සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 23
2022 මාර්තු 16, සාරාංශය
සදහම් සැඳෑවට පිවිසුණු දයාබර ආධ්‍යාත්මික හිතවතුනි,
ගමනක් නොවන ගමනක්, මඟක් නොවන මඟක්, ඉලක්කයක් නොවන ඉලක්කයක්. ගමනක් නොවන ගමනක්, කොතනකටවත් යෑමක් නැති, කිසිම තැනකට යෑමක් නැති, කායිකවවත්, මානසිකවවත්, හැඟීම්මයවත්, මනෝමයවත් කොහේටවත් යන ගමනක් නොවන, නමුත් මෙතන සිටීමකුත් නොවන. මඟක් නොවන මඟක්. පියවරෙන් පියවරට, තබන තබන පියවරක් පාසා මඟක් ඇතිවෙනවා, නැතිවෙනවා. ඉලක්කයක් නොවන ඉලක්කයක්, ඉලක්කයකට යන්නට ගන්න අරමුණක්. නමුත් ඒ අරමුණ, ඒ ඉලක්කය දන්න ඉලක්කයක් නොවේ. නොදන්නා ඉලක්කයක්. නොදන්නා දෙයක් ගැන අරමුණු කරගන්නේ කොහොමද? එය කළ නොහැකි දෙයක්. ඉලක්කයකින් තොරව, අරමුණකින් තොරව ගමනක් යන්නටවත්, මඟට බහින්නටවත්, වැඩක් පටන්ගන්නටවත් බෑ. හිතවතුනි, ඉලක්කය, ඉලක්කයක් නොවන බව වැටහෙන්නේ ඉලක්කයට සමීපවනවිට. ඉලක්කයට සමීපවන විටයි වැටහෙන්නේ, මෙය හිතාගත්ත ඉලක්කය නොවන බව. හිතාගන්න බැරි බව වැටහීම. ඉලක්කය, අරමුණ, නිෂ්ඨාව, පරමාර්ථය, සිතිවිලි වලින් ග්‍රහණය කරගන්න බැරි බව නොවැටහෙනතාක් අප ඉන්නේ සිතිවිලි ඇතුළේ. සිතිවිලි හරි කියන තැන.
සිතිවිලි හරි කියන විට, හරි සිතිවිලි හා වැරදි සිතිවිලි කියා සිතිවිලි වර්ග දෙකක් තිබෙනවා. ඒ බව අප දන්නවා. මේ රාත්‍රිය කීවාම, එහෙම හිතුවාම එය හරි සිතිවිල්ලක්. මේ දහවල, උදේ කියලා සිතුවොත් ලංකාවේ ඉන්න කෙනෙකු එය වැරදි සිතීමක්. එබඳු හරි සිතිවිලි, වැරදි සිතිවිලි තිබෙනවා. නමුත් ඉන් එහාට මේ රෑ ද? දවල් ද? අපට ඇස් ඇරලා බලන්න පුළුවන්. එළියට ගිහින් බලන්න පුළුවන්. තව කෙනෙකුගෙන් අහන්න පුළුවන්. මේ රාත්‍රිය ම තමා. හරි පහසුයි ඒ සිතිවිල්ල හරි ද? වැරදි ද? කියා දැනගන්න. අපටත් පුළුවනි තව කෙනෙකුටත් පුළුවනි. මක්නිසාද රාත්‍රිය අප සියදහස් වාරයක් අත්දැක තිබෙන නිසා. රැයේ ස්වභාවය හැමදෙනාම එක්වරක්, දෙවරක්, තෙවරක් නොවෙයි දස දහස් වාරයක් අත්දැකලා තිබෙනවා. අතීතය සොයාගෙන යන ගමනක් නම් හරි පහසුයි. අතීතයේ දුටුදෙයක්, ඇසූ දෙයක්, වින්ද දෙයක්, යළි සොයාගෙන යන ගමනක් හරි පහසුවෙන් යන්න පුළුවනි. වරදින්නේ නෑ. වරදින්න තියෙන ඉඩ අඩුයි. මක්නිසාද, ඒ පිළිබඳ අත්දැකීමක් ලබා තිබෙන නිසා. නමුත්, කවදාවත්ම අත්දැක නැති දෙයක් ගැන අපට තිබෙන්නේ සිතිවිලි පමණයි. හරි සිතිවිලි, වැරදි සිතිවිලි නෙමේ, මේ සියල්ල සිතිවිලි කවදාවත්ම අත්දැක්කේ නැති දෙයක් ගැන, යථාර්ථයක් නෑ. එතන තිබෙන්නේ අපේ අදහසක් පමණයි.
‘අදහස හිස්’. හිස් කියන්නේ එතන අත්දැකීමක් නෑ. එතන අවබෝධයකුත් නෑ. සිතාගෙන සිටීමක් පමණයි. අදහසක් කියන්නේ සිතා සිටින ආකාරයක්. ‘මගේ අදහස’, ‘ඔබේ අදහස’, ‘පොතේ අදහස’, ‘දහමේ අදහස’ මේ සිතාගෙන සිටින ආකාර. ලස්සන අදහස් තිබෙනවා. අදහස, අදහසක් මිස යථාර්ථයක් නොවෙයි. හිස්, ඇතුළ හිස්. ඕනෑම අදහසක් අරන් බලන්න. අත් නොදුටු දෙයක් පිළිබඳව, අත්දැකීමක් නැත්නම් තියෙන්නේ කියවූ දෙයක්, ඇසූ දෙයක්, සිතූ දෙයක් නිසා, මවාගත් චිත්‍රයක් පමණයි. මනසේ ඇඳගත් සිතුවමක් පමණයි අදහස්. එබඳු දේවල් අදහස්. ඒ අදහස්වල හරයක් නෑ. අභ්‍යන්තරයේ සාරයක් නෑ. අරටුවක් නෑ. නමුත් ‘බලයක්’ තිබෙනවා. ඒ අදහස්වලට බලයක් තිබෙනවා. කුමක්ද ඒ අදහස් වලට තිබෙන බලය? ‘කර්මයක් කරන්න පුළුවන් හැකියාව’ අදහස්වලට තිබෙනවා.
උදාහරණයක් විදිහට මෙය කලිනුත් කියා තිබෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේනමකට වන්දනා කරන විට ගාථා කියා හෝ නොකියා, මල් පූජාකර හෝ නොකර වන්දනා කරනවිට එයින් පිනක් විය හැකියි. පිනක් සිද්ධවෙන්න පුළුවන්. සිදුනොවන්නත් පුළුවන්. සිදුවෙනවා නම් ඒ පින රඳා පවතින්නේ ප්‍රතිමාව මත නොවේ. ඒ පින මතුවන්නේ ඒ ප්‍රතිමාවෙන් නොවේ. මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සංකේතයක් කියන අදහසින්. ඒ අදහසින් තමයි පිනක් සිදුවන්නේ. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කියා බුද්ධ ප්‍රතිමාවක් නොවන ප්‍රතිමාවකට කෙනෙකු වන්දනා කළත් ඒ පිනේ වෙනසක් නෑ. සමහර ප්‍රතිමා මෑතකදි තමා සොයාගන්නේ බුද්ධ ප්‍රතිමා නෙමෙයි, නිගණ්ඨනාතපුත්‍ර තුමාගේ ප්‍රතිමා කියා. බුදු පිළිම නොවෙයි. ජෛන මහාවීර පිළිම. ඒවාට බෞද්ධයන් වැන්දා, ගාථා කීවා, නමස්කාර කළා, මල් පූජා කළා. තාමත් රැවටිලා මල් පූජා කරන්න පුළුවන්. ඉතින් ඒ පිනේ වෙනසක් තියෙනවාද? බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් කියා වෙනත් ශාස්තෘන් වහන්සේ නමකගේ පිළිමයකට ගෞරව කරනවා. වන්දනා කරනවා. ප්‍රතිඵලය එකයි. ප්‍රතිඵලය වෙනස් වෙන්නට බෑ. මොකද ඒ පිළිම දෙකේම බුදුහාමුදුරුවෝ නෑ. ඒ පිළිම දෙකේම බුද්ධ ස්වභාවයක් නෑ. හැබැයි පිනක් වෙනවා. කොහොමද ඒ පින වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් කියන අදහස නිසා. ඒ ‘අදහස තමයි ඒ පුණ්‍යකර්මය උත්පාදනය කරන්නේ’. අදහස. කෙනෙකු පිළිමයක් කැඩුවොත් ද්වේෂයෙන්, ආගම් විරෝධීව එයින් පාපයක් අකුසලයක් වෙන්න පුළුවන්. බුදු පිළිමක් කියා වෙන පිළිමයක් කැඩුවත්, සිදුවන අකුසලය එකමයි. මොකද අදහස තිබ්බේ බුදුපිළිමයක් කඩනවා කියන එක. හිතවතුනි, ප්‍රබල කර්ම. ප්‍රබල පුණ්‍යකර්ම. ප්‍රබල පාපකර්ම. හිස් අදහස් නිසා සිදුවිය හැකියි. හරයක් නැහැ නමුත් ප්‍රබල කර්මයක්, ප්‍රබල පුණ්‍යකර්මයක්, ප්‍රබල පාපකර්මයක් සිදුවෙනවා. මේ තමා අදහස්වල තිබෙන භයානකකම. ‘භයානකයි අදහස්’, භයානක අදහස් කියන එක නෙමෙයි. අදහස්වලට බලයක් තිබෙනවා. හිස් වුනාට ලොකු බලයක් තියෙනවා.
ඇයි බලවත් වුණේ? හොඳ ප්‍රශ්නයක් අහන්නේ. අදහස් හිස් නම්, පුහු නම් අභ්‍යන්තරයේ කිසිවක් නැත්නම් කොහොමද එබඳු බලයක් අදහසකට ලැබෙන්නේ? අදහසක් නිසා කරන කියන දෙයකින් එබඳු විශාල විපාකයක් ලැබෙන්නේ කොහොමද? වෙන මොනම හේතුවක් නිසාවත්, කාගෙවත් බලයක් නිසාවත් නෙවෙයි, එහෙම ලැබෙන්නේ, ඒ ක්‍රියාව ‘කරන්නෙත් අදහසක්’, විපාකය ‘විඳින්නෙත් අදහසක්’ නිසයි. තව විදිහකට කියනවා නම් ‘කර්ම කරන්නෙත් අදහසක්, විපාක විඳින්නෙත් අදහසක්’. ‘ක්‍රියාවයි - විඳීමයි’ යන මේ දෙකේ එකතුවට ‘පුද්ගලයා’ නැතහොත් ‘මම’ කියා කියනවා. ‘මම’ වෙනම ඉන්නවා, ‘ක්‍රියාව’ වෙනම තියෙනවා, ‘විපාකය’ වෙනම තියෙනවා නොවෙයි. ‘මම’, ‘කෙනා’, ‘පුද්ගලයා’ කියන නම් දෙන්නෙම ‘ක්‍රියාවයි - විඳීමයි’ යන මේ දෙකේ එකතුවට. මෙතන තියෙන්නේ ක්‍රියාවේ හා ප්‍රතිඵලයේ එකතුවක්. එකතුවක් කිව්වාම හරි, නමක් දෙනවානම් ‘මම’ නැත්නම් ‘පුද්ගලයා’ කියා කියන්න පුළුවන්. පුද්ගලයා වෙනමයි, ක්‍රියාව වෙනමයි, විපාක වෙනමයි, වෙන්නේ නෑ.
පුද්ගලයා කියන්නේ ස්කන්ධ පහටනේ. ස්කන්ධ පහ ගැන විස්තරයේ දී ‘වේදනා’ ස්කන්ධය තමා විපාකය. ‘විඳීම’. මෙහිදී ඕනෑම විඳීමක්, එනම් කර්ම විපාක විඳිමයි කර්ම නොවන විඳීමයි යන දෙකම. ඊලඟට කර්මය එන්නේ ‘සංඛාර’ ස්කන්ධයට. ‘ක්‍රියාව’. මෙහිදී පුද්ගලයෙක් වෙනම ඉන්නවා, ස්කන්ධ වෙනම තියෙනවා නෙමෙයි. මෙතන තියෙන්නේ දේවල් නොව ක්‍රියාකාරීත්වයන් පහක්. රූපය කියන්නේ දෙයකට නොව ක්‍රියාවකටය. සීතල-උණුසුම. සීතල කියන්නේ දෙයක් නොව ක්‍රියාවක්. ‘උණුසුමත්’ ක්‍රියාවක්. ‘විඳීමත්’ ක්‍රියාවක්. ‘රිදීම’ දෙයක් ද? එය ක්‍රියාවක්. මතක්වීම, සැලසුම් කිරීම, තීරණ ගැනීම, දැනීම මේවා ක්‍රියාවන්. දේවල් නොවේ. ක්‍රියා පහක්. මේ ක්‍රියා පහෙන් එකක් ගනිමු. කිරීමක්, ක්‍රියාවක් එතනින් නවතින්නේ නැතිව ‘කරන්නේ කවුද?’ ක්‍රියාවක් නම් කරන කෙනෙක් සිටිය යුතුය. විඳිනවා නම් විඳින කෙනෙකු සිටිය යුතුයි. තීරණ ගන්නවා නම් තීරණ ගන්න කෙනෙකු සිටිය යුතුයි. එසේ සිටිනවා යැයි සිතමු.
මෙතන ඇති ලොකුම වරද නම්, මේ හැමදෙයක්ම කරන්නේ ‘එකම එක්කෙනා’ යැයි සිතීමයි. සිතන්නෙයි, කරන්නෙයි, විඳින්නෙයි, මතක් කරගන්නෙයි, දැනගන්නෙයි මේ ‘සියල්ලම කරන්නේ එකම එක්කෙනා’ යැයි සිතීම. එසේ එකම එක්කෙනෙක්, වෙනස් නොවන එකම කෙනෙක් සිටිනවා යැයි සිතීම. ‘එහෙම කෙනෙක් සිටිනවා’, ‘එයා තමයි අත්දකින්නේ, ‘විඳින්නේ’, ‘මතක් කරගන්නේ’, ‘සැලසුම් කරගන්නේ’, ‘දැනගන්නේ’ හෝ ‘වෙනත් අයුරකින් වුවත් කියන්නේ’, හොඳට බලන්න හිතවතුනි, මේ අදහසක්. “මතක් කරන කෙනෙක් ඉන්නවා” කියන එක ‘අදහසක්’. විඳීම එකක්, “විඳින කෙනෙක් ඉන්නවා” කියන්නේ අදහසක්, සිතිවිල්ලක්. මතක් වීම නොවෙයි, “මතක් කරන කෙනෙකු ඉන්නවා” කියන එක. ‘මතක් වුනා’, කාටද මතක් වුනේ?. ‘සිතුවා’, කවුද හිතුවේ? ‘කවුද කියන ප්‍රශ්නය එනවා. කවුද කියන ප්‍රශ්නය අහන්නේ කවුරුහරි ඉන්න ඕනේ කියන අදහස. ඒ ප්‍රශ්නය මතුවන්නේ අදහසකින්. වෙන කොහෙන්වත් නොවෙයි අදහසකින් එන්නේ. මොන අදහසින් ද “කවුරුහරි ඉන්න ඕනේ” කියන අදහසින්. “කවුරුවත් ඉන්න ඕනේ නෑ” කියලා හිතාගෙන හිටියොත් ඔය ප්‍රශ්නය එන්නේ නෑ. හොඳට බලන්න, හිතන්න නොවෙයි ඔළුවට කාවදින්න. බුද්ධියට කාවැද්දූ අදහසක් තමයි ‘ක්‍රියාවක් වේ නම් කරන්නෙකු ඇත’, ක්‍රියාවක් තිබෙන්නට බෑ කරන කෙනෙකු නැතිව. ‘මම කියලා කෙනෙකු නෑ’, ‘පුද්ගලයෙක් නෑ’, ‘සත්ත්වයෙකු නෑ’ මේ සියල්ලත් අදහස්. මෙහෙම කිව්වාම ප්‍රශ්නය විසඳෙනවා කියලා හිතුවොත් අන්න වරදිනවා. හේතුව මේ සියල්ලත් අදහස්. සත්ත්වයෙක් ‘ඉන්නවා’ කියන අදහසින් තමයි ‘නෑ’ කියන මතය එන්නේ.’මම’ කියා කෙනෙකු නැතිනම් ‘මම’ නෑ කියන අදහස එන්න බෑ. හැබැයි මෙය එළියෙන් පේන්නේ මෙම අදහස් දෙක සම්පූර්ණයෙන්ම පරස්පරයි වගේ. එම නිසා බුද්ධිය අල්ලගන්නවා ‘මම’ කියා කෙනෙක් නෑ කියන අදහස. ඒ අදහස අල්ල ගන්නේ බුද්ධිය. බුද්ධියට තර්ක කරන්න පුළුවන් ‘මම’ කියා කෙනෙකු නෑ කියා. ඒ තර්ක හරි බුද්ධිමත්. නමුත් ඒවා තර්ක පමණයි. බුද්ධිමය තර්ක පමණයි.
හිතවතුනි, අල්ලගන්නේම අදහසක්. මේ ගැන නැවත නැවත අවධාරණය කරන්නේ, අතහරිනවා නම් අතහරින්න තියෙන්නේ අදහස් පමණක් වන නිසා. අදහස් අත් නොහැර මොනවා අත් හැරියත් එතැන පැවැත්ම තියෙනවා. පවතින දෙයක් තිබෙනවා. පවතින කෙනෙකු ඉන්නවා. අදහසකට පවතින්න පුළුවන්. ශරීරයක් අවශ්‍ය නෑ පවතින්න. අප සිතනවා ශරීරයක් අවශ්‍යයි පවතින්න, ලෝකයක් තියෙන්න ඕනේ පවතින්න, කෑම බීම ඕනේ පවතින්න, ඔක්සිජන්, වතුර, මහපොළොව, ඉර, හඳ ඕනේ පවතින්න. මේ කිසිදෙයක් අවශ්‍ය නෑ පැවැත්මට. පැවැත්මට අත්‍යාවශ්‍යම දේ තමා අදහස්.
බැඳීම කියන්නේ කුමක්ද?, බැඳෙන දෙයක් බලන්න. මොනවාහරි දේකට බැඳෙනවා නම්, පළාතකට බැඳෙනවා කියා හිතන්න. ඒ බැඳෙන්නේ ඇයි? අදහස් නිසා. ඒ පළාත පිලිබඳ ඇති අදහස් වලටයි බැඳෙන්නේ. ඇඟට දැනෙන රස්නයක්-සීතලක් ඇති. ඒ රස්නේ - සීතල වුවත්, ඒ ගැන අපේ තියෙන අදහස් වලටයි බැඳෙන්නේ. හොඳ අදහස් තිබෙනවා නම් බැඳෙනවා. නරක අදහස් තිබෙනවා නම් ගැටෙනවා. ඇලුණුදේට ගැටෙන්නෙත් ගැටුනදේට ඇලෙන්නෙත් අදහස් වෙනස්වීම නිසා. කිසිවක් වෙනස් කළයුතු නැත. වෙනස් කළයුතු වන්නේ අදහස් පමණි. බියවුණු දෙයකට බිය නොවී ඉන්න, කළයුතුවන්නේ අදහස් වෙනස් කිරීම.
බුද්ධිය ‘මම’ ඉන්නවා කියනවා. ‘මම’ නෑ කියනවා. ‘කෙනෙකු’ ඉන්නවා කියනවා. ‘කෙනෙකු’ නෑ කියනවා. මේ දෙකම කියන්නේ බුද්ධිය. ඉන්නවා කියන්නත් බුද්ධියට පුළුවන්. ඉතාම ප්‍රබල තර්ක මතුකරමින්, ප්‍රබල සාධක ගෙන එමින්, බුද්ධියට පුළුවන් මම කියා ‘කෙනෙකු’, ‘පුද්ගලයෙකු, ‘කරන කෙනෙක්’, ‘විඳින කෙනෙක්’ ඉන්නවා කියා ඔප්පු කරන්න. බැරි නෑ පුළුවන්. එසේම බුද්ධියට හැකියි ‘එහෙම කෙනෙක් නෑ’ කියා ඔප්පු කරන්නත්. ඉන්නවා කියු තර්කවලට ප්‍රතිතර්ක ගෙන එමින් කෙනෙක් නෑ කියා ඔප්පු කිරීමටත් බුද්ධියට හැකියි. ඒ නිසා හිතවතුනි සෑමදෙයක් පිළිබඳවම තර්ක හා විතර්ක තිබෙනවා. ඕනෑම දෙයක් ගැන තර්කත් තිබෙනවා. විතර්කත් තිබෙනවා. නැති දෙයක් තිබෙනවාද බලන්න. හොඳයි කියන්න තර්ක කරන්නත් පුළුවන්. නරකයි කියන්න තර්ක කරන්නත් පුළුවන්.
සිහිබුද්ධිය මොහොතක ඇතිවුනොත්, මේ සියල්ල අදහස් බව අන්න ඒ සිහිබුද්ධියට පේනවා. හිතක මැවුණු අදහස්. අදහස් උපදින්නේ සිතේ. සිතට පුළුවන් ඕනෑම අදහසක් ඇතිකරගන්න. ඇතිකරගත් ඒ අදහස හරිකියා ඔප්පු කරන්නත් සිතට පුළුවන්. අදහසක් හරි කියන්න තව අදහසක් ඕනේ. ඔප්පු කරන්න සාක්කිනේ ඕනේ. හරියට කෙනෙක් යමක් කියනවිට, ඒදේම කියන තව තුන් හතර දෙනෙක් සිටියාම එය ඔප්පු කරන්න පුළුවන්. බොරු කරන්න අවශ්‍ය වන්නේත් සාක්කි පමණයි. මේ ක්‍රමයට යථාර්ථය දැනගන්න බෑ. මුළු ලෝකයම එකතුවෙලා යමක් කීවත්, එයින් යථාර්ථය වෙනස් වන්නේ නැහැ. මුළු ලෝකයම කීවත් මෙතන කෙනෙක් ඉන්නවා, අදහස් වලට එහා ගිය කෙනෙක් ඉන්නවා කියා හෝ මෙතන කෙනෙක් නෑ කියා කෙනෙක් මතු වෙනවාද?, කෙනෙක් නැති වෙනවාද?
ඔප්පු කිරීම් සහ බිඳ හෙලීම්, මේවා බුද්ධිමය කාර්යයන්. බුද්ධියට කරන්න බැරි දෙයක් නෑ. බුද්ධිය කරන්නේ බ්‍රාන්තිය ඇති කිරීම. වඩාත් බුද්ධිමත් නම් ලොකූ බ්‍රාන්තියක් ඇති කරන්න පුළුවන්. බුද්ධිමත්කමේම ලක්ෂණයක් තමා බ්‍රාන්තිවීම සහ අනිත් අයව ඒ තත්වයට පත් කිරීම. මෙය කරවන්න පුළුවන් හැකියාව බුද්ධියට තිබෙනවා. බුද්ධිය නැතිනම් එය කළ නොහැකියි.
සිහිබුද්ධිය මේ දෙපැත්තටම වැටෙන්නේ නෑ. දකිනවා මේ අන්ත දෙකම අදහස්වලින් ගොඩනැඟුණු වේදිකා දෙකක් පමණයි කියා. අදහස් උපදින්නේ මනෝවිඤ්ඤාණයෙන්, මේ මනෝවිඤ්ඤාණයෙන් මතුවූ උල්පතින් දෙපැත්තට ගලා යන දියදහරා දෙකක් පමණයි. ‘ඇත’, ‘නැත’, ‘ඉන්නවා’, ‘නෑ’, ‘පවතිනවා’, ‘පවතින්නේ නෑ’ යන මේ අදහස් දිගේ ආපහු ආවොත් නවතින්නේ වෙන කොහේවත් නොවේ, මනෝවිඤ්ඤාණයේ. උල්පත සොයාගෙන ආවොත් හමුවන්නේ ‘මනෝවිඤ්ඤාණය’, ‘මනස’.
සිහිබුද්ධිය මේ කිසි එකක් බරපතල විදිහට ගන්නෑ. සිතන්න දෙයක් නෑ ඕවායේ. කතා කරන්න, වාද කරන්න කොහෙත්ම දෙයක් නෑ ඕවායේ. සිහිබුද්ධියට වාදයක් නෑ. කිසිම දෙයක් ගැන එයාට වාදයක් නෑ. වාද කරන්න නම් අදහසක් හරි කියලා අල්ලගන්න ඕනේ. එහෙම නැතිව වාද කරන්න පුළුවන්ද? මේ අදහස හරි කීව ගමන් තමා ඒ අදහස වැරදි කියන හැඟීම ඇතිවන්නේ. එහෙම නැතිව කොහොමද? ‘මේ අදහස මගේ’, ‘ඔය අදහස ඔබගේ’. ‘මම හරි’ ‘ඔබ වැරදි’. බලන්න මෙය කොච්චර දුර යනවාද? ජීවිත කාලයම වාද කර කර ඉන්න පුළුවන්. හැබැයි මේ වාදයේ මුලටම ගියොත් ‘මනසින් මතුවුණු පුංචි අදහසක්’. එපමණයි. ඇයි අපට එතන නවතින්නට බැරිවුනේ? බැරිවුනේ ලස්සන හේතුවක් නිසා. කුමක්ද? අදහස් අනුභවකරන ‘භූතයෙක්’, ‘යකෙක්’ ඉන්නවා. එයාගේ කෑම තමා අදහස්. එක එක දේවල් කනවනේ. මිනිස්සු බත් කනවා, පාන් කනවා. සත්තු ඉන්නවා පණුවෝ කනවා. ගන්ධබ්භ කියන්නේ ගඳ-සුවඳ අනුභවකරන ජීවින්. ඒ වගේ අදහසක් ඉපදෙන තැන කට ඇරගෙන බලාගෙන ඉන්නවා භූතයෙක්. කවදාකවත් බඩ පිරිලා නැති ඒ භූතයා පුදුම බඩගින්නක ඉන්නේ. කර්ම විපාක නිසා කොපමණ කෑවත් බඩ පිරෙන්නේ නැති එහෙම පෙරේතයන් ගැන අප අහලා, කියවලා තියෙනවා නේ. එසේ මෙසේ බඩගින්නක් නොවේ. අප දන්න බඩගින්න නම් ඉවසන්න පුළුවන්නේ. මෙය ඉවසන්න බැරි බඩගින්නක්. එබඳු ඉවසිය නොහැකි සාගින්නකින් පීඩාවිඳින පෙරේතයෙක් ඉන්නවා කට ඇරගෙන. අදහසක් ආවගමන් එය කුමක් දැයි සෙවීමකින් තොරව ගිලිනවා. එන එන අදහස ගිල දැමූවද පීඩාවිඳි සාගින්න අඩුවන්නේ ද නැත. මෙයාට තමා ‘මමත්වය’ කියා කියන්නේ. මේ භූතයා, මෙයාට ‘භූතයා’ කීවත්, ‘යකෙක්’ කීවත්, ‘මමත්වය’ කීවත් නමක් පමණයි. ‘මමත්වයට කෑම තමා අදහස්’. එයා කන්නේ, ගිලින්නේ අදහස්. පවතින්නේ අදහස් වලින්. හේතුව මමත්වය කියන්නෙත් අදහසක් නිසා. ඇත්තටම පවතින යථාර්තයක් නෙමෙයි මමත්වය කියන්නේ. එයත් අදහසක්. අදහස්වලින් නිමැවුණු දෙයකට තමයි මමත්වය කියන්නේ. ඒ නිසා එයාගේ පැවැත්මට අදහස් ඕනේ. ‘අදහසක් ගිල්ලා’ කියන එකට දහමේ පාවිච්චි වෙන වචනය තමා ‘උපාදානය’. අදහස් ගිල්ලාම උගුරේ හිරවෙනවා, හරියට බිලී කොක්කක් වගේ ඇමිණෙනවා. ඒ මේ අදහස්වල ඇමකුත්, කොක්කකුත් තිබෙන නිසා. ඇමක් කියන්නේ රහකුත් තියෙනවා. ඒ රහ නිසා ගිල්ලාම අදහසේ තිබෙන ඇමිණෙන ගතිය නිසා උගුරෙ හිරවෙනවා. ඉන් පහළට යන්නෑ. එම නිසා කිසිම අදහසක් ජීර්ණය වන්නේ නෑ. සියල්ලම උගුරේ හිරවෙනවා. මොන බුද්ධිමය අදහසක් වුණත් හිරවෙනවා. හිරවුනාම මේ අදහස් ඔළුව ඇතුළේ තම තමන්ගේ ස්ථාන, නිජබිම් සොයා ගන්න සටන් කරනවා. අදහස් අදහස් සටන් කරනවා. ‘විතක්ක’ කියන්නේ එයයි.
අප නැත්නම් මමත්වය මොනවාද ගිලලා නැත්තේ? එකකට එකක් ගැලපෙන ආහාර දිරවාවී. නමුත් සොයා බැලීමකින් තොරව ගිල්ලොත්, කිසිදු ගැලපීමක් නැති ආහාර ගිල්ලොත් කුමක්ද සිදුවන්නේ?. අන්න එබඳු දෙයක් තමා මමත්වයට ද සිදුවන්නේ. දිරවන්නේ නැති නිසා එකතැනක ඉන්න බෑ. දඟලන්න වෙනවා. මොනතරම් අදහස් ගිලලා තියෙනවාද? එය තමයි උපාදානයේ ස්වභාවය. ඕනෑම දෙයක් උපාදාන වුවහොත් නිවීසැනසිල්ලලේ සිටිය නොහැකියි. උපාදානය කළදේ නිවීසැනසිල්ලේ ඉන්න දෙන්නෙත් නෑ.
අදහසක් උපදින තැන සිහිබුද්ධිය තිබුණොත් කුමක්ද වෙන්නේ? දැන් දෙන්නෙක් මෙතන ඉන්නවා. කෙනෙක් ඉන්නවා අදහස් උපදින තැනම කට ඇරගෙන ගිලින්න බලාගෙන ඉන්නවා. උපාදානය කරන්න ඉන්නවා. ‘මගේ අදහස’, ‘හරි අදහස’, ‘මෙහෙම තමයි වෙන්නේ අනිත් සියල්ල බොරු’. එහෙම හිතන්න හිතන්න තමයි මමත්වය පවතින්නේ. එයාට හැම මොහොතකම උපාදානයක් ඕනේ. උපාදානය නැතිවූ සැනින්ම මමත්වය නැතිවෙලා යනවා. මමත්වය තිබෙනතුරු උපාදාන කරනවා. උපාදානය තිබෙනතුරු මමත්වය තිබෙනවා. හරියට ශරීරයයි හුස්මයි වගේ. ශරීරය ප්‍රාණවත්ව තිබෙන තුරු හුස්ම ගන්නවා. හුස්ම ගන්නතුරු ශරීරය ප්‍රාණවත්ව තිබෙනවා. එකක් නැතිවෙන විට අනිත් එකත් නැතිවෙනවා. හුස්ම නැවතුණොත් පණ තිබෙන ශරිරයක් තියෙන්නේ නෑ. ශරීරයට යම් සේ හුස්මද, මමත්වයට උපාදානයත් ඒ වගේ.
බුද්ධිය කියනවා හොඳ දේ අල්ල ගන්න. මේවා හොඳයි. නරක දේ අත්හරින්න. සිහිබුද්ධියට තමයි පේන්නේ මේ භූතයා. කටඇරන් බලන් ඉන්න මේ භූතයා. කවදාවත්ම තමන්ගේ බඩගින්නේ ප්‍රමාණයට කෑම නොලැබුණු සාගින්නේ සිටින භූතයා. ඒ නිසා හැමදාම දුකින් ඉන්න මේ භූතයාව පේන්නේ සිහිබුද්ධියට. එයාට තව තව කෑම දෙනවාද? එය පිනක් ද? කොපමණ කෑවත් බඩ පිරෙන්නෙත් නැති, ඇති කියවෙන්නෙත් නැති, ඒ දුක නැතිවෙන්නෙත් නැති, නොකෑවා කියලා වැඩි දුකක් එන්නෙත් නැති, එයාට කන්න දෙන එකේ පිනකුත් නෑ. නොදුන්නා කියා පවකුත් නෑ. මේ තමා සිහිබුද්ධියට පෙනෙන කාරණය. කලින් අවස්ථාවකත් පිල්ලි පිළිබඳව කතා කලා. මොනවායින් හරි පිල්ලියක් සාදා එයට ජපකලාම ඒ පිල්ලියට පණ එනවා. මමත්වයත් ඒ වගේ හිතවතුනි. කිසිවෙනසක් නෑ. උපාදානය නමැති මන්ත්‍රයෙන් තමයි මමත්වය නමැති පිල්ලියට පණ දෙන්නේ. මේ මන්ත්‍රය ජප කිරීම පිනක් ද? කුමක් හෝ බලියක් හදලා, බලියට පණ නෑ. මන්ත්‍රය ජපකලොත් පිල්ලියක් කරන්න පුළුවන්. පිල්ලියක් කරලා කාවහරි බය කරන්න, අනතුරක් කරන්න පුළුවන්. ඒ මන්ත්‍රය ජප කිරීම පිනක් ද? ජප නොකර සිටීම පවක්ද? පණ දෙන්නෑනේ. මන්ත්‍රය ජප කළේ නැත්නම් පවක් වෙන්නේ නෑ. මෙය පින් පව් වලින් මනින්න බෑ. පිනකුත් නෑ එතන පවකුත් නෑ. දුකකුත් නෑ. කර්මයකුත් නෑ. විපාකයකුත් නෑ.
සිහිබුද්ධිය කරන්නේ අදහසක් ඇතිවෙනවිටම එතන ඉන්නවා. භූතයා කට ඇරගෙන ඉන්න තැනටත් කලින් ඉන්නේ. මෙය අදහසක් පමණයි. සිතුවිල්ලක් පමණයි. හරයක් නෑ. හරයක් නෑ කියන්නේ සිහිබුද්ධිය දකිනවා යමක් වෙන්නේ කොහොමද, යමක් නොවෙන්නේ කොහොමද. මේ දෙකම සිහිබුද්ධියට දකින්න පුළුවන්. ඒ ගැන හිතන්න දෙයක් නෑ. වෙන විදිහකට සිතුවා කියලා සිදුවෙන දේ වෙනස් වෙන්නෙත් නෑ. උදාහරණයක් ලෙස තරහා ඒම ගනිමු. තරහා එන්නේ සරලව කීවොත් අකමැති දෙයක් වීම නිසානේ. එවිට සිහිබුද්ධියට පේනවා අකමැති දෙයක් සිදුවෙනවිට තමා තරහා එන්නේ. අකමැත්තක් හිතේ තියන් හිටියොත් අකමැති දේ සිදුවුනොත් තරහා එයි. කියන එක බුද්ධිය දන්නවා. නමුත් ඊටත් කලින් සිහිබුද්ධිය දන්නවා අකමැත්තක් ඇතිවන්නේ කැමැත්තක් තියෙන නිසා. කිසියම් ස්වභාවයකට කැමති නිසායි ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයකට අකමැතිවන්නේ. කැමතිවෙනවිටම සිහිබුද්ධිය දන්නවා මේ ගුටිකන්න තමයි ලෑස්තිවෙන්නේ. කාගෙන්ද ස්වභාවයෙන්. පැවැත්මෙන් ගුටිකන්න යන්නේ. මොකද කැමති වෙන්නේ පැවැත්මේ එක පැත්තකට නේ. වලිගයට කැමති උනොත් ඔළුව ඇවිත් දෂ්ඨ කරනවා. සිහිබුද්ධියට ඒ බව පේනවා. ඒ නිසා සිහිබුද්ධිය මුලින්ම කියනවා මෙතන කැමති වෙන්න දෙයකුත් නෑ, අකමැති වෙන්න දෙයකුත් නෑ. කැමති වෙන්නේ, තණ්හාව ඇතිවෙන්නේ, සුවයට. පටිඝය ඇතිවෙන්නේ දුකට. මේ දුක-සැප පෙරළෙනවා. සැප-දුක වෙනවා. තණ්හාව-පටිඝය වෙනවා. මෙය වෙන්න කලින් බුද්ධිය දන්නේ නෑ, නමුත් සිහිබුද්ධිය දන්නවා. තරහා එන්න පුළුවන්. එතකොට තරහා එනවා. මේ ධර්මතාවයනේ. මේ ධර්මතාවය අප වෙන විදිහකට හිතුවා කියලා වෙනස් වෙන්නේ නෑ. තරහා එන්නේ කර්මය නිසා කියා සිතුවා කියා අකමැති දෙයක් සිදුවන විට තරහා නෑවිත් තිබෙනවාද? තරහා එන්නේ බඩගින්න නිසා. බඩ පිරිලානම් තරහා එන්නේ නෑ. එහෙම සිතුවා කියා තරහානොවි තිබෙනවාද? අපට ඕනදෙයක් සිතිය හැකියි. නමුත් යථාර්ථය වෙනස් වන්නේනැහැ. සිහිබුද්ධියට පේන්නේ යථාර්ථය. යථාර්ථයයි මේ මවාගන්න අදහසුයි කිසිම ගැලපීමක් නෑ. මොනම ගැලපීමක්වත් නෑ. නමුත් යථාර්ථය වැහිලා තියෙන්නේ අදහස් වලින්, අදහස් කන්න කන්න, යථාර්ථය තව තව වැහෙනවා, උපාදාන කරන්න කරන්න. සිහිබුද්ධිය හිටගන්නවා අර කට ඇරගෙන සිටින භූතයයි, අදහස් උනන උල්පතයි මැද්දෙන්. එය පවක් නෙවෙයි. මෙයාගේ බඩ පිරෙන්නෑ කවදාකවත්, කන්න කන්න බඩගිනි වැඩියි. දුක වැඩියි.
අදහස් උපදිනවා උපාදාන කිරීමක් නෑ. අනුභව කිරීමක් නෑ. හුස්ම නැතිවුණ මොහොතේම අර පණ තිබුණු ශරිරය තවදුරටත් පවතින්නේ නෑ වගේ, අදහස් උපාදානය වීම නැවතුණු ගමන්ම උපාදානය කළ කෙනාත් නැතිවෙලා යනවා. එයාට ඉන්න බෑ. මේ ගැන දිගටම කියන්නට උනේ මැදදි නැවැත්වුවානම් මුල-මැද-අග ගලපගන්න බැරිවෙනවා. සිහිබුද්ධිය නැති තැනක අදහස් මගේ කරගන්න කෙනෙක් ඉන්නවා. සිහිබුද්ධිය ඇතිවුනොත් ඒ සිහිබුද්ධියට තමයි පේන්නේ අදහස් සහ යථාර්ථය දෙකක් බව. මොනවා හිතුනත් සිහිබුද්ධියට ප්‍රශ්නයක් නෑ. මක්නිසාද එයා ඉන්නේ යථාර්ථයත් සමග. කැරකෙනවා කිවුවත්, කැරකෙන්නෑ කිවුවත්, හතරැස් කිවුවත්, රවුම් කිවුවත් කිසි ගැටලුවක් නෑ. එය ගැටලුවක් වන්නේ කාටද? එයින් එකක් අල්ලගත්ත කෙනාට. හතරැස් කියා අල්ලගත්ත කෙනාටයි රවුම් කිව්වාම රිදෙන්නේ. රවුම් කියා අල්ලගත් කෙනාට තමා හතරැස් කිව්වාම රිදෙන්නේ. මේ එකක්වත් අල්ලගත්ත නැති කෙනාට මොකක් කිවුවත් ප්‍රශ්නයක් නෑ.
‘අනුපාදාය’, උපාදානය නොකිරීම පිණිසයි භාවනාව. භාවනාවේදි ලබන අත්දැකීම්, ඒ අත්දැකීම් ලබන සිහිය, සිහිය තියෙන භාවනා කරන කෙනා මේ කිසිවක් අල්ලා නොගැනීම පිණිසයි භාවනාව. අතහරින්න නොවෙයි භාවනා කරන්නේ, අල්ලා නොගෙන ඉන්නයි. බුද්ධිය තමයි අපට කියන්නේ අත්හරින්න. එයාට වෙන කියන්න දෙයක් නෑනේ. අල්ලාගෙන තියෙන නිසා අත්හරින්න කියනවා. එය බුද්ධිමත් උත්තරයක්. සිහිබුද්ධිය තමයි කියන්නේ අල්ලාගන්න එපා. අත්හරිනවාද නැද්ද යන ප්‍රශ්නය එන්නේ අල්ලාගත්තොත්. අල්ලාගන්න එපා. අල්ලානොගැනීම පිණිසයි භාවනාව. භාවනාව අල්ලාගන්නෙත් නෑ. භාවනා කරන කෙනා අල්ලගන්නෙත් නෑ. අල්ලගන්න දෙයක් නෑ. මක් නිසාද භාවනාව යනු අල්ලානොගැනීමයි.
අහන්න යමක් තියෙනවානම් අහන්න, නැතිනම් ඒ අදහසත් එක්ක නිහඬ වෙමු....
සාකච්චාව
ප්‍ර : අදහසක් එක්ක ඇලෙනවා සහ ගැටෙනවා කියන එක තේරෙනවා. මුලාවෙනවා කියන එක පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
පි : අදහස තමයි දේ කියල හිතනවා. මුලාවෙනවා කියන්නේ ඒනිසයි. කෙනෙකු ගැන කතාකරනවා කියන්න. ඒ කෙනා මෙහෙමයි හොදයි නරකයි කියල කතා වෙනවා. අප හිතනවා මේ කතා කරන්නේ ඒ කෙනා ගැන කියල. ඒ කෙනා ගැන නෙමේනේ කතා කරන්නේ. එයා ගැන මගේ අදහස් කියන්නේ. නමුත් අප රැවටෙනවා අදහස තමයි කෙනා. නෑ, ඒ අදහසයි කෙනයි දෙන්නෙක්. මේ මගේ අදහස් ටිකක් මම මේ කියන්නේ. ඒකට ඒ පුද්ගලයා කොහෙත්ම සම්බන්ධයක් නෑ. චතුරාර්ය සත්‍යය ගැන අදහස්. ඉතින් චතුරාර්ය සත්‍යය ගැන වෙන අදහස් තිබුනට ඒවා චතුරාර්ය සත්‍යය නෙවෙයිනේ. මුලාව එන්නේ එතනින්. එය භයානකයි, ඇලීමට හා ගැටිමට වැඩිය, මුළාවීම. චතුරාර්ය සත්‍යය දන්නවද?. ඔව් දන්නවා. එහෙම කියන්න පුළුවන්නේ. බොරුත් නෙවේනේ. හැබැයි ඒ චතුරාර්ය සත්‍යයද?. නෑ, අපේ අදහස්. අදහස් අදහස් විදිහට දකින්නේ නැතිව අප හිතනවා මේ තමයි දේවල්. මේ අදහස් අප තුළ ඇතිකරනවා බ්‍රාන්තියක්. illusion (මිථ්‍යාවකට) එහා ගිය hallucination (මායාවක්) , බ්‍රාන්තියක් ඇති කරනවා දන්නවා කියන, දන්නවා. ඒ තමා ලොකුම මුලාව.මේ කතාකරන මමත් ඇහුම්කන් දෙන ඔබත් ඉන්නේ ඒ මුලාවේ. අදහසක් ආපු ගමන්ම වචනයක් ගත්ත ගමන්ම අප හිතනවා ඒදේ දන්නවා කියල. දන්න නිසානේ කතා කරන්නේ. හැබැයි සිහිබුද්ධිය එතනට අවොත් සිහිබුද්ධිය අහන පළවෙනිම ප්‍රශ්නය තමයි “ඔබ ඇත්තටම දන්නවද, දන්නවා කියල හිතන් ඉන්නවද, නැත්නම් ඇත්තටම දන්නවද?”. එතකොට දන්නවද කියල බලන්න. “ඔව්” කියල උත්තර දීල බේරෙන්න බෑ, බුද්ධි පරීක්ෂණ වලදී නම් පුළුවන්, නමුත් සිහිබුද්ධිය ඉදිරියේදී එහෙම “ඔව්” කියා බේරෙන්න බෑ, දන්නවද බලන්න වෙනවා. අප කියන ඕනෙම වචනයක්, ඇත්තටම දන්නවද?. දන්නේ නැත්නම් එය වචනයක් පමණයි. වචනේ දන්නවා, වෙන මොනවද දන්නේ. මේ තමයි ලොකුම මුලාව.මේ මුලාව හින්දයි අප සංසාරේ ඉන්නේ. ඇලීම ගැටීම දෙවෙනියට එන්නේ.
ප්‍ර : ඕනම ධර්ම දේශනාවකදී දේශනා කරන්නේ ඒ දේශකයාගේ අදහස් ටිකක්. හැබැයි අවබෝධ කරගත්ත දෙයක් උනාට ඒ දෙන්නෙ අදහස් ටිකක්. අපි ඒ අදහස් අරගෙන හිතේ පැල කරගෙන ඒ මොහොතේ දැනුමක් විදිහට ගබඩා කර ගන්න උත්සාහ කරනවා නම් වැටහීමක් ඇති වෙන්නේ නෑ. නමුත් මට තේරුන දෙයක් තමයි ඒක දැනුමක් විදිහට ගන්නවාට වඩා සිහියෙන් අහගෙන ඉන්නකොට අන්තිමේදී වගේ යම් කිසි වැටහීමක් ඇති වෙනවා. අන්න ඒ වැටහීම කෙනෙකුව වෙනස් කරනවා. එතකොට ඒක නේද දේශනාවක් ශ්‍රවණය කරන හරිම විදිහ?
පි : ඔව්, අදහස් තමයි කියන්නේ. වෙන මොනවා කියන්නද. තුන් ආකාරයක දේවල් එළියට එනවා. එකක් තමා වැරදියි කියා දැන දැනම වැරදි අදහස් හරියි කියල කියන්න පුළුවන්. ඒක පවක්. ඊළඟට හරි කියලා හිතාගෙන වැරදි අදහස් කියන්නත් පුළුවන්. ඒක අකුසලයක්. පවකට එයා ගිය අකුසලයක්. තුන්වැනි කාරණය අප අත්දකින දේවල් තියෙනවා. ඒ අත්දකින දේ කියන්නත් පුළුවන්. හැබැයි එය කියන්න ඕනේ “ මාගේ අත්දැකීම මෙහෙමයි, මම අත්දැක්කේ මෙහෙමයි” කියලා. හැබැයි “මේ තමා පරම සත්‍යය, වෙන කෙනෙකුට වෙන අත්දැකීමක් තියෙන්න බෑ, හැමෝම මේ අත්දැකීම ලබන්න ඕනේ”, අන්න එහෙම කිව්වොත් ඒවා අදහස්. අදහස් නෙමෙයි අප අත්දකින දේ කියනවා. මම සීතල අත්දකිනවා නම්, ”මට හිතලයි” කියල කියනවා. මට රස්නේ නම් මම කියනවා “මට රස්නෙයි”, ඒවා මගේ අත්දැකීම්. “රස්නෙ හොඳයි” කියල කියනවා නම් එය අදහසක්. “හැමෝටම රස්නෙ දැනෙන්න ඕනේ”, එයත් අදහසක්. කවුරු හරි කිව්වොත් හිතලයි කියලා, නෑ ඒක එහෙම වෙන්න බෑ කියා වාදකරනවා. වාද කරන්නේ රස්නෙ කියනදේ අල්ලගෙන තියෙන නිසා, උපාදාන කරගෙන. හැබැයි කොහොම කිව්වත් අන්තිමට අහන කෙනාට මේවා සියල්ලම අදහස් තමා.
නමුත් එකෙන් සහ දෙකෙන් ගමනක් යන්න බැහැ. ඒවයේ පාරක් නෑ. ඒ අහන දේ රසවත් නම් හොඳයි, නැත්නම් නරකයි, ඒවා සමග තර්ක කරන්න වාද කරන්න පුළුවන්. එතනින් එහා ගමනක් නෑ, පාරක නෑ. කෙනෙක් අත්දැකීමක් කතා කරනකොට එතන අහන් ඉන්න කෙනාට මාර්ගයකුත් ඈදෙනවා. අන්න ඒ මග, මාර්ගයක් මතු වෙන්නෙ කොතනින්ද කියන විමසිල්ලෙනුයි අහගෙන ඉන්න ඕනේ. සිහිබුද්ධියෙන් අහනවා කියන්නේ එයයි. මේවා අදහස් කියලා දන්නවා, ඒවා සමග ඇලෙන්න ගැටෙන්න හැප්පෙන්න යන්නෙ නෑ, සිහිබුද්ධිය අහගෙන ඉන්නේ හා බලාගෙන ඉන්නේ මේ කියන දේවල් හරහා කොතනින්ද දොරක් ඇරෙන්නෙ. සමහරවිට එක දොරයි ඇරෙන්නෙ. ඒ එක දොර අරින්න පැය කිහිපයක් උත්සාහ කරන්න වෙනවා. සිහිබුද්ධියට ඕනේ එපමණයි, පාරක් දැනගන්න පමණයි. දේශනා තියෙන්න පුළුවන් අහන්න ඉතාම රසවත් විනෝදජනකයි නමුත් ඒවායේ පාරක් ගැන සදහනක් නෑ. පාරක් හෝ මාර්ගයක් මතු වෙන්නේ අත්දැකීමකින් කියවෙන විට. සිහිබුද්ධියෙන් අහන් ඉන්න කෙනාට පමණයි ඒ පාරත් පේන්නේ, එහෙම නැත්නම් එය දේශනයක් පමණයි. සිහිබුද්ධියට එක වාක්‍යයක් පමණක් ඇහුනත් ඇති. නමුත් ඒ වාක්‍ය විතරක් කිව්වට මදි. ඉන් එහා වැඩ ටික තියෙන්නේ අහන් ඉන්න කෙනාගේ අතේ. “මෙපමණයි කරන්න තියෙන්නේ” කියන කරුණ හොඳට පැහැදිලි වෙන්න ඕනේ. අනිත් ටික ඔක්කොම අදහස් ඒවා හුලගේ යන්න හරින්න, ඒවා බොල්, අර බීජය පමණක් තියාගන්න, බැත හුලං කරනවා වගේ. එය තමයි කළ යුත්තේ, අදහස් බොල් අත්දැකීම් සජීවීයි. මේ දෙක වෙන් කරගන්න. එසේ වෙන් කර ගැනීමේ හැකියාවට තමා කියන්නේ සිහිබුද්ධිය කියලා.
මතක තියාගන්න හදන්නේ බුද්ධිය, මමත්වයට ඕනේ මේවා කොහේ හරි ගබඩා කරගන්න. සිහිබුද්ධියට එහෙම නොකෙරුවාට කමක් නෑ. එයාට අවශ්‍ය වෙන්නේ තේරුම් ගන්න. මේ දෙකත් වෙන්කර ගන්න. මතක තියාගැනීම හෝ ගබඩා කරගැනීම එපමණ වැදගත් නැහැ, වැදගත් වෙන්නේ විවෘතව සිටීමයි. වෙන දෙයක් උනාවෙ කියා ඉන්න, හොඳ අවධානයෙන් හා අවදිමත් බවකින් ඉන්න, සිතිවිලි අල්ලගන්නේ නැතුව ඉන්න, හිතන දේවල් තියෙනවනේ මේ කියන දේට අදාලව හෝ බාහිර දෙයක් ගැන හෝ, ඒ එන සිතිවිලි අල්ලගන්න යන්න එපා. ඒ සිතිවිල්ලක් අල්ල ගත්තොත් නම් වැහෙනවා, අගුලු වැටෙනවා. ඉන් පසුව ඇහනේනේ නෑ, කොපමණ හොඳ වුණත් කොපමණ ලස්සන උනත් සිතිවිලි අල්ලගන්න යන්න එපා. මේ කියන දේ සූත්‍රයේ තියෙන කරුණුත් එක්ක හරියටම හරි, එසේ සිතන විට අප හිතනවා එයින් බරක් වැටෙනව කියා. නමුත් එහෙම බරක් වැටෙන්නෙ නෑ, නවතිනවා හිරවෙනවා.එම නිසා සිතුවිලි ආවා වේ. නමුත් ඒ මොනම සිතිවිල්ලක් වත් අල්ලා ගන්නේ නැතුව පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්න. පුළුවන් තරම් විවෘතව ඉන්න නිහඬව ඉන්න නිශ්චලව ඉන්න අවදියෙන් හා අවධානයෙන්. එසේ ඉන්නවානේ අරමුණකට ඒකාග්‍ර උනහම. නමුත් අවදිමත්ව නොවෙයි නම් ඉන්නේ ප්‍රයෝජනයක් නෑ. හොඳ අවදිමත් බවකින් ඉන්න, එතකොට තේරෙන්න යමක් තියෙනවා නම් තේරෙයි, වෙනසක් වෙනවා නම් වෙනසක් වෙයි.
ප්‍ර : අප ශරීරයේ අභ්‍යන්තර ආයතන පහක් තියෙනවා. ඒවා විවිධ අවස්ථාවලදී ස්පර්ශ වෙලා විඤ්ඤාණයන් පහකුත් හදනවා, පංච උපාදානස්කන්ධ පහක්. ඒවායින් පමණද ඔය අදහස් හා සිතුවිලි ඇති වෙන්නේ නැත්නම් ඊට අමතර තවත් කරුණු තියෙනවද?
පි : ඔය ඉන්ද්‍රිය පහයි ඒ තුළින් ලබන අත්දැකීම් තමයි ස්කන්ධ විදිහට එන්නේ. ඇහැ මුල්කරගෙන හැදෙන ස්කන්ධ පහක් තියෙනවා කන මුල්කරගෙන හැදෙන ස්කන්ධ පහක් තියෙනවා මේ විදිහට ස්කන්ධ හැදෙන්නේ ඉන්ද්‍රිය මත තමා. ඊළඟට අප හිතන්නේ ඕවා ගැන තමා. අප මොනවා ගැන හිතුවත් ඔවා මතයි හිතන්නේ. සාපේක්ෂවයි හිතන්නේ ඉන් පිට හිතන්න බෑ. මොනවා ගැන හිතුවත් මුලට ගිහිල්ලා බැලුවොත් ඔය ඉන්ද්‍රිය පහෙන් තමයි නවතින්නේ. දැන් අපේ චින්තනය සීමා වෙලා තියෙනවා ඔය ඉන්ද්‍රිය පහට. ඉන් එහා හිතන්න බෑ අපට. ඇහැට පෙනුණු දෙයක් කනට ඇහුණු දෙයක් දිවට නාසයට ශරීරයට දැනුණු දෙයක් ගැන පමණයි අපට හිතන්න පුළුවන්. හැබැයි අපට දැනුනු දෙයක් තියෙනවනම් හිතන්න පුළුවන් ඊට වෙනස් දෙයක් තියෙනවා කියා. කෙනෙකු ඇඹුල් අඹ ගෙඩියක් කෑවොත් හිතන්න පුළුවන් පැණි රස අඹ ගෙඩිත් තියෙන්න පුළුවන් කියලා එයා ජීවිතයට පැණි රස අඹ කාලා නොතිබ්බත්. එයා පැණිරහ දන්නවා, ඇඹුල් අඹ කියන එකත් දන්නවා, මේ දෙක එකතු කරලා හිතෙන්න පුළුවන් පැණිරහ අඹ නැද්ද කොහෙද තියෙන්නේ එහෙම හදන්න බැරිද ආදිවශයෙන් හිතෙන්න පුළුවන්. එසේ හිතෙන විට තීරණයකට එන්න පුළුවන් තමන් කවදාවත් අත්දැක්ක නැති දෙයක්නේ හිතෙන්නේ කියලා, නෑ කොටස් කොටස් අත්දැකල තියෙනවා. මනෝ විඥානයට පුළුවන් මේ වෙන වෙනම අත්දුටු දේවල් එකතු කරල අලුත් දෙයක් හදන්න. ඒ අලුත් දේ කියන එකේ තියෙන්නෙ පරණ එකේ කෑලි තමයි. brand new ideas කියා දෙයක් නෑ, කිසිම idea එකක් brand new වෙන්නේ නෑ, ඔක්කොම second hand.
ප්‍ර : අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවුණු මේ ධර්මය කවුරුන් සඳහාද කියන විතර්ක හතක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. බුදුන් වහන්සේ මෙයට අටවන විතර්කයක් එකතු කරනවා, “මෙම දහම ප්‍රපංච නොකරන අයටයි, ප්‍රපංච ගොඩනගන අයට නොවේ” කියා. ඒ කාරණය අසා අනුරුද්ධ හාමුදුරුවන් අරහත් භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. ඉන් නිගමනයකට එන්න පුලුවන් රහතන් වහන්සේලා කියන්නේ කතන්දර නැතිව ජීවත් වෙන අය කියා. අපිට අදහස් සිතිවිලි එනකොට, අපිට උණුසුමක් සීතලක් රූපයට දැනෙනවා නම් ඒ වෙලාවෙම සිහිබුද්ධිය තිබෙනවානම් එතනින් නවත්වා ගන්න පුළුවන්. එහෙම බැරිනම් වේදනාව ගාවින් නවත්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සංඥාව සංස්කාර ගාවින් නවත්වා ගන්න පුළුවන් මෙහෙම කඩයිම් කිහිපයක්ම අපිට තිබෙනවා සංසාරයක් ගොඩනගා ගන්නේ නැතිව ඉන්න.
පි : මාර්ගය වැහිලා තිබෙන්නෙත් නොයෙකුත් අදහස් වලින්, ඒවා හොඳ අදහස් පොතේ තියෙන අදහස් වෙන්න පුළුවන්. මේ අදහස් එක්ක අපට හිත හිතා ඉන්නට පුළුවන්. ඒකනෙ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් කරන්න ඇත්තේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇතිවුණු ඒ විතර්ක සියල්ලක්ම ඇත්ත. හැබැයි එහෙම හිතුවා කියලා දහම අවබෝධ වෙන්නේ නෑ, මොකද දහම වැහෙන්නේ හොද ලස්සන හෝ නරක සිතුවිලිවලින්. හිතන්නේ මමත්වය. බඩ පිරීමක් නැහැ ඉවරයක් වෙන්නෙත් නෑ ඔහේ සිතිවිලි කකා කකා යනවා මමත්වය. එනිසා හරි සිහිබුද්ධිය ඇති වුණු ගමන්ම නවතිනවා. අදහස් එක්ක තියෙන ගනුදෙනුව නවතිනවා. ඒ නැවතුන තැන තමයි දහම පෙනෙන්න පටන් ගන්නෙ. ධර්මතා පෙනෙන්න පටන් ගන්නේ එතකොට. ධර්මතා කියන්නේ අප හිතාගෙන ඉන්න දේවල් නොවේ. “මේ දහම ප්‍රපංච නොකරන්නන්ටයි”, අප කාටත් උත්සාහයක් අරගෙන බලන්න පුළුවන්නේ. එක ක්‍රමයක් තමයි හිතෙන්න ඇරලා නවත්තන්න, එකපාරට නවත්තන්න. ටික ටික නොවේ එකපාරටම නවත්වලා දාන්න break ගහන්න. දෙපාරක් හිතන්නේ නැතුව නවත්තන්න. එහෙම නැත්නම්, අප හිතාගෙන ඉන්න අදහස් වලට සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් ඇහෙන්න හරින්න. මේ වැඩ සටහනේ වැඩිපුරම කියන්නේ ඒ වගේ අදහස්. එසේ ඇහෙන්න අරින්න. එතනදී රිදෙනවා, ඇතුලේ ලොකු ඝට්ටනයක් එනවා. එහෙම වෙන්න අරින්න. කුළු ගෙඩියකින් ගැහුවා වගේ පතුරු ගැහිලා යන්න අරින්න. වාද කරන්න එපා වාද කරල නම් වදාවත් මේ ප්‍රශ්නෙන් සංසාරෙන් එලියට එන්න බෑ. වාද කරන්න කරන්න සංසාරයමයි වැඩිපුර ස්ථාවර වෙන්නේ. එමනිසා වාදය අතාරින්න. නිහඬ වෙන්න නිසල වෙන්න. සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න. තියාගන්නත් අවශ්‍ය නෑ විසිකරන්න අවශ්‍යත් නෑ, බදාගන්න අවශ්‍යයත් නෑ ප්‍රතික්ෂේප කරන්න පයින් ගහන්න අවශ්‍යත් නැහැ. එහෙම ගන්න දේවල් දෙකක් නෑ. බදාගන්න දේකුත් නෑ, අදහසක් නේ, කොහොමද අදහසක් බදාගන්නෙ?. අදහස් වලට කොහොමද පයින් ගහන්නේ?. බදාගන්න දේකුත් නැති බව පයින් ගසා විසි කරන්න දේකුත් නැති බව හා බදා ගන්න කෙනෙකුත් නැති බව පයින් ගහන්න කෙනෙකුත් නැති බව, ඒවත් අදහස් තමයි. අදහසක් තමයි අදහසක් අල්ලගන්නේ. අදහසක් තමයි අදහසකට විරුද්ධ වෙන්නේ. මේ මුළු ගනුදෙනුවම අදහස් අදහස් එක්ක කරන ගනුදෙනුවක්. මෙතන වෙන දෙයක් නෑ. වෙන සිදුවීමක් නෑ.
ඒ විවෘත වීමත් එක්ක හිතවතුනි අපි නිහඬ වෙමු නිසල වෙමු.
හැම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!