සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 30

2022 මැයි 11 සාරාංශය

මේ සෑම දෙනාටම කියන්නට බොහෝ දේ ඇති, බෙදා ගන්නටත් ඇති දෑ එමටයි, සමහර විට අහන්නට විමසන්නට හා පැහැදිලි කරගන්නට ගැටලු, ප්‍රශ්න කාරණා බොහොමයක් ඇති. ඒ සියල්ලෙන්ම පිරුණු, දින කිහිපයක් නැතිනම් සුමානයක් හරහා සංකීර්ණ ගමනක යන්නට එන්නට සිදුවුණා සෑම දෙනාටම. ඒ සියලු අත්දැකීම් අඩුවැඩි වශයෙන් ලබමින් විඳිමින් ඒ හරහා ගමන් කරමින් හා ඒවාට මුහුණ දෙමින් ගමන් කරන්නට සිදුව තිබෙන මේ ජීවිතය එක් පැත්තකින් මහ වදයක්, කරදරයක්, හිරිහැරයක්, අවහිරයක්, අසහනයක්, දුකක්, ඉන් එහාට ගිය අර්බුදයක්. මේ සියල්ල මැද, මේ සියල්ලටම අසුවුණු කුඩා ඔරුවක් වගේ තමා අපේ ජීවිත මහ මුහුදේ මහා සාගරයේ තනි වූ. මුහුදේ රැළි, කුණාටු, සුළි සුළං, චණ්ඩ මාරුත, දියවැල්, එමෙන්ම පාවෙන අයිස් කඳු, තල්මසුන්, මිනී මෝරු, මේ සියල්ලම හා සියලු දෙනාම  ‘ඔබ හා මම’ නමැති මේ පුංචි ඔරුව, පුංචි බෝට්ටුව, පුංචි නැව පෙරළන්න උත්සාහ කරනවා. සිතාමතාම හෝ නොසිතාම. මේ තමා සංසාර යාත්‍රාව.

ඉතිහාසයට ගිහින් බැලුවොත් මානව ඉතිහාසයේ කිසිදු ගැටලුවක්, ප්‍රශ්නයක්, නොතිබුණු එක අවුරුද්දක් සොයා ගන්නට ලැබෙන එකක් නෑ, කිසිම ඉතිහාස පොතක. මොනම රටක් ගැන, මොනම ගෝත්‍රයක් ගැන, මොනම සංස්කෘතියක් ගැන ලියු ඉතිහාස පොතක එය නොලියවී ඇත්තේ කිසිම ඉතිහාසඥයෙකුගේ අතපසුවීමකින් නොවේ. එය යථාර්තය වන නිසා. කුමක්ද යථාර්තය? විවිධ ගැටලු තිබුණා. බොහෝ දෙනෙකු සිතනවා අතීතය බොහෝම හොඳයි, අතීතය කිසිම ගැටලුවක් නෑ, වර්තමානය තමයි ප්‍රශ්නේ. අතීතයේ වෙනම ගැටලු තිබුණා. හුඟක් එහා අතීතයට ගියාම හරි භයානක සත්තු හිටියා. ඉතින් එහෙම කාලෙක ඒ සතුන්ට අහුවෙනවා. ඒ සතුන් මිනිසුන්ව ආහාරයට ගන්නට ඇති. අනාගතයේ සිහිනයක් ගැන‍, කේතුමති රාජධානියක් ගැන ලස්සන සිහිනත් තිබෙනවා.  අතීත පුරාවෘත්තයි, අනාගත සිහිනයි මැද වර්තමානය මිරිකිලා පීඩාවට පත්වෙලා.

මේ සියල්ල මැද බොහෝ දෙනෙකු අහන ප්‍රශ්නයක් තමයි කොහොමද භාවනා කරන්නේ?, කොහොමද සිත හදා ගන්නේ?. විවිධ නම් දෙමින් ආර්ථික ප්‍රශ්නය, දේශපාලන ප්‍රශ්නය, සමාජ ප්‍රශ්නය ආදී විදිහට දිග ප්‍රශ්න ලැයිස්තුවක් හදන්න පුළුවන්. මේ සියලු ප්‍රශ්න අර්බුදත් එක්ක කොහොමද භාවනා කරන්නේ?  සමහර ඇත්තන් කාලයක් භාවනා කරමින් ආ කළ්‍යාණ මිත්‍රයන්, මේ දවස්වල භාවනාව නවත්වලා. හරි අමාරුයි, සිත එකඟ කරගන්න බෑ, වාඩි වෙන්න බෑ, වාඩිවී වෙනදා සිටිය වේලාව ඉන්න බෑ දැන්, මොනවා වේලාද දන්නේ නෑ. ඒ ඇත්තන් සිතනවා මේ ප්‍රශ්න කවදා හරි ඉවර වුණාම නැවත වාඩිවෙන්න, නැවත සිත එකඟ කරගන්න. කළ්‍යාණ මිත්‍රවරුනි, එහෙම හරියටම දවසක් කියන්න පුළුවන්නම්, දවසකින්, දෙකකින්, සතියකින්, සති දෙක තුනකින්, හෙටින් උදාවන ලෝකය, ඒ දවස කිසිම ප්‍රශ්නයක් නෑ, මොනම ගැටලුවක්වත් නෑ, හොඳට වාඩිවෙන්න පුළුවන්, සිත එකඟ කරගන්න පුළුවන්, එහෙම හරියටම කියන්න පුළුවන් නම් මේ දවස් ටික භාවනාව අතහැරලා දාලා ඉන්න පුළුවන් සහ එතෙක් අප ජීවත් වෙනවා කියන සහතිකයත් ලැබෙනවා නම්, නීරෝගීව ඉන්න පුළුවන් කියන සහතිකයත් එයට එකතු කරන්න පුළුවන්නම් හා මේ භාවනා කරගන්න තියෙන ඕනකම ඒ දවස තෙක් නොනැසි පවතී කියන ඒ වගකීමත් ලැබෙනවානම්.

එතකොට කාරණා හතරක්. 

  1. මේ ප්‍රශ්න සියල්ල විසඳිලා, සියල්ල කෙසේ වෙතත් සිත තැන්පත් කරගන්න තරමට හොඳ සමාජ වාතාවරණයක්, ආර්ථික වාතාවරණයක්, දේශපාලන වාතාවරණයක්, සාමාජයීය වාතාවරණයක්, මෙන්න අහවල් දවසේ තව සතියකින් දෙකකින් මාසයකින් මාස දෙකකින් ලැබෙනවා.

  2. එතෙක් අප ජීවත් වෙයි ද කියන කාරණය. 

  3. එසේ ජීවත්ව සිටියත් කායිකව හා මානසිකව නීරෝගීව ඉන්න ලැබෙයිද. 

  4. හතර වෙනි කාරණය, මේ භාවනා කරගන්න තිබෙන ඕනකම, ඒ කැමැත්ත එයත් නොසිඳී පවතීද?

කාටද පුළුවන්ද මේ කාරණා හතරින් එකක් පිළිබඳවවත් වගකීම ගන්න?. මේ සියලු අත්දැකීම් අපට බලකර සිටිනවා, මේ කාරණා නැවත නැවතත් අවධාරණය කර සිටිනවා, අපට බලකර සිටිනවා, භාවනා කරන්න කියා. ප්‍රශ්නේ තියෙන්නේ කරන්න බැරිකම, මේ සියල්ල එක්ක සිත හදාගන්න අමාරුයි.

සිත ගැන අප කතා කර තිබෙනවා. සිත භෞතික දෙයක් නෙවෙයි කියානේ සිතන්නේ, මානසිකයි, අභෞතිකයි, පේන්නට නෑ, හැංගිලා තියෙන්නේ. මේ කාරණා, මේ වචන ඇත්ත වුණත් බොරු වුණත්, සිත භෞතික කාරණා මත යැපෙනවා. පටිච්ඡ සමුප්පන්නයි කියන්නේ ඒ නිසා. පටිච්ඡ සමුප්පන්නයි. මේ භෞතික සිදුවීම් මත සිත යැපෙනවා. සතුට-අසතුට, මේ භෞතික සිදුවීම් නිසා ඒ මත ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. ආදරය වෛරයත් ඒ ව‍ගේ. ඒ කාරණය පැහැදිලියිනේ. සිදුවීමකට තමා සතුටක් ඇතිවෙන්නේ, සිදුවීමකට තමා අසතුටක් ඇතිවෙන්නේ. සිදුවීමකට තමා බියක්, කෝපයක්, ආදරයක් උපදින්නේ. දෙයකට නෙවෙයි සිදුවීමකට. එය පැහැදිලිනේ. ඊට යටින් තිබෙන කාරණය තමා, මේ කලබල හෝ සන්සුන් බව, ආදරය, වෛරය මේවා කිසියම් සමාජයක් විසින් බහුල වශයෙන් අත්දකිනවාද, කිසියම් හැඟීමක්, ආවේගයක් පැත්තක ඉන්න අයටත් ඒ හැඟීම ආවේගය හේතුවක් නැතිව ඇතිවෙන්න ලොකු ඉඩක් අවකාශයත් තිබෙනවා. හරියට වෛරස් වගේ, බෝවෙන්නේ වෛරස්. වෛරස්ම නෙමේ බෝවෙන්නේ. වෛරස් නිසා ලෙඩ බෝවෙනවා. රෝගී අය බහුලනම් කිසියම් සමාජයක ඒ රෝගය අර නිරෝගී කියන අයටත් බෝවෙන්න තියෙන ඉඩ වැඩියි. වැඩි වශයෙන් සමාජයේ ඉන්නේ රෝගීන් නම්, මොනවා හරි එක රෝගයක් සිතන්න, ඩෙංගු, කොවිඩ්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව බෝවන රෝග, එහෙමනම් අනිත් අයටත් ඒ රෝගය බෝවෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද මේ අවකාශයේ විෂබීජ තියෙනවා. රෝගය නෙමේ අවකාශයේ තියෙන්නේ. අවකාශයට රෝගයක් තියාගන්න බෑ. අවකාශයට රෝග වැළදෙන්නෙත් නෑ. දැන් වතුරේ නෑ ලෙඩක්. සුළඟෙත් ලෙඩ නෑ, ඔය අල්ලන දොරවල්වල, වාහනවල ලෙඩ නෑ. හැබැයි ඒ ලෙඩ බෝකරන්න පුළුවන් විෂබීජ තියෙනවා. මේ තමා ඇත්ත. 

මානසික කාරණාවලටත් ඒ විදිහටමයි. ධර්මතා ඇත්තටම වෙන් කරන්න බෑ භෞතික ධර්මතා, මානසික ධර්මතා කියා. හරි අමාරුයි. එකක් දෙකක් වෙන්කරලා කියන්න පුළුවන්. හැබැයි පොදුවේ බැලුවාම මේ එකම ධර්මතා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය කායික, මානසික කියා ලොකුවට බෙදන්නත් බෑ. බැලූ බැල්මට එහෙම බෙදුවට මෙය හරියට සංඛ්‍යා රේඛාවක් වගේ. ඔය සංඛ්‍යා රේඛා ඉගැන්නුව කාලේ රේඛාවක් ඇඳලා, මැද බිංදුව දාලා, දකුණු පැත්තතේ ධන එක දෙක තුන හතර කියලා, වම් පැත්තේ ඍණ එක දෙක තුන හතර කියලා, දැන් මෙහෙම හැදුවාම ධන ඍණ කියලා දෙපැත්තක් පේනවා, විරුද්ධ දෙපැත්තක්. හැබැයි ඒ අපි ඉන්න තැන අනුව. මේ එකම රේඛාවක්, තැන් දෙකක් අතර තියෙන්නේ එකම අවකාශයක්, දුරක්. ඒ වගේ, එක පැත්තක් වැඩිවෙනවිට ඔන්න අපි කියනවා භෞතිකයි කියලා, අනිත් පැත්ත වැඩිවෙනකොට අපි කියනවා මානසිකයි කියලා. එවිට හැම මනුෂ්‍ය ජීවිතයකම, භෞතික හැම දෙයක් තුළම, මනස තියෙනවා, මානසික බලපෑම තියෙනවා. ඉතින් මේ රේඛාවේ අනිත් පැත්තට යනවිට ඒ හැම මානසික තීරණයක් සිතිවිල්ලක්, හැඟීමක්, බලාපොරොත්තුවක් තුළම භෞතික බලපෑමකුත් තියෙනවා. භෞතික බලපෑමකට යටත්වුණු මතකයන්, බලාපොරොත්තු, තීරණ, හැඟීම් තමා තියෙන්නේ. ශුද්ධ වූ දෙයක් නෑ. ඒ කියන්නේ සියයට සියයක්ම හෞතිකයි කියන්න පුළුවන් දෙයක් හෝ සියයට සියයක්ම මානසිකයි කිවහැකි කිසිවක් මනුෂ්‍ය ජීවිතයක නෑ. ගඟක, කාන්තාරයක එහෙම තියෙන්න පුළුවන්. හැබැයි මනුෂ්‍ය ජීවිතයක නෑ. ඉතින් මේ කිසියම් චින්තන ස්වභාවයක් විසින් ආරෝපිත කළ අවකාශයක නම් අප ජීවත් වන්නේ, ඒ ආරෝපිතයන්, ආරෝපණයන්, සිතින් සිතකට පනිනවා. ඉතින් මේ ගැන බොහෝ පරික්ෂණ කර තිබෙනවා.

විශේෂිත ..... ඔය Transcendental Meditation (TM) කියන භාවනාව TM කියලා කාලයක් ජනප්‍රිය වුණා, අදත් ජනප්‍රියයි. ලංකාවේ කාලයක් ජනප්‍රිය වූ දෙයක්, රාමක්‍රිෂ්ණ තුමා පටන්ගත්ත දෙයක් මතක හැටියට, හැටගණන්වල වගේ ලෝකයේම ජනප්‍රිය වුණු දෙයක්. හරියට ජනප්‍රිය වුණා, මන්ත්‍ර භාවනාව, මන්ත්‍රයක්, රහස් මන්ත්‍රයක් ඒ ගුරුවරයාගෙන් ඉල්ලගෙන කෙනෙක් නැවත නැවත, නැවත නැවත ඒ මන්ත්‍රය ජපකරනවා. එය තමයි භාවනාව Transcendental Meditation කෙටියෙන් කියනවානම් TM . කියලා. මන්ත්‍ර භාවනාව කියන්නත් පුළුවන්. සාමාන්‍ය මනස ඉක්මවා යන භාවනාව. බැලුවාම විකාරයක් වගේ පේන්නේ. කිසි තේරුමක් නැති  වචනයක් ඔහේ නැවත නැවත, නැවත නැවත ඒ මන්ත්‍රය ඒ වචනය කියනවා කියනවා කියනවා, කටින් හයියෙන් කියනවා හෙමින් කියනවා, සිතින් කියනවා. කාලයක් කිව්වාම සිද්ධි වෙනවා කියා කියනවා. මෙහෙම සිද්ධි වුණාට පස්සේ කියන්නේ ඒ මන්ත්‍රයේ කම්පනයට අනුව තමන්ව, සිත කම්පනය වෙන්න පටන්ගන්නවා කියා. එහෙම කම්පනය වුණාම ඒ කම්පනයට අනුව අවට පරිසරය කම්පනය වෙනවා. ඒ විදිහටයි ඒ කථාව. මෙය හරි ජනප්‍රිය වුණා. තාමත් ඒ භාවනාව හරි ජනප්‍රියයි. මේ ගැන විද්‍යාඥයින් පවා පරික්ෂණ කළා. මේ අය හුඟක් විද්‍යාත්මක පරික්ෂණ එක්ක තමයි මේ භාවනාව ලෝකේ ගෙන ගියේ, එංගලන්තය, ඇමරිකාව වැනි රටවල. ඔය Beatles කියන සංගීත කණ්ඩායමත් මේ භාවනාව පුරුදු වුණා.  Beatles බටහිර සංගීත කණ්ඩායම TM භාවනාව මන්ත්‍ර භාවනාව පුහුණුවීම බටහිර ලෝකයට මේ භාවනාව ප්‍රචලිත වෙන්න එක හේතුවක් වුණා.

කෙසේ හෝ මේ අය ඔප්පු කරනවා මෙහෙම දෙයක්, කොහොමද, ඒ අය තෝරාගන්නවා නගරයක් කොහෙ හරි. ලංකාවේ මේ පරික්ෂණය කර නැහැ. අපි උදාහරණයකට කියමු නුවර නගරය තෝරාගන්නවා කියා. තෝරාගෙන කිසියම් දවසක්, වේලාවක් තෝරාගන්නවා. මේ භාවනාව පුහුණු වූ හැමදෙනාම ඒ වෙලාවේ භාවනාව කරනවා. පැයක් කියමු. හැන්දෑවේ හතරේ ඉඳලා පහ වෙනකම් පැයක් භාවනාව කරනවා. එක තැනකට එකතුවෙලා නෙවෙයි නගරයේ කොහේ හරි ඉන්න තැනක. ඊට පස්සේ මේ අය සංඛ්‍යා ගන්නවා, මොනවාද? අනතුරු, වාහන අනතුරු, අපරාද. අරගෙන ඔප්පු කරනවා ඒ වේලාවේ අනතුරු අඩුවෙලා. වාහන අනතුරු අඩුයි, සාපේක්ෂ වශයෙන් පැයකට වෙන අනතුරු, හතරේ ඉදලා පහවෙනකන් වෙන අනතුරු. ඒ දවසේ වන අනතුරු සාපේක්ෂව අඩුයි. අනතුරු ඇත්තෙම නෑ කියා, අපරාද අඩුයි, අපරාද ඇත්තෙම නෑ කියා, ඒ පරියේෂණ වාර්තා කියෙව්වොත් ඒ කාරණය සනාථවෙයි, කියවන්න ලැබෙයි, පැහැදිලිවෙයි. මෙහෙම පරික්ෂණ ගණනාවක්, එකක් දෙකක් නෙවෙයි සියගණනාවක් කරලා තියෙනවා. හැම පරියේෂණයෙන්ම මෙය ඔප්පුවෙලා තියෙනවා. දැන් ඒ භාවනාව කළේ එක පිරිසක්. ඒ අය නෙවෙයිනේ අපරාධ කරන්නේ, ඒ අය වාහන පැදෙව්වෙත් නෑ, පැත්තක ඉඳලා භාවනා කළා. හැබැයි අර වාහන පදවන අය අතින් වෙනදා වෙන අනතුරු සංඛ්‍යාව අඩු වුණා. අපරාධ කරන අය නෙවෙයි මේ භාවනා කළේ, අපරාධ කරන අය දන්නෙත් නෑ භාවනා කරන බව. නමුත් මොන හේතුවක් නිසා හෝ ඒ අයට අපරාධ කරන්න සිතුණේ නෑ. දැන් මේ පරික්ෂණත් එක්ක මේ භාවනාව හරියට ජනප්‍රියයි.

මෙහෙම පරික්ෂණයක් ඇහුවාම කොහොමත් කොටසක් සැක කරනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මනුෂ්‍යා කියන්නේ මී මැසි ජනපදයක් වැනි දෙයක් නෙවෙයිනේ. එක අතකට, ඒ පැත්තට සියලුම මී මැස්සන් පියාඹන, එහෙම ස්වභාවයක් කුහුඹු ගුලක, කඩි ගුලක වගේ ස්වභාවයක් නෙවෙයිනේ, ස්වාධීන චින්තනයක් තියෙනවා කියා කියනවා. එතකොට ප්‍රශ්න කරනවා, සැක කරනවා, නැහැයි කියනවා, තර්ක කරනවා. එය සාමාන්‍ය ස්වභාවයක්. නමුත් මේක හරි සිත්ගන්නා සුළු කාරණයක්, මේ බලපෑම. හැබැයි බෞද්ධ ඇසින් බලනවිට මෙහි පුදුම වෙන්න දෙයක් නෑ. මොනවාටද පුදුම වෙන්නේ? පට්ච්ඡ සමුප්පාදය අප හැමදාමක් කියනවා, අහලත් තියෙනවා. පටිච්ඡ සමුප්පන්නයි මේ නාම-රූප, විඤ්ඤාණ මේ හැම එකක්ම පටිච්ඡ සමුප්පන්නයි. එකක් නිසා අනික පවතිනවා. එකක් නිසා අනික හැඩගැසෙනවා. එක දෙයක් හැඩ ගැසෙන ආකාරයට ඊලඟ දේ හැඩගැසෙනවා. විඤ්ඤාණය යම් විදිහකටද හැඩ ගැසෙන්නේ ඒ ආකාරයට තමා නාම-රූපය හැඩ ගැසෙන්නේ. නාම-රූප හැඩගැසෙන ආකාරයට තමා, ආයතන හය හැඩ ගැසෙන්නේ. මේ විදිහට බැලුවොත් මෙහි පුදුම වෙන්න දෙයක් නෑ. එහෙම නම් මෙහි වැදගත් කාරණයක් ඉස්මතු වෙනවා, කුමක්ද මේ ප්‍රශ්න නැති ගැටලු නැති ඒවාගේම අර්බුද නැති කාලෙක සිත සන්සුන්, ඒක අනිත් පැත්තනේ. ඒ වාගේම සංසුන් සිතකට පුළුවන් සමජයේ තියෙන අර්බුද අඩු කරන්න. පාරට බැහැලා කෑ ගහලා නෙවෙයි. ඔය පැත්තකට වෙලා භාවනා කරලත් පුළුවනි. බැරි නෑ. මේ විද්‍යාව කියන්නේ ඒවා විද්‍යාත්මක පරීක්ෂණනේ. මෙය දෙපැත්තටම යනවා. 

එහෙම නම් මේ ප්‍රශ්නත් එක්ක සිත එකඟ කරන්න බෑ කියන එක නෙවෙයි ඇත්තටම හපන්කම, මේ වේලාවේ කළයුතු, කළහැකි හොඳම පිංකමක්, අති විශිෂ්ඨ පිංකමක් තමා භාවනා කිරීම. එයට වඩා පිංකමක් ගැන නම් සිතා ගන්න බෑ. තව පිංකම් තියෙනවා. මේ කාලේ කාටත් අමාරුයි. ඉතින්, කෑම බෙදා ගන්න පුළුවන් නම් හොඳයි, බෙහෙත් සොයා ගන්න බැරි අයට ඒවා සොයලා දෙන්න පුළුවන් නම් හරි හොඳයි. එහෙම පිංකම් තියෙනවා. නමුත් ඒ සියලු පිංකම් අතර අති විශිෂ්ඨ වූ මහත් ඵල මහා පිංකම තමා භාවනාව. පැත්තකට වෙලා භාවනා කරන්න කොහේ හිටියත්, ගෙදර හිටියත්, කැලේ හිටියත්. භාවනාව කියන්නේ නිර්මාණයක්, සමථ භාවනාව කියන්නේ නිර්මාණයක්. විදර්ශනාවට එන විට එය නිර්මාණයෙන් එහාට ගිය දෙයක්. නිර්මාණ නොකරන තැනකට විසංකතයකට, අසංකතයකටනේ යන්නේ. එහි නිර්මාණ නෑ. නමුත් සමථ භාවනාවක් ගත්තාම හිතවතුනි, එතනදි කරන්නේ නිර්මාණයක්. කුසල් උපදවනවා, කුසලස්ස සම්පදා. ඒ තමා සමථය. විදර්ශනවට එනවිට තමා සචිත්ත පරියෝ දපනං තමන්ගේ සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්නවා, කිසිම නිර්මාණයක් නොවෙන තැනකට. මොනවත්ම ඒ සිතින් කර්ම නිෂ්පාදනය වෙන්නේ නෑ. නමුත් එයට කළින් කුසලස්ස උපසම්පදා. කුසල් නිර්මාණය කරන්න පටන් ගන්නවා සමථයේදී. වඩ වඩාත් කුසල සිතිවිලි අවැසි යුගයක්, අවැසි කාලයක්. මේ රටින් මේ පොළොවෙන් අප බොහෝ දේ ලබා ගත්තා. ඒ ණය මාදන්නෑ කොහොම ගෙවන්න පුළුවන් වෙයිද කියා. හැබැයි ඒ ණයෙන් ටිකක් හරි ගෙවෙනවා මේ කුසල් සිතිවිලි මේ අපේ පොළොවට මේ අපේ අහසට මුදාහරින්න පුළුවන් නම්.

එමෙන්ම ඕනම කෙනෙකුට, පිරිසක් එකතුකරගෙන අර පරික්ෂණය ලංකාවෙත් කර බලන්න පුළුවන්. මුලින්ම පොලිසියෙන්, රෝහල්වලින්, සංඛ්‍යා ලේඛන ටිකක් අරගෙන, අපරාධ වුණු, රිය අනතුරු වුණු. ඒ සංඛ්‍යා ලේඛන අරගෙන ඒවා අඩු දවස්, වැඩි දවස්, අඩු වේලාවල්, වැඩි වේලාවල් තියෙනවානේ, සාමාන්‍ය අගයක් තියෙනවා මාසෙක වෙන අනතුරුවල, අපරාධවල සාමාන්‍ය අගයක් තියෙනවා. ඒ අගය දශම ගාණකින් එහා මෙහා වීම නෙවෙයි. කිසියම් පිරිසක් භාවනාව පුහුණුවෙලා, හැමදාම මාසයක් විතර එක වේලාවක, එක ගමක, එක නගරයක, එක පළාතක, භාවනා කළොත්, බලන්න පුළුවන් ඒ මාසේ වෙනසක් වෙනවාද කියා.

ඉතින් මෙය ගෙවල් ඇතුළේ නම් බොහෝ අය අත්දකිනවා. ගෙදර ලොකු වෙනසක් වුණ බව, රස්සාව කරන තැන ලොකු වෙනසක් වුණු බව, මේ එක්කෙනෙක් භාවනා කරලා. ඒ බව අපට බොහොම සතුටින් බොහෝ දෙනෙක් කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ටිකක් එහාට ගෙනියන්න. එහාට ගෙනයන්නත් පුළුවනි. පටන්ගන්න තියෙන්නේ සිතෙන්. සිතින් පටන් ගන්න. සත්තු පටන් ගන්නේ පරිසරයෙන්, මිනිස්සු පටන් ගන්නේ සිතෙන්. එය තමා මනුෂ්‍ය හා තිරිසන් අතර හඳුනාගන්න පුළුවන් පැහැදිලි වෙනස. මනුෂ්‍යයා පරිසරය වෙනස් කරනවා. පරිසරයට අනුව සත්තු වෙනස් වෙනවා. එමනිසා අපට ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මනුස්සයෙක් වෙන්නත් පුළුවන්, සතෙක් වෙන්නත් පුළුවන්.

භාවනා යෝගීන් දෙදෙනෙකු භාවනා වැඩසටහනක අතර මැද ලැබුණු විවේකයෙදි විරාමයෙදි, එළියෙදි මළුවෙදි ඇතිවුණු දෙබසක් ගැන අප අසා තිබෙනවා. මෙය ජනප්‍රිය කතාවක්.

 උඩ බලලා එක යෝගියෙකු කියනවා, “ඔබට පෙනෙනවාද අර සෙලවෙන කොඩිය?” පන්සලේ උඩ කොඩිය, බෞද්ධ කොඩියක් වෙන්න ඇති, එල්ලා තියෙනවා. “ඒ සෙලවෙන කොඩිය පෙනෙනවාද?” 

එවිට අනිත් යෝගියා කියනවා “සෙලවෙන්නේ කොඩිය නෙවෙයි සුළඟයි, සුළඟයි සෙලවෙන්නේ”. 

මුල් යෝගියා කියනවා “ඔබට සුළඟ පේන්නේ නෑනේ, ඔය පේන්නේ කොඩිය, ඔබට සෙලවෙනවා පේන්නේ කොඩිය”.

 සුළඟ සෙලවෙනවා කියු යෝගියා කියනවා “හරි කොඩිය සෙලවුනාට කොඩිය සෙලවෙන්නේ සුළඟ නිසානේ” “ඒ නිසා සෙලවෙන සුළඟ තමයි අප බලන්න ඕනේ”. මෙසේ මේ දෙන්නාට නිශ්චිත නිගමනයකට එන්නට බැරිවුණා. ගුරුවරයාට ගිහිල්ලා කිව්වා. එපමණටම මේ සෙලවෙන්නේ සුළඟද කොඩියද කියන ගැටලුව හිසරදයක් නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් බවට පත්වුනා. ඒ නිසානේ ගුරුවරයාගෙන් අහන්න ඇත්තේ. ගුරුවරයාගෙන් ඇහුවා

 “අර කොඩිය සෙලවෙනවා” එතකෙට මේ යෝගියා, යාළුවා කියනවා “නෑ ඒ සුළඟයි සෙලවෙන්නේ” කියා. “මටනම් පේන්නේ කොඩිය සෙලවෙනවා කියා, මෙයාට පේනවා සුළඟ සෙලවෙනවා කියා, ඇත්තටම පේන්නේ සුළඟ සෙලවෙනවාද කොඩිය සෙලවෙනවාද?” එතනදි ගුරුවරයා කියු කතාව අහලත් ඇති සිතා ගන්නත් පුළුවන්.

 “කොඩියත් නෙවෙයි, සුළඟත් නෙවෙයි සෙලවෙන්නේ ඔබේ සිත්”.

 දැක්ක දේ දුටු දේ නිසා ලොකු ප්‍රශ්නයක් හදා ගත්තා. නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් හදා ගත්තා. දැන් ඒ චලනය වන්නේ සිත. සිත තමයි එහාට මෙහාට පෙරළෙන්නේ, නීවරණයක් විචිකිච්ඡාවක් එක්ක, එහෙම නම් දැන් ප්‍රශ්නේ මේ සිතේ චලනය නවත්වන්න. කොඩිය නිශ්චල කරන්න ඕනෙද? සුළඟ නවත්වන්න ඕනෙද? දැන් කොඩියයි සෙලවෙන්නේ කියා කියු කෙනා සිතනවා “ආ එහෙනම් මගේ සිත නිශ්චල කරගන්න, ඒකාග්‍ර කරගන්න, නොසෙල්වී තබා ගන්න නම්, කොඩිය සෙලවෙන්න නොදී, කොහේ හරි හිරකරලා ඇණ ගහලා තිබ්බානම් හරි.” සුළඟ සෙලවෙනවා කියු කෙනා සිතනවා, “එහෙනම් මගේ සිත නිශ්චල කරගන්න නම් සුළඟ නවත්වන්න ඕනේ, සුළං හමන්නේ නැතිවෙන්න මොනවා හරි ආවරණයක් දාන්න ඕනේ. එහෙම දැම්මොත් නවතියි. එතකොට තමන්ගේ සිතත් නිශ්චලවෙයි.”

හිතවතුනි, ඒ විදිහට සිතක් නිශ්චල කරන්න බෑ. මේ සුළං හැම පැත්තෙන්ම හමනවා. ඒ සුළං වලට අසුවන දේවල් ගසාගෙන යනවා. එහාට මෙහාට ඇඹරෙනවා. ඒ පැත්තට මේ පැත්තට පෙරළෙනවා. ඒ තමා හේතුඵල වාදය. මේ සුළඟක් හමන විට, දේවල් ගසාගෙන යෑම, ඉලිප්පීම, හැකිලීම, පෙරළීම සිදුවෙනවා. මොකක්ද පුදුම වෙන්න තියෙන්නේ? එහි තිබෙනවාද පුදුම වෙන්න යමක්. පුදුම වෙන්න ඕනේ සුළඟක් හමන විට කිසිම දෙයක් වූනේ නැත්නම්. ඒ හමන සුළඟේ වේගය හා කොපමණ වේලාවක් හමනවාද කියන සාධක දෙක ‍උඩ තීරණය වෙනවා මොන විදිහේ පෙරළීමක්ද වෙන්නේ කියා. සාමාන්‍ය සුළඟක් නම් ඔය වනලා තියෙන ලේන්සුවක් සුළඟේ යයි. හැබැයි ලොකු ඇඳ ඇතිරිල්ලක් බ්ලැන්කට් එකක් වගේ දෙයක් සුළඟේ යන එකක් නෑ. නමුත් එයට වැඩි සුළඟක් වැඩි වේලාවක් තිබුණොත් ඒ දේවලුත් ගහගෙන යන්න පුළුවන්. ඊටත් වැඩි සුළඟක් ආවොත් වහළවල් වුණත් ගසාගෙන යන්න පුළුවනි. වාහන අනිත් පැත්තට පෙරළෙන්නත් පුළුවනි. ගෙවල් වුණත් ගසාගෙන යන්න පුළුවන්. එහෙම වුණාම පුදුම වෙනවා. කම්මුලේ අත තියාගෙන පුදුම වෙනවා “මෙහෙම වුණා අයියෝ හරි පුදුමයි”. එහෙම පුදුම වෙන්නේ සුළඟ හමන බව නොදුටු නිසා. එතකොට සුළඟ හේතුවනේ. සුළං හමන බව කලින්ම දැක්කා නම්, ඒ වේගයත් කලින් දැනුනා නම්, ප්‍රතිඵල නරක වුණත්, එයින් ලොකු හානියක් වුණත්, පුදුම වෙන්න දෙයක් නෑ. 

හේතුඵල සම්බන්ධය අවබෝධකර ගත්ත කෙනාව පුදුමයට පත් කරන්න බෑ, කිසිම දෙයකින් පුදුමයට විශ්මයට පත්කරන්න බෑ. මොකද හැම විටම හේතු දකිමින් ඉන්නේ. හේතු එකතුවන විට නිශ්චිත ඵලය කලින්ම කියන්න පුළුවන්. මේ විදිහට හේතු එකතුවන විට සියයට සියයක් කෙසේ වෙතත්, මෙන්න මෙහෙම පෙරළියක් වෙන්න පුළුවන්, එන සුළඟ අනුව, සුළඟේ දිශාව අනුව, මේ පැත්තේ තියෙන දේවල් ගහගෙන යන්න පුළුවන් කියා, අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. නමුත් අන්ධව සිටි කෙනෙක් මේවා එකපාරටම පෙරළෙනවා දැක්කාම පුදුම වෙනවා, කොහොමද මෙහෙම වුණේ, හරි පුදුමයි. ඒ අර ප්‍රතිඵල විතරක්, සිදුවීම් විතරක් දකින කෙනා. දකින්නේ එයා සිදුවීම පමණයි. සාධක නොවෙයි. හේතු නොවෙයි. මේ කිසිම දෙයක පුදුම වෙන්න දෙයක් නෑ. එයින් කියවෙන්නේ නෑ අනිවාර්යෙන්ම විය යුතුමයි කියා. එහෙම ප්‍රාර්ථනයක් නෙවෙයි නමුත් පුදුම වෙන්න දෙයක් නෑ. කාලයක් තිස්සේ හේතු එකතු වෙමින් එකතු වෙමින් එකතු වෙමින් ආවා. එකතු කරමින් එකතු කරමින් එකතු කරමිනුත් ආවා. හරියට අහස් වෙඩිල්ලක් වගේ. පුරවමින් කොටමින්, පුරවමින් කොටමින්, පුරවමින් කොටමින් ආවා.

මෙබඳු අවස්ථාවක තමා භාවිත මනසේ අවශ්‍යතාවය හා වැදගත්කම වඩාත් අවධාරණය වන්නේ. වෙන කවර කලකටත් වඩා. එක් පැත්තකින් කම්පනයට පත් නොවි ඉන්න. අනිත් පැත්තෙන් මේ කුණාටුවට අසුව ගසාගෙන යන්නේ නැතිව ඉන්න. තුන්වෙනි කාරණය අප ගසාගෙන යන්නේ නැත්නම් ගසාගෙන යන තවත් එක්කෙනෙක් දෙන්නෙක් හරි නවත්ත ගන්න පුළුවන්. අප නැවතුණොත් තවත් අය නවත්ත ගන්න පුළුවනි. හේතු සියල්ල එකතුවෙලා ප්‍රතිඵලයක් ආවේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕනේ. හොඳට අව්ව පායලා තියෙන වේලාවක, අහසේ එකම වලාකුළක් නැති වේලාවක, එක පාරට වැස්සොත් අන්න එය නම් පුදුම වෙන්න කාරණයක්. අහසේ වැහි වලාකුළු එකක්වත් නෑ, වහිනවා. 

නමුත් උදේ සිට කළු වලාකුළු මෝදුවෙමින්, මුදුනට එකතු වෙමින්, අහස කළු පාට වෙමින්, වැහි වලාකුළු වලින් පිරෙමින්, විදුලි කොටමින්, එහෙම හේතු, පෙරනිමිති පෙන්වලා හැන්දෑවට හරි රෑට හරි වැස්සොත්, එහි කුමක්ද පුදුම වෙන්න තියෙන්නේ?  පුදුම වෙන්න තියෙන්නේ අර සියල්ල ඇහුනෙත් නැත්නම් දැක්කෙත් නැත්නම්. අන්ධනම්, බිහිරිනම් සහ ඇඟට දැනුනේ නැත්නම් මේ වායු පීඩනය නිසා දැනෙන රස්නේ, එහෙම නම් එකපාරට වහින කොට පුදුම වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇස් තිබුණත්, කන් තිබුණත්, ඇඟට සංවේදි වුණත්, ඒවා ගණන් ගන්නේ නැතිව සිටියානම්, වෙන ලෝකෙක නම් සිටියේ, එකපාරට වහින කොට ඒත් පුදුම වෙනවා. මේ හේතු පේනවිට කොයිවෙලේ හෝ වහින්න පුළුවන් බව දන්නවා. හරියටම වේලාව කියන්න බැරි වුණත්, හරියටම මිලිමීටර් කීයක වැස්සක් ද කියන්න  බැරි වුණත්, අද වහින්න ඉඩ තියෙන බව දන්නවා. ඒ නිසා දුර ගමන් යන්නේ නෑ. ගියත් කුඩයක් අරගෙන යයි. වේලෙන්න දාලා තියෙන රෙදි ඇතුළට ගනියි. වේලෙන්න දාලා තියෙන වී ටික මිරිස් ටික ඇතුළට ගනියි. අනිත් අයටත් කියයි ලොකු වැස්සක් එනවා. ඒ අය කියයි “නෑ, අම්මේ, නෑ තාත්තේ මොන වැස්සක්ද මේ හොඳට පායලා තියෙන්නේ”, ඒ අයට පේන්නේ නෑ. නමුත් වැස්සක් එන නිසා ගේ ඇතුළට වෙලා ඉන්නවා.

මේ පණිවිඩය නේ දෙනවා කියන්නේ මෘගසන් වරුසාවට කලින් දෙවියන් ඇවිත්, “ගෙවල් ඇතුළට වෙලා ඉන්න”. අහන්නේ ටික දෙනයි, පොතේ නම් තියෙන්නේ එහෙමයි, අහන්නේ ටිකදෙනයි. “මොන පිස්සුද එහෙමත් වහිනවාද” හැබැයි ඒ වැස්සට තෙමුණාම මේ දෙවියන් ඇවිත් එහෙම කියු බව මතකත් නෑ. ඒ තමා පළමුවෙනි කාරණය සිහිබුද්ධිය නැතිවෙලා යනවා. ඒ මුරුගසන් වරුසාවට අසුවුණාම මුලින්ම වෙන්නේ සිහිබුද්ධිය නැතිවීම . එතෙන්දි හරි මතක් වෙනවානම් මෙහෙම අනාවැකියක් දෙවියන් ඇවිත් අපිට කිව්වානේ, ඒ නිසා දැන් තෙමුණත් කමක් නෑ, මුරුග සිතුවිලි එන්න කලින්, සංඥාව එන්න කලින් ඉක්මනින් ගේ ඇතුළට යන්න ඕනේ කියලා යන්න පුළුවන්නේ. හැබැයි එහෙම යන්න අමාරුයි. ඒ වැස්සට තෙමුණාම මුලින්ම වෙන්නේ සිහිබුද්ධිය නැති වෙනවා. ඉන් පසුව තමන් කවුද මතක නෑ. සිහිබුද්ධිය නැති වුණු සැනින්ම තමන් කවුද කියලා තමන්ට අමතක වෙනවා. තමන් කවුද සිංහල ද, බෞද්ධ ද, කතෝලික ද, මොන ආගමද අදහන්නේ, කී පාරක් පන්සල් ගියාද, බණ ඇසුවාද, දන් දුන්නාද, අනිත් සියල්ල පැත්තකින් තියන්න, කී වතාවක් පන්සිල් ගත්තාද කියන කාරණයවත් මතක නෑ. ඒ ඔක්කොම අමතක වෙලා යනවා. තමන්ව අමතක වෙලා යනවා. තමන්ගේ නම නොවෙයි, රැකියාව නොවෙයි, මේ කාරණා අමතක වෙලා යනවා. අනිත් අය ගැන අමතක වෙන එක පුදුමයක් නොවේ. ඒ මට්ටමට සිහිබුද්ධිය නැති වුණාම අනිත් කෙනා මනුෂ්‍යයෙක් කියන හැඟීමවත් එන්නේ නෑ. ඉතින් අනිත් අයටත් ඒ වගේ. හැමෝටම හැමෝම පේන්නේ සතුරන් විදිහට. තමන්ව විනාශ කරන්න එන අය විදිහට. ඇත්ත එය නොවෙයි. 

මේ අවකාශයේ තිබෙන ඒ මෘග සංඥාවෙන් දියබත් වුණාම, හෙම්බත් වුණාම, සිහිබුද්ධිය නැති වුණාම, බේරෙන්න ඕනේ හිතවතුනි මෘග සංඥාවෙන් මිස වෙන කාගෙන්වත් නෙවෙයි. අප බේරෙන්නට ඕනේ අපේ සිත්වල පහළවන මෘග සංඥාවෙන්. හැබැයි මෘග සංඥාව ඇතිවෙලා සිහිබුද්ධිය නැතිවුණාම සිතෙන පළමුවෙනි කාරණය අනිත් අයගෙන් තමයි අප බේරෙන්න ඕනේ, ඒ අය අපව විනාශ කරනවා, එයට කලින් ආත්මා’රක්ෂාව පිණිස අප ඒ අය විනාශ කරන්න ඕනේ කියා සිතෙනවා. හැමෝම මෙහෙම සිතන්න ගියාම එතැන මොනවගේ තත්ත්වයක් එයිද කියා සිතාගන්න පුළුවන්නේ. එක් කෙනෙකුට එහෙම සිතෙනවා නම්, අනිත් අයට එහෙම සිතෙන්නේ නැත්නම්, එයාව බැඳලා දාලා හරි තියන්න පුළුවන්. හැබැයි එළියට බැස්ස හැමෝටම එහෙම සිතෙන්න පටන් ගත්තොත් කාගේ සරණක් ද? කාගේ පිහිටක් ද? මෘග සංඥාව අවකාශයේ තිබෙනවා. එයින් සිත් ආරෝපණය වුණොත් පළමුවෙන්ම නැතිව යන්නේ සිහිබුද්ධිය. තමන් කවුද කියන කාරණය, තමන් කවුද කියා තමන් දන්නේ නැත්නම්, තමන්ට තමන්ව හඳුනා ගන්න බැරිවෙන කොට අනිත් අය කොහොමද හඳුනා ගන්නේ?  

මේ කතන්දරේ තව දිග-පළලට කියන්නත් පුළුවනි, අහන් ඉන්නත් පුළුවනි, සිතන්නත් පුළුවනි, නමුත් මෙහි පණිවිඩය සරලයි. එකක් තමා ‘පුදුම වෙන්න දෙයක් නෑ’. යාන්තම් වලාකුළක් දෙකක් මෝදුවෙන්න පටන් ගන්න කොටම සිතාගන්න තිබුණා මේකට තව වලාකුළු එකතු වුණොත්, අකුණු ගහලා, හෙණ ගහලා පුපුරලා, මේ මුරුගසන් වරුසාව වහියි කියලා, මේකට නොතෙමී ඉන්න ඕනේ කියන කාරණය, පුළුවන් අය පරෙස්සම් කරන්න ඕනේ කියන කාරණය හා මේ වැස්සට අසුවුණු අය කෙරෙහි ලොකු අනුකම්පාවක් අතිවෙන්න ඕනේ. ඇත්තටම ඒ අය කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇතිවෙන්න ඕනේ. ඒ අයගේ වරදක් නොවෙයි. එකම වරද ඒ අයගේ සිහිබුද්ධිය නැති කරතැනීම. එය ලොකු වරදක්. ඒත් කවුරුවත් දඬුවම් දෙන්න ඕනේ නෑ ඒ වරදට, සමාව දෙන්න ඕනේ වරදක්. අපත් හැකි පමණින් සිහිබුද්ධිය ඇති කරගෙන, අන් අයටත් සිහිබුද්ධියේ යාන්ත්‍රණය ආදර්ශයෙන් පෙන්නලා දෙන්න, ‘ආදර්ශයෙන්’, කථාවෙන්ම නොවෙයි, ආදර්ශයෙන් පේන්න, ඇහෙන්න, දැනෙන්න සලස්වන්න පුළුවන් නම්, එය යුගයේ යුතුකමක් වගකීමක්. එය රාජකාරියක් නොවේ, දේව කාරියක් ද නොවේ, බුද්ධ කාර්‍යයක් අප ඉටු කරන්නේ. අප ඉටු කළයුත්තේ ඒ බුද්ධ කාර්යයයි, ආදරයෙන්, කරුණාවෙන් හා මෛත්‍රියෙන්. ඒ සිතුවිල්ලත් සමඟ අපි ටික වේලාවකට නිහඬ වෙමු. නිසල වෙමු.

ඒ ආදරණිය කරුණාව, මෛත්‍රිය, මෘග සංඥාවට අසුවුණු, අසුවෙන සියළුම දෙනා කෙරෙහි ඇතිකරගන්න පුළුවන්ද බලමු, අපේ සිහිබුද්ධිය නැති කරගන්නේ නැතිව.

භාවනාව

මෘග සිතුවිලි සංඥා, මෘග සංඥා විදිහට හඳුනා ගන්නට තරම් සිහිබුද්ධියක්

“මෘග සංඥාවෙන් සංඥාවූ හැමදෙනාටම තමන් මනුෂ්‍යයන් කියන ඒ මිනිස් සංඥාව හඳුනා ගැනීමට තරම් සිහිබුද්ධියක් පහළ වේවා!” කියා අපට ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ප්‍රර්ථනා කරන්න පුළුවන්ද?

දුක සංඥා ඉවත් වේවා! මනුෂ්‍ය සංඥාම පහළවේවා!

මේවා තේරුම් බේරුම් කරගන්නට තරම් සිහිකල්පනාවක් ඇතිවේවා!

ඒ හේතුවාදි යථාර්තවාදි සුබ පැතුමත් සමඟ සාකච්ඡාවට පිවිසෙමු. අහන්න, කියන්න මේ අවස්ථාව.  

සාකච්ඡාව

ප්‍ර : භාවනා යෝගීන්ට තියෙන ලොකු අභියෝගයක් තමයි මේ දේශනයෙන් කියවෙන්නේ කියලා හිතෙනවා. එක පැත්තකින් සමාජයේ වෙන හැලහැප්පීම් තේරුම් ගන්න වෙනවා. ඒවා තේරුම් ගත්තේ නැත්නම් අපි විසින් කළ යුතු යුතුකම් හා වගකීම් හරියට කරන්න බැරිව යනවා. නමුත් ඒක තේරුම් ගන්න ගියාම එහිම ගොදුරක් බවට පරිවර්තනය වන ගතියක් දැනෙනවා. කොහොමද ඒක වෙන්කර හඳුනාගන්නේ?. භාවනා නොකරන කෙනෙකුට මේ අභියෝගය සමහරවිට නොඑන්න පුළුවන්, මොකද එයාගේ ඉලක්කය සමහර විට පැහැදිලියි. නමුත් අපට ද්විත්ව වගකීම් තියනවා, එකක් සමාජ වගකීම් අනිත් කාරණය අපි යන අධ්‍යාත්මික ගමන. ඒ දේ කරන්නේ කොහොමද?

පි : ඒක ලොකු අභියෝගයක්. ඔබතුමා කිව් විදියට ඒ ප්‍රශ්නය සාමාන්‍ය කෙනෙකුට උග්‍රව දැනෙන්නේ නෑ, මොකද එයාට ආධ්‍යාත්මික ඉලක්කයක් නැති නිසා, තියෙන්නේ ලෞකික භෞතික ආධ්‍යාත්මික ඉලක්ක පමණයි. ඒවා ඔක්කොම එකට යන දේවල්. එම නිසා ඔය ඇතුලේ තියෙන ඝට්ටනය නෑ. මේ  කාරණය උපමාවකින් පැහැදිලි කරනවානම්, කෙනෙක් මඩේ එරෙනවා කියා හිතන්න. තමන්ට මේකෙන් ගොඩ එන්න ඕනකම තියන කෙනා, මෙහෙම ගියොත් සම්පූර්ණයෙන්ම මඩේ එරිලා ගිලිලා යනවා එයට කලින් ගොඩ එන්න ඕන කියා හිතන කෙනා ජීවිතේ පලවෙනි තැන දෙන්නේ එළියට එන්න. තව තව එරෙන්නේ නැතිව ගොඩ එන්නයි උත්සාහ කරන්නේ. ඒ අතරේ අනෙකුත් අත්‍යාවශ්‍ය දේවල් පමණක් ( වතුර, කෑම ) කරනවා, නමුත් වැඩිම අවධානය තියාගන්නේ තව තවත් එරෙන්නේ නැතිව ගොඩට එන්නයි. එහෙම නැතිව දවසේ වැඩි වෙලාවක් මේක තුළ දඟලලා තව තවත් එරිලා ඉතුරු වෙන්න ටික වෙලාවෙන් ඒ එරුණු ටිකෙන් ආයෙ ගොඩට එන්න උත්සාහ කරනවා නම් ඒකෙ කිසි තේරුමක් නෑ, ප්‍රතිඵලයක් නෑ, ගොඩ එන්න උත්සාහ කරන වෙලාවට ලැබෙන පුංචි සහනයක් පමණයි. හැබැයි කෙනෙකු ඉන්නවනම් එරෙන බව දන්නෙත් නෑ, නහයෙන් පහලට එරුණාට පස්සේ මැරෙන බව දන්නෙත් නෑ, උපන්නෙත් මේ මඩ වලේමයි, ඉපදෙන විට අනෙක් අය හිටියෙත් මේ මඩ වලේමයි, එහෙම කෙනාට මෙහි අනතුරක් පේන්නේ නෑ, ප්‍රශ්ණයක් නෑ. ඉතින් මඩ ඇතුලේ තියෙන දේවල් වැඩි කොටසක් අයිති කරගන්න බලනවා. ඒ සඳහා පොර කනවා. සදාකාලිකවම ඉන්න ලැබෙනවා කියා හිතනවා. නමුත් කොච්චර ගොඩගහ ගත්තත් ඒ එකක්වත් වැඩක් වෙන්නෙ නෑ, නහය ගාවට එරුන ගමන් ඉවරයි. ඒ වෙනුවට ඔලුව උඩ ගොඩගහගන්න ගොඩගහගන්න එරෙන වේගය වැඩි වෙනවා. ඒ බව දන්නේ නැති කෙනා තව තව පටවා ගන්නවා. 

අල්පේච්ඡ ජීවිතයට එන්නේ මේ කාරණය තේරුම් ගත් පසුවයි. එය සතුටින් ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්නේ එවිටයි. එහෙම නැතිනම් අල්පේච්ඡ උනත් එහි සතුටක් නෑ, එරෙන බව තේරුම් ගත්තාම අල්පේච්ඡ බවේ සතුටක් තියෙනවා, මොකද අල්පේච්ඡ වෙන්න වෙන්න බර අඩුයි එරෙන ප්‍රමාණය අඩුයි ගොඩ යන්න පහසුයි. එරෙන ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන හේතුවක් තමයි කොපමණ දේවල් බරට අරගෙන තියෙනවද කියන එක, එකතු කරගෙන රැස් කරගෙන ඔලුව උඩ තියාගෙන ඉන්නවද කියන එක. ඒවා අඩු නම් ගොඩ එන්න ලේසියි.

ඔන්න, අල්පේච්චකම තුළ අනිත් අයට ආදර්ශයක් දෙන්න පුළුවන්. මෙය වැදගත් කාරණයක්. අප සමාජ කල්ගත කළ යුතු දේවල් ( කතාවෙන්, ලිවීමෙන් සහ ආදර්ශයෙන්) තියෙනවා. අප සමාජගත කරන්නේ වැඩි වැඩියෙන් පරිභෝජනය කරලා තියෙනවද කියන අදහස නම් අපි අල්පේච්ඡතාවය නොවෙයි සමාජගත කරන්නේ. එතැනදී අප කරන්නේ තවතවත් මිනිස්සුන්ව  එරවන එක, එරෙන්න උදව්වීම. ඒ වෙනුවට අප සැහැල්ලු වෙන්න උදව් කරන්න ඕන. කෙනෙකු සමග කතා කරද්දි තමන්ගේ අල්පේච්චතාවය ගැන කියන්න පුළුවන්, අහංකාරයෙන් නොවෙයි, එහි තියෙන ආර්ථික සුවය මානසික සුවය විවේකය ගැන කියන්න පුළුවන්, නිරෝගී කම ගැන කතා කරන්න පුළුවන්. දැන් මේවා තමයි කතා කරන්න ඕන.

අපට කරන්න යුතුකමක් තියෙනවා. ඔක්කොම මඩවලේ තමයි ඉන්නේ. හැබැයි ඒ අයට තව බර පටවනවා වෙනුවට පටවාගත් බර අත්හරින්න පටවා නොගත් බර පටවා නොගෙන ඉන්න අප ආදර්ශයෙන් සහ වචනයෙන් උදව් කරන්න ඕනේ. එය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. හැබැයි ඒ අය ගොඩට ගන්න නම් අපට බෑ. එරෙන කෙනෙක් අප අත් දෙකෙන් උස්සන්න ගියොත් අපත් එරෙන එක තමයි වෙන්නේ, එතකොට දෙන්නාම එරෙනවා. ඒ උදව්ව සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් වෙන්නේ අප එරෙන්නේ නැති තැනකට ආවොත් තමයි. ස්ථාවර භූමියකට ආවොත් එතන ඉඳන් අපට පුලුවනි ගොඩ එන්න උත්සාහ කරන කීප දෙනෙකුට උදව් වෙන්න. අපත් ඇතුලෙ ඉඳන් අනිත් අය ගොඩට ගන්න උත්සහ කරන එක තුළ වෙන්නේ දෙගොල්ලෝම එරෙන එක පමණයි. ඒ නිසා තමයි බෝධිසත්වයෙක්ගේ අධිෂ්ඨානය “තමන් එතෙර වී අනිත් අය එතෙර කරනවා” කියන එක.

බෝධිසත්ව සංකල්පය මහායාන බුදු දහමින් තමයි ඇවිත් තියෙනවා කියා පිළිගන්නේ. ථේරවාදය ඒ සංකල්පය එයට උචිත විදිහට හැදුවා. මහායාන බෝධිසත්ව සංකල්පය තමයි “සියලුම සත්වයන් සසරින් එතෙර වෙන තුරු තමන් සංසාරයේ ඉන්නවා, ඒ අයට එතෙර වෙන්න මග කියා දීලා අවසානයේදී තමයි තමුනුත් එතෙර වෙන්නේ”. එය පහසු නෑනේ. එයට සීමාවක් නැති කරුණාවක් ඕන. හැබැයි ඒක කාට කවදා කරන්න පුළුවන් වෙයිද කියන එක දන්නේ නෑනේ. නමුත් “තමන් එතෙර වී අනිත් අයත් එතෙර කරවීම” කියන ථේරවාදී බෝධිසත්ව සංකල්පය ප්‍රායෝගිකයි.

ඉතින් මේ විදිහට සමබර කරගැනීම තමයි අපි කරන්න ඕන. හැසිරීම පැත්තෙන් අපි ආදර්ශයක් දෙන්න ඕන, විශේෂයෙන් අල්පේච්ඡතාවය ඉවසීම සිහිබුද්ධිය මේවා සමාජගත කරන්න ඕන.

ප්‍ර : බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදීත් විවිධ අර්බුද තිබුණා කියලා අප අහලා තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රාන්ත අතර තිබුණු ජල ප්‍රශ්නය වගේ දේවල්. බුදුන් වහන්සේ මැදිහත්වීමෙන් ඒ ගැටලු විසඳා ගත්තා. ඒ වගේ ආදර්ශ ටිකක් අපි එකතු කරගත්තොත් වර්තමාන සමාජයට හොඳ ගැම්මක් එන්න පුළුවන් නේද? 

පි :ඒ අඩුව තමයි අපට හොඳටම පේන්නේ, මොකක්ද, අද සමාජයට ආධ්‍යාත්මික නායකත්වයක් නැතිකම, ඒ අඩුව තියෙනවා, ආගමික නායකත්වයක් නෙමේ, ආගමීක නායකයන්ට සිටිනවා. ඒ අඩුව දවසින් දෙකෙන් පිරෙන එකක් නම් නෑ. ආධ්‍යාත්මික පෞර්ෂයක් ගොඩනැගෙන්න අවශ්‍ය පාරසරික සාමාජික කාරණා අප හිතාමතාම වගේ විනාශ කරලා තියෙනවා, ‍අධ්‍යාපනයෙන් ආර්ථික ක්‍රමයෙන් දේශපාලනික ක්‍රමයෙන් ආගමික පැත්තෙන් හැම පැත්තෙන්ම විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා මේ මෑත අනාගතයේදී නම්, එහෙම කවුරු මොනවා කිව්වත් කවුරු හරි පහළ වෙයි කියලා, එහෙම හිතන්න බෑ. හැබැයි එහෙම කියලා කල් දාන්නත් බෑ, පුලු පුලුවන් විදියට අප උත්සාහ කළයුතුයි.

දැන්  ප්‍රාන්ත අතර ඇතිවුණු ජල ප්‍රශ්නයේදී බුදුන් වහන්සේට මැදිහත් වෙන්න පුළුවන් වුනේ උන්වහන්සේට තිබුණු පෞරුෂය නිසා. උන්වහන්සේ වටිනාකම දුන්නේ ජීවිතයට සජීවී බවට, භෞතික දේට නොවෙයි. ඉතින් උන්වහන්සේ ඇහුවා “වැඩිය වටින්නේ සජීවී බවද? වතුරද?, ජීවිතයද? වතුරද?, කාගෙවත් ජීවිතය නොවේ, ඔබේ ජීවිතයද? නැත්නම් වතුරද?, මොකද මේ යුද්ධයේදී ඔබේ ජීවිතය නැති වෙන්නත් පුළුවන්, ඉතින් ඔබ මැරිල මේ වතුරෙ තියෙන වටිනාකම මොකක්ද? ” එහෙම ප්‍රශ්ණයක් අහන තරමට එහෙම තැනකට යන්නේ කවුරුන්ද?. හොඳට බලන්න, අද වෙන්නේ පැත්තක් ගන්නවා මිසක් හරි මැදට ගිහිල්ලා දෙපැත්තටම සාධාරණයක් වෙන විදිහට දෙපැත්තේම හදවත් වල ආත්මීය අවශ්‍යතාවයන්ට ආමන්ත්‍රණය වීමක් වෙන්නෙ නෑනෙ. එහෙම කරන්න නම් ඉතින් නොබැඳුණු කෙනෙක් වෙන්නම ඕන. 

මේ සියල්ල අතර අපට අනාගතයක් කියා දෙයක් තියෙනවා නම් ඒ තියෙන්නේ අපේ ළමයින්ට. ඒ නිසා මේ ළමයින්ට ආධ්‍යාත්මික පෞරුෂය පිළිබඳ පණිවිඩය දෙන්න, ආධ්‍යාත්මික පෞරුෂයක් තියන කෙනෙක් වෙන්න. පෞරුෂය ගැන වැඩිය කතා කරන්නේ නැහැ කොහෙවත්. ගෙදර කතා කෙරෙන්නේ නෑ පෞරුෂය ගැන. පෞරුෂය කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ. පාසල් වලත් හරිම පටු අදහසකට ගෙනත් තියෙන්නේ පෞරුෂය. ඊට වැඩිය elocution වලට වටිනාකමක් තියෙනවා, හැමදේටම ඊට වඩා වටිනාකමක් තියෙනවා. ඒ නිසා හැමදේම තියෙන එනමුත්  පෞරුෂය නැති සමාජයක් තමා ඇති වෙලා තියෙන්නේ. නැහැ, ඒ ළමයින්ට ඒ පෞරුෂය සංවේදීභාවය සෞන්දර්යය මේ කාරණා හඳුන්වා දෙන්න. මේ තමා ආගම, ආගමික වටිනාකමක් එන්නේ මේවායෙන්. ඉතින් එතනින් පටන් ගත්තොත් නම්, ගෙදරින් පාසලෙන් දහම් පාසලින් තව අවුරුදු 10 - 15 ක් යන විට සුභ ප්‍රාර්ථනයක් සුබ සිහිනයක් දකින්න පුළුවන් වෙයි, හැබැයි අද අපි පටන් ගන්න ඕන. 

ප්‍ර : ගැටලුව තියෙන්නේ අපි ථේරවාද බෞද්ධ රටක් විදිහට තමයි නම් කරන්නේ. නමුත් ඒ හර පද්ධතීන් මතු කරන්න අවශ්‍ය සමාජ සන්දර්භයක් එන්නෙ නැති ගතියක් තියෙන්නේ. ඉතින් හරි අමාරුයි නේද එහෙම සමාජයක් ගොඩනගා ගන්න?.තනි තනියෙන් කරන්න පුළුවන් කමක් විතරයි නේද තියෙන්නේ?

පි : පටන් ගන්න වෙන්නෙනම් තනි තනියම තමයි තනි තනිව පටන්ගත්තොත් ඒ හැකියාව ඕනකම තියෙන අය එකතු වෙයි එනිසා කොතනින් හරි පටන් ගන්න ඕන.

ථේරවාද කියන්නේ, ථේර - භික්ෂූන් වහන්සේලා කියන අදහස, එතකොට ථේරවාද කියන්නේ උන්වහන්සේලාගේ ඉගැන්වීම් කියන අදහස. බුද්ධ වචනය විග්‍රහ කරන අටුවා එහෙම තියෙනවනේ, ඒ අටුවා සීමාව ඇතුලේ තමයි අප බුදුදහම විග්‍රහ කරගන්නේ. අප සූත්‍ර වෙනස් කරන්න ගියේ නැහැ, සූත්‍ර වලට එකතු කරන්න ගියේත් නැහැ. සූත්‍ර ඒ විදිහටම පරිස්සම් කළා. හැබැයි ඒවාට ඒ කාලයේ සිටි රහතුන් වහන්සේලා සහ උගත් භික්ෂූන් වහන්සේලා අර්ථකථ දුන්නා, අටුවා ටීකා ටිප්පනි. ඒ අනුව මූලික සූත්‍ර අභි ධර්ම විනය කාරණා ටික තියාගෙන ඒවාට අර්ථකථන දුන්නා. ඒ අර්ථකතන ඇතුලේ බුදු දහම විග්‍රහ කිරීම තමයි ථෙරවාද කියා කියන්නේ. 

මහායාන කියා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා කියා සූත්‍ර ටිකක් එකතු කර තිබෙනවා. ඒවා වෙනස්ම සූත්‍ර, වෙනස්ම දේශනා තියෙන්නෙ, සාමාන්‍යයෙන් ථෙරවාද කෙනෙකුට ඔළුවෙ අත ගහගන්න හිතෙන දේශනා තියෙනවා. අද ඔය දෙකම ප්‍රතික්ෂේප කරලා මූලික බුදු සමය කියලා හොයන පිරිසක් ඉන්නවා, බුදුන් වහන්සේ දේශනා කළේ මොනවද කියලා හොයනවා, ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා.

කොහොමහරි මෙතන වැදගත් වෙන්නේ ථෙරවාදද මහායානද මූලික බුදු සමයද කියන එක නොවෙයි, මොකක් හරි අප අවංකව කරනවද කියන එක. මේවා කියනවා විතරද නැත්නම් ඇත්තටම අප ඒ වෙනුවෙන් කැප වෙනවාද කියන එක. ලංකාව විහිලුවකට ලක් වෙන්නේ අන්න එතැනදී. ඔය කියන දේවල් කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් අහවල් පොතේ තමයි තියෙන්නේ කියන්න වෙන්නේ, ඒ හැර කියන්න දෙයක් නෑ, ප්‍රයෝගිකව පේන්න නම් නෑ. ප්‍රයෝගිකව පේන්න නැති දෙයක් දහමක් වෙන්න බෑ. එය මේ විනාශයට ලොකු හේතුවක් වුණා.

මේ විචාර බුද්ධිය නැතිකම විචාර බුද්ධිය තිබුනානම් හොයනවා අහනවා. එහෙම වුනානම් කෙනෙකුට ලේසියෙන් දෙයක් කියන්න බැහැ. එහෙම කෙනෙක් යමක් කියන විට විචාර බුද්ධිය තියෙන කෙනෙක් නම් අහගෙන ඉන්නේ එයා අහන දෙයක් තමයි “ඔබ ඔය කියන්නේ ඔබ අහපු දෙයක්ද, කියවපු දෙයක්ද, ඔබට හිතුනු දෙයක් ද, නැත්නම් ඇත්තටම ඔබ අත්දකින දෙයක්ද?” කියා. එසේ අහන්නේ කාටවත් පහර ගහන්න නොවෙයි. යම්කිසි කෙනෙක් මාර්ගයක් හොයනවා නම් ඇත්තටම ඒ මාර්ගයේ යන්න, ඒ යන්න පුළුවන් මාර්ගයක් ද කියලා කලින් දැනගන්න ඕන. කවුරු හරි මේ මාර්ගයේ මීට පෙර ගිහිල්ලා තියෙනවද, ගිහිල්ලා නැත්නම් කවුරුහරි පොතක් බලාගෙන හෝ එයාට හිතුනු පාරක් හෝ එයාට වෙන කෙනෙක් කියපු පාරක් ගැන කියනවනම් අහන කෙනා අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා අහන කෙනාට විචාර බුද්ධිය තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නය අහනවා “ඔබ කියන පාර ඔබ දන්නෙ කොහොමද, එය ඔබ කියවපු දෙයක්ද අහගත්ත දෙයක්ද නැත්නම් ඔබේ සිතුවිල්ලක්ද ඒත් නැත්නම් ඇත්තටම ගිහිල්ල තියෙනවද?”.

ඒ නිසා කියන කෙනාට ඔහු දේශනා කරන ධර්මයේ පිහිටන්න වෙනවා කියන්න කලින්. එනිසා විචාර බුද්ධියක් තියෙන සමාජයක එහෙම ආවට ගියාට කියන්න බැරි වෙනවා. එහෙම වුණා නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. ඉතින් මේ තත්ත්වයට අප වගකියන්න ඕන. “අපි” කියන්නේ අහන අය, මොකද අප මේවා විචාර බුද්ධියෙන් අහන්නේ නෑනේ, තර්ක කරන්න නොවෙයි දේශකයාව අමාරුවෙ දාන්නත් නොවෙයි, අපට අවංකවම පාරක් ඕනේ යන්න. ඒ අවංක ඕන කමින් මේ ප්‍රශ්නය අහන්න ඕනේ, “අපට යන්න කියන පාරේ ඔබතුමා/ඔබතුමිය ගිහිල්ලා තියනවද?” මෙහෙම අහන්න පටන් ගත්තොත් කියන අය කොච්චර පරිස්සම් වෙයිද?. ආවට ගියාට කතා කරන්න බැරි වෙනවා ඊට පස්සේ. ඒ දේශකයාටත් කරන උදව්වක්. ඔහුටත් කියන්න වෙන්නේ අත්දැකීමෙන් දන්න දෙයක් පමණයි.

මේ ව්‍යසනයට ලොකු හේතුවක් තමා වගකීමක් නැතිකම. වගකීමක් නැති කම අප කියන අය පිට දානවා, නෑ, ශ්‍රාවකයන් විදිහට අප ඔහේ අහන්නේ නැතිව අපටත් වගකීමක් තියෙනව සිහිබුද්ධියෙන් අහන්න. සිහිබුද්ධියෙන් අහනවා කියන්නේ සිහියෙන් අහනවා, ඒ කියන දේ ගැන අපේ ඇතිවන ප්‍රතික්‍රියා දකින්න ඕනේ, ඊළඟට මේ දේශනය මුල මැද අග එකට ගැලපෙනවද කියල බලන්න සහ දේශනය අවසානයේ තමන්ට යන්න පාරක් තියෙනවද කියලා බලන්න ඕන. මාර්ගයක් නම් කිව්වේ ඊළඟට අහන්න ඕන “ඔබ කොහොමද මේ මාර්ගය දැනගත්තේ?”. ඒ ප්‍රශ්නෙ බොහොම යටත් පහත්ව අහන්න. ඒ නිසා අප අපේ වගකීම පැහැර හැරලා ශ්‍රාවකයන් විදිහට. ඒ නිසයි දේශකයන්ට හිතෙන හිතෙන දේ ඔහේ කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ දුර්වලකම අප හදාගෙන එය නැති කර ගන්න උත්සාහ කරන්න ඕන. 

ප්‍ර : අපට හරියට මාර්ගය කියන තැනක් හමුවුනොත් ඒ තැනට අපි තව කීප දෙනෙක් යොමු කරනවා නම්, අනිත් අයටත් උදව් කරගෙන මේ ගමන යනවනම් ඒ වඩා සාර්ථකයි නේද?

පි : ඔව්, රසවත් කෑමක් ලැබුන විට එය අනිත් අයත් සමග බෙදා ගන්න නේ හදන්නේ. එහෙම හිතන ගතිය ඕනෑම දේකට පොදුයි, ධර්මයටත් පොදුයි. එය කළයුතු දෙයක්. හැබැයි සුදුසු පිරිසක් හොයාගන්න ඕන, හැමෝටම කියන්න බෑ, එහෙම කිව්වහම එය විහිළුවක් වෙනවා. මාර්ගයක් කියන්න නම් සුදුසු කෙනා, සුදුසු තැන, සුදුසු වේලාව සහ සුදුසු උපාය ( මොන විදිහටද මේ පණිවිඩය දෙන්නේ) බලන්න ඕන.  මේ කාරණා හරියට හොයාගෙන තමයි මේ පණිවිඩය දෙන්න ඕන. එහෙම නැතිව ඔය දේවල් එකක් හරි එහා මෙහා ගියොත් ඒක ලොකු පටලැවිල්ලක් වෙනවා, විහිලුවක් වාදයක් ආගමක් බවට පත්වෙනවා. ඒවගේම මේ මාර්ගයේ යන්න කෙනෙක් සූදානම් වෙන විට අපිට අත්දැකීම් තියෙන්න ඕන ඒ මාර්ගයේ යද්දී ඇතිවෙන ගැටලු ගැන සහ ඒවා විසඳා ගන්නා ආකාරය ගැන. කෙනෙකුව මාර්ගයකට ගන්නවා නම් අපේ වගකීමක් ඒ මාර්ගයේ එන ගැටලු වලට සුදුසු  විසඳුම් දෙන එක, එක්කෝ අප ඒ විසඳුම් දෙන්න ඕන, නැත්නම් සුදුසු කෙනෙක් ගාවට එක්කගෙන යන්න ඕන. ඒ වගකීමත් ගන්න ලෑස්ති වෙලා තමයි අපි මේ මාර්ගය ගැන තව කෙනෙකුට කියන්න ඕන.

මේ විචාර බුද්ධිය ඇති වෙන හැටි, නැති වෙන හැටි සහ නැතිවුනු විචාර බුද්ධිය නැවත ඇති කර ගන්න හැටි ගැන කොච්චර කිව්වත් මදි, මොකද බොහොම ක්ෂණිකවම නැති වෙන දේ තමයි සිහිබුද්ධිය. සිහිබුද්ධිය නැති වුණාට පස්සේ ඕනෑම දෙයක් අපි අතින් වෙන්න පුළුවන් සහ කවුරුහරි ඉන්න ඕන නැතිවුණු සිහිබුද්ධිය නැවත මතක් කර දෙන්න. ඉතින් ඒක අපි අපිටම කියාගන්න පුළුවන් නම් හරි වටිනවා. නැවත නැවත මතක් කරගන්න සිහිබුද්ධියෙන්ද ඉන්නේ අහන්නෙ තීරණ ගන්නෙ සහ ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කියා, මොකද එහෙම අහන්න බැරිවෙලා පසුතැවෙන විට ප්‍රමාද වැඩියි. 

හැම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සනසිල්ලක්ම වේවා !!!