සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 15


2022 ජනවාරි 12, සාරාංශය 


එදිනෙදා ජීවිතයේ හැලහැප්පීම් සමග සතුටු වීම්, උද්දාමයට පත්වීම්, බලාපොරොත්තු ඉටු වීම් කඩවීම සමග ලොකු ගමනක් එන්නට ඇති පසුගිය අම්බලමේ සිට මේ අම්බලමට. ඒ අතර වරින් වර ආ ගමන දෙසත් ඉන්න තැන ගැනත් යන්නට තිබෙන ඉතිරි දුර ගැන ගැනත් සොයාබැලීමක්, පසුවිපරමක්, ආවර්ජනයක්, ප්‍රත්‍යවේක්ෂාවක් කරන්නත් ඇති. එය මේ ගමනට අවශ්‍යයි, කඩා බිඳගෙන දුවගෙන යනවා වෙනුවට, වරින්වර නැවතී ගිමන් නිවන අතරම, විමසිලිමත් වීම, ආවර්ජනා කිරීම, නිවැරදි දිශාවට ගමන මග කේන්ද්‍රගත කර ගන්නට උදව් වෙනවා.


මේ ජීවිතයේ හැමදාම බලාපොරොත්තු ඉටු වීම් නැමති වසන්තය ළඟා වෙන්නේ නෑ. වැඩිපුර සිදු වෙන්නේ බලාපොරොත්තු ඉටුවීම ද කඩවීම ද සාපේක්ෂයි. පිබිදීම් මෙන්ම ඇදවැටීම් භාවනා කළත් නැතත් සිදුවෙනවා, භාවනා කළා කියා ජීවිතයේ සියලු කටයුතු සිතන පතන ආකාරයෙන්ම වෙන්නේ නෑ, භාවනා කළා කියා සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර ගන්නට බැහැ. පැතුමක් ඉටුවෙනවා දැකීම සාමාන්‍ය හිතක උපදින බිළිඳු ආශාවක්. කිසියම් වූ පැතුමක් හිතක පිළිසිඳ ගත්තද, විටින් විට බලනවා ස්පර්ශ කරනවා ඒ ප්‍රාර්ථනය දැන් මොන තරම් දුරකට සපල වෙලාද කවද්ද ඒ ප්‍රාර්ථනය සම්පුර්ණයෙන්ම ඉටු වෙන්නේ සඵල වෙන්නේ කියා. ජීවිතය නැමැති, හිත නැමැති විලේ පිලිසිඳ ගන්නා පොහොට්ටු බොහොමයක් කුණු වෙලා යනවා, බොහෝම කලාතුරකින් තමයි පොහොට්ටුවක් එළියට එන්නේ, ඒ එළියට එන පොහොට්ටු වලිනුත් බොහෝම ටිකයි පිපෙන්නේ. මේ තමා ඇත්ත, ඉටුවීම් මෙන්ම කඩවීම්, මේ තමා ලෝකය ජීවිතය සමබර කරන හැටි.


එහෙම නැත්නම්, හිතේ ඇතිවන සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වෙනවා නම් හෝ ඒ කිසිම බලාපොරොත්තුවක් ඉටුවෙන්නේ නැතිනම් එක්කෝ උමතු වෙයි නැත්නම් වියරු වෙයි. හිතේ ඇතිවන හැම සිතුවිල්ලක්ම ඒ ඕන ආකාරයටම ඉෂ්ට සිද්ධ වෙනවා නම් හරි ලස්සන ස්වර්ගයක් කියා කෙනෙකුට හිතෙයි. නමුත් කෙනෙකුව උන්මත්තකයෙකු වෙන්නට එයට වඩා පහසු ක්‍රමයක් තවත් නෑ, ඉල්ලන ඉල්ලන දේ දීමම හොඳටම ඇති කෙනෙකුව උන්මත්තක තත්ත්වයට පත් කරන්න, හැකියාවක්, ආත්ම විශ්වාසයක් නැති කෙනෙකු, අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්නට බැරි කෙනෙකු බවට පත් කරන්න, වෙන මොනවා වත් අවශ්‍ය නෑ හිතෙන හිතෙන දේ හරි යෑමම ප්‍රමාණවත්. කිසි පන්නරයක් නැති මුවහත නැති කිසි හරයක් නැති හිතක් බවට පත්වෙනවා. බොළඳ හිතක් බිළිඳු හිතක් මුහුකුරා නොගිය හිතක්. 


එමෙන්ම කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තබා ගන්නට නොහැකි වීම, ඒ විශ්වාසය නැති වීම, හිතෙන හිතෙන හැම දෙයක්ම එතනම පෙන පිඩු වගේ කැඩී බිඳී සුනු විසුනු වී යනවා නම්, එකක් දෙකක් නොවේ සියල්ලම, ඒ හිතටත් එය දරාගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි තැන උන්මත්තක වෙනවා.ඉතින් මේ අන්ත දෙකෙන්ම වෙන්නේ දෙයාකාරයක උන්මත්තක ස්වභාවයක්, සියල්ල හරි යන විටයි සියල්ල වරදින විටයි. 


උන්මත්තක ස්වභාවයට පත් වෙන්නට ඉඩ නොදී සාමාන්‍ය හිත් ස්ථාවර කරන්නේ ලෝකය. හිතේ හපන්කමකට, කුසලයකට සමබර වෙනවා නොවෙයි, ලෝකය විසින් හිත සමබර කරනු ලබනවා. සම සමව නැතිවුනත් අඩු වැඩි වශයෙන් දුකයි-සැපයි, සතුටයි- අසතුටයි, හිනහවයි-කඳුලයි විටින් විට ලබාදීම තුළින්. මේවා දෙන්නේ ලෝකයයි. එම නිසයි ලෝක ධර්මතා කියා මේවාට කියන්නේ, පුද්ගල ධර්මතා නොවෙයි හිතේ ධර්මතා නොවෙයි, ලෝක ධර්මතා. මේ ලෝක ධර්මතා නැමැති සක,චක්‍රය කැරකෙනවා, ඒ කැරකෙන වේගය ඒකාකාර නෑ සමහරවිට සමහර අත්දැකීම් ක්ෂණිකව ගෙවී යනවා, සමහර අත්දැකීම් බොහෝම හිමිහිට ගෙවිලා යනවා, එවැනි අත්දැකීම් වලදී මේ ලෝක ධර්මතා නැමැති චක්‍රය කරකැවෙන්නේ නැති ස්වභාවයක් කෙනෙකු අත් දකින්න පිළිවන් ටික කාලයකට, සදහටම නොවෙයි. නමුත් එතැන වෙනස් වීමක් තිබෙනවා, කරකැවීමක් තිබෙනවා, පෙරළීමක් තිබෙනවා, නොතිබුණ යමක් ඈතින් ඈතින් ළඟට එන ධර්මතාවයක් මෙතන තිබෙනවා. ඉතින් මේ අයුරින් සාමාන්‍ය සිත් සමබර කරන්නේ ලෝකය. 


ලෝකය අසාධාරණයි. බොහෝ අසාධාරණකම් ලෝකයේ තිබෙනවා. ලෝකය තුළ සාධාරණත්වය හොයන්න යන කෙනා විඩාවට පත්වෙන බව දහම කියනවා. විඩාවට පත් වෙන්නේ අසාධාරණය නිසාම නොවෙයි සාධාරණය හොයන්න යන නිසා. නමුත් යම්තාක් දුරකට ලෝක ධර්මතා සාධාරණයි. ලෝක ධර්මතා වල සාධාරණත්වය නිසයි සාමාන්‍ය හිත් සමබරව පවතින්නේ, හිතේ දක්ෂතාවයක්, කුසලතාවයක්, හිතේ අවබෝධයක් නිසා නොවේ, ලෝක ධර්මතා වල තිබෙන සාධාරණත්වය නිසා, බෙදාගෙන බෙදාගෙන යනවා. ඒ බෙදීම් තුළ දුකත් බෙදනවා සැපත් බෙදනවා නින්දා, ප්‍රසංසා, හුදකලාව, පිරිවරත් බෙදනවා. මේ සියල්ල බෙදාගෙන බෙදාගෙන යනවා. බොහෝ බහුතරයක් දෙනා උපන් මොහොතේ සිට මරණය තෙක් ඒ මුළු ආයු කාලයම යම් තාක් දුරකට සමබරව ජීවත් වෙනවා. හැබැයි එයින් කියවෙන්නේ නෑ සදාකාලික වසන්තය, වස්සානය, මල් ඵල දරන සෘතු, නෑ එහෙම නෑ, ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ බැලුවහම කඳු වගේම පල්ලම් තියෙනවා, ආලෝකමත් වූ දහවල් වගේම අන්ධකාර වූ රාත්‍රීන් තිබෙනවා, නැති ජීවිත නැ, හැබැයි කෙනෙකුට දහවල තවත් කෙනෙකුට රාත්‍රිය විය හැකියි. කෙනකුගේ වසන්තය තවත් කෙනෙකුගේ හේමන්තය විය හැකියි ඒ විවිධත්වයට ඉඩදෙනවා.  පොදු නැහැ විවිධත්වයක් තිබෙනවා.


මේ විවිධත්වය දකින විට තමා කෙනකුට හිතෙන්නේ මේ ලෝකය මොන තරම් අසාධාරණද කියා. කෙනෙකුට දුක බෙදෙන ලෝකය එතනම සිටින තව කෙනෙකුට සැප බෙදෙනවා. කෙනෙකුව සම්පූර්ණයෙන් නින්දාවට පත් කරන මොහොතේම එතනම සිටින තවත් කෙනෙකුව ප්‍රශංසාවකින් උන්මාදයට පත් කරනවා. ඉතින් මේ සිදුවීම් දෙකම දෙදෙනාටම තියෙනවා. ඒ දකින විට තමා ඒ නින්දාවෙන් පීඩාවට පත්වුණු කෙනාට හිතෙන්නේ ලෝකය මොන තරම් අසාධාරණද කියා, මොකද ඒ තැනැත්තා එක පැත්තකින් නින්දාවට භාජනය වන අතරම දකිනවා තවත් කෙනෙක් ප්‍රශංසාවෙන් පිදුම් ලබන බව. ඒ දකින විට හිතනවා ලෝකය හරි අසාධාරණයි කියා. මෙය පුද්ගලික අදහසක් හා පටු දැක්මක්. 


පුළුල් බලන විට මනුෂ්‍යයාට වඩා ලෝක ධර්මතා සාධාරණයි, කෙනකු හිතුවොත් නැත්නම් කෙනෙකුට ලැබුනොත් මේ ලෝක ධර්මතා තමන්ට කැමති විදිහට බෙදන්න, මොන විදිහේ ලෝකයක් නිර්මාණය වෙයිද කියා හිතාගන්න බැරිවෙනවා. මොහොතකට හිතන්න ඔබට වරමක්, ආධිපත්‍යක් ලැබෙනවා, මේ ලෝක ධර්මතා බෙදන හැන්ද ඔබ අතට ලැබෙනවා කියා. ඔබ තුළ තියෙන ආත්මාර්ථය සම්පූර්ණයෙන්ම පැත්තකින් තබා මොහොතකට හිතන්න හැම දෙනාම එක වගේ සමානයි කියන දැක්මට එන්න. ඒ දැක්මට ආවාම ඔබට මට පුළුවන්ද හැම දෙනාටම සම සමව දුකයි සැපයි කිරලා මැනලා බලලා බෙදන්න?, මේ ධර්මතා සියල්ල ම සමසමව බෙදන්න පුලුවන්ද?, භාජනයක් අරගෙන මනින්න පුලුවන්ද හරියටම කිරි බෙදනවා වගේ?, භෞතික වශයෙන් භාජනයකින් මැනලා බෙදන්න පුළුවන්, නමුත් ඉල්ලන්නේ වෙන වෙන දේවල්, කෙනෙකුගේ සැප තවත් කෙනෙකුගේ දුක කෙනෙකුගේ සතුට තවත් කෙනෙකුගේ අසතුට. මේ විවිධත්වය මත මහා සංකූලතාවයක් ඇති වෙයි. තමන්ට පුළුවන් කියා කෙනෙකු හිතුවොත් ක්‍රියාත්මක වෙන්න ගියොත්, ඒ බෙදන්න හදන කෙනා උමතු වෙලා තමා නවතින්නේ. මනුෂ්‍යයාට වඩා ලෝකය සාධාරණයි, ඒ නිසයි මේවාට ලෝක ධර්මතා කියන්නේ. 


හිතවතුනි අපට නෑ බුද්ධියක් හෝ හැකියාවක් ලෝක ධර්මතා පාලනය කරන්න. අප හිතුවොත් අපටත් හැකියාවක් තියෙනවා නම් නියමිත කලාවට වෙලාවට වැස්ස ඇති කරනවා පැවිල්ලා ඇති කරනවා මේ සියල්ල හරියටම කරනවා කියා, ඉතින් පුළුවන් කියා හිතන්න,පුළුවන්ද බැරිද කියන හැකියාව දෙවැනි කාරණය, නමුත් ඒ බුද්ධිය තිබෙනවාද?. ඒ බුද්ධිය ස්වභාදහම මනුෂ්‍යයාට දී නෑ, කිසිම මනුෂ්‍යයෙකුට ඒ බුද්ධිය දීලා නෑ.


සොබාදහම මිනිසාට දී තියෙන්නේ තමන්ව පාලනය කර ගැනීමේ බුද්ධිය පමණයි, ලෝක ධර්මතා පාලනය කිරීමේ බුද්ධිය නොවෙයි, තමන්ව පාලනය කර ගැනීමේ හැකියාව සහ බුද්ධිය හැම මනුෂ්‍යයෙකුටම ලෝකය නැත්නම් විශ්වය නැතිනම් සොබාදහම දී තිබෙනවා. “තමන්ට තමන්ව පාලනය කරගන්න පුලුවනි, ඒ පිළිබඳ ඥානයක් තිබෙනවා, නැතිනම් ඥානය මතුකර ගන්න පිළිවන්, ලබාගන්න පිළිවන්, මේ බුද්ධිය අවදි කරගන්න පිළිවන්, එමෙන්ම තමන්ට තමන්වම පාලනය කර ගැනීමේ හැකියාව ඇති කර ගන්නත් පුළුවන්” කියා කීයෙන් කී දෙනාද මේ කාරණය දන්නෙ?, ඒ ගැන ඉවක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?, මේ කරුණ ගැන උනන්දු වන්නේ කීයෙන් කී දෙනාද?. ඒ ගැන කිසිම උනන්දුවක් උත්සාහයක් නොගෙන සාමාන්‍ය හිත් නිගමන වලට එනවා, සාමාන්‍ය හිත හිතනවා තමන්ට පුළුවන් මුළු ලෝකයටම සාධාරණව ස්යල්ල බෙදා දෙන්න. එසේම ලෝක ධර්මතා නැමැති චක්‍රය හරියට කරකවන්න දන්නවා පුළුවන්. මේ තමා අවිජ්ජාව (අවිද්‍යාව), දහමට අනුව විජ්ජාව කියන්නේ තමන් පිළිබඳ දැනුමට ඥානයට, ඒ දැනුම තුන් ආකාරයයි,

  1. මෙතන (අතන නොවෙයි මෙතන, තමන් තුළ) වෙන්නේ කුමක්ද?, 

  2. මේ විදිහට ද විය යුත්තේ?, 

  3. නැත්නම් විය යුතු ආකාරය කුමක්ද?, 

කාරණා තුනක්. මේ තමා විද්‍යාව ඉතින් මෙයටම සමාන වචනයක් තමා ප්‍රඥාව. මෙන්න මේ අංශ තුන පිළිබඳ කෙනෙකුට ඇති වෙනවා නම් ප්‍රමාණාත්මක දැනීමක් වැටහීමක් අවබෝධයක්, ප්‍රඥාව කියන්නේ එයයි. ප්‍රඥාව වැඩිවෙන්න වැඩිවෙන්න පාලනය වැඩි වෙනවා, ප්‍රඥාව අඩුවෙන්න අඩුවෙන්න පාලනය ගිලිහෙනවා. ඕනෑම දෙයක් අරන් බලන්න, ආහාර, නින්ද, කම්මැලිකම, රූපවාහිනිය නැරඹීම, මේ සියල්ල අරගෙන බලන්න, ප්‍රඥාව අඩුවෙන්න අඩුවෙන්න පාලනය අඩුවී යනවා. ආහාරය පිළිබඳ පාලනයක් නෑ කන්න ඕනේ මොනවද? මොන ප්‍රමාණයට ද? කොයි වෙලාවටද? කොහොමද කන්න ඕනේ? මේ පිළිබඳ පරිපාලනය බිඳ වැටෙනවා. මේ ආකාරයට හැම දෙටකටම සුදුසු වේලාව මාත්‍රාව අහුවෙන්නේ නෑ ප්‍රඥාව අඩු නම්. මෙය ප්‍රඥාවට ගෝචර වෙන කාරණයක්, ප්‍රඥාවට තමා මේ සියල්ලම ගෝචර වෙන්නේ. 


සිහිබුද්ධිය කියන්නේත් මෙයටයි. සිහිබුද්ධිය කියා කියන්නේ තමන් පිළිබඳ මේ කාරණා අවබෝධ වන නිසා. බාහිර ලෝකය පිළිබඳ අවබෝධය එන්නේ සාමාන්‍ය බුද්ධියට, එය තේරුම් ගන්න පුළුවන්, වහින්නෙ කොහොමද අද වහීද පායයිද මේ කාරණය තමයි සාමාන්‍ය බුද්ධිය. සිහිබුද්ධිය කියන්නේ කෙලින්ම තමන් පිළිබඳව. ඉතින් යම් පමණකට තමන් පිළිබඳව සිහිබුද්ධිය තිබෙනවා නම්, සිහිබුද්ධියට යටත් වුණු පැවැත්මක්, හැසිරීමක්, ක්‍රියාකාරිත්වයක් තමා මෙතැන සිදු වෙන්නේ, සිහිබුද්ධියේ පරිපාලනයට නතු වූ හැසිරීමක්, පැවැත්මකුයි සිදුවෙන්නේ. යම් පමණකට සිහිබුද්ධිය අඩුද පාලනය අඩුයි, සිහිබුද්ධිය නැත්නම් පාලනයක් ඇත්තේම නෑ මෙතන. 


සිහිබුද්ධිය ලෝක ධර්මතා දිහා සාධාරණ ඇහැකින් බලන්න උදව්වෙනවා. ලෝකය දිහා කිසියම් ගෞරවයකින් බලන්න උදව්වෙනවා.ලෝකය කියන්නේ මේ විශ්වය. මොනතරම් ක්‍රමානුකුලවූ විශ්වයක් ද?.  ලෝකය පැත්තකින් තියන්න, ශරීරය දිහා බලන්න. මේ ශාරීරික ක්‍රියාකාරීත්වය, හුස්ම ඇවිත් යන ක්‍රියාකාරීත්වය, ලේ වැඩකරන ක්‍රියාකාරිත්වය, ආහාර ජීරණය, තොරතුරු සන්නිවේදනය දිහා බලන්න. ඒ එකින් එක අරගෙන බැලුවොත් තේරෙනවා මොනතරම් ක්‍රමානුකූල බුද්ධිමත් ක්‍රමවේදයක් ද තිබෙන්නේ කියා. ඒ බුද්ධිය අපට නෑ. ශරීරය පිළිබඳව ශරීරයේ එකම එක ක්‍රියාකාරිත්වයක් පිළිබඳවත් බුද්ධියක් අපට තිබෙනවාද?, ඒ බුද්ධිය නෑ, ඒ බුද්ධිය අවශ්‍යත් නෑ, නැති බව දැනගන්නා විට ඒ බුද්ධිය තියෙන ශරීරයට ඇතිවෙනවා ගෞරවයක්, මේ ශරීරය පිළිබඳ ඇතිවෙන්නේ ගෞරවයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ ශරීරයෙහි පනුවො ඉන්නවා, හේදුවෙ නැත්නම් ගඳ ගහනවා, දාඩිය දානවා, නියපොතු කපන්න ඕනේ, ඒ සියල්ල ඇත්ත, ඒ ආදීනව පැත්තෙන්, හැබැයි මෙහි තියෙන පරිපාලන සැලැස්ම මෙහි තියෙන ඒ ව්‍යුහාත්මක සැළැස්ම මොනතරම් බුද්ධිමත්ද, කාටද ඒතරම් සැලැස්මක් සකස් කරන්න පුළුවන්, මේ සියල්ල අපේ අතට භාර දුන්නොත් ඊළඟ මොහොතේ අපි නෑ, තත්පරයක් දෙකක් අපි ජීවත් වෙයි, මෙය තේරුම් ගන්නවත් අපට බැරි වෙයි. එමනිසා එයට අත ගහන්න යන්නේ නෑ. හැබැයි මේ සියල්ල දකින සිහිබුද්ධිය සාමාන්‍ය බුද්ධියට ගරු කරනවා, මේ තමා වැදගත්ම දේ, සිහිබුද්ධිය අහංකාර නෑ හරිම නිරහංකාරයි, එය මනින්නේ නෑ “මම ආධ්‍යාත්මිකයි, ඔබ ලෞකිකයි, මම ලෝකෝත්තරයි, ඔබ මඩ, මම නෙළුම් මල, ඒ නිසා උඹ මට යටත් මා ඔබට ඉහලින් ඉන්නේ”, නෑ, සිහිබුද්ධිය යථාර්ථවාදී වගේම හරිම නිරහංකාරයි. නිරහංකාරවූ සිහිබුද්ධිය සාමාන්‍ය බුද්ධියට ගරු කරනවා, කෘතවේදී වෙනවා, ඒවාට සිහිබුද්ධිය අත ගහන්න යන්නේ නෑ.


ඒ වෙනුවට සිහිබුද්ධිය එකම එක කාරණයකට මුළු ශක්තියම කේන්ද්‍ර ගත කරනවා, ඒ මේ හිත පිළිබඳ ක්ෂේත්‍රයට. සිහිබුද්ධිය බාරගන්නේ එපමණයි, හිත, කිසි කෙනෙකු භාර නොගන්නා දෙවියකු බ්‍රහ්මයකු මාරයකු ග්‍රහයකු නැතිනම් වෙන ශක්තියක් කවුරුවත් හිතවතුනි භාරගන්නෙ නෑ ඔබේ හිතවත් මගේ හිතවත් හදලා දෙන්නම්, සුවපත් කර දෙන්නම්, කීකරු කර දෙන්නම්, අන් සියල්ලම බාරගනී, භාර ගන්නත් පුළුවන්, හැබැයි කිසිම ජගතෙක් නෑ මේ විශ්වයේ ඔබේ හෝ මගේ හිත බාර අරගෙන හෝදලා පිරිසිදු කරල නිරෝගී කර අනාතුර හිතක් පිවිතුරු සිතක් බවට පත් කර ආපසු අපේ අතට දෙන්න. ඒ හැර එනම් හිත පිළිබඳ කාරණය හැර අන් සියල්ල පිළිබඳව විශ්වය බුද්ධිමත්, පැහැදිලිවම තේරුම් ගන්න, ලෝක ධර්මතා එපමණටම බුද්ධිමත්, එනිසාම ලෝක ධර්මතා අත ගහන්නෙ නෑ හිතට, වෙන කිසිම කෙනෙක්  අත ගහන්නෙත් නෑ, අවාසනාවකට අප භාරගන්නෙත් නෑ. මනුෂ්‍යයා එයට අත ගහන්නෙත් නෑ, මනුෂ්‍යයා තමන්ගේ හිතට අත ගැසීම වෙනුවට අත නොගැසිය යුතු හැමදේටම අත ගහනවා. අන්න සිහිබුද්ධියේ වැදගත්කම, සිහිබුද්ධිය බාරගන්නේ එකම එක වගකීමයි, කිසි කෙනෙකු වත් බාර නොගන්නා කිසි කෙනෙකුට භාර දෙන්න බැරි කිසි කෙනෙකුට හදන්න බැරි ඒ භාරදූර කාර්යය මනාකොට සතුටින් යටහත් පහත්ව නිරහංකාර බාරගන්නේ සිහිබුද්ධිය පමණයි. ඉතින් සිහිබුද්ධිය තිබුනොත් හොඳටම ඇති කියන්නේ අන්න ඒ නිසා. අනිත් බුද්ධිය කොහොමත් තියෙනවා එහි කිසි ප්‍රශ්නයක් නෑ, ඒ බුද්ධිය ලෝකයේ තියෙනවා, ශරීරයේ තියෙනවා, මොළෙත් අනෙකුත් අවයව වලත් තියෙනවා, සත්තුන්ට ගහ කොළ වලත්, ගලන ගංගාවලත් තියෙනවා. ඒ බුද්ධියේ මට්ටම් වෙනස් ඇති, නමුත් තමන්ගේ ගමන යන්න අවශ්‍ය පමණට බුද්ධිය තියෙනවා, නැත්තෙ හිතට. ඒ නිසා විශ්වයේ අතරමං වෙලා තියෙන්නේ හිත පමණයි, වෙන කිසිවක් විශ්වයේ අතරමං වෙලා නෑ, වැලිකැටයකින් දූවිල්ලකින් පටන්ගෙන කිසිම ග්‍රහවස්තුවක්, ග්‍රහ මණ්ඩලයක්, මන්දාකිණියක් අතරමං වෙලා නෑ විශ්වයේ, එක දිය බින්දුවක් වත් අතරමං වෙලා නෑ, අතරමං වෙලා තියෙන්නෙ ඔබෙත්  මගේත් හිත. අතරමං වෙන්න හේතුව විශ්වයේ වරදක් නොවේ, සිහිබුද්ධියෙ ප්‍රශ්නයක්, සිහිබුද්ධිය නැතිකම. ඉතින් භාරදෙන්න හිත සිහිබුද්ධියට, සිහිබුද්ධියෙන් හිතත් සමල කටයුතු කරන්න, හිතත් එක්ක කරන ගනුදෙනුව සිහිබුද්ධියෙන්ම කළ යුතු ගනුදෙනුවක්, වෙන නෑ විකල්පයක්, ආදේශකයක්, නියෝජිතයෙක්, අතරමැදියෙක්, අන් හැම දේටම අතරමැදියෙක් නියෝජිතයෙක් ඉන්නවා, විකල්ප තියෙනවා. හිත සිහිබුද්ධියෙන් හසුරුවා ගත යුතු ක්‍රියාවක්, එම නිසයි හිතවතුනි මේ සිහිබුද්ධිය ගැන මෙපමණ අවධාරණය කරන්නේ. සිහිබුද්ධිය අවශ්‍ය වෙන්නේ එකම එක දේටයි, එනම් හිත ගලවා ගන්න. ඒ හරවත් වූ අර්ථවත් වූ වගකීම භාර දෙන්නට තරම් මුහුකුරා ගිය සිහිබුද්ධියක් අපට තිබෙනවා ද, නැත්නම් ඒ මට්ටමට අපේ සිහිබුද්ධිය කොහොමද ගෙන එන්නේ, අන්න ඒ චේතනාවෙන් අපි අපේ භාවනාවට පිවිසෙමු.


භාවනාව


  • තමන් කරන්නේ කුමක්ද?, හිත හිතනවා තමන් දන්න බව තමන් කරන දේ, තමන් දන්න බව හිත හිතනවා, කරන දේ තමා කළ යුත්තේ ඒ නිගමනයට හිත ඇවිත් තිබෙනවා, හොඳින් බලන්න මේ මොහොතේ හිත කරන්නේ කුමක්ද, එතන ඔය කාරණා දෙක නැද්ද කියා, මතුපිටින් හෝ හැංගී, මා දන්නවා මා කරන දේ මෙන්ම මේ දේ තමා මේ වෙලාවේ කළ යුත්තේ, මොනවා ගැන හිතුවත්, මොන දේ ගැන හිතුවත් මේ නිගමන දෙකට අනිවාර්යෙන්ම හිත එනවා, ආවේ නැත්නම් ඒ ක්‍රියාව ඉදිරියට යන්නේ නෑ, හිත හිතනව නම් තමන් දන්නේ නෑ කියා නොදන්නා දෙයකට හිත අත ගහන්නෙ නෑ, එමෙන්ම හිත සැක නම් මෙයද කරන්න ඕන වෙන දෙයක්ද කියා එහෙම නම් හිත පටන් ගන්නේ නෑ, හිත හිතනවා තමන් දන්නවා සහ තමන්ට නිසැකයි කියා, මේ විනිශ්චය හා නිගමනය බලන්න, සිත කරන ක්‍රියාවෙන් ක්‍රියාවට ක්‍රියාවෙන් ක්‍රියාවට හඳුනාගන්න විනිශ්චයයි නිගමනයයි, දන්නවා සහ හරි, මෙය තමයි කළ යුත්තේ, දන්නවා හරි දන්නවා හරි දන්නවා හරි…

  • හිත කරන දේ සිහිය තිබුනොත් දැනගන්න පුළුවනි, හිතන බව, මතක් කරන බව හා සැලසුම් කරන බව සිහිය තිබුනොත් දැනගන්න පුළුවනි, සිහියට දැනගන්න බැරි කාරණය තමා ඒ කාරණය හරි සහ තමන් දන්නවා තමන් කරන්නේ කුමක්ද කියා මෙන්න මේ විනිශ්චයයි නිගමනයයි සිහියට පේන්නේ නෑ.

  • සිහිබුද්ධිය හිතෙන් සෘජුවම විමසනවා ඔබ දන්නවාද ඔබ කරන දේ? ඔබ හිතනවාද මේ මොහොතේ කළ යුතු දේ ඒ තමා කියා? මේ ප්‍රශ්න දෙක අහන්නේ සිහිබුද්ධියයි, දයාබර හිත, ඔබ දන්නවාද කුමක් කරමින්ද ඔබ සිටින්නේ කියා?, එමෙන්ම එයම තමා මේ මොහොතේ කළ යුතු එකම දේ, ඒ නිගමනය හරිද?

  • හිත මොනව පටන් ගත්තත් කමක් නෑ සිහියට ඒ හිත කරන දේ පේනවා, නමුත් ඒ දේ තේරෙන්නේ, ඒ දෙයමයි කළ යුත්තේ සහ හිත හිතනවා තමන් දන්න බව තමන් කරන දේ, සිහිබුද්ධියට පේන මේ කාරණා ගැන සිහිබුද්ධිය හරස් ප්‍රශ්න අහනවා, බලන්න ඒ සිහිබුද්ධිය පිබිදෙන විට සිතට මොන විදිහේ වෙනසක් ද වෙන්නේ.

  • විකසිත වීම පිළිබඳ යම්කිසි අත්දැකීමකුත් සමග හිතවතුනි එන්න සාකච්ඡාවට.



සාකච්චාව


ප්‍ර : ලෝක ධර්මතා හිතට අත ගහන්නෙ නෑ කියලා කියන්නේ ඇයි?

පි : ඔව් හිත වැඩ කරන්නේ ධර්මතා අනුව තමා, කොයි දේත් වැඩ කරන්නේ ධර්මතා අනුව, හිත පමණක් නොවෙයි. හැබැයි ලෝක ධර්මතා කියන්නේ එකක්, හිත වැඩ කරන්නේ ලෝක ධර්මතාව වලට අනුව නොවේ චිත්ත ධර්මතා වලට අනුව, මේ දෙක දෙකක්, ලෝක ධර්මතා කියන්නේ අටලෝ දහම කියන්නේ, දුක-සැප නින්දා-ප්‍රශංසා යස-අයස ලාභ-අලාභ කියන කාරනා අටට, ඒ ටික ලෝකයේ තියෙන දේවල්. 

මේ කියන්නේ ද්විත්ව ස්වභාවයක්, මේ ද්විත්ව ස්වභාවයේ එක් පලුවක් එක වාරයකට එනවා අනිත් පලුව ඊලග වාරයට එනවා, ඇවිත් හිතේ හැප්පීම පමණයි වන්නේ, සෘජුවම නොවෙයි, හැප්පෙන්න පුළුවන් එකම ක්‍රමය තමා ඉන්ද්‍රියක් හරහා ඇවිත් හැප්පීම, ඉතුරු ටික චිත්ත ධර්මතා වලට අනුවයි සිදුවෙන්නේ, ඒ නිසායි මංගල සූත්‍රය මංගල කාරණා පිළිබඳ කියන අවසාන ගාථාවෙන් කියන්නේ ලෝක ධර්මතා ඇවිත් ස්පර්ශ කරන විට හිතේ හැපෙන විට, යම්සේ හිතකට පුළුවන්ද කම්පා නොවී ඉන්න, ශෝක නොකර ඉන්න, හිත නරක් කරගන්නේ නැතුව ඉන්න පුලුවන්ද, වියලී ගිය කාන්තාරයක තත්ත්වයකට පත් වෙන්නේ නැතිව ඉන්න පුලුවන්ද ඒ මොන ලෝක ධර්මතාවය ඇවිත් හිතේ හැප්පුනත් කෙම්බිමක් විදිහට ඉන්න පුලුවන්ද හිතට, එය තමා උතුම්ම මංගල කාරණය. ඉතින් මෙතනිනුත් පැහැදිලි වෙනවා ලෝක ධර්මතා එකක් චිත්ත ධර්මතා තව එකක්, සිහි බුද්ධිය නැතිකම නිසයි මේ දෙක වෙන් වෙන්නෙ නැත්තෙ. ඒ වෙන් කර නොගැනීම නිසා වෙන්නේ ලෝක ධර්මතා ගහන පදයට හිත නටනවා. ඉතින් හොඳ පදයක් ගහනකොට හිත උඩ පනිනවා. නරක පදයක් ගහනකොට හිත ලිස්සල වැටෙනව. ගහන ගහන පදේට නටනවා. මේ තමා ස්වභාවය. මෙය වෙනස් කරන්න පුළුවන් සිහිබුද්ධියෙන්, ලෝක ධර්මතා මොන පදය ගැහුවත් උඩ පනින්නේ නැතිව ලිස්සලා වැටෙන්නෙ නැතුව ඉන්න පුළුවන් ධර්මතාවය තියෙන්නේ හිත ඇතුලේ. 


ප්‍ර : ලෝක ධර්මතා ඇවිත් හැප්පෙන කොට හිත කම්පනයට පත්වෙනවා නම් අපි කළ යුත්තේ නැවත නැවත ප්‍රශ්න කිරීමම නේද?


පි : අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය අහන්න ඕන, කවර හෝ කාරණාවක් හෝ ලෝක ධර්මතාවයක් නිසා කෝපයට පත් වුනොත් මේ ප්‍රශ්නය අහන්න “ඔබ දන්නවද කෝප වෙලා ඉන්න බව?, ඒ වගේම කෝප වීමමයි විය යුත්තේ, මේ තමා නිවැරැදිම දේ කියා ඔබ හිතනවාද?, මීට වඩා හිතකර විකල්පයක් ආදේශකයක් නැද්ද?”, මේ ප්‍රශ්නය අහන්න, එසේ ඇසෙනවිටයි හිතට තේරෙන්නේ තමන් දන්නේ නෑනේ සහ කෝප වියයුතුම නෑ තවත් පාරවල් තියෙනවා, ඒ පාරවල් පේන්න පටන් ගන්නේ සිහිබුද්ධිය මතුවෙන ප්‍රමාණයට, නැත්නම් හිතට හැම විටම අර පුරුදු රේල්පාර පමණයි පේන්නේ වෙන කිසිම පාරක් දොරක් ගේට්ටුවක් පේන්නේ නෑ. සිහිබුද්ධිය තමයි ඇවිත් වෙනත් බොහෝ දිශාවන් වලට හිස හරවන්නේ, එහෙම නැත්නම් වෙන්නේ, අර ලෝක ධර්මතා වලට අනුවයි සිතිවිලි එන්නේ හැඟීම් එන්නෙ, එවිට ඒ හිත බොහෝම භෞතික හිතක්, ලෝකය භෞතිකයි නේ, ලෝක ධර්මතා වලට අනුව නම් සිතිවිලි පහළ වෙන්නේ ‍ක්‍රියා ඇති වෙන්නේ ඒ හිත භෞතික හිතක්, සිහිබුද්ධිය නැති හිත භෞතික හිතක්, සිහිබුද්ධිය තියෙන හිත තමා ආධ්‍යාත්මික හිතක් කියන්න පුළුවන් වෙන්නේ, අර ලෝක ධර්මතා මත යැපෙන්නේ නැති චිත්ත ස්වභාවයක් පවතිනවාද කිසියම් මොහොතක අන්න ඒ මොහොතේ තියෙන චිත්ත ස්වභාවයට තමා අධ්‍යාත්මික හිත කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබතුමා කියපු කාරණය තමා සිදුවිය යුත්තේ, අප අහන්න ඕන මේ ප්‍රශ්නෙ දිගින් දිගටම අහන්න ඕන, සිහිබුද්ධිය පමණයි මේ ප්‍රශ්නය අහන්නේ වෙන කවුරුවත් ගිහින් මේ ප්‍රශ්නය අහන්නේ නෑ, ඔබ දන්නවද ඔබ කරමින් ඉන්නේ කුමක්ද කියා සහ එයම ද විය යුත්තේ එයමද දිය යුතු හොඳම ප්‍රතිචාරය වෙනත් විකල්ප නැද්ද, අහන්න ඇහුවම මුලින්ම කියයි “ඔව්, මම දන්නවා, වෙන විකල්ප නෑ, මේ තමයි කරන්න තියෙන එකම දේ”, නැවත අහන්න නැවත අහන්න, නැවත නැවත නැවත නැවත සිහිබුද්ධිය පිහිටුවා ගැනීම තුළින් සහ සිහිබුද්ධිය විමසීම තුළින් අන්න හිතට ආලෝකය වැටෙන පටන් ගන්නවා, මෙතෙක් අඳුරුව තිබුණු විවිධ අංශ වලට එළිය වැටෙන්න පටන් ගන්නවා, එහෙම එළිය වැටෙන විටයි පේන්නේ, නෑ මෙතනත් දොරක් තියෙනවා අතනත් දොරක් තියෙනවා මෙහෙම ක්‍රමයකුත් තියෙනවා, සිහිබුද්ධිය නැති හිත අන්ධකාරයේ, ඒ නිසයි විද්‍යාවන් පහක් එකට දාලා ධම්මචක්ක සූත්‍රයේ කියනවනේ චක්ඛුං උදපාදි ඤාණං උදපාදි විජ්ජා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි, මේ පහම එකට තියෙනවා, එසේ තියෙන නිසා මේවා අතර තියනවා ලොකු සමානකමක්,  ක්‍රියාපිළිවෙත පටිපාටිය පිළිබඳ දැනීම ඇහැරෙනවා, තමන් පිළිබඳ නුවණ ඇතිවෙනවා, 

නෑ මෙයම නොවේ කරන්න තියෙන්නේ තව කරන්න ක්‍රම තියෙනවා, මේ වලේ වැටෙන්න ඕනේ නෑ වලේ නොවැටී ඉන්න පුළුවන් කියන ප්‍රඥාව පහළ වෙනවා, මේ සියල්ල පහළ වුණාම මනසට මුළු මනසම ඒකාලෝක වෙනවා, එතෙක් කළු කුහරයක් වගේ තිබුණු මනස පූර්ණ වශයෙන් ඒකාලෝක වෙන්නේ සිහි බුද්ධියෙන්, ඒ මනසට මනස හොඳට පේනවා, ඒ පේන මනසට කිසිම රහසක් නෑ, සැඟවුන තැනක් අන්ධකාරයක් කිසිම හෙවනැල්ලක් නෑ, පූර්ණ වශයෙන්ම නිරාවරණය වුණු මනසක් ඒ සිහිබුද්ධිය ඇති කරන්නේ. 


ප්‍ර : ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ කර්මයට අනුවද?


පි : ලෝක ධර්මතා ක්‍රියාත්මක වන ප්‍රබල හේතුවක් තමා කර්මය. කර්මය කියන්නේ චිත්ත සන්තතිය කළ කී දෑ, අතීතයේ චිත්ත සන්තතියේ සිතුවිල්ලක් කළ දේක විපාකය ඒ චිත්ත සන්තතියේ වර්තමානයට විඳින්න වෙනවා, මෙය සාධාරණද අසාධාරණද කියන එක වෙනම කාරණයක්, නමුත් මෙය ධර්මතාවයක්, මෙය ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට. මේ හිතට සම්බන්ධ දෙයක්, වෙන කොහේටවත් සම්බන්ධ දෙයක් නොවේ. කර්මය කරන්නෙ හිතින්, එතකොට මේ චිත්ත සන්තතියේ අතීතයේ කිසියම් සිතක්(චිත්තයක්) කළ ක්‍රියාවක විපාකය වර්තමාන සිතට විදින්න වෙනවා, අනිවාර්යෙන්ම නොවේ, නමුත් චිත්ත සන්තතියේම තවත් හිතකට විදින්න වෙනවා, එයට කියනවා විපාකය කියා, කළ ක්‍රියාවට කියනවා කර්මය කියා, එයයි සාමාන්‍යයෙන් වෙන්නේ, මේ වර්තමාන හිතේ සිහිබුද්ධිය නැත්නම් මේ දේ තේරුම් ගන්න බෑ, මේ චිත්ත සන්තතියේ අතීත පුරුකක් මමත්වයෙන් දැක්වූ ‍ප්‍රතික්‍රියාවක වර්තමාන ඵලය තමා දැන් මේ තමන් විදින්නේ කියන කාරණය වර්තමාන හිත දන්නේ නෑ, හිතන්නෙත් නෑ, එහෙම පේන්නෙත් නෑ, මෙය හරි අසාධාරණයක් කියායි හිතෙන්නේ. එතනදි  ඒ හිත ඊට ප්‍රතික්‍රියා කරනවා කැමති වෙනවා අකමැති වෙනවා එක එක විකාර කරනවා, ඒ කිරීම තුළින් වෙන්නේ මොකක්ද අලුත් විපාකයට කර්ම තමයි මේ ජනනය කරන්නේ, එතකොට ඒ වර්තමාන හිත දෙවිදිහකට ක්‍රියා කරනවා, එක විදිහකට අතීත කර්මයක විපාක විඳිනවා, ඒ අතර මේ චිත්ත පරම්පරාවේ අනාගත පුරුකකට විඳින්ට විපාකයක් ජනනය කරනවා. මෙහෙම තමා සංසාරය දිග ඇදෙන්නේ, මෙතැනදී සිහිබුද්ධිය තිබුනොත් වර්තමාන හිතට, සිහිබුද්ධිය තිබුනත් එයට පුබ්බේනිවාසානුස්සති ඥානය නෑනෙ, ඒ නිසා මෙහෙම වෙන්න පුළුවන් අතීත චිත්ත පරම්පරාවේ මී මුත්තෙක් කළ අතීත ක්‍රියාවක විපාකය තමයි මේ මී මුණුපුරා විඳින්නේ කියා මෙය තේරුම් අරගෙන මධ්‍යස්ථව ඉන්න පුළුවන් නම් මෙතනින් නිෂ්ක්‍රීය කර දාන්න පුළුවන්, එවිට මෙතෙක් ආ ගමන නිෂ්ක්‍රිය වෙනවා මෙතනින් එහාට යෑමක් නෑ, මෙතනින් ඉවරයි, නැතුව කලබල වෙලා ඊට ප්‍රතික්‍රියා දැක්වූවොත් මෙතනින් අලුත් ජවයක් ශක්තියත් ආයේ නිර්මාණය කරනවා, එතකොට අනාගතයේ ඉන්න මී මුණුපුරෙකුට ඒ විපාක විඳින්න වෙනවා, ඒ කියන්නේ වෙනම කෙනෙක් නොවෙයි මේ චිත්ත පරම්පරාවේ මේ හැම තැනකම “මම” ඉන්නවා නේ, “මම” නැතිනම් ඒ ප්‍රශ්නෙ නෑ, මම ඉන්නවා, චිත්ත සන්තතියක් උනාට ඒ හැම තැනකම “මම” ඉන්නවා, ඒ මම ඉන්න නිසා තමයි කරන්නේ  සහ විඳින්නේ. මේ බව තේරුම් අරගෙන මෙතන නිහඬ වෙන්න පුළුවන් නම් නිෂ්ක්‍රීය වෙනවා, නිෂ්ක්‍රිය වුනොත් එයම තමා කර්මක්ෂය කියන්නේ, කර්මයක් වෙන්නේ නෑ, කළ කර්මය ක්ෂය වෙලා යනවා, ඒ ක්ෂය වීම තුළම ලොකු සැහැල්ලුවක් සැනසිල්ලක් වර්තමානයේ ලබනවා.


ඒ වගේම තමන්ගෙන් තව කෙනෙකුට අසාධාරණයක් වෙන්නේත් නෑ, මොකද ඒ විපාකය එන්නේ තව කෙනෙක් හරහානේ, නින්දාවක් නිකම් එන්නෙ නෑ, මේ තව කෙනෙක් හරහා එන්නේ, එතනදි එය තේරුම් අරගෙන මේ අතීත කර්මයක් නිසා කියා නිහඬ වෙන්න සංසුන් වෙන්න එයාට දෝෂාරෝපණය නොකර ඉන්න පුළුවන් නම් එයාගෙ හිත අප විසින් රිද්දන්නෙත් නෑනේ, එයාගෙ පැත්තටත් තමන්ගේ පැත්තටත් ශාන්තියක් නිරෝධයකුත් වෙනවා, කර්මක්ෂයකුත් වෙනවා, මේ සියලුම ප්‍රතිඵල ලබා දෙන්නේ මේ මොහොතේ සිහිබුද්ධිය තිබුණොත් පමණයි.



ප්‍ර : යමක් සිතූ පරිදිම වෙනවා නම් එසේ වෙන්නේ සිතූ නිසා යැයි සිතනවා නම් සහ ඉදිරියටත් ඒ ආකාරයටම සිද්ධ වෙයි කියා බලාපොරොත්තු වෙනවා නම් එතන සිහිබුද්ධිය නෑ නේද?


පි : ඒකාන්ත අපේක්ෂාවක් තියෙනවනේ මෙතෙක් වුනේ මෙහෙමයි, ඒ නිසා මේ විදිහට දිගටම සිද්ධ වෙන්න ඕන කියලා. ඉතින් එහෙම කිසියම් කාලයක් වෙන්න පුළුවන්, හැබැයි ඒ කාලය තුළත් ඒ විදිහටම වෙන්නේ එහෙම වෙන්න ඕනේ කියා සිතූ නිසා නොවෙයි එහෙම වෙන්න ඕන හේතු ටික එකතු වෙලා තියෙන නිසා, හිතන නිසා නොවෙයි, ඒ හේතු එකතුවෙලා එසේ වෙනකොට අප හිතනවා මා හිතූ නිසයි එහෙම වුණේ, මම කැමති නිසයි එසේ වුනේ කියා, හැබැයි කොපමණ කාලයක් ඒ හේතු සාධක ටික එකට එකතු වෙලා තියෙයිද කියන්න අප දන්නෙ නෑ, එක හේතුවක් හරි කොයි වෙලාවක හරි අයින් වුනොත් වෙන්නේ අනපේක්ෂිත දෙයක්. ඉතින් අප දිගටම බලාපොරොත්තු වෙනවා නම් මෙතෙක් වුන විදිහටම වෙන්න ඕනේ කියලා, ඒ වෙලාවේ දරාගන්න බෑ ලොකු කම්පනයක් එතන වෙන්නේ, ඉතින් ඒ කම්පනය නිසා කෙනෙක් උන්මත්තක වෙන්නත් පුළුවන්. මෙතක් කොහොම වුනත් ඊළඟ මොහොතේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියන ඒ විවෘතභාවය තුල ඉන්න පුලුවන්නම් ඒකෙන් ලොකු කම්පනයක් ඇති වෙන්නේ නෑ, භෞතික ප්‍රශ්න එන්න පුළුවන් නමුත් හිතට ලොකු කම්පනයක් එන්නේ නෑ.


හොඳයි හිතවතුනේ අදත් අපි කාරණා කීපයක් ගැන අවධානය යොමු කළා. වැදගත් කාරණය තේරුම් ගන්න මේ ලෝකය අපට බෙදන හැන්ද ඒක හරිද වැරදිද තීරණය කරන්න අපිට අමාරුයි කියන එක. ඒක විනිශ්චය කිරීම ඒක වෙනම විෂයක්, හැබැයි ඒ අනුව අපි නටනවාද නැද්ද අපි සංසාරේ දික් කර ගන්නවා ද නැද්ද ඒක නම් අපේ අතේ තියෙන්නේ. ඒ සඳහා තමයි සිහිබුද්ධිය ඕන වෙන්නේ. එතන වැදගත්ම සාධකය සංසාරේ අපි දික්කර ගන්නවාද නැද්ද කියන එක. අපාය හදන්නෙත් හිතමයි, අපායෙන් අපිව ගොඩගන්නේත් හිතමයි සිහිබුද්ධිය තිබුණොත්. ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙමින් ඉතින් අපි සමුගනිමු අද සදහන් සැඳෑවෙන්.


සැමටම සෙතක් වේවා, 

ශාන්තියක් වේවා, 

සැනසිල්ලක් වේවා… !!!