සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 17


2022 ජනවාරි 26, සාරාංශය


හිතවත් අධ්‍යාත්මික මිත්‍රයෙනි, අප වඩ වඩාත් අදහමින් දහමට, දහමින් සදහමට, යන ගමනකයි යෙදී සිටින්නේ. 

සරලව අදහම, අධර්මිෂ්ඨ බව කියන්නේ නරකට. කෙනෙක් නරක නම් අධර්මිෂ්ඨයි, ඒ අර්ථය ගන්නවා. ධාර්මිකයි කියන්නේ හොඳයි. එය මතුපිට අර්ථය, සාමාන්‍ය සම්මුතිය, හොඳයි නරකයි. හොඳ නරක දෙකම අඩු වැඩි වශයෙන් අප කා ළඟත් තිබෙනවා. සෑම කෙනෙකු ළඟම තමන් හොඳයි කියන අදහස, හොඳ තියෙනවා, එහි වැරැද්දක් නෑ. ඒවගේම සාමාන්‍ය බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකු තමන් තුළ අගුණත් තිබෙන බව දන්නවා, තමන්ගේ තිබෙන නරක, දුර්ගුණ, අත්හල යුතු ඇබ්බැහිවීම්, නරක චරිත ලක්ෂණ ගැන හැමදෙනාම වගේ දැනුවත්, හිතට එකඟව සියයට සියයක් තමන් හොඳයි කියා පිළිගන්න කෙනෙකු නෑ. අත්හැරියොත් හොඳයි කියන හැඟීමත් තියෙනවා. 


දහම අදහම කියන්නේ මේ හොඳට හා නරකට නම්, ඒ කියන නපුර නරක හඳුනා ගෙන, එතනින් ඉවත් වී, හොඳ කියන තැනට, හොඳ චෛතසික වලට විඥානයෙන්ම සමීප වීම හොඳ ගමනක්, ලස්සන ගමනක් එයට දහම කියන්න පුළුවන්. අදහමින් දහමට එනවා, නරකින් හොඳට එනවා, පවින් පිනට එනවා. එනමුත් දහම කියන්නේ සදාකාලිකව නැවතිය හැකි නැවතුම්පොළක් නොවෙයි. පින කියන්නේ නැවතිය යුතු ස්ථානයක් නොවේ. පින ඇතුලේ, පුන්‍යකර්ම ඇතුලේ, පුණ්‍ය විපාක ඇතුලේ, හෝ හොඳ ඇතුලේ, සදහටම කෙනෙකුට ඉන්න බෑ. 


යන්න කිව්ව දවසට යන්න වෙනවා, ඒ යන්න වෙන්නේ අදහමට, වැටෙන්නේ ආයෙත් අදහමට. බුදුදහමෙහි අදහම හදුන්වන්නේ ‘මහගෙදර’ වගේ කියා, කොහේ ගියත් ආපසු එන තැන, සාමාන්‍ය කෙනෙකු පෘතග්ජන කෙනෙකු, මනස නොවැඩූ කෙනෙකු, මනස පිළිබඳ හරි අවබෝධයක් නැති කෙනෙකු, කොතැනක හිටියත් කොපමණ කාලයක් ඒ ලස්සන හොඳ තැන්වල හිටියත්, නැවත නිරායාසයෙන්ම පැමිණෙන තැන තමා අදහම, දහමට යනවා ධර්මිෂ්ඨව ජීවත් වෙනවා, තමනුත් සැප විඳිනවා අන් අයටත් සැප ලබා දෙනවා, එනමුත් දහම කෙනෙකුට සදාකාලිකව නවාතැන්පොළක් වෙන්නේ ලැගුම්හලක් වෙන්නේ නෑ, බොහෝම ටික කාලයක් ඇතුළත් ඕනෑම කෙනෙකුට තමා තුළින්ම මේ ගමනාගමනය අත් දකින්න පුළුවන්, ඉතාම කෙටි කාලයක් ඇතුලේ දහමට යනවා, වෙරවීරිය දාගෙන දහමින් ජීවත් වෙනවා, නමුත් සුළු අතපසුවීමකින් අදහමට නැවතත් වැටෙනවා. ඒ අධාර්මිකව හිතන කතා කරන ජීවත් වෙන හැටි සැලසුම් හදන හැටි තමන්ටම අදහා ගන්න බෑ. මෙය තමා ධර්මතාවය.


අදහම අපායක් ගිනි ගොඩක් එතනින් වහ වහා නික් මිය යුතුයි අදහම වහ වහා අත්හල යුතුයි දෙවරක් නොසිතා අත්හල යුතු දෙයක්, වහ වහා හඳුනාගෙන අත්හල යුතු දෙයක්. අත්නෝහැරියොත් වෙන්නේ අදහම ඇතුලේ තමන් මුල් අදින පටන් ගන්නවා. මුල් ඇද්දහම හරි අපහසුයි ගලවාගන්න, කාගේ හරි උදව්වක් ඕනේ තමන්ව එතනින් උදුරල දාන්න, තනියම බැරි වෙනවා. ඉතින් එසේ අදහම තුළ මුල් බැසගත් යමෙකුව එතනින් උදුරලා එලියට ගන්න ඒ ශක්තිය, ඒ ඕන කම තියෙන, ඒ කරුණාව දයාව ආදරය තියෙන, මිත්‍රයන් බොහොම දුර්ලභයි, එහෙම අය මුණ ගැහෙන්නෙ බොහොම කලාතුරකින්. එම නිසා එවැනි අයකු පැමිණෙනතුරු සමහර විට බොහෝ කාලයක් ඉන්න වෙනවා. එම නිසා තව කෙනෙකු ඇවිත් අපව එතනින් ඇදලා ඉහලට ඇදලා ගන්න තරමට එරෙන්න කලින්, අපට තනිවම අපේම ශක්තියෙන්, තමන්ගේම ශක්තියෙන්, එළියට පැන ගන්න පුළුවන් වෙලාවේ එලියට පනින්න, දෙපාරක් හිතන්නේ නැතිව, දෙපාරක් හිතන විට සමහරවිට මුලක් ඇදිල තියෙන්න පුළුවන්. අපහසු නමුත් අනිවාර්යෙන්ම ලොකු වීරියකින් අදහමින් දහමට යා යුතු වෙනවා.


අදහමට හා නරකට ඇබ්බැහි වෙනවා,  ඒ වගේ දහමට ඇබ්බැහි වෙන්නේ නෑ නමුත් ඇදීයන ගතියක් වශිවෙන ගතියක් මෝහනය වන ගතියක් තිබෙනවා. දැහැමි ජීවිතය හරි හොඳයි, තමන්ට කරදරයකුත් නෑ, අනිත් අයට ලොකු කරදරයක් කරන්නෙත් නෑ. හොඳ සිතිවිලි, හොඳ ක්‍රියා, හොඳ කතාබහ, සත්පුරුෂකම්, යහපත් ගතිගුණ මේ සියල්ල සමග බොහොම සුපෝකබෝගී ජීවිතයක් කෙනෙකුට ගතකරන්න පුලුවන්. දහම සුඛෝපබෝගී ජීවිතයකට පාර කපනවා, කායිකව හා මානසිකව බොහෝම සුවදායි ජිවිතයකට උපකාර කරනවා. අදහම කායික වගේම මානසිකවත් දුක්ඛදායක ජීවිතයකටයි පාර කපන්නේ. සුවදායි ජීවිතයකට හා එබඳු තැනකට කෙනෙකුව ගෙනෙන විට වශී වෙනවා, සාමාන්‍ය හිතක් මෝහනයට පත් වෙනවා, එහි තියෙන සුන්දරත්වයට හා ආකර්ෂණයට ඇදිලා යනවා. අදහමට මෝහනය වෙන්නේ නෑ,  අදහමට ඇබ්බැහි වෙනවා. විචාර බුද්ධිය තිබෙන විට මේ කාරණා දෙක වෙන්කර දකින්න පුළුවන්.


අදහමේ සිටින විට තාවකාලික බව දැනෙනවා, දහමේ සිටින විට ඒ තාවකාලික බව අමතක වෙනවා. අදහමේ සිටිනවිට, කෙසේ හෝ  කවදා හෝ මේවා අත්හරින්න ඕන, හොඳ කෙනෙකු වෙන්නට ඕන, මේ සිතිවිල්ල සෑම අධාර්මික හිතකම විටින් විට පහළ වෙනවා. අධාර්මික හිතකටත් හිතෙනවා හොඳ කෙනෙකු වෙන්නට ඕන, කවදා හෝ මේ නපුරකම් අත්හරින්නට ඕන, මෙසේ අත්හළ කෙනෙකු වෙන්නට ඕන කියනවා. ඕනකම පහළ නොවුණු අධාර්මික කිසිම හිතක් නෑ, සෑම අදැහැමි සිතකම මේ හීනය තිබෙනවා. ඒ හීනය මේ තාවකාලික බව දකිනවා, පෙනෙනවා. හැබැයි දහමට වශීවූවිට, මෝහනය උනහම ඇත්ත පේන්නේ නෑ, මෙය තාවකාලික අත්දැකීමක් බව, තාවකාලික ලැගුම් හලක් බව පෙනෙන්නේ නෑ. හොඳ කෙනෙකු වූවිට මෙය වෙනස් නොවෙන තැනක්, එතන නැවතීමක් වගේ තමයි පෙනෙන්නේ. 


දහමෙහි ඇති මේ සුන්දරත්වය සුඛෝපභෝගී බව හා සැප අහිමිවෙන, වෙලාවක නැවතත් වැටෙන්නේ අදහමට කියන කාරණය අමතක වෙනවා අමතක කරවනවා, දහම එය අමතක කරවනවා. එසේ අමතක වුනා කියා එය සිදුනොවී තියෙන්නේ නෑ. අන්ධකාරයෙ එන්න කලින් ඒ සඳහා සූදානම් විය යුතුයි, පහනක් ආලෝකයක් සූදානම් කරගත යුතුයි. එය අමතක වෙන්න පුළුවන්. නමුත් අමතක වූවා කියා අඳුර නෑවිදින් තියෙන්නේ නෑ. අඳුර අපෙන් අහන්නේ නැහැ ‘ඔබ ලෑස්තිද අන්ධකාරෙට මුහුණ දෙන්න, අන්ධකාරයේ ජීවත් වෙන්න’ කියා. අඳුර එසේ එන්නෙ නෑ. අඳුර අපත් එක්ක කිසිම සන්නිවේදනයක් කරන්නේ නෑ. එය පැමිණිය යුතු වෙලාවට එය ඇවිල්ලා සියල්ල අඳුරෙන් වෙලා ගන්නවා. අඳුර ප්‍රමාද වීමක් නෑ. අමතකවීමේ කාරණය කිව්වොත් අඳුර අඳුරේම හිනාවේවි. අමතක වීම නිදහසට කරුණක් නොවේ, සමහරවිට සම්බන්ධතාවලදී අමතකවීම් වලට සමාවක් අනුකම්පාවක් දෙන්න පුළුවන්. නමුත් ධර්මතා එක්ක කරන ගනුදෙනුවේදී කිසිම ධර්මතාවයක් අපෙන් අහන්නේ නැහැ ‘ඔබට සිහිකල්පනාව තිබෙනවාද නැද්ද, සිහිකල්පනාව නැත්නම් එය ඇති කරගෙන එනකම් මම පමා වෙන්නම්’ කියා. කිසිම ධර්මතාවක් අපට එබඳු අනුකම්පාවක් දක්වන්නේ නෑ. 


මේ වෙනස හඳුනා ගන්න. මේ සියල්ලම කරන්නේ කවුරු හරි කෙනෙකු නම් අන්න අනුකම්පාවක් ලැබෙයි. රාත්‍රිය උදා කරන්නේ කරුවල ඇති කරන්නේ ඉර හංගන්නේ කවුරුහරි කෙනෙකු නම් පුද්ගලයෙක් නම්, අමතක වුණොත් පලවෙනි වතාවට සමාව දෙන්නම් කියලා ඒ ධර්මතා ඒ ස්වභාවය ඇතිවීම වලක්වන්නට පුළුවන්. නමුත් එහෙම කෙනෙකු නෑ, මේ සියල්ල නිර්මාණය කරන හසුරුවන කෙනෙක් නෑ, තිබෙන්නේ ධර්මතා. රත්වූ දෙයක් ස්පර්ශ වූ විට පිච්චෙනවා කියන්නේ ධර්මතාවයක්, ඇවිදින විට ලිස්සුවොත් බිම වැටෙනවා කියන්නෙ ධර්මතාවයක්. ‘මට අමතක වෙලා තමයි මේ රත්වූ දේ ඇල්ලුවෙ, ඒ නිසා මේ වතාවට පුච්චන්න එපා’ ඒ විදියට පුළුවන්ද රත්වූ දෙයක් ස්පර්ශ වූ විට පිච්චෙනවා කියන ධර්මතාවයත් එක්ක බේරුම් කිරීමක් කරගන්න?. එහෙම කරන්න බෑ. ඉතින් අප උත්සාහ කරනවා හිතෙන් හදනවා කටින් උත්සාහ කරනවා කියනවා යදිනවා. ඒ හැමදේම හරියයි හරි යනවා හිතක් පපුවක් තිබෙන කෙනෙකු සමග නම් අප ගනුදෙනු කරන්නේ. සමහර විට අපේ ඉල්ලීමට කන්දීලා උදව්වක් කරයි. නමුත් ධර්මතා ගත්තොත් මේවට හිතක් පපුවක් නෑ.


ජීවත් වීම කියන්නේ මේ ධර්මතා සමග කරන ගනුදෙනුවකට, හැම මොහොතකම තිබෙන්නේ ධර්මතා එක්ක කරන ගනුදෙනුවක්. නමුත්  ඒ බව නොදන්නා නිසයි අප දුක් විඳින්නේ. පුද්ගලයෙක සමග ගනුදෙනු කරද්දි පුද්ගලයා කියන්නේ ධර්මතා ටිකක්. ධර්මතාවලට හිතක් පපුවක් නෑ හොඳක් නරකකුත් නෑ. ඒ නිසා කිසිම අනුකම්පාවක් දක්වන්නේත් නෑ. නමුත් අනුකම්පා නොදක්වන නිසා කියන්න බෑ ධර්මතා නපුරුයි කියා, ඒ නපුරු කමක් නොවේ, ගුරුත්වාකර්ෂණයේ නපුරක් නෑනේ, රත් වුනු දෙයක් පුච්චනවා කියන එක නපුරු දෙයක් මහා අකාරුණික දෙයක් කියන්න බෑ. ඉතින් සිහිකල්පනාව සිහි බුද්ධිය නැතිකම නිසා ධර්මතාවලින් අප පුච්චගන්නවා, ධර්මතාවලින් අප ලිස්සලා වැටෙනවා. මේ සියල්ල වෙන්නේ සිහිබුද්ධිය සිහිකල්පනාව නැතිකම නිසා.


හිතවතුනි දහමින් ලොකු සැනසිල්ලක් ලැබෙන විට, යහපත් සිතුවිලි කතාබහින් කල්ක්‍රියාවෙන් සුවයක් ලැබෙන විට අදහම අමතක වෙලා යනවා. අමතක වුණා කියා අදහම නැති වෙන්නේ නෑ. තව විදිහකට කිව්වොත් පව් කරන්න තියෙන හැකියාව නැති වෙන්නේ නෑ. පින් කරලා පින් කරලා ඒ පිනේ විපාක විදිහට ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් හැම පැත්තෙන්ම කෙනකුට ලැබෙන්න පුළුවන්. දැන් ඉන්නේත් හොදින් විදින්නෙත් සැප. හොඳට බෑ කෙනෙකු අතින් නරකක් වෙන්න තියෙන ඉඩ හැකියාව නැති කර දාන්න, පවක් කෙරෙන්න පුළුවන් හැකියාව නැති වෙලා නෑ, ඒ හැකියාව බලාගෙන ඉන්නවා කොයි වෙලේද බුරුලක් ලැබෙන්නේ කියා. බුරුලක් ලැබුන ගමන්ම ඒ ධර්මතාවය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ දෙන්නා දහමයි අදහමයි එකටයි ඉන්නේ, හරියට කාසියක දෙපැත්ත වගේ. එක පැත්තක ස්වර්ගය අනිත් පැත්තේ  අපාය. ස්වර්ග පැත්ත වැටිලා තිබෙනතුරු හොඳයි. ඉන් කියැවෙන්නේ නැහැ කාසියේ අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම අයින් වෙලා කියලා. ඒ පැත්ත පෙරලෙන්න පුළුවන්, කොයිවෙලේ පෙරෙලෙයිද දන්නෙ නෑ, පෙරලුනොත් නැවත හිටපු තැනට යන්න වෙනවාමයි.


අදහමත් දහමත් දෙකම අත්හල යුතුයි. අදහම අනිවාර්යයෙන්ම අත්හරින්න ඕන, හැබැයි කවුරුවත් කියන නිසා නොවෙයි, විචාර බුද්ධියෙන් එහි තිබෙන භයානකකම ඇබ්බැහි වෙන ගතිය හොඳින් තේරුම් අරගෙන, එහි තියෙන වියරුබව හඳුනාගෙන, ඇබ්බැහි වෙන්න කලින් අදහම අත්හළ යුතුයි. කෙනෙකු වරදක් පවක් කියන දෙයක් විහිලුවට කරන්න පුළුවන්, බලන්න කරන්න පුළුවන්. නමුත් එතන අවදානමක් තියනවා කුමක්ද ඇබ්බැහි වෙන්න පුළුවන් ගතිය. මේ තමා අදහමේ ධර්මතාවය, එයට ඇබ්බැහි කරවනවා. අදහමට අයහපත් සිතිවිල්ලකට ක්‍රියාවකට හැසිරීමකට ඇබ්බැහි වෙන්න එය කී වාරයක් කළ යුතුද නැද්ද, ඒ සිතිවිල්ල කී වාරයක් හිතුවොත්ද ඇබ්බැහි වෙන්නේ කියලා කියලා එහෙම නිශ්චිත වාර ගණනක් නෑ. අපි හිතමු නිශ්චිත නියතයක් තිබෙනවා කියා විසිපස් වතාවක්. එහෙමනම් විසි හතර වතාවක් කර අත්හරින්න පුළුවන්, නොකර ඉන්න පුළුවන්, ඇබ්බැහි වෙන්නේ විසිපස්වන වතාවේදී නිසා. නමුත් එහෙම කියන්න බෑ. පළවෙනි වතාවේදීම ඇබ්බැහි වෙන්නත් පුළුවන්. ඒ නිසා පළවෙනි වතාවත් නොකර ඉඳීමයි කළ යුතු හොඳම දේ. හැබැයි කොයි වෙලේ හරි දැනගත්තොත් මෙය අදහම කියා ඒ කතාව ඒ සිතිවිල්ල හැසිරීම එය එතනින්ම අත්හරින්න. ඒ සදහා පුළුවන් උපරිම වීරියම ගත යුතුයි එතනින්ම අත්හරින්න, මොකද නැවත නැවත කිරීම තුළ එයට ඇබ්බැහි වෙන්න පුළුවන්. 


එතනින් එළියට එන්න තියෙන හොදම පහසුම සෝපානය තමා දහම. දහමට එන්න ධාර්මිකව ජීවත් වෙන්න. එහෙම ජීවත් වීම තුළ අර බොහෝමයක් ඇබ්බැහිවීම් තුළින් ගැලවෙන්න පුළුවන්. ඒ ගැලවුනහම හරි නිදහසක් කෙනෙකුට ලැබෙනවා, සතුටක් සැපක් ලැබෙනවා, සමාජය පැත්තෙනුත් හොඳයි හෘද සාක්ෂියට එකඟයි. එතන තිබෙන අවදානම තමා මුලා වෙන ගතිය. මේ සදාකාලික නැවතුම්පොළක් කියා මුලා වීමක් තිබෙනවා රැවටීමක් තිබෙනවා. ඒ නිසා තමයි අපේ ශාස්තෘන් වහන්සේගේ දේශනාවෙන් කියන්නේ දහමඅත්හල යුතු දෙයක් බව. දහම අත්හරින්න කියූවිට ඉන් අදහස් වෙන්නේ අප ළඟ තියෙන හොඳ ගතිගුණ අත්හරින්න කියන එකද, නෑ හොඳ ගතිගුණ ඕන තරම් තියෙනවා, ඒවා පුහුණු කරන්නත් ඕන, ඒවා ජීවිතයේ අංග බවට පත් කර ගන්නත් ඕන. නමුත් තිබෙන හොඳ ගතිගුණ සදාකාලිකවම පවතී කියන මේ මුලාව තමයි අත්හරින්න ඕන. ධර්මතාවය කුමක්ද ඒ හොඳ ගතිගුණ වෙනස් වෙන්න පුළුවන් එහෙම වෙනවා. එමනිසා තමයි දහම අත්හලයුතුයි කියා කියන්නේ. දහමත් අත්හළ යුතු නම් අදහම ගැන කවර කතාද?. හිතවතුනි ඒ නිසා තමයි සදහම කියන මාර්ගය හඳුන්වා දී තිබෙන්නේ, සද්ධර්මය. 


සද්ධර්මය කියන්නේ මේ ධර්මතා තේරුම් ගැනීම, අනාවරණය කරගැනීම, අවබෝධ කර ගැනීම, ඒ හරහා දහමිනුත් අදහමිනුත් දෙකින්ම කෙනෙකුට එතෙර වෙන්නට පුළුවන්. සදහම් කියන්නේ එතෙර වීමක්. සිහිබුද්ධිය යම් පමණකට හෝ තිබෙනවා නම් නරකට ඇබ්බැහි වෙන ස්වභාවයෙනුත්, හොඳකට රැවටෙන ස්වභාවයෙනුත් මේ ස්වභාවයන් දෙකෙන්ම අයින් වෙන්න ගැලවෙන්න නිදහස් වෙන්න හැකියි. සිහිබුද්ධියට සාපේක්ෂයි ඇබ්බැහිවීම් වලින් නිදහස් වීමත් දහමට මුළා නොවී සිටීමත්. යම් පමණකට සිහිබුද්ධිය තිබෙනවාද ඒ පමණට මේ නිදහස අත්දකින්න පුළුවන්, යම් පමණකට සිහිබුද්ධිය නැද්ද ඒ පමණට ඇබ්බැහිවීම් ඇතුලේ පුරුදු ඇතුලේ එරෙනවා, සහ හොඳ සැපක් ලැබෙන විට එයට රැවටෙනවා, සියල්ල හරි හොඳ කෙනෙක් කියන ඒ මුලාව ඇතිවෙනවා. ඒ මොහොතට හොඳ වෙන්න පුළුවන් නමුත් කැරකිලා හිටිය තැනටම වැටෙන්න ඉඩ තියෙන බව අමතක වෙනවා. සිහිබුද්ධිය නැති තැනක අමතක වීම තමා සිදුවන්නේ. අමතක වූ තැනින් ලිස්සලා වැටෙනවා.


එම නිසා හිතවතුනි තිබෙන එකම සරණ තමා සිහිබුද්ධිය. විචාර බුද්ධිය ,සිහිබුද්ධිය යම් පමණකට හදාගන්න පුලුවන්නම් ඒ ප්‍රමාණයට අපට මේ බොරු වලවල් දෙකෙන්ම ගැලවෙන්න පුළුවන්. මේ දෙකම උගුල්, සංසාරයට අහුවෙන්න උගුල් දෙක තමා දහමයි අදහමයි. අප මේ සංසාර ගමන යන්නේම අදහමට ඇබ්බැහි වෙන නිසාත් දහමට මුලා වෙන නිසාත්. සදහම අපට ඇරයුම් කරනවා ඒ දෙක වෙනුවට එන්න අවබෝධය කරා, අවබෝධයෙන් ජීවත් වීමට. ඒ දර්ශනයක් එක්ක හිතවතුනි අපි භාවනානුයෝගී වෙමු ටික වෙලාවකට. 


භාවනාව


  • මෙතෙක් වෙලා ඇසුනු කාරණා තේරුම් ගියේ කෙසේද, තේරුම් ගත්තේ කොහොමද, එයින් කිසියම් නිගමනයකට එළඹියේ නම් එය කුමක්ද, ඒ ගැන සොයා බැලීමක් කරමු.

  • ඇසුනු කාරණා ඒවා තේරුම් ගත් ආකාරය හා පැමිණි නිගමන ගත් තීරණ හොඳින් හඳුනාගෙන ඒවා පැත්තකින් තියන්න. ඇහුනේ මොනවද, කොහොමද තේරුම් ගත්තේ, ඒ මත පැමිණි නිගමන මොනවද, පැමිණි නිගමන මොනවද මේ සියල්ල හඳුනාගෙන පැත්තකින් තියන්න. පසෙක තබා දැන් තමන්ටම අවධානය යොමු කර බලන්න ඇබ්බැහිවීම් කියන්නේ මොනවාද, එබඳු ඇබ්බැහිවීම් තිබෙනවාද, මොනවාද, අත්හරින්න මොනතරම් වෙහෙසුනාද ඇයිද බැරිවුනේ, ලොකු මාතෘකාවක්. නමුත් සරලව ඒ ගැන ටිකක් මෙනෙහි කර බලන්න, මොනවද තිබෙන ඇබ්බැහිවීම්, කීවාරයක් ඒ දේවල් අතාරින්න තීරණය කළාද, උත්සාහ කලාද, පුළුවන් වූවාද, බැරිනම් ඇයි බැරි වුනේ.

  • එසේම ස්වචිත්තයේ හෝ බාහිර හිතක තවත් කෙනෙකුගේ දකින පෙනෙන හොඳක් ලස්සනක් සුන්දරත්වයත් යහපතක් මතක් කරගන්න, බාහිර කායික ලස්සනට වඩා තමන්ගේම තිබෙන යහගුණයක් නැත්නම් තව කෙනෙකුගේ දකින යහගුණයක් හිතේ ලස්සනක්.

  • බලන්න මොන තරම් ඉක්මනට ආකර්ෂණය වෙනවා අද ඇදිලා යනවා ද වශී වෙනවද මුලා වෙනවද.

  • යහපත හා හොඳ නැති නොවන දෙයක්, දිගටම තිබෙන දෙයක්, එබඳු අන්ධ වීමක් නිතැතින්ම සිදුවන හැටි දකින්නට තරම් සිහිබුද්ධියක් තේරුම් ගන්නට තරම් විචාර බුද්ධියක් ඇති කරගනිමු.

  • ඇතිවුනු ඇහැරුණු සිහිබුද්ධියත් සමග හිතවතුනි සාකච්ඡාවට එන්න.


සාකච්ඡාව 


ප්‍ර : ඇබ්බැහි වීමයි වශී වීමයි අතර වෙනස තවදුරටත් පැහැදිලි කර දෙන්න.


පි : ඇබ්බැහි වීමකදී වෙන්නේ එය තමන්ගේ කොටසක් ජීවිතයේ කොටසක් බවට පත් වෙනවා. ඉන්පසු එය නැතිව බැරි වෙනවා. එයට උත්සාහයක් අවශ්‍ය නෑ ඉන්පසු නිරුත්සාහකවම ඒ දේ වෙනවා. කොපමණ එය අහිතකර වුවත් හැමෝම එය එපා කිව්වත් නැතිව බැරි වෙනවා. තමන්ගේ සාමාන්‍ය බුද්ධියත් කියන්න පුළුවන් එයින් වන හානිය, නමුත් එයට වඩා ප්‍රභලයි බරපතලයි ඇබ්බැහිවීම. ඉතින් සාමාන්‍ය බුද්ධියට බෑ එවැනි ඇබ්බැහි වීමකින් අපව ගලවා දාන්න. ඒ නිසයි තව කෙනෙකුගේ උදව්වක් ඕනේ වෙන්නේ එයින් ගැලවෙන්න. තව කෙනකුගේ උදව්වකින් සහ ඕනකම තියෙනවා නම් ඕනෑම ඇබ්බැහිවීමකින් ගොඩ එන්න පුළුවන්. වශී වෙනවා කියන්නේ රැවටෙනවා. ඇබ්බැහිවීමක් ඇතුලේ රැවටීමක් තියෙනවා, නමුත් එය වැරදියි කියලත් දන්නවා, නමුත් එය තමන් අතින් කෙරෙනවා, කරනවාට වඩා කෙරෙනවා. දැන් වශී වීම තුළ ‘හරියි’ කියන හැඟීම තියෙන්නේ. හරියි නිවැරදි ලස්සනයි හොඳයි මෙය තමා හරිම දේ මෙයින් පිට වෙන දෙයක් පෙන්නේන්නේ නෑ, තව කෙනෙක් ඉන් පිට දෙයක් කිව්වත් ඇහෙන්නේ නෑ, වශී උනහම ඇහෙන්නේ නෑ, මෝහනය උනාම පෙනේන්නේ නෑ, එවැනි කිසියම් දුරකට අඳ බිහිරි වුන ස්වභාවයක් තමා වශීවීම කියන්නේ. වශී වීම හරිම සියුම් දෙයක් මොකද එය හැමෝම වර්ණනා කරන තැන. සම්ප්‍රදාය සංස්කෘතිය ලෝකය එකතුවෙලා සාමාන්‍ය හිත් හොඳටම වශි කරනවා. ඉතින් එහෙම තැනකින් ඇහැරෙන්න හරිම අමාරුයි. මේ දෙක අතර තවත් වෙනස්කම් තියෙනවා. හැබැයි මේ කාරණා ටික ඇබ්බැහි වීමයි වශීවීමයි අතර වෙනස හඳුනාගන්න ප්‍රමාණවත් වෙයි.


ප්‍ර : පසුගිය සතියේ පැහැදිලි කළ තරාදියේ උදාහරණයට අනුව, අපි හැම දෙයක්ම කිරලා මැනලා තමයි පිළිගන්නේ සහ ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි එහෙම මනින්න තරාදියක් අවශ්‍යයි. ඒ තරාදියෙ එක පැත්තකට පඩියක් දාන්න ඕනේ. ඊට සාපේක්ෂවයි මනින්නේ. ඉතින් වෙලා තියෙන්නේ ඒ පඩිය වෙනස් කරන්නේ නෑ බොහෝ කාලයකට. එසේ වෙනස් නොකරන පඩියට සාපේක්ෂවයි අනිත් දේවල් මනින්නෙ. මේ මේ වෙනස් නොකරන පඩිය කියන්නේ විඤ්ඤාණය හා තණ්හාව ද?


පි : විඤ්ඤාණය හා තණ්හාව නැති පඩියක් නෑ. ඕනෑම කිරුමක මිනුමක මේ දෙක තියෙනවා. හැබැයි ඒ දෙකම විතරක් නොවෙයි ඒත් එක්කම දිෂ්ටි කියන ස්වභාවය සහ සංඥා යන ස්වභාවයක් එතන තිබෙනවා. සංඥා කියන්නේ අතීත අත්දැකීමක් පිළිබඳ වර්තමානයේ අපි තුල තිබෙන චිත්‍රය, අතීත අත්දැකීම නොවෙයි, ඒක ඇත්තටම අත්දැක්කේ කුමන ආකාරයටද කියන්නත් අපි දන්නෙ නෑ, නමුත් ඒ ගැන අපි වර්තමානයේ යම් චිත්‍රයක් හදාගෙන ඉන්නවා, එයට තමයි සංඥාව කියන්නේ. විශේෂයෙන්ම අපි වර්තමානය මනින්නේ සංඥාවලින්. සංඥා සහ දිට්ඨි විඤ්ඤාණයේ කොටසක්. ඒ දෙකත් එක්ක තණ්හාවත් යෙදෙනවා, සංඥා එක්කත් අපි අලෙනවා දිට්ඨි එකත් අපි අලෙනවා. අපි වැඩිපුරම තණ්හාව දක්වන්නේ බාහිර ලෝකයට නොවෙයි සංඥා වලටයි දිට්ඨි වලටයි. 


හැම දෙනාටම සෙතක්ම වේවා,

ශාන්තියක්ම වේවා,

සැනසිල්ලක් වේවා !!!