සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 19


2022 පෙබරවාරි 9, සාරාංශය


විකසිත වුනු සිතකට පිබිදුණු හදකට නිදහස්වුනු ජීවිතයකට දොරගොළු හරිමින් ඔබ අප මේ ගොඩවන්නේ බදාදා ආධ්‍යාත්මික හෝරාවට සදහම් සැන්දෑව, සදහම් අම්බලමට. පසුගිය සතිය පුරාම යම්තාක් දුරකට ධර්මතා වටහා ගනිමින් දන්නා ධර්මතා අත්දකිමින් අත්දකින ජීවිත සිදුවීම් හරහා අලුත් ධර්මතා සොයා ගනිමින් මේ යන ගමනේ කිසියම් ප්‍රගතියක් කිසියම් සාර්ථකත්වයක් අඩු වැඩි වශයෙන් ඔබ අප සෑමදෙනාම ලබාගන්නට ඇති, සාක්ෂාත් කරගන්නට ඇති. 


හිතවතුනි සමහරවිට හිතෙන්ට පිලිවන් එකවරම හෙන ගහනවා වගේ අනවබෝධයේ සිටි කෙනෙකු මේ මොහොතේ පූර්ණ අවබෝධයට පත් වේවී කියා. එහෙමයි අප අසා තිබෙන්නෙ, එක්වරම සෝතාපත්ති ඵලයට පත්වුණා, සකදාගාමී, අනාගාමී, අරහත්, පසේ බුදු, බුද්ධත්වය, මේ ආදී වශයෙන්, එබඳු ක්ෂණික පරිවර්තන ගැන තමා වැඩිපුර කතා කරන්නේ. එහෙම පරිවර්තනයක් ගැන කියන විටයි නිතැතින්ම නොදැනුවත්වම සාධු නාදයක් නැගෙන්නේ. මොහොතින් මොහොත, දවසෙන් දවස, දශම බින්දුවයි බින්දුවයි එක වගේ, එහෙම එළිය කරමින් අන්තිම මොහොතේ අනූ නාමයයි දශම නමයක් තිබිලා තවත් ව්‍යායාමයක ප්‍රතිඵලයකින් මේ දශම එක සම්පුර්ණ වුණා කිව්වොත් ඒ ගැන හිතේ ලොකු ප්‍රසාදයක් නෑ, එය ප්‍රාතිහාර්යක් විදිහට පේන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ, විමතියකුත් නෑ, පුදුමයකුත් නැහැ. හැබැයි බලාපොරොත්තු වෙන්නේ බින්දුවේ සිට ශතකයක් සියයක්. හිතවතුනි එබඳු ප්‍රාතිහාර්යයන් ගැන විශ්වාස කරමින් ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු වෙමින් ප්‍රාතිහාර්යයන් සිදු වන තුරු උඩ බලාගෙන සිටිනවා වෙනුවට දශමින් දශමය මොහොතින් මොහොත ක්ෂණයෙන් ක්ෂණය අවබෝධ කරගත යුතු කාරණා අවබෝධ කර ගැනීමට මහන්සි වීම වටිනවා එය ප්‍රායෝගිකයි, එයින් තමා ප්‍රතිඵල ලැබෙන්නේ. එම නිසා මේ බදාදා ප්‍රාතිහාර්යක් වෙයි කියා එහෙම විශ්වාසයක් එහෙම ඇදහීමක් බලාපොරොත්තුවක් මේ හිතවතුන් කවුරුන් ළඟවත් නැතිව ඇති. බ්‍රහස්පතින්දා සිදු නොවුන සිදු නොවන සිකුරාද සෙනසුරාද ඉරිදා සිදුනොවූ හා සිදුනොවන සඳුදා අඟහරුවාදා ඒත් නොලැබුණු කිසියම් අධ්‍යාත්මික ඵලයක් ක්ෂණිකවම එකවරම බදාදා හතහමාරට ලැබෙයි සිදුවෙයි, එබඳු විශ්ව කර්මයක් සිදු වන්නේ නෑ එහෙම හීන දැකීමකුත් නෑ, එයට වඩා අප කවුරුත් බොහොම ප්‍රායෝගිකව අඩියෙන් අඩිය යන ගමනක්.


මේ විශ්වය හැමවිටම ධ්‍රැව දෙකක් තිබෙනවා දොරටු දෙකක් තිබෙනවා, උතුර-දකුණ වගේ දහවල-රාත්‍රිය වගේ සීතල-උණුසුම වගේ. ඉතින් මේ එක දොරටුවකින් එක ධ්‍රැවයකින් ඇතුල් උනහම සනීපයි හොඳයි, කවුරුත් හොඳයි කියනවා වදිනවා පුදනවා හෘදසාක්ෂියටත් එකඟයි ආගමටත් එකඟයි සංස්කෘතියටත් එකඟයි කර්මයටත් හොඳයි හොඳ කර්ම. අනිත් ධ්‍රැවයට කවුරුත් හොදයි කියන්නේ නෑ, නරකයි. ඒ දොරටුවෙන් ඇතුල් උනහම දුකයි හෘදසාක්ෂියත් දොස් කියනවා සමාජයත් දොස් කියනවා හැම ආගමක්ම වගේ විවේචනය කරනවා. ඉතින් මේ හොඳ සහ නරක, ඒ වෙනුවට වචන දෙකක් භාවිතයට ගත්තා දහම හා අදහම. අදහම සම්මුතියක් විදිහට සාපේක්ෂ වශයෙන් මුළු ලෝකයම වගේ ප්‍රතික්ෂේප කරනවා. දහම පිළිගන්නවා හොඳයි කියනවා, ඒ මොන දහමද කියන කාරණයට වැඩිය, අපි කියමු  යුක්තිධර්මය සාධාරණත්වය කවුරුත් අගය කරනවා හැමෝම සාධාරණ නොවුණාට හැමෝටම යුක්ති ගරුක වෙන්ට බැරි වුණාට යුක්ති ගරුක බවට නීතියට සාධාරණත්වයට මනුෂ්‍යයා කොහේ හිටියත් හිස නවනවා ගරු කරනවා සොබාදහමත් ගරුකරනවා යුක්ති ධර්මයට සොබාදහමත් ගරු කරනවා කර්මයත් උදව් කරනවා පුණ්‍යකර්ම. 


පුණ්‍යකර්ම සොබාදහමේ ධර්මතාවක්. කෙනෙක් හොඳින් ඉන්නව නම් කර්මය එයාව බලාගන්නවා. හොදින් ඉන්න කෙනාගෙ අඩුපාඩු හොයල බලනවා, අසනීපයක් වුණොත් බලනවා, අසනීප වෙන්න නොදී බලාගන්නවා, දුප්පත් වෙන්න ගියොත් කොහෙන් හෝ සම්පතක් ලැබෙනවා, හදිස්සියේ අසරණ වුනහම නොහිතූ විදිහට උදව් ලැබෙනවා. 


මේ තමා කර්මය, කවුරුවත් කරන දෙයක් නෙමෙයි, සමහරවිට කියන්න පුළුවන් ඉෂ්ට දේවතා වහන්සේ ගෙන් උදව් ලැබුණා, එහෙම නැත්නම් උදව් කළ කෙනාට කියනවා “ඔබ දෙවියෙක් වගේ අපට උදව් කළා”. ඒ හරහා උදව් කරන්නේ කර්මය, මිනිසුන් හරහා, ආයතන හරහා, සොබාදහම හරහා, සතුන් හරහා, අව්ව වැස්ස හරහා කර්මය උදව් කරනවා. කර්මය ඍජුවම ඇවිල්ලා උදව් කරන්නේවත් හානි කරන්නේවත් නෑ, එහෙම කරන්න කර්මයට ශක්තියක් නෑ. මේ ප්‍රතිඵලය මේ තැනැත්තාට ලබාදෙන්න කර්මය හැමවිටම ලඟම ඉන්න වඩාත් ගැළපෙන නියෝජිතයෙක් හොයාගන්නවා, හරියට ලියම් ලබාදෙනවා වගේ, කාගෙ හරි අතේ ඒ ලිපිය එවනවා. ලියුමකට බෑ නිකම්ම එන්න. ලියුමක් ලියා ලියුම් කවරයකට දමා ලිපිනය ලියා තිබ්බට ලියුමට බෑ පියාඹගෙන ගොස් ඒ ලිපිනය හොයාගෙන අයිතිකරු හොයාගෙන අයිතිකරුගේ සුරතට පත්වෙන්න. කවුරුන් හෝ ගෙනියන්න ඕන. කර්මයත් ගෙනියනවා. කර්මය හොඳම ළඟම නියෝජිතයන් හොයාගන්නවා. පුණ්‍ය කර්ම වල ප්‍රතිලාභ දෙන්නත් ළඟම ඉන්න නියෝජිතයන් හොයාගන්නවා. පාප කර්ම වලට විපාක දෙන්නත්, ඒ පාප කර්මවලට කෙලින්ම ඇවිල්ලා විපාක දෙන්න බෑ, කවුරු හෝ නියෝජිතයෙකු, පුද්ගලයෙකු විය හැකියි, සතෙකු වෙන්නත් පුළුවන්, වාහනයක් විය හැකියි, ගල්කැටයක්, ගහක්, සුළඟක්, ගින්නක් ඕනම දෙයක්, නියෝජිතයෙකු හරහා තමා ඒ ප්‍රතිඵලය හෝ විපාක අප අතට පත් කරන්නේ. 


මේ නියෝජිතයන් නියෝජිතයන් බව නම් දන්නෙ නෑ, තමන් තව කෙනෙකුගේ කර්මයේ නියෝජිතයකු බව කිසි කෙනෙකු දන්නෑ. අප දන්නෙත් නෑ. අප සමහරවිට කෙනෙකුට උදව් කරනවා, පෙරළා ප්‍රතිලාභයක් ගන්නට අපේ බලාපොරොත්තුවකුත් නෑ, එනමුත් අප උදව් කරනවා. සමහර විට හෝ බොහෝ විට ඒ උදව්ව ඒ තැනැත්තාට ලැබීයයුතු උදව්වක්, ඒ තැනැත්තා එබදු උදව්වක් ගන්න සුදුස්සෙක්. සුදුස්සෙකු කියන්නේ ඒ සඳහා කර්මයේ හිමිකරුවෙක්. කර්මය තමයි උදව්ව කරන්නේ, හැබැයි කර්මය අපව තෝරාගෙන තිබෙනවා ඒ තැනැත්තට උදවු කරන්න. අප දන්නේ නෑ, හැබැයි නොදැන හිටියට තව කෙනෙකුගේ කර්මයේ අවශ්‍යතාව අප ඉටු කරනවා. එය අපට පුණ්‍ය කර්මයක්. එතකොට අපට අළුත් කර්මයක්. මේ විදිහට හොඳට බැලුවොත් කර්මය ලොකු බලයක්, ලොකු බලවේගයක්, ලොකු ධර්මතාවක්. ධර්මතා අප දන්නවා, ගුරුත්වාකර්ෂණය කියන්නේ ධර්මතාවක් උනාට මහපොළොව නැතුව ඒ ධර්මතාවයට ක්‍රියාත්මක වෙන්න බෑ. මහ පොළොව හරහා තමා ගුරුත්වාකර්ෂනය ක්‍රියාත්මක වෙන්නේ. 


ධර්මතාව නියෝජිතයකු හරහා තමයි හැම විටම ක්‍රියාත්මක වෙන්නේ. කර්මය අපව නියෝජිතයන් බවට පත් කර තිබෙනවා. හැම කෙනෙකුම කර්මයේ නියෝජිතයෙකු, තමන්ට විපාක දෙන්න තියෙන කර්ම නොවෙයි, අනිත් අයට විපාක තියෙන කර්ම. සමහර විට තමන්ගේ ගෙදරම ඉන්න, වැඩපොලේ ඉන්න, ඥාතීන් හිතවතුන් සමහරවිට නන්නාදුන කෙනෙකුට වුණත්, එක වාහනේ බස් එකේ ගමන් කරන, සමහරවිට විනාඩි කිහිපයකට මුණගැහෙන, ඒ ජීවිතේ කවදාවත් නොදුටු කෙනෙකුගේ කෙනෙකුට. කර්මයට අවශ්‍යයි උදව්වක් කරන්න නැතිනම් හානියක් කරන්න, ඒ තැනැත්තාගේ ලැබීම. කර්මය බලනවා එයට ළඟම ඉන්නේ කවුද කර්මය විපාක දෙන්න අවශ්‍ය වෙලාවේ කා හරහාද මේ විපාකය දෙන්නේ කියල. හරියට විදුලි අකුණු වගේ. වලාකුල් ගැටුනහම උපදින විද්‍යුතය කුමක් හරහාද මහ පොළොවට යන්නේ කියා බලනවා, ගහක් හරහාද, ඇන්ටනා කණුවක් හරහාද, ගෙයක් හරහාද, සතෙකු හරහාද, මනුෂ්‍යයෙකු හරහාද, වැස්ස හරහාද බලනවා, මොන හේතුව නිසා කාව හොයාගන්නවද දන්නේ නෑ, මාධ්‍යක් හරහා තමයි ඒ කර්මය නිෂ්ක්‍රීය වෙන්නේ උදාසීන වෙන්නේ විපාක දී. ඒ අකුණ ඒ විද්‍යුතය උදාසීන වෙන්නේ එක්කෝ ගහක් හරහා, යකඩ බටයක් හරහා, මනුෂ්‍යයෙකු හරහා, ගෙයක් හරහා ගමන් කළහොත් පමණයි. 


මෙසේ කර්ම ගැන හොඳට බැලුවොත් පේනවා දවසෙ උදේ සිට රාත්‍රී වන තුරු අප කී දෙනෙකුගේ කර්මවල නියෝජිතයන් බවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව පත්වෙනවද පත්ව තිබෙනවාද. කෙනෙක්  වැඩක් කරගන්න ආවහම නොකර ඉන්න පුළුවන්, කරන්නේ නෑ කියන්න පුළුවන්, සමහර විට අප ඒ කෙනාට බණින්න පුලුවන්. එය එයාගේ කර්මය වුනාට ඒ කර්මය ක්‍රියාත්මක වෙන්නේ අප හරහා. එයාගේ කර්මය අප හරහා ක්‍රියාත්මක වෙනකොට බොහෝවිට අපත් අලුත් කර්මයක් කරගන්නවා. නියෝජිතයන් වූ අපත් පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් කර ගන්නවා. මෙහි ඉවරයක් නෑ. 


මෙහි තිබෙන භයානකම කරුණ තමා, මේ ලෝකෙ විශ්වයේ යම්තාක් කර්මජ සතුන් සත්ත්වයන් සිටිනවාද, (කර්මජ කියන්නේ කර්මයෙන් උපන්න කර්මය නිසා පවතින කර්මය නිසා මියයන නැවත උපදින යම්තාක් සත්වයන් සිටිනවාද) ඒ ඕනෑම සත්ත්වයෙකුගේ කර්මයට විපාක දෙන්න අප නියෝජිතයෙක් වශයෙන් කර්මය තෝරාගන්න ඉඩ තිබෙනවා. විශ්වයේ ඉන්න සත්ව සංඛ්‍යාවේ ප්‍රමාණයක් නෑනෙ. එහෙම නම් අප කී දෙනෙකුගේ කර්ම වලට නියෝජිතයන් බවට පත්ව ඇද්ද හා අද දවසේ කී දෙනෙකුගේ කර්ම වලට නියෝජිතයින් වෙන්න ඇත්ද? 


මෙසේ කර්මය බොහොම ලස්සනට අපව භාවිතා කරනවා, හරියට ගහක් හරහා හෙනයක් ගහනවා වගේ, අහිංසක ගහ දන්නෙත් නෑ, ගහ ඉල්ලුවෙත් නෑ, ගහට කිව්වෙත් නෑ, බෑ කියන්ටත් බෑ එකවරම හෙනයක් ගැහුව වගේ ඒ අකුණ ගහ හරහා භූමිගත වෙනවා. හෙනය නිසා ගහ මැරිලා යනවා නැත්තම් ටික ටික ගහ මැරිලා යයි. මෙය හරි භයානක කාරණයක්. කර්මය අපෙන් අහන්නේ නෑ “අහවල් කෙනා බැණුමක් අහන්න මෙබදු කර්මයක් කර තිබෙනවා, ඒ කර්මය අද විපාක දෙන්නත් තිබෙනවා, දැන් ඔබ තමයි ළඟම ඉන්නේ, එනිසා එයාට බණින්න පුලුවන්ද මා වෙනුවෙන්, මේ ප්‍රමාණයට බනින්න, මෙපමණ වෙලාවක් බනින්න, මේ ප්‍රමාණයට එයාගෙ හිත රිදවන්න”ආදී වශයෙන්. කවදාවත් කර්මය අපෙන් එහෙම අහන්නේ නෑනේ, එසේ අහනවා අපට ඇහිලත් නෑනේ. එහෙම ඇහුවේ නැති වුනාට කර්මය කරන්නේ ඒ ටික තමා. පැත්තක ඉන්න අප පටලවනවා තව කෙනෙකුගේ කර්මයක විපාකයකට. තමන්ගේ ඕනකමට බණිනව කියන හැඟීමයි නියෝජිතයට එන්නේ  

“මෙයා බැනුම් අහන්න කර්මයක් කර තියෙනවා ඒ කර්මය මා හරහා මේ ක්‍රියාත්මක වෙන්න තියනවා” එහෙම හිතුනා නම් කවදාවත් අප කාටවත් බණින්නේ නැනේ. ඔය කාරණය අවබෝධ වුනොත් කාටවත් හ බණිනවද ?. මෙතැන තිබෙන්නේ ධර්මතාවක්, කර්මයේ ධර්මතාව සොබාදහමේ ධර්මතාව, මට අදාල දෙයක් නොවෙයි මට අයිති දෙයකුත් නොවෙයි, මේ මගේ වගකීමක් නොවෙයි, මේ මනුස්සයට බැණීම, මේ මනුස්සයාට හිරිහැර කිරීම, මේ මනුස්සයාගේ වැඩේ නොකර සිටීම මට අයිති දෙයක් නොවෙයි, මෙයාගේ කර්මයක් මා කුමකටද උර දෙන්නේ ? අතීත කර්මයයි වර්තමාන විපාකයයි යාකරන්න මේ කොහෙවත් තියෙන ඉවුරු දෙකක් යාකරන්න මා කුමටද පාලමක් වෙන්නේ?


හිතවතුනි බලන්න මේ අවබෝධය ඇති වුනොත් මොනතරම් ක්‍රියාවලින් අප පරිස්සම් වෙයිද, නොකර ඉදියිද, අත්හැර දායිද, සමහරවිට හිතන එකක්වත් නෑ. ඒ අවබෝධය නැත්තම් හිතන්නේ බණින්න ඕනේ, රිදවන්න ඕනේ පාඩමක් උගන්නන්න ඕනේ, එහෙම නැත්නම් උදව්වක් කරන්න ඕනේ, හොඳක් කියන්න ඕනේ, මට මේ මිනිහට බණින්න ඕනේ, මට, මට නෙමෙයි ඕන ඒ කර්මයටයි, කර්මයටයි අවශ්‍යය, මගේ කර්මයටත් නෙවෙයි වෙන කෙනෙකුගේ කර්මයටයි අවශ්‍යය. ඒ තැනැත්තාගේ කර්මයට වුණත් එය වර්තමානයට නොවෙයි සමහර විට මේ අවුරුදු ගාණක ආත්ම ගානක පරණ අතීතයකට තමයි අවශ්‍යය. මේ වර්තමානයේ ඒ චිත්ත පරම්පරාවේ මෙතන පහළ වෙලා සිටින පුද්ගලයට බණින්න අවශ්‍යය අතීත කර්මයකට. මේ කාරණය හොඳින් තේරුම් ගන්න අද මෙතන ඉන්න කෙනා නොවෙයි බැනුම් අහන්න ඕනේ, මේ මොහොතේ ඉන්න කෙනා නෙවෙයි ඒ කර්මය කළේ. හැබැයි ඒ චිත්ත පරම්පරාවේ ආදී මුතුන් මිත්තෙක්. ඒ මුතුන් මිත්තෙක් කළ කර්මයෙන් බේරෙන්න ලේසි නෑ. ඒ චිත්‍ත පරම්පරාවේ මී මුණුපුරන්ට කිසියම් උරුමයක් අයිතියක් දායාදයක් තිබෙනවා ඒ තමා සිතුවිලි වල  පාරම්පරික දායාදය, 

නමුත් පැත්තකින් ඉන්න අපට එහෙම හිතෙන්නේත් නෑ, පේන්නෙත් නෑ, අප හිතන්නේ “මට ඕනේ හොඳවයින් දෙකක් කියන්න”. ඒ සිත්විල්ලත් එක්ක බලන්න අර අහක තිබුන ධර්මතාව ධර්මතාවක් විදිහට ගන්නේ නැතිව පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් කරගත්තා. ඔය කාරණය ගැන හිතුවොත්, බැලුවොත් සහපතේරුනොත් මොන තරම් පාප කර්ම කිරීමෙන් අප වළකියිද. ඒ විපාකයකට ඇවිල්ල මදුරුවෙකුට ගහන්න බෑ, අපේ අත හරහා තමා ඒ විපාකය මදුරුවට දෙන්නේ. ඉතින් අප කාගෙවත් අතකොළුවක් වෙනවද, වෙනවට කැමතිද, කවුරු හරි ඇවිත් කිව්වොත් මා වෙනුවෙන් අර මනුස්සයට ගහන්න බනින්න එහෙම කරනවද අප?. සාමාන්‍යයෙන් කරන්නේ නෑ මොකටද කරන්නේ. හැබැයි කර්මය අපෙන් අහන්නේ නැතිව එය අප හරහා කරගන්නවා. 


එහි ඉවරයකුත් නෑ, මෙයින් පොහොසත් වෙන්නේ හා ධනවත් වෙන්නෙ කවුද? කර්මයයි. කර්මය ධනවත් වෙනවා, කර්මය පොහොසත් වෙනවා. කර්මය ගෙවී යන්නේ නෑ, ඒ පොදු කර්මයක්, ඒ පොදු කර්මය කියන ගිණුම කවදාවත් හිස් වෙන්නෑ. විශ්වීය ගිණුම ඉවරයක් වෙන්නේ නෑ වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් තැන්පත් වෙනවා. මොකද අප හැම දෙනාම පෞද්ගලිකව කර්ම උපයල ඒ ගිණුමට තමයි බැර කරන්නේ. ඒ විපාක විදින්න ආයේ දවසක තව කවුරුහරි නියෝජිතයෙකු හොයනවා. 


මේ කාරණය ගැන හිතනකොට ලොකු සංවේගයක් එනවා අප කොහිද ඉන්නේ. මොන කයිවාරු ගැහුවත් මොන පුරසාරම් දෙඩුවත් මොනතරම් බලපුළුවන්කාරකම් තිබුනත් හිතවතුනි මේ කර්මයේ අතකොළු බවට පත්වීම නවත්තන්නට බෑ, අනුන්ගේ කර්මයක අතකොළුවක් බවට අප පත් වීම බල පුළුවන්කාර කම් වලින් ඒ තියෙන හැකියාවන්ගෙන් දැනුමෙන් බුද්ධියෙන් නවත්තන්නට බෑ. බුද්ධිය වැඩි වෙන්ට වැඩි වෙන්න අතාකාළු බවට පත්වීම වැඩියි. පුණ්‍ය කර්මවලත් අතකොළුවක් බවට පත්වෙනවා පාපකර්ම වලත් අතකොලු. බොහෝ විට හොඳ කරන්නේ නරක කරන්නේත් අපට ඕනේ නිසාම නොවෙයි හොඳ කරන්නෙත් අපට ඕනේ නිසා නොවෙයි නරක කරන්නෙත් අපට ඕනේ නිසා නොවෙයි. කෙරෙනවා හොඳත් කෙරෙනවා නරකත් කෙරෙනවා, ඒ කෙරෙන්නේ එහෙම කරන්න ලොකු බලපෑමක් තල්ලු කිරීමක් කර්මය නැමැති ධර්මතාව සිදුකරනවා. 


මෙසේ බැලුවොත් නම් ගැලවීමක් නෑ මොකද අපට මුණගැහෙන කෙනෙක, දුරකථනයෙන් අමතන කෙනෙකු සමහරවිට පවුලේ ඉන්න කෙනෙකු එකට රැකියාව කරන කෙනෙකු සමහරවිට කූඹියෙක කුරුල්ලෙකු, මේ ඕනෑම දෙයකට ඕනෑම කෙනෙකුට ඕනෙම වෙලාවක විපාකයක් තියෙනවා. හැමවෙලේම තියෙනවා. ඒ තියෙන තැනක අපත් ඉන්නවා. අපට ඉන්න වෙනවා. ඉතින් ඉන්න වූවිට ඒ අයට වෙන්න තියෙන විපාක ළඟම ඉන්න කෙනා හරහා තමයි සිදුවෙන්නේ, හරියට ළඟම tower එකෙන් තමයි call එක යන්නේ, ඕනම කෙනෙකුට call කළොත්, එහෙම ජංගම දුරකථනයකට කතා කරා කියන්න. ලෝකයේ කොහේ ඉන්නවද අප දන්නෑනෙ. ලංකාවේද වෙන රටකද  දන්නෑ, නමුත් එයාට ළඟම tower එකෙනුයි ඒ call එක යන්නේ දුරම tower එකක් නෙමේ ළඟම tower එකෙන්, ඒ වගේ අපත් කර්ම විපාකයේ ඇමතුමට ඒ ළඟම කුළුණ බවට පත්වෙනවා. එසේ පත් වෙන්නේ අප ළඟ ඉන්න නිසාමත් නොවේ, කෙනෙකුට හිතෙන්න පුළුවන් හැමෝගෙන්ම ඈත්වෙලා තනිවුනොත් නම් අනුන්ගේ කර්ම වලට කරගහන්නේ නැතිව ඉන්න පුළුවන් කියා. එහෙම තනි වෙන්න බෑ තනිවුණා කියා මේ ප්‍රශ්නේ විසදන්නත් බෑ, තාවකාලික වශයෙන් නම්. එහෙනම් නිදාගත්තොත් ඔයිට වැඩිය විසඳුමක් එන්න එපැයි මුළු ජීවිතේම නිදාගෙන ඉන්න පුළුවන් නම්, එහෙම නම් ඉතින් කර්මයක් වෙන්නෑ කියලා හිතන්න පුළුවන්නේ. එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. 


මෙතනදි අවබෝධ කරගත යුතු ධර්මතාවක් තිබෙනවා, කුමක්ද මේ මටයි ඕනි මටයි මේ මනුස්සයට පාඩමක් උගන්නන්න ඕනේ. සිදුවීමක් කර්මය නිර්මාණය කරනවා, නිර්මාණය කරන ඒ සිදුවීමේ කොනකට අපවත් දානවා, කර්මයට පුළුවන් සිදුවීම් නිර්මාණය කරන්න ඒ විපාකයට සුදුසු පසුබිමක් කර්මය හදනවා පසුතලයක් වේදිකාව හදනවා. හදලා ඒ ජවනිකාවේ අපත් ඉන්න විදියටයි නිර්මාණය කරන්නේ. ඒ ජවනිකාවේ අපත් ඉන්නවා කොහේ හෝ කොනක. ඉන්පසු කර්මය බලාගෙන ඉන්නවා ඉතුරු ටික අපේ අතට දීලා, කර්මය හොඳටම දන්නවා සාමාන්‍ය හිත මේ අහක තියෙන දේවල් තමන්ගෙ කරගනවා බව. මේ තමා සාමාන්‍ය හිතක ස්වභාවය, අහක තියන හැම දෙයක්ම මගේ කරගන්න තමන්ගෙ කරගන්න සොබාවය. අප අපේ කරගෙන තියෙන්නේ ම අහක තියෙන දේවල් නේ. අහක තිබුන දේවල් අපේ දේවල් කරගන්න අවශ්‍යය නෑනේ. අපේ දේවල් නෙමේ අපේ නොවන කොහේ හෝ තිබුණු දේවල් අප අපේ කරගෙන තිබෙනවා. ඒ නිසා තමා භාවනාවේදී මේවා ඇත්තටම අපේද කියල හොඳට බලන්න කියනවා, “කොහොමද මේවා අපේ කියන්නේ”. එහෙම බලන්න බලන්න අවබෝධ වෙන කාරණයක් තියනවා, ඒ තමයි  “මේවා අපේ නොවන බව” 


අපට අයිති නැති දේවල් අපේ කරගන්නා ධර්මතාවකටයි සාමාන්‍ය හිත ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වෙන විට මේ කර්මයත් අපේ කරගන්නවා අනුන්ගේ කර්මත් අපේ කර ගන්නවා, මොකද ඒ පසු තලයේ අප ඉන්නවනේ, කර්මය නිර්මාණය කළ සිදුවීමේ ඒ බස් එකේ අපත් වාඩිවී ඉන්නවා. අපවත් වාඩි කරවනවා, ඒ විපාක දෙන්න ඕනේ කෙනත් වාඩි කරවනවා. එක්කෝ ඒ විපාක දෙන්න ඕන කෙනා වෙන වාහනයක් පදවනවා, අප වෙන වාහනයක් පදවනවා නමුත් මුනගස්සවනවා, කර්මය කරන්නේ මුණගැස්වීම්. 


මුණගැස්වීම් බොහොමයක් කරන්නේ කර්මය, එතකොට කෙනෙකුට විපාකය අනිත් කෙනාට අලුත් කර්මයක්. ඒ විදිහට මෙය කවදාවත් ක්ෂය වෙන්නේ නෑ. මුනගස්සවන විට කර්මය දන්නවා සාමාන්‍යය හිතක් මේ අහක තියෙන දෙයක් තමන්ගේ ඇඟේ දාගන්න ස්වභාවය. ඉතින් එතකොට මේ තමන්ගේ ප්‍රශ්නයක් බවට පත්කරගන්නවා. හොඳින් හෝ නරකින් තමන්ගේ ප්‍රශ්නෙ විසඳගන්න එක්කෝ අනිත් කෙනාට උදව් කරනවා එහෙම නැත්නම් කරදර කරනවා. මේ දෙකෙන් එකක් කරනවා. හැබැයි උදවු කරන්නෙත් ඒ තමන්ගෙ ප්‍රශ්නයක් කරගෙන, මගේ ප්‍රශ්නයක් කරගෙන, කරදර කරන්නෙත් මගේ ප්‍රශ්නයක් කරගෙන, කර්මය එතනින් ඉවත් උනත් අර පොලඹවපු කෙනා එතනින් අයින් වුණත් ඉන්පසු අප දිගින් දිගටම ඇදගෙන යනව එතනින් ඉවර කරන්නේ නෑ. පරණ කර්මය එතනින් ඉවරයි එකවරක් කර්මය විපාක දී ඉවර වෙනවනේ. සමහර කර්ම එකපාරයි විපාක දෙන්නේ. ඉන්පසුව අර නියෝජිතයා දිගටම අදගෙන යනකෙනා බවට පත්වෙනවා. තවදුරටත් කර්මය තල්ලුකරන්න ඕනේ නෑ. අප මේ ප්‍රශ්නේ අතට අරගෙන දිවා රාත්‍රී  සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් හිතමින් කියමින් කරමින් අලුත් අලුත් කර්ම රැස් කරනවා. එතකොට බලන්න සමස්ත විශ්වීය කර්ම ගිණුමින් එක කර්මයක් ඉවර වෙන කොට අලුත් කර්ම කීයක් ඇතිවෙනවද, එකක් දෙකක් නොවෙයිනේ, අප කියනවා තව අයට. ඒ අයත් කර්ම කරගන්නවා. මේ දේ හිතනකොටත් හරි භයානකයි. 


මෙයින් නිදහස් වෙන්ට තියෙන හොඳම ක්‍රමය තමා සිහිබුද්ධිය ඇති කරගැනීම. සිහිබුද්ධිය, එය පමණමයි තිබෙන එකම පිහිට, “සිහිබුද්ධිය” කියන වචනය නෙවෙයි. සිහිබුද්ධිය කියල ජපකළාට සිදුවෙන්නේ නෑ, කළයුතු දේ තමා පෙළඹවීමක් එන විට බලන්න මේ පෙළඹවීම ආයිතිකර ගන්නවාවද, මගේ කරගන්නවද, පෙළඹවීමක් විදිහට දකින්න බැරිද, මෙතෙන්ට ආවෙ මෙහෙම කරන්න නොවෙයි, මේ බස් එකට නැග්ගෙ කාටවත් බණින්න නෙවෙයි, වාහනය පදවන්න පටන් ගත්තෙ කවුරුවත් එක්ක මහ පාරේ බැණගන්ට නොවෙයි, මට වෙනම ගමනක් තියෙනවා, එනමුත් දැන් මෙතැන මුණගැසීමක් වෙලා තියෙනවා, ඒ අනිත් කෙනාගේ කර්මය නිසා මුනගැසීමක් වෙලා තියෙනවා, කර්මය මුනගස්වල තියෙනවා අප දෙතුන් දෙනෙකුව. දැන් කර්මය බලාගෙන ඉන්නවා කාගේ අතින්ද මේ කර්ම විපාකය කෙරෙන්නේ, කර්මය හිනා වෙවී බලන් ඉන්නවා. නමුත් සිහිබුද්ධිය තිබුනොත් අපට පුලුවන් කර්මයට හිනාවෙන්න. අපට පුළුවනි අපට හිනා වෙන කර්මයට හිනහෙන්න සිහිබුද්ධිය තිබුනොත්. සිහිබුද්ධිය නැති වුනොත් නම් මොන තරම් බුද්ධිය තියෙනවද ඒ තියන මට්ටමට අප කර්ම කරගන්නවා. බුද්ධිය වැඩිවෙන්න වැඩිවෙන්න වැඩි වැඩියෙන් කර්ම කරගන්නවා. ඒ පෙළඹවීම ඒ ඕනෑ කම මගේ කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නම් එතනින් අපට නිදහස් වෙන්න පුළුවන්. විවේචනය කිරීමේ ඕනෑ කම එන්න පුළුවන්. නමුත් බණින්න අවශ්‍ය නෑ. මේ ලෑස්ති කර තියෙන්නෙ මගේ කට හරහා මේ මනුස්සයට බණින්න. 


මමත්වය ඇතිකරගෙන ඒ සඳහා බිලි දෙනවාද නැත්නම් මමත්වය අතහැරල නිදහස් වෙනවද. මෙහෙම බැලුවොත් නම් ඒක සරළයි, කරන්න පුළුවන් දෙයක්, මේ කර්මය ඒ විදිහට බැලුවොත් ක්ෂය කරන්න පුළුවන්. එහෙම නැතිව මේක ගෙවලා ඉවර කරන්න පුළුවන්, විඳලා ඉවර කරනවා, විපාක විදලා ඉවර කරනවා, මෙපමණ තව ආත්ම ගණනක් ගෙවන්න තියෙනවා, කියා හිතුවොත් නම් ගෙවනවාට වඩා වෙන්නේ රැස් කිරීම, ක්ෂය වෙනවට වඩා වෙන්නේ තැන්පත් වීම. එක කර්මයක් ඇති කර ගත්තහම ඒ ගැන හිත හිත අප අලුත් කර්ම කර ගන්නවා අනිත් අයට කතා කර කර කර්ම කර ගන්නවා  එහෙම නම් ඉවරයක් නෑනෙ. 


නමුත් සිහිබුද්ධියට පුළුවනි කර්ම වලට උත්පත්තිය නොදී ඉන්න. අඩුම ගානේ දවසක එක සිදුවීමකදී හෝ සිහිබුද්ධිය පාවිච්චි කරන්න පුළුවන් නම් මුළු දවසම නොවේ එක සිදුවීමකදී සිහිබුද්ධියෙන් ඉන්න පුළුවන් නම් අපට පිළිවන් මෙතෙකැයි පමණ කළ නොහැකි ජීවිත ගණනාවක ආත්ම ගණනාවක භවයක සංසාරේක යළි යළි මැරි මැරි ඉපදි ඉපදි අලුත් අලුත් කර්ම කරමින් විඳිමින් ගෙවමින් යන්ට තියන ගමනකට නැවතුම් තිතක් තියන්න.  එය කළහැකි දෙයක්, එතකොට කර්මක්ෂය කිරීම කියන එක සිහිබුද්ධිය කරන්නේ, තියෙන කර්ම ගෙවලා ඉවර කිරීම නොවෙයි, එහි ඉවරයක් නෑ, හැබැයි අලුත් කර්ම මොකුත් නොකර සිටීම. එයින් කියවෙන්නේ නෑ මොකුත් නොකර ඉන්නවා කියා මොකුත් නොකර ඉන්නවා නොවෙයි මමත්වයෙන් ක්‍රියා නොකර සිටීම. කර්මයක් වෙන්නේ මමත්වයෙන්,  සංසාරේ නිර්මාණය වෙන්නේ මමතත්වයෙන්, මමත්වය තමා උල්පත ඒ උල්පතින් අප පැන් බිව්වේ නැත්නම් මොන තරම් තිබහ තිබුනත් ඉවසන් ඉන්න පුළුවන්නම් දහම පානය කරන්න පුළුවන්. ධර්මය නමැති උල්පතින් සත්ධර්මය නමැති උල්පතින් අප පානය කරන්න පටන් ගත්තොත් අන්න පටිසෝතගාමි වෙනවා. එතකොට ඉස්සරහට නෙමෙයි ආපහු එන ගමනක්. මෙය නැවත නැවත කියා තිබෙනවා හැම ක්‍රියාවකදීම දොරවල් දෙකක් ඇරෙනවා දැන් අද දකින්නේ අපි මමත්වයේ දොරයි සද්ධර්මයේ දොරයි. මොන දොරින්ද අප ඇතුල් වෙන්නේ ඒ තීරණය වෙන්නේ සිහිබුද්ධිය තියෙනවද නැද්ද මත. ඒ පසුබිම් කතාවත් එක්ක අප භාවනාවට එමු මේ කිවූ කාරණා මොනතරම් දුරට සත්‍යද අසත්‍යද මේ මොහොතේ අපටම තීරණය කරගන්න පුළුවන්ද කියා බලමින් 



භාවනාව 


  • අද අද දවසේ අපේ අතින් සිදුවුණා යැයි කියා හිතෙන ප්‍රබල කර්මයක් හොඳ හෝ නරක මතක් කර ගනිමු. මතක් වන විටත් හා හොඳ වැඩක් කළා කියා සතුටු වෙන නැතිනම් මොන අපරාධයක්ද කියා පසුතැවීමකට පත්වෙන. 

  • මොන තරම් දුරට දැනුවත් බව තිබුණද හිතාමතා තේරුම් බේරුම් කරගෙන ද කිව්වේ කළේ නැතිනම් කියවුණාද. 

  • ඒ විවිධ කෝණවලින් කළ විමර්ශනයක් සමග එකව තුමිය අපි ඒ අත්දැකීම් බෙදාගන්න සාකච්ඡාවට එමු



ප්‍ර. චිත්ත නියාම, ධම්ම නියාම ආදී නියාම ධර්ම කෙලෙස කර්මයට සම්බන්ධවේද?

පි. ඔව්. ධම්ම නියාමයට තමයි කර්ම නියාමයත් අයත්වෙන්නේ. සියලූම නියාම ධම්ම නියාම. කෙලින්ම ධම්ම.,  ධම්ම නියාම ලෙසත් තියෙනවා. බීජ නියාමයත් ධම්ම නියාමයක්. ඒවා ධර්මතා. සාමාන්‍ය සිත අහක තියෙන දෙයක් ඇඟේ දාගැනීම චිත්ත නියාමය. සිහිබුද්ධිය නොමැති සිත කිසියම් සිද්ධියක ළඟ හිටියොත් නැති නම් ලෝකයේ අනිත් පැත්තේ සිදුවන සිදුවීමක් රූපවාහනියෙන් නැරඹුවොත් එයට තමන් සම්බන්ධ වෙනවා. ‘ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්න තිබ්බේ’. ‘මං හිටියානම් මෙහෙමයි කරන්නේ’ ඒ විදිහට. ඒ තමා චිත්ත නියාමය. මෙය අපට වෙනස් කරගන්න පුළුවන්නේ.අනිත් නියාම වෙනස්කරගන්න අමාරුයි. මෙතන වෙනස්කරගන්න තියෙන එකම නියාමය චිත්ත නියාමය. සිහිබුද්ධිය එකතු කළොත් චිත්තයට ඒ චිත්තයේ ක්‍රියාව වන්නේ අර කර්ම නියාමයට පටහැනිව. කර්ම නියාමයට බෑ තවදුරටත් අතකොලුවක් කරගන්න සිහිබුද්ධිය තියෙන හිතක්. එයත් ධර්ම නියාමයක්. සිහිබුද්ධිය නැති හිත මෙහෙමයි වැඩකරන්නේ සිහිබුද්ධිය තියෙන හිත මෙහෙමයි වැඩකරන්නේ කියන ඒ වෙනසත් ධර්මතාවයක්. අපි හිතමු කෙනෙකුට ගැහුවා කියා. එවිට තුවාල වෙන්න පුළුවන් මොකද ශරීරයක් නේ. එතන බීජ නියාමය තමයි ක්‍රියාත්මක වන්නේ. බීජයකින් උපන් ශරීරයක් නිසා. එහෙම නැති ශරීරයකට තුවාල වෙන එකක් නෑ. කර්මය විපාක දෙනකොට ඒ ඒ නියාම හරහා සීමාව ඇතුලේ තමයි කර්මය විපාක දෙන්නේ. කර්මය ඒ හැමදෙයක්ම හදාගන්නවා. ඒවා එකිනෙක සම්බන්ධ වී සංකීර්ණ ආකාරයෙනුයි ක්‍රියාත්මක වන්නේ. මේ කාරණා බලා එහෙම සරලව කියන්න බෑ. බලන්න බලන්න සංකීර්ණ වෙනවා. එහෙම බලන්න ගියාම කෙළවරක් නෑ. හොඳම දේ තමයි චිත්ත නියාමයේදි සිහිබුද්ධිය තිබ්බොත් අහක යන දෙයක් තමන්ගේ ඇඟේ දාගන්නැතිව ඉන්න එක.


ප්‍ර. ‘කර්ම නියාමය’ මා හිතන විදිහට, නියෝජිත වන කේන්ද්‍රය සජීවි හෝ අජීවි දෙකටම වෙන්න පුළුවන්නේද? සමහර කර්ම සජීවි පුද්ගලයෙකු හරහා වෙන්න පුළුවන් වගේම අජිවි දෙයක් හරහාත් වෙන්න පුළුවන් නේද ගුරුතුමණි ?

පි. ඔව්. අකුණක් භූමිගතවීම ගැන බැලුවනේ, සමහරවිට මනුස්සයෙක් හරහා භූගත වෙන්න පුළුවන්. ගහක්, වැස්ස, කන්දක් හරහා උනත් භූගත වෙන්න පුළුවන්. කඳු දෙබෑවෙලා යන්න අකුණු ගහණවානේ. ළඟම තියෙන හොඳම ක්‍රමය තමයි අකුණ බලන්නේ, ඒ වගේමයි කර්මයත් බලන්නේ. එතකොට සමහරවිට මනුෂ්‍යයෙකුම  වෙන්න ඕනේ නෑ. සතෙක් හරහා වෙන්න පුළුවන්. විදුලිය හරහා වෙන්න පුළුවන්. ලිස්සලා වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් බඩගින්නේ ඉන්නවිට අඹගෙඩියක් තමන්ගේ දෙපාමුලට වැටෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම එතන මනුෂයෙක් ම ඉන්න ඕනේ කියා නැහැ. ස්වභාවික දේවල් හරහාත් වෙන්න පුළුවන්. කවුරුහරි කන්දක් උඩින් පහලට ලිස්සලා වැටුනා කියා කන්දට පාපකර්මයක් සිද්ධ වෙන්නේ නෑනේ. අප කළොත් තමා අපට පාපකර්මයක් සිද්ධ වෙන්නේ, අප කවුරුහරි තල්ලු කළොත් අපට  පාපකර්මයක් සිදුවෙනවා. 


ප්‍ර. පුද්ගලයෙකු හරහා කර්මය ගමන්කරන විට ඒ පුද්ගලයා සිහිබුද්ධියෙන් බලා හොඳ කර්මයක් නම් ඒකට ඉඩදෙන්න පුළුවන්. වැරදි ක්‍රියාවක් නම් එම ක්‍රියාව සිද්ධ නොවිමට කටයුතු කරන්න පුළුවන්. එවිට කර්මය අර ඉලක්කයට සන්නිවේදනය වෙන්නේ නෑ. එවිට කර්මය විසින් වෙන මාර්ගයක් සොයාගන්නවාද ගුරුතුමණි? 

පි. කර්ම වල වර්ග තියෙනවා. එක වරක් විපාක දි ඉවර වෙන කර්ම, දෙපාරක් විපාක දි ඉවරවෙන කර්ම, නැවත නැවත-නැවත නැවත විපාක දෙන කර්ම. ඔය විදිහට කර්මයේ ප්‍රබලත්වය අනුව තියෙනවා ප්‍රමාණාත්මක සීමාවන්. එක පාරක් විපාක දෙන කර්මයක් නම් ඒවේලාවේ විපාක දෙන්න බැරි වුනොත් ආයේ විපාක දෙන එකක් නෑ. හැබැයි නැවත නැවත කීප වතාවක් විපාක දීමට නියමිත කර්මයක් නම්, ඔව්. ඒ කර්මය තවත් අවස්ථාවක් බලයි. එක්කෝ අප හරහාම හරි, තවත් නියෝජිතයෙකු හරහා හරි කර්මය බලයි. හැබැයි අනිවාර්යයෙන්ම කවදා හරි විපාක දෙනවා කියලා නීතියකුත් නෑ. මොකද කර්මයත් අනිත්‍යතාවයට යටත් දෙයක්. කර්මය සදාකාලික පරම සත්‍යයක් නොවේ. එය වෙනස් වෙන්නත් පුලුවන් දෙයක්. ඒ නිසා එහෙම වෙන්න පුළුවන්. කුසල කර්ම ක්‍රියාත්මක වනවිට අප සිහිබුද්ධියෙන් බලා තවකෙනෙකුට යහපතක් වෙන්නේ ඒ නිසා ඒක වෙන්න ඉඩඅරිනවා. ඒ තමා හොඳම දේ. වැඩි පිරිසකට හොඳක් වෙන්නේ, යහපතක් වෙන්නේ. ඉතින් එය මා හරහා වෙන්න ඉඩදෙනවා. එතැනදී තමන්ට මොනවත් බලාපොරොත්තු වන්නේ නෑ. හරියට, අප ඉන්න තැනක කෙනෙකු එකපාරට වැටුනා කියා සිතමු. එවිට අප මොනවත් හිතන්නෑනේ අල්ල ගන්නවා. මෙයා කවුද, සුදු ද කළු ද, ලස්සන ද, සල්ලි තියෙනවා ද, උපාධියක් තියෙනවා ද නැද්ද, මොන ජාතියේ ද, ආගමේ ද, ඕවා හිත හිතා ඉන්නෙ නෑනේ. එකපාරටම අල්ලගන්නවා. ඒ අල්ලගන්නකොට අනේ මාත් කවදාහරි වැටුනොත් මේ තැනැත්තා ඇවිත් මාව අල්ලාගනිවී  කියලාවත් හිතන්නෑනේ. මමත්වය ගැන කිසිම සිතිවිල්ලක් නෑ. සමහරවිට බය වෙන්න පුළුවන්. ඒ මමත්වය එතන තියෙන්න පුළුවන්. හැබැයි අප ඒවා කිසිවක් හිත හිතා ඉන්නේ නැතිව ක්ෂණිකව කළයුතුදේ සිහිබුද්ධියෙන් කරනවා. සිහිබුද්ධිය නැතිවුනොත් කම්පනය වෙනවා. ගල්ගැහිලා ඔහේ ඉන්න පුළුවන්. සමහරවිට විනාඩි ගණනක්, පැය ගණනක් ඔහේ ඉන්න පුළුවන් කම්පනයට පත්වුනොත්. කම්පනය කියන්නේ සිහිබුද්ධිය නැත්තටම නැතිවීමේ ප්‍රතිඵලය. සිහිබුද්ධියක් තිබුනොත් එකපාරට අල්ලගන්න පුළුවන්. එතන අප කර්මයක් කරගන්නෙත් නෑ. එහෙම කරගන්න ඕනකමකුත් නෑ. ඒ වෙලාවේ දුරකථන අංකය, ලිපිනය වැනි දේවල් දෙන්න අපට ඕනකමක් නෑ. කුසල කර්මයක්, පුණ්‍යකර්මයක් නොවේ කුසල කර්මයක්. හැබැයි පස්සේ පුණ්‍ය කර්මයක් කරගන්න පුළුවන්.  හිතලා හිතලා, මා ලොකු පිනක් කළේ. ඒ පුද්ගලයත් පිං දෙන්න පුළුවන්, බලාගෙන සිටින අයත් පිං දෙන්න පුළුවන්. අපත් ඒ පිනට සාදු කියලා අනුමෝදන් උනොත් එයින් පුණ්‍යකර්මයකුත් කරගන්න පුළුවන්. හැබැයි ඒවා පසුවයි  කරගන්නේ.


ප්‍ර. ගුරුතුමණි, එදිනෙදා ජීවිතයේදී එක එක දේවල් වලට පටලැවෙන සිත බොහෝ දේවල් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නවා. අපි හිතමු කාටහරි දොස් කියන්න හරි, අවවාදයක් දෙන්න හරි මේවගේ දේවල් සම්බන්ධයෙන් සිතම තීරණය කරනවා. එතකොට අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ සිතම නැවත අපව පොළඹවනවා ඒ ගත්තු තීරණය සාධාරණිකරණය කරන්න. නිවැරදි යැයි ඔප්පු කරන්න. දොස් පැවරුවානම් ඒක හරි, අවවාදයක් දුන්නා නම් ඒක හරි. ඒක මමත්වයද එතන අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් රැස්වෙනවාද? 

පි. මමත්වයට තමයි අවශ්‍ය වන්නේ ඔප්පු කිරීම. මොකද එයාට හැමවේලාවෙම දෙගිඩියාවක් තියෙනවා. සැකයක් තියෙනවා. මමත්වය අඩමානෙට වැඩකරන්නේ. කොච්චර මමත්වය කිව්වත් “මුළු හදවතින්ම, එක හිතින්ම, සියයට සීයක්, සීයට දෙසියක්” ඒ මොන කතන්දර කිව්වත් මමත්වයට එයාම ෂුවර් නෑ. එයාට එයාම විශ්වාස නෑ. ඒ නිසා හැමවිටම මමත්වය මුක්කු හොයනවා. දැන් බලන්න තමන් හදපු කෑමක්, තේ එකක් කොච්චර රහයිද කියලා තමන් දන්නවා. හැබැයි තවකෙනෙක් ඒක රහයි කිව්වොත් තමයි වැඩිය සතුටු. තවකෙනෙක් මුකුත් නොකියා කෑවොත් එහෙම මමත්වයට පොඩි අඩුවක් වගේ. එයාට එයාම ෂුවර් නෑ. එයාට එයාව විශ්වාස නෑ. එයාට එයාව මදි. එයා අඩමානෙට ඉන්නේ. ඒ නිසා පිටින් කෙනෙකු ඇවිත් උදව්වක් කළොත් එයා භාරගන්නවා. පිටින් කවුරුවත් කිව්වෙ නැත්නම් ඔන්න එයාම බලනවා තමන්ට තමන්ම මුක්කුවක් වෙන්න. එහෙම මුක්කුවක් වෙන්න බෑ ඒක වැටෙනවා. කොහොම හරි, “පාලියෙන් හොයන්න පුළුවන්, ඉංග්‍රීසියෙන්, සිංහලෙන්” කොහෙන් හරි හොයලා ඔප්පුකිරීමක් කරනවා කරපු දේ සාධාරණයි කියා. ධර්මතාවලට ඔප්පු කිරීම් අවශ්‍ය නෑ. ඔප්පුකිරීම් අවශ්‍ය වන්නේ සැකය හා අවිශ්වාසය තියෙන තැනක. මමත්වය කියන්නේ සැකය හා අවිශ්වාසයේ මූර්තිය. ඒ කියන්නේ  හොඳටම, පිරිපුන් අවිශ්වාසය හා පිරිපුන් සැකය තමයි මමත්වය. ඒ නිසා තමයි එයා එයා ගැන හොයන්න දෙන්නේ නැත්තේ. එයා කැමති නෑනේ එයා ගැන හොයන්න. මොකද මේක හොයන්න ගියොත් බොරුවක්, මහා විහිළුවක් බව අහුවෙනවා. ඒ නිසා එයා එයා ගැන හොයන්න දෙන්නෑ. අනිත් අය ගැන හොයනවා. ඒ නිසා එතන තියෙන්නේ මමත්වය තමයි.


ප්‍ර. මේ ධර්ම දේශනාව අහනකොට සංවේගයක් ඇතිවුනා අප මේ කර්මයේ අතකොළුවක් වෙලා තියෙන බව දැනගෙන ගුරුතුමණි. මේක නේද අනාත්මය කියන්නේ. අපේ හිත්වලට කර්මය විදිහට බලපාන එක එක දේවල් අප ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ක්‍රියාකිරීම නිසා මහා කර්ම ගොඩකට යටවෙනවා නේද? සිහිබුද්ධියෙන් ක්‍රියාකළොත් විපාකය විපාකයෙන්ම අවසන් කරගැනීමට හැකියාව තියෙනවා නේද? 

පි. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම පුළුවනි. සිහිබුද්ධිය තිබ්බොත් විපාක දෙන්නට තියෙනවා නම් ඒ විපාකය අඩුකරගන්ටත් පුළුවනි. සිහිබුද්ධිය අඩුවෙන්න අඩුවෙන්න විපාකදෙන්න තියෙන පුමාණය තව තව වැඩිකරගන්නවා. ඒ වේලා‍වෙත් විඳිනවා. පස්සෙත් විඳිනවා. අනිත් අයත් එක්ක එකතුවෙලත් විඳිනවා. තනියමත් විඳිනවා. ඒවගේම තමන්ට කොහෙත්ම අදාල නැති දෙයක් තමන්ට අදාල කරගන්නවා. හොඳම උදාහරණය තමයි අජාසත්ත යුවරජුගේ කතාව. දේවදත්ත ස්වාමින් වහන්සේ ඇවිත් අජාසත්ත කුමාරයාට කියනතුරු  ඕන කමක් තිබ්බේ නෑනේ පියා මරා රජවීමට. එහෙම සැලැස්මක් තිබුණු කෙනෙක් නෙවෙයි නේ. පියා ඉන්නකන් රජවීමට අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. පියාගෙන් පසුව රජකම සම්ප්‍රදායිනුකූලව ලැබෙනවා. හැබැයි දේවදත්ත ස්වාමින් වහන්සේගේ අවශ්‍යතාවය ඉටුකරගන්න අජාසත්ත කුමාරයා අතකොළුවක් කරගත්තා. ඒකට අහුවුනා. අහුවෙලා ‘ආනන්තරීය පාපකර්මයක්’ පවා කරගත්තා කියනවානේ. එය තමන්ගේ ඕනකමට කරගත්ත දෙයක් නොවෙයිනේ. හැබැයි ඕනකම ඇතිවුනාට පස්සේ හිතුවා තමන්ට රජවෙන්නට ඕනේ කියලා. ‘මට රජකම ගන්න’ කියලා. අජාසත්තට රජකම අරන් දෙන්න පිරිසිදු චේතනාවක් නෙමෙයිනේ දේවදත්ත ස්වාමීන් වහන්සේට තිබුනේ. තමන්ගේ කාර්යයට අතකොළුවක් කරගන්න. අහිංසක අජාසත්ත කුමාරයා ඒකේ අතකොළුවක් බවට පත්වුනා. අතකොළු බවට පත්වීමේ මෙවැනි උදාහරණ දකින්න දකින්න ඇතිවෙනවා මෙතකැයි කියන්න බැරි මහා සංවේගයක්. හැබැයි ඒ සංවේගයෙන් කම්පා වෙවි ඉන්ට නොවෙයි තියෙන්නේ. වහවහා සිහිබුද්ධිය ඇතිකරගන්න. අජාසත්ත කුමාරයාට සිහිබුද්ධිය තිබුණානන් දේවදත්ත ස්වාමින් වහන්සේගේ අවශ්‍යතාවය උන්වහන්සේටම ඉටුකරගන්ට කියයිනේ. ‘තමන් කුමකටද ඒ කර්මෙට කරගහන්නේ’ කියා පැත්තකට වෙන්ට තිබුණා. හොඳ බුද්ධිමතෙක්නේ අජාසත්ත කියන්නේ. බුදුරජාණන් වහන්සේ මුණගැ‍සෙන්න ආ අවස්ථාවලදි ඇසූ ප්‍රශ්ණ තියෙනවා හරි බුද්ධිමත් ප්‍රශ්ණ. බුද්ධිය තිබුණා. සිහිබුද්ධිය තිබුනේ නෑ. බුද්ධිය තිබුණ හින්දා තමා එහෙම කර්ම කරගත්තේ අජාසත්ත. ආනන්තරිය පාපකර්මයක් කරගන්න ලැබෙන්නේ නෑ බුද්ධිය තිබුණේ නැත්නම්. රජකෙනෙක්ව මරන්න බෑනේ බුද්ධියක් නැත්නම්. හැබැයි සිහිබුද්ධිය තිබුනේ නෑ.


ප්‍ර. ‘සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සිලබ්බත පරාමාස’ කියන මුල් සංයෝජන තුන නැතිකර ගැනීම තුලින් කර්ම ක්ෂයකරගන්න පුළුවන් අවස්ථාවක් කියලා මම අහලා තියෙනවා. ඒ සංයෝජන තුන පිළිබඳව විස්තර කරන්න පුළුවන්ද ගුරුතුමණි?  

පි. එතන වෙන්නේ, අහලා තියෙන විදිහට ඔය මුල් සංයෝජන තුන සංසාරෙට බැඳලා තියෙන ඒ බැමි දහයෙන් තුනක්ම කපලා දැමිමක් නේ මූලික ධර්මාවබෝධයේදි සිද්ධ වෙන්නේ. ඒ නිසා ලැබෙන ප්‍රතිඵල කිහිපයක් තියෙනවා. එකක් තමයි රතන සූත්‍රයට අනුව “නතේ භවං අට්ඨමං ආදියන්ති” “අටවෙනි පැවැත්මක් නම් නැත” කියන එක. එවිට පැවැත්ම ‘හතකට’ සීමා වෙනවා. ඒ සංයෝජන තුන කපලා දැම්මේ නැත්නම් සීමාවක් නෑනේ පැවැත්මේ. භවයේ සීමාවක් නෑ. නමයක් ද, දහසයක් ද, තිස්දෙකක් ද සීමාවක් නෑ. කෙළවරක් නෑ. එතකොට කෙළවරක් නැතිව විපාක දෙන්ට තිබුණු ඒ විපාකයන් හතකින් එහා කපලා දානවා. බලන්න ඉන් එහා අහෝසිවෙලා යන කර්ම කොතෙකුත් තිබේද? ගණන් කරන්න බෑ නේ අහෝසිවෙලා යන කර්ම සංඛ්‍යාව. ඉතිරිවෙන්නේ බොහොම ටිකයි. ඒ නිසා තමයි සමහර විචාරකයන් කියන්නේ ‘අරහත් ඵලයට පත්වෙන විට ක්ෂයකරණ කර්ම සංඛ්‍යාව අබ ඇටයක් තරම නම්, සෝතාපත්ති ඵලයට පැමිණෙන විට හිමාලය තරම් ප්‍රමාණයක් කර්මක්ෂය කරණවා’ කියා. ඒක උපමාවක්, සංකේතයක්. හැබැයි හොඳට බැලුවොත් ඇත්තක් තියෙනවා. 

“සක්කාය දිට්ඨිය” කියන්නේ තමන් පිළිබඳ තිබෙන දිට්ඨිය, තමන් පිළිබඳව තිබෙන පිළිගැනීම. ‘මම’ පිළිබඳ ‘මම’ කොහොමද හිතන් ඉන්නේ කියන එක. ‘මම කියන හැඟීමට’ නෙමෙයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය නැති වුනා කියා මම කියන හැඟීම නැතිවෙන්නේ නෑ. නැති වුවානම් එතනින් ඉවරයිනේ. තව එහාට තියෙනවානේ. ‘කාම රාග, පටිඝ,’ මේවා තියෙන්න බෑනේ මමත්වය නැතිවෙලා. ඒ නිසා සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයට නොවෙයි. තමන් පිළිබඳ ඇතිකරගෙන තිබෙන ප්‍රතිරූපයට. මම කියන ප්‍රතිරූපය කොහොමද හැදෙන්නේ? කඩදාසි, පල්ප්, මැටි, ප්ලාස්ටර් ඔෆ්පැරිස් මේවගේ මොනවාහරි ඕනනේ ප්‍රතිරූපයක් (Image) හදන්න. එහෙනම් මම කියන ප්‍රතිරූපය හදන්නේ මොන අමුද්‍රව්‍යවලින් ද? ඒකට අමුද්‍රව්‍ය පහක් තියෙනවා. ඒකෙන් තමයි මම කියන ප්‍රතිරූපය හැදෙන්නේ. හයක් නෑ. පහයි. එ පහට තමයි “ස්කන්ධ පංචකය” කියන්නේ. රූප, වේදනා, සං‍්ඥා, සංඛාර, විඤ්ඤාණ. මේවා වචන. ලැයිස්තුනේ. මේවා කිවුවාට එහෙම ප්‍රශ්ණේ විස‍ඳෙන්නේ නෑ. හැබැයි මෙහෙම නොකියත් බෑ නේ. ඉතින් මේ අමුද්‍රව්‍ය පහ අරගෙන තමා සක්කාය දිටිඨිය හදන්නේ. තමන් පිළිබඳ ප්‍රතිරූපයක් හදාගන්නේ. රූපය කියන අමුද්‍රව්‍ය, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන අමුද්‍රව්‍යවලින් තමන් පිළිබඳ ප්‍රතිරූපයක් හදාගන්නවා. රූපය අරගෙන මෙන්න මම කියා ප්‍රතිරූපයක් හදාගන්නවා. වේදනා අරගෙන මෙන්න මම කියා ප්‍රතිරූපයක් හදනවා. තමන් පිළිබඳ හරියට නොදන්නාකම නිසා මම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිකම නිසා හිතනවා මම තමයි රූපය. මම තමයි විඳීම. මම තමයි හඳුනා ගැනීම. මම තමයි ඕනෑ එපාකම්. එයින් පිට එකක් නෑ. ඔය ටිකෙන් එකක්, දෙකක්, තුනක්, හතරක්, පහක් අරගෙන ප්‍රතිරූපයක් හදනවා. ඒ ඒ වේලාවේ හැටියට ප්‍රතිරූපයක් අඹනවා. හැම වේලාවෙම ප්‍රතිරූපයක් එක්ක තමයි ජීවත් වෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙනකන් අපි අපත් එක්ක නොවෙයි ඉන්නේ ප්‍රතිරූපත් එක්ක. ඉතින් ඒනිසා තමයි මේ ප්‍රතිරූප නඩත්තු කරන්න සිද්ධවෙන්නේ. තමන් නඩත්තු කරණවාට වඩා මහන්සියක් ගන්නවා තමන් පිළිබඳ හදාගෙන ඉන්න ප්‍රතිරූප නඩත්තු කරන්න. ඒ නිසාම තමයි අනිත් අය මාව තේරුම් ගන්නෑ කියන ප්‍රශ්ණ ඇති වෙන්නේ. සක්කාය දිට්ඨියෙන් තමයි ඒ ප්‍රශ්නෙත් එන්නේ. සක්කාය දිට්ඨිය යම් පමණකට ඇත්ද ඒ පමණටම ගැටලුව ඇතිවෙනවා අනිත් අය මාව තේරුම් ගන්නෑ කියන. ඒ කියන්නේ අනිත් අය තේරුම් ගන්නවාද නැද්ද කියලා නෙවෙයි මෙතන ප්‍රශ්ණය තියෙන්නේ, මගේ ප්‍රතිරූපය අනිත් අය පිළිගන්නෑ කියන එකයි ප්‍රශ්ණය. අනිත් අය මං ගැන හදලා තියෙන ඒවා වැරදි. මං ගැන මං හදාගත්ත ප්‍රතිරූපය තමයි හරි. මං ගැන මම අඹාගෙන තියෙන පිළිමෙ තමයි හරි. වෙන අය මං ගැන වෙන පිළිම හදාගෙන තියෙනවානම් ඒවා වැරදි. ඒ අයට ඔප්පුකරන්නත් හදනවා ඔය මම නෙවෙයි. ඒ විදිහට හිතන අය මට ඕන්නෑ. මෙයා නම් මං ගැන හරියට හිතනවා. නිවැරදිව  හිතනවා. නිවැරදිව හිතනවා කියන්නේ මං හිතාගෙන ඉන්න විදිහටම එයත් හිතනවා. ඕක තමයි සක්කාය දිටිඨය කියන්නේ. 


ප්‍ර. අපි භාවනාවක යෙදිලා ඉන්නවිට සමහර වේලාවට නිදිමත එනවා. එහෙම නැත්නම් විවිධ සිතුවිළි කරපු දෙයක් හරි, කරන්න තියෙන දෙයක් හරි එනවා. මෙහෙම දිගින් දිගටම එන්නේ අපි කළින් කරපු අකුසල කර්මවල හේතුවෙන්ද?  

පි. නිදිමත ඉතින් අකුසලයක් නේ. “ථීනමිද්ධය”, එයින් අකුසලයක් වෙන්න පුළුවන්. කළයුතුදෙයක් අපේ අතින් කෙරෙන් නෑ. කල් දානවා. බෑ කියලා හිතෙනවා. ඒක අකුසලයක්. ප්‍රමාදයනේ. එවිට හේතු බලන්න. ඇයි මෙහෙම වෙන්නේ, හැමදේටම නිදිමත එනවාද? ඒ වෙලාවේ භාවනාව නවත්තලා වෙනදෙයක් කලොත් ඒත් ඒ විදියටම නිදිමත එනවාද බලන්න. වෙනවේලාවක භාවනා කළොත් ඒත් නිදිමත එනවාද බලන්න. එහෙම බලන්න. එහෙම ටිකක් හොයන කොට නැති වේලාවලුත් හම්බවෙයි. හැමවෙලේම නිදිමත එන්නෑ. අන්න එහෙම වේලාවක ටිකක් භාවනා කරන්න. ආයේ ටික දවසක් යනවිට ඒ වේලාවෙත් නිදිමත එයි. හොරා පොලිස් වැනි සෙල්ලමක් කරකර යන්නත් පුළුවන්. වාඩිවෙලා භාවනා කරනවිට නම් නිදිමත එන්නේ සක්මන් භාවනාව කරලා බලන්න. වාඩිවෙන තැනම හිටගෙන භාවනා කරන්න. මේ ආකාරයට මුහුණට මුහුණ සටන් කිරීමක් නොවෙයි කරන්නේ අකුසල එක්ක. උපක්‍රමශීලිවීම. සිහිබුද්ධිය හැම විටම උපක්‍රමශීලියි. එයා බලනවා කොහොමද රිංගලා යන්න දොරක් හොයාගන්නේ කියා. ඒ දොර ඒ වෙලාවට විතරයි. හැම වේලාවෙම ඒ දොර ඇරලා නෑ. ආයෙත් වෙලාවක තව දොරක් ඇරෙයි. හැම වෙලාවෙම කොහේහරි දොරක් ඇරලයි තියෙන්නේ. ඒ දොර හොයාගන්න එකයි අපේ කාර්ය වන්නේ. කොතනින්ද එළියට යන්නේ. සිහිබුද්ධිය තිබුනොත් ඔන්න ඒ දොර හොයාගන්න පුළුවන්. සිහිබුද්ධිය නැති උනොත් මේ දොරත් වැහිලා ඒ දොරත් වැහිලා කියා වැහිච්ච දොරවල් ගැන හිත හිතා ඉන්න එක තමයි කරන්නේ.හොඳට හොයලා බලන්න ඇයි මෙහෙම නිදිමතක් එන්නේ. ඒකට හේතුව හොයන්න. සමහර විට රාත්‍රියේ නින්දේ අඩුවක්, ප්‍රමාණයේ අඩුවක්, එක්කෝ නින්දේ ගුණාත්මක අඩුවක්, තව හේතු තියෙන්න පුළුවන්. සමහර විට ශාරීරිකව යම් යම් ඛණිජ ලවණ වල අඩුවක් නිසා නිදිමත එන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමා පැහැදිලිව හේතු හොයාගන්න එක. කායික හේතුවක් ද, මානසික හේතුවක් ද, පාරිසරික හේතුවක් ද? සමහරවිට ඔය සියල්ලම එකට කලවම් වෙලත් හේතු හැදෙන්න පුළුවන්. ඵල හැදෙනවා ඔක්කොම හේතු කලවම් වෙලා. එහෙම හොයා ගත්තොත් ඔන්න විසඳාගන්න නම් ලේසියි. හැබැයි කෙලින්ම මේක පරණ අකුසලයක් නිසා වෙන්නේ කියලා හිතුවොත් නම් අපි විසඳන්න යන්නේ නෑනේ. කවදා හරි මේක විපාක දිලා ඉවරවුන දවසක භාවනා කරණවා කියා හිතනවානේ. ඒ නිසා හොඳම දේ තමා හේතු. “පට්ච්ඡ සමුප්පාදය” කියන්නෙත් ඒකමයි. මේ විදියට බලපුවාම පටිච්ඡ සමුප්පාදය තමයි අවබෝධ වෙන්නේ. එය තමයි වටින්නේ.


ප්‍ර. සිත, කය, වචන යන තුන්දොර පරිස්සම් කරගත්තොත් සිහිබුද්ධියට ඉතාම පහසුවෙන් පුළුවන් නේද විශ්ව කර්මය හරහා යන දේ භාරගන්නැතිව තැන්පත් සිතින් ඉන්න. අනිත් කාරණය ගුරුතුමණි, මේ කර්ම නියාමය අපි දන්න නියාමවලින් පහෙන් එකක් පමණයි. තවත් දේවල් තියෙනවා. සිහිබුද්ධිය විවෘතකර ගැනීමෙන්, චිත්ත නියාමයෙන් විශ්වය හරහා එන කර්මය හැකිතාක් දුරට ප්‍රහීණ කරගන්න පුළුවන් නේද? එසේම එය මමත්වය ක්ෂය කරගන්න බලපානවා නේද?

පි. ඒ කාරණා දෙක කළයුතු මෙන්ම කළහැකි ඉතා වැදගත් කාරණා දෙකක්. චෛතසික ක්‍රියා, වාචසික ක්‍රියා, කායික ක්‍රියා යන ඒ කාරණා තුනෙන්නේ කර්මයක් වෙන්නේ. ඒ නිසා සිහිබුද්ධිය භාවිතා කරලා ඒ ගැන අවධානයෙන් සිටියොත් කොහෙන් කඩාගෙන පාත්වුනත්, මොන පෙළඹවීම ආවත් අපිට පුළුවන් අපිව පරිස්සම් කරගන්න. ඔය දොරටු තුනේ දොරටු පාලකයන් විදිහටයි අපිට ඉන්න තියෙන්නේ. එහෙම හිටියොත් අපිට පුළුවන් අපිව පරෙස්සම් කරගන්න. එසේම අපිට පුළුවන් අනිත් අයවත් පරෙස්සම් කරන්න. මෙයත් ඉතා වැදගත් කාරණයක්. 

අප කිසියම් සිද්ධියකට කෝප අරගෙන එම කෝපයත් සමඟ නිවසට හෝ කාර්යාලයට ආවොත් එතන ඉන්න අහිංසක මිනිසුන්ටත් මේ සිද්ධිය කියන්නේ, තරහා යන විදිහට. ඒ අයට කරුණාව ඇති වෙන විදිහට නොවෙයිනේ කියන්නේ. ඒ අයටත් තරහා යනවා. ඒ අයටත් කර්ම රැස්කරවනවා. අප ඒකටත් ගෑවෙනවා. හේතුවක් වෙනවා. අලුත් කර්මයකුත් රුස්කර ගන්නවා. පරණ කර්මයත් කරගත්තා. ඒක උඩට තවත් කර්මයක් කරගත්තා. මේකේ ඉවරයක් නෑ ඔයවිදිහට ගියොත්. එම නිසා හිතවතුණි සිහිබුද්ධියෙන් යුතුව කය, වචන, සිත පරෙස්සම් කරගත්තොත් දීර්ඝ වූ සංසාරයක් හදා ගැනීම නවත්තන්න පුළුවන්.

ඒවගේම ‘මමත්වය’ පිළිබඳ කාරණය. ඒ වචනෙට ලොකු බරක් දාලා ‘කෝකටත් තෛලය’වගේ, හැම දේටම මමත්වය මමත්වය කියනවා. මේ වචනේ නෙමෙයි වැදගත්. කොහොමද මේ ‘අහකයන දෙයක් තමන්ගේ ප්‍රශ්ණයක් කරගන්නේ නැතිව ඉන්නේ’ කියන කාරණයයි වැදගත්. ප්‍රශ්ණයක් නැති තැන් පවා සමහරවිට අපි ප්‍රශ්ණයක් කරගන්නවා. අවුරුදු පන්සීයකට විතර කලින් වෙච්ච සිද්ධියක් අපි පොතකින් කියවන විට ඔන්න ඒක අපි ප්‍රශ්ණයක් කරගන්නවා. ඒක මෝඩකමක්. මමත්වය හරි මෝඩයි. සිහිබුද්ධිය සමඟ කරන එකක් නොවෙයි අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න එක. මේ කාරණය සම්බන්ධයෙන් හොඳ අවධිමත් භාවයකින් හිටියොත් චිත්ත නියාමය වෙනස් කරගන්න පුළුවන්. ඒවාගේම චිත්ත නියාමය වෙනස් කරගත්තොත් බීජ නියාමය, ඍතු නියාමය, කර්ම නියාමය යන අනිත් නියාමයන් වෙනස් කරගන්න පුළුවන්.මෙතන තමයි පටන් ගන්න හොඳම තැන. චිත්ත නියාමය. නමුත් අවාසනාවකට හැමතැනින්ම පටන්ගන්න හදනවා. ධර්ම නියාමය, කර්ම නියාමය, ඍතු නියාමය. ලෝකය මේ හැම එකකින්ම පටලැවිලා. ගොඩ එන්න බැරිතරමටම පටලැවිලා. දහම තමයි කියන්නේ, මේක චිත්ත නියාමයෙන් වෙනස්කරගන්න කියා. චිත්තයට සිහිබුද්ධිය එකතු කළොත් චිත්ත නියාමය වෙනස් වෙනවා. චිත්ත නියාමය වෙනස් වෙනවිට අනිත් සියළුම නියාමයන් වෙනස් වෙනවා.


ප්‍ර. මෛත්‍රිය කියන විශ්ව ධර්මතාවය නිසා හිතේ තියෙන මමත්වය වැනි සන්තානයන් අඩුවෙලා යනවානේද?

පි. ඔව්. මෛත්‍රියේදි මමත්වය අඩුවෙනවා. මමත්වය වැඩි වෙන්න වැඩි වෙන්න එය සෙනෙහසක් නැත්නම් පෞද්ගලික හිතවත් කමක් බවට පත්වෙනවානේ. ඒ සීමිත කේන්ද්‍රය ඇතුලේ හිරවෙලා සිටීමෙන් එලියට එන එකතමයි මෛත්‍රිය කියන්නේ. ඒ නිසයි මෛත්‍රිය අප්‍රමාණයි කියා කියන්නේ. මමත්වයට ප්‍රමාණයක් තියෙනවා. මමත්වය අප්‍රමාණ හීන දැක්කට මමත්වය හරි පුංචියි. පුංචි හිත් තමයි ලොකු හීන දකින්නේ. මමත්වය සහ එහි සීමාව හඳුනාගන්න පුළුවන්නම්, එතනින් එළියට එන්න පුළුවන්නම් එන්න. එවිට එතන නිකම්ම මෛත්‍රියක් තියෙනවා. එය අන්‍යෝන්‍යව යන දෙයක්. මමත්වය නැති තැන මෛත්‍රිය ස්වභාවිකව තියෙනවා. මමත්වය තියෙන තැනින් මෛත්‍රිය පටන්ගන්න පුළුවන්. මමත්වය තියෙන තැන මෛත්‍රිය ස්වභාවිකව මතුවෙන්නේ නැති නිසා කෘතිමව පැලකරවා. මෛත්‍රියත් තියෙනවා. මමත්වයත් තියෙනවා. මෛත්‍රියට පොහොර දානවා. මමත්වයට දාන්නෑ. මමත්වය මෙයට කැමති නැති නිසා මෛත්‍රිය වැඩීම මමත්වයේ කාර්යයක් විදිහට භාරදෙනවා. හිතවත් අයට, නෑදැයන්ට මෛත්‍රි කරණවා. එහෙම කරලා ඔයාගේ නොවන අයට මෛත්‍රි කරන්න බෑ නේද කියලා අහන කොට මමත්වය ‘බෑ’ කියන්න අකමැති නිසා ‘ඇයි මට බැරි’ කියා එය භාරගන්නවා. ඔය විදිහට ‘ඔයා අකමැති අයට’, ‘බැණුම් අහපු අයට’ මෛත්‍රි කරන්න හුරුකරණවා. මේ ආකාරයට මමත්වයට එපාවෙනකම් කරගෙන යන්න ක්‍රමයක් මෛත්‍රි භාවනාවේ තිබෙනවා. පූර්ණ වශයෙන් මෛත්‍රිය වර්ධනය වන විට මමත්වය සම්පූර්ණයෙන් නැතිවන තැනට එනවා කියන එක කියන්න බෑ. එහෙම නැතිව බැලුවොත් අසීමිත වූ,  අප්‍රමාණ වූ මෛත්‍රියට එන්න මමත්වය ඕන් නෑ. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා”.


ප්‍ර. ගුරුතුමණි, මමත්වය කියන්නේ සක්කාය දිට්ඨියේම කොටසකට නේද? 

පි. නෑ. සක්කාය දිට්ඨියේ කොටසකට නෙවෙයි මමත්වය කියන්නේ. සක්කාය දිට්ඨිය නැති වුනා කියා මමත්වය නැති වෙන්නේ නෑ. ඒ නිසානේ අනාගාමි වුනත් මානය වගේ දේවල් ඉතිරිවන්නේ. මමත්වය නැතිව කොහොමද මානයක් තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ තමන් පිළිබඳව ඇතිකරගෙන තියෙන වැරදි ප්‍රතිරූපයට. එතන තියෙන පලමු කාරණය තමයි සක්කාය දිට්ඨිය හිතන්නේ ‘මම තමයි විශ්වයේ සාරය’ කියා. මොකටද මේ සාරය කියන්නේ හරය කියන්නේ රුපයට, වේදනාවට ආදි මේ පහෙන් එකකට. මේවායේ එකකවත් සාරය නෑ. රූපයේ සාරය නෑ කියලා දන්නවා. හැබැයි රූපය ආශ්‍රයෙන් හදාගන්නා මම හරිම සාරවත් කියා හිතනවා. 

මේක නිකන්ම නැති වෙන් නෑ. එක ක්‍රමයක් තමයි, ‘මම කියන්නේ හරවත් දෙයක් ද’ කියා නැවත නැවත බැලීම. ‘හරය මොකක්ද’ ‘සාරය මොකක්ද’ කියා විපස්සනා කිරීමෙන් සක්කාය දිට්ඨිය නැති වෙන්න පුළුවන්. දෙවන ක්‍රමය තමයි විශ්වයේ තිබෙන සාරය මොකක්ද කියා සොයා ගැනීම. විශ්වයේ සාරය අපි දන්නෑනේ. දන්න කෙනෙක් අපිට කියන්නම ඕනේ. ඒක තමයි ධර්ම ශ්‍රවණය කියන්නේ. සැබෑ සාරය දුටු කෙනෙක් දේශණයක් කරන විට හොඳ සිහිබුද්ධියෙන් අහගෙන සිටියොත් අන්න ප්‍රත්‍යක්ෂ වෙනවා මේ තමයි සාරය කියා. ‘මම නොවෙයි සාරය. මේ තමයි සැබෑ සාරය’. එයට කියනවා “ධම්මසාර” කියා. ධර්මය තමයි සාරය. මේක තේරෙන්න නිකම්ම භාවනා කරනවා වෙනුවට සාරය දුටු දහමක් අහන්න ඕනේ. සාරය දුටු දහමක් අහනකොට අපිත් සිහිබුද්ධියෙන් නම් අහන් ඉන්නේ අන්න එතනදි මෙනෙහි කිරීමත් එක්ක යෝනිසෝ මනසිකාරයත් එක්ක හිටියොත් තේරෙනවා. ධර්මය තමයි සාරය. එය තේරෙනකොට මම අසාරයි කියා තේරෙනවා. මම සාරයි කියා ගත්තොත් තමයි සක්කාය දිට්ඨිය එන්නේ. මම අසාරයි. මම නිස්සාරයි. ධර්මය තමයි සාරය. ඔය ක්‍රම දෙක තියෙනවා. ධර්ම ශ්‍රවණයේදි සක්කාය දිට්ඨිය නැති වෙන්න පුළුවන්. නැත්නම් තමන් පිළිබඳව කරන විපස්සනාවකින් නැති වෙන්න පුළුවන්. 


ප්‍ර. වර්තමානයේ මේ මොහොතට අවධිවීමෙන් කර්මක්ෂය වෙනවා නේද? ගුරුතුමණි.

පි. මේ මොහොතට එන්න පුළුවන්නම් අතීතයත් එක්ක තිබුණු බැදීම් අතහැරෙනවා. අනාගතය පිළිබඳ ජපකරකර මේ මොහොතේ ඉන්ටත් බෑ.එහෙම වුනොත් හොඳයි, මෙහෙම වුනොත් හොඳයි යනුවෙන් හිත හිත මේ මොහොතේ ඉන්ට බෑනේ. එවිට මේ දම්වැලේ දෙපැත්තේම පුරුක් කපලා දානවා. අතීත පුරුකත් අනාගත පුරුකත් ගලවනවා. ඉතිරි වන්නේ මේ ක්ෂණය තමයි. මේ ක්ෂණයේ හිටියොත් අතීත කර්මවල විපාකය දෙන්න අමාරුයි. විපාක දෙන්න නම් ඒ පරම්පරාවක් තියෙන්න ඕනේ. සම්බන්ධයක් (link), දාමයක් තියෙන්න ඕනේ. පූර්ණ වශයෙන් අවධියෙන් ඉන්න පුළුවන්නම් සම්බන්ධ  (link) නොවී ඉන්න පුළුවන්. සම්බන්ධ නොවී දාමයක් හදන්නැතිව ඉන්න පුළුවන්. කර්මයක් අතීතය පැත්තෙන් විපාක දීමෙනුත් සෑහෙන දුරට බේරෙන්න පුළුවන්. අනාගතයේ විපාක දියයුතු කර්ම සිදුවීමෙනුත් බේරෙනවා. වැඩියෙන්ම වැදගත්වන්නේ ඉස්සරහට සිදුවෙන්න තියෙන දේවල් නොකර සිටීම. අතීතයේ වෙච්ච දේ විපාක දෙනවාද නැද්ද යන්නට වඩා  වැදගත් වන්නේ අළුත් කර්ම නොකර ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා වර්තමානයේ සිටිමෙන්. 


ප්‍ර. සංසාරයේ සිහිබුද්ධියෙන් ගමන් කරන කොට සේඛබල වර්ධනය කරන කොට ඒක ක්‍රියාවකට උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරණවා නේද? ගුරුතුමණි. 

පි. ඒවා අවශ්‍යයි. අපි දැඩිව හික්මවාගන්න. ඒ මේවලම් ඕනේ. ඒවා නැතිව බෑ. හැබැයි සිහිබුද්ධිය තිබනොත් තමයි සේඛබල මොනවාද කියා සොයාගන්න පුළුවන්වෙන්නේ. සිහිබුද්ධිය නැති අවස්ථාවේදී පිහිය ඕනේ තැනට, මන්නේ ගන්න පුළුවන්. මන්නේ ඕන තැනට පොරොව ගන්න පුළුවන්. එයින් අනතුරක් කරගන්නවා මිසක් වැඩේ කරගන්න බෑනේ. ඒවා අනිවාර්යෙන්ම ඕනේ. හැබැයි සිහිය තිබුනොත් තමයි නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ.

ප්‍ර. මමත්වය නිසා කුසල කර්මත් සිදුවෙනවා නේද? ගුරුතුමණි. අපි පාරේ යනකොට බල්ලෙක් ඉන්නවා දැකලා අපේ කෑම එක දෙන්න හිතෙනවා. මමත්වය නිසා නේද එහෙම හිතෙන්නේ? ඒක අපි කලේ නැත්නම් හෘද සාක්ෂිය දොස් කියනවා. කොහොමද මේ පටලැවිල්ලෙන් ගැලවෙන්නේ? හෘද සාක්ෂිය කියන්නේ මමත්වයේ කොටසක්ද? 

‍පි. ආපිට දොස් කියනවානම් ඒ මමත්වය තමා. එයා කොහොමත් දොස් කියනවා. කෑම එක දුන්නත් දොස් කියනවා. නොදුන්නත් දොස් කියනවා. මමත්වයෙන් නම් දොස් නාහා ඉන්න බැරිවෙයි. මොකද මමත්වයට කිසිම දෙයක් සියයට සියයක් විශ්වාස නෑ. එනිසා එවෙලෙට හරි කියනවා. පස්සේ වැරදි කියනවා. මේ කාරණය තේරුම් අරගෙන මමත්වයෙන් දොස් අහන්න වෙයි කියලා යමක් කිරීම හෝ මොකුත් නොකර සිටීම මෝඩකමක්. හිත දොස් කියයි කියා හෝ සිත ප්‍රශංසා කරයි කියා මේ කාරණය උඩ වැඩකරන්න ගියොත් නම් අපි අමාරුවේ වැටෙනවා. මොකද සදාකාලික ප්‍රශංසා ලැබුණු කෙනෙකුත් නෑ, බැණුම් නාසපු කෙනෙකුත් නෑ. 

එතනදි බලන්න ඒ සත්ත්වයා විඳින දුක. බඩගින්නේ වේදනාව. එතනදි ඇතිවන සංවේදීතාවය උඩ බඩගින්න නිවීමේ පරමාර්ථයෙන් කෑම ටිකක් දෙන්න. එතනින් ඉවරයි. බල්ලා කනවාද, වෙන බල්ලෙක් කනවාද ඒ කිසිවක් ප්‍රශ්ණයක් නොවේ. ඒක එතනින්ම ඉවරයි. ඒසේ ඉවර වෙන අයුරින් කටයුතු කිරීම සඳහා හැම මොහොතක්ම සිහිබුද්ධියෙන් සිටීම අවශ්‍ය වෙනවා. සිහිබුද්ධිය අඩුවන මොහොතකින් එතනට මමත්වය රිංගනවා. රිංගලා එයාගේ කරගන්නවා. කරුණාවෙන් කරපුදෙයක් එයාගේ කරගන්නවා. මමත්වය රිංගලා මගේ කරුණාවෙන් තමයි කලේ කියා කියනවා. ඒ වෙනස තමයි තියෙන්නේ කුසලයේ සහ පුණ්‍ය කර්මයේ. 

පුණ්‍ය කර්මයේ සියයට සියයක්ම මමත්වය තියෙන්නේ. කුසල කර්මයට එනවිට එතන ඇත්තේ කුසලයක්. නමුත් ඒ අතරට මමත්වය රිංගලා පිනක් කරගන්න හදනවා. පිං රැස්කරගන්න ගිහිල්ලා පිනෙන් විතරක් නැවතුන කෙනෙක් නෑ. අකුසලුත් කෙරෙනවා. සියයට සියයක් සුදු කර්මත් නෑ. කළු කර්මත් නෑ. නමුත් කුසලය එසේ නොවේ. සුදුනම් සුදු. කළුනම් කළු. 


ප්‍ර. උදාහරණයේ බල්ලා දකින අවස්ථාවේ බල්ලා කළ කර්මයක් නිසයි එසේ වන්නේ කියා ධර්මානු පස්සනාවෙන් බලා අපි ගියො? 

පි. ඔවු එසේ පුළුවන්. හැබැයි අපි දන්නෑ කෑම එකක් කන්න පිනකුත් කරලා තියෙනවාද කියා. ඒ නිසා කර්මයගැන අපිට හරියටම අනාවැකි කියන්න බෑ. අනුමාන විතරයි කරන්න පුළුවන් වෙන්නේ. පූර්ව හේතු හොයන්න බෑ. ඊලඟට වැදගත් කාරණය තමයි කුසලය කියලා කියන්නේ කරන්නට තියෙන දෙය කිරීම පමණක් නොවේ. කළයුතුදේ නොකිරීමත් අකුසලයක්. බරපතල අකුසල කර්මයක්. ඒ අකුසලයේ විපාක අපි කවුරුත් විඳිනවා. සමහරවිට ඒ වෙලාවේ කරන්න තියෙන දේ තමයි කෑම එක දෙන එක. කරන්න තියෙන දේ කරන්න. වැඩිය හිතන්න යන්න එපා. 

හොඳයි. මේ කියන්න යන දේ නම් බෞද්ධ විග්‍රහයක් නම් නොවෙයි. නමුත් එහි හිතන්න කාරණයක් තියෙනවා. බුදු දහම පහළවීමටත් කලින් ඉදලා අපාය හා දිව්‍ය ලෝක පිලිබඳව විවිධ විග්‍රහයන් ඉදිරිපත් වී තිබෙනවා. මධ්‍ය කාලීන යුගයේ වගේ හිටිය ප්‍රකට දාර්ශණිකයෙක් තමයි ඉතාලි ජාතික ‘දාන්තේ’. එතුමා අපාය ගැන කාව්‍ය ග්‍රන්ථයක් ලියලා තියෙනවා. ඒකෙදී කියනවා අපායේ ගැඹුරුම තැන, ඒ කියන්නේ දුකම තියෙන තැන, වැඩිපුරම විඳවන්නේ කවුද කියා. මනුෂ්‍ය ලෝකයේ දී ඉතාමත් අර්බුදකාරි අවස්ථාවක ඒ අර්බුදයෙන් මානව වර්ගයා මුදවා ගන්න අවස්ථාව තිබියදීත් ඒ දේ නොකර හිටපු අය කියා එතුමා කියනවා. හිතවතුනී, මෙතන කිසියම් හිතන්න කාරණයක් තිබෙන බව සිහිකරමින් අද සදහම් සැඳෑව අවසන් කරමු. සෑම දෙනාටම සෙතක් ම වේවා! ශාන්තියක් ම වේවා! සැනසිල්ලක් ම වේවා!