සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 13


2021 දෙසැම්බර් 29, සාරාංශය 


විවිධ වූ වගකීම් හා කාර්යයන් මධ්‍යයේ තමා අප මේ උත්සාහය ගන්නේ. එය සිදුවිය යුත්තේත් ඒ ආකාරයටම තමා. සමහරවිට හිතෙන්න පුළුවන් සියල්ලෙන්ම මුලින්ම ඔලුව නිදහස් කරගෙන ඉන්පසු සිහිබුද්ධිය ඇති කරගන්නවා හෝ ඇතිකරගන්න පුළුවන් කියා. එය ලස්සන හීනයක් නමුත් සැබෑවක් නම් වෙන්නේ නැති වෙයි. කවදත් සිහිබුද්ධිය ඇතිවුණේ ජීවිත අරගලයේදීමයි. තනිව හිටියත් සාමූහිකව හිටියත් ජීවත්වීම කියන්නේම අරගලයක්,. ඒ අරගලයේ පීඩනයේ හැප්පීමේ අතුරු ඵලයක් ලෙසයි සිහිබුද්ධිය පැන නැග තිබෙන්නේ. නමුත් එම අරගලයේ යෙදී සිටින සෑම දෙනාටම සිහිබුද්ධිය ඇති වී නෑ එයට තවත් හේතු එකතුවිය යුතුයි . ඒ ගැන අප දැනුවත් වන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමෙන් , සුදුසු තැනදී ආදර්ශයක් සමග මඟ පෙන්වීමකුත් අවශ්‍යයි. ඒ මග පෙන්වීම කනට ඇසිය යුතුයි, ඒ ආදර්ශය ඇසට  පෙනිය යුතුයි. ඒ පෙනීම හා ඇසීම ඇහෙන් හා කණින් පමණක් සිදුවන දෙයක් නොවෙයි, කනට මොනතරම් දේවල් ඇහෙනවද, ඇහැට කොපමණ දේවල් පෙනෙනවාද, කෙනෙක්ව අවදි කරන්නට ඒ ඇසීමයි  පෙනීමයි ප්‍රමාණවත් නෑ, එයට වඩා ලොකු තට්ටුවක්, සෙලවීමක්, කම්පනයක් අවශ්‍යයි.


ජීවිත අරගලයේදී ඇති පමණට කම්පන ලැබෙනවා. ඒ කම්පන සමග ඉඩදෙන්න ඇහැරෙන්න, පිබිදෙන්න,  අවදිවෙන්න. කම්පනයක් එක්ක ඇහැරෙන්නත් පිළිවන් කම්පනයත් සමග වැලලෙන්නත් පුළුවන්. බොහෝ දෙනකු කම්පනය සමග වැලලෙනවා. සංසාරය පුරාවටම සිදුවන්නේ කම්පනත් සමග වැළලීම, වඩ වඩාත් නිද්‍රාගත වීම, වඩ වඩාත් අසිහියට පත්වීම. බොහොම කලාතුරකින් කම්පනයක් සමග කෙනකුට ඇහැරෙන්නට පිබිදෙන්නට අවදි වෙන්නට ඉඩ තිබෙනවා අතරින් පතර නමුත් එය ඉතිහාසය පුරාම සිදුවී තිබෙනවා. ඒ නිසා හිතවතුනි මේ ජීවිතය ඇතුළෙමයි විකසිත වීම සිදුවෙන්නේ, අවශ්‍ය විකසිත වෙන්නට නම් එය සිදුවන්නේ මඩේමයි, කිරිගරුඩ හෝ ටයිල් ඇතිරූ පොළොවක හෝ මැණික් රත්තරන් ආලේප කළ මතුපිටක නොවේ. පියුමක් නෙළුමක් විකසිත වෙන්නේ අපිරිසිදු අප්‍රසන්න දුගද මඩේ. ඒ වගේම තමා එදිනෙදා ජීවිත අරගලය, වගකීම් කාර්යබහුලත්වය, යුතුකම්, මේ සියල්ල හරියට මඩ වගේ කෙළවරක් නෑ හිත අපරිසිදු වීමමයි වෙන්නේ. වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න, කාර්යබහුල වෙන්න වෙන්න, අවිවේකය වැඩිවෙන්න වැඩිවෙන්න ආතතිය කලබලය ආවේගය වැඩි වෙනවා මිසක් සාමාන්‍යයෙන් අනිත් දිශාවට ගමන් කරන්නේ නෑ, සාමාන්‍යයෙන් වඩ වඩාත් තැන්පත්, මනා සිහිබුද්ධියෙන් යුත් මනසක් ඇති වෙන්නේ නෑ. සමස්ත සමාජ ජීවිතයම මඩගොහොරුවක්. ලෝකය කියන්නේ, සංසාරේ කියන්නේ මඩ ගොහොරුවක්, මේවා සියල්ල මඩ විදිහට දකින්න, එයට වඩා උචිත උපමාවක් තිබෙනවාද?, එරෙනවා එරෙනවා එරෙනවා. ලෞකික ජීවිතය, රස්සාව, පවුල් ජීවිතය, සමාජ ජීවිතය, ආගමික ජීවිතය නැමැති මඩ ගොහොරුවේ එරීමයි දිගින් දිගටම සිදුවන්නේ. මේ ජීවිතයේ ගොඩට ඇවිත් හොඳ ටයිල් පොළොවක, මඩ නැති, ගඳ නැති, පිවිතුරු කිරිගරුඩ පොළවක හිටියා කියා සුවපහසු ජීවිතයක් ලැබෙයි. නමුත් පිබිදීමක් විකසිතවීමක් අවදිවීමක් සිදු වෙන්නේ නෑ.


මේ සියල්ල දිහා, ජීවිතය දිහා සුභවාදීව බලන්න. පවුල් ජීවිතය, රාජකාරි ජීවිතය, සමාජ ජීවිතය, ආගමික ජීවිතය, දිහා සුභවාදීව බලන්න. සුභවාදීව බලන ක්‍රම දෙකක් තියෙනවා, එක ක්‍රමයක් තමා මේ තමා ජීවිතය, ඉපදුනේ රස්සාව කරන්න, සමාජ සේවය කරන්න, පවුල් ජීවිතය ගත කරන්න, තමන් නැතුව ඒ කිසි දෙයක් වෙන්නෙ නෑ කියන ඒ අර්ථයෙන්, මේ මඩ ගොහොරුව දිහා බලන්න පුළුවන් එක් අන්තයක්, වැඩිපුරම වෙන්නේත් ඒ අන්තයෙන් බැලීමයි. මේ තමයි ජීවිතය, වෙන ජීවිතයක් නෑ, මා නැතිව මේ මඩ ගොහොරුවට පවතින්න බෑ. ඒ සිතිවිල්ලත් සමඟ පුද්ගලයා මේ මඩ ගොහොරුවේ, සංසාරේ කොටසක්, සංසාරේ නැමැති මඩ ගොහොරුවේ එරෙන කෙනෙකු බවට පත් වෙනවා, ආත්ම කියන්නේ එයයි. රස්සාව, විවාහය, විනෝද, සමාජ සේවය, ආගමික කටයුතු මේ මොනවා වුනත් ආත්ම කරගත්තු ජීවිතය ඉපදුනේ ඒ සඳහා, තමන් නැතුව ඒවා කෙරෙන්නේ නෑ, එතනින් කියමින් දිගින් දිගටම එරෙන එකයි වෙන්නේ.


මේ මඩ ගොහොරුව දෙස බැලිය හැකි දෙවන සුභවාදී දැක්ම තමා, සිහිබුද්ධිය ඇති කරගන්න, සිහිබුද්ධියෙන්  පිබිදීමට අවශ්‍ය පෝෂණය තියෙන්නේ මෙතැන. කෙළවරක් නැති ඉල්ලීම් කුමක් කළත් සෑහීමකට පත් නොවන සමාජයක්, පවුලක්, වැඩපොළක්, කළ දේට වඩා නොකළ දේ කතා කරන, දුන්නු දේට වඩා නොදුන් දෙයට දොස් කියන, මේ තමා මඩ ගොහොරුවේ හැටි. එපා වෙනවා කලකිරෙනවා, ඒත් කලකිරෙන්නේ සමස්තයට නොවේ, ලෝකය ප්‍රශංසා කරන කොට ඇති වෙනවද කළකිරීමක්, ප්‍රශංසා ඉදිරියේ, වැඳ වැටීම් ඉදිරියේ, ගරුබුහුමන් ලැබෙන විට, කරන කරන දේ හරි යනවිට, වර්ණනා ලැබෙන විට කලකිරීමක් ඇති වෙනවාද නෑ, මෙතන මොකක්ද තියෙන පෝෂණය? කළකිරීමක් සාමාන්‍යයෙන් ඇති වෙන්නේ වරදිනකොට වරද්දනකොට, අසාර්ථක වනවිට. දකින්න සිහිබුද්ධිය ඇති වෙන්නට තියෙන හොඳම තැන තමා ගැටුම් වැරදීම්.  හරි යාමට වඩා වැරදීම, ප්‍රසංසාවට වඩා දෝෂාරෝපණය, අගය කිරීමට වඩා විවේචනය, වැඳ වැටීමට වඩා ගැරහීම, ජයග්‍රහණයට වඩා පරාජය, මේ හැම සිදුවීමකම පෝෂණයක් තිබෙනවා. සිහිබුද්ධිය ඇති කරගන්න වඩාත් වැදගත් වෙන්නේ සාමාන්‍ය හිත ප්‍රතික්ෂේප කරන සිදුවීම් හා අත්දැකීම්. 


 සංසාරික හිත සංසාරයේ සැප හොයන හිත, සංසාරේ ඇතුලේ නිරෝගීකම, තාරුණ්‍යය, අමරණීයත්වය, සදාකාලික බව සොයන හිත, හෙව්වට කමක් නෑ, ඒත් හොයන්නේ සංසාරේ ඇතුළෙම නම් ලැබෙන්නෙම නෑ. සංසාරය සමානයි රෝගී බවකට, ලෙඩකට, මහලු බවට, මරණයට, හෙව්වට ලැබෙන්නේ නෑ. දැන් සාමාන්‍ය හිතක් හොයනව මේ සියල්ලම, අමරණීයත්වය, පරම නිරෝගීබව, සදාකාලික ආදරය, හා ප්‍රශංසාව හොයනවා, ඒත් හොයන්නේ නැති තැනක, සුවඳ හොයනවා ගඳ ගහන මඩ ගොඩක. වෙන තැනක් දන්නේ නෑ. හොයන හොයන තැන නෑ, සුවද හොයන කෙනාට පලේවෙන දිරන මඩ වලක ලැබෙන්නේ දුර්ගන්ධය. මඩ වතුරේ සුවඳක් නෑ, නමුත් සුවඳවත් වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එතන තියෙනවා. ඉතින් මඩ වතුරේ නහය ඔබාගෙන සුවඳ හෙව්වට ලැබෙන්න නෑ, ඉහලට එන්න ඕන මඩ වතුරෙන්, උඩට එන්න ඕන, ඉන්නේ මඩ වතුරේ හැබැයි සුවඳ හමන්නේ උඩින්.


ඕනෑම සිදුවීමක් සමග අපට එරෙන්නට පුළුවන් නැත්නම් නැගී සිටින්නත් පුළුවන්, ඒ සිදුවීමට එරෙහිව නොවේ. නැගී සිටිනවා කිව්වම නිතැතින්ම ඔළුවට එන්නේ එරෙහිවීමක්, නෑ, එරෙහිවීමක් නොවෙයි, සිදුවීමක් කියන්නේ අවස්ථා දෙකක් දොරටු දෙකක්. මේ ගැන අප කලින් කතා කර තිබෙනවා සෑම සිදුවීමකම දොරටු දෙකක් අපට පේනවා, හැම සිදුවීමකදීම සෝපානයක් දෙකක් පඩිපෙලවල් දෙකක් ඉහළට හා පහළට. මොන පඩි පඩිපෙළද තෝරා ගන්නේජ? පහලට පහලට තව තව එරෙන, නැත්නම් ඉහළට ඉහළට උඩට එන. සුවිශේෂී සිදුවීම් තියෙනවා අවදිවෙන්න කියා හිතෙයි එත් එබඳු සුවිශේෂී සිදුවීම් නෑ, අතිශයින්ම සාමාන්‍ය සිදුවීම් හරහා තමයි සැවොම අවදි වීම තිබෙන්නේ. 


ඕනෑම සිදුවීමක දී සියල්ලටම කලින් හැම දේටම කලින් මුලින්ම ඇති කරගත යුතු දේ තමා සිහිබුද්ධිය. ගිය සතියේ අප කතා කළා සිහිබුද්ධිය නැති වෙන සාමාන්‍ය ජීවිතේ අවස්ථා පහක් ගැන. සාමාන්‍ය ජීවිතයේදී මත් උනාම, සිහි මද උනාම, සිහින දකින නින්දක, දැඩි කම්පනයක හා හැඟීම් බර වු අවස්ථාවල සාමාන්‍ය සිහිබුද්ධිය නැති වෙනවා. එබඳු අවස්ථාවල පිළිගන්න යථාර්ථය ඇත්තම යථාර්ථය නොවෙයි. මත්වුනු කෙනා අත්දකින යථාර්ථය මත්නොවුණු කෙනා අත්දකින යථාර්ථයට වඩා වෙනස්. නමුත් ඇත්ත කියා පිළිගන්න යථාර්ථයක් තිබෙනවා, ඒ පිළිගැනීම තිබෙන තුරු ඇහැරෙන්න බෑ අවදි වෙන්න බෑ. ඇත්තද බොරුදු හරිද වැරදිද නිගමනයකට එන්න කලින් සමස්ත සිද්ධියම හොඳින් නිරීක්ෂණය කළ යුතු වෙනවා. සමස්ත සිදුවීම පරිපූර්ණ වශයෙන්ම හාත්පසින්ම අවබෝධ කරගත යුතු වෙනවා, සිදුවීමේ පුංචි කෑල්ලක් නොවෙයි කොටසක් නොවෙයි සමස්තයම. අවදි වුනා නම් කෙනකු ඒ අවදි වී තිබෙන්නේ ඒ සිදුවීම තිබෙන සුවිශේෂී ස්වභාවයක් නිසා නොවෙයි, ඒ සිදුවීමට පූර්ණ අවධානය යොමු කිරීම නිසා. එම නිසා සම්පූර්ණ අවධානය අවශ්‍යයි, සම්පූර්ණ අවධානයක් තිබුනොත් තමා සම්පූර්ණ නිරීක්ෂණය කරන්න පුළුවන්. සම්පූර්ණ නිරීක්ෂණයක් කළොත් පමණයි උපරිම තොරතුරු ප්‍රමාණයක් දැනගන්න පුළුවන්. එමෙන්ම මෙහි තිබෙන ඊළඟ වැදගත් කාරණය තමා සිදුවීමයි තමනුයි කියන්නේ දෙකක් නොවන බව. සාමාන්‍යයෙන් කියනවා ‘මට මෙහෙම සිදුවීමක් වුණා’, ‘මට මෙහෙම සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා’, ‘මට බේරෙන්න බැරි වුණා, ගැලවෙන්න බැරි වුනා’, 


එතකොට තමනුයි සිදුවීමයි දෙකක් විදියට තමා කතා කරන්නේ. ඇත්ත කුමක්ද එතන තියෙන්නේ සිදුවීමක් පමණයි. සිදුවීම ඇතුලේ මමත් ඉන්නවා ක්‍රියාවක් වෙනවා, මේ දෙකේ එකතුව තමා සිදුවීමක් කියන්නේ, සිද්ධියක් කියන්නේ. කෙනෙකුයි හා ක්‍රියාවක එකතුවකට. සිදුවීමක් නිරීක්ෂණය කරන විට ක්‍රියාවයි කරන කෙනායි මේ දෙන්නාම නිරීක්ෂණය වෙන්නට ඕන. මේ දෙපැත්ත පිළිබඳවම පරිපූර්ණ නිරීක්ෂණයක්, මොනවද වෙන්නෙ, කාටද වෙන්නේ, මොනවද කරන්නේ, කවුද කරන්නේ, කුමකටද කරන්නේ, ඔහේ බලා සිටීමක් නොවේ, ඉර පායනවා බහිනවා බලන් සිටිනවා වගේ බලා සිටීමක් නොවේ, එබඳු බලා සිටීමකින් හිතේ සතුටක් ඒකාග්‍රතාවයක් සැහැල්ලුවක් ඇතිවෙයි, මේ සියල්ල තාවකාලිකව අමතක වෙයි, නමුත් නැවත ඒ සියල්ලම ඔලුවට එයි. තමන් දිහා සහ ක්‍රියාව දිහා සජීවී නිරීක්ෂණයක් අවශ්‍යයි , මේ දෙන්නා එකතු වෙන හැටි, එකතු වෙන තැන. සිදුවීම කියන නම දෙන්නේ මේ එකතුවට, වෙන් කරන්න බෑ, ඒ ඇතුලේ කැමැත්ත අකමැත්ත බලාපොරොත්තු මතක බදාගැනීම පිටුපෑම සහ කී නොකී බොහෝ දේ තිබෙනවා. මේ හැම කරුණක් සමගම සාමාන්‍ය හිත එරෙනවා එරෙනවා. සාමාන්‍ය හිත හරි බරයි, මෙයට කියනවා කෙලෙස් බර කියා, බලාපොරොත්තු වැඩියි, අපේක්ෂා වැඩියි ඉක්මන්මන් නිගමනවලට එනවා වැඩියි. මේ නිසා සාමාන්‍ය හිතක් හරි බරයි ප්‍රතික්‍රියා බහුලයි. මේ සියල්ල එකතු වුණාම හිත එරෙනවා, සිදුවීමකදී වෙන්නේ හිත එරීමක්. ඒ වෙනුවට සැහැල්ලු කරගන්න. හැම සිදුවීමක් දිහාම ආධ්‍යාත්මික විකසිත වීමකට අවශ්‍ය අමුද්‍රව්‍ය පෝෂණයක් උකහාගන්න. අන්න ඒ චේතනාවෙන් අන්න ඒකයි ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ. ආධ්‍යාත්මික ජීවිතය තියෙන්නේ සිදුවීම් ඇතුලේ, වෙන කොහේවත් නොවෙයි. ආධ්‍යාත්මික ජීවිතයක් තියෙන්නේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානවල කියා හිතෙන්න පුළුවන්, එබඳු මධ්‍යස්ථාන නෑ, ගොඩනැගිලි තියෙන්න පුළුවන්, නමුත් ආධ්‍යාත්මිකත්වය නෑ, ආධ්‍යාත්මිකත්වය තිබෙන්නේ සිදුවීමක, සිදුවීමට දෙන වටිනාකම උඩ, සිදුවීමක් තුලින් උකහා ගන්නා දේ උඩ, සිදුවීම පාවිච්චි කරන්නේ කුමන අරමුණකින් ද, ඉන්නද යන්නද, එරෙන්නද ගොඩ එන්නද, තව තව නිද්‍රාගත වෙන්නද, අවදි වෙන්නද. අවදි කරවන සිදුවීම් කියා කොටසක් වෙන් කරගෙන එබඳු සිදුවීමක් ඇවිත් අපිව අවදි කරයි එතෙක් නිදාගෙන ඉන්නවා කියා හිතුවොත් මරනින්දේ තමා ඉන්න වෙන්නේ. ඒ වෙනුවට සිදුවීමෙන් සිදුවීමට අවදිවෙන්න, හරියට ලොතරැයි වගේ, ලොතරැයියක් ගන්නවා පලවෙනි දිනුම ගැන හිතාගෙන, ඒත් දිනුමක් නෑ, ආයෙත් ලොතරැයියක් ගන්නවා, ඒකෙත් දිනුමක් නෑ, තුන්වන ලොතරැයියත් ගන්නවා. ඒ වගේ කොයි සිදුවීමේදී මේ ලොතරැයිය ඇදෙයිද කියන්න බෑ. මේ තමා පළවෙනි දිනුමම කියා හරියටම දැනගෙන ලොතරැයි ගන්න කෙනෙකු සාමාන්‍යයෙන් නැ. දිගින් දිගට ගන්න විට දැනුමක් ඇදෙයි, ජීවිතයේ හැම සිදුවීමකදීම ආධ්‍යාත්මික ලොතරැයි ඇදීමක් තිබෙනවා. ඒ පමණට මේ හැම සිදුවීමක්ම වටිනවා. හැම බැණුමක්ම ගැරහීමක්ම රැවටීමක්ම වටිනවා, ඒ හරහා මේ ලොතරැයි ඇදෙන්න පුළුවන්, වැදගත් වෙන්නේ සිදුවීමට වඩා සිහිබුද්ධියෙන් සිටීමයි. සිහිබුද්ධිය යම් පමණකට තිබුනොත් ඒ පමණට මේ ආධ්‍යාත්මික ලොතරැයි දිනුමක් ලබා ගන්නට පුළුවන්, ලැබී තිබෙනවා, ලැබෙන්නට ඉඩ තිබෙනවා. ඒ තීන්දුවත් සමග අපි වඩාත් සිහිබුද්ධියත් සමග එකතුවෙන ප්‍රයෝගික භාවනාවට එකතු වෙමු.


භාවනාව


  • මුලින්ම මේ මොහොත අත්දකින්න කායිකව මේ මොහොත අත් දකින්න ඉරියව්වත් සමග.

  • මේ මොහොතේ කිසියම් දුරකට ස්ථාවරව මනා අවධානයකින් අද දවසේ සිදුවීම් දිගහැර ගමු.

  • එක් වරම මතක් වන්නේ කුමන සිදුවීමද බලන්න. ඇයි ඒ සිදුවීමම මතක් උනේ?.

  • සිදුවන අවස්ථාවේ තමන්ට කුමක් ද සිදුවුණේ? දවසේ කොයි වෙලේ හෝ සිදුවන විට අපට වුණේ මොනවාද? සිහිය නැති වුණාද? හැඟීම්බර උනාද? කම්පනයට පත් වුණාද? මත් උනාද?.

  • එක්වරම මතක් වුන සිදුවීම සමග පුංචි ගමනක් යනවා සිහි බුද්ධියෙන්. ඒ සිදුවීම සැබෑවටම සිදු වූ තැන මොහොතේ තමන්ට කුමක් ද වුනේ?. සම්පූර්ණ අවධානයෙන් හිටියාද? නැද්ද? ඉන්න බැරි වුනාද? ඇයි බැරිවුනේ?

  • වෙන වෙනස් සිතිවිලි වලට පනින හිත හඳුනා ගනිමින් නැවත නැවත මාතෘකා කරගත් සිදුවීමටම එන්න, එතනම ඉන්න. නැවත නැවත අර හාරා අහන්න බලන්න එතැනදී තමන්ට වුනේ කුමක්ද?. බැරි වුණා නම් ඇයි බැරිවුනේ පූර්ණ අවධිමත් බවකින් ඉන්න.

  • පහල වුනා නම් කිසියම් වූ ආලෝකයක්, ඒ ආලෝකයත් සමග හිතුනේ එන්න සාකච්ඡාවට. 



ප්‍ර : අත්දැකීමක් ලබන විට කිසියම් සිහිබුද්ධියක් ඒ වෙලාවේ තියෙනවා, ඒවගේම කලබලයක් ආවේගයකුත් එතන තියෙනවා. අත්දැකීමට ආවේගය දෙන අර්ථකථනයකුත් තියෙනවා, සිහිබුද්ධියෙන් දෙන අර්ථකතනයකුත් තිබෙනවා, ඒ විදිහට මිශ්‍ර අත්දැකීමක් තමයි මට ලැබෙන්නේ, එහෙම නැතුව පූර්ණ වශයෙන්ම සිහිබුද්ධියෙන්ම මෙය ග්‍රහණය කරගන්න බවක් මට දැනෙන්නේ නෑ.


පි : ඔබතුමා ඒ කාරණය හොඳින් ඉදිරිපත් කළා. බොහෝ විට වැඩි දෙනෙකුට නොතේරෙන කාරණයත් එයම තමා. සාමාන්‍යයෙන් හැඟීමකින් තමා අත්දැකීමක් නිර්මාණය වෙන්නේ, අප අත්දැකීමක් කියා කියන්නේ හැඟීමකට. හැඟීම විසින් වර්ණවත් කළ දෙයකට තමා අත්දැකීම කියන්නේ, පිවිතුරු පිරිසිදු දෙයකට නොවෙයි අත්දැකීමක් කියන්නේ. උදාහරණයකට සාදයක කෑමක් ගත්තොත්, එතන තියෙන්නේ ඒ හැඟීමත් එක්ක ගත් ආහාරයක්, ඉතාම කැමැත්තෙන් රස විදින ආහාරයක් නැත්නම් කිසිම රහක් නැතිව ගත්ත ආහාරයක්. ඒ හැර ඔය අන්ත දෙකට නොවැටුණු ආහාර මතකයට එන්නේ නෑ, ඒ ආහාර අත්දැකීමක් විදිහට ගන්නේ නෑ. ආහාරය පමණක් නොවේ අනිත් අත්දැකීමුත් ඒ වගේ. අත්දැකීමක් කියන්නෙම හැඟීමක් විසින් විචිත්‍රවත් කරන ලද දෙයක්, අඳින චිත්‍රයකට. එම නිසා සැබෑ අත්දැකීම, මූලික අත්දැකීම කුමක් ද, ඇත්තටම අත්දුටු අද්දැකීම, එය හොයාගන්න අමාරුයි. අත්දකින මොහොතේම හැඟීමක් ඇති කරගත්තහම ඒ හැඟීම විසින් ඒ අත්දැකීම සංස්කරණය කරනවා.අත්දැකීමක් කියන්නේත් සංස්කාරයක්. නමුත් හැඟීමක් ඇති වුණ ගමන් හැඟීමත් සංස්කාරයක්. ඊළඟට මේ සංස්කාර දෙක එකතුවෙලා තුන්වන සංස්කාරයක් හදනවා ඇත්තම නොවන, ඇත්ත එය නොවෙයි, නමුත් මතක තියෙන්නේ මේ තුන්වන සංස්කාරයයි. එම නිසා එකම අත්දැකීම කියා කිව්වට අප ලැබුවේ ඉන්න ගාන අනුව අත්දැකීම් වෙනස්, සංස්කාර වෙනස්. සාමාන්‍යයෙන් එතනින් ඉවරයි. සිහිබුද්ධිය ඔතනට එනකොට කඹ ඇදීමක් වෙනවා. හැඟීම එක පැත්තකට අදිනවා. සිහිබුද්ධිය කියනවා ‘ නැ, අපි හැඟීම්බර නොවී මධ්‍යස්ථ තැනකට ඇවිත් බලමු, මේ අත්දැකීම හාඳුනාගනිමු නිරීක්ෂණය, කරමු විග්‍රහ, කරමු විනිශ්චය කරමු’ කියලා. හැඟීම් කියනවා ‘එතන රහයි, රසවත්, මිහිරියි, ආකර්ෂණීයයි ප්‍රසන්නයි/අප්‍රසන්නයි’. මේ විදිහට වෙනම පැත්තකට අදිනවා. ඉතින් සිහිබුද්ධිය නැතිනම් ඒ කඹ ඇදීම නෑ, මඩ ගොහොරුවට ඇදිලා ඇදිලා එහි එරෙනවා. දැන් සිහිබුද්ධිය ගොඩට අදිනවා, ඉතින් එකපාරටම ඇදීලා එන්නේ නෑ. නෙලුම් පොහොට්ටුව එකපාරටම උඩට එන්නෙ නෑ, ගුරුත්වාකර්ෂණය පහළට අදිනවා, එයට විරුද්ධවයි පොහොට්ටුව උඩට පිපිලා එන්නෙ. ඕනම දෙයක් උඩට එන්න ඕන ගුරුත්වාකර්ෂණයට විරුද්ධව. 


මේ මඩ ගොහොරුව අදිනවා පහලට, හැබැයි මේ තුළම තිබෙනවා පිපෙන්නට විකසිත වෙන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව තිබෙන නිසායි ඉහලට ඉහලට රැගෙන එන්නේ, ඉහලට ගෙනල්ලා අන්න ඒ වෙලාවට ඉර පායා හිරු එළියක් වැටුනොත් පිපෙනවා. මේ හැම තැනකම තිබෙන්නේ කඹ ඇදීමක් තමා, හැඟීම් එක්ක ලොකු ඇදීමක් තියෙනවා පහලට. ඒ එක්ක නිදිබර වෙන්න නැතුව සැහැල්ලු වෙන්න. අවදිමත් බව සැහැල්ලුයි, නින්ද බරයි නමුත් හිතෙන්නේ අනිත් පැත්තට, නින්ද සැහැල්ලුයි අවදිමත් බව බරයි කියා. මෙම විකෘති සංඥාවක්. මේ වැරදි ආකල්පය වෙනස් වුනාම නිවැරදි දැක්ම ඇති වූවිට මේ උතුරු-දකුණු මාරුවීම නිවැරදි වෙනවා. එවිට සිහිබුද්ධියට පහසුවෙනවා කෙනෙකු ඉහලට ගන්න.


ප්‍ර : ප්‍රශ්නයක් ඇති උනහම අපි කලබල වෙනවා. එවිට අපි කිසිම ප්‍රතික්‍රියාවක් නොදක්වා, ඉන් පසු නිරීක්ෂණයක් කර සිහිබුද්ධිය අවදි කරගන්න බැරිද?


පි : පුළුවනි, අප කරනවා නම් කරන්න වෙන්නෙත් ඒ විදියට තමා. මෙතන යාන්ත්‍රණ කිහිපයක් තිබෙනවා. එකක් තමා හිතාමතා ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය. එතනදී ඔය විදිහට තමා කරන්න වෙන්නේ. වාහනයක් ආපසු හරවන්න නම් මුලින්  ඒ යන ගමන නවත්වන්න ඕනේ. ඉතින් ඕනෑම අවස්ථාවකදී කම්පනයකදී ආවේගශීලී වූ විට කළ යුතු පළමු දේ තමා වැවතීම. නවතිනවා කියන්නේ කිසිම නිගමනයකට එන්න එපා, මේ දේ කළ යුතුයි කියා, නෑ, කළ යුතු එකම දේ කිසිවක් නොකර සිටීමයි. කිසිවක් නොකර සිටීමට බොහොම ළඟින් යනවා ගල් ගැසීම(stuck). එය නොවෙයි, එහෙම වෙන්නේ ඉබේම, මෙතන හිතාමතාම මොහොතකට නවතින්න ඕන කියන තීරණයට එන්න, සියල්ල අතහැ එක මොහොතකට මුළු පද්ධතියම විවේකයට පත් කරනවා. ආවේගයකදී කම්පනයකදී මේ සමස්ත පද්ධතියම ආතතියට පත් වෙලා තියෙන්නේ. එනිසා හොඳම දේ තමා මේ පද්ධතිය නැවත පණනැන්වීම(Restart කිරීම). ඒ සඳහා මොහොතකට  නිශ්චල වෙන්න, එය පුහුණු කරන්න පුළුවන්. ඉන්පසු නිරීක්ෂණය කරන්න පුළුවන්. මොහොතකට නැවතුණු ගමන්ම මේ සියල්ල වෙනස් වෙනවා, ඒ තිබුණු ආවේග කලබල නෑ, 


එවිට එක මොහොතකට සිහිබුද්ධියට දොර ඇහෙනවා, එයයි වැදගත් වෙන්නේ. නැවතුණු මොහොතේදීයි  සිහිබුද්ධියට එන්න පුළුවන් වෙන්නේ. පුංචි ඉඩක් අවකාශයක් දෙන්න ඕන. ඒ දෙන පුංචි ඉඩෙන් සිහිබුද්ධිය පැමිණ වටහා ගන්න පටන් ගන්නවා. එය කළ හැකි දෙයක්, කළයුතු දෙයක්. එයයි තමා පුහුණුව. මේ භාවනා පුහුණුව වෙන්නේ ඒ පුහුණුවයි. එසේ පුහුණු වන විට autopilot mode එකකුත් වෙන්න පුළුන් . පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට එකපාර ආවේගශීලි වූ අවස්ථාවක සිහිබුද්ධිය ඇති වෙන්න පුළුවන්, ක්ෂනිකව හොඳ සතිමත් බවක් අවධානයක් ඇති වෙනවා, එය අප අතේ නොවේ තියෙන්නේ, එහෙම වෙන්නේ කොහොමද කියලා බලා ඇයි එහෙම මෙපමණ කල් වුනේ නැත්තෙ, මෙහෙම මෙපමණ කල් බලන් ඉන්න ඕන, එහෙම වෙන්නේ නෑ. පුහුණුව කරන්න. පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට එය වෙයි. එය තියෙන්නේ අපි අතේ නොවෙයි සිහිබුද්ධිය අතේ, එය ධර්මතාවයක්. ඉතින් ඒකට නැකත් සුභ හෝරාවල්  වලින් වැඩක් නෑ, පුහුණුවේ ප්‍රතිඵලයක් විදියට සිහිබුද්ධිය තමන් විසින්ම මේ යාන්ත්‍රණය තමන්ගේ අතට ගන්නවා.


ප්‍ර : සිහිබුද්ධිය කියන්නේ අහඹු සිදුවීමක් නොවේ නේද. පුහුණුවේ ප්‍රතිඵලයක් නේද?


පි : ඔව්, අහඹු සිදුවීමක් නොවේ. උදාහරණයක් විදිහට අපට හුස්ම ගන්න අපහසු තැනකදී හුස්ම ගන්න පහසු වෙන්න අගුළු ඉවත් කර ජනේලයක් අරින්න වෙනවා. එය අප කරන්න ඕන, එහෙම කළොත් පමණයි හුළඟ ඇතුලට එන්නේ, ඇහුරුනු ස්වභාවය නැති වෙන්නේ. නැවත නැවත පුහුණු වෙනවිට අඟුලු දැමීම වෙන්නේ නෑ, වැහෙනවා නමුත් අගුලු වැටෙන්නෙ නෑ. මේ තමා වැදගත්ම දේ. පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙස මනසට අගුලු වැටෙන්නෙ නෑ. මේ භාවනා පුහුණුවේදී කරන්නේ මනසට අගුල් වැටීම හඳුනා ගෙන එන එන අගුල අරිනවා, එපමණක්ම නොවෙයි ඒ අගුලු ගලවලාම දානවා. සමථය කරන්නේ ඒ අගුළුඇරීම, විපස්සනවේදී කරන්නේ ඒ අගුල ගලවා දැමීම. කෙසේ හෝ අගුලු ඇරියත් ගැලෙව්වත් ආපහු ජනේල වැහෙනවා, නමුත් අගුලු වැටෙන්නෙ නෑ, එවිට අගුලු නොවැටීම නිසා සමහරවිට සිදුවීමකදී අර හුලඟටම දොර ඇරෙනවා, හිර වෙලා හිටිය නම් හුස්ම ගන්න පහසු වෙනවා. එහෙම සිදුවීමකට කියන්න පුළුවන් වාසනාවකට අහඹු ලෙස වුණා කියලා, නමුත් වාසනාවට නොවේ අප අගුලු ඉවත් කළ නිසා තමා ඒ හුළගට කවුලුව ඇරගෙන ඇතුලට එන්නට පුළුවන් වුනේ. 

දහමේ තියන ‘ඕපනයික’ කියන ගුණය ඔය විදිහට විග්‍රහ කරන්නත් පුළුවන්, ඉදිරියට යන ගතිය, තල්ලුකරගෙන යන ස්වභාවය. අප දහමට එකතු වුණොත් දහම අපිව අතින් අල්ලාගෙන මේ ගමන යනවා. දහම අපිට ආරාධනා කරනවා, ‘ඒහිපස්සිකෝ’. ඒ ආරාධනාවට අප පැමිණියහොත් ඉතිරි වැඩ ටික පහසුවෙන්ම සිදුවෙයි. 


ප්‍ර : සිතිවිල්ල හිස් කියන කාරණය මෙනෙහි කරනවිට ඒ පිළිබඳ භාවනා කරන විට ලොකු භයක් ඇතිවෙනවා, දැන් මාව කවුද අරගෙන යන්නෙ මාව අතරමං වෙයි ද කියා. එයට හේතුව කුමක්ද?


පි : හේතුවක් තියෙනවා කියලා හිතීම හොඳයි. අපට තියෙන ලොකුම දේ සිතිවිල්ල විදියට තමයි ගන්නෙ. අපි හිතුවට මුදල්, ලෝකය, රට, රස්සාව, ශරීරය, දරුවන් තමා ලොකු දේවල් කියලා ඇත්තටම සිතුවිලි තමයි හිතට තියෙන ලොකුම දේ, ඊට එහා දෙයක් නෑ. ඉතින් මොනවා නැති වුණත් සිතිවිල්ලක එල්ලිලා ඉන්න හිතට පුළුවන්. මොනවා තිබුනත් හිතට බැරිනම් සිතිවිල්ලක එල්ලෙන්න අන්න ඒ හිත වැටෙනවා. බයක් එන්න පුළුවන් සිතිවිල්ල හිස් කියා තේරෙනකොට, මොකද ඒ තමා ලොකුම දේ, ඒ තමා හරවත්ම දේ කියා හිතන් ඉන්නේ. එකපාරටම පුහු හිස් කියා වැටහෙන කොට බයක් එනවා, නමුත් ඇත්තම කාරණය නම් අප සාමාන්‍ය ජීවිතයේ බය වෙන්නෙම මේ පුහු සිතිවිල්ලකටමයි, සිතිවිල්ලක් තමා අපව බය කරලා තැති ගන්වලා තියෙන්නේ. ඒ බව වැටහෙන කොට අන්න බය නැති වෙනවා, මේ ධර්මතාවය වැටහෙන කොට, මේ ලෝකේ හැම දේකටම අප බය වුණේ සිතිවිලි නිසා, අපව බය කළේ යක්කුවත් මරණයවත් නොවේ අපේම සිතුවිලි, හැබැයි ඒ සිතිවිලි හිස් පඹයෙක් කියා වැටහෙන විටදී ආයෙ බය වෙන්නේ නෑ. කිසිම දෙයකට සිතුවිල්ලකට බෑ අපව බය කරන්න. ඒ විදිහට බැලුවාම ලොකු එඩිතරකම එනවා. 



ප්‍ර : බය වීම කියන්නේ මමත්වය නේද?


පි : ඔව්, ඒ මමත්වය තමා, අප හිතන් ඉන්නවා මේ විදිහට තමයි වෙන්න ඕන කියලා, එහෙම වුනොත් තමයි ආරක්ෂාව සුරක්ෂිත බව තියෙන්නෙ කියා, හැබැයි වෙන්නේ අනපේක්ෂිත විදිහකට. එතැනදී තමා බය වෙන්නේ තමන්ට මොනවා හෝ වෙයි කියා. බය වර්ග කිහිපයක් තිබෙනවා, සාමාන්‍යය බයතමා ඇඟට මොනවාහරි වෙයි, ලෙඩක් වෙයි, රිදෙයි, මැරෙයි, ඇස් පේන්නේ නැති වෙයි කියන බය. ඊළඟට කාත් කවුරුවත් නැති වෙයි කියන බය, තනි වෙයි කියන බය, මේ විදියට බය ගණනාවක් තිබෙනවා. මේවා මතුපිට තිබෙන බය, ‍ප්‍රතික්‍රියා විදිහට එන බය, සිදුවීමකදී ඒ බය එන්නෙ, සිදුවීමක් නැතිව ඒ බය එන්නෙ නෑ. හැබැයි ඊට යටින් තියෙනවා පැවැත්මේ බියක්, ප්‍රතික්‍රියාවට වැඩිය පැවැත්මත් සමග බද්ධ වූ බියක්. පැවැත්ම හරියට කඹයක් උඩ ඇවිදීම වගේ දෙයක්, සංසාර පැවැත්ම ස්ථාවර මහපොළොව උඩ කරණම් ගහනවා වැනි දෙයක් නොවේ, උඩ තියෙන කඹයක් උඩ කරනම් ගහනවා වැනි අස්ථාවර දෙයක්. එපමණටම මේ සංසාරය දුර්වලයි අස්ථාවරයි. 


එතන බිය තමා සොබාවය. පැවැත්මටම බයක් තියෙනවා, තමන්ට පවතින්න බැරි වෙයි කියලා. එයට තමයි ඔබතුමා මමත්වය කියා කියන්නේ. එතකොට ප්‍රතික්‍රියාවකට වැඩිය මේ පැවැත්මේ ගතියක්, මේ බය නිසාම මේ කඹය දැඩිව අල්ලා ගන්නවා, බය වැඩිවෙන්න වැඩිවෙන්න පැවැත්මේ කඹය තමයි දැඩිව අල්ල ගන්නෙ. ඉතින් මෙය අල්ලන් ඉන්න ඉන්න බය තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නෑ. මේ සංසාරය කියන මේ කඹයේ එල්ලිලා ඉන්න නිසාමයි මේ හැම ව්‍යසනයක්ම හැම බියවීමක්ම. එය අතහැරියොත් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අත්හරින්න බයයි, අපි හිතනවා එකම ආරක්ෂාව එකම ග්‍රහණය මේ පැවැත්ම අල්ලා ගැනීම පමණමයි කියා.


ප්‍ර : මේ ඉන්න මට ගොවීන් උඩට එන්නෙ කොහොමද කියලා සරලව පැහැදිලි කරන්න පුලුවන්ද?


පි : පුළුවනි, අපි හිතමු කෙනෙක් දොස් කියනවා කියා. එතනදි ඒ බැනුමත් එක්ක එරෙන්න පුළුවන්, අපි එයාටත් බනිනවා උත්තර දෙනවා ආවේගශීලී වෙනවා, එහෙම පුළුවන් එරෙන්න. එහෙම නැත්නම් ලැජ්ජා වෙලා එරෙන්නත් පුළුවන්, නිහඬව ඉන්නවා හැබැයි ඉන්නේ ලැජ්ජාවෙන්, එතනදී වෙන්නෙත් මඩ ගොහොරුවේ ගිලෙන එක. ඒ වෙනුවට අවදිවෙන්න පුලුවන්. අවදිවෙන්න අවස්ථා කීපයක් තිබෙනවා. එකක් තමයි කනට ඇහෙන දේ ගැන අවදිවීම. බනිනවා කියන එක අපි හිතන දෙයක්, නිගමනයක්. ඇත්තටම මොකක්ද කණට ඇහෙන්නේ එතනට එන්න. කනේ ඉන්න, මමත්වයේ ඉන්න එපා. කනත් එක්ක ඉන්න. කන එක්ක ඉන්නකොට ඇහෙන දේ, ශබ්ද ඇහෙනවා. ඒවායින් කොටසක් තෝරා ගෙන වචන කරගන්නවා, ඒවාට අර්ථ දෙනවා, ඒත් කමක් නෑනෙ. ඊළඟට ඒවා තමන්ට සම්බන්ධ කරගන්නවා. ඒ සම්බන්ධව වුණ ගමන්ම තමන් පත්වෙනවා බැනුම් අහන කෙනා බවට. එයා බනිනව මම බැනුම් අහනව. එහෙම බැනුම් අහන කෙනා අපේ නිර්මාණයක්. එය නිර්මාණය කරන්නේ අපි, ශබ්ද අහන කෙනා නොවෙයි බැනුම් අහන කෙනා. ඒ බැනුම් අහන කෙනාව නිර්මාණය කරාම මඩ ගොඩේ එරෙනවා, එය තමයි සිද්ද වෙන්නේ ලැජ්ජාව බය තරහ එක්ක. මෙතන බැනුම් අහන කෙනෙක් නෑ. අපි බැනුම් අහන කෙනා බවට පත් වුනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අර බුදුන් වහන්සේ කිව්වේ ඒකනෙ, ‘ඔය සංග්‍රහය මම භුක්ති විදින්නේ නෑ, මම භුක්ති විඳින්නකු නොවෙයි, ඔබ එය භුක්ති විඳින්න, ඔබ බැන්නා හැබැයි මම අහන්නෙක් වෙන්නේ නෑ’. ඒක අපේ අතේ තියෙන්නෙ, ‍ප්‍රශංසාවත් ඒවගේ, ප්‍රශංසා කරන්න පුළුවන්. අපි ප්‍රශංසා අහන කෙනෙක් වෙනවද?. අහන කෙනෙක් කියන්නේ කනින් අහන කෙනෙක් නොවෙයි, එහෙම කෙනෙක් ඇතුලේ මවා ගන්නවාද, නිර්මාණය කරගන්නවාද, අර ඇහෙන වචනෙට ගැලපෙන?, ඒ අච්චුවට වැටෙන?. එහෙම වුනොත් බරයි. බනිනව කියන්නෙ එයා හිතන විදිහ, හිතන විදිය සද්දෙන් හිතෙනව. සද්දෙ නැතුවත් මිනිස්සු හිතෙනවනේ. මෙතන තියෙන එකම වෙනස එයා මටයි අනිත් අයටයි ඇහෙන්න හිතනවා. ඒ ඇහෙන්න සිතීමයි නොඇසෙන්න සිතීමයි අතර කිසිම වෙනසක් නෑ. අපි කියන්නේ ‘මිනිස්සු මොන විදියට හිතනවා ඇතිද’ කියා. ඒවා අපට ඇහෙන්නේ නෑනේ. ඇහෙන ටිකට තමා අපි සන්තෝෂ වෙන්නේත් දුක් වෙන්නේත්. ඊට වැඩිය සසංඛ්‍යාවෙන් ප්‍රමාණයෙන් ගුණාත්මක බවින් වැඩියි අපි ගැන හිතන විදිහ, අපි දන්නෙ නෑ. ඉතින් ඕන කෙනෙකුට හිතන්න අයිතියක් තියෙනවා, නිහඬව සහ හඬනගා. නමුත් අපිට එන්න පුළුවන්නම් ඒ සිතීම එයාගේ සිතිවිල්ලක්, ඒ සිතිවිල්ල එයාට ඇත්ත, නමුත් මම ඇත්ත කරගන්න අවශ්‍ය නෑ, උත්තර දෙන්න හෝ වාද කරන්න අවශ්‍යතාවයක් නෑ කියන තැනට, එහෙම ඉන්න පුළුවන් නම්, ඒ බැනුමට අපිට ආරෝපණය නොවී ඉන්න පුළුවනි. ඒ බැනුමට අනුව මමෙක් හදා ගන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ බැනුම අච්චුවක් කරගෙන ප්‍රශංසාව අච්චුවක් කරගෙන අපි මමව ඒ අච්චුවට අනුව හදාගන්නව. එහෙම නැතිව ඉන්න පුළුවන්. එතකොට සැහැල්ලුයි.


හිතවතුනේ, මේ සදහම් සැන්දෑවේන් සමුගන්නට වෙලාව. ඇත්තටම ගමන පටන් ගන්නෙ මෙතන සිට. ඒ ගමනට අපි සතුටින් එකතු වෙමු. 


හැමදෙනාටම සෙතක් ශාන්තියක් සැනසිල්ලකම වේවා !