සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 10
2021 දෙසැම්බර් 08, සාරාංශය
අපි සෑම දෙනාම ඉන්නේ එකම පාරුවක යන සිතිවිල්ල එක අතකින් සතුටක් තවත් අතකින් රැකවරණයක් පිළිබඳ හැඟීමක් ඇති කරනවා. නමුත් ඇත්ත අප ඉන්නේ එකම පාරුවක නොවෙයි අපට එසේ ඉන්න බෑ. ඒ තමා සසරේ හැටි, කාගෙවත් නීතියක් රෙගුලාසියක් නොවෙයි. මේ කාරණය අප කලිනුත් කතා කළා, එකම අත්දැකීම දෙදෙනෙකුට ලබාගන්න බැරි බව, බෙදාගන්න බැරි බව, එකම තේ කෝප්පය දහදෙනෙකුට බෙදා ගන්න පුළුවන් නමුත් රස සහ ගුණය බෙදා ගන්න බෑ. මෙන්න මේ වෙන්වුණු තැනකයි සසර අපව තබා තිබෙන්නේ. මෙතන තිබෙන්නේ එකට ඉන්න පුළුවන් හා එකට ඉන්නවා කියන සිතිවිල්ල පමණයි. එබඳු එක්වීමක් හෝ එකට සිටීමක් හො එකට යැමක් හෝ නෑ, එබඳු සිතිවිල්ලක ඉන්න කෙනාට තමා පුහුදුන් සත්වයා කියන්නේ. තමන්ට සිතුන දේ, හිත ගොතපු දේ, ඇත්ත කියා පිළිඅරගෙන ඒ සිතිවිල්ල අනුව ලෝකය දකිනවා. ඇහේ කාචයක් ඇලෙව්වාහම ඇහැටයි පේන්නේ, පේන්නෙත් ලෝකය, කාචය විසින් ඇහැට පෙන්වන ලබන දේ පමණයි දකින්නේ. නමුත් සිතිවිල්ලක් හිතේ අලවා ගෙන ඒ අනුව ලෝකයක් පේනවා. එතනදී හිතෙන හැම දෙයක්ම ඇත්ත ඇත්ත කියා හිතනවා. පුහුදුන් සත්වයාට ඇත්ත පිළිබඳ තියෙන එකම මිම්ම සිතුවිල්ල පමණයි, වෙන කිසිදු සාක්ෂියක් සාධකයක් නෑ.
පුහුදුන් සත්වයා කියන්නේ වෙන්කළ සත්ත්වයාට,භෞතික තාප්පයක් නෙවේ, සිතිවිල්ලකින් වෙන්කර තිබෙන. මෙම සිතුවිල්ල ඇත්තයි කියා පිළිගත් සිතක් තමන් වෙනස් කෙනෙක්. ‘මම’ වෙනස් කියන අදහස, රූපය ගතිගුණ ආදී කාරණාවලින් දිට්ඨියක් ඇතිකර ඒ දිට්ඨියෙන් වෙන් වූ කෙනෙකුව පෙන්වනවා. දිට්ඨි කියන්නෙ දෘෂ්ටි, පෙනීම. මේ විදිහට තමන්ටම පේන්නේ තමන් මොන තරම් වෙනස් අයෙකු විදිහටද?. මේ තමා සක්කායදිට්ඨිය. මේ වචන ලොකුවට ගන්න එපා, මා වෙනස් කෙනෙක් විතරක් නොවෙයි අනිත් අයට වඩා විශිෂ්ට කෙනෙක්, සක්කාය, වෙනස් හා සුවිශේෂී හා අසාමාන්‍ය කෙනෙක්. මේ සිතිවිල්ල තිබෙන සිත් වලටයි පුහුදුන් සිත් කියන්නේ. අනිත් අය සාමාන්‍යයි, සාමාන්‍යය අය අතර අසාමාන්‍ය කෙනෙක්. මෙහෙම චිත්‍රයක් තියෙනවා.
ඒ සමගම දෙවන චිත්‍රයකුත් පෙන්වනවා, ඒ තමා සාමූහිකත්වය පිළිබඳ චිත්‍රය .මට මේ මේ අය ඉන්නවා, මෙහෙම රැකවරණයක් තියෙනවා, අපි ඉන්නේ එකට, දුක සැප බෙදා ගන්නෙ එකට. මේ සාමූහිකත්වය පිළිබඳ අදහස හිතට එන විට සුරක්ෂිතබව පිළිබඳ ඉඟියක් එනවා, එයින් තමන් සුරක්ෂිතයි කියන හැගීම. එක අතකින් වෙනස්කියා වෙන්කර තවත් අතකින් සාමූහිකත්වය පිළිබඳ අදහසකුත් දී තිබෙනවා. බලන්න මොනතරම් රැවටීමක් ද? හැබැයි මේ දෙක එකට යන්න බෑ වගේ නේ පෙනුනට මේ දෙකම එකට යනවා. එකක් ඇත්තයි නම් අනික බොරු වෙන්න ඕනේනේ. මේ තමා මෙතන තියෙන මෝහය මුලාව, පරස්පර දිට්ඨි දෙකටම රැවටිලා. ඒ දිට්ඨි දෙකම පිළි අරගෙන ඒ විදිහටම දකිනවා. එක විට දිට්ඨි දෙකක් දකිනකොට හැමෝම ඉන්නේ එකම පාරුවක කියන හැඟීමක් එනවා, දේශපාලනයේදී එහෙම ඉන්න පුළුවන්, අපි හැමෝම එකම පක්ෂයේ, එකම ආගම, එකම ගම පාසල, එමෙන්ම එකම භාවනාව කරන, එකම වන්දනා ගමනක් යන. මේ විදිහට බලන්න සාමූහිකත්වය පිළිබඳ මොනතරම් රාමු හදා තියනවද?, රාමු කීයක් හදාගෙන තියෙනවද? මොනතරම් කණ්ඩායම් වලට ‘මම’ මාව ඇතුළු කරගෙන තිබෙනවාද? එක කණ්ඩායමක් නොවේ රට, ජාතිය, පක්ෂය, කුලය, භාවනාව, භාවනා ගුරුකුලය, මධ්‍යස්ථානය, මේ ආකාරයට තමන් ඇතුල් කර ගත්ත සමූහයන් කීයක් හදාගෙන තියෙනවද? . ඉතින් මේ ගැන සිතීම හා විමසීම එක් පැත්තකින් හරි රසවත්. කණ්ඩායම් කීයක් හැදී තිබෙනවාද කණ්ඩායම් කීයකට තමන් ඇතුල් කරගෙන තිබෙනවාද ඇතුල් කරගන්න උත්සාහ කරනවා ද එළියට යන්න උත්සාහ කරනවාද?. මේ හැම කණ්ඩායමක් එක්කම සමානයි කියන සිතුවිල්ලත් එනවා, එකම පාසලේ, එකම ගමේ එකට භාවනාකරන සමාන හැඟීමක් එනවා. හැබැයි ඒ සමාන හැඟීම ඇතුලේ ‘මම’ වෙනස්, ‘මම’ අසාමාන්‍යයි, කියන හැඟීමත් තියෙනවා සාමාන්‍ය අය අතර අසාමාන්‍ය කෙනෙක්.
එක්වීම් සහ වෙන්වීම් සිදුවන්නේ සිතුවිලිවලින්, භෞතිකව නොවේ. සාමාන්‍ය බුද්ධියට නොවේ සිහිබුද්ධියට පේන මේ කාරණයත් දිගටම මෙනෙහි කරන්න වටින කාරණයක්. සමානයි කියන හැඟීමෙන් එකතු වෙනවා, එකතුවී සිටින විට අසමානකම් පේන්න පටන් ගන්නවා, පරස්පරතා එන විට ගැටුම් ඇතිවෙනවා, ඒ ගැටුමත් සමග වෙන් වීමක් ඇතිවෙනවා. එක්වීම වෙන්වීම සිතුවිලි වල ප්‍රතිඵල, නිතර නිතර මේ එක්වීම වෙන්වීම භෞතිකව සිදු නොවුනට මානසික මට්ටමින් සිදු වෙනවා.
මේ සියල්ල නිසා අප සැවොම ඉන්නේ එකම බෝට්ටුවේ කියන හැඟීමක් හිතෙනවනේ. භෞතිකව එකම යානයක ගියාට මානසිකව යන්න බෑ. මානසිකව අප ඉන්නේ එකම බෝට්ටුවක පාරුවක නොවෙයි, නමුත් එකම සංසාර සාගරයක, එකම ගඟක එකම දිය පහරක. මේ කාරණය හොඳට බලන්න සිහිබුද්ධියෙන් මෙනෙහි කරන්න, එකම ගඟක හැඩ පහරක ඉන්නේ. කෙනෙක් හැඩ පහර ගෙනියන තැනකට ගියාවේ කියා නිශ්චලව අතපය හකුළාගෙන ඉන්නවා වෙන්න පුළුවන්, සැඩපහරේ යන වේගය මදි කියා ඒ හැඩ පහර ගලායන දිශාවටම තවත් වේගයෙන් පීනන අයත් ඉන්නවා, සමහර අය එක තැන දියබුං ගහනවා කරනම් ගහනවා හරහට පීනනවා, තවත් කිහිපදෙනෙකු සුළියට අහුවෙලා එක තැන කැරකෙනවා. ඒ අතර තව එක්කෙනෙක් දෙන්නෙක් උඩුගම්බලා පීනනවා. එකම ගඟක හිටියට මෙතන ක්‍රියා රාශියක්.
කෙනෙකු තව කෙනෙකුට ක්‍රියාවෙන් වෙනස්, අත්දැකීම එකයි, නමුත් අත්දැකීමක් ඇතුලේ කෙනෙක් අත්දැකීමෙ වේගයට ගහගෙන යනවා, තවත් කෙනෙකු අත්දැකීමෙන් යම් පමණකට තල්ලු වෙනවා ද ඊට වඩා පහළට තල්ලු වෙලා යනවා. උදාහරණ එකට ඇලීම බැඳීම ඇතිවන අත්දැකීමකදී ඒ අත්දැකීම විසින් උත්සාහයෙන් හිතෙහි ඇලීමක් ඇති කරන විට කෙනෙකු එසේ ඇලී ආසාවේ සැඩ පහරට අසුව ගහගෙන යන්න ඉඩදී.බලා සිටිනවා, ආසාවක් නම් ඒ ආසාවට ඔහේ එන්න හැරලා ඉන්නවා, ඉතින් ආසාවට යටවෙලා ආසාවට යටවී ගහගෙන යනවා. තව කෙනෙකු ඒ අත්දැකීමත් එක්ක උපදින ආශාව මදී කියා අතින් පයින් දගලල ඒ ආශාව දෙගුණ තෙගුණ කරගන්නවා, තවත් කෙනෙකු ඒ ඇතිවුණු ආශාවත් එක්කම ගිලිල යනවා, තවත් කෙනෙකු ආශාවේ කරනම් ගහනවා, බොහෝම ස්වල්ප දෙනෙක් ආශාවට විරුද්ධව, ආශාව නැති තැනක් හොයාගෙන, ආශාවෙ උල්පතට එපිටින් යන්න උඩුගම් බලා පිහිනනවා. එහෙමනම් අප ඉන්නේ එකම බෝට්ටුවක නොවෙයි. නමුත් එකම සංසාර සැඩපහරක තමයි ඉන්නේ. තීරණය වෙන්නේ අප කුමක්ද කරන්නේ, හැඟීම් සමග ගහගෙන යනවද, හැඟීම් තුළ ගිලී සියදිවි නසා ගන්නවද, නැත්නම් හැඟීමට යට නොවී උඩුගම් බලා පීනනවාද, ඒ චේතනාව තමා පුද්ගලයව නිර්මාණය වෙන්නේ. .
අත්දැකීමෙන් අත්දැකීමට, අපේ හැඟීම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අනුව, තමන් කවුද කියන කාරණය තීරණය වෙන්නේ. මෙයා එතෙර වෙන්න උත්සාහ කරන කෙනෙක්, නැත්නම් සංසාර සාගරේ දිය රැලට අහුවෙලා ගහගෙන යන කෙනෙක්, එහි අනතුර නොදැක කරනම් ගහන කෙනෙක් කියල මෙතනදි හඳුන්වන්න බෑ. මොකද අත්දැකීමෙන් අත්දැකීමට හැඟීමෙන් හැඟීමට වෙනස් විදිහටයි ක්‍රියා කරන්නේ. අත්දැකීමෙන් අත්දැකීමට හැඟීමෙන් හැඟීමට උපදින්නේ වෙනස් වෙනස් පුද්ගලයන්. උපන්දිනය සහ මැරුණු දිනය, මේ උපත සහ මේ විපත කියා මරණ දැන්වීම් වල ලිව්වට සිහිබුද්ධියට පේනවා සෑම අත්දැකීමක් සමගම කෙනෙක් උපදිනවා, එයා කලින් හිටිය කෙනා නොවෙයි, ඒ අත්දැකීමට මුහුණ දෙන ආකාරය අනුවයි පුද්ගලයෙකු බිහි වෙන්නේ. එක අත්දැකීමකදී හැගීම් පාලනය කරන කෙනෙක්, තව අත්දැකීමකදී එයට යටවූ කෙනෙක්, තවත් අත්දැකීමකදී හැඟීම් සමග ක්‍රීඩා කරන කෙනෙක්, තවත් අත්දැකීමකදී ඒ හැඟීම ඉක්මවා යන්නට වීරිය කරන කෙනෙක්. මේ විදිහට බලන්න, කෙනෙක් අත්දැකීමකදී උපදිනවා පවතිනවා නැතිවෙලා යනවා. ඊළඟ හැඟීමේදී මොන වගේ කෙනෙක් උපදීද පවතීද කියන්න බෑ, මේ අවිනිශ්චිතතාවයේ තමා අපව තබා තිබෙන්නේ, අප කවුද අපම දන්නෙ නෑ, අප කවුද අපටම දැන ගන්නත් ලේසි නෑ, දැනගත්තත් ඊළඟ මොහොතේ අප කවුරුන් වෙයිද කවුරුවත් දන්නෙ නෑ, ‘මම’ ‘මම’ වෙයි මම නොවෙයිද මමම දන්නෙ නෑ, මම මටම අයිති නෑ.
හිතවතුනි, අත්දැකීමෙන් අත්දැකීමට තමන් කවුද, කවුරුන්ද වී තිබෙන්නේ, කවුරුන් ලෙසටද ක්‍රියා කරන්නේ හා කවුරුන් වෙන්නද දඟලන්නේ දැනගැනීමයි සිහි බුද්ධියේ භාවිතය, එයයි සති සම්පජඤ්ඤයේ ප්‍රයෝජනය. මොනවද කරන්නේ, මොනවාද කර ගන්න යන්නේ, මොනවද කරගන්න පුලුවන්වූයේ, මොනවා කළා නම් හොඳයිද ? මේ හැම අත්දැකීමක් සමගම උඩුගම් බලා යන දොරටුවක් විවර වෙනවා, ඒ පැත්තට හැරිල හිටියොත් තමයි උඩුගම පේන්නේ. හැඟීම තල්ලු කරන පැත්තට ඔලුව හරවාගෙන හිටියොත්, සංසාර සාගරේ. අංශක එකසිය අසූවක් හැරුනොත් ගොඩ යෑමක් තියෙනවා, වීරිය කළොත් ගොඩ යන්න පුළුවන්. හැම මොහොතකම සංසාර සාගරයට දොරටුවකුයි විමුක්තියට දොරටුවකුයි දොරටු දෙකක් ඇරෙනවා. එක දොරටුවක් පමණක් නොවෙයි මේ දොරටු දෙකම ඇරෙනවා. හැබැයි අපට පේන්නෙ අප හැරී ඉන්න පැත්තේ දොර ඇරුණු බව පමණයි, ඒ දොර පමණයි පේන්නේ. ඒ පෙනෙන දොරෙනුයි අප එළියට යන්න උත්සාහ කරන්නේ. එම නිසා සැමවිටම ගැලවීම පැත්තට ඔලුව හරවා ගන්න. මෙයටයි. සම්මා දිට්ඨි කියන්නෙ. සම්මා දිට්ඨි කියන්නෙ ගැලවීමේ දිශාවට හැරී සිටීම. ඒ ගැලවීම පැත්තට නම් අපේ ඔලුව හැරී තිබෙන්නේ, ඒ දිශාව පැත්තේ දොර ඇරෙනවා පේනවා. එහෙම පෙනුනම ඒ පුංචි විවරයෙන් අපට රිංගන්න පුළුවන්.
හැම අත්දැකීමකදීම සසරට එකතු වෙනවද සසරෙන් වෙන් වෙනවද කියා තීරණයක් ගන්න අවස්ථාවක් ලැබෙනවා. අප කියනවා, ‘කවදාහරි’ කියා, සංසාරේ කියන්නේ කවදාහරි ගන්න තීරණයක් නොවේ. සසරත් සමග එකතු වෙනවද, එකතු වුන සසරින් වෙන් වෙනවාද, එක් වෙනවද වෙන් වෙනවද හැම මොහොතකම තීරණය කරන්න පුළුවන්. එක් වෙන්න තීරණය කරන්නේ මිච්ඡාදිට්ඨිය සසර පැත්තට ඔලුව හැරිලා තිබෙනවා නම් සසරත් සමග එකතු වෙන්න. විමුක්තිය පැත්තට හැරී තියනවනම් තීරණය එන්නේ සසරින් වෙන් වෙන්න. ඒ තීරණය ගත් පමණින්ම වෙන්වෙන්නේ නෑ, වීරිය කරන්න ඕනේ, හැබැයි ඒ වීරිය කරන්නේ ඒ තීරණය ගත්තොත් පමණයි. ඒ නිසා මේ මොහොත හරි වටිනවා. මේ මොහොත තරම් වටිනා ප්‍රයෝජනවත් තවත් මහඟු නිදානයක් නෑ, හැබැයි මේ මොහොත ඔහේ ගෙවී යන්න ඉඩ ඇරියොත් එලියට යන්න තිබූ සෑම අවස්ථාව අහිමි වී යනවා. ඒ නිසා දහම කියන්නේ මේ මොහොත ඉක්මවන්න එපා, හරියට සටන්පාඨයක් වගේ ‘මේ මොහොත, ක්ෂණය ඔහේ ගෙවිලා යන්න දෙන්න එපා’. ඒ උද්යෝගිමත් සටන් පාඨයක් සමග පිවිසෙමු සිහිබුද්ධියෙන් භාවිතයට, භාවනාවට.
භාවනාව
මේ මොහොතේ මොන විදිහේ සිතිවිල්ලක්ද හිතට ඉන්නේ? ඒ සිතිවිල්ල කොතනටද තමන්ව ගෙනියන්න හදන්නේ? ඒ පෙළඹවීමට හසුවී සිතුවිල්ල නිසා ගහගෙන යනවද බලන්න. සිතුවිල්ලත් සමග සෙල්ලම් කරනවද? ඕන දෙයක් උනාවෙ කියා අතපය හකුළාගෙන කම්මැලිකමෙන් උදාසීනව ඉන්නවාද? සිතිවිල්ල සමග ගහගන්නවාද? සිතුවිල්ලෙන් එළියට එන්න වීරියක් ගන්නවාද උත්සාහයක් කරනවද. සිතිවිල්ලට වසඟ නොවී මුලා නොවී මෝහනය නොවී අවදියෙන් ඉන්න, බලන්න කුමක්ද සිදුවෙන්නේ.
විශේෂයෙන් හැඟීම් චිත්තවේග ආවේග නැමැති දිය රැලි සුනාමි පැමිණෙන විට කුමක්ද අපට සිදුවෙන්නේ? අප කරන්නේ කුමක්ද ? කෙරෙන්නේ කුමක්ද? වෙන්නේ කුමක්ද?
කෙරෙන දේ, සිදුවෙන දේ, සිදු කරන දේ, සහ සිදු කළ හැකි දේ, වඩාත් වැදගත් වෙන්නේ සිදුකල හැකි දේ පිළිබඳ දැක්ම. අත්දැකීමක දී අපට කුමකුද වෙන්නේ, අප කොතනටද ගහගෙන යන්නේ, සිදුවන දේ සිදු කෙරෙන දේ අපට සිදු වන දේ දැන ගැනීම. ඉන් එහාට අපට කළ හැකි දේ කුමක්ද, අන්න ඒ සිහිබූද්ධියට පෙනෙන දොරටුව, දිගින් දිගටම සසරත් සමග එක් වෙමින්, එක් කරමින් ඉන්නවද, නැත්නම් පිටවන දොරටුවෙන් එළියට යනවද.
සිතුවිල්ල නැමැති දිය සුළියට හසුවී කරකැවෙනවාද, කරකැවෙමින් කරකවමින් සිතුවිල්ලේ සිරකරුවෙකු වෙනවාද? එලියට එනවද?.
එබඳු ඉඩක් අවකාශයක් හා අවස්ථාවක් තිබෙන බව දකිමින්, ගැලවෙන්නට පුංචි දොරටුවක් තිබෙන බව හඳුනා ගනිමින් පැමිණෙමු සාකච්ඡාවට සංවාදයට බෙදා ගැනීමට.
සාකච්චාව
ප්‍ර : සිතිවිල්ල හඳුනාගැනීමෙන් පසු එය ගැන තීරණය ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙස බැලිය යුතුද?
පි : සිතිවිල්ලක් බව දැන ගැනීමත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිටීමමනේ, සතිය, සම්මා සතිය. ඉතින් එතනින්ම එක අංගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සිතිවිල්ල අපව ඇදගෙන යනවා නැත්නම් අපව තල්ලු කරගෙන යනවානේ කිසියම් ගමනක්. ඒ සිතිවිල්ලට ඉඩදී සිටීම වෙනුවට ඒ සිදුවෙන දෙයින් එළියට එන්නට ගැලවෙන්නට වීරිය කිරීම තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තවත් අංගයක් වැඩෙනවා, ඒ තමා වීරිය. එතකොට සිතුවිල්ල ඇතුලට යනවද, ඇතුලට යන පැත්ත බලාගෙනද ඉන්නේ, පිටවෙන පැත්ත බලාගෙන ඉන්නේ, මෙහෙම පැති දෙකක් තියෙනවානේ, කොයි පැත්තටද යන්නෙ, එය තමා සම්මා දිට්ඨිය. සෑම මොහොතකම අඩුම වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග තුන තිබිය යුතුයි, මේ අංග තුන තිබෙනවා නම් අනිත් අංග එකතු කර ගැනීම පහසුයි. මේ අංග තුන සම්මා සති,සම්මා දිට්ඨි, සහ සම්මා වායාම, මේ අංග තුන අඩුවක් තියාගෙන අනිත් අංග එකතු කරගන්න වර්ධනය කරගන්න අමාරුයි. ඉතින් එම නිසා හැම අත්දැකීමකදීම බලන්න මොනතරම් සිහියක් තියෙනවද, ඒ කියන්නේ මට මොකද වෙන්නේ, කොහාටද මාව එක්ක යන්නෙ, මේ අත්දැකීම ලබන්න කලින් හිටිය මමද මේ අත්දැකීමත් එක්ක ඉන්නේ, සිතිවිල්ලත් එක්ක ඉන්නේ, ඊළඟට එහෙම වෙන්න දෙනවද, තේරුමක් නෑ එහෙම වෙන්න දෙනවා නම්, එහෙම නම් සම්මා දිට්ඨියක් නෑ. එහෙම වෙන්නත් දෙන්න පුළුවන් නැත්නම් එලියට එන්නත් පුළුවන්, එළියට එන්න කරන වීරිය, ‘නිදහස් වේවා! වේවා!’ කිව්වට එලියට එන්න බෑ උත්සාහයක් කරන්න ඕන ඒ තමා සම්මා වායාමය.
ඕනනම් සිතිවිල්ලක තව තව හිරවෙන්න පුළුවන්, ඒ තමා මිච්ඡා වායාම. ඒ පැත්තම බලාගෙන ඒ පැත්ත විතරයි තියෙන්නේ ඔහේ ඉන්නවා සංසාරේ විතරයි තියෙන්නේ, මේ තමා ලෝකයේ හැටි, හැමෝම මෙහෙමයි, ඉතින් මමත් මෙහෙම උනාට කමක් නැහැ කියලා හිතුවොත්, ඒ මිච්ඡා දිට්ඨිය. තමන්ට වෙන්නේ කුමක්ද දන්නේ නැතුව හිතනවා, ඒ මිච්ඡා සතිය. තමන්ට වෙන්නේ මොනවද, තමන් කරන්නේ මොනවද, ඒ ගැන බලන්නේ නැතුව තමන් පිළිබඳ හිතාගෙන ඉන්නවා මම මෙහෙමයි කියා, ඒ මිච්ඡා සතිය, එතන සම්මා සතිය නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න ඕනෙ, සම්මා දිට්ඨි, සති, වායාම. මේ ත්‍රිකෝණය මත තමා අනෙකුත් අංග පහම වැඩෙන්නේ. ඒ නිසා මූලික අංග තුන පිළිබඳ අවබෝධය යොමුකර ඒ ගැන දැනුවත්ව ඉන්න පුළුවන් නම් අනිත් අංගවලට ලොකු අවධානයක් වීර්යයක් අවශ්‍ය වෙන්නේ නෑ, හැබැයි මේ අංග තුන නොසලකා හැරලා අනිත් අංග විතරක් වඩන්න හදනවා නම් ඒ සඳහා අතිවිශාල ශක්තියක් යොදවන්නට සිද්ධ වෙනවා, එය අපහසු වෙන්නත් පුළුවන්.
ප්‍ර : අපි සියලුම දෙනා සංසාරයේ ජීවත් වෙන්නේ කියලනෙ කියන්නෙ. ඇත්තෙන්ම පුද්ගලයා ගත්තහම පුද්ගලයන් අතර බැඳීම අනුව සසර වෙනස් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට සසර සාපේක්ෂයි. අපි හිතුවට ඉන්නේ එකම සසරේ කියලා අපි ඉන්නේ එක් එක් කෙනාට සාපේක්ෂව සසර වල. තනි පුද්ගලයා ගත්තත් එයාගේ සසරත් සාපේක්ෂයි. උදාහරණයකට මම කෑමට ගිජුයි නම් ඒ නිසා මම සසරට තියෙන බැඳීම වැඩියි, ඒ වාගේම මම යම් යම් දේවල් පිළිබඳ ත්‍යාගශීලී නම් ඒ සමග සසරට තියෙන බැඳීම අඩුයි. ඒ අනුව පුද්ගලයාගේ සසර අත්දැකීමෙන් අත්දැකීමට වෙනස් වෙනවා. සෑම අත්දැකීමත් එක්කම දොරටුවක් විවර වෙනවා නම් ඒ එක දොරටුවක් විතරක් ප්‍රමාණවත් නේද, ඒක පමණක්ම අල්ලා ගෙන මෙනෙහි කරනවා නම් සසරින් ගැලවෙන්න පුළුවන් නේද?
පි : ඇත්තෙන්ම මෙය තමා සාරාංශය. ඔබතුමා වාක්‍ය තුනකින් හරි ලස්සනට සංක්ෂිප්ත කර එල්ලේටම ඉලක්ක කොට කිව්වා, එයට බොහොම පින්. එය තමා ඇත්තම ඇත්ත, සසර කියන්නේ වචනයක් පමණයි, එහෙම දෙයක් නෑ, දෙයක් තිබ්බොත් ගෙයක්, ගෙයක් තිබ්බොත් දෙයක්. ගෙයක් තිබ්බොත් ඉන්න පුළුවන්නේ. අපට අඩුම ගානේ කියන්න පුළුවන් අප මේ හැමෝම ඉන්නේ මේ ගේ ඇතුලේ කියලා. නමුත් එහෙම කිව්වට හිතෙන් කොහේ ඉන්නවද දන්නෙ නෑනෙ. කියනවා ඉන්නෙ එක ගෙයක් ඇතුළේ. හැබැයි සසර කිව්වහම තැනක් මැවෙනවා, මොකද සංසාරය කියා දෙයක් තැනක් පිළිබඳ අදහසක් නේ තියෙන්නේ. එහෙම තැනක් නෑ. හොඳ හෝ නරක වෙලාවට එහෙම තැනක් නෑ, හොඳ වෙලාව කියන්නේ එහෙම තැනක් තිබුනොත් ගැලවෙන්න අමාරුයි, නරක වෙලාව මොකක්ද එබඳු තැනක් ඇත්තටම නැති නිසා ගැලවෙන්න තියෙන්නේ සිතිවිල්ලකින්, සසරක් තියෙනවා කියන සිතුවිල්ලෙන්. මවාගත් සිතිවිල්ලකින් ගැලවෙනවට වඩා හැබැවටම තියෙන තැනකින් ගැලවෙන්න පහසුයි. ඉතින් මෙහෙම පරස්පරයක තමා හැම විටම ඉන්නේ. ඔබතුමා කිව්ව දේ ඇත්තම ඇත්ත, දෙදෙනෙකුට එකම සංසාරයක ඉන්න බෑ,
සාපේක්ෂයි. දෙවැනි කාරණය එක්කෙනා ගත්තත් එක මොහොතක ඉන්න සංසාර නෙමේ ඊළඟ මොහොතේ ඉන්නෙ. එක මොහොතක වෛර කරන කෙනෙක් ඊළඟ මොහොතේ කාරුණික කෙනෙකු වෙන්න පුළුවන්, දැන් මේ පරස්පරය නිසායි අපට එළියට එන්න පුළුවන්, අප තුළම තියෙනවා මේ ප්‍රතිවිරෝධතාවයන්, කුසල සහ අකුසල. ඒ කියන්නේ සසරටම විසිවෙනවා ද ඉන් එළියට විසි වෙනවා ද?, දෙපැත්තක් තියෙනවා එම නිසා තමා තුන්වන කාරණය මතු වන්නේ, හැම අත්දැකීමක දීම සංසාරයට එකතු වෙනවාද එකතු නොවී ඉන්නවාද කියන තීරණය ගන්නපුළුවනි. අකුසල් සමග එකතු වෙනවද කුසල් එක්ක එකතු වෙනවද, පින් පව් එක්ක වැඩ කරනවද කියන එක නොවේ, අකුසල් සමගද එකතු වෙන්නේ කුසල් සමගද එකතු වෙන්නේ. මේ සඳහා සුවිශේෂී අත්දැකීම් ලබන්න අවශ්‍ය නෑ. අප හිතනවා විමුක්තිය පැත්තට එන්න විශේෂ අත්දැකීම් අවශ්‍යයි, විශේෂ අත්දැකීම් අවශ්‍ය නෑ හැබැයි මොන අත්දැකීමක් හරි මෙනෙහි කර අවබෝධ කරගෙන එතනින් යන්තම් හරි එළියට ඔලුව දාගත්තොත් ඒ අත්දැකීම විශේෂ අත්දැකීමක් වෙනවා. මේ තමා වැදගත්ම කාරණය. භාවනා කළොත්, සිහි බුද්ධිය තිබුනොත් හැම අත්දැකීමක්ම විශේෂ අත්දැකීමක් කරගන්න පුලුවන්. ඉතින් කෙනෙක් යම් අත්දැකීමකින් එළියට ආවොත් කියනවා මේ අත්දැකීම නිසායි එළියට ආවේ, එතකොට ඒ අත්දැකීම හරි විශේෂයි, එසේ එළියට ආ නිසයි විශේෂ අත්දැකීමක් උනේ, නැතිව විශේෂ අත්දැකීමක් නිසා එළියට ආවා නොවේ. සමහරවිට නාන අවස්ථාවකදී වුණත් ඒ මොහොතේ සිදුවන දේ අවබෝධ කරගෙන සසරත් එක්ක එකතු නොවී ඉන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් ස්නානය කරද්දියි මට මේ අත්දැකීම ලැබුනේ කියා. එතැනදී ඒ සිදුවීම ඒ පුද්ගලයාට විශේෂයි, හැබැයි එය අසා අනිත් අය නාන්න ගියා කියා අනිත් අයට විශේෂ යමක් සිදු නොවෙන්න පුළුවන්.
අප ළඟ තියෙනවා ප්‍රතිවිරෝධතාවයන්, ද්‍රැව දෙකක්. මේ ද්‍රැව දෙකෙන් එළියට එන්න පුළුවන්, මැදින් එළියට යන්න බෑ, මධ්‍යයේ ඔහේ ඉන්න පුළුවන්, සැහැල්ලුවෙන් තාවකාලිකව, එලියට යන්න පුළුවන් වෙන්නේ දෙකෙළවර වලින්. දෙකෙළවර වල් දෙක මොනවද, අප ළඟ තියෙන ලොකුම දුර්වලකම හා පෙළඹවීම අකුසලය හඳුනාගෙන ඒ සමගම සිටිමින් ඒ ගැන සිතමින් එය සිදුවන අවස්ථා පිළිබඳ සිහිය ඇති කරගනිමින් හිටියොත් එතනින් පුළුවන් එළියට යන්න, දුර්වලම තැනිනුත් එළියට යන්න පුළුවන්. ඒ වගේම අප ළඟ තියෙන ලොකුම කුසලය පාරමිතාව, එය හඳුනා ගෙන ඒ හරහාත් එළියට යන්න පුළුවන්. මෙතන වැදගත් කාරණයක් තියෙනවා ලොකුම දුර්වලකමින් වාගේම ලොකුම දක්ෂතාවයෙනුත් සසරෙන් එලියට එන්න පුලුවන්. ඒ දෙකය වැඩිපුරම කමටහන් වෙන්නේ. අතරමැද සාමාන්‍ය දේවල් වලිනුත් පුළුවන්, හැබැයි එක් වරටම හෙන ගැහුවා වගේ පිම්මක් පනින්න පහසු වෙන්නේ ලොකුම දුර්වලකම හෝ හපන්කම භාවනාවක් කරගත්තොත්.
ප්‍ර : වීරිය වඩා ගන්න පුළුවන් ආකාරය ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
පි : පළවෙනි කාරණය තමා ඡන්දය, විරිය වඩාගන්න නම් ඕනෑකමක් ඡන්දයක් ඇති වෙන්න ඕනේ. ඉස්සරලා ඕනකම ඇති කරගන්න, ඡන්ද විරිය කියලනේ කියන්නේ එහි පිළිවෙලකුත් තියෙනවනේ. මොනවද ඕනේ ඒ දේට තමා වීරිය කරන්නේ. හැම වෙලාවේම වීරියක් මනුෂ්‍යයා ළඟ තියෙනවා, නමුත් ඒ වීරිය එන්නේ ඡන්දයෙන්. මොනවට හෝ තියන ඡන්දය කුසලඡන්දයක් කරගන්න, තරහ නොගෙන සිටීමේ ඕනෑකම ඇති කරගන්න, එසේ ඕනෑකමක් ඇතිකරගත්තොත් නම් වීරිය කරන්න පුළුවන්. ඡන්දය ඇතිවෙලා තියෙන්නේ මොනවටද කියලාත් දැනගන්න. සිහිය තිබ්බොත් සිහිබුද්ධියට පුළුවන් දැනට තියෙන ඡන්දය අඳුරාගන්න, හඳුනාගෙන ඒ ඡන්දය නිසා නම් අප සසරට එකතු වී සිටින්නේ එසේ එකතු නොවී සිටීමේ ඡන්දයත් ඇතිකරගන්න.
දෙවෙනි කාරණය තමා වාසනා ගුණය සාංසාරික ගති. අතීතයේ වැඩි වාර ගණනක් අසිහියෙන් කළ දේ කියා දැනට තියෙනවා නැඹුරුවක් පල්ලමක්. ඉතින් ඒ නැඹුරුකමට පල්ලමට පළවෙනි අඩිය තිබ්බොත් ඇති අනිත් අඩි තියන්න ඕනෙ නෑ ලිස්සලාම වැටෙනවා. ඒ තමා පුරුද්දේ හැටි. ඉතින් මේ කාරණය හඳුනාගන්න, මොන විදිහේ සසර පුරුදුද තියෙන්නේ. සසර පුරුද්ද පල්ලමකට වැටෙන්න වීරිය කරන්න ඕනේ නෑ, නොවැටී ඉන්න සහ ගොඩ එන්න තමා වීර්‍යය කළයුතු. මොන පල්ලම්වලටද වැටෙන්නේ කියන කාරණය අවබෝධ කරගන්න, ලේසියෙන්ම වැටෙන්නේ මොනවද නොදැනුවත්වම සිදු වන්නේ මොනවද මෙන්න මේ කාරණාව පිළිබඳ සිහිබුද්ධිය ඇති කරගන්න. වීරිය නැති සහ වීරිය කළ යුතු අවස්ථා හඳුනා ගන්න.
ඊළඟ කාරණය තමා මෙහෙම සිදුවීමකදී තීරණයක් ගන්න. සිදුවෙන දෙයට ඉඩ දෙන්නේ නැතුව සිදුවිය යුතු දේට උත්සාහ කරන්න. මොකද මේ වීරිය කියන දේ හැම විටම චේතනාවෙන් බල ගන්වන්නට ඕන, එහෙම නැත්නම් වීරිය කියන චෛතසිකයට පණ නෑ, පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඒ තල්ලුව දෙන්නෙ චේතනාවෙන්, තීරණයක් ගන්න. බලන්න විටින් විට කොහොමද කාලේ ගෙවුනේ.උදේ වරුවේ මොන පෙලඹවීම් වලටද අහුවුනේ? ඒ බව දැනගත්තද නැත්නම් නොදැනුවත්වම වුනාද? කොයි වෙලාවෙද වීරිය කරන්න පුළුවන් වුනේ? වීර්යෙන් ලැබුණු ප්‍රතිඵලය කුමක්ද? ඒ ගැන අගය කිරීමක් කරන්න. මෙසේ ආවර්ජනයක් අවශ්‍යයයි. මේ කාරණා තුන හතර එකතු කරගත්තොත් වීර්ය බල ගන්වන්නට පුළුවන්. වීර්යෙන් පටන් ගන්නට පුළුවන්, වීර්යෙන් මේ ගමන යන්නටත් පුළුවන්, එසේ පැමිණි දුර ගැන හැරී බලා සතුටු වෙන්නත් පුළුවන්.
සිහිබුද්ධිය නිසා සෑම විටම විමුක්තියේ දොරටුවක් තිබෙන බව ඇරෙන බව පේනවා. කවදහරි දවසක නොවෙයි මේ මොහොතේ. ඒ දොරටුවෙන් එළියට එමු. මොකද ඊළඟ දොරටුව කොහෙද තියෙන්නේ ඒ පැත්තට හැරිල ඉදියිද කියන්න අප දන්නෙ නෑ. එනිසා මේ මොහොතින් ප්‍රයෝජන ගමු. මේ මොහොතෙන් ප්‍රයෝජන ගත්තොත් ඊළඟ මොහොතෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි මේ මොහොතින් ප්‍රයෝජන නොගෙන ඊළඟ මොහොතේ ප්‍රයෝජන ගන්නවා කියා හිතුවොත් සමහරවිට මේ මොහොතත් ඊළඟ මොහොතත් දෙකම නැති වේවි. මේ මොහොත පමණයි තියෙන්නෙ කියන අප්‍රමාද චේතනාවත් එක්ක අපි සදහම් සැඳෑවෙන් වෙන්ව යමු,
සැමදෙනාටම සෙතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා !