සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 27

2022 අප්‍රේල් 20, සාරාංශය

සෑම දෙනාටම සැනසිලිදායක සන්සුන් සැඳෑවක්. අලුත් අවුරුද්දේ මේ සදහම් සැඳෑව අම්බලමට ගොඩවී ගිමන් නිවන සියළුම ආදරණීය හිතවතුන් ඔබ අප සෑම දෙනාටම බොහෝ ආගිය කතා ඇති, අවුරුද්ද ගැනත් මේ ගෙවෙන කාලය ගැනත් මේ සංක්‍රාන්ති සමය ගැනත් ජීවිතය ගැනත්. එමෙන්ම අප විශ්වාස කරනවා, මේ වැඩසටහන් මාලාව හරහාම හඳුන්වාදීමට උත්සාහ කළ, එමෙන්ම විවිධ පැතිවලින් සාකච්ඡා කළ හා පුහුණු වුණු මේ සිහිබුද්ධිය වඩාත් ප්‍රයෝජනවත් වූ ප්‍රයෝජනවත් වන වකවානුවක් මේ ගතකරන්නේ කියා. මේ වකවානුවේ සිහිබුද්ධිය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා ඇති, එයින් ප්‍රයෝජන ගන්නවා ඇති. සිහිබුද්ධිය කියන්නේ ආභරණයක් නොවෙයි වේලාවකට පැලඳගෙන අනිත් වෙලාවට ගලවා පැත්තකින් තියන. එහෙම දෙයක් නොවෙයි. එබඳු භාවනාවක, එබඳු ආධ්‍යාත්මික ගමනක අප හැමදෙනාම ආවා වරින්වර. වෙලාවකට භාවනා කරනවා, වෙලාවකට නෑ, ආයේ කාලෙකින් භාවනා කරනවා. භාවනාව එහෙම ගියාවේ. හැබැයි සිහිබුද්ධිය කියන්නේ නම් එබඳු එක් එක් අවස්ථාවල තියාගන්න හා ප්‍රයෝජනයට ගන්න ඕනේ නැති වෙලාවල් එහෙම නෑ. සිහිබුද්ධිය ඕන නෑ කියලා කියන්න පුළුවන් වන්නේ නින්දේදි පමණයි. නින්දේදි අප මොනවා කරනවාද, මොන තීරණ ගන්නවාද දන්නේ නෑනේ. නමුත් ඇහැරෙන මොහොතේ පටන් නින්දට යන අනිත් වෙලාවේදි, ඒ ක්‍රියාදාමයේ යම්තාක් දැනුවත්ව ඉන්නවාද ඒ තාක් සිහිබුද්ධිය අවශ්‍යයි. සිහිබුද්ධිය තරම් මනුෂ්‍ය ජීවිතයකට අත්‍යාවශ්‍ය වන නැතිවම බැරි තවත් දෙයක් නෑ. මේ කියනවාට වඩා, මේ වචනවලට වඩා ප්‍රායෝගිකව, මේ හිතවතුන් සෑම දෙනාම විශේෂයෙන් මේ දිනවල අත්දකිනවා ඇති, සාක්ෂි සහිතව ඔප්පු වෙනවාත් ඇති.

අප පසුගිය සතියේ කතා කළ කාරණා ගැන විමසීම් තිබුණා. එමෙන්ම නැවත වඩාත් පැහැදිලි කිරීමකුත් ඉල්ලා සිටියා. එක පැත්තකින් සිතෙනවා හුඟක් සරලව කියු කාරණයක් තමයි පසුගිය සතියේ කතා කළේ. සමහර කාරණා ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් ගිය සතියේ කතා කළ කාරණා හරි සරලයි. නමුත් කලින් එහෙම හිතලා තිබුණේ නැති නිසා තවත් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියා. පෞද්ගලිකවත් පැහැදිලි කිරීම් ඇහුවා. ඒවගේම ඇහුවා පොදුවේ පුළුවන් නම් එහි දිගුවක් විදිහට මේ සතියේ වැඩසටහන කරනවානම් හොඳයි කියා. පසුගිය සතියේ සාරාංශය හැම දෙනාටම ලැබෙන්නට ඇති. හිතනවා එය කියවන්න ඇතැයි කියා. කියෙව්වානම් ඒ කියන්න හැදූ කාරණා පිළිබඳව අදහසක් චිත්‍රයක් හදාගන්න.

මූලික වශයෙන් කාරණා දෙකක් කියන්න හැදුවා. පළමුවන කාරණය තමා මේ පුහුදුන් සිතේ තිබෙන චරිත ලක්ෂණ දෙකක් ගැන. ඇත්තටම දෙකයි, ඔය දෙක තමයි පුහුදුන් සිතක තියෙන්නේ. මොනවද, පුහුදුන් සිත හැමවිටම සිතනවා “තමන් අනිත් අයට වැඩිය වෙනස්” කියා. මොනවා හරි වෙනස්කමක් ඇති කියා නෙමෙයි, හැමදෙයකින්ම වෙනස් කියා. හිනහාවෙන විදිහද ඇවිදින විදිහද සිතන විදිහද මේ හැම දෙයකින්ම තමන් අනිත් අයට වැඩිය වෙනස් කියන මේ හැඟීම පුහුදුන් සිතට අනිවාර්යෙන්ම තියෙන කාරණයක්. පුංචි කාලේ ඉඳලාම තිබෙනවා “මං පවුලේ අනිත් අයට වැඩිය වෙනස්”. හොඳයි ඒ සිතුවිල්ල ආවේ නැද්ද කියලා කල්පනා කරන්න. පවුලේ අනිත් අයට වැඩිය වෙනස්, පන්තියේ අනිත් ළමයින්ට වැඩිය වෙනස්, ඉස්කෝලේ අනිත් අයට වැඩිය වෙනස්, දහම් පාසලේදි, විශ්ව විද්‍යාලයේදි රැකියාවේදි විවාහයේදි. එකම ක්ෂේත්‍රයකදි වුනත්, භාවනාවට ආවමත් “මං අනිත් අය භාවනා කරනවාට වැඩිය වෙනස්”, “මං වෙනස් කෙනෙක්”. ජාතියක් විදිහට ගත්තත් සිංහල තමයි නමුත් “අනිත් සිංහල අයට වැඩිය වෙනස්”, “අනිත් බෞද්ධයන් වගේ නෙමෙයි මම”. හොඳට බලන්න මේ සිතුවිල්ල, ‘වෙනස් කෙනෙක්’ කියනවා. ඕන තරම් කාරණා, සාක්ෂි තිබෙනවා වෙනස් කියා ඔප්පු කරන්න.

දෙවෙනි කාරණය තමා එහෙම තමන් වෙනස් කෙනෙකු වුවත්‘තව කෙනෙකු වගේ ඉන්න ඕනකමකුත්’ තියෙනවා. හැමෝටම වැඩිය තමන් වෙනස් නමුත් කවුරුහරි කෙනෙකු වගේ ඉන්න ඕනකමක් තියෙනවා. පුංචි කාලේ අම්මා වගේ ඉන්න ඕනේ, තාත්තා වගේ ඉන්න ඕනේ, පාසලේ දි අහවල් ගුරුවරයා ගුරුවරිය වගේ ඉන්න ඕනේ, මේ විදිහට කවුරුන් වගේ හෝ ඉන්න ඕනකමකුත් තියෙනවා. දැන් බලන්න මේ සිතුවිලි දෙක මොනතරම් පරස්පර ද?. එක පැත්තකින් සිතනවා ‘මම හැම දෙනාටම වැඩිය වෙනස්’, අනිත් අතට සිතනවා ‘මේ විදිහේ කෙනෙක් වෙන්න ඕනේ මම’ කියා, මෙහි ඉවරයක් නෑ. ක්‍රීඩාවට ගියත් කවුරුහරි දක්ෂම ක්‍රීඩකයෙක් වීරයෙක් විදිහට අරගෙන “ඒ වගේ මාත් ක්‍රීඩා කරන්න ඕනේ”. “මේ වගේ මටත් සිංදු කියන්න පුළුවන් වෙන්න ඕනේ”. “මේ විදිහට රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ” ඔය විදිහට සිතනවා කවුරු හරි කෙනෙක් වෙන්න. එක්කෝ වර්තමානයේ ඉන්න කෙනෙක් නැතිනම් අතීතයේ සිටි කෙනෙක් අනුකරණය කිරීමේ ඕනෑකම.

මේ සිතුවිලි දෙකෙන් යුක්ත සිතකට තමයි පුහුදුන් සිතක් කියන්නේ. මේ චරිත ලක්ෂණ දෙක තියෙනවා. මෙය පරස්පරයි. මේ පරස්පරය ඇතුළේ එයා හරි දුකක් විඳිනවා. පුහුදුන් සිත ලෝකේ මොනම ප්‍රශ්නයක් නැති වුනත්, කන්න-බොන්න තිබුණත්, භෞතිකව ඒ කිසිම ප්‍රශ්නයක් නැති වුනත්,  හැමදෙයක්ම ලැබුණත්, මානසිකව ලැබෙන්න ඕනේ ආදරය වුනත් හරියට හොඳට ලැබුණත්, මේ පුහුදුන් සිතේ නැති නොවන දුකක් තියෙනවා. නැති නොවන අසහනයක් තියෙනවා. ඒ මෙන්න මේ ගැටුම නිසා ඇතිවන අසහනය. ‘මම අනිත් අයට වැඩිය වෙනස්’ ඒ එක්කම ‘මටත් කවුරුහරි වගේ වෙන්න ඕනේ’. හැමවිටම අනුකරණය කරන්න උත්සාහ කරනවා. කාවහරි අනුකරණය කරන්න නැතිනම් කුමක් හෝ අනුකරණය කරන්න. එක්කෝ පුද්ගලයෙක්, වැඩිපුරම උත්සාහ කරන්නේ චරිතයක් අනුකරණය කරන්න, අනුගමනයට වැඩිය අනුකරණය කරන්න. එහෙම නැත්නම් දේවල් අනුකරණය කරන්න බලනවා. දේවල් කීවාම භෞතික දේවල් වෙන්නත් පුළුවන්. වතුර වගේ වෙන්න ඕනේ කියලා සිතනවා. ගලක් වගේ, ගහක් වගේ ඉන්න, පෘථිවිය වගේ, මහපොළව වගේ ඒ අනුකරණය කරන්න බලනවා. එහෙම නැත්නම් ධර්මතා අනුකරණය කරන්නත් හදනවා. තරහා ගන්නේ නැති කෙනෙකු වගේ ඉන්නට ඕනේ, කම්පා නොවන කෙනෙකු වගේ ඉන්නට ඕනේ, ඒ දේවල් අනුකරණය කරනවා. ධර්මතා අනුකරණය කරනවා.  පුද්ගලයන් අනුකරණය කරනවා. එය හොඳටම කරන්නට පුළුවන්. වෙන කාටත් වැඩිය හොඳටම අනුකරණය කරන්නට පුළුවන්නේ පුහුදුන් සිතට. අප එදා කීවා වගේ රහතන් වහන්සේ කෙනෙකුට වැඩිය පෘතග්ජන කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකු වගේ හැසිරෙන්න පුළුවන්. ඒ චරිතය හොඳටම ‘රඟපාන්න’ පුළුවන් වන්නේ රහතන් වහන්සේ නමකට වැඩිය පෘතග්ජන කෙනෙකුට. මොකද රහතන් වහන්සේලා රඟපාන්නේ නෑ. උන්වහන්සේලා ස්වභාවිකව ජීවත් වෙනවා. සමහර විට එහෙම කෙනෙකු දැක්කට ලෝකය පිළිගන්න එකක් නැහැ මේ රහතන් වහන්සේනමක් කියා. හැබැයි පෘතග්ජන කෙනෙකුට පුළුවන් රැවටෙන විදිහට, හරි ලස්සනට රඟපාන්න. සාමාන්‍ය ලෝකය සැබෑ රහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා අර රඟපාන චරිතයට වඳිනවා-පුදනවා නමුත් ඒ ගැන රහතන් වහන්සේනමට කිසිම කම්පාවක් නැතිව ඇති.

කෙසේ හෝ මේ දුර්වලකම් දෙකෙන්ම තමයි ධර්ම මාර්ගයටත් කෙනෙකු යොමුවන්නේ. එය තමා මෙතන තියන රසවත්ම කාරණය. දහමට යොමුවෙන්න වෙන ඉඩක් නෑ. ඔය චරිත ලක්ෂණ දෙක පමණයි නේ තියෙන්නේ. ඉතින් එයාට වෙන ඉඩක් නැති නිසා පුහුදුන් සිතක් කවදාහරි දහමට එනවාද ආවාද ඒ එන්නේ, ඇවිත් තියෙන්නේ අනුකරණය කිරීමේ ඕනකම නිසා. කාවහරි අනුකරණය කරන්න.  තමන්ගේ සිත් ගත්තාවූ කවුරුහරි කෙනෙක්, හරිම තැන්පත් කෙනෙක්, කලබල නැතිව ඉන්නවා, බොහොම අවබෝධයෙන් ජීවත් වෙනවා, සැහැල්ලුවෙන් ඉන්නවා. මේවා දකිනවිට අර පුහුදුන් සිතේ අතිවෙනවා “හා මාත් මේ වගේ ඉන්න ඕනේ” කියන හැඟීමක්. ඒ අනුකරණය නිසා තමා වැඩිදෙනෙකු බහුතරයක් දහමට යොමුවෙන්නේ. පුද්ගලයන් අනුකරණය කරන්න. සමහරවිට ධර්මතා අනුකරණය කරන්නත්, දේවල් අනුකරණය කරන්නත් ගිහිල්ලා දහමට යොමුවෙන ඇත්තනුත් ඉන්නවා. වැඩිපුර හැබැයි පුද්ගලයන් අනුකරණය කරලා. ඒ ගැන දහමේ ඕනතරම් උදාහරණ තියෙනවා. එදා ගත්ත එක උදාහරණයක් තමා සිද්ධාර්ථ කුමාරයත් ගිහි ගෙයින් නික්මුණේ අර පැවිදි රුවක් දැකලා, එය අනුකරණය කරන්න ගිහිල්ලා. “එතන විසඳුමක් ඇති මාත් ඒ වගේ වෙන්න ඕන” කියලා හිතලා.

කොහොම හරි හිතවතුනි, මෙහි සීමාවක් තියෙනවා. මෙහෙම අනුකරණය කරගෙන කරගෙන ගිහිල්ලා තවදුරටත් එහෙම ඉන්න බැරි තැනකට එනවා. ඉන් එහාට අනුකරණය කරන්න බෑ. සීලය ගත්තත්, සීලය ගැන දෙන ආදර්ශය තමයි, “රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතය කළේ නෑ, මාත් ඒ විදිහට ඉන්නවා” කියලා. එතනත් තියෙන්නේ අනුකරණයක්. ශික්ෂාපද හැම එකකින්ම අපට දෙන්නේ ඒ විදිහේ ආදර්ශයක්, පෙළඹවීමක්. “රහතන් වහන්සේලා දිවිහිමියෙන් මුසා දෙසුවේ නෑ, අද දවසේ හරි නැත්නම් මේ ජීවිතයෙදී මාත් ඒ වගේ ඉන්නවා, ඉන්න උත්සාහ කරනවා. මෙහෙම තමා ඕනෑම කෙනෙකු දහමට යොමු වෙන්නේ. හැබැයි මේ අනුකරණය කරගෙන කරගෙන ගිහිල්ලා එක්තරා තැනකට එනවා ඒ උපරිම තැනකට. එතැනට ආවාම, මේ උපරිම තැනට එන්නේ බොහොම ටික දෙනයි. ඊට මෙහා මෙය අතහැර දානවා බොහෝ දෙනෙක්. හැබැයි මේ අනුකරණයේ කෙළවරටම ගියාම කෙනෙකුට තේරෙනවා මේ තමා උපරිමය. “කොහොම හිටියත් මට රහතන් වහන්සේ වෙන්න බෑ, හැබැයි ඒ වගේ ඉන්න පුළුවන්”, “එහෙම වෙන්න බෑ” කියන තැන තේරෙනවා. අනුකරණයෙන් තව කෙනෙක් වෙන්න බෑ. හැබැයි එයා වගේ වෙන්න පුළුවනි. ඒ පිළිබඳවත් අප උදාරණයක් ගත්තා එදා. කෙසේ හෝ අන්න එතනදි වෙන්න තියෙන ඕනකම අතහරිනවා. රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න තියෙන ඕනකම අතහරිනවා. ඒ අතහැරීම තුළයි ඒ පරිවර්තනය වන්නේ. අල්ලගෙන සිටියොත් පරිවර්තනයක් වෙන්නේ නෑ. ඊට කලින් අතහැරියට වෙන්නෙත් නෑ. මුලදීම බෑ වගේ, දවසක් දෙකක් ඉඳලා ‘අනේ මට සිහියෙන් ඉන්න බෑ,’ ‘මට සිල්වත්ව ඉන්න බෑ’ කියලා හිතලා මුලින්ම අතහැරියොත් මොනම ගමනක්වත් නෑ. එසේම දිගටම අල්ලගෙන සිටියොත් ඒත් ඉතින් ගමනක් නෑ. එක තැනකට ගිහිල්ලා නවතිනවා. යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා, අවබෝධයෙන් අනුකරණය කිරීම ‘මට රහතන් වහන්සේ කෙනෙකු වෙන්න ඕනේ, ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ’ කියන ඒ උපාදානය අතහැරියාම තමා ඒ වෙන පිපිරීම වෙන්නේ. පුපුරලා යනවා. මොකක්ද පුපුරලා යන්නේ මේ කබොල්ල පුපුරලා යනවා. කබොල්ල කියන්නේ බාහිර තියෙන වෙස්මුහුණ ගැලවිලා යනවා, පුපුරලා යනවා. ඔය වෙස්මුහුණක්නේ දාගෙන ඉන්නේ. ඒ වෙස්මුහුණ හොඳයි. හැබැයි ඒ වෙස්මුහුණක්, සැබෑ මුහුණ නොවෙයි. ඒ වෙස්මුහුණ පුපුරණවා. ඇතුළතින් එන පීඩනය නිසා වෙස්මුහුණ පුපුරලා ගියාම, ඒ බාහිර කබොල්ල පුපුරලා යනවා. ඒ පුපුරායෑම නිසා තමා සැබෑව මතුවන්නේ.

ඒ නිසා ඔය අනුකරණය වැදගත්. ඒ වචනය හොඳ නෑ වගෙයි පේන්නේ, හැබැයි ඒක තමයි මුළු ජීවිතයේම වෙන්නේ, අනුකරණයක්. අනුකරණයෙන්ම තමා ලෞකික ජීවිතයෙන් ආධ්‍යාත්මික ජීවිතයකට බොහෝ දෙනෙක් නැඹුරු වෙන්නේ. ඔය ටික තමයි එදා අප කථා කළේ.

අපට සිතාගන්න පුළුවනි, ඒ ආධ්‍යාත්මිකව අපට වඩා ඉහළින් ඉන්න අය කොයි වගේද කියා. එය අපහසුවක් නෑ සිතාගන්න. දැන් ධ්‍යානයක් තියෙන කෙනෙක් කොයි වගේද? කොයි වගේද කියන්නේ මුහුණේ හැටි එහෙම නෙමෙයි. ධ්‍යානලාභියෙක් කියන්නේ කොයි වගේද කියා පොතේ තියෙනවා හරි ලස්සනට. පංච නීවරණ නෑ. ධ්‍යාන අංග තියෙනවා. ඉතින් නීවරණ නැති කෙනෙක් ධ්‍යාන අංග තියෙන කෙනෙක්. දෙවෙනි ධ්‍යානය ගැනත් ඒ විදිහට කියන්න පුළුවන්. මාර්ගඵලලාභීන් ගැනත් කියන්න පුළුවන්. ඒවගේම මාර්ගඵලලාභීන් ගැන කතන්දරත් සිදුවීම් ගැනත් අප අහලා තියෙනවානේ. ඒ සිදුවීම් ආශ්‍රයෙන් මාර්ගඵලලාභියෙකු පිළිබඳ හොඳ ලස්සන ජීවන ප්‍රවෘත්තියක් හදාගන්න පුළුවන් කොයි වගේද කියා. චිත්‍රපටි හදන්නේ, නාට්‍ය හදන්නේ එහෙමනේ. ඒ චරිතවල ඇත්තටම ධ්‍යානලාභීන්, මාර්ගඵලලාභීන් නෙමෙයිනේ ඉන්නේ. හැබැයි ලස්සනට රඟපානවා. එහෙම රඟපාන්නේ ලස්සනට තිර නාටකයක් ලියලා තියෙන නිසා. ඒවා ලියන්න හදන්න බාධාවක් නෑ හොඳට පුළුවන්. අපි කවුරු ළඟත් තියෙනවා මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියන අභිලාෂයක්, ඉලක්කයක්.  එතකොට වෙන්න ඕනේ කොයි වගේ කෙනෙක්ද කියන කාරණය හොඳට මවා ගන්න පුළුවන්. එහි කිසිම ගැටලුවක් නෑ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙක් ද කියා සිතාගන්න එකේ අපහසුවක් නෑනේ. අප දන්න විදිහට හොඳට සිතාගන්න පුළුවන්.

ඉලක්කය ගැන හිතන එක කිසීම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් ඉන්නේ කවුද කියලා හිතන්න ගියාම. දැන් මෙතන ඉන්නේ කවුද? වෙන්න ඕන කෙනා ගැන හිතන එක ලේසියි. හැබැයි ඉන්න කෙනා කවුද කියන ප්‍රශ්නේ ඇහුවොත් අන්න අමාරුවේ වැටෙනවා. එතකොට පුහුදුන් සිත අමාරුවේ වැටෙන එකම තැන මෙතන. කොතන ද ‘ඉන්න කෙනා කවුද? කවුද මේ ඉන්නේ?, කාටද ඕනේ?’ ඒනිසා ඔය ප්‍රශ්නය එයා අහන්නේ නෑ. තමන්ම වලක් කපලා තමන්ම එයට වැටෙන්න කැමති නෑනේ. හැබැයි පුහුදුන් සිත හැමදාම වැටුනේ තමන්ම කපාගත්ත වලවල් වල. වැටිලා අනිත් අයට බණිනවා. ඒක තමයි එයාගේ හැටි. තමන්ම වලක් කපාගෙන තමන් වලක් කැපු බව මතක නෑ. මතක නැති නිසා ඒකට අඩිය තියනවා. අඩිය තිබ්බ ගමන් වැටෙනවා. වැටුනට පස්සේ එයා වටපිට බලලා එතන ඉන්න කෙනෙකුට හරි නැති කෙනෙකුට හරි බනිනවා. එක්කෝ ඉන්න කෙනෙකුට බනිනවා එයා තමයි ඒක කළේ කියලා. නැත්නම් නැති කෙනෙකුට බනිනවා හිටියා නම් මං වැටෙන්නේ නෑනේ කියලා. මේක තමයි එයාගේ හැටි. හැබැයි මේ ප්‍රශ්නය එයා අහන්නේ නෑ. කුමක්ද මේ “ඉන්නේ කවුද? දැන් ඉන්නේ කවුද?” කියලා. නාහන්න එක හේතුවක් තමයි, එයාගෙම යටිහිත දන්නවා දන්නේ නැති බව, උඩුසිත සිතනවා “මම දන්නවා” කියලා. “මම කවුද කියලා දන්නවා”. දන්නේ නැත්තේ “කවුරු වගේද වෙන්න ඕනේ” කියලා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. “කවුරු වගේද වෙන්න ඕනේ” කියා අප හැමෝම දන්නවා. දන්නේ නැත්තේ “දැන් ඉන්නේ කවුද?” කියන එක. කාටද එහෙම වෙන්න ඕනේ කියන එක. මේ කාරණය තමයි සොයා බලන්න ඕනේ. මේ නොදන්නාකම ගැනත් අපට අවබෝධයක් නෑ. අප හිතන්නේ රහතන් වහන්සේලා ගැනයි අප දන්නේ නැත්තේ කියලා. සාමාන්‍යයෙන් සිතන්නේ එහෙමනේ. නෑ අප දන්නවා. හොඳටම දන්නවා. ඒ ගැන අපට අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ. අප සිතනවා තව දැනගත්තොත් රහත්වෙන්න ලේසියි, සෝවාන් වෙන්න ලේසියි සෝවාන් වුණු කෙනෙකු කොහොමද කියා තව දැනගත්තොත්. නෑ ඊට වැඩිය දැනගන්න දෙයක් නෑ. දැනගන්න ඕන සියල්ල අප දන්නවා. නමුත් තාම එහෙම තැනකට ගිහින් නෑ. ගිහින් නැත්තේ ඒ සෝවාන් කෙනා පිළිබඳ නොදන්නා කම නිසා නෙවෙයි, සෝවාන් වෙන්න ඕනේ කෙනාගැන දන්නේ නැති නිසා.

ඒ නිසා අප අප වටාම කැරකි කැරකි ඉන්නේ. මොනවා වටේ කැරකෙනවාද කියලා දන්නේ නැතිව කැරකි කැරකි ඉන්නවා. හැබැයි සිතනවා අපි අප ගැන දන්නවා කියලා. එහෙම සිතන් ඉන්නවා. එහෙම සිතන් ඉන්න නිසා තමයි කවුරුහරි යම් යම් ආකාරවලට අප ගැන කථා කළාම තරහා එන්නේ, රිදෙන්නේ, කලබල වන්නේ. කලබල වෙන්න දෙයක් නෑනේ, අප ගැන අපි හරියටම දන්නේ නෑ කියන එක දන්නවා නම්. අප අප ගැන දන්නෙම නැති බව දන්නවානම් කවුරු මොනවා කිව්වත් ඇයි කලබල වන්නේ?. අනිත් එක අප අප ගැන හරියටම දන්නවා නම් ඒත්  කලබල වන්නේ නෑ. කවුරු මොනවා කිව්වත් මොකටද කලබල වන්නේ, කිසිම කලබලයක් එන්නේ නෑනේ දන්නවා නම් අප කවුද කියලා. අප අප ගැන හරියටම දන්නේ නෑ. පොඩ්ඩක්වත් දන්නේ නෑ. පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක් බව දන්නෙත් නෑ. මොකුත්ම දන්නේ නෑ කියන කාරණය දන්නවා නම් ඒත් කලබල වෙන්නේ නෑ. කවුරුහරි කියන කොට අපට හිතෙනවා මා දන්නේ නෑ. මෙයා දන්නවා. මෙයාට ඇහුම්කන් දුන්නොත් මට මං ගැන දැනගන්න පුළුවන් කියා. ඕනෑම දෙයක් එහෙමනේ. අප නොගිය නගරයක්, රටක් ගැන, රස නොවින්ද කෑමක් ගැන කවුරුහරි කියන කොට අප දන්නවානම් හොඳටම “අප එහි ගිහින් නෑ, කාලත් නෑ. බලලත් නෑ” කියලා, එසේ අහනවා “ආ ඇත්තද?” කියලා. තව ප්‍රශ්ණත් අහනවා. නමුත් අප යන්තම් හරි ගිහිල්ලා යන්තම් හරි ගෑවිලා අත්දැක්ක දෙයක් ගැන නම් කියන්න යන්නේ, එතකොට නම් අප වැඩිය ඇහුම්කන් දෙන්නේ නෑ. එහෙම වෙන්න බෑ කියලා වාද කරන්න පුළුවන් “නෑ එහෙම නෙමෙයි මෙහෙමයි” කියා. තමන් පිළිබඳව වාද කරන්න යන්නේ අපි අපට නිකං ගෑවිලා ගිහිල්ලා තියෙනවා මිසක්, ඇඟේ හැප්පිලා ගිහිල්ලා තියෙනවා මිසක් අප තුළට ගිහිං නැති නිසා.

මේ තමා ඇත්තම කාරණය අප අපේ ඇතුළට ගිහිල්ලා නෑ. ඉතිං අප ඇඟේ ගෑවිලා යනවා. ඇඟේ හැප්පි හැප්පි යනවා. හැමදාම අප කරන්නේ අපේ ඇඟේ හැප්පි හැප්පි යාම. ඇඟේ කියන්නේ ශරීරයේම නෙවෙයි. මේ දේහයේ මම කියන දේහයේ බාහිරම සිවියේ අප හැප්පි හැප්පි ඉන්නවා. ඉතින් අප අප ගැන දන්නවා කියලා හිතනවා. ඒ හිතන නිසා අප අනිත් අය යමක් කීව ගමන්ම අපට තරහා එනවා, කලබල වෙනවා, දුක් වෙනවා, අඬනවා, ඇයි මං ගැන ඔහොම කිව්වේ, ඇයි මං ගැන ඔහොම හිතාගෙන ඉන්නේ, මම එහෙම කෙනෙකු නෙවෙයි නේ. අප ගැන අනිත් අය කියන කොට දැන් මේ විදිහට අපේ සිතේ ආවේග ඇති වන්නේ, ඔය හේතුව නිසයි. ‘මම’ කියන විෂය ගැන අබමල් රේණුවක්වත් අපි දන්නෑ කියන කාරණය සිහිබුද්ධිය තමයි අපට කියලා දෙන්නේ. යම් මොහොතක සිහිබුද්ධිය ඇතිවෙනවාද, අන්න ඒ මොහොතේ අපිට වැටහෙන පළමුවෙනි කාරණය තමා, මම ‘මම’ ගැන දන්නේ නෑ කියන එක. මෙතනින් තමයි පටන් ගන්නේ. ඒ නිසා මේ කාරණය හරි වැදගත්, මේ ‘කාටද අනුකරණය කරන්න ඕනේ’ කියන කාරණය. කවුරු වගේද ඉන්න ඕනේ කියන කාරණය වැඩියෙන්ම සොයන්න දෙයක් නෑ. හැබැයි කාටද මේ අනුකරණය කරන්න ඕනේ?. අනුකරණය කරන්න ඕනේ කෙනා කවුද? ඒ ගැනයි අප සොයන්න ඕනේ. වෙන සොයන්න දෙයක් නෑ. ඉතින් ඔය ආධ්‍යාත්මිකව විපර්ය්‍යාසයකට පරිවර්තනයකට භාජනය වුණු හැමදෙනාම පරිවර්තනයකට ලක්වන්නේ ඔන්න ඔතනදි තමා.

මේ පිළිබඳව එක මුනිවරයෙක් යෝගීවරියක් කරන ප්‍රකාශයක් තිබෙනවා. එතුමියගේ ගෝලයන් ශ්‍රාවකයන් අහනවා “ඔබතුමිය කොහොමද මේ තත්වයට පත්වුණේ” කියා.  මුලදි මොනවත් කියන්නේ නෑ. ලිස්සලා යව යව ඉඳලා. ඒ කියන්නේ උත්තර නොදී ඉන්නවා. එතුමියගේ දේශනා හරි වැදගත්, ඒ දේශනා වලින් බොහෝ දෙනෙකු ප්‍රයෝජන ලැබුවා. දවසක් මෙතුමිය කියනවා “හා, අද මං කියන්නම් කොහොමද මේ අවබෝධය ලැබුවේ” කියලා. සිදුවීම් දෙක තුනක් කියනවා. එක සිදුවීමක් තමා ඇවිදින විට, සමහරවිට පිණ්ඩපාතයේ වගේ යන අවස්ථාවක වෙන්නට ඇති, මහා වැස්සක් කුණාටුවක් ඇවිල්ලා මෙතුමිය යන්න තැනක් නැති නිසා ළඟම තියෙන ගේ ඇතුළට ගියා. ගිහිල්ලා ඉන්නවා. පායන්නෙත් නෑ, දිගටම වහිනවා වහිනවා. ගසුත් කඩාගෙන වැටිලා, පාර පෙනෙන්නෙත් නෑ, අකුණුත් ගසනවා දැන් රෑත් වේලා. වෙන යන්න තැනකුත් නෑ. එතකොට ගේ අයිතිකරු, ගේ ඇතුළට ආවා. ආවට පස්සේ තමා හඳුනා ගත්තේ ඒ ගෙහිමියා පළාතේ ඉන්න ප්‍රසිද්ධම මංකොල්ලකාරයා කියලා. මංකොල්ලකාරයාගේ ගෙදර තමා මේ. දුටු ගමන්ම එතුමිය එවෙලෙම ගෙදරින් එළියට යන්න ගියා. අර කුණාටුයි හෙණ ගහන වැස්සේ. එතකොට මේ මංකොල්ලකාරයා අහනවා “ඔබතුමිය යන්නේ ඇයි? මේ මහ රෑ යන්නේ, මේ වැස්සේ. ජීවිතය අවදානමකට දාලා යන්නේ ඇයි?”. මෙතුමිය මොනවත් කියන්නේ නෑ. හැබැයි යන්න හදනකොට මංකොල්ලකාරයා කියනවා “මං දන්නවා ඔබතුමිය යන හේතුව. මොකක්ද හේතුව, මේ වැස්ස දැන් පායන්නේ නෑනේ. අනිත් එක රෑ කළුවරේ යන්නත් බෑ කොහෙවත්, එතකොට ඔබතුමියට යන්න වෙන්නේ හෙට උදේ. හෙට උදේ ඔබතුමිය මේ ගෙදරින් එළියට බහිනවා මිනිස්සු දැක්කොත් එහෙම, ඔබතුමියගේ නම කැත වෙනවා. ඒ බයට නේද දැන් මේ රෑ යන්න යන්නේ. ඒ බය තියෙනවා නේද?” මෙතුමිය මොනවත් කියන්නේ නෑ, අහගෙන ඉන්නවා. මේ හොරා කියනවා “ඔබ තුමිය මහා භාවනා කරන කෙනෙක්, යෝගීවරියක්, මුණිතත්වයට තියලා තියෙනවානේ සමාජය. ඒ නිසානේ සමාජය වඳින්නේ පුදන්නේ, හැම දෙයක්ම කරන්නේ. ඒ උනාට ඔබතුමිය රඟපෑමක්නේ කරන්නේ. බයෙන්නේ ඉන්නේ ඔබතුමියගේ නමක් අල්ලාගෙන නම කැතවෙයි කියලා. මටනම් එහෙම ප්‍රශ්නයක් නෑ” මේ හොරා කියනවා. “මටනම් එහෙම ප්‍රශ්නයක් නෑ, මං හොරෙක් නේ, මට ඔබතුමිය වගේ ප්‍රතිරුපයක් අල්ලාගෙන, ඒක පරෙස්සම් කරන්න, මට කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රශ්නේ මට නෑ. මුනිවරියක් එක්ක හිටියා හරි, මුණි අසපුවක රෑ ඉන්න වුණා කියලා හරි මට ප්‍රශ්නයක් නෑ. මට නැති ප්‍රශ්නයක් ඇයි ඔබතුමිය හදාගන්නේ?. මෙතන ඔබතුමිය වෙස්මුහුණක් දාගෙන නේද ඉන්නේ?” කියලා. ඉතින් මෙතුමිය පස්සේ දවසකනේ මේ කතාව කියන්නේ තමන්ගේ ශ්‍රාවකයින්ට. ඒ කියනවිට කියනවා “ඒක තමයි කමටහන” කියලා. “එතෙක් මං කළේ රඟපෑමක්, අනුකරණයක්. නමුත් දැනගෙන හිටියේ නෑ රඟපෑ බව, අනුකරණය කළ බව. ඒ මංකොල්ලකාරයා තමයි මගේ ගුරුවරයා. මං මෙතෙක් කල් කීවේ නැත්තේ, මුලින්ම කිව්වානම් මංකොල්ලකාරයෙකුගේ කමටහනකින් තමයි මුණිතත්වයට පත්වුණේ කියලා, ඔබ කවුරුවත් මාව විශ්වාස කරන එකකුත් නෑ. එය විශ්වාස කලොත් එහෙම කවදාවත්  මගෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න එකකුත් නෑ. ඒ නිසයි මං ඒක නොකිව්වේ. මං මෙතෙක් කල් දාගෙන හිටියේ වෙස්මුහුණක් කියන එක කියලා දුන්නේ ඒ මංකොල්ලකාරයා. ඒ තක්කඩියා තමයි කියලා දුන්නේ වෙස්මුහුණක් දාගෙන ඉන්නවා කියලා. මා කවදාකවත් මගේ මුහුණ දැකලා තිබුණේ නෑ. මුහුණ කියන්නේ මගේ සෑබෑ ස්වරූපය, මා කවුද කියන එක මං දැනගෙන හිටියේ නෑ. මං භාවනා කළා, සංසුන් සිත මොකක් ද කියන එක දැක්කා. මේ භාවනාවේදි හොඳටම සංසුන්වෙන, සිතුවිල්ලක් නැති, ඒ හිස් සිත මා දැක්කා. හැබැයි මා‘මාව’ දැකලා තිබුණේ නෑ. මොකද ඒ වෙස්මුහුණ තිබුණ නිසා. ඒ වෙස්මුහුණ මම කියලා සිතාගෙන සිටියේ. ඉතින් මේ සොරා ගැසූ පහරින්, ඒ ආධ්‍යාත්මික මුෂ්ඨි පහරින් ඒ වෙස්මුහුණ කැඩිලා කැඩිලා පුපුරලා ගියා. එතනදි මට රිදුනා හොඳටම රිදුනා”. ඒ කියන්නේ මූණට වෙස්මුහුණක් දාගෙන සිටියොත් දිගටම දිගටම කාලයක් මොකද වෙන්නේ, අපේ මුහුණයි ඒ මුහුණයි එකට ඇලවෙනවා. මාස්ක් එකක් වුනත් දිගටම දාගෙන හිටියොත් ඒ ප්‍රශ්නය එයි.පසුව ගලවන්න ගියාම හමත් එක්ක ගැලවිලා යයි. වෙස්මුහුණක් ඊට වැඩියි. මුහුණ ලොකු වෙනවා. එතකොට හිරවෙනවා. ඇතුළට මස් කිඳාබහිනවා. එතකොට වෙස්මුහුණ කවුරුහරි බලෙන් ඇද්දොත් මස් ගැලවිලා යනවා, රිදෙනවා. “මට හරියට රිදුනා, එය අහනකොට මට හරියට රිදුනා. ඒ වේදනාව ගැනයි කල්පනා කළේ. රිදෙන්නේ මේ වෙස්මුහුණක් හින්දා. එය මගේ මුහුණ කියලා සිතන් සිටියා. මම මගේ මුහුණ දැකලා තිබුණේ නෑ. දකින්න බයෙන් හිටියේ. හැබැයි ඔක්කොම ගැලවිලා ගියා. ඒ අරමුණ උඩ තමයි භාවනා කරලා මේ තත්වයට පත්වුණේ” කියලා.

හිතවතුනි වෙස්මුහුණු දාගැනීම ලේසියි. වෙස්මුහුණු දාගැනීමේ වරදකුත් නෑ. වෙස්මුහුණකටයි අනුකරණය කියන්නේ. එක එක වෙස්මුහුණු දාගන්නවා. වෙස්මුහුණක් බව අමතක කරන්න හොඳ නෑ. සීලය කියන්නෙත් වෙස්මුහුණක්, අපේ සැබෑ ස්වභාවය නෙවෙයිනේ. අපේ සැබෑ ස්වභාවය නම්, ඕවා කිය කිය ඉන්න ඕනේ නෑනේ ඒ විදිහට ඉන්නවානේ. එතකොට  භාවනාව කියන්නෙත් වෙස්මුහුණක්. ඒක එක වෙලාවකට දාගන්නවා ආයේ ගලවනවා. ඉතින් වෙන්නේ මේවා මෙහෙම දාගෙන දාගෙන ගියාම ගලවන්න අමතක වෙනවා. ගැලෙව්වා කියලා සිතාගෙන වෙන වෙන චරිතවල රඟපානවා. හැබැයි ඒ චරිතවලට අදාළ වෙස්මුහුණු දාගෙන නෙවෙයි රඟපාන්නේ. එතනින් තමයි ඔය ගැටලුව පටන්ගන්නේ. ලොකු ගැටුමක් පටන් ගන්නවා. ‘නෑ මම මෙහෙමයි’. හැබැයි අනිත් අයට පේන්නේ වෙන මුහුණක්. එතෙන්ට අදාළ නැති මුහුණක් තමයි පේන්නේ. නමුත් අප සිතනවා අප එතන ඉන්නේ එතෙන්ට අදාළ මුහුණත් එක්ක කියලා. නෑ මෙතෙන්ට අදාළ මුහුණත් එක්ක නෙවෙයි ඉන්නේ. වෙන තැනකට වෙන දවසකට අදාළ වුණු වෙස්මුහුණක් දාගෙන ඒක ගලවන්න බැරිවුණා. අනිත් අය වෙන වෙන කතා කියනවා, ඔයා මෙහෙමයි අරහෙමයි කියලා. නමුත් අප දන්නේ නෑනේ අප මොන වෙස්මුහුණද දාගෙන ඉන්නේ කියලා. මතක නෑනේ. මොකද එකක් උඩින් තව වෙස්මුහුණක් දාගෙන ඉන්නවානේ. මොන වෙස්මුහුණ ගැනද අපි මේ කතා කරන්නේ කියලා අපම දන්නේ නෑ. මේවාට අප විවෘත වන විට හිතවතුනි සමාජයේ ඉන්න එකේ වැදගත්කම මෙයයි. තනිවෙලා තනියම පැත්තකට වෙලා ඉන්නකොට මේ එකක්වත් අපට හරි අමාරුයි තේරුම් ගන්න. විශේෂයෙන් අපව විවිවේචනය කරන, අඩුපාඩු පෙන්නලා දෙන හොඳින් හෝ නරකින් පෙන්වන අඩුපාඩු ඒ ගැන කියන සමාජයක සිටීමේ ලොකුම වරප්‍රසාදය තමා, මේ අපේ වෙස්මුහුණුවලට මුෂ්ටි ප්‍රහාර එල්වීම . කැඩෙනවා තැලිලා යනවා. අප හිතනවා අපේ මුහුණ තමයි කැඩුනේ කියලා. මුහුණ නෙවෙයි වෙස්මුහුණයි කැඩෙන්නේ. මුහුණ කැඩෙනවාට වැඩිය දුකයි වෙස්මුහුණක් කැඩිලායන එක. ඒකනේ ඇත්ත‍. ඇත්ත මොකක්ද මේ ඇඟ තුවාල වෙනවාට වැඩිය අපට රිදෙනවා අපේ නම ගැන සිතලා, අපේ ප්‍රතිරූපය ගැන සිතලා. ප්‍රතිරූපය කියන්නේ හදාගත්ත දෙයක්. නමුත් අප සිතන්නේ නෑ හදාගත් දෙයක් කියා, ‘මම’ කියලා සිතන්නේ. මමයි ප්‍රතිරූපයයි දෙකක් කියන එකත් ඔන්න තේරෙන්නේ කාලයක් ගියාම. 

සිහිබුද්ධිය ඇති වෙන්න ඇතිවෙන්න තේරෙන කරුණක් තමා මම එකක් ප්‍රතිරූපය තව දෙයක් බව. මට මාව හඳුනාගන්න බැරිවෙලා තියෙන්නේ ප්‍රතිරූපය නිසා. හඳුනගන්න කෙනයි මම යි මැද්දේ ප්‍රතිරූපයක් තියෙනවා. වෙස්මුහුණක් තියෙනවා. මට මාව පේන්නේ නෑ. මම මගෙන්ම වැහිලා තියෙනවා වෙස්මුහුණ නිසා. මේවා ගැලවිලා යන්න ඕනේ. විපස්සනාවෙන් කරන්නෙත් ඒකනේ. විපස්සනාවේදි කරන්නේ හමගහලා දානවානේ, අමු අමුවේ හමගහලා දානවා. හැබැයි සමාජයක ජීවත් වීමේදීත් ඒක වෙනවා. හොඳ කියනවාට වැඩිය නරක අහන්න ලැබෙන විට සිත රිදෙන්නේ ඒ නිසා. සිතනේ රිදෙන්නේ ඇඟ රිදෙන්න බෑනේ නරකක් ඇහුවා කියලා. ඇඟ රිදෙන්නෑ සිතයි රිදෙන්නේ. සිත රිදෙන්නේ අප දාගෙන තියෙන වෙස්මුහුණු විවේචනය කරන කොට. එසේ විවේචනය වන විට අප සිතන්නේ අපවයි විවේචනය වෙන්නේ. මෙයා විවේචනය කරන්නේ අපව, අපව නොවේ විවේචනය කරන්නේ වෙස්මුහුණක්. වෙස්මුහුණු දාගන්නේ අනිත් අයව රවට්ටන්න. හැබැයි අන්තිමේදි රැවටිලා තියෙන්නේ දාගත්ත කෙනාමයි. දාගත්ත කෙනාටම තමන්ව අමතක වෙලා. ඒ තමන්ව නැවත මතක්කර දීමක් තමා සිහිබුද්ධිය කරන්නේ. වෙන මොනවත් නෙවෙයි තමන්ව නැවතත් තමන්ටම සිහිපත් කරදීමක් තමා සිහිබුද්ධිය කරන්නේ. ඉතින් ඒ නිසා සිහිබුද්ධියේ කාර්යය වෙන කිසිම දෙයකට කරන්න බැරි. කිසිම දෙයකට ඒ කාර්යය කරන්නට බෑ. එය කරන්නට පුළුවන් සිහිබුද්ධියට පමණයි. සිහිබුද්ධිය වෙන දේවල් ලොකුවට කරන්න යන්නෙත් නෑ. හැමදේකටම ඇඟිලි ගසමින් එහෙම කරන්න යන්නෙත් නෑ. කාටද ඕනකම තියෙන්නේ කියන ප්‍රශ්නය අහනවා. කාටද ඕනේ. සිත එකඟ කරගන්න කාටද ඕනේ. සිත එකඟ කරගත්ත කෙනෙකු වගේ ඉන්නට ඕනේ කාටද? රහතන් වහන්සේ කෙනෙකු වගේ ඉන්නට ඕනේ කාටද? ඉතින් ඒ ප්‍රශ්නය දිගින් දිගටම දිගින් දිගටම ඇහෙනවා. ඒ ඇසීම තුළම අපවම අපට වදයක් වෙනවා. සිහිබුද්ධිය ඇතිවෙන ඇතිවෙන පාරට දිගටම දිගටම අහනවා. ඒ අහන්න අහන්න මුලදි නම් හොඳයි පස්සේ වදයක් වෙනවා. වදයක් වෙන්න වෙන්න වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ඒ ප්‍රශ්නය අහන්න පටන් ගන්නවා. හැම දෙයකදීම, භාවනා කරනවිට පමණක් නෙවෙයි හැම අවස්ථාවකදීම කවුද මේ? කවුද මේ? කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයත් එක්ක අපිට ඉන්න පුළුවන්නම් සිහිබුද්ධියෙන් හිතවතුනි, මොන තරම් වෙස්මුහුණු අප දාගෙන තියෙනවාද තව කීයක් අතේ තියන් ඉන්නවාද දාගන්න කියලා ඒ චිත්‍රය හොඳට පේනවා. ඉතින් අපි මේ වෙස්මුහුණු ටික අතහැරලා දැම්මොත් ඒ දාන මොහොතක මොනතරම් සැහැල්ලුවක් දැනේද? ඔය වෙස්තට්ටු ටිකක් ගැලෙව්වාම මොනතරම් සැහැල්ලුවක් දැනෙනවා ඇත්ද? වෙන මොනවා නොවුනත් එයම ලොකු නිදහසක්, ලොකු ගැලවීමක්. අපි අපිව හඳුනාගෙන, අපි අපෙන්ම ගැලවෙනවා. වෙන මොනවාගෙන්වත් නෙවෙයි ගැලවෙන්නේ, අපි අපෙන්මයි ගැලවෙන්නේ. අපෙන් ගැලවෙන්න අපි අපවම හරියට හඳුනාගන්න ඕනේ. අමාරුම දෙයත් එයයි. කල්දාන දෙයත් එයයි. ඕනේ නෑ කියා සිතන දෙයත් එයයි. බැහැයි කියලා සිතන දෙයත් එයයි. කළයුතු එකම දෙයත් එයම තමා. ඒ කාරණයත් එක්ක අපි ටිකක් මෙනෙහි කරමු මේ ඇසූ කාරණා සාකච්ඡාවට කලින් ටිකවේලාවක්.

භාවනාව

.....

මේ මොහොතේ කවුරුන් හෝ වීමේ ඕනෑකමක් සිතේ ඇතිවෙනවාද ? කාව හෝ අනුකරණය කිරීමේ කවුරුන් බවට හෝ පත්වීමේ ....

නැතිනම් සිතෙනවාද අනිත් අය එහෙම අනුකරණය කලාට මම වෙනස් කෙනෙක් මටනම් කවුරුවත් වෙන්න ඕනේ නෑ. ….

මම විශේෂ කෙනෙකු කියා එහෙම සිතෙනවාද

.....

කාටද එහෙම වෙන්නට ඕනෑ. ඒ වෙන්න ඕන කෙනා කවුද මම කියන අකුරුදෙකෙන් ප්‍රශ්නය යට ගහනව වෙනුවට

......

ගැඹුරින් ගැඹුරට බලන්න, කාටද එහෙම වෙන්න ඕනේ. නැතිනම් කවුද දන්නේ මටනම් එහෙම වෙන්න ඕනේ නෑ කියා. එහෙම වෙන්න ඕනෙ නෑ කියා සිතන කෙනා කවුද?

.....

 ඒ අනුකරණයේ ප්‍රතිඵලයක් ලෙසයි මේ තාක් දුරට මේ මඟේ අප කවුරුත් ආවේ. ඒ බවත් පෙනෙන්න ඕනේ. ඒ බවත් වැටහෙන්නට ඕනේ. අප අද මෙතන ඉන්නේ අනුකරණය නිසයි. කවුද? මෙතන ඉන්නේ කියා තමයි දැන් සොයන්නේ. කාවද අනුකරණය කරන්නේ කියා නොවෙයි කවුද? මෙතන ඉන්නේ.

.....

මේ මොහොතේ පෙනෙන්නට තිබෙන, පෙන්නන්නට හදන දාගෙන තියෙන වෙස් මුහුණක්ද? එහෙම නම් එය මොනවගේ වෙස්මුහුණක්ද?

අපි මෙනෙහි කිරීමත් සමඟ. ඒ දර්ශනයත් සමඟ අපි සාකච්ඡාවට එමු. අහන්න යමක්, පැහැදිලි කරගන්න යමක් තිබෙනවානම් මේ ඒ සඳහා අවස්ථාව. 

 

සාකච්ඡාව


ප්‍ර : මම රාජකාරි කරන කාර්යාලයේ ප්‍රධානියා තනියෙන් තීරණ ගන්න කෙනෙක්. සමහරවිට වැරදි තීරණ ගන්නවා. ඔහු යටතේ ඉන්න අපිට තේරෙනවා මේ ප්‍රධානියා කරන්නේ වැරදි වැඩක් කියලා. එතනදි අපි අපේ කේන්තිය නොපෙන්නුවොත් එතනදීත් අපි වෙස් මූණක් දාගන්නවා. අපි කේන්තියෙන් වැඩ කළොත් කෙනෙක් අහන්න පුළුවන් ඔබ සිහිබුද්ධියෙන් වැඩ කළේ නෑ නේද කියලා. එහෙම අන්ත දෙකටම නොගොහින් හිටියත් අපිටම තමයි කනස්සල්ලට පත් වෙන්න වෙන්නේ. එවැනි අවස්ථාවකදී කුමක්ද කළ යුත්තේ?


පි : පළවෙනි කාරණය ප්‍රධානියා ඒ අයුරින් වැඩ කරන්නේ නොදැනද නැත්නම් දැනගෙන ද කියා සොයා බලන්න අවශ්‍යයි. ඇත්තටම නොදැනගෙන නම් කරන්නේ ඒ ගැන කියල දෙන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. සුදුසු අවස්ථාවක් බලලා සුදුසු කෙනෙක් හරහා පැහැදිලි කරලා දෙන්න බලන්න.


ප්‍ර : එහෙම කරන්න යනවිට අපිටම තමයි නැවත වැරැද්ද එන්නේ.


පි : ඔව් අනිත් අයට උදව් කරන්න ගියාම ඒවගේ තත්වයන් ඇතිවෙනවා. එය බලාපොරොත්තුවෙන් තමයි ඒ උදව්ව කරන්න වෙන්නේ. මේ කාරණය හා සම්බන්ධ පොඩි කතාවක් කියන්න පුළුවන්. එක්තරා නුවරක දෙපිරිසක් මුණගැහිලා තිබෙනවා. මේ දෙපිරිසම එන්නේ ප්‍රසිද්ධ ආගමික ගුරුවරුන් දෙදෙනෙකු ගාව ඉඳන්. එක් පිරිසක් අනික් පිරිසෙන් අහනවා “ඔබේ ගුරුවරයා කොහොම කෙනෙක්ද?”. දෙවෙනි පිරිස උත්තර දෙනවා “අපේ ගුරුවරයා බොහොම හොඳයි, හොඳින් ඉවසනවා, අපටත් හොඳින් ඇහුම්කම් දෙනවා, අප නම් මෝඩයි හිතුවක්කාරයි, එතුමාගේ හොඳ නිසා තමයි අප මෙපමණ  කාලයක් එතුමන් ළඟ රැඳී සිටින්නේ”. මෙහෙම උත්තර දෙන පිරිස පළමු පිරිසගෙන් අහනවා “ඔබේ ගුරුවරයා කොහොම කෙනෙක්ද?”. එවිට ඒ පිරිස උත්තර දෙනවා “අපේ ගුරුවරයා නම් කිසි දෙයක් අහන කෙනෙක් නොවේ, බොහොම හිතුවක්කාරයි”.  “එසේනම් කොහොමද ඔබලා ඔය ගුරුවරයා ළඟ මෙතරම් දීර්ඝ කාලයක් රැඳිල ඉන්නෙ?”.  “අප හොඳ හින්දා තමයි ඉන්නේ, අප හොඳ නිසයි අපට ඒ ගුරුවරයා ළඟ ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ”. ඒ වගේ තමා ඔබතුමියගේ ප්‍රධානියා කොහොම වුණත් ඔබතුමියගේ හොඳකම නිසා තමයි මෙපමණ කාලයක් එම ආයතනයේ වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ ගැන හිතලා සතුටු වෙන්න. සුදුසු අවස්ථාවක් ආවහම ඔය වටපිටාව වෙනස් වෙයි. එම නිසා ඔය ප්‍රශ්නය සහ රැකියා ස්ථානය ලොකු බරක් කරගන්න එපා උපාදාන කරගන්න යන්න එපා, අවංකව සේවය කරන්න, උපාදාන කර ගත්තොත් නම් සැනසිල්ලේ රස්සාව කරන්නත් බෑ, ගෙදර ඇවිත් ඉන්නත් බෑ, භාවනාවක් කරන්නත් බෑ. අවංකව රස්සාව කරන්න, හැබැයි ලොකුවට උපාදාන කර ගන්නේ නැතුව. 


ප්‍ර : උදාහරණයක් විදිහට ගත්තොත්, යමෙක් තුල කලබලයක් නැත්නම්, ප්‍රශ්නයක් විසඳන විට තරහ එන්නෙත් නැත්නම්, ඒ වගේම ඒ පුද්ගලයාට භෞතික වස්තූන් ගැන ලෝභයකුත් නැත්නම්, මේ අංග ලක්ෂණ තියෙන කෙනෙකුව ගන්න පුළුවන්ද අනුකරණය කරන්නේ නැති පුද්ගලයෙක් කියලා?. ඔහුට අනුකරණයක් නෑ කියලා හිතන්න පුලුවන්ද? 


පි : හැම සිදුවීමකදීම ඔය ප්‍රතිඵල දෙක පේන්න තියෙනවා නම්, සිදුවීම් සමඟ ඇලීමක් හෝ ගැටීමක් නැත්නම්, එයින් කියැවෙන්නේ සිදුවීමක් වෙන්න ඕනේ කොහොමද කියලා සහ නොවෙන්න ඕන කොහොමද කියන ඒ ආකෘති ඔළුවේ නෑ කියන එක. එහෙම ආකෘතීන් දෙකක් තිබුනොත් තමයි සිදුවීමකදී ඇලෙන්නෙ හෝ ගැටෙන්නෙ, නිකන්ම ඇලෙන්නේ හෝ ගැටෙන්නේ නෑ, මුලින් හදාගෙන තියෙනවා කොහොමද මේ දේ වෙන්න ඕනේ කියලා ආකෘතියක්, ඒ විදිහට වුනොත් ඇලෙනවා, නොවුනොත් ගැටෙනවා. එතකොට ඇලීම් ගැටීම් දෙක ඇති වෙන්නේ ආකෘති හදාගෙන තියෙන නිසා. ආකෘතියක් කියන්නේ එක්තරා විදිහකට වෙස්මුහුණක් කියලා කියන්න පුළුවන්. ආකෘතීන් ඇත්තක් නොවේ. එහෙම ආකෘතියක් සෑම සිදුවීමකදීම නැත්නම් ඒ ජීවිතය අනුකරණයක් නැති ජීවිතයක් කියලා කියන්න. පුළුවන් හැබැයි ඒ තැනැත්තා තමයි දන්නේ හරියටම කුමක්ද වෙන්නේ කියලා.


ප්‍ර : අපි බොහෝ තැන්වල වැඩ කරන්නේ එකිනෙකට සාපේක්ෂව සංසන්දනය කරලා. “සංසන්දනය” මට තේරෙන්නේ වෙස්මුහුණු දාගැනීමක් විදිහට. අපි භාවනා කරන්න පටන් ගත්තාට පස්සේ මේ මේ වෙස්මූනු පේන්න පටන් ගන්නවා, ආනාපානාසතිය වගේ භාවනාවක් වඩන විට මනසේ තියෙන සාපේක්ෂ ගතිය තුනී වෙනවා, විපස්සනා කරන විට මම අනිත් අයට වඩා උසස් හෝ පහත් හෝ සමානයි කියා කරන සැසඳීම අඩුවෙනවා. මේ සාපේක්ෂ මනස නිරපේක්ෂ වෙන්න පටන් ගන්නවා. එතකොට අර වෙස්මුහුණු වලින් ඇතිවෙන දුක වේදනාව තුනී වෙලා යනවා. ඒ වගේ ගමනක් නේද අපිට යන්න තියෙන්නේ? 


පි : සාමාන්‍යයෙන් හිත සංසන්දනාත්මකයි. එක්කෝ අනුන් සමග සසඳනවා නැත්නම් තමන් එක්කම සසඳනවා. අපිට හැම විටම මැනගන්න තක්සේරු කරගන්න ඕන කමක් එනවා, ඒක තමයි පුහුදුන් හිතේ තියෙන ලොකුම ගැටලුව, එයාට එයාවම විශ්වාස නෑ.  විශ්වාසය නැති නිසා හැමවිටම මැන මැන බලනවා. සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට තමන්ව විශ්වාස නෑ. ඒ විශ්වාස නැති නිසා අනිත් අය සමඟ හෝ තමන් සමඟම සසදලා මැන ගන්නවා. ඒ නිසා සංසන්දනාත්මක මනසක් සාපේක්ෂ මනසක් තමා තියෙන්නේ. එය තමා ලොකුම ගැටලුව. හැබැයි මේ ගැටුම පේන ගැටුමක් නො වෙයි. මෙහෙම ගැටුමක් තියෙනවා කියලා පේන්නේ හුගාක් සියුම් උනහම. ඊට කලින් පේන්නේ ප්‍රශ්න විදිහට වෙන වෙන ප්‍රශ්න. එහෙම ගිහිල්ලා අපි අනුකරණය වෙන්නේ ආදේශ වෙන්නේ කෙලෙස් වලට, තරහා දුක ආශාව එක්ක ආදේශ වෙනවා. ඉතින් මම තරහ ආශාව දුක වෙනවා. මම දුක් වෙනවා නෙවෙයි, මම දුක බවට පත්වෙනවා. මට තරහ ආවා නොවෙයි, මම තරහ බවට පත් වෙනවා. ඉතින් වෙස්මුහුණක් දැම්මහම වෙන්නේ ඒ බව අමතක වෙනවා. එහෙම වෙන්නේ සිහිබුද්ධිය නැති නිසා. මම දුකට බයට තරහට සාපේක්ෂයි. මම පිළිබිඹු වෙන්න ඔය දේවල් ඕනේ. මේ කාරණය හොඳට පෙන්න පෙන්න මේ කාරණය නැති වෙලාවක් ආවොත් මාව පෙන්නේ නැති වෙලා යනවා. මාව පේන්න පසුබිමක් අවශ්‍යයි. පසුබිම තමයි ආශාව දුක තරහ. මේ පසුබිමේ තමයි මාව හොඳින් චිත්‍රණය වෙන්නේ. දැන් පසුබිම නැතිවෙලා ගිය ගමන් මාව පේන්නේ නැති වෙලා යනවා. ඉතින් එතනදි නිරපේක්ෂයි. “මම නිරපේක්ෂයි” නොවේ, පසුබිමක් නැති නිසා එතන කිසිවක් පිළිඹිඹු වෙන්නේ නෑ. ඇහුවොත් කියන්න වෙන්නේ “මම නිරපේක්ෂයි” කියලා තමයි. නමුත් එතන තියෙන්නේ නිරපේක්ෂ බව පමණයි, නිරපේක්ෂ වුණු කෙනෙක් නෑ. 


ප්‍ර : රහතන් වහන්සේ නමක් වුණත් හිතේ ස්වභාවය හැර අනිත් හැම දෙයක්ම අනුකරණය කරනවා නේද? 


පි : ඔව් සංස්කෘතියක ඉන්න විට, අප හිතමු අතින් කනවා කියලා, ඒකත් අනුකරණයක්. කන බොන විදිහ අඳින විදිහ අනුකරණයක්. ඒ නිසා  සංසාරයම අනුකරණයක්. මේකෙන් බේරෙන්න ලේසි නෑ. කිසිම දෙයක් අනුකරණය කරන්නේ නැතිව ඉන්න පුළුවන් වෙන්නේ අවස්ථා දෙකකදී විතරයි. අනිත් හැමවෙලේම අප යමක් අනුකරණය කරනවා. හැබැයි රහතන් වහන්සේ කියන්නේ ඒවාට නොවෙයි, පිණ්ඩපාත වඩින කෙනාටවත් සිවුරු පොරවාගෙන ඉන්න කෙනාටවත් නෙවෙයි. අපට රහතන් වහන්සේ විදියට පේන්නේ එහෙම. හැබැයි උන්වහන්සේට රහතන් වහන්සේ කියන්නේ ඔය එකක්වත් නොවෙයි. කිසිම වෙස් මුහුණක් නැති නිරපේක්ෂ ස්වභාවයට. ඉතින් ඒක ගැන කතා කරන්න බෑ. වචනයක් සංකල්පයක් ගෙනාව ගමන් එය අනුකරණයක්, විස්තර කරන්න බෑ. ඒ නිසා විස්තර කරන්න පුළුවන් දේවල් වලින් තමයි රහතන් වහන්සේව දකින්නේ. ඒ විදිහට දකින රහතන් වහන්සේ කෙනෙක්ව තමයි පෘථග්ජන අය අනුකරණය කරන්න හදන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි අනුකරණය කරන්න බැරි තැනකට එන්නේ. මුකුත් නැති තැන අනුකරණය කරන්න බෑ, මොනව අනුකරණය කරන්නද?. ඉතින් අනුකරණය උපරිමයට ගියපු විට ඔතනට තමයි එන්නේ. හැබැයි තාම රහත් වුණේ නෑ. අනුකරණයට රහත් වෙන්න බෑ, රහත් බවේ හැප්පිලා යන්න පුළුවන්, රහත්භාවය තුළට යන්න බෑ, මොකද එතන දෙයක් නෑ. “මම රහත් වෙන්න ඕන” කියන හැඟීම තමයි අත්හරින්න ඕන. ඒ අත්හැරීම තුළ තමයි ඒ වෙනස වෙනවා ඇත්තේ. හැබැයි එසේ උනාට පස්සේ අනිත් දේවල තියෙන්නේ අනුකරණයක්, අනුකරණයක් නැතිව ජීවත් වෙන්න බෑ. 


ප්‍ර : අපි ඒ ඒ තැනට සුදුසු විදියට තමයි හැසිරෙන්නේ. තරහ ගියත් තරහ නොගත්තා වගේ හැසිරෙනවා. අනුකරණයක් නැතුව ජීවත් වෙන්න බැරි නම් මොකක්ද එතන තියෙන පිළිතුර?. අනුකරණය කරලත් බෑ නොකරත් බෑ එහෙම නම් මොකක්ද උත්තරය?


පි :  උත්තරයක් නෑ. දැන් මම මොකක් හරි උත්තරයක් දුන්නොත් එයත් අනුකරණයක් බවට පත්වෙනවා. ඒ නිසා හරියට උත්තරයක් දෙන්න බෑ. හැබැයි ඔබතුමිය කිවූ කාරණය ඇත්ත. ජීවිත කාලය තුළම කරන්නේ අනුකරණයක්. චරිත කීයක් රගපානවද, වැඩට යද්දි මෙහෙමයි, වෙළඳ සලකට යද්දි මෙහෙමයි ආදී වශයෙන්?. මොනතරම් වෙස්මුහුණු ගොඩක් තියෙනවද?. හරි තැනට හරි වෙස්මූන දාගන්න එක තමයි අමාරු. ඒ නිසා හුඟාක් වෙලාවට වරදිනවා. ඒවා ගලවා ගන්න අමාරු වෙනවා, අමතක වෙනවා. ඉතින් ඔය ප්‍රශ්නය තමයි හැම තැනම තියෙන්නේ. නොගැලපිම කියන ප්‍රශ්නේ එන්නේ ඔය නිසා. හැබැයි මේ ප්‍රශ්නය විසදන්න පුළුවන් එකම ක්‍රමය තමා සිහිබුද්ධිය. කිසිම වෙස් මූණත් අවශ්‍ය නෑ සිහිබුද්ධිය තිබුනොත්. තැනට සුදුසු නුවණ තිබුනොත්. තැනට සුදුසු නුවණ තියෙනවා නම් වෙස්මුහුණු අවශ්‍ය නෑ. කරණීය මෙත්ත සූත්‍රයේ කියන්නේ “නිපකෝ”, “ස්ථානෝචිත ප්‍රඥාව” දහම දෙන විසඳුම එයයි. දක්ෂ කෙනෙක් කියන්නේ එයාට. එයා රඟපාන්නේ නෑ. ඒ අවස්ථාව හොඳින් තේරුම්ගෙන, එතනට හොඳට සිහිය ඕනේ අවස්ථාව නිරීක්ෂණය කරන්න, ඊළඟට සිහිබුද්ධියෙන් තීරණයකට එනවා මෙතැනදී වඩාත්ම උචිතම හැසිරීම කුමක්ද කියා, වෙස්මූනක් රඟපෑමක් නෑ එතන. සිහිබුද්ධිය නැති තැන තමා වෙස්මූණු අවශ්‍ය. මේ වෙස්මුහුණු වල කෙළවරක් නෑ, යන යන තැන මේ ඔක්කොම ගෙනියන්න ඕන, ගෙනිහින් තත්පරෙන් තත්පරේට සුදුසු එක තෝර තෝරා පළඳින්න ඕන, මෙය කළ හැකි කාර්යයක් නොවේ.


සැමදෙනාටම 

සෙතක්ම වේවා !

ශාන්තියක්ම වේවා !!

සැනසිල්ලක් ම වේවා !!!