සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 31

2022 මැයි 18 සාරාංශය

සදහම් සැඳෑව ආධ්‍යාත්මික අම්බලමට ඒකරාශී වූ, සදහම් මඟෙහි ගමන් කරන කළ්‍යාණ මිත්‍ර මඟීන් සෑම දෙනාම මේ සිහිබුද්ධියේ හෝරාවට ආදරයෙන් පිළිගන්නවා.

මේ ගමනට උත්තේජනයක් ලැබෙන ආකාරයෙන් ගෙවුණු වෙසක් දිනය ගතකරන්නට, සමරන්නට ඇති කියා සිතනවා සහ විශ්වාස කරනවා. සංසාරය කෙටි කරගන්න ආකාරයට, සසර නැවතෙන ආකාරයට, අඩුමගානේ වෙසක් දවසේවත් ජීවත් වෙන්නට උත්සාහ කරන්න ඇති කියා සිතනවා, අවුරුද්දට, තුන්සිය හැටපහෙන් එක දවසක්වත් සංසාරය දික් කරගන්නට නම් ගත කළේ ශාස්තෘන් වහන්සේට කළ හැකි ලොකුම අගෞරවය එය කියා සිතනවා.

සසර දික්වන ලෙසත්, සසර විපත්තිදායක වන ආකාරයටත්, ජීවත් වෙන්න පුළුවනි. එමෙන්ම සසර කෙටිවන ආකාරයට සහ සසර නවතින ආකාරයටත් ජීවත් විය හැකියි. මෙයින් පැහැදිලි වෙනවා ජීවත්වීමයි සංසාරයේ යෑමයි එකක් නොව දෙකක් බව. ජීවත් වුණොත් සසර දික්වෙනවා නම් කොහොම ජීවත් වුණත් සසර දික්වෙනවා. එහෙම නම් ඉතින් හොඳම විසඳුම තමා ජීවත් නොවී සිටීම. ජීවත් නොවී සිටියා කියා සසර නවතින්නේ නෑ. සංසාරය නිරෝධ වෙන්නේ නෑ,.

සසර හා දිවිය යන මේ දෙක, එකක් විදිහට තේරුම් ගැනීම නිසා, කළයුතු දේ බොහෝවිට කෙරෙන්නේ නෑ, නොකළයුතු දේ තමා කෙරෙන්නේ. හැබැයි මේ දෙක දෙකක්. සසර යෑමයි, දිවි පැවැත්මයි දෙකක්. සංසාර පැවැත්මයි, දිවි පැවැත්මයි එකක් නොවෙයි දෙකක්. එකක් කරගන්නත් පුළුවන් නමුත් දෙකක්. යම් ආකාරයකට සසර දික්වෙනවාද ඒ ආකාරයට දිවි පැවැත්ම කරගන්න පුළුවන්. එමෙන්ම සසර කෙටි වන ආකාරයටත් දිවි පැවැත්ම හසුරුවා ගන්න පුළුවන්, දිශාගත කරන්න පුළුවන්. ඒ දෙකම තියෙන්නේ ජීවත්වන ආකාරය අනුව. සසර හැදෙනවාද, හැදුණු සසර දික් වෙනවාද, සසර ඇදෙන්නේ නැද්ද,  කෙටි වෙනවාද? මේ කාරණා තුන හතරම රඳා පවතින්නේ, ජීවත් වෙන ආකාරය අනුව.

ජීවිතය කියන්නේ ‘දෙයකට’ නොවෙයි, ඒ නිසා ජීවිතය තේරුම් ගැනීම වැදගත්. සංසාරය වෙනස් කරගන්න, කෙටි කරගන්න, සසර දුකින් නිදහස් වෙන්න නම්, අපේ අතේ තියෙන ජීවිතය තේරුම් ගන්න ඕනේ, වෙන තේරුම් ගන්න දෙයක් නෑ. ජීවිතය තේරුම් ගැනීම පැත්තක තියා සංසාරය කියන මාතෘකාව තේරුම් ගන්න බෑ. එය වෙනම විෂයක් විදිහට පොත පතින් හදාරන්න පුළුවන්. නමුත් සංසාරය තියෙන්නේ ජීවිතය ඇතුළේ, ජීවත්වෙන ආකාරය අනුව. ජීවිතයේ කරන කටයුතු නිසා සංසාරය එක්කෝ දික්වෙනවා, නැතිනම් කෙටි වෙනවා. මේ නිසා “සසර කෙටි වෙන්නේ කොහොමද? දික්වෙන්නේ කොහොමද? සසර පැවැත්ම සිදුවන්නේ කොහොමද? නැවැත්ම සිදුවන්නේ කොහොමද?” කියා සොයාගන්නට නම්, මුලින්ම කළ යුතුවන්නේ ජීවිතය තේරුම් ගැනීම.

‘ජීවිතය කියන්නේ දෙයක් නොවේ ක්‍රියාවක්’. මේ වචනය පාවිච්චි කරනවා ජීවිතය, ජීවිතය, ජීවිතය. ජීවිතය දුකයි, ජීවිතය සැපයි, ජීවිතය හොඳයි-නරකයි, උස්-පහත්, නෑ එහෙම දෙයක් නෑ, තිබෙන්නේ ක්‍රියා, කරන ක්‍රියා. අප කරනවා කායික ක්‍රියා, මානසික ක්‍රියා, කථා බහ වැනි වාචසික ක්‍රියා. ඔය ටිකට තමයි ජීවිතය කියන්නේ. ඔයින් පිට ජීවිතයක් නෑ. ඔය ක්‍රියා හැරුණාම වෙන ජීවිතයක් සොයා ගන්න නෑ.

ඉතින් මේ ක්‍රියාව තියෙන්නේ වර්තමානයේ. කථා කිරීමත් වර්තමාන ක්‍රියාවක්, සවන්දීමත් වර්තමාන ක්‍රියාවක්, වෙනත් ක්‍රියාත් සියල්ල වර්තමාන. එමෙන්ම මේ මොහොතේ කෙරෙන්නේ එක ක්‍රියාවයි. ජීවිතය කියන්නේ වර්තමාන ඒකීය ක්‍රියාවකට. දෙක තුනක් නෑ, එකයි. ඒකත් මේ මෙහොතේ කරන ක්‍රියාවක්. උපන්දා සිට මේ මොහොත දක්වාම සිදු වූ සියලුම මානසික ක්‍රියා, කියූ සියලුම වාචසික ක්‍රියා, කළ සියලුම කායික ක්‍රියා සහ මේ මොහොතේ සිට මැරෙන තෙක් කරන සියලුම ක්‍රියා එකතු කර, රැස් කර, ඒ එකතුවට ජීවිතය කියා කියන්න බෑ. එහෙම ක්‍රියා එකතුකර ගන්න බැහැ.. මතකයේ එකතු වෙන්න පුළුවනි. මතකය කියන්නේ ගබඩාවක් වුණාට‍, සිදුවීම්වල ගබඩාවක් නොවේ, ක්‍රියාවල ගබඩාවක් නොවේ. සටහනක් පමණයි. ඒ මතකය ඇතුළේ කිසිම ක්‍රියාවක් නෑ. අතීත ක්‍රියාවකුත් නෑ, අනාගත ක්‍රියාවකුත් නෑ, වර්තමාන ක්‍රියාවකුත් නෑ මතකය තුළ. තිබෙන්නේ සටහනක් පමණයි. වාර්තාවක් පමණයි. මේ කියන්න හදන්නේ ‘ජීවිතය’ කියන්නේ මේ මොහොතේ කරන ක්‍රියාවකට බව. මේ මොහොතේ සිතනවා නම් ඒ තමා ජීවිතය. මේ මොහොතේ කථා කරනවා නම් ඒ තමා ජීවිතය. මේ මොහොතේ වෙනත් කායික ක්‍රියාවක යෙදෙනාවා නම් අන්න ජීවිතය.

එතකොට ගැටලුවක් එනවා ඒවායින් කොහොමද සංසාරේ හැදෙන්නේ? සංසාරේ දික් වෙන්නේ? කොහොමද කෙටි වෙන්නේ? කොහොමද නවතින්නේ? අන්න සොයාගන්න තියෙන රහස, අනාවරණය කරගන්න තිබෙන සැඟවුණු ධර්මතාව. එය හරි සරලයි. මේ සියල්ල කැටිවෙලා තිබෙනවා, කේන්ද්‍රවී තිබෙනවා, සංක්ෂිප්තවී තිබෙනවා, නාභිගතවී තිබෙනවා මේ මොහොතට. ඊයෙට නොවේ, පෙරේදාටත් නොවේ, හෙට-අනිද්දාටත් නොවේ, අදට, මෙතනට, මේ මොහොතට.

මේ මොහොතේ කරන්නේ කුමක් ද? එය අන්න දැනගන්න පුළුවන්, ඒ සඳහා තමා සිහිය අවශ්‍ය වෙන්නේ. අන්න මේ සංසාර ප්‍රශ්නේ විසඳා ගන්න, ඇයි සිහිය ඕනේ කියන කාරණය සරලව පැහැදිලි වෙනවා. වෙන කවුද අපට කියන්නේ? දැන ගන්න එපැයි මේ වෙලාවේ කුමක් කරන්නේ කියා. කවුද අපට කියන්නේ? දෙවි කෙනෙකු ඉන්නවාද? බ්‍රහ්මයෙකු ඉන්නවාද? වෙන ඍෂි කෙනෙකු සිටිනවාද? එහෙම නැතිනම් ඒ වගකීම භාරගත්ත කිසියම් නිලධාරියෙකු සිටිනවාද? අපට දැනුම් දෙන්න, වාර්තා කරන්න. “ඔබ මේ මොහොතේ සිතන්නේ මේ දේ, කියන්නේ මේවා, කරන්නේ මේවා”. එහෙම කවුරුවත් නෑනේ, කිසි කෙනෙකු නෑ. කාටවත් කියන්නත් බෑ. මොහොතින් මොහොත කරන කියන සිතන හැම ක්‍රියාවක්ම, ඒ කරන කියන ආකාරයෙන්ම අපට දැනුම් දෙන්න, වාර්තා කරන්න කාටවත්ම බෑ. කිසි කෙනෙකුට බෑ. නමුත්, ඒ කිසිකෙනෙකුට දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, ඍෂිකෙනෙකුට හෝ වෙනත් බලයලත් නිලධාරියෙකුට කළ නොහැකි, ඒ අරුම පුදුම ආශ්චරර්‍යමත් දේ සිහියට කරන්න පුළුවන්. සිහියෙන් බලාපොරොත්තු වන්නේ ඒ භාරදූර වගකීම. ඉන් එහා දෙයක් නොවේ. සිහියට අප වෙන වැඩ පවරන්නේ නෑ. ඒ වෙන වැඩ අනිත් හැම දෙනාටම පවරන්න පුළුවන්. පවරන්න බැරි එකම දේ කුමක්ද? අප මේ මොහොතේ කරන්නේ කුමක් ද කියා අපට දැනුම් දීම, අපව දැනුවත් කිරීම. තව කෙනෙකු කරන දේ නොවේ. ඒ වගකීම නම් අපි අනිත් අයට පවරනවා. “අරයා මොනවාද කිව්වේ කියලා මට කියන්න”. “මෙයා මොනවාද කරන්නේ කියා මට කියන්න”. සමහර විට ගුප්ත විද්‍යාවට ගිහිල්ලා අහනවා “අරයා ඇත්තටම කරන්නේ මොනවාද?”

තමන් පිළිබඳ, තමන් මොනවාද සිතන්නේ? , තමන් මොනවාද කියන්නේ, තමන් මොනවාද කරන්නේ? මේ කිසි කෙනෙකුට පැවරිය නොහැකි, කවුරුවත් භාරගන්නත් කැමති නැති, ඒ භාරදූර වගකීම අන්න සිහිය භාරගන්නවා. වෙන කිසි කෙනෙකු භාර ගන්නේ නෑ. වෙන කිසිම චෛතසිකයකටත් බෑ ඒ කාර්ය කරන්න, සති චෛතසිකයට හැර. සතිය කියන චෛතසිකයට පමණයි ඒ කාර්ය කරන්න පුළුවන්. හැබැයි එයාට භාරදෙන්න ඕනේ. පුළුවන් කිව්වාට, බලහත්කාරයෙන් පැනලා ඇවිල්ලා “හා මන් කරන්න ද” කියා එහෙම අහන්නේ නෑ. සිහිය එහෙම නෑ. එබඳු වෙනත් චෛතසික තිබෙනවා. නමුත් සිහිය එහෙම නෑ. එයාට අප පත්වීමක් දෙන්න ඕනේ. පත්වීමක් දුන්නොත් භාරගන්නවා. භාර අරගෙන හරියටම ඒ රස්සාව කරනවා. හරියටම බාරගත් රැකියාව කරන එකම එක්කෙනයි ඉන්නේ. ඒ සිහිය පමණයි. එබඳු අවංක හා කාර්යක්ෂම කෙනෙකු අප හැම දෙනා ඇතුළෙම ඉන්නවා. ඒ රැකියාව, භාරදුන් රැකියාව, භාරගත් රැකියාව, හරියට, අකුරට, වේලාවට, කලාවට කරන කෙනෙකු අපගේ අභ්‍යන්තරයේම සිටීම මොනතරම් වාසනාවක් ද? එවන් කෙනෙකු ඉන්නවා.

එබඳු වගකිවයුත්තෙකු අටප් ගෙදරම සිටියදී තමා අප කියන්නේ 

“අනේ අප මොනවා කිව්වාද දන්නේ නෑ, කළාද දන්නේ නෑ, සිතුවාද දන්නේ නෑ, අනේ මට මෙලෝ වැටහීමක් නෑ.” 

මෙහෙම කියන්නේ ඒවා දැනගන්න පුළුවන් හැකියාක් තිබෙන බව නොදැන. හැම දෙයක්ම දැනගන්න පුළුවන්, බැරි නෑ. සුදුස්සාට ඒ සුදුසු වගකීම දෙන්න ඕනේ. නොදී බෑ, සුදුස්සාට දුන්නොත් පුළුවන්. මේ තමා සිහියේ තිබෙන අතිවිශිෂ්ඨ වූ චරිත ලක්ෂණය නැතිනම් හැකියාව, කුසලය. අන්න සිහිය අපට වාර්තා කරනවා මොනවාද කිව්වේ, මොනවාද කළේ, මොනවාද සිතුවේ, මේ මොහොතේම නොවේ, මීට කළින් මොහොතේ. සිහිය හැම විටම ක්ෂණයක් විතර ප්‍රමාදයි. එහෙම නැතිව හරියටම ක්‍රියාවයි දැනුම් දීමයි එකට යන්නේ නෑ. එහෙම එකට යන්න බෑ. හුස්ම ගැන කරන භාවනාවේදි වුනත් පැහැදිලි වෙනවා ඇති.  ආශ්වාසයට කළින් සිහියත් නෑ, ආශ්වාසයයි සිහියයි එකට උපදින්නේත් නෑ. ගණන්ගත නොහැකි තරම් පුංචි කාල ප්‍රමාදයක් එතන තිබෙනවා. ඒක අපට අල්ලන්ට බෑ. අල්ලන්න බැරි තරමට කාල ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා සිහිය හැම විටම වාර්තා කරන්නේ ගණන්ගත නොහැකි තරම් සුළු කාලයක අතීතය, ගෙවුණු පුංචි මොහොතක්. අනාගතය කෙහොමත් සිහිය කියන්නේ නෑ. ඒ දැනුම් දීමටයි අප වර්තමානය කියා කියන්නේ. හොඳ සිහියක් තියෙනවානම් මේවා හඳුනාගන්න පුළුවන්. ක්‍රියා ටික හඳුනාගන්න පුළුවන්. හඳුනාගන්න, හඳුනාගන්න සිහියත් තව තව කාර්යක්ෂමව තමන්ගේ රස්සාව කරනවා. එයාගෙන් වැඩගන්නා බව දැනගත්තාම එයා තව තව කාර්යක්ෂම වෙනවා. වැඩගත්තේ නැත්නම් ඔහේ පැත්තකට වෙලා ඉන්නවා.  

හිතවතුනි, ඔය ටිකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඔය විදිහට දැනගත්තා කියා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඒ තමා ආරම්භය, ඒ තමා අත්තිවාරම හා පදනම. ඇයි සිහියෙන් පමණක්ම විසඳෙන්නේ නැත්තේ? හිතෙනවා, කියනවා, කරනවා, ඒ නිසා අන්න සංසාරයක් හැදෙනවා. හැදෙන බව සිහිය දන්නේ නෑ. සිහිය දන්නේ නෑ, ක්‍රියා නිසා සසරක් හැදෙන බව. එහෙම අනාවැකි කියන්න සිහියට බෑ. ඒ බැරි දේ කරන්න යන්නෙත් නෑ. එහෙම නම් අන්න අපට තවත් කෙනෙකුගේ උදව් ඕනවෙනවා. අනාවැකි කියන්න නොවේ. සිහිය කියනවානේ “ඔයා මෙහෙම කියනවා, මෙහෙම සිතනවා”. “ඔබ මෙහෙම දේවල් කරනවා” කියා සිහිය අපට වාර්තා කරනවා කියමුකෝ, ඒ ඒ මොහොතෙම වාර්තා කරනවා කියා. අර කාල ප්‍රමාදය නොසලකා හැර, නැනෝ තත්පරය, එය අතහරිමුකෝ.

එතනදි දෙවන පියවර තමා, අප සොයාගත යුතු කාරණයක් තියෙනවා, “ඇයි ඒ දේවල් කරන්නේ, කියන්නේ, සිතන්නේ” කියා. ඇයි එහෙම සිතන්නේ? ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කරන්නේ? ඇයි? අන්න හේතු සොයන්න වෙනවා. මේ ක්‍රියා වෙනස් කරගන්න නම්, නිකම්ම වෙනස්කර ගන්න කීවාට නිකම්ම වෙනස් වෙන්නේ නෑ. අප අනිත් අයට කොච්චර කියනවාද වෙනස් වෙන්න කියා. අපටත් කියනවා වෙනස් වෙන්න කියා. කිව්වාට වෙනස් වෙන්නේ නෑ. “ඔහොම කරන්න එපා, දැන් ඇති ඔහොම කළා, දැන්වත් වෙනස් වෙන්න,” එහෙම කිව්වාට කවුරුවත් වෙනස් වෙන්නේ නෑ. ඕනේ වුණත් වෙනස් වෙන්නේ නෑ. හේතුව නිකම්ම දේවල් කෙරෙන්නෙත් නෑ. ක්‍රියාවක් වෙන්නේ හේතු නිසා. එතකොට ඒ හේතු  සොයා ගන්න වෙනවා ක්‍රියාව වෙනස් කරන්න හෝ නවත්වන්න. හේතු නැතිව බෑ. ඒ නිසයි මේ හේතුඵලවාදයට, පටිච්ඡ සමුප්පාදයට ලොකු තැනක් දහමෙන් දී තියෙන්නේ. දහමේ පමණක් ඒ තැන දී තියෙන්නේ. අපට සොයන්න වෙනවා, අපට බලන්න වෙනවා, ඇයි අප එහෙම දේවල් කරන්නේ? එහෙම සිතන්නේ ඇයි? දැන් දන්නවානේ මොනවාද සිතන්නේ කියා. සිතන සිතන දේ සිහිය අපට කියනවා. කියන කියන වචනේ අපට අහන්න සලස්සනවා සිහිය. කරන කරන ක්‍රියාව පරාවර්තනය කර අපට සිහිය පෙන්වනවා. එ සිහිය නැත්නම් මෙහි ගමනක් නෑ. ඉන් එහාට මොනවත් කරන්න බෑ හිතවතුනි, සිහිය නැත්නම් අප දන්නේ නෑනේ. අප දන්නේ නෑනේ සොයන්න ඕනේ මොනවාද කියා. එතකොට පොතේ තියෙන දේවල් තමා සොයන්නේ. ඒ ලැයිස්තු සොයනවා. වට්ටෝරු සොයනවා. ඒවා සෙව්වාට වැඩක් නෑ. සොයන්න තියෙන්නේ මෙතන මේ මොහොතේ කරන දේ. කරන දේ දන්නවා නම්, අන්න සොයන්න පුළුවන් ඇයි ඒ දේ කරන්නේ කියා. අන්න ඒ අභියෝගය හා වගකීම පේන්නේ සිහියෙන් ඉන්න පටන්ගත්තාම. එහෙම සිහියෙන් ඉන්නේ නැත්නම් එබඳු  අභියෝගයක් හෝ එහෙම  වගකීමක් හෝ කාර්යයක් තිබෙන බව අප දන්නේ නෑ. මොන වගකීමද? සොයන්න ඕනේ, මුල සොයාගන්න ඕනේ, ඇයි එහෙම දේවල් තමන්ගෙන් වෙන්නේ?

මේ ක්‍රියා, ඕනෑම ක්‍රියාවක් එතෙන්දි වර්ග කරන්නේ නෑ හොඳද, නරකද. හොඳත් වෙන්න පුළුවන්. ඒ වගේම අයහපත් ක්‍රියාත් වෙන්න පුළුවන්. හොඳ දේවලුත් වෙනවා. නරක දේවලුත් වෙනවා. මිහිරි විදිහට කතා කරනවා, අමිහිරි විදිහට කථා කරනවා. ඇත්ත කියනවා, බොරු කියනවා. රළු විදිහට හැසිරෙනවා, මෘදු විදිහට හැසිරෙනවා. එතකොට මේ දෙවිදිහක්. නෑ කොයි විදිහට හැසිරුණත්, දික් වෙන්නේ සංසාරේ. මෘදුව හැසිරුණත්, රළුව හැසිරුණත් සංසාරේමයි දික්වෙන්නේ. නමුත් එක් ආකාරයක හැසිරීමක් නිසා පිං ලැබෙනවා, අනිත් හැසිරීම නිසා ලැබෙන්නේ පව්. පාපකර්ම තමයි රැස්වෙන්නේ, පුණ්‍යකර්ම හා පාපකර්ම. දැන් මේ දෙක ගැනම සොයනවා. පාප කර්ම ගැන විතරක් නොවෙයි. පුණ්‍යකර්ම ගැනත් සොයනවා. සිතින් කරන පුණ්‍යකර්ම, වචනයෙන් කරන පුණ්‍යකර්ම, ක්‍රියාවෙන් කරන පුණ්‍යකර්ම. ඊළඟට තුන් දොරින්ම කරන පාප කර්ම හා ඔය දෙකටම වැටෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඒවාත්, මේ සියල්ල සොයනවා. සියල්ල කිව්වාම, සියයක් දෙසියයක්, ඔක්කෝම එකතු කරලා, නෙවෙයි. මේ මොහොතේ. එටහම නම් එකයි සොයන්න තියෙන්නේ.

එහෙම සොයන විට අන්න අපෙන් යමක් සිදුවෙන්න, යම් ක්‍රියාවක් අපේ අතින් වෙන්න, හේතු කිහිපයක් තිබෙන බව සොයාගන්න පුළුවනි. එකක් දෙකක් තුනක් නොවේ හතරක් තිබෙන බව. හේතු හතරක් තියෙනවා ඕනෑම ක්‍රියාවක් වෙන්න. මේ කාරණා දීර්ඝ වශයෙන් විස්තර කරන්න තියෙනවා නම් හොඳයි. අවශ්‍ය නම් වෙන දවසක කථා කරමු. මේ හේතු හතර ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නම් අද.

අපේ ක්‍රියා, වර්තමාන ක්‍රියා, හොඳ-නරක, යහපත්-අයහපත්, ඔය දෙකටම නැති, වැඩිම ක්‍රියා ගණනක් වෙන්නේ පළමුවෙනි හේතුව නිසා. සිතාගන්න පුළුවන්ද ඒ   කුමක්ද කියා. වැඩිම ක්‍රියා ගණනක් වෙන්නේ මොන හේතුව නිසාද? සිතන්න බලන්න. තමන් තුළින්ම සොයාගන්න බලන්න. උදේ අවදිවුණ මොහොතේ පටන් රාත්‍රි නින්දට යන තුරු කරන ක්‍රියා.  කරන දේවල්,  කියන දේවල්, සිතන දේවල් හොඳ-නරක, ඕනෑම දෙයක්.

‘වැඩිපුරම ක්‍රියා අපේ අතින් වෙන්නේ මොන හේතුව නිසාද?’

පුරුද්ද නිසා

‘වැඩිම දේවල් කරන්නේ පුරුද්ද නිසා.’  ‘වැඩිම ක්‍රියා ගණනක් කෙරෙන්නේ පුරුද්ද නිසා.’ හොඳට බලන්න, කරන දේවල් අරගෙන බලන්න. වැඩි ප්‍රමාණයක් අපේ අතින් කෙරෙන්නේ පුරුද්ද නිසා. ඒ වේලාවට එහෙම දෙයක් කරන්න පුරුදුවෙලා තියෙන නිසා. ඒ වේලාවට දත් මදින්න පුරුදු වෙලා. වේලාවට ඇහැරෙන්න පුරුදුවෙලා. ඒ වේලාවට නිදාගන්න පුරුදුවෙලා. කෙනෙක් දැක්කාම “සුභ උදෑසනක්” කියන්න පුරුදුවෙලා. කන්න කලින් අත සෝදන්න පුරුදුවෙලා. තේ එකක් බොන්න පුරුදුවෙලා. මේ පුරුදු නිසා මොනතරම් දේවල් කරනවාද? කායික ක්‍රියා, වාචසික ක්‍රියා පමණක් නොවේ සිතීමත්, අපට සිතෙන කොටත් බලන්න පුරුද්දට තමා සිතෙන්නේ.

මේ කාරණය “ආ එහෙමයි” කියා නවතින්න එපා, බලන්න. අප හැමදෙනාම, අපේ ජීවිත තුළින් බලමින් හා සොයා බලමින් මෙය අවබෝධ කරගන්න තිබෙන කාරණයක් මිස, දැනුමක් විදිහට “ආ මං දන්නවා” “ආයේ කවුරුහරි මේ ප්‍රශ්නය ඇසුවොත්” “පුරුද්දට කියලා කියන්න පුළුවන්”. “මට සම්පූර්ණ ලකුණු ලැබෙයි”. නෑ එහෙම නොවෙයි. සොයන්න. සොයන්න සොයන්න, මේ කාරණය පැහැදිලි වෙනවාද බලන්න. ඔප්පු වෙනවාද බලන්න. 

ඒ නිසා තමා හොඳ පුරුදු ඇති කරගන්න කියන්නේ. කුඩා කාලයේ ඉඳලා අපට කියු දෙයක් තමා, හොඳ දේවල් පුරුදු වෙන්න. හොඳ වචන පුරුදුවෙන්න. ලස්සනට කතා කරන්න පුරුදු වෙන්න. ඉවසන්න පුරුදු වෙන්න. පිරිසිදුව ඉන්න පුරුදුවෙන්න. දත් මදින්න පුරුදු වෙන්න. දෙදෙනෙක් කථා කර කර ඉන්න විට මැදින් යන්න පුරුදුවෙන්න එපා. යනවානම් සමාවෙන්න කියලා යන්න පුරුදුවෙන්න. මේ විදිහට බලන්න අප කොපමණ පුරුදු රාශියක් ඇති කරගෙන තියෙනවාද? එහෙම ඇති කරගන්න අමාරුයි. එහෙම ඇතිකර ගත්තාම ඉබේම වෙනවා. හිත හිතා ඉන්න ඕනේ නෑ. කතා කර කර ඉන්න තැනකින් මැදින් රිංගන්නේ නෑ. යන්න ඕන වුණොත් කතා කරලානේ යන්නේ.

හිතවතුනි, සියල්ලම කියන්න අද වේලාව නැතිවෙයි. මේ පුරුද්ද කියන පළමුවෙනි කාරණයෙන් අපි නවත්තමු. ඉතුරු ටික තවත් දවසක කියන්න උත්සාහ කරමු. අපි ටිකක් මෙනෙහිකර සාකච්ඡාවට යොමුවෙමු.

භාවනාව

මේ මොහොතේ සිතෙනවා නම්, ඒ සිතීම පුරුද්දට වන සැටි හඳුනාගන්න. මතක් වෙන දේවල් ගැන සිතන්න පුරුදුවී සිටි ආකාරය හඳුනාගන්න.

යහපත් ආකාරයට සිතෙන්නත් පුළුවනි, අයහපත් ආකාරයට සිදුවෙන්නත් පුළුවනි, පුරුද්ද නිසා. එ‍මෙන්ම අද දවසේ කළ කී දෑ මතක් වෙනවා නම් ඒත් බලන්න, පුරුද්ද නිසා මොනතරම් දේවල් කෙරෙනවාද, යහපත් පුරුදු නිසා සහ අයහපත් පුරුදු නිසා.

සාකච්ඡාව

හොඳයි හිතවතුනි, ඒ කෙටි ආවර්ජනයත් භාවනාවත් එක්ක අපි සාකච්ඡාවට එමු. හරියට පැහැදිලිව යමක් ඇහුණේ නැත්නම්, ගැටුනානම්, අතරමඟ සිටියානම් ඒ දේවලුත් අහන්න. (0.47.35)


ප්‍ර : පුරුද්දට දේවල් වෙන්නේ චේතනාව නිසා නේද?


පි :  ඔව් අනිවාර්යෙන්ම, ක්‍රියාවක් වෙන්න චේතනාවක් අවශ්‍යයි.  ඒ චේතනාව ඇති කරවන්නේ පුරුද්ද. එතකොට බොහොම ක්‍රියා වෙන්නේ පුරුද්ද විසින් ඇතිකරන චේතනා නිසා, අපි හිතා මතා ඇතිකරගන්න චේතනා නිසා නොවෙයි. ඒ නිසා හොඳ පුරුදු තියෙනවා නම් හොඳ චේතනා ඇති වෙන්න ඉඩ තියෙනවා. හොඳ චේතනා ඇතිවෙනවා නම් හොඳ ක්‍රියා වෙන්නත් ඉඩ තියෙනවා. හොඳ පුරුදු සීයක් තිබුනොත් හොඳ ක්‍රියා සීයක් වෙන්නේ නෑ, හොඳ චේතනා සීයක් ඇති වෙන්නෙත් නෑ. උදාහරණයකට හොඳ පුරුදු සීයක් තිබුනොත් හොඳ චේතනා හැටක් විතර ඇති වෙනවා. එයිනුත් කොටසක් තමයි හොඳ ක්‍රියා ඇති වෙන්නේ. ඒක නිසයි තව හේතු තියෙනවා කියන්නේ, පුරුද්ද නෙමේ එකම හේතුව. ඒ අනෙකුත් හේතුන් මොනවද කියා හොයා බලන්න.

යම් ක්‍රියාවක් වෙන්න නම් චේතනාවක් තියෙන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නෙ මේ චේතනාව ඇති කරන්නේ කවුද, කාගේ චේතනාවකටද අප වැඩ කරන්නේ, හිතන්නේ, කියන්නේ, කරන්නේ?. අද අප කථා කලේ පුරුද්ද විසින් තමයි වැඩිපුර චේතනා ඇති කරනවා කියා. හොද පුරුදු වලට හොඳ චේතනා පමණයි ඇති කරන්න පුළුවන්. ඒ වගේම නරක පුරුදුවලට නරක චේතනා පමණයි ඇති කරන්න පුළුවන්. හැබැයි ඒ චේතනාවක් ඇති කළ පමණින්ම ක්‍රියාවක් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ අප හොයන්න ඕනේ මේ චේතනා මොන හේතු නිසා ද ඇති වෙන්නේ කියා.


ප්‍ර : පුරුද්දට ක්‍රියාවක් කෙරෙන විට එතැන සිහිය නෑ.  ඒ විදිහට සිහිය නැතිව ක්‍රියාවක් කෙරෙන කොට ඒක කුසල ද අකුසල ද කියලා වෙන් කර ගන්නේ කොහොමද?


පි : සිහිය නැතිව වැඩක් කළොත් එයින් පිනක් හෝ පවක් වෙන්න  පිළිවන්.  ඕනෑම වැඩක් කරන්නට සිහියක් අවශ්‍යයි. නමුත් අප කියන සම්මා සතිය සතිපට්ඨානය අවශ්‍ය නෑ පින් කරන්න හෝ පව් කරන්න.  පුරුද්දට ඒ දෙකම වෙන්න පුළුවන්. බෙදා ගන්න පුරුදු වුණ කෙනා බෙදාගන්නවා. එය පිනක්. අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න පුරුදු වුණු කෙනා ඒ විදිහට ක්‍රියා කරනවා. එක පවක්. සිහිය අවශ්‍ය නෑ එතැනට. ඒ විදිහට සිහිය නැතිව පින් පව් වෙනවා.


ප්‍ර : තමන්ගේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු වලට සිහිබුද්ධිය පාවිච්චි කරලා වැඩ කටයුතු කරනවා. එතකොට අපි කුසල් කිරීමේ චේතනාවෙන් යුතුව වැඩකටයුතු කරගෙන යනවා. සිහිබුද්ධියෙන් තමයි චේතනාවල් හදාගන්නෙ. ඒ විදිහට අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු කර ගත්තොත්, ඒක අපිට මේ සංසාරයෙන් ගොඩ එන්න ක්‍රමයක් වෙනවා නේද?

 

පි : ඔව් අනිවාර්යෙන්ම. එතන තමා අපට තියෙන ගැලවීම, වෙන ගැලවීමක් නම් නැහැ.  අද අප කතාකළේ එක දෙයක් ගැන, පුරුද්ද. එයින් තමයි වැඩිම වැඩ කොටසක් කෙරෙන්නෙ. ජීවිතය ක්‍රියා විදිහට ගත්තහම වැඩිම ක්‍රියාවන් රාශියක් සිදු වෙන්නේ පුරුද්ද නිසා. මේ ක්‍රියාව නිසා නේ සංසාරය හැදෙන්නේ. සංසාර හැදෙන්නේ දික් වෙන්නේ වැඩියෙන්ම පුරුද්ද නිසා. ඒ සංසාරේ දුක් විඳිනවා නම් ඒ විදින්නේ පුරුදු, සැප විඳිනවා නම් ඒ විදින්නේත් පුරුදු . එතකොට මේ ප්‍රතිඵල තුනම, සංසාරේ දුක, සැප සහ එහි ඉන්න වීම, ලැබෙන්න බලපාන ප්‍රධානම හේතුව පුරුද්ද. තවත් හේතු තියනවා.

පුරුද්ද කියන්නේ ලොකු බලයක් තියෙන දෙයක්. දීර්ඝකාලීන පුරුද්දක බලය වැඩියි කෙටිකාලීන පුරුද්දකට වඩා. ඒ නිසා තමා හොඳ පුරුදු ඇති කරගන්න කියන්නේ. එතකොට හිත හිතා ඉන්න අවශ්‍ය නෑ, පුරුද්දේ විදිහට වැඩ වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඉතින් සිහිබුද්ධියයි දැනුමයි ඔය කිසිම දෙයක් ඕනෙ නෑ කෙනෙකුට හොඳ පුරුදු ටිකක් ඇති කරගත්තාම, එයා හොඳ දේවල් කරන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම නරක දේවල් පුරුදු නොකර හිටියොත් නරක දේවල් වෙන්නත් තියෙන ඉඩ අඩුයි. හැබැයි එතනින් විසඳුමක් ලැබෙන්නේ නම් නෑ.

ඒකට එක හේතුවක් තමා සංසාර ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. තාවකාලික වශයෙන් මේ සංසාරේ හොඳින් සැනසිල්ලේ ඉන්න පිළිවන්. සමාජයෙන් හොඳ නමක් අහන්නත් මැරෙනකොට සැනසිල්ලේ මැරෙන්නත් පුළුවන්. මරණින් පස්සේ සුගතිගාමී වෙන්නත් පුළුවන්. හැබැයි මේ සියල්ල කිසියම් කෙටි කාලයකට තමයි තියෙන්නේ. ඉන් පසුව මොනවා වෙයිද දන්නේ නෑ. අප මේ ජීවිතයේ හොඳ දේවලට පුරුදු වුණා කියා සංසාරිකව තිබුණු අකුසල පිළිබඳ පාපය පිළිබඳ පුරුදු නැති වෙලා නෑ, ඒවා තියෙනවා, නමුත් දැන් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. එතකොට මේ හොඳ පුරුදු ඉවර වුනහම අන්න ඒවා ආයෙ මතු වෙන්න පුළුවන්. ඒ පුරුදු මතු උනහම අපට මොනවා වෙයිද අප මොනවා කරයිද අපම දන්නෙ නෑ කියන්න. එමනිසා හරි භයානකයි. ඒ නිසාම මෙයට තියන ස්ථිර විසඳුම කුමක්ද? ඒ වෙලාවේ සිහිබුද්ධිය පාවිච්චි කර හොයා බලා මෙයින් තමන්ට හෝ අන් කෙනෙකුට වෙන්නේ යහපතක්ද අයහපතක්ද කියා විමසා  බලා අපේ විමසීමේ සීමාව ඇතුළෙ අපට පේනවා නම් එය යහපත් කියලා අන්න ඒ දේ කරන්න පුළුවන්. එය තමයි මේ ප්‍රශ්නයට වර්තමානයෙන් ගන්න පුළුවන් හොඳම විසඳුම.


ප්‍ර :  ඔබතුමා පසුගිය දේශනයක දී සඳහන් කළ පරිදි “පරණ පඩියකින් වර්තමානය මනින්න එපා” කියන කාරණයක් මේ සමග සැසඳෙනවා නේද?


පි : එසේ සම්බන්ධ කරගන්න පුළුවන්. අප අතීතයේ ගත් තීරණ තමා වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ. අතීතයේ හොඳ තීරණ අරන් තියනවා නම් ඒ අනුව වර්තමානයේ හොඳින් ක්‍රියා කරනවා. එතකොට වර්තමානයේ අප කරන්නේ කුමක් ද කියා තීරණය කරන්නේ වර්තමානය නොවේ අතීතය. එතනයි භයානක කම තියෙන්නේ. අතීතයෙන් ඇහුවට කමක් නෑ එදා ඒ ප්‍රශ්නයට කුමක්ද කළේ කියා.  නමුත් ඒ දේම ආයෙ කරන්න ඕනේ කියලා නීතියක් නෑ, අතීතයෙනුත් උපදෙස් අරගෙන අපට පුළුවන් වර්තමානයේ වඩා ප්‍රඥාවන්ත තීරණයකට එන්න.


ප්‍ර : පසුගිය දේශනයක දී සඳහන් කළා අප ක්‍රියා කරන්නේ පංචනීවරණ මිතුරන් ගෙන් අහල ඒ අයට ඕන විදිහට කියලා. එයින් ගැලවෙන්න සීලය වැදගත් නේද?


පි :  පංච නීවර්ණ නම් පුරුද්දටම වෙන දේවල්. පංචනීවරණ කියා කිව්වට මේවා අකුසල පුරුදු පහක්. ප්‍රධානම අකුසල පුරුදු පහ තමයි පංච නීවරණ කියන්නේ. මේවා දීර්ඝකාලීන පුරුදු නිසා තමයි හඳුනා ගන්නත් අමාරු පාලනය කරගන්නත් අමාරු ප්‍රශ්න කරන්නත් අමාරු. එසේ නොවුනා නම් මේවා හඳුනා ගන්නත් අතහරින්නත් පහසුයි. කාමච්ඡන්දය ගත්තොත් දන්නේ නෑ එයට කොපමණ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා ද කියා සහ එය කී වාරයක් පුරුදු කරලා තියෙනවා ද කියා, කාලය පැත්තෙන් සහ පුරුදු කර වාර ගණන ඉතා දීර්ඝයි වැඩියි. අනෙකුත් නීවර්ණත් ඒ වාගේ තමයි. කෙනෙකු සංසාරේ වැඩියෙන්ම පුහුණු කර තිබෙන්නේ  පංච නීවරණ. ඒ නිසයි මේවාට අකුසල් කියා කියන්නේ සහ මුලින්ම ප්‍රහාණය කළ යුතු අකුසල් තමා මේ පහ. මේවාට  තමා වැඩිම කාලයක් යන්නේ සහ වැඩිම උපක්‍රම ඕන වෙන්නේ සහ වැඩිම වීරියක් ගන්න ඕන වෙන්නේ. ඉතින් ඒ සඳහා තමා සතර සංවර සීලය තාමත්ම ප්‍රයෝජනවත් වෙන්නේ.


ප්‍ර : දස පාරමිතා ධර්ම කියන්නේ පුරුදු නේද? . අපට මෝක්ෂය ලබාගන්න  පාරමිතා උදව් වෙනවා නේද?


පි : ඔව්, එතනත් කරන්නේ  පුරුදු දහයක් ඇති කිරීම, පාරමිතා පුරනවා කියලා කරන්නේ ඒකයි. ඒනිසාමයි  පාරමිතා වලට සතිය ඇතුළත් වෙලා නැත්තේ.  හැබැයි ප්‍රඥාව තියෙනවා. ඉතින් පුරුදු ටිකක් සම්පූර්ණ  කර ගන්නව. දාන පාරමිතාව කියන්නේ දන් දෙන පුරුද්ද, ඒක ලේසි නෑ පුරුද්දක් බවට පත් කරගන්න. පුරුද්දක් බවට පත්කළහම අවශ්‍ය වෙලාවක ඕනෑම දෙයක් දෙන්න පුළුවන් ඕනෑම දෙයක් අත හරින්න පුළුවන්, ඒ මට්ටමටම පුරුදු වෙනවා. සීල පාරමිතාව කියන්නේ දිවිහිමියෙන් සිල් රකින්න පුරුදු වෙනවා. උපරිම මට්ටමකට පුරුදු උනහම මොනම හේතුවකටවත් සීලය කඩන්නෙ නෑ, එය තමයි ඒ පුරුද්දේ තියන බලවත්කම. ඉතින් පාරමිතා කියන්නේ පුරුදු. මේවා කිසි යම් මට්ටමකට අවශ්‍යයි. ඒ අවශ්‍ය මට්ටමට පුරුදු කලහම ඉතිරි වැඩ ටික කරගන්න පහසුයි. හැබැයි දසපාරමිතා වලින්ම ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. තියෙන එක පහසුවක් උදව්වක් වෙනවා මේ ගමන යන්න.


ප්‍ර : පුරුද්ද සහ මොලය අතර සම්බන්ධතාවයක් තියෙනව ද?


පි : පුරුද්දයි මොලයයි අතර සම්බන්ධයක් ඇති. ඒ ගැන මොළය ගැන කරන පරීක්ෂණවලින් ඔප්පු කරලා තියෙනවා. ඒ අය කියන්නේ පුරුද්ද තියෙන්නේ මොලයේ කියා. යමක් පුරුදු වෙන කොට මොළය හැඩ ගැහෙනවා ඒ විදියට වැඩ කරන්න. පුරුදු තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් තියෙන තැනක් පෙන්නන්න නැහැ. බටහිර විද්‍යාව කියනවා  පුරුදු තියෙන්නේ මොළයේ කියා. ඒ අය නිකන්ම කියනවා නොවේ ඔප්පු කරනවා. මොළයේ ඒවා තියන තැන් විනාශ වුනොත් එහෙම පුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් ආයෙ පුරුදු වෙන්න බැරි කමක් නෑ. ඒනිසයි මේවා මොළයටම බාර දෙන්න එපා කියන්නේ. මොළයට හානියක් වුනොත් ඒ පුරුදු අමතක වෙන්න පුළුවන්. නමුත් මොලේ ඒ කෑල්ල නෑ කියා ඒ දේ නැවත පුරුදු වෙන්න බැරි කමක් නෑ, පුළුවන්. මොළයට අවශ්‍ය නෑ පුරුද්දක් ඇති කර ගන්න. හැබැයි ඇති කරගත් පුරුදු නිසා මොලයේ  කිසියම් පරිපථ ටිකක් හැදෙනවා. එතකොට ඒ සුදුසු වෙලාවෙදි වැඩියෙන්ම පුරුදු කර තියෙන පරිපථය සම්බන්ධ කරනවා. හොදට බලන්න පුරුදු වලින් අපව මොන තරම් සීමා කර පාලනය කර කොටුකර සිර කර තියෙනවද කියලා.


ප්‍ර : පුරුද්ද නිසා තමන් නොදැනීම කර්මයන් කිරීමේ හැකියාවක් තියෙනවා නේද?


පි : අනිවාර්යෙන්ම වෙනවා. පුරුද්දට කළා කියලා කර්මයෙන් නිදහස් වෙන්න බෑ. වැඩිපුරම කර්ම කෙරෙන්නේම පුරුද්දට තමා, සුදු කලු කර්ම දෙකම. හිතා කරන විට බලය වැඩි වෙන්න පුළුවන්. හැබැයි හිතුවේ නැති උනත් එතන කර්මයක් වෙනවා. විපාක විදින්නේත් පුරුද්දට, විඳින්නේ විඳවන්නේ පුරුද්දට,. ඒ දෙකම පුරුද්දට සිද්ද වෙන දේවල්.


ප්‍ර : පාරමිතා පෙර ආත්මවල ඉඳන් එන පුරුදු. එතකොට ඒ තියෙන පුරුදු කොහොමද දැන් තියෙන මොළයට සම්බන්ධ වෙන්නේ?


පි : අතීත කර්ම කොහොමද මේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන්නේ?. ඒ ඒ අනුව කෙනෙක් ලස්සන-අවලස්සන වෙන්නේ කොහොමද ඒ දේ වෙන්නේ? ඒ වෙන විදිහට මමයි මොළේට සම්බන්ධ වෙන්නේ.


ප්‍ර : ඒ කියන්නේ ජාන වලින් ද එන්නේ?


පි : හැමදේම ජාන වලින් එන්නේ නෑ, එන ටිකක් තියෙනවා. හිතලා ජාන වෙනස් කරන්න පුළුවන්. ජාන වලට අනුව හිතන විදිය වෙනවා වෙනුවට හිතන විදිය අනුව ජාන වෙනස් කරන්න පුළුවන්. මොලය කියන්නේ තාවකාලික උපකරණයක් hard drive එකක් වගේ. ඒකට අප දේවල් දානවා. ඒ දාන දේවල් අප ගේන ඒවා. ඒවා ඇතුල් කර අප මෙතන ඉන්න තුරු පාවිච්චි කරනවා. මෙතනින් යනකොට අප ආයෙ pen drive එකකට දාගෙන යනවා, ගිහිල්ලා ආයෙ අලුත් hard drive එකකට දානවා. එහෙම නැතුව යන යන තැන මොළය ගෙනියන්නෙ නෑ.


ප්‍ර : යෝගියෙක් කළ යුතු වන්නේ අපේ චේතනා, මනස මොනවද කරන්නේ කියා සොයා බැලීම නේද?.  මනස නේද අප සොයා ගන්න ඕන කියන දේට නාභි ගත උනොත් අපිට මින් ගැලවෙන්න පුළුවන් නේද? . ධම්මපදයේ සඳහන් වෙන ආකාරයට “ මනෝ පුබ්බංගමා ධම්මා” මනස තමයි මූලික වෙන්නේ,  සිහිබුද්ධිය මතු වෙන්නෙත් මනසින් මයි නේද? 


පි :අප වචන පාවිච්චි කරන දේවල්, මනස සිහිබුද්ධිය චේතනා සිතීම පින් පව්, මේවා කිසිවක් පේන්න තියෙන දේවල් නොවේ. නමුත් අප මේවාට වචන ටිකක් දෙනවා. වචන දුන්නාම අප හිතනවා මේවා මානසික දේවල් කියලා. මේවා මානසික දේවල් නෙවේ, මානසික ක්‍රියා. දැන් සාමාන්‍යයෙන් මානසික ක්‍රියා තනියම වෙන්නේ නෑ, මේවට පුළුවන් තව ඕන තරම් අය එකතු කරගන්න. කායික ක්‍රියා නම් තනියම වෙන්න පුළුවන්, එක අතක් උස්සනකොට එයට අනිත් අත සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ. ඉතින් චේතනාවට පුළුවන් චේතනාවක් ඇති කරගෙන සිහිබුද්ධිය එකතු කරගන්න. ඒ සඳහා චේතනාවක්  ඕන. “මම සිහිබුද්ධියෙන් හිතනවා”, හිතන්න ඕන කියන එකත් චේතනාවක්. “මම මෙයාට සැරෙන් කතා කරන්න ඕන”, එහෙම හිතන එකත් චේතනාවක්. හැබැයි එහෙම කතා කරන්න කලින් සිහිබුද්ධිය ඇති කරගන්න ඕන කියලා චේතනාවක් ඇතිකර ගත්තොත් ඔන්න සිහිබුද්ධිය ඇති වෙනවා. ඒ චේතනාව ඇති කර ගත්තේ නැත්නම් සිහිබුද්ධිය ඇති වෙන්නේ නෑ. ඒ විදිහට අපට පුළුවන් තව අය මේකට එකතු කරගන්න.ඒ බව දන්නේ නැති කෙනා එකතු කරගන්නේ නෑ. එයා එකතු කරගන්නේ පුරුද්ද විතරයි. එතකොට පුරුද්දට විතරක් චේතනාව ඇති කරගන්න එයා ඉඩ දෙනවා. මීට පෙර මොකද උනේ ආදිය සොයන්නේ නැතිව පුරුද්දටම කරගෙන යනවා. පුරුද්දට විතරයි චේතනාව ඇති කරගන්න දීලා තියෙන්නේ. හැබැයි කෙනෙකුට පුළුවන් එතනට සිහිබුද්ධියත් එකතු කරගන්න. එහෙම එකතු කර ගත්තහම පුරුද්ද දෙන අණක් තියෙනවා. ඒ අන අහන්නේ සිහිබුද්ධිය. ඊළඟට සිහිබුද්ධිය තීරණය කරනවා ඒ අන ඒ විදිහටම ක්‍රියාත්මක කරනවාද නැත්නම් වෙනස් කරනවාද නොඑසේ නම් නොකරම ඉන්නවාද කියලා. එතකොට ඒ අන ඒ විදිහටම ක්‍රියාත්මක කළත් අහෝසි කරලා දැම්මත් වෙනස් කළත් ඒක සිහිබුද්ධියේ තීරණයක්. එතනට තමයි අපි එන්න ඕන. එහෙම ආවොත් ප්‍රශ්නයක් නෑ.


ප්‍ර : පුරුද්ද නිසා නේද හැම දෙයක්ම හඳුනාගන්න පුළුවන් වෙන්නේ?. උදාහරණයකට මලක් හඳුනා ගන්නත් ඒ මල ගැන පුරුද්දක් තියෙන්න ඕන.


පි : ඔව්, එතන වෙන්කර ගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. හඳුනාගැනීම එක දෙයක්, වීනිශ්චය කිරීම තව දෙයක්, ප්‍රතික්‍රියා දැක්වීම තවත් දෙයක්. එතකොට ක්‍රියා තුනක්. දැක්කහම මලක් කියලා හඳුනා ගන්නවා. එහෙම හඳුනාගන්නේ කලින් දැක තියෙන නිසා. එතකොට හඳුනාගන්න අතීතය අවශ්‍යයි. ඒ හඳුනාගැනීම නමක් දීම සිද්ධවෙන්නේ අතීතය උඩ. හැබැයි ඒ නම නොදුන්නත් පේනවා. පේන්න අතීතය අවශ්‍ය නෑ. ඊළඟට විනිශ්චයකට එනවා මේ මල් පූජා කරන්න හොඳයි හෝ හොඳ නෑ කියා. ඒ විනිශ්චයත් එන්නේ අතීතයෙන් පුරුද්දට. හඳුනාගැනීම උඩ තමා විනිශ්චය එන්නෙ. ඊලඟට ප්‍රතික්‍රියා. ඒ මල කඩා ගන්නවා ද නැද්ද කියන ප්‍රතික්‍රියාව. ඒවා එන්නේත් පුරුද්දෙන්. හඳුනා ගැනීම සහ විනිශ්චය පුරුද්දටම උනහම ‍ප්‍රතික්‍රියාවත් පුරුද්දටම වෙනවා. මේ විදිහට මේ ක්‍රියා තුනම හඳුනාගැනීම විනිශ්චය හා ප්‍රතික්‍රියා දැක්වීම බොහෝවිට වෙන්නේ අතීතයට අනුව පුරුද්දට. ඒ තමා මෙතන තියෙන කනගාටුදායක තත්ත්වය.

බැණුමක් අහන විට තරහ ගන්න එකත් පුරුද්දක්. වැඩියෙන්ම පුරුදුවෙලා තියෙන්නේ එහෙම කරන්න නම් ඊලග සැරේ බැණුමක් අහනකොට පුරුද්දට තරහ ගන්නවා. ඒ විදිහට අප බොහෝ දේවල් වලට ප්‍රතික්‍රියා දක්වන්නේ පුරුද්දට. දැන් එතන තව කාරණයක් තියෙනවා. පුරුද්දට තරහ ආවත් ඊගාවට ඒ තරහට අනුව ප්‍රතික්‍රියා නොකර ඉන්නත් පුළුවන්. කෙනෙක් පුරුදු වෙලා තියෙනවා නම් තරහ ආවහම ඉවසන්න, තරහ ආවත් එයා පුරුදු වෙලා තියෙන විදිහට වෙනස් කරගන්න පුළුවන්.


ප්‍ර : එතනදී පසුගිය ආත්මවලදී කළ කුසල අකුසල්වල බලපෑමක් තියෙනවාද? 


පි :  ඔව්. අප පසුගිය ආත්මයේ හෝ සංසාරේ වැඩිපුර කුසල් කරලා තියෙනවා නම් වර්තමානයේ කුසල් කරන්න තියෙන ඉඩ වැඩියි. ඒ වාගේම අකුසල් නම් කරලා තියෙන්නේ අකුසල් වෙන්න තියෙන ඉඩ වැඩියි. කුසල් අකුසල් වෙන්න බලපාන හේතු ප්‍රත්‍යයන් ගැන දහමේ කතා කරනවා. අභිධර්ම පිටකයේ ප්‍රකරණ හතෙන් එක ප්‍රකරණයක් තමයි පට්ඨාන ප්‍රකරණය. පට්ඨානයේ තියෙන්නෙ ‍ප්‍රත්‍යයන් ගැන. ප්‍රත්‍යයන් කියන්නේ යමක් වෙන්න තියෙන සාධක මොනවාද කියන කාරණය. ඒ අනුව පසුව කරන කුසල් වලට ඊට මුලින් කළ කුසල් ඇසුරු කරන සාධකයක් විදිහට උදව් වෙනවා. තව සාධක 24ක් ගැන සඳහන් වෙනවා. ”කලින් කලින් කල කුසල් දහම් පසුව කරන කුසල් දහම් වලට ආශ්‍රය කරන සාධක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා”. අකුසලයටත් ඒ වගේමයි.


අද අප කතා කළේ පුරුද්ද ගැන. ඒ ගැන අවධානයෙන් බලන්න මොන තරම් දේවල් පුරුද්දට වෙනවද කියලා කායික වාචසික මානසික සියල්ල. එහෙම බලනකොට තේරෙයි එයින් මොනතරම් ප්‍රතිශතයක් පුරුද්දට වෙනවද කියා. ඊළඟට සිහිබුද්ධිය කොපමණ උදව් වෙනවද පුරුද්ද කොපමණ බලවත් උනත් එයට යට නොවී නිදහසේ තීරණයක් ගන්න. නිදහස කියන එක තියෙන්නෙ සිහිබුද්ධිය අතේ. සිහිබුද්ධිය නැත්නම් නිදහසක් නෑ. පුරුදු විසින් අපිව හිර කරලා තියෙන්නෙ. මේ පුරුදු විසින් අපිව වට කරලා අපිව දක්කනවා මේ සංසාරයට හරියට වන සතුන් අල්ලන්න මද්දකට හිරකරගන්න හැම පැත්තෙන්ම වට කරලා මද්ද තියන දිශාවට පන්නනවා වගේ. ඉතින් ඒ විදිහට ගියාම අපිත් වැටෙන්නේ සංසාරයටම තමයි. ඉතින් මේකෙ නියායක් විදිහට නොවෙයි ක්‍රියාවක් විදිහට තේරුම් ගන්න බලන්න. අනිත් දේවල් වලට වඩා මේ සිතීම පුරුද්දට වෙන විදිහ තේරුම්  ගන්න බලන්න. ඒ වගේම කතාවත් ක්‍රියාවත් පුරුද්දටම  වෙන හැටි ඒ දේ වෙන වෙලේම බලන්න මේ දේ වෙන්නේ පුරුද්දට ද නැත්නම් වෙන හේතු නිසාද කියා. තවත් හේතු තියෙනවා, එකම හේතුව පුරුද්ද නොවෙයි. ඒ හේතුත් හොයාගන්න. ඒවා ප්‍රභලයි. ඒවා ප්‍රබල නිසා තමයි, ඉඟියක් දෙන්නම්, මොන තරම් පුරුද්දක් තිබුනත් හොඳ හෝ නරක ඒ දේ අපෙන් කෙරෙන්නේ නෑ. හොඳම කරන්න පුරුදුවෙලා හිටියත් සමහර අවස්ථා තියනවා අපේ අතින් එහෙම හොඳ නොවෙන වෙලාවල්. ඒ වාගේම නරකම කරන්න පුරුදු වුණ කෙනෙක් අතින් සමහර තීරණාත්මක අවස්ථාවලදී නරකක් වෙන්නෙ නෑ. ඒ සිහිබුද්ධිය තිබිලාම නොවෙයි. හොඳ කරන්න පුරුදු වුණු කෙනෙක් අතින් හොඳ නොවන්න පුළුවන්, ඒ සිහිබුද්ධිය නිසා නොවෙයි නේ. ඒ හේතු ප්‍රත්‍යයන් හොයාගන්න. එකට අභිධර්මය හොයන්න යන්න එපා. අභිධර්මයේ එන කාරණයක් නොවේ මේ කියන්නේ. ජිවිතය ඇතුලෙන් ක්‍රියාවෙන් බලන්න. පළවෙනි කාරණය පුරුද්ද මොන තරම් ප්‍රබල භූමිකාවක් ද අපේ ජීවිතයේ රඟදක්වන්නේ, ඒකට අපි මොනතරම් අහු වෙලා තියෙනවද. ඊළඟට සිහිබුද්ධියත් ගේන්න. එතකොට අපිට බේරෙන්න පුළුවන්. ඊලගට තව හේතු මොනවද තියෙන්නෙ කියලා හොයා ගන්න බලන්න. 

නැවතත් කියන්න තියෙන්නෙ සිහිබුද්ධියෙ ප්‍රායෝගික භාවිතය වඩ වඩාත් අවධාරණය වෙනවා මේ සාකච්ඡාවන් තුළින්. ජීවිතයයි භාවනාවයි දෙකම අපෙන් ඉල්ලනවා වඩ වඩාත් සිහිබුද්ධියෙන් කටයුතු කරන්න කියා. ඒ අභ්‍යන්තර ආයාචනයට ඇහුම්කන් දෙමින් සහ ඒ ආයාචනයට නම්‍යශීලී වෙමින් වඩ වඩාත් සිහිබුද්ධියෙන් සිටීමේ කීමේ සහ කිරීමේ අදිටනින් අපි අද සදහම් සැඳෑවෙන් සමුගනිමු.


සැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!