සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 20


2022 පෙබරවාරි 23, සාරාංශය


සැමටම ආලෝකමත්වුණු සැන්දෑවක් !  

හිතවතුනි, මේ දිනවල විදුලි ආලෝකය නැති වීම ලොකු ප්‍රශ්ණයක්. පැය කිහිපයකට ආලෝකය නැති වීම මොනතරම් ගැටලුවක් ද හිරිහැරයක් ද කියන කාරණය හැමදෙනාටම පැහැදිලියි. අවබෝධයෙන්ම දන්නවා. දහවලට ආලෝකය තිබෙන්නේ ඉර පායන නිසා බව අප කවුරුත් දන්නවා. ඉර බෑ කිවුවොත් දවල්ටත් කරුවලේ තමයි ඉන්න වෙන්නේ. එහෙම සම්පූර්ණයෙන්ම කළුවරේ ඉන්න ජීවිතයක් ගැන හිතාගන්න පුළුවන්ද? උදේටත් කළුවරයි, දවල්ටත් කළුවරයි, සවසටත් කළුවරයි, රෑටත් කළුවරයි. මොනතරම් අපහසු, මොනතරම් කරදර,  මොනතරම් අවුල් ජීවිතයක් වේද? බුදුරාජණන් වහන්සේ දේශනා කළා කියා දහමේ සඳහන් වෙනවා, “මේ විශ්වයේ, ලෝකයේ නැතිනම් ඉහළ අහසේ කිසිදු ආලෝකයක් ගමන් නොකරන ඉතාම අඳුරු තැන් තිබෙන බව. හඳ, ඉර, තරු මේ මොනම ආලෝක කිරණයක්වත් ගමන් නොකරන, ඇතුලේ කුමක් සිදුවනවා ද කියා පිට ඉන්න කෙනෙකුට දැනගන්න බැරි තරමට අන්ධකාර ස්ථාන විශ්වයේ තිබෙන බව”. මේ කතාව ඇසුවාම එක ස්වාමින් වහන්සේ නමක් බොහොම තැති ගැනී  බුදුන් වහන්සේට ප්‍රකාශ කරනවා, “හරි භයානකයි නේ, හරි භයානකයි නේ. එහෙම තැන් තියෙනවා නම් එතැනට ගියොත් ගියාම තමයි” කියා. ඒ කළුවරට ඇදලාගන්න ස්වභාවයක් තියෙනවා. ආකර්ශනයක් තිබෙනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා, “ඒකනම් එච්චර භයානක නෑ. ඊට වැඩිය භයානකයි අවිද්‍යාව”. ‘සිහිබුද්ධිය නැතිකම’. ඒ අවිද්‍යාව (අවිජ්ජාව) කියන්නේ, මොනවා වෙනවාද කියලා දන්නෑ. මොනවා වෙනවාද කියා පේන්නේ නෑ. අවිද්‍යාව ඇතුළේ සිදුවන කිසිදෙයක් පෙනෙන්නේ නෑ. අවිද්‍යාව කියන්නේ දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. අවිද්‍යාව දකින්න බෑ. දැක්ක කෙනෙකුත් නෑ. අවිද්‍යාව ඇතුළේ සිදුවන දේ අනුමාණ කරන්න පමණයි පුළුවන්. මේ අවිද්‍යාව ඊට වැඩිය භායානකයි. කිසිදෙයක් දන්නෙත් නෑ. කිසිදෙයක් පේන්නෙත් නෑ. සිහිබුද්ධිය පිළිබඳ ප්‍රමාණාත්මක තොරතුරු න්‍යාය පැත්තෙනුත් අපට ලැබි තිබෙනවා. එමෙන්ම ප්‍රායෝගික පැත්තෙනුත් යම් යම් අත් දැකීම් තිබෙනවා.

හිතවතුනි, අඳුර-එළිය, හොඳ-නරක, අඳුර එළිය පැත්තකින් තියමු. අනිත් හැම දෙයකම දෙපැත්තක් තිබෙන බව මේ වැඩසටහන් මාලාවේදීම අප කතා කලා. සොයා බැලුවා. ‘අටලෝ දහම’ කිව්වත් දෙපැත්තක් තියෙන්නේ. දෙපැත්තක් නැති කිසිම දෙයක් මේ ලෝකේ නෑ. හැම දෙයකටම දෙපැත්තක් තියෙනවා. කාසියක් වගේ. නැතිනම් කොළයක් වගේ. එක පැත්තක් විතරක් තියෙන කොළ නෑ. කොළයක් වුනත් දෙකට  පලන්න පුළුවන්නම්, මොනතරම් පැලුවත් ආයෙත් දෙපැත්තක් තියෙනවා. ඒවාගේ බාහිර ලෝකේ අත්දකින හැම දේකම දෙපැත්තක් තියෙනවා. සීතල-උණුසුම, දහවල-රාත්‍රිය. ලෝකයේ දෙපැත්තක් තියෙනවා වගේම ශරීරයේත් දෙපැත්තක් තියෙනවා. ශරීරයත් ලෝකේ කොටසක්නේ. රෝගී වෙනවා - නිරෝගී වෙනවා. උපදිනවා - මැරෙනවා. ලස්සන වෙනවා -  කැත වෙනවා. තරුණ වෙනවා - මහළු වෙනවා. ප්‍රබෝධමත් වෙනවා - උදාසීන වෙනවා. මේ දෙපැත්ත තියෙනවා. 

හිතවතුනි, හිත ගත්තත් ඒ වගේ තමයි. ඒ ගැනත් අප කථා කළා. ආදරේ ඇතිවෙනවා, තරහා ඇති වෙනවා. ආදරේ කළ අයටයි වෛර කරන්නේ. සතුටු වූ දේකටමයි අසතුටු වන්නේ. හොඳයි කියු දේකටයි නරකයි කියන්නේ. හිතෙත් මේ ස්වභාවය තියෙනවා. හිත කියන්නෙත් කාසියක් වගේ. හිත කියන්නෙත් පෙරළෙන දෙයක්. කොයි පැත්ත පෙරළෙයිද දන්නෑ. අපට ඕන පැත්ත පෙරළගන්න පුළුවන්. හැබැයි කොයි පැත්ත පෙරළෙයිද කියලා බොහෝවිට දන්නේ නෑ. නොදැන තමයි මේ කාසිය උඩ දාන්නේ. හිත කියන දේ පෙරළගන්නේ දන්නේ නැතිව. බලාපොරොත්තු වෙනවා අප වටිනාකම දුන්න පැත්ත උඩට එයි කියලා. එහෙම හිතුවට එහෙමම වෙන්නේ නෑ. හැම විටම එහෙම වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් හරි හොඳයි. ක්‍රීඩාවක වගේ කාසිය උඩදාලා ඉල්ලන පැත්ත හැම විටම ලැබෙනවානම් හරි හොඳයි. හිත පෙරළෙන කොට හිතම දන්නේ නෑ මොන පැත්ත පෙරළෙයි ද, මොන පැත්ත මතුවෙයි ද. මොන පැත්ත යටයයිද කියලා. දැන් යට යන පැත්තකුත් තියෙනවා. ඒ පැත්ත ආයේ වේලාවක උඩට එනවා. හැම වේලාවෙම කිසිම පැත්තක්, දෙයක් යට වෙලාම තියෙන්නේ නෑ. උඩට එනවා. 

හිතේ ඔය විදිහට පෙරලීම් අප හොඳයි-නරකයි යනුවෙන් වර්ග කරනවා. සාමාන්‍යයෙන් ආදරය හොඳයි. කවුද ආදරය නරකයි කියන්නේ. සතුට හොඳයි. සිනහව හොඳයි. කරුණාව, දයාව, අනුකම්පාව හොඳයි. මේ විදිහට හොඳ හිත් ලැයිස්තුවක් හදන්න පුළුවන් අත්දැකීමෙන්ම. පොතෙන් නෙමෙයි.  කැමති මොනවගේ හිතක් තමන් ළඟ තියෙනවටදහා. අනුන් ළඟ තියෙනවටද. පොදුවේ ගත්තාම කාගෙද හිත කියන එක වැදගත් නෑ. වැදගත් වන්නේ කාගේ හරි හිතක මොන පැත්තට පෙරලුනාටද අප කැමති කියන එකයි. ත්‍යාගශීලි බව හොඳයි. මේ විදිහට ඔන්න හොඳ පැත්තක් හදා ගන්නවා. ඒ වගේම නරක පැත්තකුත් තියෙනවා. ඊර්ෂ්‍යාව නරකයි. උඩඟුබව නරකයි. ගුණමකුබව නරකයි. දැන් ඔන්න නරක පැත්ත. හැම හොඳ පැත්තකම විරුද්ධ පැත්තක් තියෙනවා. නරක පැත්තටත් විරුද්ධ පැත්තක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා. එහෙම නැති ඒකීය ස්වභාවයක් නෑ. හිතේ එක ස්වභාවයක් අරගෙන කියන්න පුළුවන්ද මේක ඒකීයයි. විරුද්ධ ස්වභාවයක් නෑ  කියා. ඒනිසා නේ ඔය ආර්ය මාර්ගය වුනත් ‘සම්මා’ කියන්නේ. සමාධියත් ‘මිච්ඡා’ වෙන්නත් පුළුවන්. සම්මා වෙන්නත් පුළුවන්. මිච්ඡා, සම්මා නොවන සමාධි නෑ. කතා බහත් එක්කෝ සම්මා එක්කෝ මිච්ඡා. එක්කෝ හොඳයි - එක්කෝ නරකයි. එක්කෝ හරි - එක්කෝ වැරදි. සිහියත් හොඳයි-නරකයි. හරි-වැරදි. ඔය විදිහට ඇගයීමක් කරනවා. මෙහෙම අත් දකිනවා. පොතේ තියෙන කාරණා නොවේ. සමහර හිත් පෙරලුනාම අප කැමතියි. අන්න හොඳයි. අපේ හිත් පෙරලුනාමත් කැමතියි. අනිත් අයගේ හිත් පෙරලුනාමත් කැමතියි. අපේ හිත් අපිට ඕන පැත්තට පෙරලගන්න අප හරියට මහන්සි වෙනවා. අනිත් අයගේ හිත් පෙරලන්නත් මහන්සි වෙනවා. ඇත්තටම ජීවිතයේ වැඩියෙන්ම මහන්සිවෙන්නේ මේ හිත් පෙරලන්න. අපට ඕන පැත්තට උඩදාලා පෙරලගන්න තමයි මහන්සි ගන්නේ. ඉතින් එහෙම මහන්සිවීම සමහරවිට හරියනවා. සමහරවිට හරියන්නේ නෑ. වැඩිපුර හරියනවාද වරදිනවාද කියන එක වෙනම ප්‍රශ්නයක්. බලන්න පුළුවන් කාසියක් සියපාරක් උඩ දැම්මොත් බොහෝ විට පනහට පනහ නොවුනත් හතලිස්පහට පනස්පහක් වගේ එහෙම වාර ගණනක් තමයි දෙපැත්ත වැටෙන්නේ. දහස්වාරයක් කාසියක් උඩදාලා බලන්න බොහෝවිට පන්සියයට එහාමෙහා ලඟ ගණනක් තමයි දෙපැත්තටම වැටෙන්නේ. එක පැත්තකට සීයක් අනිත් පැත්තට නවසීයක් වෙන්නේ නෑ. දෙපැත්තටම සමබරතාවයේ තියෙන්නේ. එය විශ්වයේ ලක්ෂණයක්. පනහට පනහ නොවුනත් සමබරතාවයක් තියෙනවා. හිතෙත් එහෙමයි. කොහෙත් එහෙමයි.

එහෙම නැති වුවිටයි කියන්නේ කෙනෙක් උමතු වෙනවා කියා. පිස්සු හැදෙනවා. මේ පිස්සු හැදීම, ස්වභාවයට පටහැනියි. පිස්සු හැදුනාම ස්වභාවයේ පැවැත්මට කරදරයක්. ඒ නිසා ස්වභාවය බලනවා පිස්සු හැදෙන්න දෙන්නේ නැතිව තියාගන්න. වියරු වැටෙන්නට නොදී. උන්මාදයට, උමතුවන්නට නොදී තියාගන්න පුළුවන් තරම් බලනවා. බැරි අවස්ථාත් තියෙනවා. කොහොම හරි මේ හිත පෙරළා ගන්න තමයි අප හැමෝම මහන්සි ගන්නේ. හොඳයි කියන පැත්තට පෙරළගන්න. අපේ හිත් හා අනිත් අයගේ හිත්. අමාරුම දේත් මෙයයි. මොනතරම් අමාරුද. ලෝකේ අනිත් පැත්ත පෙරලුවත් හිත පෙරලගන්න හරි අමාරුයි. කිසියම් විදිහකට හිතුවොත්  නැවත වෙන විදිහකට හිතන්න ලේසි නෑ. දැන් මෙහෙම හිතේ හොඳයි-නරකයි කියන පැති දෙක ගැන හැමෝම කතා කරනවා. හැම ආගමකම කතා කරනවා. පොදු ලක්ෂණ ටිකක් තියෙන්නේ. ලොකු වෙනසක් නෑ. වෙනස් කම් තියෙනවා, නමුත් පොදුවේ ගත්තාම සමානයි. සදාචාරාය, සභ්‍යත්වය, ආචාර ධර්ම, සංස්කෘතිය, ශිෂ්ඨාචාරය, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව මේ හැම විෂයක්ම බැලුවාම එක සමානයි. ආගම් ගත්තත් හොඳ නරක කියන කාරණයේදී සමානයි. ඉතින් මේ ආගම්, සංස්කෘතීන්, ශිෂ්ඨාචාරයන්, සභ්‍යත්වයන් මේ සියල්ලම එකතුවෙලා අපට කියනවා හොඳ වෙන්න. නරක් වෙන්න එපා කියා. කවුද එහෙම නොකියන්නේ. එහෙම නොකියන ආගමක්, විද්‍යාවක්, සදාචාරයක්, සමාජ විද්‍යාවක් තියෙනවාද? එහෙම එකක් කොහේවත් නෑ. හැමෝම කියන්නේ හොඳ වෙන්න. හොඳ වෙන්න. නරක්වෙන්න නම් එපා. මේ කතාව අප ජීවිතයේ කී වාරයක් නම් අහලා ඇත්ද? වැඩිහිටියන් නම් අහනවා අඩුයි. ඒ අය තමන්ගේ බාලයන්ට කියනවා හොඳ වෙන්න හොඳ වෙන්න කියා. පුංචි කාලේ නම් කී වාරයක් ඇහුවාද කියලා මතක නෑ. වැඩිපුරම අහලා තියෙන මන්ත්‍රය තමයි හොඳ වෙන්න. නරක ළමයෙක් වෙන්න එපා හොඳ කෙනෙක් වෙන්න. හොඳ බෞද්ධයෙක්, පුරවැසියෙක්, ශිෂ්‍යයෙක්-ශිෂ්‍යාවක්, වෙන්න. හොඳ සේවකයෙක්, ස්වාමියෙක් වෙන්න. හොඳ භාවනානුයෝගියෙක් වෙන්න. මෙහි  කෙළවරක් නෑ. කොතැනට ගියත් ඔය කතාවම තමා අහන්න වෙන්නේ. භාවනාවට ගියත් භාවනාව හොඳද අහනවා. හොඳ වෙන්න හැමෝම උත්සාහ කරණවා. උත්සාහ නොකරන කෙනෙක් නෑ. නරක් වෙන්න ඕනෑ කියලා හිතා මතා ඒ වෙනුවෙන් උත්සාහ කරන කෙනෙක් නෑ. නරක් වෙනවා. නරක වැඩත් කෙරෙනවා. ඒවා නිකම්ම කෙරෙනවාත් නෙමෙයි. වෑයම් කරලා තමා නරක වැඩත් කරන්නේ. නමුත් නරක කෙනෙක් වෙන්න ඕනේ කියා හිතලා කරන්නේ නෑ. හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරණවා වගේ නරක කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ නෑ. සමහර අය කියනවා තමන් හොඳට හිටියා, හැමෝම තමන්ට අවඥාකලා, ඒ නිසා තමන් හොඳට ඉන්නේ නෑ නරක් වෙනවා කියා. එහෙම කිවුවට, එහෙම කරනවා වගේ පෙනුනට, යටින් හරි තියෙනවා හොඳවීමේ ඕනෑ කමක්. මොකද මේ හොඳවීම ස්වභාවයට එකඟව යන්න පුළුවන් ගමනක්. නරක් වුනාම ස්වභාවයට විරුද්ධව තමයි යන්නේ. ස්වභාවයට එකඟව යෑම ලේසියි. හරියට ගඟ ගලන පැත්තට යන එක ලේසියි. අනිත් පැත්තට යන එක අමාරුයි නේ. ස්වභාවය කියන්නේ මේ ගලන පැත්ත. මෙතනදි කෙලෙස් ගංගාව ගැන නෙමෙයි කියන්නේ. ස්වභාව ධර්මයේ පැවැත්ම නම් ගංගාව එක්ක යන්න නම් හොඳ ඉවුරත් එක්ක ගියොත් ලේසියි. එහෙම යන්න ස්වභාව ධර්මයත් ‍්උදව් කරනවා. හොඳටම උදව් කරනවා. 

හිතවතුනි, මේ විදිහට අප ළඟ තියෙන හොඳ-නරක හඳුනාගෙන, අපි උත්සාහ කරනවා නරක ටික කපලා දාලා හොඳ ටික තියා ගන්න. අප දන්න හොඳ තියෙනවා. සමාජ විද්‍යාවෙන්, ආගම් වලින් ලැයිස්තු විදිහට දෙනවා මෙන්න හොඳ, මෙන්න නරක කියා. වෙන් කරලා දීලා අප ලඟ තියෙන නරක ටික කපලා දානවා. හොඳ ටික තියාගන්නවා. මේ තමයි සාමාන්‍ය හොඳ මනුස්සයෙක්ගේ ස්වභාවය. හොඳ කෙනෙකුගේ හැටි මෙහෙම තමයි. මේ දෙය නරකයි කියා නෙමෙයි කියන්නේ. ඇයි මෙච්චර හොඳ වෙන්න කියා ආගම් හදාගෙන කියන්නේ. ආගම් හැදුවෙත් මිනිස්සු. විද්‍යාව හැදුවෙත් මිනිස්සු. මුළු පැවැත්මම කියනවා නේද නරක් වෙන්න එපා, හොඳ වෙන්න කියා. අප හොඳ වුනොත් සමාජයට හොඳයි. අපේ ශරීරයටත් හොඳයි. හිතටත් හොඳයි. මානුෂික පැත්තෙනුත් හොඳයි.

හිතවතුනි, එහෙම මේ කාසියේ එක පැත්තක් කපලා දාන්න තමයි මේ උත්සාහ කරන්නේ. සමස්ත ස්වභාවයම උත්සාහ කරන්නේ කාසියේ එක පැත්තක් කපලා දාන්න. එහෙම පුළුවන් කියලා කියනවා. එහෙම කපලා දාලා වටිනාකම තියෙන පැත්ත විතරක් තියාගන්න පුළුවන් කියලා මිනිසුන් විශ්වාස කරනවා. සමාජයත් විශ්වාස කරනවා. නරක සම්පූර්ණයෙන් අතහැරලා හොඳම හොඳ කෙනෙක් වෙන්න පුළුවන් කියලා ආගම් විශ්වාස කරනවා. ඒ ඇදහීම තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ. මේ උත්සාහයේ සෑහෙන ප්‍රතිඵල තියෙනවා. ඕනෑම කෙනෙකුට තමන්ගේ තියෙන නරක ගතිගුණයක් අඩු කරලා හොඳ පැත්ත වැඩිකරගන්න පුළුවන්. නරක වැඩි කරගෙන හොඳ අඩු කරගන්නවාට වඩා නරක අඩු කරගෙන හොඳ වැඩි කරගැනීම කළ යුතු දෙයක්. මෙතන කරන්න කාර්යයන් දෙකක් කියනවා. එකක් තමයි නරක අඩු කරගැනීම. අනික හොඳ වැඩි කරගැනීම. මෙය සංසාරයට අත්‍යාවශ්‍ය දෙයක්.  සංසාරෙට තමයි මේ දර්ශනය අත්‍යාවශ්‍ය වන්නේ. මේ දර්ශනයන් සාංසාරිකයි. විද්‍යාවන් ලෞකිකයි. හැම ආගමක්ම ලෞකිකයි. ආගම් මිනිස්සුන් හැදූ දේවල් නේ. කිසිම ආගමක් ලෝකෝත්තර, ලොවුතුරුභාවයට පත්වුණු ශාස්තෘවරයෙකු නෙමෙයි කිසිම ආගමක් හදලා තියෙන්නේ. සාමාන්‍ය ලෞකික මිනිසුන් හැදුවේ. ලෞකික මනුෂ්‍යයන් හැදු විද්‍යාවන්, ආගම්, සංස්කෘතින්, ශිෂ්ඨාචාරයන් මේ හැම එකක්ම ලෞකික ලෝකයේ යහපතට හදලා තියෙන්නේ. ඉන් එහා දෙයක් නෑ. මොකද ලෞකික හිතකට බෑ ලොවුතුරු දර්ශනයකින් ඒ පැත්තට උදව්වෙන දෙයක් හදන්න. මොනතරම් දුරට හිතලා බැලුවත් පුහුදුන් හිතකට හැම විටම පේන්නේ ලෝකය පමණයි. ඉතින් මොනතරම් සැලසුම්, සාකච්ඡා, තර්ක-විතර්ක කරලා කිසියම් විද්‍යාවක්, ආගමක් පුහුදුන් හිතකින් නිර්මාණය වෙනවාද, එය උදවු වන්නේ සාංසාරික පැවැත්මට තමයි. මොනතරම් ලස්සන වචන තිබුණත් ලෞකික පැවැත්මට තමයි උදව් වන්නේ. මේ ලෝකේ සහ පරලෝකේ පැවැත්මට හොඳින් ඉන්න ඕනේ. නරකින් හිටියොත් වෙන්නේ දුකක්, කරදරයක්. 

නමුත් හිතවතුනි, මේ සසරින් ඉවත්වීම පිළිබඳ කතන්දරයේදී මේ දර්ශනය වෙනස් වෙනවා. මේ හොඳ නරක පිළිබඳ දර්ශනය වෙනස් වෙනවා. ඉතින් මේ ගැන හිතන්න, මෙනෙහි කරන්න, අත්දකින්න. ලබන සතියේ අපට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. මොකක්ද අපට මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ, ඔය කරන උත්සාහය හොඳයි. නරකයි කියන් නෑ. හොඳයි. නමුත් එයින් සාංසාරික ප්‍රශ්ණය විසඳෙන් නෑ. ඔය ටික විතරක් කළා කියා සාංසාරික ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. ඒ පැත්තට අතගහන්නේවත් නෑ. ආධ්‍යාත්මික ගමන අපෙන් මතුකරන තර්කය තමා, ‘මට තරහා එනවා’, ‘මගේ හිත කෑදරයි’, ‘මම හරි ලෝභයි’, නැතිනම් ‘මම ඊර්ෂ්‍යා කරනවා’. මේවානේ නරකයි කියන්නේ. එතකොට ‘මම’ තරහා ගන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. ‘මම’ ලෝභ නැති කෙනෙක් වෙන්න ඕනේ. ඊර්ෂ්‍යා නොකරන කෙනෙක් වෙන්න ඕනේ. මෙහෙම තමයි මේ මාරුවීම කරගන්නේ. කාසිය පෙරළගන්නේ එහෙම. හිත පෙරළගන්නේ එහෙම. උත්සාහයක් කළොත් මෙහෙම පෙරළගන්න පුළුවන්. පෙරළගන්න බැරි දෙයක් නෑනේ. හිතත් එහෙම පෙරළගන්න පුළුවන්. ඒ සඳහා ක්‍රම විද්‍යාවෙත්, මනෝ විද්‍යාවෙත්, වෛද්‍ය විද්‍යාවෙත්, ආගම්වලත්, සංස්කෘතියෙත් තියෙනවා. හැම දෙයකින්ම කියනවා කොහොමද පෙරල ගන්නේ කියා. ජීවිතයක් වෙනස් කරගන්නේ කොහොමද?

 එය නෙවෙයි ප්‍රශ්ණය. බෑ කියලා නෙවෙයි කියන්නේ. මේකෙන් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. පුහුදුන් හිත උත්සාහ කරන්නේ ‘න්‍යෂ්ටිය’ ඉතුරු කරගෙන බාහිර කවචවල වෙනසක් කරගන්න. එසේ උත්සාහ කරන නිසා ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. මට ‘තරහා’ එනවා. මං ‘තරහා’ නැතිකරගන්න ඕනේ. ඒ විදිහට තරහා තමයි නැති කරගන්න හදන්නේ. ‘ලෝභකම’ තමයි නැතිකරගන්න හදන්නේ. ‘ඊර්ෂ්‍යාව’, ‘පෙරේතකම’, ‘බිය’ මේවා තමයි නැතිකරගන්න හදන්නේ, ‘මම’ ඉතුරු කරගෙන. ‘මට’ තරහා එනවා. තරහා තියෙනවා ‘මගේ’ ළඟ. ‘මම’ තියාගෙන තරහා තමා කපලා දාන්න හදන්නේ. මෙහෙම කරන්න පුළුවන්. සෑහෙන දුරකට පුළුවන්. හැබැයි හරියට ‘පිළිකාවක්’ වගේ. කෙලෙස් කියන ඒවා පිළිකා. කැපුවාට එක සෛලයක් හරි ඉතුරු වෙනවා. ඔක්කොම සෛලටික කපලා දාන්න බෑ. තරහේ සියළුම සෛලයන් මනසින් කපලා දාන්න බෑ. සමහරවිට ශාරීරිකව පවතින පිළිකාවක නම් පුළුවන් ඇති. එකම එක ලේ බිංදුවකටවත් පිළිකා සෛල එකතු නොවන ආකාරයට නවීන වෛද්‍ය විද්‍යාවෙන් පුළුවන් ඇති පිළිකා ශල්‍යකර්මයකින් කපා ඉවත් කරන්න. නමුත් හිතේ ගතිත් එක්ක එහෙම කරන්න බෑ. තරහේ එක අංශුවක් හරි ඉතුරු වෙනවා. ඉතුරුවෙලා ටික ටික ආපහු වර්ධනය වෙන්න පටන්ගන්නවා. එක දවසින් නොවෙන්න පුළුවන්. කාලයක් ගිහිල්ලා ඔන්න ආයෙත් අනිත් පැත්ත පෙරළිලා. පෙරළගන්න ඕන නෑ. ආයෙත් අනිත් පැත්ත පෙරළිලා.  ආයෙත් තරහ යන කෙනෙක් මේක සමහර විට මේ ජීවිතයේ නොවෙන්න පුළුවන්, අද නොවෙන්නත් පුළුවන්, හැබැයි කවද හරි වෙන්න පුළුවන් ඉතින් ආයෙත් උත්සාහ කරනවා විවිධ ක්‍රම විවිධ අභ්‍යාස උපදේශයන් ලබා ගනිමින්  ආයෙත් අනිත් පැත්ත පෙරලන්න.

මේක තමා හිතවතුනි අපේ එදා මෙදා තුර සංසාරේ හොඳ වෙන්න කියලා කරලා තියෙන දේ, ඉන් හොදක් වෙලා තියෙනව, නමුත් අනිත් පැත්ත පෙරලීම නම් නැවතී නෑ. අනිත් පැත්ත පෙරලීම සදහටම නැවතිලා නෑ. මේ ධර්මතාවය හඳුනා ගන්නට ඕනේ. චුම්භකයකට උතුර දකුණ කියල දෙපැත්තක් තියෙනවා. එක පැත්තකට සමහර දේවල් ඇදිලා යනවා, තවත් දේවල් අනිත් පැත්තට ඇදිලා යනවා. දෙපැත්තටම එක වගේ ඇදිලා යන දේවල් නෑ. එක පැත්තක් ආකර්ශනය කරනවා. අනිත් පැත්ත විකර්ෂණය කරනවා, මේවට නම් දෙකක් දීල තියෙනවා උතුර දකුණ කියල. නම් දෙකක් පමණයි. හැබැයි එහෙම ස්වභාවයන් දෙකක් තියෙනවා, ආකර්ෂණ සහ විකර්ශන ඉතින් එක පැත්තක් විකර්ෂණය කරනවා අනිත් පැත්ත ආකර්ශනය කරනවා, මේ කාන්දම දෙකට කැපුවොත් නැතිනම් බිම වැටිල කැඩුණොත් එහෙම දෙපැත්තම උතුර වෙන්නෙත් නැහැ දකුණ වෙන්නේත් නෑ, ආපහු ඒ පුංචි කෑලි දෙක ආයේ උතුරු-දකුණු වෙනවා කොපමණ පුංචියට කැඩුනත්, මේ විදිහට පුංචි පුංචි කෑලි වලට කැඩී ගොස් අන්තිමට එක අංශුවක් ඉතුරු වුනොත් ඒකෙත් උතුර දකුණ කියලා දෙපැත්තක් තියෙනවා, නැති වෙන්නේ නෑ, එහෙම උතුර උතුර උතුරම වෙන්නෙත් නෑ, දකුණ දකුණ දකුණම වෙන්නෙත් නෑ,  මේ තමා ස්වභාවය මේ මූලය නැති වෙන්නේ නෑ,  මේවා තියෙනවා ඇතුලේ එතකොට මේ බාහිර කවචයන්ගේ තමා හොඳ නරක කැරකෙන්නේ. මේ බාහිර කියන්නේ පුද්ගලයා කියන ස්වභාවය ගත්තහම එහි බාහිර, ඒ බාහිරේ තමයි මේ හොඳ නරක ප්‍රශ්නෙ තියෙන්නෙ, හැබැයි මේ කේන්ද්‍රයට ගියාපුහාම ඒ කේන්ද්‍රයයි මේ ආකර්ෂණය තියාගෙන ඉන්නේ,  හොඳටයි නරකටයි කියන දෙකටම ආකර්ෂණය තියාගෙන ඉන්නේ මේ න්‍යෂ්ඨියටයි, ‘මම’ කියන්නේ. සාමාන්‍ය හිතක් බලන්නේ මේ ‘මම’ ව පරිස්සම් කරගන්න, ‘මම’ පරිස්සම් කරගන්න එයා කැමතියි. නරක අතහරින්න. ඉතින් නරක්වුනු ‘මම’ හොඳ මමෙක් වෙන්න. තරහ ගත්ත ‘මම’ මෛත්‍රී මමෙක් වෙන්න. ලෝභ ‘මම’ තියාගශීලි මමෙක් වෙන්න  එතකොට එතන හොඳට බලන්න මේ න්‍යෂ්ඨිය ඉතුරු වෙන හැටි.  දිගටම අප න්‍යෂ්ඨිය ඉතුරු කරගන්නවා න්‍යෂ්ඨිය තිබෙනතාක් කල් මේ කරකැවිල්ල දිගටම කරකැවෙනවා. හැබැයි කැරකිලා එන්න සෑහෙන කාලයක් යන්න පුළුවන්. 

මේක අර කදක් අරගෙන කතාවක් වගේනේ, හොද නරක දෙපැත්තට දාගෙන කදක් ගෙනියනවා නරක පැත්තෙ බර අඩු කරල හොඳ පැත්තෙ බර අඩු කරන්න බලනවා. එතන නෙමේ මේ ප්‍රශ්නේ තියෙන්නේ, කරේ තමයි ප්‍රශ්නේ, මේ කද ගෙනියන කෙනාගෙ තමයි ප්‍රශ්නේ,  ඒක දකින්නෙ නෑ. ඇයි ‘මම’ මෙහෙම කදක් ගෙනියන්නේ  අන්න එතෙන්ටයි මේ සිහිබුද්ධිය ඇති වෙන්නේ. මෙය නොදකින ස්භාවය තමා අවිද්‍යාව කියන්නේ. ඒ නිසයි අවිද්‍යාව භයානකයි කියලා කියන්නේ  මේ අවිද්‍යාව වහලා තියෙනවා සංස්කෘතියෙන්  සභ්‍යත්වයෙන් සහ ආගම්වලින්  විද්‍යාවෙනුත් වහලා. මේ හැම දෙයක්ම අවිද්‍යාවේ නිර්මාණ පුහුදුන් හිතක්නෙ ඔය හැම එකක්ම හදලා තියෙන්නේ.


හිතවතුනි මේ පුහුදුන් හිතක් මොන දේ නිර්මාණය කලත් ‘මම’ කියන න්‍යෂ්ඨිය තියෙන විදිහටයි එය නිර්මාණය කරන්නේ  නැති වෙන විදිහට නෙවෙයි මොකද එයාට එහෙම දැක්මක් නෑ මේ තමා අවිද්‍යාව  ඒ නිසයි කියන්නේ මේ අවිද්‍යා අන්ධකාරයට ඒ කළුකුහරය විශ්වයේ තියෙන කළුකුහර වලට වඩා භයානකයි කියලා. මොකද මේවා කලුකුහර බව අප හඳුනාගන්නේ නෑ විවිධ ලස්සන නම් වලින්නේ එන්නේ අවිද්‍යාව. මනෝ විද්‍යාව කියනවා මිස අවිද්‍යාව කියන්නේ නැහැනේ. මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ශිෂ්ටාචාරය හා සභ්‍යත්වය. මේවා හොඳයි මේවා සමග සාමාන්‍ය සමාජයට හොඳ ගමනක් යන්න පුළුවන්.  එසේ යන්නේ සංසාරික ගමනම තමා. මේ කතාව මෙහෙම කියනකොට හිතවතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් “එහෙම නම් නරක් වුනාට කමක් නෑනෙ.  මේ කියන්නේ හොඳ වැඩ නොකර ඔහේ ඉන්න ඒ කියන්නේ අපිට නරක දේවල් තමයි කර කර ඉන්න වෙන්නේ”, නැහැ හොඳ දේ කළත් නරක දේ කරත්, ‘මම’ කියන ප්‍රශ්නය කියන තාක්කල්, තමන්ටත් දුකයි අනිත් අයටත් දුකයි.  ‘මම’ ඉන්න තුරු තමන්ටත් දුකයි අනිත් අයටත් දුකයි. එතකොට ඊළඟ කාරණය තමා කෙලෙස් කියන දේවල්, මේ සාමාන්‍ය සමාජය හොඳයි නරකයි කියන දේ සහ කෙලෙස් කියන එකයි අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය සමාජය නො මසුරු බව හරියට අගය කරනවා කිසි ලෝබ කමක් නෑ කියලා කියනවා නේ. සිහිබුද්ධිය අලෝභය කියා කියන්නේ නෑ අප සාමාන්‍ය සමාජයේ කියනවනම් කිසි ලෝබ කමක් නෑ කියලා ඒ කියන නිර්ලෝභී බවයි  දහම කියන ලෝභයයි දෙකක්. කෙලෙස් පිළිබඳ විද්‍යාවේදී මේ හැම ක්ලේශයක්ම ‘මම’ කියන න්‍යෂ්ඨිය තියෙන තුරු කරකැවෙන දේවල්. ‘මම’ කියන න්‍යෂ්ඨිය තියෙන තුරු ඒ ආකර්ෂණය තියෙන තුරු තමා මේ හැම ක්ලේශයක්ම පුද්ගලයා වටේ කරකැවෙන්නේ. මේ කරකැවෙන දේවල් එකින් එක අයින් කර කර ප්‍රශ්නේ විසඳන්න බැහැ.  ‘මම’ තියාගෙන තරහ නැති කරන්න බෑ, ‘මම’ තියාගෙන ලෝභය නැති කරන්න බෑ, ‘මම’ තියාගෙන ඉරිසියාව නැති කරන්න බෑ, අඩු කරන්න පුළුවන් ‘මම’ ඉඳගෙන අඩු කර ගන්න පුළුවන්, නෑ වගේ ඉන්නත් පුළුවන්, යටපත් කරගන්නත් පුළුවන්.  මේ ඔක්කොම කරන්න පුළුවන්, නැති කරන්න බෑ, ක්‍ෂය කරන්න බෑ, හැබැයි අපට පේන්නේ ඔය නරක ටික තමයි. කෙලෙස් ටික තමයි. මේ කෙලෙස් කියන්නේ වටේ කරකැවෙන ටික. ඉලෙක්ට්‍රෝන ටික තමයි පෙනෙන්නේ.  න්‍යෂ්ඨිය පේන්නේ නෑ. වැහිලා තියෙන්නෙ.  මේ කරකැවිල්ලෙන්  ආවේග හා හැඟීම් කරකැවෙනවානේ. වේගයෙන් කරකැවෙන කොට බලන්න ඕනෑම දෙයක් මැද පේන්නේ නෑ. කරකැවෙන කෙනා පේන්නේ නෑ. ලොකු වළල්ලක් වගේ හැදිලා  මැද වැහිලා මේ තමා අවිද්‍යාව. මේ කරකැවීම දිහාම බල බල ඉඳලා හිතවතුනි ජීවිතේ දවසක ඉවර වෙයි. නරක එක එක අරගෙන අඩු කරන්න. එකක් දෙකක් අඩු කරගන්න පුලුවන් වෙයි. හැබැයි ජීවිතෙත් ඉවර වෙයි. ඒ වෙනුවට මේ කරකැවිල්ල විනිවිද දකින්න, මේ කරකවන කෙනා දිහා බලන්න, මොකක්ද මෙතන වෙන්නේ, මධ්‍යය  කවුද, මෙව්වා කරකවන්නේ කවුද, මේ කෙලෙස් කරකවන්නේ කවුද,  ඒ මොන නියෂ්ටික වටේ ද කරකැවෙන්නේ. අන්න ඒ න්‍යෂ්ටිය ශූන්‍යය කරගන්න පුළුවන් නම් මේ කරකැවිල්ල නවතිනවා.  න්‍යෂ්ටියක් නැත්නම් අනිත් ඔක්කොම ටික නවතිනවා. ඒ තමයි විසඳුම විද්‍යාව පහළ වෙනවා කියන්නේ එයටයි. 

අවිද්‍යාව කරන්නේ මේ කරකැවෙන දේවල් බලනවා, අර පැත්තට කරකවන්න, මේ පැත්තට කරකවන්න, කැරකැවීම අනිත්පැත්තට කරකවන්න, ඊළඟ කවචයට දාන්න, තව කවචයකට දාන්න, අන්තිම කවචයේ තියෙන ඒවා ඇතුලට දාගන්න, ලෝකෙටම පේන්න අපේ වැරදි තියෙනවා නම් ඒවා ටිකක් අඩු කරගන්න, ගෙදරදී කෑගැහුවට කමක් නෑ, පිට තැනකදී හොදින් ඉන්න. බාහිර කවචයන්ගේ තියෙන අකමැති දේවල් ටික ඇතුලේ කවචයන්ට දාගෙන ඇතුලේ තියෙන හොදටික එලියට දාල තියාගන්න. එහෙම කරගත්තහම සමජෙටත් හොදයි. ගෙදරටත් හොදයි. ඇඟටත් හොදයි. හිතටත් හොදයි. මෙලොවටත් හෙඳයි පරලොවටත් හොඳයි. හැබැයි අධ්‍යාත්මයට හරි නෑ, ඒ අධ්‍යාත්මික ප්‍රශ්නේ එතනින් විසදෙන්නේ නෑ, එනිසා මේවා කරකැවුනාවේ, ඒවා අතර ඉඩක් හොයාගෙන හැප්පෙන්නේ ගැටෙන්නේ නැතිව මධ්‍යට යන්න. හැප්පෙන්න ගියවිට අප විසි වෙනවා එලියට. ඒවා සමග කරකැවී කරකැවී ඒවාට කරකැවෙන්න දෙන්නේ නැතිව ඒවා බදාගෙන ඉන්න පුළුවන්. එහෙම නොවෙයි මේවගේ හැප්පෙන්නෙත් නැතිව ඉඩක් හොයාගෙන ටික ටික අභ්‍යන්තර කවයන්ට එන්න. ඇතුලට ඇතුලට එන්න. අධ්‍යාත්මික කවය කියන්නේ එයයි. එහෙම එනකොට පේනවා තරහා නොවෙයි ප්‍රශ්නේ.  ප්‍රශ්නය මෙන්න න්‍යෂ්ටිය මේ න්‍යෂ්ටිය තියන කල් තරහ එනවා. මේ න්‍යෂ්ටිය තියෙනකල් බය එනවා. ඉතින් මේ හැම එකක් හරහාම එතනට එන්න මොන නරක ගත්තත් ඒ ඔස්සේ අවොත් ඔතෙන්ට තමයි එන්නේ. එහෙම හැම දෙයක්ම ‘මම’ කියන න්‍යෂ්ටියට බැඳිලා තියෙන්නේ. එතන තමයි චුම්භකත්වය තියෙන්නේ. හොදට බලන්න හොදට බලන්න බලන්න මේ විද්‍යාව තමයි පහල වෙන්නේ. මේ අඳුර තමයි නැතිවෙලා යන්නේ. මේ පැහැදිලිකිරීමත් එක්ක හිතවතුනි බොහෝ ගැටළු ඇතිවෙන්න පුළුවන්. ගැටළු ඇතිවුනාවේ, සිහිබුද්ධිය අවදිමත් වෙන්නේ ගැටළුත් එක්කම තමා, කිසීම ප්‍රශ්නයක් නෑ වගේ දැනුනොත් ඉතින් සිහිබුධිය නිදාගන්නවා. සිහිබුද්ධිය අවදි වෙන්නෙම අප හිතාගෙන ඉන්න දේට අභියෝග ආවහම. ජීවිතේට අභියෝග ආවහට සිහිබුද්ධිය අවදි වෙන්නේ නෑ, හැබැයි අපි හිතාගෙන ඉන්න දිට්ඨි වලට අභියෝග පැමිණිවිටයි සිහිබුද්ධිය අවදි වෙන්නේ. අපි ඒ සිහිබුද්ධියත් එක්ක මේ ඇසු කියූ කාරනා කොයි මට්ටමට කොයි පමණට අත්දකින්න පුලුවන්ද කියා විනාඩි කිහිපයක් උත්සාහ කරලා බලමු, භාවනා කරලා බලමු.


භාවනාව


  • මේ මොහොතේ අත්හල යුතු ඉවත්කළ යුතු අයින්කල යුතු කපාදැමිය යුතු හිතින් දුරුකළ යුතු තමන්ගෙන් ජීවිතයෙන් චරිතයෙන් ඈත්කළ යුතු යමක් තිබෙනවාද මේ වෙලාවේ, මේදේ නැති කෙනෙක් වෙන්න තිබුණා නම් හොදයි, මෙන්න මේ ස්වභාවය ගතිය නැති කෙනෙක් වෙන්න තිබුන නම් හොදයි


  • මේ කුමක් හෝ නැතිකළ යුතු දේ අත්හල යුතු දේ ඉවත්කළ යුතු දේ තියනකල් මට හොද නෑ මම හොදත් නෑ 


  • ඒදේ අයින් කලොත් මම හොද වෙයි


  • ඒ අයින්කලයුතු ඕනෑම ගතියක් ස්වභාවයක් පුරුද්දක් හෝ ඇබ්බැහිවීමක් අල්ලාගෙන ඉන්නේ කුමක්ද ඒවාට යන්න නොදී තමන් වටේ කරකවමින් යන යන තැන අරගෙන යන්නේ කව්ද කුමක්ද කොහේ ගියත් ඇයි මේ දේවල් වටේටම කරකවෙන්නේ 


  • හරියට ලණුවක අග ගැටගැසූ ගිණි ගුලියක් වේගයෙන් කරකැවෙනවා ඒ කරකවෙන්නේ ඒ ගිණිබෝලෙට ඕන නිසා නොවෙයි 


  • අල්ලා ගැනීම අල්ලගන්න දෙයක් තිබෙන තුරු අල්ලාගන්න කෙනෙක් සිටින තුරු අල්ලා ගන්න දෙයක් තියෙනවා අල්ලාගැනීමකුත් තියෙනවා


  • කව්ද මේවා අල්ලාගෙන ඉන්නේ තරහ අල්ලාගෙන ඉන්නේ කව්ද තරහා ආකර්ශනය වෙන්නේ මොන විදිහේ න්‍යෂ්ටියකටද මධ්‍යකටද තරහා පමණක් නොවෙයි නැතිකළ යුතුයි නැතිකරගන්න ඕනේ කියා කියන ඒ හැම දෙයක්ම හිත වටේ කරකැවෙමින් කරකැවෙමින් තියෙන්නේ 


  • කුමක්ද මෙතන තිබෙන ආකර්ෂණය 


  • මේ සොයාබැලීම විමර්ශනය අපූරු තැනකට භාවනාව අරගෙන යනවා කවදාවත්ම නොගිය තැනකට එබදු තැනක් තිබෙනවා යැයි නොදුටු වැහි තිබුණු තැනක් විවර වී පෙනෙනවා


  • හිතවතුනි ඕනෑම අවස්ථාවක මේ ඕනෑකම ඇතිවුනහම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ ඒ සිතිවිල්ලත් එක්ක කරකැවෙනවා වෙනුවට ඒ සිතිවිල්ල කරකවන මධ්‍යය දකින්න උත්සාහ කරන්න න්‍යෂ්ටිය සිතිවිලිත් එක්ක රවුම් ගැහුවා ඇති කරකැවුණා ඇති 


ඒ චේතනාවෙන් අද අපි සදහම් සැදෑවෙන් සමුගනිමු. 


සෑම දෙනාටම සෙතක්ම වේවා !

ශාන්තියක්ම වේවා !!

සැනසිල්ලක්ම වේවා !!!