සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 14


2022 ජනවාරි 05, සාරාංශය 


සැමදෙනාටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමින්, ගෙවුනු වසරවල ගෙවුණු ආත්මභාවයන්හී  වැඩු පාරමිතා, සමථ විපස්සනා, ඒ සියලු පුහුණුවේ අග්‍රඵලය අත් දකින්නට ලැබෙන ආධ්‍යාත්මික නව වසරක් වේවා කියන ප්‍රාර්ථනයත් හා එසේ කරගන්නවා කියන අධිෂ්ඨානයත් සමග අප මෙම වසරේ පළමු සදහම් සැඳෑවට එකතු වෙමු. 


අපට පලා යා නොහැකි ජීවිතයක, පලා යා නොහැකි ජීවිත ගමනක යෙදී සිටීමටයි සිදුව තිබෙන්නේ. තමන් ගැනත්, අනුන් ගැනත් ඉටුවිය යුතු යුතුකම්, කරන්න තියෙන වැඩ මේ සියල්ල නොතකා නොසලකා හරින්නට, අමතක කර දමන්නට පුළුවන්. මේ දෙපිරිසම අමතක කර ධ්‍යානයක්, ධර්ම සාකච්ඡාවක්, පූජා, චාරිත්‍ර වාරිත්‍ර සමගම ඒකාත්මිකව පූර්ණ වශයෙන්ම ආගමික ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. අතිවිශාල කායික මානසික සුවයක්, පින් පිරුණු සංසාරික ගිණුමක්, සත්පුරුෂයන්ගේ කීර්ති ප්‍රශංසා ලබා ගන්නට පිළිවන්. එයින් හිතේ එක් කොටසක් පමණක් තෘප්තිමත් වෙයි, සතුටට පත්වෙයි. හිතවතුනි, සෑහීමකට පත් වුණා කියා හිතන විට සහ එසේ දැනෙන විට බලන්න මුළු හිතම සතුටින් පිරිලා ද, මුලු හිතම සෑහීමකට පත්වෙලාද, සමස්ත මනසම තෘප්තිමත්ද කියා. බොහෝවිට හිතෙන් හතරෙන් එකක් පමණයි එසේ සෑහීමකට පත්වන්නේ. සාමාන්‍ය හිතේ කොටස් හතරක් තිබෙනවා.(වෙනත් වර්ගීකරණයන්ට අනුව වෙනස් ආකාරයට හිතේ කොටස් ගණන් කරන්න පුළුවන්. මනෝවිද්‍යාවේ තිබෙනවා උඩු සිත, යටි හිත, සවිඥානික මනස, අවිඥානික මනස ආදි වශයෙන්. එය බලන කෝණය, අවස්ථාව, අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා). මෙතැනදී හිත සතුටට පත් වුණා සෑහීමකට පත්වුණා තෘප්තිමත් වුණා කියන තැන, බොහෝවිට හිතේ එක් කොටසක්, හතර එකක් පමණ තමා හැම විටම සතුටට පත් වෙන්නේ. 


අපි බලමු මොනවාද මේ කොටස් හතර කියල, පලවන කොටස තමා අති සාමාන්‍ය මනස, සරල මනස, එදිනෙදා ජීවත් වෙන්නට අවශ්‍ය දේවල් ගැන හිතන පතන, ඒ වෙනුවෙන් සැලසුම් කරන, වෙහෙසෙන මනස. ඒ මනස දන්නෙ ඒ ටික පමණයි. කෑම-බීම, ඉඳුම්-හිටුම්, බේත්-හේත් මේ ආදී වශයෙන් සාමාන්‍ය ජීවිතයට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය ඕනෑ එපාකම්, ඒ තමා ජීවිතය කියා හිතන මනස, අති ලෞකික, අති භෞතික මනස. මේ මනසත් සතුට හොයනවා. මේ මනසත් සෑහීමකට පත් වීම ගැන හීන දකිනවා. මේ මනස බඩගිනි වෙලාවට කැමති රස තිබෙන ආහාර තිබෙනවා නම් අන්න සතුටුයි. සාමාන්‍ය ජීවිතේ පැමිණෙන භෞතික ලෞකික ගැටළු කෙළවරක් නෑ, බඩගිනි, හිසරදය, රස්නය සීතල, තනිකම, පාළුව, යුතුකම්, වගකීම්, මේ සියල්ල ඉටු කරන්න අවශ්‍ය මුදල්, ඒ සඳහා රස්සාව, මේ විදිහටයි ජීවිතය පිරී තිබෙන්නේ. බොහෝ මිනිසුන්ගේ ජීවිත මෙපමණයි. මේ සියල්ලෙන්ම සෑහීමකට පත් වෙන්නේ සිතේ මතුපිට ස්ථරය, පොත්ත, සිවිය. මේවායේ කෙළවරක් නැති නිසා, බඩගින්න කීවාරයක් දැනෙනවද, මුදල් හිග වෙනවාද. ධනවත් වෙනවද, මෙහි ඉවරයක් නෑ. ඒ ඉවරයක් නැති නිසාම ඉවරයක් නැති වාර ගණනක් අතෘප්තියට පත් වෙනවා, තෘප්තිමත් වෙනවා, නැවත අතෘප්තියට පත් වෙනවා, කෙළවරක් නෑ. මේ මනස වයින් ඉවර නොවුණු ඔරලෝසුවක් වගේ, මොහොතකට වඩා සෑහීමකට පත් වුණු ස්ථානයේ ඉන්න නොලැබෙන හරිම අසරණ මනසක්. මේ මනසට බොහෝ කාලයක් තෘප්තිමත් බවේ ඉන්න ලැබෙන්නෙ නෑ, දෛනික ගැටලු මතු වෙනවා. ඉතින් මේ තමා ජීවිතය කියා හිතාගත් මනස බොහොම ඉක්මනට විඩාවට පත්වෙනවා, වෙහෙසට පත්වෙනවා, ඇති කියන නිගමනයට එනවා,  ඒ වගේම මෙහි ඉවරෙකුත් , කරන්න දේකුත් නෑ, විසදුමකුත් නෑ, ඉන් එහාට දැක්මකුත් නෑ.


ඊළඟ මනස තමා මේ කන බොන ජීවිතයේ සීමාව දැක, එය ඇති කියා නිශ්චය කරගෙන ඉන් එහාට නොපෙනෙන ජීවිතයක් ගැන, නොපෙනන මානයක් ගැන විශ්වාස කරන මනස, බෞද්ධ අබෞද්ධ කුමන ආගමක හෝ, ආගමික ඉලක්ක. පේන්නේ නැති ආගමික මනස. මේ මනසට පේන්න තියෙන්නෙ ආගමික ක්‍රියා, දන්දීම්, සිල් රැකීම්, පුදපූජා. ලෞකික වගකීම් යුතුකම් වෙනුවට එයට එහා ගිය නොපෙනෙන ආගමික ඉලක්ක හදාගෙන, හඳුනාගෙන ඒ වෙනුවෙන් කළ යුතු දෙය කරනවා, ඉන් සෑහීමකට පත් වෙනවා, සතුට තියෙන්නේ සෑහීම තියෙන්නෙ අතන නොවේ මෙතන කියන තීරණය, කෑම බීම නොවෙයි දන් දීම, කතා කිරීමට වඩා නිහඬව සිටීම, ඉපයීමට වඩා බෙදාදීම, බඩගිනි එන එන වෙලාවට කුස පුරවා ගැනීම නොවේ උපවාසය, ‘මම’ තමයි උසස්ම කියා හිතනවට වඩා පහලට ඇවිත් තමන්ට වඩා උසස් දේකට කෙනෙකුට ගරු කර වන්දනා කරන මනස. මේ මනස සතුටට පත් වෙන්නේ එබඳු ක්‍රියා වලින්. ඉතින් මේ ආගමික ක්‍රියාවලින් සෑහීමකට වෙන්නේ මනසේ තවත් එක් කොටසක් පමණයි, අර මුල් කොටස නොවේ, මේ දෙවන කොටස පමණයි, හතරෙන් එකක් පමණයි. මේ දෙවන මනස හිතනවා තමන් පළවෙනි මනසට වඩා උසස් කියා. මෙතන පුද්ගලයෙකු නොවේ, මනසේ කොටස්, තට්ටු, ස්ථර තමා  මෙබඳු නිගමන වලට එන්නේ, පුද්ගල ස්වරුපයෙන් හිතන්නේ මනසේ ස්ථරයන්. එකම මනසේ ස්ථර දෙකක් අතර මානයක් හදාගෙන කවුද උසස් කව්ද පහත් කියා, මෙය සරලව කියනවා තමන් පිළිබඳ ඇතිකරගන්න මානය. තමන් මනින්නේ තමන්, එක වෙලාවක ඉන්න තමන් තවත් වෙලාවක ඉන්න තමන් සමගම මනිනවා, මේ මනස් දෙක එකිනෙක මැනගන්නවා, මැනගෙන කුමක්ද හරි වැරදි, උසස් පහත් කියන නිගමන වලට එනවා, නමුත් එකතු වීමක් නෑ. සමහරවිට ලෞකික මනස ආගමික මනසට ගරු කරනවා, ආගමික මනස ලෞකික මනස පහත් කරනවා, සමහර විට තර්ක විතර්ක ගෙනවිත් ලෞකික මනස ආගමික මනස යටපත් කරනවා. මේ සියල්ල සමග තෘප්තිමත් ස්වභාවයක් තමා සියලු දෙනා අත් දකින්නේ, පූර්ණ තෘප්තියක් මේ දෙකේම නෑ, තාවකාලිකයි.


හරි හම්බ කරන ජීවිතේ මුලින් තෘප්තියක් තිබුනත් පසුව එපා වෙනවා, මේකද ජීවිතය, මේකද හරය කියා හිතෙනවා. ඒ නිසා දෙවන මනස (ආගමික මනස) ආවහම හරි සතුටුයි, මෙතන තමයි හරය තිබෙන්නේ, ඒ පිළිබඳ දොහොත් මුදුන් දී ඒ මගෙහි යනවා, අනිත් අයත් ඒ මගට යොමු කරනවා. නමුත් කලක් යන විට ඒ මගත් නිසරුයි කියා හිතෙනවා. ඒ බව තේරුම් ගත් විට, මනසේ උඩ තට්ටු දෙකම නිසරු බව ඇත්තටම දැක්කාම තමා තුන්වන මනසේ දොර ඇරෙන්නෙ .


නිසරු බව කියන්නේ කුමකටද, මේ ස්ථර දෙකම බාහිර දේවල් මත යැපෙනවා, පළමු මනස බාහිර ඉන්ද්‍රිය වින්දන මත යැපෙනවා, ආගමික මනස බාහිර විශ්වාස, කර්මය මත යැපෙනවා. මේ සීමාව දැක්කාම අන්න ඇති වෙනවා වෙනත් අවශ්‍යතාවයක්. ආගමත හා ඉන්ද්‍රීය වින්දනයන් පිටින් ගන්න දේවල්, ඒ වෙනුවට තමා තුළම සතුට සොයා ගන්න බැරිද?. ඒ විමසීම නිසයි කෙනෙකු සමථයට, භාවනාවට, ධ්‍යානයට එන්නේ.මේ කොතනින් ගත්තත් ධ්‍යානය, භාවනාව, මනස තුළම තිබෙන නිශ්චලත්වය, මනස තුළම තිබෙන සතුට. අන්න හොයාගෙන යනවා බාහිර ඉන්ද්‍රිය පිලිබඳ තිබෙන ගිජුබව අත්හරිමින්, බාහිර විශ්වාස මත යැපීම නවත්වමින්, මනස තමා තුළටම අභ්‍යන්තරයට පිවිසෙනවා, ඒ අභ්‍යන්තර ගතවීම නිසා බාහිර දේවල් පිළිබඳ එන සිතුවිලි අඩුව යනවා, වෙනදාට බාහිර දේවල් පිළිබඳ පැමිණි තොරතෝංචියක් නැති මුදල්-හදල්, ගෙවල්-දොරවල්, කෑම-බීම පිළිබඳ සිතුවිලි අඩුවෙනවා. 


(පළවෙනි මනස පිරී තිබෙන්නේ ඔය සිතිවිලි වලින්). එමෙන්ම නොපෙනෙන දේවල් මත යැපෙන එයින් ස්ථාවර පිළිසරණක් පිටුවහලක් ලැබේ කියා සිතන සිතිවිලිත් අඩුවෙනවා. මේ සිතිවිලි වර්ග දෙකම ක්ෂය වී යාම නිසා හිත බාහිර කල්පනා වලින් නිදහස් වෙනවා, කල්පනා අඩුවෙන්නට අඩුවෙන්නට හිත සැහැල්ලු වෙනවා, හොඳට බලන්න කල්පනා කරන ඕනෑම විටක ඔය කාරණා දෙක තුනට සීමා වෙනවා, ඉන් එහා කල්පනාවක් නැහැ. මෙසේ බාහිර ලෝකයට තිබූ බන්ධනය අඩුවන විට, ඒ පිළිබඳ සිතුවිලි සම්ප්‍රේෂණය අඩුවෙන විට, හිත සැහැල්ලු වෙනවා, හිත තමා තුළම තැන්පත් වෙනවා, හිත හිත ගැනමයි හිතන්නේ, වෙන බාහිර ලෝකය ගැන නොවෙයි, හිතට හිතේ ස්වභාවයන් ගැන පමණයි විතර්ක ඇති වෙන්නේ. ඉතින් ඒ විතර්ක සමග හිත හිතටම හා වෙනවා, සිත මෙතෙක් හාවී තිබුණේ බාහිරව යම්කිසි දෙයකට, දැන් හිත තමන් සමගම බද්ධ වෙනවා, මෙයට තමා ඒකාග්‍රතාව කියන්නේ, තමන් සමගම බද්ධ වීමට, හා වීමට, මුහුවීමට. එයින් අන්න තුන්වන මනස තෘප්තිමත් වෙනවා.


පළවෙනි මනසේ  තෘප්තිය මතුපිට, ලෞකික මනස. ආගමික මනසේ තුප්තිය එයට වඩා සියුම් එයට වඩා විශාලයි ගුණාත්මක පැත්තෙන් හා ප්‍රමාණාත්මක පැත්තෙන් ඉමහත්. තුන්වන මනසට එන විට ඒ තුන්වන මනස අත්දකින සතුට ප්‍රීතිය ප්‍රමෝදය හා තෘප්තිමත්බව එක හා දෙකට වඩා අතිශයින්ම විශාලයි ඉමහත්, සමහරවිට අප්‍රමාණයි කියන්න පුළුවන්, එක හා දෙක මනස් වලින් මැන ඉවර කරන්න බෑ, ඒ නිසයි අප්‍රමාණ කියන්නේ, අප්‍රමාණ වෙන්නේ සාපේක්ෂ වශයෙන්. හිත තමන් සමග ඒකාත්මික වන විට ලබන වින්දනය ලෞකික මනස නැමැති හුන්ඩුවෙන් මැන ඉවර කරන්න බෑ, ඒ නිසයි මේ ලෞකික මනසට සාපේක්ෂව අප්‍රමාණ වෙන්නේ, ආගමික මනස ලෞකික මනසට වඩා වඩා විශාලයි, නමුත් ඒ  මනසටත් කිරල මැනලා තීරණයකට එන්න බෑ, ඒ නිසා අප්‍රමාණ වූ ප්‍රමෝදයක් සතුටක් සැහැල්ලුවක් මේ තුන්වන මනස අත්දකිනවා කියා තීරණය කර ගන්නේ එක හා දෙක මනස් දෙක. ඒ දෙන්නා තමයි ඒ තීරණයට එන්නේ. 


මේ ප්‍රමුදිත සාගරයේ සිත් සේ කිමිදෙන්නට මේ තුන්වන මනසට ඉඩ දෙනවා. නමුත් එය මහා සාගරයක් වුවත් එයත් සීමිතයි, පෘථිවිය සීමිතයි වගේ. පෘථිවිය කොපමණ විශාල වුනත්, එය පුංචිම පුංචි ග්‍රහවස්තුවක් සෞරග්‍රහ මණ්ඩලයට සාපේක්ෂව, ඒ ඇතුලෙ තියෙන සාගරය ගණන් ගන්න බැරි තරම් කුඩයි සාපේක්ෂ වශයෙන්. කුඩාද විශාලද තීරණය වන්නේ මනින තරාදිය, කෝදුව අනුවයි. එක දෙක මනස් වලට අප්‍රමාණ වුනාට තුන්වන මනස දවසක ඒකාග්‍රතාව ධ්‍යානය සමාධිය සමග අතෘප්තිමත් භාවයට පත් වෙනවා. හැබැයි එක දෙක මනස වලට එය තේරුම් ගන්න බෑ, එය තේරෙන්නේ තුන්වන මනසට. දෙවන මනසේ අතෘප්තිය පළ වන මනසට තේරෙන්නේ නෑ, පලවන මනසේ අතෘප්තිය දෙක තුන මනස් වලට හොඳට තේරෙනවා, මේ තමා ශ්‍රේණි, 


කෙසේ හෝ අතෘප්තියට පත් වීමේ ඉවරයක් නෑ, පහළින් බැලුවම ඉහලට ගියාට, ඊලඟ මට්ටමට ගියාට, සියල්ල හරි කියා සිතුවාට, එතනට ගියාම තමයි එතැන සීමාව තේරෙන්නේ. මෙසේ දිගින් දිගටම  සංසාරික හිත අතෘප්තිය අත්දකිනවා. අවස්ථා තුනේම තියන හිත් සංසාරිකයි. පළවෙනි හිත බොහෝ ඉක්මනට අතෘප්තියට පත් වෙනවා, බොහෝ ඉක්මනට ඕන වෙනවා එපා වෙනවා, හරි ළඟ දෝලනය වන බට්ටෙක් වගේ. ආගමික මනස එයට වඩා ඈතට පදින ඔන්චිල්ලාවක්, නමුත් එතන තියෙන්නේත් මේ සිද්ධාන්තයමයි, එපා වීම සිදුවන්නේ හෙමිහිට. තුන්වන මනසට එයටත් වැඩිය කාලයක් යනවා, මේ සීමාව දකින්නට, සමහර විට ජීවිත කාලෙට නොදකින්නට පුලුවන්, සමහර විට ඊටත් වැඩි අවුරුදු දාස් ගණනක් යන්න පුළුවන්. ඉතින් මේ ප්‍රමාණාත්මක පැත්තෙන් වෙනස් වුණාට ප්‍රතිපලය නම් එකමයි. මේ තුන්වන මනස තරම් අස්ථායි මනසක් තවත් නෑ, හැබැයි ඒ බව තේරෙන්න බොහෝම කල් යනවා. 


මේ තුන්වන මනසත් එහි සීමාව දකින විට අන්න තව යන්න තැනක් නෑ, එලියට ගියා ඇහැට,කනට, දිවට, නාසයට, ශරීරයට ගියා, ඒ තමා ජීවිතේ කියා සිතුවා, ඒ තමා සතුට කියා සිතුවා, එතන තියෙන සතුටේ ආදීනවය දැක්කා, එතන නොවේ සතුට තියෙන්නේ ආගමික ජීවිතයේ, එය හොයාගෙන ගියා, ඒ සතුටත් ලැබුවා, ඒ හරයත් අත්දැක්කා, එහි සීමාවත් වටහා ගත්තා, දැන් යන්න තැනක් නෑ, යන්න තිබුණ එකම තැන තමා තුළට, එතනටත් ගියා, සමාධිය යන්නේ තමා තුළට. ඉතින් එළියටත් ගියා ඇතුලටත් ගියා ආයේ යන්න තැනක් නෑ.


මේ ඕන තැනක පදිංචි වෙලා ඉන්න පුළුවන්, පලවෙනි මනස පදිංචි වෙලා ඉන්නේ බාහිර ලෝකයේ, ඇහැට කනට පෙනෙන ලෝකයේ. දෙවැනි මනස පදිංචි වී සිටින්නේ ආගමික විශ්වාස ඇතුලේ. තුන්වන මනස පදිංචිව සිටින්නේ තමන් තුළ. ආයෙ පදිංචි ස්ථානයක් නෑ, ඉන්න තැනක් නෑ, කොහේවත් නෑ, කොහෙවත් ඉන්න තැනක් නැති බවත්, මේ තිබෙන තැන් සැබෑවටම ඉන්න සුදුසු තැන් නොවන බව බවත් වැටහෙන විට, අන්න කිසිම තැනක පදිංචි වෙන්නට නොහිතන මනස මතුවුණා. තව විදිහකට කියනවා නම් ඉන්න තැනක් හොයන්නේ නැති මනස. හොඳට බලන්න හිතවතුනි මනස හැමවිටම තැනක් අල්ලා ගන්නවා, තැනක් කියන්නේ අරමුණක් අල්ලා ගන්නවා. මුලින්ම පංච ඉන්ද්‍රිය අරමුණු අල්ලාගන්නවා. ඊළඟට මනෝ විඤ්ඤාණයෙන් ඒ පහෙන් එහාට මවාගන්න, ඇත්ත වෙන්න පුළුවන් කියා හිතන ඒ ආගමික අරමුණ අල්ලාගන්නවා. ඊලගට තමන්වම අල්ලා ගන්නවා.


හතරවෙනියට මේ කිසි තැනක් ගෝචර තැනක් නොවන බව වැටහෙන විට, මේ එකම තැනක වත් ඉන්න නොහිතන මනස, කිසිම තැනක පදිංචි නොවන මනස, කිසිම තැනකින් සතුටු හොයන්නේ නැති මනස, හොයන්න අවශ්‍ය නැති මනස, ඒ මනස තේරුම් ගන්නවා මේ මුළු වින්නැහියම වුණේ සතුට හොයන්න ගිහිල්ල, වින්දනයක් හා විසඳුමක් හොයන්න ගිහිල්ල, කෙළවරක් නෑ ප්‍රශ්න වලත් පිළිතුරු වලත්, ප්‍රශ්නයක් එයට පිළිතුරක්, ඒ පිළිතුරම තවත් ප්‍රශ්නයක් වෙනවා, මේ හැර හුස්මක් කටක් ගන්න අවස්ථාවක් අවකාශයක් නෑ. මේ සීමා දකින විට, මෙයට කියනවා ආදීනව කියා, ආදීනව දකින විට මනාව තේරෙනවා, කිසිදු තැනක පැලපදියම් වීමේ ඕනෑකම නැති ස්වභාවය මතු වෙනවා, අරමුණක් ගන්නෙ නැති ස්වභාවය, අරමුණ විදිහට කිසිවක් ගන්නේ නෑ, ඇහෙනවා, පේනවා, දැනෙනවා, දුවනවා, තැන්පත් වෙනවා, හැබැයි මේ කිසි දෙයක් ගෙයක් විදිහට ගන්නේ නෑ, ඇතුළට යන්න එහි නේවාසිකයෙකු බවට පත්වෙන්න. අනේවාසික මනස, නිත්‍ය නෙවාසිකයෙකු නොවන මනස. එකතුවීමකුත් නෑ වෙන්වීමකුත් නෑ, වෙන්වීම එන්නේ එකතු වුනොත්, මෙතන හිතුවතුනේ සතුටකුත් නෑ අසතුටකුත් නෑ, ප්‍රශ්නයකුත් නෑ පිළිතුරුත් නෑ, ලෙඩකුත් නෑ බෙහෙතුත් නෑ, මෙන්න මේ අනුපූර්ව ගමනටයි ඔබ අප හැම දෙනාම ප්‍රවේශ වී තිබෙන්නේ. මේ අනුපූර්ව ගමනේ හැමදෙනාම පදිංචිව සිටිනවා, පදිංචි වෙනවා නෙරපනවා, ආපසු පදිංචි වෙනවා නැවත විසිවෙනවා, මේ තමා සංසාරේ. මේ නේවාසික වීමයි දොට්ට දැමීමයි, ආයෙත් නේවාසික වෙනවා ආයෙත් එළියට දොට්ට දානවා, හැමදේකින්ම හැම අරමුණකින්ම. මේ ස්වභාවය හොඳින් අවබෝධ වෙන තරමට තමා අනේවාසික ස්වභාවය ස්ථාවර වෙන්නේ, මතු වෙන්නේ.  මේ පදනමේ සිට අපි භාවනාවට විවෘත වෙමු.


භාවනාව


  • අද දවසේ විශාල වශයෙන් සතුට හෙවූ අවස්ථාවන් එකක් හෝ දෙකක් ගැන පුංචි ආවර්ජනයක යෙදෙමු . ලොකු බලාපොරොත්තුවකින් දැඩි පරිශ්‍රමයකින් විශාල සතුටක් ලබා ගන්නට තැත් කළ අවස්ථා හා ලැබුණු අවස්ථා.

  • ඒ සතුට නමැති ග්‍රහයට පිවිසෙන්නට මොන තරම් දුරක් ගෙවාගෙන පැමිණියාද, කාලය හා අවකාශය. එයට සාපේක්ෂව කොපමණ වෙලාවක් ඒ සතුට නැමැති නිවහනේ ඉන්න ලැබුණාද?

  • ඒ සතුට එන්නෙ තමන්ට ලබා ගත් දෙයක් නිසා ඇති කරගත් දෙයක් නැතිනම් තවත් කෙනෙකුට දුන් දෙයක් නිසා ඉපදුන සතුටක්.

  • බලන්න මේ මොහොතේ මනස අරමුණු තුළ නේවාසික වන්නට දරන තැත, සමහරවිට මොහොතින් මොහොත එකින් එක අරමුණුවල නිවාසයක වන්නට ගන්න උත්සාහය.

  • හඳුනාගන්න නේවාසික මනස අනුන් තුළ හෝ තමන් තුළ වසන මනස.

  • සතුටින් පිවිස, පිවිසුණු සතුට අහිමි කරගෙන නික්මෙන මනස, අලුත් සතුටකින් අලුත් ගෙදරකට ගෙවදින මනස, අලුත් ගෙදර පරණ වන විට පරණ ගෙදරින් එළියට පිවිසෙන මනස.

  • ඒ අවබෝධයත් සමඟ එන්න සාකච්ඡාවට.


සාකච්චාව 


ප්‍ර : මනසෙහි පළමු අවස්ථා තුන පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?


පි : පලවෙනි මනස පැහැදිලියි, එදිනෙදා ජීවත් වෙන්න අත්‍යවශ්‍ය වන ඒ සිතුවිලි ටික, ඒ පිළිබඳ අවශ්‍ය සැලසුම්. ඒ මදි කියන තැනට ආවහම තමා අර දෙවැනි මනසට අප යන්නේ, ප්‍රතිපත්ති පිළිවෙත් පිළිබඳ අවශ්‍යතාවයක් එන්නෙ, එතන තමයි සැනසිල්ල තියෙන්නේ මෙතැන නොවෙයි කියන අදහස ඉන්නේ. ඉතින් එතනින් ලොකු සතුටක් සැනසිල්ලක් ලබනවා, ඊළඟට මේ දෙකෙන්ම ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැතිබව පේනකොට, ‘මදි’ කියන ස්වභාවය නැතිවෙලා නෑ, ඉතින් ඒ මදි කියන හිතත් එක්ක දුවන්නේ කොහාටද එලියට, එළියෙ දුවනවා දුවනවා, තුන්වන මනස කියන්නේ, ‘නෑ, මේ අප හොයන දේ තියනවනම් තියෙන්නෙ අපේ ඇතුලේ, අපේ මනස ඇතුළෙමයි’ කියා මනස මනසත් සමඟ එකතු වෙනවා. එයටයි සමථය, සමාධිය, ධ්‍යානය කියන්නේ. එතෙක් මනස එකතු වුණේ බාහිර දෙයක් සමග, පලවෙනි වතාවට තමන් සමගම එකතු වෙනවා, මෙයට තමා ඒකාග්‍රතාවය කියන්නේ. එතනින් සාපේක්ෂ වශයෙන් සතුටක් සැනසිල්ලක් දීර්ඝකාලයක් විඳින්න පුළුවන්. විදර්ශනාව එන්නේ ඊටත් පස්සේ, හතරවෙනි අවස්ථාව.


පළමුවෙනි මනස ළඟ හිතන මනසක්, වැඩිම වුණොත් මේ ජීවිතය ගැන පමණයි හිතන්නේ, ඉන්නකල් හොදින් ඉන්න හිතන මනසක්. එය හොඳ මනසක් වෙන්නත් පුළුවන් වගේම නරක මනසක් වෙන්නත් පුළුවන්. ඒ මනසේ උපරිම දැක්ම තමා මේ මරණය තෙක් හොදින් ජීත්වීම, එපමණයි. දෙවැනි මනස එයට වඩා දුර දකින මනසක්, ඒ වගේම ආත්මාර්ථය අඩු පරාර්ථකාමී මනසක්. එතන ප්‍රමාණාත්මක වගේම ගුණාත්මක පැත්තෙනුත් වෙනසක් තිබෙනවා. ඒ වෙනස තමා, සමහරවිට අප බඩගිනි වෙලාවක කෑමක් කෑවම ලැබෙන සතුටක් තියෙනවා, බඩ පිරුණා රසයි කියා.මේ දෙවැනි මනස ඒ සතුට තව කෙනෙක් එක්ක බෙදා ගන්නට හිතෙනවා, එතැනදී තමන්ගේ බත් පිගනෙනේ අඩක් කැවා කියා ලබන සතුට අඩක් වෙන්නේ නැ, බත් පිඟාන සම්පුර්ණයෙන්ම අනුභව කළ විට ලබන සතුට වගේම දෙතුන් ගුණයක් මේ දෙවන අවස්ථාවේදී ලබනවා. එතන ගුණාත්මක පැත්තෙනනුත් ලොකු සතුටක් ලබනවා. දැන් තුන්වන මනසට එන විට එතන අවකාශය පැත්තෙනුත් කාලය පැත්තෙනුත් ඒ වගේම ගුණය පැත්තෙනුත් ගැඹුරුයි, මොකද අර බාහිර ක්‍රියාවන් බාහිර අරමුණු මත යැපෙන මනස හරිම අස්ථායි මනසක්, කොයි වෙලේ තමන්ම දන්නේ නෑ අර බාහිර සාධකයක් වෙනස් වෙනකොට ඇදගෙන වැටෙයිද. ඒ වැටුනහම දැනෙන වේදනාව හරිම වැඩියි. තුන්වෙනි මනසට එවැනි ලොකු වේදනාවක් නෑ ඒකාග්‍රතාවය ධ්‍යානය නැති වුණා කියා, ඒ ගැන හිතලා තැවෙන්න පුළුවන් නමුත් අර එක දෙක මනස් වගේ ලොකු දුකක් ඇතිවෙන්න නෑ, ඉහළින් පහලට වැටීමක් නෑ, මෙතන තියෙන්නේ සැනසිලිදායක සතුටක්. පලවෙනි මනසේ උච්චාවචනය වීම වැඩියි, දෙවන මනසේ යම් පමණකට අඩුයි, තුන්වන මනසේ ඒ ස්වභාවය බොහෝම අඩුයි, ඒ නිසා එතන ව්‍යුහාත්මක, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වෙනස්කම් තියෙනවා.


ප්‍ර : මනසේ තිබෙන්නේ ගතික ස්වභාවයක්, ස්ථිර වශයෙන් අල්ලගන්න බෑ කොහෙද ඉන්නේ කියලා. ඒ ගතික බව හඳුනාගන්න ක්‍රමවේදයක් තිබෙනවා ද?.


පි : මනසේ චංචල බව ගලාගෙන යන බව වෙනස්වන බව ගතික ස්වභාවය තමා ඇත්ත, එක දෙක තුනම නැතත් තියෙන්නේ එකක් වුණත් ඒක ඇතුලේ මනස චංචලයි ව්‍යාකුලයි, මෙන්න කියලා අල්ලගන්න බෑ තව එකකට පනිනවා ගලාගෙන යනවා, මේ අල්ලන්න බැරි බවට තමයි මනස කියන්නේ, අල්ලන්න පුළුවන් ස්වභාවයකට නොවෙයි මනස කියන්නේ, මේ නම දෙන්නේ අල්ලන්න බැරි ස්වභාවයට, එකතැන නොපවතින ස්වභාවයකට, එක තැන ඉන්න බැරි බවට, තැනින් තැනට යන තැනින් තැනට පනින, මෙතන නොවෙයි අතන තමයි කියන ස්වභාවයට කියන නමක් පමණයි මනස කියන්නේ. එතැන තිබෙන්නේ ස්භාවයක්, ධර්මතාවයක්, දිවීමක් මිස දුවන කෙනෙකු නෑ. දුවනවා කියූ විට දුවන කෙනෙකු කියන තීරණයට එනවනේ, ගලාගෙන යනව කිව්වාම ගලාගෙන යන ඇළක් දොළක් ඇති කියා හොයනවා. නමුත් නම් පමණනේ තියෙන්නේ, ගලාගෙන යෑම පමණයි. හරියට වැස්ස වහිනවා කියනවා, එතකොට අප දෙකක් ගන්නවා මෙතන නාම පදයක් සහ ක්‍රියාපදයක්, වැස්ස නාමපදයක්, වැස්ස කියා යමක් තියෙනවා, එය වහිනවා. හොඳට බැලුවොත් පෙනෙනවා මෙතැන තියෙන්නේ ‘වැසීමක්’, නැතිනම් වහිනවා පමණයි. එයට අප නාමපදයක් දානවා නිකම්ම වහිනවා කියන්නේ නැතිව, ‘වැස්ස වහිනවා’, ‘ගඟ ගලනවා’, ‘හිත දුවනවා’. එහෙම කිව්වට කමක් නෑ, හැබැයි බලනකොට පේනවා මෙතන දිවීමක් පමණයි. දුවනවා. දුවනවා දුවනවා කිව්වහම, මොකක්ද දුවන්නෙ කියන ප්‍රශ්නයක් එනවනේ. ප්‍රශ්නෙ සරලව විසඳන්නයි හිත දුවනවා කියන්නේ, මනස දුවනවා කියන්නේ, ඒ දිවීමට තමයි මනස කියන්නේ. ඒ දිවීම තුළ සමහර විට මනස විවේක ගන්නවා, විවේක ගන්න මනස, හිත විවේක ගත්තා කීවහම දිවූ කෙනා හති වැටුනහම නැවතිලා ඉන්නවානේ. අප කියනවා ඒ දුවපු කෙනා, එයා තමයි දිවුවෙ මෙපමණ වෙලා දැන් ටිකක් විවේක ගන්නවා, නෑ දුවපු කෙනා විවේක ගන්නවා නොවේ, මේ විවේක ගන්න කෙනෙකු, දුවපු කෙනා නෑ, දැන් දිවීම නැවතිලා. වෙන කෙනෙක්, දිවූ කෙනා ඉවරයි එයා අතුරුදහන්, දැන් ඉන්නේ විවේක ගන්න කෙනෙක්. විවේකයෙන් පසු දුවන්න පටන් ගත්තොත් විවේක ගත් කෙනා දුවනවා නොවේ දුවන කෙනායි දුවන්නේ. මේ තමා ස්වභාවය, මෙතන මනස කියලා දෙයක් අල්ලගන්න බෑ, බැරි බව තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ, චංචල බවක් තියෙන්නේ, අරමුණෙන් අරමුණට පනින බවක් තියෙන්නේ, ඒ කොයි අරමුණේද තමන්ට ඉන්න අගුපිලක් ලැබෙන්නේ කියා සොය සොයා යන ස්වභාවයක්, බොහොම ලොකු බලාපොරොත්තුවක්, සතුට පුරවාගන්න ලොකු භාජනයක් සමග අරමුණක් ඇතුළට පිවිසෙන මනසක්, නමුත් ඒ භාජනයේ පතුලට වගේ යමක් ලැබී පුංචි සතුටක් ලැබී හිස් භාජනයත් සමග එළියට යන මනසක් හෝ ස්වභාවයක්. ඉතින් මෙයට තමා මනස කියන්නේ, මේ ස්වභාවයට කියන නමක් විතරයි මනස කියන්නේ. මෙතන හඳුනාගන්න තියෙන්නේම මෙම ධර්මතාවයමයි.


ප්‍ර : අප තුළ තිබෙන නොපෙනෙන චෛතසිකයන් හඳුනා ගන්නේ කොහොමද?


පි : චෛතසික පේන්නේ නෑ, චෛතසිකයක් පේන්නේ ක්‍රියාවක්සමගයි., කෙරෙන දෙයක් එක්ක. තරහ අප කවදාවත් දැක නෑ, තරහ දැකලා නෑ, තරයින් හිතනවා කතා කරනවා, මේවා තමයි අප දකින්නේ. ඒ වගේම බය දකින්නේත් නෑ, බය ආවහම හිතන දේ තමා අපට පෙනෙන්නේ, බය වුනු හිත පේනවා, බයෙන් කතා කරනවා පේනවා. මේවා පේන්න තියෙන දේවල් නොවේ, වැදගත් වෙන්නේ චෛතසිකයක් ඇවිත් කායිකව මානසිකව නැත්නම් වාචසිකව ක්‍රියාත්මක වෙන ආකාරය දැකීමයි. ඒ හරහායි චෛතසිකය හඳුනා ගන්න තියෙන්නෙ. චෛතසිකයක් කියන්නේ හරියට රූකඩ නටවන කෙනෙක් වගේ, කෙනා පේන්නේ නෑ, නැටවෙන රූකඩයි පේන්නේ. ඉතින් රුකඩේ නටන විදිහ අනුව මොන විදිහේ අඩව්වක්ද අල්ලන්න යන්නේ කියා හඳුනාගන්න පුලුවන්, එයයි කරන්න තියෙන්නෙ, ඒ හරහාමයි චෛතසිකය තේරුම් ගන්න වෙන්නේ, කෙලින්ම චෛතසිකයක් දකින්න පහසු නෑ,චෛතසිකයක් මුල්වෙලා සිදුවන ඒ චේතනාව ඒ කායික වාචසික ක්‍රියා හඳුනාගැනීමයි කළ හැක්කේ. ඉතින් චෛතසික කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද, පොතේ නෙවෙයි, ඉන් කීයද දැක තියෙන්නේ, තව කීයක් දකින්න තියෙනවද, ඒව අප දන්නේ නෑනේ. ඊළඟ මොහොතේ මොන චෛතසිකය ක්‍රියාත්මක වෙයිද කියලා දන්නෙත් නෑ. ඒ නිසායි හැම විටම අවධානයෙන් ඉන්න වෙන්නෙ අපට. මේ විවෘතභාවය, ඊළඟ මොහොතේ මොනවා වෙයිද දන්නෙ නැති ස්වභාවය, කුමක් වුණත් කමක් නෑ අප ඉන්නේ අවදියෙන් හා අවධානයෙන් හා විමසිල්ලෙන් හා සුපරීක්ෂාකාරීව නම්. ඕන කෙනෙක් ආවට කමක් නෑ හඳුනන, නොහඳුනන, ආගන්තුක කවුරු ආවත් අප එක විදියටයි පිළිගන්නේ, දොර අරින්නේ, ඉඩදෙන්නේ, යන්න දෙන්නේ, ඒ උපේක්ෂා සහගත භාවයමයි අප මේ දියුණු කරන්නේ පුහුණු කරන්නේ, මේ චෛතසිකත් සමග පටලවන්නේ නැතිව ඒවාට අහුවෙන්නේ නැතිව ඒවා හඳුනාගන්න තේරුම් ගන්න වැඩක් ගන්න හා අතහරින්න.


ප්‍ර : හතරවෙනි මනස වැඩිවෙලාවක් ඉන්න නම් සිහිය තියෙන්නම ඕන නේද?


පි : අනිවාර්යෙන්ම හොඳ අවදිමත් බවක් තියෙන්න ඕන, එහෙම නැත්නම් අවදිමත් බව අඩු වනවිටයි අරමුණක් ඇතුලට වැටෙන්නෙ, එන අරමුණ රිංගන්න සුදුසු ගෙයක් විදියට තමයි පෙනෙන්නේ. ඉතින් සිහිය අඩුවෙන්න අඩුවෙන්න සෑම අරමුණක්ම ගුහාවක් ගෙයක් විදිහට තමයි දැනෙන්නෙ දකින්නේ, ඇතුලට රිංගන්න තමයි බලන්නෙ, එහෙම නැතිව එළිමහනේ ඉන්න නම් හොඳ අවදිමත් බවක් සිහිබුද්ධියක් තියෙන්න ඕන, සිහිය විතරක් මදි සිහි නුවණත් තියෙන්න ඕන, එතකොට හිස් අවකාශයේ තමයි ඉන්නේ, ආයේ හොයන්න යන්නෙ නෑ පුංචි පුංචි ගෙවල්. ඒ ගෙවල් කොපමණ විශාල වුනත් අවකාශයට සාපේක්ෂව පුංචියි සීමිතයි, සෑහෙන දුරට දුවන්න පනින්න උඩ පනින්න පුළුවන් නිදහසකුත් තිබෙනවා වෙන්න පුළුවන්, හැබැයි ඉතින් සීමාව ඇතුළෙ තමයි ඉන්නේ, ඕනම අරමුණක් එක්ක. ඉතින් ඒ සීමාව දකින බුද්ධිය ඕන, සිහියත් ඕන, සීමාව දකින බුද්ධියත් ඕන, සිහිබුද්ධිය අත්‍යාවශ්‍යයි, බුද්ධිය අඩු වුණාම තමයි අරමුණක් ඇතුලට රිංගන්නේ.


ප්‍ර : කාර්යබහුල ජීවිතය ඇතුළේ ඒ අවස්ථාවේ වැඩි වේලාවක් රැඳී ඉන්න පුළුවන් උපක්‍රම මොනවාද?


පි : එකක් තමයි අප දැන් කරන්න උත්සාහ කළ භාවනාව, වරින් වර ආවර්ජනය කර බලන්න පහුගිය පැය වරු කොහොමද ගතවුණේ, මනස ප්‍රබල විදිහට රිංගුවේ කොතනටද, මොන බලාපොරොත්තුවටද රිංගුවේ, එහෙම රිංගන්න මොනතරම් සැලසුමක් කරාද, කුමන වෙහෙසක් ගත්තද, ඊගාවට ඒ බලාපොරොත්තුවෙන් කුමන ප්‍රතිශතයක්ද ඉටු වුණේ, කොපමණ වෙලාවක්ද ඉන්න පුළුවන් වුණේ, එලියට යන්න වෙන බව දැනගෙනද එළියට යන්න උනේ, හිටපු ගමන් පාරට විසිවුනාද ආපසු, මෙන්න මේ ගැන. ප්‍රත්‍යවෙික්ෂාව හොඳ උපක්‍රමයක් සිහිබුද්ධිය ඇති වෙන්න, නොරැවටී ඉන්න. නැත්නම් හැමවිටම අරමුණු වලට රැවටෙනවා, ඒවා ඇතුලට යනවා. ඒ නිසා වර්තමානයට නොරැවටී ඉන්න අතීතයට රැවටුනු හැටි ආපසු බලලා මතක් කරගැනීම, හඳුනාගැනීම, වටහා ගැනීම අත්‍යවශ්‍යයි. එයට ප්‍රත්‍යවෙක්ෂා භාවනාව, ආවර්ජනය හරි ප්‍රයෝජනවත් වෙනවා.

දෙවනි කාරණය තමා, පුළුවන්නම් කාර්යබහුල ජීවිතයේ (ඒ ජීවිතය වෙනස් ක්ර ගන්න අවශ්‍ය නෑ ලොකුවට) වෙලාවක් වෙන්කරගෙන බලන්න, මේ වෙලාවේ කිසිම අරමුණකට රිංගන්න අවශ්‍ය නෑ, අරමුණු තියෙන්න පුළුවන්, හැබැයි කිසිම අරමුණක් සමග නේවාසික නොවන කාලය කියලා එහෙම එකක් තෝරාගෙන වෙන්කර ගෙන විනාඩි 15-30 ක්, බලන්න එහෙම ඉන්න පුලුවන්ද කියලා, එතකොට එතන භාවනා අරමුණ වෙන්නේ කිසිවක් අරමුණු කර නොගැනීම, එයත් අරමුණක්, කිසිවක් අරමුණු කර නොගැනීම කියන භාවනාව පුහුණු කරන්න බලන්න, ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට. මේ උපක්‍රම දෙක පුහුණු කරලා බලන්න, තව උපක්‍රමත් තියෙනවා, නමුත් මේ දෙකෙන් පටන් ගෙන බලමු.


හැමදෙනාටම සෙතක් ශාන්තියක් සැනසිල්ලකම වේවා !