සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 22


2022 මාර්තු 09, සාරාංශය

සමෘධිමත් සිතක් ! සුබ සන්ධ්‍යාවක් !

හිතවත් ආධ්‍යාත්මික මිත්‍රයිනි, මේ මුණගැසීම තුළ අප බොහෝ දේ කතා කරනවා. එමෙන්ම බොහෝ දේ ගැන විමසනවා. සොයා බලනවා. වචන සීයක්, දාහක් පිටවෙනවා. කනට ඇතුළ් වෙනවා. ඒ වචනත් සමඟ ‘අදහස්’, ‘මත’ මනසට යනවා. ඒ අදහස් මනසේ සැසඳෙනවා, කිරණවා, මනිනවා, තර්ක කරනවා, විතර්ක කරනවා, පිළිගන්නවා, ප්‍රතික්ෂේප කරනවා, බොහෝ දේ අමතකවෙලා යනවා. සමහරවිට වචනයක්, වාක්‍යයක් හෝ පුංචි අදහසක් පමණක් ජීවිතයේ ඉතිරිවෙනවා. එසේ ඉතිරිවෙන වචනය, වාක්‍ය හෝ ඒ පණිවිඩය මේ ගමනට එළියක් ආලෝකයක් සපයනවා. අහන්නේ ටොන් ගණනට, මතකයට යන්නේ කිලෝ ගණනට, මතකයේ තිබෙන්නේ ග්‍රෑම් ගණනට, ජීවිතයට උදව්වක් කරගන්නේ මිලි ග්‍රෑම් ගණනට. ටොන් ගණන් ඇසුවත්, ටොන් ගණන් කියෙව්වත් ප්‍රයෝජනයට ගන්නා මිලි ග්‍රෑම් ගණන පමණක් මතකයේ තියාගන්න අහන්න, කියවන්න, කියන්න පුළුවන්නම් එය ලොකු හපන්කමක්. එබඳු ප්‍රාතිහාර්යයන් මිනිස් ඉතිහාසයේ ඉතාම අල්පයි. ‘ප්‍රයෝජනයට ගන්නේ මිලි ග්‍රෑම් එකනම්, ඒ මිලි ග්‍රෑම් එක පමණක්ම අහන්න, කියවන්න පුළුවන් නම් ඇති’ කියන තැන ඉන්න බෑ. ඒ නිසා ටොන් ගනණක් කියන්නත් වෙනවා, අහන්නත් වෙනවා.  සාරාංශය වැදගත් වන්නේ ඒ නිසා. මේ වැඩසටහනේ දී බොහෝවිට සමස්ත පණිවිඩය පැහැදිලි චිත්‍රයක් විදිහට පෙන්නන්නත් අමාරුයි, දකින්නත් අමාරුයි. නමුත් එය නැවත නැවත කියවන විට සංක්ෂිප්ත පණිවිඩය නිරවුල් කරගන්න පුළුවන්.

හිතවතුනි, මෙතනදි කාරණා දෙකක් අත් දකිනවා. එක් කාරණයක් තමා මෙතැනට එක්රැස්වන්නේ අසීමිත වූ ‘කළ්‍යාණ මිත්‍රත්වයෙන්’. වෙන හේතුවක් නෑ මෙසේ එකතුවන්න. මොනවා ගන්නද? මොනවා දෙන්නද? කාටවත් කිසීම පෞද්ගලික හෝ ලෞකික ලාභයක් මොනම ආකාරයකින්වත් ලැබෙන්නේත් නෑ. ලබාගන්න අදහසකුත් නෑ. ඉන් එහාගිය පෞද්ගලික දැනහැඳුනුම්කම් ඇතිකරගන්නත් නොවේ. සමහරවිට බොහෝ දෙනෙකු, මාත් ඇතුළුව, දන්නේ නෑ ප්‍රශ්නයක් ඇසුවේ නැත්නම්, කවුද මෙතන ඉන්නේ කියා. ඒ කිසිවක් නැති වුනත්, කිසිදු ආත්මාර්ථයක් නැති වුනත්, දැනහඳුනාගන්න තරමටවත් ඕනෑකමක් නැති වුනත්, ලොකු හිතවත්කමක්, දයාවක්, සෙනෙහසක්, ලෙන්ගතුකමක්, කළ්‍යාණ මිත්‍රත්වයක් මෙතනදී හැම දෙනාම අත්දකිනවා. ඒ කළ්‍යාණ මිත්‍රත්වය, ඒ මෘදුබව, ඒ දයාව, ආදරය තමා මේ වැඩසටහන් මාලාව තුළ ඔබ අප එකට තියාගන්න මුල්වූ ප්‍රධානම කාරණය. දෙවැනි කාරණය තමා ‘දැඩි බව’. එක පැත්තකින් මෘදු බව අනිත් පැත්තෙන් දැඩි බව, රළුබව. ගිය සතියෙත් අප කථා කළා, එක්වරම පිටුපසින් ඔළුවට ගහනවා වගේ පණිවිඩ තමා අපට ලැබෙන්නේ. මේ දැඩිබව, රළුබව, අනපේක්ෂිත ප්‍රහාර වලිනුත් එහාට ගොස්, ‘අපේ පිළිගැනීම්’, ‘ඇදහීම්’, ‘හරී කියා සිතන් සිටි දේවල්වලට’, ‘මතවලට’ අමු අමුවේම ගිනි තැබීම. වියළිලා පරඩැලක් බවට පත්වුනාම, පිදුරු බවට පත්වුනාම කාටවත් අවශ්‍ය නෑනේ. ගිණි ගත්තත් එකයි නැතත් එකයි, තිබුණත් එකයි. නමුත් අමු අමුවේ ගිණි තැබීම එයට වෙනස්. පටපට ගාලා පුපුරණවා, ඇවිලෙනවා. අදහස් ඇවිලෙන්න පටන්ගන්නවා. අදහස් ගිනි ගන්නවා. සාමාන්‍යයෙන් වන්නේ අදහස් නිසා පුද්ගලයා දැවීම.

හිතවතුනි, සාමාන්‍ය සිත අදහස් දෙකට බෙදනවා. හරි අදහස් වැරදි අදහස්, හොඳ අදහස් හා නරක අදහස්, සත්‍ය අදහස් අසත්‍ය අදහස් වශයෙන්. මේ විදිහට හිතකර ආකල්ප හා අහිතකර ආකල්ප ලෙස බෙදනවා. සාමාන්‍ය සිත්වලින් සොයාගත් හෝ ගොඩනැඟුණු හැම ආගමක්ම, හැම විද්‍යාවක්ම හා හැම දර්ශනයක්ම, මේ කාර්යයේ තමා යෙදෙන්නේ. බොරු අදහස් බැහැර කරන්න, ඇත්ත අදහස් බාරගන්න, අදහස් පිළිබඳ මේ විනිශ්චය.  නිකන්ම අදහසක් නෑ, එක්කෝ අදහස හරි, නැත්නම් වැරදි. අදහසක් කීවාම අහනවා හරිද වැරදිද?, හොඳද නරකද?, යහපත්ද අයහපත්ද?, ඇත්තද බොරුද?. වැරදි අදහස් අත්හරිමින් නිවැරදි අදහස්වලට වඩ වඩාත් සමීප වෙමින් යන ගමනක් සාමාන්‍ය සිත යන්නේ, විද්‍යාව යන්නේ,. දර්ශනය යන්නේ, ආගම් පවා යන්නේ. කලිනුත් කියා තිබෙනවා, ඔය භාරතය මුල්කරගෙන ආධ්‍යාත්මික ගවේෂණයේ යෙදෙන ඇත්තන්ගේ සටන් පාඨයක්ව තිබුණේ,  “අසත්‍යයෙන් සත්‍යට, අඳුරින් එළියට, මරණයෙන් අමරණීයත්වයට යන පාර කියන්න” යන්නයි.

“අසතෝමා සත්ගමයා තමසෝමා ජෝතිර්ගමයා අමෘතෝමා අමෘතන්ගමයා” “හරසුන් බවින් හරවත් බවට, අසත්‍යයෙන් සත්‍යට, අඳුරින් එළියට, මරණයෙන් අමරණීයත්වයට ගෙනයන්න. ඒ පාර කියන්න”.

ඒ පාර සොයාගෙන ගියා. මේ පැත්තේ ඉවුර අසත්‍යයේ ඉවුර, එහා ඉවුර සත්‍යයේ ඉවුර. ඉතින් මේ ඉවුරු දෙකම තියෙන්නේ සිත ඇතුළේ, වෙන කොහෙවත් නෙවෙයි. මෙහෙම ‘ගමනක්’ කිව්වාම ඔළුවේ හැමවිටම මැවෙන්නේ භෞතික ගමනක්. එක තැනක ඇති ප්‍රශ්න, තවත් තැනක ඇති විසඳුම. මෙතන ගිනි ගොඩක්, අතන සිසිල් දිය. මෙතනින් එතනට යනවා. මේ සියල්ල සිත ඇතුළේ තිබෙන දේවල් බව අමතක වෙනවා. මේවා ‘චෛතසික’. මේ විදිහට චෛතසිකත් සමග කොහොමද ගමනක් යන්නේ?. එක කොනක ඉඳලා අනිත් කොනට යනවාද? සිත ඇතුළේ මේවා කාමර දෙකක වගේ තියෙනවාද? මානසික කුටි, මානසික තට්ටු  තියෙනවාද? එක තට්ටුවක සිටින අප අනිත් තට්ටුවකට යෑමක්ද මෙයින් කෙරෙන්නේ? බැලූ බැල්මට හරිම ආකර්ෂණීය සටන් පාඨයක්. “අසතෝමා සත්ගමයා තම සෝමා ජෝතිර් ගමයා මෘත්‍යුර්මා අමෘතන් ගමයා” “අසත්‍යයෙන් සත්‍යයට, අන්ධකාරයෙන් ආලෝකයට, මරණයෙන් අමරණියත්වයට මාව රැගෙන යනු මැනවි”.

හිතවතුනි, ‘අදහසක්’ කියන්නේ අපූරු දෙයක්. අදහසක් පේන්න නෑ. පෙන්නන්න බෑ. හොඳට කල්පනා කර බලන්න. ඕනෑම අදහසක් තමන් ගැන, අනුන් ගැන, ලෝකේ ගැන, අද ගැන, ඊයේ ගැන, දහම ගැන, භාවනාව ගැන අරගෙන බලන්න, එය කාටවත් පෙන්නලා දෙන්න බෑ, මෙන්න මගේ අදහස කියා. කියන්න පුළුවන්, ලියලා දෙන්නත් පුළුවන්, සමහර විට අදහසක් ‘නටලා’ පෙන්නන්නත් පුළුවන්. මී මැස්සන් නටනවා වගේ. ඈත පැණි තියෙන තැනක් සොයා ගත්තාම ඇවිත් නටනවානේ, ඒ නැටුම අනුව කොච්චර දුරින්ද මේ පැණි තියෙන්නේ, කොයි දිශාවේද තියෙන්නේ කියා අනිත් මී මැස්සන් අඳුනගන්නවානේ ඒ වගේ තමයි. ඔය ගෝත්‍රික ජනතාව භාෂාව කථා කරන්න කලිනුත්, දඩයමක් එහෙම කරගත්තාම ඇවිල්ලා නැටුවා. නැටීම තුළින් අදහස් දුන්නා. පණිවිඩයක් දුන්නා. නර්ථනය කියන්නේ සංකේතයක්, භාෂාවක්, එයින් සන්නිවේදනය කරන්න පුළුවන්. හැබැයි අදහස කියන්නේ සිතේ ඇතිවන දෙයක්. එය මොකක්ද කියලා අර්ථකතනය කරගන්න හරි අමාරුයි. උත්සාහයක් කරලා බලමු.  අපි හැම දෙනාම මොහොතකට අවධානය යොමු කරමු අපේම මනසට. මේ වෙලාවේ මොනවගේ අදහසක්ද මනස ඇතුළේ තියෙන්නේ? මොකක්ද මේ අදහස කියන්නේ? අදහසක් කියන්නේ කුමකටද? ඒ ගැන හිතන්න නෙවෙයි. හිතුවොත් තව පටලැවෙනවා. තේරුම් ගන්න උත්සාහ කරන්න. අදහසක් යනු කවරාකාර දෙයක්ද?

දයාබර හිතවතුනි, හරි අමාරුයි අදහසක් හඳුනගන්න, අදහසක් වෙන්කරගන්න, අදහසක් අර්ථකතනය කරගන්න. තව අදහස් එකතු කරන්න පුළුවන්. අදහස් කියන්නේ මේ වගේ දේවල්. අදහස් කියන්නේ සිතේ ඇතිවන දේ. අදහසක් එන්නේ අතීතයෙන්. අදහස‍් වෙනස් වෙනවා. දැන් මේ සියල්ලත්මත් අදහස්. අදහස් ගැන අදහස් ඇතිකර ගැනීම පහසුයි. ඒ තමා සාමාන්‍යයෙන් අප කරන්නේ. නමුත් අදහසක් චිත්‍රනය කිරීම, අදහසක් ඡායා රූපයකට ගත්තා කියලා හිතන්න. මොනවගේ වෙයිද? අන්න ඒවගේ පැත්තකට අවධානය යොමුකරන විට මෙය දුෂ්කර දෙයක් බව දැනෙනවා. අදහස් තොරතෝංචියක් නැතිව හතු පිපෙනවා වගේ සිතේ, ඔළුව ඇතුළේ උඩ පනිනවා. ගණන් කරන්න බැරිතරම් අදහස්. මේ අදහස් ගැන අර්ථකථනයක් කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ, එය කරන්න බෑ. පුළුවන්වුන දිනයක කරන්නම්. හැබැයි අද බැහැ. මේ කියන්න හදන්නේ ඇයි අදහස් ගැන සෙවීම වැදගත් වෙන්නේ කියා. වැදගත්වන එක කාරණයක් තමා මේ හැමදෙයක්ම අදහසක්. අදහසක් නොවන දෙයක් නෑ. ‘මම’ කියන්නෙත් අදහසක්. ‘මගේම’ අදහසක් මම. ‘ඔබ’ කියන්නෙත් මට ‘මගේ අදහසක්’. තව කවුරු වුවත් ඒ මගේම අදහසක්. භාවනාවත් මගේ අදහසක්. මගේ අදහසක් නොවන දෙයක් මට සොයාගන්න බෑ. මට තවම සොයාගන්න බැරි වුණා මගේ නොවන අදහසක්. මගේ කියන්නේ ‘අයිතිකරගත්’ කියන කාරණය නොවෙයි. අයිතිකර ගැනීම නොගැනීම දෙවෙනි දෙයක්. දන්නා කියන හැම දෙයක්ම, හැම කෙනෙක්ම මට අදහස්. හැම කෙනෙක්මත් අදහසක්. හැම කෙනෙක් ගැනමත් අදහස් තියෙනවා. හැම කෙනෙක් ගැනම අදහස් තියෙන බව අපි කවුරුත් දන්නවානේ. හැම දෙයක් ගැනමත් කියන්න කතන්දරයක් අපට තියෙනවා. කතන්දරයක් කියන්නේ, ඒ ගැන කියන්න අපේ අදහස් තියෙනවා. එය මේ වන විට අපේ සාමාන්‍ය දැනුම බවට පත්වෙලා තියෙනවා. හැම දෙයක් ගැනම අපට අපේම කියවීමක්, කතන්දරයක්, අදහස් තියෙනවා.

එතනින් එහාට ගිහිල්ලා මේ කියන්නේ හැම දෙයක්මත් අදහසක්. ‘අදහස් මිස වෙන කිසිවක් ම නෑ’. ‘ඇතිවෙන්නෙත් අදහසක්’. ‘පවතින්නෙත් අදහසක්’. ‘වෙනස් වෙන්නෙත් අදහසක්’. ‘නැති වෙන්නෙත් අදහසක්’.  ‘සංසාරේ’ කියන්නෙත් අදහසක්. ඉන් එහා දෙයක් නෑ. ඒ නිසා එක් පැත්තකින් සංසාරෙන් එතෙර වෙන්න පුළුවන්. මොකද සංසාරේ කියන්නේ අදහසක් නිසා, ‘නිරෝධයක්’ ගැන කටයුතු කරන්න පුළුවන්, නිරෝධයක් වෙනවා. අදහස් නිරෝධ කරගන්න පුළුවන්, එතෙර වෙන්නත් පුළුවන්, එයයි සතුටුදායක කාරණය. සංසාරේම අදහසක් නිසා සසරින් එතෙර වීම කළ හැකි දෙයක්, සංසාර නිරෝධය ප්‍රායෝගිකයි. එහි තිබෙන භාරදූර පැත්ත ද එයයි. ‘දුෂ්කරම’ වෙන්නෙත් ‘අදහසක්’ නිසා. හිමාලය වැනි නඟින්නට බැරි ග්ලැසියර තිබෙන හිම කන්දක් වුවත් කෙසේ හෝ තරණය කරයි. අදහසක් තරණය කිරීම හරි අමාරුයි. සංසාරය මහා සාගරය නම්, පීනලා, කිමිදිලා, ඔරුවකින්, සබ්මැරීනයකින් හෝ එතෙර වෙන්න පුළුවන්. අදහස් සාගරයකින් එතෙර වෙන්නේ කොහොමද? බලන්න මෙතනම තියෙන පරස්පරය. එක් පැත්තකින් මේ සියල්ලම අදහස්, එහෙම නම් කුමක්ද තියෙන ප්‍රශ්නේ? ඇත්තටම තියෙනවා නම් ප්‍රශ්නේ. සැබෑවටම භෞතික වශයෙන් සංසාරයක් තියෙනවානම් තමයි ප්‍රශ්නේ. භෞතික සංසාරයක් නෑ. මෙතන තියෙන්නේ අදහස් සංසාරයක්. එය සතුටුදායක කාරණයක්.

 “අදහස් තියෙන්නේ ඔළුවෙනේ, මොනවා කරන්න බැරිද”. ඒ නිසාම තමයි අමාරු. අමාරු වෙන්න තව හේතුවක් තමා අදහස් පිළිබඳව තවත් අදහස්ම ඇතිකර ගැනීම, දහම ගැන, බුදුරජාණන් වහන්සේ ගැන, ඉගැන්වීම් පිළිබඳව, භාවනාව පිළිබඳව. මේ සියල්ලම තියෙන්නේ අදහස් නමැති සංසාර සාගරය තරණය කරන්න. භාවනාව, දහම, ශාස්තෘන් වහන්සේ මේ සියල්ලම උදව්කරගෙන කළයුතුවන්නේ අදහස් නමැති සංසාර දුර්ගය තරණය කිරීමයි. අදහස් වලින් පිරුණු සංසාර සාගරයෙන් එතෙර වීමයි. දැන් ඒ වෙනුවට මෙතන තිබෙන සියුම් උපක්ලේශය කුමක්ද? මේ හැම දෙයක් ගැනම තව තවත් අදහස් ඇතිකර ගැනීම. තව තව කල්පනා ඇති කර ගැනීම. භාවනා කිරීම වෙනුවට කරන්නේ භාවනාව ගැන කල්පනා කිරීම. භාවනා කරන අයයි නොකරන අයයි හැම දෙනාටම භාවනාව ගැන අදහස් තියෙනවා.  කරනවාද නැද්ද කියන එක වෙනම කාරණයක්. හැබැයි කාටද නැත්තේ භාවනාව පිළිබඳ අදහස්. ඒ අදහස් විග්‍රහ කරන්න ප්‍රුළුවන්, විනිශ්චය කරන්න පුළුවන්. මේ අදහස හරි, මේ අදහස ඇත්ත, මේ අදහස බොරු, මේ විදිහට වර්ණ ගන්වන්න පුළුවන්. නමුත් මේ සියල්ල අදහස්. මේ අදහස් වලින් වෙන්නේ සංසාර සාගරය තව තව ගැඹුරුවීම. දිග, පළල වැඩි වීම. අදහස් පුරවන්න පුරවන්න සංසාරය නමැති මහාමේරුවේ උස තව තව වැඩිවෙනවා. කන්ද අඩියෙන් අඩිය තරණය කරනවා වෙනුවට අප කරන්නේ කන්ද තව ගොඩකර ගැනීම. කන්ද උස් කිරීම. තව තව මේ සාගරය පිරවීම. සිඳවීම නොවේ සිදුකරන්නේ පිරවීම.

භෞතික, ලෞකික දේවල් රැස්කිරීම ගැන හරියට කතා කරනවා. අල්පේච්ඡතාව විදිහට විස්තර කරන්නෙම අවම ලෞකික, භෞතික භාණ්ඩ හා සේවාවන් වලින් යැපීම. ඒ තමා අර සාමාන්‍ය පුහුදුන් සිත නිර්මාණය කළ විද්‍යාවන්ගේ හා ආගම්වල තිබෙන අල්පේච්ඡතාව. ඒ අල්පේච්ඡතාව ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍යයි. මොකද ලෝක විනාසයට සහ දරිද්‍රතාවයට ප්‍රධානතම හේතුව නාස්තිය. අප මොනතරම් දේවල් නාස්ති කරන්න ඇත්ද? එදා නාස්ති කළ දේවල් අද අපට නෑ, හිඟයි. හැබැයි නාස්ති කරනකොට නාස්ති කරන බව දන්නෙත් නෑ. එය කර්මයක් බව දැනගෙන සිටියෙත් නෑ. එහි විපාකය මෙසේ සිද්ධවෙයි කියා සිතුවෙත් නෑ. යමක් අපි නාස්ති කරනවා ද ඒ දේ අපිට හිඟවෙනවා. යමක් අපි ඉතිරි කරනවා ද ඒ දේ අපටම නොවේ, ලෝකයට සොබාදහමට, ඒ දේවල්වල අඩුව නාස්ති කරන කෙනෙකුට වගේ අපට ප්‍රබලව දැනෙන්නේ නෑ, සාමාන්‍යයෙන් හිඟවෙන්නේ නෑ.  ඒ තමා ධර්මතාව. මෙය වෙනම කාරණයක්. හැබැයි මෙයට සම්බන්ධයි. ආධ්‍යාත්මික විද්‍යාවේදි සිහිබුද්ධියට පෙනෙන කාරණය නම්, භෞතික වශයෙන් කිසිදු සම්පතක් නැති වුණත්, මානසික වශයෙන් රැස්කරගත් කෙනෙකු වෙන්න පුළුවන්. සංසාරය කොච්චර දිගද කෙටිද කියන කාරණය තීරණය වන්නේ, භෞතික වශයෙන් මොනතරම් දේවල් තියෙනවාද කියන කාරණයට වඩා, අදහස් වලින් මොන තරම් ඔළුව පුරවාගෙන ඉන්නවාද කියන කාරණය මතයි. එයයි තීරණාත්මක සාධකය. මේ ‘අදහස්වලට’ දහමේ විවිධ වචන පාවිච්චි කරනවා. එනම් ‘විතක්ක’, ‘පපංච’, ‘ප්‍රපංච’. විමුක්තිය විස්තර කරන්නේ ‘නිබ්පපංච’, ‘අදහසක් නෑ’ යනුවෙනි. මේ ‘අදහස්’ එක්ක ඇතිවන ප්‍රතික්‍රියා දාමයක් තියෙනවා. ඒ ගැන අප වෙනම සාකච්ඡාවකදී අවධානය යොමු කරමු.

මේ වැඩසටහනේදි කරන්නේ ‘අදහස්වලට පහරදීම’. මෙහිදී කවුරුවත් කාගෙවත් අදහසකට පහර දීමක් නොවේ.  කිසියම් එක් අදහසක් තෝරාගෙන එම අදහසට පහර දීමක් ද නොවේ. ‘අදහස් පිළිබඳව තිබෙන අදහස්වලටයි’ පහර වදින්නේ. මේ සංසාර මන්දීරය, ‘සසර මැඳුර, අදහස් නමැති කණු මත නිමැවූ අට්ටාලයක්’. සිහිබුද්ධිය, විචාරබුද්ධිය ඍජුවම සිය ‘විනිවිද දැක්ම’ යොමු කරන්නේ, මේ අදහස් නමැති කණුවලට. කුළුගෙඩි පහර වදින්නේ අදහස් නමැති කණු වලට. එවිට දෙදරලා යනවා. සසර බදාගෙන සිටින සිත් කම්පනයට පත්වෙනවා. මේ කම්පනයට පත්වන්නේ ‘සසරයි’ කියලා අප දන්නේ නෑ. ඒ කම්පනය දැනෙන්නේ පෞද්ගලිකව. සරල උදාහරණයක් ලෙස, අපේ අදහසකට කවුරුහරි බැන්නොත්, විවේචනය කලොත්, අපිට හිතෙන්නේ “මටයි රිදෙන්නේ”, “මටයි බැන්නේ”, “මාවයි විවේචනය කළේ” කියා. බලන්න මේ මමයි , අදහසයි මොනතරම් එකිනෙක වෙළිලා තියෙනවාද? හරියට ගහකුයි වැලකුයි වගේ. පුද්ගලයා හා අදහස් මොනතරම් එකට වෙළිලා තියෙනවාද? ඒවගේම “හරි” කීවොත්, “හරි හොඳ අදහසක්” කීවොත්, “මෙතෙක් කල් කාටවත් එහෙම අදහසක් පහළවෙලා නෑ බුද්ධිමත් අදහසක්”, “වටිනා අදහසක්” මෙහෙම කීවාම, අන්න කෙනෙකුගේ සිතට උද්දාමයක් ඇතිවෙනවා. උද්දාමය එන්නේ “මේ මම හරි කිව්වා”. “අගේ කලේ මාව” ලෙස පුද්ගලයා සිතන බැවිනි. ‘මමයි’, ‘අදහසුයි’ මේවා එකිනෙකට වෙලිලා තියෙන්නේ. එකක් පවතින්නේ අනිත් එක නිසා. ‘මම’ පවතින්නේ අදහස් නිසා. අදහස් පවතින්නේ ‘මම’ නිසා. මේ එකක් වැටුනොත් අනිත් එකත් වැටෙනවා. ඒනිසා එක්කෙනෙක් අනිත් කෙනාට වැටෙන්න දෙන්නේ නෑ. දෙන්නා දෙන්නාවම පරෙස්සම් කරගෙන ඉන්නවා. 

මානසිකව ‘වැටෙන්න බයවෙන්න එපා’. බය වෙන්න ඕනේ ශාරීරිකව උසකින් වැටෙන්න. මොකද වැටුනාම හීරෙන්න, තැලෙන්න, කුඩුවෙන්න, බිඳෙන්න සමහර විට මැරෙන්නත් පුළුවන්. ඒ නිසා ශාරිරිකව වැටෙන්න නම් බයවුනාට කමක් නෑ. ඒවාට බයවීම සාධාරණයි. වැටුණාම අනතුරු වෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්, ලෙඩවෙන්න පුළුවන්, අබ්බගාතයෙකු වෙන්න පුළුවන්, සදාකාලික රෝගියෙකු වෙන්න පුළුවන්, මිය යන්නත් පුළුවන්.  එතන අවදානමක්, අනිවාර්යෙන්ම විඳින්නට වෙන දුකක් තියෙනවා. සිහිබුද්ධිය කියනවා එයට බයවෙන්න කියා. වැටෙයි වැටෙයි කියා හැමවෙලේම බයෙන් සිටීම නොවෙයි. ඒ බයවීමට වැඩිය, තමනුයි සිතුවිලියි. පුද්ගලයයි අදහසුයි මේ දෙන්නාටම තනිවම හිටගෙන ගමනක් යන්න බෑ. අදහසකට ඉන්න බෑ එය අයිතිකරගත් කෙනෙක් නැතිව. අයිතිකරගත් කෙනෙක් ඉන්න බෑ අයිතිකරගත් දෙයක් නැතිව. අයිතිකාරයයි දේපළයි. අයිතිකාරයා දේපළ හින්දා කෙළින් ඉන්නේ. දේපළ අයිතිකාරයා නිසා කෙළින් ඉන්නේ. එක්කෙනෙකුට අනිත් කෙනා නැතිවුන ගමන් දෙන්නාම ඇදගෙන වැටෙනවා. ඒ වැටීමටයි හොඳටම බයවෙන්නේ. එය අසාමාන්‍ය බයවීමක්. ඒ නිසා පරෙස්සමෙන් තමයි මිනිස්සු ආශ්‍රය කරන්නේ, පත්තර බලන්නේ, TV බලන්නේ. පොත් කියවන්නේ, බණ අහන්නේ, සාකච්ඡා කරන්නේ. අප පිළිගත්ත අදහස් ටිකකට පිටින් අදහස් කියන අය ආශ්‍රය කරන්නේ නෑ. එහෙම අයත් එක්ක කතා කරන්නේ නෑ. එහෙම පොත් කියවන්නේ නෑ. එහෙම බණ අහන්නේත් නෑ. බලන්න මොනතරම් පණ බයේ ද ඉන්නේ? එහෙම ඇහුවාම මොකද වෙන්නේ. ලෝකයම කිව්වත්, ඔබේ මේ අදහස වැරදි කියා මොකද වෙන්නේ. වැරදිනම් වැරදි. ඉතින් මොකද? හැබැයි එහෙම නිර්භිත කමක් එන්නේ නෑ. හරිම බයයි. මේ තමා නියම බය. පනටත් වඩා බයයි. කියන්න වචනයක් නෑ. සංසාරභය කියන්නේ මෙයට නෙමෙයි. මේ බය ගැන බයවීමටයි සසර බිය කියන්නේ. මෙබඳු බියකින් ඉන්නේ කියා වැටහෙන විට ඇතිවෙන බය . සසරබිය දක්නා සුළු තැනැත්තා කියන්නේ. මේ නිසා දෙන්නාට දෙන්නා බදාගෙන ඉන්නවා. හරියට හොඳටම මත්වුණු දෙන්නෙකුට තනියම ගමනක් යන්න බෑ. දෙන්නාට දෙන්නා පිටවල්වලට හේත්තුවෙලා නොවැටි ඉන්නවා වගේ. මේ ‘මම’ කියන්නෙත් වෙරිවූ ස්වභාවයක්. මත්වූ ස්වභාවයක්. ‘අදහසුත්’ මත්වෙලා. ‘මත’ කියන්නේ ඒනිසයි. අදහස්වලට කියන වචනයක ‘මත’. අදහසුත් මත්වෙලා. ‘මමත්’ මත්වෙලා. මේ මත්වුණු දෙන්නෙක් නොවැටි ඉන්න, දෙන්නාගේ පිටවල්වලට හේත්තුවෙලා යන ගමනකටයි සංසාර ගමන කියන්නේ. මෙතන තමයි සංසාරේ මුලයි, මැදයි, තේරුම් ගත්තොත් අගත් මෙතනමයි.  

භාවනාව

අපි ටිකක් ඒ ගැන සාවධාන වෙමු. හිතනවාට වඩා ඒ ගැන මෙනෙහි වෙන්න ඉඩහරිමු.

සාකච්ඡාව 


ස්පර්ශ කළ යම් යම් ධර්මතා තිබෙනවා නම් යම් යම් ධර්මතා ස්පර්ශ වුනානම් හෝ වෙමින් තිබෙනවා නම් හෝ ස්පර්ශ වෙන්නට පටන් ගත්තා නම් ඒ ගැන කියන්න අහන්න මේ අවස්ථාව.


ප්‍ර : අපේ ජීවිතයේ ඉදිරියට ගෙනියන්න අප විසින් එකතු කර ගත්ත අත්දැකීම් තියනවා. ඒ අදහස් ඔස්සේ අප ජීවිතය සකස් කරගන්නවා. එහිදී කිසියම් කෙනෙකු ඇවිල්ලා කිව්වොත් ඊට වැඩිය මෙහෙම හොඳයි කියලා කිසියම් අමනාපයක් ඇති වෙනවා, මොකද එහෙම අදහසක් මගේ ඔලුවට ආවේ අත්දැකීමෙන් එහෙම නැත්නම් පොතපත කියවීමෙන් අනිත් පැත්තෙන් දහම ගැන හිතනවිට දහමට සම්බන්ධ වෙලා බණ භාවනා කරන විට මේ විදිහට ධර්ම සාකච්ඡා කරන විට. මගේ ජීවිතය කිසියම් මට්ටමකට සාර්ථක වෙනවිට දහම පිළිබඳවත් ගුරුවරයා පිළිබඳවත් කිසියම් ගෞරවයක් ඇතිවෙනවා. ඒත් තවත් කවුරු හරි කෙනෙක් ඇවිල්ල කිව්වොත් ඕක ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා සියුම් තරහක් ඇතිවෙනවා. මේ අන්ත දෙක සාමාන්‍ය ජීවිතයේ බැටකන අන්තය සහ මෙ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන විට එයට එන බාධක, මෙහෙම පසුබිමක් මත කොහොමද මම  ධර්මය මුල්කරගෙන ඉදිරියට යන්නේ?


පි : බොහොම ප්‍රායෝගික කාරණයක් තමයි ඔබතුමා කාගේත් අවදානයට යොමු කළේ. මෙතන හරිම ලස්සන සියුම් ධර්මතා  කීපයක් තමයි තියෙන්නේ. එකක් තමයි  ලෙඩේ, සංසාරය රෝගයක් එයට බේත් ඕනේ, නිකන්ම සනීප වෙන්නේ නෑනේ. ඒ අනුව බෙහෙත් ගන්නවා, එහෙම  බෙහෙත් ගන්නවිට අපිට දැනෙනවා නම් ටික ටික ලෙඩ සනීප වෙන බව අන්න බේත ගැන විශ්වාසයක් එනවා.  ඒකනේ ඔබතුමා කිව්වේ ධර්මය ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා පැහැදීමක් ඇතිවෙනවා කියලා. ඉතින් ඒ බෙහෙත හොයාගත්ත අපේ ශාස්තෘන් වහන්සේ ගැනත් ඒ බෙහෙත නිර්දේශ කළ කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ කල්‍යාණ මිත්‍රයා ගැනත් පැහැදීමක් එනවා. ඒ පැහැදීම මත දෙයාකාරයකට සිදුවීම් වෙන්ට පුළුවන්. පැහැදීම නැමැති උල්පත දෙපැත්තකට ගලාගෙන යන්න පුළුවන්. එක පැත්තක් තමා බේත් ගන්න එකට ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ කියලා ලෙඩේ හොඳ වෙනකන්ම වැඩි වැඩියෙන් බේත ගන්න එක.  අන්න ඒ පැත්තෙන් ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැහැදීම ප්‍රසාදය කියන උල්පත අනිත් පැත්තට ගලාගෙන යන්නත් පුළුවන්, කොයි පැත්තටද, ඒ පැහැදීම පෞද්ගලික බැඳීමක් බවට පත් කරගෙන කටයුතු කරන්නත් පුළුවන්. දැන් එහෙම කරන්නේ මමත්වය, පෞද්ගලික බැඳීමක් බවට පත් කරගන්නේ මමත්වය. එහෙම උනහම මේ බෙහෙත හොයාගත්ත ශාස්තෘන් වහන්සේගේ පිළිමයක් ඕන වෙනවා. පිලිමයක් දකින දකින ගානේ මේ ශාස්තෘන් වහන්සේ කියන හැඟීම ඇති වෙනවා. ඉතින් එතන හිටගන්නවා දණ ගහනවා. ඊළඟට අපි ධර්මය කියලා කියන්නේ බෙහෙතනේ. දැන් අපි මේවත් එක්ක ලොකු පුද්ගලික ගනුදෙනුවක් කරන්න පටන් ගන්නවා. අන්න එතනදි ඔබතුමා කිව්ව වගේ හරි කිව්වොත් ඔන්න සතුටුයි, ඒ සතුටු වෙන්නෙත් අර පුද්ගලික බැඳීම හදාගත්ත කෙනා මිස බෙහෙත අරගෙන දිගටම නිරෝගී වෙන්න හදන කෙනා නෙවෙයි. ඒ වගේම කෙනෙක් ඇවිත් වැරදියි කිව්වොත් හිතේ සියුම් අමනාපයක් ඇති වෙනවා නම් ඒ ඇතිවෙන්නෙත් බෙහෙත අරගෙන සනීප වෙන කෙනාගේ නොවෙයි. අමනාපය කියන්නෙත් රෝග ලක්ෂණයක්.  ඒකටනෙ අපි බෙහෙත් ගන්නේ. අමනාපය කියන්නෙත් එක රෝග ලක්ෂණයක්. ඒ රෝග ලක්ෂණයට සහ තවත් රෝග ලක්ෂණ  සහිත සංසාරය නමැති රෝගයට තමයි අපි මේ බෙහෙත් ගන්නේ. එතකොට මේ අමනාපයක් ඇති වුණ ගමන්ම අපිට සිහිබුද්ධිය තිබුනොත් නම් පේනවා ලෙඩේ ටිකක් මතුවුණා රෝග ලක්ෂණයක් මතු වුණා කියා.  ඒක මතු වුණ එක හොඳයි. මේ මනුස්සයා නිසා තමයි රෝග ලක්ෂණය මතුවුණේ. මෙයා විවේචනය කළේ ශාස්තෘන් වහන්සේවත් නොවෙයි ළඟම හිටිය කල්‍යාණ මිත්‍රයත් නොවෙයි බේතත් නෙමෙයි  ඒ එකක්වත් නෙමෙයි විවේචනය කළේ, එයා එයාගෙ අදහසක් කිව්වා. මෙතන ඉන්නවා අදහසක් අල්ල ගත්ත කෙනෙක්. මේ අදහස තමයි හරි කියලා අල්ල ගත්ත කෙනෙක්. එයාට තමයි රිදුනේ එයා තමයි රිදවා ගත්තෙ මොකද එයා මේ සියල්ල පෞද්ගලික බූදලයක් කරගෙන තියෙනවා. මේ හේතුවෙන් බෙහෙත් ගබඩාවයි දොස්තර මහත්වරු ප්‍රධාන දොස්තරයි සියලු දෙනාම පෞද්ගලික බූදලයක් කරගෙන. මෙයා හරි කිව්වොත් එයාම තමයි සතුටු වෙන්නේත්. මේ දෙක වෙන් කර ගන්න, සතුටු වීමයි අසතුටු වීමයි ඇලීමයි ගැටීමයි මේ ඔක්කොම කරන්නෙ සංසාරයේ ඉන්න ඕන කෙනා. බෙහෙත ගන්නේ යන්න ඕන කෙනා. කොච්චර බැන්නත් එයා දුක් වෙන්න යන්නේ නෑ. එයාට දුකක් නෑ. දුක් වෙන්නේ වෙනම කෙනෙක්. ඔය නිසානේ බුදුරජාණන් වහන්සේ අවවාදයක් දුන්නා කියලා කියන්නේ උන්වහන්සේට දොස් කියනකොට කවුරුහරි තරහ ගන්නවා නම් ඒ කෙනා උන් වහන්සේගේ ශ්‍රාවකයෙකු නොවෙයි කියා, ඒ කිපෙන කෙනා ශ්‍රාවකයෙක් නො වෙයි. එතකොට අපිට ගන්න පුළුවන් අර නම තියෙන කෙනාට තරහ ගියා කියා. නමුත් ඒ නම තියෙන කෙනාට නොවෙයි තරහ ගියේ. අපි හැමෝම ඇතුලේ ශ්‍රාවකයෙකුත් ඉන්නවා සත්වයෙකුත් ඉන්නවා. සත්වයා කියන්නේ සංසාරේ ඉන්න ඕන කෙනා. “සත්ව” කියන එකේ තේරුම සසරට ඇළුණු කියන එක. සසරට ඇලුණු කෙනකුත් ඉන්නවා බුද්ධ ශ්‍රාවකයෙකුත් ඉන්නවා. බුද්ධ ශ්‍රාවකයා ඔව්වට තරහ ගන්නෙත් නෑ සතුටු වෙන්නෙත් නෑ. එයා හෙමිහිට බේත ටික ටික අරගන්නවා. බෙහෙත ගන්න ගන්න ඒ ඇලෙණ ගැටෙණ ස්වභාවය අඩු වෙලා යනවා. මේ විදිහට දකින්න පුළුවන් නම් මෙතන ප්‍රශ්නයක් ඇත්තේම නෑ. 


ප්‍ර:  අද දේශණය ගොඩක් පැති මතු කරන්න පුළුවන් දේශනයක් කියලා හිතෙනවා. සාමාන්‍ය ජීවිතය ගත්තහම මේ හිතට උල්පතකින් වතුර ගලනවා වගේ තමයි සිතුවිලි අදහස් එන්නේ. කවුරු කරනවද කොහෙන් කරනවද කිසිම බලපෑමක් නැතිව හොඳට වැඩ කර කර ඉන්නවා. මෙන්න නිකන් පැත්තකින් ඉඳලා ඇවිල්ලා ගලනවා. කොතනින්ද ඕක අපි නවත්ත ගන්නෙ? කොතනින්ද අපට දහම උදව් කරන්නේ මේකෙන් ගැලවෙන්න?  සසරෙන් ගැල වෙන්නත් අපි කල්පනා කරනවා. ඒ ගැනත් කතා කළොත් ගොඩක් හොඳයි.


පි:  අදහස් සිතිවිලි ගලාගෙන එනවා. ගලාගෙන එනවා විතරක් නොවෙයි මහා චණ්ඩ මාරුතයක් වගේ හමාගෙන එනවා. ලෝකයේ තියෙන ප්‍රචණ්ඩම දේ තමා සිතිවිලි. ගිනිකඳු පිපිරීම් වත් සැඩ සුලං වත් සුනාමි වත් ගංවතුර වත් මේ තරම් චන්ඩ ප්‍රචණ්ඩ නෑ. ඒවා ගැන කලින් අනාවැකි කියන්න පුළුවන්. ඔය හැම දෙයක් ගැනම අඩුම ගානේ මිනිත්තු කීපයකට හරි කලින් දැන ගන්න පුළුවන්. නමුත් මේ අදහස් සිතිවිලි නැමති චණ්ඩ මාරුතය ගැන අනාවැකි කියන්න තාම නම් බෑ. එවෙලේ තමයි දන්නෙ. එනිසා කොහෙවත් දුවල බේරෙන්නත් බෑ. අනිත් හැමදේකින්ම දුවල බේරෙන්න පුළුවන්. මේ තමා මූලිකම ප්‍රශ්නය. ඉතින් මෙතන දෙවිදියක විසඳුම් තියෙනවා. එකක් තමා සිහිය සතිමත් බව වඩ වඩා ඇතිවෙන්න ඇති වෙන්න මේ ප්‍රචණ්ඩත්වය පාලනය වෙනවා. සිහිය ඉදිරියේ තිබෙනවා නම් සිතිවිලි අදහස් එන වේගය ගොඩක් පාලනය වෙනවා. හොඳ සතිමත් භාවයක් තිබෙනවා නම් ඒක හරියට හොඳ බැම්මක් වගේ කොහෙන්  අදහස් ආවත් මේ බැම්මෙන් එහාට යන්නෙ නෑ, සිතිවිලි අදහස් වලට සිහිය ඉක්මවා යන්න බෑ. සිහිය අයින් වුනොත් අදහස් කඩාගෙන බිඳගෙන යනවා. හැබැයි සිහිය තිබෙනවා නම් එන හැම අදහසක්ම සිහිය නැමැති බැමිමේ වැදිලා නවතිනවා. ඉතින් යම්තාක් පමණකට සිහිය තිබෙනවාද ඒතාක් පමණට නවත්වා ගන්න පුළුවන්. සිහිය කොතනින්ද ඇති වුණේ එතනින් එහාට ඔය උල්පතකින් වගේ ගලාගෙන එන සිතිවිලි නවතිනවා, ඉන් එහාට ගලන්නේ නෑ. හැබැයි එතෙන්ට එනකන් ගලනවා. සිහිය නිකන්ම ඇති වෙන්නේ නෑ, වීරිය අවශ්‍යයි, වීර්යයෙන් ඉන්න ඕනේ. සම්මා වායාමයෙන් පෝෂණය වූ දෙයක් තමා සම්මා සතිය. හැබැයි එතෙන්ට එනකන් ගලාගෙන ඒම නවතින්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි සිඳීයාමක් ගැන හොයන්න වෙන්නේ. සිඳීයාමකට නම් සිහිබුද්ධිය ඇති වෙන්න ඕනේ, ප්‍රඥාවට පමණයි එය කල හැක්කේ. අපි යන්නට ඕනේ සිතිවිල්ල උපදින තැනට. “යෝනිසෝමනසිකාරය” යන්නෙන් අදහස් කරන්නේ උපදින තැන. උපදින තැන හොයාගන්න ඕනේ. ඕනම අදහසක් සිතිවිල්ලක් එක්ක බලන්න කොතනින්ද ඉපදුනේ. අඩුම ගානේ මොන ඉන්ද්‍රිය හරහාද සිතුවිල්ල ඇතිවුනේ. මොනවා හරි සිතිවිල්ලක් හිතේ තියෙනවා නම් ඒ අදහසත් එක්ක ඉස්සරහට යන්න එපා, උල්පතට යන්න, කොතනින්ද මේ සිතිවිල්ල ඉපදුනේ. ඒ විදිහට බලාගෙන ගියපුහම දැක්ක දෙයක් නිසා ඇහුණු දෙයක් නිසා දැනුනු දෙයක් නිසා විඳපු දෙයක් නිසා, එතෙන්ට වත් එන්න, අනුමානෙට කියන්න එපා, හරියටම හොයාගෙන එන්න ඕනම අදහසක් එක්ක. එතකොට මේක ගැනද මෙච්චර හිතුවේ, මේ දැක්ක දේ තත්පරයක්වත් ඇහේ තිබ්බේ නැති දේ ගැන, රූපයක් තත්පරයක්වත් ඇහේ තියෙන්නේ නෑ, කිසිම ශබ්දයක් තත්පරයක්වත් කනේ තියෙන්නෙත් නෑ. එතකොට එහෙම දෙයක් ගැන මෙච්චර හිතුනෙ කොහොමද, අන්න ඒ කාරණය ඊළඟට වැදගත්. දැන් භෞතිකව උල්පත හොයාගෙන ආවා, දැන් යෝනිසෝමනසිකාරයෙන් එන්නෙ භෞතික උල්පත හොයාගෙනනේ. මොන ඉන්ද්‍රියෙන්ද මේ සිතිවිල්ල මුලින්ම ඇති වෙන්නේ. ඊළඟට බලන්න මෙච්චර දුර යන්න තරම් මේකෙ මොකක්ද තිබුනෙ. මේ සුළු දැකීමේ ඇසීමේ තිබුණේ මොනවද මෙච්චර දුර යන්න, අන්න ඒ කාරණයත් හොයාගන්න. එතකොට මේක තමයි සිහිබුද්ධිය, එයට ප්‍රඥාව කිව්වත් කමක් නෑ.  එහෙම හොයන්න හොයන්න මේකේ එහෙම දෙයක් නෑ කියන එක තේරෙනවා, මෙච්චර දුරදිග හිතන්න දෙයක් තිබුනෙ නෑ, හෙව්වේ නැති නිසයි දුර දිග ගියේ, හොයනකොට පේනවා ඇත්තටම උල්පතක් නෑ, මේ උල්පතක් තියෙනවා වගේ පේන්නේ සහ චණ්ඩ මාරුතයක් වගේ ගලාගෙන යනවා වගේ පේන්නේ දැනෙන්නෙ අපිට මේ අවබෝධය නැති නිසා. අපි හොඳට ගිහිල්ලා බැලුවොත් එහෙම එකක් නෑ. එහෙම හිතන්න දේකුත් නෑ, හිස්.  අන්න ඒ අවබෝධයත් සමඟ මේ උල්පත සිඳී යනවා. මේ කාරණයම දහමේ අහනවනේ ඔබතුමා ඇසූ ප්‍රශ්නයම  ඉතාම ඉහලට හිත දියුණු කළ තරුණ අජිත කියන යෝගියෙක්  බුදුරජාණන් වහන්සේගෙන් අහනවා “ මේ හැම පැත්තෙන්ම මහා මාරුතයක් සේ ගං වතුරක් සේ ගලා ගෙන යන හිත නවත්වන්න පුලුවන්ද පාලනය කරන්න පුලුවන්ද මේක හින්දල දාන්නේ කොහොමද” කියලා.  බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා “ මේක ආවරණය කරන්න පුළුවන් සිහියට, සිහිය තමා බැම්ම. යම් තැනක සිහිය ඇති උනාද එතනින් ගලායාම නවතිනවා. ඊළඟට උල්පත හින්දලා දාන්නෙ කොහොමද, ප්‍රඥාවෙන් තමයි හින්දල දාන්නේ”. මෙන්න මේ අවබෝධය, එය දකින්න, සිහිබුද්ධිය. 


ප්‍ර: දේශනාවේදී මට තේරුණ කාරණය තමයි සිතුවිලි අපි හරහා යනව. එතකොට සිතිවිලි කියන එක ආලෝකයක් කියල ගත්තොත් අප හරහා යනකොට ඒක අපි අල්ල ගත්තොත් ඒ සිතිවිලිත් එක්ක අපි හිතක් හැදෙනවා, හෙවනැල්ල කියන හිත. එතකොට අපි අල්ල ගත්තෙ නැත්නම් විනිවිද යන්න ඉඩ දෙනවා නම් ඒ සිතිවිලි අපි හරහා ගිහින් හිතක් හැදෙන්නේ නෑ. එතකොට අපි ඒ හැදිච්ච හෙවනැල්ල ඇත්තයි කියලා හිතාගෙන ඒ ගැන කතා හදාගන්නව සහ ඒ ගැන හිතේ තියා ගන්නවා. එතකොට ඒ හෙවනැල්ල ඇත්තයි කියලා හිතෙන තාක් අපි පිටිපස්සෙන් එනවා. ඉතින් කවදාහරි ඒක දැකපු දවසක ඒ හෙවනැල්ල නැතිවෙලා යනවා. 


පි: හැම දෙයක්ම අප හරහා යනවා.හැම දෙයක්ම තමන්ගෙ ගමනක යනවා. ශබ්දත් ගමනක, සංවේදනාත් ගමනක, රස සුවඳ මේ හැම දෙයක්ම ගමනකනේ තියෙන්නේ. ඒවා කොහේවත් නැවතිලා නෑ. සිතිවිලිත් ගමනක. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ගමනේ මැද්දේ අපි හිටගෙන ඉන්නවා. කවුරුහරි යන පාරක් මැද්දේ අපි හිටන් ඉන්නවා.  හිටන් ඉන්න නිසා එයාට නිදහසේ යන්න බෑ, අපේ ඇඟේ හැපෙනවා. හැප්පුනාම අපිත් විසිවෙනවා එය හැප්පුනු දෙයත් විසිවෙනවා. ඒ විසිවෙන්නෙ අපි හිතන්නේ නැති පැත්තකට. මම කොයි පැත්තට විසිවෙයිද මම දන්නෙත් නෑ, එයා කොයි පැත්තට විසි වෙයිද එයා දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. හැබැයි දෙන්නම දෙපැත්තට විසි වෙනවා. මෙතන තමයි ප්‍රශ්නය, ගැටීම ඇති වෙන්නම ඔතන. මෙතෙන්ට තමයි “පස්ස” කියලා කියන්නේ මේ ස්පර්ශයට ගැටීමට. සොබාදහමේ ගමනකට ඒකට නිදහසේ යන්න නොදී අපි ගිහිල්ලා මැද්දෙන් හිටන් ඉන්නවා. මම කියන කෙනා හැම විටම ශබ්දය යන ගමනේ මැදින් හිටන් ඉන්නවා. ඉතින් ඒ ශබ්දයට නිදහසේ යන්න දෙන්නෙ නෑ, පෙනීමට සිතීමට නිදහසේ යන්න දෙන්නේ නෑ, අපේ ඇඟේ හැපෙනවා, එහෙම හප්පුනහම ඒවටත් රිදෙනවා අපිටත් රිදෙනවා.මේක තමයි මූලිකම දුක. ඉන් එහා දුක් ඔක්කොම දෙවෙනි තෙවෙනි දුකවල්. මූලිකම දුක තිබෙන්නේ මෙතන, පස්ස කියන තැන, ස්පර්ශයම දුකක්. ඉතින් ඔබතුමිය කිව්වා වගේ අපිට පුළුවන් නම් පාරදෘශ්‍ය වෙන්න, “දේකට” බෑනේ පාරදෘෂ්‍ය වෙන්න, “දෙයක්” කියන්නේ හැම විටම පෙරණයක්, වීදුරුවක් වත් පාරදෘශ්‍ය නෑනේ, ඒකෙනුත් සීයට ගානක් පෙරලා තමයි යන්නේ අනිත් පැත්තට, ඒකෙන් හැප්පිලා නොයන ටිකක් තියෙනවා විසික් වෙන ටිකක් තියෙනවා, මේ මගේ අදහස් මම පිළිගත්ත මත මම හරි කියපු දේ වැරදියි කියපු දේ මගේ අත්දැකීම් බලාපොරොත්තු. මෙන්න මේ සියල්ලෙන්ම තමයි මම හැදෙන්නේ, මට ඕන දේ මොනවද එපා දේ මොනවාද. එතකොට අපි යමක් අහන්නේ මේ සියල්ල එක්ක, යමක් දිහා බලන්නෙත් මේ සියල්ල එක්ක හිතන්නෙත් මේ සියල්ල සමගමයි, මේ වගේ තමයි පෙන්නේ මොනවගේද බලාපොරොත්තුවල මතකයන්ගේ ඕනෑ එපාකම් වල  පිළිගැනීම් වල ප්‍රතික්ෂේප කිරීම් වල ඇදහීම් වල, මෙ සියල්ලේ මොන වගේ හරි හැප්පෙනවා. මේවා අඩුවෙන්න අඩුවෙන්න අපි ටික ටික පාරදෘශ්‍ය වෙන්න පටන් ගන්නවා, අපි අතර ඉඩ තියෙනවා, දැන් මුලින් මේක ඝන වානේ කුට්ටියක් වගේ තිබුනෙ, හැබැයි මේවා අඩුවෙනකොට ඒ අඩුවෙච්ච තැන්වල හිදැස් තියනවනේ, ඒ හිදැස් වැඩි වෙන්න පටන් ගන්නවා, හිස් අවකාශය වැඩියි, හැබැයි තවම නැති වෙලා නෑ, සිහිබුද්ධිය වැඩිවෙන්න වැඩිවෙන්න මේ ඝන පදාස ගැලවිලා වැටෙනවා, මම නැමැති පවුරේ පදාස පිටින් ගැලවිලා වැටෙනවා, මුළු තාප්පෙම එකපාරම ගැලවිලා වැටෙන්නේ නෑ, හැබැයි ලොකු ප්‍රදේශ කඩාගෙන වැටෙනවා, ඒ වගේ තැනකින් කිරණයක් ගියොත් ඒක ඔහේ යනවා. ඒ වගේ සිහිබුද්ධිය තියෙන වෙලාවක ඇහුවොත් ඇහුවා විතරයි, දැක්කොත් දැක්කා විතරයි, හිතුනොත් හිතුනා විතරයි, දැනුනොත් දැනුනා විතරයි.


යෝජනාවක් තිබුණා සාරාංශය හොඳින් කියවන්න, පහුගිය සාරාංශත් හොඳින් කියවන්න, දැනුමට නොවෙයි අවබෝධය සඳහා, කියවලා ඒවා භාවනාවට එකතු කරගන්න, ඒ හරහා මතු වන ගැටළු අත්දැකීම් තිබෙනවා නම් සදහම් සැන්දෑව whatsapp සමූහයට ඒක දාන්න. ඒවාට ඕන කෙනෙකුට උත්තර දෙන්නත් පුළුවන්, ඕනම කෙනෙකුට තමන්ගේ අදහස අත්දැකීම කියන්නත් පුළුවන්, පොත් වල තියෙන දේ නොවෙයි. ඇත්තටම සදහම් සැබෑවෙන් බලාපොරොත්තු වුණේ එබඳු බුද්ධිමය සංවාදයක්. බුද්ධිමය කියන්නේ තාර්කික සංවාදයක් නොවේ.  අත්දැකීම් මත පදනම් වූ සංවාදයක්. සංවාද සන්ධ්‍යාවක් තමයි මූලික අරමුණ වුණේ. හැබැයි ඒ කරුණට යන්න බැරිවුණා තාම. යන්න බැරි වුණා කියලා පාඩුවකුත් නෑ. නමුත් අඩුම ගානේ whatsapp සමූහය ඇතුළෙ වත්  එබඳු සංවාදයක් ගොඩනඟන්න පුළුවන් නම් හරි වටිනවා. එතකොට පැහැදිලි කරගන්න අප මේ කතා කරන කාරණා හරි කියන්න නොවෙයි පිළිගන්නත් නොවෙයි එකඟ වෙන්නත් නොවෙයි, ඒවත් එක්ක අපි ජීවත් වෙන්න හැදුවා, එතකොට තේරෙනවා මේකත් එක්ක ජීවත් වෙන්න බැරි වුණා, මේ අදහසත් එක්ක පුළුවන් වුණා, පුළුවන් වීම නිසා මෙන්න මෙහෙම අත්දැකීමක් ලැබුණා අවබෝධයක් ලැබුනා, බැරි වුණා නම් ඇයි බැරිවුනේ. බදාදා වෙනකල් ඉන්න අවශ්‍ය නෑ, මේ කාරණා පිළිබඳ අපි කාටත් එකතුවෙලා කතා කරන්න පුළුවන්. අවසාන වශයෙනුත්  අවධාරණය කරන්නේ බුද්ධ ශ්‍රාවකයෙකු සහ සංසාරගත සත්වයෙකු අපි අභ්‍යන්තරයේ ඉන්නවා, මේ දෙන්නාම, එක්කෙනෙක් ඇතුළෙ දෙන්නාම ඉන්නවා කියන එක නොවෙයි. මේ දෙන්නෙක්, බුදු සව්වෙක් සහ සසරට වැටුණු කෙනෙක්. සිහිබුද්ධියට මේ දෙන්නවම පේනවා. තව විදිහකට කියනවා නම් බුද්ධශ්‍රාවකයාට තමයි  මේ සත්වයාව පෙනෙන්නේ, සත්වයාට බුද්ධශ්‍රාවකයව පේන්නේ නෑ, එයා විතරයි ඉන්නේ, එයාට කොච්චර කිව්වත් වැඩක් නෑ මෙතන බුද්ධ ශ්‍රාවකයෙක් ඉන්නවා කියලා. “මමෙක්” ඉන්නවා “මමෙක්” නෑ මේ ඔක්කොම කියල තියෙන්නෙ “මමම”” තමයි අර බුද්ධශ්‍රාවකයා නොවෙයි, එයාට මෙතන කිසිම වාදයක් නෑ, එයා දන්නවා සංසාර සත්වයා එක්ක එයාට කිසිම ගනුදෙනුවකුත් නෑ වාදයකුත් නෑ ගමනකුත් නෑ.

හොඳයි ඒ විවෘත වීමත් සමග දයාබර හිතවතුනි අපි සමුගනිමු අද මේ සදහම් සැන්දෑවෙන්. බැස යමු මේ බුධ දින සන්ධ්‍යාවේ සිහිබුද්ධියට හෝරාවක් අම්බලමෙන්. 


 සැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!