සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 24

2022 මාර්තු 23, සාරාංශය

සුවදායක සන්ධ්‍යාවක්,

හිතවතුනි, ‘ජීවිතය’ අපූරු දෙයක්. අපූරු කියන්නේ මීට කලින් කිසිම දෙයක් මේ ආකාරයට සිදුවෙලා නැති නිසා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එකම දේ එකම විදිහට නැවත නැවත සිදුවෙනවා වගේ. එහෙම සිතුනාට එහෙම  පෙනුනාට මේ මොහොතේ යමක් සිදුවන්නේ පළවන වතාවට සහ අවසාන වතාවට. මෙයට සියයට සියයක් සමානව කිසිම සිදුවීමක් මීට කළින් වෙලත් නෑ, මීට පසුව සිදුවන්නේත් නෑ. එම නිසා ජීවිතය සෑම මොහොතකම අළුත් සහ නැවුම්. හැම සිදුවීමකම තිබෙනවා අළුත් බවක් සහ අළුතින් යමක් ඉගෙන ගැනීමක්. එහෙම නැතිනම් අළුත් යමක් ඉගෙන ගන්න අවශ්‍යතාවයක් ඇතිවන්නේ නෑ. තමන්ගෙන් ඉගෙන ගන්න තිබෙන කාරණාත්, අනුන්ගෙන් ඉගෙන ගන්න තිබෙන කාරණාත්, සිදුවීමෙන් සිදුවීමට, අත්දැකීමෙන් අත්දැකීමට දැන ගන්න තිබෙන කාරණා, ඉගෙන ගන්න තිබෙන කාරණා, වටහා ගන්න තිබෙන කාරණා. අළුතින් අළුතින් මතුවෙනවා, පේනවා, දැකගන්න ලැබෙනවා, එහි කෙළවරක් නෑ. 

හිතවතුනි, ඒ සියල්ල අතර, දැනුමට එකතු කරගන්නා කාරණා අතර, සම්පූර්ණයෙන්ම ජීවිතය කණපිට පෙරළන, ජීවිතය අංශක එකසිය අසූවක් ආපසු හරවන අවස්ථාත් තිබෙනවා. අළුතින් දේවල් ඉගෙන ගන්නා අතරම ඉගෙන ගැනීමෙන් එහාට ගිය, දැනුමෙන් එහාට ගිය, ජීවිතය ගිය පාර, ගිය ගමන සම්පූර්ණයෙන්ම කණපිට හරවනවා. නොසිතූ පැත්තකට කවදාවත් හිතුවේ නැති පැත්තකට ජීවිතය අපිව ගෙනියනවා. කවදාකවත් සැලසුම්කර නැති. එබඳු අවස්ථා සුලබ නෑ හරි විරලයි.  යම් යම් කාරණා අලුත් තමයි, සාමාන්‍යයෙන් ජීවිතයේ දන්න කියන පාරක, පරණ පාරක අලුත් විදිහට යනවා. සාමාන්‍යයෙන් එකම වාහනේ වෙනස් වෙනස් ගමන් ගමන් තමා යන්නේ. ඒ අතර, යන වාහනය සම්පූර්ණයෙන් වෙනස් කරන ගමනුත් තියෙනවා. නමුත් මේ ආධ්‍යාත්මික ගමනේදී වාහනය නිතර වෙනස් වෙනවා එකම වාහනය නෙවෙයි. පටන් ගත්ත වාහනය නෙමෙයි අවසානයේදි තියෙන්නේ, මැදදි තියෙන්නේ. එය තමා මෙහි තිබෙන සුවිශේෂි බව. ගමන නිසා වාහනය වෙනස් වෙනවා. වාහනයේ ටයර් ගෙවීම, කෑලි ගෙවීම, කැඩීම පමණක්ම නෙවෙයි. සම්පූර්ණයෙන්ම වාහනය පරිවර්තනයකට භාජනය වෙනවා. බැහැයි කියා සිතා සිටි දේවල් පුළුවන් බව තේරෙන්න පටන් ගන්නවා. මේ පාරෙන් යන්න බෑ, මේ විදිහට නම් යන්න බෑ, කියු ගමන යන්න පුළුවන් වාහනයක් බවට පත්වෙනවා. කලින් බෑ. ඇත්තට ම  බැරි නිසයි බෑ කිවුවේ. නමුත් ආධ්‍යාත්මික මගෙහි යන්න පටන් ගත්තාම එය කළ හැකි දෙයක් බවට පත්වෙනවා. ඒ පාරේ යන්න පුළුවන් වාහනයක් බවට ජීවිතය පත්වෙනවා. මේ තමා ලස්සනම පරිවර්තනය. කලින් පුළුවන්කම තියාගෙන බෑ කිවුවා නෙවෙයි. බැරි නිසයි බෑ කිවුවේ. බැරි නිසයි නොගියේ. නමුත් යන්න පටන් ගත්තොත් හැම බැරිකමක්ම පුළුවන්කමක් බවට පත්වෙනවා. ‘හැම නොහැකියාවක්ම හැකියාවක් බවට පත්වෙනවා’. එය තමා ආශ්චර්යය. එය තමා මෙහි තිබෙන අපූර්වත්වය.

හිතවතුනි, අප ළඟ නැති දේවල් ලබාගන්න ක්‍රම තිබෙනවා. ඉල්ල ගන්න පුළුවන්, මුදලට ගන්න පුළුවන්, ණයට ගන්න පුළුවන්, අතමාරුවට ගන්න පුළුවන්. ඒ වගේම අසම්මත විදිහට නම් පැහැර ගන්න පුළුවන්, මංකොල්ල කන්න පුළුවන්, හොරකම් කරගන්න පුළුවන්. සම්මත හා අසම්මත කියන මේ ක්‍රම දෙකටම ළඟ නැති දේවල් සතුකර ගන්න පුළුවනි. සාමාන්‍ය ජීවිතය යන්නේ ඒ පාරෙන්. ‘ජීවිතය පටන් ගන්නේ බිංදුවෙන්’. නමුත ඒ බිංදුව ඇතුළේ තියෙනවා සියල්ල සතු කරගැනීමේ ඕනෑකම. බිංදුව පුංචියි, බිංදුව හිස්, බිංදුව රවුමක්. වටේ රවුමක් තියෙනවා. වටේ පරිධියක් තියෙනවා. බිංදුව ඇතුළේ හිස්. හැබැයි එළියේ පිරිලා. එළියේ එක, දෙක, තුන, හතර ආදි වශයෙන් තියෙනවා. ඕනෑම දෙයක් ගත්තාම එහෙමයි. මුදල් ගත්තත්, මුතු මැණික් ගත්තත් එහෙමයි. නිළතල ගත්තත් එහෙමයි. ඒවා ගණන් කරන්න බැරි තරමට තියෙනවා. එක, දෙක, තුන, හතර, සීය, දෙසීය, දාහ, දෙදාහ, මිලියනය, ට්‍රිලියනය ආදි වශයෙන් තිබෙනවා. හැබැයි බිංදුව ඇතුළ හිස්. නමුත් ඒ හිස් භාවය ඇතුළේ අර සියල්ල ගෙනැල්ලා මේ හිස් බිංදුව පුරවන්න උත්සාහ කරනවා. ඒ ඕනේකම තිබෙනවා. හැම බිංදුවකටම ඒ ඕනෑකම තිබෙනවා. බිංදුවෙන් තමයි ජීවිතය පටන් ගන්නේ. හැබැයි භෞතික වශයෙන් හිස් වුනාට මුළු විශ්වයේම තියෙන භෞතික දේවල් ගෙනැල්ලා පිරෙව්වත් සැහීමකට පත්නොවන තෘප්තිමත් නොවන ආසාවක්, ‘නොසංසිඳෙන ස්වභාවයක් ඒ බිංදුව ඇතුළේ තියෙනවා’. ඒ නිසා බිංදුව හරීම බලවත්. ඉලක්කම් අතර බිංදුව තමා බලවත්ම ඉලක්කම. බිංදුවක් එකතු වෙන්න එකතු වෙන්න සිදුවන වෙනසක් තිබෙනවා. ඒ නිසා බිංදුව සොයා ගත්තෙත් පස්සේ. මුලින්ම එකෙන් තමයි ගණන් කරන්න පටන් ගත්තේ. ඉන්පසුවයි සොයා ගත්තේ බිංදුවේ ඉදලා එකට යන්නටත් කාලයක් යන බව. ඒ අතරත් පරතරයක් තියෙනවා. මේ බිංදුවෙන් පටන් ගත්ත ජීවිතේ, මොනතරම් දේවල් මේ බිංදුව ඇතුළේ තියෙන හිස් භාවයට ගෙනවිත් දාලා තියෙනවාද? ඇහැට පෙනෙන දේවල්, කණට ඇහෙන දේවල්, නාසයට, දිවට සහ සමට දැනෙන දේ. මේ විදිහට මොනතරම් දේවල් පහේ ගොඩවල් ගහල තියෙනවාද මේ බිංදුව ඇතුළේ. එයින් පිට දෙයක් නෑ. ඔය පහ තමයි. නමුත් එසේ එකතු කළ කිසිදෙයක් දැන් නෑ. ඒවාට මොනවා උනාද කියලා දන්නෙත් නෑ. එකතු කරගත් බව මතකත් නෑ. ඒ නිසා ඉවරයකුත් නෑ. මොකද හැමවිටම හිස් භාවයක් තියෙනවා මේ බිංදුව ඇතුළේ. මෙතන තියෙන අරුම පුදුම බව තමා මෙය අනන්තයට සමානයි. ගණිත කර්මවලත් මෙය කියනවා. බිංදුව අනන්තයට සමානයි. ඒ නිසා බිංදුව කවදාකවත් පිරෙන දෙයක් නෙමෙයි. බිංදුව කීවාම හිතෙන්නේ මොකුත් නෑ, ගණන් ගන්න දෙයක් නෑ කියලානේ. නමුත් එහි අනන්තභාවයක් තියෙනවා. අනන්තය ගෙනල්ලා දැම්මත් පිරෙන්නෑ, තවත් ඉඩ ටිකක් තියෙනවා. හැබැයි ඒ ඉතිරි ඉඩ පුංචියි. කොපමණ පුංචි වුවත් ‘කවදාකවත් පිරෙන්නේ නෑ’. ඒ පුංචි ඉඩ පුරවාගන්නයි හැමදාම සැලසුම් කරන්නේ, ක්‍රියා කරන්නේ සහ වැඩ කරන්නේ. එමෙන්ම මැරෙන්නෙත් ඉතා කුඩා දෙයක් කරගන්න තිබුනොත් ඇති කියන හැඟීමෙන්. මහ ගොඩක් දේවල් නෙමෙයි.

මේ විදිහට හිතවතුනි, භෞතික දේවල් පස්සේ යන ජීවිතයට හැරවුම් ලක්ෂ්‍යයක් සිහිබුද්ධිය ඇති කරනවා. ඒ තමා වැදගත්ම දේ. මොන ‍භෞතික දේ ලැබුණත් ඔය ‘සෙල්ලම’ සෙල්ලම ම තමයි.  ඔය ක්‍රීඩාවේ අප ඉත්තෙක් පමණයි, ක්‍රීඩකයා නෙමෙයි. පාපන්දු ක්‍රීඩාවක පාපන්දුව බවට අප පත්ව තිබෙනවා. අප ක්‍රීඩකයා නෙමෙයි පන්දුවයි. එහි ඉවරයක් නෑ. වඩාත් බුද්ධිමත් නම් වඩාත් දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම එකතු කරගන්න දේවල් වලින් සංකීර්ණ ප්‍රශ්න හදාගන්නත් පුළුවන්. ‘බුද්ධිමත් මනස සංකීර්ණයි’. සංකීර්ණ චින්තනයක් තියෙන්නේ.

එක යෝගිනියක් (යෝගී කාන්තාවක්) හුදකලා ජීවිතයක් ගත කළා. බොහොම අල්පේච්ඡ ජීවිතයක්. තැනින් තැනට යනවා. ලැබෙන දෙයකින් යැපෙනවා. මොනවා හරි ආහාරයක් ලැබුණාම, වතුර තියෙන තැනකට ගිහිල්ලා ඒ ආහාරය භුක්ති විඳිනවා. නැවත බඩගිනිවෙනතුරු කෑමක් ගැන හිතන්නේ නෑ. ඒ තමා යෝගී ජීවිතේ. මෙසේ යනවිට වතුර ඇළක් ළඟදි ලස්සන පාෂාණයක් ලැබුණා. මේ පාෂාණයත් තමන් ආහාර ගන්න පිඟානේ තියාගෙන යනවා. එය හරි ‘ආශිර්වාදාත්මක පාෂාණයක්’ විදිහට තමයි දැනුනේ. මෙසේ පාෂාණයත් අරගෙන තැනකට ගිහිල්ලා ආහාර ගන්නවිට, එතනට තවත් යෝගියෙක් පැමිණියා. දෙදෙනාම ආහාර බෙදාගෙන නිශ්ශබ්දව ආහාර ගන්නවා. ආහාර අරගෙන නිමවන විට ආගන්තුක යෝගියා මේ පාෂාණය දැක්කා. මෙය තුළ කොතරම් ආකර්ෂණීය වටිනාමක් තිබේදැයි සිතා “මේ පාෂාණය මට දෙන්න පුළුවන්ද?” කීවා. මේ දෙදෙනා එකිනෙකා හඳුනන්නේ නෑ. නමුත් මේ කාන්තාව කිසි කතාවක් නැතිව පාෂාණය දුන්නා. දෙන්නා දෙපැත්තට ගියා. දින කිහිපයක් යනවිට පාෂාණය ගත්ත යෝගීවරයාට හරි සතුටුයි. මේ පාෂාණයෙන් ආශිර්වාදයකුත් ලැබෙනවා, ඒ යෝගීවරයාට තිබුණු කරදරත් නෑ, සෑම දෙයක්ම පහසුවෙන් සිදුවෙනවා. කිසි ප්‍රශ්නයකුත් නෑ. තමන්ගේ භාවනාවත් (ධ්‍යානයත්) හොඳට වැඩෙනවා. සියල්ල හරි. පාෂාණයට අරුම පුදුම අද්භූත බලයක් තිබිලා.  ඒ බව පේනවා. එන්න එන්න ඒ බලයත් වැඩි වෙනවා. මෙහෙම ටික දවසක් ඉඳලා ආපහු අර යෝගීවරිය සිටි තැනට ගියා. එතන යෝගීවරිය නෑ. මේ යෝගීවරුන්ට තිබෙනවා හරියට GPS වගේ ඉවක් අනික් යෝගීන් සිටින තැන හඳුනා ගැනීමට‍. එය කාටත් තියෙන දෙයක්. ඔය මත්පැන් බොන කෙනෙකුට කොහේ ගියත් තවත් මත්පැන්බොන කෙනෙකු සොයාගන්න පුළුවන්නේ. ඒ මොනවගේ ඉවක් දැයි කිව නොහැකි වුනත් දාහක් දෙදාහක් සිටින තැනක උනත් හරියටම ඒවගෙ කෙනෙකු ළඟට ගිහිල්ලයි අහන්නේ “මත්පැන් බොන්න තැනක් සොයාගන්න පුළුවන්ද” කියා. ඉතින් අනිත් අයට නැති ඒ ඉව එයාට තියෙනවා.

 ආධ්‍යාත්මික ගමනක යෙදෙන අයටත් තියෙනවා අනිත් අයව හඳුනාගැනීමට ඉවක්. එම ඉව ඔස්සේ යෝගීවරිය සිටින තැන සොයාගෙන ගියා. අර ආශ්චර්යමත් පාෂාණය දුන්න යෝගීවරිය හමුවුනා. හමුවුනාම “මෙපමණ වටිනා සම්පතක් මගේ ජීවිතයටම තමන් දැකල නෑ”  කියා අර පාෂාණය ආපහු දුන්නා. මෙතුමාත් ධනවත් පුද්ගලයෙක්. සිටුවරයෙක්.  සියල්ල අතහැර යෝගීවරයෙක් ව සිටින මොහු “එතරම් වටිනා, මිලකළ නොහැකි, භෞතික සම්පතක් දැක නෑ” කියා ආපහු දුන්නා. ඇයි එහෙම ආපහු දෙන්න ඇත්තේ? සිතන්න වටින කාරණයක්. මොන හේතු නිසාද එහෙම කළේ?. එක්කෝ අනුන්ගේ දෙයක් අපි ළඟ තියාගන්න එක හරි නැති නිසා දෙන්න පුළුවන්. නැතිනම් ඉල්ලීම ගැන ලැජ්ජාවෙලා මොන ලැජ්ජානැති වැඩක්ද කියා සිතී ආපහු දෙන්නත් ඇති. එහෙම නැත්නම් මෙවැනි වටිනා දෙයක් රැකගන්න වෙන දුක ආදීනව දැක දුන්නා වෙන්නත් පුළුවන්. නැතිනම් යෝගීවරයෙකුට මොකටද මැණිකක් වගේ වටිනා දෙයක් කියා සිතා ආපහු දෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් එහාට ගිහිල්ලා යෝගීවරයෙක් බාහිර ආරක්ෂාවක් ඉල්ලීම පිළිබඳව ලැජ්ජාවට පත්ව දුන්නා වෙන්නත් පුළුවන්. මොකද ‘යෝගීවරයෙක්’ කියන්නේ ඊළඟ මොහොත මොනවා වුනත් කමක් නෑ කියා ඉන්න පුළුවන් කෙනෙක්’. ඊළඟ මොහොත සැලසුම් කර, ඊළඟ මොහොතේ ආරක්ෂාව ගැන හිතා දැන්මම ඒ සඳහා විධිවිධාන යොදාගන්නා කෙනෙකුට නොවෙයි. එහෙම කෙනෙකුට කියන්නේ ‘භෝගීවරයෙක්’. අනාගතය පිළිබඳ බයෙන් පුළුවන් තරම් දේවල් රැස්කරන ජීවිතය භෝගී ජීවිතයක්. යෝගීවරයෙකු එහෙම නෑ. මේ මොහොත පමණයි. එහෙම කෙනෙකු සුරක්ෂිතතාවය වෙනුවෙන් හරියට සුරයක් දැම්මා වගේනේ. විමුක්තිය සොයාගෙන යන කෙනෙකු මොකටද සුර දාන්නේ. එමනිසා මෙය “යෝගීවරයෙකුට සුදුසු නෑ” යැයි සිතා අපහු දුන්නා කියා සිතන්නත් පුළුවන්. මේ හිතවතුන්ට සමහර විට මේ නොකියු හේතූන් සිතෙන්නත් පුළුවන් ඇයි දුන්නේ කියා. මුලින් පාෂාණය තියාගෙන හිටපු යෝගිණිය ආපහු දුන්නාම ගත්තා. දුන්නේ යම් සේද ගත්තේත් එසේමයි. දෙනවිට ප්‍රශ්න ඇසුවෙත් නෑ, ගන්නවිට ප්‍රශ්න ඇසුවෙත් නෑ. දෙනවිට දුකක් තිබුණෙත් නෑ. ගන්නවිට සතුටු වුණෙත් නෑ. ඉතින් මේ යෝගීතුමා මෙය ආපසු දීලා කියනවා “මෙය හරි වටිනා පාෂාණයක්, මේ තරම් වටිනා භෞතික දෙයක් නෑ. මෙයින් කරන්න බැරි දෙයකුත් නෑ. සිතු පැතු දේ කරගන්න පුළුවන්. හරියට සිතුමිණ වගේ, චින්තාමාණික්‍යය වාගේ. සිතන්නේ මොනවාද ලැබෙනවා. මම මෙය ආපසු දෙන්නේ මට එපා නිසා නොවේ, මට මෙයට ආශාවක් නැති නිසාත් නොවේ, මෙවැනි දෙයකින් ආරක්ෂාවක් ලබා ගැනීම ගැන ලැජ්ජාවීමකිනුත් නොවේ. මා මෙය ආපහු දෙන්නේ, මට මීට වැඩිය දෙයක් ඔබතුමියගෙන් ඉල්ලන්න ඕනේ නිසා”. කුමක් ද ඒ? “මෙබඳු වටිනා දෙයක් දෙපාරක් හිතන්නැතිව, කතාබහක් නැතිව අත්හරින්න පුළුවන්කම පාෂාණයට වැඩිය වටිනවා. මම ඔබතුමියගෙන් ඉල්ලන්නේ ඒ හැකියාව දෙන්න. ඕනෑම වටිනා දෙයක් අත්හරින්න පුළුවන් හැකියාව මට දෙන්න. වටිනා දේවල්වලට වඩා එය වටිනවා. ඒ අත්හැරීම ගැන කියලා දෙන්න. ඒ තැනට මට යන්න පාර කියන්න”.

හිතවතුනි, මේ තමා සිහිබුද්ධිය. සාමාන්‍ය බුද්ධිය බලන්නේ භෞතික වටිනාකම් පමණයි. බුද්ධියත් භෞතිකයි. ඒ නිසානේ බුද්ධිමය දේපළ පනත, copyrights (කතෘ හිමිකම) තියෙන්නේ. බුද්ධිය ඇතුළු මේ සියල්ල භෞතික නිසා බුද්ධියට පේන්නේ ලෞකික වටිනාකම පමණයි. ඉන් ලැබෙන ප්‍රයෝජන පමණයි. ඒ නිසා මෙවැනි වටිනා දේවල් ජීවිතයට ලංකර ගැනීමේ ජීවිත ආලෝකයයි පේන්නේ. නමුත් සිහිබුද්ධිය තමයි දන්නේ කොන්දේසි විරහිතව, කතා දෙකක් නැතිව, දෙපාරක් හිතන්නැතිව, අළුයමේ ලු කෙළ පිඩක් මෙන් අතහරින්න පුළුවන්බව. අන්න ඒ හැකියාව වටිනවා අතහරින දේට වැඩිය. අතහරින දේත් වටිනවා තමයි. නමුත් එයට තිබෙන්නේ භෞතික වටිනාකමක්. ඕනෑම දන් දෙන දෙයක තියෙන්නේ භෞතික වටිනාකමක්. භෞතික වටිනාකම රුපියල් හරි ඩොලර් වලින් හරි මනින්න පුළුවන්. හැබැයි දීමේ හැකියාවේ වටිනාකම මනින්න ගණන් කරන්න බෑ.

හිතවතුනි, අර බිංදුව ඇත්තම බිංදුවක්. ඒ ඇත්තම බිංදුව තමයි ලස්සන. විශාල බිංදුවක් ඇඳලා එහි ඇතුළේ එක, දෙක, තුන ආදි වශයෙන් ඕන තරම් ඉලක්කම් ලියන්න පුළුවන්නේ. අප සිතුවට එයින් වටිනාකමක් ඇතිවෙනවා කියා එහෙම නෑ. බිංදුව බිංදුව නොවන දෙයක් බවට පත් වෙනවා ඒ ඇතුළට වටිනාකම් එකතු කළාම. ඒ එකතු කළ දේවල් අතහරියාම ඇත්තටම බිංදුව ලස්සනයි. ‘හිස්බව ඇත්තටම ලස්සනයි’. එපමණ ලස්සන, සුන්දර, චිත්තාකර්ෂණිය දෙයක් තවත් නෑ. එය අත්දැකීමෙන්ම තමා අවබෝධ කරගන්නට ඕනෑ. මොකුත් නෑ කීම නොව, කිසිවක් නැතිවුනාට කමක් නෑ. මම කියන කෙනා වටින්නේ ඒවා-මේවා හින්දා නෙවෙයි. එහෙන්-මෙහෙන් එල්ලගත්ත දේවල් නිසා නම් මම වටින්නේ, වටින්නේ මම නෙවෙයි ඒ එල්ලගත්ත දේවල්.  ඇඳන් ඉන්න ඇඳුම නිසා නම් තමන්ට වටිනාකමක් ලැබෙන්නේ, තමන් නෙවෙයි වටින්නේ ඇඳුමයි වටින්නේ. ‘මට වැඩිය මගේ ඇඳුම, අතේ බඳින ඔරලෝසුව, භාවිතා කරන දුරකථනය වටිනවා’. ‘යන වාහනය, ඉන්න ගෙදර මට වැඩිය වටිනවා’. ඒවාට වටිනාකම් දෙන්න බුද්ධියට පුළුවන්. හැබැයි ‘සිහිබුද්ධිය කියනවා මේ සියල්ලටම වඩා වටින්නේ තමන්’ කියා. ඒවා-මේවා තියෙන මම නෙමෙයි වටින්නේ මොකුත් නැති මම. අපි හිතමු පෑනක් රුපියල් සීයයි කියා, එවිට මගේ අගයට සීයක් එකතු වෙනවා. ඇඳන් ඉන්න ඇඳුම පන්සීය නම් මගේ අගයට පන්සීයක් එකතු වෙනවා. එහෙම නම් ‘මම’ වටින්නේ, ඒ වටිනාකමෙන් වැඩක් නෑ. හැබැයි විශ්වයේ වටිනාම දේ තමා තමන්. තමන් තමා වටින්නේ. තමන් කියලා කියන්නේ මේ කිසිවක් අයිති කරගන්න, සතුකර ගන්න, ‘හිමි කරගන්න ඕනෑකමක් නැති ස්වභාවය’. එය තමා වටින්නේ. බිංදුව තමා වටින්නේ. එහි වටිනාකම මෙචපමණයි කියා කියන්නට බැහැ.

බිංදුවට කිසියම් අගයක් එක් කළාම වටිනාකමක් තියෙනවා. ඒ අරෙහෙම වටිනාකමක්. ‘මට කිසිවක් ඕනේ නෑ’. ‘මොකුත්ම ඕනේ නෑ’ කියා සිතුණු වෙලාවක් ගනිමු. සදහටම කියන කතාව පැත්තකින් තියලා ‘මේ මොහොතට මට කිසිවක්ම අවශ්‍ය නෑ’. අන්න ඒ මොහොත තරම් වටිනා මොහොතක් තවත් නෑ. ඒ මොහොත පිරුණු මොහොතක්. හිස් බවින් පිරිලා. බොල් බවින් නොව හිස් බවින් පිරිලා. සැනසිල්ලෙන්, නිවීමෙන් පිරිලා. කාටවත්, කිසිම බලවේගයකට ද, මනුෂ්‍යයෙකුට ද, දෙවියෙකුට ද, බ්‍රහ්මයෙකුට ද, මාරයෙකුට ද ඒ සැනසීමට බලපෑම් කරන්න බෑ. බලපෑම් කරලා වෙනස් කරන්න බෑ. ‘මට අහවල් දේ තිබුණොත් හොඳයි’, ‘මට අහවල් දේ තියෙනවා’ කියන ඒ සිතිවිල්ලත් සමඟ ඉන්න විට කූඹියෙකුටත් පුළුවන් දුකක් ඇති කරන්න. මෙපමණ වටිනා දෙයක් තමන්ට තියෙනවා කියා සිතන විට ගුල්ලෙකුට, මීයෙකුට පුළුවන් දුකක් ඇති කරන්න. මිනිස්සු, යක්කු, දෙවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, මාරයෝ ගැන මොන කතා ද?. හිස්භාවයට ගුල්ලෝ ගහන්න බෑ. දිරන්නේ නෑ. මොනවාද දිරන්නේ. හිස්භාවය දිරන්නේ නෑ. කිසිවක් අවශ්‍ය නෑ කියන ස්වභාවය මැරෙන්නෙත් නෑ. ආබාධිත වන්නේත් නෑ. ලෙඩ වෙන්නෙත් නෑ. අන්න එහෙම ස්වභාවයක් ස්පර්ශකරන්න පුළුවන් තැනකට ජීවිතය පත්කරනවා. සිහිබුද්ධියත් සමඟ මේ ගමන යනවිට බැරිදේත් පුළුවන් දෙයක් බවට පත්වෙනවා. ඒ අත්දැකීම් ලැබූ පසුවත්, එහි තිබෙන විශිෂ්ඨත්වය, නිර්මල බව සක්සුදක් සේ තහවුරු වූ පසුවත් ඒ භෞතික ලෝකයේ ම ඉන්නවා. හැමදෙයක්ම විසිකරලා නෑ. හැබැයි ඒවාට වටිනාකමක් දෙන්නේත් නෑ. ඒවා නෙවෙයි වටින්නේ. ඇත්තටම වටින්නේ ඒවා නෙවෙයි. තණ්හාව තමයි ඒ දේවල්වලට වටිනාකමක් පෙන්වන්නේ. මේ විදිහට පෙන්වන වටිනාකමට රැවටෙනවා. තියෙන වටිනාකමට නෙවෙයි, පෙන්වන වටිනාකමට රැවටෙනවා. ඒ දේ නැත්නම් වටින්නේ නෑ. අර ගමන ගියේ නැත්නම් වටින්නේ නෑ. මේ දේ බැලුවේ නැත්නම් වටින්නේ නෑ. මේ දේ කෑවේ නැත්නම් ජීවිතේ වැඩක් නෑ. එහෙම ජීවිතයක් අපට පෙන්වන්නේ තණ්හාව, බුද්ධිය. එහෙම පෙන්වන්න තණ්හාවට හොඳ මොළයක් තියෙනවා.  නමුත් මේ අප දකින්නේ ඇත්තම ජීවිතය නෙවෙයි. සැබෑම ජීවිතය මීට වැඩිය හරිම වෙනස්. සැබෑම ජීවිතය හරි නිර්මලයි, හරි අහිංසකයි, පිවිතුරුයි. මොනම දෙයකින්වත් කිලිටි වෙන්නෙත් නෑ. කිලිටි කරන්නත් බෑ. ලැබුණා කියා පිරෙන්නෙත් නැති, ඉවත් වුණා කියා අඩුවෙන්නෙත් නැති සොබාවයක් සැබෑම ජීවිතය.

හිතවතුනි, යමක් නැතිව බෑ කියන ජීවිතයට. බෑ බෑ බෑ කියලා කී තැනකට, කී දෙයකට කියලා ඇත්ද?. මෙය නැතිව බෑ. එය නැතිව බෑ. එයා නැතිව බෑ. මෙයා නැතිව බෑ. මේ ලැයිස්තුව කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. බලන්න එතකොට මේ ජීවිතය කොයිතරම් ආබාධිත, අංගවිකල ජීවිතයක් ද?. කිහිලිකරුවක් නැතිව බෑනේ. මොකක්ද මේ ජීවිතේ. මේකද ජීවිතේ. එහෙම පේන්න ජීවිතයකුත් තියෙනවා. නමුත් ඊට එහා ජීවිතයකුත් තියෙනවා. නැතුව පුළුවන් පුළුවන් පුළුවන්. මොනවා නැතත් පුළුවන්. අන්න බෑ කියන ජීවිතෙයි, පුළුවන් කියන ජීවිතෙයි. නැතිව බෑ කියන ජීවිතෙන්, නැතිව පුළුවන් කියන ජීවිතයට පනින පිම්මකුයිසිහිබුද්ධියෙන් කෙරෙන්නේ.

භාවනාව.

ඒ නිගමනයත් එක්ක අපි පුංචි වෙලාවක් නිහඩවෙමු.  

හිතවතුනි කියන්න අහන්න යමක් ඇත්නම් කෙටියෙන් කියමු අහමු. එසේ කියන්න අහන්න යමක් නැත්නම් මේ නිශ්ශබ්ද හෝ හිස් බවක් එක්ක එකතු වෙමු. හිස් බවට පමණයි නිහඬ වෙන්න පුළුවන්, නිශ්ශබ්ද. යමක් උපදින්න නම් යමක් චලනය වෙන්න ඕනේ.  යමක් තියෙන්ට ඕනේ.  යමක් තිබෙනවා නම් එතන හඬක් තිබෙනවා, මොනම දෙයක් හරි. භෞතික හෝ මානසික යමක් තිබෙනවා නම් ඊට අදාල කම්පනයක් ඊට අදාල රිද්මයක් ශබ්දයක් තිබෙනවා. නිශ්ශබ්දයි කියන්නේ එතන හිස් බව පමණයි.  ඇත්තටම නිශ්ශබ්දතාවයයි  නිශ්ශබ්දතාවය සමානයි හිස් බව.  දැන් බලන්න ඔය හැම දෙයක්ම කතා කරනවා මොනවා හරි කතා කරනවා.  බයට වෙනම කතාවක් තියෙනවා රිද්මයක් කම්පනයක් තිබෙනවා.  ආදරේට වෙනම හඬක් කම්පනයක් තිබෙනවා. ඒ හැමදේකටම ඝෝෂාවක් තිබෙනවා. හඬක් නාදයක් නැත්තෙ හිස් බවට. ඔය කිසි දෙයක් නැති තැනක හඬකුත් නෑ. දුකකුත් නෑ. දුකක් වෙන්න දේකුත් නෑ, දැන් නෙමේ ඉස්සරහට වෙන්න දෙයකුත් නෑ. ආදරය තරහක් වෙන්න පුළුවන්, ඉරිසියාවක් වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම තවත් දෙයක් බවට පෙරළෙනවා. ඔය මොකුත් නැති ස්වභාවය මොනවටවත්  පෙරළෙන්නේ නෑ. හැමවිටම අපි යම්කිසි වේශයක් ගන්නවා, මම මෙහෙමයි  කියලා. මම මෙහෙමත් නෙමෙයි, එහෙමත් නෙමෙයි, අරහෙමත් නෙමෙයි, එයත් නෙමෙයි, මෙයත් නෙමෙයි, අරයත් නෙමෙයි, මමත් නෙමෙයි. මම තරහත් නෙමෙයි ආදරයත් නෙමෙයි. නෙමෙයි කියනවා මිසක් වෙන කියන්න දෙයක් නෑ. වෙන මොනවා කියන්නද, නෙවෙයි. එහෙමද එහෙම නෙමෙයි, මෙහෙමද මෙහෙමත් නෙමෙයි. කියනවාම නොවෙයි, මෙම වචනෙන් කියනවාම නොවෙයි, එහෙම කියන්න පුළුවන් තැනකට එනවා, පුළුවන් කෙනෙකු වෙනවා. එතන තිබෙන්නේ නිමා නොවන වසන්තයක්, නිමා නොවන සැනසිල්ලක්. යළි කවදාවත් ඇවිලෙන්නේ නැති නිවීමක්. නිවෙන්න පුළුවන්,  ගින්න කියනවා “මට නිවෙන්න බෑ” කියලා. නෑ පුළුවන්, හැම ගින්නකටම නිමෙන්න පුළුවන්.

හිතවතුනි, මේ ධර්මතාව අත්දකින්න පුළුවන්, අවබෝධ කරගන්න පුලුවන් මේ ධර්මතාව. ඇයි අපි අවබෝධ කරගන්නේ නැත්තේ? ඇයි අපි අත්දකින්නේ නැත්තෙ? ඇයි අපි කල් දාන්නේ?  තාම ලෑස්ති නෑ කියන්නේ?  දැන් බෑ කියන්නෙ?.

ඒ විවෘතභාවයක් එක්ක අපි සතුටින් සැහැල්ලුවෙන් සමුගනිමු. හැම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!! .