සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 21


2022 මාර්තු 02, සාරාංශය

සැනසිලිදායක සන්ධ්‍යාවක් !

දයාබර හිතවතුනි, මේ අප ගොඩවදින්නේ සිහිබුද්ධියේ හෝරාවට, බදාදා සදහම් සැඳෑවට, අපේ ආධ්‍යාත්මික අම්බලමට. ගිය සතියේ කථා කළ කාරණා හා භාවනාවෙන් පසු එවෙලේම කිහිපදෙනෙක් දුරකථනයෙන් අමතා ඇතිවුණු කම්පනය සහ ප්‍රකම්පනය ගැන කථා කළා. මොකද ගිය සතියේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට වේලාවක් තිබුණේ නෑ. ඒ අතර සමහර කෙනෙකු ඒ අයගේ අත්දැකීම් කිව්වා. ‘රෑ එළිවෙනකම්ම ඇහැරගෙන මේ කියු කාරණා මෙනෙහි වෙවි මෙනෙහි වෙවි ගියා, නමුත් පාන්දර කරන අනික් කටයුතුවලට බාධාවක් උනේ නෑ. හැබැයි ඔළුව ඇතුළේ ලොකු පෙරළියක් වූ බව’. මට සතුටුයි. සංසාරෙම නිදාගැනීමනේ කළේ. අවදි කරන්න ගන්න උත්සාහය නිකන් පොල්ලකින් ඔළුවට ගැහුවා වාගේ දැනෙනවා නම්, අප කාගෙත් උත්සාහය සාර්ථක වුණා කියා සිතන්න පුළුවන්, එහෙම දැනෙන්නම ඕනේ. කලන්තේ හැදෙන මට්ටමටම ඒ පහර වැදුනා වගේ. එහෙම දැනුණා නම් තමා සිහිබුද්ධිය අවදි වන්නේ. නැත්නම් මතුපිටින් හොඳයි. නිකන් නැලවිලා යන ස්වභාවයක් නම් තියෙන්නේ එයට කැමතියි. නැවත නැවත ඇලුම් කරණවා. නමුත් අප අපවම රවට්ටා ගන්නවා. දවසක් කථා කළා මේ ස්වභාවය ගැන, ස්වභාවධර්මයේ ලක්ෂණයන් දෙකක් ගැන, එක ලක්ෂණයක් ගැනයි කතා කළේ. ඒ තමයි ‘ස්වභාවධර්මය හැමදෙයක්ම හංගලා’ තියෙන්නේ කියන කාරණය. ධර්මතා හංගලා තියෙන්නේ. අපට ධර්මතා හොයාගෙන යන්න වෙනවා. ‘පෙන්නන්නේ සිදුවීම්’. ධර්මතා පෙන්නන්නේ නෑ.

දෙවැනි ලක්ෂණය නම්‘සොබාදහම නලවන්න කැමතියි’. නැලවෙන්න ඕන ටිකයි පෙන්වා දී තියෙන්නේ. දුක් ඇතිවෙනවා. වේදනා ඇතිවෙනවා. ජීවිතේ පුරාම සොබාදහම එහෙම ඉන්න දෙන්නේ නෑ. මොනතරම් කම්පන ප්‍රකම්පන ඇතිවුනත් මේ කම්පනයයි ප්‍රකම්පනයයි එක්ක මුළු ජීවිතයම කම්පාවෙවි ඉන්න ඉඩදෙන්නේ නෑ. කලාතුරකින් තමයි එහෙම ඉන්න ඉඩදෙන්නේ, සොබාදහම ඊට පසුව නලවනවා. නැලවිලි ගීත ගයනවා. මේ නලවන ගතිය ස්වභාවයේම තියෙන ලක්ෂණයක්. නලවන සිදුවීම වෙනවා. පුද්ගලයන් ඇවිත් ඔළුව අතගානවා. කලාවෙන් කරන්නේ නැලවීම. කෑම බීමෙන් නැලවෙන්න පුළුවන්. නින්දෙන් නැලවෙනවා. මුළු ‘ස්වභාව ධර්මයම නැලවිලි ගීතයක්’ කියා කියන්න පුළුවන්. ඒ නැලවිලි ගීතයට නැලවී නැලවී නිද්‍රාගතවන පිරිසකටයි සාංසාරික සත්ත්වයන් කියන්නේ. ආගම-දහම හා භාවනාව මේ නැලවීමටම යොදාගන්නත් පුළුවන්. ඉතිහාසය පුරාම ආගම-දහම හා භාවනාව වැඩිපුරම භාවිතා කර තියෙන්නේ නැලවිලි ගීත විදිහට. තමන්ටත් නැලවෙන්න, අනිත් අයවත් නලවගන්න. ඒ නැලවීමත් සමඟ සංසාරයේ තිබෙන බියකරු ස්වභාවය වැසී යනවා. සංසාරය නැමති බියකරු සිහිනය වැහිලා යනවා. සිත තැන්පත්වන භාවනාවකින් කෙරෙන්නේ ඒ නැලවීමම තමා. ලෝකයේ වඩාත්ම භාවනාව ජනප්‍රියවී තිබෙන්නේත් භාවනාවෙන් ක්ෂණිකවම නැලවෙන්න පුළුවන් නිසා, භාවනාව තරම් තවත් මිහිරි නැලවිලි ගීතයක් නැති තරමි. ඒ භාවනාවටයි සමථ කියන්නේ. සමථයෙන් කරන්නේ සමථයකට පත්කිරීම, නැලවීමක්. නිද්‍රාවම නොවුනත් සමාධියෙත් තියෙන්නේ නිද්‍රාවකට සමීප ලක්ෂණ. සමාධිය හොඳම හොඳ නැලවිලි ගීතයක්. සමාධිය, ධ්‍යානය කල්ප ගණන් නැලවි නැලවී ඉන්න පුළුවන් නැලවිලි ගීත. සංසාරය නැමති බියකරු සිහිනය ඇතුළේ කල්ප ගණන් උනත් නැලවී නැලවී ඉන්න පුළුවන් නලවන ගීතයක් තමා සමාධි භාවනාව, සමථ භාවනාව.

කවුරුත් නැලවිලි ගීත අහන්න කැමතියි. පුංචි කාලේ ඉඳලා දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටි හැමෝම නැලවිලි ගීත අහන්න කැමතියි. මෙපමණ නැලවිලි ගීත ඕන වෙන්නේ අප එළියෙන් ඇඬුවේ නැති වුණාට අභ්‍යන්තරයෙන් අඬ අඬ ඉන්න නිසා. හඬන අධ්‍යාත්මයකුයි අපට තියෙන්නේ. ඇතුළතින් හඬනවා. දිගටම හඬ හඬා ඉන්න බෑ, එහෙම උනොත් පිස්සු හැදෙනවා. ඒ පිස්සුවෙන් ගලවාගන්න කරන්නේ වරින් වර ඔළුව අතගා නැලවීමයි. එසේ නැලවූ විට සංසාර විලාපය මොහොතකට නවතිනවා. ආයෙත් අඬන්න පටන්ගන්නවා. ආයෙත් නැලවීමක් ඕනේ. අප සියල්ලම භාවිතා කරන්නේ නැලවිලි ගීත විදිහට. රසවත් ආහාර පාන පමණක් නොවේ. පුද්ගලයන් පවා භාවිතා කරන්නේ නැලවිලි ගීතයක් විදිහට. අනිත් අය අපව භාවිතා කරන්නෙත් නැලවිලි ගීතයක් විදිහට. මේ තමා පිළිගන්න කැමති නැති ඇත්ත.

කල්‍යාණ මිත්‍රයෙක් සමහරවිට නැලවිලි ගීතයක් විදිහට පෙනි සිටින්නට පුළුවන්, නැතිනම් ප්‍රතික්ෂේප කරනවානේ. එයා නලවනවා වගේ පෙන්නලා කරන්නේ ගස්සලා ඇහැරවීම. ඇත්තටම ආධ්‍යාත්මික මිත්‍රයෙක් නම් ඒ මිත්‍රයා අපට කරන්නේ ගස්සලා අවදිකරවීම. මේ සිහිබුද්ධියට හෝරාවක් සදහම් සැඳෑවේ මුල සිට අගටම කරන්න උත්සාහ කරන්නේ සහ කළේ මෙම අවදි කිරීම. ඔළුවට ගැහුවා වාගේ දැනෙනවා නම්, වැඩි වැඩියෙන් දැනෙනවා නම්, අන්න අප කාගෙත් උත්සාහය සාර්ථකයි කියා සතුටු වෙන්න පුළුවන්.

හිතවතුනි, අප අල්ලගෙන තිබෙන දේවල් කවුරුහරි අපෙන් උදුරාගන්න ආවොත් තව දැඩිව අල්ල ගන්නවා. මෙය රිලවුන්ගේ ස්වභාවයෙන් පේනවා. ඔහේ තියෙන දේවල් එහෙන් මෙහෙන් අතපත ගානවා. හැබැයි අප එය ගන්න වගේ ළඟට ගියොත් හොඳටම හිරකරගෙන අල්ලගෙන දුවනවා. පුංචි දරුවන්ගෙත් මේ ස්වභාවය තමයි තියෙන්නේ. පුංචි දරුවනුත් පෑන්, පැන්සල් වගේ දේවල් අරගෙන සෙල්ලම් කරනවා. එක් අතකින් අනිත් අතට හුවමාරු කරණවා. බිම දානවා. ආයෙත් ඇහිදිනවා. හැබැයි කවුරුන් හෝ ගන්නවගේ ගියොත් අත් දෙකින්ම හොඳටම හිර කරගන්නවා. මේ තමයි බාල ස්වභාවය. වඳුරු ස්වභාවය. අප කා ළඟත් තියෙන ස්වභාවය. අල්ලාගෙන තියෙන දේවල්, කාගෙන්වත් හිරිහැරයක් නෑ කියා දැනෙක විට ලිහිල් කරනවා. ඔහේ අතහැරලා තියෙනවා. හැබැයි කවුරුහරි කිට්ටුවෙනවා කියලා දැනගත්තොත් තව තවත් දැඩිව අල්ලා ගන්නවා.

මෙසේ සිතින් අල්ලාගෙන තියෙන්නේ එකම එක දෙයයි. මුළු ලෝකයක් නෙමෙයි. හිතට බෑ ලෝකයක් අල්ලා ගන්න. හිතට වැලි කැටයක්වත් අල්ලා ගන්න බෑ. හිතට අල්ලාගන්න පුළුවන් වන්නේ අදහස් පමණමයි. හැමදෙනා ගැනම අදහස් ටිකක් සිත අල්ලාගෙන තියෙනවා. පුද්ගලයන් අල්ලාගෙන නෑ. සිතුවට අරයාව අල්ලගෙන ඉන්නවා, මෙයාව අල්ලගෙන ඉන්නවා කියා, ඇත්තටම කවුරුත් සිතින් අල්ලගෙන නෑ. අල්ලගෙන ඉන්නේ ඒ පුද්ගලයන් පිළිබඳ ඇති කරගන්නා අදහස් ටිකක්. මේවාට තමයි ‘දිට්ඨි’ කියන්නේ. ‘අදහස්’. ඒවා හරි කියලා අල්ලගෙන ඉන්නවා. ‘ඒ කෙනා ගැන හිතන විදිහ හරි. මේ කෙනා මෙහෙම කෙනෙක් කියලා’. ඒ සිතුවිල්ල දැඩිව අල්ලා ගන්නවා. ‘මම මෙහෙමයි’ කියලා තමන් ගැනත් අදහසක් අල්ලාගෙන ඉන්නවා. තමන් ගැනත් දිට්ඨියක් තියෙනවා. මට මං ගැන දිට්ඨියක් තියෙන නිසා තමයි අනිත් අය ගැනත් දිට්ඨි හදාගන්නේ.

හිතවතුනි, මෙහෙම අල්ලගෙන තියෙන්නේ දිට්ඨි පමණයි. වෙන කිසිදෙයක් අල්ලගෙන නෑ. ගෙවල්-දොරවල්, යාන-වාහන, මිල-මුදල් අල්ලගෙන නෑ. සිතට ඔය කිසිදෙයක් අල්ලගන්නත් බෑ. අතින් අල්ලගන්න පුළුවන්, සිතින් අල්ලගන්න බෑ. සිතට පුළුවන් ඕනෑම දෙයක් ගැන, මුදල් ගැන උනත් දිට්ඨියක් අල්ලගන්න. දිට්ඨියක් අල්ලගත්තාම මුදල් අල්ලගත්තාට වැඩිය භයානකයි. මුදල් අතහරින්න පුළුවන්. දානයේදී කරන්නේ භෞතිකව දේවල් දීම. භෞතික දේ දීම පහසුයි. ඒ පිළිබඳ දිට්ඨි අතහැරීම පහසු නෑ. මෙසේ පිළිගත් මත, අදහස්, පිළිගත් නිගමනයන්, විනිශ්චයන් ලෝකයකට වැඩිය තියෙනවා. දිට්ඨි ලෝකයක් ඇතුළේ අප ජීවත් වෙන්නේ. ඒ තමයි ඇත්තම ලෝකය. අප මවාගෙන තියෙන, අල්ලගෙන තියෙන ඇත්තම ලෝකය තම|ෙ දිට්ඨි ලෝකය. මොනවා ගැනද දිට්ඨියක් නැත්තේ? හැම දෙයක් ගැනම අපට දිට්ඨි තියෙනවා. ඒ දිට්ඨි හරි ද වැරදි ද, ඇත්ත ද බොරු ද, සාධාරණ ද අසාධාරණ ද විමසීමක් නෑ. මගේ දිට්ඨියක් නම් හරි. අනිත් අයගේ දිට්ඨි වරදින්න පුළුවන්. මේ ‘මම’ හිතන විදිහ. ‘ඒක හරි’. මේ විදිහට අල්ලගෙන, උපාදානය කරගෙන ඉන්නවා. එපමණක් නොවෙයි, දිට්ඨිය පරම සත්‍ය විදිහට අදහනවා, විශ්වාස කරනවා.

අප හැමෝටම ආගමක් තියෙනවා අපම හදාගත්. අපම හදාගත්ත ‘ආගම’ තමා අප අදහන්නේ. ආගමක් කියන්නේ ශාස්තෘන් වහන්සේ කෙනෙක්ගේ නිර්මාණයක් නෙවෙයි. හැම ආගමක්ම පුහුදුන් සිත්වල නිර්මාණයන්. හැම පුහුදුන් සිතක්ම ශාස්තෘවරයෙක් විදිහට වැඩකරනවා. එනම් ආගම් නිර්මාතෘවරයෙක්. හැම පුහුදුන් සිතකටම තමන්ම හදාගත් ආගමක් තියෙනවා. ආගම් අදහනවා කියන සිත්, ආගම් නෑ කියන සිත්, මේ හැම සිතක්ම තමන් හදාගත් ආගමක් අදහනවා. ඒ ආගමේ නිර්මාතෘ තම  තමන්මයි. එකම අනුගාමිකයාත් තමන්යි. මේ විදිහට බැලුවාම ලෝකේ කෝටි හයසීයක් ඉන්නවා නම්, ආගම් කෝටි හයසීයක් තියෙනවා. ඒ තමයි ඇත්තමටම අදහන  ආගම. අපේම මත, විශ්වාස, ඇදහිලි, පිළිගැනීම්, නිගමන හා විනිශ්චයන්ගෙන් ගොඩනැඟුනු ඇදහීම් ටිකක් තියෙනවා. ජීවිතේ උනත් දෙන්න කැමති මේ විදිහට. ජීවිතය පරිත්‍යාග කරන්න කැමතියි, දිට්ඨියක් පරෙස්සම් කරගන්න. ඔය සියදිවි නසාගැනීම් සිදුවන්නේ දිටිඨි නිසා. දිට්ඨියක් තියාගන්න ජීවිතයක් අත්හරිනවා. තව කෙනෙක්ගේ ජීවිතයක් නසන්න පවා පුළුවන් දිටිඨියක් නිසා. ඒ නිසයි අන් අයගේ ජීවිත වලට හානි කරන්නේ, අපේ ජීවිතත් අප නාස්ති කරගන්නේ.

ඒ කියන්නේ දිට්ඨියක් පරෙස්සම් කරගන්න ජීවිතයක් දෙන්න ලෑස්තියි. වෙන කිසිම දෙයකට ජීවිතයක් දෙන්න සුදානම් නෑ. දිට්ඨියකටමයි ජීවිතයක් දෙන්නේ. අප කැමතියි අපේ ආගම හරි කියන අය ඇසුරු කරන්න. අපේ ආගම හොඳම ආගම කියන අයට ඇහුම්කන් දෙන්න. එවැනි පොත් කියවන්න කැමතියි. අප හරි කියලා අහගන්න කැමතියි.. කැමතියි එහෙම කියන අයට. එබදු අයටයි  කිට්ටු වෙන්නේ. එහෙම අයත් සමඟයි අප අපේ හදවත් විවෘත කරගන්නේ. මේවා නැලවිලි ගීත. ඔය දිට්ඨි අල්ලගන්නේ සිත් නලවන්න. ඒ දිට්ඨි ඇතුළේ සාංසාරික සිහිනයේ නිද්‍රාගත කරවන්න තියෙන හොඳම නැලවිලි ගීතයක් තමයි ‘ඔයා හරි’, ‘හොඳටම හොඳයි’, ‘සියයට සියයක් හොඳයි’, ‘මේ අදහස සුපිරි අදහසක්’, මෙසේ කීවාම ඒවා භදාගන්න කෙනා ඔන්න නැලවෙනවා. 

‘මම’ කියන ආගම ‘මට’ හදලා දුන්නේ කවුද? ‘මමත්වය’. මමත්වයෙන් හැදූ ආගමක් තමයි හැමෝම අදහන්නේ. දැන් කළ්‍යාණ මිත්‍රයෙක් කරන්නේ මෙතනට කුළුගෙඩි පහරක් ගහනවා. මේ දිට්ඨී නැමති, අයිස් වලින් මිදිලා තියෙන මමත්වයට. දිට්ඨී ගොඩක් හදාගෙන ඒක ඇතුළේ ‘මම’ ඉන්නවා වටේටම දිට්ඨි වලින් ආරක්ෂාවෙලා. වටේටම දිට්ඨී ජාලයකින් වටවෙලා තියෙන්නේ. ‘දිට්ඨී ජාල’, ‘බ්‍රහ්මජාල’. මේ තැනටයි ආධ්‍යාත්මික මිත්‍රයා කුළුගෙඩි පහර එල්ල කරන්නේ. ගහන කොට දෙදරලා යනවා. ඒකට කැමති නෑ. ‘හරි’ කියන්න කියන්න වෙන්නේ මේ දැල තව තවත් ශක්තිමත්වීම. මේ  කරන්නේ දිට්ඨී විවේචනය කිරීම නෙවෙයි, විවෘතවිම. අප හිතන් හිටිය ආකාරයට වඩා වෙනස් ආකාරයකට ධර්මතාවයන් ගැන කතා කරනකොට, ඔන්න ‘අපට’ අදහාගන්න බැරිවෙනවා. ‘අපට’ කියලා කියන්නේ, අර ආගම හදාගත්  කෙනාට, අදහා ගන්න බෑ. ඒ නිසා අගමයි ධර්මතායි දෙපැත්තකට යන දේවල්. මෙතන ආගම කියලා කියන්නේ ප්‍රසිද්ධ සංස්ථාගත ආගම් නොවෙයි. අපි හැමෝම තනි තනිව හදාගෙන තියෙන තම තමන්ගේ ආගම්. මේ ආගම්, නැතිනම් මගේ ඇදහීම්, විශ්වාසයන්, නිගමනයන් ඒ තමයි  දිට්ඨි. මේවාට තමයි ධර්ම දේශනාවලින් අභියෝග එල්ලවෙන්නේ. චැලේන්ජ් කරන්නේ ඒකට. අපේ ඇදහීම් වලට විශ්වාසයන්ට චැලේන්ජ් කළාම ඇතිවන කම්පනය, ප්‍රකම්පනය මෙතෙකැයි කියන්න බෑ. ඒ නිසා දහමේ කියනවා එකපාරටම ඔළුවට ගහන්න එපා කියා. ඔරොත්තු දෙන්නේ නැතිවෙයි. මේ නිසා තමා හිතවතුනි, අප තෝරාගත් පිරිසක් සමඟ මේ වැඩසටහන කරගෙන ආවේ, අළුතින් අළුතින් එකතුකරගන්නේ නැතිව. සාමාන්‍යයෙන් සම්ප්‍රදායේ තියෙන ධර්ම දේශනා අප කරනවා. මේ දේශනය ඊට වැඩිය වෙනස්. කෙළින්ම ‘ඔළුවට ගහන’ වැඩසටහනක්.

ගියවර සාකච්ඡාව මේ සතියට කල්දැම්මා. ගියවර අප කථාකලේ කාටත් හොඳවෙන්න ඕනේ, කවුරුවත් නරක් වෙන්න ඕනේ කියා හිතන්නේ නෑ. හොඳ වෙන්නමයි හදන්නේ. ඕනකමක් තියෙන්නේ හොඳවෙන්න. නරක් නොවී ඉන්න. නරක අත්හැරලා හොඳ කෙනෙක් වෙන්න. එතකොට මේ සරලම න්‍යාය තමයි දිට්ඨිය. ‘මම නරකයි’, ‘මට තරහා තියෙනවා’, ‘මම තරහා නැති කෙනෙක් වෙන්න ඕනේ’. ‘මම’ තියාගෙන ‘තරහා’ නැති කරන්න තමයි හැමෝම උපදෙස් දෙන්නේ. සියළුම ආගම්, සියළුම විද්‍යාවන්, උත්සාහ කරන්නේ ඒ සඳහායි. මෙයින් සිදුවෙන්නේ න්‍යෂ්ටිය තහවුරුවීම. න්‍යෂ්ටිය වඩ වඩාත් ශක්තිමත් වීම. බාහිර කවචයන් වෙනස් වෙනවා. බාහිර කවචයන් වෙනස් වෙන්න පුළුවන්, හැබැයි ‘මම’ දිගටම පවතිනවා. බොහොම ස්ථාවරව ‘මම’ පවතිනවා.

සාමාන්‍යයෙන් මේ ඇත්ත පේන්නේ නෑ. පේන්නේ බාහිර චලනයන් පමණයි. ඒවා තමයි වෙනස් කරගන්න හදන්නේ. ‘විද්‍යාව’ පහළවෙනවා කියන්නේ ඔය බාහිර කවචයන් එක්ක කරන ගනුදෙනුව විනිවිද න්‍යෂ්ටිය දැකීම. මෙතන තියෙනවා ආකර්ෂණයක්. න්‍යෂ්ටියක්.මේ න්‍යෂ්ටියේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මුළු විශ්වයම පිළිබඳ රහස තියෙන්නේ මේ න්‍යෂ්ටියේ. මේ න්‍යෂ්ටිය තරම් ශක්තිමත් දෙයක් තවත් නෑ. ඒ නිසානේ ඔය පරමාණු බෝම්බ හැදුවේ. ඒ ඇත්ත සොයා ගත්තාට පස්සේ. ඒ පරමාණුවක් පිපිරුණාම ඒ එන ශක්තිය කියන්න බැරිතරම් විශාලයි. න්‍යෂ්ටිය වටා තමයි මේ හැම දෙයක්ම කරකවන්නේ. න්‍යෂ්ටිය, ‘

මෙහෙම කියන විට කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘සදාකාලික මමෙක්’ ඉන්නවා කියන කතාව. ඔය ‘ආත්ම වාදය’. .... දැන් න්‍යෂ්ටියක් තියෙනවා කියන එක ආත්මවාදය නෙවෙයි. ප්‍රශ්නයේ මුල එතන තමයි. ප්‍රශ්නේ පටන් ගන්නේ එතන. හැබැයි එතනට යන්නේ නැතිව, ඈත ඉඳලා ‘මම කියලා කෙනෙක් නෑ’ කියලා කිව්වාට ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ‘නෑ’ කියන්න හරි ලේසියි. ‘මම කියලා කෙනෙක් නෑ’, ‘කොහෙද ඉන්නේ’ කියන්න පුළුවන්, කිව්වාට ඒ කියන එක ඇතුළෙම, කියන ‘මමෙක්’ ඉන්නවා. ‘මම කියලා කෙනෙක් නෑ’ කියන ‘මමෙ’ක් ඉන්නවා. හැබැයි එයාට කවුරු හරි කිව්වොත් ‘නෑ ඉන්නවා’ කියලා, තරහා එන්න පුළුවන්. ‘මම කියලා කෙනෙක් නෑ’ කියන කෙනාට ‘තරහා’ එන්න පුළුවන්, කවුරුහරි ‘ඉන්නවා’ කියලා කිව්වොත්. ඒ තරහා එන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මමෙක් ඉන්නවා. ඒ නිසා මම ඉන්නවාද නැද්ද කියලා හිතලා, වාද කරලා, තර්ක කරලා වැඩක් නෑ. දැනීමට අප යායුතුයි.

බාහිර ලෝකයේ  න්‍යෂ්ටිය පිපිරුණාම විශාල ශක්තියක් පිටවී විනාශයක් වෙනවානේ. හැබැයි අභ්‍යන්තර වශයෙන් පිපිරීමක් උනාම විනාශයක් නෙමෙයි වෙන්නේ සංසිඳීමක්. ඒ තමයි වෙනස. ‘මම’ කියන න්‍යාෂ්ටියක් තියෙන නිසා තමයි සියළුම කලබල. හැම කලබලයක්ම වෙන්නේ ඒ නිසා. දැන් තමා පිපිරි පිපිරි තියෙන්නේ. බාහිර ලෝකයේ න්‍යෂ්ටියෙයි අභ්‍යන්තර ලෝකයේ න්‍යෂ්ටියෙයි තියෙන බරපලතම වෙනස තමා අභ්‍යන්තර ලෝකයේ න්‍යෂ්ටිය පරෙස්සම් කරගෙන ඉන්නතාක් කල්  පුපුරනවා. හැම වේලාවෙම ‘මම’ කියන එක දිගටම තියාගෙන සිටින තුරු තමා මේ හැම පිපිරීමක්ම. නමුත් ඒ දිහා බලන්න බලන්න තේරෙනවා හිස් බව. විද්‍යාවෙන් කියන්නේ මෙයයි. න්‍යෂ්ටිය කියලා දෙයක් තියෙනවා කියලා මුලින්ම කිව්වා. හැබැයි මේ දෙස  දිහා බලන්න බලන්න කියනවා හිස් කියා. මේ න්‍යෂ්ටිය කියන එක ඇතුලේ වැඩිපුර තියෙන්නේ හිස්බව. හොඳට බලන්න ‘මට’ තරහා එනවා. ‘මම’ තියාගෙන තරහා නැතිකරගන්න පුළුවන්ද කියලා බලනවා. ‘මම’ තියාගෙන දුක නැතිකරගන්න බලනවා.

හිතවතුනි, තරහා කියලා දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි අයිතිකාරයෙක් නෑ. තරහා ගත්ත කෙනෙක් නෑ. එයාව හොයන්න හොයන්න එහෙම කෙනෙක් හොයාගන්න නෑ, පේන්න නෑ. හැබැයි හෙව්වේ නැත්නම් ඉන්නවා. කාටද තරහා ආවේ? කවුද මේ තරහා නැතිකරගෙන තමන්ම තියාගන්න හදන්නේ? ඒ තැනට ඇඟිල්ල තියලා හොයාගෙන හොයාගෙන ගියොත් කෙනෙක්ව පේන්නේ නෑ. හෙව්වේ නැත්නම් ඉන්නවා. මේ තමා ලස්සනම කාරණය. ‘මම’ නැමති න්‍යෂ්ටියේ රසවත්ම කාරණය තමා ‘මම’  ගැන නොසොයනතාක් කල් ‘මම’ කියලා කෙනෙක් ඉන්නවා. හොයන්න පටන්ගත් මොහොතේම අතුරදහන් වෙනවා. එතන බලනවා, මෙතන බලනවා ‘මම’ කියලා කෙනෙක් ඉන්නවාද කියා. ඒ මුල්ලේ බලනවා. මේ මුල්ලේ බලනවා. බලන බලන තැන නෑ. එතකොට අපට හිතෙනවා තවම බල්න්නට බැරි වූ තැනක ඇති කියා. ඒ තැනත් බලනවා. එතනත් නෑ. හිස් බවම තමයි පේන්නේ. බැලුවොත් හිස්, නොබැලුවොත් දෙයක් තියෙනවා. ඒ නිසා තමයි ‘බලන්න’ කියන්නේ. අහක බලන්න එපා. නොබලා ඉන්නත් එපා. බලන්න. බලනවා නම් බැලිය යුතු එකම තැන තමා න්‍යෂ්ටිය. ඔය අනිත් දේවල් දිහා බලලා වැඩක් නෑ. වැඩක් නෑ කියන්නේ, බැලුවාම ඉගෙන ගන්න දේ තියෙන්න පුළුවන්. ඒ අනුව වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි, මේ හැමදෙයක්ම පටලවාගත්ත  ‘මධ්‍යය’, ඒක ඔහේ තියෙනවා. ඒක එතන ශක්තිමත් වෙවි තියෙයි. සියුම් වෙවි තියෙයි. නැති වෙන්නේ නෑ. ඒ නිසා මේ බාහිරින් බැලුවා ඇති දැන්. බාහිර කියා අප ගන්නේ බාහිර ලෝකයනේ. ඇහැට පෙනෙන ලෝකය. කණට ඇසේන ලෝකය. ජීවත් වෙන ලෝකය. ඒ තමයි රැවටෙන බාහිර ලෝකය. බාහිර ලෝකය කියලා එකක් අපට පෙන්වනවා. මෙන්න මේක බාහිර ලෝකය. ඔබේ සිතුවිලි දිහා බැලුවාම ඒක අභ්‍යන්තරයි. ඇත්ත මොකක්ද, ‘සිතුවිලිත් බාහිරයි’. සිතුවිලි බාහිරයි කියන අවබෝධය එන්න නොදී අපව රවටන බිත්තියක් තමයි සිතුවිලි අභ්‍යන්තරය කීම. බාහිර කියන්නේ මේ ඇහෙන ශබ්ද, ඇහැට පෙනෙන රූප, ඇඟට දැනෙන සංවේදනා, දිවට දැනෙන රස සහ නාසයට දැනෙන සුවඳ. මේවා බාහිරයි. සිතුවිලි අභ්‍යන්තරයි. ඒ නිසා බාහිර ලෝකය බලන්න එපා ඔය අභ්‍යන්තර ලෝකය බලන්න. අභ්‍යන්තර ලෝකේ කියලා පෙන්නන්නේ සිතුවිලි. බාහිර කවචයන්ගේ කරකැවෙන ඉලෙක්ට්‍රෝන ටික තමයි පෙන්නන්නේ අභ්‍යන්තර ලෝකය කියලා. අපි ඒකට රැවටිලා. ඒවා දිහා බල බලා ඉන්නවා. අන්න අපි අභ්‍යන්තරය දැක්කා කියලා හිතනවා, මේ එළියේ කරකැවෙන දේවල් ටිකක් දැකලා.

හිතවතුනි, එය නොවෙයි සැබෑම අභ්‍යන්තරය. සිතුවිලිත් බාහිරයි. ඒ නිසානේ දහම කියන්නේ සිතුවිලි ආගන්තුකයෝ කියා. ආගන්තුකයෝ කියන්නේ පිටින් එන අයට. කවුද ගෙන්නගන්නේ. කවුද මේ සිතුවිලි නවත්තගන්න හදන්නේ. කවුද සිතුවිලිවලට එන්න එපා කියන්නේ. අන්න එයා දිහා බලන්න.

එහෙම අපිට ඇහෙනවා එපා කියන කෙනෙක්, මේවා හිතන්න එපා මෙන්න මේ කාරණා නම් හිතුවට කමක් නෑ එහෙම කියන කෙනෙක් කියන හඩක් ඇහෙනවා. අපි ඒ කියන දේ අනුව කටයුතු කරනවා මිසක් එහෙම කියන්නේ කව්ද කියල බලන්නේ නෑ. දැන් ඒ දිහා බලන්න. මේ කව්ද කියන්නේ. එතකොට හිතවතුනි හඩක් මිස කියන්නෙකු පේන්න නෑ. හඩක් ඇහෙනවා, මේවට කැමතියි මේවට අකමැතියි. හැබැයි බැලුවේ නැත්නම්, මම තමයි අකමැතියි මම තමයි කැමතියි. එතකොට අපි බලන්නේ කැමැත්ත අකමැත්ත දිහා. ඒ දිහා බැලුවහමත් ධර්මතා අවබෝධ වෙනවා කැමැත්ත අකමැත්ත දිහා. හැබැයි ඉවරයක් නෑ. දැන් කැමැත්ත අකමැත්ත තිබුනාවේ, කව්ද කැමති කව්ද අකමැති බලනකොට පේනවා මෙතන කෙනෙක් නැත. බැලුවොත් තමයි පෙන්නේ, නොබැලුවොත්  ඉන්නවා. නොබලනතාක් කල් මම කියල කෙනෙක් ඉන්නවා. න්‍යෂ්ටියක් තියෙනවා. හැබැයි න්‍යෂ්ටිය දිහා ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් බැලුවොත් කියනවා ඒක ඇතුලේ මෙලෝ දෙයක් නෑ හිස් මිස කිසි දෙයක් නෑ. ඉතින් මේ අසීමිත හිස්  බවක් පුංචි ක්ෂේශ්ත්‍රයක හිර කරල තිබ්බහම තමයි මේ ප්‍රශ්නේ. ඒක පිපිරුනහම ලෝක විනාශය. හැබැයි මේ සිහිබුද්ධිය එල්ල වෙනකොට වෙන්නේ ඊට වෙනස් දෙයක්. මේක එතනම නිෂ්ක්‍රීය වෙලා යනවා. මේ පිපිරී පිපිරී තිබෙන හැමවිටම පිපිරෙන අලුතින් අයෙත් හිරවෙන අයෙත් පිපිරෙන මම නමැති ඒ න්‍යෂ්ටික බෝම්බය සම්පුර්ණයෙන්ම නිෂ්ක්‍රීය වෙලා යනවා සිහිබුද්ධිය එකතු වෙනකොට සිහිබුද්ධියෙන් ඒ දිහා බලනකොට. 

හොදයි හිතවතුනි අපි ටික වෙලාවක් භාවනා කරලා  මේ කියූ කාරණා මෙනෙහි කරල බලමු.


භාවනාව 


  • අවධානය යොමු කරන්න මේ මොහොතේ හිතෙන දේට. මොනවා හිතුනත් ඒදේට අවධානය යොමු කරන්න. 

  • සීයක් දාහක් දේවල් හිතෙනවා. ඕනෑ එපාකම් ඇතිවෙනවා. 

  • කාටද ඕනේ, කාටද එපා.ඕනෙකමක් ඇතිවෙන විට එපාවීමක් ඇතිවෙන විට බලන්න ඒ ඕනෙකම එපාකම දිහා නොවෙයි කාටද මේ දේ ඕනේ කාටද මේ දේ එපා, කව්ද ඕනේ කියන්නේ කව්ද එපා කියන්නේ. සරල උත්තරයක් බුද්ධිය දෙයි මට, මටයි ඕනේ මටයි එපා, ඒ පිළිතුරින් නවතින්නේ නැතිව සෑහීමකට පත්නොවී දිගින් දිගටම බලන්න කව්ද එපා කියන්නේ කව්ද ඕනේ කියන්නේ එයා මොනවගේ කෙනෙක්ද කොහෙද ඉන්නේ මොනවද කරන්නේ, හතර පැත්තෙන්ම නිරීක්ෂණ ආලෝකයන් යොමු කරන්න ඒ ඕනේ කියන කෙනා වෙතට එපා කියන කෙනා වෙතට. 

  • ඕනෙකම එපාවීම කරකවෙන්න න්‍යෂ්ටිය මොන වගේද, ඒ ගැන හොයන්න බලන්න.

  • එසේ සොයන විට අර ඔනෙකමයි එපාකමයි දෙකම අතුරුදහන් වෙනවා. ඒ කරකැවී කරකැවී තිබුන ඕනෙකම එපාකම ඒ දෙක මුලින්ම නැතිවෙනවා. ඒ නැතිවුනාම අපි හිතනවා ප්‍රශ්නේ විසදුනා කියල. අයේ අපි ඉන් එහාට හොයන්න යන්නේ නෑ. හැබැයි අයෙත් වෙලාවක අලුත් ඕනෙකමක් එපාකමක් කරකැවෙන්න පටන් ගන්නවා. එතකොට එදෙත් ගැන හොයන්න පටන් ගන්නකොට එදෙත් නැතිවෙලා යනවා එතනනිනුත් නවතිනවා. ඒ වෙනුවට හිතවතුනි එයට රැවටෙන්නේ නැතිව එයට මුලා නොවී අභ්‍යන්තරයටම අවධානය යොමුකරන්න. කොතනින්ද උපදින්නේ සියලූම ඔනෙකම් හා සියලුම එපාකම්. ඕනෑවීම් හා එපාවීම් වල උල්පත කොතැනද උල්පතක් තියෙනවාද.

  • මේ විමසිලිමත් බව දිගටම තියාගෙන දයාබර හිතවතුනි අපි සාකච්චාවට එමු.





සාකච්චාව


ප්‍ර :  මේ න්‍යෂ්ටියේ කාර්යය හා කෙලෙස් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද?. ඒවා අතර ආකර්ශනයක් තියෙනවද නැත්නම් එකෙන් න්‍යෂ්ටිය ආවරණය වෙලා විනිවිද නොයන තත්වයක්ද තියෙන්නේ?. කෙලෙස් වලින් කරන කාර්යයයි න්‍යෂ්ටියයි අතර සම්බන්දය කුමක්ද?

පි : කෙළෙස් කියන්නේ න්‍යෂ්ටියේ හෙවනැල්ලක් වගේ. කෙළෙස් වලාකුල් වගේ, ඒ වලාකුල් වලට අපිවත් වැහෙනවා එහාපැත්තෙ තියෙන දේවලුත් වැහෙනවා, දෙපැත්තම වහෙනවනේ වලාකුළු වලට. කෙළෙසුත් ඒ වගේ. ඊළගට කෙළෙස් තමයි න්‍යෂ්ටියට ආහාර, කෙළෙස් එන්න එන්න න්‍යෂ්ටිය තව තව වැඩෙනවා, න්‍යෂ්ටියේ ආයුෂ දික් වෙනවා. ඉතින් කෙළෙස් තුනීවෙන්න තුනී වෙන්න න්‍යෂ්ටියේ බලය අඩු වෙලා යනවා. එකනේ මමත්වය අඩු වෙනවා කියන්නේ. හැබැයි නැති වෙන්නේ නම් නෑ. නෑ වගේ තියෙනවා කාලයකට. ශිශිර නිද්‍රාවට වගේ ගිහිල්ලා ආපසු අවදි වෙනවා. න්‍යෂ්ටියේ පිපිරීම තමා, මම කියන බෝම්බයේ පිපිරීම තමා කෙළෙස් විදිහට අපට පෙන්නේ. ඒ හැම ක්ලේස්හයක්ම කියන්නේමම කියන බෝම්බයේ පිපිරීමක්. මේක හැම වෙලේම පිපිරෙනවා. එක පාරක් පිපිරිලා නවතින්නේ නෑ, නැවත නැවත පුපුරනවා මේ බෝම්බය. ඒ පිපිරෙන වෙලාවේ පිපිරෙන රටාව අනුව එක එක කෙළෙස් උපදිනවා. කොයිවෙලේ මොන ක්ලේශය එයිද කියල අපි දන්නේ නෑ. ඇත්තටම අපි ඉන්නේ සජීවී බෝම්බයක් ගිලලා, කොතනින් පුපුරයිද දන්නේ නෑ. ඒ පිපුරනහම එකෙන් ඇතිවෙන තරංග රැළි තමයි කෙළෙස් විදිහට එලියට එන්නේ. 


ප්‍ර : පිපිරී  පිපිරී දිගටම යනවා නම් මමත්වය කියන න්‍යෂ්ටිය ඉවත්කරන එක හරිම අසීරු කාර්යක් බවට පත්වෙනවා නේද?

පි : පිපිරෙනවා ආපහු හැදෙනවා ආයේ පිපිරෙනවා, ඒ විදිහට තමයි මේක දිගටම යන්නේ. එකම බෝම්බයක් හැමදාම පිපිරෙන්නේ නෑ. එක පාරක් පිපිරුනහම ඒ බෝම්බය ඉවරයි. යේ හැදෙන්නේ අලුත් බෝම්බයක්. එය නැතිකන්න අමාරුයි විතරක් නෙමේ එහෙම කරන්නත් බෑ. නමුත් එය ශුන්‍ය කරන්න නිෂ්ක්‍රීය කරන්න නම් පුළුවන්. නිෂ්ක්‍රීය කරන්න නම් තියෙන්නේ මේක හොයන එක. හොයන්න හොයන්න ගියොත් ඒක නැතිවෙලා යනවා. අපි අහක බැලුවොත් තමයි ඒක තියෙන්නේ. අහක බැලුවොත් දෙයක් තියෙනවා. ඒ දිහා බැලුවොත් දෙයක් නෑ. ඒ නිසා තමයි නිරතුරුවම, සදා සතො කියල දහමේ කියන්නේ හැම විටම අවධිමත්ව ඉන්න කියල, හැමවිටම. 


ප්‍ර : සිහිකල්පනවද මේ කෙළෙස් පිපිරීම් අවම කරගන්න හොදම ක්‍රමය?

පි : සිහිකල්පනාව යම් පමණකට තියෙනවද ඒ පමණට පිපිරීම අඩු වෙනවා. අපි හැමවිටම පිපිරෙන්නේ සිහිය නැති වෙලාවට. හොදට බලන්න මොනම පිපිරීමක් ගත්තත් ඊට මොහොතකට කලින් අපි අසිහියෙන් ඉඳල තියෙනවා. අසිහියෙන් හිටපු නිසාමයි පිපුරුනේ. සිහියෙන් ඉන්නවා නම් පිපිරෙන්න වෙඩි බෙහෙත් කියන ඒවා එකතු වෙන්නේ නෑ. පිපිරෙන්න නම් එකිනෙකට විරුද්ද ස්වභාවයන් දෙකක් එකට ගැටෙන්න ඕනේ. සිහිය නැතිවෙලාවට වෙන්නේ අපි එහෙම දෙකක් හදාගන්නවා. ඒක තමයි අපි කලිනුත් කතා කලේ තරහ ගන්න මමෙක් ඉන්නවා තරහා ගතයුතු නැති මමෙක්ව අපි හදාගන්නවා. මේ දෙන්නා හැම වෙලේම පුපුර පුපුර ඉන්නවා. මෙහෙම ආදරයයි වෛරයයි වගේ ද්විත්වයන් අපි හදාගෙන තියෙනවා. මේකට කියනවා ද්වයතාවය. මෙහෙම ද්විත්වයන් හදාගත්තහම වෙන්නේ මේවා හැප්පෙනවා, ඉතින් හැප්පුන ගමන් වෙන්නේ පුපුරනවා.  ඉතින් මේ ද්විත්වයන් හදාගැනීමත් ඒවා එකට හැප්පවිමත් තමා සමස්ත සංසරේම කරන්නේ. සංසාරේ කොටස්නේ ආගම විද්‍යාව සංස්‌කෘතිය. ඔවා ඔක්කොම කරන්නේ මේ හැප්පීම. මොකක් හරි දෙකක් හදලා හප්පනවා. එහෙම හැප්පුවහම මොකක් හරි පිපිරීමක් වෙනවා. ඒ වෙනුවට සිහිබුද්ධිය කරන්නේ මෙතන ද්විත්වයක් නෑ කියන එක තේරෙනවා. මෙතන කාසියක්, කාසියක දෙපැත්තක් මිස ද්විත්වයක් නෑ, පරස්පරයක් නෑ, පරස්පරය කියන්නේ අපි මවාගත්ත එකක්. එක, අපි ඉන්න තැන අනුව තමයි පරස්පරය පේන්නේ. අපි කුටියක එක කෙළවරක ඉඳගෙන ඒ කෙලවර මම කරගත්තොත් තමයි අනිත් කෙලවර එන්නේ. එහෙම නැත්නම් එතන කෙළවරවල් දෙකක් නෑ, එක කුටියක්නේ තියෙන්නේ. එතකොට මේ ද්වි-ස්වභාවයක් නෑ කියන එක, එහෙම එකක් නෑ කොහෙවත් අපි හදාගත්ත එකක් මිස, මෙහෙම හදාගත්ත ප්‍රපංච ටිකක් තියෙනවා, මේවට ප්‍රපංච කියල කියන්නේ. මේ ප්‍රපංච හද ගත්තහම ඒවා එකිනෙකට හැප්පෙනවා, ඒවා එකිනෙකට හැප්පෙනකොට තමයි ප්‍රශ්න පටන් ගන්නේ. දැන් සිහිබුද්ධියෙන් වෙන්නේ ප්‍රපංච හදාගැනීමක් වෙන්නේ නෑ. ප්‍රපංච නෑ, ප්‍රපංච නැතිවෙන්න නැතිවෙන්න ද්වි-ස්වභාවය හිස් වෙවී යනවා. මොනවා හරි දෙයක් සිද්ද වෙනවා නම් ඊට විරුද්ද ස්වභාවයක් මනසින් හදාගන්නේ නැතිව ඉන්න. එහෙම ඉන්න පුළුවන් නම් එතන ගැටීමක් නෑ, ගැටෙන්න දෙයක් නෑ, ගැටෙන්න කෙනෙක් නෑ. ගැටීමක් නැත්නම් ඒමොහොතේ පැවැත්මකුත් නෑ. හැමවිටම පැවැත්ම යන්නේ දෙකක් ගැටීම නිසා. හොදට බලන්න තුන්වන දෙයක් උපදින්නේ දෙකක ගැටීම නිසා. හැමවිටම විශ්වයේ ස්වභාවය ඒක තමයි. සිතිවිලි දෙකක් ගැටුනහම අලුත් සිතිවිල්ලක් එනවා. තර්ක විතර්ක කියන්නේ එකනේ. තර්ක විතර්ක වලින් තමයි අලුත් අදහස් එන්නේ. හොද සිදිබුධ්දියක් එනකොට මෙතන ගැටීමක් නෙමේ අත්දැකීමක් තියෙන්නේ. ඒක දෙකට පලල මේක එයාට විරුද්දයි ඒක මෙයාට විරුද්දයි කියල, නෑ එහෙම කතාවක් නෑ, එහෙම හදාගත්තොත් තමයි මේ ප්‍රශ්නේ. 


ප්‍ර : අනපනසතියේ වගේ හුස්මට අවධානය යොමුකරලා මේ තත්වය පාලනය කරගන්න පුලුවන්ද?

පි : ඔව්, අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන් එක තමයි වෙන්නේ. දැන් අපි හුස්ම දෙකට බෙදනවා. ආශ්වාෂ ප්‍රශ්වාෂ කියල සම්පුර්ණයෙන් ප්‍රතිවිරුද්ද දෙකක් හදා ගන්නවා. එහෙම බෙදාගෙන තමයි සමථ භාවනාව කෙරෙන්නේ. හැබැයි මේකේ දිගින් දිගට භාවනා කරන කොට තේරෙනවා මෙතන දෙකක් නෑ, මෙතන තියෙන්න නිකන් තරඟයක් වගේ, කැරකීමක් තියෙන්නේ රවුමක් තියෙන්නේ. එනිසා තමයි ආනපානසති භාවනාවේ විදර්ශනා පැත්තට එනකොට කියනවා ඉස්සරලා ඇතිවීම දකින්න නැතිවීම දකින්න. ඊගාවට ඇතිනැති වීම දකින්න. මේක දෙකක් දිදිහට ගන්නේ නෑ. මේක දිහා බලන් ඉන්නකොට තේරෙනවා මේකේ එකම රවුමක් කරකැවෙනවා. ආශ්වාෂ ප්‍රශ්වාෂ කියල නම් දෙකක් දෙනවා මිසක් ඒ නම් දෙක අයින් කලොත් එහෙම මේක නිකන් චක්‍රයක් කරකැවිමක් තියෙන්නේ. එතනට එනකොට තමයි ලොකු ගැඹුරු සමාධියක් ඇතිවෙන්නේ. ආශ්වාෂ ප්‍රශ්වාෂ දෙකක් විදිහට ගත්තහම එතන ඇතිවෙන්නේ මේක ආශ්වාෂ මේක ප්‍රශ්වාෂ කියන විතර්ක සහිත සමාධියක්. ඒක නියම සමාධියක් කියන්න බෑ, විවේකයක් මිස සමාධියක් නෑ එතන. සමාධියක් ඇති වෙන්න නම් මේ විතර්ක නැති වෙන්න ඕනේ. 

ඊගාවට වර්තමානය ගැන කියනකොට වැදගත්ම කාරණය තමයි අතීතය අනාගතය කියල අපි දෙකක් හදා ගන්නවනේ, මේවා එකිනෙකට විරුද්ධයි වගේ තමයි පේන්නේ. එකිනෙකට වෙනස් ලක්ෂණ දාල දෙකක් හදාගන්නවා. එහෙම එකක් නෑ. තියෙන්නේ වර්තමානය විතරයි, මේ වෙලාවේ යමක් සිදු වෙනවා, එච්චරයි. වෙන කිසිම දෙයක් නෑ. හැබැයි එහෙම දෙකක් හදාගත්තහම ගැටෙනවා. අතීත අනාගත කියල දෙකක් හදාගෙන ඒ දෙකට හිත දුවනවා කියල එහෙම හැමදාම ඉන්න එපා. හොදට බලන්න, බලන්න බලන්න පේනවා ඒ දෙකම නෑ කියල, අපි හිතින් නිෂ්පාදනය කල අතීතයක් අනාගතයක් මිස ඇත්තටම එහෙම දෙයක් නෑ. එකයි තියෙන්නේ, එක දෙකට පළල තමයි අපි අතිතයකුයි අනාගතයකුයි තියනවා කියල හදාගන්නේ. එහෙම රැවටුනාට පස්සේ සියලුම ප්‍රශ්න ඇතිවෙනවා. සිහිබුද්ධිය ඇතිවෙන්න ඇතිවෙන්න ඔය ද්විත්වය අතුරුදහන් වෙනවා. අතුරුදහන් වුනහම ඉතුරු වෙන්නේ මේ මොහොතේ සිදුවන දේ පමණයි. 


ප්‍ර : එතනදී  වෙන්නේ අපි කාලය කියන එක අතහරිනවා නේද?

පි : කාලය අතහරිනවා කියන්නේ තියෙන කාලය අතහරිනවා නෙවේ කාලය හද ගන්නේ නෑ. කාලය කියන්නේ අපේ නිෂ්පාදනයක්, ඔරලෝසුවක් හදන දෙයක් නොවේ, අපි මනසින් හදාගන්න දෙයක්. යම් සිදුවීමකට අපි කැමති වුනොත් ඒ කැමැත්තත් එක්ක උපදින කාලයක් තියෙනවා, අකමැත්තක් උනොත් ඒ අකමැත්තත් එක්කත් උපදින කාලයකුත් තියෙනවා. සිදුවීමකට අපි කැමති වුන ගමන් කාලය වේගයෙන් යන්න පටන් ගන්නවා, ඒ විදිහට කැමැත්තත් එක්ක වේගයෙන් යන කාලයක් අපි හැදුවා. ඒවගේම අකමැති වුන ගමන්ම හෙමිහිට යන කාලයක් හදා ගන්නවා. සිහ්බුධ්දියෙන් ඉන්න ඉන්න මේ කැමැත්ත අකමැත්ත අඩුවෙලා යනවා. අඩුවෙන්න අඩුවෙන්න කාලයත් නිෂ්පාදනය වීම අඩුවෙනවා. ඉතින් පුර්ණ වශයෙන්ම සිහිබුධ්දිය ඇතිවුනහම කාලයක් නෑ. කාලයක් තියෙන්න නම් පුංචි හෝ කැමැත්තක්/ අකමැත්තක් තියෙන්න ඕනේ. 


ප්‍ර : අතීතය හෝ අනාගතය කියල එන්නේ සිතිවිලි නේද?. ඒවායින් නේද න්‍යෂ්ටිය පෝෂණය වෙන්නේ?

පි : අතීතය දිගේ හා අනගාහය දිගේ කල්පනා කිරීමෙන් වෙන්නේ අපි නැති මමෙක්ව තියාගන්නවා හදාගන්නවා. හැබැයි එහෙම එකක් නෑ. මම කියන්නේ පිල්ලියක් , එහෙම එකක් නෑ, එකට පන නෑ, හැබැයි මන්තර ජප කරනවා වගේ හිතනකොට පිල්ලියක් ඉන්නවා වගේ පේනවා. ඔය මන්තරේ ජප කරන එක නවත්වපු ගමන් ඒ පිල්ලිය අතුරුදහන් වෙනවා. හොදට බලන්න, හිතිමත් එක්ක නේද මම ඉන්නේ. මුලින්ම මම ඉඳල ඒ මම හිතනවා නෙමේ. ඔය විදිහට හිතන්න ගිය මොහොතේම තමයි මම උපදින්නේ. ඔය විදිහට හිතීම නැවතුනාද එතකොට මමත් නෑ. 


ප්‍ර : අපි සිහිබුධ්දියෙන් නෙමේ නම් ඉන්නේ ප්‍රතික්‍රියා එන්නේ අතීත පුරුදු වලින් නේද?

පි : අනිවාර්යෙන්ම. අපිට සිහිබුධ්දියක් නැත්නම් වර්තමානයක් නෑ. මේ මොහොත නැත්නම් එතන වගකීම බාරගන්නේ අතීතය. අතීතය දන්නේ මොනවද එයාගේ අතීත පුරුදු ටික විතරයි. ඉතින් හැමදේම පුරුද්දට වෙන්න පටන් ගන්නවා. දත් මැදීම පමණක් නොවෙයි කෙළෙස් ඇතිවීමත් පුරුද්දකට වෙන්නේ. වෙන විදිහක් නෑ, අතීතය දන්න එකම දේ පුරුද්දට වැඩ කිරීම පමණයි. ඒ නිසා තමයි වර්තමානයේ නැවුම් වූ අවධිමත් බවක් තියාගන්න කියන්නේ. ඒ තියාගැනීම තුල පුරුද්දට වැඩ වීම නවතින්න පුළුවන්. මේ මොහොතත් අලුත්, ඉන්නෙත් අලුත් කෙනෙක්. ඒක සිතිවිල්ලකට එහා ගිහිල්ල අත්දැකීම ගන්න. සමහරවිට සිදුවීම සමාන වෙන්න පුළුවන්, හැබැයි ඒ දේ සිද්ද වෙන්නේ අලුත් තැනකයි, පරණ තැන නොවේ. අපි හැමදාම එකම ගෙදර ඉන්නවා නම් ලියුම් ටික ආපහු ආපහු එනවා. හැබැයි මොහොතින් මොහොත අපි පදිංචිය වෙනස් කලොත් එහෙම අතීතයේ තැපැල් කරපු එක ලියුමකටවත් වර්තමානයේ අපි ඉන්න තැන හොයාගන්න බෑ. අන්න ඒ දේ තමයි වෙන්නේ, අතීතයේ මොන තරම් පුරුදු තිබුනත් අපි වර්තමානයේ ඉන්නකොට ඒවාට අපිව හොයාගන්න බැරි වෙනවා. අතීතයට අපිව හොයාගන්න පුළුවන් වෙන්නේ අපි අතීතයේ ඉන්න තාක් කල් පමණයි. 


මේ ලැබුණු අවස්ථාව අවසාන අවස්ථාව කියල හිතාගෙන අප්‍රමාදීව කටයුතු කරමු.


සෑම දෙනාටම

සෙතක්ම වේවා !

ශාන්තියක්ම වේවා !!

සැනසිල්ලක්ම වේවා !!!