ ඔබ හා මම කරන, කියන, සිතන බොහෝ දේවල්. ඒ කාරණය නැවත අවධාරණය කළොත් ‘මම නමැති දම්වැලේ අතීත පුරුක් විසින් (එක පුරුකක් නොවෙයි. පුරුක් ගණනාවක් විසින්) නැවත නැවත - නැවත නැවත සිදු කළ‍, ඒ සිදුකිරීම නිසා ඇති කරගත් පුරුදු වල, වර්තමාන ඵලය සහ වර්තමානයේ කරන කියන දේවලුත් තමා ඔබ කියන්නෙත් මම කියන්නෙත්.’

මෙය දම්වැලක්. දම් වැලේ පුරුක් එකින් එකට සම්බන්ධයි. වර්තමාන පුරුක  නිදහස් නෑ මුල් පුරුක් වලින් ගැට ගැහිලා තියෙන්නේ. මේ ගැට ගැසීමටයි ‘සංඛාර’ කියන්නේ. මේ නිසා තමා හොඳ දේවල් පුරුදු වෙන්න කියන්නේ. මේ කාරණයත් අප එදා කථා කළා. හොඳ දේවල් පුරුදු වෙන්න කියන්නේ ඒ නිසා. එවිට හොඳ දේවල් කෙරෙන්න තියෙන ඉඩ වැඩියි. අතීතයේ හොඳ දේවල් පුරුදු වුනොත් වර්තමානයේ යහපත් ක්‍රියා කෙරෙන්න තියෙන ඉඩ වැඩියි. අතීතයේ අයහපත් දේ නම් වැඩියෙන් පුරුදු කර තියෙන්නේ වර්තමානයේදි අයහපත් දේ කෙරෙන්න එය ප්‍රබල හේතුවක් වනවා. හොඳ කළත් නරක කළත් මේ වෙලාවේ කෙරෙන්නේ අතීතයේ තීරණය කළ දෙයක්. ඒ තමා අපට මෙතනදි වැදගත්වන කාරණය. ඒ විදිහට සාමාන්‍ය සිතක්, සාමාන්‍ය ජීවිතයක්, සාමාන්‍ය කෙනෙකු වැඩි වශයෙන්ම තමන්ගේ ජීවිතයේ කරන කියන දේවල්වලට හේතුවෙන්නේ, මුල් වෙන්නේ අතීත පුරුදු.

ඒ ලණුවෙන් අපව බැඳ තියෙන්නේ, අප කිව්වාට “මට ඕන දේ මම කරනවා”, “අපට ඕන දේ අප කරනවා” කියා එය ඇත්තක් නෙවෙයි. අතීතයේ ඒ ලණුවෙන් බැඳලා තියෙනවා, ඒ ලණුව අදිනවා එහාට මෙහාට, ඒ අදින අදින තැන්වලට අප යවෙනවා. හැබැයි යන ගමන් කියනවා “මට ඕන තැනටයි මා යන්නේ” කියා. එය එක්තරා විදිහක රැවටීමක්.

ඊලඟට අපට එදා කථා කරන්න බැරිවුණ කාරණා තමා එකම හේතුව පුරුද්ද නොවන බව. තව හේතු තියෙනවා අප කරන කියන කටයුතු වලට. ඒ මොනවාද කියන කාරණය ගැන සිතන්න, සොයා බලන්න, මෙනෙහි කරන්න කියා එදා විවෘත ආරාධනයක් කළා, ඉල්ලීමක් කළා. එය එසේ කරන්න ඇති කියා සිතනවා. තව මොනවාද තියෙන හේතු? පුළුවන් නම් සිතන්න. එකට සිතන්න. මේ සිහිබුද්ධියට හෝරාවක් වැඩසටහනේ මූලික පරමාර්ථයක් තමා ගැඹුරින් කල්පනා කිරීම, හේතු සොයා ගැනීම.

දෙවෙනි හේතුව තමා අපේ පුරුදු මොනවා වුණත්, සමහරවිට අප පුරුදු වුණුදේට පටහැනිදේ අපේ අතින් කෙරෙන අවස්ථා තිබෙනවා. ඊට වෙනස් දේවල් කරන්නේ ඇයි, මොන හේතු නිසාද? පුරුද්ද අභිබවා යන, පුරුද්දට පවා නවත්තන්න බැරි ක්‍රියා තියෙනවා. තව හේතු තුනක් තිබෙන බව කීවා. ඊලඟ හේතුව තමා මොන දේ පුරුදුකර තිබුණත්, ‘බහුතරයක්’ එයට වෙනස් දෙයක් කරන විට, ඒ බහුතරයේ බලපෑමට අප යටත් වෙනවා. හොඳ පැත්තටත් එය වෙනවා, අයහපත් පැත්තටත් එය වෙනවා. බොහොම සාමකාමී කෙනෙකු වෙන්න පුළුවන්, සාමකාමී පුරුද්ද නිසා සාමකාමී ජීවිතයක් ගත කරනවා, ආරවුල්වලට යන්නේ නෑ, ගහ-බැණ ගන්න යන්නේ නෑ. නමුත් එකපාරම බහුතරයක් ප්‍රචණ්ඩත්වයෙන් හැසිරුණොත්, මොනතරම් සාමකාමීව ජීවත් වෙන්න පුරුදු වුණු කෙනෙකු අතින් වුවත්, ගැටුම්කාරී හැසිරීම් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ජීවිතයට හිතලා නෑ එහෙම ගැටෙන බව, ප්‍රචණ්ඩ වෙන බව, හිංසාකාරි ක්‍රියා කරන්න ඕනේ කියා, එහෙම ජීවිතයේම සිතා නැති වෙන්න පුළුවන්. හරිම සාමකාමී කෙනෙක්. නමුත් කිසියම් අවස්ථාවක එතැන සිටින වැඩි පිරිසක් වෙනස් ආකාරයකට හැසිරෙනවා නම්, වැඩ කරනවා නම්, එතැනදි තමන්ගේ පුරුද්ද, අර සාමකාමී අවිහිංසාවාදි පුරුද්ද, අභිබවා තමන් අතිනුත් ගැටුම්කාරි ප්‍රචණ්ඩ හැසිරීමක් මතුවෙන්න පුළුවන්. ඒ අත්දැකීමත් කාටත් තියෙනවා.

එය අනිත් අතටත් සිදුවෙන්න පුළුවන්. හුගක් ගැටෙන කෙනෙකු, වැඩි පිරිසක් සාමකාමී නම්, අවිහිංසාවාදි නම්, ඒ අවස්ථාවේ අර ගැටෙන, බොහොම දරුණු විදිහට හැසිරෙන කෙනා අතින්, අවිංහිසාවාදි ක්‍රියා වෙන්න පුළුවන්, සාමකාමීව හැසිරෙන්න පුළුවන්, මොනතරම් ජීවිතයේ ප්‍රචණ්ඩත්වය පුරුදුකළ කෙනෙකු අතින් වුවත්. මේ උදාහරණ දෙකක්. අනිත් ඕනෑම දෙයකට වුවත්, ජීවිත කාලෙම මසුරුකම පුරුදු කළ කෙනෙකු, ආත්මාර්ථකාමීත්වය පුරුදු කළ අයෙකු අතින් වුවත්, බහුතරයක් ත්‍යාගගීලි අවස්ථාවක, බහුතරයක් පරාර්ථකාමී වේලාවක, අත්හැරීමක් කරන්න පුළුවන්. බෙදා ගැනීමක් දන්දීමක් එහෙම දෙයක් වෙන්න පුළුවනි. ඒවාගේම බොහොම ත්‍යාගශීලි, දානශිලි අයෙකු අතින් වුවත් මසුරු ක්‍රියාවක් වෙන්න පුළුවන්, අර බහුතරයකගේ බලපෑම නිසා. “හැමෝම දෙන්නේ නැත්නම් ඇයි මා පමණක් දෙන්නේ.” “හැමෝම තම තමන් ගොඩ ගහගන්න නම් බලන්නේ, ඇයි තමන් විතරක් තියන ටික අත්හරින්නේ”, මෙසේ  සිතා මසුරු වෙන්න පුළුවන්. බලන්න එතකොට අප කොපමණ හොඳ දේ පුරුදු වුණත්, යහපත පුරුදු වුණත්, අපේ අතින් අයහපතක් වෙන්න පුළුවන්, අප ජීවත් වෙන පරිසරයේ වැඩි පිරිසක් වෙනස් නම්. ඒ බලපෑමෙන් අප නිදහස් නෑ. පුරුද්දකට බෑ, මොනතරම් පුරුදු වුණත් පුරුද්දකට අමාරුයි අර බහුතරයක, වැඩි සිත්වල, වැඩි පුද්ගලයින්ගේ, ශක්තිය අභිබවා යන්න. බැරි නෑ, අමාරුයි. ඉතින් බොහෝවිට සාමාන්‍ය සිත් ඒවාට යටවෙනවා.

දැන් ඔන්න අපේ බෙල්ලට කඹ දෙකක් දාලා තියෙනවා. එකක් තමා අතීත පුරුදු. ඊළඟ එක බහුතරයකගේ හැසිරීම, බහුතර මතය, බහුතරයකින් ලැබෙන ආදර්ශය, බලපෑම. දැන් කඹ දෙකක් බෙල්ලට දාලා දෙන්නම අදිනවා. දෙපැත්තටම අදින වේලාවලුත් තියෙනවා, එකම පැත්තට අදින වේලාවලුත් තියෙනවා. බහුතරයක් කරන්නේ අර අතීතයේ පුරුදු කළ දේම තමා. එහෙම වුණාම ඒ පැත්තට ඇදිලා යන ගතිය වැඩියි. හොඳ හෝ නරක කෙරෙන්න තියෙන ඉඩ වැඩියි අප පුරුදුවෙලා තියෙන්නෙත් ඒ දේ කරන්න. වැඩි පිරිසක් කරන්නෙත් ඒ දේ. එවිට බෙල්ලට දාලා තියෙන තොණ්ඩු දෙකේ අග කෙළවරවල් තියෙන්නේ එකම පැත්තට. නිකන්ම ඒ පැත්තට යනවා. යන්න තියෙන ඉඩ වැඩියි. හැබැයි දෙපැත්තකට ඇද්දොත් ඔන්න හිරවෙනවා. අපේ පුරුදු, චරිතය කියලා කියන්නේ පුරුදුවලටනේ. ඒ චරිත ලක්ෂණය එකක්. හැබැයි සමාජයේ වැඩි දෙනෙක් කරන කියන දේ වෙනදෙයක්. එතකොට දැන් දෙපැත්තකට අදිනවා. හිර වෙනවා. හිරවෙන ගතියක් එනවා. ඒ ගැටලුවටත් හැම දෙනෙකුම මුහුණ දෙනවා ඇති. කොයි විදිහට හරි, යහපත් පැත්තෙන් හෝ අයහපත් පැත්තෙන්.

අප තවත් නිදහස් නෑ. මේ වේලාවේ අප සිතන, කරන, කියන දේ, සිතෙන්නේ, කරන්නේ, කියන්නේ, එක්කෝ අතීතයේ පුරුදු නිසා නැත්නම්, බහුතර බලපෑමක් නිසා. ඔන්න බලන්න අප මොනතරම් නිදහස් ස්වාධීනයි කියලා කයිවාරු ගැහුවත් එහෙම නැති බව.

තුන්වෙනි හේතුව, එය ලස්සන හේතුවක්. අපේ පුරුදු එකක්, බහුතරය කියන දේ තව එකක් හෝ ඒ දෙයම වියහැකියි. නමුත් අපේ අතින් අතීත පුරුද්දකුත් නොවන වර්තමාන වශයෙන් බහුතරයක් අනුමත නොකරන දෙයක් කෙරෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාත් තියෙනවා. ඒ වෙන්නේ ඇයි ? එහෙම වෙන්නේ තව හේතු දෙකක් නිසා. එතකොට තුන්වෙනි හේතුව තමා ‘අප බලයක් දී තිබෙන කෙනෙකු දෙන අණක්’. ඒ එක්කෙනයි, බහුතරයක් නෑ එක්කෙනයි. බහුතරය මොනවා කිව්වත් අප වැඩි බලයක් පවරා තිබෙන කෙනෙක් දෙන අණක්.

අප මානසිකව ලොකු භක්තියක් ඇති කරගත්විට, ගෞරවයක්හා, ආදරයක් ඇති කරගත් කල, ඒ හැම දෙයකින්ම කෙරෙන්නේ කෙනෙකුට අප බලයක් පවරනවා. ගෞරව කිරීමෙන් කරන්නේ ඒ තැනැත්තාට බලයපැවරීම. භක්තිය ඇති කරගැනීමෙන් කරන්නේ ඒ තැනැත්තාට අපේ ළඟ තියෙන බලය හදවතින්ම බොහොම කැමැත්තෙන් පරිත්‍යාග කරනවා. ආදරය කිරීමේදිත් වෙන්නේ ඒ දේ තමා. භක්තියෙන්, ගෞරවයෙන් සහ ආදරයෙන් බලය පවරනු ලැබූ කෙනෙකුට, අපේ තියෙන බලය අප දෙනවා. ගෞරව දක්වනවා කියන්නෙත් එයයි. භක්තිවන්ත වීමේදීත් සිදුවන්නේ එයයි. එහෙම කෙනෙකු කිව්වොත් මේ දේ කරන්න, නිශ්ශබ්දව ඉන්න, අපේ පුරුද්ද කෑ ගැසීම කියා සිතන්න. බහුතරයක් කෑ ගසනවා. නමුත් අප අර ආදරය කරන කෙනා නැත්නම් අප ගෞරව කරන කෙනා, ලොකු භක්තියකින් අදහන කෙනා කියනවා “ඔයා පැත්තකට වෙලා ඉන්න”. “නිශ්ශබ්ද වෙලා ඉන්න”. “කෑ ගහන්න එපා”. ඒ දේ අපෙන් වෙන්න පුළුවන්. මොනතරම් පුරුදුවෙලා සිටියත් කැත්තට-පොල්ල වගේ ඉන්න, ඒ වේලාවේ මුළු සමාජයම එහෙම කැත්තට-පොල්ල වගේ ඉන්න හැදුවත්, දැන් ඒ කඹ දෙකම එක පැත්තට අදින්නේ, ඔන්න තුන්වෙනි කඹය දාලා වෙනම පැත්තකට අදිනවා අපව, අර බලය පවරපු කෙනා. වෙනම පැත්තකට අදින කොට ඒ පැත්තට ඇදි යන්න ඉඩ තිබෙනවා.

මෙතන වැඩිපුර ශක්තිය තියෙන්නේ කොයි පැත්තෙද කියා බලන්න ඕනේ. ඒ බලය පවරපු කෙනාට ශක්තිය වැඩිනම් අපම දුන්,එවිට ඒ පැත්තට ඇදිලා යනවා. අතීත පුරුදුවල බලය වැඩිනම් ඒ පැත්තට යනවා. බහුතරයක් කරන දේ බලය වැඩිනම් ඒ පැත්තට යනවා. මේ බලය කියන්නේ අප පවරන දෙයක්. අතීතයට බලය පවරනවා, එවිට පුරුද්ද බලවත්. සමාජයට බලය පැවරුවාම සමාජය බලවත්. යම් යම් පුද්ගලයන්ට බලය පැවරුවාම ඒ පුද්ගලයන් බලවත්. දුබල වෙන්නේ කවුද තමන්. තමන් තමා දුබල වෙන්නේ. අප දුබලයි, අතීතය බලවත්. අප දුබලයි, සමාජය බලවත්. අප දුර්වලයි අප ආදරයකරන, ගෞරව කරන භක්තියෙන් අදහනකෙනා බලවත්. ඒ අය ස්වභාවිකවම බලවත් වෙන්නේ නෑ. එහෙම වෙන්නේ අප අපේ බලය දෙන නිසා. අතීතයට බලය දුන්නාම වර්තමානය දුර්වල වෙනවා, අතීතය බලවත්. සමාජය කියන දේ අප කරනවා කියන තැන ඉන්නවානම් සමාජය බලවත්, පුද්ගලයා දුර්වලයි. විශේෂ කෙනෙකුට බලය පැවරුවාම ඒ කෙනා ප්‍රබලයි, අප දුර්වලයි.

මෙතනත් යහපත අයහපත දෙකටම එකවගේ. අයහපත් පැත්තත් ඒ වගේ. හොඳ පුරුදුවුණු කෙනෙකු බොහොම හොඳ කෙනෙකු සමහරවිට සමාජය වැඩි දෙනෙකුත් ඒ හොඳ පැත්ත තමයි අනුමත කරන්නේ. නමුත් අප ආදරය කරන කෙනෙකු හදවතින්ම, අප හද පත්ලෙන්ම ගෞරවය දක්වන කෙනෙකු, බොහෝම භක්තියෙන් අදහන කෙනෙකු, අපට කීවොත් එයට වෙනස් දෙයක් කරන්න කියා ඒදෙය අපේ අතින් කෙරෙන්න ලොකු ඉඩක් තිබෙනවා.

මේ නිසායි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් කියන්නේ. දෙවන හේතුව (බහුතරයකගේ බලපෑම) නිසා තමා පතිරූපදේශ වාසය වැදගත් කියන්නේ. හොඳ සමාජයක ජීවත්වීම. ඊළඟට පළමු හේතුව (අතීත පුරුදු) නිසායිඉහොඳ පුරුදු ඇති කරගන්න කියන්නේ. මේවායේ තිබෙන තර්කානුකූල බව, ප්‍රායෝගික බව, බුද්ධිමත්බව හොඳට වැටහෙනවා. ඇයි යහපත පුරුදු කරන්න කියන්නේ. ඇයි හොඳ සමාජයක ජීවත් වෙන්න කියන්නේ සහ ආවට ගියාට මිනිසුන්ව පූජාසනයක තියා මිනිසුන්ට ගරු කරන්නට එපා, සොයා බලා සත්පුරුෂයන්ව ආශ්‍රය කරන්න. කළ්‍යාණ මිත්‍රයන්ට තැනක් දෙන්න තමන්ගේ හදවතේ. මේ උපදේශවල මොනතරම් ප්‍රායෝගික යහපතක් තියෙනවාද, මොනතරම් තර්කානු කූලද, බුද්ධිමත්ද කියන කාරණය හොඳට පේනවා ඇති. 

එය එසේ වුවත් නැවතත් කියන්න තියෙන්නේ, ‘ස්වාධීනත්වයේ කෝණයෙන් බලන විට ස්වාධීන නෑ”. ලණු තුනක් බෙල්ලට දාලා තුන් පැත්තකට අදිනවා. සමහරවිට තුන්දෙනාම එකම පැත්තට අදිනවා වෙන්නත් පුළුවන්. ලණු දෙකක් එක පැත්තට අදිනකොට එක ලණුවක් තව පැත්තකට අදිනවා වෙන්නත් පුළුවන්. අපේ පුරුදු එකක් හැබැයි බහුතරය කියන්නේ වෙනම දෙයක්, අප ගෞරව දක්වන අයත් එයමයි කියන්නේ. එතකොට අප මොනතරම් පුරුදුවෙලා තිබ්බත් අර පැත්තට යනවා.

මේ කොයි පැත්තට යයිද කියන්න බෑ. මේකයි වැදගත්ම කාරණය අපේ අතින් මොනවා කෙරෙයි ද කියා අපට හරියටම අනාවැකි කියන්න නම් බෑ. මොනතරම් සැලසුම් කළත් මේ හේතුව නිසා තමන් නොසිතන දේවල් වෙන්නේ. පේනවානේ හේතු තුනක් තියෙනවා. ලණු තුනකින් අපව අදිනවා  හා දක්කනවා තුන් පැත්තකට. මේ ලණු තුනම එකම පැත්තකට ඇද්දාම නම් කියන්න පුළුවන්. නමුත් එක එක පැතිවලට අදින විට කොයි පැත්තකට විසි වෙයිද කියන්න බෑ, බල විභේදනයේ දි. ඒ කියන්නේ ලණු තුනක් අදින කොට, එකම කෝණයකින් නෙවෙයි නම් තියෙන්නේ, මේ තුන්දෙනා තුනක් කියනකොට වෙනම එකක් අප අතින් කෙරෙන්න පුළුවන්. ඒ තමා හතරවෙනි හේතුව.

සමහර විට සමාජය කියන්නේ එකක්, අප ගෞරව කරන අය කියන්නෙ තව එකක්. පුරුද්ද වෙනම දෙයක්. ඒ තුන් පාර්ශවයටම අදාළ නැති දේවල් කෙරෙන්න පුළුවන්, ක්ෂණිකව, සැලසුම් නොකර. එහෙම වෙන්න ප්‍රධානම හේතුව නම් ක්ෂණිකව ඇතිවන ‘ආවේග’. ක්ෂණික ආවේග. ක්ෂණික ආවේගයක් ඇතිවුණාම කවර හෝ ලොකු කෑදර කමක්, රාගයක්, ඊර්ෂ්‍යාවක්, මානයක්, කරුණාවක්, අනුකම්පාවක්, වෛරයක්, බයක් මෙබඳු ක්ෂණික ආවේගයක් ප්‍රබලව ඇතිවුනාම ක්ෂණික ක්‍රියාවක් වෙනවා. ඒ ක්ෂණික ක්‍රියාව අප තුන්සිතකින්වත් නොසිතු දෙයක් විය හැකියි. සමාජය අනුමත නොකරන දෙයකුත් විය හැකියි. අප ගෞරව කරන, ආදරය කරන, අප පූජාසනයේ තබා පුදන ඒ ඇත්තන් අපට කවදාකවත් කරන්න එපා කියු දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ දේ කරනවා. එහෙම අත්දැකීමුත් කාටත් ඇති. අප කාටත් ඇති. එහෙම වෙන්නේ ක්ෂණික ආවේග නිසා, ක්ෂණික හැඟීම් නිසා. ක්ෂණික හැඟීම් බලවත්, අනිත් හැම හේතුවකටම වැඩිය. පුරුද්දට වැඩිය, සමාජයේ අනිත් බහුතර මතයට වඩා, එමෙන්ම අර කළ්‍යාණ මිත්‍රයන් හෝ අපේ කවුරුහරි ඇහුම්කන් දෙන කෙනෙකු ඉන්නවානේ එහෙම කෙනෙකුට වඩා සිතක උපදින ක්ෂණික ආවේගය බොහෝම බලවත්, ප්‍රබලයි. අර ලණු පොටවල් සියල්ල කඩාගෙන බිඳගෙන ඒ ආවේගයට පුළුවන් පුද්ගලයෙකුව දක්කන්න තමන්ට ඕන තැනට.

මොනතරම් හොඳ පුරුදුවෙලා සිටියත්, මොනතරම් හොඳ සමාජයක සිටියත්, කොපමණ උතුම් සත්පුරුෂයන් ඇසුරු කළත්, ක්ෂණික ආවේග බලවත් නම්, ඒවා ප්‍රබලනම්, අර සියල්ල කඩා දාලා, ඒ වේලාවට එකක්වත් ගණන් ගන්නේ නෑ. හොඳට බලන්න හිතවතුනී දැඩි වෛරයක් ආවාම, ආගම මතක් වෙනවාද? බෞද්ධ කියා හෝ, කතෝලික හෝ, වෙන කවර හෝ. වෛරයට ආගම් නැත, වෛරය කිසිම ආගමක් අදහන්නේ ද නැත. ඊළඟට දැඩි වෛරයක් ඇතිවුනාම මේ තමන් ඉස්සරහා ඉන්නේ කවුද කියන එක පේනවාද, මේ ඉන්නේ අම්මා, මේ තාත්තා, මේ ගුරුවරයා, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මට උදව්කළ කෙනෙක්, නැත්නම් මේ අහිංසකයෙක්, අසරණයෙක් ඒ මොනවත් පේන්නේ නෑ. අනිත් අය පැත්තකින් තියමු, තමන් කවුද කියන එකවත් පේන්නේ නෑ. රාගයේදීත් එහෙමයි, බයක් ඇතිවුණාමත් එය ඒ ආකාරයෙන්මයි සිදුවන්නේ. අර සියල්ල, මෙතෙක් කල් මොනවාද කළේ, මෙතෙක් කල් ඇදහුවේ මොනවාද, මේ සියල්ලම නිෂ්ප්‍රභා කර දාන්න පුළුවන් හැකියාවක් ක්ෂණික ආවේග වලට තියෙනවා. බයක් ඇතිවුණාම කරන කියන දේවල්, තුන් සිතකින්වත් නොසිතු දේ වෙන්න පුළුවන්. මෙතෙක් කල් පුරුදු කරලාත් නෑ. අනිත් අය කොහෙත්ම කියලා දීලාත් නෑ. නමුත් කෙරෙන්න පුළුවන්. දැන් ඔන්න හතරවෙනි ලණු පොට.

හොඳට බලන්න මනුෂ්‍යයා නැත්නම් තමන්, අප, ඔබ, මම, ස්වාධීනද, නිදහස්ද? අපට ඕන දේ ද අප කරන්නේ, අපට ඕන දේ ද අප කියන්නේ, අපට අවශ්‍ය දේ ද අප සිතන්නේ, නැතිනම් අතීතයට අවශ්‍ය දේද, සමාජයට අවශ්‍ය දේ ද, අප විසින් බලය පවරනු ලැබු කෙනෙකුට අවශ්‍ය දේ ද, නැතිනම් ඒ මොහොතේ උපදින ක්ෂණික ආවේගයකට අවශ්‍ය දේ ද? ඔය හතරෙන් මොන හේතුව වුණත් හිතවතුනී අප සිරකාරයන් පමණි. අප නිකන් අර දක්කන සතෙකු පමණයි. බෙල්ලට ලණුවක් දාලා ඇදගෙන යන සතෙකුගෙයි අපෙයි ලොකු වෙනසක් නෑ. ඇත්තටම වෙනසක් නෑ. සතා දන්නවා තමන් නිදහස් නැතිබව. ඒ නිසා සතා හැම විටම නිදහස් වෙන්න සටන් කරනවා. පැනලා යන්න උත්සාහ කරනවා. ලණුව යන්තම් හරි අතහැරුණොත් සතා පැනලා දුවනවා. කඩාගෙන යන්න බලනවා. මනුෂ්‍යයා එබඳු උත්සාහයක් ගන්නවාද? ඒ සතෙකුට නිදහස වටින තරමටවත් අපිට නිදහස ඕනේ කියන හැඟීමක් තියෙනවාද?

සතෙකුගේ බෙල්ලට දාලා තියෙන ඒ ලණු පේන්න තියෙනවා. නමුත් මේ රැහැන් හතර පේන්න නෑ. ඇහැට පේන්නේ නෑ. බුද්ධියට පේන්නත් නෑ. අන්න සිහිබුද්ධියෙන් බැලුවොත් තමා හඳුනාගන්න පුළුවන් වෙන්නේ. සිහිබුද්ධියෙන් කල්පනා කළ පමණින්ම නොවේ. ක්‍රියාව වෙන විට බැලුවොත්, ඇයි මේ ක්‍රියාව කරන්නේ? අන්න බැලුවොත් පේනවා එක්කෝ ක්ෂණික ආවේගයකට, ක්‍රියාව වෙන විට නෙවෙයි ඉන් පසුව හො ආපසු බැලුවොත්, ඔන්න පේනවා, ඇයි ඒ දේ කළේ, ඇයි එහෙම කිව්වේ, ඇයි එහෙම සිතුවේ. එක්කෝ ක්ෂණික ආවේගයකට, එහෙම නැතිනම් පුද්ගලයෙකුගේ බලපෑමකට, ඒ පුද්ගලයාට අප බලයක් දීලා තියෙනවා අපව දක්කන්න කියා. එහෙම නැති කෙනෙකු කීවාට අප කරන්නේ නෑ. අප කියා තියෙනවා “අනේ මාව දක්කන්න”. මේ තමා ඇත්ත. ඔය ආදරේ කරනවා, භක්තිය ඇති කරගන්නවා, ගෞරව දක්වනවා, කියන එකෙන් නොකියා කියන දෙයක් තමා, අපව දක්කන්න කීම. එහෙම නැති නම් අර වැඩි පිරිසක්, සමාජයක් එහෙම කරන්න කියා, එක්කෝ ඒ අය කරලා බලපෑමක් කරනවා නැත්නම් අණදීමක් කරනවා. එහෙමත් නැත්නම් වුණේ අතීත පුරුද්දකට. මෙන්න මේ හේතු හතරේ, එකක්, දෙකක්, තුනක් නැතිනම් හතරම. මේ හතරමත් එකට එකතුවෙලා බොහොම කලාතුරකින් ක්‍රියා වෙනවා. හේතු තුනක් එකතු වෙන්න පුළුවන් වැඩි වශයෙන්. දෙකක් ඊටත් වැඩි වශයෙන්, එක හේතුවක් නම් අනිවාර්යෙන්ම තියෙනවා.

මෙන්න ජීවිතය. මේ තමා සාංසාරික ජීවිතය. මේ විදිහට ලණු හතරක් කරට දාපු සත්ත්වයෙකුට තමා ‘මම’ කියන්නේ. ‘මම’ කියන්නේ මෙහෙම ලණු හතරක් බෙල්ලට දාලා හතර දෙනෙකු විසින් දක්කනු ලබන සත්ත්වයෙකුට, සාංසාරික සත්ත්වයා කියන්නේ, නැතිනම් සරලව ‘මම’ කියන්නේ. ඒ බව නොදන්නකම නිසා මෙතන මම, මම, මම කියා කියනවා. මට ඕනේ නිසා කියනවා. මට ඕනේ නිසා කරනවා. මමයි කරන්නේ, මම නෙවෙයි. මෙහි තිබෙන එක භයානකකමක් තමයි, අපේ අතින් මොනවා වෙයිද, මොනවා නොවෙයිද කියා අපම දන්නේ නැතිකම. කොහොමත්ම අපට සියයට සියයක් සක්සුදක් සේ නිශ්චය කරගන්න බෑ. මොකද මේ ලණු හතරම තියෙන්නේ හතර දෙනෙක්ගේ අතේ. අපේ අතේ එකක්වත් නෑ. ඔය එක ලණුවක්වත් අපේ අතේ නෑ. හතර දෙනෙක් අතේ. ඒ හතර දෙනා කොයි පැත්තට අදියිද, කොයි පැත්තට දක්කයිද, මොන පැත්තට උසි ගන්නයිද, අප කොහොමද දන්නේ. ඒ නිසා කර්මය ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ. ඕනෑම මොහොතක අකුසල කර්ම වෙන්න පුළුවන්.

කවුරු දැක්කුවත්, කවුරු ඒ ලණුව ඇද්දත්, කර්මයේ වගකීම අන්න අපට භාරගන්න වෙනවා. සමාජයේ බහුතරයක් කළා කියා සමහරවිට උසාවියෙන් නිදහස් වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුෂ්‍යය නීතියෙන් නිදහස් වෙන්න පුළුවන්. නීති හදා තියෙන්නේ මිනිස්සුනේ. නැත්නම් අරයා මෙහෙම කරන්න කිව්වා, එයා එහෙම තමා පුරුදුවෙලා තියෙන්නේ, නැත්නම් ක්ෂණික ආවේගයක් ආවා. මෙහෙම කියලා සමාව ඉල්ලන්න පුළුවන් සාමාන්‍ය අධිකරණයකින්. නමුත් කර්මාධිකරණයේදී, කර්මය නමැති අධිකරණයේදී ඔය එකක්වත් වැදගත් නෑ. ඒවා නිසා දඬුවම ටිකක් අඩුවැඩි වෙන්න පුළුවන්. හැබැයි දඬුවම් නොදී ඉන්නේ නෑ. ඒ දඬුවම විඳින්න වෙන්නේ අපට. ඒ නිසා කර්මය ගැන විශ්වාසයක් තියන්න එපා. කර්මය ගැන විශ්වාසයෙන් සංසාරයේ යන්න සිතන්නත් එපා. සංසාරයේ යන්න වෙන්නේ කර්මය නිසා. නමුත් ඒ කර්මය විශ්වාස කළ නොහැකි කර්මයක්. හිතක් පපුවක් නැති කර්මයක්. කර්මයට හිතක් පපුවක් නෑ. සමාවක් නෑ. 

එකම සැනසිල්ලට සහ නිදහසට තියෙන කාරණය තමා සිහිබුද්ධිය. එය සතෙකුට නෑ. සතෙකුට සිහිබුද්ධිය තිබුණා කියා බේරෙන්න බෑ ලණුව අදින කොට ඒ පැත්තට යන්න වෙනවා. යන්නම වෙනවා. එය බලවත්නම් යන්න වෙනවා. හැබැයි මනුෂ්‍යයෙක් වෙනස්. අතීතයේ මොනතරම් බලපෑම් ආවත්, පුරුද්ද, චරිත ලක්ෂණය මොනතරම් ප්‍රබල වුණත්, සමාජයේ බහුතරය මොනතරම් ප්‍රබල මතයක් දැරුවත්, අර අප බලය පැවරූ කෙනා මොනවා කිව්වත්, ක්ෂණික ආවේගයක් ඇවිත් ඒ ආවේගය මොන පදය ගැසුවත් ඒ පදයට නටනවාද නැද්ද කියන තීරණය ගන්න පුළුවන් සිහිබුද්ධිය තිබුණොත්. අන්න තීරණය ගන්න ඉඩක් දෙනවා සිහිබුද්ධිය. සිහිබුද්ධිය නැතිනම් තීරණ ගන්න ඉඩක් නෑ. අර අදින පැත්තට යනවා. මෙහෙම පෙළඹවීමක් එනවා. අතීතයෙන් එන පෙළඹවීම මෙන්න, වර්තමාන සමාජයෙන් එන පෙළඹවීම මෙන්න, ගරුකරන කෙනා කියන්නේ මෙන්න මේ දේ, ක්ෂණික ආවේගය උත්තේජනයක් දෙන්නේ මේ කාරණයට. හැබැයි ඒ කියනදේ කරනවාද නැද්ද? නෑ කියලා කියන්න, නෑ කරන්නේ නෑ කියලා කියන්න, ශක්තියක්, ධෛර්‍රයක්, බලයක් හා හැකියාවක් සිහිබුද්ධිය දෙනවා. 

සිහිබුද්ධිය තිබ්බොත්; නෑ කියන්න පුළුවන්. බෑ කියන්නත් පුළුවන්. ඔය නෑ, බෑ, කීම ඍණ දෙයක් විදිහටනේ සලකන්නේ, නෑ කීම, බෑ කීම, දුර්වල කමක් විදිහටනේ, නෑ කියන්න එපා, බෑ කියන්න එපා, හැමවෙලාවේම හා කියන්න, ඔව් කියන්න ධනාත්මක විදිහට. එනමුත් සිහිබුද්ධියේදී මෙය අනිත් පැත්තට, ඇත්තටම අනිත් පැත්තට පෙරළී තියෙන දෙයක් සිහිබුද්ධිය හොඳ පැත්තට හරවනවා. මේ හැම දේකටම නෑ කියන්නත් පුළුවන්. බෑ කියන්නත් පුළුවන්. නෑ සහ බෑ කියා සිහිබුද්ධියට කියන්න පුළුවන්. එහෙම නම් කුමක්ද කරන්න පුළුවන් කියා. කළයුත්තේ කුමක්ද. අර පුරුද්දටම වෙච්ච දේ වුණත් දැන් එය කරන්නේ පුරුද්ද නිසා නෙවෙයි ඒ වේලාවේ එය කළ යුතු නිසා. සිහිබුද්ධිය කියන නිසා. සමාජයම කරනදේ වුණත් අප කරන්නේ සමාජය කරන නිසා නොවේ සිහිබුද්ධියට වැටහෙනවා ඒ තමා කළ යුතුදේ කියා. සංසාරයෙන් ගැලවෙන්න තියෙන හොඳම තැන මෙතන. මේ ලණුපොටවල් කපා දාන්න පුළුවන් හොඳම තැනත් එතන. නමුත් මේවා මේවා කපන්න බයයි. මොකද අපට හැමවිටම තීරණ ගන්න වෙනවානේ. තීරණ ගන්නනම් සොයලා බලන්න වෙනවා. “එය කරදරයි. එයට වැඩිය හොඳයි දක්කන පැත්තකට යාම” කියා සිතුවොත් සංසාරේ තමා හැමදාම යන්න වෙන්නේ. හතර දෙනාම දක්කන්නේ සංසාරයේ යන්න. හොඳින් හෝ නරකින්.

 

භාවනාව

හොඳයි හිතවතුනි ටික වේලාවක් භාවනානුයෝගී වෙමු.

 

සාකච්ඡාව 

ප්‍ර : හැම වෙලේම කර්මයක් වෙන්නේ චේතනාවකින්. එතකොට ආවේග විසින්ද චේතනා ඇති කරන්නේ?

පි :චේතනාව ඇති වෙන්න ආසන්නම හේතු වෙන්නේ ඔය කාරණා හතරෙන් එකක් හෝ කිහිපයක්. හැබැයි චේතනාව ඇති වීමේ අවසාන ක්‍රියාව කරන්නේ අප, පුද්ගලයා. එනිසා එයාට තමා කර්මය එන්නේ. ඒ වගකීම පැවරෙන්නේ තමන්ට, පුරුද්ද කියනවා ඔබ මේ චේතනාව ඇති කරගන්න කියා, සමාජය කියනවා නෑ මෙන්න මේ චේතනාව ඇතිකරගන්න කියා, ඊළඟට අප බලය පැවරූ කෙනා කියනවා තුන්වන චේතනාවක් ඇතිකර ගන්න කියා, ඔය ඔක්කොම කඩාගෙන ක්ෂණික ආවේග ඇවිත්  වෙනමම යෝජනාවක් කරනවා. එතකොට මේ යෝජනා හතරින් එකක් ස්ථිර කරන්නේ අප. ඒ හතරටම පුළුවන් යෝජනා කරන්න පමණයි. ස්ථිර කිරීම තියෙන්නෙ අප අතේ. 


ප්‍ර : කල්‍යාණ මිත්‍රයෙක් කිසි වෙලාවක අපව වැරදි පාරක දක්කන්නේ නෑ. එතකොට කල්‍යාණ මිත්‍රයා කරන උසිගැන්වීමෙන් ඇතිවන චේතනාවකින් අපේ සංසාරේ කෙටි වෙනවා නේද?. 

පි : අප තමයි තීරණය කරන්නේ කවුද කල්‍යාණ මිත්‍රයා කියා. (සමහරවිට හොරකම් කරන කෙනෙකුට කල්‍යාණ මිත්‍රයා වෙන්නේ ඒ හොරකමට උදව් කරන කෙනාව. මෙය සාපේක්ෂ දෙයක්.)  ඒ නිසා අපේ සිහිකල්පනාවටමයි ඒ වගකීමත් පැවරෙන්නේ. කෙසේ හෝ කල්‍යාණ මිත්‍රයා යැයි කියූ කෙනා කිවූ පමණින් කෙනෙකු යමක් කරනවා නම් එය හොඳ වෙන්නත් පුළුවන් සුගතිගාමී වෙන්නත් පුළුවන්, නමුත් ඒ පිළිබඳ සිහිකල්පනාවෙන් හොයල බලන්නේ නැතිව එහෙම කරගෙන ගියා කියල නිවන් දකින්නේ නම් නෑ, සුගතියට යන්න පුළුවන්, සම්පූර්ණ සතිසම්පජඤ්ඤය වැඩෙන්න ඕන. සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ නෑ තමන් කියන නිසා කරන්න කියා. හේතුපල විග්‍රහයකුයි කල්‍යාණ මිත්‍රයා කරන්නේ. අපේ අතට බලය පවරනවා මේවා හරියට කිරලා මැනලා තමන්ගේ අත්දැකීම් සමග සසඳලා ඔඹට හිතෙනව නම් මේ තමා කළ යුතුයි දේ කියා ඒ දේ කරන්න. අවසාන වගකීම කල්‍යාණ මිත්‍රයා අපේ අතට දෙන්නේ.

ප්‍ර :කෙනෙකුට සිහිබුද්ධිය නැති නිසා ද මේ කරුණු හතරට යටත් වෙලා ඒවා ක්‍රියාත්මක කරන්න පෙළඹෙන්නේ, සිහිබුද්ධිය තිබුනොත් එයින් ගැලවෙන්න පුළුවන්ද?.

පි : අනිවාර්යයෙන්ම පුළුවන්. සිහිබුද්ධිය කියන්න උපාංගය භාවිතා නොකරන නිසා එය ප්‍රයෝජනයට නොගන්නා නිසා තමා මෙහෙම වෙන්නේ. ඉතින් සිහිබුද්ධිය තමා අපට තියෙන එකම ගැලවීම. අපේම අතීතය හෝ සමාජය හෝ අප ගරු කරන අය හෝ ආවේග මොනවා කිව්වත් සිහිබුද්ධිය තියනවා නම් ඒවා යෝජනා පමණයි. ඒ යෝජනා ස්ථිර නොකර ඉන්න පුළුවන්. ස්ථිර නොකරන යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නෑ. අවාසනාව තමයි සිහිබුද්ධිය නැති තැනක මේ හතරෙන් එන යෝජනා ස්ථිර කරන්නන් බවට අප පත් වෙනවා. ස්ථිර කරපු කෙනාට තමා කර්මය බලපාන්නේ. සිහිබුද්ධිය තියෙනවා නම් ඒ පමණට අපට මේ හතර දෙනා ගෙන් නිදහස් වෙලා ස්ථානෝචිත ප්‍රඥාව කියන කාරණය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. 

ප්‍ර : එතනදි වැදගත්ම කාරණය වෙන්නේ කල්පනා කිරීමට කාලය අවශ්‍ය වෙනවා නේද, සමහර ප්‍රශ්න එනවා ක්ෂණිකව තීරණ ගන්න වෙනවා, එහෙම අවස්ථාවකදී වුණත් අපි කාලය අරගෙන නිවැරදි තීරණ ගැනීම නේද සුදුසු වෙන්නේ?.

පි : අනිවාර්යයෙන්ම ඔව්. ඒ කාරණය හරිම වැදගත්, මොකද ඔය හතර දෙනාම අපට වෙලාවක් දෙන්නේ නෑ, හිතන්න අහන්න විමසන්න දෙයක් නෑ දැන්ම කරන්න තියෙන දෙයක් කියා අපව තල්ලු කරනවා, බෙල්ලට ලණුවක් දාලා අදිනවා, කුලප්පු කරනවා හා උසි ගන්නනවා. එතනදි කාලයක් දෙන්නෙ නෑ. එසේ කාලයක් නොදෙන්නේ දුන්නොත් අප වෙනස් දෙයක් කරයි හෝ නොකර ඉඳියි කියා මේ හතර දෙනා දන්නවා. නමුත් කවුරුවත් අපට නොදෙන කාටවත් දෙන්න බැරි ඒ කාලය හා අවකාශය සිහිබුද්ධිය අරන් දෙනවා. එතකොට අපට එතැනදී තීරණයක් ගන්න බැරි නම් සිහිබුද්ධිය කරන පළමු දේ තමා කල් දැමීම. අනිත් පැත්තට කියනවා නේ කල්දාන්න එපා කියා. නෑ, සිහිබුද්ධිය කියන්නේ “කාලය ගන්න, හදිසියක් නෑ”. කාලය ගත්තහම ඒ කාලය ලැබෙන්නේ තමන්ට හිතන්න, හොයන්න හා බලන්න. කාලය ගත්තාම බාහිර බලපෑම්වල බලය අඩුවෙලා යනවා. මේ තමා වැදගත්ම කාරණය. ඒ මොහොතේම කළොත් තමයි ඒවාට යට වෙන්නේ. කාලය ගන්න ගන්න ඒවායේ බලය අඩුවෙලා යනවා. සිහිබුද්ධිය තිබුනොත් කරන දේ තමයි තීරණ ගැනීම කල් දානවා (ක්‍රියාත්මක කිරීම කල්දානවා නොවෙයි). විවේකය කියන්නේ එයටයි. විවේක බුද්ධියක් ගැන කතා කරනවනේ, ඒ විවේක බුද්ධිය ලැබෙන්නේ සිහි බුද්ධියෙන්. සිහිබුද්ධිය විවේක බුද්ධියක් ලබාගන්නවා. විවේක බුද්ධියෙන් හිතුවහම තමා විචාරශීලිව දකින්න පුළුවන් වෙන්නේ. එහෙම දැක්කහම එහි තියෙන අර්ථ ශූන්‍ය බව හෝ අනර්ථකාරී බව හෝ ශූන්‍ය බව දකිනවා නම් ඒ පේන මට්ටමට අප ඒ පේන දෙයින් ඈත් වෙනවා වළකිනවා අතහරිනවා. 

ප්‍ර : සිහිබුද්ධිය කියන්නේ අප ඇතුලේ යටපත්වෙලා තිබුණු යමක්ද අප එළියට ගන්න උත්සාහ කරන්නේ, නැත්නම් සිහිබුද්ධිය අලුතින්ම ඇති කරගත යුතු කාරණයක් ද?

පි : මේ පද්ධතියේ සිහිබුද්ධිය තියෙනවා. තිබුනට ඒ සිහිබුද්ධිය වැඩ කරලා නෑ එය ප්‍රයෝජනයට අරගෙන නෑ ක්‍රියාකාරී මට්ටමට ගෙනල්ල නෑ. මෙතනදී කරන්නේ පළමුව මේ පද්ධතිය ඇතුළේ යාන්ත්‍රණය ඇතුලේ මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම හැකියාවක් තියෙනවා මේ හැකියාව භාවිතා නොකිරීම නිසයි මේ ව්‍යසනය වන්නේ කියා හඳුනා ගැනීම සහ එහෙම නම් කොහොමද එය භාවිතා කරන්නේ කියා. එය අප ඉගෙන ගන්නවා.

ප්‍ර : අහිංසක අංගුලිමාල වීමත් අංගුලිමාල ඉන්පසු රහතන් වහන්සේ නමක් වීමත් මේ හා සංසන්දනාත්මකව පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

පි : අංගුලිමාල කතාව පටන් ගන්නේ අහිංසක කියන තැන ඉඳන්. ඒ අහිංසක කම, ඔහුගේ දෙමාපියන්ගේ අහිංසක කම නිසා හෝ ඔහු පුරුදු කරපු ගුණධර්ම නිසා හෝ කවර හෝ හේතුවක් නිසා ඇතිවෙලා තිබුනා. පසුව ඒ අහිංසක කම නැති වුණා. එතනදී බලන්න අපි ගාව මොනතරම් හොඳ ගුණධර්ම තිබුනත් අපි බලය යම් කෙනෙකුට පවරපුවහම ඒ පවරපු කෙනාට අනුව අපි වෙනස් වෙනවා. අහිංසක දරුණු ත්‍රස්තවාදියෙක් වුනේ එක්කෙනෙකුගේ කීමට, ඔහුගේ ගුරුවරයා නිසා. අප කළ යුත්තේ කුමක්ද කියා වෙන කෙනෙකුට බලය පැවරීමේ අනිටු විපාකයි ඒ. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කළේ නැහැ හොඳ මොකක්ද නරක මොකක්ද කියා, එතුමන් කිව්වේ” නවතින්න” කියා. “මම අවි ආයුධ අත් හැරලා  හිංසාවට නැවතුම් තිත තියලා තියෙන්නෙ, මගේ හිංසාකාරී කමක් නෑ, නැවතිලා ඉන්නේ, ඔබත් නවතින්න”, එසේ බුදුන් වහන්සේ ආමන්ත්‍රණය කළේ කඩුවක් අරගෙන දුවපු ත්‍රස්තවාදයට නොවෙයි සිහිබුද්ධියට. එය ඇසුණේත් සිහිබුද්ධියට. එතනදී අංගුලිමාලට ඔහුගේ අරමුණු සියල්ල අමතක වෙලා, වෙනම ‍ප්‍රරශ්නයක් හා අලුත්ම අවශ්‍යතාවයක් ඇති වුණේ, එතැනදී සියල්ල නැවතුනා. ඒ නිසයි අංගුලිමාල නැවතිලා බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්වුණේ. අංගුලිමාල බුද්ධ ශ්‍රාවකයෙක් වුණේ බුදුන් වහන්සේ කියූ නිසා නොවෙයි අංගුලිමාලගේ සිහිබුද්ධිය අවදි වූ නිසා. 

ප්‍ර : අපි ක්ෂණිකව බය වුනු වෙලාවකදී ඒ බය වීම ඇති කරන සිතිවිලි දැක්කත් ඒවාට යටපත් වෙනවා. ඒ වගේ අවස්ථාවලදී කොහොමද සිහිබුද්ධිය ඇති කරගන්නේ?

පි : එවැනි ක්ෂණික බය වීමකදී යම් පමණකට හෝ එය බයවීම දැක්කොත්, එහෙනම් “මම දැන් කුමක්ද කළ යුත්තේ?” කියා තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේ බය වෙන්නේ ඇත්ත කාරණයකට ද කියා හොයලා බලන්නත් පුළුවන්. මේ කාරණා දෙකෙන් කුමක්ද පළමුව කළ යුත්තේ කියන තීරණය කරන්න වෙන්නේ ඒ අවස්ථාවට අනුව තමයි. කෙසේ හෝ එවැනි අවස්ථාවක තීරණය ගැනීමට කල්පනාව අත්‍යාවශ්‍යයි. සිහිකල්පනාව නැත්නම් අප ඒ අනතුර වෙතට දුවනවා, නැත්නම් එයට වඩා වැඩි අනතුරක් වෙන විදිහට හැසිරෙන්න පුළුවන්. ඉතින් මෙතනදි වැදගත් වෙන්නේ අඩුම තරමින් “මෙතන තමන්ට සිහිකල්පනාව නෑ” කියන කාරණය වත් දැනුනොත් අන්න එතනදී පුංචි සිදුරක් හැදෙනවා සිහිකල්පනාවේ එළිය වැටෙන්න ඒ අඳුරු සිතුවිලි වලට. සිහිකල්පනාව ඇති කර ගන්න අමාරුම තැනක් තමයි ක්ෂණික ලොකු භයක් ඇති වීම. හැබැයි එතනදි උනත් සිහිකල්පනාව ටිකක් හරි ඇති කරගන්න පුළුවන් අඩුම තරමින් “මට මෙතන සිහිකල්පනාව නෑ” කියන කාරණය හරි හිතන්න පුළුවන් නම්.


හිතවතුනි, ක්‍රියාව වෙන හේතුව හඳුනාගන්න. මොන ක්‍රියාව හරි, වර්තමානයේ වෙන්නේ ඇයි කියා බලන්න. අඩුමම තරමින් මීට මොහොතකට කලින් තමන් අතින් සිදුවූ ක්‍රියාව සිතීම වචනය ඇයි උනේ කියා බලන්න. විශේෂයෙන් ප්‍රබල ක්‍රියා එහෙම බලන්න. එසේ බැරිනම් දවස අවසානයේදී ඒ දවස ඇතුලෙ සිදුවුණ ප්‍රබල ක්‍රියා කීපයක් අරගෙන බලන්න ඇයි එහෙම වුණේ කියා. එහෙම බැලුවහම මේ හේතු හතරෙන් එකක් තමයි පෙනෙන්නේ. පස්වෙනි හේතුවක් හොයාගන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. ( මට නම් බැරිවුනා පස්වැනි හේතුවක් හොයාගන්න. පෙර සඳහන් කළ හේතුන් හතර තමයි දැක්කෙ. හැබැයි ඒ නිසා මම කියන්නේ නෑ හතරක් පමණයි තියෙන්නෙ පහක් තියෙන බෑ කියා. තවත් හේතුන් තියෙන්න පුළුවන්.) හේතු හොයන්න හොයන්න තේරෙනවා අපි හිරකාරයෙන් බව, ලණු දාලා අපිව අදිනවා පේනවා. හැබැයි සිහිකල්පනාව ඇතිවුණොත් පේනවා මේ ලණු දිරච්ච ලණු බව. ඒවා කඩාගෙන යන්න පුළුවන් බවත් පෙනෙනවා. ඒ තමා අපිට තියෙන විමුක්තියේ ද්වාරය.

සැමදෙනාටම, සෙතක්ම වේවා !! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!